Monday 21 March 2022

නිදහසේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය


                                                                     

පටුන

පිදුම    i

ස්තුතිය.    ii

හැඳින්වීම    v

පළමු පරිච්ඡේදය.    8

01.    විදේශ ප්‍රතිපත්තිය.    8

01.1.    විදේශ ප්‍රතිපත්තිය අර්ථ දැක්වීම.    8

01.2.    ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැඩගැසීම කෙරෙහි බලපෑ සාධක හා අරමුණු.    12

01.3.    ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ විකාශය.    14

01.3.1.    නිදහස් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ආරම්භය.    14

01.3.2.    1956 සිට 1977 දක්වා.    17

01.3.3.    1977 සිට 1994 දක්වා.    20

01.3.4.    1994න් පසු යුගය.    27


දෙවන පරිච්ඡේදය.    34

02.    2010-2015 සමයේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය.    34

02.1.    පශ්චාත් යුද සමයේ විදේශ ප්‍රතිපත්තිය හැඩගැසීමේ දී ඇති වූ ප්‍රවණතා හා අභියෝග.    34

02.1.1.    යහපත් ප්‍රවණතා හා අභියෝග.    35

02.1.2.    අයහපත් ප්‍රවණතා හා එහි ප්‍රතිඵල.    41


තෙවන පරිච්ඡේදය.    48

03.    2010-2015 සමයේ කලාපීය හා ගෝලීය පසුබිම තුළ විදේශ ප්‍රතිපත්තියේ විකාශනය.    48

03.1.    කලාපීය පසුබිම.    49

03.1.1.    ඉන්දියාව සමඟ වූ ප්‍රතිපත්තීන්ගේ ස්වරූපය.    49

03.1.2.    පකිස්ථානය සමග රජය කටයුතු කළ ආකාරය.    54

03.2.    ගෝලීය පසුබිම.    55

03.2.1.    චීනය සමඟ වූ සබඳතාවන්හි ස්වරූපය හා එහි ප්‍රතිඵල.    55

03.2.2.    ජපානය    60

03.2.3.    පලස්තීන හා අනෙකුත් රාජ්‍යය සමඟ ශ්‍රී ලංකා රජයේ සම්බන්ධතා.    63

03.2.4.    රුසියාව    65

03.2.5.    යුක්‍රේන ජනරජය    67

03.2.6.    කසකස්ථානය සමඟ පැවති විදේශ සම්බන්ධතා.    68

03.2.7.    බෙලරුස් ජනරජය.    69

03.2.8.    ඇමරිකාව හා අනෙකුත් බටහිර රාජ්‍යයන්    71


සිව්වන පරිච්ඡේදය.    76

04.    2010-2015 සමයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ජාත්‍යන්තර ප්‍රවණතා.    76

04.1.    යුද අපරාධ චෝදනා හා මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාර.    76

04.1.1.    යුද අපරාධ යනු කුමක්ද?    77

04.1.2.    ද්‍රවිඩ ඩයස්පෝරාවේ බලපෑම්.    79

04.2.    පෙරදිග හා අපරදිග ලෝක බල තුලනයේ වෙනස් වීම් යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ නැමියාවන්.    82

04.2.1.    ජිනීවා ප්‍රතිචාර    82

නිගමනය.    88

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.    92





හැඳින්වීම

    කිසියම් රටක් ලොව අනෙකුත් රටවල් සමඟ බාහිර වශයෙන් පවත්වනු ලබන සබඳතා ක්‍රියාවලිය රටක විදේශ ප්‍රතිපත්තිය වශයෙන් හැඳින්වේ. තවද එම ක්‍රියා පිළිවෙත රටක් වශයෙන් අනුගමනය කරන අභ්‍යන්තර ප්‍රතිපත්තියේ ම කොටසක් ලෙස හඳුනාගත හැක. තම රාජ්‍යයට හෝ තම ජාතියට සුදුසු ම දේ ලබා ගැනීමට හෝ ලබා දීම සඳහා එම රාජ්‍ය හෝ ජාතිය විසින් තමාට සුදුසු ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම විදේශ ප්‍රතිපත්තියක හරය ලෙස හැඳින්විය හැකිය. ඕනෑම රටක විදේශ ප්‍රතිපත්තියේ අවසාන අරමුණ වන්නේ රටේ ජාතික අපේක්ෂාවන් ජාත්‍යන්තර පද්ධතිය තුළින් ඉටුකර ගැනීමයි. වර්තමානයේ ඉතා සීඝ්‍රයෙන් ලොව ගෝලීයකරණය වෙමින් පැවතීම හේතුවෙන් සෑම රාජ්‍යයකට ම පාහේ ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට හෝ කටයුතු කිරීමට අපහසු ය. එබැවින් එලෙස අනිකුත් රටවල් සමඟ කටයුතු කිරීමේදී රටක් තම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආකාරය අනුව එම රට ලෝක ප්‍රජාව තුළ ප්‍රසාදයක් හෝ අප්‍රසාදයක් ඇති කර ගනු ලබයි. ඒ අනුව බොහෝ රටවල් තම විදේශ ප්‍රතිපත්තිය සම්පාදනය කර ගැනීමේ දී මූලික වශයෙන්  තම ආරක්ෂාව හා ආර්ථික වර්ධනය ඉලක්ක කොට ගෙන සකස් කර ගන්නා ආකාරයක් දැකිය හැක. රටක් ලෝකය සමඟ තම විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමේ දී එම රටේ නායකයා හැරුණු කළ තානාපතිවරු, මහ කොමසාරිස්වරු, රාජ්‍ය නියෝජිතයන්, කොන්සල්වරු යන තනතුරුවලට හිමිවන කාර්යභාරය අතිශයින් ම පුළුල් හා සංකීර්ණ වූවකි.

මෙම පර්යේෂණය තුළින් අවධානය යොමු වන 2010-2015 සමය ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ ඉතා අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වූ අතර විශේෂයෙන් ම 2009 දී ලබා ගත් යුද ජයග්‍රහණයෙන් අනතුරුව  බටහිර රටවල් ශ්‍රී ලංකාවට එල්ල කරන ලද ජාත්‍යන්තර බලපෑම් හමුවේ මෙරට විදේශ ප්‍රතිපත්තියේ දිශානතිය තීරණය විය. ශ්‍රී ලංකාවේ රජය විසින් ක්‍රියාවට නංවන ලද විදේශ ප්‍රතිපත්තියේ පෙළගැස්මත්, එහි මුහුණුවර හා ක්‍රියාත්මක ස්වරූපය ආදිය පිළිබඳ ව සාකච්ඡා කිරීම අත්‍යාවශ්‍ය වන්නේ එය නූතන දේශපාලන කතිකාව දක්වා ම පවතින්නා වූ සාධකයක් වන බැවිනි. මෙම පර්යේෂණය සඳහා ප්‍රධාන වශයෙන් ද්විතීයික මූලාශ්‍ර මෙන් ම ප්‍රාථමික මූලාශ්‍ර ද යොදා ගනු ලැබීය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ තොරතුරු අන්තර්ගත කරමින් කෘතීන් විශාල ප්‍රමාණයක් රචනා වී ඇතත් 2010 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එම බොහෝමයක් කෘතීන්හී අවධානයක් යොමු වී නොමැත. මෙම පර්යේෂණය තුළින් 2010-2015 අතර කාලයේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නව තොරතුරු හා අධ්‍යයනයන් සිදු කිරීමට උනන්දු වේ.

මෙම පර්යේෂණය සඳහා මූලික වශයෙන් පුස්තකාල පර්යේෂණයක නිරත වීම සිදු වූ අතර ප්‍රාථමික මූලාශ්‍ර මෙන් ම ද්විතීයික මූලාශ්‍ර ද යොදා ගනු ලැබීය. එහිදී ප්‍රාථමික මූලාශ්‍ර ලෙස මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන, හැන්සාඩ් වාර්තා, සැසි වාර්තා, රේගු වාර්තා, මහ බැංකු වාර්තා, දේශපාලනඥයින් විසින් සිදු කරන ලද ප්‍රකාශ ඇතුළත් වීඩියෝ පට, අමාත්‍යංශ වාර්තා, ජන සංගණන වාර්තා හා තානාපති කාර්යාල වාර්තා යොදා ගනු ලැබීය. මෙම තොරතුරු සොයා ගැනීමෙහිලා පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලය, ජාතික පුස්තකාලය හා ජාතික ලේඛනාරක්ෂක පුස්තකාලය භාවිතා කරන ලදි.

මෙම පර්යේෂණය සිදු කිරීමේ දී පර්යේෂණ ගැටලුව ලෙස 2010-2015 සමයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැඩගැසීම කෙරෙහි බලපෑ සාධක මොනවාද? හා එම සමය තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය පිළිබඳ ව අධ්‍යයනය කිරීම සිදු විය.

මෙම පර්යේෂණයේ අන්තර්ගත පරිච්ඡේද පෙළගැස්ම කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පළමු පරිච්ඡේදය තුළින් විදේශ ප්‍රතිපත්තියක් යනු කුමක් ද? යන්න විග්‍රහ කර විදේශ ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව තුළ දී ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ අවධානය යොමු කරමින් තොරතුරු අන්තර්ගත කොට ඇත. එහිදී නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සකස් වූ ආකාරය හා 2010 වසර වන තෙක් එහි ඇති වූ වෙනස්කම් හා මුහුණ දුන් අභියෝගයන් ද අධ්‍යයනය කරනු ලැබීය. දෙවැනි පරිච්ඡේදය මඟින් 2010-2015 සමයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය. එහිදී පශ්චාත් යුද සන්දර්භය තුළ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රගතිය හා දුර්වලතා කෙරෙහි අවධානය යොමු විය. තෙවන පරිච්ඡේදය මඟින් අවධානය යොමු කරනු ලැබුවේ කලාපීය හා ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව පැවැත්වූ විදේශ සබඳතාවන්හි ස්වාභාවයයි. සිව්වන පරිච්ඡේදය මඟින් 2010-2015 සමයේ දී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ජාත්‍යන්තර ප්‍රවණතා කෙරෙහි මූලික අවධානය යොමු කරනු ලැබූ අතර එහිදී ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දුන් ප්‍රබලතම රාජ්‍යතාන්ත්‍රික අභියෝගය වූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී අත්දුටු තත්ත්වයන් විග්‍රහ කර ඇත. 


පළමු පරිච්ඡේදය.

විදේශ ප්‍රතිපත්තිය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විමසීමේ දී මූලික වශයෙන් විදේශ ප්‍රතිපත්තිය යනු කුමක්ද යන්න කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ. මන්ද යත් විදේශ ප්‍රතිපත්තිය යනු අන්තර්ජාතික සම්බන්ධතා ක්ෂේත්‍රයේ එක් අංශයක් වීමයි. එයින් ගම්‍ය වන්නේ මෙම අධ්‍යයනය සඳහා ලොව පිළිගත් න්‍යායාත්මක පසුබිමකින් යුත් නිශ්චිත ක්‍රමවේදයක් පවතින බවයි. ඒ හේතුවෙන් ලොව ඕනෑම රටක විදේශ ප්‍රතිපත්තිය අධ්‍යයනය කිරීමේ දී ඒ සඳහා වන ප්‍රවේශයන් ප්‍රථමයෙන් හඳුනා ගැනීම වැදගත් වේ. ඒ අනුව මෙම පරිච්ඡේදයේ මූලික අරමුණු කීපයකි. පළමු ව විදේශ ප්‍රතිපත්තියක් යනු කුමක් ද යන්න මෙහි දී පැහැදිලි කර ඇත. එහි දී බොහෝ විට ලොව පිළිගත් දේශපාලන විද්‍යාඥයින්ගේ හා අන්තර් ජාතික දේශපාලනය පිළිබඳ ප්‍රාමාණික දැනුමකින් යුක්තවන්නන්ගේ නිර්වචන හා අදහස් දක්වමින් ඇති අතර ඉන් පසු එම අදහස් හා න්‍යායන් ශ්‍රී ලංකාවේ මෙන් ම ජාත්‍යන්තරය තුළ දී ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක වන්නේ හා වූවේ කෙසේද? යන්න කෙරෙහි අවධානය යොමු කර ඇත.


විදේශ ප්‍රතිපත්තිය අර්ථ දැක්වීම.

අන්තර්ජාතික රාජ්‍ය පද්ධතිය තුළ ලොව කිසිදු රාජ්‍යයකට හුදකලාව පැවතිය නොහැකි අතර ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික හා යුදමය වශයෙන් බැඳීමක් අවශ්‍ය වේ. ඒ අනුව ජාතික රාජ්‍යයක් බාහිර රාජ්‍යයන් සමඟ සබඳතා පැවැත්වීමේ දී අනුගමනය කරන ඉතා වැදගත් ප්‍රතිපත්තියක් වශයෙන් රටක විදේශ ප්‍රතිපත්තිය හැඳින්විය හැක. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ ලෝක දේශපාලන වාතාවරණය තුළ ලොව සෑම රාජ්‍යයක් ම පාහේ තම ජාතික අභිලාෂ මූලික කොට ගනිමින් විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමට උත්සුක වූ ආකාරයක් දැකිය හැක. 

මෙහි දී විද්වතුන් විසින් විදේශ ප්‍රතිපත්තියක් යනු කුමක්ද? හා එහි ස්වභාවය අර්ථ දක්වා ඇති ආකාරය දෙස අවධානය යොමු කිරීම අතිශයින් ම වැදගත් වේ.

ගෝලීය දේශපාලනය හා ආර්ථිකය පිළිබඳ විද්වතෙකු වන ජෝර්ජ් මොඩෙල්ස්කි (George Modelski) විදේශ ප්‍රතිපත්තිය හඳුන්වා ඇත්තේ අන්තර්ජාතික සමාජයේ විවිධ හැසිරීම් රටාවන් සහිත රාජ්‍යයන් අතර අන්තර සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා රාජ්‍යයන් විසින් අනුගමනය කරන විධිමත් ක්‍රියාදාමය ලෙස ය. 

නෝමන් හිල් (Norman Hill) දක්වන්නේ රාජ්‍යයන් අනෙක් රාජ්‍යයන් සමඟ පවත්වන සබඳතා මඟින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අරමුණුවල මූලික ස්වභාවය පෙන්නුම් කරන ප්‍රකාශනය විදේශ ප්‍රතිපත්තියක් වන බවයි.

ජේම්ස් එන්. රොසෙන්‍යු (James N. Rosenau) විසින් රචනා කරන ලද ලෝක දේශපාලනය (World Politics) නම් කෘතිය තුළ විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේ දී බලපාන සාධක 11ක් පෙන්වා දෙන අතර ඒවා නම්,

  • භූ ගෝලීය පිහිටීම.
  • ඓතිහාසික පසුබිම.
  • සමාජ ව්‍යුහය.
  • මහජන මතය.
  • තාක්ෂණික හැකියාව.
  • දේශපාලන වගකීම.
  • ආණ්ඩුක්‍රම ව්‍යුහය.
  • අගය කිරීම.
  • දේශපාලන නායකත්වය.
  • දේශීය පරිසරය.
  • අන්තර්ජාතික පරිසරය. යනාදියයි.

    ඉහත නිර්වචන සියල්ල සැලකීමේ දී ජාතික රාජ්‍යයක් තම විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගැනීමේ දී අවධානය යොමු කරන මූලික කරුණු කීපයක් පහත සඳහන් ආකාරයෙන් දැක්විය හැකිය.

  • ඕනෑම රාජ්‍යයක් තම ජාතික අවශ්‍යතා මූලික කොට ගනිමින් විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගනී.
  • තමන්ට වාසිදායක වන ලෙස තම විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගැනීමට සෑම රාජ්‍යයක් ම උත්සාහ ගනු ලබයි.
  • අවසාන වශයෙන් තම විදේශ ප්‍රතිපත්තියට පක්ෂ ව ලෝක මතය නම්මවා ගැනීමට සෑම රාජ්‍යයක් ම උත්සහ කරනු ලබයි.

ඉහතින් දැක්වූ ආකාරයට රටක් තම විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ජාතික ආශාවන් (National Interest) කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ලබයි. “The Relation of Nation” නම් කෘතිය රචනා කළ අන්තර්ජාතික දේශපාලන විශේෂඥයෙකු වන එෆ්. එච්. හාර්ට්මන් (F. H. Hartman) ප්‍රකාශ කරනු ලැබුවේ “අතිශයින් ම සුපරීක්ෂාකාරීව තෝරන ලද ජාතික ආශාවන් සපුරා ගැනීම සඳහා දරන්නා වූ උත්සාහය විදේශ ප්‍රතිපත්තිය වන බවයි.” 

ඒ යටතේ ජාතික ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහතික කර ගැනීම, ජාතික ආර්ථිකය වර්ධනය කර ගැනීම, ජනගහනයේ වාර්ගික ලක්‍ෂණ, ජනතාවගේ අධ්‍යාපන මට්ටම, දේශපාලන ක්ෂේත්‍රයේ ඇති විවිධ අදහස් යන කාරණා මූලික වේ.  ඒ අනුව ජාතික ආශාවන් හා විදේශ ප්‍රතිපත්තිය අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වන ‍බව පෙනී යයි. යම් රටක විදේශ ප්‍රතිපත්තිය එම රටේ ජාතික ප්‍රතිපත්තිය ලොවට කියාපාන කැඩපතක් බව තේරුම් ගත හැක.

මූලික වශයෙන් රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තිය සකස් වීමෙහි ලා බලපානු ලබන ප්‍රධාන සාධක 03ක් හඳුනාගත හැක. එනම්;

  • අභ්‍යන්තර සාධක. (Internal Factors)
  • බාහිර සාධක. (External Factors)
  • ප්‍රතිපත්ති සම්පාදන සාධක. (Policy Making Factors) 

මෙහි දී අභ්‍යන්තර වශයෙන් බලපාන සාධක ලෙස එම රාජ්‍යයේ භූගෝලීය පරිසරය, දේශපාලන ස්ථාවරත්වය, ජාතික ආරක්ෂාව, ජාතික හැකියාවන්, ජාතික උරුමයන් හා සුවිශේෂිතා මින් වැදගත් වේ. තවද පාලකයන්ගේ වෙනස් වීම්, ඔවුන්ගේ පෞරුෂත්වය, ඔවුන්ගේ මතවාද හා ආකල්ප,  රුචි අරුචිකම්, තමන් වටා ඇති දේශපාලන බලවේගයන් හා ජාතික ආර්ථික වර්ධනය යන කරුණු ද අදාළ වේ.

බාහිර සාධක යටතට ගැනෙන්නේ තම රටේ දේශසීමාවන්ගෙන් පිටත ඇති රාජ්‍යයන් හෝ සංවිධාන වෙතින් ඇති වන බලපෑම් වේ. සරලව ප්‍රකාශ කරන්නේ නම් එය ජාත්‍යන්තර බලපෑම වේ. ඒ යටතේ ලෝක ක්‍රමයේ වර්තමාන ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය, ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර ආයතනවල ක්‍රියාකාරීත්වය, ජාත්‍යන්තර මහජන මතය යනාදිය ද අදාළ වේ. 

ප්‍රතිපත්ති සම්පාදන සාධක යනු රටක පාලන බලයේ සිටින කණ්ඩායම විසින් කරනු ලබන බලපෑම් වේ. විදේශ ප්‍රතිපත්තිය යනු රටක ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ එක් අංශයක් වුවත් බලයට පත් වන්නා වූ කණ්ඩායමේ ආශාවන් එයින් නියෝජනය වන අතර එසේ නොවන්නේ නම් තම අවශ්‍යතා අනුව එම ප්‍රතිපත්තීන් නැවත සංශෝධනය කිරීමද සිදු වේ.

ඕනෑම රටක් තුළ ඒකාකාරී විදේශ ප්‍රතිපත්තියක පැවැත්මක් බලාපොරොත්තු විය නොහැක. නමුත් සෑම රාජ්‍යයක් ම තම විදේශ ප්‍රතිපත්තීන් සකස් කිරීමේදී මූලික වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ එම රටේ ආරක්‍ෂාව හා සංවර්ධනයයි. කාර්මික විප්ලවයෙන් පසුව වර්ධනය වූ ජාතික රාජ්‍ය සංකල්පය තුළ රටක් තම ආරක්ෂාව, ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව පවත්වා ගැනීමට කරන උත්සාහය තුළ ඇති එක් ප්‍රධාන අංශයක් වන්නේ ද විදේශ ප්‍රතිපත්තියයි. ඉහතින් දක්වන ලද කරුණු කාරණා අනුව රටක විදේශ ප්‍රතිපත්තිය සකස් වන අතර එමගින් එම රාජ්‍ය ජාත්‍යන්තර තුළ හැසිරෙන ආකාරය නිරූපනය වන බව අවබෝධ කර ගත හැක.

විදේශ ප්‍රතිපත්තියක් සකස් වන්නේ රටක අභ්‍යන්තර අවශ්‍යතා හෙවත් ජාතික අවශ්‍යතා මත වුවත් එම රාජ්‍යයේ තනි මතයට ම පමණක් එම විදේශ ප්‍රතිපත්තීන් සකස් කිරීමට නොහැකි වේ. මන්ද යත් ලෝකයේ පවතින සෑම රාජ්‍යයක් ම ජාත්‍යන්තරය තුළ කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු නීතිරීතීන් හෙවත් ජාත්‍යන්තර ප්‍රමිතීන් පැවතීමයි. එම තත්ත්වයන්ට අනුගත වෙමින් කටයුතු කළයුතු අතරම ජාත්‍යන්තර තලයේ ඇති වන වෙනස් වීම්වලට ද අනුගත වෙමින් විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගැනීමට සෑම රාජ්‍යයකට ම සිදුවේ. එහිදී එය තමන්ට වාසිදායක මෙන් ම යම් යම් තත්ත්වයන් යටතේ අවාසිදායක වීමට ද ඉඩ පවතී. 

    

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැඩගැසීම කෙරෙහි බලපෑ සාධක හා අරමුණු.

මෙමගින් මූලික වශයෙන් අවධාරණය කරනු ලබන්නේ නිදහස ලබා ගැනීම ආසන්න වෙත්ම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණ වීම කෙරෙහි බලපාන ලද සාධක හා එහි පදනම සාකච්ඡා කිරීමයි. ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය කෙරෙහි ද අවධානය යොමු කර ඇති අතර විශේෂයෙන් ම මෙහිදී සාකච්ඡාකර ඇත්තේ 1948ට පෙර කාල පරාසයයි.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ හැඩ ගැසීම කෙරෙහි අවධානය යොමු කිරීමේදී වර්තමානය තෙක් අඩු-වැඩි වශයෙන් අවධානය යොමු වන්නා වූ ප්‍රධාන ක්ෂේත්‍රයන් කීපයක් පවතින බව පෙනී යයි. එය සර්ව කාලීන නොවූමුත් ඇමරිකාව හා සෝවියට් සංගමය අතර පැවති සීතල යුද සමයේ අවසානය වන තෙක් එම සාධක ශ්‍රී ලංකාව කෙරෙහි බලපෑම් ඇති කරනු ලැබීය. එම සාධක නම්,

  • නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආණ්ඩු වෙනස් වීම.
  • ජාතික අභිලාශයන් වෙනස් වීම.
  • ජාත්‍යන්තරය තුළ ඇති තත්ත්වයන්.

ශ්‍රී ලංකාවට තම ස්වකීය අවශ්‍යතා අනුව ස්වෛරී විදේශ ප්‍රතිපත්තියක් සකස් කිරීමට හැකි වූවේ 1948 වර්ෂයේ දී ලබා ගත් නිදහසෙන් පසුව ය. එතෙක් මෙරට විදේශ ප්‍රතිපත්තිය තීරණය කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය කිරීටය විසිනි. නිදහස ලබා ගැනීමට පෙර සිට ම විදේශ ප්‍රතිපත්තිය සකස් වීමේ දී මෙරට භූ ගෝලීය පිහිටීම ඉතා ප්‍රබල ලෙසින් බලපාන සාධකයක් විය. ශ්‍රී ලංකාව ජනාවාස වීමේ සිට එල්ල වූ විදේශ ආක්‍රමණ සියල්ලක් ම මෙරට පිහිටීම අනුව සිදු විය. 

නමුත් යුරෝපයේ පුනරුද යුගයෙන් පසු ක්‍රමයෙන් ආරම්භ වූ යටත්විජිතවාදයට ශ්‍රී ලංකාව නතු වන්නේ එහි භූ උපායානුකූල වැදගත්කම හේතුවෙනි. එහි වැදගත්කම ප්‍රබලව අවබෝධ කර ගත් බ්‍රිතාන්‍යයින් යුරෝපයේ ඇති කර ගනු ලැබූ ඒමියනස් ගිවිසුම මඟින් ලංකාව තව දුරටත් තමා යටතේ තබා ගැනීමට උනන්දු වන්නේ සමස්ත කලාපයේ ම බල ව්‍යාප්තියට මෙහි ඇති භූ ගෝලීය වැදගත්කම හේතුවෙනි. 

කෙසේ වෙතත් පසු කාලීන ව ඇති වූ ලෝක යුද්ධ හා ලෝක ආර්ථික තත්ත්වයන් යටතේ ලෝක මහා බලවතුන්ගේ බලය එක් ජාතියකින් තවත් ජාතියක් වෙත සංසරණය වන්නට විය. නමුත් වර්තමානය වන තෙක් ම ශ්‍රී ලංකාවේ භූ උපායානුකූල වැදගත්කම හීන වීමේ අවදානමක් මතු ව නැත. එම සාධකය රටේ අභ්‍යන්තර වාතාවරණය සකස් වීම කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරනු ලැබීය. විවිධ රාජ්‍යතාන්ත්‍රික සබඳතා, රාජ්‍යයන්ගේ වෙනස් වීම්, අන්තර් රාජ්‍ය සබඳතා, දේශපාලන අස්ථාවරතා හා දේශපාලන වශයෙන් මුහුණ දෙන්නා වූ විවිධ සංසිද්ධීන් සඳහා බලපාන්නා වූ මූලික සාධකයක් වන්නේ ද රටක භූ දේශපාලන තත්ත්වයන් හෙවත් භූගෝලීය පිහිටීමයි.  එහිදී පහත සඳහන් සාධක මූලික විය,

  • ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටීම.
  • ඉන්දියාවෙන් වෙන් ව පිහිටා තිබීම.

ඉහත දක්වන ලද සාධකයන් දෙක ලංකාවේ පැවැත්මට කොතරම් තදින් බලපෑවා ද යන්න ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහා කොමසාරිස්වරයෙකු වූ ජේ. එන්. ඩික්සිත් මහතාගේ ප්‍රකාශයකින් ගම්‍ය කර ගත හැක.

“අපේ දේශපාලනය තුළ ශ්‍රී ලංකාව ඉතා වැදගත් සාධකයක්. එය ෆීජි රට වගේ සැතපුම් පහළොස් දහසක් ඈතින් පිහිටා තිබුණා නම්, අපට මේ තරම් වැදගත් වන එකක් නැහැ. එහෙත් ලංකාව පිහිටා තිබෙන්නේ මුහුදු සැතපුම් 18ක් ඈතින්. එයත් ඒ තරම් ගැඹුරු මුහුදක් නොවෙයි.”

අතීතයේ සිට ම ශ්‍රී ලංකාව හා විදේශයන් අතර සම්බන්ධතා පැවති අතර ඒ බොහෝමයක් වෙළඳාම පදනම් කරගෙන පැවති බව විදේශීය වෙළඳුන් හා ගවේෂකයන් ලංකාව සම්බන්ධයෙන් රචනා කරන ලද තොරතුරුවලින් අනාවරණය වේ. එලෙස අතීතයේ සිට ම ශ්‍රී ලංකාවට විදේශ සම්බන්ධතා අතර වැදගත් තැනක් හිමි වූවේ ඉහතින් දක්වන ලද ආකාරයට අනුව එහි පිහිටීම හේතුවෙනි. ඉන්දීය සාගරය මැද, ඉන්දියානු අර්ධද්වීපයේ දකුණු කෙළවරේ පිහිටා ඇති බැවින් ලංකාව මෙම සාගරයේ එක් පැත්තක්, අනික් පැත්තත් සමඟ සම්බන්ධ කල මුහුදු මාර්ග පාලනය කිරීමට සමත් විය. මෙම සාධක අතීතයේ සිට ම වර්තමානය දක්වා ම ලංකාවට ජාත්‍යන්තරය තුළ සුවිසේශීත්වයක් ලබා දීමට සමත් වුවත් එහි ස්වරූපයන් තවදුරටත් වෙනස් වෙමින් පවති. විශේෂයෙන් ම සීතල යුද්ධයේ අවසානයත් නව ලෝක බලවතුන්ගේ නැගී ඒමත් විසින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය තුළ සුවිසේශීත්වයක් ලබා දීමට සමත් නව සාධක කීපයක් නිර්මාණය වන අකාරයක් ඉදිරි පරිච්ඡේද මඟින් හඳුනාගත හැක. 


ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ විකාශය.

මෙහිදී නිදහස් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමු කරනු ලබන අතර ඊට පදනම් වූ සාධක, ස්වභාවය හා ප්‍රායෝගික තත්ත්වයන් සම්බන්ධ තොරතුරු අධ්‍යයනය කොට ඇත. එහිදී නිදහසින් පසු විදේශ ප්‍රතිපත්තිය සකස් වීම මෙම කලාපයේ ප්‍රබල විදේශ ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගත් ඉන්දියාව සමග සංසන්දනය කිරීමට උත්සාහ කරනු ලැබීය. ඒ අනුව මෙම කොටසින් ආවරණය වන්නා වූ කාල පරාසය 1948 සිට 2005 පමණ දක්වා වන අතර රටේ විදේශ ප්‍රතිපත්තිය තීරණය වීම කෙරෙහි බලපාන ලද අභ්‍යන්තර මෙන් ම බාහිර සාධක කෙරෙහි අවධානය යොමු කෙරේ.


නිදහස් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ආරම්භය.

1948 වසරේ දී ශ්‍රී ලංකාව නිදහස ලබන විට එය ඌන සංවර්ධිත රටක් වුවත් ආර්ථිකමය වශයෙන් සුරක්ෂිතභාව සැලකිය යුතු ලෙස ආරක්ෂා වී පැවතිණි. ඒ කෙසේ ද යත් බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ලංකාව බාහිර පෙනුමෙන් නවීන රටක් හා සමාජයක් බවට පත් වූ අතර ආර්ථිකමය වශයෙන් වෙළඳ භෝග අපනයනය මත පදනම් වෙමින් අතිරික්ත වෙළඳ ශේෂයක් තබා ගැනීමට සමත් වීමයි. (1951 වන විට ද මෙරට මූල්‍ය තත්ත්වය රුපියල් මිලියන 1216.8 විය) එය සමකාලීන ඉන්දියාව සමඟ සසඳන විට ඉතා යහපත් තත්ත්වයක් විය.

ශ්‍රී ලංකාව නිදහස ලබන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ එය ලාබ ලබන ආදර්ශමත් යටත්විජිතයක් විය. කෙසේ වෙතත් මෙම ආර්ථික සුරක්‍ෂිතභාව පදනම් ව පැවතියේ ඉන්දියාවේ මෙන් කාර්මික නිෂ්පාදන මත නොව, ස්වාභාවික ආර්ථික නිෂ්පාදනයන් වන කෘෂිකාර්මික භෝග නිෂ්පාදනය මතය. මේ වන විට ඉන්දියාවේ ආර්ථිකයද කෘෂිකාර්මික භෝග නිෂ්පාදනය මත පදනම් වී තිබුමුත්, බ්‍රිතාන්‍ය යුගයේ දී ඇති කරන ලද කාර්මික පසුබිම ක්‍රමයෙන් වර්ධනය වෙමින් එය රටේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් සපයමින් පැවතිණි. 

ආර්ථික බෝග මත පදනම් වූ ආර්ථිකය තුළ ලංකාවේ ප්‍රධානතම ආර්ථික හවුල්කරුවා වූවේ ද මහා බ්‍රිතාන්‍ය වූ අතර ලංකාවේ අපනයන බොහෝමයක ම ප්‍රධාන ගැනුම්කරුවා වූවේ ද මහා බ්‍රිතාන්‍ය විය. තවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය නාවික ක්ෂේත්‍රය සමඟ බද්ධ ව පැවති අතර නිදහස ලබන අවධියේ දී ඉන්දීය සාගරයේ ආරක්ෂාව ද බ්‍රිතාන්‍යයින් සතුව පැවතිණි. නමුත් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු අවධිය වන විට ලොව පුරා යටත්විජිතහරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙමින් පැවතිණි. එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු ආසියාවේ බ්‍රිතාන්‍ය යටත්විජිතද ක්‍රමයෙන් නිදහස ලබා ගත් අතර ඉන්දියානු සාගරය තුළින් බ්‍රිතාන්‍යයින් ඉවත් වීමේ කටයුතු ද සම්පාදනය වෙමින් පැවතිණි. ඒ අනුව 1948 නිදහස ලබා ගැනීමෙන් අනතුරුව විදේශ ප්‍රතිපත්තියක මූලික සංඝටකයන් දෙක වන ආරක්ෂාව හා ආර්ථික සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය. මේ වන විට ලංකාවට තම ආර්ථික මාර්ගය පදනම් වී තිබූ මාර්ගය වූ ශ්‍රී ලංකාව අවට ඉන්දීය සාගර කලාපය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නාවික හමුදාවක් මෙන් ම රට අභ්‍යන්තරය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් හමුදා බලයක් ද නොවීය. නිදහස ලබන විට ශ්‍රී ලංකාවේ ආරක්ෂාව මූලික වශයෙන් පදනම් වී පැවතියේ සීමිත පොලිස් භට පිරිසකගේ දායකත්වයෙනි.

තවද ඉන්දීය නායකත්ව විසින් ඉන්දියාව නිදහස ලබා ගැනීමෙන් අනතුරුව කටයුතු කළ ආකාරය පිළිබඳ ව ඉතා පරිණත හා පූර්ව අවබෝධයකින් පසු වූ නමුත් ලාංකේය දේශපාලනය තුළ දී එය ප්‍රමාණවත් ආකාරයෙන් නොපැවතිණි. ඉන්දීය නායකයන් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වීමට අමතරව ඉන්දියාව නිදහස ලබා ගැනීමෙන් අනතුරුව රටේ ජාතික ඒකාග්‍රතාව ආරක්ෂා කර ගැනීම, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් එක්සත් ජාතියක් ඇති කර ගැනීම, කලාපය තුළ තම ප්‍රමුඛතාවය පවත්වා ගැනීම හා ආර්ථිකමය වශයෙන් සංවර්ධිත රාජ්‍යයක් කරා මෙහෙය වීම යන උපායමාර්ගික වැඩපිළිවෙළ කල්තියාම සකස් කරගනිමින් පසුව ක්‍රියාත්මක කරන්නට ද විය. ඒ අනුව ඉන්දියානු ජාතික කොංග්‍රසය 1920දී ජවහර්ලාල් නේරුගේ නායකත්වයෙන් ඊට අනුබද්ධිත විදේශ සබඳතා දෙපාර්තමේන්තුවක් ද පිහිටවනු ලැබීය. නමුත් ලංකාව තුළ එය එසේ නොවූ අතර හුදෙක් බ්‍රිතාන්‍යයින් අත පැවති බලය අත්පත් කර ගනිමින් රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට පමණක් උනන්දු විය. පැවති අපනයන බෝග වගාව වෙනුවට ලෝක තලයේ මූලිකත්වය හිමි කර ගනිමින් පැවති කාර්මික ආර්ථිකය වෙත රට මෙහෙය වීමේ දැක්මක් එකල ලංකාවට හෝ එහි නායකත්වයට නොවූ බව අධ්‍යයනය කළ හැක. 

මෙම අභියෝගයන් හේතුවෙන් ලංකාව, තම විදේශ සබඳතා ගොඩනගා ගැනීම කෙසේ කළ යුතු ද යන්න පිළිබඳ ව උභතෝකෝටිකයකට ලක් විය. නිදහස ලබා ගත් මුල් අවධියේ දී ඉන්දියාවේ මෙන් විදේශ සබඳතා හැසිරවීම සඳහා ප්‍රමිති ගත කරනු ලැබූ ආයතනික ව්‍යුහයක් ලංකාවට නොවීය. ඒ හේතුවෙන් ලංකාවට බ්‍රිතාන්‍යයේ සහයෝගය නොමැතිව පැවැත්මක් නොවූ අතර නිදහස ලබා ගැනීමෙන් පසුව ද යම් යම් අංශවල දී බ්‍රිතාන්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍ය වන බව එකල ලාංකේය නායකත්වයට වැටහී තිබුණි. පෙර සඳහන් කළ ආකාරයට නිදහස ලබන විට විදේශ සබඳතා මෙහෙයවීම සඳහා නිශ්චිත ආයතනික ව්‍යුහයක් ලංකාව සතුව නොවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය සමඟ විදේශ සබඳතා ගිවිසුමක් අත්සන් කිරීමට ලංකා රජය තීරණය කරනු ලැබීය. එම සමයේ දී ඉන්දියාව විදේශ රටවල් 50කටත් අධික රාජ්‍යයන් ප්‍රමාණයක් සමඟ විදේශ සබඳතා ඍජු වශයෙන් පවත්වාගෙන ගිය නමුත් ලංකාව එකල විදේශ සබඳතා පවත්වා ගනු ලැබුවේ තමන්ට ආර්ථික වශයෙන් පමණක් වැදගත් වන රාජ්‍යයන් 08ක් සමඟ පමණි. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ දී සහයෝගී ව  කටයුතු කිරීමට මෙන් ම අනෙකුත් රාජ්‍යයන් සමඟ තානාපති සබඳතා පැවැත්වීමට අවශ්‍ය සහය ද බ්‍රිතාන්‍ය රජය විසින් ලබා දෙනු ලැබීය. මේ හේතුවෙන් නිදහස ලබන විට ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වූ ඩී. ඇස්. සේනානායක මහතා බ්‍රිතාන්‍යයින් සමඟ මූලික ගිවිසුම් කීපයකට එළඹීමට තීරණය කරනු ලැබූ අතර එම ගිවිසුම් ලංකාවේ එවකට විරුද්ධ පක්ෂ ලෙස කටයුතු කල වාමාංශික නායකයන්ගේ ප්‍රබල විවේචනයට ලක් විය. එම ගිවිසුම් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමට මාස කිහිපයකට පෙර අත්සන් කරන ලද අතර ක්‍රියාත්මක වීම නිදහස ලබා ගැනීමත් සමඟ අර්ථවත් විය. 

එම ගිවිසුම් ත්‍රිත්වය වූයේ ;

  1. බ්‍රිතාන්‍ය සමඟ ඇති කර ගත් ආරක්‍ෂක ගිවිසුම.
  2. බාහිර සබඳතා ගිවිසුම.
  3. පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ලැබීම.

මෙලෙස බ්‍රිතාන්‍ය සමඟ ගිවිසුම් ත්‍රිත්වයකට එළඹීම හුදෙක් එකල ලාංකේය නායකයන් බ්‍රිතාන්‍යය ගැති භාවය හෝ අවනතභාවය මත ම පදනම් නොවූ බව අවබෝධ කර ගත යුතු වේ. බ්‍රිතාන්‍යයින් සමඟ ආරක්ෂක ගිවිසුමත් ඇති කර ගැනීමට එකල රජය පෙලෙඹවූ මූලික හේතූන් පහත ආකාරයෙන් දැක්විය හැක. 

රටේ ආර්ථිකය රඳා පැවති ආනයන - අපනයන වෙළඳාම කෙරුණු නාවික ගමනාගමන මාර්ගය ආරක්ෂා කර ගැනීම.

රට අභ්‍යන්තර වශයෙන් හා බාහිර වශයෙන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ආරක්ෂක භට පිරිසක් නොවීම හා එවැන්නක් වර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් නොවීම යනාදියයි. 

ඊට අමතර ව මෙකල ලාංකේය නායකත්වය ඉන්දීය ව්‍යාප්තවාදය කෙරෙහි යම් කිසි බියකින් ද සිටි බව එකල දේශපාලන වතාවරණය පිරික්සීමේ දී පෙනී යයි. විශේෂයෙන් ම ඉන්දීය ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ මූලිකයන් වූ කේ. ඇම්. පනික්කාර් හා පට්ටාබි වැනි විද්වතුන්ගේ අදහස වූවේ ඉන්දියාවේ භෞමික අඛණ්ඩතාව හා බාහිර ආරක්ෂාව තහවුරු වීමට නම් ශ්‍රී ලංකාව ද ඉන්දියාවේ එක් කොටසක් ලෙස පැවතිය යුතු බවයි. මේ හේතුවෙන් එකල ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වූ ඩී. එස්. සේනානායක මහතා මෙන් ම ඔහුගේ පශ්චාද්ගාමිකයෙකු වූ අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ද ඉන්දියාව සම්බන්ධයෙන් සැක මුසුව කටයුතු කරන්නට විය. මෙම සැකය තවත් වර්ධනය වූවේ රට අභ්‍යන්තරයේ ඉන්දීය සම්භවය ප්‍රබල ලෙස පැවති දකුණු ඉන්දීය ජනතාවක් රටේ දේශපාලන බලයට බලපෑම් කළ හැකි තත්ත්වයේ පසු වීමයි. ඒ හේතුවෙන් යම් අවස්ථාවක දී ඉන්දියාවෙන් තර්ජනයක් ලංකාවට ඇති වුවහොත් බ්‍රිතාන්‍යයෙන් ආධාර ලබාගත හැකි බව ඩී. එස්. සේනානායක මහතාගේ විශ්වාසය වූ බව ප්‍රකට දේශපාලන මතය විය.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ලබා ගැනීම තුළින් තම විදේශ ප්‍රතිපත්තියේ මූලික අභිප්‍රායන් කීපයක් මුදුන් පත් කර ගැනීමට ඩී. එස්. සේනානායක මහතා අපේක්ෂා කරනු ලැබීය. ඉන් ප්‍රධානතම අරමුණ වූයේ ජාත්‍යන්තර අනන්‍යතාව ලබා ගැනීමයි. මන්ද යත් මේ වන විට ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි ව නොතිබූ අතර සෝවියට් දේශයේ බලපෑම හමුවේ සාමාජිකත්වය ලබා ගැනීමට දරණ ලද බොහෝ උත්සහයන් ද ව්‍යර්ථ විය. ඒ හේතුවෙන් ම ඩී. එස්. සේනානායක මහතාගේ විශ්වාසය වූවේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාසේම ජාත්‍යන්තර සමාජය නියෝජනය වීම විෂයයෙහි පොදු රාජ්‍ය මණ්ඩලය වැදගත් වන බවයි. ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයන් සමඟ රන් පවුම මූලික කර ගනිමින් තම ආර්ථික සබඳතා පැවැත්වීම, කොමියුනිස්ට් තර්ජනවලට මුහුණදීමට හා ඉන්දියානු ව්‍යාප්තවාදයට අභියෝග කිරීමට හැකි වීම යන සාධක මත පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලංකාවට වැදගත් වන බව එකල රජයේ විශ්වාසය විය.


1956 සිට 1977 දක්වා.

බ්‍රිතාන්‍ය සමඟ ඇති කරගනු ලැබූ ගිවිසුම් ත්‍රිත්වය ම ලංකාව නිදහස ලබා ගැනීමට ආසන්න වකවානුවල දී කෙටුම්පත් කරන ලද අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අගමැති ඩී. එස්. සේනානායක මහතා ද, බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් එවකට අග්‍රාණ්ඩුකාරවර හෙන්රි මේසන් මුවර් මහතා ද අත්සන් කරනු ලැබීය. මෙම ආරම්භක අවධියේ දී නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වැදගත් වෙනසකට භාජනය වන්නේ 1956දී බලයට පත් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සමයේදී ය. එහි දී පෙර සඳහන් කරන ලද බ්‍රිතාන්‍ය සමඟ පැවති ගිවිසුම් ත්‍රිත්වයෙන් මිදුණු ලංකාව මෙතෙක් අවධානය යොමු නොකරන ලද සමාජවාදී රාජ්‍යයන් සමඟ විදේශ සම්බන්ධතා ඇති කර ගැනීමට පෙලඹෙන ආකාරයක් දැකිය හැකිය. බණ්ඩාරනායක අගමැතිවරයා විසින් එවකට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වූ සර් ක්ලෝඩ් කොරයා මාර්ගයෙන් 1956 අගෝස්තු මාසයේ දී මොස්කව්වලටද, සැප්තැම්බර් මාසයේ දී පීකිංවලට ද දූත සේවාවන් යවනු ලැබීය. ඒ අනුව 1957 දී සෝවියට් දේශය හා චීනය සමඟ ප්‍රථමවරට තානාපතිවරුන් හුවමාරු කර ගැනීමට හැකි විය. එම වසරේදී ම බල්ගේරියාව, චීනය, චෙකොස්ලොවැකියාව, ඊජිප්තුව, හංගේරියාව, නැගෙනහිර ජර්මනිය, රුමේනියාව ආදී රාජ්‍යයන් සමඟ වෙළඳ ගිවිසුම්වලට ද එළඹි අතර එයින් ලද ආර්ථික හා තාක්ෂණික ආධාර ඉතා විශාල විය. වේයන්ගොඩ පෙහෙකම්හල, මට්ටක්කුලිය පාවහන් කම්හල, කන්තලේ සීනි කම්හල, උඩවලව උළු කම්හල හා විදුලි යෝජනා ක්‍රමයට ප්‍රාග්ධනය වශයෙන් රුපියල් මිලියන 1,53,54,000ක මුදලක් හිමි වූවේ එම වෙළඳ ගිවිසුම්වල ප්‍රතිපලයන් ලෙසිනි. මෙය ඔහු විසින් 1956 මැතිවරණයට පෙර ලබා දෙන ලද මහජන එක්සත් පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත එක් පොරොන්දුවක් විය. විශේෂයෙන් ම මහජන එක්සත් පෙරමුණු රජයේ අභ්‍යන්තර ප්‍රතිපත්තීන් නිර්මාණය කරන ලද මතවාදය වූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නම් පංච මහා බලවේගයන්ගේ මතවාදය එම රජයේ විදේශ ප්‍රතිපත්තියට ඍජු බලපෑමක් ඇති කරනු ලැබීය. එම රජයේ බොහෝමයක් ප්‍රතිපත්තීන් සමාජවාදී මෙන් ම සිංහල ජාතිවාදී අපේක්ෂා මත පදනම් ව පැවති ආකාරයක් අධ්‍යයනය කළ හැක. එයට හේතුව වන්නට ඇත්තේ මහජන එක්සත් පෙරමුණේ ගාමක බලවේග ලෙස කටයුතු කළ පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සමසමාජ පක්ෂය, ඩබ්ලිව් දහනායකගේ භාෂා පෙරමුණ, ඊරියගොල්ල ඇතුළු නිදහස් අපේක්ෂකයන්ගේ බලපෑම විය හැකිය.

මෙකල දැකිය හැකි විශේෂත්වයක් වන්නේ මතු වෙමින් පැවති බල කඳවුරු කෙරෙහි ආකර්ෂණය නොවී නොබැඳි ආකාරයෙන් තම විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වීමට ලක් රජය ගත් උත්සහයයි. බණ්ඩාරනායක අගමැතිවරයාට පහසුවෙන් තම නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑමට හැකි වූ ප්‍රබල සාධක ගණනාවක් ජාත්‍යන්තර තලය තුළ ද උද්ගත වෙමින් පැවතිණි. 1950-1953 අතර කාලයේ පැවති කොරියානු යුද්ධයට ඇමරිකාව විසින් සිදුකරන ලද මැදිහත් වීම එරට සිතූ තරම් ප්‍රතිඵල දායක නොවූ අතර සිදු වූ පාඩුව අතිවිශාල විය. ඒ හේතුවෙන් ම එතෙක් බලයේ සිටි යුදකාමී ඇමරිකානු ජනාධිපතිවරයා වූ හැරී ටෲමන් පරාජයට පත් වූ පසු බලයට පත් රිපබ්ලිකන් පාක්ෂික අයිසන් හවර් ජනාධිපතිවරයා යුදවාදී හා ආක්‍රමණශීලී ප්‍රතිපත්තියෙන් බැහැර වෙමින් සුහදශීලී ප්‍රතිපත්තියක් දක්වා මාරු විය. ඊට අමතරව අනෙක් ප්‍රධානතම  බල කඳවුර වූ සෝවියට් දේශයේ යුදකාමී නායකයා වූ ජෝසෆ් ස්ටර්ලින් අභාවප්‍රාප්ත වී නිකීතා කෘෂෙව් නම් මධ්‍යස්තවාදී ප්‍රතිසංස්කරණවාදියෙකු බලයට පත් වී සිටියේය. මෙය නොබැඳි විදේශ ප්‍රතිපත්තියට බෙහෙවින් හිතකර පසුබිමක් සලසා දෙනු ලැබීය. ඒ හේතුවෙන් ම 1955 දී ලංකාවට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ද හිමි විය. 

ඊට අමතරව ආර්ථික සාධක ද මෙම නොබැඳි විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි බලපානු ලැබීය. මන්ද යත් ඒ වන විට ලංකාවේ ආදායම් තත්ත්වය ක්‍රමයෙන් පහළ වැටෙමින් තිබීමත් හා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය අතර පමණක් ආර්ථික සබඳතා පවත්වා ගැනීම ප්‍රමාණවත් නොවීමත්ය. ලංකාවේ විදේශ විනිමය තත්ත්වය හා බාහිර සම්පත්වල තත්ත්වය පහත වැටෙන්ට විය. විදේශීය වත්කම් 37%කින් ද, නිර්යාත ආදායම 21%කින් ද පහත වැටිණි. 1951-1952 මහ බැංකු වාර්තාවලට අනුව 1951දී දශලක්ෂ 1216ක් වූ මූල්‍ය තත්ත්වය 1952 දී 604.4ක් දක්වා අඩු වූ බව පෙන්වා දේ.

මෙම නොබැඳි විදේශ ප්‍රතිපත්තිය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ රජයෙන් පසුවද ඉදිරියට පැවති අතර ඉන් පසු රජයන් ද නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ගුරු කොට තකන්නට විය. එමගින් ලංකාව ලද ජාත්‍යන්තර අනන්‍යතාව හා ආර්ථික ප්‍රතිලාභ ඉතා විශාල වූ අතර එය මනාව කළමනාකරණය කිරීමට සමත් වූ යුගයක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ සමය සැලකිය හැකිය. ඒ අතර තුර කාල වකවානුවල බලය මෙහෙය වූ ඩඩ්ලි සේනානායක මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයන් ද නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලැබුමුත් විශේෂයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් රජය මෙහෙයවූ (1960-64 හා 1970-77) යුගයන්හි දී, ජාත්‍යන්තරය තුළ ඇයගේ නායකත්වය හා විදේශ සබඳතා කළමනාකරණය ප්‍රශංසාවට ලක් විය. 

විශේෂයෙන් ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බටහිර රාජ්‍යයන් හා නැගෙනහිර රාජ්‍යයන් සමඟ පැවැත් වූ විදේශ සබඳතා මෙන් ම කලාපීය සහයෝගිතාව වෙනුවෙන් කරන ලද මැදිහත් වීම සුවිශේෂී වේ. එහිදී කලාපීය අර්බුදයන් වූ ඉන්දියා-චීන ගැටුම (1962), ඉන්දු-පකිස්ථාන ගැටුම් වැනි අවස්ථාවල දී සුවිශේෂී මැදිහත් වීමක් සිදු කළ අතර සමාජවාදී රාජ්‍යයන්ගෙන් ලද ආධාර මත ලංකාවේ කාර්මික අංශයන්ගේද වර්ධනයක් සිදු විය. මේ සමයේ සිදු වූ විදේශ ප්‍රතිපත්තියේ වැදගත් ම  බලපෑම වන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ඉන්දියාව සමඟ පැවති කච්චතිව් දූපත සම්බන්ධයෙන් වූ අර්බුදය හා වතුකරයේ සිටි ඉන්දීය කුලී ශ්‍රමිකයන්ගේ අර්බුදය ශ්‍රී ලංකාවට වාසිදායක වන අන්දමින් විසඳා ගැනීමට හැකි වීම ය. කච්චතිව් දූපත සම්බන්ධයෙන් වූ එකඟත්වයේ දී ඉන්දිරා ගාන්ධි මැතිනිය වැනි පරිණත දේශපාලන චරිතයකින් බලාපොරොත්තු විය නොහැකි අකාරයේ නම්‍යශීලී බවක් දැකිය හැකි විය. මන්ද යත් කච්චතිව් දූපත ඉන්දියාව ලබා දීමට අකමැති වූවා නම් යුද්ධ කර එය ලබා ගැනීමට හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති වීමයි. මේ අනුව ලොව හතරවැනි යුද බලවතා තමන්ට අයිතිවාසිකම් කිව හැකි දූපතක් එසේ ලබා දීම ශ්‍රී ලංකාව විදේශ සම්බන්ධතා ක්ෂේත්‍රයේ දී ලද ඉමහත් ජයග්‍රහණයක් විය. 

ඇයගේ නායකත්වය මත 1976 වර්ෂයේ දී නොබැඳි සමුළුව ලංකාවේ පැවැත්වීමට හැකි වීම එම විදේශ ප්‍රතිපත්තියේ සුවිශේෂිතා පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය. විශේෂයෙන් ම 1971දී ඇතිවූ කැරැල්ල ක්ෂණිකව මැඩ පැවැත්වීම සඳහා සෙබළුන් ප්‍රවාහනයට හා වෙනත් කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා හා වෙනත් අවශ්‍ය අවි ආයුධ දින දෙක තුනක් ඇතුළත ලබා දීමට ඉන්දීය රජය කටයුතු කරනු ලැබූ අතර යම් යම් වාර්තාවලට අනුව එම ඉන්දීය ආධාරවල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 5.5ක් පමණ වන බව සඳහන් වේ. ඒ අනුව පෙනී යන්නේ පෙර පැවති කිසිදු යුගයකට වඩා මෙකල ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති විදේශ ප්‍රතිපත්තියේ සාර්ථකත්වයයි.


1977 සිට 1994 දක්වා.

නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සුවිශේෂී කඩ ඉමක් වන්නේ 1977 දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් එම ක්ෂේත්‍රයේ සිදු කරනු ලැබූ පුළුල් සංශෝධනයන් හේතුවෙන් ය. 1977 දී පවත්වන්නට යෙදුණු මහ මැතිවරණයෙන් අද්විතීය ජයග්‍රහණයක් හිමි කරගත් එක්සත් ජාතික පක්ෂය, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද සම්මත කර ගනු ලැබීය. මැතිවරණයට පෙර සිට ම ජයවර්ධන ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දු අතර නව දේශපාලන හා ආර්ථික සංශෝධනයන් හඳුන්වා දෙන බව ප්‍රකාශ කොට තිබිණ. එතෙක් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු මෙහෙය වීම භාර ව පැවතියේ නිල බලයෙන් ම රටේ අගමැතිවරයාට වූ අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරියා වූවේ ද ඔහුය. නමුත් 1978 සම්මත කරන ලද දෙවන ජනරජ ව්‍යවස්ථාව අනුව ඒ සඳහා වෙනම ම අමාත්‍යංශයක් පිහිට වූ අතර එයට ජාතික ආරක්ෂාව සම්බන්ධ වූ අමාත්‍යංශය ඒකාබද්ධ නොකරන ලදි. ජයවර්ධන ජනාධිපතිවරයා එලෙස විදේශ කටයුතු සම්බන්ධයෙන් වෙනම ම අමාත්‍යංශයක් පිහිටුවීමට පෙලඹෙන්නට ඇත්තේ ඒ වන විට ගෝලීය තලය තුළ ජාත්‍යන්තර සබඳතා වර්ධනය වෙමින් පැවතීමත් හා බොහෝ රාජ්‍යයන් තම විදේශ ප්‍රතිපත්ති නිර්මාණයට හා මෙහෙය වීමට වෙනම ම අංශයක් පිහිට වීම යන ප්‍රවණතා පාදක කර ගනිමින් විය හැකිය. මෙලෙස පිහිටුවනු ලැබූ විදේශ කටයුතු අමාත්‍යංශය මඟින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වීම පෙරට වඩා ඉතා සංවිධානාත්මක ව හා ක්‍රමානුකූල ව කරනු ලැබීය.

මෙසේ පිහිටුවනු ලැබූ නව විදේශ කටයුතු අමාත්‍යංශයේ වගකීම් වූවේ රජයේ සියලු විදේශ සබඳතා මෙහෙය වීම, විදේශයන් සමඟ තානාපති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාම, ජාත්‍යන්තර සංවිධානවල දී ලංකාව නියෝජනය කිරීම, විදේශයන් හා ගිවිසුම් හුවමාරු කර ගැනීම ආදියයි. මෙලෙසින් ඇති කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලාංකේය විදේශ ප්‍රතිපත්තිය තුළට නව මං විවෘත කරනු ලැබීය. විශේෂයෙන් ම එතෙක් පැවති සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවන ලද සමාජවාදී නැඹුරුවක් ගත් සංවෘත ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට දේශීය වශයෙන් ආර්ථික අවපාතයකට ලක් ව පැවති අතර රට අභ්‍යන්තරයේ ද විශාල අසහනකාරී තත්ත්වයන් වර්ධනය වෙමින් පැවතිණි. විශේෂයෙන් ම විදේශීය භාණ්ඩ ආනයනය සීමා කර තිබීම මඟින් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වීමත්, එම භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම් ඇති වීමත් නිසා රටේ ජනතාව ඉමහත් අසහනයට පත් ව සිටි බව අවබෝධ වේ. ඒ හේතුවෙන් ම 1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජයේ නායකත්වය දැරූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීම ඉතාමත් සුවිශේෂී විය. ඒ සමඟ මෙතෙක් පැවති අත්‍යාවශ්‍ය හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ හිඟය තුරන් වූ අතර ඉතා විශාල ලෙස පාඩු ලබමින් තිබූ රාජ්‍ය ආයතන පෞද්ගලික කිරීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කරනු ලැබීය. 

මෙම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය යටතේ විදේශීය ආයෝජකයන්ගේ පැමිණිම ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන්නට වූ අතර බොහෝමයක් ආයතන විදේශීය සමාගම් වෙත අලෙවි කරනු ලැබීය. එමගින් කෙටි කාලීන ලෙස ලංකාවේ විදේශීය සංචිතයන් ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය වූ අතර ආර්ථික වර්ධන වේගය ද ඉහළ යනු ලැබීය. නමුත් දීර්ඝකාලීන ව රටේ දේශීය කර්මාන්ත අංශයට එය මරු පහරක් විය.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී අසල්වැසි ඉන්දියාව සමඟ තිබූ සබඳතා ක්‍රමයෙන් දුරස්ථවන ආකාරයක් දැකිය හැකි වේ. 1977 සිට 1980 පමණ වන තෙක් ඉන්දියාවේ බලය මෙහෙය වූ දේශායි අගමැතිවරයාගේ රජය හා ලංකාවේ ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය අතර පැවති සබඳතා ඉතාමත් ම සමීප විය. නමුත් 1980 වර්ෂයේ දී දේශායි අගමැතිවරයාගේ රජය පරාජයට පත් කරමින් නැවත බලයට පත් ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ පාලන කාලය තුළ දී ඉතා ප්‍රබල ලෙසින් ම දෙරට අතර විදේශ සබඳතා අයහපත් තත්ත්වයකට පත්වන්නට විය. විශේෂයෙන් ම සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය හා ඉන්දිරා ගාන්ධි අගමැතිනිය අතර පැවති සමීප සම්බන්ධතාව හේතුවෙන් නිරතුරුවම ඉන්දියාවේ ආර්ථික ආධාර හා රැකවරණය ලංකාවේ නිදහස් පක්ෂයට ලැබීම එවකට විපක්ෂ නායකවරයා වූ ජයවර්ධන මහතාගේ ඉතා තද බල විවේචනයට ලක් වූ අතර සමකාලීන ව ම ඉන්දියාවේ ගාන්ධි රජය හා ලංකාවේ බණ්ඩාරනායක රජයන් පරාජයට පත් වීමෙන් අනතුරුව මෙම විවේචන ඉතා අපහාසාත්මක ලෙස ගාන්ධි පවුල වෙත එල්ල කිරීමට තරම් ජයවර්ධන ජනාධිපතිවරයා එඩිතර විය. ඊට අමතරව ජයවර්ධන රජයේ නව අගමැතිවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා එක් අවස්ථාවක දී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ හා ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ පාරජයන්ට නව අර්ථකතනයක් සපයමින් ප්‍රකාශ කරනු ලැබුවේ 

“මෙහෙත් එළදෙනයි වසු පැටියයි පරාදයි. එහෙත් එළදෙනයි වසු පැටියයි පරාදයි” ලෙසයි. 

ජේ. එන්. ඩික්සිත් තම කොළඹ භූමිකාව නම් කෘතියේ දක්වා ඇත්තේ ප්‍රේමදාස අගමැතිවරයාගේ එම ප්‍රකාශය පසුකාලීන ව ඇති වූ ඉන්දු ලංකා සබඳතාවන්ගේ අයහපතට ඍජු බලපෑමක් ඇති කරන ලද බවයි. 1977දී ඉන්දිරා කොංග්‍රසය ලත් පරාජය දෙස බැලූ ලෝකය ගාන්ධි මැතිනියගේ දේශපාලනය අවසන් යැයි උපකල්පනය කරනු ලැබීය. නමුත් නැවත ඉන්දියාවේ බලයට පත් ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ලංකාව සමඟ පැවති සබඳතා ලංකාවට අහිතකර වන ආකාරයෙන් වෙනස් කිරීමට උනන්දු වූ අතර ඇයගේ හිතවතිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබීම ද ඉන්දීය අගමැතිනියගේ කෝපයට හේතු වන්නට ඇත. 

දේශායි අගමැතිවරයා යටතේ පැවති ඉන්දීය රජයට තර්ජනයක් නොවූ ශ්‍රී ලංකාවේ බොහෝමයක් ප්‍රතිපත්තීන් ඉන්දිරා ගාන්ධි රජය යටතේ ඉන්දියාවට තර්ජනයක් වන්නට විය. ඒ අතර ප්‍රබල ලෙසින් ම තම භෞමික අඛණ්ඩතාවට බලපාන ලද සාධකයන් ලෙසින් ඉන්දීය රජය හඳුනාගනු ලැබූ වේ ශ්‍රී ලංකාව විසින් හඳුන්වා දෙන ලද විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් හේතුවෙන් බටහිර ආයෝජකයන්ගේ හා බහුජාතික සමාගම්වල ආගමනය, ත්‍රිකුණාමල වරාය විදේශීය බලවතුන් සඳහා විවෘත කිරීම (ඊශ්‍රායල, බ්‍රිතාන්‍ය හා දකුණු අප්‍රිකාව ඇතුළු), ඇමරිකානු හඬ සමඟ ගිවිසුම්වලට එළඹීම හා ඉන්දියාවේ පසමිතුරන් වන පකිස්ථානය හා චීනය සමඟ සමීප සබඳතා පැවැත්වීමයි. මෙහි දී ඇමරිකානු හඬ (Voice of America)  නම් ගුවන්විදුලි සේවය ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු ම යටිතල පහසුකම් ලබා දෙනු ලැබුවේ 1953දී එවකට ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසිනි. ඇමරිකානු හඬ ගුවන්විදුලිය නිරවි යුද සමයේ උච්චතම අවස්ථාවක් වූ 1953 වැනි යුගයක ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් විය. නමුත් නැවත සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ එහි සියලු කටයුතු නවත්වාලනු ලැබීය. කෙසේ වෙතත් මෙම ගැටලුන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ ඉන්දිරා ගාන්ධි අගමැතිනිය හා ජයවර්ධන ජනාධිපතිවරයා අතර පැවති පෞද්ගලික විරසකය දෙරටේ ම විදේශ ප්‍රතිපත්තියේ අයහපත් වාතාවරණය වර්ධනය වීමට ඍජු දායකත්වයක් ලබා දුන් බවයි. ඒ හේතුවෙන් ම මෙම කාලය තුළ පෙරටත් වඩා වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රශ්න කෙරෙහි සංවේදී වන ආකාරයෙන් තම විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවීමට ඉන්දියාව උනන්දු වූ ආකාරයක් අධ්‍යයනය කළ හැක.

රටක විදේශ ප්‍රතිපත්තිය තීරණය වීම කෙරෙහි එම රටේ අභ්‍යන්තර තත්ත්වයන් ද ප්‍රබල බලපෑමක් කරන බව පෙනී යන හොඳම නිදසුනක් වන්නේ ක්‍රමික ව වර්ධනය වෙමින් පැවති ජාතිවාදී අර්බුදය ජාත්‍යන්තර ගත වීම හේතුවෙන් ලංකාවට ඇති වූ විදේශීය අතපෙවීමය. විශේෂයෙන් ම ලංකාවට මැදිහත් වීමට අවශ්‍ය පසුබිමක් සොයමින් සිටි ඉන්දියාවට ලංකාවේ ජනවාර්ගික ගැටලුව හා 1983 කළු ජූලිය ඒ සඳහා සුදුසු ම අවස්ථාව විය. මෙම සිදුවීම හේතුවෙන් ලක්ෂ 2කට ආසන්න දෙමළ ජනතාවක් පීඩනයට පත් වූ අතර ඉන් 70,000ක් පමණ පිරිසක් තමිල්නාඩුව, යුරෝපයට, කැනඩාවට හා ඇමරිකාවට සංක්‍රමණය වී ඇති බව වාර්තා වේ. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට එවකට පැවති රජය ක්‍රියා නොකිරීම හා යම් යම් අවස්ථාවල දී එම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ඍජුව හා වක්‍රව සහයෝගය දීම හේතුවෙන් මානව හිමිකම් කඩ කිරීම හා සුළු ජාතීන් පීඩාවට පත් කිරීම යන හේතු සාධක යටතේ ජාත්‍යන්තරයේ අප්‍රසාදය ශ්‍රී ලංකාව වෙත එල්ල විය. එනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සාධක මුල් කර ගනිමින් බාහිර වශයෙන් රට අභ්‍යන්තරයට එල්ල වූ බලපෑම්වල ස්වභාවයයි.

ඉන්දිරා ගාන්ධි මැතිනියගේ නැවත දේශපාලන ආගමනයත් සමඟ ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය ලංකාවට අහිතකර ආකාරයෙන් සකස් වන්නට වූ අතර ජයවර්ධන පාලනය බලයෙන් පහ කිරීමට හෝ බලපෑම් කොට මෙල්ල කිරීමට ඉන්දීය පාලන තන්ත්‍රයට අවශ්‍ය විය. ඊට සුදුසු පසුබිමක් ලංකාවේ උතුරු ප්‍රදේශවල නිර්මාණය වෙමින් පැවති අතර උතුරේ දමිළ දේශපාලකයන් හා තරුණ පිරිස් අතර බහුතර සිංහල පාලනය කෙරෙහි කලකිරීම හා අසහනය වර්ධනය වෙමින් පැවතිණි. ඒ අනුව එවකට තමිල්නාඩු මහඇමති වූ එම්. ජී. රාමචන්ද්‍රන්ගේ අනුග්‍රහය ද සහිත ව ද්‍රවිඩ තරුණ කණ්ඩයම් වෙත යුද පුහුණුව, අවශ්‍ය අවි ආයුධ හා මූල්‍ය ශක්තිය ලබ දීමට ඉන්දීය රජයේ රෝ ඔත්තු සේවය කටයුතු කරනු ලැබූ අතර එම යුද පුහුණු වීම් බොහෝමයක් තමිල්නාඩුව තුළ දී ලබා දෙනු ලැබීය. ඒ අනුව උතුරේ තරුණයන් 2500ක් බැගින් වූ කණ්ඩායම් මදුරාසියට යැවීමෙන් අනතුරුව චක්රාටා, නවදිල්ලියේ රාමක්‍රිෂ්ණපුරම් ඇතුළු තවත් කඳවුරු අටක ද මෙම යුද පුහුණු වීම් ලබා දෙන ලදි. අත් අඩංගුවට ගත් උතුරේ තරුණයන්ගේ ප්‍රකාශ අනුව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් සකස් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව 1987 වන විට එල්. ටී. ටී. ඊ. සංවිධානයේ 2000ක්ද, ඊරෝස් සංවිධානයේ 1250ක් හා ටෙලෝ සංවිධානයේ 1500ක් ද ආදි වශයෙන් ඉන්දීය කඳවුරු තුළ දෙමළ තරුණ පිරිස් යුද පුහුණුව ලබා ඇත.

පොදුවේ ලෝක තලය තුළ රාජ්‍යයන් අතර ජාත්‍යන්තර සබඳතා සිදු කෙරෙන ආකාර කීපයක් හඳුනාගත හැක. එනම්;

  • සංවාදයන් තුළින් එකඟතාවයන්ට පැමිණීම.
  • ප්‍රධානයන් සිදු කිරීම.
  • සම්බාධක හෝ දඬුවම් පැමිණ වීම.
  • බලහත්කාරය යෙදවීම.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉහත දැක්වූ සියලුම ක්‍රමවේදයන් අනුගමනය කරන ලද බව ද මතක තබා ගත යුතු කරුණකි. 

මෙලෙස තරුණ පිරිස් වෙත යුද පුහුණුව ලබා දීම තුළින් ඉන්දීය පාලනය විශ්වාස කරන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ ජයවර්ධන පාලනය බිඳ දමා තමන්ට හිතවත් පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම විය හැකිය. එය සනාථ කරමින් එකල ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ජේ. එන් ඩික්සිත්ගේ ප්‍රකාශයක් ගෙන හැර දැක්විය හැකිය. ඩික්සිත් විසින් රචිත “Colombo Assignment” නැමති කෘතියෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති විදේශ සම්බන්ධතාවන්හි ස්වරූපය පෙන්නුම් කරනු ලබයි. ඔහුට අනුව “රෝ සංවිධානය දෙමළ සටන්කාමීන් සමග පවත්වන සබඳතා හේතුවෙන් ශ්‍රී ලංකා රජයට ඇති වන පීඩනය තුළින් බටහිරට හිතවත් හා ඉන්දියානු විරෝධී මෙන් ම දෙමළ විරෝධී ප්‍රතිපත්තියෙන් ඇය ඉවත් කර ගැනීම එහි අරමුණ වූ බවයි.”  ඒ අනුව ශ්‍රී ලංකාවෙ කෙරෙහි ද ඉන්දියාව දැක්වූ බලපෑම ඉහත න්‍යායාත්මක අර්ථ දැක්වීම අනුව හඳුනාගත හැකිය. 

කෙසේ වෙතත් 1984 ඉන්දිරා ගාන්ධි මැතිනියගේ ඝාතනයෙන් අනතුරුව ඉන්දියාවේ අගමැතිධුරයට පත් රජීව් ගාන්ධි ද ඉන්දියාවේ බලපෑම් සහගත ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යනු ලැබීය. ඒ අනුව ඔහු ද ලංකාවේ ජනවාර්ගික අර්බුදය පදනම් කර ගනිමින් ඊට මැදිහත් වීමට කටයුතු සම්පාදනය කරනු ලැබීය. එහි උච්චතම අවස්ථාව වන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඍජුව ම මැදිහත් වෙමින් 1987දී ශ්‍රී ලංකා ස්වාධිපත්‍යයට අයත් ගුවන උල්ලංඝනය කරමින් යාපනයට ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් හෙළීමයි.(ඔපරේෂන් පූමාලෙයි) මෙය එක් අතකින් ඉන්දියාව විසින් තම බලය අයුතු ලෙස භාවිතා කරමින් තවත් ස්වෛරී රාජ්‍යයකට අනිසි මැදිහත් වීමක් වූ අතර ශ්‍රී ලංකා රජය ද කල් තියා ඇති වෙමින් පැවති මෙම අර්බුදයේ පරිසරය යථා පරිදි සමබර නොකර ගැනීමේ අදූරදර්ශී ක්‍රියාකලාපය ද පිළිබිඹු වන්නකි. මෙම ක්‍රියාවලිය නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ වූ ප්‍රබල ම ඇදවැටීම වන බව බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත. 

ඉන්දීය මැදිහත් වීම රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් වුවත් කිසිදු අවස්ථාවක ඉන්දියාවට බලපෑම් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපත් නොවූ අතර හුදු හෙළා දැකීමකට පමණක් එය සීමා වූ බව එකල ජිනීවා නුවර තානාපති නිලධාරියෙකු ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතාගේ මතය වී ඇත. කෙසේ වෙතත් රජිව් ගාන්ධිගේ මැදිහත් වීම මත ජයවර්ධන ජනාධිපතිවරයා අතර 1987 දී අත්සන් කරන ලද සුප්‍රසිද්ධ ඉන්දු-ලංකා ගිවිසුම ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ දී ඉමහත් ආන්දෝලනයකට ලක් විය. 1987 ජූලි මස 29වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි හා ශ්‍රී ලංකා ජනාධිපති ජයවර්ධන අතර අත්සන් තැබුණු ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව තුළ සාමය ස්ථාපිත කිරීමට හා එමගින් ශ්‍රී ලංකාව බාහිර ලෝකයත් සමඟ ඇති සබඳතා යම් තරමකට බැඳ දැමීමට ඉන්දියාව සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස උතුරේ සන්නද්ධ කණ්ඩයම් හා රජයේ හමුදා අතර මතුව තිබූ ගැටුම් සමතයට පත් කිරීම සඳහා ඉන්දීය සාම සාධක හමුදාවක් ලංකාවට එවීමට කටයුතු කළ අතර ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධනයක් හඳුන්වා දෙනු ලැබීය. එය 13වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස ප්‍රකට වන අතර එමගින් පළාත් සභා පිහිටුවා පසුව පොලිස් හා ඉඩම් බලතල ඒ සඳහා ලබා දීමට යෝජිත විය. 

මෙම ගිවිසුමට ශ්‍රී ලාංකේය සමාජය තුළින් ප්‍රබල විරෝධයක් එල්ල විය. නමුත් ආරම්භයේ දී ඉන්දීය සමාජය තුළින් මේ සම්බන්ධයෙන් විරෝධයක් මතු නොවූවත් සාම සාධක ක්‍රියාවලිය යුද ව්‍යාපාරයක් දක්වා වර්ධනය වීමත් සමඟ එය රජිව් ගාන්ධිගේ පෞද්ගලික දුර්වලතාවක් ලෙස හුවා දැක්වීමට එරට විපක්ෂ කණ්ඩායම් සමත් විය. සාම සාධක හමුදා භටයන් 1200ක් පමණ ලංකා භූමිය තුළ  මියගොස් සිටිය දී පවත්වන ලද ඉන්දීය මහ මැතිවරණය තුළ දී කොංග්‍රස් පක්ෂයට තවත් අපහසුතාවට පත් සිදුවීමක් වූවේ නව ජනාධිපතිවරයා ලෙස පත් රණසිංහ ප්‍රේමදාස මහතා ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට අවසන් දින නියම කිරීමයි. ඒත් සමඟ ඇති වූ කැළල හේතුවෙන් රජිව් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂය 1989 මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ අතර ලොව සතරවෙනියට ප්‍රබල ම යුද ශක්තියක් හෙබි ඉන්දියාව, ශ්‍රී ලංකාව තුළ දී යුදමය වශයෙන් ලද අසාර්ථකත්වය මත ඇතිවූ ජීවිත හා මුදල් හානිය, ඉන්දියාවේ ප්‍රතිරූපයට සිදු වූ හානිය යනාදිය හා අවසානයේ 1991 වසරේ මැයි 21 වන දා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදූර් නමැති ස්ථානයේ දී රජිව් ගාන්ධි මහතා ඝාතනයට ලක් වීම යන කරුණු කාරණාමත ඉන්දියාව ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තියේ  දුර්වලතා අනාවරණය වේ.

වර්තමානය දක්වා ම ඉන්දියාව හා ලංකාවේ විදේශ ප්‍රතිපත්තීන්හි සුවිශේෂ මං සලකුණක් වන්නේ 1987 ඉන්දු- ලංකා ගිවිසුමයි. ඒ සම්බන්ධයෙන් බොහෝ ඉන්දීය විචාරකයන්ගේ මතය වන්නේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සතු වූ රාජ්‍ය තාන්ත්‍රික කපටි ඥානයට ඉන්දීය අගමැති රජිව් ගාන්ධි රැවටුණු බවයි. නමුත් බොහොමයක් ශ්‍රී ලාංකික විචාරකයන්ගේ මතය වන්නේ රජීව් ගාන්ධිගේ බලපෑමට ජයවර්ධන ජනාධිපතිවරයා යටත් වූ බවයි. 

කෙසේ වෙතත් ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසු බලයට පත් වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට රට අභ්‍යන්තරයේ මෙන් ම බාහිර වශයෙන් උද්ගත වෙමින් පැවති විශාල අර්බුදයන් රැසකට මුහුණ දීමට සිදු වූ අතර රට තුළ පැවති තත්ත්වය ඉතාමත් බැරෑරුම් විය. ඔහු පදවි ප්‍රාප්ති වන්නේ වසර දොළහක් පැවති ජේ. ආර්. ජයවර්ධන පාලනයේ අවසාන භාගයේ මතු වුණ අර්බුදකාරී බවේ උච්චතම අවස්ථාවේදී ය. ජනාධිපති ලෙස පත් වීමෙන් අනතුරුව රටේ පැවති ස්වභාවය පෙන්නුම් කරමින් ඔහු ප්‍රකාශ කලේ “මට ලැබුණේ දෙකොන පත්තු වුණ විලක්කුවක්” වන බවයි. එලෙස පැවසීමට හේතුව වූයේ,

උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි වර්ධනය වෙමින් පැවති ආයුධ සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරයන්.

දකුණේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය රාජ්‍ය විරෝධී සන්නද්ධ ව්‍යාපාරය.

මේ සමයේ දී ඉන්දියාවට අමතර බටහිර රාජ්‍යයන් අතර ද පැවති විදේශ සම්බන්ධතා දුර්වල වන ආකාරයක් දැකිය හැකිය. ඉන්දු-ලංකා ගිවිසුමත්, ඉන්දීය හමුදාව ලංකාවේ රැඳී සිටීමත් සම්බන්ධයෙන් මුල සිට ම ප්‍රේමදාස මහතාගේ සිත තුළ පැවතියේ දැඩි විරෝධයකි. ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව බත්තරමුල්ල චිත්ත විවේකාරාමයේ පැවති රැස්වීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ 1989 ජූලි 31වනදාට ප්‍රථම ඉන්දීය හමුදාව ලංකාවෙන් පිට විය යුතු බවයි. ඊට අමතරව අප්‍රසිද්ධියේ ප්‍රේමදාස රජය විසින් ඉන්දිය හමුදාවට විරුද්ධව කටයුතු කිරීමට අවශ්‍ය අවි ආයුධ හා මුදල් එල්. ටී. ටී. ඊ සංවිධානයට සැපයූ අතර ඉන්දීය හමුදාව ද දෙමළ කොටි සංවිධානය මර්දනය කිරීම සඳහා ඒ වන විට පිහිටුවා තිබූ උතුරු-නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති වූ වර්ධරාජා පෙරුමාල්ගේ දෙමළ ජාතික හමුදාවට යුද ආධාර හොර රහසේ ම ලබා දෙනු ලැබීය. දෙපාර්ශවයේ මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් දෙරටේම රාජ්‍ය තාන්ත්‍රික දුරස්ථභාවය තව දුරටත් වර්ධනය වීම සිදු විය. ශ්‍රී ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා, ඉන්දියානු සාම සාධක හමුදා 1990 මාර්තු වන විට ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලදි.

විශේෂයෙන් ම ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ දී මහා බ්‍රිතාන්‍ය සමඟ පැවති සබඳතා ඉතාමත් ම දුර්වල වූ අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හා ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලය ලංකාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදි. බොහෝ විචාරකයන්ගේ මතය වී ඇත්තේ මෙම සමය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැවති අඳුරුතම කාල පරිච්ඡේදය වූ බවයි. 1993 වසරේ පැවති මැයි දින රැළියේ දී කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රේමදාස ජනාධිපතිවරයා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මගින් ඝාතනය කරනු ලැබීය.  


1994න් පසු යුගය.

ඉතා දීර්ඝ වකවානුවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අයහපත් ලක්ෂණ වියැකී යාමට පටන් ගනු ලබන්නේ 1994දී පැවති මහ මැතිවරණයෙන් පසුව පොදු ජන එක්සත් පෙරමුණ යටතේ නව ජනාධිපතිනිය ලෙස පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමයේ දී ය. විශේෂයෙන් ම ඇයගේ දෙමාපියන් ලොව පිළිගත් දේශපාලකයන් වීම, ඇය බටහිර අධ්‍යාපනය ලද තැනැත්තියක් වීම, ඉන්දියාව හා බටහිර ප්‍රජාවට හිතවත්කම ඇති, රාජ තාන්ත්‍රික අවබෝධය ඇති තැනැත්තියක් වීම යන කරුණු මත නැවත ලංකාවේ විදේශ සම්බන්ධතා යහපත් තත්ත්වයකට ලක් වන ආකාරයක් දැකිය හැකි වේ. තවද ඇයගේ ප්‍රධානතම දේශපාලන පොරොන්දු වූයේ ද උතුරු නැගෙනහිර අර්බුදය සඳහා සාමකාමී විසඳුමක් ලබා දීම හා නව සමාජ ක්‍රමයක් තුල පැවති ආර්ථික විනාශය හා අස්ථාවරත්වය දුරු කරමින් වංචාව, දූෂණය හා භීෂණය තුරන් කරන බවයි.

ඒ අනුව ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය පෙර පැවති සමාජ, දේශපාලන හා ආර්ථිකයට සාපේක්ෂව නැවත අංශ කීපයක් යටතේ තම විදේශ ප්‍රතිපත්තිය සාර්ථකව ගොඩනගා ගන්නා ආකාරයක් දැකිය හැකි විය.

අස්ථාවර තත්ත්වයක පැවති ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නැවත ලෝක ප්‍රජාවේ විශ්වාසය දිනා ගත හැකි තත්ත්වයක් දක්වා පරිවර්තනය කිරීම.

ජාත්‍යන්තර ප්‍රජාවට අවබෝධයක් ලබා ගත හැකි ආකාරයෙන් ඉතා විනිවිද ආකාරයෙන් යුතු ව ජනවාර්ගික අර්බුදය සඳහා විසඳුමක් සෙවීමට උත්සාහ කිරීම.

මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව උනන්දුවකින් කටයුතු කිරීම.

විදේශ සම්බන්ධතා ක්ෂේත්‍රයේ දී ශ්‍රී ලංකාව සමඟ විරසක ව සිටි රාජ්‍යයන් සමඟ නැවතත් හොඳ හිත වර්ධනය කර ගැනීමට සමත් වීම.

(ජනාධිපතිනිය තම පදවි ප්‍රාප්තියෙන් පසුව සිදු කරන ලද පළමු විදේශය සංචාරය ඉන්දියාව වෙත සිදු කරන ලද අතර බ්‍රිතාන්‍ය, ඇමරිකාව හා ඊශ්‍රායලය සමඟ නැවතත් යහපත් විදේශ සබඳතා ආරම්භ කරනු ලැබීය.)

පැවති සිවිල් යුද තත්ත්වයට විසඳුමක් සෙවීම සඳහා සටන් විරාමයක් රජය විසින් යෝජනා කළ අතර නැවත වතාවක් එල්. ටී. ටී. ඊ. සංවිධානය අතර සාම සාකච්ඡා ආරම්භ විය. නමුත් නව රජය බලයට පත් වී මාස අටක් යාමටත් මත්තෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානය සාම ගිවිසුමෙන් ඒකපාර්ශවික ව ඉවත් වූ අතර 1995 අප්‍රේල් 19වනදා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික යාත්‍රා දෙකක් ත්‍රිකුණාමලයේ දී පුපුරවා හරිමින් නැවතත් යුද්ධයට අවතීර්ණ විය. ඒ අනුව “සාමය සඳහා යුද්ධය” යන තේමාව යටතේ නැවත යුද්ධයට අවතීර්ණ වූ චන්ද්‍රිකා රජයේ විදේශ ඇමති ලෙස කටයුතු කළ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය යුද්ධ කාල සීමාව තුළ දී ඉතා යහපත් ආකාරයෙන් මෙහෙය වීමට සමත් විය. මෙම වකවානුවේ ආරම්භක අවධියේ දී රජය පැහැදිලි වර්ධනයක් යුද්ධයේදී මෙන් ම ජාත්‍යන්තර අංශවල දී ලබා ගනු ලැබූවත්, 2000 වසරේ අලිමංකඩ පරාජයෙන් හා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල වූ මරා ගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ලංකාව ජාත්‍යන්තරය තුළ විශාල අපකීර්තියකට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ද ඉතිහාසයේ පළමු වතාවට ඍණ තත්ත්වයක් දක්වා පහත වැටුණි. 2001 වසර වන විට නිදහසෙන් පසු ලංකාව මුහුණ පෑ දරුණුතම ආර්ථික පරිහානියට මුහුණ දුන්නේ ය. දළ දේශීය නිෂ්පාදිතය 2.5%කින් අඩු විය.

බොහෝ විදේශීය රාජ්‍යයන් ශ්‍රී ලංකාව වෙත කරන ගුවන් ගමන් මෙම ව්‍යසනය හේතුවෙන් ම නවතා තැබීමට කටයුතු කරනු ලැබූ අතර තවත් බොහෝමයක් රාජ්‍යයන් ලංකාව සංචාරය කිරීම සඳහා නුසුදුසු රටක් ලෙස නම් කරනු ලැබීය. ඊට අමතරව බොහෝමයක් විදේශය සමාගම් ද ලංකාවේ ආයෝජනය කිරීමට පසුබට වූ අතර පැවති විදේශය සමාගම් ද තම ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගනු ලැබීය. බොහෝමයක් රක්ෂණ සමාගම් ශ්‍රී ලංකාවේ වාරයන්වලට පැමිණෙන වාණිජ නෞකා හා අනෙක් නෞකාවන් සඳහා වූ රක්ෂණයට දෙගුණයක මිල ගණන් කැඳවූ අතර යම් අවස්ථාවල දී ලංකාවට පැමිණෙන නෞකාවන් රක්ෂණය කිරීම ප්‍රතික්ෂේප ද කරනු ලැබීය. 

මෙම අර්බුදය හමුවේ රට අභ්‍යන්තරයේ පැවති තත්ත්වයන් ද ඉතාමත් ම අයහපත් වූ අතර ජනාධිපතිනිය විසින් 2001 වසරේ දී රජය විසුරුවා හරිනු ලැබීය. පැවති තත්ත්වයත් සමඟ 2001 වසරේ දෙසැම්බර් 05දා පැවැත් වූ මහ මැතිවරණයෙන් පාලක පොදු ජන එක්සත් පෙරමුණු රජය පරාජය කරමින් නව රජයක් පිහිට වීමට එක්සත් ජාතික පක්ෂය සමත් වූ අතර එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් විය. විශේෂයෙන් ම ජනාධිපතිවරයා එක් පක්ෂයකින් ද, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය වෙනත් පක්ෂයකින් ද නියෝජනය කළ අවස්ථාවක් විය.

වික්‍රමසිංහ මහතා එදා මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ සාමය පිළිබඳ ජනතාව තුළ අපේක්ෂාවන් නංවාලමිනි. එක් අතකින් ලංකා රජයේ හමුදා අලිමංකඩ පරාජයට පත්වීම, රටේ අනාරක්ෂිත වාතාවරණයක් ඇතිවේයැයි ඇතිවී තිබූ බිය, එමෙන් ම රටේ ආර්ථිකය ඉතා පහත් තත්ත්වයකට වැටී තිබීම ආදී කරුණු වික්‍රමසිංහ මහතාගේ බලයට පැමිණීමට මඟ හෙළි කළේ ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම මූලික අවධානය අංශ කීපයක් යටතේ මෙහෙය වනු ලැබීය. එනම්;

ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථික තත්ත්වය නැවත නගාසිටුවීම සඳහා විදේශයන්ගෙන් ආධාර හා උපකාර ලබා ගැනීම.

විදේශීය රාජ්‍යයක මැදිහත් වීම මත එල්. ටී. ටී. ඊ. සංවිධානය අතර සාම සාකච්ඡා ආරම්භ කරමින් ලෝක ප්‍රජාව අතර විනිවිද භාවයක් ලංකාව කෙරෙහි ඇති කර වීම.

ඒ අනුව බලයට පත් වූ වහාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා සහයෝගය ලබා ගැනීමට හා උතුරු-නැගෙනහිර පළාත් නැවත පුනරුත්තාපනය කිරීමේ අරමුණින් ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ජපානය හා ඉන්දියාව යන රාජ්‍යයන් වෙත සංචාරය කරනු ලැබීය. එහිදී ඉන්දීය සංචාරය අතිශයින් ම වැදගත් වූ අතර කලාපීය බලවතා වන ඉන්දියාවේ සහයෝගය ඊට හිමි විය.

මේ අනුව වික්‍රමසිංහ මහතාගේ සාමය ගෙන ඒම ගැන රටේ ජනතාව තුළ මහත් විශ්වාසයක් පැවතිණි. කෙසේවෙතත් විපක්ෂය නියෝජනය කළ දේශපාලන පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාගේ සාමය පිළිබඳ පොරොන්දු දෙස සැක මුසුව බැලුවේ ය.

ඔවුන් දිගින් දිගටම කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සහ එ. ජා. ප. ය, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ හොර ගිවිසුමක් අත්සන් කර ඇති බවයි. මේ ගිවිසුම අලි - කොටි ගිවිසුම ලෙස මැතිවරණ වේදිකාවල නිතරම කතාබහට ලක් විය.

තවද වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයත් සමඟ ම එල්. ටී. ටී. ඊ. ය 2001 දෙසැම්බර් 25 වැනිදා සිට නිල නොවන මට්ටමින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේ ය. මෙය ජනතාව තුළ එක් අතකින් සුබවාදී බලාපොරොත්තු ඇති කරවන්නක් විය. ඒ සමඟ ම චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව විසින් විශ්වාස නැතැයි කියමින් අතහැර දමා තිබූ සාම නියෝජිතයන්ට ද වික්‍රමසිංහ මහතා විසින් ආරාධනා කරනු ලැබුවේය. එ.ජා.ප. ආණ්ඩුව කොළඹ තිබූ ආරක්ෂිත රැකවල් ද ටිකෙන් ටික ලිහිල් කිරීමට කටයුතු කළේය. ඒ සටන් විරාමය සඳහා පසුබිමක් ඇති කිරීමට ය. ඒ අනුව නෝර්වේ රාජ්‍යයේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා ආණ්ඩුව හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර 2002 වසරේ පෙබරවාරි 22දා සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනු ලැබූ අතර දශක දෙකකටත් ආසන්න කාලයක් පැවති සිවිල් යුද තත්ත්වයට විසඳුම් සෙවීමට කරන ලද උත්සාහයන් වෙනුවෙන් ජාත්‍යන්තරයේ ප්‍රසාදය ද වික්‍රමසිංහ රජයට හිමි විය. ඒ අනුව සාම සාකච්ඡා ජාත්‍යන්තර මැදිහත් වීම හමුවේ අවස්ථා කීපයකදීම ලංකාවෙන් පිටත දී පැවැත්වීය. 

  • 2002 සැප්තැම්බර් 16 වන දා තායිලන්තය.
  • 2002 ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 03 දක්වා තායිලන්තය.
  • 2002 දෙසැම්බර් 02 සිට 05 දක්වා නෝර්වේහි ඔස්ලෝ නගරයේ.
  • 2003 ජනවාරි 07-08 තායිලන්තය.
  • 2003 පෙබරවාරි 07-08 ජර්මනියේ බර්ලින් නගරයේ.
  • 2003 මාර්තු 18-21 ජපානයේ ටෝකියෝ නුවරත් පැවැත්විය.

ඊට අමතරව ඉන්දියාව සමඟ විදේශ හා ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දෙ දින නිළ සංචාරයක් සඳහා 2003 ඔක්තෝබර් 20දා පිටත්ව ගිය අතර එහිදී දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා සීපා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් ද සිදු විය. තවද මෙම සංචාරය අතර වාරයේ දී එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ පැවැත්වෙන සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු විය. මන්ද යත් මේ වන විට එල්. ටී. ටී. ඊ. සංවිධානය සාම සාකච්ඡා වර්ජනය කර තිබූ අතර ජපානයේ ටෝකියෝ නුවර පැවති සාම සාකච්ඡා සඳහා සහභාගී නොවීය.

බිඳ වැටී තිබුණු ආර්ථිකය යථා තත්ත්වය පත් කිරීම සඳහා එ.ජා.ප ආණ්ඩුව දැඩි බදු ප්‍රතිපත්ති සහ වෙළඳපොළ හිතවාදි ප්‍රතිපත්ති අනුගමනය කරනු ලැබීය. මෙය විශාල පරිමාණයේ ආයෝජන හා ආර්ථික වර්ධනයක් කෙරේ මඟ පැදීය. ආණ්ඩුව, ආයෝජන මණ්ඩලය, කුඩා සහ ග්‍රාමීය ව්‍යවසාය පිළිබඳ අමාත්‍යංශය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැනි ප්‍රධාන ආර්ථික ආයතන පිහිටුවීය. මෙමගින් 2003 අග වන විට 6%ක තරම් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි විය. උද්ධමනය ද 2%ට වඩා අඩු විය. 

නෝර්වේජියානු පහසුකම් හා ජාත්‍යන්තර සහය ඇතිව පැවතුණු 2002-2003 සාම කි‍්‍රයාවලිය 2006 වන විට යළිත් පණගැන්විය නොහැකි ලෙස අඩපණ විය. දෙපාර්ශවය විසින් ම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළේ ය. සටන් විරාම ගිවිසුම කඩ කිරීම් පිළිබඳ එල්. ටී. ටී. ඊ. සංවිධානයට එරෙහිව පැමිණිලි 1403ක් ද, ආරක්ෂක අංශයන් ට එරෙහි පැමිණිලි 365ක් ද ඉදිරිපත් වී තිබුණි.

එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් සිදු කළ නිරන්තර සටන් විරාම ගිවිසුම කඩ කිරීම සහ හමුදා නිලධාරීන් ඝාතනය නිසා, ජවිපෙ හා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය වැනි ඊට සම්බන්ධ අනෙකුත් සංවිධානයන්හි උද්ඝෝෂණ ඉහළ යන්නට විය. ඔවුන් මහජනතාවට අවධාරණය කළේ වික්‍රමසිංහ එල්. ටී. ටී. ඊ යට බොහෝ දේ ලබා දෙන බවයි. සිහළ උරුමය වැනි දැඩි මතධාරී බෞද්ධ සංවිධාන ද එම චෝදනාවම එල්ල කළ අතර, බටහිර ඉවැන්ජලික ක්‍රිස්තියානි සංවිධානවලට උදව් දීම මගින් අන්‍යාගමිකරණය හා බුදු දහම අනතුරේ හෙළීම පිළිබඳ ව අගමැති වික්‍රමසිංහගේ රජයට ඉතා බරපතල ලෙස චෝදනා කළහ.

අගමැති වික්‍රමසිංහ වොෂින්ටනයේ සංචාරයක් සඳහා ගොස් සිටිය දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ජනමාධ්‍යය, ආරක්ෂක හා අභ්‍යන්තර කටයුතු යන අමාත්‍යාංශ තමා යටතට පවරා ගනු ලැබීය. එ.ජා.ප ආණ්ඩුව ජාතික උරුමයන් විදේශිකයන්ට විකුණන බවට චෝදනා කරමින් කුමාරතුංග සහ විපක්ෂ කණ්ඩායම් විසින් රනිල් වික්‍රමසිංහ ‘පාවා දෙන්නෙකු’ යැයි කියමින් විශාල මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන ගියහ. අනාගතයේ දී පැවැත් වීමට නියමිත මැතිවරණයක පෙරනිමිති පල කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ 2004 මුල දී එක්සත් ජනතා නිදහස් සංධානය (UPFA) ගොඩනගා ගනු ලැබීය. කුමාරතුංග ජනාධිපතිනිය 2004 පෙබරවාරි මාසයේ දී මනාව සැලසුම් කළ ප්‍රකාශයක් කරමින් පැය 24ක් ඇතුළත ජාතික ඒකාබද්ධතාව ආරක්ෂා කිරීම පිණිස පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ප්‍රකාශ කළා ය. අනතුරුව 2004 වසරේ අප්‍රේල් 2 පැවති මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සංධානය විසින් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කරන ලදි. 

2005 නොවැම්බර් 17 දා පැවති ජනාධිපතිවරණයෙහි දී හිටපු අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක මෙන් ම එක්සත් ජාතික පක්ෂයෙහි නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තරඟ වැදීම සඳහා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහින්ද රාජපක්ෂ මහතා තෝරා ගන්නා ලදි. එ.ජා.ප නායකත්වය විසින් විශාල මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගියද, මහින්ද රාජපක්ෂ මහතා විසින් ඡන්ද 190,000ක සුළු පරතරයකින් යුත් ජයග්‍රහණයක් ලබා ගත්තේ ය. විපක්ෂය විසින් කියා සිටියේ එල්. ටී. ටී. ඊ. ය විසින් ඡන්දය වර්ජනය කරන ලෙසින් උතුරු හා නැගෙනහිර ඡන්දදායකයන් වෙත කල නියෝගය වෙතින් ඔවුන්ගේ පරාජය සිදු වූ බවයි. මෙම ප්‍රදේශ වල බොහෝ ඡන්දදායකයන් විසින් ඡන්දය භාවිතා කිරීම, බලහත්කාරයෙන් මැඩපවත්වන ලද අතර, එම ඡන්දදායකයින් විසින් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ එ.ජා.ප පක්ෂය මැතිවරණයෙන් බලයට පත් වීමකට ප්‍රසාදයෙන් සිටි බව පැවසිණි. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ හිටපු සාමාජිකාවක් වන තමිලනී ජෙයක්කුමාරන් විසින් රචිත තියුණු අසිපත සෙවන යට නම් කෘතියෙන් ද එම මතය සනාථ කර ඇත. එහිදී තමිල්චෙල්වන් විසින් දේශපාලන අංශයේ වඟකීම් භාර අයගේ රැස්වීමකදී ප්‍රකාශ කොට ඇත්තේ ප්‍රභාකරන් විසින් මහින්ද රාජපක්ෂ අපේක්ෂකයාට ඡන්දය දෙන මෙන් ජනතාව පොළඹවන්න කටයුතු කළ යුතු බවයි. එල්. ටී. ටී. ඊ. සංවිධානය සතුව පැවති වැරදි සහගත අධිවිශ්වාසය කෙරෙහි හොඳම නිදසුන මෙම තමිල්චෙල්වන්ගේ ප්‍රකාශය වන බව තමිලනීගේ මතයයි.

“මහින්ද ජනාධිපති වුණොත් අනිවාර්යයෙන්ම යුද්ධය පටන් ගන්නවා. මේ විදිහට මුං එක්ක සාකච්ඡා තිය තියා ඇදි ඇඳි ඉන්නවට වඩා යුද්දෙ පටන් ගත්තොත් අපි තමයි දනන්නේ. ඒකට ගැලපෙන එක්කෙනා  එයා තමයි”

කෙසේ වෙතත් රාජපක්ෂ මහතාට ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 50.3% ක් හිමි වී තිබුණි. ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව කැබිනට් අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කල රාජපක්ෂ මහතා, 2005 නොවැම්බර් 23 දින දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයෙහි ආරක්ෂක සහ මුදල් අමාත්‍යධුර දෙක තමා යටතට ගනු ලැබීය.

2005 නොවැම්බර් මාසයේ දී සිංහල ජාතිකවාදී බලවේගවල සහයෝගය මත බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා එල්. ටී. ටී. ඊ ය සමඟ සාකච්ඡා නැවතත් ආරම්භ කිරීමට උත්සාහ ගත්තේ ය. 2006 වසර මුලදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී සාකච්ඡා වට දෙකක් පැවතුනත් ඒවායින් එතරම් ප්‍රතිඵල නොලැබුණි. මේ වන විට පාර්ශව දෙකම පැමිණ තිබූ නිගමන ලෙස පෙනුණේ තම තමන්ගේ ඒකපාර්ශවීය අරමුණු ඉදිරියට දැමීමට තිබුණු හොඳම විකල්පය යුද්ධය යන්න බවයි. 

මෙම පරිච්ඡේදය මඟින් මූලික වශයෙන් 2010-2015 සමයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අධ්‍යයනය සඳහා මුල පීරීමක් ලෙස ඊට අත්‍යවශ්‍ය සාධකයක් වන නිදහසින් පසු විදේශ ප්‍රතිපත්තියේ විකාශනය කෙරෙහි කෙටියෙන් අවධානය යොමු කරනු ලැබීය. ඒ අනුව එමඟින් අධ්‍යයනය කළ හැකි වූ නිගමන වන්නේ 1948 නිදහසේ සිට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය වීම කෙරෙහි රට අභ්‍යන්තර සාධක මෙන් ම එම අභ්‍යන්තර සාධක  කෙරෙහි ද ජාත්‍යන්තර සාධක බලපෑම් ඇති කරන ලද බවයි. ඒ අනුව එම සාධක අන්‍යෝන්‍ය වශයෙන් එකට බැදී පවතින බව ද අවබෝධ කර ගත හැක. ඊට අමතර ව ගම්‍ය වන අනෙක් කාරණය නම් ක්‍රමයෙන් වර්ධනය වූ ජනවාර්ගික අර්බුදය ක්‍රමයෙන් බෙදුම්වාදී ව්‍යාපාරයක් බවට පත් වී එය රටේ තත්ත්වය ජාත්‍යන්තර කරණය කරන ලද බවයි. ඒ හේතුවෙන් ම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය එම බෙදුම්වාදී ව්‍යාපාරයට උචිත ලෙස සකස් කිරීමට පාලකයන්ට සිදු විය. 

මූලාශ්‍ර අධ්‍යයනයේදී පෙනී යන්නේ යටත් විජිත යුගයට පෙර විවිධ ජනවර්ගයන්ට අයත් ජනතාව සහජීවනයෙන් ජීවත් වූ බවයි. කෙසේ නමුත් යටත් විජිත බලධාරීන් විසින් හඳුන්වා දෙන ලද බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය (Divide and Rule) හෙවත් බෙදා පාලනය කිරීම හේතුවෙන් ජාතීන් අතර අනවබෝධයක් වර්ධනය වීම සිදු වූ අතර එය දකුණු ආසියාවේ මෙන් ම ලොව බොහෝමයක් යටත් විජිතවල දැකිය හැකි විය. ඒ කෙසේ වෙතත් යටත් විජිත නිලධාරීන් මෙන් ම මෙරට දේශපාලන බලය මෙහෙය වූ සියලු ජනවර්ගවලට අයත් දේශපාලකයන් ද මෙයට වගකිව යුතු විය. ඒ අනුව සැබෑ ලෙස ම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය 80 දශකයේ සිට නිර්මාණය වූවේ මෙරට වාර්ගික ගැටුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට වග උත්තර කීමට හා වාර්ගික ගැටුමට ප්‍රතිචාර දැක්වීම අරමුණු කර ගත් සන්නද්ධ ව්‍යාපාර මර්දනය සඳහා විදේශයන්ගෙන් සහය හා මූල්‍යාධාර ලබා ගැනීමට විය. ඒ අනුව බාහිර ආරක්‍ෂාව හා ආර්ථික සංවර්ධනය දෙවැනි විය. රටේ ජාතික ආදායමෙන් විශාල ප්‍රමාණයක් යුද්ධය සඳහා වියදම් කිරීමට සෑම රජයකට ම සිදු වූ අතර විදේශීය රටවලින් යුද ආධාර ලබා ගැනීමට ද සිදු විය. ඊට අමතර ව එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය ද ප්‍රබල ලෙස විනාශ වූ අතර විදේශීය ආයෝජන ද ඒ හේතුවෙන් ම ලංකාවෙන් දුරස් විය. විශේෂයෙන් ම 1996 ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, 2000 වසරේ දී ඇති වූ අලිමංකඩ පරාජයත් හා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඍණ තත්ත්වයක් දක්වා ගමන් කිරීම සිදු විය. තවද දකුණු ආසියාවේ කාර්යබහුල ම වරායක් වන කොළඹ වරායට පැමිණෙන නැව්වලට විශේෂ අධි භාරයක් අය කිරීමට ජාත්‍යන්තර රක්‍ෂණ සමාගම් පෙලඹීම ලංකාවේ ආර්ථිකයට මරු පහරක් විය.

ඒ අනුව ඉදිරි පරිච්ඡේදය මඟින් අවධානයට යොමු වන්නේ එම බෙදුම්වාදී අර්බුදය හමුවේ හා එම ව්‍යාපාරයන් මර්දනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය තම විදේශ ප්‍රතිපත්තිය සකස් කරගත් ආකාරය හා ඊට ඇති වූ අභියෝග සම්බන්ධයෙනි.


දෙවන පරිච්ඡේදය.

2010-2015 සමයේ විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය.

මෙහිදී 2010 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි අවධානයක් යොමු කරනු ලැබීය. එහි දී රජයේ ක්‍රියාකලාපය පිළිබඳ සමබර ව තොරතුරු දැක්වීමේ අරමුණින් ඊට පක්ෂව මෙන් ම විපක්ෂව ද තොරතුරු ඍජු ව දැක්වීමක් සිදු කරනු ලැබීය. එහිදී අධ්‍යනයට භාජනය වූ යහපත් මෙන් ම අයහපත් ක්‍රියාකලාපයන් කෙරෙහි ද අවධානයක් යොමු කරනු ලැබීය. විශේෂයෙන් ම මෙම කාල වකවානුව තුළ මෙරට විදේශ ප්‍රතිපත්තියේ නියමුවා වූවේ විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ වීම හේතුවෙන් ඔහුගේ පළමු දූර කාලය වූ 2005 හා 2010 අතර කාල පරිච්ඡේදය ද මෙහි දී සන්සන්දනාත්මක ව සාකච්ඡාවට භාජනය කරනු ලැබීය. එය ඉතා වැදගත් කාරණයක් වන්නේ පළමු දූර කාලයේ ම තවත් එක් දිගුවක් ලෙස දෙවන දූර කාලය සනිටුහන් වීමයි. ඒ අනුව පොදුවේ 2005-2010 හා 2010-2015 අතර කාලවකවානුවක් මෙහි දී සන්සන්දනය වී ඇති නමුත් මූලික වශයෙන් 2010-2015 යන කාල පරාසය කෙරෙහි අවධානයක් යොමු කෙරේ. 


පශ්චාත් යුද සමයේ විදේශ ප්‍රතිපත්තිය හැඩගැසීමේ දී ඇති වූ ප්‍රවණතා හා අභියෝග.

2010 වසරෙන් පසු ශ්‍රී ලංකාව පැරණි ආර්ථික හා සමාජ ස්වරූපයේ සිට නව ස්වරූපයක් කරා පරිවර්තනය වන අකාරයක් අධ්‍යයනය කළ හැක. එහිදී මෙතෙක් පැවති ජනවාර්ගික අර්බුදය හා විදේශ සම්බන්ධතා අංශය කෙරෙහි සමස්ත රටවැසියාගේ ම අවධානය යොමු වූ අතර සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරයන් තුළ උතුරු වසන්තය, ජිනීවා අභියෝග, විදුලි පුටුව, දෙමළ ඩයස්පෝරාව, යුද අපරාධ යන වාග්මාලාවන් නිතර නිතර ප්‍රතිරාවය වන්නට විය. එවැනි පසුබිමක් ඇති වීමට මෙරට විදේශ ප්‍රතිපත්තිය මෙන් ම අභ්‍යන්තර වශයෙන් මෙරට දේශපාලඥයන්ගේ ප්‍රතිචාරද හේතු වූ බව අධ්‍යයනය කළ හැක. ඒ අනුව මෙමඟින් අවධානය යොමු වන්නේ එලෙස රට අභ්‍යන්තර ප්‍රතිපත්තීන්හී ස්වාභාවය සම්බන්ධයෙනි.


යහපත් ප්‍රවණතා හා අභියෝග.

80 දශකයේ සිට රට අභ්‍යන්තරයේ පැන නැගී තිබූ රාජ්‍ය විරෝධී සන්නද්ධ ව්‍යාපාරය 2009 වසරේ දී අවසන් කිරීමත් සමඟ යුද්ධය වෙනුවෙන් රජයට වැය කිරීමට තිබූ මූල්‍යය තත්ත්වයන්ගේ ඉතිරියක් සිදු වූ අතර ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තිබූ අවිශ්වාසය හා අභ්‍යන්තර ආනාරකෂිතභාවය අහෝසි වීම හේතුවෙන් විදේශ ආයෝජන රට තුළට ලබා ගැනීමට සමත් වීම රටේ ආර්ථික තත්ත්වය වර්ධනය වීමට හේතු විය. ඒ හේතුවෙන් ම 2010 වසරේ සිට රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි වූ සමස්ත පරිච්ඡේද 8 තුළින් ද ප්‍රමුඛ අවධානය යොමු කර තිබුණේ රටේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජන දිරි ගැන්වීම විය. "මහින්ද චින්තන" ප්‍රතිපත්ති රාමුව ප්‍රසාරණය වන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් ආසියාවේ නැගී එන ආශ්චර්ය ලෙස ශ්‍රී ලංකාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ දැක්ම ප්‍රකාශ කරයි.

“අපේ ඉදිරි මහා පිම්මේ ප්‍රමුඛ ඉලක්කයක් වන්නේ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් වැදගත් ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කර ගැනීමයි.....”

මීට අමතරව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහෝමයක් අංශ මූලික වශයෙන් අවධානය යොමු කර තිබුණේ ද දේශීය වශයෙන් මෙන් ම විදේශීය වශයෙන් ද ඇද වැටී තිබුණු ජාතික ආර්ථිකය නැවත ගොඩනංවා ගන්නේ කෙසේ ද යන්නයි. 

ඉදිරි වසර හය තුළ ඔහුගේ අරමුණ (එය ඔහුගේ දෙවන ධුර කාලයේදී) ශ්‍රී ලංකාව සඳහා නාවික, ගුවන් වශයෙන් සංවර්ධනය කිරීම තුළින්, ලෝකයේ උපාය මාර්ගික වැදගත්කමකින් යුතු ආර්ථික මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම බව එහි දැක්වේ. වාණිජ, බලශක්ති සහ දැනුමේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් නැගෙනහිර සහ බටහිර අතර සම්බන්ධතා පවත්වන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණ විය. තව ද එමගින් මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකා තැබීමෙන් වසරකට ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 4000ක් දක්වා වර්ධනය කිරීම සඳහා විසඳුම් ලබා දී ඇත.

මෙම සමයේ රජය සංවර්ධන කේන්ද්‍රීය කාරණා 5ක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය. ඒවා නම්;

  • දැනුම.
  • නාවික.
  • ගුවන් ගමනාගමනය.
  • බලශක්තිය.
  • වාණිජ හා සංචාරක මධ්‍යස්ථානය.

වර්තමාන ගෝලීයකරණය තුළ කිසිදු රටකට හුදකලාව තම ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීමට නොහැකි අතර විදේශීය ආයෝජන හා මූල්‍ය පහසුකම් කෙරෙහි තම අවධානය යොමු කිරීමට සිදු ව පවතී. තුන්වැනි ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ ද ශ්‍රී ලංකාවට තම ආර්ථිකය ස්වායත්තව වර්ධනය කර ගැනීම ප්‍රායෝගික නොවන බවයි. ඒ හේතුවෙන් මෙම රජය තම අවධානය වැඩි වශයෙන් විදේශීය ආයෝජන කෙරෙහි යොමු කළ අතර රටේ විදේශ ප්‍රතිපත්තිය ද ඊට සරිලන ආකාරයෙන් වර්ධනය කිරීමක් සිදු විය. ඒ අනුව රට අභ්‍යන්තරය සාමකාමී මෙන් ම ගමනා ගමන පහසුකම්වලින් යුක්ත බව පෙන්වීම සඳහා රජය ඉමහත් වෑයමක් ගත් අතර ජාත්‍යන්තර වශයෙන් අවධානය හිමි කර ගත හැකි උත්සව අවස්ථා රට තුළ සංවිධානය කිරීම හා පොදු පහසුකම් සංවර්ධනය කිරීම ආදී මහා පරිමාණ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලදි. 

ඒ යටතේ ඉතා ජනප්‍රිය අවස්ථා කීපයක් ලෙස ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති බොලිවුඩ් චිත්‍රපට සම්මාන උලෙළක් වන Iffa සම්මාන උළෙල පැවැත්වීම, දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පැවැත්වීම, 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම මෙන් ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා උත්සාහ කිරීම යනාදිය හැදින්විය හැකිය.

ඊට අමතරව 2011 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වූ දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීම සිදු වූ අතර කොළඹ කේන්ද්‍ර කොට ගනිමින් සමස්ත ශ්‍රී ලංකාව ම ආවරණය වන පරිදි අධිවේගී මාර්ග පද්ධතියකට මෙන් ම අධිවේගී දුම්රිය මාර්ග පද්ධතියක් සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කාර්යයන් සම්පාදනය කිරීම ද සිදු විය. එම ක්‍රියා පොදු පහසුකම් වර්ධනය කිරීමක් වුවත් වක්‍රව ප්‍රබල වශයෙන් විදේශීය ආයෝජන දිරිගන්වන්නක් ද විය.      

විදේශීය බලපෑම් තුලනය කර ගනිමින් තිස් වසරක් පැවති ත්‍රස්තවාදී ගැටුම් අවසාන කිරීමේ දී රජය අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යනයේ දී විදේශ ප්‍රතිපත්තියේ පැවති සාර්ථක අසාර්ථකතා අවබෝධ කර ගත හැක. ශ්‍රී ලංකාවේ යුද්ධයේ විශේෂ මැදිහත්කරුවෙකු වූ ඉන්දියාව 1987දී ලංකා ආණ්ඩුවට සිදු කළ බලපෑමට වඩා වෙනස් වූ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමට 2009දී  උත්සාහ කිරීමද කැපීපෙනෙන ලක්ෂණයක් විය. 1987දී ලංකා රජය එල්. ටී .ටී. ඊ සංවිධානයට විරුද්ධව ආරම්භ කරන ලද යුදමය ක්‍රියාමාර්ග වලින් ඉවත් වීමට ඉන්දියාව විසින් දැඩි ලෙස බලපෑම් එල්ල කරන ලදමුත් මෙවර ලංකාවේ මතයට ගරු කරමින් දෙමළ ජනතාවගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් සහයෝගය ලබා දෙන ලදි. එහිදී ඉන්දීය රජයේ බලපෑම් තුලනය කර ගැනීමේ අතරමැදියෙකු ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතාගේ කාර්යය වැදගත් වේ. 

දකුණු ඉන්දියාවේ මහ ඇමතිවරයා වූ කරුණානිධි මහතා  ශ්‍රී ලංකාවේ රජයට විරුද්ධව දැඩි ලෙස කටයුතු කළ ද අවසානයේ ඔහුට ද එම මැදිහත් වීම් කළ හැක්කේ යම් සීමාවකට යටත් ව බව පිළිගත්තේ ය. මේ සඳහා ශ්‍රී ලංකා රජය විදේශ කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ දූරදර්ශී ක්‍රියාපිළිවෙල වැදගත් වේ. අන්තර් ජාතික සබඳතා පිළිබඳව නීති උල්ලංඝනය කරමින් ඇතැම් තානාපතිවරු යුද්ධයට එරෙහිව නොයෙක් මත ප්‍රකාශ කළහ. යුද්ධය පැවති කාල වකවානුව තුළ දී ඇමරිකාව හා යුරෝපා සංගමය යුද්ධයට එරෙහිව අන්තර්ජාතික සබඳතා නීති උල්ලංඝනය කරමින් විවිධ මත එල්ල කළ ද නොනවත්වා ත්‍රස්තවාදීන්ට විරුද්ධව කරන යුදමය ක්‍රියාමාර්ග සාධාරණ මෙන් ම නිවැරදි බව බටහිර බලවතුන්ට පෙන්වා දීමට ශ්‍රී ලංකා රජයට හැකි විය.    

මෙතෙක් ලංකාවේ සිටි පාලකයින් අතරින් කිසිදු ලෝක බලවතෙකුට යටත් නොවී ඍජු තීන්දු තීරණ ගැනීමෙහි ලා සුවිශේෂී අය අතර ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙන් ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය ද කැපී පෙනේ. තිස් වසරක් පැවති ත්‍රස්තවාදය සහමුලින්ම උපුටා දැමීමට රජය තීරණය කිරීමත් සමඟම, එම තීරණයට එරෙහිව ලෝකයේ ප්‍රබල රටවල් බලපෑම් කරනු ලැබීය. 2014/01/13 දින ලංකාදීප පුවත්පතට ඒ පිළිබඳ අදහස් දක්වමින් හිටපු අමාත්‍ය ඩිව්. ගුණසේකර මහතා මෙසේ සඳහන් කර ඇත.

“යුද්ධය අවසන් දවස් කීපයේ දී අපි සිටියේ විදේශ අමාත්‍යංශයේ - ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් ඔය බටහිර රටවල්වලින් එක දිගට කෝල් එනවා, පැයකට දෙතුන් වරක් කතා කරනවා.....”

“ඒ අයගෙ එකම එක ඉල්ලීමයි තිබුණේ. ඒ අයට ලොකු උවමනාවක් තිබුණා ප්‍රභාකරන් බේරා ගන්න.....”

තවද හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ රෝහිත බෝගොල්ලාගම මහතා විසින් ප්‍රකාශ කරනු ලැබුවේ වන්නි මානුෂික මෙහෙයුම අවසාන කාලයේදී විදේශීය බලපෑම් ප්‍රබල වූ බවයි.

“යුද්ධයේ අවසාන කාලයේ අපට බලපෑම් ආවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එක බලපෑමක් ආවා. ඒක ඉල්ලීමක් විදිහටයි ආවේ. ඇමරිකා එක්සත් ජනපදයෙනුත් ඍජු ඉල්ලීමක් ආවා. මේ යුද්ධයෙන් සිය දහස් ගණනක් ජීවිත අහිමිවන නිසා යුද්ධය නතර කරන මෙන් ඉල්ලා සිටියා....රොබට් බ්ලේක් මට ඒක.... කීප සැරයක්ම කිව්වා. එහෙම වුණොත් සමූහ ඝාතන චෝදනා ලංකාවට එල්ල විය හැකි බවට අනතුරු ඇ‍ගෙව්වා.....”

හිටපු නාවික හමුදාපති මෙන් ම 2015 වසර තෙක් ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා වූ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සිය අධිෂ්ඨානය කෘතියේ ශ්‍රී ලංකාවට එල්ල වූ විදේශ බලපෑම් සම්බන්ධයෙන් සඳහන් කර ඇත.

“ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශකවරයා  අරලිය ගහ මන්දිරයට යුද්ධය නවතන ලෙස කියා සිටියේ ය....එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා යුද්ධය නැවැත්තුවේ නැතහොත් නැවත පරිප්පු ගුවනින් ගෙනත් දමනවා දැයි ඇසූ විට නාරායන් නිහඬ වී ආපසු ගියේ ය.” 

“බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍ය ඩේවිඩ් මිලිබෑන් සහ ප්‍රංශ විදේශ අමාත්‍ය කෘෂ්නර් යන අය ජනාධිපතිවරයා ඇඹිලිපිටියේ ජනාධිපති සංචාරක නිවසේදී හමුවී යුද්ධය නවතන ලෙස දැනුම් දුන්නේය.....” 

එහිදී එම රටවල මතය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය ඔවුන්ට තේරුම් කර දීමට හැකි වීමද සුවිශේෂී වේ. ලංකාවේ යුදමය ක්‍රියාමාර්ග සිදුවන්නේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව පමණක් වන බවත් වෙනත් කිසිම ආකාරයකින් හෝ ජාතියකට විරුද්ධව නොවන බවත් මෙහිදී අවධාරණය කරන ලදි. එසේම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් නොමැති බව අන්තර්ජාතික මට්ටමින් සනාථ කිරීම රජයේ විදේශ ප්‍රතිපත්තියේ තිබූ කැපී පෙනෙන අභියෝගයක් ද විය. විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලද සෑම අවස්ථාවකින් ම උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන ලදි. ඒ අනුව විදේශීය සම්මන්ත්‍රණ, එක්සත් ජාතීන්ගේ සංගමය, නොබැඳි ජාතීන්ගේ සමුළුව හා වෙනත් විදේශ රටවල සංචාර කරමින් ලංකාවේ ප්‍රශ්න පිළිබඳ සැබෑ ස්වරූපය එම සෑම විටම ඍජුව සාකච්ඡා කිරීම හා සැබෑ තත්ත්වයන් සත්‍ය ලෙසින් ම පැහැදිලි කිරීම, නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම යනාදිය නිසා අන්තර්ජාතික මට්ටමින් තිබූ වැරදි මතයන් නිවැරදි කර ගැනීමට හැකි විය. 

එමෙන්ම විදෙස්ගත දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නඟමින් පෙළපාලි, උද්ඝෝෂණ පවත්වද්දී ඊට සමගාමීව එම රටවල තානාපතිවරුන්ගේ මූලිකත්වයෙන් විදෙස්ගත සිංහල ජනතාවද එල්.ටී.ටී.ඊ ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහිව සාමකාමී උද්ඝෝෂණ පවත්වමින් විදේශීය ජනතාව දැනුවත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. මෙවැනි ප්‍රතිපත්ති නිසා එතෙක් නිද්‍රාශීලී ප්‍රතිපත්තියක සිටි විදෙස් රටවල ජීවත්වන ශ්‍රී ලංකාවට හිතැති ජනතාවගේ අවධානය ලංකාව වෙත ලබා ගැනීමට හැකිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජයට හිතැති යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නිරංජන් දේවාදිත්‍ය මහතා එල්.ටී.ටී.ඊයට එරෙහිව කටයුතු කිරීම කැපී පෙනෙන නිදසුනකි. එසේම 2001 සැප්තැම්බර් 11දා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ දී ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිව ඇමරිකාවේ අවධානය ලබා ගැනීමට එකළ පැවති රජය අසමත් වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ දී ඉන් ප්‍රයෝජන ලබා ගත්තේ ය. 

මහින්ද රාජපක්ෂ රජය සමයේ විදේශ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී ස්ථිරසාර හා සැලසුම් සහගත ක්‍රියාමාර්ගයක පිහිටා කටයුතු කිරීම නිසා අන්තර්ජාතික ප්‍රජාවේ සහයෝගය ලබා ගැනීමට ද හැකි විය. යුද්ධය ත්‍රස්තවාදයට එරෙහිව පමණක් බවත් එය දෙමළ ජනතාවට එරෙහිව නොවන බවත් යන මතය නැගෙනහිර පළාතේ සංවර්ධනයෙන් පෙන්වීම නිසා අන්තර්ජාතික ප්‍රජාවේ විශ්වාසය තවදුරටත් ලබා ගැනීමට හැකි විය. 

ස්ථිරසාර විදේශ ප්‍රතිපත්තියට උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ දී ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය ඉතා වැදගත් ය.

එහදී ඔහු ප්‍රකාශ කර සිටියේ; 

“අපේ සටන ත්‍රස්තවාදයට එරෙහිව පමණක් වන බවයි... ඈත සිට බලා ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදී කොන්දේසි පිළිගත යුතු යැයි අපට කී අයට මට කිව හැක්කේ කුමන මුහුණුවරකින් කුමන සංයුතියකින් පැමිණිය ද ත්‍රස්තවාදීන්, ත්‍රස්තවාදීන් ම බවයි. ඒ සියලු දෙනාට මා කියන්නේ මෙපමණකි. මට මුළු මහත් දේශයක් කෙරෙහි වගකීමක් තිබේ. ස්ත්‍රී පුරුෂ සහ ළමා දස ලක්ෂ සංඛ්‍යාවකගේ ජීවිත කෙරෙහි මට වගකීමක් තිබේ. දේශයේ සාමය හා ප්‍රගතිය කෙරෙහිත් එහි වසන සියලු දෙනාට ම සාමකාමී ජීවිතයක් සඳහා ඇති අයිතිය වෙනුවෙනුත් මට වගකීමක් තිබේ...” 

තවද 2010 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමට ගිය අවස්ථාවේ නිව්යෝර්ක් නුවර දී ඇමෙරිකාවේ ප්‍රකට පෙළේ ව්‍යාපාරිකයන් හමු වී කළ සාකච්ඡාවල දී ජනාධිපතිවරයා මෙසේ ද ප්‍රකාශ කරනු ලැබීය.

“...දැන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත්. අන්තර්ජාතික ආයෝජන වැඩි වෙලා. ආයෝජන සඳහා ඇති හොඳම රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙනවා. බය නැතිව ලංකාවට ඇවිත් ආයෝජනය කරන්න.... අප ආර්ථිකය දැන් සාමයේ ප්‍රතිලාභ ලබාගැනීම දෙසට ගමන් කරයි. පසුගිය තෙමස තුළ 8%ක වර්ධනය, උද්ධමනය පහත වැටීම, පොළී අනුපාත පහත වැටීම ආදී වශයෙනුත් තිරසාර වර්ධනයක් අපි ලබමින් සිටින්නෙමු. ගත වූ පස් වසර තුළ අපගේ ඒක පුද්ගල ආදායම දෙගුණ වුණි. අපගේ අරමුණ 2016 වන විට එය යළි දෙගුණ කිරීමත් 2014 වන විට ලොව ව්‍යාපාරික කටයුතුවලින් ප්‍රමුඛ රටවල් 30 අතරට ඇතුළත් වීමත් ය...” 

එලෙස නිර්භීතව මෙන් ම පැහැදිලි ලෙස ඒත්තුගැන්වෙන ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ හමුවේ කතා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් ලොව සියලු රටවල්වල අවධානයට යොමු කරගත හැකිවිය. එය ශ්‍රී ලංකාවට ඉතා වාසි සහගත වූ අතර  එම පිළිවෙත නිසා ශ්‍රී ලංකාවේ මතය ලෝක මතයක් බවට හැරවීමට හැකිවිය. ඒ හේතුවෙන් ම රුසියාව, චීනය, වෙනිසියුලාව, ඉරානය හා කියුබාව ආදී බොහෝමයක් රාජ්‍යයන්ගේ අවධානය හා සහයෝගය දිනා ගැනීමට සමත් වීම පසු කාලීන ව ශ්‍රී ලංකාවට වැදගත් විය. මාලදිවයින හා නේපාලය තම රටවල අභ්‍යන්තර අර්බුද මතු වූ අවස්ථාවල දී ඊට මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීම මඟින් ලක් රජයට සියලු පාර්ශ්වයන් අතර ගෞරවය හා අන්තර්ජාතික තලයේ දී විශ්වාසය දිනාගැනීමට ද ඉඩ ප්‍රස්තා විවෘත විය.


අයහපත් ප්‍රවණතා හා එහි ප්‍රතිඵල.

විදේශ ප්‍රතිපත්තියක් සම්පාදනය කොට එය ක්‍රියාත්මක කිරීමේ කලාව වන්නේ යම්කිසි රටක් වෙනස් වන්නා වූ ලෝක තත්ත්වයන්ට අනුකූලව ගෙන ඒමයි. ඒ සඳහා ගෝලීය තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්විය හැකි ස්ථීර දේශීය ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය වේ. එහිදී ශ්‍රී ලංකාව අන්තර්ජාතික සබඳකම් සඳහා වූ මෙම අභියෝග කොතරම් හොඳින් කළමනාකරණය කරගෙන ඊට මුහුණදුන්නා ද යන ප්‍රශ්නයක් මතුවෙයි. 

එසේම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමු කිරීමේදී මතු වන ප්‍රධාන තර්කය වන්නේ එය නිවැරදි දිශාවකට යොමු වූවාද යන්නයි. මේ පිළිබඳව දෙස් විදෙස් විද්වතුන්ගේ මතය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. ත්‍රස්තවාදය පරාජය කිරීම, පශ්චාත් යුද සමයේ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීම හා පීඩාවට පත් ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කිරීම, මානව හිමිකම් සුරක්ෂිත කරමින් ජනවාර්ගික අර්බුදයට දේශපාලනමය විසඳුමක් ලබා දීම ආදී කරුණුවල දී ශ්‍රී ලංකා රජයේ උනන්දුව හා කැපවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර බලවේගවල විශ්වාසය  කෙතරම් දුරට දිනාගත්තාද හා එමගින් වාසිදායක වාතාවරණයක් ලැබුණා ද යන්න විමර්ශනය කළ යුතුය.   

නමුත්, ස්වාධීන ස්වෛරී ය රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගනු ලැබූ එම තීරණය ජාත්‍යන්තර සබඳතා තුළින් වඩාත් සාධාරණය කර ගැනීමට හැකියාව තිබුණත්, 2010ට පෙර රජය අනුගමනය කළ ක්‍රියාමාර්ගවලට සාපේක්ෂව 2010ට පසු රජය අනුගමනය කල විදේශ ප්‍රතිපත්තියේ තිබූ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකාවට වාසිදායක ජාත්‍යන්තර සබඳතා පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවට, ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අභියෝග කිරීමේ මූල උපායන් මත පදනම් වෙමින් කටයුතු කරන ලදි. එයින් ඇති වූ අනිටු ප්‍රතිඵලය වූයේ ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා ප්‍රජාව වෙතින් ලංකාවට ලැබුණු වාසිදායක ජාත්‍යන්තර සහයෝගිතාව නොලැබීමත් ඒ මත විවිධ තර්ජන හා බලපෑම් ඇති වීමත් ය. සැබෑ ලෙස ම යුද්ධයේ දී ද යම් යම් අවස්ථාවල දී ඇමරිකාවෙන් සහයෝගය පළවූ අවස්ථා දැකිය හැක. ඒ අතර ඇමරිකා එක්සත් ජනපදය තුළ එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කිරීම මෙන් ම නාවික හමුදාව විසින් එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් සතු වූ පාවෙන අවි ගබඩා හෙවත් අවි ආයුධ ප්‍රවාහනය කරන නෞකා විනාශ කිරීමේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇමරිකානු නාවික හමුදාවේ බුද්ධි තොරතුරු මෙන් ම හදිසි යුද ආධාර ද, ඊට අමතරව ඇමරිකානු තානාපති කාර්යාලයේ සහයෝගය ද හිමි වී ඇත. රජය යම් පමණින් හෝ බටහිර රාජ්‍යයන් සමඟ විරුද්ධවාදීකම් පවත්වා ගැනීමෙන් තොරව තම කටයුතු මෙහෙයවීමට උත්සහ කලේ නම් සාපේක්ෂව යහපත් තත්ත්වයක් බටහිර සමඟ ගොඩනඟා ගැනීමේ අවස්ථාවක් ඇති විය හැක.

මෙලෙස මෙම සමය තුළ දී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය රටේ ආර්ථික සංවර්ධනය කෙරෙහි යොමු වූ නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කරන ලද අංශයන්ගෙන් යම් බිද වැටීමක් දැකිය හැකි විය. විශේෂයෙන් ම පශ්චාත් යුද සමයේ ඉන්දියාව හා බටහිර රාජ්‍යන්ගෙන් එල්ල වූ අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ විකල්ප බවට පත් ව තිබුණේ එම රාජ්‍යයන්ගේ පස මිතුරු රාජ්‍යයන් ය. ඒ අනුව ඉන්දියාවේ පසමිතුරන් වූ චීනය හා පකිස්ථානයත්, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ට පසමිතුරන් වූ රුසියාව, ඉරානය, වෙනිසියුලාව හා කියුබාව වැනි රාජ්‍යයන් සමඟත් ශ්‍රී ලංකාව තම විදේශීය සම්බන්ධකම් ඉතා සමීප ව ගොඩනඟා ගැනීමට උත්සාහ කරනු ලැබීය.

ඊට අමතර ව 2009 යුද ජයග්‍රහණයෙන් පසුව රජය තුළ ක්‍රමයෙන් ජාතිවාදී ආකල්පයන්ගේ වර්ධනයක් දැකිය හැකි විය. ඊට හේතුව විය හැක්කේ එම රජයේ ප්‍රධාන කොටස් කරුවන් ලෙස කටයුතු කරනු ලැබූ ආගම්වාදී හා ජාතිවාදී පක්ෂවල හා කණ්ඩායම්වල බලපෑම විය හැකිය. ඒ හේතුවෙන් ම රජය ක්‍රමයෙන් සිංහල බෞද්ධ මතය නියෝජනය කරන බවට ද මතයක් ඉදිරිපත් විය. තවද එම රජයේ තවත් ප්‍රබල පාර්ශවයක් වූවේ වාමාංශික අදහස් දැරූ බටහිර විරෝධී පිරිස් ය. එම දෙපිරිසේ ම බලපෑම් බොහෝ විට බටහිර හා ඉන්දීය විරෝධී වීම මත ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්පාදනය වීම කෙරෙහි බලපාන ආකාරයක් දැකිය හැකිය. තවද ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා අංශයට අදාලව පැවති යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාව හා දුර්වලතා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරය තුළ දී අසාර්ථක වීමට ප්‍රබල ලෙස ම බලපානු ලැබීය. 

එය මනාව තහවුරු වන අවස්ථා කීපයක් වන්නේ;

රජයට හිතවත් පිරිස් රාජ්‍ය තාන්ත්‍රික අංශය සඳහා පත් කිරීම හා ඔවුන් තම මව් භූමියට ලබා දෙන සේවය ප්‍රමාණවත් නොවීම මෙන් ම පවතින අර්බුද තවදුරටත් උග්‍ර කිරීමයි. ඒ යටතේ 2010-2015 අතර සමයේ රජයේ ප්‍රබල තනතුරක් දැරූ සජින් වාස් ගුණවර්ධන විසින් මහා බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වූ ක්‍රිස් නෝනිස් මහතාට පහර දීම.

එවකට විදේශ අමාත්‍යවරයා වූ ජී. එල්. පීරිස් මහතා හා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ප්‍රබල භූමිකාවක් ඉදිරිපත් කරන ලද මහින්ද සමරසිංහ මහතා අතර පැවති අර්බුදය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග ජාත්‍යන්තරය තුළ දී දැඩි ලෙස පසු බෑමකට ලක් වූ බව දේශපාලන විචාරකයන්ගේ මතය වේ.

විදේශ තානාපති තනතුරු සඳහා රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගික දැනුමෙන් තොර ඉතා උද්වේගකාරී ස්වභාවයක් ඇති හමුදා නිලධාරීන් පත් කිරීම.

ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකාවට විරුද්ධ රාජ්‍යයන්ගේ දූතයන්ට නිසි පරිදි ගෞරව නොකිරීම.

උදා: බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඩේවිඩ් මිලිබෑන්ඩ් හා ප්‍රංශ විදේශ අමාත්‍ය බර්නාඩ් කෘෂ්නර් වැන්නවුන්ට ශ්‍රී ලංකා ජනාධිපති සංග්‍රහ කළ අකාරය මෙරටට ඉමහත් ප්‍රසාදයක් ගෙන දෙන කර්තව්‍යයක් වුවත් බටහිර බලවත් රාජ්‍යයන්ට ඒ පිළිබඳව පැවතියේ ඉමහත් අප්‍රසාදයකි.


ජාතික අපේක්ෂාවන්ට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තීන්හි ප්‍රවණතා.

රටක ආර්ථික වර්ධනය යනු එරට ආර්ථික සංවර්ධනයේ පැතිකඩක් පමණක් යැයි නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය අම්රිත්යා සෙන් ප්‍රකාශ කර තිබේ. ඔහුට අනුව රටක ජනතාවගේ සෞඛ්‍යය, ජීවන තත්ත්වයන් ආදී තවත් අංශයන් රාශියක් ද දියුණු ආර්ථික සංවර්ධනයක් සඳහා දියුණු විය යුතු වේ. ඒ අර්ථයෙන් ගෙන බලන කල්හි රටක ආර්ථික වර්ධනය සඳහා එම රට ජාත්‍යන්තරය සමග පවත්වනු ලබන සබඳතාවන්ගේ ස්වරූපය ද ඍජු බලපෑමක් ඇති කරනු ලබයි.

2014 වසර වන විට ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය රුපියල් මිලියන 8,438,960ක් වන අතර වෙළඳ ශේෂ හිඟය ඉතා ඉහළ අගයක් ගනී. ඒ අනුව ආනයන සඳහා දරණ වියදමත් අපනයනවලින් ලැබෙන ආදායමත් අතර පරතරය ඍණ අගයක් ගනී. ශ්‍රී ලංකාවේ අපනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් නිර්යාත කරනු ලබන්නේ යුරෝපයට හා ඇමරිකා එක්සත් ජනපදයටයි. ඒ අතර කුළු බඩු වර්ග හා තේ ප්‍රමුඛ වේ. 

ශ්‍රී ලංකාවේ අපනයන ක්‍රියාවලියේ ප්‍රධාන ගැනුම්කරුවන් වූ ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා යුරෝපා ප්‍රජාවත්,  සංවර්ධන ක්‍රියාවලියේදී  මධ්‍ය කාලීන හා දිගු කාලීන ආධාර දුන් බටහිර මිත්‍ර ප්‍රජාවත්, ආසියාවේ ප්‍රමුඛ ආර්ථිකයකට හිමිකම් කියන ජපානය හා භූ දේශපාලනමය වශයෙන් ප්‍රබල බලපෑමක් නිරන්තරයෙන් ඇති කරන අසල්වැසි ඉන්දියාව ද අමතක කරමින් රුසියාව, චීනය, ලිබියාව, ඉරානය, වෙනිසියුලාව වැනි බටහිර විරෝධී රටවල් සමග ඍජු විදේශ සබඳතා ඇති කර ගැනීමට වඩාත් උනන්දු වූ නිසා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ යම් පසුබෑමක් ඇති වූ බව විද්වත් මතය විය. යුරෝපය හා ඇමරිකාව හැරණු විට ඉහත සඳහන් කළ අනෙකුත් රාජ්‍යයන් සමඟ පවත්වන ආර්ථික සබඳතා ඉතාමත් අඩු මට්ටමක පවතී. 

තවද ශ්‍රී ලංකාවේ දේශීය ආදායමේ ඉතා විශාල ප්‍රමාණයක් හසුරවනු ලබන්නේ සංචාරක කර්මාන්තය මඟිනි. එහිදී ද වැඩි ම සංචාරක පිරිසක් ලංකාවට පැමිණෙන්නේ යුරෝපයෙනි. එයින් ද එක්සත් රාජධානියේ සිට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය අතිශයින් ම ඉහල මට්ටමක පවතී. කෙසේ වෙතත් එම රාජ්‍යයන් සමඟ පැවති විදේශ සම්බන්ධතා ක්‍රමයෙන් අයහපත් වීමත් සමඟ එම රාජ්‍යයන් තම පුරවැසියන් ශ්‍රී ලංකාවට ඒමේ දී අධෛර්යමත් කිරීමක් ද යම් යම් අවස්ථාවල සිදු විය. ඒ හේතුවෙන් ම කල්යත්ම ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ කඩා වැටීමක් සිදු විය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2011 ජූලි 10 වන දින වී. ඒ. සුගතදාස මහතාගේ ගුණසමරු උලෙළේ දී රජයේ මෙම ආර්ථික ප්‍රතිපත්තිය විවේචනය කරමින් දැක්වූ විවරණය මීට කදිම උදාහරණයක් සපයයි. එනම්;

“මේ රටේ ආර්ථිකය දුවන්නේ.... යුරෝපය සහ ඇමරිකාව ඇතුළු විදේශ රටවල් සමඟ කරන ගනුදෙනු නිසා සහ ජපානය වැනි රටවලින් ලැබෙන ආධාර නිසා. යුරෝපය සහ ඇමරිකාව සමඟ අපේ වෙළදාම අඩු වුනොත්, ඒක මේ රටට විශාල ප්‍රශ්නයක් වෙනවා.”

ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධියට ප්‍රබල දායකත්වයක් ලබා දෙන GSP බදු සහනය අහිමි වීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රතිපත්තිවලට ද බරපතළ බලපෑමක් එල්ල කල අතර, යුරෝපා ප්‍රජාව විසින්  පනවනු ලැබූ මත්ස්‍ය නිෂ්පාදන ආනයන තහනමද, විදේශීය ප්‍රතිපත්තිවලට ප්‍රබල පහරක් එල්ල කරනු ලැබීය. ඇමරිකානු විරෝධී රටවල් සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමත්, ඉරානය සමග අත්සන් කල ඛණිජ තෙල් ගිවිසුම (Hegin) මෙන් ම තේ අපනයන ක්ෂේත්‍රයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැනුම්කරුවන් වූ රටවල පසුකාලීන ව ඇති වූ දේශපාලනමය හා ආර්ථිකමය බිඳවැටීම ද ලංකාවේ ආර්ථිකයට තදින් බලපෑවේ ජාත්‍යන්තර දේශපාලනයේ දී සිදු වන වෙනස්කම් හා මූලෝපායන් ග්‍රහණය කර ගැනීමට තරම් ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම නිසා වේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂ අගයන්

වසර

අගය

2011

9710

2012

9417

2013

7609

උපුටා ගැනීම ; කුමාර රන්තිලක, කැලුම් අමරසිංහ, චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය, පළමු පෙරමුණ, පිටකෝට්ටේ, 2014, පි. 40


මේ අනුව පෙනී යන වැදගත් ම කරුණක් වන්නේ 2005-2010 කාල වකවානුවට සාපේක්ෂව 2010-2015 සමයේදී ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා ක්ෂේත්‍රය ක්‍රමයෙන් දුර්වල වෙමින් පැවති බවයි. රට තුළ සිවිල් යුද්ධය නිමාවට පත් කරමින් ස්ථාවරත්වය ඇති කිරීමට රජයට හැකි වුවත් ඉන් අනතුරුව ඇති වූ ගැටලූන්ට විසඳුම් සේවීමේ දී රජය කාර්යක්ෂම ව කටයුතු නොකළ බව විභාග කළ හැක. ඒ අනුව ඊළඟ පරිච්ඡේදයෙන් විග්‍රහ කෙරෙන්නේ රජය තම රටේ ජාතික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කළ ක්‍රියා කලාපයේ ස්වභාවයත් හා ඒවාට අනෙකුත් රාජයන් විසින් දැක්වූ ප්‍රතිචාරයනුත්ය.  

 

තෙවන පරිච්ඡේදය.

2010-2015 සමයේ කලාපීය හා ගෝලීය පසුබිම තුළ විදේශ ප්‍රතිපත්තියේ විකාශනය.


මෙමගින් ජාත්‍යන්තරයේ දී ශ්‍රී ලංකාවට බලපෑම් ඇති කරන ලද රාජ්‍යයන් මෙන් ම ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්බන්ධතා පැවැත්වූ රාජ්‍යයන් සමඟ රාජ්‍යතාන්ත්‍රික ව කටයුතු කරන ලද ආකාරය පිළිබඳ අවධානය යොමු කරනු ලැබේ. එහිදී අධ්‍යයනයේ පහසුව තකා ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා විහිදීම කලාපීය හා ගෝලීය ලෙස කොටස් දෙකකට වර්ගීකරණය කර ඇත. මෙහි දී ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත්තේ මෙතෙක් විදේශ සම්බන්ධතා ක්ෂේත්‍රයේ දී ශ්‍රී ලංකාව නව රාජ්‍යයන් සමඟ ඇති කර ගනු ලැබූ විදේශ සම්බන්ධතා කෙරෙහි හා ජාත්‍යන්තරයේ දී ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑමක් මෙන් ම සහයෝගයක් ලබා දුන් රාජ්‍යයන් කෙරෙහි ය. එහිදී දේශපාලන මෙන් ම ආර්ථික ක්ෂේත්‍ර කෙරෙහි මූලික අවධානය යොමු කෙරේ.

වසර 30ක යුද්ධය අවසාන වීමත් සමග, ලෝකයේ බලවත් රටවල් සහ අනෙකුත් රාජ්‍යයන් සමග, සිය ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, සමීප සහ ශක්තිමත් සබඳතා ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව පෙලඹුණි. ඒ අනූව ඉන්දියාව, බංග්ලාදේශය, රුසියාව, තායිලන්තය, එක්සත් ජනපදය, චීනය, පකිස්තානය, ජපානය, මලයාසියාව, දකුණු කොරියාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් සමග වර්තමාන ශ්‍රී ලංකාව සමීපව කටයුතු කරයි. මීට අමතරව ආසියාන්, අප්‍රිකානු සංගමය සහ අරාබි ලීගය වැනි සංවිධාන සමග ද කිට්ටු සහයෝගීතාවයක්, ශ්‍රී ලංකාව පවත්වා ගෙන යෑමට උත්සුක විය. 

කෙසේ වෙතත් මෙම සමයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට ප්‍රබල බලපෑමක් ඇති කරන ලද රාජ්‍යයන් කීපයක් හඳුනාගත හැකිය. විශේෂයෙන් ම චීනය, ඉන්දියාව හා ඇමරිකාව යන රාජ්‍යයන් මෙම සමයේ දී ශ්‍රී ලාංකික ප්‍රජාව අතර නිරන්තර අවධානයට ලක් විය.


කලාපීය පසුබිම.

මෙමගින් අවධානයට ලක් කරනු ලබන්නේ කලාපීය පසුබිම තුළ ශ්‍රී ලංකාවට ප්‍රබල දායකත්වයක් මෙන් ම ප්‍රබල ප්‍රතිවිරෝධයක් ද දැක්වූ ප්‍රධානතම රාජ්‍යයන් දෙක වූ පකිස්ථානය හා ඉන්දියාව සම්බන්ධව වේ. එහිදී පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය වශයෙන් පැවති සහයෝගය 2010-2015 සමයේ දී තවදුරටත් වර්ධනය වූ නමුත් එම කාල සීමාව තුළ ඉන්දියාව සමඟ පැවති විදේශ සම්බන්ධතා ක්‍රමයෙන් ආන්දෝලනයට ලක් වන ආකාරයක් දැකිය හැකි විය.


ඉන්දියාව සමඟ වූ ප්‍රතිපත්තීන්ගේ ස්වරූපය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගු කාලයක පටන් පවතින්නේ මිත්‍රශීලී සම්බන්ධතාවයකි. ඉතිහාසමය සහ සංස්කෘතිකමය වශයෙන්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වැදගත් සම්බන්ධතා පවතී. ඉන්දියාව, ලෝකයේ සිව්වැනියට විශාලතම හමුදාවට ද උරුම කියන අතර ලෝකයේ දෙවනියට වැඩිම ජනගහනයක් ඇති මෙන්ම ලෝකයේ වැඩිම සමාජ විවිධත්වයක් ද ඇති රට ලෙස සැලකේ. සමස්ත දකුණු ආසියාවේ හැඩගැසීමට ඉන්දියාවෙන් ලද ආභාෂය ඉතා ප්‍රබල වේ. ‍

ශ්‍රී ලංකාවේ ලඟම අසල්වැසියා, ලඟම මිතුරා ‍සේම ලංකාවේ සංස්කෘතිය, ජාතිය, ආගම, දේශපාලනය, සමාජීය වටිනාකම් යනාදිය ගොඩනගා ගැනීමට ඉන්දියාව තරම් බලපෑ වෙනත් රටක් ලෝකයේ කිසිදු තැනක නැති බව අධ්‍යයනය කළ හැක. ශ්‍රී ලංකාවේ ඇති වූ හදිසි අවස්ථා කීපයක දී ම පළමුවෙන් ම ඉදිරිපත් වූ රට ලෙස ද ඉන්දියාවට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. යටත්විජිත නිදහසින් පසු මුල් දශක තුනක කාලය ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සබඳතා සුහද හා අවබෝධයකින් යුක්ත විය. නමුත් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය තීව්‍ර වීමත් සමග 1980 දශකය ආරම්භයේ දී පමණ දෙරට අතර සබඳතා ක්‍රමයෙන් පිරිහෙන තත්ත්වයකට පත් විය.

2009 මැයි මාසයේ දී යුදමය වශයෙන් එල්. ටී. ටී. ඊ. බෙදුම්වාදී ව්‍යාපාරය පරාජය කිරීමෙන් පසුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවතියේ නොසන්සුන් සබඳතාවකි. ඉන්දියාව පශ්චාත් සිවිල් යුද කාල සන්දර්භය තුළ වර්ධනය වන ශ්‍රී ලංකා දේශපාලන සහ ආරක්ෂක ප්‍රවණතාවන් සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමු කරනු ලැබීය. විශේෂයෙන් ම එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කිරීමේ දී ශ්‍රී ලංකා රජයට නිහඬව සහයෝගය දීම මඟින් නව දිල්ලි පාලනය බලාපොරොත්තු වූවේ ලක් රජය මත සිය බලපෑම ශක්තිමත් කර ගැනීමටයි. නමුත් ඒ වෙනුවට ඉන්දියාවේ ප්‍රධාන එදිරිවාදියා වන චීන රජය විසින් මෙරටට ලබා දුන් සෘජු දේශපාලන හා ආර්ථික ආධාර හේතුවෙන් කලාපය තුළ ඉන්දීය ආධිපත්‍ය අභියෝගයට ලක් වන්නට විය.

ඉන්දියාවේ භූ දේශපාලන අධ්‍යයනය නොකර දිගින් දිගටම ඔවුන් රවටමින් ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලබා දීමට ඇල් මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවලට යම් බලපෑමක් ඇති කිරීමට හේතු විය. ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිං ඉදිරියේ දී ලක් රජය 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගොස් 13+ ලබා දීමට එකඟ වූයේ ජාත්‍යන්තර සබඳතා විෂයයේ දීර්ඝ කාලීන උපායමාර්ගික මුලෝපායන් සම්බන්ධයෙන් වූ අවබෝධයකින් තොරව කෙටි කාලීන උපක්‍රම පදනම් කරගෙන බව අධ්‍යයනය කළ හැකිය. 


ආර්ථික සම්බන්ධතා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ප්‍රමුඛ වශයෙන් සාර්ක් සංවිධානය, දකුණු ආසියා පාරිසරික සහයෝගීතා වැඩසටහන, දකුණු ආසියා වාණිජ එකමුතුව සහ බිම්ස්ටෙක් (BIMSTEC) යන සංවිධාන වල සාමාජිකයෝ වෙති. ඉන්දියාව මෙරට ප්‍රධාන සංචාරක සැපයුම්කරුවා ය. 2012 වසරේ දත්ත අනුව ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇත්තේ 151,896ක පිරිසකි. 2015 වසරේ දී එය සියයට 30.3කින් වර්ධනය වී ඇත. ශ්‍රී ලංකාවේ ආනයන වලින් 14%ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් සිදුවන අතර ශ්‍රී ලංකාවේ අපනයන වලින් 3.6%ක් ඉන්දියාවට සිදු කෙරේ. රටවල් ද්විත්වයම දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුමේ (SAFTA) හවුල්කාරයෝ ද වෙති. ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාව (NTPC), ශ්‍රී ලංකාවේ සාම්පූර් හි මෙගාවොට් 500 ක ධාරිතාවයක් සහිත තාප විදුලි බලාගාරයක් ඉදිකිරීමින් පවතී. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවලට ලබා දෙන ආධාරයන්හි ප්‍රමාණය ඇ.ඩො.බි. 1.3 දක්වා ඉහළ ගොස් තිබේ. ඉදිරි කාලය තුළ දෙරටේ වෙළෙඳාම හා ආයෝජන කටයුතු පුළුල් කිරීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ. එසේම ඉන්දියාවෙන් ලැබෙන ආධාර මූලිකව යෙදවෙන්නේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල පුනරුත්ථාපන කටයුතු සඳහා ය. 

ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් හානි වූ ප්‍රදේශ වන උතුරු නැගෙනහිර අභ්‍යන්තර අවතැන් වූ පුද්ගලයන් නැවත පුනරුත්ථාපනය කිරීම සම්බන්ධ සංවර්ධන ව්‍යාපෘති රැසක් සඳහා මූල්‍ය ආධාර ලබා දීමට ඉදිරිපත් විය. ඒ අතර මුල් අවදියේ දී ඉන්දීය රජය ඇමරිකානු ඩොලර් මිලියන 110 ක ආයෝජනයකින් එම කලාප තුළ වෛද්‍ය, හදිසි සැපයුම්, තාවකාලික නිවාස හා ඒ ආශ්‍රිත ඉදිකිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන් සඳහා ආධාර ලබා දීමට ඉදිරිපත් විය. පසුව, ඉන්දියාව තවදුරටත් ව්‍යාපෘති රැසක් සමඟ සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීමට ලක් රජයට සහයෝගය ලබාගෙන ලදි. ඒ යටතේ 2010 වසරේ දී ඉන්දියාව උතුරු පලාතේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා පමණක් එක්සත් ජනපද ඩොලර් මිලියන 27.5 ලබා දී ඇත. දොරේඅප්පා ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම, කිලිනොච්චිය හා මුලතිව් සෞඛ්‍ය රැකවරණය පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ආධාර ලබා දීම ආදිය මෙම ආධාර ව්‍යාපෘතිය හා සම්බන්ධ වේ. තවද, ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුම්රිය මාර්ගයක් වූ ඕමන්තේ සිට යාපනය දක්වා වූ උතුරු දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 416,4 ක මුදලක් ණය ලෙස ලබා දෙනු ලැබීය. 2010 වසරේ දී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා විදේශයන්ගෙන් ලද මුළු මුදල් ප්‍රමාණයන්ගෙන් 15%ක් ලබා දෙන ලද්දේ ඉන්දියාව විසිනි.  

2013 වසර තුළ ඉන්දීය විදේශ ණය මඟින් මූල්‍යනය කරන ලද ප්‍රධාන ව්‍යාපෘතීන්...

ව්‍යාපෘතිය සහ දායකයා

ලැබුණු ණය මුදල එ. ජ. ඩො. මිලියන.

ඕමන්තේ, පලාලි, මඩු-තලෙයිමන්නාරම සහ මැදවච්චිය දුම්රිය මාර්ග ව්‍යාපෘතිය

189

ඉන්දියාව (ලබා දුන් සියලු මුදල්)

189

උපුටා ගැනීම; ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2013 (විදේශ අංශයේ ප්‍රවණතා හා ප්‍රතිපත්ති.)



පශ්චාත් සිවිල් යුද්ධය කාලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය මූලිකව සාධක දෙකක් මත මඟ පෙන්වීම කර ඇත. ඉන් එක් සාධකයක් තමිල්නාඩු සමග සෘජුවම සම්බන්ධ වන අතර එය ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන ප්‍රවණතාවකි. තමිල්නාඩු දේශපාලනය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර දී ශ්‍රී ලංකා දෙමළ ප්‍රශ්නයට මැදිහත් වීම සඳහා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව මත බලපෑම් කිරීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබීය.

කොංග්‍රස් පක්ෂයේ මධ්‍යම රජය ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රයේ තවදුරටත් ජනප්‍රිය සාධකයක් නොවන බව පැහැදිලි වේ. 1977 දී මහ මැතිවරණය පරාජය වීමෙන් පසුව කොංග්‍රස් පක්‍ෂය සෑම විටම ප්‍රාදේශීය පක්ෂ සමග සන්ධානගත ව දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමට උත්සහ කරනු ලැබීය. මෙම පසුබිම තුළ ඉන්දියාව තම අවධානය, සෑම විට ම ශ්‍රී ලංකාවට එරෙහි ස්ථාවරයක සිටින තමිල්නාඩු දේශපාලනඥයන් වෙත යොමු කර ඇත. භූ-දේශපාලන සාධක දෙස අවධානය යොමු කිරීමේ දී, ශ්‍රී ලංකා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා අවශ්‍යතා වෙනුවෙන් හඬ නගන තමිල්නාඩුවේ දෙමළ ජනගහනය මිලියන 62ක් තරම් විශාල වේ. ඒ හේතුවෙන් ම ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කළ හැකි සාධකයක් ලෙස තමිල්නාඩු ප්‍රාන්තය ඉන්දීය දේශපාලනය තුළ ප්‍රබල භූමිකාවක් රඟ දක්වනු ලබයි. ඒ හේතුවෙන් ම දකුණු ඉන්දීය දේශපාලනය තෘප්තිමත් කරනු වස් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමට දැඩි උනන්දුවකින් කටයුතු කරමින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සංවාදයක් ගොඩනගා ගැනීමට ඉන්දියාව උත්සාහ කරන ආකාරයක් දැකිය හැකිය. එය ඉන්දීය මහ මැතිවරණය සඳහා තමිල්නාඩුවේ ඒ. අයි. ඩී. එම්. කේ. පක්ෂයේ (AIDMK) උපකාරයෙන් තම ජනප්‍රියත්වය ආරක්ෂා කර ගැනීමට එවකට පාලක කොංග්‍රස් පක්ෂයේ උත්සාහය වූ බව ඉතා පැහැදිලිව අවබෝධ කර ගත හැක.

තව ද දෙරට අතර පවතින ධීවරයින් ප්‍රශ්නය සංකීර්ණ තත්ත්වයක් උසුලනු ලබයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නාවික සැතපුම් 12ක පමණ දුරකින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා වෙන් වී තිබේ. ශ්‍රී ලංකා හමුදාව විසින්, ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් රාශියක් දිගින් දිගටම පසුගිය සමය තුළ දී අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඉන්දියානු නාවික හමුදාවද ශ්‍රී ලංකා ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කරුණ වර්තමානය වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගැට‍ළුවක් නිර්මාණය කිරීමට තරම් සමත්ව තිබෙන අතර ඉන්දියානු ධීවරයින්ට වෙඩි ප්‍රහාර එල්ල කරන බවට ඉන්දියානු පිරිස් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චෝදනා එල්ල කරයි. 

කෙසේ වෙතත් ඉන්දියාවේ හැට අට වන නිදහස් දිනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් අනූපස් දෙනකු නිදහස් කිරීමට තීරණය කිරීමද ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉතා වැදගත් ය. මේ සම්බන්ධයෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් ඉන්දියාවෙන් ලැබිණි. ඉන්දීය රජය මෙන් ම දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා රජයේ මෙම සුහදත්වය දෙරටේ මිතුදම තවදුරටත් ශක්තිමත් කරන බව ය. 

දෙවන සාධකය ලෙස චීනය හා පකිස්ථානය සමඟ ශ්‍රී ලංකාවේ වර්ධනය වන සබඳතා හැඳින්විය හැකිය. ආසියානු කලාපයේ හා දකුණු ආසියානු කලාපයේ වර්ධනය වන ප්‍රමුඛ බලවතා ලෙස  ඉන්දියාවට ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සූදානම් වන චීනයේ වර්ධනය වන බලය අනාගතයේ දී  ප්‍රබල ගැටලුවක් වී ඇත. එය දකුණු ආසියානු කලාපීය බලයක් ලෙස ඉන්දියාවට, ශ්‍රී ලංකාව, චීනය හා පකිස්ථානය අතර වර්ධනය වන සබඳතා ඉවසා කටයුතු කළ නොහැකි වන සාධකයකි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ, චීනය හා පකිස්ථානය සැම විටම ඔවුන්ගේ යුදමය සහයෝගය ලංකාවට ලබා දුන්නේ ය. චීනය හා පකිස්ථානය ශ්‍රී ලංකාවේ යුද හමුදා සෙබළුන් පුහුණු කිරීමට සම්බන්ධ වූ අතර ශ්‍රී ලංකා රජය වෙත අවි ආයුධ ද සැපයූහ. යුද්ධය අවසන් වීමෙන් පසු, චීනය ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රධාන මූල්‍ය දායකයා ද විය. ඒ අතර චීනය හම්බන්තොට වරාය සහ හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා සම්බන්ධ වී ඇත. හම්බන්තොට වරාය ඉන්දියානු සාගරයේ භූ දේශපාලන උපක්‍රමික රාමුන් අතර ඉතා වැදගත් කලාපයක් වන අතර චීනයට ඉන්දීය සාගරය තුළ නාවික මං තීරුවක් ලබා ගැනීම සඳහා බොහෝසෙයින් වැදගත් ව්‍යාපෘතියක් ද වේ. තවද, චීනය ඉන්දීය සාගරයේ පිහිටි ශ්‍රී ලංකා මූලෝපායකි පිහිටීම තේරුම් ගෙන ශ්‍රී ලංකාවට යුදමය හා රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය පළ කරයි. ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට නිරීක්ෂක මට්ටමේ රාජ්‍යයක් ලෙස ෂැංහයි සහයෝගිතා කවුන්සිල රැස්වීමට ද සහභාගි විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් පශ්චාත් යුධ සමය තුළ දී චීනය වෙත කිහිප වතාවක් නිල සංචාරවල යෙදුණු අතර එමගින් තවදුරටත් දෙරට අතර සබඳතා ශක්තිමත් විය. 

මෙම සාධකය ඉන්දියාවට තමන්ගේ ඉන්දීය සාගර ආරක්ෂක හා ක්‍රමෝපාය සැලැස්මවල් සඳහා ප්‍රබල ලෙස බලපා ඇත. ඉන්දියාව කලාපයේ බලවතා වශයෙන් සලකා ශ්‍රී ලංකාව පිළිබඳ ලෝකය පුරා පැතිර තිබූ වැරදි මත වාද ඉවත් කිරීමේ ප්‍රතිපත්තියක් තානාපති කාර්යාල හරහා ගෙන යාමට ලක් රජය කටයුතු කරන ලදි. මෙම ද්විපාර්ශ්වික අනවබෝධය හේතුවෙන් පශ්චාත් යුද කාලීන යුගයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති විදේශ සම්බන්ධතාවන්හි ස්වරූපය සාමකාමී හා විශ්වාසදායී නොවූ බව හඳුනාගත හැකිය. එම යුගයේ වර්ධනය වූ දේශපාලන ප්‍රශ්නය රටවල් දෙක අතර ඓතිහාසික සාමකාමී සබඳතා කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත.


පකිස්ථානය සමග රජය කටයුතු කළ ආකාරය.

ශ්‍රී‍ ලංකාව හා පකිස්ථානය අතර නිදහස ලබා ගත් මෙහොතේ සිට ඓතිහාසික මෙන් ම සංස්කෘතික සම්බන්ධතා පවතී. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ දී පකිස්ථානය ශ්‍රී ලංකා රජයට සහය පල කරමින් අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් නො සතුටට පත් ඉන්දියාව කියා සිටියේ, මෙලෙස මිලිටරි ආධාර ලබා දීම ශ්‍රී ලංකාවේ සාම වැඩ පිළිවලට බාධාවක් විය හැකි බවයි. 

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ද්විපාර්ශ්වික සබඳතා ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය කාලය තුළ වේගයෙන් වර්ධනය විය. ශ්‍රී ලංකාව වෙත අවි ආයුධ සහ උණ්ඩ අලෙවි කරන රටවල් අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නේ පකිස්ථානයයි. ශ්‍රී ලංකා හමුදා හා බුද්ධි සේවාව නිලධාරීන් පුහුණු කිරීම සඳහා ද පකිස්ථානය සහය වී ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියර සඳහා ලබා දුන් දැවැන්ත යුදමය සහයෝගයට අමතරව පශ්චාත් යුද සමයේ දී පකිස්ථානය සමග ඇති සවිමත් ද්විපාර්ශ්වික සබඳතාවය දැඩි කරමින් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව පකිස්ථානයේ ජනාධිපති අසිෆ් අලී සර්දාරි සමඟ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය චාරිකාවක, 2010 නොවැම්බර් මාසයේ දී නිරත විය. මෙම සංචාරය පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතාවේ නව පරිච්ඡේදයක් විවෘත කිරීමට සමත් වූ බව දේශපාලන විචාරකයන්ගේ මතය වේ.

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද 2012 වසරේ පෙබරවාරි මාසයේ දී පකිස්ථානයේ සංචාරයක නිරත විය. එම චාරිකා දෙකම රටවල් දෙක අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය තහවුරු කිරීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක ගැට‍ළු හා සම්බන්ධ වන ශ්‍රී ලංකාවේ පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් පුහුණු කිරීම සඳහා පකිස්ථානය එකඟ විය. මෙමගින් පෙනී යන්නේ පකිස්ථානය, ශ්‍රී ලංකාව තුළ යුද්ධයෙන් පසු ආරක්ෂක ක්ෂේත්‍රයන්හි මෙන්ම ආර්ථික අංශයේදී ද තවදුරටත් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවයි.


ගෝලීය පසුබිම.

ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තරයේ අනෙකුත් රාජ්‍යයන් අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ගේ ස්වරූපය කෙරෙහි ය. එහිදී චීනය ශ්‍රී ලංකාවට පක්ෂවත්, ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට බලපෑම් සහගතවත් ක්‍රියා කරන ආකාරයක් දිස් වන අතර එම ලෝක බලවතුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය අනුව ලෝකයේ අනෙකුත් රාජ්‍යයන්ගේ ක්‍රියාකලාපය ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවන්හි දී විවිධාකාර වන ආකාරයක් දැකිය හැකිය. ඒ අනුව මෙම කොටසින් මූලික වශයෙන් අවධානය යොමු ව ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට ප්‍රබල දායකත්වයක් මෙන් ම බලපෑම් ඇති කරනු ලැබූ ප්‍රමුඛ රාජ්‍යයන් කිහිපය කෙරෙහිය.


චීනය සමඟ වූ සබඳතාවන්හි ස්වරූපය හා එහි ප්‍රතිඵල.

වර්තමාන චීනය ලෝක ආර්ථිකයේ වැදගත් පුරුකක් බවට පත්ව තිබේ. චීන ආර්ථිකය මේ වන විට දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකයට පමණි. ලොව විශාලතම නිෂ්පාදන ආර්ථිකයේ හිමිකරුවා වන්නේ චීනය යි. දේශපාලනමය වශයෙන් පරස්පර මතවාද දරණ චීනය හා ඇමරිකාව ආර්ථික ක්‍රියාවලියේදී විරුද්ධ ස්වරූපයක් නොපෙන්වයි. ඇමරිකාවේ ආර්ථිකය ඇ.ඩොලර් ට්‍රිලියන 17.6ක් වන අතර චීන ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 17.4කි. ඇමරිකාව චීනයේ ආයෝජනය අවස්ථා ලබා ගෙන ඇති අතර චීනය ද ඇමරිකාවේ ආයෝජන අවස්ථා හිමි කර ගෙන ඇත. වර්තමානය වන විට ලෝක ආනයන අපනයන වෙළඳපොළෙහි ප්‍රධාන හිමිකරුවා බවට චීනය පත්ව තිබේ. භාණ්ඩ හා සේවා වෙළඳපොළෙහි ලොව වැඩි ම පංගුව ද චීනය සතුය. 

ඇමෙරිකාව විසින් ඩොලර් බිලියන 50ක ඍජු ආයෝජන (FDI) ලෙස චීනයේ ආයෝජනය කර ඇති අතර චීනයද ඇමෙරිකාව තුළ ඍජු ආයෝජන වශයෙන් ඩොලර් බිලියන 30ක් ආයෝජනය කර ඇත. එසේම ඇමෙරිකාවේ භාණ්ඩාගාර බිල්පත් හා බැදුම්කර අංශයන්හි වැඩියෙන්ම මුදල් ආයෝජනය කර ඇත්තේ ද චීනයයි. එය 2010 වසර වන විට ඩොලර් ට්‍රිලියන 1.16 ඉක්මවන බවයි. 

පසුගිය සියවස ඇමෙරිකානු සියවස ලෙස හඳුන්වන්නෝ සිටිති.  “ද ඉකොනොමිස්ට්” (The Economist) සඟරාව මඟින් මෑතක දී පළ කල ලිපි රැසකින් ම පෙන්වා දුන්නේ ලෝක ආර්ථිකයේ පසුගිය සියවසේ බල පරාක්‍රමය දරා සිටියේ ඇමෙරිකාව වුවත් මේ සියවසේ ලෝක ආර්ථිකයේ බල පරාක්‍රමය ඇමෙරිකාවෙන් චීනයට මාරුවන ලකුණු පහළ වී ඇතැයි නව මතවාදයක් ගොඩ නැගෙමින් පවතින බවත්ය. ඔවුන්ගේ ආර්ථිකයේ වර්ධනය මනිනු ලබන ජාත්‍යන්තර මිමි දෙකකි. එනම් දළ දේශීය නිෂ්පාදනයේ ඉහළ යාම හා පරිභෝජනය ඉහළ යාමය. 2001 - සිට 2010 දක්වා දළ දේශීය නිෂ්පාදනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධනය 9.9%කි. එම දශකය තුළ සම්පූර්ණ වර්ධන ප්‍රතිශතය 158%කි. (ලෝක බැංකු වාර්තා අනුව) එය ඉතා වැදගත් වන්නේ 2008 දී ලෝක ආර්ථික අර්බුදය පැවති අවධියේ දී ද චීනයේ ආර්ථික වර්ධනය ඉහළ යාමය. 

2014 ජුනි මාසය වන විට චීනයේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 7.5%කි. චීනයේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය අනෙකුත් රටවල් සමඟ සසඳා බැලීමෙන් චීනයේ ආර්ථික වර්ධනය කෙතරම් ඉහළ දැයි දැක ගත හැකිය. ඒ අනුව එම දශකය තුළ චීනයට පසු ඉහළ ආර්ථික වර්ධනයක් දක්වන ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධනයට වඩා දෙගුණයකින් වර්ධනය විය. රුසියාවට වඩා 2.5 කින් වැඩිය. දකුණු කොරියාවට වඩා තුන් ගුණයකි. ජර්මනියට වඩා 7 ගුණයකි. ඇමරිකාවට වඩා 20 ගුණයක අගයක් ගනී. දැනට ලෝකයේ වැඩි ම විදේශ විනිමය සංචිතය ඇත්තේද චීනයටයි. මෙතෙක් කල් චීනයට විදේශ මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කළ චීනය දැන් ලෝකයේ වෙනත් රටවල මුදල් ආයෝජනය කිරීමට පෙලඹී තිබේ. විශේෂයෙන් උතුරු ඇමරිකාව, යුරෝපය, මැද පෙරදිග, අප්‍රිකාව හා දකුණ ආසියාව යන රටවල විශාල ලෙස මුදල් ආයෝජනය කිරීමට පටන් ගෙන ඇත. ඒ අතරින් දකුණු ආසියානු ක්ෂේත්‍රයේ චීන ආයෝජන ප්‍රමුඛ වශයෙන් සිදුවන කලාපයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගත හැකිය.

ලෝකයේ දැවැන්තම ආර්ථීකය ලෙසින් වැජඹුණු ඇමරිකානු ආර්ථිකය පරදා බොහෝදුරට චීන ආර්ථිකය ලෝකයේ අංක එකේ ආර්ථිකය හිමි බලවත්ම රට බවට පත්වනු ඇතැයි ලෝක බැංකුව සමග ජාත්‍යන්තර සංසන්දනාත්මක වැඩසටහන (The International Comparison Program (ICP)) කර තිබෙන නවතම සමීක්ෂණයකින් අනාවරණය කර තිබේ. චීනයේ වර්තමාන දීර්ඝ කාලීන අරමුණ නම් 2049 වන විට ලොව සංවර්ධිත රටක් ලෙස ජාත්‍යන්තරයේ බලවත් ම රාජ්‍ය බවට පත් වීමයි. එහිදී බලශක්තියත්, උපායමාර්ගික මර්මස්ථානත් ලොව පුරා පිහිටුවීම චීන රජයේ අරමුණ වී ඇත. ඒ අනුව චීනය විසින් සැලසුම් කර ඇති “නව මුහුදු සේද මාවත” ව්‍යාපෘතිය හරහා චීනය හා ශ්‍රී ලංකාව අතර නිදහස් මුහුදු මාර්ගයක් විවෘත කර ගැනීම මූලික අභිප්‍රාය වී ඇත. එම මුහුදු මාර්ගය තුළ පිහිටි වැදගත් ම මර්මස්ථාන තුනෙන් එකක් වන්නේ හම්බන්තොට වරායයි. අනෙක් ස්ථාන දෙක වන්නේ මියන්මාරයේ සිට්වේ වරාය (Sittwe port) හා පකිස්ථානයේ ග්වාඩර් වරාය (Gwadar port) වේ.

චීනය හා ශ්‍රී ලංකාව අතර ඈත අතීතයේ සිට ම ගනුදෙනු පැවතුණා යැයි විශ්වාස කෙරෙන අතර එය සනාථ කෙරෙන ඓතිහාසික සාක්ෂි ද ශ්‍රී ලංකාවේ මෙන් ම චීනයේ ද ඇත. ශ්‍රී ලංකාව පිළිබද ඉපැරණිම සටහන් තබා ඇත්තේ චීනයේ සිට ආ ෆාහියන් හිමියන් ය. උන්වහන්සේ ක්‍රි.ව. 411-412 අතර කාලයේ අනුරාධපුරයේ අභයගිරි විහාරයේ වැඩ වසමින් ලංකාව පිළිබද ඓතිහාසික විස්තර රැසක් සටහන් කර තිබේ. ෆාහියන් හිමියෝ එදා ලංකාව හඳුන්වා ඇත්තේ රත්නදීප නමිනි. ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපතිවරයෙකු වූ ජියැං ඕංචෙක් මහතා තැනක සඳහන් කර ඇත්තේ “තාන් දේශයේ ඉතිහාසය” නම් ඉපැරණි ග්‍රන්ථයේ එදා “සිම්හල රට” (ශ්‍රී ලංකාව) ගැන ද සඳහන් කර ඇති බවයි. මහජන චීන සමූහාණ්ඩුව නිල වශයෙන් පිළිගත් පළමු රටවල් ගොන්නට ශ්‍රී ලංකාවද අයත් වෙයි. 1948 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබන විට චීනය පාලනය කරන ලද්දේ ගොමින් තාං රජයයි. ලංකාව සමග රාජ තාන්ත්‍රික සබඳතා මුල්වරට ආරම්භ කරන ලද්දේ එම රජයයි. ශ්‍රී ලංකා රජය මුල්වරට නිල වශයෙන් ලියවිල්ලක් චීනයට යවා ඇත්තේ 1950 ජනවාරි 7 වැනිදාය. ඒ චීන මහජන සමූහාණ්ඩුව පිහිට වූ පසුය. එදා මෙරට අගමැති ඩී.එස්. සේනානායක මහතා චීන ආණ්ඩුවට රාජ්‍ය සන්දේශයක් යවමින් ලංකාව චීනයේ මධ්‍යම ආණ්ඩුව පිළිගත් බවත් එදා පටන් ගොමින් තාං රජය සමග පැවති සබඳතා නතර කරන බවත් දන්වා ඇත. චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පුළුල් වීමට තවත් හේතුවක් වී තිබෙන්නේ රටවල් ද්විත්වය අතර ඇතිකරගෙන තිබෙන්නා වූ විවිධ ගිවිසුම් හා එකඟතා නිසාවෙනි. ඒ අතර චීනය විසින් ශ්‍රී ලංකාවට ආර්ථික, ආරක්ෂක සහ තාක්ෂණික සහයන් බහුලව පිරි නැමීම සුවිසේශී වේ.

චීනය වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්ෂේත්‍රයට ආධාර ලබා දෙන ප්‍රධානතම රාජ්‍යයක් බවට පත්ව ඇත. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා දැඩි වීම නිසා ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික මර්මස්ථාන විය හැකි කලාප තුල යටිතල පහසුකම් නැංවීමත්, එම කලාප තුල දැවැන්ත ලෙස ආයෝජනය කිරීමත් චීනය විසින් බහුලව සිදු කරනු ලැබේ. උදාහරණ ලෙස නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය, නෙළුම් පොකුණ ජාතික ප්‍රසාංගික කලා රඟහල ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු කරන චීන ව්‍යාපෘති වන හම්බන්තොට වරාය ආදිය චීනයේ ආධාර මත ක්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ලෙස දැක්විය හැක. චීනය සහ ශ්‍රී ලංකාව නිතරම පාහේ සමීප ආරක්ෂක සහයෝගීතාවයක්ද පවත්වාගෙන යයි. ත්‍රස්තවාදය පරාජය කිරීමේදී අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ චීනය අපගේ ආරක්ෂකයකු ද විය. ආසියානු කලාපය තුල ශ්‍රී ලංකාවේ විශාලතම ගනුදෙනුකරුවකු වන්නේ ද චීනයයි. චීනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2014 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් විය. 

2010-2015 අතර සමයේ ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා වඩා වේගයෙන් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස 2014 සැප්තැම්බර් 16 වන දින චීන ජනපති ෂී ජිං පිං මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ලදි. එය ඉතා වැදගත් වන්නේ 1986 දී ලී ෂියනින් චීන ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් වසර 28කට පසු චීන ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණීමත් හා දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් කිරීමේ සැලසුම් පැවතීමත් ය.

චීන ශ්‍රී ලංකා වෙළඳ සබඳතා

වර්ෂය

චීනයට අපනයන

(ඇ. ඩො. මි.)

චීනයෙන් ආනයන

(ඇ. ඩො. මි.)

2005

29.4

630.6

2006

25.4

779.7

2007

34.4

923.8

2008

46.4

1091

2009

56

1029

2010

72

1240

2011

103

2092

2012

113

2667

මූලාශ්‍ර; වාර්ෂික වාර්තා, ශ්‍රී ලංකා මහ බැංකුව.



බලශක්තිය සංවර්ධනය අරමුණු කර ගනිමින් තෙල් නිධි ගවේෂණය සඳහා බිම් තීරයක් ශ්‍රී ලංකාව විසින් චීනයට මෑතක දී ලබා දුන් අතර චීනය විසින් ශ්‍රී ලංකාවේ ගල් අඟුරු බලාගාරයක් පිහිටුවීමට පියවර ගනු ලැබීය. ඊට අමතරව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය නවීකරණය කිරීම සඳහා චීනය සිය තාක්ෂණික සහය ශ්‍රී ලංකාවට සැපයීය. තවද චීන-ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් යටතේ හම්බන්තොට සංවර්ධන කලාපය තුල බහාලුම් වරායක්, ඉන්ධන සැපයුම් පද්ධතියක්, තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර ගුවන් තොටුපලක් සහ අනෙකුත් පහසුකම් ඉදි කිරීම සිදුවෙයි. මෙම සමස්ත ව්‍යාපෘති වෙනුවෙන් ඇ.ඩො බිලියන 1ක පමණ වියදමක් ඇස්තමේන්තු ගත කර ඇති අතර ඉන් 85%ක වැඩි බරක් චීනය විසින් උසුලනු ලබයි. මෙහි මූලික අදියරේ කටයුතු වසර 3ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරනු ලබන අතර සමස්ත ව්‍යාපෘතිය වසර 10ක් තුළ නිම කිරීමට නියමිතය.

2013 අගෝස්තු මාසයේ දී චීන ආධාර යටතේ ඇ.ඩො මිලියන 500 ක් පමණ වියදම් කොට තැනූ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයක්(CTCT) විවෘත කිරීම සිදු කරන ලදි. විශේෂයෙන් ම සඳහන් කරන්නේ නම් ආරක්ෂක සබඳතා අංශයේ දී ශ්‍රී ලංකාව වෙත ආයුධ හා ආධාර සපයන ප්‍රධාන ස්ථාවර රටක් ලෙස ද චීනය හඳුනාගත හැකිය. 2009 වර්ෂයේ දී යුද්ධය අවසන් වීමෙන් අනතුරුව චීනය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 4කට අධික ණය ප්‍රමාණයක් ලබා දී ඇත.

2013 වසර තුළ චීන විදේශ ණය මඟින් මූල්‍යනය කරන ලද ප්‍රධාන ව්‍යාපෘතීන්...

ව්‍යාපෘතිය සහ දායකයා

ලැබුණු ණය මුදල එ. ජ. ඩො. මිලියන.

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය- 2වන අදියර

236

පුත්තලම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය - 2වන අදියර

110

මාතර කතරගම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය

85

ශ්‍රී ලංකා දුම්රිය මාර්ග ව්‍යාපෘති සඳහා නව බලවේග කට්ටල 13ක් සැපයීම.

43

චීන අපනයන - ආනයන බැංකුව (ලබා දුන් සියලු මුදල්)

810



ප්‍රමුඛතාගත මාර්ග ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

105

මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය

24

චීන සංවර්ධන බැංකුව (ලබා දුන් සියලු මුදල්)

129

උපුටා ගැනීම; ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2013 (විදේශ අංශයේ ප්‍රවණතා හා ප්‍රතිපත්ති.)


ජපානය

පසුගිය වසර 60 කට අධික කාලය තුළ රටවල් දෙක අතර වෙළඳ හා ආයෝජන ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර ජපානයේ ආධාර ලබන රාජ්‍යයන් අතරින් ප්‍රමුඛතම රටක් බවට ශ්‍රී ලංකාව පත් ව ඇත. ඊට අමතරව දෙරට ම බුදු දහම මත පදනම් වූ සංස්කෘතික සබඳතා මගින් ද එකිනෙකට සම්බන්ධ වී ඇත. ජපානය හා ශ්‍රී ලංකාව අතර ඉතා ඉහළ සහජීවනයෙන් යුතු විදේශ සම්බන්ධතාවක් ඇති වීමට බලපාන ලද ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැක්කේ 1945 දෙවන ලෝක යුද්ධයෙන් පසු 1951 දී පවත්වන්නට යෙදුණු සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේ දී ලෝක ප්‍රජාව විසින් පරාජිත ජපානයට එරෙහිව යුද වන්දි ඉල්ලා සිටි අවස්ථාවේ දී ලංකා රජය විසින් ඊට විරුද්ධ වීමයි. එම අවස්ථාවේ ශ්‍රී ලංකා නියෝජිතයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා කරන ලද ප්‍රකාශය ලෝක ප්‍රජාවේ ඉමහත් අවධානයට හා කීර්තියට ලක් වූ අතර එදා සිට අද දක්වා ශ්‍රී ලංකාව කරන ලද උපකාරය වෙනුවෙන් ප්‍රතිඋපකාර කිරීමට ජපානය සැදී පැහැදී සිටින බව අධ්‍යයනය කළ හැක. තවද ජගත් මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වූ රාජ්‍යයන් අතරින් ප්‍රධාන රාජ්‍යයක් වන්නේ ද ජපානයයි.

ජපානය 2007 දක්වා ශ්‍රී ලංකාවට විශාලතම ආධාර සපයන්නා වූ අතර, ශ්‍රී ලංකාව ලබා ඇති යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විශාල දායකත්වයක් සපයනු ලැබීය. 2000 වසරේ දී ජපානය විසින් විදේශයන් සඳහා සපයන ආධාර අතරින් 8වෙනියට විශාලතම ආධාර හිමි කරගත් ලබන රට වූයේ ද ශ්‍රී ලංකාවයි. 2011 වසර වන විට ජපානය, ශ්‍රී ලංකාවේ 8 වැනිට විශාලතම වෙළෙඳ සහකරු වූ අතර 2 වැනිට විශාලතම මූල්‍ය අනුග්‍රාහකයා ද විය. 



ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ජපානයට අපනයනය කරන භාණ්ඩ වර්ග

නිෂ්පාදනය

වටිනාකම (ඇ. ඩො. මිලියන)

2009

2010

2011

කෝපි, තේ සහ කුළුබඩු

42.55

50.75

57.94

මාළු, කකුළුවන්, මොලූස්කාවන් හා වෙනත් ජලජ අපෘෂ්ඨවංශීන්

16.95

16.50

30.99

ඇඟලුම් සහ රෙදිපිළි

7.89

14.87

17.25

රෙදිපිළි වර්ග (කඩදාසි සහ රෙදි වියනු ලබන නූල් වර්ගයන්.)

6.83

8.02

10.59

විදුලි යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ අමතර කොටස්

4.67

7.72

8.35

 සෙරමික් ආශ්‍රිත නිෂ්පාදන

3.68

4.67

5.12

සකස් කරන ලද එළවළු, පළතුරු, ඇට වර්ග හා වෙනත් ශාක කොටස් 

3.40

3.12

4.02

මූලාශ්‍ර ; ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව



2013 වසර තුළ ජපාන විදේශ ණය මඟින් මූල්‍යනය කරන ලද ප්‍රධාන ව්‍යාපෘතීන්...

ව්‍යාපෘතිය සහ දායකයා

ලැබුණු ණය මුදල එ. ජ. ඩො. මිලියන.

මහ කොළඹ සංවර්ධන ව්‍යාපෘතිය 

26

මහ කොළඹ සංවර්ධන ව්‍යාපෘතිය II අදියර

93

ප්‍රාදේශීය/ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය (මධ්‍යම හා සබරගමු පළාත්)

22

ජල සැපයුම් සංවර්ධන ව්‍යාපෘතිය - II අදියර

17

ස්වාභාවික ව්‍යසනයන්ගෙන් හානියට පත් ප්‍රදේශ ගොඩනැගීමේ කඩිනම් ව්‍යාපෘතිය

17

ජපානය (ලබා දුන් මුලු මුදල් ප්‍රමාණය)

269

උපුටා ගැනීම; ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2013 (විදේශ අංශයේ ප්‍රවණතා හා ප්‍රතිපත්ති.)



ජයිකා (ජපානය ආයෝජන සහයෝගිතා ඒජන්සිය) සහ ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන ජපාන බැංකුව  යන ජපානයේ ප්‍රධාන ආයතන දෙක මගින් 1982 සිට 2012 පමණ දක්වා ජපානයේ සහාය හා ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර මෙරට ආර්ථික සංවර්ධනයට ජපානයේ විශාලතම මූල්‍ය අනුග්‍රාහකයා ද වී ඇත. ජපන් ආධාර ඇති ව 2010-2015 සමයේ කැපී පෙනෙන ව්‍යාපෘතිය වන ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් විය. අනෙකුත් ප්‍රධාන ජපන් ආධාර ලබන ව්‍යාපෘතීන් වන්නේ කොළඹ වරාය පුළුල් කිරීම, මහවැලි ව්‍යාපෘතියේ කොටස් සංවර්ධනය, සමනළ වැව, කුකුලේ ගඟ ව්‍යාපෘති, කොළඹ ගුවන් තොටුපලේ පුළුල් කිරීම හා එහි ගුවන්පාලම් ඉදිකිරීම (Aerobridges), විදුලි සංදේශ ජාල ව්‍යාපෘතිය හා දුම්රිය මාර්ග සහ පුනරුත්ථාපන ව්‍යාපෘති ඊට ඇතුළත් වේ. 2011 දී, ජපානය සමඟ ශ්‍රී ලංකාව සිදු කරනලද වෙළෙඳාම  එක්සත් ජනපද ඩොලර් බිලියන  1.2කි. 



2014 වසරේ දී ජපානය හා ශ්‍රී ලංකාව අතර විදේශ සම්බන්ධතා නිල වශයෙන් ආරම්භ කර වසර 60ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඇරයුමකට අනුව ලංකාවට පැමිණි ජපාන අගමැති තුමාගේ සංචාරය එවකට ලක් රජයට මහත් පිටිවහලක් වූ අතර දේශපාලනික වශයෙන් මෙන් ම ආර්ථික වශයෙන් ද මහත් ප්‍රතිලාභ හිමි කරදෙන්නක් ද විය. 1987 ජපාන අගමැති ටොෂිකි කයිෆු (Toshiki Kaifu) මහතාගේ පැමිණීමෙන් වසර 24ට පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු ජපාන අගමැතිවරයා ශින්සෝ අබේ (Shinzo Abe) මහතා වීම ශ්‍රී ලංකා රජයට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඉතා වැදගත් විය.

ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා 2010-2015 සමයේ දී ද අඛණ්ඩව පවත්වා ගැනීමට ලක් රජයට හැකි විය. විශේෂයෙන් ම ජනවාර්ගික ගැටලුවේ දී ජපානයේ මැදහත් වීම සුවිශේෂී විය. එම මැදිහත් වීම බොහෝ විට සුහදශීලී වූ අතර ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ගේ මැදිහත් වීම මෙන් තර්ජනාත්මක නොවීය. ජපාන විශේෂ නියෝජිත යසුශි ආකාශි මහතාගේ ක්‍රියාකලාපයන් මෙහි දී ප්‍රමුඛ විය.


පලස්තීන හා අනෙකුත් රාජ්‍යය සමඟ ශ්‍රී ලංකා රජයේ සම්බන්ධතා.

ශ්‍රී ලංකාව දිගුකාලීනව පලස්තීනයේ මිත්‍රයෙකි. එරට මාවතක් මහින්ද රාජපක්‍ෂ නමින් නම් කිරීම මෙම සමයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ පැවති සුවිශේෂීත්වය පෙන්නුම් කරන්නකි. තව ද  පලස්තීන ජාතිකයන් සඳහා ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කිරීමට ශ්‍රී ලංකාව තීන්දු කිරීම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ විශේෂ සිදුවීමක් වන අතර ජගත් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට පලස්තීනය දරන උත්සාහයට මෙන් ම එරට ජනතාවගේ යහපැවැත් ම වෙනුවෙන් එය මහඟු රුකුලක් ද විය. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පලස්තීන මිත්‍ර සංගමයක් පිහිටුවීමට මුල් වූයේද මහින්ද රාජපක්ෂ මහතා ය. එම සංගමයේ ප්‍රථම සභාපතිවරයා ද ඔහු ය. අද වන තුරු ද එම සංගමයේ සාමාජිකත්වය ජනාධිපතිවරයාට තිබේ. ජාත්‍යන්තර වේදිකාවේ දී පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ඒ මහතාගේ විශේෂත්වය යි. “පලස්තීන තාරුකාව” යන ගෞරව සම්මානයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා පිදුම් ලැබීය.  මේ අයුරින් ජනාධිපතිවරයා හා පලස්තීනය අතර පවත්නා ගැඹුරු සම්බන්ධතාව හඳුනාගත හැකි අතර ශ්‍රී ලංකාව පලස්තීනය වෙත ලබා දෙන ලද ප්‍රදානයෙන් එම සම්බන්ධතාව තවදුරටත් තහවුරු වේ.

ශ්‍රී ලංකාව පලස්තීනයට ලබා දෙන ප්‍රදානයෙහි තවත් විශේෂතා කිහිපයක් තිබේ. ඉන් එකක් වන්නේ ලෝක යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම ය. එය බලවත් ජාතීන්ගේ නිහඬතාවට විරෝධය දැක්වීමක් ලෙස ද සැලකිය හැකි ය. මෙබඳු තීන්දුවක් ගැනීමට ඍජු දේශපාලන මතයක් තිබිය යුතු ය. අනෙක් විශේෂත්වයක් වන්නේ ලෝකයේ ඉස්ලාම් රාජ්‍යයන් වෙත පණිවිඩයක් ලබාදීම ය. එහි ඇති විශේෂත්වයක් වන්නේ එය ඊශ්‍රායල් ආක්‍රමණයට මතවාදී වශයෙන් විරෝධයක් දැක්වීම ය. මේ සියල්ල ලෝක දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් සිද්ධි ලෙස සැලකිය හැකි ය. එමගින් ලොව සියලු දෙනාගේ අවධානය දිනා ඇති පලස්තීනයට ආධාර කිරීම හරහා ජාත්‍යන්තර අවධානය ශ්‍රී ලංකාවට ද දිනා ගැනීම ලක් රජයේ අරමුණ වූ බව උපකල්පනය කළ හැකි අතර එය ශ්‍රී ලාංකික විදේශ ප්‍රතිපත්තියේ පරිණතභාවය කියා පෑමක් ද වේ.

තවද වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් සමඟ ද සමීප සබඳතා ගොඩනඟා ගත් අතර ඉරානය වැනි රටවල පෞද්ගලිකව ම සංචාරය කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා උනන්දු වීම සමග ඇතිකරගත් සමීප සබඳතා නිසා දිගු කාලීන පැරණි සම්බන්ධතා නැවත තහවුරු කර ගැනීමට අමතරව ඒ සෑම සංචාරයක දී ම ශ්‍රී ලංකාවට විශාල ආර්ථික ලාභ රැසක් ලබා ගැනීම ද අරමුණු විය. ඉරානය හා ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පැවත එන දැඩි මිත්‍රත්වයකි. විශේෂයෙන් ම අවධානය යොමු කිරීමේදී ඉරානය සමඟ ඇති කර ගනු ලැබූ සම්බන්ධතා ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන ජාත්‍යන්තර බලපෑම්වල දී ඉරානය සෑම විටම ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලැබීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉරානයට යෑමත්, ඉරාන ජනාධිපතිතුමා මෙරටට පැමිණීම රාජතාන්ති‍්‍රක සබඳකම් අංශයේ සුවිශේෂී අවස්ථාවකි. ඉරාන රජයේ වියදමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වැය කර මඩකලපුවේ ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘතිය මෙන් ම උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය ද ඉතා සුවිශේෂී ආයෝජනයන් ලෙස හැඳින්වේ. ලෝකයේ දුරස්ථ රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාව පැවැත් වූ විදේශ සම්බන්ධතා යාවත්කාලීන කර ගනිමින් ඔවුන් සමඟ හිත මිතුරුකම් ගොඩනඟා ගැනීමත් ශ්‍රී ලංකාවේ සහයෝගය සඳහා ලෝකයේ නව රාජ්‍යයන් සොයා යෑමද මෙම සමයේ ලක් රජයේ විදේශ සබඳතා ඇසුරින් කැපී පෙනෙන ලක්‍ෂණයක් සේ දැක්විය හැකිය. 

ඊට අමතරව අප්‍රිකානු සංගමය, අරාබි ලීගය වැනි සංවිධාන සමගද කිට්ටු සහයෝගීතාවයක් ද මැදපෙරදිග හා ලිබියාව වැනි රටවල් සමඟ ඍජු සබඳතා තහවුරු කර ගැනීම මඟින් ද බොහෝ විට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ලද්දේ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා නව වෙළඳපොළවල් විවෘත කර ගැනීම මෙන් ම ජගත් මානව හිමිකම් සමුළුවේ දී ලංකාවට සහයෝගය ලබා ගැනීමයි.

ඊට අමතරව කියුබාව, වියට්නාමය, තායිලන්තය වැනි රටවල් නැවත ශ්‍රී ලංකාවේ සමීප මිතුරු රාජ්‍යයන් ලෙස දිනා ගැනීමට රජය උත්සහ කරනු ලැබූ අතර එය බොහෝ අවස්ථාවල දී සාර්ථක විය. පෘතුගාලය සමඟ පැවැත්වූ විදේශ සම්බන්ධතාවල දී ශ්‍රී ලංකා රජය විසින් ලංකාවට අයිති පුරා වස්තු නැවත ලබා දෙන ලෙසට ඉල්ලීමක් ද කළ අතර පෘතුගාල රාජ්‍ය නායකයා පවසා තිබුණේ ශ්‍රී ලංකාව සමඟ නව සබඳතා පැවැත්වීමට තමන් ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන බවයි. මැලේසියාව, තුර්කිය, වැනි රටවල කළ සංචාරයන් මඟින් ජනාධිපතිතුමා ඇතුළු ලක් රජයේ අපේක්ෂාව වී තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා එකී රටවල් සමඟ අන්‍යෝන්‍ය සබඳතා ගොඩනඟා ගැනීමයි.

විදේශ ප්‍රතිපත්තියක තිබෙන තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ ද්විපාර්ශ්වීය සබඳතා මෙන්ම බහු පාර්ශ්වීය සබඳතා පවත්වාගෙන යෑමය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, වැනි මූල්‍යායතන හා කලාපීය බැංකු සමඟ ද ශ්‍රී ලංකාව ඉකුත් කාලයේදී ප්‍රගතිදායක සබඳතා පැවැත්විණි. 

රුසියාව

1956 දෙසැම්බරයේ දී සෝවියට් දේශය, ශ්‍රී ලංකාව සමග සබඳතා පිහිටුවා ගන්නා ලදි. 1958 වර්ෂයේ දී දෙපාර්ශවය ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාවයකටද එළඹුණි. කෙසේ වෙතත් සෝවියට් දේශය බිඳ වැටීමෙන් අනතුරුව විවිධ හැලහැප්පීම්වලට ලක් ව සිටි රුසියාව 21 වන සියවස ආරම්භ වීමත් සමඟ ජනාධිපති ව්ලැදිමීර් පූටීන්ගේ නායකත්වය යටතේ ගෝලීය දේශපාලන, ආර්ථික හා යුදමය වශයෙන් ලොව සුපිරි බලවතෙකු ලෙස තමාට හිමි නිසි තැනට පැමිණ සිටියි. සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග එහි බොහෝ මිතුරෝ රුසියාව හුදකලා කරමින් ඉවත් වූහ. එවන් අවස්ථාවක ශී‍්‍ර ලංකාව සතු කෘතවේදී ගුණාංගය පිළිබිඹු කරමින් රුසියාව සමග එකට සිට සැබෑ මිත්‍රත්වය පෙන්වීම තුළින් ශී‍්‍ර ලංකාව පිළිබඳ සැබෑ චිත්‍රයක් ජාත්‍යන්තරය තුළ නිර්මාණය වූ අතර, දෙරට අතර මිතුදම යාවත්කාලීන කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ඉටු කරනු ලබන මෙහෙවර ඉතා වැදගත් වේ.

රුසියාව පසුගිය වසර කිහිපය තුළ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ මුහුණ දුන් අභියෝග ජයගැනීම සඳහා පූර්ණ සහාය ලබා දුන් ලොව බලවතෙකි. ශ්‍රී ලංකාවේ වසර 30ක් පුරා යුද්ධය පැවති සමයේ, රජයේ ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය යුධෝපකරණ ලබා දීම ඇතුළු අනෙකුත් යුධ ආධාර සැපයීමට සෑම විටම  රුසියාව පියවර ගන්නා ලදි. සිවිල් යුද්ධය පැවති සමයේ ගෝලීය ආර්ථික හා දේශපාලනික අරමුණු වෙනුවෙන් කටයුතු කළ බටහිර රාජ්‍යයන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ යුගයක රුසියාව, ශ්‍රී ලංකාවේ හමුදාවන්ට ආධාර ලබා දෙමින් සහය දැක්වීය. තීරණාත්මක අවස්ථාවක ජනාධිපතිතුමාට දුරකතන ඇමතුමක් ලබා දුන් හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ශ්‍රී ලංකාවේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවට සහතික විය. රුසියානු අගමැති ව්ලැදිමීර් පුටීන් ද ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු කරන ලදි.

මානුෂීය මෙහෙයුම නතර කිරීමට ආරක්ෂක මණ්ඩලයට යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවේ දී සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියාව පෙනී සිටියේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දී, ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ආ විට ඒවා ව්‍යර්ථ කිරීමට රුසියාව ක්‍රියා කරනු ලැබීය. ජගත් මානව හිමිකම් සංවිධානය හරහා ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් සමයේ දී (2009) ඊට එරෙහිව යුරෝපියානු සංගමය, කැනඩාව සහ මෙක්සිකෝව ගෙන ආ යුධ විරාම යෝජනාව, රුසියාව සහ චීනය එක්ව නිශ්ප්‍රභ කරනු ලැබීය. ඉන් පසු ශ්‍රී ලංකාවට විරුද්ධව එල්ල වූ සෑම මානව හිමිකම් චෝදනාවක දී ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන එන සෑම අවස්ථාවකදීම රුසියාව සිය විරුද්ධත්වය ප්‍රකාශ කරන ලදි.

රුසියාව ලෝකයේ ප්‍රබලතම ආර්ථික බලවතුන් 8 දෙනා අයත් G8 කණ්ඩායමේ සාමාජිකත්වය දරයි. බොහෝමයක් බටහිර රාජ්‍යයන් විසින් මෙරට ආර්ථිකය හුදකලා කිරීමේ අනතුර අබියස රුසියානු ව්‍යාපාරික ප්‍රජාව හරහා මෙරටට විශාල වශයෙන් ආයෝජන හා වෙළඳ අවස්ථා රැසක් ගෙන එමින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට රුසියාවෙන් ලබා දුන් පිටිවහල ද ඉතා වැදගත් වේ. එහිදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වර්තමානයේ ප්‍රශස්ත ආර්ථික සම්බන්ධතා ගොඩනැගී පවතී. ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් 17% ක පමණ වෙළෙඳපොළ දායකත්වයක් සපයන්නේ රුසියාවයි. රුසියානු වෙළෙඳපොළ තුල ශ්‍රී ලංකාවේ තේ සඳහා 30% ක පමණ ඉල්ලුමක් පවතියි. 

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත රුසියානු මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය (ලුමුම්බා සරසවිය) සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීම රුසියාව තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැවති පිළිගැනීම විදහා දැක්වේ.


යුක්‍රේන ජනරජය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 ජුනි මස 29 - ජූලි 03 වැනි දිනයන්හි යුක්‍රේනයට කරන ලද සංචාරය ඔහුගේ දෙවන ධුරය කාලය ආරම්භවීමත් සමඟ එම කලාපයේ කරන ලද ප්‍රමුඛතම සංචාරය විය. ශ්‍රී ලංකා නව විදේශ ප්‍රතිපත්තිය අනුව යමින්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු ශ්‍රී ලාංකික නිල දූත පිරිස යුක්‍රේනයේ ජනාධිපති වික්ටර් යන්කොවිච් (Viktor Yanukovich) සමග සවිස්තරාත්මක ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සමත් විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුක්‍රේන සංචාරයේ වැදගත් සිදුවීමක් ලෙස ජුනි මස 30 වැනි දින පැවති ශ්‍රී ලංකා යුක්‍රේන ව්‍යාපාරික සංසදය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ හා  යුක්‍රේනයේ ප්‍රමුඛ ව්‍යාපාර නියෝජිතයින් මෙයට සහභාගි වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය‍ මෙම අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලංකා තේ සඳහා යුක්‍රේනයේ විශාල වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත. ශ්‍රී ලාංකික දූත පිරිස එම ව්‍යාපාරික සභාව අමතමින් ප්‍රකාශ කරනු ලැබූ වේ ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට යුක්‍රේන ව්‍යාපාරිකයන් හා කර්මාන්ත සඳහා විශේෂයෙන් ආරාධනා කරන බවයි. එවැනි ආයෝජන සඳහා හැකි විවිධ පහසුකම් පිළිබදව යුක්‍රේන ව්‍යාපාරිකයන් ව දැනුවත් කිරීම ශ්‍රී ලංකාවේ අරමුණ ද විය.


කසකස්ථානය සමඟ පැවති විදේශ සම්බන්ධතා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2012 නොවැම්බර් 19-22 දිනයන්හී කසකස්ථානය ජනරජයේ තෙදින සංචාරයක නිරත වූ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම සංචාරය ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙක් විසින් කසකස්ථාන ජනරජයේ කරන ලද පළමු ඉහළ පෙළේ සංචාරය ද විය.

එහිදී කසකස්ථාන ජනාධිපතිවරයා වූ නුරුසුල්තාන් නසර්බයෙව් මහතා (Nurzultan Nazerbayev) සමඟ පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකා ව විසින් ක්‍රියාත්මක කරන දැවැන්ත සංවර්ධන යෝජනා අතර, උතුරු සහ නැගෙනහිර නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව නසර්බයෙව් මහතාව දැනුවත් කරන ලදි. ජනාධිපති නසර්බයෙව් මහතා සෑම අවස්තාවකදී ම ශ්‍රී ලංකාව කෙරෙහි කොන්දේසි විරහිතව සහයෝගය දක්වන බව අවධාරණය කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සාර්ථකත්වයට ඉමහත් රුකුලක් විය. ඊට අමතරව ශ්‍රී ලාංකික දූත පිරිස කසකස්ථානයේ අස්තානා නුවර පැවති ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව මඟින් දෙරට අතර ව්‍යාපාරික අවස්ථා හා ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු විය.


බෙලරුස් ජනරජය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2013 අගෝස්තු මස 25 වන දින බෙලරුස් ජනරජයේ සංචාරයක නිරත වූ අතර එම සංචාරය බෙලරුස් ජනරජය වෙත ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙකු විසින් සිදු කරන ලද පළමු ඉහළ පෙළේ සංචාරය ද වේ. බෙලරුස් ජනරජයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ මහතා හා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා අතර පැවති සාකච්ඡාවල දී ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධන යෝජනා වන උතුරු සහ නැගෙනහිර නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව බෙලරුස් නායකත්වය දැනුවත් කිරීම සිදු විය. එහිදී ද ලක් රජය වෙත සෑම අවස්ථාවක දී ම කොන්දේසි විරහිතව සහය ලබා දෙන බවට නැවත අවධාරණය කරනු ලැබීය.

දෙරට අතර පැවති දීර්ඝ සාකච්ඡා බෙලරුස් හා ශ්‍රී ලංකා ප්‍රමුඛ නිලධාරීන් සමග පවත්වන ලදි. දෙරටට ම වැදගත් කරුණු පිළිබඳව මෙම රැස්වීමේ දී සාකච්ඡා කරන ලද අතර ද්විපාර්ශ්වික රැස්වීමෙන් පසුව එම රටවල් දෙක දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම නිමිත්තෙන් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීය.

පහත සඳහන් අවබෝධතා ගිවිසුම් සඳහා මෙම අවස්තාවේදී අත්සන් තබන ලදි.

නිල රාජ්‍ය තාන්ත්‍රික සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් සඳහා නිදහස් වීසා බලපත්‍ර පිළිබඳ ගිවිසුම.

වෙළෙඳ හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ ගිවිසුම.

හමුදා හා තාක්ෂණික ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගිතා ගිවිසුම.

ද්විත්ව බදුකරණය වැළැක්වීමේ ගිවිසුම.

බෙලරුස් අධිකරණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම.

සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව දැක්වීම සම්බන්ධයෙන් ගිවිසුම.

ගුවන් සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුම.

සංචාරක සංවිධාන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ රිපබ්ලිකන් සංගමය අතර අවබෝධතා ගිවිසුම.

අලෙවි හා මිල අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාතික මධ්‍යස්ථානය අතර සහයෝගිතා ගිවිසුම.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම දෙරටේ ම නායකයන් ඉදිරිපිට සිදු වූ අතර ඒකාබද්ධ ප්‍රකාශයක් මඟින් ප්‍රසිද්ධියට පත් කරන ලදි. මෙම මාධ්‍ය හමුව දෙරටේ ම ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයක් මගින් ආවරණය කරන ලදි.


ඇමරිකාව හා අනෙකුත් බටහිර රාජ්‍යයන්

එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, කැනඩාව හා ජර්මනිය ප්‍රමුඛ බොහෝමයක් බටහිර රාජ්‍යයන් 2010-2015 අතර සමයේ දී ශ්‍රී ලංකාව සමඟ යහපත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන ආකාරයක් දැකිය හැකිය. මීට හේතු වන කාරනා කීපයක් අධ්‍යයනය කළ හැක.

යුද්ධය අවසන් කිරීමේදී බටහිර රාජ්‍යයන් ලබා දුන් උපදෙස්වලට අවනත නොවීම හේතුවෙන් එම රාජ්‍යයන්වල අමනාපය වර්ධනය වීම.

1983 කළු ජූලිය හේතුවෙන් බොහෝමයක් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව ඉහත සඳහන් කරන ලද බටහිර රාජ්‍යයන් වෙත සංක්‍රමණය වූ අතර 2010 වසර වන විට එම සංක්‍රමණය වූවන් බොහෝමයක් මෙන් ම ඔවුන්ගේ දෙවන පරම්පරාව එම රාජ්‍යයන්වල පුරවැසිභාවය ලබා පැවතීම. ඒ හේතුවෙන් ම එම ද්‍රවිඩ පුරවැසියන්ගේ බලපෑම්වලට අදාළ රාජ්‍යයන්ට අවනත වීමට සිදු වීම හා ද්‍රවිඩ ඡන්ද කෙරෙහි ඇති අවධානය.

ශ්‍රී ලංකා රජය විසින් විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණයේ දී අනුගමනය කරන ලද යන්ත්‍රණයේ පැවති දුර්වලතා හා අදූරදර්ශී තීන්දු තීරණ.


ලෝකයේ රටවල දෙමළ ජනතාවගේ ව්‍යාප්තිය .

රට

සමස්ත ද්‍රවිඩ ජනතාව

ප්‍රතිශතය

වසර

මූලාශ්‍ර

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව

ඉන්දියාව

60,793,814

5.91%

2001 ජන සංගණනය


100,000 (2005)

ශ්‍රී ලංකාව

3,135,770

15.40%

2012 ජන සංගණනය




මැලේසියාව

1,800,000



2012


24,436 (1970)

එක්සත් රාජධානිය

300,000







120,000 (2007) 

දකුණු අප්‍රිකාව

250,000







කැනඩාව

300,000






200,000 (2007) 

ඇමරිකා එක්සත් ජනපදය

190,685



2009-13 ජන සංගණන වාර්තා




සිංගප්පූරුව

188,591

5.00%

2010




ප්‍රංශය

125,000






100,000 (2008) 

ෆීජි

80,000








මොරීශස්

72,089

5.83%

2011




ජර්මනිය

50,000







60,000 (2008)

ස්විට්සර්ලන්තය

40,000





50,000 (2008)

ඕස්ට්‍රේලියාව

50,151








ඉතාලිය

25,000











නෙදර්ලන්තය

20,000





20,000 (2008)

නෝර්වේ

10,000





10,000 (2000)

ඩෙන්මාර්කය

9,000 



(2003)



නවසීලන්තය

3,000







ස්වීඩනය

2,000


ඉහතින් දක්වන ලද දත්තයන්වලට අනුව ද්‍රවිඩ ජනතාව වැඩි වශයෙන් ජීවත්වන රාජ්‍යයන් බහුතරයක් ශ්‍රී ලංකාවට විරුද්ධ වීමට හේතුව උපකල්පනය කළ හැක. එනම් එම රටවල වාසය කරන ද්‍රවිඩ ජනතාවගේ බලපෑමයි. විශේෂයෙන් ම විකිලීක්ස් වෙබ් අඩවිය මඟින් අනාවරණය කරන ලද ඇමරිකානු තානාපති රහස් පණිවිඩ දෙස අවධානය යොමු කිරීමේ දී මෙම අදහස සනාථ වේ. 

එයට අනුව 2009 මානුෂීය මෙහෙයුම අවසාන සමයේ ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඩේවිඩ් මිලිබෑන්ඩ් එම කාර්යය සම්බන්ධයෙන් උනන්දු වන හේතුව එරට විදේශ අමාත්‍යංශයේ ශ්‍රී ලංකාව භාර කණ්ඩායමේ ප්‍රධානී ටිම් වේට් විසින් ලන්ඩනයේ ඇමරිකානු තානාපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ ;

“ලඟ එන එක්සත් රාජධානි මැතිවරණ හමුවේ, කුඩා බහුතරයක් සහිත කම්කරු පක්ෂ මැතිවරණ කොට්ඨාසවල දෙමළ වැසියන් බොහෝමයක් ජීවත් වීම නිසා බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවයි.” 

ඊට අමතරව ශ්‍රී ලංකා රජය 2010-2015 සමයේ දී බටහිර රාජ්‍යයන් සමඟ පැවති විදේශ සම්බන්ධතා දුර්වල වීමට බලපාන ලද ප්‍රධානතම සාධකයක් වූයේ ලක් රජයේ දුර්වල විදේශ ප්‍රතිපත්ති කළමනාකරණය බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ හා දේශපාලනඥයන්ගේ මතය වී ඇත. ඒ හේතුවෙන් ම එම රාජ්‍යයන් ජාත්‍යන්තරය තුළ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ශ්‍රී ලාංකිකයන් අතර ද ලක් රජය කෙරෙහි කලකිරීමක් ඇති වන ආකාරයෙන් කටයුතු කරනු ලැබීය. මීට හොඳම උදාහරණය නම් ශ්‍රී ලාංකිකයන් විසින් බටහිර රටවල් සඳහා වීසා බලපත්‍ර ලබා ගැනීමට යාමේදී ඔවුන් ව අපහසුතාවට පත් කිරීමයි. මේ පිළිබඳ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද අවධාරණය කරනු ලැබීය.

“....අවාසනාවට ආණ්ඩුව අරගෙන තිබෙන මේ පියවර තවදුරටත් ඉදිරියට ගෙනිච්චොත් ඒකෙ විපාක බලපාන්නේ මේ රටේ ජනතාවටයි. දැනට ම පිටරටට යන්න වීසා ගන්න අමාරුයි....”

තවද ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා ගැනීමේ දී බටහිර රාජ්‍යයන් ඊට බලපෑම් ඇති කරනු ලැබීය. විකිලීක්ස් වෙබ් අඩවියෙන් අනාවරණය කරන ලද ඇමරිකානු රහස් තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබා දීමට නියමිත ණය මුදල් පමා කිරීමේ ඇමරිකානු උත්සාහයට, බ්‍රිතාන්‍යයේ සහය හිමි වන බව 2009 දී ලන්ඩනයේ ඇමරිකානු තානාපතිවරයා විසින් ඇමරිකාවට දන්වා ඇත.

එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා පරීක්ෂා කිරීමේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳ විශ්ලේෂණය කිරීම වැදගත් වේ. එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික විකල්ප පැහැදිලිව ම ඉන්දියාවේ ප්‍රතිචාරයන් සමඟ අනුකූල වන අතර ඇමරිකානු නාවික හමුදා පස්වන සේනාංකය සඳහා ත්‍රිකුණාමලය වරාය ප්‍රවේශයක් ලබා ගැනීම ආදී ද්විතීයික ඉලක්කයන් සපුරා ගැනීමට උත්සුක වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය දැනට ඉන්දියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාස මඟින් දෙරට අතර වඩාත් මිත්‍රශීලී සම්බන්ධතාවක් වර්ධනය කිරීමට උත්සාහ ගනු ලැබීය. එහි ප්‍රධාන අරමුණු වී ඇත්තේ දකුණු චීන මුහුදේ සිට ශ්‍රී ලංකාව හරහා ව්‍යාප්ත වන චීන සම්බන්ධතා ඉන්දියාව සමඟ එක් වී අවහිර කිරීමය.


ඇමරිකාව සමඟ ඇති ආර්ථික සබඳතා

1979 සිට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වැඩි වශයෙන් ම මිල දී ගනු ලබන්නේ, ඇමරිකානු එක්සත් ජනපදය විසිනි. 2013 වසරේ දී ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර වූ සමස්ත ද්විපාර්ශ්වික වෙළෙඳාම, 2012 සිදු කළ වෙළෙඳ අගය හා සැසඳීමේ දී 21% ක තරම් ඉහළ මට්ටමක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එහි අගය ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් විය. මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ආයෝජන ව්‍යාපෘති 22කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වේ.

2010 වසරේ ජුනි මස සිට 2014 ජුනි මස දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර භාණ්ඩ වෙළෙඳාම 60%කින් පමණ වර්ධනය වී තිබේ. මේ කාලය තුළ ශ්‍රී ලංකාව සඳහා වූ ඇමෙරිකානු අපනයන 86%කින් සහ ඇමෙරිකාව සිදු කරන ශ්‍රී ලාංකේය ආනයන 56%කින් වර්ධනය වී ඇත. 

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර වෙළෙඳ හා ආයෝජන විස්තීර්ණ (ටිෆා) ගිවිසුමේ සාකච්ඡා සඳහා මධ්‍යම හා දකුණු ආසියාව භාර ඇමරිකානු සහකාර වෙළෙඳ නියෝජිත මයිකල් ඩෙලානි මහතා 2014 වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත විය. එමගින් දෙරට අතර ඇති සහයෝගිතාව තව දුරටත් වර්ධනය වූ අතර එතුළින් ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන අවස්ථා වැඩි දියුණු කර ගැනීමට හැකි ක්‍රම රැසක්‌ හඳුනාගත හැකි වූ බව දෙරටේ ම විනිශ්චය විය.

ඉහතින් දක්වන ලද ආකාරයට ජාත්‍යන්තර ප්‍රජාව හා ශ්‍රී ලංකාව අතර යම් යම් සබඳතා 2010-2015 කාලය තුළ පැවතියත් සමස්තයක් ලෙස විදේශ සබඳතා අයහපත් විය. විශේෂයෙන් ම ජගත් මානව හිමිකම් කමිටුවේ දී හා ජිනීවාහී දී ශ්‍රී ලංකාව ඉමහත් අපහසුතාවට ලක් විය. ඉදිරි පරිච්ඡේදය මඟින් යුද අපරාධ හා මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ලක් රජයට එල්ල වූ අභියෝග හා ප්‍රතිචාර සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබේ.



සිව්වන පරිච්ඡේදය.

2010-2015 සමයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ජාත්‍යන්තර ප්‍රවණතා.

2010-2015 අතර සමයේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මුහුණ දුන් එක් ප්‍රධානතම අභියෝගයක් වූවේ ජිනීවා මානව හිමිකම කවුන්සිලයේ දී සාකච්ඡාවට ලක් වූ යුද අපරාධ චෝදනාවන්ය. ඒ අනුව මෙම පරිච්ඡේදය තුළින් සාකච්ඡාවට භාජනය වී ඇත්තේ යුද අපරාධ යනු කුමක්ද?, ශ්‍රී ලංකාව තුළ එවැනි පසුබිමක් ඇති වීමට පදනම් වූ සාධක, එහිදී ශ්‍රී ලංකාවට ප්‍රබල ප්‍රතිවිරෝධයක් ඇති කරන ලද පිරිස් හා ඒ සඳහා රජයේ ප්‍රතිචාරවල ස්වභාවය පිළිබඳවය. ඊට අමතරව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිළිබඳව මෙන් ම ඒ තුළ ලංකාවේ ප්‍රතිචාර පිළිබඳවද කරුණු අධ්‍යයනයට පසුබිම් ව ඇත.


යුද අපරාධ චෝදනා හා මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාර.

2009 යුද වාතාවරණයෙන් පසු ව ශ්‍රී ලංකාව තම විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ආරක්ෂක සාධකයට අමතරව ප්‍රධාන කාරණා කීපයක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව අධ්‍යයනය කළ හැකිය. රටේ ආරක්ෂක තත්ත්වය ස්ථාවර වීමෙන් අනතුරුව රජය රටේ ආර්ථික තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කර ගනු ලැබීය. ඒ අනුව විදේශ ආයෝජන මාර්ගයෙන් රට සංවර්ධනය කිරීම මූලික අරමුණ වූ අතර ඒ සඳහා සුදුසු ලෙස විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කරන අකාරයක් දැකිය හැකි විය. කෙසේ වෙතත් ආරක්ෂක සාධකයට නොදෙවෙනි තවත් ගැටලුවක් මෙම කාලය තුළ දී වර්ධනය විය. එනම් යුද අපරාධ හා මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධ චෝදනාවයි. රජයට යුද ජයග්‍රහණයෙන් අනතුරුව මුහුණ දීමට සිදු වූ ඒ හා සමාන අභියෝගයක් වූවේ මෙම චෝදනා සමූහය යි. එය රජයේ ස්ථාවර භාවයට මෙන් ම ජාත්‍යන්තර වශයෙන් තිබූ පිළිගැනීමට ද ප්‍රබල වශයෙන් බලපෑම් එල්ල කරනු ලැබීය. සැබෑ ලෙස ම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට ද ප්‍රබල බලපෑමක් මෙමගින් ඇති කරනු ලැබීය. 



යුද අපරාධ යනු කුමක්ද?

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සකස් වීමේ දී ප්‍රබල අවධානයක් යොමු කළ යුතු ව තිබූ අංශයක් ලෙස යුද අපරාධ හා මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වූ අභියෝග හැඳින්විය හැකිය. මෙහි දී යුද අපරාධ යනු කුමක් ද? හා මානව හිමිකම් ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන්නේ කෙසේ ද යන්න අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.

“යම්කිසි රටක් තුළ ඇතිවන අභ්‍යන්තර සන්නද්ධ අරගලයකදී/සටනකදී හෝ, රටවල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර සිදුවන සංග්‍රාමයකදී හෝ, ජාත්‍යන්තර මානුෂවාදී නීතියට පටහැනිව, සතුරු පක්ෂයට හෝ සතුරු පක්ෂයට හිතවත්, සන්නද්ධ නොවන පිරිස් වලට එරෙහිව, යම්කිසි හමුදාවක් විසින් කරනු ලබන සෑම ක්‍රියාවක්ම, යුද අපරාධයක් වන්නේය.” 

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් 1907 හේග් සම්මුතිය හා 1945 න්‍යුරම්බර්ග් තීන්දුව සලකා බලමින් යුද අපරාධ පිළිබඳ නිර්වචනය ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් වර්තමානය වන විට යුද අපරාධ ඉහත සඳහන් ක්ෂේත්‍රයන්වලින් ඔබ්බට ගොස් ඇත. පුද්ගල මිනීමැරුම්, සාමූහික මිනිස් ඝාතන, මිනිසුන් වහල් භාවයට ගැනීම, පිටුවහල් කිරීම, සිර භාරයේ තැබීම, ශාරීරික වද දීම, ස්ත්‍රී දූෂණ හා සමූහ ස්ත්‍රී දූෂණ යනාදිය බරපතළ යුද අපරාධ ගණයට අයත් වේ.

“සාම්ප්‍රදායික හෝ සම්මුතියක නීතිය යටතේ පුද්ගලික අපරාධ වගකීමට අත් වන නීතියේ වගකීම හා උල්ලංඝනය කිරීම යුද අපරාධ ගණයේ ලා සැලකේ. ඊට අමතරව සිව් ජිනීවා පොදු වගන්ති තුන උල්ලංඝනය කිරීම මෙන් ම යුද නීතියේ හා සාම්ප්‍රදායික වෙනත් බරපතළ උල්ලංඝනය කිරීම් ද ඇතුළත් වේ.”

1945 දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ දී පවත්වන්නට යෙදුණු න්‍යුරම්බර්ග් නඩු විභාගයෙන් අනතුරුව සමූහ මිනිස් ඝාතනය බරපතළ යුද අපරාධයක් ලෙස හඳුන්වා දීම සිදු විය. එහිදී ජිනීවා සම්මුතීන්ට අනුව;

කිසියම් ජාතියක් විනාශ කිරීම.

ජාතියකට අයත් වර්ගයක් හෝ කුලයක් විනාශ කිරීම.

වර්ගය අනුව සිදු කරන යුද අපරාධ.

ආගම් අනුව සිදු කරන යුද අපරාධ.

මෙම නිර්වචනයන්ට අනුව යුද්ධයක දී පැහැදිලිව ම බෙදා වෙන් කරන ලද ජාතික හෝ වාර්ගික, ආගම් හෝ කුල වශයෙන් කණ්ඩායම් හඳුනාගෙන ගොදුරු කර ගැනීම අපරාධයක් ලෙස හඳුන්වයි.

ජාත්‍යන්තර ප්‍රජාව විසින් පසුගිය කාලපරිච්ඡේදයේ ශ්‍රී ලංකාවට එල්ල කල බරපතලම චෝදනාව වුයේ ද ඉහතින් දක්වන ලද සාධක මුල් කර ගනිමින්, යුදමය කාලපරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව විසින් සිදු කර ඇතැයි සැක කෙරෙන මානව හිමිකම් කඩවීම් පිළිබද පරීක්ෂා කිරීමේ ජාත්‍යන්තර යන්ත්‍රණය සැකසීම හා ඒ මත පදනම් ව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් ජාත්‍යන්තර අධිකරණයකට රැගෙන ගොස් දඬුවම් කිරීම යන කරුණු කාරණා පිළිබදවයි. 

යුද්ධය අවසාන වකවානුවේ දී ද්‍රවිඩ ජනයා සමූල ඝාතනය කළ බවට මතයක් ගොඩනගා ඒ මත  ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක හමුදාවන්ට යුද අපරාධ හා සම්බන්ධ චෝදනා එල්ල වීම පශ්චාත් මානුෂීය මෙහෙයුම් වකවානුව තුළ දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ප්‍රබලතම අභියෝගයක් විය. නමුත් මෙම අංශය තුළ දී රජය ලබා ගත් සාර්ථකත්වය එතරම් ප්‍රබල නොවූ බව අවබෝධ කර ගත හැකි අතර ඒ සඳහා අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයන් මෙන් ම ඊට සුදුසු යන්ත්‍රණයක් ද නොවීය.

මෙලෙස ශ්‍රී ලංකා රජයට විරුද්ධව ප්‍රබල යුද අපරාධ චෝදනා එල්ල වීමට පදනම් වන සාධක කීපයක් හඳුනා ගත හැකි අතර ඉන් ප්‍රබල බලපෑමක් ඇති කරනු ලැබුවේ දෙමළ ඩයස්පෝරාව විසිනි. විශේෂයෙන් ම 1983 කළු ජූලියෙන් පසු ශ්‍රී ලංකාව හැර ගිය ද්‍රවිඩ ජනතාවගේ බහුතරයකින් නිර්මාණය වුණු මෙම සංවිධානය පසු ව එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ජාලය ලෙස ද අර්ථකතනය කරනු ලබයි. බෙදුම්වාදී ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය වීමට ආසන්න සමයේ දී මෙන් ම ඉන් පසු ව ද දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකා රජයේ හා සන්නද්ධ හමුදාවන්ගේ කීර්ති නාමය සම්බන්ධයෙන් ගෙන ගිය චෝදනා ඉතා ප්‍රබල වූ අතර බටහිර රාජ්‍යයන්හි විසිර සිටින ද්‍රවිඩ ජනතාවගේ බලපෑම හා එම සංවිධානයේ මූල්‍ය ශක්තිය මත යුද අපරාධ චෝදනා හා මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වූ බලපෑම් ප්‍රබල විය. විශේෂයෙන් ම එම සංවිධානයට හිතවත් දේශපාලකයන් හා සංවිධාන විසින් ජාත්‍යන්තරයේ දී ගෙන ගිය ශ්‍රී ලංකා විරෝධී ව්‍යාපාර, රට අභ්‍යන්තරයේ දී රජය මුහුණ දුන් එල්. ටී. ටී. ඊ. සංවිධානය තරම් ම ප්‍රබල වූ බව පැවසිය හැකිය. 


ද්‍රවිඩ ඩයස්පෝරාවේ බලපෑම්.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිචාරයන්ට විරුද්ධව දෙමළ ඩයස්පෝරාව විසින් ජාත්‍යන්තරය තුළ සිදු කරනු ලබන බලපෑම් ඉතා ප්‍රබල වන අතර රටින් එපිට ඊනියා ඊලාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම දක්වා මෙම සංවිධානය කටයුතු කර ඇත. දෙමළ ඩයස්පෝරාව කෙරෙහි අවධානය යොමු කිරීම ශ්‍රී ලංකාව ජීනීවා මානව හිමිකම් කමිටුවේ දී මුහුණ දෙනු ලබන තත්ත්වය අවබෝධ කර ගැනීමට උපකාරී වේ. ඩයස්පෝරා යන වචනය ඉංග්‍රීසි භාෂාවේ දී “Diaspora” ලෙස හඳුන්වනු ලබන අතර එය ඉපැරණි ග්‍රීක භාෂාවෙන් පරිණාමය වූවක් ලෙස විශ්වාස කෙරේ. එහි අර්ථය වන්නේ එක් ජනවර්ගයක් භූමියේ සෑම ප්‍රදේශයක ම විසිරීම යන්නයි.  එනම් යම් රටකට හෝ ජාතියකට හෝ ආගමකට අයත් ජනතාවක් වෙනත් රටක සිටිමින් පසුව ජීවත් වන රාජ්‍යයේ විවිධ ක්ෂේත්‍රයන් වෙත බලපෑම් කරන්නේ නම් එවැනි කණ්ඩායම් හැදින්වීම සඳහා මෙම ඩයස්පෝරා යන වචනය යොදා ගනු ලබන අතර එයට නිශ්චිත සිංහල වචනයක් මෙතෙක් නිර්මාණය වී නැත. 

ඒ අනුව දෙමළ ඩයස්පෝරාව යනු ශ්‍රී ලංකාවෙන් එපිට ජීවත්වන ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ජනයා හැදින්වීම සඳහා නිර්මාණය කර ගනු ලැබූ සංවිධානයකි. මෙම ජනතාවගෙන් බහුතරය ක්‍රි.ව. 1983 වසරෙන් පසුව ශ්‍රී ලංකාව හැර ගිය පුද්ගලයන් හෝ ඔවුන්ගෙන් පැවත එන්නන් වන අතර තමන් ජීවත් වන රටේ පුරවැසිභාවය ලබාගෙන ඇත. මෙහි දී බහුතරයක් ශ්‍රී ලාංකික සිංහල ජනතාව දෙමළ ඩයස්පෝරාව පිළිබද ව දැනුවත් භාවයක් ලබා ගත්තේ පශ්චාත් යුද සමයේදී වුවත් ඊට පෙර සිට ම ද්‍රවිඩ ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් මෙම සංවිධානය විසින් සිදු කරනු ලැබීමත් සමඟය. 

මෙම සංවිධානය එතෙර සිට ශ්‍රී ලංකාවට හා රජයට විරුද්ධව කටයුතු කරනවාට අමතරව එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අරමුදලට විශාල වශයෙන් මූල්‍යාධාර පරිත්‍යාග කිරීම, විවිධ මාධ්‍යයන් ආධාර කොටගෙන  සත්‍ය-අසත්‍ය විස්තර ප්‍රචාරය කිරීම, ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට සිදු වනවා යැයි පවසන අසාධාරණකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම මෙන් ම ජාත්‍යන්තරයටත් තමන් අයත් රාජ්‍යයන්ටත් බලපෑම් කළ හැකි කණ්ඩායමක් වශයෙන් ශක්තිමත් ව සිටින ආකාරයත් හඳුනාගත හැකිය. එල්. ටී. ටී. ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් වීමෙන් අනතුරුව එහි නායකත්වය ගනු ලැබුවේ කුමරන් පද්මනාදන් වුවත් ඔහු ද ඉතා කෙටි කලක් තුළ අත්අඩංගුවට පත් වීම හේතුවෙන් වර්තමානය වන තෙක් එහි නායකත්වය දරන්නේ විශ්වනාදන් රුද්‍රකුමාර් විසිනි. 

ජාත්‍යන්තර වශයෙන් මෙම සංවිධානය පෙරටත් වඩා ශක්තිමත් වෙමින් ක්‍රියාකාරී වී ඇති අතර එය කොතෙක් ද යත් 2013 වර්ෂයේ ජිනීවා සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන ලද යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොකරන ස්වභාවයක් ගන්නා දියාරු යෝජනාවක් බව පවසමින් එයට තදබල ප්‍රතිවිරෝධයක් දැක්වීමට තරම් දෙමළ ඩයස්පෝරාව සමත් වූ අතර 2014 වර්ෂයේ අපේ‍්‍රල් 29 වන දින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් හා එල්. ටී. ටී. ඊ. ඩයස්පොරාව අතර සාකච්ඡාවක් ද ඉතා රහසිගත ව පවත්වන ලද බව එළිදරව් විය. ඊට අමතරව “චැනල් 4” නම් බ්‍රිතාන්‍ය නාලිකාව විසින් ගෙන ගිය ප්‍රචාරයට විශාල අනුග්‍රහයක් දෙමළ ඩයස්පෝරාව විසින් ලබා දෙන ලද බව රහසක් නොවන අතර එයට ද ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය එතරම් රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවයක් නොඉසලීය. එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ “චැනල් 4” නාලිකාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවම තරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පවා උත්සුක නොවීම මෙම අපකීර්තිය උග්‍ර වීමට බලපෑම් ඇති කරන ලද බවයි.

මෙයින් ගම්‍ය වන කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමේ ප්‍රබල හැකියාවක් දෙමළ ඩයස්පෝරාවට තිබෙන බවයි. නමුත් ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය එතරම් ප්‍රශංසනීය නොවන බව අධ්‍යයනය කල හැක. එය මනාව තහවුරු වන්නේ 2010-2015 සමයේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා වූ ජී. එල්. පීරිස් මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳ ව අවධානය යොමු කිරීමෙනි.

‘‘අද ඩයස්පෝරාව කියන්නෙ එකම කණ්ඩායමක් නොවෙයි. ප්‍රභාකරන් ජිවතුන් අතර සිටි කාලයේ තත්ත්වය වෙනස්. යුද්ධය අවසානයි, දැන් සුහද ව ප්‍රශ්නය විසඳා ගැනීමට ඉදිරිපත් විය යුතුය යන මතයේ සිටින පිරිසක් ඉන්නවා.... ඩයස්පෝරාවේ විවිධ පිරිස් මාව හම්බ වෙලා තියනවා. ප්‍රයෝජනවත් විධියට මේ රටේ ආයෝජනය කරලා විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීමට මැදිහත් වීමට ඒ අය සූදානම්.’’

සැබෑ ලෙස ම දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් ආකාරයක අයහපත් ප්‍රතිරූපයක් මැවීමටත්, යුද අපරාධ චෝදනා තහවුරු කිරීමටත් විවිධ උපක්‍රම හරහා සාක්ෂි එකතු කිරීමත් සුළුවෙන් තක්සේරු කළ නොහැක. මන්ද යත් එම බලපෑම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන අකාරය තීරණය වීම සඳහා විවිධ ආකාරයෙන් බලපා තිබීමයි. ජිනීවා කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අසාර්ථකභාවයට ඍජු වශයෙන් ම බලපෑම් ඇති කරනු ලැබුවේ රජයේ ප්‍රතිචාර දැක්වීමේ මෙම දුර්වලතා වූ අතර මේ හේතුවෙන් ජාත්‍යන්තරය තුළ දී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මෙන් ම රටේ කීර්තිනාමය ද ප්‍රබල ලෙස අවතක්සේරු විය. මින් අනතුරුව අවධානය යොමු කරනු ලබන්නේ ඉහතින් දක්වන ලද අකාරයට රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කටයුතු කළ ස්වභාවය හා එහි ප්‍රතිඵල සම්බන්ධයෙනි.


පෙරදිග හා අපරදිග ලෝක බල තුලනයේ වෙනස් වීම් යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ නැමියාවන්.

21වන සියවස ආරම්භ වන්නේ ලෝක ආර්ථික ගුරුත්වයේ මධ්‍යය උතුරු අත්ලාන්තික් සාගරයේ සීමා ලකුණු කරන කලාපයේ සිට ආසියානු කලාපයට මාරු වෙමින් පවතින වාතාවරණයක් තුළ දී ය. එනම් සරලව ප්‍රකාශ කරන්නේ නම් ලෝක බල තුලනය ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලකඳවුරේ සිට චීනය ප්‍රමුඛ විකල්ප බල කඳවුර වෙත මාරු වෙමින් පවතින බවයි. ඒ අනුව 2010-2015 සමයේ රජයේ විදේශ ප්‍රතිපත්තිය අවධානය යොමු කරනු ලැබුවේ ද මෙම සාධක කෙරෙහි බව පෙනී යයි. ඒ අනුව බටහිර බලවතුන් අවතක්සේරු කරමින් හා ඔවුන්ට අභියෝග කරමින් නැගී එන ලෝක බලයක් වන චීනය කෙරෙහි විශ්වාසය තබන ආකාරයෙන් මෙරට විදේශ ප්‍රතිපත්ති සම්පාදනය විය. කෙසේ වෙතත් මෙම බල තුලනය තුළ ශ්‍රී ලංකාවේ ගමන් මඟ යම් අකාරයක අවිනිශ්චිතභාවයකට ලක් වන ආකාරයක් හඳුනාගත හැකිය. එහි ප්‍රතිඵල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ දී විද්‍යමාන වූ බව අවබෝධ කර ගැනීම අපහසු නොවේ. එනම් එක් බල කඳවුරක් ලංකාවට විරුද්ධ වන විට අනෙක් බල කඳවුර ලංකාවේ සහයට ඉදිරිපත් වීමයි. ඒ අනුව මෙම කොටස මඟින් අවධානය යොමු කරනු ලබන්නේ ජිනීවා අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෙන් ම බල කඳවුරුවල ප්‍රතිචාරයන් හා එහි ස්වභාවයන් කෙරෙහි ය.


ජිනීවා ප්‍රතිචාර

පශ්චාත් යුද ජයග්‍රහණ සන්දර්භය තුළ ජාත්‍යන්තර තලයේ දී ශ්‍රී ලංකාවට එල්ල වූ යුද අපරාධ චෝදනා හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රබල බලපෑමක් ඇති වූ නමුත් එම තත්ත්වයන් තවත් උග්‍ර වීම කෙරෙහි රජයේ පැවති විදේශ ප්‍රතිපත්ති යන්ත්‍රණය ද ප්‍රබල දායකත්වයක් ලබා දෙන ලද බව පැහැදිලි වේ. එම සමයේ සිට ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ දී ජිනීවා අභියෝග යන්න නිතරම ව්‍යවහාර වන අකාරයක් දැකිය හැකි විය. විශේෂයෙන් ම මෙම සමය තුළ නොකඩවා පැවැත්වුණු මැතිවරණ රටාව තුළ දේශපාලන වේදිකාවේ දී ඉතා උස් ස්වරයෙන් ජිනීවා යන්න උච්චාරණය විය. ඒමෙන් ම රටක් වශයෙන් ජිනීවා කොමිසම හමුවේ ශ්‍රී ලංකාවේ නාමය ද ලෝකය පුරා ප්‍රචලිත වූ බව ද ඒ හා සමානව පිළිගත යුතු සත්‍යයකි. බොහෝමයක් දේශපාලකයන් ජිනීවා අභියෝග සම්බන්ධයෙන් මැතිවරණ වේදීකාවලදී ප්‍රතිරාවය කළ ද ජිනීවා යනු කුමක්ද?, මානව හිමිකම් කවුන්සිලය යනු කුමක්ද? යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා සිටියා ද යන්න සැක සහිත වේ. එය රටේ බහුතරයක් මහජනතාවට ද පොදු වූ කරුණක් වූ බව සමකාලීන සමාජ හා දේශපාලන වතාවරණය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ.

ඒ අනුව මූලික වශයෙන් එහි ස්වාභාවය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ මානව හිමිකම් කවුන්සිලය නිර්මාණය කරන ලද්දේ 2006 වසරේ දී ය. එම මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් සම්පූර්ණයෙන් වෙන් ව පැවතියත් එක්සත් ජාතීන්ගේ සමස්ත සාමාජිකත්වයට ම වගකීමට බැදී සිටී.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රථම වරට ජිනිවාහි යුද අපරාධ චෝදනා ගොනුවන්නේ 2009 යුද වකවානුවේ අවසන් සමයේ සිදු වූවා යැයි පැවසෙන සමූහ ඝාතන පදනම් කර ගෙන ය. මෙයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ අවසන් අදියරවල දී සිදුවූවායැයි පැවසෙන ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් සොයා බලා තමාට උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් 2010 ජුනි 22 පත් කරන ලදි. එහි සාමාජිකයන් වූවේ මර්සුකී දරුස්මාන් (සභාපති- ඉන්දුනීසියාව), ස්ටීවන් රට්නර් (ඇමරිකාව)‍්, යස්මින් සූකා (දකුණු අප්‍රිකාව).

මෙම කමිටුවේ සභාපතිගේ නමින්, එනම් දරුස්මාන් වාර්තාව ලෙස ප්‍රසිද්ධ වූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය ආරම්භයේ සිට ම යහපත් නොවූ අතර රජය පාර්ශවයෙන් ප්‍රකාශ කර සිටියේ මෙම වාර්තාව තමන් පිළිනොගන්නා බවයි. ඒ අනුව මෙම කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නොදීමට ද රජය තීරණය කරන ලදි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට නො පැමිණි දරුස්මාන් කමිටුව විසින් තම වාර්තාව එ. ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලද අතර ශ්‍රී ලංකා රජයට විරුද්ධව මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා 05ක් හා එල්. ටී. ටී. ඊ. සංවිධානයට විරුද්ධව චෝදනා 06ක්ද එල්ල කරනු ලැබීය.

මෙම කමිටුව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ රජය දරුස්මාන් කමිටුවෙන් ඉදිරිපත් කර තිබූ කිසිදු නිර්දේශයක් පිළිගැනීමට මෙන් ම ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ නොකරනු ලැබීය. එයට ප්‍රතිචාර වශයෙන් රජය ප්‍රකාශ කර සිටියේ රජය විසින් 2010 මැයි මාස 15 දින ජනාධිපතිවරයා විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසමේ නිර්දේශවලට පමණක් අවධානය යොමු කරන බවයි. රජය විසින් මෙම කොමිසම පත් කරන්නට යෙදුණේ ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් දරුස්මාන් කමිටුව පත් කරන්නට පෙර වන අතර එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් දේශීය යන්ත්‍රණයක් සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීම ද මින් අපේක්ෂා කරන්නට ඇත. එහි සභාපති ලෙස කටයුතු කරනු ලැබූවේ ජනාධිපති නීතිඥ සී. ආර්. ද සිල්වා මහතා ය. මෙම කොමිසමේ නිර්දේශ 2011 දෙසැම්බර් මස 16 වැනි දින පාර්ලිමේන්තුව හරහා ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟ රට අභ්‍යන්තරයේ ඊට යහපත් ප්‍රතිචාර මෙන් ම ප්‍රබල විවේචන ද එල්ල විය. කෙසේ වෙතත් ද්‍රවිඩ ජාතික සන්ධානය ආරම්භයේ දී ම ප්‍රකාශ කර සිටියේ මෙම කොමිසමට ප්‍රමාණවත් බලතල ලබා දී නොමැති බැවින් තමන් ඒ හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත් නොවන බවයි. ඔවුන් ආරම්භයේ සිට ම උතුරු නැගෙනහිර පළාත් සඳහා ඉඩම් හා පොලිස් බලතල ඉල්ලා සිටි අතර යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත් වීමක් ද අපේක්ෂා කරනු ලැබීය. ඊට අමතරව දේශීය වශයෙන් මෙම නිර්දේශ සඳහා විවේචන ද එල්ල විය. එමගින් රටේ ඒකීයභාවයට හා 2009 යුද ජයග්‍රහණය අභියෝගයට ලක් කර ඇති බව එක් පිරිසකගේ චෝදනාව විය.

ආරම්භයේ දී මෙම වාර්තාව මඟින් රජයේ විනිවිද භාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තළ දී යම් විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවත් පසුව රජය විසින් මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම අනවශ්‍ය ලෙස කල් දැමීමත් සමඟ එය පාරාවළල්ලක් බවට පත්වෙමින් ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැඩි බලපෑම් ඇති වන්නට විය. එහිදී ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන සම්බන්ධයෙන් හා අන්තර් ජාතික වෙළඳාම වැනි අංශවලට එහි ප්‍රතිවිපාක ඉතා අහිතකර ලෙස බලපාන්නට විය.

ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව 2009 වසරේ මැයි මාසයේ දී යුද අපරාධ සම්බන්ධයෙන් ප්‍රථම වරට චෝදනා එල්ල වුවත් එම චෝදනාවන්ට විරුද්ධව ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ඡන්ද 17කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා රජය සමත් විය. නමුත් 2012 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ඡන්ද 09කින් සම්මත විය. මෙයට හේතුව ලෙස බොහෝ විද්වතුන්ගේ මතය වන්නේ ශ්‍රී ලංකා රජයේ දුර්වල විදේශ ප්‍රතිපත්ති කළමනාකරණය වන බවයි. විශේෂයෙන් ම පසු කාලීන ව විදේශ කටයුතු අංශයේ සිටි දක්ෂ හා පරිණත පිරිස් ඉවත් කරමින් ඊට නුසුදුසු පිරිස් පත් කිරීමත්, රජය අභ්‍යන්තරයේ ඇති වූ අකාර්යක්ෂමතා ව මීට පදනම් වූ බව ප්‍රකට මතයකි. එහි දුර්විපාක තව දුරටත් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස 2013 මාර්තු මාසයේ පැවති මානව හිමිකම් කවුන්සිලයේ 22වන සැසිවාරයේ දී ද ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන ලද යෝජනාව වැඩි ඡන්ද 12කින් සම්මත විය. 2009 සිට ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවට පක්ෂ රාජ්‍යයන් සංඛ්‍යාව ක්‍රමයෙන් අවප්‍රමාණයක් ගැනීම තුළින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රමයෙන් දුර්වල වන ආකාරයක් බව ඉතා පැහැදිලි කරුණකි. විශේෂයෙන් ම ඉන්දියාව ජිනීවා මානව හිමිකම් සමුලුවේ දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා බරපතළ ලෙස මෙරට විදේශ ප්‍රතිපත්තියේ ඇදවැටීමක් වූ බව තේරුම් ගත හැක. ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට පදනම් වූ ප්‍රධානතම සාධක කීපයක් මෙහි දී හඳුනා ගත හැකි අතර ඒ සෑම කරුණක් ම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ පැවති අදූරදර්ශී භාවය පදනම් ව තිබීම ද විශේෂ වේ. එම කරනු නම්;

ඉන්දීය කලාපීය ආධිපත්‍ය අභියෝගයට ලක් කරමින් චීන ආයෝජන කෙරෙහි කලාපය විවෘත කිරීම.

ඉන්දීය රජය අපහසුතාවට පත්කිරීම.

ඉන්දීය නියෝජිත එස්. එම් ක්‍රිෂ්ණා මහතා හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවති සාකච්ඡාවල දී ශ්‍රී ලංකාව, ඉන්දියාව හමුවේ පොරොන්දු වී තිබුණේ ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් 13+ විසඳුමක් ලබා දෙන බවයි. නමුත් දින කීපයක් ගත වීමෙන් අනතුරුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ තමා එවැනි පොරොන්දුවක් ඉන්දියාවට ලබා නොදුන් බවයි. මෙය ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය ලංකාව කෙරෙහි තර්ජනාත්මක වීමට ඍජුව බලපානු ලැබීය. මන්ද යත් දකුණු ඉන්දීය දේශපාලන වතාවරණය ලංකාවේ ද්‍රවිඩ ප්‍රශ්නය කෙරෙහි සංවේදී වීමත් හා ඉන්දීය මධ්‍යම රජයේ පැවැත්ම සඳහා දකුණු ඉන්දීය දේශපාලනය සංතෘප්ත කිරීමට මධ්‍යම රජයට සිදු වීමත් ය. ශ්‍රී ලංකාවේ මෙවැනි හැසිරීම් හේතුවෙන් එවකට ඉන්දීය පාලක කොංග්‍රස් පක්ෂය දැඩි අපහසුතාවකට ලක් වූ බව පැහැදිලිව ම විද්‍යමාන විය. ශ්‍රී ලංකාවේ ක්‍රියා කලාපය ඉන්දියාවේ පමණක් නොව සමස්ත ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ දී පවා දැඩි විවේචනයකට ලක් විය.

මෙම සියලු පරාජයන් හමුවේ වුවද රජයේ රාජ්‍ය තාන්ත්‍රික භාවයේ කිසිදු සංශෝධනයක් නොවූ බව පැහැදිලි වේ. ඕනෑම කටයුත්තක දී කුමන හෝ පුද්ගලයෙකු හෝ පාර්ශවයක් යම් කිසි තරඟයක දී හෝ එවැනි තරඟකාරී කටයුත්තක දී පරාජයට පත් වේ නම් සිදු විය යුතු ඊළඟ කාරණය වන්නේ එම පරාජයට හේතු වූ කරුණු සොයා නැවත එවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමයි. තමන්ගේ ප්‍රතිවාදියා තමන්ට වඩා ප්‍රබල වේ නම් තමා ඊට වඩා සූක්ෂ්ම විය යුතු බව ඉපැරණි භාරතීය කෞටිල්‍ය අර්ථශාස්ත්‍රයේ හා අනෙකුත් භාරතීය නීති ශාස්ත්‍ර ග්‍රන්ථවල මෙන් ම ප්‍රකට යුරෝපීය දේශපාලන අත්පොතක් වන මැකියාවෙලීගේ කුමාරයා නමැති ග්‍රන්ථයේ ද සඳහන් වේ. තවද වර්තමාන විදේශ සම්බන්ධතා පිළිබඳ නීති විශාරදයෙක් වන හාවර්ඩ් විශ්වවිද්‍යලයේ මහාචාර්ය ජෝසෆ් නයි මහතා ප්‍රකාශ කර තිබෙන්නේ රටකට ආරක්ෂාව සලසන ප්‍රධාන සාධක දෙකක් පවතින බවයි. 

එනම්,

තද බලය හෙවත් යුද බලය.

මෘදු බලය හෙවත් රටේ ආකර්ෂණීයත්වය හා ආදර්ශමත් භාවයයි.

නමුත් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී අසාර්ථක වීමෙන් පසු ඊට විසඳුම් සොයා අවශ්‍ය ලෙස උපායශීලී ලෙස කටයුතු කිරීම වෙනුවට නැවත නැවත එම වැරැද්ද ම කරමින් තමන්ට විරුද්ධ වූවන්ට අභියෝග කරන ආකාරයක් මෙම සමයේ දී විද්‍යමාන විය. සාමාජිකත්වය අතින් රටවල් 194කට වඩා සම්බන්ධ ලෝකයේ ප්‍රබලතම සංවිධානයක් ලෙස ප්‍රකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදෙස් හා යෝජනා ක්‍රියාත්මක නොකිරීමත් එම සංවිධානයේ ක්‍රියාකාරකම් හෙළා දකිමින් විවේචන ඉදිරිපත් කිරීමත් යන කරුණු ජාත්‍යන්තර විෂය සම්බන්ධව ලංකාවේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදු කරන ලද අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. 

විශේෂයෙන් ම 2011 සිට පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා සැසිවාරවලදී ලංකාව එකඟ වූ නමුත් ඉටු කිරීම අතින් පැහැර හැරීමට ලක්  වූ යෝජනා සම්බන්ධයෙන් මෙහි දී දැඩි බලපෑම් එල්ල විය. පසුව එය ඇමරිකාව ප්‍රමුඛ ප්‍රබල බටහිර බලවතුන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ඒම දක්වා වර්ධනය විය. පාලකයින්ගේ තිබූ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත හා විදේශ ප්‍රතිපත්තියේ තිබූ දුර්වලතා මෙයට ප්‍රබලතම හේතුව වූ බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය යි. 

ජාත්‍යන්තර විෂය සම්බන්ධයෙන් කිසිසේත්ම වාසිදායක නොවූ අවස්ථාවක් ලෙස හිටපු මානව හිමිකම් කොමසාරිස්වරියක වු නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සිදු කළ නිල චාරිකාවේ දී ඇයගේ රාජ්‍ය තාන්ත්‍රික භාවය හෑල්ලුවට ලක් කිරීම දැක්විය හැකිය. එලෙස කටයුතු කළ ඇමතිවරයාට විරුද්ධව කිසිදු පියවරක් රජය විසින් නොගැනීම රටේ කීර්තිනාමයට ඉමහත් කැළලක් විය.

ජාත්‍යන්තර සබඳතාවල දී අනුගමනය කරනු ලබන වෘත්තීය ක්‍රමවේද හා මූලෝපායන් වෙනුවට ශ්‍රී ලංකාව අනුගමනය කළ ඉහතින් දක්වන ලද ආකාරයේ ප්‍රාථමික මට්ටමේ ක්‍රියාකාරකම් හේතුවෙන්, ශ්‍රී ලංකාව අනිකුත් රටවල අප්‍රසාදයට ලක් වූ අතර එතුළින් ගැඹුරු විෂය පථයක් වූ ජාත්‍යන්තරවේදයේ දී ලංකාව හුදකලා රටක් බවට පත් වීම වැළැක්විය නොහැකි විය. මෙම කරුණු නිසා ලංකාව දිගු කාලයක් පුරා ගොඩනගාගෙන තිබූ යහපත් ප්‍රතිරූපයට දැඩි හානි සිදු විය. එය මනාව තහවුරු වූ කරුණක් වන්නේ 2013 මෙරට පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී එහි නායිකාව වූ එංගලන්තයේ 2වන එළිසබෙත් රැජින ලංකාවට පැමිණිම ප්‍රතික්ෂේප කිරීමත් හා ඉන්දීය අගමැතිවරයා ඇතුළු තවත් රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු එම සමුළුව වර්ජනය කිරීමත් ය. එහිදී ඉන්දියාවේ තීරණය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා බී.බී.සී. ලෝක සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිදු කරන ලද ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ඔහුට අනුව,

“මානව හිමිකම් උල්ලංඝණය වු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් සිදුකර ඇති පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය හැකි බවට විශ්වාසයක් තිබේ. උතුරු, නැගෙනහිර අවතැන් ජනතාව යළි පදිංචි කරවීමේ වැඩසටහන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර ඊට ඉන්දීය රජයේ ද සහයෝගය ලබා දී ඇත. ශ්‍රී ලංකාව සමඟ සෑම අවස්ථාවකම සහයෝගයෙන් කටයුතු කරන බවත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී නොවීම දෙරට අතර ද්විපාර්ශවික සබඳතාවලට බාධාවක් නොවන බව අපගේ විශ්වාසයයි.”

එහිදී පෙනී ගිය තවත් වැදගත් කරුණක් වුවේ නිදහස ලබා ගත් මොහොතේ සිට ඉන්දියාව හැරුණු විට ශ්‍රී ලංකාව ඉතා සමීප ව විදේශ සබඳතා ගොඩ නගා ගෙන පැවති බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වැනි ලෝකයේ බලවත් රටවල නායකයන් ශ්‍රී ලංකාව පිළිබඳව  දරණ ආකල්ප කිසිසේත්ම වාසිදායක නොවන බවයි. එබැවින් එවැනි සංකීර්ණ වූ ජාත්‍යන්තර වෘත්තීමය විෂය දැඩි මතධාරී ලෙස හැසිරවීම රටකට කිසිසේත්ම සුදුසු නොවන බව විචාරක මතයයි. 

මෙයින් ගම්‍ය වන නිගමනය වන්නේ ක්‍රමික ව ශ්‍රී ලංකාව, මානව හිමිකම් කවුන්සිලයේ දී අසාර්ථක වන තත්ත්වයක් පැවති බවයි. විශේෂයෙන් ම රජයේ විදේශ ප්‍රතිපත්ති මෙහෙය වීමේ යන්ත්‍රණය 2010-2015 සමයේ අවසාන කාල වකවානුව වන විට ඉතාමත් ම අකාර්‍යක්ෂම ම ස්වභාවයක් ගත් අතර රාජ්‍යතාන්ත්‍රික අතපසු වීම් මෙන් ම වැරදි රාශියක් ද සිදු වූ බව කිව හැකිය. එයට එක් හේතුවක් වන්නට ඇත්තේ ඒ වන විට රජය අභ්‍යන්තරයේ පැවති අර්බුද විය හැකිය. නමුත් ඉන් සිදු වූ අපකීර්තිය සමස්ත රටට ම පොදු විය. ඊට අමතරව රජය විසින් රට අභ්‍යන්තරයේ තම විපක්ෂ මතධාරීන් ඉලක්ක කොටගෙන මර්දනයක් ගෙන ගිය බවට විරුද්ධ පක්ෂ විසින් ගෙන ගිය ප්‍රචාරයට නිසි පිළිතුරු දීම හෝ ඔවුන්ට සාධාරණයක් සිදු කිරීමට රජය අපොහොසත් වීම රජය දුර්වල වීමටත් මෙන් ම රටේ විදේශ ප්‍රතිපත්තිය දුර්වල වීමටත් එක ලෙසින් ම බලපෑම් ඇති කරනු ලැබීය. එහි ප්‍රතිඵලය වූවේ රජයට විරුද්ධව කරුණු සොයමින් සිටි ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය සාක්ෂි රජය විසින් ම සම්පාදනය කිරීමයි. එවැනි කරුණු කාරණා උග්‍ර වීමේ ප්‍රතිඵලයක් වූවේ අභ්‍යන්තරයේ ගැටුම් ඇති වෙමින් රජය දුර්වල වීමයි. ඒ හේතුවෙන් ම රජය අභ්‍යන්තර වශයෙන් ජනතා අප්‍රසාදයට ලක් වූ අතර එහි එක් පැතිකඩක් ලෙස එම සමයේ විදේශ ප්‍රතිපත්තියේ කඩා වැටීම ද දේශීය වශයෙන් රජයේ කඩා වැටීම ද සාපේක්‍ෂව සිදු වූ බව අධ්‍යයනය කළ හැකිය.

නිගමනය.


ඉතා දීර්ඝ කාලයක් යටත් විජිත ග්‍රහණයට ලක් ව තිබූ ශ්‍රී ලංකාව 1948 වසරේ දී නිදහස හිමි කර ගැනීමෙන් අනතුරු ව සමාජ-ආර්ථික අතින් සංවර්ධනය වෙමින් පවතිනා ක්‍රියාවලියකට අයත්  තුන්වැනි ලෝකයේ රාජ්‍යයක් ලෙස සංවර්ධනය වෙමින් ඊට අනුකූල ලෙස තම විදේශ ප්‍රතිපත්තිය සකස් කරගනු ලැබීය. නමුත් දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව දශක පහක් පමණ යන තුරු ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතිනා රටවල විදේශීය ප්‍රතිපත්තිය සකසන සාධකය වූයේ සීතල යුද්ධයයි. එහිදී ලෝකයේ තිබූ ප්‍රබලතම බල කඳවුරු ද්විත්වය වූ ධනවාදී හා සමාජවාදී කඳවුරුවලට සාපේක්ෂව, තුන්වැනි ලෝකයේ රාජ්‍යයන් බොහෝමයකට සිය විදේශීය ප්‍රතිපත්ති සකස් කිරීමට සිදුවිය. ශ්‍රී ලංකාව තම විදේශ ප්‍රතිපත්තිය නිර්මාණයේ දී මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වූවේ මෙම බල කඳවුරු ද්විත්වයෙන් එකකටවත් ගැති නොවී සිටීම හා ඒ දෙකම සමඟ මිත්‍රත්වය තබා ගනිමින් සහයෝගයෙන් කටයුතු කිරීමයි. එමෙන්ම බල කඳවුරු දෙක හා අනෙක් රාජ්‍යයන් අතර ඇති වන්නා වූ අර්බුද පිළිබඳව නිවැරදි ස්ථාවරයක පිහිටා සිටීමයි. එහෙත් 1989 බර්ලින් තාප්පය බිඳ වැටීම හා 1991 සෝවියට් රුසියාව බිඳවැටීමෙන් පසු නිරවි යුද්ධය අවසන් වූ අතර තුන්වන ලෝකයේ රාජ්‍යයන් තම විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී නව අභියෝග ගණනාවකට මුහුණ දෙන ආකාරයක් දැකිය හැකි විය.

සීතල යුද්ධය නිමා වීමෙන් පසු ශ්‍රී ලංකාව වැනි රටවලට බාහිර වශයෙන් ඇති වූ අභියෝග නව විපරිවර්තනයකට ලක් විය. එම අභියෝගයන් යම් පමණකින් ශ්‍රී ලංකාවටත් අනිත් රටවලටත් පොදු වූ අතර සමහර ඒවා සුවිශේෂිත අභියෝග විය. 

පොදුවේ අවධානය යොමු කිරීමේ දී ඕනෑම රාජ්‍යයක් තම විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී තම මූලික අවධානය යොමු කරනු ලබන්නේ එම රාජ්‍යයේ ආරක්ෂාව හා ආර්ථික වර්ධනය සම්බන්ධයෙනි. ඒ අනුව ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමේ සිට එම ප්‍රතිපත්තීන් අනුගමනය කරනු ලැබුවත් 80 දශකයේ සිට මෙරට විදේශ ප්‍රතිපත්තිය නිර්මාණයේ දී තම ප්‍රධාන අවධානය යොමු කළ ක්ෂේත්‍රයන්ගෙන් එක් සාධකයක් වූවේ අභ්‍යන්තර වශයෙන් ඇති වූ වාර්ගික ගැටලුව හා සම්බන්ධ සන්නද්ධ අරගලය පිළිබඳ ව පිළිතුරු සැපයීමට ය. මන්දයත් මෙම වාර්ගික ගැටලුව ක්‍රමයෙන් වර්ධනය වීම රට අභ්‍යන්තරයට මෙන් ම රටේ කීර්තිනාමය බිඳවැටීමට බලපාන ආකාරයෙන් ජාත්‍යන්තරකරණය ව පැවතීමයි. අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානිවන අකාරයේ ක්‍රියාකාරකම් රාශියක් මේ වන විට රට අභ්‍යන්තරයේ සිදු වී තිබුණි. 1983 ජූලි කලබල මෙන් ම එවකට ශ්‍රී ලංකා හමුදාව විසින් එල්. ටී. ටී. ඊ සංවිධානය මර්දනය කිරීම සඳහා ගෙන ගිය යම් යම් කි‍්‍රයාමාර්ග හේතුවෙන් ද ශ්‍රී ලංකාවේ නාමයට කැළලක් ඇති වී තිබුණි. එම අර්බුද හේතුවෙන් 12%ක් වන ලාංකේය දෙමළ ජනතාව ජනවාර්ගික පීඩනයකට හසු වී තිබෙන බව සමස්ත ලෝකයට ම හඳුන්වා දෙනු ලැබීය. මේ හේතුවෙන් ම එතෙක් දෙමළ ජනතාවගේ විමුක්ති සංවිධානයක් වශයෙන් පිළිගැනීමට ලක් ව නොතිබූ එල්. ටී. ටී. ඊ. සංවිධානයට පිළිගැනීමක් ලැබීමත්, ඒ හා සමඟින් රට අතහැර විදෙස් ගත වූ ලක්ෂ 2කට අධික දෙමළ ජනතාව විසින් මූල්‍ය ආධාර එම සංවිධානයට ලබා දීමත් මත එතෙක් පැවති ගරිල්ලා සටන ක්‍රමයෙන් සිවිල් යුද්ධයක් කරා වර්ධනය විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ මහ ජාතිය වන සිංහලයන් විසින් අනෙකුත් සුළු ජාතීන් පෙළනවා යන මතවාදය ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල පැතිර තිබිණි.

මෙසේ වර්ධනය වූ ජනවාර්ගික අර්බුදය ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රතිඵලය වූවේ ශ්‍රී ලංකාව තුළ පවතින යුද වාතාවරණය සිවිල් යුද තත්ත්වයක් දක්වා වර්ධනය වීමයි. එහි තීරණාත්මක කාලපරිච්ඡේදයක් 1990 දශක අගභාගයේ පමණ උදා වූ අතර යුද වාතාවරණය හේතුවෙන් රටේ අර්ථිකය ද ඉතිහාසයේ ප්‍රථම වතාවට ඍණ තත්ත්වයක් දක්වා පහත වැටිණ. තවද එම සමයේ රටේ විදේශ පිළිගැනීම ද ඉතාමත් අයහපත් තත්ත්වයක පැවතිණ. කෙසේ වෙතත් 2001 වසරෙන් පසු නැවත වතාවක් රටේ විදේශ ප්‍රතිපත්තිය නඟා සිටුවීමට පැවති රජයට හැකි වූ අතර ඒත් සමඟම ආර්ථික තත්ත්වය ද යම් පමණකින් නැවත නඟා සිටුවීමට රජයට හැකි විය. එහිදී එකල රජය පැවති සිවිල් යුද තත්ත්වයේ තීරණාත්මක බලපෑම තම විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා ද අදාළ කර ගනු ලැබීය. 

එහි උච්චතම අවස්ථාව වූයේ ශ්‍රී ලංකා රජයේ හමුදා අතින් එල්. ටී. ටී. ඊ. සංවිධානය 2009 වශයෙන් පරාජයට පත් වීමයි. එම ඓතිහාසික ක්‍රියාවලියත් සමඟ ශ්‍රී ලංකා රාජ්‍ය ඓතිහාසික අවධියකට පරිවර්තනය වූ අතර ආභ්‍යන්තරික හා බාහිර ව ගැඹුරු අභියෝග ගණනාවකට මුහුණ දීමට ද රජයට සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ නව අදියරක් විකාශන වීම 2009 පසු දැකිය හැකි විය. අභ්‍යන්තර සිවිල් යුද්ධය නිමා වීමෙන් පසු විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ දී  ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ප්‍රධානතම අභියෝගයක් වූවේ යුද්ධය අවසාන අදියර තුළ දී සිදු වූවේ යැයි චෝදනා කරන ලද යුද අපරාධ හා මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමටයි. ඒ අනුසාරයෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික තලයේ දී අභියෝග රාශියකට මුහුණ දීමට සිදු විය.

2010 වසර වන විට නැවත ක්‍රමානුකූලව රටේ විදේශ ප්‍රතිපත්ති අංශය හා ආර්ථික තත්වයගේන් කිසියම් ප්‍රමාණයකට හෝ යහපත් ලක්ෂණ දැකිය හැකි වුවත් 2009 වසරේ දී රටේ පැවති යුද වතාවරණය අවසන් කිරීමත් සමඟ නව තත්ත්වයට අවශ්‍ය ලෙස විදේශ ප්‍රතිපත්තිය හැසිර වීමේ දී රජය යම් යම් අංශයන්වලදී අසාර්ථක වන අකාරයක් දැකිය හැකිය. මෙයට හේතු වූ කාරණ කීපයක් මතු වූ බව අධ්‍යනය කළ හැක. ඉන් එක් කරුණක් ලෙස ගම්‍ය වන්නේ 2009 යුද වතාවරණය තුළ ඇමරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව ආදී බටහිර රාජ්‍යවලින් එල්ල වූ ප්‍රතිවිරෝධයයි. සැබෑ ලෙස ම ආභ්‍යන්තරික වශයෙන් යුද්ධය අවසාන කිරීමට රජය ගෙන ගිය දැඩි ප්‍රතිපත්තිය වැදගත් වුවත් පශ්චාත් යුද සමයේ දී ද එම ප්‍රතිපත්තිය ම ඉදිරියට ගෙන යෑම යුද්ධය අවසන් කිරීමෙන් පසු රටට ලැබුණු සාමය හා විදේශ කීර්තිය නැවත අහෝසි කර ගැනීමට සමාන කර්තව්‍යයක් විය. බටහිර රටවලින් හා අසල්වැසි ඉන්දියාව තුළින් ඇතිවූ බලපෑම හමුවේ රජයට තිබූ එකම විකල්පය වූවේ ද චීනය, පකිස්ථානය ඉරානය ආදී බටහිර රාජ්‍යයන්ගේ හා ඉන්දියාවේ ප්‍රතිවිරුද්ධ පාර්ශව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමටයි. එය එක් දෘෂ්ටිකෝණයකින් සාධාරණ වුවත් ඉන් පසු ව ද එලෙසින්ම කටයුතු කිරීම රටේ විදේශ ප්‍රතිපත්තියට මෙන් ම ආර්ථිකයට ද දැඩි ලෙස බලපෑම් ඇති කරන ලැබීය. විශේෂයෙන් ම චීනය සමඟ පැවති සබඳතා අසල්වැසි ඉන්දියාවේ මෙන් ම ඇමරිකා එක්සත් ජනපදයේ ද විරෝධයට ලක් විය. සීතල යුද්ධය අවසාන වීමෙන් අනතුරු ව නැගී එන බලවතුන් ලෙස ඉන්දියන් සාගරයේ ප්‍රධාන තරගකරුවන් වූ ඉන්දියාව හා චීනය, 2010 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට ඉතා තදින් ම බලපෑම් එල්ල කරනු ලැබීය. විශේෂයෙන් ම මානව හිමිකම් සම්බන්ධ චෝදනාවන්හී දී ශ්‍රී ලංකාවට පක්ෂව ලොව එක් බල කඳවුරක් වන චීනය, රුසියාව හා කියුබාවත්, ශ්‍රී ලංකාවට විපක්ෂව අනෙක් බල කඳවුර වන ඉන්දියාව, ඇමරිකා, බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රාජ්‍යයෙනුත් ක්‍රියාකිරීම තුළින් මෙරට විදේශ ප්‍රතිපත්තිය පත් ව තිබූ උභතෝකෝටික ගැටලුව අවබෝධ කර ගත හැක.  

ජාත්‍යන්තර වශයෙන් 2010-2015 සමයේ රජයට තිබූ විදේශීය බලපෑම් තවත් උග්‍ර වීමට හේතු වූ අනෙක් කාරණය වූවේ යුද අපරාධ හා මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මතු වූ චෝදනාවන්ය. එය පැවති අභියෝග තවදුරටත් වර්ධනය කරන්නක් වූ අතර රජය ද ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් දක්වන ලද ප්‍රතිචාර ප්‍රමාණවත් නොවීය. රජය විසින් තම විදේශ සම්බන්ධතා මේ හේතුවෙන් ම පෙර නොවූ විරූ ලෙස වෙනස් කරමින් මෙතෙක් විදේශ සම්බන්ධතා නොතිබූ මෙන් ම එතරම් සම්බන්ධතා නොතිබූ රාජ්‍යයන් වන ඉරානය, යුක්‍රේනය, කසකස්ථානය, බෙලොරුසියාව, සීෂෙල්ස්, උගන්ඩාව, ස්වාසිලන්තය ආදී රාජ්‍යන් සමඟ සමීප සබඳතා ගොඩනගා ගැනීමට උත්සහ කරනු ලැබීය. කෙසේ වෙතත් එයින් ලද ආර්ථික ප්‍රයෝජන ඉතාමත් ම අල්ප වූ බව එම රටවල් සමඟ පැවති ආර්ථීක සම්බන්ධතා තුළින් ගම්‍ය වේ. සීතල යුද්ධයෙන් පසු ලොව බොහෝ රාජ්‍යන් මූලික වශයෙන් විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කරගනු ලැබූවේ තම රටේ ආර්ථික සංවර්ධනය ඉලක්ක කොට ගනිමින් වූ අතර එම ආර්ථිකය ආරක්ෂා කර ගැනීම රටේ ජාතික ආරක්ෂාව හා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධව පැවතිණ.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය 2010-2015 අතර සමයේ දී දුර්වල වීමට බලපාන තවත් අංශයක් ද හඳුනාගත හැකිය. රටක ජාතික අභිලාශයන් පිළිබඳ කටයුතු කිරීමේදී, එය එම රටේ වෘත්තීයමය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු අතර කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් රාජ්‍ය මූල උපායන් ජාත්‍යන්තර ප්‍රතිපත්තියක පිහිටා සැලසුම් කිරීම වැදගත් වේ. ඒ සම්බන්ධයෙන් පවතින රජය සතු වගකීම ඉතා පුළුල් වන බව අවබෝධ කර ගත යුතුය. නමුත් 2010-2015 සමයේදී රාජ්‍ය සේවාවේ පැහැදිලි අකර්මණ්‍ය ස්වභාවයක් දිස් වූ අතර විදේශ සේවයේ පැවති අභ්‍යන්තර ආරවුල් මෙන් ම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය නිවැරදි පරිදි සකස් නොකිරීමක් ද දිස් විය. එහිදී රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්දෙන් තොර හමුදා නිලධාරීන් මෙන් ම ආණ්ඩුවේ ඉහළ පාලන තන්ත්‍රයට හිතවත් පිරිස් විදේශ කටයුතු සඳහා පත් කිරීම සිදු විය.

මේ හේතුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවට අතිමහත් වූ අනිටු ප්‍රතිඵල අත්විඳින්නට විය. මෙවැනි වූ වෘත්තීමයභාවයෙන් තොර කටයුතු කිරීම නිසා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, මානව හිමිකම් කොමිසම වැනි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතන ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විරෝධී න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැකි විය. 

එය රටේ අභ්‍යන්තර ගැට‍ළු ද උග්‍ර කිරීමට සමත් වූ අතර අභ්‍යන්තර වශයෙන් පැවති මානව හිමිකම් කඩ කිරීම් කෙරෙහි විරුද්ධ පාර්ශව ගෙන ගිය බලපෑම දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල වීම සමස්ත රටේ කීර්තිනාමයට ම කැළලක් විය. ඒ හේතුවෙන් ම රජය දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් වූ අතර 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පැවති රජය පරාජයට පත් වීමටද ඉහත කී සාධක යම් යම් අවස්ථාවල දී ඍජු ව මෙන් ම වක්‍රව බලපෑම් ඇති කරන ලද බව අවසාන වශයෙන් ගම්‍ය කර ගත හැක. ඒ අනුව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අභ්‍යන්තර වශයෙන් මෙන් ම අන්තර්ජාතික වශයෙන් අසමත් වීමක් පෙන්නුම් කළ කාල පරිච්ඡේදයක් ලෙස 2010-2015 සමයේ දැකිය හැකයි.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

ප්‍රාථමික මූලාශ්‍ර

(සිංහල‍)

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 65 වැනි සමුළුව අමතමින් – 2010.09.23.,  <https://www.youtube.com/results?search_query=mahinda+rajapaksa+addressing+un+in+2010>

මහින්ද චින්තන ඉදිරි දැක්ම, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය, කොළඹ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා, 2007, 2008, 2009, 2010, 2011, “කාර්මික අපනයන”.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2013 “විදේශ අංශයේ ප්‍රවණතා හා ප්‍රතිපත්ති.”    


(English)

Hansard, Debates in the parliament of Sri Lanka, 21st of March 2013.

Ministry of Finance and Planning Sri Lanka, Annual Report, 2010, 2011.

Report of the OHCHR Investigation on Sri Lanka, 16th September 2015.

Census of Population and Housing of Sri Lanka, 2012 - Population by district, ethnic group and sex", Department of Census and Statistics, Sri Lanka.

"Basic Demographic Characteristics: Indian Resident Population by Age Group, Dialect Group and Sex", Census of Population 2010 Statistical Release 1: Demographic Characteristics, Education, Language and Religion, Department of Statistics, Singapore.

“Demographic and Fertility Characteristics Volume: II ", The 2011 Housing and Population Census, Statistics Mauritius.

"Scheduled Languages in descending order of speaker's strength - 2001". Registrar General and Census Commissioner of India.



ද්විතීයික මූලාශ්‍ර 

(සිංහල)

අතුකෝරල පී., ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටලුව, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2006.

අබේවර්ධන ඩී. ඇල්., නොබැඳි සංවිධානයේ ආරම්භය ක්‍රියාකාරීත්වය හා අභියෝගතා, මානව හිතවාදී ලේඛක පර්ෂදය, නුගේගොඩ, 2000 ජූලි.

අයිවන් වික්ටර්, 71 කැරැල්ල, රාවය ප්‍රකාශන, මහරගම, 2014.

අයිවන් වික්ටර්, අර්බුදයේ අන්දරය 1815-යටත්විජිත යුගයේ සිට 2009-ඊලාම් යුද්ධයේ අවසානය දක්වා, රාවය ප්‍රකාශන, මහරගම, 2012 අගෝස්තු.

අයිවන් වික්ටර්, කඩාවැටෙන්නට යන දේශපාලන ක්‍රමයේ අර්බුදය අවසානය කුමක්ද?, රාවය ප්‍රකාශන, මහරගම, 2012.

අයිවන් වික්ටර්, චෞර රාජ්‍යය, රාවය ප්‍රකාශන, මහරගම, 2015 නොවැම්බර්.

අයිවන් වික්ටර්, ජාතියේ ඛේදවාචකය, රාවය ප්‍රකාශකයෝ, මහරගම, 2014.

අයිවන් වික්ටර්, දේශපාලනයේ පවුල හා කුලය, රාවය ප්‍රකාශන, මහරගම, 2015 මැයි.

අයිවන් වික්ටර්, ප්‍රභාකරන් පරාජය කිරීම, රාවය ප්‍රකාශන, මහරගම, 2013 පෙබරවාරි.

අයිවන් වික්ටර්, ලංකාව ගලවා ගැනීම, රාවය ප්‍රකාශකයෝ, මහරගම, 2013.

අලහකෝන් උදිත, ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය, ඇස්. ගොඩගේ සහ  සහෝදරයෝ, කොළඹ, 2007.

උබේසේකර ඉන්ද්‍රක හේමන්ත, රාජ්‍ය නොවන සංවිධාන සහ ශ්‍රී ලංකාව, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2006.

උයන්ගොඩ ජයදේව, ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ?, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, කොළඹ, 2011.

උයන්ගොඩ ජයදේව, ජාතිය ජාතිකවාදය සහ ජාතික රාජ්‍ය, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, කොළඹ, 2011.

උයන්ගොඩ ජයදේව, ලංකාවේ ජනවාර්ගික ගැටුම, සාමය සහ ඒවායේ වෙනස්වන ගතිකත්වය, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, කොළඹ, 2007.

උයන්ගොඩ ජයදේව, ලංකාවේ දේශපාලන වෙනස්වීම් 2007-2008, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය කොළඹ, 2008.

උයන්ගොඩ ජයදේව, සමාජ න්‍යාය හා භාවිතය, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, කොළඹ, 2006.

කටුගම්පොළ රාජා, ජිනීවා අභියෝග, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2015.

කරන්නාගොඩ වසන්ත, අධිෂ්ඨානය, කර්තෘ ප්‍රකාශන, 2014 නොවැම්බර්

කරුණාදාස ඩබ්. එම්., ජාත්‍යන්තර අර්බූද, ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, දෙහිවල, 2000.

කරුණාදාස ඩබ්. එම්., ජාත්‍යන්තර සබඳතා ප්‍රවේශය, ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, දෙහිවල, 2011.

කරුණාදාස ඩබ්. එම්., තුන්වන ලෝකය දේශපාලන හා ආර්ථිකය, ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, දෙහිවල, 2003.

කරුණාදාස ඩබ්. එම්., නිදහස් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය (1948-1970), ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, දෙහිවල, 1998.

කරුණාදාස ඩබ්. එම්., ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පර්යේෂණාත්මක අධ්‍යයනයක්, ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 2008.

කස්තුරිරත්න මල්රේණු, රුසියාවේ අවි-සවි, කර්තෘ ප්‍රකාශන, 2015 මැයි.

කළුආරච්චි සමන්, කොළඹ පුරාණය, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2013.

කාලිංග කපිල කුමාර, අසල්වැසියාගේ සාම සවාරිය, සංහිඳ ප්‍රකාශන, නුගේගොඩ, 2001.

කුමාර සරත් ලාල්, ව්ලැද්මීර් පූටීන්, රුසියාව ප්‍රකාශකයෝ, මොරටුව, 2015.

කුමාරසිංහ රංග ප්‍රභාත්, පශ්චාත් තුෂ්ණි යුද සමයේ මූලධර්මවාදයට හා ජාතිකවාදයට එරෙහි ජාත්‍යන්තර මානුෂවාදී මෙහෙයුම්, ඇස්. ගොඩගේ සහ  සහෝදරයෝ, කොළඹ, 2013.

කුමාරසිංහ රංග ප්‍රභාත්, බණ්ඩාරනායක විදේශ ප්‍රතිපත්තිය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2007.

කුරේ ක්‍රිශාන්ත් නිරංජන්, මානව හිමිකම්, ආශීර්වාද ප්‍රකාශකයෝ, මීරිගම, 2007 මැයි.

ක්‍රිෂ්ණා ශන්කරන්, ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුම තුළ ඉන්දියාවේ භූමිකාව, මාර්ග ආයතනය, කොළඹ, 2001.

ගජමෙරගෙදර බර්ටි, “ශ්‍රී ලංකාව හා ලෝකය: විදේශ ප්‍රතිපත්තියේ විකාශය, (සංස්) එම්. යූ. ද සිල්වා, ශ්‍රී ලාංකේය ඉතිහාසය, වෙළුම v : පරිච්ඡේදය 6, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012.

ගුණතිලක ආනන්ද, එක් මිනිසෙක් එකම එක මිනිසෙක්, රැජින ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස්, ජා ඇල, 2012.

ගුණතිලක ගොඩ්ෆ්‍රි, සමාජ-ආර්ථික සංවර්ධනයේ ජනවර්ගමාන, මාර්ග ආයතනය, කොළඹ, 2001.

ගුණරත්න කමල්, රණමඟ ඔස්සේ නන්දිකඩාල්, කර්තෘ ප්‍රකාශන, 2016.

ගුණවර්ධන මහේන්ද්‍ර, අරුණාලෝකය අතරේ, හෙට නව ලෝකය ඉදිවේ, කතෘ ප්‍රකාශන, 2015 ජූලි.

චන්ද්‍රප්‍රේම සී. ඒ. ගෝඨාභයගේ යුද්ධය, කතෘ ප්‍රකාශන, 2013 අගෝස්තු.

ජගත්චන්ද්‍ර නිහාල්, යුද අපරාධ චෝදනාවේ ඇත්ත කතාව, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2012.

ජනප්‍රිය එරික් ගාමිණී, ස්ලොබොදාන් මිලිසොවිච්ගේ ඉරණම අභියස මහින්ද, කර්තෘ ප්‍රකාශන, 2015 අගෝස්තු 15

ජයතිලක මලිත්, අලිමංකඩ පරාජයෙන් පසු ශ්‍රී ලංකාව හා ඉන්දියාව, කර්තෘ ප්‍රකාශන, 2008.

ජයතිලක මලිත්, මා දුටු ජනවාරි 8, කතෘ ප්‍රකාශන, බත්තරමුල්ල, 2016 සැප්තැම්බර්.

ජයසිංහ රන්ජිත් ආනන්ද, ඊලම බිඳ වැටෙයි, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ, 2009 අගෝස්තු 29.

ජයසුමන චන්න සුදත්, දෙමළ ජනතාවගේ සංක්ෂිප්ත ඉතිහාසය, විසිදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2009.

ජෙයක්කුමාරන් තමිළිනී, තියුණු අසිපතක සෙවණ යට, ත්‍රිකෝනී සංස්කෘතික පදනම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, 2016 මැයි.

ඩික්සිට් ජේ. එන්., කොළඹ භූමිකාව, විජිත යාපා ප්‍රකාශකයෝ, කොළඹ, 1998.

දිසානායක විජය, ගෝලීය ප්‍රවණතා, අනුරාධා ප්‍රකාශකයෝ, දෙල්ගොඩ, 2014.

දෙල්ගොඩ සිංහරාජ තම්මිට, ශ්‍රී ලංකාවේ සිව්වන ඊලාම් යුද්ධයේ අවසාන අදියර, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2010 මැයි 19.

දොඹගහවත්ත ආරියනන්ද, ඊලමේ කතාව, වාසනා ප්‍රකාශකයෝ, දන්කොටුව, 2009.

පතිරණ මහින්ද, විකිලීක්ස් හෝරාව, සුරස ප්‍රකාශකයෝ, කොළඹ, 2011 අගෝස්තු.

පනික්කාර් කේ. ඇම්., නූතන ඉන්දියාවේ පදනම්, රත්නාකර පොත් වෙළඳ ශාලාව, කොළඹ, 1967.

පෙරේරා බී . ඒ., “පුරාණ ලංකාව හා විදේශයන් අතර වූ වෙළඳාම”, පුරාණ යුගය, තිසර ප්‍රකාශකයෝ, දෙහිවල, 2012.

පොල්තොරාක් ඒ., න්‍යුරෙම්බර්ග් අවසාන ජවනිකාව, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2007. 

ප්‍රනාන්දු ලක්සිරි, ප්‍රජාතන්ත්‍රවාදයට හැඳින්වීමක්, මාර්ග ආයතනය, ඇතුල් කෝට්ටේ, 2011.

ප්‍රනාන්දු සංජීව කේ. ඒ., ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය සහ ඉන්දියාව, ඇස්. ගොඩගේ සහ  සහෝදරයෝ, කොළඹ, 2006.

බණ්ඩාරගේ අශෝකා, ශ්‍රී ලංකාවේ යටත් විජිතවාදය, ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන, කොළඹ, 2005.

බන්දුල කොග්ගල වෙල්ලාල, යුද අපරාධ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2015.

රත්නමාලි චන්දිමා, ලක්ෂ්මන් කදිරගාමර් හා ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය, සර්වෝදය විශ්ව ලේඛා සමාගම, රත්මලාන.

රන්තිලක කුමාර, කැලුම් අමරසිංහ, චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය, පළමු පෙරමුණ, පිටකෝට්ටේ, 2014.

රොබර්ට්ස් මයිකල්, ඉතිහාසයෙන් පැටවුණු බර නිසා ශ්‍රී ලංකාවේ බලය බෙදීමට ඇති බාධක, මාර්ග ආයතනය, කොළඹ, 2001.

ලියනගමගේ අමරදාස, මහජන චීනය, ශ්‍රී ලංකා චීන සංගමය, රාජගිරිය, 2008.

වර්ණකුලසූරිය කීර්ති, ද්‍රෝහියෝ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2014.

විජයදාස කේ. එච්. ජේ., සිංහල ජාතිය පාවාදීම, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ, 2006 පෙබරවාරි 26.

විජේසිංහ තිස්ස, දෙමළ-සිංහල ඓතිහාසික විකාශනය පිළිබඳ නව කියවීමක්, සංහිඳ ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2009 අගෝස්තු.

විජේසිරි ඊ. ජී., අන්තර්ජාතික දේශපාලනය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2013.

විමලරත්න කේ. ඩී. ජී., ලංකාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය, රත්න පොත් ප්‍රකාශකයෝ, කොළඹ, 2009.

වීරවංශ විමල්, බටහිර බලය සහ ලංකාවේ ඉරණම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, කොළඹ, 2007 ඔක්තෝබර්.

වීරවංශ විමල්, වන්නිය, ජිනීවා සහ නිව්යෝර්ක්: දෙමළ ඊළාම් මාර්ග සිතියම, නිදහස් නියමුවෝ, බත්තරමුල්ල, 2015.

වීරසූරිය ගුණසිරි බණ්ඩා, සාපරාධී යුද සංග්‍රාමය, ආරිය ප්‍රකාශකයෝ, වරකාපොල, 2011 සැප්තැම්බර්.

සමරසිංහ ආර්. පී., යුද්ධය සහ ගෝලීය ත්‍රස්තවාදය, වාසනා ප්‍රකාශකයෝ, දන්කොටුව, 2015.

සරච්චන්ද්‍ර එදිරිවීර, ධර්මිෂ්ඨ සමාජය, නිර්මල ප්‍රකාශන, කොළඹ, 1999.

සරත් ලයනල්, පැරණි ලක්දිව සිංහල දෙමළ සබඳතා, ඇස්. ගොඩගේ සහ  සහෝදරයෝ, කොළඹ, 2006 පෙබරවාරි.

සොයිසා නිරෝමි ද, කොටි දියණියකගේ පාපොච්චාරණය, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2015.

හේරත් එච්. එම්. පී., “භූ දේශපාලනය” (සංස්) සමන් හඳරාගම, දේශපාලන සමාජ විද්‍යාව-1, සමීර ප්‍රකාශන, බත්තරමුල්ල, 2013.

සිල්වා මුහන්දිරම් මුල්ලපිටියේ කේ. එච්. ද, අභයසිංහ විජයශ්‍රීවර්ධන, යපා පටුන වංස කතාව හෙවත් යාල්පාන වයිපවමාලය, සූරිය ප්‍රකාශන, කොළඹ, 2006.


ජාතීන්ගේ ප්‍රශ්නයට ප්‍රජාතාන්ත්‍රික විසඳුමක්, සමාජවාදී ජනතා ව්‍යාපාරය, රාජගිරිය, 2015 මැයි.

නූතන යුගය- පළවෙනි කාණ්ඩය, තිසර පොත් ප්‍රකාශකයෝ, දෙහිවල, 1963 ජනවාරි.

බටහිර කුලී සේනාංකය : NGO, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, නුගේගොඩ, 2005 අප්‍රේල්.

ලෝක ආර්ථික අර්බුදය පිළිබඳ වෙනස් කියවීමක්, ජනතා විමුක්ති පෙරමුණ, නියමුවා ප්‍රකාශකයෝ, බත්තරමුල්ල, 2009 සැප්තැම්බර්.

ශ්‍රී ලාංකේය ඉතිහාසය-වෙළුම v, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012.


(English)

Baumann Martin, Immigrant Hinduism in Germany: Tamils from Sri Lanka and Their Temples, Harvard University, 2008.

Foster Carly, Tamils: Population in Canada, Ryerson University, 2008-06-25.

Hill Norman, Contemporary world politics, Harper, New York, 1954.

Jayasekera P. V. J., Security Dilemma of a Small State – Part one, South Asian Publishers Pvt. Ltd, New Delhi, 1992.

Jayasekera P. V. J., and Mahinda Werake, Security Dilemma of a Small State – Part two, South Asian Publishers Pvt. Ltd, New Delhi, 1995.

Jayasinghe Amal, "Sri Lanka eyes South Asian hub with Chinese mega port", Fox News, 2 August 2013.

Modelski George, A Theory of Foreign Policy, The Center of International Studies, New York, 1962

Rosenau James, World Politics, The free press, New York, 1976.

Sivarajah A., Sri Lanka’s Foreign Policy since 1994, 9th International Conference on Sri Lanka Studies, Matara, Sri Lanka. Full Paper Number 057. 28th – 30th November 2003.


පුවත්පත්

අමරතුංග කරුණාරත්න, “රටේ හෙට දවස සුබ කරන අද දවසේ විදේශ සබඳතා”, සිළුමිණ, පි. 31, 2015 මැයි 03.

Raman B, "Sri Lanka: The dilemma", The Hindu, 2008-06-26.


සඟරා

ප්‍රවාද, කලාප අංක 32, 2011 මාර්තු-අප්‍රේල්.

රුසියාව, දෙවන වෙළුම, විසිවන කලාපය, රුසියාව ප්‍රකාශකයෝ, මොරටුව, 2011 ජුනි- අගෝස්තු.

රුසියාව, තෙවන වෙළුම, විසිපස්වන කලාපය, රුසියාව ප්‍රකාශකයෝ, මොරටුව, 2012 සැප්තැම්බර්-නොවැම්බර්.

Left, තෙවන වෙළුම, පළවන කලාපය, 2014 ජූනි-සැප්තැම්බර්.

Left, තෙවන වෙළුම, තෙවන කලාපය, 2015 ඔක්තෝබර්-දෙසැම්බර්.

Left, තෙවන වෙළුම, හතරවන කලාපය, 2016 ජනවාරි- අප්‍රේල්.


(English)

Foster Carly, "Group Backgrounds: Tamils", Diversity Watch, Ryerson University School of Journalism.

Stokke K, A K Ryntveit, "The Struggle for Tamil Eelam in Sri Lanka". A Journal of Urban and Regional Policy, 2000.

International Affairs, All-Union Znaniye Society, Moscow, September 1983.


Web Sites.

Arunkumar A., Ethnic conflict and refugees in Sri Lanka, Autonomous University of Nuevo Leon, (2007) 2008-07-01, Retrieved 25 January 2017, 08:20, <http: //revistaselectronicas.ujaen.es/index.php/rae.>

Bacevich Andrew, Farewell to the American Century – 30th April 2009, Retrieved 21 January 2017, 10:37< www. Salon.com. >

Baumann Martin, Immigrant Hinduism in Germany: Tamils from Sri Lanka and Their Temples, Harvard University, 2008-06-26. <http://pluralism.org/affiliate/martin-baumann/.>

Sharma Ashok B., FTA Pushes Up India, Lanka Trade By 128%, Financial Express, India, 30 September 2004, Retrieved 17 January 2017, 09:27, <http://www.bilaterals.org/?fta-pushes-up-india-lanka-trade-by.>

Sivasupramaniam V., History of Tamil diaspora, Tamil library, 2008-03-17,<http://tamilelibrary.org/teli/diaspora2.html>


"Britain urged to protect Tamil Diaspora", BBC-2006-03-26, 2008-06-26,  <http://www.bbc.com/sinhala/news/story/2006/03/060315_hrw_jayadevan.html.>

"Census Explorer", Special Broadcasting Service, <http://www.sbs.com.au/yourlanguage/tamil/censusexplorer.>

Embassy of Sri Lanka, Moscow, Foreign Policy, <http://www.srilankaembassy.org/relationship/foreign-policy/20:35>

Indian Express, 2009 May 28, 09:11,  <http://www,indianexpress.in>

“India’s Aid to Sri Lanka in post war reconstruction”, The Caliber, October 30, 2013,  <www.thecaliber.in>

India's Sri Lankan scars, Thursday, 4 May, 2000, 13:38 GMT 14:38 UK, <http://news.bbc.co.uk/2/hi/south_asia/735963.stm>

India's Sri Lanka power project runs into Tamil storm,  <https://in.yahoo.com/?err=404&err_url=https%3a%2f%2fin.news.yahoo.com%2findiaabroad%2f20080510%2fr_t_ians_bs_india%2ftbs-india-s-sri-lanka-power-project-runs-46e8b08.html>

Japan – Sri Lanka Economic Relations: 60 Years and Beyond, December 9, 2012, <http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=67952>

“Pakistan, Sri Lanka agrees to boost bilateral relations” The Frontier post, 2010, 23 November, Retrieved 13 January 2017, 01:41, <http://www.thefrontierpost.com , Pakistan is the second largest trading partner of Sri Lanka in SAARC region>

“Sri Lanka President visits Pakistan” Asia Tribune, 2012, February, <http://www.asiatribune.com>

"Swiss Tamils look to preserve their culture", Swissinfo, 2006-02-18, 2008-06-25. <http://www.swissinfo.ch/eng/swiss-tamils-look-to-preserve-their-culture/4804092.>

"Tamil", Ethnologue, <https://www.ethnologue.com/language/tam>

"Politically French, culturally Tamil: 12 Tamils elected in Paris and suburbs", Tamilnet, 2008-03-28. 2008-06-26, <http://www.tamilnet.com/art.html?catid=79&artid=25010.>

President Rajapaksa’s Visit, Republic of Belarus, <http: //udayanga.net/relashionship-with-cis/joint-programs/republic-of-belarus/official-welcome-ceremony.>

President Rajapaksa’s Visit, Republic of Ukraine, <http://udayanga.com/relashionship-with-cis/joint-programs/republic-of-ukraine.>

Russia pledges support to Lanka in its crackdown on LTTE Zee News - May 07, 2009, <http://zeenews.india.com/news/south-asia/russia-pledges-support-to-lanka-in-its-crackdown-on-ltte_529817.html>

Scribed, Kukuleganga hydro project, <https://www.scribd.com/document/119419047/kukuleganga-hydro-project.>

Sri Lankan President Mahinda Rajapaksa Meets with top American Business Leaders, Embassy of Sri Lanka, Washington, D.C., 27-September-2010, <http://slembassyusa.org/embassy_press_releases/sri-lankan-president-mahinda-rajapaksa-meets-with-top-american-business-leaders/>

Sri Lanka targets Russia with specialty teas Lanka Business Online - December 19, 2011, <http://www.lankabusinessonline.com/fullstory.php?nid=555120845>

US Census, "Nation's Linguistic Diversity", United States Census Bureau, <http://www.census.gov/data/tables/2013/demo/2009-2013-lang-tables.html.>

Vocabulary.com Dictionary, diaspora. <https: //www.vocabulary.com/dictionary/diaspora.>



සිංහල වෙබ් අඩවි.

බණ්ඩාර දිස්නා, “චීන ලංකා සබඳතා”, ජගත් සබඳතා, දසත,  2009 ඔක්තෝබර් 29 වෙනි බ්‍රහස්පතින්දා, <http://www.sannasa.org/2010-01-19-05-48-50/105-2009-10-29-04-52-52/397-2009-10-29-06-56-31.html>

දැක්මක සිව් වසර 2005-2009, සිළුමිණ,  <http://www.silumina.lk/2009/11/22/dakma/?fn=n09112211.>

රාජ්‍ය ගෞරව සහිතව චීන ජනපති පිළිගනී, හිරු ප්‍රවෘත්ති, 16 සැප්තැම්බර්  2014,  <http://www.hirunews.lk/sinhala/92276>

ලෝකයේ මීළඟ බලවතා චීනය,  <http://sinhala.news.lk/fetures/item/5213-2014-09-15-17-35-50>

පලස්තීනය, ඉන්දියාව හා අපි, දිණමින, 2014 08 16, <http://archives.dinamina.lk/2014/08/16/_art.asp?fn=e140816>

Sri Lanka Mirro, සජින් වාස්, ක්‍රිස් නෝනිස්ට පහරදුන් හේතුව?, <http://archive.sinhala.srilankamirror.com/index.php/news/21146-why-did-sajin-vaas-assault-chris-nonis>


No comments:

Post a Comment