Showing posts with label රාජ්‍යය පරිපාලනය. Show all posts
Showing posts with label රාජ්‍යය පරිපාලනය. Show all posts

Sunday, 22 November 2020

“රාජ්‍ය ප්‍රතිපත්ති ස්වරූපය අනුව ඒවා මඟින් ආමන්ත්‍රණය කරන ක්ෂේත්‍රයන් හඳුනාගත හැකිය.” නිදසුන් ඇසුරුකොටගෙන ශ්‍රී ලංකික සමාජය පිළිබඳ විග්‍රහයක්




 හැඳින්වීම.


1. දේශපාලන ප්‍රතිපත්ති යනු

2. විධායක ප්‍රතිපත්ති යනු

3. පරිපාලන ප්‍රතිපත්ති යනු

4. ශිල්පීය ප්‍රතිපත්ති යනු

5. ස්වායත්ත නැතහොත් මූලික ප්‍රතිපත්ති යනු

6. රෙගුලාසිමය ප්‍රතිපත්ති යනු

7. බෙදා හැරීම හා සම්බන්ධ ප්‍රතිපත්ති යනු

8. ප්‍රතිබෙදාහැරීමේ ප්‍රතිපත්ති යනු


සමාලෝචනය. 


ආශ්‍රිත ග්‍රන්ත නාමාවලිය.



හැඳින්වීම


වර්තමානය වනවිට සමාජය පුළුල් හා සංකීර්ණ වීම හේතුවෙන් මහජන අවශ්‍යයතාද ක්‍රමානුකූලව වර්ධනය වී ඇත. එබැවින් එවැනි සංකීර්ණ සමාජයක අවශ්‍යයතා ඉටුකිරීමේ කාර්යභාරය පැවරී ඇත්තේ සියල්ලන්ගෙන්ම සැදුම්ලත් රාජ්‍ය වෙතය. එබැවින් රාජ්‍ය පාලකයන්ට තම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පුළුල් පරාසයකට තම අවධානය යොමු කිරීමට සිදු වී ඇත. ඒ අනුව පාලකයන් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් මෙන්ම සමාජ ප්‍රගමනය වෙනුවෙන් ඉටු කළ යුතු දෑ මෙන්ම ඉටු කිරීමට බලාපොරොත්තුවෙනදෑද ප්‍රතිපත්ති ලෙස ඉදිරිපත් කිරීම “රාජ්‍ය ප්‍රතිපත්ති” ලෙස දැක්විය හැකිය. එමගින් යම් රටක ආර්ථික, සමාජීය, දේශපාලන හා පරිසරාත්මක අංශවලට තම අවධානය යොමුකරයි. ඒ අනුව රජයක් යම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා ඉදිරිපත් කරන ක්‍රියාවලිය ප්‍රතිපත්තියක් ලෙසට සරලව හැඳින්විය හැකිය.  

එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කුමන පරාසයක් තුළ විසිරේද යන්න පිළිබඳ අවබෝධ කරගැනීම මෙමඟින් සිදුකෙරේ. ඒ අනුව රජය විසින් තීරණය කරනු ලබනා ප්‍රතිපත්ති මත යම් රාජ්‍යයක සිටිනා සියලුම පුද්ගලයන් හා සංවිධාන කටයුතු කරන බව රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනයේදී පෙනී යයි. එනම් රාජ්‍ය ප්‍රතිපත්තීන්ගේ අරමුණ වී ඇත්තේ රටේ, සමාජයේ හා සමස්ත ජනතාවගේම සුබසිද්ධිය තකා කටයුතු කිරීමයි.

ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කරන ආකාරය අනුව එම රට සමාජවාදී, ධනවාදී හෝ මිශ්‍ර ආර්ථිකයට හිමිකම් කියන රටක් ලෙස අවබෝධ කරගත හැකිය. 

රාජ්‍ය ප්‍රතිපත්ති ස්වරූපය සලකා බැලීමේදී එය ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකට දැක්විය හැකිය. එය පහත ආකාරයෙන් වේ,
දේශපාලන ප්‍රතිපත්ති
විධායක ප්‍රතිපත්ති‍‍
පරිපාලන ප්‍රතිපත්ති
ශිල්පීය ප්‍රතිපත්ති

1. දේශපාලන ප්‍රතිපත්ති යනු, 
දේශපාලන ප්‍රතිපත්තියක් යනුවෙන් අදහස් කරන්නේ ප්‍රධාන මහ මැතිවරණයකින් පසුව බලයට පත්වන්නා වූ පක්ෂය විසින් තීරණය කරනු ලබන, ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන හා ක්‍රියාවට නංවන ප්‍රතිපත්තීන් වේ. ඒ අනුව අදාල බලයේ සිටිනා පක්ෂයේ ප්‍රතිපත්ති බොහෝවිට රාජ්‍යයේ ප්‍රතිපත්ති බවට පත්වනු ලැබේ. 
උදාහරණයක් ලෙස ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ලංකාවේ බලයට පත් වූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක්වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධ්‍යයනය කළ හැකිය. ඒ අනුව නිදහසින් පසු බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය බොහෝ විට ධනවාදී අර්ථ ක්‍රමයක් අනුගමනය කළ බටහිරට පක්ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබීය.එනම් එකල රජයේ ප්‍රතිපත්ති මූලික වශයෙන් බ්‍රිතාන්‍යය සම්ප්‍රදාය අනුව මෙන්ම බ්‍රිතාන්‍යය සමඟ ඉතා කිට්ටු සබඳතා අනුව ගොඩනැගී පැවති අතර 1977න් පසුවද ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධනවාදී ආකල්ප මත තම ප්‍රතිපත්ති නිර්මාණය කරනු ලැබීය.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රථම වරට 1956දී බලයට පත්වීමත් සමඟ ධනවාදී අර්ථ ක්‍රමය වෙනුවට සමාජ සුබසාධනවාදී ප්‍රතිපත්ති දේශීය වශයෙන් අනුගමනය කරන ලද අතර විදේශීය ප්‍රතිපත්ති වශයෙන්ද විශාල වෙනසක් කරනු ලැබීය. ඒ අනුව 56න් පසු ගනු ලැබූ ඉතා තීරණාත්මක රාජ්‍ය ප්‍රතිපත්තීන් වූයේ ජනසතු කිරීමේ ව්‍යාපාර, සමාජවාදී රාජ්‍යයන් සමඟ තානාපති සබඳතා ආරම්භ කිරීම හා රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව පත්කිරීම ඉතා ප්‍රසිද්ධ දේශපාලන ප්‍රතිපත්තීන්ය.


2. විධායක ප්‍රතිපත්ති යනු,
විධායක ප්‍රතිපත්ති බොහෝවිට තීරණය වන්නේ රටේ පාලන බලය මෙහෙයවන ඉහළම ස්ථරවල අවශ්‍යතා අනුවය. ඒ අනුව රටේ විධායක පාලනාධිකාරයවන ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් ඇමතිවරු හා ඔවුන්ගේ ලේකම්වරුන්ට අදාළ ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය හිමි වේ.  ලංකාවේදී නම් ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරනු ලබනා මෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන් විසින් අධීක්ෂණය කරනු ලබනා තීරණ විධායක ප්‍රතිපත්තීන් ලෙස අර්ථ දැක්විය හැකිය. උදාහරණයක් ලෙස වර්තමාන විධායකයේ ප්‍රතිපත්ති මාලාව වන මහින්ද චින්තන ඉදිරි දැක්ම පෙන්වාදිය හැකිය.

3. පරිපාලන ප්‍රතිපත්ති යනු,
පරිපාලන ප්‍රතිපත්ති සකස්වෙනු ලබන්නේ විධායකය විසින් තීරණය කරනු ලබන ප්‍රතිපත්තීන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේන්තු වෙත යොමු කළ විට සිදුවන ක්‍රියාවලිය මඟිනි. ඒ අනුව පසුගිය වකවානුව තුළ එක ගමකට එක වැඩක් යන විධායක ප්‍රතිපත්තිය මත සෑම ගමකම මාර්ග සංවර්ධනය කිරීම පෙන්වාදිය හැකිය.තවද දිවි නැගුම, මඟ නැගුම හා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීම වැනි කාර්යයන්ද සිදුවූයේ පරිපාලන ප්‍රතිපත්තීන් යටතේය.

4. ශිල්පීය ප්‍රතිපත්ති යනු,
තම දෙපාර්තමේන්තුවට පැවරෙන පරිපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී දෙපාර්තමේන්තු නිලධාරීන්ට එදිනෙදා වැඩසටහන් වලට අනුකූළව තීරණ ගැනීමට සිදු වේ. නිලධාරී මඩුල්ලක් විසින් ගන්නා ලද එවැනි තීරණ ශිල්පීය ප්‍රතිපත්ති වේ.
ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්තිවල ඉහත දැක් වූ ස්වභාවය අනුව සියලුම ප්‍රතිපත්ති එකිනෙකට අන්‍යෝන්‍යය වශයෙන් එකට බැඳී පවතින ආකාරයක් දැකිය හැකිය. තවද රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රායෝගික තත්වය අනුවද ඒවා කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එනම්,

පරිපාලන ප්‍රතිපත්ති
සංවර්ධන ප්‍රතිපත්ති

පරිපාලන ප්‍රතිපත්ති යනු පෙර සඳහන් කළ ආකාරයටම දෙපාර්තමේන්තු මට්ටමේදී නිලධාරීන් විසින් සකස් කරන ලද ක්‍රියා පිළිවෙලට අනුව තීරණය කරනු ලබන්නා ක්‍රියාත්මක වැඩපිළිවෙලකි. උදාහරණයක් වශයෙන් භාණ්ඩ සේවා අත්පත් කරගැනීම සඳහා වූ ප්‍රතිපත්ති හා සේවක පරිපාලනය සඳහා වූ ප්‍රතිපත්ති  දැක්විය හැකිය. ඒ අනුව 1963දී වැටුප් කොමිසමේ නිර්දේශය පරිදි සිවිල් සේවය අවලංගු කර “ලංකා පරිපාලන සේවය” ආරම්භ කරනු ලැබීය. එය ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු පරිපාලන ව්‍යුහයේ සිදුකෙරුණු වැදගත් සංශෝධනයක් විය. ආණ්ඩුවේ “යකඩ රාමුව” ලෙස හඳුනවනු ලද්දා වූද, බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරනු ලදුව වසර 150ක් වැනි කාලයක් තිස්සේ රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා යොදා ගත්තා වූද “සිවිල් සේවය” එපරිද්දෙන් අවසන් කෙරිණි. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල වශයෙන් උපාධිධාරීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ස්වභාෂා උගතුන් වූ ඔවුන්ට රාජ්‍ය සේවයට ඇතුල්වීමේ අවස්ථාව පුළුල් කෙරුණ එම සංශෝධනය නිදහස් ලංකාවට කදිමට ගැලපුන පියවරක් විය.  
සංවර්ධන ප්‍රතිපත්ති යනු යම් කිසි රටක දේශපාලනමය, ආර්ථිකමය හා සමාජීය වශයෙන් එම රටේ ජනතාගේ පොදු අභිවෘද්ධිය උදෙසා තීරණය කරනු ලබන ක්‍රියාමාර්ග සහ වැඩසටහන්ය. එනම් රටක සංවර්ධන අරමුණු ලඟාකර ගැනීම සඳහා රජය විසින් හඳුන්වාදෙනු ලබන ආයෝජන ප්‍රතිපත්ති, මූල්‍ය ප්‍රතිපත්ති, බදු ප්‍රතිපත්ති හඳුන්වාදිය හැකිය. උදාහරණයක්   වශයෙන් ලංකාවේ හම්බන්තොට වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි සංවර්ධන හා ආයෝජන ප්‍රතිපත්ති පෙන්වා දිය හැකිය.
තවද ප්‍රතිපත්ති වර්ග සහ ප්‍රතිපත්ති ස්වරූප අනුව ඒවා මඟින් අවධානය  යොමුකෙරෙන ක්ෂේත්‍රයන් පහත ආකාරයෙන්ද වර්ග කළ හැක.ඒවා නම්,

1. ස්වායත්ත නැතහොත් මූලික ප්‍රතිපත්ති.
2. රෙගුලාසිමය ප්‍රතිපත්ති.
3. බෙදාහැරීම හා සම්බන්ධ ප්‍රතිපත්ති.
4. ප්‍රතිබෙදාහැරීමේ ප්‍රතිපත්ති.



1.  ස්වායත්ත නැතහොත් මූලික ප්‍රතිපත්ති යනු,

කිසියම් රටක සමාජ සුබසාධනය සහ සමාජ සංවර්ධනය ඉලක්ක කොටගත් ප්‍රතිපත්ති ස්වායත්ත ප්‍රතිපත්ති නැතහොත් මූලික ප්‍රතිපත්ති යනුවෙන් හැඳින්විය හැකිය. එනම් සමාජ සුබසාධනය තකා 
නිදහස් අධ්‍යාපනය සැපයීම
ආර්ථික ස්ථායීතාව පවත්වාගෙන යාම
නීතිය හා සාමය පවත්වාගෙන යාම
වැනි අරමුණු ඉන් පදනම් කරගනී. උදාහරණයක් වශයෙන් ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය, 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පෙන්වා දිය හැකිය. එම ප්‍රතිපත්තීන් මඟින් ලාංකික සමාජය සීඝ්‍ර පරිවර්තනයකට ලක් වූ බව අධ්‍යයනයේදී පෙනී යයි.
මෙම ප්‍රතිපත්ති මඟින් මූලික වශයෙන් සමාජයේ සෑම කණ්ඩායමකටම පොදුවේ ආමන්ත්‍රණය කරන ආකාරයක් දැකිය හැකිය. 

2. රෙගුලාසිමය ප්‍රතිපත්ති යනු,
විවිධ අංශයන්වල පාලනයන් ඇති කිරීම සඳහා සකස් කරන ලද ප්‍රතිපත්ති රෙගුලාසිමය ප්‍රතිපත්ති ලෙස හඳුන්වනු ලැබේ. 
සනීපාරක්ෂක අංශ
වෙළඳ බදු පාලනය කිරීම 
වැනි අංශ පෙන්විය හැකිය. ඒ අනුව ලංකාවේ විවිධ අංශ කෙරෙහිද එම රෙගුලාසිමය ප්‍රතිපත්ති අදාලවනු දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් ලංකාවේ අර්තාපල් වගාවේ ඵල නෙළාගන්නා අවධියේදී ආනයනික අර්තාපල් වලට ආනයනික බදු පනවා ලාංකික අර්තාපල් ගොවියා ආරක්ෂාකර ගැනීම, වගාවන් සඳහා කාබනික පොහොර  නිර්දේශ කිරීම, ඩෙංගු, මැලේරියා හා බරවා වැනි මදුරු වසංගත බෝවන ස්ථාන මර්දනය කිරීම සඳහා විධිවිධාන පැනවීම, පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි ස්ථාන වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වැනි දෑ දැක්විය හැකිය.

3. බෙදා හැරීම හා සම්බන්ධ ප්‍රතිපත්ති යනු,
සමාජයේ විවිධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත්කරනු ලබන ප්‍රතිපත්ති බෙදාහැරීම හා සම්බන්ධ ප්‍රතිපත්තීන් වේ. ඒ අනුව 
අභ්‍යයන්තරික අවතැන් වූවන් නැවත පදිංචි කරවීම
දිළිඳු ජනතාවට සහනාධාර ලබාදීම
වැඩිහිටි ජනතාවගේ සාක්ෂරතාව ඉහළ නැංවීම
වැනි ප්‍රතිපත්තීන් දැක්විය හැකිය. ඒ අනුව ලංකාව තුළ 2004 සුනාමි ව්‍යයසනයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරවීම, මානුෂීය යුද මෙහෙයුම අවසානයේ උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන් වූවන් නැවත පදිංචි කරවීම හා කොටි සාමාජික සමාජිකාවන් පුනුරුත්ථාපනය කර නැවත සමාජගත කිරීම ආදිය දැක්විය හැකිය. මෙම ප්‍රතිපත්තීන්හි විශේෂ ලක්ෂණයක් වන්නේ සමාජයේ විශේෂිත වූ කණ්ඩායමක් ඉලක්ක කොටගෙන ප්‍රතිපත්ති මෙහෙයවීමයි.

4. ප්‍රතිබෙදාහැරීමේ ප්‍රතිපත්ති යනු,
රටක සමාජ හා ආර්ථික වෙනස්කම් ඇති කිරීම හෙවත් සංවර්ධනයක් ඇති කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. ඒ අනුව දැනට සහනාධාර ලබා ගන්නා කණ්ඩායම් ඒ සඳහා සුදුසු නොවන විට ප්‍රතිබෙදාහැරීමේ ප්‍රතිපත්ති සඳහා සමාජ සාධාරණත්වයක් ඇති කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. උදාහරණයක් ලෙස ලංකාවේ සමෘද්ධි සහනාධාර ලබා දීමේදී ආදායම පිළිබඳ තක්සේරු කරන අතර කාලයක් සමෘද්ධි ලබා ගැනීමෙන් පසු එම පුද්ගලයන් ප්‍රගතියක් ලබා ඇත්නම් සමෘද්ධි සහනාධාරය අවලංගු කරන අතර එවැනි වෙනත් සහනාධාර ක්‍රමද එලෙසින් අධීක්ෂණය කර ඒවායේ ප්‍රගතිය අනුව තවදුරටත් එය පවත්වාගෙන යනවාද, සංශෝධනය කරනවාද නැත්නම් අවලංගු කරනවාද යන්න තීරණය කරනු ලබයි.
සමාලෝචනය.
රාජ්‍ය ප්‍රතිපත්ති ස්වරූපය පිළිබඳ විමසීමේදී පෙනීයන කරුණක් වන්නේ ඒවා විවිධාකාරයෙන් වර්ගකර දැක්විය හැකි බවයි. කෙසේ නමුත් එම සෑම වර්ග කිරීමකදී මෙන්ම හැඳින්වීමකදීම ආමන්ත්‍රණය කෙරෙන ක්ෂේත්‍රයන් එකිනෙකට සමානවන අතර ඒ සෑම ක්ෂේත්‍රයක්ම දංවැලක පුරුක් මෙන් එකිනෙකට අන්‍යෝන්‍යය වශයෙන් බැඳී පවතී. තවද එම ප්‍රතිපත්තීන් ලෝකයේ සෑම රටකටම පොදුවේ අදාළ කරගත හැකි බව අවබෝධ කරගත හැකිය.
ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති ස්වරූපය අනුව ඒවා මඟින් ආමන්ත්‍රණය කරන ක්ෂේත්‍රයන් ලාංකික සමාජය ආශ්‍රයෙන් ඉහත ආකාරයට දැක්විය හැකිය. 

ආශ්‍රිත ග්‍රන්ත නාමාවලිය.

අයිවන්, වික්ටර්., දෙමළ අභියෝගය, රාවය ප්‍රකාශන, මහරගම. 2012.

අයිවන්, වික්ටර්., ලංකාව ගලවා ගැනීම, රාවය ප්‍රකාශන, මහරගම. 2013.

ප්‍රනානදු, ආර්. ලලිතා. එස්.,රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂණය, දීපානි මුද්‍රණ ප්‍රකාශන සමාගම, නුගේගොඩ. 2009.

ලැස්කි, හැරල්ඩ්. ජේ., රාජ්‍ය පිළිබඳ සිද්ධාන්ත හා ව්‍යවහාරය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල. 2005. 

වර්ණපාල, විශ්වා., සංවර්ධන පරිපාලනය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10. 2007. 

ශ්‍රී ලාංකේය ඉතිහාසය- වෙළුම 5: පරිච්ඡේදය 4, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 11. 2012.‍

Saturday, 21 November 2020

රාජ්‍ය පරිපාලනයේ මූලිකාංග

 


හැඳින්වීම

             අද වනවිට රාජ්‍ය, මිනිසාගේ උපතේ සිට මරණය දක්වා වූ සෑම වැදගත් අංශයක් කෙරෙහිම මැදිහත්වීමක් කරනු ලබයි. එහි වැදගත්කම කෙතරම්දයත් මහජනයාද නිතරම රාජ්‍යයෙන් පහසුකම් ලබා ගැනීමට උත්සාහ කරයි. ඇරිස්ටෝටල්ට අනුව රාජ්‍ය පවතින්නේ “යහපත් ජීවිතයක් වැඩීමට රුකුල් දීමටයි.” තවද “ජීවිතයත් මරණයත් ගැන රාජ්‍යයට ඇති බලය නිසා සැපයෙන සුරක්ෂිතතාව නොමැතිව, ශිෂ්ටාචාරයක් ඇති විය නොහැකි බව” හොබ්ස් ප්‍රකාශකර තිබේ.  මෙම නිර්වචනයන් වලින් පෙනී යන්නේ රාජ්‍ය තම පුරවැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවයි. රාජ්‍ය යනු “සාමයෙන් භුක්ති විඳීමට නොහැකි වුවහොත් කාලකණ්ණි ජීවිතයකට අප කැප කරවන අන්දමේ ජීවිතයටත්, නිදහසටත්, දේපළ වලටත් ඇති අයිතිවාසිකම් සම්පාදනය කළ හැක්කේ මනුෂ්‍යයින් පිළිගන්නා ක්‍රියාපටිපාටීන්‍ගෙන් යුක්ත වූ රීති පනවන පොදු කාර්යමණ්ඩලයකට බව” ලැස්කි පෙන්වා දෙයි.‍  මෙයින් පෙනී යන්නේ රාජ්‍යයට තම පුරවැසියන්ගේ අභිවෘද්ධිය ඇතිකරලීම සඳහා වූ කටයුත්ත සුවිශේෂිත වූ කාර්යමණ්ඩලයකගේ සහය ලබාගෙන වැඩකල යුතු බවයි. එම කාර්යමණ්ඩලය සහ එහි ක්‍රියාදාමයන් අප විසින් හඳුන්වනු ලබන්නේ රාජ්‍ය පරිපාලනය ලෙසයි. 


             රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවේ වැඩකටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාවට නැංවීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම යන සමස්ත ක්‍රියාදාමයේම එකතුවක් ලෙස දළ වශයෙන් හැඳින්විය හැක. සෑම රටකටම රාජ්‍ය පරිපාලන ක්‍රමය වනුයේ එම රටෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස වන අතර, එම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයන් රාශියක්ම එක්තරා පරිපාලන ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලැබේ. එම ක්‍රියාවලියට අයත්වනුයේ අවශ්‍යය පරිපාලන ව්‍යුහයන් සකස් කිරීම වේ. එනම් එයට සම්බන්ධවන ඒකකයන් සංවිධානය කිරීම, වැඩපිළිවෙල සම්පාදනය කිරීම, ක්‍රියාත්මකවීම මැනීම සඳහා අවශ්‍යය තත්ව පරීක්ෂණ ක්‍රමයන් සැකසීම, ප්‍රතිපත්ති ඇගයීම් ක්‍රමයන් සකස් කිරීම, තවද රාජ්‍ය අයවැය සැකසීම, වැය ගිණුම් පරීක්ෂා කිරීමේ ක්‍රම සැකසීම, සේවකයින් බඳවා ගැනීම, පුහුණු කිරීම සහ මෙහෙයවීම, කාර්යභාරයන් ඉටුකිරීම සඳහා වගකීම් පැවරීම  යනාදී කාරණා රාජ්‍ය පරිපාලනයේ විධිමත් කාර්යභාරය ලෙස හැඳින්විය හැකිය.


               ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ එය විධිමත් හා සැළසුම් සහගතව ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය යුගයේදි බවයි. එහෙයින් ලංකාවේ හා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයන් බොහෝදුරට එක හා සමාන වේ. ලංකාව 1948දී නිදහස ලබා ගන්නාවිට තිබුණු බ්‍රිතාන්‍ය ආකෘතියකින් යුත් රාජ්‍ය පරිපාලනය වර්තමානය වනවිට රටට ගැලපෙන ආකාරයෙන් සුළු සුළු සංශෝධනයන්ගෙන් යුක්තව පැවතගෙන එනුලැබේ.


              මෙමඟින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීමෙන් පසු ඇති වූ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ වර්ධනයත්, ඇතිකරනු ලැබූ නව ආයතනුත් (සංවිධාන), කාර්යභාරය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව තොරතුරු දැක්වීමට අපේක්ෂා කෙරේ. තවද රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය අධ්‍යයනය සම්බන්ධයෙන්, ඓතිහාසික හා තුලනාත්මක අධ්‍යයන ක්‍රම උපයෝගී කරගනිමින් තොරතුරු දක්වා ඇත.

1. ලංකාවේ පරිපාලන ව්‍යුහය

                 නිදහස ලැබීමෙන් පසු ආර්ථික හා සමාජ ක්ෂේත්‍රවලට රජයේ මැදිහත්වීම වැඩිවිය. ඒ හේතුවෙන් මධ්‍යගත කාර්යභාරයද පුළුල්විය. 1948 සහ1958 අතර කාලය තුළ එම කාර්යභාරය දෙගුණයකින් පමණ ඉහළ ගිය බව දැක්වේ. රජයේ ආදායමෙන් 50%ක් වැනි විශාල ප්‍රමාණයක් වැය වූයේ  රාජ්‍ය පරිපාලනය සඳහා බව 1961 වැටුප් කොමිසම පෙන්වා දී ඇත. ඒ අතර 1952 පමණ සිට විදේශීය ගෙවුම් ශේෂයද සීඝ්‍රයෙන් පහත වැටුනු අතර නිදහස ලැබීමටත් පෙර සිටම ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබූ රාජ්‍ය සුභසාධන කටයුතුද වර්ධනය විය. 1960 දශකය අවසාන කාලයේදී රජය මඟින් ඉටුකළ යුතු කාර්යභාරය වෙනුවෙන් දැරිය යුතු වියදම සඳහා ප්‍රමාණවත් ආදායමක් සපයාගත නොහැකි තත්වයක් ගොඩනැගෙමින් තිබිණි. එම තත්වය යටතේ රජයට බෙහෙවින් දුෂ්කර කාලපරිච්ඡේදයකට මුහුණ දීමට සිදුවිය .


                  නිදහස ලැබීමට පෙර හා පසුවද ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ඒකීය ආණ්ඩුක්‍රමයකි. එබැවින් රාජ්‍ය පරිපාලන කටයුතු ආණ්ඩු මධ්‍ය වෙත සංකේන්ද්‍රගත වී තිබේ. සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එම බලතල ක්‍රියාත්මක කිරීම පැවරී තිබුණේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටය. ඒ අනුව අගමැතිවරයා විසින් විවිධ විෂය ක්ෂේත්‍ර අනුව වර්ග කරන ලද දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ආයතන අමාත්‍යංශ වලට බෙදා ඒවා ඇමතිවරුන්ට පවරනු ලැබේ. ඒවාට පැවරෙන කාර්යභාරයන් ඉටුකරනු පිණිස රාජ්‍ය සේවකයන් යොදාගනු ලැබේ. වර්තමානයේද ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝමයක් රටවල මෙම ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් ක්‍රියාත්මකවන අතර එහිදි ජනාධිපතිගේ හා අගමැතිගේ භූමිකාවන් වෙනස් වේ.


                      ලංකා‍වේ පරිපාලන ක්ෂේත්‍රයට කැබිනට් මණ්ඩල ක්‍රමය හඳුන්වාදීමත් සමඟ එහි සම්බන්ධීකරණ කටයුතු හා ක්‍රියාකාරීත්වය විධිමත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ස්ථිර ලේකම් යනුවෙන් නව තනතුරු 2ක් හඳුන්වනු ලැබීය. මෙහිදී කැබිනට් ලේකම්වරයාගේ වගකීම වූයේ අමාත්‍යංශ කීපයකට අදාළවන විෂය කරුණු මතු වූ අවස්ථා වලදී එම අමාත්‍යංශ අතර සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමයි. එසේම එක අමාත්‍යංශයක් යටතට පත්වන විවිධ දෙපාර්තමේන්තු, සංස්ථා හා ආයතන අතර ඒකාබද්ධතාවයක් පවත්වා ගැනීම අවශ්‍ය වූ බැවින් ඇමතිවරයාගේ දේශපාලන නායකත්වය යටතේ එම කාර්ය ඉටු කිරීමේ පරිපාලන නායකත්වය අමාත්‍යංශයේ ස්ථිර ලේකම්වරයාට පැවරුණි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එම නිළ නාමය “ලේකම්” ලෙස වෙනස් කරනු ලැබීය. 


2. ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ඉතිහාසය

              රාජ්‍ය මඟින් ජනතාවට සපයන සේවාවන් හා එම සේවාවන් කළමනාකරණය කිරීම රාජ්‍ය පරිපාලනයේ කාර්යභාරය බව කෙටියෙන් විස්තර කළ හැක. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයද ලාංකීය ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව සකස්වී ඇත. නිදහස ලැබීමෙන් පසුවද ලංකාවේ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වූයේ බ්‍රිතාන්‍ය යුගයේ පැවති ආකාරයටය. විවිධ නිලධාරීන්ට පැවරෙන නිළතල හා කාර්යභාරය අනුව රාජ්‍ය සේවකයන් ශ්‍රේණිගත කර තිබූ අතර 1961 වනවිට රාජ්‍ය සේවය ප්‍රධාන ශ්‍රේණි 3කින් සමන්විත විය.

1. සුළු සේවක.

2. ලිපිකරු හා සමාන සේවා.

3. පරිපාලන නිලධාරි.

එම ශ්‍රේණීන් වේ.

                 තවද සිවිල් සේවය හා දෙපාර්තමේන්තු සේවය ලෙස කොටස් දෙකකට මෙම පරිපාලන සේවය වර්‍ග කොට තිබුණි. රාජ්‍ය සේවා කොමිසම විසින් පවත්වන ලද විවෘත තරඟ විභාගයක ප්‍රතිඵල අනුව සිවිල් සේවා තනතුර සඳහා පුද්ගලයන් තෝරාගත් අතර දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අවශ්‍යතාවය අනුව දෙපාර්තමේන්තු සේවා සඳහා වූ නිලධාරීන් විවිධ දෙපාර්තමේන්තුවල පවත්නා පුරප්පාඩු අනුව තෝරාගන්නා ලදි. එහිදී අනුගමනය කරන ලද ක්‍රමය වූයේ අදාළ වසරේ පැවති තරඟ විභාගයෙන් සිවිල් සේවයට ඇතුළත්වීමට අසමත් වූ අය වෙනුවෙන් පැවති සම්මුඛ පරීක්ෂණ මඟින් තෝරා ගැනීමයි.  


             මෙම ක්‍රමවේදයට අනුව රාජ්‍ය පරිපාලනයේ වැදගත්ම තනතුර වූ සිවිල් සේවයට බඳවාගත් නිලධාරීන්ට ලබාදුන් පුහුණුවෙන් පසු රාජකාරි සඳහා දෙපාර්තමේන්තු හා දිසාපති වැනි තනතුරුවලට පත්කරන ලදි. එම සෑම අංශයකම සේවා ස්ථාන මාරුවීම් ලබාගැනීමට හැකිවීම සිවිල් සේවයේ තිබූ විශේෂ වරප්‍රසාදයකි. නමුත් දෙපාර්තමේන්තු සේවයේ යෙදී සිටි නිලධාරීන්ට අදාළ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථාන මාරුවීම් ලබාගැනීමට නොහැකිවිය. එමඟින් දෙපාර්තමේන්තු සේවා නිලධාරීන් දැඩි අපහසුතාවකට පත්වූ අතර තම රැකියා පිළිබඳව කලකිරීමකට පත්විය. මෙම ක්‍රමවේදයේ තිබූ ප්‍රධානතම ගැටළුව වූයේ දෙපාර්තමේන්තුව සඳහා බඳවාගන්නා නිලධාරීන් අදාළ වර්ෂයේ පැවති පුරප්පාඩු සංඛ්‍යාව අනුව තෝරාගැනීමයි. එමඟින් ඉතා දක්ෂ පුද්ගලයන්ටද සිවිල් සේවයට බැඳීමට තිබූ අවස්ථා අහිමිවිය. මේ හේතුවෙන් සිවිල් සේවය එක්තරා සාඩම්බර ප්‍රභූ නිලධාරී තන්ත්‍රයක් ලෙස ජන සමාජයේ පිළිගැනිමට ලක්විය. නමුත් සෙසු නිලධාරි තනතුරු එයට දෙවැනි විය. පරිපාලන ක්ෂේත්‍රයේ තිබූ මෙම බෙදීම එක්තරා ආකාරයකට සමාජයේ පවතින කුල ක්‍රමය හා සමාන විය. එබැවින් මෙම ක්‍රමවේදය රාජ්‍ය පරිපාලනයට එතරම් සුදුසු නොවිණි. 1961 වැටුප් කොමිසමේ මතය වූයේද මෙයයි. 


              පරිපාලන කටයුතු සිදුවීමේදී පරිපාලන ක්ෂේත්‍රයේ සේවකයන් සම්බන්ධයෙන් පැවති මෙබඳු විෂමතා හේතුවෙන් රාජ්‍ය පරිපාලන කටයුතු අතිශයින්ම අකාර්යක්ෂම තත්වයක පැවතිණි. එමනිසා වැටුප් කොමිසමේ නිර්දේශය පරිදි 1963දී සිවිල් සේවය අවලංගු කොට “ලංකා පරිපාලන සේවය” ආරම්භකරනු ලැබීය .  බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භකරන ලද සිවිල් සේවය කෙතරම් පීඩාකාරී වූවේදයත් එය හඳුන්වනු ලැබුවේ ආණ්ඩුවේ “යකඩ රාමුව” වශයෙනි. කෙසේ වෙතත් වසර 150ක් පමණ පැවති සිවිල් සේවය එලෙසින් අවසන් කරන ලදි. 1948 නිදහස ලබාගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය පරිපාලන ආකෘතිය වෙනස් කරමින් ලංකාවට ගැලපෙන ආකාරයට එම ක්ෂේත්‍රය සකස් කිරීමට ගනුලැබූ පියවර ඉතා වැදගත්විය. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් හා 1956 ස්වභාෂා පනත හේතුවෙන් උපාධිධාරීන් සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ඔවුන්ට රාජ්‍ය සේවයට ඇතුල්වීම සඳහා ඉහත සඳහන් කරන ලද ප්‍රතිසංස්කරණ පිටිවහලක් විය. 


                ඩොනමෝර් ආණ්ඩුක්‍රම යුගයේ සිට අපක්ෂපාතී රාජ්‍ය සේවාවක් පවත්වා ගැනීම සඳහා රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම, උසස් කිරීම, විනය පරීක්ෂණ ආදි කටයුතු පැවරුණේ රාජ්‍ය සේවා කොමිසන් සභාවටයි. නමුත් 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 (1) වගන්තියට අනුව රාජ්‍ය සේවා කොමිසම අවලංගු කොට, එමඟින් ඉටුකරන කාර්යභාරය කැබිනට් මණ්ඩලය වෙත පවරා එහි අධීක්ෂණය යටතේ රාජ්‍ය සේවකයන්ගේ පත්කිරීම් හා ඔවුන්ගේ විනය කටයුතු පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය සේවා විනය මණ්ඩලයක් පිහිටුවන ලදී. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ මෙහෙයවීම මත රාජ්‍ය‍ සේවයේ කටයුතු වලදී අපක්ෂපාතීව කටයුතු කිරීමක් සිදුනොවිණි. එලෙසින් ඇතිවූ දේශපාලන මැදිහත් වීමෙන් 1972න් පසුව රාජ්‍ය ‍සේවය පුළුල් ලෙස දූෂණ, වංචා සහ අකටයුතුකම්වලට යොමුවීමක් සිදුවිය .  


                 නැවත අපක්ෂපාතී රාජ්‍ය සේවයක් පවත්වා ගැනීම අරමුණුකොට ගෙන රාජ්‍ය සේවා කොමිසම 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යළි ආරම්භ කරන ලදී. එම කොමිසමේ සාමාජිකයන් පත්කරනු ලැබුවේ ආණ්ඩුවේ නායකයා වූ ජනාධිපති විසිනි. එබැවින් එම ක්‍රමවේදයද රාජ්‍ය පරිපාලනය ස්වාධීන කිරීමට ප්‍රමාණවත් නොවිණි. එම නිසා නැවත රාජ්‍ය පරිපාලනය අපක්ෂපාතීව පවත්වා ගැනීමේ අරමුණින් 2001දී 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදෙන ලදී. එහිදී අදාළ කාර්යයන් ආණ්ඩුව හා විපක්ෂය එකතුව ක්‍රියාත්මක කළ යුතු විය. නමුත් වර්‍තමානය වනවිට එයද ක්‍රියාත්මක නොවන බැවින් රාජ්‍ය සේවය මෙහෙයවීම සිදුකරනු ලබන්නේ කැබිනට් මණ්ඩලය විසිනි. එම නිසා රාජ්‍ය සේවය පෙර පැවති ආකාරයටම දුර්වල, දූෂිත හා ව්‍යාකූල තත්වයකට පත්වී ඇත.


3. රාජ්‍ය පරිපාලන ආයතන හෙවත් සංවිධාන

               ආණ්ඩුවේ පරිපාලන කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම පිණිස යොදාගනු ලබන අතිවිශාල ව්‍යුහය සංවිධාන ලෙස දැක්විය හැක. සංස්ථාවක් පිළිබඳව සඳහන් කිරීමේදී සංවිධානය යන වචනය පාවිච්චි කරනුයේ එම සංස්ථාවේ සැකැස්ම හා අභ්‍යන්තර ව්‍යුහය විස්තර කරනු පිණිසය. තවද එහි අභ්‍යන්තර ඒකකයට අයත්වන විවිධ ඒකකයන් විවිධ කොටස් යනාදිය හැඳින්වීමටද එය අයත්වේ. යම්කිසි සංවිධානයක විවිධ කොටස් ක්‍රියාත්මකවන අයුරින් ඒවා අන්කොටස් හා සම්බන්ධවන ආකාරයත් තීන්දු ගලා යන ආකාරයත් යනාදිය පැහැදිලිව විස්තර වනුයේ සංවිධානයේ චිත්‍ර මඟිනි (Organization Chart). එම සංවිධාන චිත්‍රයෙන් පැහැදිලි කරනුයේ කාර්යභාරයන් බෙදා වෙන්කර තිබෙන ආකාරය, සංවිධානය තුළ සේවය කරන සේවකයන් අතර ඇති සම්බන්ධතාවයන්ය . ඒ අනුව ලංකාවේද රාජ්‍ය පරිපාලනය තුළ කටයුතු ‍පවත්වාගෙන යාම සඳහා සංවිධාන ව්‍යුහයක් ක්‍රියාත්මක වේ. 


                     ලංකාව නිදහස ලබාගන්නා විටත් රජය වෙත පැවරී ඇති පරිපාලන කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව මධ්‍යයේ ක්‍රියාත්මක කෙරුණු ඒකක පද්ධතියක් නැතහොත් සංවිධාන ව්‍යුහයක් තිබුණි. ඒවා 

1. දෙපාර්තමේන්තු

2. සංස්ථා

3. ආයතන

                       ලෙස සංවිධානය කොට තිබුණි. කල්යාමත් සමඟ රජයේ කාර්යභාරය සංකීර්ණ වීම හා පුළුල්වීම හේතුවෙන් එම දෙපාර්තමේන්තු හා සංස්ථා ප්‍රමාණය ඉහළ නැංවිණි. 

 දෙපාර්තමේන්තු

1948 පිහිටුවන ලද ග්‍රාම සංවර්ධන,සන්නිවේදන හා සමාජසේවා යන දෙපාර්තමේන්තුද 1950දී පිහිට වූ වනජීවී දෙපාර්තමේන්තුවද වැනි නව විෂය ක්ෂේත්‍ර සඳහා අළුතින් දෙපාර්තමේන්තු ආරම්භකරන ලදි. නිදහසින් පසු ලංකාවේ සමාජ ‍පෙරළියක් සිදුවූ 1956 බණ්ඩාරනායක රජය යටතේ රාජ්‍ය භාෂා, සංස්කෘතික හා කෘෂි සේවා වැනි නව දෙපාර්තමේන්තු කිහිපයක් ආරම්භකරනු ලැබීය .


   රාජ්‍ය සංස්ථා

                     නිදහස ලැබීමෙන් පසු හා ඊට පෙර සිටම ක්‍රියාත්මක වූ රාජ්‍ය සංස්ථා අතර සමුපකාර තොග වෙළඳ සංස්ථාව (1946), ගල්ඔය සංවර්ධන මණ්ඩලය (1950), එයාර් ලංකා (1951), ලංකා කිරි මණ්ඩලය (1954) යනාදිය වැදගත්වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේවා සියල්ල එජාප රජයන් යටතේ පිහිටුවන ලද සංස්ථාවන් වන අතර කෘෂිකර්ම, වාරිමාර්ග, විදුලිබලය, ආහාර නිෂ්පාදනය, ජලසම්පාදනය, කර්මාන්ත හා ඉඩම් ප්‍රතිසංස්කරණය වැනි බහුකාර්ය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වූ ගල්ඔය සංවර්ධන මණ්ඩලය ඉතා වැදගත් වීමයි.


              1956න් පසු ඇතිවූ ප්‍රබෝධයත් සමඟ නිදහසට  පෙර සිටම පැවතගෙන ආ රාජ්‍ය සංස්ථා ප්‍රමාණයද ඉතා සීඝ්‍රයෙන් වර්ධනය විය. 1956 මහජන එක්සත් පෙරමුණු රජය යටතේ ආර්ථික කටයුතු වලට පුළුල්ව මැදිහත්වීමක් සිදුකල අතර  ඒවා පරිපාලනය කිරීම සඳහා රාජ්‍ය සංස්ථා ගණනාවක් ආරම්භකරනු ලැබීය. ඒවා අතර ධීවර සංස්ථාව (1957), වරාය සංස්ථාව (1958), ලංකා ගමනා ගමන මණ්ඩලය (1958) ප්‍රධාන විය. 1960-1964 කාලය තුළ අග්‍රාමාත්‍ය ධූරය දැරූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායකගේ කාලය තුළ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඛණිජතෙල් නීතිගත සංස්ථාව (1961) වැනි වැදගත් සංස්ථා කීපයක් ආරම්භකරනු ලැබීය. ඒ අනුව 1958 වනවිට රාජ්‍ය සංස්ථා 25කට වැඩි ප්‍රමාණයක් තිබූ අතර 1970 වනවිට එම සංඛ්‍යාව 50 ඉක්මවා තිබුණි. 1975 වනවිට ස්වාධීන හා අර්ධ ස්වාධීන සංස්ථා හා මණ්ඩල 107ක් පැවතිණි. 


4. වර්තමානයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ජනතාවගේ මතය.

                  රාජ්‍ය පරිපාලනය පිළිබඳව අධ්‍යයනයේදී පෙනී යන්නේ රටක සංවර්ධනයට හා එම රටේ පරිපාලන කටයුතු සාර්ථකව පවත්වාගෙන යමින් ජනතා සුභසිද්ධිය ඇතිකරලීමට අපක්ෂපාතී හා සාර්ථක රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයක් අත්‍යාවශ්‍ය වන බවයි. ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍ර එලෙස ආදර්ශයට ගත හැකි ඒවා ලෙස සැළකිය හැකිය. නමුත් ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳ එලෙස සෑහීමකට පත්විය නොහැක. මන්දයත් ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය ජනතා සුභසිද්ධිය තකා කටයුතු නොකිරීමයි.


                       මහජනතාව තමාගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් කරගැනීම සඳහා රාජ්‍ය ආයතනයකට ගිය විට ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් කලකිරීමක් හටගනී. රාජ්‍ය සේවකයා ඉදිරියට එන පුද්ගලයාට ඉක්මන් හා කාර්යක්ෂම සේවාවක් සපයනවා වෙනුවට ඔහු රස්තියාදුකිරීමක් සිදුකරයි. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රාජ්‍ය පරිපාලන සේවකයා තම රැකියාව මුදල මත පමණක් තීරණය කරන අතර එය රැකියාවට අමතරව ජනතා සේවයක්ද වියයුතු බව නොසිතීමයි. තවද ඔහු තමා වැටුප් ලබන්නේ එම ජනතාවගේ බදු මුදලින් බව අමතක කර තිබේ. පෞද්ගලික අංශය හා සසඳන විට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව හා සේවාවන් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගත හැක.


                    රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය අකාර්යක්ෂම වීම‍ට බලපා තිබෙන තවත් එක් හේතුවක් වන්නේ රාජ්‍ය අංශය තුළට අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීමයි. එමඟින් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය පක්ෂපාතීවීමක්ද සිදුවන අතර අකාර්යක්ෂමවීමක්ද වී ඇත. රාජ්‍ය සේවකයා වැඩි වරප්‍රසාද ගැන සිතා දේශපාලකයන්ට සේවය සැලසීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට සේවයක් සැලසීමට ඔහුට අවශ්‍යතාවයක් ඇති නො‍වේ. මේ හේතුවෙන් මහජනතාව රාජ්‍ය අංශය පිළිබඳව දැඩි අප්‍රසාදයක් පලකරනු ලැබේ.


5. සමාලෝචනය



              ඉහත ආකාරයට රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ වැදගත්කම හා ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ව්‍යුහය, ප්‍රභවය, කාර්යභාරය හා ඒ සම්බන්ධ මහජනතාවගේ මතය දැක්විය හැකිය. රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය රටක පැවැත්මට අත්‍යාවශ්‍ය වන අතර එවැනි ක්‍රමවේදයක් නොමැතිව රටකට ඉදිරි ගමනක්ද නොමැත. රටක රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව හා සාර්ථකත්වය මත එම රට සංවර්ධනයකරා හෝ පරිහානියකරා ගමන් කරනු ලැබේ. ඇමරිකාව හා එංගලන්තය ආදී පළමු ලෝකයේ රටවල් සංවර්ධිත රටවල් ලෙසත් ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසත් පැවතීමට හේතුව මෙම රාජ්‍ය පරිපාලනයේ ඇති සාර්ථක අසාර්ථකභාවයයි.


                මෙහිදී ප්‍රමුඛව අවධානය යොමුකොට තිබෙන්නේ ලංකාවේ රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් වන අතර එහි ඇති අසාර්ථ ලක්ෂණ ඉස්මතු කරමින් දක්වා ඇත. යම්කිසි රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රටේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ඇති දුර්වලතා අවබෝධ කරගනිමින් සාර්ථක රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයන් ඇති රටවල් සමඟ සංසන්දනය කරමින් තුලනාත්මක අවබෝධයක් ලබාගත යුතුය. 

ආශ්‍රිත ග්‍රන්ථ නමාවලිය.
ජයකුමාර්. ටී., ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා - 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17වන සංශෝධනය දක්වා, කර්‍තෘ ප්‍රකාශන, නො.240/1, රටදෙල්ගහවත්ත, කුඩමාදුව-සිද්දමුල්ල, පිළියන්දල, 2009 මාර්තු.

ලැස්කි. හැරල්ඩ්. ජේ., රාජ්‍යය පිළිබඳ සිද්ධාන්ත හා ව්‍යවහාරය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල, 2005.


වර්ණපාල. විශ්වා, පරිපාලන විද්‍යා ප්‍රවේශය, ඇස්. ගොඩගේ සහෝදරයෝ, 675, පී. ද. ඇස්. කුලරත්න මාවත, කෙළඹ 10, 1992 සැප්තැම්බර්.

සොයිසා. එම්. ඕ. ඒ.,දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්ත, කර්‍තෘ ප්‍රකාශන, දේශපාලන විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය, 2003සැප්තැම්බර්.



ශ්‍රී ලාංකේය ඉතිහාසය-වෙළුම V, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ (පුද්ගලික) සමාගම, 217, ඕල්කොට් මාවත, කොළඹ 11, 2012.

Thursday, 6 February 2020

උම්මග්ග ජාතකයෙන් හෙළිවන දේශපාලන න්‍යාය

                                


හැදින්වීම.

        ජාතක කතා තරම් ජනප්‍රියත්වයට පත් තවත් සාහිත්‍යාංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරම් ය. බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායෙහි ඇතුළත් "ජාතක පාලි" නම් කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණි බව විශ්වාසයයි. ජාතක පාලිය, ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථාවන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථාවන්ට මිහිඳු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතාවන්හි ආරම්භය මෙය ලෙස සලකනු ලැබේ.
මෙම සිංහලෙන් ලියන ලද ජාතක අටුවාව අද අප අතර නැතත් මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මාහිමියන්ගේ අටුවා පාලියට නැගීමේ ව්‍යාපෘතිය ඔස්සේ එය පාලියට නැගී අදත් අප අතර "පාලි ජාතකට්ඨ කතාව" නමින් පවති. "පන්සිය පනස් ජාතක පොත් වහන්සේ "නමින් සිංහල පාඨක ජනතාවගේ ගෞරවයට පාත්‍ර වු සිංහල ජාතක පොත එම පාලි ජාතකට්ඨ කතාවේ පරිවර්තනයක් ලෙස අප අතරට පත්ව ඇත. සිංහල ජාතක පොත ලියවෙන්නට පෙර සිට ම ජාතක කතා ඉගෙනීමට සිංහලයන් දැක්වු උනන්දුව පැහැදිලි වන සාධක රැසක් ම හමුවේ. 12වන සියවසේ දී ජාතක අටුවා ගැට පදයක් ලියවුනේත් ජාතක ගාථා සන්නය, වෙසතුරු දා සන්නය, දස ජාතක සන්නය, අටදා සන්නය ආදිය ලියවුනේත් ධර්ම ප්‍රදීපිකාවේ සිට සියලු සිංහල සාහිත්‍ය කෘතීන්හි ජාතක කතා ඇතුළත් වුයේත් මුවදෙවිදාවත, කුසජාතකය, කවි සිළුමිණ, ජාතක කතා වස්තු කොට පද්‍ය කෘති බිහි වුයේත් එහි ප්‍රතිඵල වශයෙනි. මෙම ජාතක කතා බොහෝමයක් ලංකාවේ දී සංගෘහිත වුවත් එහි අන්තර්ගත තොරතුරු ඉපැරණි භාරතීය සමාජය පදනම් කර ගෙන පැවති බව පැහැදිලි වේ.
දීර්ඝ හා කෙටි වශයෙන් ජාතක කථා, ජාතක පොත පරිශීලනය කිරීමෙන් අපට පෙනෙන අතර එහි එන කුස ජාතකය, වෙස්‌සන්තර ජාතකය, විධුර ජාතකය, භූරි දත්ත ජාතකය, උම්මග්ග ජාතකය, දීර්ඝ කථා වස්තු ලෙස දැක්විය හැකි අතර අනෙක්‌ ඒවා කෙටි ඒවා බව පැවසිය හැකිය. සෑම ජාතක කථාවකම දක්‌නට ඇත්තේ, එකම ආකාරයේ සන්දර්භයක්‌ වුවත් උම්මග්ග ජාතකය වැනි කථා වස්තු පරික්ෂා කිරීමේදී අමතර වශයෙන් අතුරු කථා ඇතුළත් කිරීමෙන් ඒවායෙහි සන්දර්භය වෙනත් ආකාරයක් ගන්නා බව පැහැදිලි වේ.
අටුවාවෙහි ඇතුළත් ගැඹුරු ධර්ම ඉවත් කර සදාචාර සම්පන්න සමාජයක්‌ උදෙසා උපදෙස්‌ හා මඟ පෙන්වීම් දක්වමින් පොදු ජනතාව වෙත ඉදිරිපත් කරන උම්මග්ග ජාතකය යහපත් සමාජයක පැවැත්ම අපේක්ෂා කරන්නකි. මෙහි දී බෝධිසත්ව චරිතය උසස්‌ ගුණ දහමින් පරිපූර්ණ පරමාදර්ශී චරිතයක්‌ ලෙස සමාජ ගතකර ඇත. අනෙක්‌ චරිත සාමාන්‍ය පරිදි හොඳ හා නරක මෙන්ම මධ්‍යම ආදී වශයෙන් නිර්මාණය කර ඇත. සතුන් ගේ චරිත පංච තන්ත්‍රය හිතෝපදේශය වැනි සංස්කෘත උපදේශ ග්‍රන්ථවල මෙන් මානව චරිතයන්ට සමාන වන අයුරින් නිර්මාණ කර ඇත.
ජාතක කථාවන්හි එන ඇතැම් චරිත කලාත්මක අයුරින් ඉදිරිපත් කිරීමෙන් නවකතාවක චරිත නිරූපණය මෙන් සිදු කර ඇත. ඉතා සුළු චරිතයකට උදාහරණ වශයෙන් උම්මග්ග ජාතකයෙහි එන අමිත්ත තාපා සහ පූජක වැනි චරිත අපට සමීප කරන්නේ මානව හදවත් විනිවිද ගන්වන ආකාරයෙනි. ජාතක පොතෙහි දේශපාලන සන්දර්භය පිළිබඳව මනාව විවරණය කරනු ලබන්නේ ද උම්මග්ග ජාතකය තුළිනි. ජාතක කථාවෙහි අන්තර්ගත දේශපාලන ධාරාව වන්නේ බ්‍රහ්මදත්ත නම් වංශයයි. රජ පරපුර එකල පැවති දේශපාලන භූමියේ කැපී පෙනෙන චරිතය වේ. එමෙන්ම පුරෝහිත ද, අමාත්‍ය මණ්ඩලයද සිටිති. පුරෝහිත බමුණු පඬිවරයෙකි. සෑම ජාතක කථාවක්ම ආරම්භ වන්නේ බ්‍රහ්මදත්ත නම් රජු ගැන සඳහන් කිරීමෙනි. ඔහු තක්ෂිලාවේ සිසුවෙකු වෙයි. රාජ්‍ය පාලනයට අවශ්‍ය සියලු ම දැනුමෙන් හා හැකියාවෙන් පිරිපුන් අයකු වීම, එකල සිරිතයි. මේ නිසා රජු උගත් ගුණවත් රණශූර අයකු වීම, රටේ අභිවෘද්ධිය පිණිස හේතු වන්නකි.
  1. අන්තර්ගතයේ ඇති සුවිශේෂිතා.

ජාතක පොතෙහි ඇතුලත්වන ඉතා දිගු ජාතක කථාව වශයෙන් උම්මග්ග ජාතකය සැලකේ. එය උපහාස රසයෙන්ද වික්‍රමාන්විත ක්‍රියාවන්ගෙන්ද යුතු අතුරු කතා රාශියකින් සමන්විතය. උම්මග්ග ජාතක යනු උමඟේ කථාව ඇතුළත් ජාතකය යන අදහස ඇතුළත් වුවත් සමස්ත කතාන්දරය තුළින් ම අර්ථ ගන්වන්නේ හුදෙක් ධාර්මික සමාජයක වටිනාකම ම පමණක් නොවේ. උම්මග්ග ජාතකය" හෙවත් උමඟ ඇතුළෙහි කථාව හුදු ජාතක කථාවක් ම නොවේ. මෙම ජාතක කථාව මනාව පරිශීලනය කිරීමේ දී වැදගත් කාරණයක් සාධනය වේ. තියුණු නුවණක් ඇති ශ්‍රේෂ්ඨ රාජ්‍ය උපදේශකයකුගේ ජීවිත කථාව පිළිබිඹු වන බව පෙනේ. උම්මග්ග ජාතකය සූක්ෂ්ම අධ්‍යයනය කරන්නේ නම් ඒ තුළ අන්තර්ගත වන්නා වූ ඉතා වැදගත් දේශපාලන න්‍යායයන් රැසක් අනාවරණය කර ගත හැකි වේ. ඊට හොඳම නිදසුන වන්නේ මහෞෂධ කුමාරයාගේ කථාවයි. ජාතක කථාවේ නායකයා ද මහෞෂධ කුමරු ය. ඒ වූ කලී බලවත් සතුරු ආපදාවකට ගොදුරු වූ තම රජුත්, රටත් තමාගේ බුද්ධියේ උපකාරයෙන් බේරා ගන්නා ආකාරයයි. එහි අන්තර්ගත විස්තරයට අනුව මහෞෂධ කුමාරයා විසින් අටළොස් අක්ෂෞභිණියෙක මහා සේනාවක් පරාජය කර ඇත්තේ කිසිදු ලේ බිඳක් නොසෙල්වා ය.  
මේ පිළිබඳ ව අදහස් දක්වන මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මතය වී අත්තේ උම්මග්ග ජාතකයේ ඇතුළත් තොරතුරු චන්ද්‍ර ගුප්ත මෞර්ය රජුගේ සමයේ හෝ ඊට ආසන්න සමයේ සිදු වූවක් ලෙස උපකල්පනය කළ හැකි තොරතුරු අන්තර්ගතවන බවයි. ඒ අනුව කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය වස්තු කොටගෙන සකස් වී ඇති මෙහි චූලනී රජුගේ පුරෝහිතයා වන කේවට්ටයා කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය නිර්මාණය කළ චාණක්‍ය බමුණා විය හැකි බව වික්‍රමසිංහ මහතාගේ අනුමානය වී ඇත. මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් උම්මග්ග ජාතකය කෞටිල්‍ය අර්ථශාස්ත්‍රයේ ආභාෂය ලබා ඇති බවට ඇති මතය තුළින් ගම්‍ය වන්නේ එහි ඇති දේශපාලන මූලෝපායික වැදගත් කමයි. මන්ද යත් කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය යනු රජෙකුට දේශපාලනික අත්පොතකට සමාන වූවක් වීමයි.
උම්මග්ග ජාතකයෙන් හෙළිවන දේශපාලන හා සමාජ පසුබිම පිළිබදව විමසීමේ දී පෙනී යන්නේ රාජ්‍ය තන්ත්‍රය අභියෝගයකට ලක් වූ යුගයක් මෙයින් අවධාරණය වන බවයි. ක්ෂත්‍රියන්ට හා බ්‍රාහ්මණයන්ට අන්‍යෝන්‍ය සහයෝගයෙන් රාජ්‍ය ආරක්‍ෂා කර ගැනීමට පැවති ශක්තිය මේ වන විට නොපැවති බව පෙනී යයි. තමන්ට වඩා පහත් යැයි සලකනු ලැබූ කුලයකට අයත් මහෞෂධ කුමරු රාජ සේවයට කැඳවන්නට වේදේහ රජුට සිදු වන්නේ ඒ හේතුවෙනි.
  1. අන්තර්ගතයෙන් හෙළිවන දේශපාලනය.

        කථාවේ සඳහන් වන ආකාරයට මහෞෂධ කුමරු බුද්ධිමත් බව උපතින් ම රැගෙන ආ පුද්ගලයෙකි. ඔහු උපත ලැබූ රාජ්‍යය පිහිටියේ දඹදිවයි. එම රාජ්‍යය කුඩා එකකි. පුරාණ දඹදිව සොළොස් මහා ජනපද ගැන විසීමේදී "වේදේහ" තරම් ප්‍රබල රාජ්‍යයක් නොවන බව පැහැදිලි ය. වේදේහ රටේ අගනුවර "මියුලු නුවරයි". මියුලු නුවර වාසය කළ වේදේහ රජු දක්ෂ බුද්ධිමත් රාජ්‍යෝපාය සහිත පාලකයකු නොවූ බව පෙනේ. රජුට උපදෙස් දීමට බුද්ධිමතුන් සතර දෙනෙකු සිටි නමුත් සාම්ප්‍රදායික ව ඔවුන් හට නැකැත් ආදී ශාස්ත්‍ර පිළිබඳව වූ දැනුම පමණක් තිබුණි. මහෞෂධ කුමරාගේ ඉපදීම ඔවුන් කල් ඇතිව දැන සිටියෝ ය. එහෙත් උපදේශකයන් සතර දෙනාම සාමාන්‍ය මිනිසුන්ට පොදු වූ දුර්වලතාවලින් පෙළුණෝ ය. ළාබාල මහෞෂධ කුමරු රාජ්‍ය සේවයට එන විට ඔවුහු මුල සිටම ඊර්ෂ්‍යා කළහ. මහෞෂධ කුමරාගේ ආගමනය සිදු වන්නේ මෙවැනි පරිසරයකය. ඔහුට රාජ මාලිගය තුළ දීම කුමන්ත්‍රණවලට මුහුණ දෙන්නට සිදු වේ. මෙම කුමන්ත්‍රණ පරාජය කිරීමට ඔහු සමත් වන්නේ තම සියුම් බුද්ධිය ඉවහල් කොට ගැනීමෙනි. සේනකයා ප්‍රමුඛ උපදේශකවරු අටවන උගුලේ ඔහුට වැටෙන්නට සැලැස්වීමෙන් මේ බව වටහා ගත හැකිය. එදත් අදත් ඕනෑම රටක රාජ්‍ය සේවය තුළ මේ ආකාර කුමන්ත්‍රණ අඩුවක් නැතිව සිදු වේ.
මහෞෂධ කුමරු රාජ සේවයට එන විට දඹදිව ලොකු, කුඩා රාජ්‍යයන් සියයකට ආසන්න ගණනක් තිබුණ බව පෙනේ. භූගෝලීය හා සමාජ සාධක මත රාජ්‍යයන් ප්‍රබලව තිබුණි. භූගෝලීය වශයෙන් විශාල රටක ජන සංඛ්‍යාවද විශාලය. එබඳු රටක යුධ හමුදාවද විශාලය. එහි අනෙක් පැත්ත දක්නට ලැබුණේ කුඩා රාජ්‍යවලය. කේවට්ට නම් උපදේශකවරයා සිය සැලැස්ම සම්පාදනය කරන්නේ එකී පසුබිම මතය. කේවට්ට වනාහී මහෞෂධ පණ්ඩිතයාට පමණක් දෙවැනි වන ප්‍රඥාවෙන් අගතැන්පත් අයෙකි. ඔහුගේ සැලැස්ම ව්‍යර්ථ වී ගියේ නූලෙනි. එසේ නොවුනේ නම් ඉතිහාසයේ විශාල ම අධිරාජ්‍යය ගොඩ නගන්නේ චූලනී බ්‍රහ්මදත්ත රජු ය. රජ මාලිගයේ කුමන්ත්‍රණය පරදවා මහෞෂධ රාජ්‍ය පාලනය අතට ගන්නේ ළාබාල වියේදීම ය. ඔහුගේ වයසට සාපේක්‍ෂව සේනක, දේවින්ද, කාවින්ද හා පුක්කුස ජ්‍යෙෂ්ඨයෝ වෙති. නමුත් බුද්ධියට වයසෙන් ඇති වන බලපෑමක් නැති තරම් ය. මහෞෂධ නම් ලාබාල රාජෝපදේශකවරයා කි‍්‍රයාකරන අයුරු ඉතා සිත් ඇදගන්නා සුළු වේ. මෙහි දී ඔහු වැදගත් පියවර දෙකක් ගනී. ප්‍රථමයෙන් ඔහු කරන්නේ ඔත්තු සේවාව විධිමත් ව සංවිධානය කිරීමයි. ඕනෑම දක්‍ෂ ප්‍රබල නායකයකු සිය රට මෙහෙයවීමේ දී ඔත්තු හා බුද්ධි අංශ ඉහළ තැනකට ගෙන එනු ලබයි. මහෞෂධගේ ඔත්තු සේවාව වේදේහ රට තුළ ද ඉන් පරිබාහිරද සමස්ත දඹදිව පුරාව ද කි‍්‍රයාත්මක විය. ඔත්තු සේවාව සඳහා ඔහු යොදා ගත් ක්‍රම ඉතාමත් විශිෂ්ට විය. මිනිසුන්, සතුන් හා වෙනත් ක්‍රම ද එහිදී උපයෝගී කොටගනු ලැබීය.
එහිදී දඹදිව සෙසු රාජ්‍යවල සේවය සඳහා ද චරපුරුෂයෝ යොදවනු ලැබූ අතර මෙම චරපුරුෂයන් එම රාජ්‍යවල නොයෙක් අංශවලට ඇතුළු වීමට ද සමත් විය. එය යුධ හමුදාව හෝ රාජමාළිගයේ අභ්‍යන්තර සේවාවන් විය හැකිය. එහෙත් මේ චරපුරුෂයන්ට යා හැකි සීමාවක් ඇත. ඉන් ඔබ්බට ගොස් රහස් සොයන්නේ කෙසේ ද? යන්න ගැටලු සහගත විය. උදාහරණයක් ලෙස බ්‍රහ්මදත්ත රජු හා කේවට්ටයා අතර ඇති වන සාකච්ඡාව චරපුරුෂ සේවයට අසු නොවේ. එය ඌණතාවකි. මහෞෂධ කුමාරයාගේ සියුම් ඥානය ප්‍රකට වන්නේ මෙහිදීය. ඔහු සාමාන්‍ය මිනිසුන්ට යා නොහැකි තැන්වලට පක්ෂීන් යොදවයි. සාමාන්‍යයෙන් ගිරවුන්, මයිනුන්, සැලයන් ඔත්තු සෙවීමේ කාර්යයට යොදා ගනු ලබයි. ප්‍රධාන දෙය ඔවුන්ට මනුෂ්‍ය භාෂාව කථා කිරීමට අසා තේරුම් ගැනීමට හැකියාව තිබීමයි. මහෞෂධගේ මේ ඔත්තු සොයන පක්‍ෂීහු චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ රහස් සාකච්ඡා දෙකක් ම ශ‍්‍රවණය කරති.
වර්තමාන ලෝකයේ ඔත්තු සේවාවල කාර්යභාරය ඉතා ඉහලින් පිළිගැනේ. බුද්ධි අංශ තොරතුරු නොමැතිව සටනට යෑම සිය දිවි නසා ගැනීමක් හා සමාන වේ. මෑත කාලයේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලදී සියයට සියයක් උදව් වූයේ බුද්ධි තොරතුරුයි. අද ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව වැනි රටවල ඔත්තු සේවා ක්‍රමානුකූල ගොඩනගා ඇත. ඇ. එ. ජනපදයේ  සී. අයි. ඒ ඔත්තු සේවාවට හොරෙන් පෘථිවිය මත කිසිම දෙයක් කළ නොහැක. පෘථිවි කක්ෂයට ඇතුළුව න සියලු බාහිර වස්තූන් පවා ඔවුන් නිරීක්‍ෂණය කරයි. අදට වසර දහස් ගණනකට පෙර මේ සම්බන්ධව කි‍්‍රයාකළ විශිෂ්ට පුද්ගලයා මහෞෂධ කුමරු ය.
තම රාජ්‍යය ඇතුළත ආරක්‍ෂාව තර කිරීම ඔහුගේ අනෙක් අභිප්‍රාය විය. නුවර ආරක්‍ෂාව තර කිරීම සඳහා ප්‍රථමයෙන් නුවර වටා උසැති තාප්පයක් බඳවයි. තාප්පය මත මුර ගෙවල් අට්ටාල ඇත. ඒවායේ විවිධ මුර භටයෝ සිටිති. දුනුවායෝ, ඈත නිරීක්‍ෂණය කරන්නන්ඒ මත සිටිති. මහෞෂධ මෙපමණකින් සෑහීමකට පත් නොවේ. තාප්පය ඉදිරියේ සුවිශාල දිය අගලක් තනවයි. එය ගැඹුරුය. එමෙන්ම බිහිසුණුය. දියට බට ඇසිල්ලෙන් කඩා පනින කිඹුලන්, මෝරුන් ආදී චණ්ඩ ජලචරයෝ එහි වාසය කරති. ඊට අමතරව මියුලු නුවර ද ධන ධාන්‍ය පුරවයි. සියලු දේ මාස ගණනකට සෑහෙන සේ රැස් කරයි. මේ සූදානමේ ප්‍රතිඵලය ලබන්නේ බ්‍රහ්මදත්ත රජු මියුලු නුවර වැටලීමෙන් පසුව ය. නුවරවාසීන් බඩගින්නේ තබා ජලය කපා හැර යටත් කිරීමට කේවට්ටයා දරන උපාය පරාජයට පත්වන්නේ යටකී උපාය නිසා ය.

උදා;
චූලනී බ්‍රහ්මදත්ත රජතුමා ප්‍රමුඛ සේනාව විසින් මියුලු නුවර යටත් කර ගැනීමට උපායක් ලෙසින්, එම රාජධානිය වට කොට නුවරට පැන් ගෙන ඒම නවතන ලදී. මේ අවස්ථාවේ දී මහෞෂධ පඬිතුමා ඔහුගේ විපුල ඥානය මුවහත් කරමින් සැට රියන් උණ දණ්ඩක ඇඹුල බිජු දමා මැටි උඩ තබා පැන් පුරාලූයේ ය. එවිට, එක් රැයකින් සැට රියන් උසට දික් වූ දඬු ඇති නෙළුම් මල් හට ගත්තේ ය. එම නෙළුම් මල් පිටත සතුරන්ට පෙනෙන්නට ද සැලැස්වී ය. නෙළුම් මල් දඬු සමග කඩා සතුරන් දෙසට විසි කරන්නට විය. ඒවා දුටු සතුරු සේනාව නුවර ඇතුළතත් එපමණ දික් වූ නෙළුම් මල් පිපීමට නම් මහා විල් ඇතැයි සිතා යටකී උපාය අත්හැර දමන ලදී. නෙළුම් මල් සිට වූ එම පුවත මෙසේ කථාවේ දිග හැරෙයි.
"සැට රියන් උස උණ දණ්ඩක් ගෙන්වා... හිමාලයෙන් ගෙන් වූ මැටි හා ඇඹුල බිජු ගෙන පොකුණු අසැ දියෙහි බිජුවට රෝපණය කරවා මැටි පිට උණ දණ්ඩ සිටුවා ඇතුළේ පැන් පුරවා ලූ සේක."
තවත් වරෙක, මියුලු නුවරට දර ගෙන ඒම නැවැත්වීමට සතුරු සේනාව විසින් කටයුතු කරන ලදි. දර නොමැතිව අහර පිසීමට හැකියාවක් නොලැබීමෙන් නුවර වැසියන් යටත් වනු ඇතැයි සතුරෝ සිතූ හ. එවිට, මහෞෂධ පණ්ඩිතයින් විසින් මෙබඳු උපායක් දියත් කරවන ලදි. එනම්, පිටතට පෙනෙන සේ පවුර ඇතුළතින් දර රැස් කර තවත් දරවලින් පිටත සිටි සේනාවට රැගෙන යාම සඳහා දර විසී කිරීමට කටයුතු කිරීමයි. ඒ බව මෙසේ ජාතක කථාවේ සඳහන් වෙයි.
"කොල, දර නැතිව පිස කෑ නොහී සයින් පීඩිතව නොහිඳ නැති කෙනෙක් උළුකැන් බත් ආදිය පිස කව. ..තෙල ඇරගන්වයි මහත් දර කඳන් ඇඟට දමා ලන්නා හ."
මේ දුටු සතුරු සේනාව සිතන්නේ, නුවරට දර ගෙන ඒම නැවැත්වීමෙන් යටත් කර ගත නොහැකි බවයි.
චූලනී බ්‍රහ්මදත්ත රජු සමඟ එක් සියයක් රජවරු හා ලක්‍ෂ ගණනක සේනාවක් නුවර වට කොට සිටී. යුද්ධ කර මොවුන් ජය ගත නොහැකි බව වටහා ගත් මහෞෂධ පඬිවරයා මෙහිදී උපාය මාර්ගික කටයුතුවලට පෙළෙඹෙයි. ඒ අනුව ඔත්තු සේවාවක් කි‍්‍රයාත්මක කරවීය. එමඟින් බ්‍රහ්මදත්ත රජු හා අනෙක් රජවරු අතර සමඟිය බිඳ වැටී සැකය වැඩි විය. අධෛර්යයට පත් වූ රජු යුද්ධය හැර දමා තම රාජ්‍යයට පසු බසිනු ලැබීය.
සතුරු සේනාවන්ගෙන් රාජ්‍ය බේරා ගැනීමටත්  දඹදිව තුළ රාජ්‍ය පැවැත්ම ස්ථාවර කරලීමටත් මහෞෂධ කුමාරයාට හැකි වූයේ තමා සතු වූ බුද්ධි මහිමය හේතුවෙනි. එසේම උම්මග්ග ජාතකය තුළින් හෙළිවන අනාවරණයන් කීපයක් සංක්ෂිප්තව දැක්විය හැකිය.
උම්මග්ග ජාතකයෙන් හෙළිවන සමාජයේ විවිධ පැති කඩ පිළිබඳ විවරණයක් කළ හැකිය. එනම්;
  1. අධ්‍යාපන අංශය

  2. දේශපාලන අංශය

  3. ආර්ථික අංශය

  4. පවුල් සංස්ථාව

  5. ආගමික අංශය

මේ අයුරින් සමාජයේ වැදගත් අංශ ගණනාවක් එමගින් විවරණය වේ. එහිදී දේශපාලන අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමුව පැවති බව අවබෝධ කරගත හැකිය. සමස්තයක් ලෙස රාජ්‍ය උපාය මාර්ග අනුගමනය කිරීමේදී මහෞෂධ කුමාරයාගේ දේශපාලන ක්‍රියාකලාපය යම් යම් අංශවලදී තර්කානුකූලව සිතන්නට හා ගැටලුවලට නොබියව මුහුණ දෙන්නට අනුබල දෙන නිකොලායි මැකියාවලිගේ කුමාරයා නැමැති ග්‍රන්ථයේ පාලකයෙකු විසින් තම බලය ලබා ගැනීම, එම බලය ස්ථාවර කර ගැනීම හා අවසාන වශයෙන් බලය ව්‍යාප්ත කිරීම යන අංශ සමඟ සමරූපතාවක් පවතින බවද පිළිබිඹු වේ.

නිගමනය
වර්තමාන ලෝකයේ දේශපාලනය කරන අයට ඉමහත් ආදර්ශයක් උම්මග්ග ජාතකය මගින් ලබා දෙන බව අවබෝධ කර ගත හැක. ඒ තුළ, දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කර බලලෝභීත්වය මත අධිරාජ්‍යවාදී මානසිකත්වයෙන් යුතු ව පාලනය කරන චූලනී බ්‍රහ්මදත්ත රජු හා කේවට්ට ආචාරීන් වැනි චරිත වර්තමානය හා සංසන්දනය කරමින් හඳුනාගත හැකිය. තවත් පැත්තකින් පෙන්වන්නේ මහෞෂධ පඬිතුමා ඇතුළු රජ පිරිසයි. මෙහි දී එකල පැවති පාලන රටාවේ දූෂිත හා අකාර්යක්ෂමතාව අද ද ලොව පුරා රාජ්‍යවල ද දැකිය හැකිය. රාජ්‍ය නිලධාරීන් මැති ඇමතිවරුන් වංචා දූෂණ කරන ආකාරය හා ජනතා දේපළ ගසා ගෙන කෑම හා පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති අයුරු එහි සඳහන් වෙයි. සේනක, පුක්කුස , කාවින්ද, දේවින්ද ,ආදීන් රජුට වැරදි උපදෙස් දී ජනතාවගෙන් ඈත් කිරීම සිදුවිය. කේවට්ට ආචාරීන් ඉතා ම කපටි දේශපාලන උපදේශකයෙකි. අකාර්යක්ෂම රාජ්‍ය පාලනය, ජනතා හිතවාදී බවින් තොරවීම ආදී කරුණු රැසක් වර්තමානයට උම්මග්ග ජාතකය මඟින් හෙළිකරණු ලබයි. මහෞෂධ චරිතය මගින් පැහැදිලි ජනතා හිතවාදී නායකත්වය හා සංවර්ධන ඉලක්ක කරා රාජ්‍ය මෙහෙයවන ආකාරය ඉතා පැහැදිලිව ම පෙන්වා දී තිබේ. වර්තමානයේ ලෝකයේ දේශපාලන රටාවට අවශ්‍ය සම්පත් ඒකරාශී කිරීමට උම්මග්ග ජාතකය උපදෙස් ලබා දෙයි. එමෙන්ම ධාර්මික ව අපක්‍ෂපාතී ව නඩු විසඳීම ගැන අධිකරණමය කරුණක් එමගින් අවධාරණය  කොට තිබේ
මෙයට අමතරව රාජ්‍ය පාලකයා තම දිවි දෙවැනි කොට ජනතාව සුරක්‍ෂිත කළ යුතු බව අවධාරණය කර ඇත. මේ අනුව බලන විට දේශපාලනික වශයෙන් ඉතා ම වැදගත් පණිවිඩයක් වර්තමාන දේශපාලකයන්ට මෙමගින් ලබා දෙයි. රජය නිතරම තම මාතෘභූමියේ ඒකීය බව රැකීමට බැඳී සිටියි. මෙමගින් ද එම ලක්ෂණය දැකිය හැකිය. රජු තම දේශය මනා කොට සුරක්‍ෂිත කිරීම සිදු කළහ. රටත්, ජනතාවත්, ආරක්‍ෂා කළහ. මේ නිසා අපට ජාතක කතා ආදර්ශ කොටගෙන කටයුතු කළහොත් දියුණු රාජ්‍ය ලක්ෂණ ලඟා කර ගත හැකි බව පෙන්වා දිය හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.


අමරසිරි, ආනන්ද, මහෞෂධ කුමාරයාගේ කතන්දරය, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2006.
ඉලංගසිංහ, මංගල, පෙරදිග දේශපාලන චින්තනය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන, 2008.
ගම්ලත්, සුචරිත, උම්මග්ග ජාතක ප්‍රවේශය, සහස්‍ර ප්‍රකාශකයෝ, කොළඹ, 2007.
මුනිදාස, කුමාරතුංග, උම්මග්ග ජාතකය, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2015.
ලැස්කි, හැරල්ඩ් ජේ. රාජ්‍ය පිළිබඳ සිද්ධාන්ත හා ව්‍යවහාරය. පරි: ඩී බී. අයි. එස්. සිරිවර්ධන, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2005.
වෙත්තමුණි, විජයසිරි., සරල සිංහල මහා වංශය, කර්තෘ ප්‍රකාශන, කළුතර උතුර, 2009.
වික්‍රමසිංහ, මාර්ටින්, ජාතක කතා විමසුම, සරස ප්‍රකාශකයෝ, රාජගිරිය, 1968.
සිරි සීවලී, බඹරැන්දේ, උම්මග්ග ජාතකය, මැකලම් පොත් හල, කොළඹ, 1956.


උම්මග්ග ජාතකය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2015.