Tuesday 15 December 2020

16වන සියවසේ යු‍රෝපයේ ඇති වූ ආර්ථික පරිවර්ථනයේදී වාණිජ නගරවල වැදගත්කම.

 

16වන සියවසේ ආරම්භයේ දී පමණ යුරෝපයේ පැවති දේශපාලන හා ආර්ථික සංස්ථා සියල්ලම පාහේ පරිහානියට පත්වෙමින් නූතන සංස්ථා රැසක් ආරම්භ වීම දක්නට හැකි විය. එහි දී පැවති සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමය වූ ප්‍රවේණි ක්‍රමය වෙනුවට වෙළඳාම පුළුල් ලෙස පැතිරුණු ධනවාදී ආර්ථික ක්‍රමයකට පදනම වැටුණු අතර රදල පාලනය වෙනුවට නව ආකාරයක පාලන ක්‍රමයක් ද ඇතිවෙන ලදි. නමුත් කාලයක් මුළුල්ලේ පැවති පාරම්පරික සම්ප්‍රදායන් හා පුරුදු මුළුමනින්ම ක්ෂය වී නොයන ලදි. මෙයට ප්‍රධානතම හේතුව වූයේ 10වන සියවසේ දී පමණ ඇති වූ කුරුස යුද්ධයයි. කුරුස යුද්ධය නිසා යුරෝපයේ රටවල් එකිනෙකට ගැටුණු අතර එමගින් එම රටවල් අතර පුළුල් ලෙස වෙළහෙලඳාම ආරම්භ වූ  අතර “ෆ්ලෝරීන්” හා වැනීසියේ “ඩුකාට්” (Ducat) කාසි බටහිර රටවල් වලට ගලා එන්නට විය. භාණ්ඩ හුවමාරුව හා වෙළඳාම තුලින් යුරෝපයේ “මූල ධනය” (Capital) එක්රැස් වන්නට විය.  මූල ධනය එක් අතකින් ඉතිරි කිරීමක් ද වූ අතර අනෙක් අතට විදේශ විනිමය (Foreign Exchange) ලබා දෙන්නක්ද විය.

තවද යුරෝපයේ 16වන සියවසේ වෙළඳ කටයුතුවල ශීඝ්‍ර දියුණුවට හේතු වූ සාධකයන් කීපයක් විය. මධ්‍යතන අවධියෙන් පසුව ගොඩනැගුණු නව රාජාණ්ඩු ක්‍රමයන් යටතේ යුරෝපා රාජ්‍යන්හි ජාතික ප්‍රතිපත්ති හා ජාතික බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම එක් සාධකයකි. තවලම් වලින් ගිය වෙළඳුන්ට සොර සතුරන්ගෙන් සිදුවන අලාභානි වැලැක්වීම සහ මාර්ග ප්‍රතිසංස්කරණ සඳහා නීති රීති පැනවීම මඟින් වෙළඳ කටයුතු වලට රුකුලක් ලැබීම අනෙක් සාධකයයි. එමගින් යුරෝපා ආර්ථිකය ක්‍රමයෙන් පරිවර්තනය වන්නට විය.  

රදල පන්තිය හා නිලකාර පන්තිය වෙනුවට සමාජයේ නව පන්තීන් තුනක් නිර්මාණය විය. මෙම පන්තියට අමතරව කම්කරුවන්, සුළු වෙළඳුන්, ශිල්පාචාරයන්, නාවික ශිල්පීන් හා අතවැසි ශිල්පීන්ගෙන් සෑදුණු සංකීර්ණ පන්තියක් ද නිර්මාණය විය. මෙම සමාජ කොට්ඨාශයට ම නිර්ධන පන්තියත්, මඳක් ධනවත් පිරිසත් අයත් වූහ. මෙහි දී විශාල කම්කරු පන්තියක් බිහි වූයේ නිර්යාත වෙළඳාම උදෙසා කර්මාන්ත දියුණු වූ ස්ථානවලය. වෙළඳාම දියුණු වීමත් වීම සමඟ නව ආකාරයක ධනයක් රාජ්‍යයන් තුලට ලැබීමෙන් අයබදු අය කිරීම සඳහා නව ක්‍රමවේදයක් අවශ්‍ය විය. රදල පන්තිය හා පූජක පක්ෂයට පමණක් සීමාව පැවතුණු උසස් බව හෝ වංශාධිපති තත්වය කර්මාන්ත, වෙළඳාම හා බැංකු, වාණිජ ක්‍රම මඟින් ලබා ගත හැකි බව මධ්‍යම පන්තියට වැටහෙන ලදි. නිලකාරකම වෙනුවට ශ්‍රමය සඳහා ලැබෙන වේතනයක් වෙනුවෙන් කම්කරුවන් එකඟ වීමත් සමඟ වේතන ක්‍රම මත පදනම් වූ සමාජ ක්‍රමයක් කරා පරිවර්තනය වීම 16වන සියවසේ දී යුරෝපයේ සිදු වූ ප්‍රධාන ආර්ථික වෙනස්කමක් වශයෙන් සැලකිය හැකිය. 

16වන සියවස ආරම්භ වන විට වැඩවසම් ක්‍රමය බිඳ වැටී වෙළඳ වරායන් මත පදනම් වෙමින් විවිධ ජාතීන් අතර සිදු වූ වෙළඳාම දියුණු වීමෙන් වාණිජවාදය  (Mercantilism) ආරම්භ වීමට පටන් ගන්නා ලදි. කලින් රටක් තුළ පැවති  වෙළඳපොළවල් වෙනුවට අවුරුද්ද පුරා භාණ්ඩ මිලට ගැනීම හා විකිණීම සඳහා වරායන් විවෘත කර තැබීම නිසා වාණිජවාදය ක්‍රමයෙන් දියුණු විය. ඒ සමඟ පාරිභෝගික (Consumer) ලෝකයද ක්‍රමයෙන් පුළුල් විය. ආහාරපාන, ඉන්ධන සහ මුද්‍රික පානයන්හි නිෂ්පාදනය, ග්‍රාමීය ප්‍රදේශයන්හි ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. ග්‍රාමීය ප්‍රදේශ වලට අවශ්‍ය වූ මාළු හෝ ලුණු මෙන් ම ගොඩනැගිලි තැනීමට අවශ්‍ය වූ දැව, තොග වශයෙන් ඈත රටවල සිට ගෙන ඒමට සිදුවීමෙන් වාණිජ ලෝකය තවදුරටත් පුළුල් විය.  

වැඩවසම් ආර්ථිකය පරිහානියට පත් වීමත් සමඟ රජුගේ බලයට ප්‍රබල බාධකයක්ව පැවති ක්‍රිස්තු පල්ලියේ ආධිපත්‍ය නව පාලන ක්‍රමය යටතේ බිඳවැටිණ. 16වන සියවසේදී පමණ යුරෝපයේ සිදු වූ ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයද සෘජුව හා වක්‍රව එකල ආර්ථික පරිවර්තනයට බලපෑමක් එල්ල කරන ලදි. එමඟින් යුරෝපයේ රාජාණ්ඩු වලට ආගමික බලපෑමෙන් මිදී ස්වාධීන ආර්ථිකයක් සහිත ජාතික රාජ්‍යන් බිහිකර ගැනීමට හැකි විය. ඒ අනුව ජාතික රාජ්‍ය වල ස්වාධිපත්‍ය බලය තහවුරු විය. ඒ හේතුවෙන්ම ජාතික රාජ්‍ය වල පරිපාලන හා වෙළඳ කටයුතු පහසුවෙන්ම කර ගෙන යාම සඳහා සමස්ත රාජ්‍යටම පොදු වූ ඒකීය නීති පද්ධතියක් හා ඒකීය බදු ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට හැකි විය. 

වඩා ශක්තිමත් රාජ්‍යන් මතුවීමත් සමඟ 1500 පමණ වන විට වෙළඳාම හා නිෂ්පාදනයේ වර්ධනය මත පදනම් වෙමින් යුරෝපා සිතියම වෙනස් වන්නට විය. 16වන සියවස ආරම්භ වන විට යුරෝපා ජනගහණයද ක්‍රමයෙන් වර්ධනය වූයෙන් ඒ මත පදනම් වූ ආර්ථික ක්‍රමය ද ප්‍රබල ලෙස වර්ධනය විය. එපරිද්දෙන් වර්ධනය වූ ආර්ථික ක්‍රමයට රුකුලක් සපයනු වස් ඉතාලිය කේන්ද්‍රකොට ගනිමින් මුදල් මාරු කිරීමේ ක්‍රමයක් ලෙස බැංකු ක්‍රමය වර්ධනය වන ලදි. මෙසේ යුරෝපයේ දේශපාලන වශයෙන් සිදු වූ වෙනස්කම් ආර්ථික වෙනස්කම් මත පදනම් වීමට පටන් ගත් බව කිව හැකිය. 

16වන සියවස පමණ වන විට යුරෝපය වාණිජවාදය නමින් හැඳින්වෙන නව ආර්ථික දර්ශනයක් ඔස්සේ සකස්වන ආකාරයක් දැකිය හැකිය. ඝන රන්වාදය, හිතකර වෙළඳ ශේෂය, රජයේ ආර්ථික කටයුතු වලට මැදිහත් වීම හා පාලනය කිරීම සහ ස්වයංපෝෂිත වීම යනාදිය වාණිජවාදයේ මූලික ලක්ෂණ විය. 

මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානයට ලක් වන්නේ ඝන රන්වාදයයි. ඝන රන්වාදය යනු කිසියම් රටක් තුල එක් රැස් වී ඇති වස්තුවේ වටිනාකම ඝන රන් රිදී සංචිත මිනුම් දණ්ඩ ලෙස ගෙන එහි වත්කම තක්සේරු කිරීමයි. මේ අනුව වර්ධනය වූ සෑම ජාතික රාජ්‍යක්ම  උත්සාහ කරනු ලැබුවේ හැකිතරම් මුදල් සහ ඝන රන් රිදී සංචිත තම රට තුල වර්ධනය කර ගැනීමටයි. ඒ සඳහා අවශ්‍ය වස්තුව තම රට තුලින් ම හෝ යටත් විජිත වලින් හෝ විදේශ වෙළඳාම තුලින් හෝ එක් රැස් කර ගත යුතු විය. තවද ස්වයංපෝෂිත බව ඇති කර ගැනීම සහ හිතකර වෙළඳ ශේෂයක් තබා ගැනීම සඳහා අවශ්‍ය වෙළඳ භාණ්ඩ සහ අමු ද්‍රව්‍ය ලබා ගැනීමටත් නිෂ්පාදිත භාණ්ඩ අලෙවි කිරීමටත් යුරෝපයෙන් පිටත වෙළඳපොළක් තිබිය යුතු විය. ඒ අනුව යටත් විජිත අධිරාජ්‍ය සහ වාණිජ නාවික කණ්ඩායම් ගොඩනගාගෙන ආර්ථික කටයුතු වලට මැදිහත් වීම නව ජාතික රාජ්‍යන්හි ආර්ථිකයට අත්‍යාවශ්‍ය සාධකයක් විය. මේ හේතුවෙන් ම බෙදී විසිරී පැවති රාජ්‍යයන් මධ්‍යගත පාලනයක් යටතේ ශක්තිමත්ව ගොඩනැගෙන්නට විය. මේ කාලය වන විට යුරෝපීය නව රාජාණ්ඩුවල රජවරුට ද වෙළඳාම තුළින් විශාල ලාභ උපයාගත හැකි බව පෙනී යන ලදි. ඒ හේතුවෙන් ඔවුන් වෙළඳ කටයුතු සඳහා අනුග්‍රහය දක්වන ලදි. රජවරු වැඩවසම් යුගයේ මෙන් වංශාධිපතීන් සමඟ නොව අළුතින් ගොඩනැගෙමින් ආ වෙළඳ පන්තිය  සමඟ සබඳතා ගොඩනගා ගත් අතර එය වෙළදාමේ හා වාණිජවාදයේ වර්ධනයට ද හේතුවිය. 

16වන සියවස පමණ වන විට සිදුවුණු ආර්ථික පරිවර්තනයේදී වෙළඳාම සහ නගර දියුණු වීම අනෝන්‍ය වශයෙන් බලපෑම් සහිතව වර්ධනය වූ ක්ෂේත්‍ර දෙකකි. ආරම්භයේදී වෙළඳාම මත පදනම් වූ වාණිජවාදය ව්‍යාප්ත වූයේ ඒ ඒ රාජ්‍යන්හි අභ්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන කේන්ද්‍ර කොට ගනිමිනි. ආරම්භයේදී ප්‍රවේණි ක්‍රමය පිරිහීමත් සමඟ හා වර්දනය වූ වාණිජවාදයත් සමඟ නිදහස ලබා ගත් ඇතැම් ප්‍රවේණි දාසයන් කුඩා කුඩා වෙළඳ නගර පිහිටුවා ගන්නා ලදි. ඒ සමඟම සිදු වූ ජන සංක්‍රමණ හේතුවෙන් එම කුඩා නගර විශාල නගර බවට පත් වූ අතර ස්වයංපෝෂිත ප්‍රවේණි ක්‍රමය පරිහානියට පත්වීමෙන් ඇති වූ ජනතා අවශ්‍යතා සපුරාලීමේ කාර්යයද එම නගර මඟින් සිදුකරන ලදි. ගොවීන්ගේ සහ ඉඩම් හිමියන්ගේ අතිරික්ත නිෂ්පාදන අලෙවි කිරීමද ඔවුන්ට අවශ්‍ය දෑ පිටතින් ලබා දීමද ප්‍රවේණිවලින් නිදහස පතා පැන යන ප්‍රවේණි දාසයන්ට රැකවරණය ලබා දීමද එම නව නගර වලින් සිදු විය. මේ හේතුවෙන් එම නගර වාණිජ නගර ලෙස ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. 

දුර බැහැර ප්‍රදේශ සමඟ හා විදේශයන් සමඟ වෙළඳ කටයුතුවල යෙදුණු වෙළඳුන්ට ආරක්ෂාව හා ගමනාගමන පහසුකම්, නවාතැන් පහසුකම් ආදිය අවශ්‍ය වූයෙන් ඔවුහු එම වාණිජ නගර වල පදිංචිවන්නට විය. වෙළඳාම පුළුල් වී මුදල් පරිහරණය වැඩි වීම සමඟ ඉහත සඳහන් කළ ආකාරයට බැංකු වැනි පහසුකම් සම්පාදනය කිරීමට විධිවිධාන යෙදීමද නගර වර්ධනයට හේතු විය. 16වන සියවස පමණ වන විට යුරෝප‍ය පුරා හතු පිපෙන්නාක් මෙන් නගර රාශියක් මතු වී ගිය බව ඊ. මැක්නල් වර්න්ස් නැමැති ඉතිහාසඥයා දක්වයි. රෝම යුගයේදී  දියුණුව පැවති නමුත් පසුව පරිහානියට පත් වූ නගර කීපයක්ද හා රෝම අධිරාජ්‍යයට අයත් නොවූ ජර්මන් ප්‍රදේශ වලට අයත් නගර වන ප්‍රීබර්ග්, ලුබෙක්, මියුනිච් හා බර්ලින් ආදී නව නගරද කලින් පරිහානියට පත්ව තිබූ එංගලන්තයේ ලන්ඩන්, ප්‍රංශයේ පැරිස් හා කොලොග්නේ වැනි නගරද විශේෂිත වූ බව පෙනේ. නමුත් ප්‍රමුඛ ලෙසම 15වන සියවසෙන් පසුව නගර සහ නාගරික ජීවිත පුළුල් ලෙස වර්ධනය වූ ඉතාලියේ වෙනීස්, ජිනෝවා, මිලාන්, බොලොඤ්ඤා, ෆ්ලෝරන්ස් හා නේපල්ස් යන නගරද යුරෝපා ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරන ලදි. 

නාගරික පන්තියක් මතු වීමත් සමඟ එම නගර කිසියම් විශේෂිත ක්ෂේත්‍ර සඳහා අවධානය යොමු කළ බව පෙනී යයි. ඒ අනුව ප්‍රංශයේ පැරිස්, ඉතාලියේ බොලොඤ්ඤා, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් වැනි නගර විශ්ව විද්‍යාල සඳහා ද ඉතාලියේ ජිනෝවා, වෙනීස් හා ප්‍රංශයේ කොලොග්නේ වැනි නගර දුර බැහැර ප්‍රදේශ සමඟ වෙළඳ කටයුතු සඳහා ද මිලාන් සහ කෙන්ටා කාර්මික භාණ්ඩ හා රෙදි පිලි නිෂ්පාදනය සඳහාද ප්‍රසිද්ධියක් ඉසිලීය. මෙසේ විශේෂිත ක්ෂේත්‍රයන් සඳහා ප්‍රධාන පෙළේ නගර බවට පත් වූ මෙම නගර දියුණු වීමත් සමඟ එම නගර වල පැවති විවිධ රැකී රක්ෂා කේන්ද්‍ර කොට ගනිමින් විවිධ වාණිජ ක්ෂේත්‍ර සඳහා ශ්‍රේණි (Gilds) සංවිධානය වීමක්ද දැකිය හැකිය. කම්කරුවන්, ශිල්පීන්, වෙළෙන්දෝ සහ නිෂ්පාදකයෝ තම කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා වෙළඳ ශ්‍රේණි සහ ශිල්ප ශ්‍රේණි වශයෙන් සංවිධානය වීමක් සිදුවිය. මෙම ශ්‍රේණි යනුවෙන් අදහස් වූවේ රජයේ නීතිවලට අනුකූලව යම් කිසි ශිල්පයක් ක්‍රියාත්මක කිරීමේ ඒකාධිකාරයක් ලැබූ කාර්මික මණ්ඩලයකි. මෙ‍ම ශ්‍රේණීන්ගේ ප්‍රභවය ස්වේච්ඡා සංගම් හා රාජ්‍ය නීති රීති යන කරුණු දෙක එකතු වීමෙන් සිදු විය. මෙම ශ්‍රේණි ආර්ථික කටයුතුවල දී ප්‍රමුඛ විය. එමගින් නාගරික ආරක්‍ෂණ ක්‍රමය ද (Urban Protection)  වර්ධනය විය.

මෙසේ වර්ධනය වූ නගර කේන්ද්‍ර කොට ගනිමින්, නගර අතරත්, රටවල් අතරත් වාණිජ සම්බන්ධතා වර්ධනය විය. වෙළඳාම පුළුල් වී ධනය එකතු වීම නිසා වෙළඳ කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා විනිමය ක්‍රම ආරම්භ වන ලදි. ඒ අනුව කාසි අච්චු ගැසීම සිදු වූ අතර මුදල් හුවමාරු කිරීම සඳහා බැංකු ක්‍රම ආරම්භ වන ලදි. එලෙස වර්ධනය වූ වාණිජ  කටයුතු සඳහා විදේශ වලට යාමේ දී මුලදී විශාල කාසි පොදි රැගෙන යාමට සිදු වුවත් විනිමය බිල්පත් ක්‍රමය හඳුන්වා දීමත් හා බැංකු පහසුකම් වර්ධනය වීමත් සමඟ 16වන සියවස පමණ වන විට යුරෝපයේ ඕනෑම ප්‍රදේශයකට විශාල මුදල් ප්‍රමාණයක ගනුදෙනු කටයුතු සඳහා නියැලීමේ හැකියාව වර්ධනය විය. මෙලෙස වර්ධනය වූ මූල්‍ය පහසුකම් සමඟ 16වන සියවසේ දී රට අභ්‍යන්තර වෙළඳාමට මෙන් ම ජාත්‍යන්තර කටයුතු සඳහා ද පහසුකම් යුරෝපයේ වර්ධනය විය. තනිව ව්‍යාපාර කටයුතුවල නියැලීම අවදානම් වීම හේතුවෙන් පසුව බද්ධ ව්‍යාපාර ද බිහි වෙන ලදි. 

මධ්‍යධරණි ප්‍රදේශ වලට මෙන්ම ජර්මන් සහ වයඔ දිග යුරෝපීය රටවල වෙළඳුන්ට, ව්‍යාපාරිකයන්ට හා භාණ්ඩ නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබා දීමේ කටයුතු ජර්මනියේ ෆ්‍යුගර් පවුල මඟින් සපයන ලදි. ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ වර්ධනය වූ මෙඩිසි පවුලද විශාල ලෙස යුරෝපයේ මූල්‍ය කටයුතු වලට දායක විය. ඉතාලියේ මෙඩිසි බැංකුවේ අධිපතීන් වූ එම පවුල යුරෝපයේ වෙළෙන්ඳන්ට, ව්‍යාපාරිකයන්ට හා රජවරුන්ට පොලී ක්‍රමයට ණය ලබා දෙන ලදි. ඉහළ පොලියට බැංකු වලින් ණය ලබා දීම ක්‍රිස්තියානි පල්ලියේ විවේචනයටද ලක් නොවීය. 16වන සියවස පමණ වන විට ෆ්ලෝරන්ස්හි රන් කාසි යුරෝපීය රටවල පොදු වශයෙන් භාවිතා වූ කාසි වර්ග විය. 15වන සියවසේ එංගලන්තයේ රජු පවා ෆ්ලෝරන්ස් වෙලෙන්ඳන්ගෙන් ණය ලබා ගන්නා ලදි. මෙඩිසි පවුල විසින් පාලනය කළ ෆ්ලෝරන්ස් නගරය යුරෝපයේ නව නගර රාජ්‍යයන්  බිහි වීමත් සමඟ මතු වූ අද්විතීය නගරයකි. යුරෝපයේ ආර්ථික පරිවර්තනයත් සමඟ ඇති වූ නව යුරෝපය මුල් කාලීනව වර්ධනය වූයේද ඉතාලියේය. 

වෙළඳාම හා කර්මාන්ත දියුණුවීම මෙන්ම මුදල් ආයතන ආරම්භ වීම නිසා ඉතාලියේ මෙන්ම යුරෝපයේ සමාජ ක්‍රමයද 16වන සියවසේ සිට වෙනස් වන්නට පටන් ගෙන තිබුණි. වැඩවසම් ක්‍රමය යටතේ සමාජය පන්ති තුනකට බෙදා තිබුණි. එයින් 85%ක් පමණ වූ බහුතරය ග්‍රාමීය ජනයා විය. එම ග්‍රාමීය ජනයාට නීතියෙන් තත්වයක් නොතිබීය. නගර බිහි වී මුදල් භාවිතය ආරම්භ වීමත් සමඟ සමාජයේ පොදු වශයෙන් වෙනස්කම් ඇතිවුණි. ගෙදර දොර, යාන වාහන, ඇඳුම් පැළදුම්, කෑම බීම, විනෝද සහ උත්සව ආදී වශයෙන් සමාජීය වෙනස්කම් ඇති වුණි. වැඩවසම් සමාජය දෙදරා ගොස් රදල හෙවත් වංශාධිපතීන් වෙනුවට වෘත්තීන්ගෙන් සැදුම්ලත් හා ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් මධ්‍යම පන්තියක් නිර්මාණය විය’ 

 ජනගහනය වර්ධනය වීමත් සමඟ යුරෝපයේ වෙළඳ හා කාර්මික අංශයේ ශීඝ්‍ර දියුණුවක් සිදු විය. මෙම වෙළඳ හා කාර්මික කටයුතු නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කොට ගත් හෙයින් නාගරික ප්‍රදේශයන් වර්ධනය වන්නට විය. ඒ අනුව වෙළඳාමට උචිත ප්‍රදේශ යුරෝපය පුරා වර්ධනය විය. උතුරු ජර්මනියේ වෙරළ බඩ ප්‍රදේශ සහ එල්බ් නදියට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශ වල වෙළඳ නගර ඉතා සශ්‍රීක විය. එංගලන්තයේ නිපදවන ලොම් රෙදි, අනෙකුත් යුරෝපීය රටවලට යැවීම හේතුවෙන් නිර්යාත වෙළඳාම දියුණු විය. වාණිජ නගර වර්ධනයෙහිලා එම වෙළඳ දියුණුව මහෝපකාරී විය.

වාණිජ නගරයන්හි භූ ගෝලීය පිහිටීම පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ ඉතාමත් සමෘද්ධිමත් වාණිජ නගරයන් ඉතාලියේ හා දකුණු ප්‍රංශයේ සිට ෆ්ලාන්ඩස් ප්‍රදේශ දක්වා විහිදී ගිය වෙළඳ මාර්ගයන් අතර පිහිටා තිබූ බවයි. එම වාණිජ නගර බොහෝ විට ස්වාභාවික වරායන්, ගංගා මෝයයන් හා සමුද්‍රයෙහි යාත්‍රා කිරීමට හැකි ස්ථානයන්වලය. ඒ අතුරින් බ්‍රයි හා චැම්පේන් යන ප්‍රදේශයන්හි  පැවති වාණිජ නගර ප්‍රමුඛ විය. චැම්පේන්හි පැවති වාණිජ මධ්‍යස්ථානයෙහි දී උතුරේ හා දකුණේ වෙළඳුන් හමු වී වෙළඳ භාණ්ඩ හුවමාරු කර ගත්හ. ඉතාලි වෙළඳුන් විසින් චැම්පේන් ප්‍රදේශයන්හි පිහිටි වෙළඳ මධ්‍යස්ථානයන්ගෙන් මිලදී ගෙන මධ්‍යධරණි ප්‍රදේශයන්හි අලෙවි කරන ලද රෙදි ගෙන්වන ලද්දේ ෆ්ලාන්ඩස් ප්‍රදේශ වල සිටය. 

ඉතාලියේ සේද කර්මාන්තය හා රෙදි විවීම වැදගත් ක්ෂේත්‍රයන් වූ අතර වඩාත් ම වැදගත් වූයේ ඉතාලි  නගරයන්හි පිහිටුවා තිබූ වාණිජ මධ්‍යස්ථානයන්ය. එම වාණිජ නගරයන්හි බැංකු හා සමාගම් තම ශාඛා හා නියෝජිතයන් ඇල්ප්ස් කඳුකරයේ උතුරින් පිහිටි නගරයන්හි පිහිටවූහ. එමඟින් මධ්‍යධරණී ප්‍රදේශයන්හි පැවති ආර්ථික ප්‍රබෝධයට නොදෙවෙනි ආර්ථික ප්‍රබෝධයක් උතුරු මුහුද අසබඩ ප්‍රදේශයන්හි ඇති විය. ඒ හේතුවෙන් ලන්ඩන් නගරයත් අනිකුත් යුරෝපා නගර අතරත් වෙළඳාම දියුණු විය. 

මෙම රටවල සමාජීය හා ආර්ථික දියුණුව  යුරෝපයේ ඇති වූ ආර්ථික පරිවර්තනයට බලපාන ලදි. ප්‍රථමයෙන් නින්ද ගම් ක්‍රමය පරිහානියට යමින් පැවති ගම්බද ප්‍රදේශ වල ඉඩම් හිමියන්ගේ තත්වය පිරිහෙන්නට විය. එමඟින් නාගරික ජනතාව වැඩවසම් බැමි වලින් මිදීමටත්, නගර දියුණු වීමටත්, ගැමි ජනතාවට සම්පූර්ණ පෞද්ගලික නිදහස දිනා ගැනීමටත් හැකි විය. වාණිජ හා කාර්මික දියුණුව හේතු කොට ගෙන ධනවත් පන්තියක් සමාජයේ ඉස්මතු වූ අතර ඔවුන් නගරයන්හි පාලනය සියතට ගන්නා ලදි. ඔවුන් සිය වාණිජ අවශ්‍යතා මූලික කොට ගෙන නගර පාලනය ක්‍රමවත් කරන ලදි. 

පොදුවේ බැලීමේදී පෙනී යන්නේ 16වන ශත වර්ෂයේ දී ඇති වූ ආර්ථික පරිවර්තන හේතුවෙන් යුරෝපයේ වාණිජ නගරයන්හි වැඩවසම් අංග නැති වී යාමට මඟ පෑදුණු බවයි. පැරණි ඉඩම් හිමි රදල පන්තියේ බලය බොහෝ දුරට පිරිහී ගිය අතර ගොවි ජනතාවගේ තත්වය දියුණු විය. වාණිජ නගර කේන්ද්‍ර කොට ගත් වෙළඳ පන්තිය ධනය හා බලය අතින් වර්ධනය වෙමින් සමාජයේ ඉදිරියට පැමිණියහ. එම වාණිජ පන්ති මීළඟ ශතවර්ෂ කීපය තුල දී  යුරෝපයෙහි පමණක් නොව මුළු ලෝකයේ ම ප්‍රමුඛත්වයට පත් වූ අතර සමස්ත ලෝක ඉතිහාසයම වෙනස් කරන ලදි. ඒ අනුව ගම්‍ය වන්නේ 16වන් සියවසේ දී යුරෝපයේ ඇති වූ ආර්ථික පරිවර්ථනයේදී වාණිජ නගරවල බලපෑම ඉතාමත් ප්‍රබල වූ බවයි. 


No comments:

Post a Comment