Showing posts with label අග්නිදිග ආසියාවේ ඉතිහාසය 1600 සිට 1948 දක්වා. Show all posts
Showing posts with label අග්නිදිග ආසියාවේ ඉතිහාසය 1600 සිට 1948 දක්වා. Show all posts

Thursday, 10 December 2020

දෙවන ලෝක යුද්ධය අවස්ථාවේදී අග්නිදිග ආසියාවට එල්ල වූ ජපන් ආක්‍රමණ පිළිබඳ කෙටි විමසීමක්

 



 19වන සියවසේ අඟ බාගය පමණ වන තෙක් ම ජපානය බටහිර ජාතීන්ට විවෘත නොවීය. මෙය බටහිර රටවලට නුරුස්සනා කාරණයක් වූ අතර අවසානයේ පැසිෆික් සාගරයේ ප්‍රබලයන් ‍ලෙස වර්ධනය වූ ඇමෙරිකාවේ බල පෑම යටතේ තම හුදකලා භාවය අත හැර දැමීමට ජපානයට සිදුවිය. ඒ අනුව 1853 ජූලි මස 8 දා ඇමරිකානු ජනාධිපති වූ ෆිල්මොර්ගේ ලිපියක් රැගෙන, කොමදෝරු පෙරී ජපානයේ උරගා අසල යොකොහමා වරායට පැමිණ, එම ලිපියට සතුටුදායක පිළිතුරක් ලබා ගැනීමට නැවත පැමිණෙන බව දන්වන ලදි. එමගින් ජපාන ජනතාව හා රජය බිය ගැන්වීමට ඇමරිකානුවන්ට හැකි විය. එම ලිපියට අනුව ජපානය සහ ඇමරිකාව අතර වෙළඳ ගිවිසුමක් අති කර ගැනීමට බලපෑම් සහිත යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එයට කැමති වීමට ජපානයට සිදු විය. පෙරීගේ පැමිණි ම ජපානය තුළ දිගු කාලීන ප්‍රතිඵල ඇති කිරීමට සමත් වූ බව ජපාන ඉතිහාසය අධ්‍යනයේ දී පෙනී යයි.

මෙම ගිවිසුම් හේතුවෙන් විදේශිකයන්ට රට තුළ පදිංචි වීමට ද, නිදහසේ රට තුළ සංචාරය කිරීමට ද, නිදහස් වෙළඳ කටයුතු කිරීමට ද ඉඩප්‍රස්ථාව ඇති විය. රට අනවශ්‍ය ලෙස බටහිර ග්‍රහණයට ලක් වෙන බව දුටු ජපාන ජනතාව රටේ පාලන බලය ඉසිලූ ෂෝගුන්වරුට විරුද්ධව පෙළ ගැසුණු අතර ඒ හමුවේ ෂෝගුන්වරුගේ බලය බිඳ වැටී මෙයිජිවරුන්ට බලය ලැබෙන ලදි. මෙය මෙයිජි විප්ලවය නැතහොත් මෙයිජි පුනරුත්තාපනය ලෙස හඳුන්වනු ලැබේ. 

මෙයිජිවරු සාම්ප්‍රදායික ජපාන සමාජයේ තිබූ දුර්වලතා අවබෝධ කර ගත් අතර බටහිර රටවල තිබෙන්නා වූ දියුණුව ලබා ගැනීමේ අදහසින් රට තුළ දේශපාලන, ආර්ථික හා සමාජීය ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරන ලදි. තම අධිරාජ්‍යයාගේ පූර්ණ අධිකාරි බලය පවරා ගත් මෙයිජිවරු ජපානය නවීකරණය කරන ලදි. සුළු වෙනස්කම් කීපයකින් පසුව පූර්ණ අධිකාරි බලය අධිරාජ්‍යයා වෙත පැවරුණු බටහිර දේශපාලන ක්‍රමයට සමාන (එංගලන්තයේ ආණ්ඩුක්‍රමයට) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1889දී සම්මත කරන ලදි.

    බටහිර යුරෝපා රටවල දියුණුව රඳා ඇත්තේ එම රටවල් සතු විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව මත බව තේරුම් ගත් මෙයිජිවරු ජපාන සිසුන්ට බටහිර රටවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දී එම රටවල දැනුම ජපානය තුළට ගෙන ඒම කටයුතු කළ අතර විදේශීය කාර්මිකයන් හා විද්‍යාඥයන් ද ජපානයට ගෙන්වමින් දැනුම ලබා ගන්නා ලදි. තවද බටහිර රටවල ආදර්ශයන් හා තාක්ෂණය ලබාගෙන ජපාන හමුදාව ද නවීන යුධ උපකරණවලින් සමන්විත හමුදාවක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදි. මේ හේතුවෙන් 20 වන සියවස ආරම්භ වන විට ලෝක බලවතෙකු ලෙස ජපානය පිළිගැනීමට බ්‍රිතාන්‍ය හා ඇමරිකාව ඉදිරිපත් වූ අතර 1902දී ඇති කරගත් ආංගල-ජපන් ගිවිසුම මගින් එය ස්ථීර විය. තම රට කෙතරම් බටහිර කරණයට ලක් කරමින් නවීනත්වයට පත් කළ ද තම දේශීය අනන්‍ය තා තව දුරටත් ආරක්‍ෂා කර ගැනීමට ද මෙයිජවරු උනන්දු විය. 

    ජපානය නවීකරණය කිරීමෙන් අනතුරුව සෙසු බටහිර බලවතුන් මෙන් අධිරාජ්‍යයක් ඇති කිරීමේ අශාවක් ද ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1938දී කොරියාව අක්‍රමණය කරමින් චීනයට ද, මැන්චූරියාව හා සයිබීරියානු දේශසීමා ආක්‍රමණය කරමින් රුසියාවට ද තම ප්‍රබලත්වය පෙන්නුම් කිරීමට ජපානයට හැකි විය. මේ අතර අග්නිදිග ආසියානු ප්‍රදේශවල පැවති යුරෝපීය යටත් විජිතවල තත්වය ක්‍රමයෙන් අයහපත් අතට හැරෙමින් පැවතිණ. ඒ අනුව ප්‍රංශයන් සතු වූ ඉන්දු චීන ප්‍රදේශයේ, බ්‍රිතාන්‍යයන් සතු වූ ඉන්දියාවේ, බුරුමයේ හා මලයානු ප්‍රදේශවල, ලන්දේසීන් සතු වූ කුළුබඩු දූපත්වල, ස්පාඤ්ඤය සතු ව තිබී පසුව ඇමරිකාවට අයත් වූ පිලිපීන දූපත්වල හා චීනයේ ඉතා ප්‍රබල ස්වදේශීය අරගල හට ගෙන තිබූ අතර ඒ හේතුවෙන් ම යුරෝපීය යටත් විජිතවල බලය අභියෝගයකට ලක් වී තිබුණි. මේ හේතුවෙන් 1938 සැප්තැම්බර් මාසයේ මියුනික්හි දී ඇති කර ගත් සම්මුතියත් සමග බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ දුර්වලතාව ජපානයට හොඳින් අවබෝධ විය. ඒත් සමඟ අග්නිදිග ආසියාවේ, ජපාන ප්‍රතික්‍රියා ප්‍රබලව ආරම්භ කිරීමට කාලය එළඹ ඇති බව ඔවුන්ට අවබෝධ විය. 

    ඒ අනුව මියුනික් සම්මුතිය ඇති වී මාසයකට පමණ පසුව චීනයේ කැන්ටන් නගර ජපානය විසින් අල්ලාගත් අතර බ්‍රිතාන්‍ය සතු වූ හොංකොං අල්ලා ගැනීම සඳහා එම ප්‍රදේශ ගොඩබිමින් වට කරන ලදි. එමගින් චීනයේ දකුණු දිග ප්‍රදේශ හා දකුණු චීන මුහුදේ වූ යුද්ධෝපායික මර්මස්ථාන ආක්‍රමණය කිරීමේ ජපාන කටයුතු ද ආරම්භ විය. අග්නිදිග ආසියාවේ මර්මස්ථානයක පිහිටා තිබූ සිංගප්පූරුවට ආසන්න ම ජපාන නාවික මධ්‍යස්ථානය වූවේ ‍ෆෝමෝසාවයි. නමුත් එය ඉතා දුරින් පිහිටා තිබීම හේතුවෙන් ඊට වඩා සිංගප්පූරුවට ආසන්න තවත් නාවික මධ්‍යස්ථානයක අවශ්‍යතාව ජපානයට ඇති විය. ඒ අනුව ප්‍රංශ ඉන්දු - චීන වෙරළට ආසන්නව පිහිටි හයිනාන් දූපත 1939 පෙබරවාරි මස 10 වනදා අල්ලා ගත් අතර එමගින් සිංගප්පූරුවට 2092km දක්වා ආසන්න වීමට ජපානයට හැකි විය. ස්ප්‍රැට්ලි ඇතුළු සිනන් දූපත් එම වසරේ ම මාර්තු 30 වනදා අල්ලා ගැනීමත් සමග සිංගප්පූරුවට ඇති දුර තවත් 1127km අඩු විය. 

    අනතුරුව ජපානයේ මූලීක අවධානය යොමු වූවේ ඉන්දු-චීනය දෙසට ය. ඒ අනුව චීනයත්, ප්‍රංශ ඉන්දු-චීනයත් අතර ගමනාගමන සම්බන්ධතා තිබූ ක්වාංසි ප්‍රාන්තයට ජපානය විසින් ඉතා තදබල ප්‍රහාර එල්ල කරන ලදි. තවද චීනයට මුහුදට ප්‍රවිෂ්ට වීමට තිබූ එක ම මාර්ගයන් වූ බුරුම මාර්ගය හා හැනොයි-කුන්මිං දුම්රිය මාර්ගයටත් ජපාන ගුවන් ප්‍රහාර එල්ල විය. 1940 අප්‍රේල් 09 වනදා හිට්ලර් විසින් බ්ලිට්ස්ක්‍රීග් ආක්‍රමණය ආරම්භ කිරීමත් සමඟ ජපාන විදේශ ඇමතිවරයා වූ අරීටා විසින් ජර්මනිය ජයග්‍රහණය කළ හොත් ප්‍රංශ-ඉන්දු චීනයට හා ලන්දේසි ‍යටතේ තිබූ කුළුබඩු දිවයින් කෙරෙහි ජපානය දැක්වූ ආක්‍රමණකාරී අරමුණු ප්‍රකාශ කරන ලදි. ඇමරිකාවේ රාජ්‍ය ලේකම් වූ කොඩෙල් හල් මීට තද බල ලෙස විරෝධය පල කරමින් ජපානයට අනතුරු හැගවූවත්, ප්‍රංශයට හා නෙදර්ලන්තයට, ජපානයට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් යුද ශක්තියක් අග්නිදිග ආසියාව තුළ නොවීය. 

    ජපානය විසින් 1940 අගෝස්තු මාසයේ දී ප්‍රංශ ඉන්දු-චීන ප්‍රදේශය සම්බන්ධයෙන් විශේෂ වරදානයක් ඉල්ලා සිටි අතර ජර්මනියේ බලපෑම මත විචී රජය විසින් යුද්ධ හමුදා ප්‍රවාහණයට ඉන්දු-චීන වරායන් හා ගුවන් තොටුපලවල් ජපානය වෙනුවෙන් විවෘත කිරීමට එකඟ විය. තවද 1940 සැප්තැම්බර් මාසයේ දී එම ප්‍රදේශවල සිට දකුණට වූ හැනෝයි දක්වා වූ ඉන්දු චීනයේ උතුරු කොටස ද 1893දී ඇති වූ පක්නම් සිද්ධිය හේතුවෙන් සියමට අහිමි වූ ප්‍රදේශ වන බැටම්බෑං හා සියම්රීයප් යන කාම්බෝජ ප්‍රදේශ ද මීකොන් නදියෙන් බටහිර ඉවුරෙහි වූ ලාඕස් ප්‍රදේශ ද ජපානයට පවරා දීමට ද විචී රජයට සිදු විය. එම මාසයේ දී ම ඇමරිකාවට අනතුරු ඇඟවීමේ අරමුණින් යුරෝපා සංග්‍රාමයේ අක්ෂ බලවතුන් සමඟ ගිවිසුමකට ද ජපානය අත්සන් කරන ලදි. මේත් සමඟ ඇමරිකාව ද අනාගත යුද්ධයක් සඳහා සුදානම් වන්නට විය. ජර්මනිය විසින් 1941 දී තම ප්‍රබලතම ප්‍රහාරය වූ බාර්බරෝසා ප්‍රහාරය රුසියාවට එරෙහිව දියත් කල අතර ජර්මනියේ ක්‍ෂණික ජයග්‍රහණ හමුවේ උද්දාමයට පත් ජපානය ද 1941 ජූලි මාසයේ දී සමස්ත ඉන්දු-චීනය ම ආක්‍රමණය කරමින් යටත් කර ගන්නා ලදි.   

    ජපාන ව්‍යාප්තවාදයට ඇති වූ ප්‍රබලතම අභියෝගය වූවේ ඇමරිකාවේ බලපෑමයි. අග්නිදිග ආසියාවේ බලවතා වීමේ අපේක්‍ෂාවෙන් සිටි ජපානයට, එම ප්‍රදේශවල තිබූ පෘතුගීසි, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා නෙදර්ලන්ත ආධිපත්‍ය අභියෝගයට ලක් වීමත් සමග තම බලය පැතිර වීම සඳහා විශාල අවකාශයක් නිර්මාණය වී තිබුණි.  නමුත් ඒ වන විට පිලිපීනය හා නැගෙනහිර ඉන්දීය දූපත්වල ඇමරිකානු බලය වර්ධනය වී තිබීම හේතුවෙන් ජපාන ව්‍යාප්තිය සීමා වී පැවතිණ. ඇමරිකාව ඒ වන විටත් ජපානයට විරුද්ධව තෙල් සම්බාධක පනවා තිබුණි. තවද ජපානයේ ප්‍රවේගකාරී ව්‍යාප්තවාදයට එරෙහිව ඇමරිකාව විසින් චීන-ජපන් යුද්ධයේ දී චීනයට ආධාර ලබා දෙන ලදි. අර්බුදයට රාජතාන්ත්‍රික විසඳුමක් ලබා දීමට දැරූ උත්සහයට ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට්ගේ දරදඬු ස්ථාවරය බාධාවක් විය. කෙසේ වෙතත් අත්ලාන්තික් සාගරයේ මෙන් නොව පැසිෆික් සාගරයේ දී ඇමරිකාවේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය තමාට එරෙහි නොවනු ඇති බවට ජපානය මුලදී උපකල්පනය කරන ලදි. 1941 නොවැම්බර් වන විට ජපානයේ තෙල් සැපයුම භයානක ලෙස අඩු වෙමින් පැවතිණ. ඒ අනුව ලන්දේසි නැගෙනහිර ඉන්දීය දූපත්වල තිබූ තෙල් බිම් යටත් කර ගැනීම ජපානයට තිබූ එක ම විකල්පය විය. එහෙත් ඇමරිකාව තමන්ට එරෙහිව යුද ප්‍රකාශ කරනු ඇති බවට පැවති බියත්, යුද්ධයක් ඇති වීම කිසි සේත් වළක්වාගත නොහැකි බවට පසක් වීමත් හේතුවෙන් ජපානය ඇමරිකාවට විරුද්ධව යුද්ධ කිරීමට තීරණය කරන ලදි.

    ඒ අනුව තම ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙන ගිය ජපානය II වන ලෝක යුද්ධයට ද සම්බන්ධ වන ලදි. ඒ හේතුවෙන් 1941 දෙසැම්බර් 07 වන දා වන විට හිට්ලර් විසින් ආරම්භ කරන ලද යුරෝපා සංග්‍රාමය ලෝක යුද්ධයක් බවට පත් විය. එදින පෙරවරු 08 ට පමණ ජපාන ප්‍රහාරක ගුවන් යානා 200ක් පමණ හවායිහි ඇමරිකානු නාවික හමුදා කඳවුර පිහිටි පර්ල් වරායට පහර දෙන ලදි. එම ප්‍රහාරයත් සමඟ ලොව කාර්මික බලවතා වූ ඇමරිකාව ජපානයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් දෙවන ලෝක මහා සංග්‍රාමයට අවතීර්ණ වූ අතර වොෂිංටනය අනුව යමින් බ්‍රිතාන්‍යය ද ජපානයට විරුද්ධව යුධ ප්‍රකාශ කරන ලදි. දින තුනකට පසුව ජර්මනිය හා ඉතාලිය ද 1936දී ඇති කරන්නා ලද කොමින්ටන් වි‍රෝධී සම්මුතිය අනුව තම මිතුරා වූ ජපානයේ සහයට ඉදිරිපත් වෙමින් ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කරන ලදි. 

    පර්ල් වරාය ආක්‍රමණය කිරීමෙන් පසු ජපාන හමුදා විසින් තායිලන්තය ආක්‍රමණය කළ අතර සුළු විරෝධතාවකින් පසු ප්යිබන්ගේ රජය අසරණ ව යටත් විය. 1941 දෙසැම්බර වන විට ඇමරිකානු යුධ කඳවුරු වූ ගුවාමි හ වේක් ද නත්තල් දිනයේ දී හොංකොංහි බ්‍රිතාන්‍ය ජනාවාසය ද ජපානයට යටත් විය. අනතුරුව ජපානය විසින් ඇමරිකාව සතු වූ පිලිපීන දූපත් ද ආක්‍රමණය කරන ලදි. පිලිපීනයේ ඇමරිකානු හමුදා හා පිලිපීන හමුදා බැටන් අර්ධද්වීපයට පසුබස්වන ලද අතර සෙසු හමුදා සේනාංක මැනිලා බොක්කේ කොරෙගිඩෝවේ සටන් කරමින් රැදී සිටියහ. 1942 අප්‍රේල් 09 දා වන විට බැටාං ප්‍රදේශවල ද ජපාන ආධිපත්‍ය ස්ථාවර විය.

    1941 දෙසැම්බර් 10 වන දින උතුරු මලයාවට එල්ල විය හැකි ජපන් ආක්‍රමණ වළක්වනු වස් සිංගප්පූරුවේ සිට මලයාව බලා යාත්‍රා කළ බ්‍රිතාන්‍යයට අයත් විශාලතම යුධ නෞකා දෙකක් වන රීපල්ස් හා ප්‍රින්ස් ඔ‍ෆ් වේල්ස් යන යුධ නෞකා ජපාන ප්‍රහාරක යානා විසින් විනාශ කර දමන ලදි. පර්ල් වරායට පහර දීමෙන් අනතුරුව මලයාව, හොංකොං, තායිලන්තය හා පිලිපීනය ආශ්‍රිත යුද ජයග්‍රහණවලින් ජපානය අග්නිදිග ආසියාවේ තම බලය තහවුරු කර ගැනීමට සමත් විය. ජපාන බලය හමුවේ අග්නිදිග ආසියාතික ප්‍රදේශවල විශාල ව්‍යසනයන්ද සිදු විය. තම යටතට පත් වූ මලයානු ප්‍රදේශවල ජපාන හමුදා විසින් ස්ත්‍රී දූෂණ විශාල වශයෙන් කරගෙන ගිය බව වික්ටර් පර්සල්ස් පවසයි. මලයාවේ හා සිංගප්පූරුවේ පැවති සෞඛ්‍යාරක්ෂණ කටයුතු ජපානය විසින් නෙසලකා හැරීම හේතුවෙන් මැලේරියාව හා වෙනත් රෝග ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී මරණයට පත් වන ජනතාවගේ ප්‍රමාණය ඉහල යන්නට ද විය. 

    මීළඟට ජපානයේ අවධානය යොමු වූවේ පැසිෆික් ප්‍රදේශ කෙරෙහි ය. 1942 ජනවාරි වන විට මැනිලා, ලන්දේසි නැගෙනහිර ඉන්දීය දූපත්, ක්වාලාලම්පූර් හා බ්‍රිතාන්‍ය බුරුමය ද ජපානය යටතට පත් විය. ඒ අනුව මාර්තු 07 වදා රැන්ගූන් අතහැර පසුබැසීමට බ්‍රිතාන්‍යයට සිදු විය. පසු බසින බ්‍රිතාන්‍ය හමුදාවට ආරක්ෂාව සැලසීම සඳහා චීන හා බ්‍රිතාන්‍ය හමුදා ඉරවඩි නදී තීරය ඔස්සේ ඉහලට සටන් කරන ලදි. බුරුමයෙහි දී බ්‍රිතාන්‍ය හා ඇමරිකානු සෙනවියෙකු වූ ස්ටිල්වෙල් විසින් මෙහෙය වූ චීන හමුදා ඒකාබද්ධ වී ජපානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උත්සහ කරන ලද මුත් ෂාන් කඳුකරය හරහා පැමිණි ජපාන හමුදා විසින් ලොයිලෙම්හිදී චීන හා බ්‍රිතාන්‍ය හමුදා පරාජයට පත් කරන ලදි. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය හමුදා වින්ඩ්වින් නදී තීරයේ ඉහළ මනිපූර් ප්‍රදේශයට පසු බසින ලද අතර ස්ටිල්වෙල්ගේ හමුදා සීසී කඩව විසිර යන ලදි. 1942 අප්‍රේල් මාසය අවසාන වන විට ඉරවඩි ගංගාව ආශ්‍රිත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජපානය යටතට පත් විය. බුරුමයේ ප්‍රධාන ගොඩ බිමින් ඉවත් වූ බ්‍රිතාන්‍ය හමුදා ඉන්දියන් දේශ සීමාව දක්වා ම පසු බසින ලදි. 

    කෙසේ වෙතත් ජපානයේ පුහුණුව ලැබූ ථාකින් පක්‍ෂයට අයත් ශිෂ්‍ය ජාතිවාදී පිරිසක් හැර අනෙකුත් බුරුම ජනයා ජපාන ආක්‍රමණිකයන්ට සහයෝගය ලබා නොදෙන ලදි. බුරුම නගර විශාල ප්‍රමාණයක් ජපාන ගුවන් ප්‍රහාර හේතුවෙන් විනාශ විය. බ්‍රිතාන්‍යය හමුදා පසු බසින විට ද සතුරාට ප්‍රයෝජන ගත නොහැකි ලෙස බුරුමයේ ඛනිජ තෙල් ආකර, ආකර උපකරණ හා ගංගාවල ප්‍රවාහන ක්‍රමවේදයන් විනාශ කර දමන ලදි. මේ හේතුවෙන් බුරුමයට සිදු වූ විනාශය අතිශයින් ම ප්‍රබල විය. බ්‍රිතාන්‍යය යටතේ බුරුමය පැවති කාලයේදී එරට සහල් අපනයනය ප්‍රධාන ආර්ථික ආදායම් මාර්ග වූ නමුත් ජපානය යටතේ එය විනාශ වී යන්නට විය. ඒ හේතුවෙන් යැපීමට පමණක් ගොවිතැන් කටයුතු සිදු වූ අතර දකුණු ප්‍රදේශවල සහල් නිෂ්පාදනයේ අතිරික්තයක් ඇති වන විට උතුරේ සාගත තත්වයන් ද ඇති විය. 

    බුරුමයේ සිටි බ්‍රිතාන්‍ය නිලධාරීන් ඉන්දියාවට පැන ගිය නමුත් දේශීය නිලධාරීන් තම තමන්ගේ නිලතලවල රඳවමින් පැවති පාලනය ම තමන්ට අවශ්‍ය පරිදි සුළු වෙනස්කම් කීපයක් පමණක් සිදු කොට ක්‍රියාත්මක කිරීමට ජපනුන් විසින් කටයුතු කරන ලදි. තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම හා සිවිල් පාලන සේවකයන් සමඟ කටයුතු කිරීමට දේශපාලන කොමිසාර්වරු පත් කරන ලදි. මලයාවේ හා ඉන්දුනීසියාවේ ජපන් යටත් ප්‍රදේශවල ද ක්‍රියාත්මක කරන ලද්දේ ද මෙම පිළිවෙතයි. නමුත් යුරෝපීය නිලධාරියන්ගේ පැන යාමත් සමඟ යටත් ප්‍රදේශවල ඇති වූ පරිපාලනයේ ඉහළ තනතුරු සඳහා වූ රික්තකය පිරවීම සඳහා පත් කරනු ලැබූවේ ප්‍රමාණවත් පුහුණුවක් නොමැති එදිරිවාදී බුරුමවරුන්, මැලේවරුන් හා ඉන්දුනීසියානුවන්ය. පරිපාලනය පිළිබඳව මෙන් ම ආර්ථිකය කළමනාකරණය පිළිබඳ කිසිදු දැනුමක් නොතිබූ මෙම පිරිස් හේතුවෙන් ජපාන යටත් විජිතවල පරිපාලනය ඉතා අවුල් සහගත තත්ත්වයක් ඉසිලූ අතර ආර්ථික තත්ත්වය ද පිරිහෙන්නට විය. යටත් ප්‍රදේශවල පොලිස් සේවාව කෙම්පිටායි සංවිධානයේ යටතට පත් කරන ලදි.  

    ජපානයේ ප්‍රවේගකාරී හැසිරීම හමුවේ මිත්‍ර හමුදා දැඩි පීඩනයකට ලක් විය. මලයාවේ රඳවනු ලැබ සිටි බ්‍රිතාන්‍ය හමුදා සිංගප්පූරුවට රැගෙන එනු ලැබීය. නමුත් ප්‍රබල ප්‍රහාර හමුවේ සිංගප්පූරුව, ජපානයට යටත් වූ අතර 80,000ක පමණ බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු වැසියෝ පිරිසක් අත්අඩංගුවට පත් වූහ. සිංගප්පූරුවේ දී යටත් වූ චීන පුරවැසියන් චීන අරමුදලට කිසියම් ආකාරයෙන් හෝ සම්බන්ධ වී සිටියේ නම් ඝාතනය කරනු ලැබූහ. 

    අග්නිදිග ආසියානු ප්‍රදේශ අතරින් ජපානයේ ප්‍රධානතම අවධානයක් යොමු වූවේ ඉන්දුනීසියාවේ පැවති ස්වාභාවික සම්පත් කෙරෙහිය. ඒ අනුව ජර්මනියේ විසින් නෙදර්ලන්තය යටත් කර ගැනීමෙන් පසු ජපානයට අවශ්‍ය පරිදි පෙරදිග ලන්දේසි කටයුතු පාලනය කිරීමේ අරමුණ ජපානය සතු විය. ඒ සඳහා ජපන් වෙළඳ හා කර්මාන්ත භාර ඇමති ඉචිසො කොබයාෂි 1940 සැප්තැම්බර් මාසයේ දී බතාවියට යන ලදි. ජපානයේ බලාපොරොත්තුව වූයේ ජර්මනියේ ප්‍රහාර හමුවේ බ්‍රිතාන්‍යය යටත්වීමෙන් පසු ලන්දේසින් සතු වූ ඉන්දුනීසියානු දූපත් ජපාන ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කර ගැනීමයි. නමුත් බලා පොරොත්තු වූ පරිදි බ්‍රිතාන්‍ය යටත් නොවූ අතර ජපානයේ අරමුණු ද ඉටු නොවීය. 1941 වන විට ද ලන්දේසීන්ගේ සහයෝගය ජපානයට හිමි නොවීය. ඒ හේතුවෙන් ඉන්දුනීසියාවේ ඛනිජ තෙල් කර්මාන්තය වෙනත් ජාතියකට අත් කර ගැනීම වැළැක්වීමටත්, තමාට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමටත් අනිවාර්යයෙන් ම නෙදර්ලන්තය සමඟ යුද කළ යුතු බවට ජපානයට පෙනී යන්නට විය. නෙදර්ලන්තය ද තම අධිරාජ්‍ය ජපානයට පැවරීමට සූදානම් නොවීය. කෙසේ වෙතත් ජපාන ආක්‍රමණවලට මුහුණ දීමට ලන්දේසීන් අපොහොසත් විය. 1942 පෙබරවාරි මස 26 වන දින ජාවා මුහුදේ සටනින් බ්‍රිතාන්‍ය හා ලන්දේසි හමුදා පරාජයට පත් විය. ඒ වන විට ජපානය කිසි සේත් පරාජය කළ නොහැකි සතුරෙකු බව මිත්‍ර හමුදා අවබෝධ කර ගන්නා ලදි.  ඉන්දුනීසියාව ජපානයේ යටතට පත් වීමත් සමග එම ප්‍රදේශ කොටස් 03 කට බෙදා පාලනය කරන ලදි. ඒ අනුව ජාවා හා සුමාත්‍රා ප්‍රදේශ හමුදා නායකයන් යටතේ ද, සෙසු ප්‍රදේශ ජපාන නාවික හමුදාව යටතේ ද පාලනය විය. රජය විසින් ප්‍රමාණය ඉක්මවා යමින් රට තුළ මුදල් අච්චු ගැසූ අතර ඒ හේතුවෙන් උද්ධමනය ද අධික විය. ආහාර හිඟය ඉතා ප්‍රබල වූ අතර සාමාන්‍ය ජනතාව ඉතා ප්‍රබල ලෙස ඉන් බැටකන්නට විය. 

    ආසියාව ආසියාතිකයන්ට යන ආදර්ශ පාඨය යටතේ ජපානය විසින් අග්නිදිග ආසියාවේ යුරෝපීය යටත් විජිත අත්පත් කර ගත් අතර එම ප්‍රදේශවල ව්‍යාප්ත ව පැවති යුරෝපීය සංස්කෘතියට දැඩි ලෙස පහර ගසන්නට ද විය. ඉන්දුනීසියාවේ දී ජපානය විසින් ගෙන ගිය ලද ත්‍රිත්ව ව්‍යාපාරය වූ ජපානය ආසියාවේ නායකයා, ජපානය ආසියාවේ ආරක්‍ෂකයා, ජපානය ආසියාවේ ආලෝකය යන සටන් පාඨ එතරම් සාර්ථක නොවීය. ජපානය විසින් යටත් කර ගත් ප්‍රදේශවල ගෙන ගිය ඉතා දරුණු පිළිවෙත් නිසා වැඩිකල් යන්නට පෙර අභ්‍යන්තර වශයෙන් ප්‍රබල විරෝධතා මතු විය. බුරුමයේ ඇති වූ නිලධාරීන්ගේ කැරැල්ල ඉතා දරුණු ලෙස මර්දනය කරන ලදි. මේ හේතුවෙන් කලකිරුණු බුරුම ථාකින් පක්ෂයේ විශාල පිරිසක් 1943න් පසු ජපාන විරෝධී රහස් සංවිධානවලට සම්බන්ධ විය. කොමියුනිස්ට්වරු ඉන් ප්‍රමුඛ වූ අතර ඉන්දු-චීනයේ හෝ චිං මිංගේ නායකත්වය යටතේ ව්‍යාප්ත වූ වියට් මිං ගරිල්ලා සංවිධානය ඒ අතරින් ප්‍රබල විය. මෙම අරගලයේ අවසාන කාලයේදී වියට් මිං සංවිධානයට ඇමරිකානු ආධාර ද හිමිවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු ටොංකින් ප්‍රදේශයෙන් ජපනුන් පලවා හැරීමට ද හැකි විය.

    ඉන්දුනීසියාවේ සිටි ජාතිකවාදී නායකයෝ කොටස් දෙකකට බෙදී එක් කොටසක් සුකර්තෝ හා හට්ටා යටතේ ව්‍යාජ සහයෝගයක් ජපනුන් වෙත දැක්වූ අතර ජපන් විරෝධී ස්වරූපයක් ඉසිලූ ස්ජාරීර් හා ස්ජාරිෆුද්දීන් යටතේ වූ අනෙක් කොටස සංවිධානය වී ජපාන සහයෝගී පිරිස් සමග රහසින් සම්බන්ධතා පවත්වන ලදි. 

    ජපානය ලැබූ වේගවත් ජයග්‍රහණ හමුවේ මුලින් බලාපොරොත්තු වූ ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රදේශයකට හිමිකම් කීමට ඔවුන්ට හැකි විය. ඒ අනුව ඉන්දියාව ආක්‍රමණය කිරීමට ද ජපානය උනන්දු වූ අතර ඒ සඳහා කටයුතු සංවිධානය කිරීම බුරුමය තුළ දී සිදු විය. ඉන්දීය ආක්‍රමණය සඳහා මලයාවේ දී බඳවා ගන්නා ලද ඉන්දීය ජාතිකයන්ගෙන් සැදුම් ලත් හමුදාවේ ඉල්ලීම වූ අනාගතයේ දී ඉන්දියාවට ස්වාධීනතාව ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ ගැට‍ළුවක් හේතුවෙන් මුහුදින් ගොස් බ්‍රිතාන්‍ය ඉන්දියාව ආක්‍රමණය කිරීමේ පළමු උත්සහය අසාර්ථක විය. ඉන්දියාව ආක්‍රමණය කිරීමේ දෙවන උත්සහය ජපනුන් විසින් ආරම්භ කරන ලද්දේ 1944 දී ය. එම වසරේ මාර්තු මාසයේ දී මනිපූර් හා ඇසෑම් යටත් කර ගැනීමට ජපානය උත්සහ කරන ලදි. නමුත් මාස කීපයක් තිස්සේ පැවති දරුණු සටන්වලින් අනතුරුව පරාජිත ව පසු බැසීමට ජපාන හමුදාවලට සිදු විය.

    තමාට අයත් වන පරාජයන් හමුවේ බිය වූ  ජපානය, තමා යටත් කර ගත් යුරෝපීය යටත් විජිතවලට ව්‍යාජ නිදහසක් ලබා දීමට කටයුතු කරන ලදි. එමඟින් එම ප්‍රදේශවල ස්වදේශික ජනයාගේ සහයෝගය ලබා ගැනීමට ජපානයේ අපේක්ෂාව විය. ඒ අනුව ටෝකියෝවේ ඇමතිවරයෙකු වූ ආචාර්ය ගොතාරා ඔගවාගේ අධීක්ෂණය යටතේ 1943 අගෝස්තු 01 වනදා බා මෝ නම් ජනාධිපතිවරයෙක් පත් කොට බුරුමයට ව්‍යාජ ස්වාධීනතාවක් ජපානය විසින් ලබා දෙන ලදි.

    සුකර්තෝගේ නායකත්වයෙන් හා මොහොමඩ් හට්ටා උප නායකයා ලෙසිනුත් යුත් උපදේශක මණ්ඩලයක් ජාවාහී පිහිටුවනු ලැබීය. එම මණ්ඩලයේ අරමුණ වූයේ ජපානය වෙනුවෙන් ඉන්දුනීසියානු ජනතාවට ජපාන ප්‍රතිපත්ති අර්ථ දැක්වීම පමණි. සිංගප්පූරුවේ ද මලයානු උපදේශක මණ්ඩලයක් පිහිටුවනු ලැබීය.

    පෙර සඳහන් කළ ආකාරයට ජපානය විසින් තමන් අපේක්‍ෂා කළ ප්‍රමාණයටත් වඩා ප්‍රදේශ අල්ලා ගැනීම තම අධිරාජ්‍යයේ ශක්තිය දුර්වල කිරීමට ද ඉඩ විවර කරන ලද්දක් විය. 1942 මැයි මස 4-7 දක්වා පැවති කොරල් මුහුදේ සටනින් ඇමරිකාව හමුවේ ජපානය පරාජයට පත් විය. සටනේ දී දෙපාර්ශවයට ම ඉතා ප්‍රබල අලාබ හානිවලට මුහුණ දීමට සිදු වුවද ජපානයට ආපසු යාමට සිදු වූවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ද අහිමිවය. ඉන් මාසයකට පසුව මිඩ්වේහී දී ඇති වූ සටනින් ජපානයට තවත් ගුවන් යානා ප්‍රවාහණ නෞකා 04ක් අහිමි විය. ජපානයේ සංග්‍රාම ශක්තිය බෙහෙවින් දුර්වල වීමට එය හේතුවක් විය. 1943 පෙබරවාරි මාසයේ දී ගොඩාල්කැනෑල් දූපත ද ඇමරිකානු හමුදා අතට පත් විය. අග්නිදිග ආසියාවේ සහ පැසිෆික් සාගරයේ ජපානයේ ඉදිරි ගමන වළකාලීමට මේ පරාජයන් හේතු විය.    

    යුරෝපයෙන් ආරම්භ වූ දෙවන ලෝක සංග්‍රාමය 1945 මැයි මස 09 වන දා ජර්මනියේ යටත් වීමත් සමඟ යුරෝපය තුළ අවසන් වුවත් එය ආසියාවේ දී තවදුරටත් කෙරීගෙන යන්නට විය. මිත්‍ර හමුදා 1945 වසරේ මුල සිට ම ජපානය ආක්‍රමණය කිරීමේ සූදානමක පසු විය. එවැනි මෙහෙයුමක දී සිදු විය හැකි ජීවිත හානි සම්බන්ධයෙන් ඔවුනට බියක් ද පැවතුණි. රූස්වෙල්ට් අප්‍රේල් මාසයේ 04 වනදා අභාවප්‍රාප්ත වීමෙන් පසු බලයට පත් හැරී ටෲමන් ඈත පෙරදිග යුද්ධය ජයගැනීමට සැලසුම් සකස් කරමින් සිටින්නට විය. 1945 ජූලි මාසය පමණ වන විට ඇමරිකාව විසින් තම ප්‍රථම න්‍යෂ්ටික බෝම්බය සාර්ථකව අත්හදා බලා තිබුණි. එම විනාශකාරී බෝම්බය පැසිෆික් සංග්‍රාම භූමියේ දී යොදා ගැනීමේ අරමුණ ද ඇමරිකාව සතු විය. ජපානයේ ප්‍රධාන ගොඩබිම් ආක්‍රමණය කිරීමට යාමෙන් ඇමරිකාවට විශාල වන්දියක් ගෙවීමට සිදු විය හැකි බව ඔවුන්ගේ උපකල්පනය විය. ඒ වන විට යුරෝපයේ ජනයා යුද ජයග්‍රහණයේ සතුට සමරමින් සිටි අතර මිත්‍ර හමුදා ඒ වන විටත් දැඩි වෙහෙසකට පත් වී සිටියහ. ඊට අමතරව සෝවියට් සංගමය ද ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කරමින් ඇය සතු වූ භූමි ප්‍රමාණය ක්‍රමයෙන් අල්ලා ගන්නට විය. ස්ටාලින්ගේ බලපෑමෙන් කලාපය බේරා ගැනීමේ අරමුණ ටෲමන්ට තිබූ අතර ඒ සඳහා ක්ෂණික පියවරක් වන්නේ ජපානයට පරමාණු බෝම්බ හෙළීම බව ඔහුට අවබෝධ විය. ඒ අනුව 1945 අගෝස්තු 06වන දින හිරෝෂිමාවටත් අගෝස්තු 9වන දින නාගසාකියටත් ඇමරිකාව විසින් පරමාණු බෝම්බ හෙළන ලද අතර සිදු වූ ව්‍යසනය හේතුවෙන් අගෝස්තු මස 15වන දින හිරෝහිතෝ අධිරාජ්‍යයා ජපානය කොන්දේසි විරහිතව යටත් වන බව නිවේදනය කලේ ය. ඒත් සමඟ ජපානය සතු වූ  අග්නිදිග ආසියාවේ යටත්විජිත අතහැර දැමීමට ජපානයට සිදු වූ අතර නැවත එම ප්‍රදේශ බටහිර බලවතුන්ගේ යටතට පත් විය. 



Saturday, 5 December 2020

බ්‍රිතාන්‍ය මලයාව



1. හැඳින්වීම.

2. බ්‍රිතාන්‍යන්ගේ අවධානය මලයානු ප්‍රදේශ කෙරෙහි යොමු වීම.

3. පළමුවරට මලයානු ප්‍රදේශවල බ්‍රිතාන්‍ය ජනාවාස පිහිටුවීම.

4. මලයානු ප්‍රදේශවල සාර්ථක ම බ්‍රිතාන්‍ය ජනපදයක් ලෙස සිංගප්පූරුව වර්ධනය වීම.

5. මලයානු ප්‍රදේශවල අභ්‍යන්තරයට මැදිහත් වීමට බ්‍රිතාන්‍යයන් පෙළඹ වූ හේතු.

6. මලයානු ප්‍රදේශවල පරිපාලනය හැඩගැසීම.

7. බ්‍රිතාන්‍ය මලයාවේ ආර්ථිකය සකස් වීම.

8. සමාලෝචනය


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

1. හැඳින්වීම.


 වන සියවස අග භාගය පමණ වන විට ඉංග්‍රීසි බලය ඉන්දියාවේ බොම්බාය කේන්ද්‍ර කොට බටහිර වෙරළෙහි ශක්තිමත්ව ස්ථාපිත වී තිබූ නමුත් නැගෙනහිර වෙරළ සම්බන්ධයෙන් එසේ සතුටු විය නොහැකි තත්වයක් තිබුණි. මන්ද යත් ඒ වන විට එම ප්‍රදේශවල ප්‍රංශ බලපෑම සැලකිය යුතු මට්ටමක පැවතීමයි. මදුරාසිය කේන්ද්‍ර කොට ගනිමින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ (කොරමැණ්ඩල් වෙරළ) වූ ඉංග්‍රීසි නාවික මධ්‍යස්ථානය මේ හේතුවෙන් විශාල අභියෝගයකට ලක් විය.

කෙසේ වෙතත් මේ කාලය වන විට ඉංග්‍රීසීන්ගේ වෙළඳ සබඳතා චීනය දක්වා විහිදී තිබූ අතර එම වෙළඳ මාර්ග අග්නිදිග ආසියාවේ ප්‍රදේශ හරහා සිදු කිරීම අනිවාර්යයෙන් ම කළ යුත්තක් විය. එහි දී ගමන් කළ යුතු දුර ප්‍රමාණය අධික වූවෙන් අනිවාර්යයෙන් ම අතර මැදි ස්ථානයක ඉංග්‍රීසි මධ්‍යස්ථානයක් තිබීම අත්‍යවශ්‍ය ම විය. විශේෂයෙන් ම 1687න් පසු වර්ධනය වූ වෙළදාම හමුවේ බෙංගාල බොක්කේ නැගෙනහිර ප්‍රදේශයේ නාවික මධ්‍යස්ථානයක අවශ්‍යතාවක් ක්‍රමයෙන් ඉංග්‍රීසීන්ට දැනෙන්නට විය. ප්‍රදේශ කීපයකට ම අවධානය යොමු කිරීමෙන් පසු ව ඉතා සාර්ථක ම ස්ථානය ලෙස බුරුමයට හා සියමට පහළිනුත්, සුමාත්‍රාවට ඉහළිනුත් පිහිටි මලයානු ප්‍රදේශවල තම මධ්‍යස්ථානය පිහිටුවීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කරන ලදි. දකුණු ආසියාවේ පිහිටි ඉංග්‍රීසි වෙළඳ මධ්‍යස්ථානවල සිට චීනය දක්වා යාත්‍රා කිරීමේ දී මලයාවට දකුණින් පිහිටි මලක්කා සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම අනිවාර්ය වීම හේතුවෙන් මලයා අර්ධද්වීපය අල්ලා ගැනීම බ්‍රිතාන්‍යයන්ට ඉතාමත් වාසි සහගත විය. මන්ද යත් 18 වන සියවස ආරම්භ වන විට මලක්කාව වැදගත් කමින් දෙවනි වූයේ බතාවියාවට පමණක් වීමයි. 

මෙම පැවරුම මගින් මලයාවේ පසුබිම, මලයාවේ පිහිටීමේ වැදගත්කම, මලයාවට බ්‍රිතාන්‍යන්ගේ අවධානය යොමු වීමට හේතු, මලයාව බ්‍රිතාන්‍යන් යටතේ දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් සකස් වූ ආකාරය හා අවසාන වශයෙන් යටත් විජිත ග්‍රහණයට ලක් ව තිබී පසුව නිදහස ලබා ගන්නා විට එම ප්‍රදේශ සංවර්ධනය වූ රාජ්‍යයන් බවට පත් වීමත්, ඒ ආකාරයේ පසුබිමක් යටතේ ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් වී ඇති ආකාරයත් හා එයට හේතු වී ඇති කරුණුත් පිළිබඳව කෙටියෙන් ද අවධානය යොමු කර ඇත.

 


2. බ්‍රිතාන්‍යන්ගේ අවධානය මලයානු ප්‍රදේශ කෙරෙහි යොමු වීම.

18 වන සියවසේ දී බෙන්කුලන්හි හැරුණු විට අග්නිදිග ආසියාවේ වෙනත් ස්ථානයක ද ස්ථිර වාසස්ථානයක් පිහිටු වීමේ උත්සහයක ඉංග්‍රීසි සමාගම නිරත වෙන ලදි. පසුව ‍මෙකොං නදියට බටහිරින් වූ පුලෝ කොන්ඩෝර් නම් දිවයින 1702දී අල්ලා ගැනීමට ඉංග්‍රීසීන් උත්සහ කරනු ලැබූවත් එය අසාර්ථක විය. ඉංග්‍රීසීන් විසින් සුලුහි බුගිස් සුල්තාන්වරයා සමග සම්බන්ධතා ඇති කර ගැනීම හා ඔහුගේ විජිතයේ වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීම සඳහා ඇලෙක්සැන්ඩර් ඩැල්රිම්පල් නැමැත්තා කඩ්ඩලෝර් නෞකාවෙන් පිටත් කර හරින ලදි. 1761 දී ඔහු සුල්තාන්වරයා හා එහි වෙළඳ ව්‍යාපාරිකයන් සමඟ ගිවිසුම් කීපයකට එළඹ ගත් අතර ඒ සඳහා ඔහු නැවත වතාවක් එම ප්‍රදේශවලට සංචාරය කළ යුතු විය. ඒ අනුව ඔහු විසින් 1762 දී කරන ලද දෙවන සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මලයා කොදෙව් රැසේ පිහිටි බලම්බන්ගන් නම් දිවයින, වෙළඳාම සඳහා සමාගමේ මූලස්ථානය පිහිටුවීමට යෝග්‍ය බව නිර්දේශ කරන ලදි. ඒ අනුව 1782 දී සුලුහි සුල්තාන්වරයා සමග ගිවිසුමකට එළඹීමෙන් පසු එම දිවයින ඉංග්‍රීසි සමාගමේ යටතට පවරා ගන්නා ලදි. නමුත් සුලු ජාතික මුහුදු මංකොල්ල කරුවන්ගේ පහර දීම හමුවේ එම දිවයින අතහැර දැමීමට ඉංග්‍රීසීන්ට සිදු විය. 1786 දී ඉංග්‍රීසීන් මලයා අර්ධද්වීපයට අයත් පිනැංගුව අල්ලා ගනු ලැබූවත් එය ද සුළු නාවික උපාය මාර්ගවලට පමණක් සීමා විය.

මුල් කාලයේදී මලයාවේ බලය ව්‍යාප්ත කිරීමට ඉංග්‍රීසි සමාගම උනන්දු නොවීය. එයට ප්‍රධානතම හේතුව වූයේ එකල බ්‍රිතාන්‍ය අගමැති වූ විලියම් පීට් විසින් 1784 දී සම්මත කරන ලැබූ ඉන්දියා පනත මගින් මැදිහත් නො වීමේ මූලධර්මය දැඩි ව අවධාරණය කර තිබීමයි. නමුත් ඇමරිකන් විප්ලවයෙන් පසු ඉංග්‍රීසීන්ට ඇමරිකාවේ ජනපද අහිමි වීම හේතුවෙන් තම සම්පූර්ණ ශක්තිය හා අවධානය ඉන්දියන් සාගරය වෙත යොමු කිරීමට හැකි විය. ඒ වන විට ඉන්දියාව හා චීනය අතර වෙළඳාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබූ අතර මලයාවේ හා ඉන්දුනීසියාවේ වූ ලන්දේසි බලය ද සැලකිය යුතු ලෙස දුර්වල වෙමින් පැවතුණි. 

නමුත් මේ වන විට ඉන්දියාවේ බලය සම්බන්ධයෙන් ප්‍රංශය හා ඉංග්‍රීසීන් අතර ගැටුම් ආරම්භ වී පැවති අතර ඉංග්‍රීසීන්ට තම මව් රටෙන් රන් හා රිදී මුදල් වශයෙන් හුවමාරු කිරීම සම්බන්ධයෙන් ගැටලු ද මතු වී තිබුණි. ඉන්දියාවේ ඉංග්‍රීසි සමාගම සතු වූ ප්‍රදේශවලින් ලබා ගන්නා අමු පුළුන් බොම්බායේ සිට චීනයට අපනයනය කිරීමෙන් ද, ඉන්දියාවේ කොරමැණ්ඩල් වෙරළේ සිට කච්චි රෙදි හා අබිං මලයාව හරහා කැන්ටන් හා මැකාවෝ යන නගරවලට ගෙන ගොස් ඩොලර්වලට හුවමාරු කිරීම ද මීට සාර්ථක ම විසඳුම වූයේය. පසුව ඉංග්‍රීසි සමාගමේ ඒකාධිකාරී බලය අහෝසි කිරීමෙන් පසුව ඉංග්‍රීසි පෞද්ගලික වෙළඳුන් විසින් මෙම ක්‍රියා මාර්ගය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව ඉංග්‍රීසීන්ට 18වන සියවස පමණ වන විට තම නැව් අළුත් වැඩියා කිරීමට මෙන් ම මලයා කොදෙව් සඳහා වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් ද භාවිතා කළ හැකි හා චීනයට ගමන් කළ හැකි ප්‍රධාන වෙළඳ මාර්ගයේ පිහිටි වරායක්  ලෙස මලයාව ලබා ගැනීමේ වැදගත් කම වැටහෙන්නට විය.   

 


3. පළමුවරට මලයානු ප්‍රදේශවල බ්‍රිතාන්‍ය ජනාවාස පිහිටුවීම.

   මැලේ අර්ධද්වීපයේ ජනපදයක් පිහිටුවීමේ හැකියාව ගැන සාර්ථක අදහසක් ඉදිරිපත් කරන ලද්දේ මලක්කා සමුද්‍ර සන්ධියේ නැව්තොට අතර වෙළඳාමේ යෙදුණු මදුරාසි ජුර්දයින්, සලිවාර් සහ ද සූසා සමාගමේ වෙළඳ කපිතාන්වරයෙකු වූ ෆ්‍රැන්සිස් ලයිට් විසිනි. ඒ අනුව ජනාවාසයක් පිහිටු වීමට ඉතා යෝග්‍ය ම ප්‍රදේශය වන්නේ සිංගප්පූරුවට දකුණින් පිහිටි බින්තාං දිවයින බව ඔහුගේ නිර්දේශය විය. ඒ අනුව 1786 අගෝස්තු 11 වදා ලයිට් විසින් එම දිවයින භාර ගෙන එය වේල්ස් කුමාර දිවයින ලෙස නම් කරන ලදි. ප්‍රංශය විසින් නෙදර්ලන්තය ආක්‍රමණය කිරීමත් සමග 1795 දී එංගලන්තයට පැන ගිය නෙදර්ලන්තයේ රජු කිව් ලිපිය නිකුත් කළේ ය. ඒත් සමග ලන්දේසීන් සතු වූ මලක්කා, ඇම්බොයිනා. බන්ඩා හා සුමාත්‍රා ආදී වෙළඳ මධ්‍යස්ථාන රාශියක බලය ඉංග්‍රීසීන්ගේ යටතට පත් විය. එම කඳවුරු යටත් කර ගැනීමේ දී ඉංග්‍රීසීන් විසින් තම යුද කටයුතු සංවිධානය කරන ලද්දේ පිනැංග් හා බෙන්කුලන්ය.

 ප්‍රංශයන් පරාජය වීමෙන් පසුව අග්නිදිග ආසියාවේ ලන්දේසින් සතු වූ ප්‍රදේශ නැවත බාර දීමට කටයුතු සිදු වූවත් මලයාව ආශ්‍රිතව ඉංග්‍රීසීන් සතු වූ ප්‍රදේශ නැවත බාර නොදෙන ලදි. පසුව ඉන්දියාවේ ඉංග්‍රීසි සමාගමේ නියෝජිතයෙකු ලෙස ජොහොර් රාජ්‍ය වෙත යාත්‍රා කරන ලද රැල්ෆ් නැමැත්තා 1819 ජනවාරි 28 වන දින සිංගප්පූරුවට ගොඩබට අතර එහි වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ඉතාමත් ම යෝග්‍ය බව ඔහුට අවබෝධ විය. ඒ අනුව එහි සිටි මලයා ජාතික ප්‍රධානියා වූ ජෝහෝර‍යේ දතෝ තෙමෙංගොං සමඟ 1819 ජනවාරි 30 වන දා ආරම්භක ගිවිසුමකට අත්සන් කොට, එහි ඉංග්‍රීසි ජනාවාසයක් පිහිටුවන ලදි. පසුව ජොහෝරයේ සුල්තාන්වරයා ලෙස 1819 පෙබරවාරි 6 වදා සිංගප්පූරුවේ දී ඉංග්‍රීසීන් විසින් පත් කරන ලද හුසේන් නැමැත්තා විසින් ද ජනවාරි 30 වන දා අත්සන් කළ ආරම්භක ගිවිසුම තහවුරු කරමින් නව ගිවිසුමක් ද අත්සන් කළ අතර ස්වකීය විජිතයේ වාණිජාගාර පිහිටුවීමට ඉංග්‍රීසි සමාගමට නිදහස දීම සම්බන්ධයෙන් ඔහුට ඩොලර් 5000ක දීමනාවක් ද ලබා දෙන ලදි. එමගින් එම ප්‍රදේශවලට ලන්දේසීන් ඉදිරිපත් කළ අයිතිවාසිකම් නො සලකා හැරීමටත්, එම ප්‍රදේශයේ අයිතිය නීත්‍යනුකූල කර ගැනීමටත් රැල්ෆ්ට හැකි විය. මෙසේ රැල්ෆ් විසින් සිංගප්පූරුවේ අයිතිය ඉංග්‍රීසි යටතට පවරා ගන්නා ලද අතර ඔහුගේ උපකල්පනය වූවේ අනාගතයේ දී බටහිර දිශාවන්හි සිදු වන වෙළඳාමේ දී මොල්ටාවට හිමි වී ඇති වටිනාකමට සමාන වටිනාකමක් නැගෙනහිර වෙළදාමේ දී සිංගප්පූරුවට ද හිමි වනු ඇති බවයි.මේ සම්බන්ධයෙන් ලන්දේසීන්ගේ ප්‍රතික්‍රියාව ඉතා ප්‍රබල වූ නමුත් එම ප්‍රදේශ ආශ්‍රිතව ලන්දේසි බලය දුර්වල වීමට රැල්ෆ්ගේ එම ක්‍රියාවෙන් මග පෑදිණ. 

 


4. මලයානු ප්‍රදේශවල සාර්ථක ම බ්‍රිතාන්‍ය ජනපදයක් ලෙස සිංගප්පූරුව වර්ධනය වීම.

1819 වන විට සිංගප්පූරුවේ ජනගහණය 5000ක් පමණ වූ නමුත් 1820 වන විට එහි ජනගහණය 10.000ට අධික විය. ආරම්භයේ සිට ම එම ප්‍රදේශයේ බහුතරය චීන ජාතිකයන්ගෙන් සමන්විත විය. 1820 වන විට එහි ආදායම එහි වියදම පියවීමට තරම් ප්‍රමාණවත් විය. 1823 වන විට එහි අපනයන හා ආනයන ද්‍රව්‍යවල වටිනාකම ඩොලර් එක් කෝටි තිස් ලක්ෂයකට වඩා අධික විය. ලන්දේසීන්  සමග එම ප්‍රදේශ සම්බන්ධයෙන් අති වූ අරගලය අවසානයේ 1824 දී ඇති කර ගත් සම්මුතියට අනුව දෙපාර්ශවය ම තම තමන්ගේ සීමා නිරාකරණය කර ගනු ලැබීය.

බෙන්කුලන්හී ලයිතන් ආණ්ඩුකාරවරයා වූ රැෆ්ලස්ගේ අධීක්ෂණය යටතේ සිංගප්පූරුවේ ප්‍රථම නේවාසික නිලධාරියා වූ කර්නල් පාකර් විසින් එහි පරිපාලනය ගෙන යන ලදි.  සිංගප්පූරුව මලයා අර්ධද්වීපයට පිවිසීමට තිබූ දොරටුවක් බදු වූ අතර එහි බලය තමාට ලබා ගැනීමෙන් පසු අනෙකුත් මලයානු ප්‍රදේශවලට ද ඉංග්‍රීසීන්ගේ අවධානය යොමු විය.

එහි සිටි පරිපාලන, පොලිස් හා හමුදා නිලධාරීන් අවම වූ අතර නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීය. සිංගප්පූරුවේ පරිපාලනය සකස් කරනු වස් රැෆ්ලස් විසින් ප්‍රධාන බ්‍රිතාන්‍ය වෙළඳුන් අතරින් මහේස්ත්‍රාත්වරයන් 12ක් පත් කරන ලද අතර ඉංග්‍රීසි නීතිය පදනම් කොට ගත් තාවකාලික නීති පද්ධතියක් ද සකස් කරන ලදි. ආගම, විවාහය හා පාරම්පරික අයිතිය පිළිබඳ ස්වදේශික සිරිත් විරිත්වලට විශේෂ ඉඩ ප්‍රස්ථා ලබා දෙන ලදි. ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක් පිහිටුවීම, වරායේ පරිපාලනය සංවිධානය කිරීම, වහල් වෙළඳාම වැළැක්වීම, නීතිය හා සාමය ආරක්ෂාවට පොලිස් හා හමුදා වර්ධනය කිරීම, සූදු ක්‍රීඩා කරන ස්ථාන හා කුකුළු පොර කොටවන ස්ථාන යටපත් කිරීමටත්, චීනයේ, සියමේ හා මලයාවේ භාෂා ඉගැන්වීමට හා එම රටවල ජනතාවගේ ආචාර ධර්මයන්ගේ හා බුද්ධියේ තත්ත්වය නඟා සිටුවීමේ අරමුණින් ආයතනයන් ද පිහිටුවන ලදි.

1823 වන විට සිංගප්පූරුව, බ්‍රිතාන්‍යන්ගේ යටතට පත් වූ අතර 1824 අගෝස්තු මාසයේ දී ක්‍රෝෆර්ඩ් විසින් ඇති කර ගත් ගිවිසුම යටතේ සිංගප්පූරු දිවයින සදහට ම පෙරදිග ඉංග්‍රීසි සමාගමට පවරා දීමට හුසේන් සුල්තාන්වරයා හා තෙමෙංගෙංවරයා එකඟ වූහ. එයට හිලව් වශයෙන් සුල්තාන්වරයාට එකවර ඩොලර් 33,200 ක මුදලක් ද ජීවිතාන්තය දක්වා මසකට ඩොලර් 1300 ක විශ්‍රාම වැටුපක් ද ලැබුණු අතර තෙමෙංගොංවරයාට එකවර ඩොලර් 26,800 ක මුදලක් ද ලැබුණු අතර මසකට ඩොලර් 700ක විශ්‍රාම වැටුපක් ද හිමි විය. තවද ඉංග්‍රීසි නැගෙනහිර ඉන්දියා සමාගමේ අනුමැතිය නොමැතිව කිසිදු විදේශික බලවතෙකු සමඟ සමගි සන්ධානයකට නොඑළඹීමටත්, බ්‍රිතාන්‍යයන් වැඩි කොට ම වරප්‍රසාද ලද ජාතියක් බවට පත් කෙරෙන කොන්දේසි යටතේ ඉංගීසි වාණිජ කටයුතුවලට ජොහෝරයේ සියලු වරායවලට නිදහසේ පිවිස ගැනීමට ඉඩ දිමටත් ඔවුහු පොරොන්දු වූහ. 

රුල්‍‍ෆ්ගේ තීක්ෂණ බුද්ධිය හමුවේ නිර්මාණය වූ සිංගප්පූරුව එහි වූ නිදහස් වෙළදාම තුලින් තව දුරටත් සමෘද්ධිමත් විය. ඒ හේතුවෙන් ම මුල් කාලයේදී ලන්දේසි ඉන්දියා දූපත්වල වූ වාණිජ කටයුතුවලින් බොහෝමයක් සිංගප්පූරුවට ඇදී එන්නට විය. සියම, චීනය, ඉන්දු චීනය හා පිලිපීන දූපත් සමග තිබූ වෙළඳ සම්බන්ධතා එමඟින් තව දුරටත් වර්ධනය විය. 1824 ගිවිසුමෙන් පසු ජොහොර් අධිරාජ්‍යයේ බලය සම්පූර්ණයෙන්ම පාහේ අහෝසි වී ගිය අතර එයට අයත් ව තිබූ මලයානු ප්‍රදේශ ලබා ගැනීමට ඉංග්‍රීසීන් උනන්දු විය.

 


5. මලයානු ප්‍රදේශවල අභ්‍යන්තරයට මැදිහත් වීමට බ්‍රිතාන්‍යයන් පෙළඹ වූ හේතු.

1824 වර්ෂයේ දී ඇති කර ගනු ලැබූ ඉංග්‍රීසි-ලන්දේසි ගිවිසුමේ සිට මලයාවේ නේවාසික නිලධාරි ක්‍රමය ආරම්භ කිරීම දක්වා වූ වසර 100ක් පමණ කාලය ක්‍රියාශීලී නොවන කාලයක් ලෙස හඳුන්වන නමුත් එම යුගය තුළ සිදු වූ සුළු සිදුවීම් පවා මලයානු අනාගතය කෙරෙහි තදින් ම බලපානු ලැබීය. මන්ද යත් මෙහි දී ක්‍රියාශීලී නොවීම යනුවෙන් හැදින්විය හැක්කේ බ්‍රිතාන්‍යයන් විසින් මලයාවේ ස්වදේශික කටයුතු සඳහා මැදිහත් නො වීමේ ප්‍රතිපත්තිය සඳහා පමණි. මෙම කාලය තුළ දී මලයානු ප්‍රදේශවල සංවර්ධනය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ සිංගප්පූරුව ඉතා ශීඝ්‍ර ලෙස ද, පිනැංගුව ඊට වඩා අඩුවෙන් ද සංවර්ධනය වූ අතර මලක්කාවේ සංවර්ධනය ඉතාමත් දුර්වල වූ බවයි. මෙම කාලයේදී ඉංග්‍රීසි සමාගමට, සියම් ජාතික මුහුදු මංකොල්ල කරුවන්ගේ තර්ජනවලට මුහුණ දීම එකල ඇති වූ ප්‍රබලතම අභියෝගය විය.

ඒ හේතුවෙන් ම ඉංග්‍රීසි සමාගම මලයාවේ අභ්‍යන්තරයට වඩා බාහිර කටයුතු කෙරෙහි තම අවධානය යොමු කරන ලදි. ඒ අනුව මලයා රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීම මෙම යුගයේ දී සමාගම විසින් තම සේවකයන්ට තහනම් කරන ලද අතර අලුතින් ප්‍රදේශ යටත් කර ගැනීම ද සුල්තාන්වරුන් සමඟ දේශපාලන සම්මුතීන් වලට එළඹීම ද තහනම් කරන ලදි. නමුත් සත්‍ය වශයෙන් ම සමාගම විසින් පනවන්නට යෙදුණු මෙම කොන්දේසි ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ නොහැකි වූ අතර බොහෝ අවස්ථා වලදී මැදිහත් වීමේ කටයුතුවලට යෙදෙන්නට ද සිදු විය. 

ඊට එක් හේතුවක් වූවේ සියමය විසින් කලාපයේ තම ආධිපත්‍ය පැතිර වීමට උත්සහ කිරීමයි. චක්‍රී රාජවංශය යටතේ පෙර නොවූ විරූ ලෙස වර්ධනය වූ අතර පිනැංගුවද එයට යටත් වේ යැයි එහි ආණ්ඩුකාරවරු බිය වූහ. මෙම යුගයේ දී ම බුරුමය ද ශක්තිමත් ව වර්ධනය වෙමින් තම බලපෑම අසල් වැසි ප්‍රදේශ කෙරෙහි ව්‍යාප්ත කිරීමට උත්සාහ කරනු ලැබූවත්, සියම් රාජ්‍යයේ බලය හමුවේ එහි බලය දෙවැනි විය. ඒ හේතුවෙන් ම බුරුමය, මලයා පාලකයන් සමඟ සියමට විරුද්ධව කටයුතු කිරීමට කුමන්ත්‍රණය කරන ලදි. සියම් පාලකයන් ද මලයාවට විරුද්ධව තම කටයුතු සංවිධානය කරන්නට විය. සියම විසින් අසල්වැසි කේඩාහ් රාජ්‍යයේ සුල්තාන්වරයාට නියෝග කර සිටියේ, සියම් රාජ්‍යයට විරුද්ධව බුරුමය සමග කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් බැංකොක් නුවරට පැමිණ පිළිතුරු ලබා දෙන ලෙසයි. නමුත් සුල්තාන්වරයා එය ප්‍රතික්ෂේප කල අතර එයින් කෝපයට පත් සියම් හමුදාව කේඩහ්ය ආක්‍රමණය කරන ලදි. අසරණ වූ සුල්තාන්වරයා පිනැංගුවට පලා ගිය අතර සරණාගතයින් ඉතා විශාල ලෙස බ්‍රිතාන්‍යයන්ට අයිති ව පැවති වෙස්ලි ප්‍රදේශයට ඇදී එන්නට විය. පසුව ඉංග්‍රීසි සමාගමේ හමුදා අදාළ ප්‍රදේශවලට පිටත් කර හැරි අතර ඒ වන විට සියම් හමුදාව එම ප්‍රදේශ අතහැර ගොස් තිබුණි. කෙසේ වෙතත් සියම් හමුදාව, පිනැංගු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ කේඩහ්යේ සුල්තාන්වරයා තමන්ට බාර දෙන ලෙසයි. නමුත් පිනැංගුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි. කේඩහ්යේ සුල්තාන්වරයා ද තම සිහසුන නැවත ලබා ගැනීම සඳහා ඉංග්‍රීසි සමාගමෙන් උදව් ඉල්ලුමුත් එය සාර්ථක නොවීය. ඒ හේතුවෙන් ඔහු බුරුමය, සෙලන්ගොරය හා වෙනත් මලයානු රාජ්‍යයන් සමඟ එකතු වී සියමට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු සූදානම් කරන ලදි. නමුත් මෙයින් කැලඹීමට පත් පිනැංගුවේ බ්‍රිතාන්‍ය පාලකයන් සිතුවේ මේ හේතුවෙන් තම ප්‍රදේශයන් ද සියම් ආක්‍රමණයකට නතු විය හැකි බවයි. බ්‍රිතාන්‍යයන් සුල්තාන්වරයාගේ මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වූ තොරතුරු සියම් හමුදාවේ නායකයා වූ ලිගෝරයේ රජාට දැන් වූ අතර ඒ හේතුවෙන් කුමන්ත්‍රණය ද අසාර්ථක විය.   

කේඩහ්ය, සියමට යටත් වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයන් සතු වූ පිනැංගුවට අර්බුද රැසකට මුහුණ දීමට සිදු විය. මන්ද යත් ඉංග්‍රීසීන් විසින් ඒ වන විට පිනැංගුව ස්වයංපෝෂිත කිරීමට දරන ලද සියලු උත්සහයන් ව්‍යර්ථ වී තිබීමත් හා එයට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් බහුතරයක් ආනයනය කරනු ලැබුවේ කේඩහ්යෙන් වීමයි. තවද සියමට යටත් ව පැවති පතානි හා ජනක් සිලොන් සමඟ පිනැංගුවේ බෙලෙක් වෙළඳාම ද කෙරීගෙන යන ලදි. ඒ හේතුවෙන් පිනැංගුවට සියම සමඟ වඩා සතුටු දායක කොන්දේසිවලට එළඹීමට අවශ්‍යතාවක් තිබුණි. ඒ අනුව මතු වී තිබූ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස 1822දී ජෝන් ක්‍රෝෆට් ගේ නායකත්වයෙන් යුතු දූත පිරිසක් ඉංග්‍රීසි සමාගම විසින් බැංකොක් වෙත යවන ලදි. ක්‍රෝෆට්ගේ මූලික අරමුණ වූයේ සාකච්ඡා පැවැත්වීමට අමතරව සියම ගැන තොරතුරු එක්රැස් කිරීමයි. කේඩාහ් හි සුල්තාන්වරයා රාජ්‍යයෙහි නැවත පිහිටුවීමටත්, බ්‍රිතාන්‍ය වාණිජ කටයුතු සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඉවත් කර ගැනීමටත් ඔහු දැරූ උත්සාහය නිෂ්ඵල විය. නමුත් පි‍නැංගුව බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අයිතිය යන්න පිළිබඳ පිළිගැනීම අනියම් වශයෙන් ලබා ගැනීමට ඔහු සමත් විය.  

1824දී බ්‍රිතාන්‍යයන් හා බුරුම රාජ්‍ය අතර යුද්ධයක් ආරම්භ වූ අතර ඉංග්‍රීසීන් විසින් පිනැංගුව මාර්ගයෙන් බුරුමයට විරුද්ධව හමුදාවක් යැවීමට සියමයේ හමුදා නායකයා වූ ලිගෝර්හි රාජා පොලඹවා ගැනීමට උත්සාහ කරන ලදි. නමුත් එය අසාර්ථක විය. ලිගෝර්හි රාජා වෙත ගිය දූත ගමන පිළිබඳව වාර්තාවක් සැකසූ ලුතිනන් ලෝ පවසා සිටියේ සියමයේ අරමුණ වී ඇත්තේ පෙරැකයේ පමණක් නොව සෙලන්ගෝරයේ බලය ද අල්ලා ගැනීම බවයි. එම වාර්තාව මඟින් පෙනී ගියේ බ්‍රිතාන්‍ය පිනැංගුවටද සියම් තර්ජන එල්ල වී ඇති බවයි. ඒ අනුව පිනැංගුවේ ආණ්ඩුකාරවරයා වූ රොබට් ෆුල්ටන් කේඩාහ්හි සුල්තාන්වරයා නැවත ධුරයේ පිහිටුවීමටත් මලයා රාජ්‍යයන් සියල්ලට ම සියමට විරුද්ධව බ්‍රිතාන්‍ය ආරක්ෂාව සැලසීමටත් කටයුතු සංවිධානය කරන ලදි. මේ හේතුවෙන් පිනැංගුවේ ඉංග්‍රීසි සමාගම හා සියම අතර රාජ තාන්ත්‍රික අර්බුද රැසක් මතු වූ නමුත් අවසානයේ සාකච්ඡා මාර්ගයෙන් ගැටලු නිරාකරණය කර ගැනීමට එකඟ විය. ඒ අනුව දෙපාර්ශවය ම  පෙරැක් ආක්‍රමණය  නොකරන බවට පොරොන්දු වී, තමාගේ රට තමන් කැමති පරිදි පාලනය කිරීමට කේඩාහ් හි සුල්තාන්වරයා සතු අයිතිය පිළිගෙන ඔහුට රිසි වෙතොත් ඔහු බැංකොක් වෙත කප්පම් යැවීම වැළැක්විය යුතු නොවන බවත් ගිවිස ගත්හ.  මෙම සිද්ධියෙන් අනතුරුව සියම් ජාතිකයෝ නැගෙනහිර වෙරළෙහි පිහිටි මලයා රාජ්‍යයන්හි පාලන බලය අත්පත් කර ගැනීමේ ප්‍රයත්නය අතහැර ස්වකීය අවධානය නැගෙනහිර වෙරළෙහි පිහිටි කෙලන්තන් හා ත්‍රේංග්ගනු වෙත යොමු කළහ. 

මලයා අර්ධද්වීපයේ අභ්‍යන්තර ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යන්ගේ අවධානය ක්‍රමයෙන් යොමු වන්නට විය. මැලේ ප්‍රධානීන් අතර ඇති වූ අරගල වලට අමතරව මෙම යුගයේ දී බෙලෙක් නිපදවන ප්‍රදේශ කරා චීන ජාතිකයන්ගේ ඇදී ඒම අර්බුද ඇති කරවන්නක් විය. තවද මේ යුගයේ පෙරැක් වෙරළාශ්‍රිත මුහුදේ කොල්ලකෑම් ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර පිනැංගුවේ මාර්ග වල පවා ගෝත්‍ර සටන් ඇතිවිය. 

1873 පමණ වන විට ඇති වූ අර්බුද රැසක ප්‍රතිඵලය වූයේ කිම්බර්ලි සාමිවරයා මලයා කටයුතු සම්බන්ධයෙන් මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය ප්‍රසිද්ධියේ ම අතහැර දැමීමයි. ඒ අනුව ස්වදේශික කුමාරවරුන් කෙරෙහි ඉංග්‍රීසි සමාගම සතු බලපෑම ප්‍රයෝජනයට ගෙන වර්තමාන අර්බුදයන්ට හේතු වී පවතිනා ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සුදුසු ලෙස බලය යෙදවීමට ඉංග්‍රීසි සමාගම කටයුතු කරන ලදි. ඒ අනුව සෙලන්ගෝරය සම්බන්ධයෙන් ද මලක්කාවට පිටුපසින් පිහිටි මීනාංකධෞ නෙග්රි සෙම්බිලන් රාජ්‍ය සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍ය අවධානය යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස නීති විරෝධී බදු අය කරන්නන් විසින් ලිංග්යී නදියේ චීන ජාතික පතල් කරුවන්ට පැමිණ වූ දුක්ගැහැට සම්බන්ධයෙන් 1874 අප්‍රේල් මාසයේදී මැදිහත් විය. ඉංග්‍රීසි සමාගම පතල් කරුවන්ට ආරක්ෂාව සැපයීමටත් ඊට හිලව් වශයෙන් එහි සාමය රකිනා බවට ප්‍රතිඥා කරන සම්මුතියකට අත්සන් තැබීමටත් සුංගෙයි උජොං හා ලිංග්යීහි නායකයන් පොලඹවා ගන්නා ලදි. නමුත් චීන පතල් කරුවන්ට පීඩා කිරීමෙන් තම රාජ්‍ය ආදායම වර්ධනය කර ගත් දාතෝබන්ඩාර් මෙම වැඩපිළිවෙළට විරුද්ධ වී සිවිල් යුද්ධයක් ඇති කරන ලදි. එබැවින් එම අරගලය මැඩපවත්වනු පිණිස බ්‍රිතාන්‍ය බලකායක් යැවූ අතර ගරිල්ලා ගැටුම් කීපයකින් අනතුරුව එම ප්‍රදේශ යටත් කර ගන්නා ලදි. 

පෙරැක්හි සිටි ප්‍රථම බ්‍රිතාන්‍ය නේවාසික නිලධාරියා වූ ජේ. ඩබ්. ඩබ්. බර්ච් මරා දැමීමත් සමඟ එම ප්‍රදේශ වල ගැටුම්කාරී තත්ත්වයක් මතු විය. එයට ප්‍රතිචාර දක්වනු වස් ප්‍රබල බ්‍රිතාන්‍ය හමුදාවක් යොදවා එම ප්‍රදේශ වල කැළඹිලි සංසිඳවනු ලැබීය. මිනී මරුවන් හා ඔවුන්ගේ ආධාර කරුවන් ‍අල්ලා ගන්නා ලද අතර ඊට සම්බන්ධ ප්‍රධාන වරදකරුවන් තිදෙනා එල්ලා මරා දමන ලදි. සුල්තාන් අබ්දුල්ලා ඇතුළු තවත් තිදෙනෙක් පිටුවහල් කරනු ලැබූහ. කලක් ගතවන තෙක් ම පොදු මැලේ කැරැල්ලක භීතිය එම ප්‍රදේශ වල පැවතුණු අතර වසර කීපයක් ගත වීමෙන් පසු නීතිය හා සාමය යළිත් ස්ථාපනය කරමින් එම දේශය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඈඳා ගන්නා ලදි. පෙරැක් යුද්ධයෙන් අනතුරුව එම ප්‍රදේශ වල කිසිදු කලබලයක් ඇති නොවූ අතර මැලේ ජාතිකයෝ ද අවනත වූහ. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය නේවාසික නිලධාරීන්ට පෙරට වඩා සතුටු දායක තත්ත්වයක් යටතේ පෙරැක්හි පුනරුත්තාපන කාර්යය සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි විය. ඒ අනුව පෙරැක්හි නේවාසික නිලධාරියා ලෙස සේවය කළ හ්‍යුලො (1877-1889) විසින් සෑම විටම ආඥා පැනවීමකින් තොරව ප්‍රභූන් සමඟ සුහදතාවය වර්ධනය කර ගැනීමෙන් ඔවුන්ගේ සහයෝගය ලබා ගැනිමේ ප්‍රතිපත්තිය මත පෙරැක් දේශය සාමකාමී වූත් සමෘද්ධිමත් වූත් රාජ්‍යයක් බවට පත්කරන ලදි. 

සෙලන්ගෝරයේහි ද එම බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තිය කිසිදු දුෂ්කරතාවක් නොමැතිව ක්‍රියාවට නැංවිය හැකි විය. මනා ගණන් තැබීමේ ක්‍රමවේදයක් ඇතිව රජයේ භාණ්ඩාගාරයක් පිහිටුවන ලද අතර පොලිසිය හා හමුදාව ක්‍රමවත් ව සංවිධානය කරන ලදි. ක්වාලාලාම්පූර් ප්‍රදේශයේ චීන පතල් කරුවන් බ්‍රිතාන්‍ය බලයට අවනතව සාමය ආරක්ෂා කරන ලදි. එම ප්‍රදේශ වල බ්‍රිතාන්‍ය පරිපාලන ක්‍රමය ආරම්භ කිරීම නිසා පෙර නොතිබූ ආකාරයෙන් සමෘද්ධියක් ඇති විය. වහල් මෙහෙය අහෝසි කර දැමීමත්, මනාව සංවිධානය කරන ලද පොලිසියකින් හා හමුදාවකින් සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමත්, සුල්තාන්වරුන් හා වෙනත් ප්‍රභූවරයන් සඳහා නිශ්චිත දීමනාවක් පැනවීමත්, අධ්‍යාපනයේ හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් ජනතාවගේ තත්ත්වය බෙහෙවින් දියුණු විය. 

 


6. මලයානු ප්‍රදේශවල පරිපාලනය හැඩගැසීම.

මුලදී ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීමට ප්‍රධානතම හේතුව වූයේ ප්‍රභූන්ට කිසිම වන්දියක් නොමැතිව ඔවුන්ගේ වැඩ වසම් අය බදු අහිමි කිරීමයි. හ්‍යු ලෝ විසින් මීට ප්‍රතිකර්මයක් ලෙසින් සිදු කරනු ලැබුවේ එම ප්‍රභූන්ට අදාළ ප්‍රදේශ වල පරිපාලන තනතුරු ප්‍රදානය කර ඔවුන්ගේ ප්‍රදේශ වලින් අය වන රාජ්‍ය ආදායමෙන් සියයට ප්‍රමාණයක් ලබා දීමයි. 1861දී ඉදිරිපත් කරන ලද ආඥා පනතින් ඉන්දියානු මන්ත්‍රණ සභාවේ ආකෘතිය අනුගමනය කරමින් මලයානු රාජ්‍ය වල ද රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවීම එම ප්‍රදේශ  වල අභ්‍යන්තරයේ සබඳතා යහපත් වීමට බොහෝ දුරට හේතු විය. සුල්තාන්වරයා එම රාජ්‍ය සභාවේ සභාපතිවරයා වූ අතර බ්‍රිතාන්‍ය නේවාසික නිලධාරියා ද ප්‍රධාන මැලේ ප්‍රභූවරුද, ප්‍රධාන චීන ජාතික වෙළදුන්ගෙන් කිහිප දෙනෙකු ද එහි සාමාජිකයෝ වූහ. එහි කටයුතු මැලේ බසින් සිදු වූ අතර සියලු වැදගත් කරුණු එම මන්ත්‍රණ සභාවේ දී සාකච්ඡාවට භාජනය වන ලදි. එහි කාර්යය ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථාදායක කටයුතු සම්බන්ධයෙන් වූ අතර රාජ්‍යයේ සියලු ම ව්‍යවස්ථා එමගින් පැනවිය. රාජ්‍ය අයවැය පිළිබඳ වාර්ෂික ගණන් සටහන් ද එම මන්ත්‍රණ සභාවේ දී සාකච්ඡාවට ලක් විය. සියලු ම මරණීය දණ්ඩන අනුමත කිරීම හෝ ලිහිලි කිරීම තීරණය කරන ලද්දේ එම රාජ්‍ය සභාවයි. තවද සියලු ම මැලේ ප්‍රභූන් සහ ග්‍රාම නායකයන්ගේ පත්වීම් මෙන් ම වේතන එම සභාවේ තීරණයට යටත් ව සිදු විය. එය කෙතරම් සාර්ථක වී ද යත් බ්‍රිතාන්‍යයන් යටතේ පාලනය වූ සියලු ම මලයා ප්‍රදේශ වල ක්‍රියාත්මක වූයේ මෙවැනි ක්‍රමවේදයන්ය.

නව ක්‍රමවේදය යටතේ ඇති කරනු ලැබූ වැදගත් ම ක්‍රියාවලිය වූයේ මැලේ ජාතික මහේස්ත්‍රාත්වරයන්ගේ ද සහය ඇතිව යුරෝපීය මහේස්ත්‍රාත්වරයන්ගේ සහභාගීත්වය යටතේ ක්‍රියා කරන අධිකරණ ශාලා පිහිටුවීමයි. ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය ආශ්‍රයෙන් නිර්මාණය කර ගන්නා ලද සමුද්‍රීය බද දණ්ඩ නීති සංග්‍රහය ද ඉන්දියානු හා යටත් විජිත සැලැස්මවල් අනුව කෙටුම්පත් කරන ලද අපරාධ හා සිවිල් අධිකරණ ක්‍රම සංග්‍රහයන්ද ඒවා මඟින් ක්‍රියාත්මක කරවන ලදි. සෑම රාජ්‍යයක් ම යුරෝපීය හා මැලේ මහේස්ත්‍රාත්වරයන් යටතේ වූ ප්‍රදේශ වලට බෙදන ලදි. අනතුරුව මැලේ මුලාදෑනීන් යටතේ වූ එම ප්‍රදේශ ග්‍රාම හා මුකිම්  වශයෙන් නැවත කොටස් වලට බෙදන ලදි. පොලිස් කටයුතු මුලාදෑනීන්ට පැවරීමෙන් පසු රාජ්‍ය වියදම අවම කර ගැනීමට බලාපොරොත්තු විය. එමඟින් පොලිස් බලකාය අඩු කර ගැනීමට හැකි වූ අතර බොහෝ ප්‍රාදේශීය පොලිස් ස්ථාන වසා දැමීමට ද හැකි විය. එමඟින් පෙනී ගියේ බල කිරීමේ හා බිය වැද්දීමේ ප්‍රතිපත්ති වෙනුවට සහයෝගයෙන් ක්‍රියා කිරීමේ ප්‍රතිපත්තියක් ඇති කෙරුණු බවයි. 

ලාරුට්හි කපිතාන් ස්පීඩ්ටද ප්‍රායෝගික වශයෙන් ක්‍රියා කල හැකි විය. ඒ අවට ප්‍රදේශයේ මැලේ ජාතිකයන් ඉතා අල්ප විය. ඒ හේතුවෙන් සියලු වැදගත් කටයුතු වලදි ප්‍රාදේශීය ප්‍රධානියා වූ මන්ත්‍රීගේ අදහස් විමසා බැලුව ද ඔහු තමාගේ ම තීරණ වලට එළඹ  ඒ අනුව ක්‍රියා කරන ලදි. ඔහු ගත් තීරණ අතර වඩා වැදගත් වන්නේ පොලිස් බලකායක් ඇති කිරීම, මහේස්ත්‍රාත් උසාවියක්, භාණ්ඩාගාරයක්, රේගු බදු සේවයක් හා ඉඩම් මිනින්දෝරු කාර්යාලයක් පිහිටුවීමයි. ස්පීඩ් ගේ එම ප්‍රතිපත්ති හේතුවෙන් ලාරුට් ප්‍රදේශය සමෘද්ධිමත් විය. එම ප්‍රදේශ වල සිටි චීන ජාතිකයෝ ද සාමකාමී ව බ්‍රිතාන්‍ය පාලනයට සහයෝගය දුන්හ. 1884දී මලයාවේ තනන ලද ප්‍රථම දුම්රිය මාර්ගය මඟින් පතල් මධ්‍යස්ථාන වූ තායිපෙං හා ලාරුට් නදිය අසබඩ සාපෙතා සම්බන්ධ කෙරුණු අතර එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 13ක් පමණ විය. සෙලන්ගෝරයද එම ක්‍රමවේදය අනුගමනය කරමින් තම ප්‍රධානතම පතල් මධ්‍යස්ථානය වූ ක්වාලාලාම්පූර් නගරයේ සිට ක්ලාං නගරය දක්වා කිලෝමීටර් 35ක් පමණ දුරකින් යුතු දුම්රිය මාර්ගයක් නිර්මාණය කරන ලදි. බ්‍රිතාන්‍යයන් සතු වූ සියලු ම මැලේ රාජ්‍යයන්ගේ ප්‍රධානතම රාජ්‍ය ආදායම වූයේ බෙලෙක් පතල් වලින් ලබා ගන්නා වූ ආදායමයි. ඒ හේතුවෙන් එම පතල් ආශ්‍රිත සියලුම ප්‍රවාහන මාර්ග සංවර්ධනය කිරීමට බ්‍රිතාන්‍යන්ගේ අවධානය යොමු විය. එම මලයානු ප්‍රදේශ වල සිදු වූ ආර්ථික ක්‍රියාවලියේ දී බහුතර ප්‍රමාණයක් මෙහෙයවනු ලැබුවේ චීන ජාතිකයන් විසිනි. එම ප්‍රදේශ වල බෙලෙක් පතල් කටයුතු සඳහා ඔවුන් භාවිතා කරන ලද පුරාණ චීන ශිල්ප ක්‍රම බෙහෙවින් සාර්ථක විය. 

මේ ප්‍රදේශ වලට පත් වූ බ්‍රිතාන්‍ය නේවාසික නිලධාරීන් ආරම්භයේ දී සිදු කරනු ලැබුවේ රටෙහි සංචාරය කරමින් සමුද්‍රීය බඩ ජනාවාසයන් ගැන වාර්තා ආණ්ඩුකාරවරයාට සැපයීමයි.  ඔවුන් තම ඉහල නිලධාරීන්ගේ බාධා කිරීම් වලින් තොරව තමන්ගේ රාජ්‍ය වල පරිපාලන ‍කටයුතු ගොඩනංවන ලදි. මුලදී මෙම නේවාසික නිලධාරීන් කටයුතු කලේ තනිවමය. පසුව ඔවුන්ගේ සහය පිණිස ලිපිකරුවන් දෙදෙනෙකු ද, පොලිසිය භාරව ක්‍රියා කිරීමට නිළ නොලත් නිලධාරියෙක්ද, අලුතින් පිහිටුවන ලද ආරෝග්‍ය ශාලා සඳහා යුරේසියානු ඇපෝතිකරිවරයෙකු ද, සිරකරුවන් බලා ගැනීම සඳහා මැලේ බන්ධනාගාර පාලකවරයෙකු ද බඳවා ගන්නා ලදි. 

1888දී පහාං රාජ්‍ය ද බ්‍රිතාන්‍ය මලයානු ප්‍රදේශ වලට එකතු කර ගැනීමත් සමඟ ආරක්ෂිත රාජ්‍යයන් ගේ සංඛ්‍යාව වර්ධනය විය. එය භූමි ප්‍රමාණයෙන් විශාල වූ නමුත් සංවර්ධනය අතින් දුර්වල විය. එහි ජනගහනය අතුරින් පනස් දහසක් පමණ වූ මැලේ ජාතිකයෝ බහුතරය විය. චීන ජාතිකයන් සුළුතර ප්‍රමාණයක් ද විය. බ්‍රිතාන්‍ය පාලනයට යටත් වීමට පෙර එම ප්‍රදේශ වල පරිපාලනය ඉතාමත් ම දූෂිත විය. 1887දී වෙල්ඩ් විසින් සුල්තාන්වරයාට කරනු ලැබූ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය තානාපතියෙකු පිළිගැනීමට ඔහු කැමති විය. නමුත් 1888දී චීන සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියෙකු මරා දැමීමත් සමඟ ඇති වූ පීඩනය හමුවේ සුල්තාන්වරයා අකමැත්තෙන් වුවද නේවාසික නිලධාරියෙකු පත් කරන ලෙසට බ්‍රිතාන්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ ය.  ඒ අනුව පිහිටුවන ලැබූ අලුත් පරිපාලන ක්‍රමය සම්බන්ධයෙන් පහාං රාජ්‍යයේ ප්‍රභූවරු විරෝධය පල කරමින් කැරලි ගසන්නට වූහ. එම කැරලි මැඩ පැවැත්වීමට දීර්ඝකාලීන වූත්, අධිකතර වියදම් සහිත වූත් යුද මාලාවක නිරත වීමට බ්‍රිතාන්‍යයන්ට සිදු විය. අවසානයේ කැරලිකරුවන් ව කෙ‍ලන්තාන් ත්‍රෙංග්ගානු නම් සියම් රාජ්‍යයන් දක්වා ම පන්නා ගෙන ගොස් එම රාජ්‍යයන් වෙත පිටුවහල් කිරීමට සිදු විය. 

මිනංකබෞ රාජ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද්දේ ද ඉහත ආකාරයේ ක්‍රියා පිළිවෙතකි. ඒ අනුව 1895දී ඇති කර ගන්නා ලද ගිවිසුමක් අනුව එම රාජ්‍යයන් නවයක බ්‍රිතාන්‍ය ආරක්ෂාව යටතේ වූ නෙග්රි සෙම්බිලන් නම් රාජ්‍ය සංයුතියක් ඇති කරන ලදි. 1880දී සර් ෆෙඩ්රික් වෙල්ඩ් විසින් නේවාසික නිලධාරි ක්‍රමය පරීක්ෂාකාරී ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් හැර අනෙකුත් සියලු ම පරිපාලන කටයුතු  සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නේවාසික නිලධාරියාගේ අවවාද පිළිගැනීමට මිනංකබෞ රාජ්‍ය එකඟ විය. 

වෙල්ඩ් තව දුරටත් පෙන්වා දුන්නේ මලයානු ප්‍රදේශ අධිරාජ්‍යයට ඈඳා ගැනීම එහි ඇති ගැටලු වලට සුදුසු විසඳුමක් නොවන බවයි. නමුත් ස්වේටනම් පෙන්වා දුන්නේ නිසි සමායෝජනයකින් තොරව මෙම නේවාසික නිලධාරි ක්‍රමය සීමා රහිත ව සංවර්ධනය වීමට ද ඉඩ දිය නොහැකි බවයි. ඒ අනුව 1893දී ඔහු රාජ්‍ය සංයුක්ත කිරීම පිළිබඳව යෝජනා ක්‍රමයක් ආණ්ඩුකාර සර් සිසිල් ක්ලෙම්න්ටි ස්මිත් වෙත ඉදිරිපත් කරන ලදි. මෙය යටත් විජිත කාර්යාලය වෙත ද ඉදිරිපත් කරන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් යෝජනා ගැන වාර්තාවක් සපයන ලෙස ස්මිත්ගේ අනුප්‍රාප්තිකයා වූ සර් චාල්ස් මිචෙල්ට නියෝග කරන ලදි. ඒ අනුව මිචෙල් විසින් 1895දී ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවට අනුව නිර්දේශ කර තිබුණේ එම යෝජනා ක්‍රියාත්මක කර වීමේ දී මලයා පාලකයන්ගේ අනුමැතියට යටත් ව සිදු විය යුතු බවයි. 

ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ අධිකරණ, අයබදු අය කිරීම හා ඉඩම් නිරවුල් කිරීම යන කරුණු වල දී ආරක්ෂිත රාජ්‍ය සතර බරපතළ ලෙස ඔවුනොවුන්ගෙන් බිඳී වෙන් වී යන බවත්, කිසියම් කේන්ද්‍ර කාරක බලවේගයකින් තොර ව පරිපාලන සමරූපතාවක් ඇති කර ගැනීමට නොහැකි වන බවයි.  වෙන් වෙන් වශයෙන් නේවාසික නිලධාරීන් සතර දෙනෙකු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ආණ්ඩුකාරවරයෙකුට කටයුතු කිරීමට සිදු වීමේ දී එක්කෝ එම නේවාසික නිලධාරීන්ට නිදහසේ තම කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතු වන අතර නැතහොත් අවධානය යොමු කිරීමට සිදු වන ක්ෂේත්‍රය ඉතා අධික වන බවත් ඔහු පෙන්වා දෙන ලදි. ඒ හේතුවෙන් ඔහු යෝජනා කර සිටියේ රාජ්‍යයන්හි පරිපාලනය සමීක්ෂණය කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් අග්‍ර නේවාසික නිලධාරියෙකු පත් කර ඔහුව, එක් එක් නේවාසික නිලධාරියාගේ මාර්ගයෙන් පමණක් හැසිරවිය යුතු බවයි. තවද ව්‍යවස්ථා පැනවීමේ කාර්යය රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැවරිය යුතු අතර සම්පූර්ණ උපදෙස් දීමේ බලතල පමණක් දරන්නා වූද ප්‍රධානීන්ගෙන් හා නේවාසික නිලධාරීන්ගෙන් සමන්විත වූ සමුළුවක් වරින් වර රැස් විය යුතු බවයි. එසේම වෙන් වෙන් රාජ්‍ය වලට නිලධාරීන් පත් කරනු වෙනුවට සංයුක්ත රාජ්‍යයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් යටතේ ක්‍රියා කරන පොදු සිවිල් සේවයක් තිබිය යුතු නමුත් එක් එක් රාජ්‍ය මුදල් කටයුතු අතින් ස්වාධීනව සිටිය යුතු විය.

ඒ අනුව මෙම යෝජනාවලිය සම්මත කරවා ගන්නා ලද්දේ එවකට පෙරැක්හි නේවාසික නිලධාරියා ව සිටි ෆ්‍රෑන්ක් ස්වේටනම් විසිනි. එහි ප්‍රතිඵලයක් ලෙස පෙරැක්, සෙලන්ගෝර්, පහං හා නෙග්රි සෙම්බිලන්  යන රාජ්‍ය සතර එකතු කර සංයුක්ත මැලේ රාජ්‍ය ගොඩනැගීම සඳහා සංයුක්ත කාරක ගිවිසුමකට එළඹ  ගන්නා ලදි. නමුත් සාමාන්‍ය සන්ධිය රාජ්‍යයක ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පරිද්දෙන්, රාජ්‍යයන් සතු බලතල හා සංයුක්ත රාජ්‍ය සතු බලතල පිළිවෙලින් වෙන් කර දැක්වීමක් මෙයින් සිදු වූයේ නැත. පාලකයාගේ බලතල සීමා කිරීමකට පටහැනි කොන්දේසි මෙහි ඇතුළත් ව තිබූ නමුත් ඉස්ලාම් ආගම හා සම්බන්ධ කටයුතු හැර අනෙක් කටයුතු පරිපාලනය සඳහා නේවාසික නිලධාරියෙකු පත් කරන ලදි. මෙම රාජ්‍යයන් හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අතර තිබුණු සම්බන්ධතා නව වැඩ පිළිවෙල යටතේ කිසිදු වෙනසකට ලක් නොවන බව විශේෂයෙන් සඳහන් කරන ලදි. නමුත් ප්‍රායෝගික ව ඒවා පරිපාලනමය වශයෙන් ඒකාබද්ධ කර තිබුණි. 

    න්‍යායාත්මක වශයෙන් හා ප්‍රායෝගික තත්ත්වයන් අතින් යම් යම් ගැටලු තිබුණ ද මැලේ රාජ්‍යයන්හි සුල්තාන්වරු එම ක්‍රම වේදයට කැමති වූහ. බ්‍රිතාන්‍යයන් නවීන ක්‍රමවලට අනුව කාර්යක්ෂම වූත් කේන්ද්‍රීය පරිපාලන ක්‍රමයක් ක්වාලාලාම්පූර් කේන්ද්‍ර කොට ගෙන පිහිටුවන ලදි. සර් ෆ්‍රෑන්ක් ස්වේටනම්, 1896 ජූලි 01වනදා පිහිටුවන්නට යෙදුණු සංයුක්ත මැලේ රාජ්‍යයේ පළමු අග්‍ර නේවාසික නිලධාරියා විය. ක්‍රමයෙන් ඔහුගේ පරිපාලනය නීති උපදේශනය, චීන කටයුතු පිළිබඳ ලේකම්වරයා, මුදල් පිළිබඳ කොමසාරිස්වරයා, අධිකරණ කොමසාරිස්වරයා, පොලිස් කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා හා පොදු වැඩ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයෙකු යන ක්ෂේත්‍ර දක්වා වර්ධනය විය. ඉස්ලාම් ආගම පිළිබඳ කටයුතු වල දී හැර අනෙකුත් සියලු ම කටයුතු සම්බන්ධයෙන් ඔහු සතු වූ අධිකාරි බලය පිළිබඳව සීමාවක් ගිවිසුමේ සඳහන් නොවීම තුලින් ව්‍යවස්ථාදායක බලතලයන් හි සැබෑ අධිකාරිත්වය පැවතියේ ඔහු සතුවය. 

සංයුක්ත මලයා රාජ්‍යයන්හි පළමු සම්මේලනය පෙරැක්හි, කුවාලා කංසාර් නගරයේ  1897දී පවත්වන ලදි. එහි කටයුතු මැලේ බසින් සිදු වීම හේතුවෙන් මැලේ ජාතික සාමාජිකයන්ට එම විවාද සම්පූර්ණයෙන්ම විවෘත විය. පළමු දිනයේ දීම ව්‍යවස්ථා පැනවීම පිළිබඳව වැදගත් විෂයන් කීපයක් සාකච්ඡාවට භාජනය කරන ලද අතර අවසානයේ ඒකමතිකව සම්මත කර ගත් ඒවා ව්‍යවස්ථාදායක අණපනත් වලට නැගීම සඳහා රජ්‍යය මන්ත්‍රණ සභාව වෙත පවරන ලදි. මේ ආකාරයෙන් මැලේ සංයුක්ත රාජ්‍ය තුල ව්‍යවස්ථාදායක මෙන් ම පරිපාලන කේන්ද්‍රස්ථානය බවට ක්වාලාලාම්පූර් නගරය පත් විය. 

 


7. බ්‍රිතාන්‍ය මලයාවේ ආර්ථිකය සකස් වීම.

මෙසේ මැලේ සංයුක්ත රාජ්‍ය තුල රාජ්‍ය පරිපාලනය ක්‍රමානුකූල ව කාර්යක්ෂම තත්ත්වයට පත් වූ අතර ආර්ථික වර්ධන වේගය ශීඝ්‍රයෙන් ඉහල ගියේය. 1891දී මැලේ රාජ්‍යයන් හතරේ සමස්ත ජනගහනය 4,24,218ක් වූ අතර 1901 වන විට එය 6,78,595ක් දක්වා වර්ධනය විය. රාජ්‍ය ආදායම 1895දී ඩොලර් 85 ලක්ෂයකට ආසන්නව පැවති අතර එය 1905 වන විට දෙකෝටි හතළිස් ලක්ෂයක් දක්වා වර්ධනය වීමත් සමඟ රජයේ ආදායම, වියදම ද අබිබවා යමින් සැලකිය යුතු අතිරික්තයක් ද ලැබීය. 1874දී රාජ්‍ය තුල කිසිදු තැපැල් කාර්යාලයක් වත් නො තිබූ නමුත් 1904වන විට රාජ්‍ය තැපැල් සේවාවන් එක් කෝටි දස ලක්ෂයක ලියුම් හුවමාරු කොට තිබුණු අතර ‍ඩොලර් දොළොස් ලක්ෂ පනස් දහසකට අධික මුදල් ඇණවුම් පත් නිකුත් කර තිබුණි. මැලේ සංයුක්ත රාජ්‍යයන්හි පැවති ඉතිරි කිරීමේ බැංකු වල ඩොලර් 2,75,000ක තැන්පතු මුදලක් තිබුණු අතර ඒවා මඟින් කිලෝමීටර් 3000කට අධික විදුලි පණිවිඩ කම්බි පවත්වා ගන්නා ලදි. අලුතින් ආරෝග්‍යශාලා හා ළමයින් 13000ට සුදුසු වන පරිදි පාඨශාලා ආරම්භ කරන ලදි. රාජ්‍ය ආදායම යොදා ගනිමින් කිලෝමීටර් 4000කට ආසන්න නවීන මං මාවත් ද කිලෝමීටර් 550කට ආසන්න දුම්රිය මාර්ග ඉදි කරන ලදි. 

බලය කේන්ද්‍ර ගත කිරීමේ ප්‍රතිපත්තිය මත සුල්තාන්වරයන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කටයුතු කරනු ඇතයි සහ වාණිජ, පතල් හා වැවිලිකාර ජනතාවගේ වර්ධනයත් සමඟ රජයේ නියෝජනයක් ලබා ගැනීමට ඔවුන් තුල ද බලාපොරොත්තුවක් ඇති වේ යැයි උපකල්පනය මත බ්‍රිතාන්‍යයන් විසින් 1909දී සංයුක්ත රාජ්‍ය මන්ත්‍රණ සභාවක් ඇති කරන ලදි. මහ කොමසාරිස්වරයාගේ සභාපතිත්වය යටතේ පැවති එහි සාමාජිකයන් වූයේ අග්‍ර නේවාසික නිලධාරියා, නේවාසික නිලධාරීන් සතර දෙනා, සුල්තාන්වරු සතර දෙනා හා රජතුමාගේ අනුමැතිය ඇති ව මහ කොමසාරිස්වරයා විසින් නම් කරන ලද සාමාජිකයන් සතර දෙනාගෙන් ද සමන්විත පිරිස විය. එක් එක් රාජ්‍යයේ රාජ්‍ය ආදායම හා වියදම පිළිබඳ ඇස්තමේන්තු කෙටුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ කාර්යය මෙම සභාවට පවරන ලදි. එය ව්‍යවස්ථාදායක මණ්ඩලයක් වුවත් එය සම්බන්ධයෙන් වූ බලතල ව්‍යාකුල විය. රාජ්‍ය මන්ත්‍රණ සභාව සම්බන්ධයෙන් විමසීමේ දී පෙනී යන්නේ රාජ්‍ය සතරෙන් ලැබෙන රාජ්‍ය ආදායම එකතුව සුදුසු යැයි සිතන පරිදි කොටස් වලට බෙදූ සංයුක්ත රාජ්‍ය මන්ත්‍රණ සභාව, පසුව එහි තීරණ රාජ්‍ය මන්ත්‍රණ සභාවලට දන්වන ලද බවයි. එමඟින් මින් ඉදිරියට වැදගත්කමක් ඇති සියලු නීති සම්මත කරනු ලැබුවේ සංයුක්ත රාජ්‍ය මන්ත්‍රණ සභාව විසිනි. ඒ හේතුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභා සතු ව්‍යවස්ථා පැනවීමේ කාර්යය ද අවසන් විය. එමඟින් පෙනී යන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභා යනු හුදෙක් ස්වදේශිකයන්ගෙන් ඇති විය හැකි විරෝධතා වළක්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් යොදන ලද උපක්‍රමයක් බවයි. 

විසි වන සියවස වන විට මැලේ රාජ්‍යයන්හි සමෘද්ධිය කෙතරම් වීද යත් මැලේරියාව පාලනය කිරීම, කෘෂිකාර්මික රසායන විද්‍යාව, නූතන අධ්‍යාපන ප්‍රතිපත්තිය, ලෝක වෙළඳ පොලේ බෙලෙක් හා රබර් මිල යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩි අවධානයක් හා වර්ධනයක් ඇති විය. 19වන සියවසේ අග වන විට නවීන යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන බෙලෙක් හෑරීමේ ක්‍රම වේද වලට යොමු වීමත් සමඟ මලයාවේ බෙලෙක් ආදායම ඉතා ශීඝ්‍රයෙන් ඉහල ගිය අතර 1889දී ටොන් 26000ක් පමණ තිබූ මලයාවේ නිර්යාත 1904දී ටොන් 51733ක් දක්වා ද 1929දී එය ටොන් 70000කට ආසන්න ප්‍රමාණයක් දක්වා ද වර්ධනය විය. විසි වන සියවස පමණ වන විට ලෝක බෙලෙක් නිෂ්පාදනයෙන් 50%කට අධික ප්‍රමාණයක් සපයන ලද්දේ මලයාව තුලිනි. 

විසි වන සියවසේ ලෝකයේ ඇති වූ කාර්මික වර්ධනයත් සමඟ මෝටර් රථ හා බයිසිකල් නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහල ගියේ ය. ඒත් සමඟ මලයානු රබර් නිෂ්පාදනය ද රට අභ්‍යන්තරයට ආදායම සපයන උල්පතක් බඳු විය. 1877දී ආරම්භ කරන ලද මලයානු රබර් වගාව 1897 වන විට අක්කර 345ක් දක්වා ද 1905 වන විට අක්කර 50,000ක් දක්වා ද වර්ධනය විය. 1914 වන විට දකුණු ඇමෙරිකාවේ කැලෑ බද ප්‍රදේශ වලින් ලැබෙන රබර් වල මිලට වඩා අඩු මිලකට රබර් සැපයීමට මලයාවේ රබර් වතු වලට හැකි විය.  1900 වන විට මලයාව විසින් රබර් ටොන් 196,000ක් අපනයනය කරන ලදි. මෙය ලෝක රබර් නිෂ්පාදනයෙන් 53%ක් පමණ විය. 

බෙලෙක් පතල් වලින් හා රබර් වතු වලින් වැඩි කොටසක් පිහිටා තිබුණේ සංයුක්ත රාජ්‍ය හතර තුල ය. 1913 වන විට මලයාවේ සම්පූර්ණ අපනයනය ද්‍රව්‍යයන් හි වටිනාකම ඩොලර් 154,974,195 දක්වා ඒවායේ රාජ්‍ය ආදායම 44,332,711ක් දක්වා වර්ධනය විය. මලයාවේ ඇති වූ මෙම සමෘද්ධියත් සමඟ අභ්‍යන්තර දේශපාලන අර්බුද පළමු වන ලෝක යුද්ධ අවසානය දක්වා ම යටපත් වී ගියේ ය. මුලදී ජොහොර් රාජ්‍ය සංයුක්ත රාජ්‍යයට සම්බන්ධ වීමට අකමැති විය. 1819දී සිංගප්පූරුව පිහිට වූ අවස්ථාවේ සිට ජොහොර් රාජ්‍ය බ්‍රිතාන්‍යයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගෙන යන ලදි. 1914 වන තෙක් ම ඒ සඳහා පොදු අනුශාසකයෙකු පත් කරනු ලැබුවේ නැත. නමුත් 1895දී බ්‍රිතාන්‍ය නීතිඥයන් විසින් කෙටුම්පත් කරන ලද ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1895 සිට ජොහොර් රාජ්‍ය තුල ක්‍රියාත්මක විය. 1914දී එක් සංශෝධනයකින් පසුව ආරක්ෂිත මැලේ රාජ්‍යයන්හි ව්‍යවස්ථා මාලාව ලෙස පිළිගැනුණේ ඉහත කී ව්‍යවස්ථාවයි. ඒ අනුව 1915 වන විට ජොහොර් රාජ්‍ය ද සංයුක්ත මැලේ රාජ්‍යයන් වලට එක් විය. 

මෙසේ දෙවන ලෝක සංග්‍රාමය වන තෙක් ම මලයානු සංයුක්තය තුල තුන් ආකාරයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතිණ. ඒ අනුව සමුද්‍ර සන්ධි බද ජනාවාස වූයේ සිංගප්පූරුව, පිනැංගුව, වෙස්ලි ප්‍රදේශය, නානිංද අයත් මලක්කා ප්‍රදේශය යන ඒවා යි. පෙරැක්, සෙලන්ගෝර්, සෙම්බිලන් හා පහාං යන සංයුක්ත මලයා රාජ්‍යයන් ද කේඩාහ්, පර්ලිස්, කෙලන්ටාන්, ත්‍රෙංග්ගනුහා ජොහොර් යන අසංයුක්ත මැලේ රාජ්‍යයන්ගෙන් ද යුක්ත විය. එම සියලු ම අසංයුක්ත රාජ්‍ය වලට උපදේශකවරු සිටිය අතර ඔවුන් සතු කාර්යය නේවාසික නිලධාරීන්ගේ කාර්යයන්ගෙන් වෙනස් විය. සෑම ප්‍රශ්නයකදීම සුල්තාන්වරයාට උපදෙස් දීම උපදේශකවරයාගේ කාර්යයක් වුවත් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට තරම් බලයක් ඔහුට නොවීය. නමුත් සාමාන්‍යයෙන් තමාගේ බලය හැකි තාක් අඩුවෙන් භාවිතා කළ ඔහු සුල්තාන්වරයාව තම මතය කෙරෙහි පොලඹවා ගැනීමට උත්සාහ කළහ.    

  

8. සමාලෝචනය

මලයාව යනු අතීතයේ ජන විවිධත්වයෙන්, භාෂාවෙන්, ආගමෙන් හා සංස්කෘතියෙන් යුත් රාජ්‍යයන් ගණනාවකි. නමුත් එම ප්‍රදේශ කෙරෙහි බටහිර යටත් විජිත රාජ්‍යයන්ගේ අවධානය යොමු වීමත් සමග අර්බුද ගණනාවක් ඇති විය. මන්ද යත් මලයාව, ශ්‍රී ලංකාව මෙන් පිහිටීම අතින් ඉතා වැදගත් ස්ථානයක පිහිටා තිබීමයි. කෙසේ වෙතත් පෘතුගීසි, ලන්දේසි හා අවසානයේ දී ඉංග්‍රීසි ජාතිකයන්ගේ ග්‍රහණයට නතු වූ එම ප්‍රදේශ විවිධාකාරයේ පරිවර්තනයන්ට ලක් වන්නට විය. 

මලයානු අනාගතය තීරණය කිරීමේ තීරණාත්මක ම සාධකය වූවේ බ්‍රිතාන්‍යයන් බව ඉහත ‍තොරතුරු අධ්‍යනයේ දී පෙනී යයි. ඔවුන්ගේ පාලන සමයේ දී විවිධත්වය තුළින් ඒකීයත්වය කරා යාමට අවශ්‍ය අඩිතාලම මලයානු ප්‍රදේශවල අති කරන ලදි. විශේෂයෙන් ම බ්‍රිතාන්‍ය යුගයේ දී මලයාව වාණිජ වශයෙන් ක්‍රමයෙන් වර්ධනය වූ අතර නාවික මර්මස්ථාන ලෙස මලක්කාව හා සිංගප්පූරුව වර්ධනය කරන ලදි.

පසුව බ්‍රිතාන්‍ය මලයාවට වැඩි ම ආදායමක් ලබාදුන් නගර වූයේ මලක්කාව හා සිංගප්පූරුවයි. කෙසේ වෙතත් වර්තමානයේ දී මැලේසියාව ලෙස මැලේ රාජ්‍යයත්, සිංගප්පූරුව වෙනම රාජ්‍යයක් ලෙසත් අග්නිදිග ආසියාවේ ප්‍රබලතම රාජ්‍යයන් ලෙස වැජඹෙමින් පවතී. මෙම සියලු ප්‍රදේශ මුලදී බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශ වූ නමුත් එහි සමෘද්ධියට හේතු වූ කරුණ ද එය ම විය. මන්ද යත් ඉතා නොදියුණු ධීවර ගම්මාන මෙන් තිබූ එම ප්‍රදේශ සංවර්ධනයට හේතු වූ කරුණ වූවේ බ්‍රිතානයන් විසින් එම රාජ්‍යයන් නවීන ලෝකයට ගැලපෙන ආකාරයට ප්‍රතිසංවිධානය කිරීම බව පෙනී යයි. ඒ අනුව ලංකාව දෙස බැලීමේදී පෙනී යන්නේ යටත් විජිත යුගයේ දී ලංකාව ලබාගත් දේට වඩා අහිමි කර ගත් දේ වැඩි වූ බවයි. වර්තමානයේ දී ලාංකිකයන් බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් ලබා ගත් යහපත් ගුණාංග කිසිවක් නොදකින අතර තම අසාර්ථකත්වය වසා ගනු පිණිස එයට දොස් පවරමින් පමණක් කාලය ගත කරයි. නමුත් මලයානු ප්‍රදේශ බ්‍රිතාන්‍ය පාලනයෙන් ලබා ගත් දායාද ප්‍රමාණය කෙතරම්දැයි කියා ඉහත කරුණු විමසීමේදී පෙනී යයි. 

 


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.


අබේවර්ධන, ඩී. එල්., අග්නිදිග ආසියාවේ යුරෝපීය යටත් විජිත, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2015

දිසානායක, විජය., ගෝලීය ප්‍රවණතා(අතීතය-වර්ථමානය-අනාගතය), අනුරාධා ප්‍රකාශකයෝ, දෙල්ගොඩ, 2014.

නේරු, ජවහර්ලාල්., ලෝක ඉතිහාස සිහිවටන, අනුවාදය- ‍ඩේවිඩ් කරුණාරත්න, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම. කොළඹ, 2008.

රාවෝ, බී. වී., ලෝක ඉතිහාසය, පරිවර්තනය- මාලිනී ඇඳගම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003.

සෙනවිරත්න, චාමින්ද., ජගත් දේශාටකයෝ, දයාවංශ ජයකොඩි සමාගම, කොළඹ. 2014..

‍හොරබින්, ජේ. ඇෆ්., මුහුදු කොල්ලකරුවන්ගේ ඉතිහාසය, කුරුලු පොත් ප්‍රකාශකයෝ, රාජගිරිය, 2009.

හෝල්, ජී. ඩී., අග්නිදිග ආසියාවේ ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ, 1974.

Thursday, 6 February 2020

අග්නිදිග ආසියාවේ ලන්දේසි බලය තහවුරු කරගත් අකාරය.






අග්නිදිග ආසියාවේ ලන්දේසි බලය තහවුරු කරගත් ආකාරය.

ඈත අතීතයේ සිට ම අග්නිදිග ආසියානු ප්‍රදේශ කුළු බඩු වෙළඳාම සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. නමුත් යුරෝපීය රාජ්‍යයන් දේශගවේශන ව්‍යාපාර වලට යොමු වීමත් එමගින් යටත් විජිත පිහිටුවා ගැනීමත් යන කාරණා මත අග්නිදිග ආසියානු ප්‍රදේශ වැදගත්කමින් ඉහළ යන්නට විය. ඒ අනුව අග්නිදිග ආසියානු ප්‍රදේශ වල  ඉතා සාර්ථක ලෙස බලය ව්‍යාප්ත කරගත් ජාතියක් ලෙස ලන්දේසි ජාතිකයන් හැඳින්විය හැකි ය. අග්නිදිග ආසියාවේ ලන්දේසි බලය පිළිබඳ ව විමසා බැලීමේ දී අවධානය යොමු කළ යුතු වැදගත් ම කරුණක් වන්නේ එකල ලන්දේසීන් පෙර දිගට පැමිණීමට හේතු වූ යුරෝපීය දේශපාලන, සමාජීය හා ආර්ථික පසුබිමයි.
බටහිර යටත් විජිතකරණයේ මුල් කාලය ඉතා ආක්‍රමණකාරී යුගයක් විය. ක්‍රි.ව. 1420ත් ක්‍රි.ව. 1522ත් අතර කාලයේ දී බටහිර යටත් විජිතකරණය ආරම්භ වූ බව උපකල්පනය කළ හැකිය. කිසිවකු නොදන්නා කුණාටු සහිත ප්‍රචණ්ඩ මුහුද එම යුගයේදී දුර්වල නැව් මඟින් තරණය කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ පෘතුගීසීන්ට ය. ඔවුහු තුවක්කු හා කඩු හරඹයේ රණ ශූරයෝ වූ අතරම උග්‍ර ආගමික උන්මාදයෙන් දැවෙමින් තිබූ ආකල්ප හේතුවෙන් ඔවුන් තම යටත් ප්‍රදේශවල හිංසා, කෲරකම් සහ විපත්ති සිදු කිරීමට පෙලඹිණ. ඔවුන් ඒවා සිදුකලේ සාමයේ කුමරාගේ නාමයෙනි. මිථ්‍යා දෘෂ්ටිකයන් නැති කිරීම සහ මිථ්‍යා දෘෂ්ටිකයන්ට වද දීම යටත් විජිතකරණයත් සමඟ එකට සිදු විය.
මේ වකවානුවේ දී නැගෙනහිර රටවල නිෂ්පාදන ලිස්බන් නුවර සිට උතුරු යුරෝපය දක්වා ප්‍රවාහනය කලේ ලන්දේසීන් ය. පෙරදිග රටවල් ආශ්‍රිතව සිදු වූ ආක්‍රමණකාරී ක්‍රියා සහ වෙළඳාම සඳහා තම විශාල නැව් සියල්ල ම පාහේ යොදවා තිබීම හේතුවෙන් යුරෝපීය රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් නැව් ප්‍රමාණයක් පෘතුගීසීන් සතුව නොවූ අතර ස්පාඤ්ඤ ජාතිකයන්ට ද එය පොදු විය. තම රටේ පිහිටීම අනුව රට තුල සුදුසු වරායන් තිබීම හේතුවෙන් කලක් ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ නැව් අලුත්වැඩියා කිරීමේ හැකියාව නෙදර්ලන්තවාසීන් සතුව තිබුණි. මේ හේතුවෙන් ‍එම නැව් තුල තිබූ දුර්වල තා මැනවින් තේරුම් ගැනීමට ඔවුන්ට හැකි විය. මේ හේතුවෙන් ම ලෝක ව්‍යාප්ත බඩු ගෙන යාමේ වෙළඳ පදනමකට පිවිසීමට ලන්දේසීන්ට හැකි විය. 1580දී දෙවන පිලිප් රජු ස්පාඤ්ඤය හා පෘතුගාල රාජ්‍යයේ පාලකයා වීමත් එම හේතුවෙන් ම පෘතුගාලය හා ස්පාඤ්ඤය අතර අභ්‍යන්තර ආරවුල් ඇති වීමත් හේතුවෙන් පෙරදිග පෘතුගීසි බලය අර්බුදයකට ලක් විය. මෙය අවස්ථාවක් කර ගත් ඕලන්දවාසීන් ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගැනීම සඳහා කැරලි ගැසූ අතර එයට ප්‍රතිචාර දක්වනු වස් දෙවන පිලිප් රජු ලන්දේසීන්ට ස්පාඤ්ඤය හා පෘතුගාලයේ ලිස්බන් වැනි වරායන් වලට ඇතුළු වීමට ඉඩ නොදෙන ලදි.
ලන්දේසීන් එම වෙළඳාමෙන් ඉවත් කළ පසු නැගෙනහිර රටවල නිෂ්පාදන ඔවුන් ම ආනයනය කිරීමේ අදහස ලන්දේසීන් තුළ වර්ධනය විය. ඔවුන් ප්‍රථමයෙන් උතුරු යුරෝපය හා ආසියාව හරහා මාර්ගයක් සොයා ගැනීමට උත්සාහ කළහ. එය අසාර්ථක වීම හේතුවෙන් ඒ වන විටත් පෘතුගීසීන් අල්ලා ගෙන තිබූ සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා වු මාර්ගයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ අවශ්‍යතාවය ඕලන්දයන්ට වැටහෙන්නට විය. ඒ සඳහා ඔවුන්ට යොන් හව්හන් ලින් ෂෝටන්  නම් ඕලන්ද යාත්‍රාකරුවාගේ වාර්තා ඉමහත් ප්‍රයෝජනවත් විය. ඔහු පෘතුගාලයේ ආච් බිෂොප්වරයා යටතේ අවුරුදු 4ක්ද, ගෝවේ හි වසර 5ක්ද ගතකරමින් ආසියාවේ පෘතුගීසී බල ක්ෂේත්‍රය පිළිබඳ ව තොරතුරු එකතු කොට 1592දී නැවත ඕලන්දයට පැමිණ එම තොරතුරු අලලා 1595දී පෙරදිග මුහුදු සඳහා නාවික උපදෙස් නම් අත් පොතක්ද (Reysgeschrift) Travel Account of Portuguese Navigation in the Orient, 1596දී පෘතුගීසි පෙරදිගෙහි තමාගේ ගමන් විස්තරයක් (Itinerario) නම් වු ග්‍රන්ථ පළ කරන ලදි. එමගින් පෘතුගීසීන්ට පමණක් සීමා වී තිබූ අග්නිදිග ආසියාව සම්බන්ධ තොරතුරු ඕලන්ද ජාතිකයන්ට දැන ගැනීමට හැකි විය.
එම තොරතුරු ප්‍රයෝජනයට ගනිමින් ලන්දේසි ජාතික කොර්නේලිස් හොට්මන්ගේ නායකත්වය යටතේ විශේෂ මුහුදු ගමනක් 1595 අප්‍රේල් මාසයේදී ඇම්ස්ටර්ඩෑම් වලින් නැව් 4ක් අග්නිදිග ආසියාව බලා ගමන් ඇරඹීය. හෙන්ඩ්‍රික් හඩ්, රෙනියර් පෝට්, පීටර් හැස්ලර්, ජැන් කෙරී, ජැන්සන් ඩි ඔයුඩ්, ජැනපොපන්, හෙන්රික් බුයික්, ඩිර්ක් වෑන් ඔස්, ස්විර්ට් සෙන් සහ ඇරන්ඩ් හොට්මන් යන නාවිකයෝ එම ගමනට එක් විය. එම යාත්‍රා 1596 ජූනි මාසයේ දී ජාවාහි වයඹ දිග වෙරළේ පිහිටි ගම්මිරිස් හා සාමාන්‍ය බඩු හුවමාරු කර ගන්නා වරාය වූ බැන්තම් වෙත ලඟා විය. පෘතුගීසීන් සහ ‍අග්නිදිග ආසියානු පාලකයන් අතර තිබූ සබඳතා එකල බෙහෙවින් නොසන්සුන්ව තිබීම හේතුවෙන් දේශීය පාලකයන් ලන්දේසීන් ඉතා සාදරයෙන් පිළිගන්නා ලදි.  පසුව එම නැව් කණ්ඩායම බැන්තම් වරායෙන් පිටත්ව ජකර්තාවටත්, මදුර හා බාලි දිවයින් වලටත් පැමිණ කුළු බඩු ලබාගෙන නැවත යුරෝපයට යාත්‍රා කරන ලදි. මෙම ගමන සම්පූර්ණ සාර්ථක එකක් නොවූව ද වටිනා බඩු තොගයක් රැගෙන ඒමට හැකි වීමත් හා බැන්තම් හි සුල්තාන්වරයා සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීමට හැකි වීමත් අනාගත ආයෝජනයක් බඳු විය.
ඉන් පසු 1598දී නැව් 22ක කණ්ඩායමක් කුළු බඩු දූපත් වලට ලඟා වීමේ අරමුණින් නෙදර්ලන්තයෙන් පිටත් වූ අතර ඉන් 13ක් සුබ ප්‍රාර්ථනා තුඩුව හරහාද, 9ක් මැගලන් සමුද්‍ර සන්ධිය හරහාද ගමන් කිරිමට තීරණය කරන ලදි. කොම්පඤ්ඤ ෆන් වේරේ නම් නැව් සමාගමේ අනුග්‍රහය මත ජකොබ් වෑන් නෙක් අද්මිරාල් ලෙස යෙදුණු ගමන ඉතාමත්ම සාර්ථක වූ අතර ඔවුන් මුරුසි දිවයින් වලට හා බැන්තම් වරාය වෙත ලඟා වෙන ලදි. පෘතුගීසින්ගෙන් බාධා එල්ල වුවත් දේශීය පාලකයන්ගේ අනුග්‍රහය මත බැන්තම් ප්‍රදේශයේ වාණිජ කටයුතුවල නිරත වීමට ලන්දේසීන්ට හැකි වූ අතර ගම්මිරිස් ලබා ගෙන නැවත නෙදර්ලන්තය‍ වෙත පැමිණි ෆන් නෙක්ගේ කණ්ඩායමට 100%ක ලාභයක් ලබා ගැනීමට හැකි විය.  
මෙම වෙළඳ ග‍මන් සමඟ කුළු බඩු දූපත් වෙත ගමන් කිරීමේ අපේක්ෂාව ලන්දේසීන් තුළ වර්ධනය විය. ඒ අනුව ඕලන්ද වාණිජ සමාගම් අග්නිදිග ආසියාවේ කුළු බඩු දූපත් වූ සුමාත්‍රා, ජාවා හා මොලුක්කා දිවයින් කරා යාත්‍රා කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට ඇම්ස්ටර්ඩෑම්, රොටර්ඩෑම් හා මිඩ්ඩල්බර් යන ස්ථානයන් හි තම සමාගම්වල ශාඛා පිහිටුවන ලදි. ඒ අනුව 1595 සිට 1601 දක්වා අතර ගමන් වාර 15දී නැව් 65ක් කුළු බඩු දූපත් කරා යාත්‍රා කරවීය.
ලන්දේසීන් අග්නිදිග ආසියාවට පැමිණීමේ මූලික අභිප්‍රාය වූයේ වෙළඳාම් කිරීම වුවත් තම ප්‍රබලතම විරුද්ධවාදියා වූ පෘතුගීසීන් සමඟ යුද ඇති කර ගැනීමට ද ඔවුන්ට සිදු විය. වෙළඳ වාසි ලබා ගැනීම හා පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරමින් මුස්ලිම් ආගමට සහන සැලසීමේ පොරොන්දුව මත දේශීය රාජ්‍යයන් සමඟ සබඳතා ක්‍රමයක් ගොඩනගා ගැනීමට ලන්දේසීන්ට හැකි විය. ඒ අනුව 1600දී ඇම්බොයිනාව සමඟ ගිවිසුමකට එළඹීමට හැකි වූ අතර 1602දී බණ්ඩා දිවයින් ආරක්ෂා කර දීමේ ප්‍රතිඥාව මත එහි සාදික්කා ඒකාධිකාරය ලබා ගැනීමට ලන්දේසීන්ට හැකි විය. මෙම ගිවිසුම් හේතුවෙන් පෘතුගීසීන් සමඟ ප්‍රබල ගැටුම් ඇතිකර ගැනීමට ලන්දේසීන්ට සිදු වූ අතර 1597දී මලක්කාවට ඔබ්බෙහි ප්‍රබල යුද්ධයක් ඇති විය. 1602දී බැන්තම් අසල දී පෘතුගීසීන් පරදවා ලබා ගත් තීරණාත්මක ජයග්‍රහණය හේතුවෙන් එම ප්‍රදේශ වල හා සුණ්ඩා සමුද්‍ර සන්ධියේ තම අණසක පිහිටුවීමට ලන්දේසීන්ට හැකි වූ අතර මොලුක්කා දිවයින් වලට යාත්‍රා කිරීමේ ඉඩ ප්‍රස්ථාව ද හිමි විය.    
ලන්දේසීන් පෙරදිගට තම නාවික ගමන් ආරම්භ කළ 1595ත් 1602ත් දක්වා වූ කාලය අපරික්ෂාකාරී වෙළඳ ගමන් සමය ලෙස හඳුන්වන අතර (Wild Chart Season) පෘතුගීසීන් සමඟ වූ යුද්ධත්, පෙරදිග වෙළඳාමත් සාර්ථකව කරගෙන යාමට විවිධ සංවිධාන, සමාගම්, සීමාසහිත අධිකාරි බලයන් ප්‍රමාණවත් නොවන බව නෙදර්ලන්ත රජයට පෙනී යන ලදි. තවද ආසියාවට පැමිණි විවිධ වූ ලන්දේසි සමාගම් තම තමන් වෙනුවෙන් වාසි සහගත වෙළඳ කොන්දේසි නිර්මාණය කර ගැනීම හේතුවෙන් නෙදර්ලන්ත රජයට ලබා ගත හැකි ලාභය අවම වන බව පෙනී යන ලදි. මේ සඳහා විවිධ සමාගම් ඒකාබද්ධ කොට එක් සමාගමක් පිහිටුවීම යෝග්‍ය යැයි නෙදර්ලන්තයේ රාජකීය ජෙනරාල්තැන කල්පනා කරන ලදි (එක්සත් ප්‍රාන්තයන්හි ස්ටේට් ජෙනරල් නම් පාර්ලිමේන්තුව). ඒ අනුව ක්‍රි.ව. 1602දී ගිල්ඩර්ස් 65 ලක්ෂයක අරමුදලක් ද සමඟ “ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගම” (VOC)-(වෙරිනීෂ්ට් ඌස්ට් ඉන්දීෂ් කොම්පඤ්ඤි) ස්ථාපනය කරන ලදි. ආණ්ඩුවක කටයුතු තහනම් කිරීමේ බලය, මුහුදේ හා ගොඩබිම යුද හමුදා පවත්වා ගෙන  යාමේ බලය, යටත් විජිතවල වගා කිරීමේ සහ රටවල් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමේ බලය විසි වසරකට බල පැවැත්වෙන පරිදි අධිකාරි පත්‍රයක් මඟින් සමාගමට පවරා දෙන ලදි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය 76 දෙනෙකුගෙන් සමන්විත වූ අතර අධ්‍යක්ෂවරුන් 17 දෙනෙකු අත සමාගමේ කළමනාකාරීත්වය පැවතිණි. සමාගමේ මූලස්ථානය බතාවියාවේ පිහිටුවා තිබූ අතර චීනය හා ජපානය අතර සමාගම රාජතාන්ත්‍රිකව ගනුදෙනු කරන ලදි. බණ්ඩා, ටර්නෙට්, මැසකර්, මලක්කා, ලංකාව, ආශිර්වාද තුඩුව සහ ජාවාවල සමාගමට අයත් ආණ්ඩු පැවැතිණ. ජාවාහි විනාශ වී ගිය දේශීය නගරය වන ජකර්තාව එහි අගනගරය බවට පත් කිරීමට යොන්කූන් විසින් කටයුතු කරන ලද අතර එය බතාවියාව ලෙස නම් කරන ලදි.
සමාගම පිහිටුවීමත් සමඟ පෙරදිග ලන්දේසි පරිපාලනය, කේන්ද්‍රගත කිරීමට මෙම ප්‍රදේශවල ලන්දේසි ආණ්ඩුකාර ධුරයට පත් පීටර් බූත්ට හැකි වූ අතර 1603දී ලන්දේසීන් විසින්, පෘතුගීසින් ජාවා රටින් මලක්කාවට ගෙන්වනු ලැබූ ආහාර වලින් විශාල ප්‍රමාණයක් අවහිර කිරීමට කටයුතු කළ අතර ගෝවට ද තර්ජන එල්ල කරන ලදි. ලන්දේසීන් ජොහොර් මැලේවරුන් සමඟ එක්කාසු වී 1585-86 අතර කාලයේදී මලක්කාවටද පහර දෙන ලදි. තවද ලන්දේසි සමාගම, පෘතුගීසි පාලනයෙන් බැහැරව පැවති ජාවා දූපත්වල ගම්මිරිස් වෙළඳාමට පිවිසෙන ලදි. 1605දී ඇති වූ සටනකින් පසුව ඇම්බොයිනාවේ තිබූ පෘතුගීසි කොටුව යටත් කර ගැනීමට ලන්දේසීන්ට හැකි වූ අතර එය අග්නිදිග ආසියාවේ පළමු ලන්දේසි යටත් විජිතයද විය. එහි නායකයෝ 1605 අගෝස්තු මාසයේදී ඇති කර ගන්නා ලද ගිවිසුමෙන් ලන්දේසි ආධිපත්‍ය පිළිගන්නා ලදි.
මෙම වකවානුව වන විට පෙරදිග පෘතුගීසි බලය බිඳවැටෙමින් තිබූ අතර එය අවස්ථාවක් කරගත් ලන්දේසීන් පෘතුගීසින් සතුව පැවති ටයිඩෝරය අල්ලා ගන්නා ලදි. එහි සුල්තාන් සමඟ ඇතිකර ගත් ගිවිසුමක් මඟින් කරාබුනැටි අධිකාරිය ලබා ගැනීමට ලන්දේසීන්ට හැකි විය. මුලදී පෘතුගීසින් සමඟ ඒකාබද්ධ ස්පාඤ්ඤ හමුදාවන්හි තර්ජනයන්ට මුහුණ දීමට ලන්දේසීන්ට සිදු වුවත් යුරෝපයේදී නෙදර්ලන්ත, එංගලන්ත හා ස්පාඤ්ඤ සාම ගිවිසුම් හේතුවෙන් වැඩි කල් නොගොස්ම ටර්නේටයේ තමන්ගේ බලය තහවුරු කර ගැනීමට ලන්දේසීන්ට හැකි විය. තවද එරටට ආරක්ෂාව සලසා දීමේ කොන්දේසිය මත එහි සුල්තාන්වරයා සමඟ ඇතිකර ගත් ගිවිසුම හේතුවෙන් ටර්නේටයද ලන්දේසි ආධිපත්‍ය පිළිගන්නා ලදි. එය අවස්ථාවක් කර ගත් ලන්දේසීන් එම වර්ෂයේදීම එහි ඔරේන්ජ් නම් බලකොටුවක් පිහිටුවන ලදි.  
1607දී ජිබ්‍රෝල්ටා වරායේදී සිදු වූ සටනින් ස්පාඤ්ඤය පරදා ලන්දේසීන් ලබා ගත් ජයග්‍රහණය හේතුවෙන් ස්පාඤ්ඤය හා ලන්දේසීන් අතර වසර 12කට බල පැවැත්වෙන පරිදි තාවකාලික සාම ක්‍රියාවලියක් ඇති වූ අතර එය අවස්ථාවක් කර ගත් ලන්දේසීන් තම පෙරදිග වෙළඳ මූලස්ථානයක් වූ මොලුක්කාවේ ස්වකීය බලය වර්ධනය කර ගත් අතර 1609 මුල් කාලයේදී බණ්ඩා දිවයින් සමඟ බලෙන් ඇති කර ගත් ගිවිසුමක් මත එම දිවයින්වල බලකොටුවක් තැනීමට අවසරත්, කුළු බඩු පැටවීමේ තනි අයිතියත් ලබා ගැනීමට හැකි විය. ඒ අනුව 1623 පමණ වනවිට බණ්ඩා දිවයින් වලින් මුළු ලෝකයටම සැපයූ සාදික්කා හා වසාවාසි වල ඒකාධිකාරය ලබා ගැනීමට ලන්දේසීන්ට හැකි විය.
1630 පමණ වන විට මලක්කාව අල්ලා ගැනීමේ වැදගත්කම ලන්දේසීන්ට වැටහෙන්නට විය. ඒ අනුව 1636දී ඇන්තනී වෑන් ඩීමන් ආණ්ඩුකාර තනතුරට පත් කිරීමත් සමඟ ලන්දේසීහු මලක්කාව අල්ලා ගැනිමට අදිටන් කරගන්නා ලදි. 1636දී ලන්දේසීන් මලක්කා වරායේ පෘතුගීසි නැව් 20කින් යුත් කණ්ඩායමකට පහර දුන් අතර 1639දී ජොහොර් රාජ්‍ය හා අචීනයන්ගේ සහයද ඇතිව මලක්කා වරාය වටලන ලදි. ඒ අනුව මලක්කාවට එල්ල කළ අවසන් හා ප්‍රබලතම ප්‍රහාරය 1640 ජූනි මාසයේදී ආරම්භ වූ අතර එහි උච්චතම අවස්ථාව 1641 ජනවාරි 11දා සිදු විය. ඒ අනුව ලන්දේසීහු, බලකොටු තාප්පයට පහර දීමට තීරණය කළ අතර ගෝවෙන් උදව් නොලැබුණු පෘතුගීසින් තුන් දිනක් පැවති බලවත් විරෝධයකින් පසුව යටත් විය. ඒ අනුව යටත් වූ පෘතුගීසි භටයන්ට සිය රටට යාමට සම්පූර්ණ නිදහස ලබා දෙන ලදි.
මලක්කාව අල්ලා ගැනීමත් සමඟ ලන්දේසි සමාගම මලක්කා සමුද්‍ර සන්ධියේ හා සුණ්ඩා සමුද්‍ර සන්ධියේ තම අණසක පිහිටුවා ගන්නා ලදි. නමුත් ලන්දේසීන් තම සුපුරුදු වෙළඳ කේන්ද්‍රස්ථානය ලෙස බතාවියාව තව දුරටත් පවත්වා ගෙන යන ලදි. ලන්දේසි ආණ්ඩුකාර වෑන් ඩීමන්ගේ කාලයේදී යුරෝපීය පාලනයක් යටතේ පැවති විජිතයකට අයත් මුහුදු වරායක් ලෙස බතාවියාව වර්ධනය විය. තවද මෙකල ලන්දේසි බල පරාක්‍රමය ඉන්දු චීනය, අර්කනය, බුරුමය, තෙනසරීන්, සියම, ජපානය හා කොචින් චීනය (කැන්ටනය) යන ප්‍රදේශ වෙත ව්‍යාප්තවන ලදි. මොලුක්කා දිවයින්වලට ආසන්නව හා කොරමණ්ඩල් වෙරළෙහි ලන්දේසි වෙළඳ කඳවුරු පිහිටුවීම මඟින් ඉන්දියානු රෙදි පිළි පිටරට යැවීමේ වෙළඳාමට මැදිහත් වී ඉන්දියානු හා අරාබි වෙළඳුන්ට බාධා ඇති කිරීමට ලන්දේසීන්ට හැකි විය. බෙංගාල බොක්කේ වාණිජ කටයුතු පිළිබඳ සම්පූර්ණ පාලනය සියතට ගැනීමේ අරමුණින් ලන්දේසීන් 1634දී අරකන්හි, බුරුමයේ හා එවකට සියම අතෙහි පැවතුණු තෙනසරීන්හි  තම වෙළඳ කඳවුරු විවෘත කරන ලදි. එමඟින් අරකන් ප්‍රදේශයෙන් ලන්දේසීන් සතුව පැවති බතාවියාව වෙත සහල් නිර්යාත කිරීමට හැකි විය.
තවද 1630 දශකයේදී මාබිම් ප්‍රදේශ වලටද සිය බලය ව්‍යාප්ත කිරිමට ලන්දේසි ජාතිකයන්ට හැකි විය. ඒ අනුව සියම හා ඇසෑමය අතර වෙළඳ සබඳතා දියුණු විය. කාම්බෝජය, පතානි කැරලිකරුවන් හා පෘතුගීසින් සමඟ ගැටුම් ඇතිකර ගෙන සිටි සියමේ ප්‍රසත් ථොං රජතුමාට ආධාර පිණිස යැවූ ඕලන්ද නැව් හේතුවෙන් 1634දී ෆන් විලියට් ඕලන්ද නියෝජිතයාගේ මූලිකත්වයෙන් අයුථියාවේ ඕලන්ද මූලස්ථානයක් පිහිටුවන ලදි. තවද 1637දී අයුථියාවේ සිට කාම්බෝජය දක්වා වෙළඳ කඳවුරුද පිහිටුවන ලදි. 1641දී වියෙන් චාං (වියෙන්ටියාන්) නම් ලාඕස් රාජ්‍ය සමඟ සබඳතා ඇතිකර ගැනීම සඳහා ෆන් වයිස්තෝෆ් යටතේ මෙකොං ගංගාව දිගේ ඉහළට දූත මෙහෙවරක් පිටත්කර හරින ලදි.
ජොහාන් මැට් සූයිකර් නම් අග්‍රාණ්ඩුකාරවරයාගේ කාලයේදී පෙරදිග ලන්දේසි බලය ඉතාමත් වර්ධනය වූ යුගයක් ලෙස සැලකිය හැකිය. එම යුගයේදී ලන්දේසි ඉන්දීය කොදෙව් පිළිබඳ කවුන්සිලයේ විශේෂඥයා වශයෙන් ඔහු බතාවියේ නීති පද්ධතිය කෙටුම්පත් කළ අතර එය ලන්දේසි අධිරාජ්‍යයේ ප්‍රථම නීති පද්ධතිය විය. තවද ඔහුගේ යුගයේ දී ඉන්දියන් සාගරයේ පෘතුගිසි බලය තුරන් කරලීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලදි. ඒ අනුව ලංකාවෙන්, ඉන්දියාවේ කොරමැණ්ඩල් වෙරළෙන් සහ මලබාර් වෙරළෙන් පෘතුගීසින් පළවා හැරීමට ලන්දේසීන්ට හැකි විය. තවද 1663දී ස්පාඤ්ඤය ජාතිකයන් තිදෝරය හැර ඉවත් වූයෙන් ලන්දේසීහු මොලුක්කා දිවයින්වල සම්පූර්ණ ස්වාමිවරු වූහ.
මැට්සුයිකර් යටතේ ලන්දේසීන් සුමාත්‍රාවේ ගම්මිරිස් වරායවල් වෙත සිය ආධිපත්‍ය පතුරුවා හැරි අතර 1658දී ඕලන්ද වෙළඳ කඳවුරක් ආක්‍රමණය කොට එහි වූ වෙළදුන් හා නැව් 2ක් විනාශයට පත් කළ පලෙම්බාංහි සුල්තාන්වරයාට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ නගර සමීපයෙහි ලන්දේසි බලකොටුවක් ඉදි කිරීමේ අවසරයද, ගම්මිරිස් මිල දී ගැනීමේ සම්පූර්ණ අවසරය ද ලබා ගැනීමට ලන්දේසීන්ට හැකි විය.
1636දී ඉස්කන්දර් මූඩාගේ මරණයෙන් අනතුරුව බලයෙන් පිරිහී සිටි අචේ රාජ්‍යයට විරුද්ධව කැරලි ගැසූ මිනංකබෞ ප්‍රධානීහු 1662දී පයිනාන් ගිවිසුම මඟින් ලන්දේසි පෙරදිග වෙළඳ සමාගමේ ආරක්ෂාව යටතට පත් කරන ලද අතර ඊට වසර 4කට පසුව ඇති වූ ප්‍රතිවිරෝධතාවයට ප්‍රතිචාර දක්වනු වස් ලන්දේසීන් විසින් යවන ලද ආබ්‍රහම් වර්ස්ප්‍රීට් විසින් සමස්ත අචේ ප්‍රදේශය ම තම යටතට ගැනීමට ලන්දේසීන්ට හැකි විය.
මොලුක්කා දිවයින අත්පත් කර ගැනීමෙන් පසු ලන්දේසීන් තම අවධානය යොමුකරනු ලැබුවේ ප්‍රබල පාලකයෙකු වූ හසන් උදීන් යටතේ පැවති මැකසරයයි. ප්‍රබල රාජ්‍යයක්  වූ එය යටත්කර ගැනීමට විශාල කාලයක් හා වියදමක් දැරීමට ලන්දේසීන්ට සිදු විය. ඒ අනුව 1666දී කොර්නේලිස් ජාන්සුන් ස්පීල්මන් යටතේ ආරම්භවුණු සටන 1667 නොවැම්බර් මස 18දා අත්සන් තබන ලද බොන්ගයාහි ගිවිසුමෙන් අවසන් විය. ඒ අනුව හසන් උදීන් ඕලන්ද ආධිපත්‍ය පිළිගත් අතර තම බළකොටු ඉවත් කර ගනිමින් ලන්දේසීන්ට වෙළඳ ඒකාධිකාරය ප්‍රදානය කොට ලන්දේසි නොවන සියලු යුරෝපීයන් පළවා හැරීමට ද එකඟවන ලදි. විශාල වන්දි මුදලක් ගෙවීමටද, ලන්දේසීන්ට තම බළකොටුවෙහි පදිංචි වීමට ඉඩ දීමටද හසන් උදීන්ට සිදු විය. නමුත් හසන් උදීන් එම කොන්දේසි කඩ කිරීම හේතුවෙන් ලන්දේසීන් විසින් ඔහුගේ නගරය අත්පත් කරගෙන ඔහු බලයෙන් පහ කොට දකුණු සෙලිබීස් ප්‍රදේශය හා රොටර්ඩෑම් බළකොටුව ප්‍රදේශය මූලස්ථානය කරගත් ලන්දේසි ආණ්ඩුකාරවරයෙකුගේ යටතට පත් කරන ලදි.
1674දී මතාරම්හි අභ්‍යන්තර යුද්ධයකට මැදිහත් වීමට අවස්ථාවක් ලන්දේසීන්ට ලැබිණ. මතාරම්හි ලන්දේසීන් සමඟ මිත්‍රව සිටි පාලකයා වූ අංගුගේ අනුප්‍රාප්තිකයා වූ පළමු වන අමංකුරත් හෙවත් සුසුහුනන්ට විරුද්ධව මදුර දිවයිනේ කුමාරයෙකු කැරලි ගැසූහ. සුසුහුනන්ගේ සහයට ලන්දේසි හමුදා කැඳවනු ලැබූ අතර ඔවුන් මදුරයෙන් කොටසක් හා සුරබයා වරාය අල්ලා ගන්නා ලදි. එහෙත් යුද්ධය අවුරුදු 5ක් දක්වා දීර්ඝ වීමත් කැරැල්ල පෙරදිග හා මධ්‍යම ජාවා ප්‍රදේශ වලට පැතිර යාමත් හේතුවෙන් ලන්දේසීන්ට දැරිය යුතු වියදම වැඩි විය. ඒ හේතුවෙන් 1679වන විට දෙන ලද උදව් වලට හිලව් වශයෙන් එහි පාලනය යටතේ පැවති ප්‍රදේශ බතාවියාවේ සිට පෙරදිගට චිමනුක් ඟග තෙක් ද, දකුණු දෙසට ප්‍රියංගන් නැමැති කඳුකරය හරහා වෙරළ තෙක්ද වර්ධනය කර ගැනීමට ලන්දේසීන්ට හැකි විය. මේ හේතුවෙන් බැන්තම් හා මතාරම් යන රාජ්‍ය 2 අතර පිහිටි භූමි ප්‍රදේශය ලන්දේසීන්ට හිමි වූ අතර මතාරම්හි, කරතසූරයෙහි සෙමරන් වරායෙත් හා ඒ ආශ්‍රිත අනිකුත් වරායන්හිද තීරු බදු රහිතව වෙළඳාම් කිරීමේ අවස්ථාව ලන්දේසි සමාගම සතු විය. 1703දී සුසුහුනන්ගේ මරණින් පසු නව පාලකයා වූ තුන්වන අමංකුරත්, කර්තසූරය අල්ලා ගත් අතර ලන්දේසීන් එය අනුමත කරමින් 1705දී නව ගිවිසුමක්ද ඇති කර ගන්නා ලදි. එම ගිවිසුමට අනුව චෙරිබොන් ප්‍රදේශ ද ඇතුළුවන සේ සමාගමේ බිමි පෙදෙස් පෙරදිගට වර්ධනය කර ගැනීමට ලන්දේසි සමාගමට හැකි විය. මේ හේතුවෙන් මතාරම්හි මුහුදු වරායන් හි සමාගමේ වාණිජ ආධිපත්‍ය සම්පුර්ණ විය.
මෙලෙසින් ඇතිවූ අභ්‍යන්තර ආරවුල් උපයෝගී කොට ගනිමින් සිය බලය වර්ධනය කර ගැනීමට ලන්දේසීන්ට හැකි වූ අතර නිරායාසයෙන් ම අග්නිදිග ආසියානු කොදෙව්වල වූ නැගෙනහිර දූපත් රැසක ඉන්දුනීසියානු ස්වාධීනතාව නැති කරමින්, ලන්දේසි අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමට හැකි විය.
ප්‍රධාන වශයෙන් ලන්දේසි ප්‍රතිපත්තිය පිළිබදව සලකා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ මුල්කාලීන ලන්දේසි සමාගමේ අරමුණ වූවේ වෙළඳ කටයුතු සඳහා මිස දිවයින්වල අභ්‍යන්තර පාලනයට මැදිහත් නොවිය යුතු බවයි. යුද්ධ කිරීම අත්‍යාවශ්‍ය නම් පමණක් කළ යුතු බව ලන්දේසි සමාගමේ අරමුණ විය. ආර්ථික කටයුතුවල දී නිරායාසයෙන් ම දේශපාලන කටයුතුවලට මැදිහත් වීමට සිදුවුවත් දේශපාලන වගකීම් පිළිබදව ලන්දේසීන් අවදානය යොමු නොකරන ලදි.
නමුත් කල්යත්ම දේශියන් සමඟ නිතර නිතර යුද්ධ ඇතිවීමත්, වැඩි ලාබයක් ලබාගැනීමේ අභිප්‍රායනුත් හේතුවෙන් ලන්දේසි බලය අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්තවන ආකාරයක් පසුව දැකිය හැකිය. මෙලෙස ලන්දේසි අරමුණු වෙනස්වන්නට ඇත්තේ තම ආධිපත්‍ය බලය ස්ථාවර කරගැනීමටත් හා අනෙකුත් යුරෝපීය රාජ්‍යන්ගේ ආගමනය වැළැක්වීමටත් විය හැකිය. කෙසේ වුවත් පසුකාලීනව වෙනස් වූ එම ප්‍රතිපත්තිය හේතුවෙන් ‍ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පරිහානිය ද ආරම්භ වූ බව පෙනී යයි. එයට ප්‍රධානතම හේතුව වූයේ දීර්ඝකාලීන මෙන්ම අධික ධනයක් වැය කිරීමට සිදු වූ යුද්ධත්, යටත් ප්‍රදේශ වැඩි වීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් අධික වීමත්ය. කෙසේ වුවත් අවසාන වශයෙන් පෙනී යන කරුණක් වන්නේ අග්නිදිග ආසියානු ප්‍රදේශ වල සාර්ථකවම බලය ව්‍යාප්ත කළ ජාතියක් වීමට ලන්දේසීන්ට හැකි වූ බවයි.