Sunday 22 November 2020

ගුප්ත යුගයේ ඉතිහාසය අධ්‍යයනයේදී මූලාශ්‍ර කොටසක් ලෙස නාණක සාධකවලට හිමිවන වැදගත්කම.

 



මෞර්ය අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුව උතුරු ඉන්දියාව කේන්ද්‍ර ‍කොටගනිමින් ශක, කුෂාණ යන  විදේශීය රාජවංශ වලට අයත් පාලකයන් පාලනය ගෙන යන ලදි. නැවත ඉන්දියාව ඒකාබද්ධ කරමින් ප්‍රබල අධිරාජ්‍යයක් ගොඩනැගූ රාජවංශයක් ලෙස ගුප්ත රාජවංශය හැඳින්විය හැකිය. ඒ අනුව ක්‍රි. ව. 320 සිට ක්‍රි. ව. 480 දක්වා අතර කාලය තුළ ක්‍රියාත්මක වූ ගුප්ත අධිරාජ්‍යය යුගය ඉන්දියානු ඉතිහාසයේ ස්වර්ණමය යුගය වූ බව ඉන්දියානු ඉතිහාසඥයන්ගේ මතයයි. ඒ අනුව ගුප්ත අධිරාජ්‍යය යුගයේදී ඉන්දියාව තුළ සාමය, සමෘද්ධිය හා සංස්කෘතික පුනර්ජීවනයක් ඇති විය. 



ගුප්ත යුගය අධ්‍යයනය කිරීමේදී එම යුගය පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි මූලාශ්‍ර රැසක් පවතී. ඒ අතර ගුප්ත යුගයේ ඉතිහාසය හැදෑරීමේදී අතිශයින්ම ප්‍රයෝජනවත් මූලාශ්‍රයක් ලෙස නාණක සාධක හෙවත් කාසි හැඳින්විය හැකිය. ගුප්ත අධිරාජ්‍යය ව්‍යාප්තව පැවති ප්‍රදේශයවල ගුප්ත රජවරුන්ගේ කාසි විශාල ප්‍රමාණයක් හමු වී ඇත. එම කාසි සමූහ වශයෙන් මෙන්ම ස්වල්ප වශයෙන්ද සොයාගත හැකිව තිබේ. ගුප්ත අධිරාජ්‍යය පාලකයන් ගැන අධ්‍යයනයේදී ශිලා ලේඛණ මෙන්ම එම පාලකයන්ගේ යුගවල නිකුත් කළ කාසි ද මූලාශ්‍රයක් වශයෙන් ඉතාමත්ම වැදගත්ය. ඒ අනුව ගුප්ත කාසි මඟින් ගුප්ත රජවරුන්ගේ පාලන බලය ව්‍යාප්තව පැවති ප්‍රදේශ, ගුප්ත යුගයේ ආර්ථික තත්වය, ගුප්ත යුගයේ තිබූ තාක්ෂණය හා ගුප්ත රජවරුන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳවද තොරතුරු අනාවරණය කරගත හැක. 



ගුප්ත කාසි හමුවන ප්‍රදේශ හා ප්‍රමාණය අනුව එම බලය ව්‍යාප්තව පැවති ප්‍රදේශ පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි අතර කාසිවල අන්තර්ගත ලෝහ වර්ගවල වටිනාකම (රන්, රිදී, තඹ) හා ඒවායේ අන්තර්ගත ලෝහ ප්‍රමාණය අනුව එකල ආර්ථික තත්වය පිළිබඳවද අවබෝධයක් ලබා ගත හැක. තවද ගුප්ත රජවරුන්ගේ කාසි මඟින් ලෝහ උණු කිරීම සම්බන්ධයෙන් මේ යුගයේ ලබා තිබූ දියුණුව මෙන්ම කාසිවල අච්චුගසා තිබෙන රූප අධ්‍යයනයෙන් එකල චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳවද අවබෝධයක් ලබා ගත හැක. 



ගුප්ත යුගය තුළ ඉන්දියාවේ වෙළඳාම අභ්‍යයන්තර වශයෙන් මෙන්ම බාහිර වශයෙන්ද විශාල දියුණුවක් ලැබීය. ඒ අනුව ගුප්ත කාසිවලට එකල වැදගත්කමක් හිමි විය. ගුප්ත රජවරුන් ආකාර කීපයක කාසි නිකුත්කර තිබී ඇති අතර ඒවා බොහෝමයක පෙර පැවති රාජවංශයක්වන කුෂාණ රාජවංශයේ හා රෝම කාසිවල ආභාෂයක් දැකිය හැකිය. ගුප්ත යුගයේ ශ්‍රේෂ්ඨ නරපතියෙක්වන සමුද්‍රගුප්තගේ කාසි විශේෂයක්වන දණ්ඩධාරී කාසි කුෂාණ යුගයේ මුල් කාලීන කාසිවලට සමානකමක් දක්වයි. ඒ අනුව කාසිවල අන්තර්ගත රජුගේ ඇඳුම, නම සටහන් කිරීමේ ක්‍රමය, දෙවියන්ගේ මූර්තිය ආදී කරුණු කුෂාණ හා ගුප්ත කාසිවල සමානකම්ය. තවද ගුප්ත යුගයේදී යාග කිරීම ආදිය සිදු වූයේ විවෘත ශරිරයෙන් යුක්තව ආසන මත වාඩිවීය. නමුත් ගුප්ත රජවරු, පර්සියානු ආභාෂය ලබා නිර්මාණය කරන ලද පූර්ව කුෂාණ කාසිවලට සමානව දිග කෝට් සහ කලිසම් ඇඳ යාගහෝමවල නිරතවන ආකාරය දැක්වෙන රූප තම කාසිවල මුද්‍රණය කර ඇත. ඒ අනුව පෙනී යන්නේ ගුප්ත පාලකයන් තම කාසි නිර්මාණය කර ඇත්තේ ඉන්දු ග්‍රීක හා කුෂාණ කාසිවල ආභාෂය ලබමින් බවයි. 


මුල්කාලීන ගුප්ත පාලකයන්ගේ කාසිවල ඉහත සඳහන් කළ ආකාරයට කුෂාණ කාසිවල ලක්ෂණ බෙහෙවින් අන්තර්ගතවී ඇත. කලාත්මක අගයෙන් ඉතා උසස් තත්වයෙන් ඇති පසුකාලීන ගුප්ත කාසිවල අභිමුඛයේ රජරුවක් හා ප්‍රතිමුඛයේ දෙවිරුවක් දැක්වීමේ ක්‍රමය හා විරුදාවලි සහිතව පාලකයන්ගේ නම් සඳහන් කාසි නිකුත් කිරීමද ගුප්ත කාසිවල ඇති තවත් විදේශීය ලක්ෂණයකි. නමුත් පසුකාලීන ගුප්ත රජවරු එම විදේශීය ආභාෂයෙන් මිදී ක්‍රමිකව දේශීය ලක්ෂණ තම කාසිවලට අන්තර්ගත කරන ලද බව පෙනී යයි.  ගුප්ත යුගයේ කාසිවල ඇති එයටම අනන්‍යය වූ වි‍ශේෂිතම ලක්ෂණයක් වන්නේ එම කාසිවල වට පාඨ දැක්වීමේදී බ්‍රාහ්මීය අක්ෂර යොදා ගැනීම මෙන්ම ඒවා උපගිති වැනි සංස්කෘතික ගී වෘත්තයකට අනුව සකස් කොට යොදා තිබීමයි.


ඉපැරණි ගුප්ත කාසිවල ලක්ෂණ වර්තමානයේ කාසිවල තිබෙන ලක්ෂණවලට බොහෝ සෙයින් සමාන වේ. ඒ අනුව ඉන්දියාවේ පැරණිම දේශීය කාසි ලෙස ගුප්ත කාසි හඳුන්වාදිය හැකිය. එම කාසිවල තිබෙන ප්‍රධාන ලක්ෂණයන් වන්නේ බර ප්‍රමාණයේ හා ආකෘතියේ සමරූපීතාව, නිකුත් කළ අයගේ රූප හා නම සටහන් පාඨ අභිමුඛයේ පිළිවෙලින් ක්‍රමානුකූලව යොදා තිබීම ආදියයි. තවද එම ලක්ෂණ ඉන්දියාවේ දේශිය කාසිවල දක්නට ලැබෙන්නේ ප්‍රථම වතාවටය. 


ගුප්ත කාසි නිකුත් කිරීමේදී යොදාගත් ලෝහයන් වන්නේ රන්, රිදී හා තඹය. ඒවා අතරින් මුල් කාලීන ගුප්ත රජවරු තම කාසි නිකුත් කිරීම සඳහා රන් ලෝහය බහුල වශයෙන් යොදාගෙන ඇත.  ගුප්ත රජවරුන්ට පෙර ඉන්දියාවේ ප්‍රදේශ පාලනය කළ විදේශීය රජවරුන්ද රන් කාසි නිකුත් කළමුත් ගුප්ත පාලකයෝ එම විදේශීය පාලකයන්ගේ රන් කාසිවලට වඩා ඉතා විශාල වශයෙන් රන් කාසි නිකුත් කර තිබේ. එලෙස මුල්කාලීන ගුප්ත පාලකයන් තම කාසි නිකුත් කිරීමේදී රන් ලෝහය යොදා ගැනීමෙන් පෙනී යන්නේ දේශපාලන බලයෙන් හා ආර්ථික සමෘද්ධියෙන් එකල ඉතා සශ්‍රීකව පැවති බවයි. එම කාසිවල මුද්‍රණය කර ඇති රූපවලින් පෙනී යන තවත් කරුණක් වන්නේ ගුප්ත යුගයේ චිත්‍ර හා මූර්ති කලා‍වන්ගේද දියුණුවක් ලබා තිබූ බවයි. ගුප්ත කලා කෘතීන්ගේ දක්නට ලැබෙන සම්භාව්‍යය ලක්ෂණ එම කාසි වලද දක්නට ලැබේ. 


ගුප්ත කාසි අධ්‍යයනයේදී ඉහත සඳහන් කළ ආකාරයේ රූප එම කාසිවල සටහන් වී තිබීම මඟින් ඒවා ක්‍රමානුකූලව වර්ග කර දැක්විය හැකිය. ඒ අනුව එකම රජෙකුගේ කාසිවල රජ රුව දැක්වීමේදි අශ්වාරෝහක, ධනුර්ධර, හස්ත්‍යාරෝහක, වීණාවාදක ආදී විවිධ ස්වරූපයන්ගෙන් යොදා කාසි නිර්මාණය කර තිබීම මඟින් නාණක විද්‍යාඥයෝ ඒ ඒ රජවරුන්ගේ කාසි වර්‍ග කීපයකට වෙන් කරති. 


ගුප්ත රජවරුන් අතරින් ප්‍රථමයෙන්ම ජනප්‍රිය වූ පුද්ගලයා ලෙස පළමුවන චන්ද්‍රගුප්ත හඳුන්වාදිය හැකිය. දැනට හමු වී ඇති පැරණිම ගුප්ත කාසි හමුවන්නේද පළමුවන චන්ද්‍රගුප්තගේ කාලයේදීය. ඔහු විසින් නිකුත් කරන ලද කාසි එකම වර්‍ගයකට අයත් රන් කාසි විශේෂයකි. එම කාසි රජ හා රැජින කාසි ලෙස හැඳින්වේ. එම කාසි මථුරා, අයෝධ්‍යා, ලක්නව්, සිතපූර්, බරණැස් හා යුක්ත ප්‍රාන්තය වැනි ප්‍රදේශ වලින් ඉතා ස්වල්ප වශයෙන් හමු වී තිබේ. එම කාසිවල විශ්කම්භය අඟල් 0.74 හා 0.85 අතර ද බර ග්‍රෑම් 113ක් හා 123.8ත් අතර වේ. 


ඉහත දක්වන ලද වර්‍ගවල කාසි අභිමුඛයේ ඇති විශේෂත්වය වන්නේ මුළු සිරුරම දැක්වෙන පරිදි රජු හා රැජින උනුන් දෙසට මුහුණලා සිටින රූපයක් දක්වා සිටීමයි. රජු වමතින් පොළව මත සිරස් අතට හිට වූ රාජ යෂ්ටියක්  අල්වාගෙන සිටින අතර දකුණතින් රැජිනට යම් වස්තුවක් ප්‍රධානය කරනු පෙනේ. මෙම වස්තුව ඉතා කුඩා බැවින් එය නිශ්චිත වශයෙන් හඳුනාගත නොහැක. ඉතිහාසඥයන්ගේ අනුමාන අනුව යම් විට එය මුදුවක් ලෙසත්, වළල්ලක් ලෙසත් හෝ සින්දුරදනියක් (ඉන්දීය කාන්තාවන් නළලේ තිලකය හා සමාන සීමාන්තයෙහි ගල්වන සින්දූර ආලේපයේදී භාවිතා කරන උපකරණය) ලෙසද අර්ථකථනය කරති. රජු හා රැජින නිරූපනය කර ඇත්තේ හිස වටා දිවෙන ප්‍රභාමාලාවෙන් යුක්තවයි. යෂ්ටිය අල්වා ගැනීම සඳහා ඔසවාගෙන ඇති රජුගේ වම් අතට පහළින් සිරස් අතට “චන්ද්‍ර” යන නාමයද රැජිනගේ පිළිරුවට පිටුපසින්  “ශ්‍රී කුමාර දේවී” ලෙසින් නාමද යොදා ඇත. මේ කාසියේ ප්‍රතිමුඛයේ සිංහයෙකු මත හිඳගත් දේවතාවියකගේ රූප සටහනක් තිබෙන අතර ඒ. එස්. අල්ටෙකාර් පවසන්නේ එම රූප සටහන 3වන කණිෂ්ක රජුගේ කාසි වර්‍ගයක දැක්වෙන සිංහයෙකු මත හිඳගෙන සිටින දේවතාවියකු හා ඊටත් පසුව භාවිතයට ගත් අසුනක මත හිඳගෙන සිටිනා අර්දෙක්ෂො නම් දේවතාවිය දැක්වෙන රූප සටහන අනුකරණය කිරීමක් බවයි. කුෂාණ කාසිවල ඇති ආසනය වෙනුවට මෙහි යොදාගෙන ඇති සිංහයෙකුගේ රූපයෙන් අරමුණු කරගන්නට ඇත්තේ සිංහ වාහනය සහිත දුර්ගා දේවිය දැක්වීම විය හැකි බවට අල්ටෙකාර් තව දුරටත් පෙන්වා දෙයි. 


ඉහත සඳහන් කාසිය නිකුත් කරන ලද්දේ පළමුවන චන්ද්‍රගුප්ත විසින්ද නැත්නම් සමුද්‍රගුප්ත විසින් ද යන්න පිළිබඳව මතභේදයන් පවතී. මෙය සමුද්‍රගුප්ත රජු විසින් සිය පියාණන් වූ පළමුවන චන්ද්‍රගුප්ත රජු ලිච්ඡවී පරපුර හා ඇති කර ගත් සම්බන්ධය සිහිපත් කරවීම සඳහා නිකුත් කරන ලද පදක්කමක් විය හැකි බවට ජෝන් ඇලන් පෙන්වා දෙයි. නමුත් එය ප්‍රතික්ෂේප කරන අල්ටෙකාර් ප්‍රකාශ කර සිටින්නේ පෙර සිටි පාලකයන් ගැන සිහිපත් කිරීම සඳහා පදක්කම් නිකුත් කරන විට වර්තමාන පාලකයන්ද ඒ හා සමඟ තමන්ගේ නමද ඒවායේ යොදන බවයි. සමුද්‍රගුප්ත රජුගේ කාලයට අයත් අශ්වමේද කාසිවල රජුගේ නාමය කෙලින්ම යොදා නැතත් ඒවා සමුද්‍රගුප්ත රජුගේයැයි හැඟවීමට “අශ්වමේද පරාක්‍රමඃ” යන විරුද නාමය යොදා ඇත.  එබැවින් ඉහත සඳහන් කරන ලද රජු හා රැජින කාසි සමුද්‍රගුප්තගේ වූවානම් ඔහුගේ නාමය හෝ විරුදනාම සඳහන් විය යුතුය. නමුත් එසේ සඳහන් නොවීම තුළින් පෙනීයන්නේ එම කාසි පළමුවන චන්ද්‍රගුප්ත විසින්ම නිකුත් කරන ලද ඒවා බවයි. 


නමුත් ජෝන් ඇලන් පෙන්වා දෙන්නේ රජු හා රැජින කාසි නිකුත් කරන ලද්දේ පළමුවන චන්ද්‍රගුප්ත විසින් නම් ඒවා ගුප්ත පාලකයන් විසින් පළමුවෙන්ම නිකුත් කරන ලද කාසි විය යුතු බවයි. එහෙත් සමුද්‍රගුප්ත රජුගේ “රාජ දණ්ඩ” වර්‍ගයට අයත් කාසි රජ හා රැජින කාසිවලට  වඩා කිට්ටු ලෙසින් කුෂාණ රජවරුන්ගේ කාසි ආභාෂය ලැබීම තුළින් පෙනී යන්නේ ස්වදේශීය ආභාෂයකින් යුත් රජ හා රැජින කාසි ප්‍රථමයෙන් නිකුත් වූ ඒවා නොවන බවයි. තවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ රජ හා රැජින වර්‍ගයේ කාසි බොහෝ දුරට ස්වාධීන ලක්ෂණ පෙන්වන බැවින් රාජකීය යුවළගේ රූප දැක්වීම් ඉහත දක්වන ලද ආකාරයට හුදෙක් දේශපාලන අවශ්‍යයතා මත පදනම්ව සිදු වූවක් බවයි.


 චන්ද්‍රගුප්තගෙන් පසුව බලයට පත් වූ සමුද්‍රගුප්ත තම පියාගේ රාජ්‍ය තවදුරටත් ව්‍යාප්ත කරන ලදි. ඔහු විසින් වර්‍ග කීපයකට අයත් කාසි විශාල ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බව අධ්‍යයනයෙන් පෙනී යයි. සමුද්‍රගුප්ත විසින් නිකුත් කරන ලද කාසි වර්‍ග වන්නේ දණ්ඩධර වර්‍ගය, ධනුර්ධර වර්‍ගය, පරශු වර්‍ගය, ව්‍යාඝ්‍ර පරාක්‍රම වර්‍ගය, වීණාවාදක වර්‍ගය හා අශ්වමේද යන වර්‍ගයන්ය. ඔහු නික්තු කරන ලද කාසි වර්‍ග අතුරින් දණ්ඩධර කාසි වර්‍ගය බෙහෙවින් කුෂාණ ආභාෂය ලබා තිබීම තුළින් පෙනීයන්නේ ඒවා සමුද්‍රගුප්ත විසින් පළමුවෙන්ම නිකුත් කරන ලද කාසි විය හැකි බවයි. පරශු හා ධනුර්ධර වර්‍ගවල කාසිද දණ්ඩධර කාසි වර්‍ගය මෙන් නිර්මාණය කර ඇත. පරශු හා ධනුර්ධර කාසිවල රජු පිළිවෙලින් පරශුවක් හා දුන්නක් දරා සිටින ආකාරයක රූපයක් තිබේ. සිය බලය ව්‍යාප්ත කිරීම සඳහා ගෙනගිය යුද ව්‍යාපාර අනුස්මරණය කරනුවස් මෙම කාසි නිකුත් කරන්නට ඇති බව විශ්වාස කළ හැකිය. සාර්ථක යුද ව්‍යාපාරයකින් පසු සිය බලය තහවුරු කිරීම සඳහා රජු සිය අවසාන කාලයේදී අශ්වමේද යාග කීපයක් පවත්වන ලද අතර එම අවස්ථා සිහිවනු පිණිස අශ්වමේද වර්‍ගයට අයත් කාසි සිය රාජ්‍යය අවසාන කාලයේදී නිකුත් කළ බව විශ්වාස කෙරේ. ව්‍යාඝ්‍ර පරාක්‍රමඃ වර්‍ගයට අයත් කාසි හා වීණාවාදක වර්‍ගයට අයත් කාසි වලන් පෙන්නුම් කරන්නේ සමුද්‍රගුප්ත රජු දඩයමට හා වීණාවාදනයට දැක්වූ දක්ෂතාවයන්ය. ඒ අනුව අලහබාද් ප්‍රශස්තියේ සඳහන්ව ඇති සමුද්‍රගුප්ත රජුගේ විශේෂ හැකියාවන් නිරූපණය කෙරෙන කාසි සියල්ල රනින් නිමකර තිබෙන අතර ඔහුගේ යුගයට අයත් රිදී හෝ තඹ කාසි මෙතෙක් හමු වී නොමැත. එයින් ගම්‍ය වන්නේ සමුද්‍රගුප්ත රජුගේ කාලයේදී එරට ආර්ථිකය සමෘද්ධිමත්ව පැවති බවයි. 


සමුද්‍රගුප්තගෙන් පසු ගුප්ත අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨතම රජු වන්නේ දෙවන චන්ද්‍රගුප්ත රජුය. ඔහුගේ කාලයේදී රන් කාසිවලට අමතරව රිදී හා තඹ කාසිද නිකුත් කර තිබේ. ඔහු විසින් සිය පාලන කාලය තුළ රන් කාසි වර්‍ග 8ක් නිකුත් කර තිබෙන අතර සිය පියා වූ සමුද්‍රගුප්ත විසින් නිකුත් කරන ලද කාසි වර්‍ගවන දණ්ඩධර හා ධනුර්ධර යන කාසි දෙවර්‍ගයද දෙවන චන්ද්‍රගුප්ත රජුගේ කාලයේදී නිකුත් කරන ලදි. පරශු, වීණාවාදක හා අශ්වමේද යන වර්‍ගවලට අයත් කාසි මෙම රජුගේ කාලයේදී නිකුත් නොකරන ලද බවට පෙනී යයි. තවද ගුප්ත රජවරුන් අතරින් වැඩියෙන්ම කාසි නිකුත් කළ රජු ලෙස දෙවන චන්ද්‍රගුප්ත රජු හඳුන්වා දිය හැකිය.


පළමුවන චන්ද්‍රගුප්ත, සමුද්‍රගුප්ත හා දෙවන චන්ද්‍රගුප්ත රජවරුන්ගේ කාසි සමඟ හමු වී ඇති තවත් වැදගත් කාසි වර්‍ගයක් වන්නේ කාච නම් කාසි වර්‍ගයයි. කාච නම් සඳහන් කාසි වර්‍ගය කුමන ගුප්ත රජු විසින් නිකුත් කරන ලද්දක්දැයි සොයාගෙන නොමැති අතර ඒවා දණ්ඩධර වර්‍ගයට අයත් කාසි ලෙස සොයාගෙන තිබේ. මෙම කාසි පිළිබඳව මත ඉදිරිපත්කරන එඩ්වඩ් තෝමස් හා ජේම්ස් ප්‍රින්සෙප් ට අනුව එම කාසි ඝටෝකවගුප්ත රජුට අයත් බව පෙන්වාදෙයි. එහෙත් එම පාලකයා විසින් කාසි නිකුත් නොකරන ලද බවටද අදහසක් පවතී. කාච කාසියේ අභිමුඛයේ දැක්වෙන රූප බොහෝදුරට සමුද්‍රගුප්ත රජුගේ දණ්ඩදර වර්‍ගයේ කාසිවලට සමාන වේ. එබැවින් එම කාසි සමුද්‍රගුප්ත රජුගේම කාසි බව ස්මිත්, ප්ලීට් හා ඇලන් යන ශාස්ත්‍රඥයන්ගේ අදහසයි. කාච නමින් මුලින් කාසි නිකුත් කළ පාලකයා සිය යුද ජයග්‍රහණ වලින් අනතුරුව සමුද්‍රගුප්ත යන නව නම යටතේ නව කාසි නිකුත් කළ බව ඇලන්ගේ මතයයි. 


තවත් ඉතිහාසඥයන් පිරිසක් දක්වන්නේ සමුද්‍රගුප්තට විරුද්ධ වූ ඔහුගේ සොහොයුරන් පිරිසක් විසින් කැරලි ඇති කොට එම කැරලිකාර සොයුරන්ගේ වැඩිමහල් සොහොයුරා කාච නමින් හඳුන්වා රජ පදවියට පත්කරන ලද බවත් ඔහුගේම කාසි කාච ලෙස හඳුන්වන ලද බවත් විශ්වාස කෙරේ. රාමගුප්ත යනුවෙන් මූලාශ්‍රවල සඳහන්වන පාලකයාගේ නියම නම කාචගුප්ත වූ බවත් එය වරදවා ලිවීමෙන් රාමගුප්ත ලෙස ව්‍යවහාරවන බවත් ඩී. ආර්. භාණ්ඩර්කර්ගේ මතයයි. රාම හා කාච යන නම් දෙක එකම පාලකයෙකු හැඳින්වීමට යොදාගත් බව කේ. පී. ජයස්වාල්ගේද මතයයි. එම කාච කාසි වර්‍ගය සමුද්‍රගුප්ත රජු විසින් සිය සටන්වලදී මිය ගිය සහෝදරයෙකු සිහි කිරීම පිණිස නිකුත් කරන ලද ඒවා බව ආර්. ඩී. බැනර්ජිගේ මතයයි. තවදුරටත් ඔහු පෙන්වා දෙන්නේ එම අනුස්මරණ කාසි අභිමුඛයේ සඳහන්වන කාච, සමුද්‍රගුප්ත රජුගේ සොහොයුරා බවත් එහි ප්‍රතිමුඛයේ ඇති “සර්ව රාජෝව්ඡෙත්තා”යන පදය සමුද්‍රගුප්ත රජුගේ විරුද නාමයක් බවත් සඳහන් කරයි. නමුත් මෙම මතය ප්‍රතික්ෂේප කරන අල්ටෙකාර් පවසන්නේ සමුද්‍රගුප්ත අධිරාජ්‍යයා හැඳින්වීම සඳහා කිසිවිටෙකත් එම විරුද නාමය භාවිතා නොවූ බවත් සමුද්‍රගුප්තට වඩා තමන් යුද්ධයේ දක්ෂයෙකු බව පෙන්වීමට කාච නම් පාලකයා එම විරුද නාමය භාවිතා කරන්නට ඇති බව ඔහු පෙන්වා දෙයි. තවද මෙබඳු ස්මරණ කාසි හෝ පදක්කම් නිකුත් කිරීමේ සම්ප්‍රදායක් හින්දු පාලකයන් අතර තිබී නොමැති අතර සමුද්‍රගුප්තට කාච නමින් සහෝදරයෙකු සිටි බවටද තොරතුරු නොමැති බවද අල්ටෙකාර් වැඩිදුරටත් පෙන්වා දෙයි. 


කාච වර්‍ගයට අයත් කාසි පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ වී ඇති නමුත් එම කාසි අයත් පාලකයා පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීමට අපහසු වී ඇත. එම කාච කාසිවල අභිමුඛය බොහෝදුරට සමුද්‍රගුප්ත රජුගේ රාජ යෂ්ටි වර්‍ගයේ කාසිවලට සමානකමක් දක්වනු ලබයි. රජු වම් පැත්තට හැරී දකුණතින් පූජාසනයක් මත සුවඳ ද්‍රව්‍යයක් දමනු ලබන අයුරුත් වමතින් රාජ දණ්ඩක් දරා සිටින ආකාරයකුත් දැකිය හැකිය. නමුත් සමුද්‍රගුප්තගේ කාසිවල දක්නට ලැබෙන ගරුඞධජය වෙනුවට කාච කාසිවල දක්නට ලැබෙන්නේ වක්‍ර ධජයකි. මෙහි වට පාඨය වන්නේ “කාචො ගාමවිජිත්‍ය දිවං කර්‍මභිර් උත්තමෛර් ජයති” යන්නයි. සමුද්‍රගුප්ත රජුගේ කාසියේ ඇති ප්‍රතිමුඛයේ දේවතාවිය ආසනයක් මත සිටින ආකාරයක් දැක්වූවත් කාච කාසියේ එම දේවතාවියම දකුණතින් පියුමක් ගෙන දකුණට හැරී සිටින ආකාරයක් දැක්වේ. තවද වමතින් සමෘද්ධි ගෘහාංගයක් ගෙන සිටින අතර “සර්‍ව රාජොච්ඡෙත්තා” යන විරුද නාමය ප්‍රතිමුඛයේ සඳහන් වේ. 


එම කාච වර්‍ගයට අයත් කාසිවල ලක්ෂණ අනුව ඒවා නැවත කොටස් දෙකකට වර්‍ග කළ හැකිය. දෙවෙනි අනුකොටසට අයත් කාසිවල ඇති විශේෂිත ලක්ෂණය වන්නේ අභිමුඛයේ රජු ඉදිරියේ වක්‍ර ධජය වෙනුවට ගරුඞ ධජයක් යොදා තිබීම හා ප්‍රතිමුඛයේ දේවතාවිය අත පියුම වෙනුවට පාශයක් වීමත්ය. සාමාන්‍යයෙන් මෙම අනුකොටස් දෙකට අයත් කාසිවල විශ්කම්භය අඟල් 0.75- 0.85ත් අතර වන අතර බර ප්‍රමාණය ග්‍රෑම් 111- 118ත් අතර වේ. 


පසුකාලීනව ගුප්ත අධිරාජ්‍යය පිරිහෙමින් පැවති කාල වකවානුවේදී නිකුත් කළ කාසි බාල කිරීමක් දැකිය හැකිය. විශේෂයෙන්ම ස්කන්ධගුප්තගේ කාලයේදී හූන ආක්‍රමණ හේතුවෙනුත් සාමන්ත රාජ්‍ය ඉවත්වී යාම වැනි ස්වදේශීය ප්‍රශ්න හේතුවෙනුත් ගුප්ත අධිරාජ්‍යයේ ආර්ථික තත්වය ක්‍රමයෙන් පිරිහෙන ආකාරය අවබෝධ කරගත හැකිය. 


මෙලෙසින් ගුප්ත යුගයේ කාසිවලින් එම යුගයට අයත් ඉතිහාසගත තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කරගැනීමට හැකි වීම තුළින් එම යුගයේ නාණක මූලාශ්‍රවලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ඒ අනුව ගුප්ත යුගයේ සිටි ප්‍රධාන රජවරුන් මෙන්ම අප්‍රධාන පාලකයන් පිළිබඳවද, ගුප්ත ආර්ථිකයේ වර්ධනය හා පරිහානිය පිළිබඳවද, ගුප්ත අධිරාජ්‍යයට යටත් වූ ප්‍රදේශ පිළිබඳව මෙන්ම ගුප්ත යුගයේ මූර්ති, කැටයම් හා ලෝහ තාක්ෂණය පිළිබඳවද තොරතුරු අනාවරණය කරගත හැකි වේ. 


තවද අනිකුත් රාජධානි යුගවලට වඩා ගුප්ත යුගයේ කාසිවලින් ගුප්ත දේශපාලන වටපිටාව පිළිබඳ සුළුවෙන් හෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වීම එකල කාසිවල ඇති විශේෂත්වයකි. 


ඒ අනුව පෙනීයන්නේ ගුප්ත යුගයේ ඉතිහාසය අධ්‍යයනයේදී මූලාශ්‍ර කොටසක් ලෙස නාණක සාධකවලින්ද සැළකිය යුතු තොරතුරු ප්‍රමාණයක් අධ්‍යයනය කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.  


1 comment:

  1. රෂියන් අකාරාදියක් මොකද මෙතන?

    ReplyDelete