Showing posts with label යුරෝපා ඉතිහාසය. Show all posts
Showing posts with label යුරෝපා ඉතිහාසය. Show all posts

Sunday, 20 December 2020

1776 ඇමරිකන් විප්ලවයට පෙර, යටත්විජිතවාදයේදී නාවික ආධිපත්‍යයේ වැදගත්කම

 


ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව යටත්විජිතවාදයේ ඉංග්‍රීසි වචනය වන “කොලෝනියසම්” (Colonialism) යන්න රෝම භාෂාවෙන් ගොවිපළ හෝ ජනාවාසය  හැඳින්වීමට යෙදෙන “කොලෝනියා” යන්නෙන් බිඳී ආවකි. එනම් තම රටේ පුරවැසිභාවය තබා ගන්නා අතරම සෙසු බිම් ප්‍රදේශයක පදිංචි ව සිටි ‍රෝම පුරවැසියන් හැඳින්වීම සඳහා මේ පදය භාවිතා කොට තිබේ.

ඒ අනුව යටත්විජිතවාදය සෙසු ජනයාට අයත් ඉඩම් සහ දේපළ අත්පත් කර ගැනීම සහ පාලනය කිරීම බව අවබෝධ කර ගත හැක. පැහැදිලිව සඳහන් කරතොත් යටත්විජිතවාදය යනු කිසියම් රටක ජීවත්වන ජනතාව හා එම ප්‍රදේශය බාහිර රටක් විසින් අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තීන්ට අනුව පාලනය කිරීමයි. අධිරාජ්‍යවාදය යනු “එක් රටක් විසින් තවත් රටක් ආර්ථිකමය වශයෙන් සූරාකෑම නිසා එම රටවල් දෙක අතර හටගන්නා වූ බල සබඳතාවේ (Power Relation) වෙනස බව” මෝගන් නැමති සුප්‍රකට ජාත්‍යන්තරවේදියා සඳහන් කොට තිබේ. ඒ අනුව පෙනී යන වැදගත් ම කරුණක් වන්නේ යටත්විජිතවාදයත්, අධිරාජ්‍යවාදයත් එකට අත්වැල් බැඳ ගත් ක්‍රියාදාමයක් වන බවයි. යටත්විජිතවාදය මඟින් කිසියම් රටක් ඍජු ආකාරයෙන් ආධිපත්‍යට (Domination) නතු කර ගැනීමක් සිදුවේ.

විද්වතුන් විසින් භූ දේශපාලනයේ වර්ධනයට සාපේක්‍ෂව භූ උපාය මාර්ගයන්හී අවශ්‍යතාව පැහැදිලි කොට දක්වා ඇත. ඇමරිකානු නාවික හමුදාවේ අද්මිරාල්වරයෙකු වූ ඇල්ෆ්‍රඩ් තේයර් මේහෑන් (Alfred Thayer Mahan) විසින් රචිත “ඉතිහාසය කෙරෙහි සාගරික බලයේ බලපෑම” (The Influence of Sea Power Upon History) නම් කෘතියට අනුව භූ උපාය මාර්ගයන්හි ප්‍රබලතම සාධකය වන්නේ සාගරික බලයයි. ඒ අනුව යම් රටක ආර්ථික සහ වාණිජ කටයුතු ආරක්‍ෂා කර ගැනීම සඳහා සාගරික ප්‍රවාහන මාර්ග පාලනය කිරීම අත්‍යාවශ්‍ය වන අතර සාගරික බලය තීරණය කිරීම සඳහා යම් රටක් සතු නාවික ආධිපත්‍ය එයට ප්‍රබල ලෙසම උපකාරී වේ. ඒ අනුව නාවික ආධිපත්‍ය මාර්ගයක් කර ගනිමින් සමස්ත ලෝකයට ම විශාල බලපෑමක් ඇති කල ජනකොට්ටාශයක් ලෙස යුරෝපීයයන් හැඳින්විය හැක. කුරුස යුද්ධවලින් අනතුරුව වාණිජ ආධිපත්‍ය ලබා ගැනීමේ අභිප්‍රායෙන් සාගරික කටයුතුවලට යුරෝපීයන්ගේ මැදිහත්වීම ප්‍රබල විය. විශේෂයෙන් දොළොස් වන සියවසේ සිට දාසයවැනි සියවස දක්වා කාලය තුළ දී අප්‍රිකාව, යුරෝපය හා චීනය අතර පැවති වාණිජ සබඳතා සාගරික මාර්ග හරහා වැටී තිබුණි. මධ්‍යධරණි වෙළඳ ක්‍ෂේත්‍රයන්හී අප්‍රිකාවට විශේෂ ස්ථානයක් ලද අතර නිරන්තරයෙන් හුවමාරු වූ වාණිජ භාණ්ඩ වූවේ රත්තරන්, ඇත් දත් හා ගම්මිරිස් ය. විශේෂයෙන්ම මෙම කාලය වන විට සාගරික මාර්ගයන් තුළින් වර්ධනය වූ වාණිජවාදය සමස්ත ලෝකයට ම ප්‍රබල බලපෑමක් එල්ල කරන ලදි. වාණිජවාදය හා සම්බන්ධ වූ අනෙකුත් සාගරික ක්‍ෂේත්‍රයක් වන අත්ලාන්තික් සාගරය ඔස්සේ සිදු වූ වහල් වෙළදාම නව ලෝකයට විශාල බලපෑමක් කිරීමට සමත් වී ඇති බව යුනෙස්කෝවේ මතයයි.

 අධිරාජ්‍යවාදයත් සමගම යටත්විජිතවාදය නාවික ආධිපත්‍ය මාර්ගයෙන් ව්‍යාප්ත වූවේ යුරෝපා රාජ්‍යයන් අතර වූ දේශපාලන අවශ්‍යතාවන්, වෙනස් වෙමින් පවතින්නා වූ ආර්ථික තත්වයන්ට අනුකූල වන පරිද්දෙන් යම් හැඩ ගැසීමක් හෝ ගැළපීමක අවශ්‍යතාවක් ඇති වූ හෙයිනි. 16වන සියවසේ වාණිජවාදී තරඟකාරීත්වය තුළින් උපන් යුරෝපා රටවල නාවික ආධිපත්‍ය ව්‍යාප්තිය යුරෝපයෙන් පිටත ස්වාභාවික සම්පත් සහිත ප්‍රදේශ කරාද බලපෑම් ඇති කරන්නට විය. 16වන සියවසෙන් පසුව හා 1776 ඇමරිකන් විප්ලවයට පෙර ක්‍රියාත්මක වූ යටත්විජිතවාදය මූලික වශයෙන් යුරෝපා ජාතීන්ගේ නාවික ආධිපත්‍යය මත පදනම් වී ආසියාව, අප්‍රිකාව හා ඇමරිකානු මහද්වීප තම යටතට නතු කර ගැනීමේ ක්‍රියාදාමය මත පදනම් විය. 

මෙවැනි හේතූන් නිසා මේ අවධිය අවසන් වන විට යුරෝපා ජාතීන් විසින් ලෝක ගෝලයේ බටහිර අර්ධයේ වූ ප්‍රදේශ ජනාවාසකරණයට (Colonization) හෝ ආක්‍රමණය මගින් යුරෝපා පාලනයට නතුකර ගත්හ. එම අවධිය තුළදීම යුරෝපා ජාතීන්ගේ නාවික ආධිපත්‍ය ආසියා-අප්‍රිකා රාජ්‍යයන් කෙරෙහිද යොමු විය. එහිලා මූලික වූවේ යුරෝපීය රාජ්‍යයන් නොව යුරෝපීය වෙළඳ සමාගම් ය. ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (Vereenigde Oost-Indische Compagni), ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (East India Company) හා ප්‍රංශ පෙරදිග වෙළඳ සමාගම (La Compagnie Des Indh) එබඳු සමාගම් වේ. වෙළඳාමෙන් සෞභාග්‍ය සොයාගත් රටවල් එම වෙළදාමෙන් ලත් වාසි තව තවත් අළුත් ප්‍රදේශ සොයා ගැනීම සඳහා නාවික කටයුතුවලට ආයෝජනය කිරීම නිසා මෙම අවධිය වාණිජවාදී යටත්විජිත යුගය (Mercantile Capitalism)ලෙස සලකනු ලැබේ.

යම් කිසි ජාතියක දියුණුව හා ශක්තිය සලකා බැලීමේ දී එම ජාතිය සතු ‍සෘජු ගොඩ බිම් බලයට වඩා එම ජාතිය සතු සාගරික හා නාවික ශක්තිය 1776ට පෙර සලකා බැලීම වැදගත් වේ. මන්ද යත් ගොඩ බිම් බලයට වඩා සාගරික බලය පවත්වා ගෙන යාමට වැඩි දැනුමක් මෙන් ම වැඩි වියදමක් දැරීමට සිදුවීමත් ඒ සඳහා එම ජාතිය සතුව ප්‍රබල මූල්‍යමය ශක්තියක් තිබිය යුතු වීමත් ය. මෙය වඩාත් පැහැදිලි වන්නේ යුරෝපය තුල කුඩා භූමි ප්‍රදේශයකට හිමිකම් කියූ ජාතීන් වන ස්පාඤ්ඤය, පෘතුගාල, නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍ය යන රජ්‍යයන්වල, යටත් ප්‍රදේශ තම මව් භූමියෙන් පරිබාහිර ව පිහිටා තිබීමත් ය. ඒ සඳහා ඔවුන්ට විශේෂඥ දැනුමක් මෙන්ම ඉතා හොද ආර්ථික ශක්තියක් ද විය. විශේෂයෙන්ම එම ජාතීන් සතු නාවික හා සාගරික ඥානය ඔවුන්ගේ අධිරාජ්‍යය වර්ධනයට හේතූ වූ ප්‍රධානතම බලවේගය වූ අතර එමගින් තම අධිරාජ්‍ය නාවික බලය මාර්ගයෙන් සම්බන්ධ කිරීමට ඔවුන්ට හැකි විය. 

දියුණු වෙමින් පැවති තාක්ෂණය හා විද්‍යාත්මක දැනුම නාවික ආධිපත්‍ය මත පදනම් වූ දේශ ගවේශනයට ප්‍රබල හේතුවක් විය. කතෝලික පල්ලියේ දිරි ගැන්වීම මත නව ලෝකය සොයා යාමට පළමු වෙන් ම ඉදිරිපත් වූවේ අයිබීරියන් අර්ධද්වීපයේ රාජ්‍යයන් වූ ස්පාඤ්ඤය හා පෘතුගාලයයි. මෙලෙස ස්පාඤ්ඤයන් හා පෘතුගීසීන් දේශගවේශණයට ඉදිරිපත් වූ ප්‍රබලතම සාධකය වූවේ පෙරදිග හා අපරදිග ලෝකය අතර වෙළඳ ගනු දෙනු සිදු වූ වෙළඳ මාර්ගය ඔටෝමන් තුර්කිවරුන්ගේ ග්‍රහණයට නතු වීමයි. ක්‍රි.ව. 10 හා 11 වන සියවස් වල දී ආරම්භ වූ කුරුස යුද්ධ හේතුවෙන් වෙළදාමේ ආධිපත්‍යය 15 වන සියවස වන විට වැනීසියට හා ජිනෝවාවට හිමි වී තිබුණි. 1453 දී තුර්කිවරුන් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමත් සමඟ යුරෝපයට මෙන් ම ජිනෝවාවරුන්ට ද වෙළඳ මාර්ග සම්පූර්ණයෙන්ම වැසී යන ලදි. නමුත් පෙරදිග භාණ්ඩ යුරෝපයට සැපයීමේ ඒකාධිකාරය තවදුරටත් තබා ගැනීමට වෙනීසියට හැකි විය.

බටහිර යටත්විජිතකරණයේ මුල් කාලය ඉතා ආක්‍රමණකාරී යුගයක් විය. ක්‍රි.ව. 1420ත් ක්‍රි.ව. 1522ත් අතර කාලයේ දී බටහිර යටත්විජිතකරණය ආරම්භ වූ බව උපකල්පනය කළ හැකිය. මෙම අවධිය ආරම්භ වන්නේ කොලොම්බස්, වස්කෝදගාමා, මැගලන් වැනි දේශගවේශකයන්ගේ ගමන් වලිනි. මොවුන්ගේ දේශගවේශණ සැබෑ ලෙස ම ගවේශණයන්ට අමතරව එම ප්‍රදේශ යටත් කර ගැනීමේ අභිප්‍රායෙන් ක්‍රියාත්මක වූ බව අවබෝධ කර ගත යුතුය. මෙම අවධිය අවසන් වන්නේ හත් අවුරුදු යුද්ධය හා (1756-63) හා ඇමරිකන් විප්ලවයෙන් පසුවය. මෙකල වෙළදාම කේන්ද්‍රකොටගත් අධිරාජ්‍යවාදී යටත්විජිතවාදයක්, නාවික බලය ආධාරයෙන් ක්‍රියාත්මක විය.

  කිසිවකු නොදන්නා කුණාටු සහිත ප්‍රචණ්ඩ මුහුද එම යුගයේදී දුර්වල නැව් මඟින් තරණය කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ ස්පාඤ්ඤයන්ට හා පෘතුගීසීන්ට ය. ඔවුහු තුවක්කු හා කඩු හරඹයේ රණ ශූරයෝ වූ අතරම උග්‍ර ආගමික උන්මාදයෙන් දැවෙමින් තිබූ ආකල්ප හේතුවෙන් ඔවුන් තම යටත් ප්‍රදේශවල හිංසා, කෲරකම් සහ විපත්ති සිදු කිරීමට පෙලඹිණ. ඔවුන් ඒවා සිදුකලේ සාමයේ කුමරාගේ නාමයෙනි. මිථ්‍යා දෘෂ්ටිකයන් නැති කිරීම සහ මිථ්‍යා දෘෂ්ටිකයන්ට වද දීම යටත්විජිතකරණයත් සමඟ එකට සිදු විය. දේශ ගවේෂණය හෝ සංචාරය යන කුමන අංශයක දී වුවද එම පරමාර්ථය බොහෝ විට මුදුන් පත් කර ගනු ලැබුවේ ඝාතන, පැහැර ගැනීම්, ගිනි තැබීම් මාර්ගයෙනි. බටහිර ජාතීන් ඇමරිකාවට පැමිණියේ දේශ ගවේශනය හේතුවෙන් වන බව ද පසුව එම ව්‍යාපාරය පිළිවෙළින් ස්පාඤ්ඤ, ලන්දේසි, ප්‍රංශ හා ඉංග්‍රීසීන් යන ජාතීන්ට අයත් වූ බව පිළි ගැනීමයි. සැබෑ ලෙස ම දේශ ගවේෂකයන් ලෙස හැඳින්වුව ද මෙම සියලු ම ජාතීන්ගේ අරමුණ වූවේ ඇමරිකාවේ වස්තුව කොල්ලකා තම රටවලට ගෙන යාමයි.

ආසියාවේ යටත්විජිත ව්‍යාප්තියට බලපාන ලද මූලිකතම සාදකය වූවේ ඉන්දියාවේ සිට ‍ගෙන්වනු ලැබූ ගම්මිරිස්, අමු ඉඟුරු, මුතු-මැණික්, අබිං හා අලි ඇතුන් නොලැබී යාමත්, ඉන්දියාවේ සිට හා ඉන්දුනීසියානු දූපත්වල සිට ගෙන්වනු ලැබූ කුළු බඩු වෙළදාමෙන් වැනීසියට  හා ආරාබීන්ට විශාල ලාබයක් ලැබීමත්, අනෙකුත් යුරෝපීය ජාතීන් ප්‍රකෝප කරවන්නක් විය. පෙර සඳහන් කළ ආකාරයට ම 10 වන සියවසේ සිට ඇති වූ කුරුස යුද්ධවලට සැබෑ ලෙස ම ආගමික මුහුණුවරකට අමතරව ආර්ථික මුහුණුවරක් ද තිබූ බව පොදු පිළිගැනීමයි. කුරුස යුද්ධවලින් ලත් පරාජය මකා ගැනීම, යුරෝපීයයන් පෙර දිගට බලා දියත් කළ නාවික ගමන්වල අරමුණ විය.

වෙළදාම සඳහා ඇති වූ තරගයේ දී ලෙවන්ට්, කැලිකට් හා මලක්කාව වැනි ප්‍රදේශවලට පෘතුගීසීන්ගේ ප්‍රබල අවධානය යොමු වන  ලදි. ඒ අනුව පෘතුගීසීන්, පෙරදිග මුස්ලිම් ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා 15 වන සියවස අවසාන වන විට අප්‍රිකානු වෙරළේ නව ප්‍රදේශ ගවේෂණය කරමින් ඉන්දියානු උප මහද්වීපය කරා ප්‍රවේශ වන ලදි. පාප් රාජ්‍යයේ දිරි ගැන්වීම මත ස්පාඤ්ඤය අත්ලාන්තික් හා පැසිෆික් සාගරවල ඉන්දීය දූපත් සොයද්දී පෘතුගීසීන් අප්‍රිකානු වෙරළ ඔස්සේ ඉන්දීය ප්‍රදේශ සෙවීම ආරම්භ කරන ලදි. 

රත්තරන් හා කීර්තිය සඳහාත්, දෙවියන් වහන්සේගේ අනුගාමිකයන් ලෙසත් පෘතුගීසීන් ගෙන ගිය සටන කුරුස යුද්ධය ඉදිරියට ගෙන යාමක් ලෙස ද සලකනු ලැබේ. පෘතුගීසි දේශගවේශණ ව්‍යාපාරයට නාවික හෙන්රිගෙන් ලැබුණු දායකත්වය ඉතා ප්‍රබල වේ. අප්‍රිකානු වෙරළ ඔස්සේ සිදු කෙරුණු ගවේෂණ වලට එක් පුද්ගලයෙකු විසින් කරන ලද විශාල ම දායකත්වය කරන ලද්දේ ඔහු විසිනි. ඔහු පෘතුගාලයේ සාග්‍රේස් තුඩුවේ නාවික පර්යේෂණ ආයතනයක් පිහිටුවන ලදි. එමගින් ගණිතය හා තාරකා ශාස්ත්‍රය ගැන දැනුමක් ලබා දෙමින් මුහුදු ගමන් සඳහා නාවිකයන් පුරුදු පුහුණු කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස 1433 වන විට අප්‍රිකානු වෙරළේ බොර්දෝර් තුඩුව දක්වා ගවේෂනය කෙරිණ. නාවික හෙන්රිගෙන් පසුව ද දිගටම ගවේෂණ කටයුතු සිදුවිය.

මේ කාලයේ දී පෙරදිග ප්‍රෙස්ටර් ජෝන් නැමැත්තෙකුට අයත් ක්‍රිස්තියානි රාජ්‍යයක් තිබේ යයි විශ්වාසයක් යුරෝපීයයන් සතුව පැවති අතර එය සොයා ගැනීමේ අරමුණ ද පෘතුගීසීන් සතු විය. 1488 දී  බර්තොලමියුදියස්ගේ නායකත්වය යටතේ අප්‍රිකාවේ දකුණු කෙළවරට ලඟාවීමට පෘතුගීසීන්ට හැකි විය. ඔහු එය කුණාටු තුඩුව ලෙස නම් කළ නමුත් II ‍ජෝන් රජු විසින් එය සුබ පැතුම් තුඩුව (Cape of Good) ලෙස නම් කරන ලදි. කේප් තුඩුව පසුකල වස්කෝදගාමා මොසැම්බික් වරායට පැමිණ එහි සුල්තාන්වරයාගේ මැදිහත් වීම මත ගුජරාට් නැවියෙකුගේ ආධාර ඇති ව 1497 දී ඉන්දියාවේ මලබාර් වෙරළේ පිහිටි කැලිකට් පැමිණෙන ලදි.

පෘතුගීසීන් 15 වන සියවසේ කරන ලද දේශගවේෂණ ව්‍යාපාරය ෆ්‍රැන්සිසකූ ද අල්මේදා හා අපෝනසෝ ද අල්බ්‍යුකර්ගේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස අප්‍රිකානු වෙරළ තීරයේ සිට දකුණු ආසියාව හරහා මලක්කාව පසු කර නැගෙනහිර ඉන්දියානු දූපත් වන බණ්ඩා දූපත් දක්වා පැතිර යන ලදි. 16 වන සියවස වන විට ගෝව කේන්ද්‍ර කර ගනිමින් නාවික ආධිපත්‍යයේ මාර්ගයෙන් තම යටත් විජිත පාලනය කිරීමට පෘතුගීසීන්ට හැකිවිය. නමුත් එම සියවස අවසාන වන විට පෘතුගීසි සිහසුන ස්පාඤ්ඤයේ II වන පිලිප් රජුගේ යටතට පත් වීමත් හා යටත් විජිත පරිපාලනය අතිශයින් ම දූෂණය වීම මත පෙරදිග පෘතුගීසි කටයුතු අඩපණ විය.

පෘතුගීසීන් හා ස්පාඤ්ඤයන් මෙන් ඕලන්ද ජාතිකයෝද බොහෝ දුරට යටත්විජිත බලය නාවික ආධිපත්‍යය මත පදනම් කොට ගත්තේය. මේ වකවානුවේ දී නැගෙනහිර රටවල නිෂ්පාදන ලිස්බන් නුවර සිට උතුරු යුරෝපය දක්වා ප්‍රවාහනය කලේ ලන්දේසීන් ය. පෙරදිග රටවල් ආශ්‍රිතව සිදු වූ ආක්‍රමණකාරී ක්‍රියා සහ වෙළඳාම සඳහා තම විශාල නැව් සියල්ල ම පාහේ යොදවා තිබීම හේතුවෙන් යුරෝපීය රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් නැව් ප්‍රමාණයක් පෘතුගීසීන් සතුව නොවූ අතර ස්පාඤ්ඤ ජාතිකයන්ට ද එය පොදු විය. මේ හේතුවෙන් ම ලෝක ව්‍යාප්ත බඩු ගෙන යාමේ වෙළඳ පදනමකට පිවිසීමට ලන්දේසීන්ට හැකි විය.  ස්පාඤ්ඤයේ අති වූ අභ්‍යන්තර ආරවුල් අවස්ථාවක් කර ගත් ඕලන්දවාසීන්, ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගැනීම සඳහා කැරලි ගැසූ අතර එයට ප්‍රතිචාර දක්වනු වස් දෙවන පිලිප් රජු ලන්දේසීන්ට, ස්පාඤ්ඤය හා පෘතුගාලයේ ලිස්බන් වැනි වරායන් වලට ඇතුළු වීමට ඉඩ නොදෙන ලදි.

ලන්දේසීන් එම වෙළඳාමෙන් ඉවත් කළ පසු නැගෙනහිර රටවල නිෂ්පාදන ඔවුන් ම ආනයනය කිරීමේ අදහස ලන්දේසීන් තුළ වර්ධනය විය. ඔවුන් ප්‍රථමයෙන් උතුරු යුරෝපය හා ආසියාව හරහා මාර්ගයක් සොයා ගැනීමට උත්සාහ කළහ. එය අසාර්ථක වීම හේතුවෙන් ඒ වන විටත් පෘතුගීසීන් අල්ලා ගෙන තිබූ සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා වු මාර්ගයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ අවශ්‍යතාව ඕලන්දයන්ට වැටහෙන්නට විය. ඒ සඳහා ඔවුන්ට කලක් පෘතුගීසීන් යටතේ සේවය කළ යොන් හව්හන් ලින් ෂෝටන්  නම් ඕලන්ද යාත්‍රා කරුවාගේ වාර්තා ඉමහත් ප්‍රයෝජනවත් විය. 

එම තොරතුරු ප්‍රයෝජනයට ගනිමින් ලන්දේසි ජාතික කොර්නේලිස් හොට්මන්ගේ නායකත්වය යටතේ 1595 අප්‍රේල් මාසයේදී ඇම්ස්ටර්ඩෑම් වලින් නැව් 4ක් අග්නිදිග ආසියාව බලා ගමන් ඇරඹීය. එම යාත්‍රා 1596 ජූනි මාසයේ දී ජාවාහි වයඹ දිග වෙරළේ පිහිටි ගම්මිරිස් හා සාමාන්‍ය බඩු හුවමාරු කර ගන්නා වරාය වූ බැන්තම් වෙත ලඟා විය. පෘතුගීසීන් සහ ‍අග්නිදිග ආසියානු පාලකයන් අතර තිබූ සබඳතා එකල බෙහෙවින් නොසන්සුන්ව තිබීම හේතුවෙන් දේශීය පාලකයන් ලන්දේසීන් ඉතා සාදරයෙන් පිළිගන්නා ලදි.  පසුව එම නැව් කණ්ඩායම බැන්තම් වරායෙන් පිටත්ව ජකර්තාවටත්, මදුර හා බාලි දිවයින් වලටත් පැමිණ කුළු බඩු ලබාගෙන නැවත යුරෝපයට යාත්‍රා කරන ලදි. මෙම ගමන සම්පූර්ණ සාර්ථක එකක් නොවූව ද වටිනා බඩු තොගයක් රැගෙන ඒමට හැකි වීමත් හා බැන්තම් හි සුල්තාන්වරයා සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට හැකි වීමත් අනාගත ආයෝජනයක් බඳු විය. 

ඉන් පසු 1598දී නැව් 22ක කණ්ඩායමක් කුළු බඩු දූපත් වලට ලඟා වීමේ අරමුණින් නෙදර්ලන්තයෙන් පිටත් විය. ජකොබ් වෑන් නෙක් අද්මිරාල් ලෙස යෙදුණු ගමන ඉතාමත් ම සාර්ථක වූ අතර ඔවුන් මුරුසි දිවයින් වලට හා බැන්තම් වරාය වෙත ලඟා වෙන ලදි. පෘතුගීසිගෙන් බාධා එල්ල වුවත් දේශීය පාලකයන්ගේ අනුග්‍රහය මත බැන්තම් ප්‍රදේශයේ වාණිජ කටයුතුවල නිරත වීමට ලන්දේසීන්ට හැකි වූ අතර ගම්මිරිස් ලබා ගෙන නැවත නෙදර්ලන්තය‍ වෙත පැමිණි ෆන් නෙක්ගේ කණ්ඩායමට 100%ක ලාභයක් ලබා ගැනීමට හැකි විය.  

මෙම වෙළඳ ග‍මන් සමඟ කුළු බඩු දූපත් වෙත ගමන් කිරීමේ අපේක්ෂාව ලන්දේසීන් තුළ වර්ධනය විය. ඒ අනුව ඕලන්ද වාණිජ සමාගම් අග්නිදිග ආසියාවේ කුළු බඩු දූපත් වූ සුමාත්‍රා, ජාවා හා මොලුක්කා දිවයින් කරා යාත්‍රා කිරීම සඳහා යාත්‍රා කරන ලදි. 1595 සිට 1601 දක්වා අතර ගමන් වාර 15දී නැව් 65ක් කුළු බඩු දූපත් කරා යාත්‍රා කරවීය. 

යුරෝපයේ මුල්කාලීන ප්‍රබලතම අධිරාජ්‍යවාදීන් වූ ස්පාඤ්ඤ, පෘතුගාලය හා පසු කාලීන අධිරාජ්‍ය බලවතුන් වූ ‍නෙදර්ලන්තය, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය වැනි රාජ්‍යයන් නාවික ආධිපත්‍යය මාර්ගයේ තම බල පරාක්‍රමය ව්‍යාප්ත කරන ලදි. ස්පාඤ්ඤ අධිරාජ්‍ය බිඳවැටීමට මූලික ලෙසම බලපෑ කාරණය වූවේ ඔවුන්ගේ නාවික ආධිපත්‍ය ඉංග්‍රීසි බලය හමුවේ තීරණාත්මක ලෙස යුරෝපයේ දී පරාජයට පත් වීමයි.

14වන ලුවී රජුගේ කාලයේදී(1614-1715) ඇමරිකාවේ හා ආසියාවේ ප්‍රංශ ජනපද ව්‍යාප්තිය සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලදි. රජුගේ මුදල් ඇමති වූ කෝල්බෙයර්ගේ මෙහෙය වීම යටතේ ඇමරිකාවෙන් ඉංග්‍රීසීන් පන්නා දමා ප්‍රංශ බලය ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලදි. අධිරාජ්‍යයේ මූලස්ථානය වූ ප්‍රංශය ප්‍රාග්ධනය හා නිෂ්පාදන සපයන රට ලෙසත් සෙසු යටත් විජිත අධිරාජ්‍යයේ අවශ්‍යතා සපුරන ප්‍රදේශ ලෙසත් සලකන ලදි.

බ්‍රිතාන්‍යයට යුරෝපයේ ප්‍රධාන බලවතා ලෙස නැගී ඒමට හැකි වූවේ පළමුවන එලිසබත් රැජිනගේ කාලයේදී, 2වන පිලිප් රජුගේ ස්පාඤ්ඤය ආර්මඩා නාවික හමුදාව පරාජය කිරීමෙන් පසුවය. යටත්විජිත හා අනෙකුත් රටවල් සමග වෙළඳ සම්බන්ධතා වර්ධනය කරනු සඳහා බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමේ කටයුත්ත හමු‍වේ 1600දී පිහිටුවනු ලැබූ නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම 17වන සියවසෙන් පසු එංගලන්තයේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ලබා දෙන ලදි.

1776ට පෙර සිදු වූ නාවික ආධිපත්‍යය කෙතරම් වැදගත් වීදයත් ලෝක වාණිජ වෙළදාමෙන් 75% කට වඩා සිදු වූවේ නාවික බලය කේන්ද්‍ර කොටගෙනය. ඒ අනුව වාණිජ හා වරාය නගර වන චීනයේ ෂැංහයි හා හොං කොං, පිලිපීනයේ මැනිලා, සිංගප්පූරුව, ඉන්දියාවේ මදුරාසිය හා මුම්බාය, ශ්‍රී ලංකාවේ කොළඹ, ත්‍රිකුණාමලය හා ගාල්ල, බංග්ලාදේශයේ ඩකා, පකිස්තානයේ කරච්චි, යේමනයේ ඒඩ්න්, ඕමානයේ මස්කට්, සොකොත්‍රා, ඊජිප්තුවේ කයිරෝ හා ඇලෙක්සැන්ඩ්‍රියා, දකුණු අප්‍රිකාවේ ‍පෝර්ට් එලිසබත් හා කේප් ටවුන්, ස්පාඤ්ඤයේ කාර්ඩීස්, පෘතුගාලයේ ලිස්බන්, ප්‍රංශයේ පැරිස්, එංගලන්තයේ ලන්ඩන්, තුර්කියේ ඉස්තාම්බුල්, ඉතාලියේ රෝමය, ඇමරිකාවේ බොස්ටන්, නිව්යොර්ක්, ‍වොශින්ටන්, සැන් ෆ්‍රැන්සිස්කෝ හා ලොස් ඇන්ජලීස්, කියුබාවේ හවානා, ‍ජපානයේ ටොකියෝ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි  යන නගර මඟින් ලෝක වෙළදාම ඒකාබද්ධ කරනු ලැබීය.

යුරෝපා ජාතීන් මෙම යුගයේ දී, යුරෝපයෙන් පිටතට ව්‍යාප්ත වීමට ප්‍රධාන ලෙස ම බලපෑවේ යුරෝපා ජාතික රාජ්‍යයන්හි (National States) බිහි වීමත්, වාණිජවාදී ආර්ථික දර්ශනය ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමත් හා ආගම ව්‍යාප්ත කිරීමේ අභිප්‍රායිනුත් වූ බව උපකල්පනය කළ හැක. 1776ට පෙර යටත්විජිතවාදයේදී නාවික ආධිපත්‍යය ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කල අවස්ථාවක් බව කිව හැක. ඇමරිකන් විප්ලවයට පෙර නාවික ආධිපත්‍යයේ බලපෑම මත යුරෝපා ජාතීන්, තම වෙරළතීරයට බොහෝ දුර බැහැර ප්‍රදේශවල අධිරාජ්‍ය පිහිටුවන ලදි. මෙලෙස කටයුතු කිරීමට ඔවුන්ට හැකි වූවේ, නාවික බලය හා යුධ ශක්තිය අතින් ඔවුන් හොඳින් සංවිධානය වී සිටීමත්, තමා යටත් කර ගත් ප්‍රදේශවල ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමත් ය. 

මෙලෙස යුරෝපා ජාතීන් නාවික ආධිපත්‍ය ආධාරයෙන් යටත්විජිත ව්‍යාප්තිය සිදු කිරීමේ මූලික අරමුණු කීපයක් සඳහන් කළ හැක. පළමු වැන්න නම් ආසියාවට තිබූ ගොඩබිම් වෙළඳ මාර්ග සියල්ලක්ම මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් යුරෝපීයන්ට ඇහිරී තිබීමත් හා ඇමරිකානු මහද්වීපයට ගොඩබිම් මාර්ග නොතිබීමත්ය. දෙවැන්න නම් වෙළඳපල අමුද්‍රව්‍ය, රත්තරන් වැනි දෑ ලබා ගැනීමට තිබූ ආර්ථික අවශ්‍යතාවන්ය. තුන්වැන්න නම් ආරක්‍ෂාව සඳහා යුද්ධෝපාචිත ස්ථාන, භෞතික ද්‍රව්‍ය හා මිනිස් බලය ලබා ගැනීමට තිබූ අවශ්‍යතාවයි. හතරවනුව ඉතා ඉහළ කීර්තියක් දිනා ගැනීමට යුරෝපා ජාතීන් තුළ වූ අපේක්‍ෂාවයි. පස්වනුව මනුෂ්‍යයන් ශිෂ්ඨ සම්පන්න කිරීම ලෙස හඳුන්වන ලද මිෂනාරී කටයුත්තයි.

1776ට පෙර යටත්විජිතවාදය මඟින් යටත් කර ගන්නා ප්‍රදේශවලින් පඬුරු, භාණ්ඩ හා ධනය සූරාකෑමට අමතරව යටත්විජිතවල ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරමින් වඩාත් සංකීර්ණ සම්බන්ධතාවක් නාවික ආධිපත්‍යය මාර්ගයෙන් ගොඩනගා ගනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස යටත්විජිත ස්වාමිවරුන් හා යටපත් කරන ලද ප්‍රදේශ අතර මානව හා ස්වාභාවික සම්පත් ගලා යාමක් සිදු විය. නමුත් 1776 ඇමරිකන් විප්ලවයෙන් පසු නාවික ආධිපත්‍ය මෙන් ම යටත්විජිතවල අභ්‍යන්තර දේශපාලන පසුබිමටද වැදගත් කමක් හිමිවිය. මන්ද යත් යුරෝපා සම්භවයක් සහිත පිරිස් විසින් ම යුරෝපා බලය අභියෝගයට ලක් කිරීම හා යුරෝපයේ සිදු වූ කාර්මික විප්ලවයයි.


Tuesday, 15 December 2020

16වන සියවසේ යු‍රෝපයේ ඇති වූ ආර්ථික පරිවර්ථනයේදී වාණිජ නගරවල වැදගත්කම.

 

16වන සියවසේ ආරම්භයේ දී පමණ යුරෝපයේ පැවති දේශපාලන හා ආර්ථික සංස්ථා සියල්ලම පාහේ පරිහානියට පත්වෙමින් නූතන සංස්ථා රැසක් ආරම්භ වීම දක්නට හැකි විය. එහි දී පැවති සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමය වූ ප්‍රවේණි ක්‍රමය වෙනුවට වෙළඳාම පුළුල් ලෙස පැතිරුණු ධනවාදී ආර්ථික ක්‍රමයකට පදනම වැටුණු අතර රදල පාලනය වෙනුවට නව ආකාරයක පාලන ක්‍රමයක් ද ඇතිවෙන ලදි. නමුත් කාලයක් මුළුල්ලේ පැවති පාරම්පරික සම්ප්‍රදායන් හා පුරුදු මුළුමනින්ම ක්ෂය වී නොයන ලදි. මෙයට ප්‍රධානතම හේතුව වූයේ 10වන සියවසේ දී පමණ ඇති වූ කුරුස යුද්ධයයි. කුරුස යුද්ධය නිසා යුරෝපයේ රටවල් එකිනෙකට ගැටුණු අතර එමගින් එම රටවල් අතර පුළුල් ලෙස වෙළහෙලඳාම ආරම්භ වූ  අතර “ෆ්ලෝරීන්” හා වැනීසියේ “ඩුකාට්” (Ducat) කාසි බටහිර රටවල් වලට ගලා එන්නට විය. භාණ්ඩ හුවමාරුව හා වෙළඳාම තුලින් යුරෝපයේ “මූල ධනය” (Capital) එක්රැස් වන්නට විය.  මූල ධනය එක් අතකින් ඉතිරි කිරීමක් ද වූ අතර අනෙක් අතට විදේශ විනිමය (Foreign Exchange) ලබා දෙන්නක්ද විය.

තවද යුරෝපයේ 16වන සියවසේ වෙළඳ කටයුතුවල ශීඝ්‍ර දියුණුවට හේතු වූ සාධකයන් කීපයක් විය. මධ්‍යතන අවධියෙන් පසුව ගොඩනැගුණු නව රාජාණ්ඩු ක්‍රමයන් යටතේ යුරෝපා රාජ්‍යන්හි ජාතික ප්‍රතිපත්ති හා ජාතික බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම එක් සාධකයකි. තවලම් වලින් ගිය වෙළඳුන්ට සොර සතුරන්ගෙන් සිදුවන අලාභානි වැලැක්වීම සහ මාර්ග ප්‍රතිසංස්කරණ සඳහා නීති රීති පැනවීම මඟින් වෙළඳ කටයුතු වලට රුකුලක් ලැබීම අනෙක් සාධකයයි. එමගින් යුරෝපා ආර්ථිකය ක්‍රමයෙන් පරිවර්තනය වන්නට විය.  

රදල පන්තිය හා නිලකාර පන්තිය වෙනුවට සමාජයේ නව පන්තීන් තුනක් නිර්මාණය විය. මෙම පන්තියට අමතරව කම්කරුවන්, සුළු වෙළඳුන්, ශිල්පාචාරයන්, නාවික ශිල්පීන් හා අතවැසි ශිල්පීන්ගෙන් සෑදුණු සංකීර්ණ පන්තියක් ද නිර්මාණය විය. මෙම සමාජ කොට්ඨාශයට ම නිර්ධන පන්තියත්, මඳක් ධනවත් පිරිසත් අයත් වූහ. මෙහි දී විශාල කම්කරු පන්තියක් බිහි වූයේ නිර්යාත වෙළඳාම උදෙසා කර්මාන්ත දියුණු වූ ස්ථානවලය. වෙළඳාම දියුණු වීමත් වීම සමඟ නව ආකාරයක ධනයක් රාජ්‍යයන් තුලට ලැබීමෙන් අයබදු අය කිරීම සඳහා නව ක්‍රමවේදයක් අවශ්‍ය විය. රදල පන්තිය හා පූජක පක්ෂයට පමණක් සීමාව පැවතුණු උසස් බව හෝ වංශාධිපති තත්වය කර්මාන්ත, වෙළඳාම හා බැංකු, වාණිජ ක්‍රම මඟින් ලබා ගත හැකි බව මධ්‍යම පන්තියට වැටහෙන ලදි. නිලකාරකම වෙනුවට ශ්‍රමය සඳහා ලැබෙන වේතනයක් වෙනුවෙන් කම්කරුවන් එකඟ වීමත් සමඟ වේතන ක්‍රම මත පදනම් වූ සමාජ ක්‍රමයක් කරා පරිවර්තනය වීම 16වන සියවසේ දී යුරෝපයේ සිදු වූ ප්‍රධාන ආර්ථික වෙනස්කමක් වශයෙන් සැලකිය හැකිය. 

16වන සියවස ආරම්භ වන විට වැඩවසම් ක්‍රමය බිඳ වැටී වෙළඳ වරායන් මත පදනම් වෙමින් විවිධ ජාතීන් අතර සිදු වූ වෙළඳාම දියුණු වීමෙන් වාණිජවාදය  (Mercantilism) ආරම්භ වීමට පටන් ගන්නා ලදි. කලින් රටක් තුළ පැවති  වෙළඳපොළවල් වෙනුවට අවුරුද්ද පුරා භාණ්ඩ මිලට ගැනීම හා විකිණීම සඳහා වරායන් විවෘත කර තැබීම නිසා වාණිජවාදය ක්‍රමයෙන් දියුණු විය. ඒ සමඟ පාරිභෝගික (Consumer) ලෝකයද ක්‍රමයෙන් පුළුල් විය. ආහාරපාන, ඉන්ධන සහ මුද්‍රික පානයන්හි නිෂ්පාදනය, ග්‍රාමීය ප්‍රදේශයන්හි ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. ග්‍රාමීය ප්‍රදේශ වලට අවශ්‍ය වූ මාළු හෝ ලුණු මෙන් ම ගොඩනැගිලි තැනීමට අවශ්‍ය වූ දැව, තොග වශයෙන් ඈත රටවල සිට ගෙන ඒමට සිදුවීමෙන් වාණිජ ලෝකය තවදුරටත් පුළුල් විය.  

වැඩවසම් ආර්ථිකය පරිහානියට පත් වීමත් සමඟ රජුගේ බලයට ප්‍රබල බාධකයක්ව පැවති ක්‍රිස්තු පල්ලියේ ආධිපත්‍ය නව පාලන ක්‍රමය යටතේ බිඳවැටිණ. 16වන සියවසේදී පමණ යුරෝපයේ සිදු වූ ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයද සෘජුව හා වක්‍රව එකල ආර්ථික පරිවර්තනයට බලපෑමක් එල්ල කරන ලදි. එමඟින් යුරෝපයේ රාජාණ්ඩු වලට ආගමික බලපෑමෙන් මිදී ස්වාධීන ආර්ථිකයක් සහිත ජාතික රාජ්‍යන් බිහිකර ගැනීමට හැකි විය. ඒ අනුව ජාතික රාජ්‍ය වල ස්වාධිපත්‍ය බලය තහවුරු විය. ඒ හේතුවෙන්ම ජාතික රාජ්‍ය වල පරිපාලන හා වෙළඳ කටයුතු පහසුවෙන්ම කර ගෙන යාම සඳහා සමස්ත රාජ්‍යටම පොදු වූ ඒකීය නීති පද්ධතියක් හා ඒකීය බදු ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට හැකි විය. 

වඩා ශක්තිමත් රාජ්‍යන් මතුවීමත් සමඟ 1500 පමණ වන විට වෙළඳාම හා නිෂ්පාදනයේ වර්ධනය මත පදනම් වෙමින් යුරෝපා සිතියම වෙනස් වන්නට විය. 16වන සියවස ආරම්භ වන විට යුරෝපා ජනගහණයද ක්‍රමයෙන් වර්ධනය වූයෙන් ඒ මත පදනම් වූ ආර්ථික ක්‍රමය ද ප්‍රබල ලෙස වර්ධනය විය. එපරිද්දෙන් වර්ධනය වූ ආර්ථික ක්‍රමයට රුකුලක් සපයනු වස් ඉතාලිය කේන්ද්‍රකොට ගනිමින් මුදල් මාරු කිරීමේ ක්‍රමයක් ලෙස බැංකු ක්‍රමය වර්ධනය වන ලදි. මෙසේ යුරෝපයේ දේශපාලන වශයෙන් සිදු වූ වෙනස්කම් ආර්ථික වෙනස්කම් මත පදනම් වීමට පටන් ගත් බව කිව හැකිය. 

16වන සියවස පමණ වන විට යුරෝපය වාණිජවාදය නමින් හැඳින්වෙන නව ආර්ථික දර්ශනයක් ඔස්සේ සකස්වන ආකාරයක් දැකිය හැකිය. ඝන රන්වාදය, හිතකර වෙළඳ ශේෂය, රජයේ ආර්ථික කටයුතු වලට මැදිහත් වීම හා පාලනය කිරීම සහ ස්වයංපෝෂිත වීම යනාදිය වාණිජවාදයේ මූලික ලක්ෂණ විය. 

මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානයට ලක් වන්නේ ඝන රන්වාදයයි. ඝන රන්වාදය යනු කිසියම් රටක් තුල එක් රැස් වී ඇති වස්තුවේ වටිනාකම ඝන රන් රිදී සංචිත මිනුම් දණ්ඩ ලෙස ගෙන එහි වත්කම තක්සේරු කිරීමයි. මේ අනුව වර්ධනය වූ සෑම ජාතික රාජ්‍යක්ම  උත්සාහ කරනු ලැබුවේ හැකිතරම් මුදල් සහ ඝන රන් රිදී සංචිත තම රට තුල වර්ධනය කර ගැනීමටයි. ඒ සඳහා අවශ්‍ය වස්තුව තම රට තුලින් ම හෝ යටත් විජිත වලින් හෝ විදේශ වෙළඳාම තුලින් හෝ එක් රැස් කර ගත යුතු විය. තවද ස්වයංපෝෂිත බව ඇති කර ගැනීම සහ හිතකර වෙළඳ ශේෂයක් තබා ගැනීම සඳහා අවශ්‍ය වෙළඳ භාණ්ඩ සහ අමු ද්‍රව්‍ය ලබා ගැනීමටත් නිෂ්පාදිත භාණ්ඩ අලෙවි කිරීමටත් යුරෝපයෙන් පිටත වෙළඳපොළක් තිබිය යුතු විය. ඒ අනුව යටත් විජිත අධිරාජ්‍ය සහ වාණිජ නාවික කණ්ඩායම් ගොඩනගාගෙන ආර්ථික කටයුතු වලට මැදිහත් වීම නව ජාතික රාජ්‍යන්හි ආර්ථිකයට අත්‍යාවශ්‍ය සාධකයක් විය. මේ හේතුවෙන් ම බෙදී විසිරී පැවති රාජ්‍යයන් මධ්‍යගත පාලනයක් යටතේ ශක්තිමත්ව ගොඩනැගෙන්නට විය. මේ කාලය වන විට යුරෝපීය නව රාජාණ්ඩුවල රජවරුට ද වෙළඳාම තුළින් විශාල ලාභ උපයාගත හැකි බව පෙනී යන ලදි. ඒ හේතුවෙන් ඔවුන් වෙළඳ කටයුතු සඳහා අනුග්‍රහය දක්වන ලදි. රජවරු වැඩවසම් යුගයේ මෙන් වංශාධිපතීන් සමඟ නොව අළුතින් ගොඩනැගෙමින් ආ වෙළඳ පන්තිය  සමඟ සබඳතා ගොඩනගා ගත් අතර එය වෙළදාමේ හා වාණිජවාදයේ වර්ධනයට ද හේතුවිය. 

16වන සියවස පමණ වන විට සිදුවුණු ආර්ථික පරිවර්තනයේදී වෙළඳාම සහ නගර දියුණු වීම අනෝන්‍ය වශයෙන් බලපෑම් සහිතව වර්ධනය වූ ක්ෂේත්‍ර දෙකකි. ආරම්භයේදී වෙළඳාම මත පදනම් වූ වාණිජවාදය ව්‍යාප්ත වූයේ ඒ ඒ රාජ්‍යන්හි අභ්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන කේන්ද්‍ර කොට ගනිමිනි. ආරම්භයේදී ප්‍රවේණි ක්‍රමය පිරිහීමත් සමඟ හා වර්දනය වූ වාණිජවාදයත් සමඟ නිදහස ලබා ගත් ඇතැම් ප්‍රවේණි දාසයන් කුඩා කුඩා වෙළඳ නගර පිහිටුවා ගන්නා ලදි. ඒ සමඟම සිදු වූ ජන සංක්‍රමණ හේතුවෙන් එම කුඩා නගර විශාල නගර බවට පත් වූ අතර ස්වයංපෝෂිත ප්‍රවේණි ක්‍රමය පරිහානියට පත්වීමෙන් ඇති වූ ජනතා අවශ්‍යතා සපුරාලීමේ කාර්යයද එම නගර මඟින් සිදුකරන ලදි. ගොවීන්ගේ සහ ඉඩම් හිමියන්ගේ අතිරික්ත නිෂ්පාදන අලෙවි කිරීමද ඔවුන්ට අවශ්‍ය දෑ පිටතින් ලබා දීමද ප්‍රවේණිවලින් නිදහස පතා පැන යන ප්‍රවේණි දාසයන්ට රැකවරණය ලබා දීමද එම නව නගර වලින් සිදු විය. මේ හේතුවෙන් එම නගර වාණිජ නගර ලෙස ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. 

දුර බැහැර ප්‍රදේශ සමඟ හා විදේශයන් සමඟ වෙළඳ කටයුතුවල යෙදුණු වෙළඳුන්ට ආරක්ෂාව හා ගමනාගමන පහසුකම්, නවාතැන් පහසුකම් ආදිය අවශ්‍ය වූයෙන් ඔවුහු එම වාණිජ නගර වල පදිංචිවන්නට විය. වෙළඳාම පුළුල් වී මුදල් පරිහරණය වැඩි වීම සමඟ ඉහත සඳහන් කළ ආකාරයට බැංකු වැනි පහසුකම් සම්පාදනය කිරීමට විධිවිධාන යෙදීමද නගර වර්ධනයට හේතු විය. 16වන සියවස පමණ වන විට යුරෝප‍ය පුරා හතු පිපෙන්නාක් මෙන් නගර රාශියක් මතු වී ගිය බව ඊ. මැක්නල් වර්න්ස් නැමැති ඉතිහාසඥයා දක්වයි. රෝම යුගයේදී  දියුණුව පැවති නමුත් පසුව පරිහානියට පත් වූ නගර කීපයක්ද හා රෝම අධිරාජ්‍යයට අයත් නොවූ ජර්මන් ප්‍රදේශ වලට අයත් නගර වන ප්‍රීබර්ග්, ලුබෙක්, මියුනිච් හා බර්ලින් ආදී නව නගරද කලින් පරිහානියට පත්ව තිබූ එංගලන්තයේ ලන්ඩන්, ප්‍රංශයේ පැරිස් හා කොලොග්නේ වැනි නගරද විශේෂිත වූ බව පෙනේ. නමුත් ප්‍රමුඛ ලෙසම 15වන සියවසෙන් පසුව නගර සහ නාගරික ජීවිත පුළුල් ලෙස වර්ධනය වූ ඉතාලියේ වෙනීස්, ජිනෝවා, මිලාන්, බොලොඤ්ඤා, ෆ්ලෝරන්ස් හා නේපල්ස් යන නගරද යුරෝපා ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරන ලදි. 

නාගරික පන්තියක් මතු වීමත් සමඟ එම නගර කිසියම් විශේෂිත ක්ෂේත්‍ර සඳහා අවධානය යොමු කළ බව පෙනී යයි. ඒ අනුව ප්‍රංශයේ පැරිස්, ඉතාලියේ බොලොඤ්ඤා, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් වැනි නගර විශ්ව විද්‍යාල සඳහා ද ඉතාලියේ ජිනෝවා, වෙනීස් හා ප්‍රංශයේ කොලොග්නේ වැනි නගර දුර බැහැර ප්‍රදේශ සමඟ වෙළඳ කටයුතු සඳහා ද මිලාන් සහ කෙන්ටා කාර්මික භාණ්ඩ හා රෙදි පිලි නිෂ්පාදනය සඳහාද ප්‍රසිද්ධියක් ඉසිලීය. මෙසේ විශේෂිත ක්ෂේත්‍රයන් සඳහා ප්‍රධාන පෙළේ නගර බවට පත් වූ මෙම නගර දියුණු වීමත් සමඟ එම නගර වල පැවති විවිධ රැකී රක්ෂා කේන්ද්‍ර කොට ගනිමින් විවිධ වාණිජ ක්ෂේත්‍ර සඳහා ශ්‍රේණි (Gilds) සංවිධානය වීමක්ද දැකිය හැකිය. කම්කරුවන්, ශිල්පීන්, වෙළෙන්දෝ සහ නිෂ්පාදකයෝ තම කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා වෙළඳ ශ්‍රේණි සහ ශිල්ප ශ්‍රේණි වශයෙන් සංවිධානය වීමක් සිදුවිය. මෙම ශ්‍රේණි යනුවෙන් අදහස් වූවේ රජයේ නීතිවලට අනුකූලව යම් කිසි ශිල්පයක් ක්‍රියාත්මක කිරීමේ ඒකාධිකාරයක් ලැබූ කාර්මික මණ්ඩලයකි. මෙ‍ම ශ්‍රේණීන්ගේ ප්‍රභවය ස්වේච්ඡා සංගම් හා රාජ්‍ය නීති රීති යන කරුණු දෙක එකතු වීමෙන් සිදු විය. මෙම ශ්‍රේණි ආර්ථික කටයුතුවල දී ප්‍රමුඛ විය. එමගින් නාගරික ආරක්‍ෂණ ක්‍රමය ද (Urban Protection)  වර්ධනය විය.

මෙසේ වර්ධනය වූ නගර කේන්ද්‍ර කොට ගනිමින්, නගර අතරත්, රටවල් අතරත් වාණිජ සම්බන්ධතා වර්ධනය විය. වෙළඳාම පුළුල් වී ධනය එකතු වීම නිසා වෙළඳ කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා විනිමය ක්‍රම ආරම්භ වන ලදි. ඒ අනුව කාසි අච්චු ගැසීම සිදු වූ අතර මුදල් හුවමාරු කිරීම සඳහා බැංකු ක්‍රම ආරම්භ වන ලදි. එලෙස වර්ධනය වූ වාණිජ  කටයුතු සඳහා විදේශ වලට යාමේ දී මුලදී විශාල කාසි පොදි රැගෙන යාමට සිදු වුවත් විනිමය බිල්පත් ක්‍රමය හඳුන්වා දීමත් හා බැංකු පහසුකම් වර්ධනය වීමත් සමඟ 16වන සියවස පමණ වන විට යුරෝපයේ ඕනෑම ප්‍රදේශයකට විශාල මුදල් ප්‍රමාණයක ගනුදෙනු කටයුතු සඳහා නියැලීමේ හැකියාව වර්ධනය විය. මෙලෙස වර්ධනය වූ මූල්‍ය පහසුකම් සමඟ 16වන සියවසේ දී රට අභ්‍යන්තර වෙළඳාමට මෙන් ම ජාත්‍යන්තර කටයුතු සඳහා ද පහසුකම් යුරෝපයේ වර්ධනය විය. තනිව ව්‍යාපාර කටයුතුවල නියැලීම අවදානම් වීම හේතුවෙන් පසුව බද්ධ ව්‍යාපාර ද බිහි වෙන ලදි. 

මධ්‍යධරණි ප්‍රදේශ වලට මෙන්ම ජර්මන් සහ වයඔ දිග යුරෝපීය රටවල වෙළඳුන්ට, ව්‍යාපාරිකයන්ට හා භාණ්ඩ නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබා දීමේ කටයුතු ජර්මනියේ ෆ්‍යුගර් පවුල මඟින් සපයන ලදි. ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ වර්ධනය වූ මෙඩිසි පවුලද විශාල ලෙස යුරෝපයේ මූල්‍ය කටයුතු වලට දායක විය. ඉතාලියේ මෙඩිසි බැංකුවේ අධිපතීන් වූ එම පවුල යුරෝපයේ වෙළෙන්ඳන්ට, ව්‍යාපාරිකයන්ට හා රජවරුන්ට පොලී ක්‍රමයට ණය ලබා දෙන ලදි. ඉහළ පොලියට බැංකු වලින් ණය ලබා දීම ක්‍රිස්තියානි පල්ලියේ විවේචනයටද ලක් නොවීය. 16වන සියවස පමණ වන විට ෆ්ලෝරන්ස්හි රන් කාසි යුරෝපීය රටවල පොදු වශයෙන් භාවිතා වූ කාසි වර්ග විය. 15වන සියවසේ එංගලන්තයේ රජු පවා ෆ්ලෝරන්ස් වෙලෙන්ඳන්ගෙන් ණය ලබා ගන්නා ලදි. මෙඩිසි පවුල විසින් පාලනය කළ ෆ්ලෝරන්ස් නගරය යුරෝපයේ නව නගර රාජ්‍යයන්  බිහි වීමත් සමඟ මතු වූ අද්විතීය නගරයකි. යුරෝපයේ ආර්ථික පරිවර්තනයත් සමඟ ඇති වූ නව යුරෝපය මුල් කාලීනව වර්ධනය වූයේද ඉතාලියේය. 

වෙළඳාම හා කර්මාන්ත දියුණුවීම මෙන්ම මුදල් ආයතන ආරම්භ වීම නිසා ඉතාලියේ මෙන්ම යුරෝපයේ සමාජ ක්‍රමයද 16වන සියවසේ සිට වෙනස් වන්නට පටන් ගෙන තිබුණි. වැඩවසම් ක්‍රමය යටතේ සමාජය පන්ති තුනකට බෙදා තිබුණි. එයින් 85%ක් පමණ වූ බහුතරය ග්‍රාමීය ජනයා විය. එම ග්‍රාමීය ජනයාට නීතියෙන් තත්වයක් නොතිබීය. නගර බිහි වී මුදල් භාවිතය ආරම්භ වීමත් සමඟ සමාජයේ පොදු වශයෙන් වෙනස්කම් ඇතිවුණි. ගෙදර දොර, යාන වාහන, ඇඳුම් පැළදුම්, කෑම බීම, විනෝද සහ උත්සව ආදී වශයෙන් සමාජීය වෙනස්කම් ඇති වුණි. වැඩවසම් සමාජය දෙදරා ගොස් රදල හෙවත් වංශාධිපතීන් වෙනුවට වෘත්තීන්ගෙන් සැදුම්ලත් හා ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් මධ්‍යම පන්තියක් නිර්මාණය විය’ 

 ජනගහනය වර්ධනය වීමත් සමඟ යුරෝපයේ වෙළඳ හා කාර්මික අංශයේ ශීඝ්‍ර දියුණුවක් සිදු විය. මෙම වෙළඳ හා කාර්මික කටයුතු නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කොට ගත් හෙයින් නාගරික ප්‍රදේශයන් වර්ධනය වන්නට විය. ඒ අනුව වෙළඳාමට උචිත ප්‍රදේශ යුරෝපය පුරා වර්ධනය විය. උතුරු ජර්මනියේ වෙරළ බඩ ප්‍රදේශ සහ එල්බ් නදියට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශ වල වෙළඳ නගර ඉතා සශ්‍රීක විය. එංගලන්තයේ නිපදවන ලොම් රෙදි, අනෙකුත් යුරෝපීය රටවලට යැවීම හේතුවෙන් නිර්යාත වෙළඳාම දියුණු විය. වාණිජ නගර වර්ධනයෙහිලා එම වෙළඳ දියුණුව මහෝපකාරී විය.

වාණිජ නගරයන්හි භූ ගෝලීය පිහිටීම පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ ඉතාමත් සමෘද්ධිමත් වාණිජ නගරයන් ඉතාලියේ හා දකුණු ප්‍රංශයේ සිට ෆ්ලාන්ඩස් ප්‍රදේශ දක්වා විහිදී ගිය වෙළඳ මාර්ගයන් අතර පිහිටා තිබූ බවයි. එම වාණිජ නගර බොහෝ විට ස්වාභාවික වරායන්, ගංගා මෝයයන් හා සමුද්‍රයෙහි යාත්‍රා කිරීමට හැකි ස්ථානයන්වලය. ඒ අතුරින් බ්‍රයි හා චැම්පේන් යන ප්‍රදේශයන්හි  පැවති වාණිජ නගර ප්‍රමුඛ විය. චැම්පේන්හි පැවති වාණිජ මධ්‍යස්ථානයෙහි දී උතුරේ හා දකුණේ වෙළඳුන් හමු වී වෙළඳ භාණ්ඩ හුවමාරු කර ගත්හ. ඉතාලි වෙළඳුන් විසින් චැම්පේන් ප්‍රදේශයන්හි පිහිටි වෙළඳ මධ්‍යස්ථානයන්ගෙන් මිලදී ගෙන මධ්‍යධරණි ප්‍රදේශයන්හි අලෙවි කරන ලද රෙදි ගෙන්වන ලද්දේ ෆ්ලාන්ඩස් ප්‍රදේශ වල සිටය. 

ඉතාලියේ සේද කර්මාන්තය හා රෙදි විවීම වැදගත් ක්ෂේත්‍රයන් වූ අතර වඩාත් ම වැදගත් වූයේ ඉතාලි  නගරයන්හි පිහිටුවා තිබූ වාණිජ මධ්‍යස්ථානයන්ය. එම වාණිජ නගරයන්හි බැංකු හා සමාගම් තම ශාඛා හා නියෝජිතයන් ඇල්ප්ස් කඳුකරයේ උතුරින් පිහිටි නගරයන්හි පිහිටවූහ. එමඟින් මධ්‍යධරණී ප්‍රදේශයන්හි පැවති ආර්ථික ප්‍රබෝධයට නොදෙවෙනි ආර්ථික ප්‍රබෝධයක් උතුරු මුහුද අසබඩ ප්‍රදේශයන්හි ඇති විය. ඒ හේතුවෙන් ලන්ඩන් නගරයත් අනිකුත් යුරෝපා නගර අතරත් වෙළඳාම දියුණු විය. 

මෙම රටවල සමාජීය හා ආර්ථික දියුණුව  යුරෝපයේ ඇති වූ ආර්ථික පරිවර්තනයට බලපාන ලදි. ප්‍රථමයෙන් නින්ද ගම් ක්‍රමය පරිහානියට යමින් පැවති ගම්බද ප්‍රදේශ වල ඉඩම් හිමියන්ගේ තත්වය පිරිහෙන්නට විය. එමඟින් නාගරික ජනතාව වැඩවසම් බැමි වලින් මිදීමටත්, නගර දියුණු වීමටත්, ගැමි ජනතාවට සම්පූර්ණ පෞද්ගලික නිදහස දිනා ගැනීමටත් හැකි විය. වාණිජ හා කාර්මික දියුණුව හේතු කොට ගෙන ධනවත් පන්තියක් සමාජයේ ඉස්මතු වූ අතර ඔවුන් නගරයන්හි පාලනය සියතට ගන්නා ලදි. ඔවුන් සිය වාණිජ අවශ්‍යතා මූලික කොට ගෙන නගර පාලනය ක්‍රමවත් කරන ලදි. 

පොදුවේ බැලීමේදී පෙනී යන්නේ 16වන ශත වර්ෂයේ දී ඇති වූ ආර්ථික පරිවර්තන හේතුවෙන් යුරෝපයේ වාණිජ නගරයන්හි වැඩවසම් අංග නැති වී යාමට මඟ පෑදුණු බවයි. පැරණි ඉඩම් හිමි රදල පන්තියේ බලය බොහෝ දුරට පිරිහී ගිය අතර ගොවි ජනතාවගේ තත්වය දියුණු විය. වාණිජ නගර කේන්ද්‍ර කොට ගත් වෙළඳ පන්තිය ධනය හා බලය අතින් වර්ධනය වෙමින් සමාජයේ ඉදිරියට පැමිණියහ. එම වාණිජ පන්ති මීළඟ ශතවර්ෂ කීපය තුල දී  යුරෝපයෙහි පමණක් නොව මුළු ලෝකයේ ම ප්‍රමුඛත්වයට පත් වූ අතර සමස්ත ලෝක ඉතිහාසයම වෙනස් කරන ලදි. ඒ අනුව ගම්‍ය වන්නේ 16වන් සියවසේ දී යුරෝපයේ ඇති වූ ආර්ථික පරිවර්ථනයේදී වාණිජ නගරවල බලපෑම ඉතාමත් ප්‍රබල වූ බවයි. 


Sunday, 22 November 2020

ක්‍රිස්තියානි ධර්මයේ ආරම්භයේ සිට ‍ගෝත්‍රික ආක්‍රමණ යුගය දක්වා සිදු වූ වර්ධනයන් හා විජයග්‍රහණ


පටුන

හැඳින්වීම.

1.     ක්‍රිස්තියානියේ හා යුදෙව් ආගම් වල සම්බන්ධය.

2.     ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය

3.     ක්‍රිස්තියානියේ වර්ධනය.

4.    ක්‍රිස්තියානියට එල්ල වූ අභියෝග.

5.     ක්‍රිස්තියානියේ ජයග්‍රහණ.

6.    ක්‍රිස්තියානීන්ට නිදහස ලැබීම.

7.     රෝම අධිරාජ්‍යයේ පරිහානිය හා ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තිය.‍

8.     ගෝත්‍රික ආක්‍රමණ යටතේ ක්‍රිස්තියානියේ වර්ධනය

 

9.    සමාලෝචනය

ආශ්‍රිත ග්‍රන්ථ නමාවලිය

 

 


හැඳින්වීම

 

වර්තමාන ලෝකයේ බහුතරයක් දෙනා අදහන ආගමවන ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසය ආරම්භ වන්නේ එහි ශාස්තෘවරයාවන ක්‍රිස්තුස් වහන්සේගෙන්ය. යුදෙව් ජාතිකයෙකු වූ උන්වහන්සේ උපත ලබන්නේ යුදෙව්වන්ගේ පොරොන්දු දේශය ලෙස සැළකෙන පලස්තීනයේ “ගලීලෙයාවේ”ය. ජේසුස් වහන්සේ උපදින විට පලස්තීනය ආශ්‍රිත එම ප්‍රදේශය රෝම අධිරාජ්‍යයේ අණසකට යටත්ව පැවතිණ. ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබූ අවදියේ එම ප්‍රදේශයේ පාලනය පැවතියේ හීරෝඩ් රජු යටතේය. ක්‍රිස්තුස් වහන්සේ නසරත් නැමැති ගම්මානයේ තම ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගත කර ඇති අතර යුදෙව් පොත්පත්වල තිබුණු දෑ තේරුම් ගැනීමටත් විග්‍රහ කිරීමටත් ඔහුට හැකිව තිබී ඇත. යුදෙව් ජාතිකයෙකු වූ ඔහුගේ පියා නසරත්හි ජෝසෆ් නම් වූ අතර මව ඩේවිඩ් රජුගේ පරපුරට අයිති කන්‍යා මරියා මව්තුමිය විය. [1]

           

ක්‍රිස්තියානිය ආරම්භවන විට ලෝකයේ වඩාත් විශාල වූද බලසම්පන්න වූද රෝම අධිරාජ්‍යයට එය අයත්ව තිබිණ. මධ්‍යධරණී මුහුද අවට වූ සෑම රාජ්‍යයක්ම රෝමයේ පාලනයට අයත්ව තිබිණ. එම යුගයේ රෝම අධිරාජ්‍යය සමාජීය හා සංස්කෘතික වශයෙන් විශාල දියුණුවක් ලබා තිබුණේය. ලෞකිකත්වය අතින් එලෙස රෝම අධිරාජ්‍යය සැළකිය යුතු දියුණු මට්ටමක පැවතියද ආධ්‍යාත්මික වශයෙන් ඉතා විශාල ලෙස පිරිහී තිබිණ. ඊට එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ පොදුජනයා ඇදහූ ආගම එක හා සමාන නොවූ ආගම් කිහිපයක සම්මිශ්‍රණයක් වීමයි. ඉතාලියේ, ග්‍රීසියේ, ඊජිප්තුවේ හා අනෙකුත් රෝම යටත්විජිත වල ජනතාව දෙවි දේවතාවන් සමූහයක් අදහන ලදි. අධිරාජ්‍යයෙක් වුවද දෙවි කෙනෙකු සේ සළකා වන්දනාමාන කරන ලදි. දාර්ශනිකයන් අතර ඒකදේවවාදය පිළිගත් අය ඉතා අල්ප වූ අතර රෝමන්වරු දෙවිවරුන් ඇදහූයේ විපත් හා අන්තරාවලින් ආරක්ෂා වීමට පමණි. දේව භක්තිය හා දැහැමි ජීවිතය අතර එතරම් සම්බන්ධකමක් එකළ ජනතාව දුටුවේ නැත.

 

බොහෝ දෙනෙකුට භුක්ති විඳීමට ලැබුණු ධන සම්පත්වල බහුලත්වය නිසා අවංකකම, උත්සාහවන්තකම හා සන්සුන්කම වැනි රෝම ගුණාංග එම සමාජයෙන් ක්‍රමානුකූලව බැහැරවන්නට විය. ලිංගික සදාචාරය හීන වූ අතර විවාහ ජීවිතයට තිබූ වැදගත්කමද අඩු විය. ඇතැම් දේවාල බේබදුකමට හා වෛශ්‍යා වෘතියට මුල්තැන දෙන මධ්‍යස්ථාන බවට පත්වී තිබුණේය. සතුන්ට වධ දීම හා මිනිසුන්ට හිංසා කිරීම රෝමන්වරු විනෝදාංශයක් කරගෙන තිබූ අතර ප්‍රසිද්ධියේ පොරපිටිවල සතුන් අතරට මිනිසුන් දමා සතුන් මෙන්ම මිනිසුන්ද වධ විඳින හැටි බලා සතුටට පත් වූහ. පොරපිටි නාට්‍ය ශාලාවලට වඩා ජනප්‍රිය විය. ඉතාමත් කුඩා වැරදි වලට පවා මිනිසුන් කුරුසවල ඇණ ගසා මරණයට පත් කළහ.

 

මෙසේ තිබූ සමාජයක ජේසුස් වහන්සේගේ දර්ශනය කාන්තාරයකට වැටුණු දිය පොදක් මෙන් අවිහිංසාවාදය කරා ගෙන යාමක් විය. එමඟින් යුරෝපීය සමාජය ක්‍රමානුකූලව විශාල පරිවර්තනයකට ලක්විය. මුලදී විශාල අභියෝග හමුවේ ව්‍යාප්ත වූ එම දහම පසුකාලීනව ඉතා සීඝ්‍ර ජයග්‍රහණ ලබන්නට විය. මෙම පැවරුම මඟින් ජේසුස් වහන්සේගේ දර්ශනයේ ආරම්භය, ව්‍යාප්තිය හා ජයග්‍රහණ සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.



[1]බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003. පිටු 124.


 

1.   ක්‍රිස්තියානියේ හා යුදෙව් ආගම්වල සම්බන්ධය

     

රෝමය බහුදේවවාදයෙන් පීඩා විඳිද්දී ක්‍රිස්තුස් වහන්සේ ඉපදුණු පලස්තීනය ආශ්‍රිත ප්‍රදේශය එකළ එකම දේව භක්තික ආගම වූ යුදෙව් ආගමේ මාතෘ භූමිය විය. යුදෙව් ආගමට අනුව ඔවුන් බහුදේවවාදය ප්‍රතික්ෂේප කළ අතර සදාචාරයට මුල්තැනක් දුන්හ. පලස්තීනයෙන් බැහැරව පැවති අනෙකුත් රෝම අධිරාජ්‍යය ප්‍රදේශවල ජීවත් වූ යුදෙව්වන් සමඟද ඔවුන් සම්බන්ධකම් පැවැත්වූහ.

 

උපතින් යුදෙව් ජාතිකයෙකු වීම හේතුවෙන් හීබෲ ජාතිකයන්ගේ සියළුම ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඔහුට හැකි විය. නමුත් රෝමයට යටත්ව සිටි යුදෙව්වෝ ඉතා අසහනයෙන් කාලය ගෙවූ අතර නැවත නිදහස ලබා ගැනීමට පුලපුලා බලා සිටියහ.

 

සමහර අනෙකුත් ආගම් මරණින් පසු ජීවිතයක් පිළිබඳව අදහස් දක්වා තිබූ අතර සමාජයේ ඉහළ හා ප්‍රභූ පවුල්වල පමණක් නැවත හොඳ ආත්මයක් ලබා ගැනීමට හැකියැයි අදහස පැවතිණ. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් මඟින් බොහෝ දුප්පත් හා වහලුන් හට නව බලාපොරොත්තුවක් ඇති විය. වෙනස් වඩා හොඳ ලෝකයක සුගතිය ලබා ගැනීම පිළිබඳව ඔවුන් තුළ විශ්වාසයක් ඇති විය. එම කාලවකවානුවේදී අනාගත වක්තෘවරයෙකු පහළ වී එම පීඩිත ජනතාව මුදාගන්නා බවට පැවති අතීත ජනප්‍රවාදය එකළ ජනතාව විශ්වාස කළහ. ක්‍රිස්තුස් වහන්සේ එම ගැලවුම්කාරයා විය යුතු බවත් ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා විය යුතු බවත් ජනතාව විශ්වාස කරන්නට විය.

 

යුදෙව් ජාතික පූජකයන් එම කතා පුවත සම්බන්ධයෙන් කෝපයට පත් වූ අතර ජේසුස් වහන්සේ යුදෙව් දේවාලවල නීති කැඩීමට මිනිසුන්ට උගන්වන්නේයැයි සිතූහ. මන්දයත් යුදෙව් ආගමික වත්පිළිවෙත් ඉතාමත්ම සංකීර්ණවීමත් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් ඉතා සරල වීමත්ය. “මිනිසුන් නමස්කාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව දෙවියන් වහන්සේ සැළකිල්ලක් නොදක්වන අතර දෙවියන් වහන්සේ සැළකිල්ල දක්වන්නේ අපගේ හද තුළ ඇති දේට පමණක් යැයි ජේසුස් වහන්සේ කියා සිටියේය.[1]

 

ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් විශාල ප්‍රමාණයක් ඒකරාශී වීම හේතුවෙන් යුදෙව් පූජකවරු නැවතත් කලබලයට පත්වූහ. ජේසුස් වහන්සේ කැරැල්ලක් සංවිධානය කරනවායැයි රෝමන්වරු සිතනු ඇතැයිද ඒ නිසා ජනයාට හා තමන්ට දඬුවම් කිරීමට රෝමන්වරු පෙළඹෙතැයිද ඔවුහු බියට පත්වූහ. එම නිසා යුදෙව් නායක පූජකවරු ජේසුස් වහන්සේ සිරභාරයට ගැනීමට කටයුතු පිළියෙල කළ අතර ඉන්පසු ඔහු මරණයට පත්කල යුතුයැයි රෝම ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කළහ. ‍

 

රෝම අධිරාජ්‍යයාට අවමන් කළ බවට චෝදනා කොට ජේසුස් අල්ලා ගත් යුදෙව්වෝ ඔහු රෝම ආණ්ඩුකාරයා වූ පොන්ටියස් පිල්ටා වෙත භාර දුන්හ. රෝම පාලකයෝ  ඔහුට විරුද්ධව රාජද්‍රෝහි චෝදනා එල්ල කොට ඔහු වැරදිකරු බවට තීන්දුකොට කුරුසයේ අණ ගසා මරා දෑමූහ. ඉන් දින 3ට පසුව ජේසුස් වහන්සේ මළවුන් අතරින් නැඟී සිටි බව ශුභාරංචියේ දැක්වෙන අතර දින 40ට පසුව ඔහු දිව්‍ය ලෝකය කරා යනු දුටු බව ඔහුගේ ශ්‍රාවකයන් විසින් ප්‍රකාශ කොට ඇත. අභිෂේකලත් යන අර්ථය ඇති “ක්‍රිස්ටෝස්” යන වචනයෙන් ඔහු හැඳින්වීමට පටන් ගත් අතර ජේසුස්ගේ අනුගාමිකයෝ ක්‍රිස්තියානි ආගම ගොඩනැගුවේ මුළුමනින්ම ඔහුගේ ඉගැන්වීම් පදනම් කොට ගෙනය.[2]

 



[1] මාර්ග ආයතනය, ලොකයේ කථාන්තරය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10. 2004. පිටු 96.

[2] බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003. පිටු 125.

 


1.   ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය

 

බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ අන්තර්ගත සියළුදෑ යුදෙව් ධර්මය පිළිබඳව වන අතර නව තෙස්තමේන්තුවේ අන්තර්ගත වන්නේ ජේසුස් වහන්සේගේ ජිවිතය පිළිබඳව හා එතුමාගේ ඉගැන්වීම් පිළිබඳවය. විශ්වයේ හා සත්ව වර්ගයාගේ මැවුම්කරුවා දෙවියන් වහන්සේ වන බවත් දෙවියන් වහන්සේ අනුකම්පා සහගතවන අතර සියළු දෙනාට එකසේ කරුණාව දක්වන බවත් දේශනා කරන ලදි. සියළු දෙනා සහෝදරත්වයෙන් ජීවත්විය යුතු අතර දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වී ජීවත් විය යුතු බවත් ඔහු ඉගැන්වීය. පව්කාරයන් සිය පාපකර්ම පිළිබඳව පසුතැවිලි විය යුතු අතර දෙවියන් වහන්සේගේ අනුකම්පාව සඳහා යාඥා කළ යුතු බවද යහපත් ක්‍රියාමාර්ගවල යෙදීමෙන් පාරිශුද්ධ චරිත ගොඩනඟා ගතයුතු බවද ඔහුගේ මූලික ඉගැන්වීම් කීපයකි. තමාට නපුරක් කරන අයට වුවද යහපතක් කිරීමට මනුෂ්‍යයා යොමු විය යුතු බව අවධාරණය කළ ඔහු සමාව දීම මහත් වූ පුණ්‍ය කර්මයක් බව දක්වා ඇත. කුරුසයේ ඇණ ගසා සිටියදී වුවද ඔහු “පියාණෙනි ඔවුන්ට සමා‍වන්න. මේ කරන්නේ කුමක්දැයි ඔවුහු නොදන්නාහුය.” යනුවෙන් පවසා තමාට මරණිය දණ්ඩනය පැනවූ අයට සමාව දුන් බව කියනු ලැබේ. ජේසුස් වහන්සේ ගම්බද ජනතාවට පහසුවෙන් අවබෝධවන භාෂාවෙන් උපදේශ කතා සහිතව තම ධර්මය පැහැදිලි කළේය. ඔහුගේ ශ්‍රාවකයෝ “දෙවියන් වහන්සේ විසින් එවන ලද ගැලවුම්කරුවා” ලෙස ඔහුට ගරු සම්මාන දැක්වූහ.[1]  

 



[1] බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003. පිටු 126.


1.   ක්‍රිස්තියානියේ වර්ධනය

 

ජේසුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගසා ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ අපෝස්තලුවරුන් 12දෙනා වූ හොෂෙයා, යෝවෙල්, ආමොස්, ඔබදියා, යෝනා, මීකා, නාහුම්, හබක්කුක්, ශෙපනියා, හග්ගයි, සෙකරියා, මලාකී[1] යන ශ්‍රාවකයෝ 12දෙනා යුදෙව්වන්ට දේශනා කිරීම ආරම්භ කළහ. ජේසුස්තුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයාවන බවත් දෙවියන් වහන්සේ මේ ලෝකයට එවන ලද ගැලවුම්කාරයා බවත් ඒ නිසා ඔහුගේ අනුකම්පාව හා කරුණාව අයැද සිටීමෙන් විමුක්තිය ලඟාකර ගත හැකි බව ඔවුහු දේශනා කළහ. බොහෝ යුදෙව්වන් කිතු දහමට හරවා ගැනීමට ඔවුන් සමත්විය. ජේසුස් වහන්සේගේ මරණින් දින 50ට පසුව යුදෙව්වන් අතර පැවැත්වෙමින් තිබුණ “පෙන්තකොස්ත” උත්සව දිනය ක්‍රිස්තියානි ශාසනයේ ආරම්භක දිනය ලෙස සළකනු ලැබේ. එය යුදෙව්වෝ දසදෙසින් පලස්තීනයේ අගනුවර වූ ජෙරුසෙලමට එක්රැස්වන දිනය විය. එදින ජේසුතුමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා වූ පේදුරුතුමන් විසින් ජේසුස් වහන්සේ ගැන කරන ලද දේශනයකට පසුව 3000ට අධික ජනකායක් ‍බෞතීස්ම පිළිවෙත ලබා ක්‍රිස්තු භක්තිකයන් වූ බව බයිබලයේ “ක්‍රියා” පොතේ කියවේ. ක්‍රිස්තියානි ශාසනය මුලදී යුදෙව් ආගමේම නව නිකායක් සේ සැළකිණ. එහි ප්‍රථම බැතිමත්හු මෙන්ම ධර්ම ප්‍රචාරකයෝද යුදෙව්වෝම විය. මොවුහු විවිධ පළාත්වල විසූ සිය ජාතිකයන් අතරට ජේසුස් වහන්සේ විසින් දේශනා කරන ලද ගැලවීමේ ධර්මය ගෙන ගියහ. රෝම අධිරාජ්‍යයේ තිබූ ගමනාගමනයේ හා සන්නිවේදන පහසුකම් නිසා මෙම නව දහම ඉක්මනින්ම ව්‍යාප්ත විය.

 

එසේ අළුතින් කිතු දහම වැලඳගත් යුදෙව්වකු වූ ශාන්ත පෝල් තුමා යුදෙව්වන් නොවන අයට දේශනා කිරීම ආරම්භ කළේය. ඔහු බයිබලයේ අද දක්නට ලැබෙන සංදේශ රැසක කතෘවරයාද වේ. ඔහු ධර්ම ප්‍රචාරය සඳහා ගිය සෑම තැනකම යුදෙව්වන්ගෙන් හා අන්‍ය ජාතිකයන්ගෙන් යුත් ක්‍රිස්තු භක්තික කණ්ඩායම් පිහිටුවන ලදී. ලිපි මඟින් අවවාද අනුශාසනා දෙමින් ඔවුන් සමඟ සම්බන්ධතා තබා ගැනීමටද ශාන්ත පෝල් තුමා වෙහෙසුනේය. මේ අතර අග්‍රශ්‍රාවකවරු ජේසුස් වහන්සේගේ කියුම් හා කෙරුම් පිළිබඳ වාර්තා එක්රැස් කිරීමෙහි නිරත වූහ. පසුව ශුභාරංචි ග්‍රන්ථ හතරට ඒවා මූලාශ්‍ර විය. 

 



[1] බර්නාඩ්. ඩබ්. ඇන්ඩර්සන්, පරණ ගිවිසුමේ ජීවමාන ලෝකය, ලංකා දේවධර්ම ශාස්ත්‍රාලය, පිළිමතලාව. 1980. පිටු 574.

  

1.   ක්‍රිස්තියානියට එල්ල වූ අභියෝග

 

ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් 30වසරකට පසු “සභා” නමින් හැඳින්වෙන ක්‍රිස්තු භක්තික කණ්ඩායම් රැසක් රෝම අධිරාජ්‍ය තුළ සිටින්නට විය. රෝම නගරයේද සභාවක් තිබිණ. එහි නායකයා ශාන්ත පේදුරුතුමා විය. ඒ වන විට “නව ගිවිසුම” නමින් හැඳින්වෙන පොත් එකතුවද නිර්මාණය වෙමින් පැවතිණ. අනුක්‍රමයෙන් නව ආගම පිළිබඳ පුවත රෝම අධිරාජ්‍යය පුරා පැතිරෙන්නට විය. එය ව්‍යාප්ත වෙමින් තිබූ ක්‍රිස්තියානි ආගමට හිතකර නොවීය. මන්දයත් අපරාධකරුවෙකු වශයෙන් පිළිගෙන රෝම රජය විසින් මරණ දණ්ඩනයට ලක්කරන ලද අයෙකු එම ආගමේ ශාස්තෘවරයා ලෙස පිළිගැනීමත්, රෝමන්වරුන්ගේ හිංසාවාදී ක්‍රියාවලට හා බහුදේවවාදයට මෙම ආගමේ බැතිමතුන් විරුද්ධවන නිසාත් එය රෝම අධිරාජ්‍යයේ වැසියන් අතර සැකයට භාජනය විය.

 

ක්‍රි. ව. 64දී රෝම නගරය විශාල ගින්නකින් විනාශ විය. එම ගින්න රෝම පුරවරය තුළ නව ගොඩනැගිලි මාලාවක් ඉදිකිරීමේ අරමුණින් නීරෝ අධිරාජ්‍යයා විසින් ඇතිකරන ලද්දක්යැයි රාවය පැතිරෙන්නට විය. රෝමය ගිනිබත් වෙමින් තිබියදී අර්ධ උන්මත්තකයෙකු හා ඒකාධිපති ආඥාදායකයෙකු වූ නීරෝ වීණා වයමින් සිටි බවක්ද කියවෙන්නට විය. ගින්නෙන් සිදු වූ විනාශය නිසා ජනතාව අතර කැරැල්ලක් ඇතිවේයැයි බිය වූ ඔහු එවැන්නක් ඇති නොවීම සඳහා මෙන්ම එය මැඩපැවැත්වීම සඳහා රෝම විනාශය කිතුනුවන්ගේ ක්‍රියාවක් ලෙස හඳුන්වා ඔවුන් පිට වරද පටවන ලදි.

 

සිදු වූ දේ ඇසින් දුටුවෙකු සේ සැලකෙන ටැසිටස්  නැමති රෝම ඉතිහාසඥයා එම ක්‍රියාව පහත ආකාරයෙන් විස්තර කර ඇත.

“ඔහුට (නීරෝට) එරෙහිව නැගෙමින් ආ චෝදනා නැවැත්වීමේ අරමුණින් එහි වගකීම (රෝමය ගිනි තැබීම) නීරෝ ක්‍රිස්තියානිකාරයන් මත පැවරීය. මොවුන් සිය දූෂිත ක්‍රියා නිසා ජනතාවගේ පිළිකුලට ලක්වී සිටි පිරිසකි. ඔවුන් වෙත වරද පවරා අතිශයින් කෲර ලෙස ඔවුන්ට ඔහු දඩුවම් කළේය. ඔවුන්ට සිය නම ලැබෙන්නේ තිබේරියස්  (ටයිබීරියස්) අධිරාජ්‍යයාගේ පාලන සමයේදී පලස්තීනයේ අග්‍රාණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාන්තු විසින් මරණ දණ්ඩනයට පත්කරන ලද ක්‍රිස්තුස්ගෙනි. එහෙත් එම බියකරු මිත්‍යා ධර්මය එයින් විනාශ නොවී නැවත පණ ලබා එහි මව්බිම වූ යුදෙයාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම අපවිත්‍ර ද්‍රව්‍යයක් දමනු ලබන කුණු බක්කියක් බඳු වූ රෝමයේද පැතිරෙන්නට විය. මුලින්ම සිර අඩස්සියට ගනු ලැබුවේ තමන් ක්‍රිස්තු භක්තිකයන් කියා පිළිගත් අයය. ඉන්පසු ඔවුන්ගේ සාක්ෂි මත අතිවිශාල සංඛ්‍යාවක් වරදකරුවන් සේ තීරණය විය. එහෙත් ඔවුන්ට එල්ල වූයේ ගින්න ඇති කිරීමේ චෝදනාවම නොවේ. මිනිස් සංහතිය පිළිකුල් කිරීමේ චෝදනාවය.”

 

 “මොවුන් මරා දමනු ලැබුවා පමණක් නොව ඔවුන්ට වද හිංසා කිරීම විනෝදාංශයක් බවට පත්කර ගන්නා ලදි. සමහරුන් කැබලිවලට ඉරා දමනු පිණිස සතුන්ගේ හම්වලින් පොරවා සුනඛයන් අතරට විසිකර දමන ලදි. සමහරු කුරුසවල ඇණ ගසනු ලැබූහ. සමහරු අඳුර වැටුණු විට නගරය ආලෝකමත් කිරීම පිණිස පුළුස්සනු ලැබීය. නීරෝ එම අවස්ථාවේ තම උයන මහජනයාටද විවෘතකර මහත් ගාම්භීරයෙන් අශ්ව රථයක නැගී එහා මෙහා ගියේය. එයින් ඇති වූ ප්‍රතිඵලය ඔහු පැතුවාට වඩා විරුද්ධ එකක් විය. මෙම ක්‍රිස්තියානිකාරයින්ට දරුණු දඬුවම් ලබා දිය යුතුව තිබුණ නමුත් මොවුන් වෙත මහජනයා තුළ අනුකම්පාවක් ඇතිවන්නට විය. මොවුන් විනාශකර දමනු ලැබුවේ රටේ යහපතට නොව එක කුරිරු මිනිසෙකුට තම මනදොළ පිනවා ගැනීමට අවශ්‍යය වූ නිසාය යන හැඟීමක් මහජනයා තුළ ඇති විය.”[1]

 

නීරෝගේ පීඩන සමයේදී ජීවිත පුදකළ ක්‍රිස්තියානි භක්තිකයන් අතර කුරුසයක ඇණ ගසා මරණු ලැබූ පේදුරු තුමාද, හිසගසා මරා දමනු ලැබූ පාවුළු තුමාද වේ. ක්‍රි. ව. 68දී වයස 30ක් වූ නීරෝ සිය දිවි හානි කරගත්තේය. ඔහුගේ පාලන කාලය කෙටි වූ නමුත් ඔහු ආරම්භ කරන ලද කිතුනුවන්ට විරුද්ධ දණ්ඩනීති දිගටම බලපැවැත්වෙන ලදි. තවත් ශතවර්ෂ දෙකහමාරක කාලයක් පමණ වනතෙක්ම ක්‍රිස්තු භක්තිකයෙකු වීම මරණ දඬුවමට ලක්වන කරුණක් විය.

 

එවැනි බලපෑම් හමුවේ වුවද ක්‍රිස්තියානියේ ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් සිදුවිය. එයට එක් හේතුවක් ලෙස දැකිය හැක්කේ ක්‍රිස්තියානියට එරෙහි වූ එම දණ්ඩනීති අධිරාජ්‍යයේ සෑම තැනකම ඒකාකාරීව ක්‍රියාත්මක නොවීමයි. යම්යම් කාලපරිච්ඡේද හා ස්ථානවල එළිපිටම ආගම ඇදහීමට හැකියාව තිබිණ. එකළ බොහෝදෙනෙක් ක්‍රිස්තු භක්තිකයන් සැළකුවේ ඥාතීන් අතර විවාහවන, මිනිස් සංහතිය පිළිකුල්කරන, මිනීමස් කෑම වැනි දූෂණවලට ඇබ්බැහි වූ පිරිසක් සේය. මිනීමස් කෑමේ චෝදනා ඇති වී තිබුණේ ක්‍රිස්තු භක්තිකයන්ගේ පූජා පිළිවෙතක් වූ රොටී හා මිදි යුෂ හවුලේ බෙදා ගැනීම, වරදවා තේරුම් ගැනීමෙනි. එනම් ක්‍රිස්තු භක්තිකයෝ පූජා ආහාරය බෙදා ගැනීමේ පිළිවෙත හඳුන්වනු ලැබුවේ, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හා රුධිරය හෙවත් ප්‍රාණ ශක්තිය හවුලේ බෙදා ගැනීමක් සේය.

 

ක්‍රිස්තු භක්තියෙක් වීම මත ඕනෑම පුද්ගලයෙකු නඩු ශාලාවකට ඉදිරිපත්කළ හැකි විය. එතනදී ඔහු තම මරණය හා ආගම යන දෙකෙන් එකක් තෝරාගත යුතු විය. නීරෝගේ පීඩන සමයෙන් ශතවර්ෂ භාගයකට පමණ පසු කළු මුහුද අසල පිහිටි බිතිනියාවේ අග්‍රාණ්ඩුකාරවරයා වූ ප්ලීනි නැමැත්තාට වරක් තම ප්‍රදේශය තුළ එම දණ්ඩනීති ක්‍රියාත්මක කිරීමට සිදුවිය. ඔහුට එසේ කිරීමට සිදුවූයේ ක්‍රිස්තු භක්තිකයින් කියා ඔහුගේ යටත් වැසියන් අතරින් කීපදෙනෙකු නම්කර දක්වන නිර්නාමික පත්‍රිකාවක් ඔහුට ලැබීම නිසාය. එම අවස්ථාවේ ඔහු උපදෙස් පතා රෝමයේ අධිරාජ්‍යයාට ලිපියක් යැවීය. ඔහුගේ එම ලිපියද, අධිරාජ්‍යයා විසින් එවන ලද පිළිතුරද අද දක්වාම ආරක්ෂා වී තිබේ. ප්ලීනිගේ ලිපියේ මෙසේ සඳහන් වී තිබේ.

 

“ක්‍රිස්තු භක්තිකයන් නොවේයැයි කී හැමදෙනෙකුම මම නිදහස්කර හැරියෙමි. මා එසේ කළේ ඔවුන් අපේ දෙවිවරුන්ට වන්දනාමාන කිරීමට එකඟ වූ නිසාය. දෙවිදේවතා රූප සමඟ ඔබේ පිළිමයද (අධිරාජ්‍යයාගේ රුව) ඔවුන් ඉදිරිපිටට ‍මා ගෙන ආ විට ඔවුන් එයට දුම් අල්ලා මිදි යුෂ පූජා කලහ. ඒ සියල්ලටත් වඩා ඔවුන් ක්‍රිස්තූන්ට ශාප කළහ. එය කිසිම ක්‍රිස්තු භක්තිකයෙකු ලවා කරවන්නට බැරි දෙයකි......”

 

         මහා අධිරාජ්‍යයා වූ ‍‍ට්‍රෝජන් අමතා ලියන ලද ලිපිය ඔහු අවසන් කළේ ක්‍රිස්තු භක්තිකයන් සම්බන්ධයෙන් ඔහු කුමක් කළ යුතුදැයි අසමිනි. ඒ බව කෙලින්ම නොකී නමුත් ආගමික විශ්වාසය යන එකම වරද මත කෙනෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ප්ලීනි නොසතුටට පත්වී සිටියේය. මහා අධිරාජ්‍යයා වූ ට්‍රෝජන්, ප්ලීනිගේ එම ප්‍රශ්නයට පිළිතුරක් යැවීය. එය මෙසේය,

 

“ඔවුන්ව සොයා යායුතු නැත. යමෙක් ක්‍රිස්තු භක්තිකයෙකු කියා දැනුම් දෙනු ලැබූවහොත් එසේම එම චෝදනා ඔප්පු වී යතොත් එවිට ඔහුට දඬුවම් කළ යුතුය. එහෙත් චෝදනා ලැබූ යමෙක් තමා ක්‍රිස්තු භක්තිකයෙකු නොවේ යැයි ප්‍රකාශ කරන්නේ නම් එසේම අප දෙවිවරුන්ට වන්දනාමාන කිරීමෙන් ඒ බව සනාථ කරන්නේ නම් කෙතරම් සැක සහිත වුවත් ඔහු එකවිටම නිදහස්කර යැවිය යුතුය. නිර්නාමික පත්‍රිකා කිසිවිටෙක සාක්ෂියක් සේ නොගත යුතුය. එය නරක පූර්වාදර්ශයකි. එසේම නූතන යුගයට ගැලපෙන්නේද නැත.”[2]

 

ට්‍රෝජන් රෝම අධිරාජ්‍යයන් අතරින් යහපත්ම කෙනෙක් වුවත් ක්‍රිස්තියානීන්ට විරුද්ධව තිබූ දණ්ඩනීති අවලංගු කිරීමට ඔහු පසුබට විය. ඔහු එසේ කළේ අධිරාජ්‍යය පිළිබඳ ඔහුගේ ආකල්පයට ක්‍රිස්තියානියෙන් හානියක් සිදුවෙතැයි ඔහුට හැඟුන නිසා විය හැකිය. ක්‍රිස්තු භක්තිකයෝ අධිරාජ්‍යයට පක්ෂපාතී වූයේ දෙවියන්  වෙත තම පක්ෂපාතීත්වයට එය පටහැනි නොවූ ප්‍රමාණයට පමණි.

 

මරණ තර්ජන හේතුවෙන් ඇති වූ දුෂ්කරතා ‍මැද වුවද රෝම අධිරාජ්‍යයේ සෑම පළාතකම වාගේ නව ආගමට බැ‍‍දෙන්නවුන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගියහ. රෝම සමාජය තුළ තිබූ විවිධ දුසිරිත් හා හිංසාවාදයන්ට අප්‍රිය කළ පුද්ගලයන් ඊට ආකර්ෂණය වූ අතර ඕනෑම තරාතිරමකම පුද්ගලයන්ටද එම ආගමට බැඳීමට හැකිවිය. ක්‍රිස්තියානිය ගැන සොයාබලන්නට ඔවුන් වැඩිපුර පෙළඹුණේ ප්‍රාණ පරිත්‍යාගීවරුන් තුළ ඔවුන් දුටු අචල විශ්වාසය හා නිර්භීතකම නිසාවෙන්ය. පොරපිටිවල මරන අභිමුඛයට වැඩිහිටි පිරිමින් හා ගැහැණුන් මෙන්ම ළදරුවන්ද ගමන් කළේ ඉමහත් ප්‍රීතියෙන් බව ඔවුහු දුටුවෝය. නව ආගමට එරෙහිව පැනවූ දණ්ඩ නීතිවල ප්‍රතිඵල ඒවායේ අරමුණට වඩා හාත්පසින්ම වෙනස් විය.

    

 

ටර්ටල්ලියන් සඳහන් කළ පරිදි ,

 

“අපිව කුරුසවල ඇණ ගසන්න. අපට වද දෙන්න. අපව මරණයට තීන්දු කරන්න. අපව දූවිලිවලට අඹරන්න. අපව කපා දමනු ලබන තරමට අපි වැඩෙන්නෙමු.‍ බෝ වෙන්නෙමු. ක්‍රිස්තු භක්තිකයන්ගේ රුධිරය බීජයක් බඳුය.”[3]



[1] ඇන්ටනි ප්‍රනාන්දු, ආරම්භයේ සිට අද දක්වා ක්‍රිස්තියානියේ ඉතිහාසය සාහිත්‍යය හා කලාව, අන්තර් සංස්කෘතික පොත් ප්‍රචාරකයෝ, කඩවත. 1996. පිටු 4 -5.

[2] ඇන්ටනි ප්‍රනාන්දු, ආරම්භයේ සිට අද දක්වා ක්‍රිස්තියානියේ ඉතිහාසය සාහිත්‍යය හා කලාව, අන්තර් සංස්කෘතික පොත් ප්‍රචාරකයෝ, කඩවත. 1996. පිටු 7.

[3] එම...., පිටු 8.



5.    ක්‍රිස්තියානියේ ජයග්‍රහණ


දීර්ඝ කාලයක් තුළ ක්‍රියාත්මක වූ ක්‍රිස්තු භක්තිකයන් පීඩාවට පත් කිරීමේ යුගය ක්‍රි. ව. 313දී නිකුත් කරන්නට යෙදුණු “මිලාන ආඥාව” (Edict of Milan) යනුවෙන් හැඳින්වෙන රාජ ආඥාව මඟින් ඉවත් කරන්නට යෙදිණ. එතැන් පටන් රෝම අධිරාජ්‍යයේ ඕනෑම පුරවැසියෙකුට නිදහසේ ක්‍රිස්තියානි ආගම ඇදහීමට ඉඩප්‍රස්ථාව ලැබිණ.

 

ශතවර්ෂ තුනකට අධික කාලයක් පීඩනයට පත්කරන ලද ක්‍රිස්තියානීන්ට මෙලෙස නිදහස ලබාදීමට හේතු වූයේ නැවත නැවතත් පීඩා කිරීමෙන් වැඩක් නැතැයි කියා පාලක පක්ෂයට ක්‍රමක්‍රමයෙන් වැටහීම නිසා නොව ක්‍රිස්තු භක්තිකයන් විනාශකර  දැමීමට දරන ලද ප්‍රයත්නයන් අසාර්ථක වීමත් එමඟින් රෝම අධිරාජ්‍යයම අතිශයින් ව්‍යාකූල තත්වයකට පත්වීමත්ය. තවද ඒ වනවිට ක්‍රිස්තු භක්තිකයන්ගේ ප්‍රමාණය විශාල වශයෙන් වර්ධනය වී තිබූ අතර ඔවුන් දෙස සානුකම්පිතව බැලූ ජනයාගේ සංඛ්‍යාවද සුළුපටු නොවීය.

 

මිලාන ආඥාව නිකුත් කිරීමට දසවර්ෂයකට පෙර ඉතා දරුණු හා බියකරු ලෙස ක්‍රිස්තියානීන් මර්දනය කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය. ක්‍රි. ව. 303දී දියෝක්ලේසියානු මහා අධිරාජ්‍යයා විසින් ආරම්භ කරන ලද ක්‍රිස්තියානීන් සමූල ඝාතනය කිරීමේ ව්‍යාපාරය ඔහුගෙන් පසුව බලයට පැමිණි ගැලේරියස් විසින්ද ඒ ආකාරයෙන් පවත්වාගෙන යනු ලැබීය. එකල හැම රෝම වැසියෙකුම රෝම පිළිමයක් ඉදිරිපිට දුම් පූජා පවත්වා තමා ක්‍රිස්තු භක්තිකයෙකු නොවන බව ප්‍රසිද්ධියේ ඔප්පුකළ යුතුවිය. එසේ නොකරන සියළුම අය දරුණු තාඩන පීඩනවලට හා මරණයට පත් කරනු ලැබීය. රෝම අධිරාජ්‍යයේ පෙරදිග විසූ ක්‍රිස්තු භක්තිකයන් අතරින් විශාල ප්‍රමාණයක් මෙම පීඩනවලට ලක්විය.


6.    ක්‍රිස්තියානීන්ට නිදහස ලැබීම

 

රෝම අධිරාජ්‍යයේ ප්‍රථම ක්‍රිස්තියානි පාලකයා වූ කොන්ස්ටන්ටයින් බිහි වූයේ මෙම වියවුල් තත්වය තුළදීය. කොන්ස්ටන්ටයින්, දියෝක්ලේසියානු අධිරාජ්‍යයා යටතේ වූ උප රජෙකුගේ පුත්‍රයෙක් විය. මේ වනවිට රෝම අධිරාජ්‍යයේ පාලන තත්වය ඉතාමත්ම අවුල් වියවුල්ව පැවති අතර අධිරාජ්‍යයවරුන් ලෙස තමන්ව හඳුන්වාගත් පුද්ගලයින් හත්දෙනෙක් රෝම අධිරාජ්‍යයේ ප්‍රදේශ පාලනය කළේය. ඒ හැම කෙනෙක්ම අනෙකුත් රජවරුන් පරාජය කිරීමට උත්සාහ කළ අතර කොන්ස්ටන්ටයින්ද එම හත් දෙනාගෙන් එක් අයෙකු විය. ක්‍රි. ව. 312 වන විට රෝම පුරයට පහර දීමට විශාල හමුදාවක් ගෙන යාමට හැකිවන තරමටම ඔහු බලවත් විය.

 

රෝම පුරයට ඇතුල්වීමට අධිෂ්ඨාන කරගෙන සිටි ‍දිනට පෙර දින ඔහු සිහිනයක් දුටුවේය. එම සිහිනයට අනුව “ සත්‍යයම වූ දෙවියන්ගේ සංකේතයක් ඔහු තම භටයන්ගේ පලිහවල ඇඳිය යුතුයැයි” කියන පණිවිඩයයි. මේ වනවිටත් ඔහු ක්‍රිස්තු භක්තිකයෙකු නොවූ නමුත් හිතින් එයට පක්ෂපාතී විය. ඔහු දුටු සිහිනය නිසාම ඔහු යුද්ධයට ගියේ ක්‍රිස්තුස් වහන්සේට සේවය කරන්නෙකු විලාසයෙනි. එම යුද්ධයෙන් ඔහු ජයග්‍රහණය කළ අතර  එතැන් සිට ඔහු රෝම අධිරාජ්‍යයේ ඒකීය නායකයා බවට පත්විය. ඊළඟ වසරේ සිට ක්‍රිස්තු භක්තිකයන්ට සිය ආගම නිදහසේ ඇදහීමට ඉඩදෙන ආඥාව මිලාන් නගරයේ සිට නිකුත් කළේය.

 

ක්‍රිස්තියානීන් මත පැනවී තිබූ තහනම ඉවත්වීමත් සමඟම ක්‍රිස්තියානි ශාසනය තුළ ඇතිවූ පිබිදීමට කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා ඍජුවම දායක විය. ක්‍රි. ව. 337දී සිදු වූ ඔහුගේ මරණය දක්වාම ඔහු අධිරාජ්‍යයේ පමණක් නොව ක්‍රිස්තියානි සභාවේද නායකයා සේ ක්‍රියාකළේය.

 

 

7.    රෝම අධිරාජ්‍යයේ පරිහානිය හා ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තිය

 

ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම බවට පත්වීමත් සමඟ රෝම අධිරාජ්‍යය හා ක්‍රිස්තියානි සභාව අතර ඇති වූ සම්බන්ධතාව එතරම් දීර්ඝ කාලයක් ඒ ආකාරයෙන්ම නොපැවතිණ. වැඩිකල් යාමට පෙර කිසිවෙකු අපේක්ෂා නොකළ ආකාරයට විවිධ පැතිවලින් පැමිණි ම්ලේච්ඡ ජාතිකයන් රෝම අධිරාජ්‍යයට පහර දෙන්නට විය. රෝම අධිරාජ්‍යයේ අවසානයට මඟපෑදූ එම ආක්‍රමණ “අඳුරු යුගය” ලෙස හඳුන්වනු ලැබේ.

 

අධිරාජ්‍යයට සිදුවෙමින් පැවති එම හානිය ක්‍රිස්තියානි සභාව වෙත බලපාන්නට ඉඩ තිබූමුත් ක්‍රිස්තියානියේ වාසනාවට එම විපතින් උද්ගත වූ ප්‍රශ්න වල‍ට මුහුණ දීමට ශක්තිය ලබාදිය හැකි පුද්ගලයන් එම කාලයේදීම බිහිවිය. ඒ අතර ප්‍රධාන වූවන් ලෙස අයර්ලන්ත වැසි ගෝත්‍රිකයන් ශිෂ්ඨ කරලීමට සමත් වූ ශාන්ත පැට්‍රික් ද, ක්‍රිස්තියානි තාපස සම්ප්‍රදාය ක්‍රමවත් කරවූ ශාන්ත බෙනඩික් ද, ම්ලේච්ඡ ජාතිකයන් ක්‍රිස්තියානියට හරවා සභාව ශක්තිමත් කළ මහා ග්‍රෙගරි පාප්තුමා ද, ම්ලේච්ඡ ජාතිකයන් අතරින් අධිරාජ්‍යය පාලන තනතුර දිනාගැනීමට සමත් වූ මහා චාර්ල්ස් අධිරාජ්‍යයා ද ඉන් ප්‍රධාන වේ.

 

ගෝත්‍රික ආක්‍රමණ නිසා රෝම අධිරාජ්‍යයට එල්ල වූ මරු පහර මුල්කරගෙන අඳුරු යුගය ලෙස හැඳින්වෙන්නට වූ මෙම සමය ලෝක ඉතිහාසය තුළ මෙන්ම බටහිර සමාජය තුළද ක්‍රිස්තියානියට හිමිවන තැන තේරුම් ගැනීම අතිශයින් වැදගත්ය. මන්දයත් බටහිර සමාජය තුළ ක්‍රිස්තියානිය අනුක්‍රමයෙන් සමාජාරක්ෂක රාජ්‍යය පාලන ක්‍රමයක් බවට පත්වීමයි. කලින් ධර්ම දේශකයින් ලෙස පමණක් කටයුතු කළ පූජකයන් බටහිර සමාජය තුළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් බවට පත්වූහ.


 

1.     ගෝත්‍රික ආක්‍රමණ යටතේ ක්‍රිස්තියානියේ වර්ධනය

 

අධිරාජ්‍යය ආක්‍රමණය කරමින් සිටි ම්ලේච්ඡ ගෝත්‍රිකයින්ගෙන් වැඩිදෙනා ඔවුන්ගේම ගෝත්‍රික ආගම් ඇදහූ අය වූහ. ක්‍රිස්තියානිය ගැන ඔවුන් දැන සිටියේ නැත. එහෙත් ඔවුන් අතරින් සුළු පිරිසක් ආරියානුවාදීන් වැනි මිත්‍යා මතධාරී ක්‍රිස්තියානි භක්තිකයන්ගෙන් ක්‍රිස්තියානිය ගැන අසා තිබුණි. එම ම්ලේච්ඡ ජාතීන් ඔවුන්ගේ නූගත්කමින්ද රෞද්‍ර ගතිගුණ වලින්ද මුදවා ශිෂ්ටසම්පන්න කිරීමට තිබුණු එකම මඟ ඔවුන්ට ක්‍රිස්තියානිය හඳුන්වාදීමයැයි ක්‍රිස්තියානුවෝ විශ්වාස කළෝය.

 

එලෙස ගෝත්‍රිකයන්ට ක්‍රිස්තියානි ආගම හඳුන්වා දුන් පුද්ගලයෙකු ලෙස ශාන්ත පැට්‍රික්තුමා හැඳින්විය හැකිය. අයර්ලන්ත ගෝත්‍රිකයෝ ශාන්ත පැට්‍රික්තුමාගේ මාර්‍ගෝපදේශය යටතේ ක්‍රිස්තියානිය වැළඳගත්තා පමණක් නොව රෝම අධිරාජ්‍යයේ වැසියන් අතරද විශේෂයෙන් එයට ඇතුළු වී සිටි ගෝත්‍රිකයන් අතරද ධර්මදූත සේවයේ යෙදෙන්නට වූහ. ඔවුන් ගිය හැමතැනකම අයර්ලන්ත ක්‍රමයේ තාපසාරාම පිහිටුවනු ලැබීය. එම ක්‍රමයේ තාපසාරාම ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඉතාලිය වැනි රටවල බිහිවන්නට වූයේ එලෙසය.

 

තාපස ජීවිතය ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය තුළට ඇතුළු වූයේ තරමක් අනුක්‍රමයෙනි. එය මුල්කාලීන ක්‍රිස්තියානි ධර්මය තුළ දක්නට නොලැබිණි. ජේසුතුමන් විසින්ද, ශාන්ත පාවුලු ඇතුළු අග්‍රශ්‍රාවකයන් විසින්ද දෙසන ලද ධර්මයේ කියවුණේ ආත්ම පරිත්‍යාගික ජීවිතයක් ගැන පමණි. එවැන්නන් විසින් දෙසන ලද ආත්ම පරිත්‍යාගික ජීවිතය සමාජයෙන් බැහැර නොවී ගිහි ජීවිතයක් ගතකරන අතරතුරේදී පවා අනුගමනය කළ හැක්කක් විය. නමුත් ක්‍රිස්තියානි ධර්මය තහනම් ආගමක් වී තිබුණු යුගයේදී එම ආත්ම පරිත්‍යාගයේ ධර්ම ආඥාව පිළිපැදීමට ඇතැම්හු ප්‍රාණ පරිත්‍යාගය මාර්ගය කරගත්හ.

 

ක්‍රිස්තියානිය මත පැනවී තිබුණ තහනම ඉවත් වූවාට පසු එවැන්නකට තවදුරටත් අවකාශය නොලැබුණේය. ඒ වෙනුවට සමාජයෙන් බැහැර වී හුදකලාව ජීවත්වීම හොඳම ක්‍රමය සේ සැලකූහ. ඒ සඳහා මොවුහු කාන්තාර වලට පිවිසුණහ. “කාන්තාර පියවරු” සේ හැඳින්වෙන මෙවැන්නන් විසින් අරඹන ලද ජීවන රටාව ක්‍රිස්තියානි තාපස ජීවන රටාවේ ආරම්භක පියවර විය.

 

පැවිදි ජීවිතය ක්‍රමවත් කිරීමට නර්සියාවේ ශාන්ත බෙනඩික් (ක්‍රි. ව. 480-550) විසින් දරනු ලැබූ ප්‍රයත්නය ක්‍රිස්තියානි තාපස ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. ඔහු ක්‍රි. ව. 529දී ඉතාලියේ “මොන්ටේ කසිනෝ” නමින් හැඳින්වෙන කඳු මුදුනේ තාපසාරාමයක් පිහිටුවන ලදි. එහිදී තම තාපසයන් සඳහා ඔහු පැවිදි ව්‍යවස්ථාවක් සකස්කරන ලදි. “බෙනඩිකානු තාපස ව්‍යවස්ථාව” යනුවෙන් හැඳින්වෙන එය අද දක්වාම ක්‍රිස්තියානි පැවිදි ක්‍රමයේ පදනම බවට පත්වී ඇත.[1]

 

ශාන්ත බෙනඩික් සිය ජීවිතය තුළ කරනලද මහඟු සේවය තවදුරටත් ඉදිරියට ගෙනගිය පුද්ගලයෙකු ලෙස රෝමයේ විසූ පැවිද්දෙකුවන මහා ග්‍රෙගරි පාප්තුමා (ක්‍රි. ව. 540-604) හැඳින්විය හැකිය. පාප්තු‍මකු වශයෙන් අඳුරු යුගය තුළ ඔහු කරන අද්විතීය සේවය නිසා ඔහු මහා ග්‍රෙගරි යන නමින් හැඳුන්වන්නට විය. සභාව සවිශක්තිමත් කිරීමටද ම්ලේච්ඡ ජාතිකයන් අතර ක්‍රිස්තු ධර්මය පැතිරවීමටද ඔහු දිවා රෑ නොබලා වෙහෙස මහන්සි විය. එංගලන්තය ආක්‍රමණය කර එහි විශාල කොටසක් අල්ලාගෙන සිටි ඇන්ගල්වරු සහ සැක්සන්වරු යන ගෝත්‍රිකයින් ක්‍රිස්තියානියට හරවාගනු ලැබුවේ ඔහු එහි යවනු ලැබූ ධර්ම දූතයින් විසිනි.

 

තවද ක්‍රිස්තියානි ස්තෝත්‍ර පූජාවට හෙවත් යුකරිස්තියට සංගීතය ඇතුළත් කරනු ලැබුවේද මහා ග්‍රෙගරි පාප්තුමා විසිනි. ඒ සඳහා ඔහු අළුත්ම සංගීත ක්‍රමයක් නිර්මාණය කළ අතර එය “ග්‍රෙගරියානු සජ්ඣායනා ක්‍රමය” (Gregorian Chant) සේ පසුකාලීනව හැඳින්වෙන්නට ද විය.

 

   ගෝත්‍රික ආක්‍රමණ එල්ල වූ යුගයේදී ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය ආරක්ෂාකර දුන් චාල්ස් අධිරාජ්‍යයාට (ක්‍රි. ව. 742-814) වැදගත් තැනක් හිමිවේ. ඔහුගේ සම්පූර්ණ රාජ්‍ය කාලය තුළ ඔහු යුද්ධවල යෙදී සිටියේය. ඔහු මෙම ක්‍රියා සැලකුවේ ආක්‍රමණකාරි ක්‍රියා සේ නොව මිනිසුන් ශිෂ්ටාචාර කරවීමේ ක්‍රියා සේය. සැක්සන්වරුන්ට හා ප්‍රීසියන්වරුන්ට එරෙහිව ඔහු මෙහෙයවූ සටන් වලදී ඔහු තමන් සැලකුවේ යුද භටයෙකුට වඩා ක්‍රිස්තියානි ධර්ම දූතයෙකු සේය. ස්පාඤ්ඤ තුළ ඔහු අරාබිවරුන්ගේ බලය සීමා කළ අතර ඉතාලිය තුළ ලොම්බාඩ්වරු නැමති ගෝත්‍රිකයන්ගේ තර්ජන වලින් පාප්වරුන් බේරා ගත්තේය.

 

ම්ලේච්ඡ ජාතීන්ගේ ආක්‍රමණ දිගින් දිගටම ඇති වීම නිසා මහා චාල්ස් අධිරාජ්‍යයා විසින් ගොඩනගන ලද ශිෂ්ටාචාරය ඔහුගේ මරණින් පසුව වැඩි කල් පැවතුනේ නැත. ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණ වලට පාප්වරුන්ගේ පාලනය පවා හසුවිය. නවවෙනි හා දසවෙනි සියවස්වල ඇති වූ එවැනි බියකරු සිද්ධීන් අතර වුවද මහා චාල්ස් අධිරාජ්‍යා විසින් පැළ කරන ලද ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයේ බීජය පොළව යට නෙමැරී ආරක්ෂා විය. මධ්‍ය කාලීන සාමාන්‍ය ජනයා අතර ඔහු දේවත්වයෙන් සැලකූ අතර එම නිසාම ඔහු චාලිමේන් හෙවත් මහා චාල්ස් යනුවෙන් පසු පරම්පරාවල් හඳුන්වනු ලැබීය.[1]



[1] ඇන්ටනි ප්‍රනාන්දු, ආරම්භයේ සිට අද දක්වා ක්‍රිස්තියානියේ ඉතිහාසය සාහිත්‍යය හා කලාව, අන්තර් සංස්කෘතික පොත් ප්‍රචාරකයෝ, කඩවත. 1996. පිටු 27.


9.  සමාලෝචනය

 

ක්‍රිස්තියානි ධර්මය ආරම්භ වීමට පෙර සිටම ඊට අවශ්‍යය පසුබිම රෝම අධිරාජ්‍යය තුළ සැකසෙමින් තිබිණ. ග්‍රීසිය හා රෝමය කේන්ද්‍ර කරගත් ප්‍රදේශවල බහු‍දේවවාදය ක්‍රියාත්මක වූ අතර එය අනුගමනය කිරීම එහි ජනතාවට මහත් පීඩාකාරී විය. මන්දයත් දෙවි දේවතාවන් වැඩිවත්ම සිදු කළ යුතු පුද පූජා විධි අධික වීමත් සිදු කළ යුතු වියදම් වර්ධනය වීමත්ය. ඔවුන්ට අවශ්‍යය වූ ඒකදේවවාදය මැදපෙරදිග ඊශ්‍රායලය කේන්ද්‍ර කරගෙන පැවති යුදෙව් දහම තුළ පැවතියත් එම ධර්මය යුදෙව්වන් නොවන අයට ඇදහීම සඳහා තහනම් විය. ජේසුස් වහන්සේ සිදුකරනු ලැබුවේ එම යුදෙව් ධර්මයම අවිහිංසාවාදී ලක්ෂණද ඇතුලත් කරමින් සියළු දෙනාටම දේශනා කිරීමයි. ඔහු උපතින් යුදේව්වෙක්වීම හේතුවෙන් ඔහුට යුදෙව් ධර්මය පිළිබඳවද මනා දැනීමක් පැවතින.

 

ඔහුගේ මරණින් පසු ඔහුගේ අනුගාමිකයෝ ඔහුව දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස සැලකූ අතර ඔහුගේ ධර්මය යුදෙව්වන් මෙන්ම යුදෙව් නොවන සියළුදෙනා අතරද ප්‍රචාරය කිරිමට මූලික විය.

 

අඳුරු යුගය පිළිබඳව සැලකිල්ලට ගත්විට එම සමය නියම වශයෙන්ම අඳුරු වූයේ එය රෝම අධිරාජ්‍යය හා එයින් බිහි වූ ශිෂ්ටාචාරයේ පැත්තෙන් ගත් විට පමණි. එම යුගය රෝම අධිරාජ්‍යය හා ශිෂ්ටාරයේ පරිහානිය සිදු වූ යුගය විය. එහෙත් ක්‍රිස්තියානියේ පැත්තෙන් ගත් විට අළුත්ම ශිෂ්ටාචාරයක් වශයෙන් එය පණ ගැන්වෙන්නට පටන් ගත්තේද එම යුගයේදීමය. ක්‍රිස්තියානියේ නව පිබිදීමකට තුඩු දෙන කරුණු හැම පැත්තෙන්ම දිස්වෙන්නට වූයේ එම කාලයේදීය. ගෝත්‍රික ආක්‍රමණ වලට මුහුණ දිය හැකි සමාජ බලයක් වශයෙන් ක්‍රිස්තියානිය මෙම යුගයේදී වර්ධනය වන්නට විය. ශාන්ත පැට්‍රික් වැන්නන් විසින් මිනිසත්කම වඩන ක්‍රමයක් සේ ක්‍රිස්තියානි ධර්ම දූත සේවාව ක්‍රියාත්මක වූයේද එම කාල පරිච්ඡේදය තුළදීය. තාපස ක්‍රමය පණ ගැන්වූ ශාන්ත බෙනඩික් වැන්නන්ද, ක්‍රිස්තියානි සභාව සවිශක්තිමත් කර නවතම සංගීත ක්‍රමයක් මඟින් ක්‍රිස්තියානි වන්දනාව අලංකාර කළ මහා ග්‍රෙගරි පාප්තුමන්ලාද, ම්ලේච්ඡ ජාතීන් අතරින්ම ක්‍රිස්තියානි සංස්කෘතියට නව මුහුණුවරක් දුන් මහා චාල්ස් වැන්නකුද බිහි වූයේ එම යුගය තුළදීය.  

 

මෙලෙසින් ක්‍රිස්තියානි ධර්මයේ ආරම්භයේ සිට ‍ගෝත්‍රික ආක්‍රමණ යුගය දක්වා සිදු වූ වර්ධනයන් හා විජයග්‍රහණ සැකෙවින් ඉදිරිපත් කළ හැක.

 

ආශ්‍රිත ග්‍රන්ථ නමාවලිය.

      

ඇන්ඩර්සන්, බර්නාඩ්. ඩබ්., පරණ ගිවිසුමේ ජීවමාන ලෝකය, ලංකා දේවධර්ම ශාස්ත්‍රාලය, පිළිමතලාව. 1980.


ප්‍රනාන්දු, ඇන්තනි., ආරම්භයේ සිට අද දක්වා ක්‍රිස්තියානියේ ඉතිහාසය සාහිත්‍යය හා කලාව, අන්තර් සංස්කෘතික පොත් ප්‍රචාරකයෝ, කඩවත. 1996.

ග්‍රාන්ට්, මයිකල්., රෝමන්වරුන්ගේ ලෝකය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2007.

 පෙලම්, එච්. එෆ්‍., ‍රෝම ඉතිහාස සාරය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2014.

 රාවෝ, බී. වී., ලෝක ඉතිහාසය , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003.

         විජේතුංග, නවනැලියේ., ලෝක ඉතිහාසයේ අමරණීය සිහිවටන, කර්තෘ ප්‍රකාශන, මුල්ලේරියාව. 2009.

 වොන්ඩ්, ජේ. ඩබ්ලිව්. සී., මුල් යුගයේ ක්‍රිස්තු ශාසන ඉතිහාසය, ලංකා දේවධර්ම ශාස්ත්‍රාලය, පිළිමතලාව. 1972.

 

මාර්ග ආයතනය, ලෝකයේ කතාන්තරය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10