Friday 25 December 2020

17වන සියවසේ නව ලෝකයට යුරෝපා ව්‍යාප්තය.

 

1. හැදින්වීම

2. 17වන සියවසේ නව ලෝකයේ ලන්දේසි ව්‍යාප්තිය.

3. 17වන සියවසේ නව ලෝකයේ ප්‍රංශ ව්‍යාප්තිය.

4. 17වන සියවසේ නව ලෝකයේ ඉංග්‍රීසි ව්‍යාප්තිය.

5. 17වන සියවසේදී නව ලොව ජනපද පිහිටුවීම සඳහා ඉංග්‍රීසීන් හා ප්‍රංශයන් අතර ඇතිවූ බල අරගලය.

6. සමාලෝචනය.



1. හැදින්වීම

මානව කටයුතු අතරින් යුරෝපීය ජාතීන්  15 වන සියවසේ දී ඉමක් කොනක් නොපෙනෙන මහ සයුර තරණය කරමින් තමන් නොදන්නා නොයෙකුත් ප්‍රදේශ ගවේෂණය කරමින් නව ලෝකයට පැමිණිම එක්තරා අකාරයකට මානව ඉතිහාසය වෙනස් කල සාධකයක් විය. මෙම සොයා ගැනීම හේතු කොට ගෙන මිනිසාගේ ගමන් මඟ නොසිතූ අයුරින් පරිවර්තනයකට ලක් විය. මුල් කාලයේ දී එක් එක් ජාතීන්ට අවශ්‍ය වූවේ වාණිජ බලය තම තම තමන්ගේ රාජ්‍යවලට අයත් කර ගැනීමයි. පසුව මෙම දේශපාලන හා ආගමික බලය ව්‍යාප්ත කර ගැනීම දක්වා වර්ධනය විය.

මුල්කාලීන ඇමරිකාවට පැමිණි දේශගවේෂකයන්ට වඩා 15 වන සියවසෙන් පසුව පැමිණි වාර්තාකරුවන් හා ඉතිහාසඥයන් ඉතා විකෘති තොරතුරු දක්වා ඇති බව පෙනී යයි. බොහෝ විට පසු කලෙක බොහෝමයක් යුරෝපීය ග්‍රන්ථ රචකයන්  ස්වදේශිකයන් හඳුන්වා ඇත්තේ ම්ලේච්ඡයන් හා නොදියුණු ජනතාවක් ලෙසිනි.

අභිනව නාවික ගමන් හේතුවෙන් ලෝක ඉතිහාසය නව පරිච්ඡේදයකට අවතීර්ණ විය. මධ්‍ය ධරණී සමුද්‍රාසන්න රාජ්‍යවල අභිවෘධියට හේතු වූ යුරෝපීය ශිෂ්ටාචාරය උතුරු හා දකුණුදිග ඇමරිකානු ප්‍රදේශ කරා ක්‍රමයෙන් ව්‍යාප්ත විය. තවද සාගර සමුද්‍ර මාර්ගය ආධාරයෙන් විශාල පෘථිවි තලයේ ඉතාමත් දුර බැහැර ප්‍රදේශවලට පවා ලගාවීමට හැකි බව අවබෝධ විය. ආසියා, අප්‍රිකා හා ඇමරිකා මහද්වීපවලට මහා මාර්‍ගයක් බදු වූ සාගරයට මුහුණ ලා ඇති ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය, ප්‍රංශය හා එංගලන්තය ආදී බටහිර යුරෝපීය රාජ්‍යයන්වලට, එම රටවල ස්වාභාවික පිහිටීමෙන් ඉමහත් ප්‍රයෝජන ලබා ගැනීමට හැකි විය.

17වන සියවසට පෙර ස්පාඤ්ඤය හා පෘතුගීසීන් අළුත් වෙළඳ මාර්ග ඔස්සේ පෙරදිගට පමණක් නොව අපරදිගටද පැමිණීමට මහත් උත්සහයක් ගන්නා ලදි. මෙම ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපා ජාතීන්ට වැඩිකල් ගතවීමට පෙර නව ලෝකය ලෙස හඳුන්වනු ලැබූ ඇමරිකාව පිළිබඳ නොයෙක් කරුණු සොයා ගැනීමට හැකි විය. කොලොම්බස්, ඇමරිගෝ චෙසපුචී හා මැගලන් යනාදී දේශ ගවේශකයෝ මෙහිදී පුරෝගාමීන් විය.

මෙහි දී නව ලෝකය ලෙස සලකනු ලැබුවේ උතුරු, මධ්‍යම හා දකුණු ඇමරිකානු ප්‍රදේශයන්ය. 17වන සියවසේ උතුරු ඇමරිකාවේ යුරෝපීය ශිෂ්ටාචාරය මුල් බැස ගෙන තිබිණි. උතුරු ඇමරිකාවේ ප්‍රථමයෙන් ජනාවාස ඇති කරන ලද්දේ ඉංග්‍රීසි ජාතික සර් හම්ප්‍රි ඩේවිඩ් නැමත්තාය. ඒ අනුව 17වන සියවස අවසාන වන විට බ්‍රිතාන්‍යයන් විසින් ඇමරිකාවේ ජනපද 13ක් පිහිටුවාගෙන තිබෙන ලදි. ඒ අතර මැසචුසෙට්, නිව් හැම්ප්ෂයර්, කොනෙක්ටිකට් හා රෝඩ්ස් දිවයින් ද විය.

මෙම පැවරුම මගින් නව ලෝකය සොයා ගැනීමෙන් පසු 17වන සියවසේදී ඇමරිකාවේ ජනපද පිහිටු වීමේලා පුරෝගාමීන් වූ ප්‍රංශ හා ඉංග්‍රීසි ජාතිකයන්ගේ තරගය හා බල අරගලයත් එහිදී ස්වදේශිකයන්ගේ ක්‍රියාකාරකම් පිළිබදවත් වැඩි අවධානයක් යොමු කරන ලදි. තවද 17වන සියවස පමණ වන විට ඇමරිකාවේ ජනපද පිහිටු වීමේ තරගයෙන් අතුගැවී ගිය ලන්දේසි ආධිපත්‍ය පිළිබඳවද කෙටියෙන් තොරතුරු දැක්වීමට උත්සහ කරන ලදි.


 

2. 17වන සියවසේ නව ලෝකයේ ලන්දේසි ව්‍යාප්තිය.

17වන සියවස පමණ වන විට යුරෝපයේ ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ මුහුදු බලය අබිබවා යමින් ලන්දේසි බලය වර්ධනය වන්නට විය. එවකට ලෝක වෙළදාමේ සමස්තයෙන් අඩකටත් වඩා ප්‍රවාහණය කරන ලද්දේ ලන්දේසීන් විසිනි. ඔවුන් විසින් 17වන සියවස පමණ වන විට ස්පාඤ්ඤයන් සතු නව ලෝකය හෙවත් ඇමරිකානු ප්‍රදේශවලට ද තම අවධානය යොමු කිරන්නට විය. ඒ සඳහා ඔවුන් 1621දී ලන්දේසි බටහිර ඉන්දියා සමාගම  පිහිටුවා ගනු ලැබීය(Geoctroyeerde Westindische Compagni). එම සමාගම මඟින් පසු කාලීන ව නව ලෝකය හෙවත් ඇමරිකාවේ ලන්දේසි ජනපද පිහිටුවීම සිදු කරනු ලැබීය.

ඒ අනුව සමාගම විසින් පළමුවෙන් ම ලන්දේසි ජනපද පිහිටුවනු ලැබුවේ නිව්යෝර්ක්, නිව්ජර්සි, කනෙක්ටිකට් හා ඩෙලචෙයාර් යන ප්‍රදේශවල වූ අතර එම ප්‍රදේශ සියල්ල ම පොදුවේ නව නෙදර්ලන්තය ලෙස හදුන්වනු ලැබීය. මෙම ලන්දේසි ප්‍රදේශවල මූලිකව ම ලොම් වෙළදාමට ප්‍රමුඛත්වයක් දෙනු ලැබීය.

ලන්දේසීන් විසින් ආරම්භ කරන ලද ප්‍රධානතම ජනපදය වූවේ නිව්යෝර්ක් නමින් පසුව හැඳින්වූ නිව් ඇම්ස්ටර්ඩෑම් ජනපදයයි. ලන්දේසි සමාගම වෙනුවෙන් මෙම ප්‍රදේශ පළමුවෙන් ම ගවේශනය කරන ලද්දේ හෙන්රි හඩ්සන් නැමැත්තා විසින් 1609දීය. පසව ඕලන්ද රජුගේ ප්‍රදානයක් මත ලන්දේසි බටහිර ඉන්දියා සමාගම 1624දී මෙම ප්‍රදේශ ජනාවාස කිරීම ආරම්භ කරන ලදි. තවද ස්වීඩන් ජාතිකයන් විසින් 1626දී ඩෙලවෙයාර් ගඟ අසබඩ පිහිටුවන ලද ජනපදය ද ලන්දේසි වෙළඳ සමාගම විසින් මිලදී මෙම ජනපදයට ඈඳමින් නිව් ඇම්ස්ටර්ඩෑම් ජනපදය නිර්මාණය කරන ලදි.

 


3. 17වන සියවසේ නව ලෝකයේ ප්‍රංශ ව්‍යාප්තිය.

ආගමික යුද්ධවලින් අනතුරුව 17වන සියවස පමණ වන විට ප්‍රංශය තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වන ආකාරයක් දැකිය හැකි ය. ඒ අනුව ප්‍රංශ ජාතිකයන් ද 17වන සියවස වන විට තම අවධානය නව ලොව වෙත යොමු කරන්නට විය. ඔවුන් ඊට පෙර සිට ම උතුරු ඇමරිකාවේ ප්‍රදේශ සමඟ ලොම් වෙළදාම සිදු කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ ජාතික ජියෝවොංඩ වෙරසනෝ විසින් උතුරු කැරොලිනා සිට නොවාෂ්කෝෂියා දක්වා වූ ප්‍රදේශ ද, ජැක් කාර්ටියෝ විසින් කැනඩාවේ සාන්ත ලෝරනස් ගඟ හා මොන්ට්‍රියල් අවට ප්‍රදේශ ගවේෂණය කරන ලදි.

එම ගවේෂණවල ප්‍රතිඵලයක් ලෙස සැමුවෙල් ඩ ෂොංප්ලැං විසින් 1608දී ක්විබෙක් ප්‍රදේශයේ ප්‍රථම ප්‍රංශ ජනපදය පිහිටුවනු ලැබීය. උතුරු ඇමරිකානු ප්‍රදේශවල මෙකල ව්‍යාප්ත වූ ලොම් ආශ්‍රිත ව්‍යාපාරය කේන්ද්‍ර කොට ගනිමින් ප්‍රංශ ජාතිකයන් විසින් 17වන සියවසේ ආරම්භයේ සිට 17වන සියවස අවසානය දක්වා උතුරේ හඩ්සන් බොක්කේ සිට දකුණේ ඔහියෝ නිම්නය හා මිසිසිපි දක්වා ප්‍රදේශවල තම වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවනු ලැබීය. ඒ අනුව ඔවුන්ගේ ප්‍රධානතම ලොම් මිල දී ගැනීමේ මධ්‍යස්ථාන ක්විබෙක්හි හා පොර්ට් රෝයල්හි පිහිටුවනු ලැබීය. මිසිසිපි ගංගාව ආශ්‍රිත ප්‍රදේශය ගවේෂණය කිරීම හේතුවෙන් ශාන්ත ලෝරන්ස් මිටියාවත, මහා විල් ප්‍රදේශය හා මිසිසිපි මිටියාවත ආශ්‍රිත ප්‍රදේශවලට හිමිකම් කීමට ප්‍රංශයට හැකිවිය.

පොදුවේ වෙළදාම ආශ්‍රයෙන් වර්ධනය වූ ප්‍රංශ ජනපද නව ප්‍රංශය ලෙස හඳුන්වනු ලැබීය. සැලකිය යුතු හෝ ප්‍රංශ ජනගහනයක් වාසය කරනු ලැබුවේ ක්වීබෙක් ආශ්‍රිත ප්‍රදේශයේ පමණි. එම ප්‍රදේශවල දේශගුණය කෘෂිකර්මාන්තයට සුදුසු නොවීම හේතුවෙන් ප්‍රංශ ජනගහණය ඉතා අවම විය. ඒ හේතුවෙන් ම ඔවුන් තම වැඩි අවධානය යොමු කරනු ලැබුවේ ලොම් කර්මාන්තය කෙරෙහි ය. තවද ඉංග්‍රීසීන් මෙන් ඇමරිකාවේ ජනපද පිහිටුවීමට සංවිධානාත්මක වැඩ පිළිවෙළක් ප්‍රංශයන් සතුව නොවීය. එංගලන්තයේ මෙන් ආගමික නිදහසක් ප්‍රංශය තුළ නොවූ අතර නව ජනපදවල පදිංචි වීමට අවසර ලැබුණේ කතෝලිකයන්ට පමණි. මේ හේතුවෙන් ඇමරිකාව තුළ ප්‍රංශ ජනපද ව්‍යාප්තිය උදාසීන විය. පසුව ලොම් කර්මාන්තය ආශ්‍රයෙන් ධනවත් වූ ප්‍රංශ පිරිස් ඉංග්‍රීසි හා නෙදර්ලන්ත සමාගම් ක්‍රමය අනුගමනය කරමින් ප්‍රංශ සමාගම් ලෙස සංවිධානය වෙන ලදි.

කෙසේ වෙතත් 14වන ලුවී රජුගේ කාලයේදී(1614-1715) ඇමරිකාවේ ප්‍රංශ ජනපද ව්‍යාප්තිය සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලදි. රජුගේ මුදල් ඇමති වූ කෝල්බෙයර්ගේ මෙහෙය වීම යටතේ ඇමරිකාවෙන් ඉංග්‍රීසීන් පන්නා දමා ප්‍රංශ බලය ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලදි. අධිරාජ්‍යයේ මූලස්ථානය වූ ප්‍රංශය ප්‍රාග්ධනය හා නිෂ්පාදන සපයන රට ලෙසත් සෙසු යටත් විජිත අධිරාජ්‍යයේ අවශ්‍යතා සපුරන ප්‍රදේශ ලෙසත් සලකන ලදි.

ඇමරිකාවේ ජනපද පිහිට වූ අනෙකුත් ජාතීන් හා සසඳන විට ප්‍රංශ ජාතිකයන් ස්වදේශික ජනතාව සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන ලදි. මෙයට ප්‍රධානතම හේතුව වන්නට ඇත්තේ එම ප්‍රදේශවල සීමිත ප්‍රංශ ජනගහනයක් වාසය කිරීම, සැලකිය යුතු ලෙස ප්‍රංශ ජනපද ව්‍යාප්ත නොවීම  හා ප්‍රංශ මිෂනාරීන්ගේ ක්‍රියාකාරකම් විය හැක. ඒ හේතුවෙන් ම අනෙකුත් ප්‍රදේශවල ව්‍යාප්ත වූ ඉංග්‍රීසි හා ලන්දේසි බලයන්ට මුහුණ දෙනු පිණිස ස්වදේශිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ ප්‍රතිපත්තියක් ප්‍රංශයන් අනුගමනය කරන ලදි. ඒ අනුව ප්‍රංශ ආධිපත්‍යට ප්‍රබල අභියෝගයක් වූ ඉංග්‍රීසීන්ට විරුද්ධව ප්‍රංශ හා ස්වදේශික රතු ඉන්දියානුවන්ගේ ඒකාබද්ධ ප්‍රහාරයක් 1754-1763ත් අතර කාලයේ දී ඔහියෝ මිටියාවත වෙනුවෙන් සිදු විය. නමුත් මෙම තීරණාත්මක සටන් වලින් ප්‍රංශ හා ස්වදේශික ඒකාබද්ධ හමුදා පරාජයට පත් වූ අතර ඉංග්‍රීසි බල ව්‍යාප්තිය හමුවේ තව දුරටත් ප්‍රංශ බලය සීමා වී දුර්වල විය.

සමස්තයක් ලෙස 17වන සියවස ආරම්භයේදී උතුරු ඇමරිකාවේ උතුරෙහි වූ කැනඩාවද, දකුණු ප්‍රදේශයේ පිහිටි ලුසියානාවද ප්‍රංශයන්ට අයත් ව තිබිණි.


4. 17වන සියවසේ නව ලෝකයේ ඉංග්‍රීසි ව්‍යාප්තිය.

17වන සියවසට පෙර සිට ම ඉංග්‍රීසීන් විසින් ඇමරිකානු ප්‍රදේශවල දේශගවේශණ කටයුතුවල නිරත වූවත් එකල ඔවුන්ගේ ආර්ථික ශක්තිය ප්‍රබල නොවීම මත ඒවායේ ප්‍රතිඵල සතුටුදායක නොවීය. නමුත් පළමු වන එලිසබත් රැජිනගේ කාලයේ දී එරට වෙළඳ ප්‍රජාවේ මැදිහත්වීම මත, එංගලන්ත ආර්ථිකය වාණිජවාදයට සුදුසු පරිදි ප්‍රතිසංවිධානය කිරීම හා ස්පාඤ්ඤය ආර්මේඩාව 1588දී පරාජය කිරීමත් සමග 17වන සියවස පමණ වන විට ඉංග්‍රීසි නාවික ආධිපත්‍ය යුරෝපය තුළ තහවුරු විය.

තවද යටත්විජිත හා අනෙකුත් රටවල් සමග වෙළඳ සම්බන්ධතා වර්ධනය කරනු සඳහා බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමේ කටයුත්ත හමු‍වේ 1600දී පිහිටුවනු ලැබූ නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම 17වන සියවසෙන් පසු එංගලන්තයේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ලබා දෙන ලදි. 17වන සියවස පමණ වන විට එංගලන්තයේ ලොම් ව්‍යාපාරයට තිබූ ඉල්ලුම ඉහළ යාමත් සමග එංගලන්ත ඉඩම් හිමියන් තම ගොවිබිම් බැටළුබිම් බවට හරවනු ලැබීය. මේ හේතුවෙන් බොහෝ ගොවීන්ට වගා කිරීමට ඉඩම් අහිමි වූ අතර එංගලන්ත ජනගහණයද ඉතා ශීඝ්‍ර ලෙස වර්‍ධනය වීම මත රැකියා විරහිත ගොවීහු නගරවලට රොක් වූහ. ඒ අනුව 1600වන විට ලන්ඩන් නගරයේ ජනගහණය 60,000 සිට 300,000 දක්වා වර්ධනය වන විය. 

මෙලෙස රැකියා විරහිත පිරිස් නව ලොවට යාමෙන් තම ආර්ථිකය නැවත නගාසිටුවා ගැනීමට හැකිවෙතැයි විශ්වාස කරන ලදි. නව ලොවට යාමේ අවශ්‍යතාව මෙම දුගී පිරිස් සතුව තිබුනත් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය මුදල් නොතිබීය. මෙය අවස්ථාවක් කර ගත් ව්‍යාපාරිකයෝ එම අසරණ පිරිස් නොමිලයේ නව ලොව වෙත ප්‍රවාහණය කිරීමට එකඟ වූ අතර ඒ සඳහා නියමිත කාල පරිච්ඡේදයක් නොමිලයේ අදාළ ඉඩම් හිමියන්ගේ ඉඩම්වල කටයුතු කළ යුතු විය.

තවද එංගලන්තය තුළ ප්‍රොතෙස්තන්තවාදය ස්ථාවර වීමත් සමග අනෙකුත් අගමිකයන්ට කරදර සිදුවිය. මේ හේතුවෙන් ඔවුන්ද නිදහසේ තම ආගම ඇදහීමට නම් නව ලෝකය කරා සංක්‍රමණය විය යුතුයයි කල්පනා කරන ලදි. මේ හේතුවෙන් යුරෝපයේ අනෙක් රටවලට සාපේක්‍ෂව එංගලන්තයේ සිට වැඩි ජනගහණයක් නව ලොව කරා සංක්‍රමණය වන ආකාරයක් දැකිය හැකිය.

පළමුවන එලිසබත් රැජිනගේ කාලයේදී යුරෝපයේ ප්‍රබලතම නාවික හමුදාව ලෙස එංගලන්ත නාවික හමුදාව ස්ථාපිත වීමත්, පළමු වන ජේම්ස් රජුගේ කාලයේදී (1603-25) ස්පාඤ්ඤය සමග සාමදාන වී යුද්ධ කටයුතු 1606දී නවත්වාලීමත් සහ ස්කොට්ලන්තය හා එංගලන්තය ඒකාබද්ධ වී මහා බ්‍රිතාන්‍ය නිර්මාණය වීමත් සමග ශක්තිමත්ව හා බියක් නොමැතිව නව ලෝකයේ තම ජනපද පිහිටුවීමට ඉංග්‍රීසීන්ට හැකිවිය.

පළමුවන ජේම්ස් රජුගේ කාලයේදී ඇමරිකාවේ ඉංග්‍රීසි ජනපද 12ක් ආරම්භ කරන ලදි. එලිසබත් රැජිනගේ කාලයේදී වෝල්ටර් රැලේ විසින් වර්ජිනියා ජනපදයේ ආරම්භ කර අසාර්ථක වූ ඉංග්‍රීසි ජනපද පිහිටුවීමේ ක්‍රියාවලිය, නැවත ආරම්භ කිරීම සඳහා පළමුවන ජේම්ස් රජු විසින් සමාගම් දෙකකට පවරන ලදි. ඒ අනුව වර්ජිනියාහි උතුරු ප්‍රදේශයේ ජනපද පිහිටුවීමේ අයිතිය ප්‍ලීමත් සමාගමටද, දකුණු ප්‍රදේශයේ ජනපද පිහිටුවීමේ බලය ලන්ඩන්හි වර්ජිනියා සමාගමටද ප්‍රදානය කරන ලදි. ඒ අනුව මෙය ශ්‍රේණිගත ජනපදයක් විය(Corporate Colonies). එනම් බද්ධ වස්තු ව්‍යාපාර සමාගම් විසින් පිහිටුවා පාලනය කරන ලද ජනපදයක් වීමයි.

ඉංග්‍රීසීන් විසින් 1634දී පිහිටුවනු ලැබූ මේරිලන්ඩ් ජනපදය වර්ජිනියා ජනපදයට උතුරින් පිහිටා තිබේ. මෙම ජනපද හිමිකාර ජනපද(Property Colonies) ගණයට අයත්වේ. එනම් විවිධ පුද්ගලයන් වෙත කරන ලද ප්‍රදාන අනුව පිහිටුවන ලද ජනපද හඳුන්වනු ලැබූවේ හිමිකාර ජනපද ලෙසිනි. වර්ජිනියා ජනපදය පිහිටුවීමේ ලා කටයුතු කල ලන්ඩන් සමාගම අසාර්ථක වූ අතර නැවත එවැනි සමාගම්වල මුදල් ආයෝජනයට ඉංග්‍රීසි වෙළඳුන් මැලි වීම හා රදලයන්ට ඉඩම් ප්‍රදානය කිරීමට ස්ටුවර්ට් රජවරුන්ට තිබූ වුවමනාව මත මෙම ජනපදය හිමිකාර ජනපදයක් බවට පත් විය. ඒ අනුව පළමුවන චාර්ල්ස්ගෙන් මේරිලන්ඩ් ජනපදය සඳහා ප්‍රධානය හිමි වූවේ ජෝරජ් කැල්වර්ට් හෙවත් බැල්ටිමෝර් සාමි නැමැත්තා ය.

මැසචුසෙට් පිහිටුවීම කෙරෙහි බලපාන ලද ප්‍රධානතම සාධකය වූවේ ආගමික බලපෑමයි. ඒ අනුව එංගලන්ත සභාව විසින් බයිබලයේ නොමැති පුජාවිධි ආගමට අතුලත් කිරීම නිසා ක්‍රිස්තියානිය සංකීර්ණ වී දූෂ්‍ය වන බව පැවසූ පියුටරින්වාදීන් එංගලන්තයෙන් බැහැර වී නෙදර්ලන්තයටද පසුව වර්ජිනියා ජනපදයට උතුරින් වූ ප්ලීමත් නම් ප්‍රදේශයේ පදිංචි විය. මොවුන් වන්දනාකාර පියවරුන් ලෙස හැඳින්වූ 41ක්ගෙන් හා සාමාන්‍ය වැසියන්ගෙන් සමන්විති විය. 

මැසචුසෙට්ස් ජනපදයෙන් වෙන්ව ගිය පිරිසක් විසින් 1636දී රෝඩ් දිවයින ජනාවාස කරන ලදි. දැඩි ආගමික වත් පිළිවෙත් විවේචනය කරන ලද රොජර් විලියම් නැමැත්තා මැසචුසෙට් ජනපදයෙන් පිටුවහල් කිරීමට තීරණය කල අතර ඊට පෙර ඔහු තම අනුගාමිකයන් සමග එම ජනපදයෙන් පිටත් වී ගොස් ඉන්දියානුවන්ගෙන් මිල දී ගත් රෝඩ් දිවයින ජනාවාස ආරම්භ කරන ලදි.

පළමු වන චර්ල්ස් රජුගෙන් ලබාගත් අධිකාරී පත්‍රයක් මත කපිතාන් ජෝන් මේසන් විසින් 1629දී නිව් හැම්ප්ෂයර්හි ජනපදයක් පිහිටු වීමේ කටයුතු ආරම්භ කරන ලදි. නමුත් එම ප්‍රයත්නය අසාර්ථක වූ අතර එය අවස්ථාවක් කර ගත් ජෝන් වීල්රයිට් නම් පූජකයෙකු, තම අනුගාමිකයන් ද සමඟ ආගමික මතවාද හේතුවෙන් මැසචුසෙට්ස් ජනපදයෙන් පිටුවහල් කරනු ලදුව නිව් හැම්ප්ෂයර්හි පදංචි වී ජනාවාස ආරම්භ කරන ලදි.  

මැසචුසෙට්ස් ජනපදයෙන් පිටුවහල් කරන ලද තවත් පිටිරිටවාදීන් පිරිසක් විසින් 1636දී සරුසාර මිටියාවතක් වූ කනෙක්ටිකට් ප්‍රදේශයේ ජනාවාසයක් ආරම්භ කරන ලදි. ලන්දේසීන්ගේ හා රතු ඉන්දියානුවන්ගේ තර්ජන හමුවේ පිහිටුවනු ලැබූ මෙම ජනපදයට 1662දී හාර්ට්ෆෝර්ඩ් හා නිව් හාවන් ප්‍රදේශ ඈඳමින් කනෙක්ටිකට් ජනපදය රජුගේ අධිකාරී පත්‍රයක් මඟින් පිළිගන්නා ලදි.

පළමු වන චාල්ස් රජුගේ කාලයේදී වර්ජිනියාව හා ස්පාඤ්ඤයන් සතුව තීබූ ෆ්ලෝරීඩාව අතර ජනපදයක් පිහිටුවීම සඳහා ‍රොබට් හීත් නැමැත්තෙකුට අධිකාරි බලපත්‍රයක් ලාබා දුන් නමුත් මෙකල එංගලන්තයේ ඇතිවූ රජු හා පාර්ලිමේන්තුව අතර බල අරගලය හේතුවෙන් ජනපද ඇති කිරීමට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය හීන වී යන ලදි. මේ හේතුවෙන් රොබට් හීත්ගේ උත්සහය අසාර්ථක වූ අතර පසුව දෙවන චාල්ස් රජු විසින් තම හිතවත් අනුග්‍රාහකයන්ට කරන ලද ත්‍යාගයක් ලෙසින් හා ෆ්ලොරීඩා ප්‍රදේශයේ ව්‍යාප්ත වූ ස්පාඤ්ඤය බලය වළක්වාලීමේ අරමුණින් නැවත 1663දී එම ප්‍රදේශ නව පිරිසකට පවරා දෙන ලද අතර පසුව එය කැරොලිනා ලෙස හදුන්වන ලදි. 

1654දී ලන්දේසි බටහිර ඉන්දියා වෙළඳ සමාගමේ පරිහානියත් සමඟ ඉංග්‍රීසීන් විසින් ලන්දේසීන් සතු වූ නිව් ඇම්ස්ටර්ඩෑම් ජනපදය ලබා ගැනීමට උත්සහ කරන ලදි. 1664 දී ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතර යුරෝපයේ ඇති වූ ගැටුම් අවස්ථාවක් කර ගත් දෙවන චාල්ස් රජු තම සහෝදරයා වූ යෝර්ක් හි ආදිපාදවරයාට එම ලන්දේසි ප්‍රදේශවල ඉංග්‍රීසි ජනපද පිහිටු වීමේ අධිකාරීත්වය ලබා දෙන ලදි. ඒ අනුව යෝර්ක්හි ආදිපාදවරයා විසින් එවන ලද නාවික හමුදාවක් විසින් 1664දී එම ලන්දේසි ප්‍රදේශ සාමකාමීව පවරා ගන්නා ලදි. පසුව එම ප්‍රදේශ යෝර්ක්හි ආදිපාදවරයාගේ නාමයට අනුව නිවි යෝර්ක් ලෙස නම් කෙරිණි.  

මිය ගිය අද්මිරාල්වරයෙකු වූ තම පියාට එංගලන්තය විසින් ගෙවිය යුතු වූ මුදලක් වෙනුවෙන් විලියම් පෙන්ට් නැමැත්තා විසින් 1681දී දෙවන චාල්ස් රජුගෙන් ලබාගත් ප්‍රදානයක් වශයෙන් පෙන්සිල්වේනියා ප්‍රදේශ ලබා ගන්නා ලදි. මෙම ජනපදයේ තිබූ ආගමික නිදහස, ලිබරල් ආණ්ඩුක්‍රමය හා ඉඩම් ලබා ගැනීමේ ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් විශාල වශයෙන් යුරෝපීය හා අනෙකුත් ජනපදවල සංක්‍රමණිකයෝ මෙයට ඇඳී එන්නට විය. 

මෙලෙසින් ඉංග්‍රීසීන් විසින් 17වන සියවසේ දී විවිධ අධිකාරි පත්‍ර යටතේ ඇමරිකාව පුරා ජනපද 13ක් පිහිටුවන ලදි. ඒ අනුව 1607දී වර්ජිනයා ජනපදය, 1624දී නිව්යොර්ක්, 1630දී මැසචුසෙට්ස් ජනපදය,1630දී නිව් හැම්ප්ෂයර් ජනපදය, 1634දී මේරිලන්ඩ් ජනපදය, 1636දී රෝඩ් දිවයින, 1636දී කනෙක්ටිකට් ජනපදය, 1638දී ඩෙලවෙයාර් ජනපදය, 1653, 1670 අතර කාලයේ උතුරු හා දකුණු කැරොලිනා ජනපද, 1660දී නිව් ජර්සි ජනපදය හා 1681දී පෙනිසිල්වේනියා යන ජනපදයන් දැක්විය හැක.


5. 17වන සියවසේදී නව ලොව ජනපද පිහිටුවීම සඳහා ඉංග්‍රීසීන් හා ප්‍රංශයන් අතර ඇතිවූ බල අරගලය.


17වන සියවස ආරම්භ වන විට යුරෝපීය යටත් විජිත වාදයේ නව අදියරක උදාවක් දැකිය හැකි විය. සම්ප්‍රදායික අධිරාජ්‍යය බලවතුන් වූ ස්පාඤ්ඤය හා පෘතුගාලය වෙනුවට සමාගම් ආකාරයෙන් සංවිධානය වූ ඉංග්‍රීසි, ලන්දේසි හා ප්‍රංශ ජාතික බල ව්‍යාප්තියක් ඇමරිකානු ප්‍රදේශවල මෙන් ම ලෝකය පුරාම ඇති වන ආකාරයක් දැකිය හැකිය. පසුව නව ලෝකය තුලදී එය ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසීන් හා ප්‍රංශය යන දෙරට අතර ඇතිවූ අරගලක් ලෙස වර්ධනය විය.


ප්‍රංශ ජනපදිකයන්, ස්වදේශික රතු ඉන්දියානු ජනතාව සමඟ සන්ධාන ගත වී ඉංග්‍රීසීන්ට විරුද්ධව කරන ලද සටන් ව්‍යාපාර ඇමරිකාවේ ජනපද පිහිටුවීමේ මුල් කාලය දක්වා ම ඇදී යයි. 1634දී ප්‍රංශ හා රතු ඉන්දියානු ඒකාබද්ධ ප්‍රහාරයන්ට විරුද්ධව මැසචුසෙට්ස්, ප්ලිමත්, කනෙක්ටිකට් හා තවත් ජනපද කීපයක් එක්ව නව එංගලන්ත එක්සත් ජනපද සංවිධානය නම් සංවිධානයක් පිහිටුවා ගනිමින් ඇමරිකාවේ ඉංග්‍රීසි ජනපද ආරක්‍ෂා කර ගන්නා ලදි. 17වන සියවස වන විට යුරෝපයේ පැවති ප්‍රබලතම රාජ්‍යයන් දෙක වූයේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශයයි. තම අධිරාජ්‍ය හා සෙසු රටවල් අතර වාණිජ කටයුතු වර්ධනය කර ගැනීම සඳහා තරගයක මෙම රටවල් දෙක යෙදී සිටියහ. එම දෙරට අතර යුරෝපයේ ඇති වූ බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ ඉංග්‍රීසි හා ප්‍රංශ ජනපද අතර සටන් ඇති වන ආකාරයක් දැකිය හැකිය. 17වන සියවසේ ආරම්භයේ සිට නැපෝලියන්ගේ පරාජය දක්වා ම දෙරට අතර සටන් මාලාවක් ඇතිවිය. මව් රටවල් අතර සටන් ඇති නොවන තාක් ඇමරිකාවේ ප්‍රංශ හා ඉංග්‍රීසි ජනපද අතර ගැටුම් ඇති නොවීය. ඒ අනුව දෙපක්ෂය අතර සටන් ඇති කර නොගැනීමට ගත් පියවරක් ලෙස ප්‍රංශයේ 14වන ලුවී රජු හා බ්‍රිතාන්‍යයේ 2වන ජේම්ස් රජු අතර වයිට්හෝල් ගිවිසුම(Treaty of Whitehall) 1686දී අත්සන් කරනු ලැබීය.

නමුත් මෙම සාම ක්‍රියාවලිය වැඩි කාලයක් නොපැවතිණ. මන්ද යත් 1688දී ඇති වූ ඉංග්‍රීසි විප්ලවයෙන් පසුව නෙදර්ලන්තයේ විලියම් කුමරු එංගලන්ත සිහසුනට පත්වීමයි. මේ හේතුවෙන් ප්‍රංශය හා නෙදර්ලන්තය අතර ඇති වූ අරගලය විලියම් රජු එංගලන්තයේ සිහසුනට පත්වීමත් සමඟ එංගලන්තය හා ප්‍රංශය අතර මහා අරගලයක් දක්වා වර්ධනය විය. මෙලෙස දෙරට අතර යුරෝපය අතර ඇති වූ යුද්ධය විලියම් රජුගේ යුද්ධය(King Williams War) ලෙස හැදින්වුණු අතර එය ඇමරිකාවේ ප්‍රංශ හා ඉංග්‍රීසි යටත් විජිත දක්වාම ව්‍යාප්ත විය.

රතු ඉන්දියානුවන් සමග ඒකාබද්ධ වෙමින් ප්‍රංශයන් හඩ්සන් බොක්ක ආශ්‍රිත ඉංග්‍රීසි වාණිජ ජනපදවලට සහ නිව්යෝර්ක් හා නිව් හැම්ප්ෂයර් යන ජනපදවලට පහර දෙන ලදි. නමුත් ඉරොක්වීස් නම් ඉන්දියානු ගොත්‍රිකයෝ (Iroquis) ඉංග්‍රීසීන් සමග සන්දානගතවීම ප්‍රංශ ආධිපත්‍යට ප්‍රබල පහරක් විය. ඔවුන් එසේ ප්‍රංශයට විරුද්ධවීමට හේතු වූ කරුණ වූවේ 1609 දී මහාවිල් ආශ්‍රිත ප්‍රදේශයේ ගවේෂනය කල ප්‍රංශ ජාතික පොංප්ලැං විසින් තමන් සමග ගිය හූරෝ හා ඔටාවා යන ගෝත්‍රිකයන්ගේ සතුරන් වූ ඉරොක්වීස් ගෝත්‍රිකයන්ට වෙඩි තැබීමයි. කෙසේ වෙතත් 17වන සියවසේ ඉතා ප්‍රබලව ඇමරිකානු ප්‍රදේශවල ඇති වූ ඉංග්‍රීසි හා ප්‍රංශ ගැටුම් අවසාන වූවේ 1697දී දෙරට අතර ඇති වූ රිස්වික් සාම ගිවිසුමෙන්(Peace of Ryswick) පසුවය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහියෝ හා මිසිසිපි ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රංශයන්ට තිබූ අයිතිය අහෝසි වී ගොස් ඉංග්‍රීසි ප්‍රමුඛ ඉරොක්විස් ගෝත්‍රික සන්ධානයට එම ප්‍රදේශවල හිමිකාරිත්වය ලැබිණ.


6. සමාලෝචනය.


බටහිර යටත් විජිතකරණයේ මුල් කාලය ඉතා ආක්‍රමණකාරී යුගයක් විය. ක්‍රි.ව. 1420ත් ක්‍රි.ව. 1522ත් අතර කාලයේ දී බටහිර යටත් විජිතකරණය ආරම්භ වූ බව උපකල්පනය කළ හැකිය. කිසිවකු නොදන්නා කුණාටු සහිත ප්‍රචණ්ඩ මුහුද එම යුගයේදී දුර්වල නැව් මඟින් තරණය කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ ස්පාඤ්ඤයනට ය. ඔවුහු තුවක්කු හා කඩු හරඹයේ රණ ශූරයෝ වූ අතරම උග්‍ර ආගමික උන්මාදයෙන් දැවෙමින් තිබූ ආකල්ප හේතුවෙන් ඔවුන් තම යටත් ප්‍රදේශවල හිංසා, කෲරකම් සහ විපත්ති සිදු කිරීමට පෙලඹිණ. ඔවුන් ඒවා සිදුකලේ සාමයේ කුමරාගේ නාමයෙනි. මිථ්‍යා දෘෂ්ටිකයන් නැති කිරීම සහ මිථ්‍යා දෘෂ්ටිකයන්ට වද දීම යටත් විජිතකරණයත් සමඟ එකට සිදු විය. දේශ ගවේෂණය හෝ සංචාරය යන කුමන අංශයක දී වුවද එම පරමාර්ථය බොහෝ විට මුදුන් පත් කර ගනු ලැබුවේ ඝාතන, පැහැර ගැනීම්, ගිනි තැබීම් මාර්ගයෙනි. බටහිර ජාතීන් ඇමරිකාවට පැමිණියේ දේශ ගවේශනය හේතුවෙන් වන බව ද පසුව එම ව්‍යාපාරය පිළිවෙළින් ස්පාඤ්ඤ, ලන්දේසි, ප්‍රංශ හා ඉංග්‍රීසීන් යන ජාතීන්ට අයත් වූ බව පිළි ගැනීමයි. සැබෑ ලෙස ම දේශ ගවේෂකයන් ලෙස හැඳින්වුව ද මෙම සියලු ම ජාතීන්ගේ අරමුණ වූවේ ඇමරිකාවේ වස්තුව කොල්ලකා තම රටවලට ගෙන යාමයි.

ඇමරිකානු මහද්වීපය හෙවත් නව ලෝකයේ යුරෝපා යටත්විජිතකරණය හා ජනපද පිහිටුවීම ආරම්භ වූවේ ‍කොළොම්බස්ගේ පැමිණීමෙන් කෙටි කලකට පසු ෆ්ලොරීඩා ජනපදයේ ස්පාඤ්ඤය ජනපදයක් පිහිටුවා ගැනීමත් සමගය. නමුත් ස්ථාවර ලෙස ම ජනපද පිහිටුවීමක් ආරම්භ වන්නේ 17වන සියවසේ සිටය. ඒ අනුව 1607දී ඉංග්‍රීසි ජනපදයක් වර්ජිනියාහි ජෙම්ස්ටවුන් නගරයේ පිහිටුවනු ලැබීය. 

එතැන් සිට 17වන සියවස පුරාම ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරය කේන්ද්‍රකොට ගනිමින් ඉංග්‍රීසි ජනපද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. ඇමරිකාව නිදහස ලබා ගැනීමට දශක කීපයකට දෙකකට පෙර වන තෙක් ම එම ජනපදවල විසූ ජනපදිකයන් තමන් ව හඳුන්වා ගන්නා ලද්දේ බ්‍රිතාන්‍යයන් ලෙසිනි. යුරෝපා සංක්‍රමණිකයන් තම කොලනිවලට ආකර්ෂණය කර ගැනීමේ දී අනෙකුත් යුරෝපීය ජාතීන්ට වඩා බ්‍රිතාන්‍යයන් ඉතා සාර්ථක විය. බ්‍රිතාන්‍ය ජනපදවල පදිංචි වූ බහුතරයක් බොහෝ විට ඉංග්‍රීසි, ස්කොට්ලන්ත හෝ අයර්ලන්ත වුවද යුරෝපයේ අනෙකුත් රටවල ජනතාව ද එහි විය. 

ඇතැම් ජනපද කිරීටයටද, ඇතැම් ජනපද වංශවතුන්ටද හිමි විය. දුම්කොළ, වී හා කපු වැනි වැවිලි බෝග මත පදනම් වූ කෘෂිකාර්මික ආර්ථිකයක් ඇමරිකාවේ දකුණුදිග ප්‍රදේශවල වූ අතර උතුරේ වූවේ සාපේක්ෂ වශයෙන් කර්මාන්ත මත පදනම් වූ නාගරික ප්‍රදේශයන්ය. බහුතරයක් ප්‍රදේශ බ්‍රිතාන්‍යයන් සතු වූවෙන් ස්වභාවයෙන්ම බ්‍රිතාන්‍ය සංස්කෘතිය එම ප්‍රදේශවල ව්‍යාප්ත විය. එහි ප්‍රබලතම බලපෑම වූවේ පසු කාලීනව ඇති වූ නියෝජිත පාලන ක්‍රමය හා ලිබරල්වාදයයි.

17 වන සියවසේ නව ලෝකයේ ජනපද පිහිටුවීමේ දී නෙදර්ලන්තය, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය යන රාජ්‍යයන් උතුරු ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශ සඳහා සටන් වදින්නට විය. නමුත් උතුරු ඇමරිකාවේ ලන්දේසි ප්‍රදේශ, ඉංග්‍රීසි හා ප්‍රංශ බලපෑම හමුවේ ක්ෂය වී යන්නට විය. කෙටි කලක් ලන්දේසීන් සතු වූ උතුරු ඇමරිකානු ප්‍රදේශ නව නෙදර්ලන්තය ලෙස හඳුන්වනු ලැබූ අතර ඉංග්‍රීසින් සතු වූ නිව්යෝර්ක් නගරයද මුලදී හදුන්වනු ලැබුවේ නිව් ඇම්ස්ටර්ඩෑම් යනුවෙනි.

17වන සියවස වන විට බ්‍රිතාන්‍යයට ඇමරිකාවේ සිටි ප්‍රබලතම විරුද්ධවාදියා වූවේ ප්‍රංශය ය. උතුරු ඇමරිකාවේ ප්‍රංශය සතු වූ ප්‍රදේශ නව ප්‍රංශය ලෙස හැඳින්වූ අතර ඉංග්‍රීසීන් හා ප්‍රංශයන් අතර නිතර නිතර යුද්ධ ඇති විය. මෙම සංග්‍රාමයන් ජය ගත් බ්‍රිතාන්‍යයන් නව ප්‍රංශය අත්පත් කර ගනිමින් 17වන සියවස අවසාන වන විට සමස්ත උතුරු ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයේම තම බලය ව්‍යාප්ත කිරීමට පදනම සකස් කරන ලදි. 




ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.


කරුණානන්ද, උක්කු බණ්ඩා., සංක්‍ෂිප්ත ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසය-01, සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම, කොළඹ, 2013.

දිසානායක, විජය., ගෝලීය ප්‍රවණතා(අතීතය-වර්ථමානය-අනාගතය), අනුරාධා ප්‍රකාශකයෝ, දෙල්ගොඩ, 2014.

නේරු, ජවහර්ලාල්., ලෝක ඉතිහාස සිහිවටන, අනුවාදය- ‍ඩේවිඩ් කරුණාරත්න, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම. කොළඹ, 2008.

රාවෝ, බී. වී., ලෝක ඉතිහාසය, පරිවර්තනය- මාලිනී ඇඳගම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003.

සෙනවිරත්න, චාමින්ද., ජගත් දේශාටකයෝ, දයාවංශ ජයකොඩි සමාගම, කොළඹ. 2014.

සූරයප්පෙරුම, ජේ. අර්. පී., ලෝකයට කවුළුවක්, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2012.

‍හොරබින්, ජේ. ඇෆ්., මුහුදු කොල්ලකරුවන්ගේ ඉතිහාසය, කුරුලු පොත් ප්‍රකාශකයෝ, රාජගිරිය, 2009.


No comments:

Post a Comment