මෞර්ය යුගයෙන් පසුව ඉන්දීය ඉතිහාසයේ දේශපාලනික, සමාජීය හා ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට පත් වූ යුගයක් ලෙස ගුප්ත යුගය හඳුන්වාදිය හැකිය. ක්‍රි. ව. 320-500 අතර කාලය තුළ ගුප්ත යුගය උතුරු ඉන්දියාවේ විශාල ප්‍රදේශයක බලපැවැත්විණ. ප්‍රධාන වශයෙන් ගුප්ත ආර්ථිකය රඳා පැවතුණේ වෙළඳාම හා කෘෂිකර්මාන්තය පදනම් කරගෙනය. ගුප්ත අධිරාජ්‍යය යුගයේදී ඉන්දියාවේ අභ්‍යන්තර ආර්ථිකය තුළ කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයක් ලබාදුන් අතර එහිදී ඉඩම් භුක්ති ක්‍රමය එම කෘෂිකර්මාන්තයේ වර්ධනයට හේතුවිය.
ගුප්ත යුගයේදී රාජ්‍ය ආදායමෙන් විශාල ප්‍රමාණයක් අයකරගන්නා ලද්දේ ඉඩම් වලින් ලබාගත් බදු මාර්ගයෙනි. ඒවා බිම් බදු ලෙස හඳුන්වනු ලැබීය. එබැවින් ඉඩම් භුක්ති ක්‍රමය ගුප්ත යුගයේදී ඉතා වැදගත් බවක් ඉසිලූ බවට අවබෝධකරගත හැකිය. ගුප්ත යුගයේදී ක්‍රියාත්මක වූ ඉඩම් භුක්ති ක්‍රමය පිළිබඳ තොරතුරු ලබාගත හැකි ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස තඹපත් ඉතා වැදගත් වේ. එම මූලාශ්‍ර වලට අනුව ගුප්ත යුගයේදී ඉඩම්, රජයට අයත් සාමාන්‍යයෙන් වේතන වශයෙන් පිරිනමන ලද පුරන් ඉඩම්, දීමනා වශයෙන් පිරිනැමිය හැකි එහෙත් එවකට වගාකර ඇති නිසා ඒවායින් ආදායමක් ලැබීම හේතුවෙන් වැඩි වශයෙන් දීමනා ලෙස නොපිරිනැමුණු වගා කරන ලද ඉඩම් හා පුද්ගලික ඉඩම් ලෙස කොටස් තුනකට අයත්ව තිබූ බව අනාවරණය වේ.
තවද රාජකීය සම්පත් ලෙස සැලකුනු ඉඩම් කොටස්ද ගුප්ත යුගයේදී පැවති බව අනාවරණය වේ. එම ඉඩම් අතර කෘෂිකර්මාන්තය සඳහා යොදා නොගත් ඉඩම්, රජයට අයත් වූ හිස් ඉඩම් හා කැලෑ ඉඩම් පැවති බව මූලාශ්‍ර මඟින් දැක්වේ. එලෙස ඉඩම් කාණ්ඩකොට තිබූ අතර ඒවා පරිහරණයේදීද ඉඩම් පරිභෝජනය කරන්නන් විසින් බදු ගෙවිය යුතු විය. නමුත් ග්‍රාමීයබදව පැවති කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි සමහර ඉඩම් මුඩු ඉඩම් ලෙස අතහැර දමන ලද බව ස්මෘති ග්‍රන්ථවල සඳහන් වේ. තවද ගුප්ත යුගයේදී රජය සතුව පැවති කැලෑ ඉඩම් විකිණීමෙන් හා එම ඉඩම්වල ඇති ගස් කොළන් විකිණීමෙන් ලබාගත් මුදල රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ බව ඇතැම් ඉතිහාසඥයන්ගේ මතයයි.
තඹපත් ආදී මූලාශ්‍රවල ගුප්ත යුගයේදී අය කරන ලද විවිධ බදු අතර උතුරු බෙංගාලයේ පිහිටි එරිදපුර තඹපතෙහි සඳහන් ආකාරයට රජු විසින් ධාන්‍යයෙන් 1/6ක් බදු ලෙස අයකොට ඇත. ඒ අනුව අනෙක් ගුප්ත රජවරුන්ද තම රජයට අයත් කෘෂිකාර්මික ඉඩම්වලින් ලද ධාන්‍යයෙන් 1/6ක් බිම් බදු වශයෙන් ලබා ගන්නට ඇති බව උපකල්පනය කරගත හැකිය. එලෙස තම ප්‍රධාන ආදායම් මාර්ගය වූ ධාන්‍ය බද්ද වැඩි වශයෙන් ලබාගැනීම සඳහා කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට වැඩි වශයෙන් ආධාර කර ඇති බව පෙනී යයි. මන්දයත් බදු ලබාගෙන තිබෙන්නේ ඉඩමේ ඵලදායීතාවයෙන් වීමයි. එම බිම් බදු අයකර ගැනීම සඳහා “ධෘවාධිකරණ” ලෙස නිලධාරියෙකුද පත්කර තිබූ බව මූලාශ්‍රවලින් අනාවරණය වේ.
යම් අවස්ථාවලදී ගොවීන්ට රජයට බදු ගෙවිය නොහැකි අවස්ථාද තිබේ. අවුරුදු 3ක් පිට පිට බදු ගෙවීමට යම්කිසි පුද්ගලයෙකුට නොහැකි වුවහොත් ඉඩම පිළිබඳ ඔහුගේ අයිතිය අවලංගු කරනු ලැබේ. එබඳු නැවත පවරා ගන්නා ලද ඉඩම් විකිණීමේ අයිතිය රජය සතු විය. මූලාශ්‍රවලට අනුව එලෙස පවරාගත් ඉඩම් විකිණීමෙන් පසුව ඒවා මිලදී ගත් අය දේවාල හා ධර්මශාලා තැනවීම සඳහා පූජාකර තිබී ඇත.
තඔපත්වල සඳහන්වී ඇති ආකාරයට ගුප්ත යුගයේදී ඉඩමක අයිතිකරුවාට, රජුට මෙන් අධිකාරයක් තිබී ඇති අතර එම ඉඩම බද්දට ලබා දී ඒ වෙනුවෙන් බදු අයකර ගත හැකිව තිබී ඇත. නමුත් ගුප්ත යුගයේ ඉඩම් භුක්ති ක්‍රමය පිළිබඳ නිරවුල් අදහසක් නොපැවති බව පෙනී යයි. මනුස්මෘතියේ හා කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයට අනුව රජු,
“භූ මෙරාධිපති” හා “රාජා භූ මේ” ලෙසද අනිකුත් මූලාශ්‍රවල “පති, දෘෂ්ට” යනුවෙන්ද සඳහන් වී ඇත. මෙගස්තීනියස් සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ සියලු ඉඩම් රජු සතු වූ බවයි. කෞටිල්‍ය සඳහන්කර ඇත්තේ “රජු සියලු ඉඩම්වල අයිතිකාරයා නොවන නමුත් භූමියට අධිපති වන බවයි”. මනුධර්මයෙහි සඳහන් වන්නේ රජු සියලු රට වැසියන් ආරක්ෂා කරන බැවින් ඔහු භූමියට අධිපති වන බවයි. එනම් රජු භූමියට, ජලයට මෙන්ම වාණිජ සම්පත්වලටද හිමිකරුවා වන බවයි. ඒ අනුව රජු පෘථිවියේ සියලු ඉඩම්වල අයිතිකරු ලෙසද පිළිගෙන ඇත. නමුත් ප්‍රායෝගික වශයෙන් රජු ඉඩම් පිළිබඳ පූර්ණ අයිතිකරුවා වූ බව සිතිය නොහැක. ඒ කෙසේදයත් ප්‍රාචීණ භාරතීය සාහිත්‍යය හා ලේඛණවල සාමාන්‍යය පුද්ගලයන් විසින්ද ඉඩම් විකිණීම හා දන්දීම පිළිබඳ තොරතුරු ඇතුලත්ව තිබීමයි. ජීවක හා අනේපිඩු සිටුතුමන් විසින් සංඝයන්ට ඉඩම් දන්දුන් බව සඳහන්වීම තුළින් පෙනීයන්නේ අතීතයේ සිටම රජුට බිම් පිළිබඳ පූර්ණ ස්වාධීනත්වයක් නොතිබූ බවයි.
තවද දමෝදරපුර තඹපතෙහි සඳහන් ආකාරයට රජු විසින් හිස් ඉඩම් විකුණන ලද බවට සඳහන් වුවත් මුළු ඉඩමම එකම ස්ථානයකින් නොදී කුඩා කුඩා ඉඩම් කැබලි විකිණීම පිළිබඳ සඳහන් වේ. ඒ අනුව කාත්‍යායන, නීලකණ්ඨ ශාස්ත්‍රී, ජෛමිණී යන්නන් භූමිය පිළිබඳ රජුට පූර්ණ ස්වාමීත්වයක් නොතිබූ බවට තර්ක කරයි. ඒ අනුව පෙනී යන්නේ රජයේ හිස් ඉඩම්වල අයිතිය රජු සතු වූ බවත්, ඒවා රාජකීය සම්පත් වූ බවත්ය.
දමෝදරපුර තඹ සන්නස, වෛගරාම තඹපත හා පහාඩපුර තඹපත්වල ගුප්ත යුගයේදී ක්‍රියාත්මක වූ ඉඩම් භුක්ති ක්‍රමය පිළිබඳව හා එය හා බැඳුණු නීතිමය තත්වයන් පිළිබදව තොරතුරු අනාවරණය වේ. ඒවාට අනුව එම යුගයේදී ඉඩම් මිලදී ගැනීම සම්බන්ධවද නිශ්චිත වූ නීති රාමුවක් ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව ඉඩමක් මිලදි ගැනීමේදී අදාල පුද්ගලයා එම ඉඩමේ පිහිටීම හා එහි තවත් තොරතුරු අඩංගු නිවේදන පත්‍රයක් රජයේ ඉඩම් හා සම්බන්ධ නිලධාරි වෙත ලබාදිය යුතුය. එම ඉඩම විෂය සීමාවේ පිහිටියේ නම් විෂයපතිගේ අධිකරණයටත්, ගම් සීමාවේ පිහිටියේ නම් ගම්පතිගේ කාර්යාලයටත් නිවේදන පත්‍රයක් යවනු ලැබේ. ග්‍රාම සීමාවට අදාල ප්‍රදේශයක ඉඩමක් විකිණීමේදී පංචායත් සභාව ස්වාධීන ලෙස කටයුතුකර තිබේ. ගම්පති විසින් එම ඉඩම පරීක්ෂා කොට ස්ථානීය බ්‍රාහ්මණයන්ට හා කුටුම්බින්ට ඒ ගැන දැනුම්දෙයි. ඊට පසු ඉඩමේ අත්‍යාවශ්‍යය කරුණුවන ඉඩමේ විශේෂත්වය හා සීමා පරික්ෂාකර තත්කාලීන වටිනාකමට අනුව ඉඩම විකුණන ලදි. මෙකල ඉඩමක වටිනාකම කුල්‍යවාපයක් සඳහා දිනාර් හතරක්, තුනක් හා දෙකක් බැගින් දීමට සිදු වූ බව ගුප්ත මූලාශ්‍රවලින් අනාවරණය වේ. ගුප්ත යුගයේදී ඉඩම් සම්බන්ධයෙන් සිදු වූ සියලු කරුණු කාරණා තඹපත්වල සදහන් කරන ලදි. එම ඉඩම් හා සම්බන්ධ සියලු කරුණු ලේඛණගත කරන්නා “පුස්තපාල” නම් විය.
ඉඩම් විකිණීමේදී ඒවායේ මිල ගණන් විවිධාකාර වූ බව තඹපත්වලින් පෙනීයයි. ගුප්ත යුගයේදී ඉඩම් මැනීම සඳහා යොදාගන්නා ලද මාපකයක් වූයේ කුල්‍යවාපයයි. කුල්‍යවාපයක් යනු වර්තමාන මිනුම්වලට අනුව අක්කරයකට මදක් වැඩි ප්‍රමාණයකි. මීට අමතරව ද්‍රෝණ හා පාටක යනුවෙන්ද ඉඩම් මැනිම් වර්ගයක් ගැන සඳහන් වේ. ගම් සීමාවක ඉඩම් විකිණීමේ බලය ග්‍රාම සංස්ථාවට පවරා තිබී ඇත. ගම්සභාව විසින් යම් අවස්ථාවක ඉඩමක් විකුණා දැමූවහොත් මුළු මුදලෙන් 1/6ක් රාජ්‍ය භාණ්ඩාගාරයටත් අනෙක් කොටස් 5 ගම්සභාව විසිනුත් ගන්නා ලද බව ගුප්ත මූලාශ්‍රවලින් අනාවරණය වේ. මෙලෙස ගන්නා ලද ආදායම පංචායත් සභාව විසින් ගමේ දියුණුවට යොදවා ඇත. නමුත් එම ඉඩම මිලදීගත් තැනැත්තාට එය නැවත විකිණීමට අයිතියක් නොවූ බවද සඳහන් වේ. කෙසේ වෙතත් එම ඉඩම සදහටම භුක්ති විඳීමේ අයිතිය ඔහු සතු විය.
මේ හැර ඉඩම් අයිතිවන්නේ නීතිමය ලේඛණයකින් පැවරූ විට පමණි. ඉඩමක් අවුරුදු දෙකක් එක දිගට භුක්ති විඳීමෙන්ද එම ඉඩමේ අයිතිය ස්ථීර කරගත හැකිය. ඊට අමතරව පාරම්පරිකව, මිලට ගැනීම, උකස් වීම, විවාහ යනාදී ක්‍රම වලින්ද ඉඩමේ හිමිකම පවරෙනු ලැබේ.
ගුප්ත යුගයේ ඉඩම් භුක්තිය විමසීමේදී ඉඩම් දීමනා පිළිබඳවද එකල මූලාශ්‍රවලින් අනාවරණය වේ. ගුප්ත මූලාශ්‍රවලට අනුව ඉඩම් දීමනා වර්ග 2ක් තිබී ඇත. ඉන් එක් වර්‍ගයක් වූයේ අග්‍රහාර දීමනාවයි. එය බ්‍රාහ්මණයන්ට පමණක් සීමා වූ අතර බදුවලින් නිදහස් විය. එම ඉඩම ලබන තැනැත්තාගේ පවුලට එම ඉඩම උරුම වුවද එයලත් තැනැත්තා කෙරෙහි රජුගේ අප්‍රසාදයක් ඇති වුවහොත් එම ඉඩම රාජසන්තක කරගැනීමට රජුට බලය තිබිණ. අනෙක් ඉඩම් වර්‍ගය වුයේ වේතන වශයෙන් හෝ සේවා සඳහා තිලිණයක් වශයෙන් සාමාන්‍ය නිලධාරීන්ට දෙන ලද ඉඩම් වර්‍ගයයි.
ගුප්ත යුගයේ ඉඩම් සම්බන්ධ ලේඛණ පවත්වාගෙන යාම සඳහා ඊට අදාල විශේෂ නිලධාරීන් පිරිසක් පත්කර තිබී ඇත. ඒ අතර පුස්තපාල, මහාක්ෂපටලික, කරණික යන නිලධාරීන් විශේෂයක් පත්කර සිටි බව අනාවරණය වේ. එම යුගයේ ඉඩම් මැනීමට කටයුතු කළ නිලධාරියා ශාසයිකට/ ශාශස්ථ යනුවෙන් හඳුන්වනු ලැබීය. සීමාකර හෙවත් සීමාප්‍රදතෘ යනුවෙන් ඉඩම්වල සිමා නිර්ණය කරන්නා හඳුන්වනු ලැබීය. මනින ලද සියලුම ඉඩම් කොටස්වලට බෙදන ලද අතර එය ප්‍රත්‍ය ලෙස ව්‍යවහාරකර ඇත. පරිමිතිය පාදවති ලෙස හඳුන්වා ඇත. ඉඩම්වල ඇතිවන ආරවුල් විසඳීම සඳහා න්‍යායාධිකරණ නම් පුද්ගලයෙකු රජු විසින් පත්කර තිබී ඇත. මෙලෙස ඉතා ක්‍රමවත් ඉඩම් භුක්ති ක්‍රමයක් ගුප්ත යුගයේ ක්‍රියාත්මක වී ඇත.
ගුප්ත අධිරාජ්‍යයේ ආදායමෙන් වැඩි කොටසක් ඉඩම්වලින් ලැබුණූ බව එකල මූලාශ්‍ර අධ්‍යයනයේදී පෙනී යයි. එම යුගයේ අයකළ බදු පිළිබඳ ගුප්ත ලේඛණවල උදුංග හා උපරිතර යනුවෙන්ද, කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයට අනුව උදාංග හා උපරිකර යනුවෙන්ද ඉන්දියාවේ ඉඩම් බදු වර්‍ග හැඳින්වූ බව පෙනී යයි. මනුස්මෘතියෙහි ඉඩම් බදු භාග සහ භෝග ලෙස හඳුන්වා තිබේ. එවැනි යෙදුම්වලින් හඳුන්වනු ලබන බදු පිළිබඳව විවිධ මතවාද තිබෙන අතර ඒවා කුමන ආකාරකින් අයකලාද යන්න පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැත. කෙසේවෙතත් එමඟින් එකල අයකරන ලද විවිධාකාර බදු පිළිබඳව යම්කිසි හෝ අදහසක් ලබාගත හැකි බව විද්වතුන්ගේ මතයයි. ගුප්ත යුගයේදී ගොවීන් ඉපැයූ ධාන්‍ය වලින් කොටසක් බදු ලෙස අයකර ගත් බව ගුප්ත සාහිත්‍යයේ සදහන්වන අතර අනෙක් ගුප්ත ලේඛණවලද රජු ධාන්‍යවලින් 1/6ක් අයකරගත් බව දැක්වේ. එම කාලයේ එලෙස අය කළ බදු සඳහා ශුල්ක යනුවෙන් ව්‍යවහාර කරනලද අතර එම බදු අයකරන නිලධාරියා සුංකම් යනුවෙන් හඳුන්වා ඇත.
මෙලෙස ගුප්ත යුගයේ ඉඩම් භුක්ති ක්‍රමය පිළිබඳ විමසීමේදී එය එකල ඉතා විධිමත් ආකාරයකට සංවිධානය වී තිබී ඇති අතර එය ගුප්ත ආර්ථිකය තුළ ප්‍රධාන තැනක් ගත් බව ඉහත කරුණු අධ්‍යයනයේදී පෙනීයයි.
No comments:
Post a Comment