අද වනවිට රාජ්‍ය, මිනිසාගේ උපතේ සිට මරණය දක්වා වූ සෑම වැදගත් අංශයක් කෙරෙහිම මැදිහත්වීමක් කරනු ලබයි. එහි වැදගත්කම කෙතරම්දයත් මහජනයාද නිතරම රාජ්‍යයෙන් පහසුකම් ලබා ගැනීමට උත්සාහ කරයි. ඇරිස්ටෝටල්ට අනුව රාජ්‍ය පවතින්නේ “යහපත් ජීවිතයක් වැඩීමට රුකුල් දීමටයි.” තවද “ජීවිතයත් මරණයත් ගැන රාජ්‍යයට ඇති බලය නිසා සැපයෙන සුරක්ෂිතතාව නොමැතිව, ශිෂ්ටාචාරයක් ඇති විය නොහැකි බව” හොබ්ස් ප්‍රකාශකර තිබේ. මෙම නිර්වචනයන් වලින් පෙනී යන්නේ රාජ්‍ය තම පුරවැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවයි. රාජ්‍ය යනු “සාමයෙන් භුක්ති විඳීමට නොහැකි වුවහොත් කාලකණ්ණි ජීවිතයකට අප කැප කරවන අන්දමේ ජීවිතයටත්, නිදහසටත්, දේපළ වලටත් ඇති අයිතිවාසිකම් සම්පාදනය කළ හැක්කේ මනුෂ්‍යයින් පිළිගන්නා ක්‍රියාපටිපාටීන්‍ගෙන් යුක්ත වූ රීති පනවන පොදු කාර්යමණ්ඩලයකට බව” ලැස්කි පෙන්වා දෙයි. මෙයින් පෙනී යන්නේ රාජ්‍යයට තම පුරවැසියන්ගේ අභිවෘද්ධිය ඇතිකරලීම සඳහා වූ කටයුත්ත සුවිශේෂිත වූ කාර්යමණ්ඩලයකගේ සහය ලබාගෙන වැඩකල යුතු බවයි. එම කාර්යමණ්ඩලය සහ එහි ක්‍රියාදාමයන් අප විසින් හඳුන්වනු ලබන්නේ රාජ්‍ය පරිපාලනය ලෙසයි.
රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවේ වැඩකටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාවට නැංවීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම යන සමස්ත ක්‍රියාදාමයේම එකතුවක් ලෙස දළ වශයෙන් හැඳින්විය හැක. සෑම රටකටම රාජ්‍ය පරිපාලන ක්‍රමය වනුයේ එම රටෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස වන අතර, එම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයන් රාශියක්ම එක්තරා පරිපාලන ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලැබේ. එම ක්‍රියාවලියට අයත්වනුයේ අවශ්‍යය පරිපාලන ව්‍යුහයන් සකස් කිරීම වේ. එනම් එයට සම්බන්ධවන ඒකකයන් සංවිධානය කිරීම, වැඩපිළිවෙල සම්පාදනය කිරීම, ක්‍රියාත්මකවීම මැනීම සඳහා අවශ්‍යය තත්ව පරීක්ෂණ ක්‍රමයන් සැකසීම, ප්‍රතිපත්ති ඇගයීම් ක්‍රමයන් සකස් කිරීම, තවද රාජ්‍ය අයවැය සැකසීම, වැය ගිණුම් පරීක්ෂා කිරීමේ ක්‍රම සැකසීම, සේවකයින් බඳවා ගැනීම, පුහුණු කිරීම සහ මෙහෙයවීම, කාර්යභාරයන් ඉටුකිරීම සඳහා වගකීම් පැවරීම යනාදී කාරණා රාජ්‍ය පරිපාලනයේ විධිමත් කාර්යභාරය ලෙස හැඳින්විය හැකිය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ එය විධිමත් හා සැළසුම් සහගතව ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය යුගයේදි බවයි. එහෙයින් ලංකාවේ හා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයන් බොහෝදුරට එක හා සමාන වේ. ලංකාව 1948දී නිදහස ලබා ගන්නාවිට තිබුණු බ්‍රිතාන්‍ය ආකෘතියකින් යුත් රාජ්‍ය පරිපාලනය වර්තමානය වනවිට රටට ගැලපෙන ආකාරයෙන් සුළු සුළු සංශෝධනයන්ගෙන් යුක්තව පැවතගෙන එනුලැබේ.
මෙමඟින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීමෙන් පසු ඇති වූ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ වර්ධනයත්, ඇතිකරනු ලැබූ නව ආයතනුත් (සංවිධාන), කාර්යභාරය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව තොරතුරු දැක්වීමට අපේක්ෂා කෙරේ. තවද රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය අධ්‍යයනය සම්බන්ධයෙන්, ඓතිහාසික හා තුලනාත්මක අධ්‍යයන ක්‍රම උපයෝගී කරගනිමින් තොරතුරු දක්වා ඇත.
1. ලංකාවේ පරිපාලන ව්‍යුහය
නිදහස ලැබීමෙන් පසු ආර්ථික හා සමාජ ක්ෂේත්‍රවලට රජයේ මැදිහත්වීම වැඩිවිය. ඒ හේතුවෙන් මධ්‍යගත කාර්යභාරයද පුළුල්විය. 1948 සහ1958 අතර කාලය තුළ එම කාර්යභාරය දෙගුණයකින් පමණ ඉහළ ගිය බව දැක්වේ. රජයේ ආදායමෙන් 50%ක් වැනි විශාල ප්‍රමාණයක් වැය වූයේ රාජ්‍ය පරිපාලනය සඳහා බව 1961 වැටුප් කොමිසම පෙන්වා දී ඇත. ඒ අතර 1952 පමණ සිට විදේශීය ගෙවුම් ශේෂයද සීඝ්‍රයෙන් පහත වැටුනු අතර නිදහස ලැබීමටත් පෙර සිටම ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබූ රාජ්‍ය සුභසාධන කටයුතුද වර්ධනය විය. 1960 දශකය අවසාන කාලයේදී රජය මඟින් ඉටුකළ යුතු කාර්යභාරය වෙනුවෙන් දැරිය යුතු වියදම සඳහා ප්‍රමාණවත් ආදායමක් සපයාගත නොහැකි තත්වයක් ගොඩනැගෙමින් තිබිණි. එම තත්වය යටතේ රජයට බෙහෙවින් දුෂ්කර කාලපරිච්ඡේදයකට මුහුණ දීමට සිදුවිය .
නිදහස ලැබීමට පෙර හා පසුවද ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ඒකීය ආණ්ඩුක්‍රමයකි. එබැවින් රාජ්‍ය පරිපාලන කටයුතු ආණ්ඩු මධ්‍ය වෙත සංකේන්ද්‍රගත වී තිබේ. සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එම බලතල ක්‍රියාත්මක කිරීම පැවරී තිබුණේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටය. ඒ අනුව අගමැතිවරයා විසින් විවිධ විෂය ක්ෂේත්‍ර අනුව වර්ග කරන ලද දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ආයතන අමාත්‍යංශ වලට බෙදා ඒවා ඇමතිවරුන්ට පවරනු ලැබේ. ඒවාට පැවරෙන කාර්යභාරයන් ඉටුකරනු පිණිස රාජ්‍ය සේවකයන් යොදාගනු ලැබේ. වර්තමානයේද ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝමයක් රටවල මෙම ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් ක්‍රියාත්මකවන අතර එහිදි ජනාධිපතිගේ හා අගමැතිගේ භූමිකාවන් වෙනස් වේ.
ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රයට කැබිනට් මණ්ඩල ක්‍රමය හඳුන්වාදීමත් සමඟ එහි සම්බන්ධීකරණ කටයුතු හා ක්‍රියාකාරීත්වය විධිමත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ස්ථිර ලේකම් යනුවෙන් නව තනතුරු 2ක් හඳුන්වනු ලැබීය. මෙහිදී කැබිනට් ලේකම්වරයාගේ වගකීම වූයේ අමාත්‍යංශ කීපයකට අදාළවන විෂය කරුණු මතු වූ අවස්ථා වලදී එම අමාත්‍යංශ අතර සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමයි. එසේම එක අමාත්‍යංශයක් යටතට පත්වන විවිධ දෙපාර්තමේන්තු, සංස්ථා හා ආයතන අතර ඒකාබද්ධතාවයක් පවත්වා ගැනීම අවශ්‍ය වූ බැවින් ඇමතිවරයාගේ දේශපාලන නායකත්වය යටතේ එම කාර්ය ඉටු කිරීමේ පරිපාලන නායකත්වය අමාත්‍යංශයේ ස්ථිර ලේකම්වරයාට පැවරුණි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එම නිළ නාමය “ලේකම්” ලෙස වෙනස් කරනු ලැබීය.
2. ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ඉතිහාසය
රාජ්‍ය මඟින් ජනතාවට සපයන සේවාවන් හා එම සේවාවන් කළමනාකරණය කිරීම රාජ්‍ය පරිපාලනයේ කාර්යභාරය බව කෙටියෙන් විස්තර කළ හැක. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයද ලාංකීය ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව සකස්වී ඇත. නිදහස ලැබීමෙන් පසුවද ලංකාවේ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වූයේ බ්‍රිතාන්‍ය යුගයේ පැවති ආකාරයටය. විවිධ නිලධාරීන්ට පැවරෙන නිළතල හා කාර්යභාරය අනුව රාජ්‍ය සේවකයන් ශ්‍රේණිගත කර තිබූ අතර 1961 වනවිට රාජ්‍ය සේවය ප්‍රධාන ශ්‍රේණි 3කින් සමන්විත විය.
1. සුළු සේවක.
2. ලිපිකරු හා සමාන සේවා.
3. පරිපාලන නිලධාරි.
එම ශ්‍රේණීන් වේ.
තවද සිවිල් සේවය හා දෙපාර්තමේන්තු සේවය ලෙස කොටස් දෙකකට මෙම පරිපාලන සේවය වර්‍ග කොට තිබුණි. රාජ්‍ය සේවා කොමිසම විසින් පවත්වන ලද විවෘත තරඟ විභාගයක ප්‍රතිඵල අනුව සිවිල් සේවා තනතුර සඳහා පුද්ගලයන් තෝරාගත් අතර දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අවශ්‍යතාවය අනුව දෙපාර්තමේන්තු සේවා සඳහා වූ නිලධාරීන් විවිධ දෙපාර්තමේන්තුවල පවත්නා පුරප්පාඩු අනුව තෝරාගන්නා ලදි. එහිදී අනුගමනය කරන ලද ක්‍රමය වූයේ අදාළ වසරේ පැවති තරඟ විභාගයෙන් සිවිල් සේවයට ඇතුළත්වීමට අසමත් වූ අය වෙනුවෙන් පැවති සම්මුඛ පරීක්ෂණ මඟින් තෝරා ගැනීමයි.
මෙම ක්‍රමවේදයට අනුව රාජ්‍ය පරිපාලනයේ වැදගත්ම තනතුර වූ සිවිල් සේවයට බඳවාගත් නිලධාරීන්ට ලබාදුන් පුහුණුවෙන් පසු රාජකාරි සඳහා දෙපාර්තමේන්තු හා දිසාපති වැනි තනතුරුවලට පත්කරන ලදි. එම සෑම අංශයකම සේවා ස්ථාන මාරුවීම් ලබාගැනීමට හැකිවීම සිවිල් සේවයේ තිබූ විශේෂ වරප්‍රසාදයකි. නමුත් දෙපාර්තමේන්තු සේවයේ යෙදී සිටි නිලධාරීන්ට අදාළ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථාන මාරුවීම් ලබාගැනීමට නොහැකිවිය. එමඟින් දෙපාර්තමේන්තු සේවා නිලධාරීන් දැඩි අපහසුතාවකට පත්වූ අතර තම රැකියා පිළිබඳව කලකිරීමකට පත්විය. මෙම ක්‍රමවේදයේ තිබූ ප්‍රධානතම ගැටළුව වූයේ දෙපාර්තමේන්තුව සඳහා බඳවාගන්නා නිලධාරීන් අදාළ වර්ෂයේ පැවති පුරප්පාඩු සංඛ්‍යාව අනුව තෝරාගැනීමයි. එමඟින් ඉතා දක්ෂ පුද්ගලයන්ටද සිවිල් සේවයට බැඳීමට තිබූ අවස්ථා අහිමිවිය. මේ හේතුවෙන් සිවිල් සේවය එක්තරා සාඩම්බර ප්‍රභූ නිලධාරී තන්ත්‍රයක් ලෙස ජන සමාජයේ පිළිගැනිමට ලක්විය. නමුත් සෙසු නිලධාරි තනතුරු එයට දෙවැනි විය. පරිපාලන ක්ෂේත්‍රයේ තිබූ මෙම බෙදීම එක්තරා ආකාරයකට සමාජයේ පවතින කුල ක්‍රමය හා සමාන විය. එබැවින් මෙම ක්‍රමවේදය රාජ්‍ය පරිපාලනයට එතරම් සුදුසු නොවිණි. 1961 වැටුප් කොමිසමේ මතය වූයේද මෙයයි.
පරිපාලන කටයුතු සිදුවීමේදී පරිපාලන ක්ෂේත්‍රයේ සේවකයන් සම්බන්ධයෙන් පැවති මෙබඳු විෂමතා හේතුවෙන් රාජ්‍ය පරිපාලන කටයුතු අතිශයින්ම අකාර්යක්ෂම තත්වයක පැවතිණි. එමනිසා වැටුප් කොමිසමේ නිර්දේශය පරිදි 1963දී සිවිල් සේවය අවලංගු කොට “ලංකා පරිපාලන සේවය” ආරම්භකරනු ලැබීය . බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භකරන ලද සිවිල් සේවය කෙතරම් පීඩාකාරී වූවේදයත් එය හඳුන්වනු ලැබුවේ ආණ්ඩුවේ “යකඩ රාමුව” වශයෙනි. කෙසේ වෙතත් වසර 150ක් පමණ පැවති සිවිල් සේවය එලෙසින් අවසන් කරන ලදි. 1948 නිදහස ලබාගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය පරිපාලන ආකෘතිය වෙනස් කරමින් ලංකාවට ගැලපෙන ආකාරයට එම ක්ෂේත්‍රය සකස් කිරීමට ගනුලැබූ පියවර ඉතා වැදගත්විය. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් හා 1956 ස්වභාෂා පනත හේතුවෙන් උපාධිධාරීන් සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ඔවුන්ට රාජ්‍ය සේවයට ඇතුල්වීම සඳහා ඉහත සඳහන් කරන ලද ප්‍රතිසංස්කරණ පිටිවහලක් විය.
ඩොනමෝර් ආණ්ඩුක්‍රම යුගයේ සිට අපක්ෂපාතී රාජ්‍ය සේවාවක් පවත්වා ගැනීම සඳහා රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම, උසස් කිරීම, විනය පරීක්ෂණ ආදි කටයුතු පැවරුණේ රාජ්‍ය සේවා කොමිසන් සභාවටයි. නමුත් 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 (1) වගන්තියට අනුව රාජ්‍ය සේවා කොමිසම අවලංගු කොට, එමඟින් ඉටුකරන කාර්යභාරය කැබිනට් මණ්ඩලය වෙත පවරා එහි අධීක්ෂණය යටතේ රාජ්‍ය සේවකයන්ගේ පත්කිරීම් හා ඔවුන්ගේ විනය කටයුතු පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය සේවා විනය මණ්ඩලයක් පිහිටුවන ලදී. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ මෙහෙයවීම මත රාජ්‍ය සේවයේ කටයුතු වලදී අපක්ෂපාතීව කටයුතු කිරීමක් සිදුනොවිණි. එලෙසින් ඇතිවූ දේශපාලන මැදිහත් වීමෙන් 1972න් පසුව රාජ්‍ය සේවය පුළුල් ලෙස දූෂණ, වංචා සහ අකටයුතුකම්වලට යොමුවීමක් සිදුවිය .
නැවත අපක්ෂපාතී රාජ්‍ය සේවයක් පවත්වා ගැනීම අරමුණුකොට ගෙන රාජ්‍ය සේවා කොමිසම 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යළි ආරම්භ කරන ලදී. එම කොමිසමේ සාමාජිකයන් පත්කරනු ලැබුවේ ආණ්ඩුවේ නායකයා වූ ජනාධිපති විසිනි. එබැවින් එම ක්‍රමවේදයද රාජ්‍ය පරිපාලනය ස්වාධීන කිරීමට ප්‍රමාණවත් නොවිණි. එම නිසා නැවත රාජ්‍ය පරිපාලනය අපක්ෂපාතීව පවත්වා ගැනීමේ අරමුණින් 2001දී 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදෙන ලදී. එහිදී අදාළ කාර්යයන් ආණ්ඩුව හා විපක්ෂය එකතුව ක්‍රියාත්මක කළ යුතු විය. නමුත් වර්‍තමානය වනවිට එයද ක්‍රියාත්මක නොවන බැවින් රාජ්‍ය සේවය මෙහෙයවීම සිදුකරනු ලබන්නේ කැබිනට් මණ්ඩලය විසිනි. එම නිසා රාජ්‍ය සේවය පෙර පැවති ආකාරයටම දුර්වල, දූෂිත හා ව්‍යාකූල තත්වයකට පත්වී ඇත.
3. රාජ්‍ය පරිපාලන ආයතන හෙවත් සංවිධාන
ආණ්ඩුවේ පරිපාලන කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම පිණිස යොදාගනු ලබන අතිවිශාල ව්‍යුහය සංවිධාන ලෙස දැක්විය හැක. සංස්ථාවක් පිළිබඳව සඳහන් කිරීමේදී සංවිධානය යන වචනය පාවිච්චි කරනුයේ එම සංස්ථාවේ සැකැස්ම හා අභ්‍යන්තර ව්‍යුහය විස්තර කරනු පිණිසය. තවද එහි අභ්‍යන්තර ඒකකයට අයත්වන විවිධ ඒකකයන් විවිධ කොටස් යනාදිය හැඳින්වීමටද එය අයත්වේ. යම්කිසි සංවිධානයක විවිධ කොටස් ක්‍රියාත්මකවන අයුරින් ඒවා අන්කොටස් හා සම්බන්ධවන ආකාරයත් තීන්දු ගලා යන ආකාරයත් යනාදිය පැහැදිලිව විස්තර වනුයේ සංවිධානයේ චිත්‍ර මඟිනි (Organization Chart). එම සංවිධාන චිත්‍රයෙන් පැහැදිලි කරනුයේ කාර්යභාරයන් බෙදා වෙන්කර තිබෙන ආකාරය, සංවිධානය තුළ සේවය කරන සේවකයන් අතර ඇති සම්බන්ධතාවයන්ය . ඒ අනුව ලංකාවේද රාජ්‍ය පරිපාලනය තුළ කටයුතු පවත්වාගෙන යාම සඳහා සංවිධාන ව්‍යුහයක් ක්‍රියාත්මක වේ.
ලංකාව නිදහස ලබාගන්නා විටත් රජය වෙත පැවරී ඇති පරිපාලන කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව මධ්‍යයේ ක්‍රියාත්මක කෙරුණු ඒකක පද්ධතියක් නැතහොත් සංවිධාන ව්‍යුහයක් තිබුණි. ඒවා
1. දෙපාර්තමේන්තු
2. සංස්ථා
3. ආයතන
ලෙස සංවිධානය කොට තිබුණි. කල්යාමත් සමඟ රජයේ කාර්යභාරය සංකීර්ණ වීම හා පුළුල්වීම හේතුවෙන් එම දෙපාර්තමේන්තු හා සංස්ථා ප්‍රමාණය ඉහළ නැංවිණි.
දෙපාර්තමේන්තු
1948 පිහිටුවන ලද ග්‍රාම සංවර්ධන,සන්නිවේදන හා සමාජසේවා යන දෙපාර්තමේන්තුද 1950දී පිහිට වූ වනජීවී දෙපාර්තමේන්තුවද වැනි නව විෂය ක්ෂේත්‍ර සඳහා අළුතින් දෙපාර්තමේන්තු ආරම්භකරන ලදි. නිදහසින් පසු ලංකාවේ සමාජ පෙරළියක් සිදුවූ 1956 බණ්ඩාරනායක රජය යටතේ රාජ්‍ය භාෂා, සංස්කෘතික හා කෘෂි සේවා වැනි නව දෙපාර්තමේන්තු කිහිපයක් ආරම්භකරනු ලැබීය .
රාජ්‍ය සංස්ථා
නිදහස ලැබීමෙන් පසු හා ඊට පෙර සිටම ක්‍රියාත්මක වූ රාජ්‍ය සංස්ථා අතර සමුපකාර තොග වෙළඳ සංස්ථාව (1946), ගල්ඔය සංවර්ධන මණ්ඩලය (1950), එයාර් ලංකා (1951), ලංකා කිරි මණ්ඩලය (1954) යනාදිය වැදගත්වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේවා සියල්ල එජාප රජයන් යටතේ පිහිටුවන ලද සංස්ථාවන් වන අතර කෘෂිකර්ම, වාරිමාර්ග, විදුලිබලය, ආහාර නිෂ්පාදනය, ජලසම්පාදනය, කර්මාන්ත හා ඉඩම් ප්‍රතිසංස්කරණය වැනි බහුකාර්ය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වූ ගල්ඔය සංවර්ධන මණ්ඩලය ඉතා වැදගත් වීමයි.
1956න් පසු ඇතිවූ ප්‍රබෝධයත් සමඟ නිදහසට පෙර සිටම පැවතගෙන ආ රාජ්‍ය සංස්ථා ප්‍රමාණයද ඉතා සීඝ්‍රයෙන් වර්ධනය විය. 1956 මහජන එක්සත් පෙරමුණු රජය යටතේ ආර්ථික කටයුතු වලට පුළුල්ව මැදිහත්වීමක් සිදුකල අතර ඒවා පරිපාලනය කිරීම සඳහා රාජ්‍ය සංස්ථා ගණනාවක් ආරම්භකරනු ලැබීය. ඒවා අතර ධීවර සංස්ථාව (1957), වරාය සංස්ථාව (1958), ලංකා ගමනා ගමන මණ්ඩලය (1958) ප්‍රධාන විය. 1960-1964 කාලය තුළ අග්‍රාමාත්‍ය ධූරය දැරූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායකගේ කාලය තුළ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඛණිජතෙල් නීතිගත සංස්ථාව (1961) වැනි වැදගත් සංස්ථා කීපයක් ආරම්භකරනු ලැබීය. ඒ අනුව 1958 වනවිට රාජ්‍ය සංස්ථා 25කට වැඩි ප්‍රමාණයක් තිබූ අතර 1970 වනවිට එම සංඛ්‍යාව 50 ඉක්මවා තිබුණි. 1975 වනවිට ස්වාධීන හා අර්ධ ස්වාධීන සංස්ථා හා මණ්ඩල 107ක් පැවතිණි.
4. වර්තමානයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ජනතාවගේ මතය.
රාජ්‍ය පරිපාලනය පිළිබඳව අධ්‍යයනයේදී පෙනී යන්නේ රටක සංවර්ධනයට හා එම රටේ පරිපාලන කටයුතු සාර්ථකව පවත්වාගෙන යමින් ජනතා සුභසිද්ධිය ඇතිකරලීමට අපක්ෂපාතී හා සාර්ථක රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයක් අත්‍යාවශ්‍ය වන බවයි. ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍ර එලෙස ආදර්ශයට ගත හැකි ඒවා ලෙස සැළකිය හැකිය. නමුත් ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳ එලෙස සෑහීමකට පත්විය නොහැක. මන්දයත් ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය ජනතා සුභසිද්ධිය තකා කටයුතු නොකිරීමයි.
මහජනතාව තමාගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් කරගැනීම සඳහා රාජ්‍ය ආයතනයකට ගිය විට ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් කලකිරීමක් හටගනී. රාජ්‍ය සේවකයා ඉදිරියට එන පුද්ගලයාට ඉක්මන් හා කාර්යක්ෂම සේවාවක් සපයනවා වෙනුවට ඔහු රස්තියාදුකිරීමක් සිදුකරයි. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රාජ්‍ය පරිපාලන සේවකයා තම රැකියාව මුදල මත පමණක් තීරණය කරන අතර එය රැකියාවට අමතරව ජනතා සේවයක්ද වියයුතු බව නොසිතීමයි. තවද ඔහු තමා වැටුප් ලබන්නේ එම ජනතාවගේ බදු මුදලින් බව අමතක කර තිබේ. පෞද්ගලික අංශය හා සසඳන විට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව හා සේවාවන් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගත හැක.
රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය අකාර්යක්ෂම වීමට බලපා තිබෙන තවත් එක් හේතුවක් වන්නේ රාජ්‍ය අංශය තුළට අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීමයි. එමඟින් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය පක්ෂපාතීවීමක්ද සිදුවන අතර අකාර්යක්ෂමවීමක්ද වී ඇත. රාජ්‍ය සේවකයා වැඩි වරප්‍රසාද ගැන සිතා දේශපාලකයන්ට සේවය සැලසීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට සේවයක් සැලසීමට ඔහුට අවශ්‍යතාවයක් ඇති නොවේ. මේ හේතුවෙන් මහජනතාව රාජ්‍ය අංශය පිළිබඳව දැඩි අප්‍රසාදයක් පලකරනු ලැබේ.
5. සමාලෝචනය
ඉහත ආකාරයට රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ වැදගත්කම හා ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ව්‍යුහය, ප්‍රභවය, කාර්යභාරය හා ඒ සම්බන්ධ මහජනතාවගේ මතය දැක්විය හැකිය. රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය රටක පැවැත්මට අත්‍යාවශ්‍ය වන අතර එවැනි ක්‍රමවේදයක් නොමැතිව රටකට ඉදිරි ගමනක්ද නොමැත. රටක රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව හා සාර්ථකත්වය මත එම රට සංවර්ධනයකරා හෝ පරිහානියකරා ගමන් කරනු ලැබේ. ඇමරිකාව හා එංගලන්තය ආදී පළමු ලෝකයේ රටවල් සංවර්ධිත රටවල් ලෙසත් ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසත් පැවතීමට හේතුව මෙම රාජ්‍ය පරිපාලනයේ ඇති සාර්ථක අසාර්ථකභාවයයි.
මෙහිදී ප්‍රමුඛව අවධානය යොමුකොට තිබෙන්නේ ලංකාවේ රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් වන අතර එහි ඇති අසාර්ථ ලක්ෂණ ඉස්මතු කරමින් දක්වා ඇත. යම්කිසි රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රටේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ඇති දුර්වලතා අවබෝධ කරගනිමින් සාර්ථක රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයන් ඇති රටවල් සමඟ සංසන්දනය කරමින් තුලනාත්මක අවබෝධයක් ලබාගත යුතුය.
🤜👍
ReplyDeletethankyou it is a very important article
ReplyDelete