Thursday, 6 February 2020

අග්නිදිග ආසියාවේ ලන්දේසි බලය තහවුරු කරගත් අකාරය.






අග්නිදිග ආසියාවේ ලන්දේසි බලය තහවුරු කරගත් ආකාරය.

ඈත අතීතයේ සිට ම අග්නිදිග ආසියානු ප්‍රදේශ කුළු බඩු වෙළඳාම සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. නමුත් යුරෝපීය රාජ්‍යයන් දේශගවේශන ව්‍යාපාර වලට යොමු වීමත් එමගින් යටත් විජිත පිහිටුවා ගැනීමත් යන කාරණා මත අග්නිදිග ආසියානු ප්‍රදේශ වැදගත්කමින් ඉහළ යන්නට විය. ඒ අනුව අග්නිදිග ආසියානු ප්‍රදේශ වල  ඉතා සාර්ථක ලෙස බලය ව්‍යාප්ත කරගත් ජාතියක් ලෙස ලන්දේසි ජාතිකයන් හැඳින්විය හැකි ය. අග්නිදිග ආසියාවේ ලන්දේසි බලය පිළිබඳ ව විමසා බැලීමේ දී අවධානය යොමු කළ යුතු වැදගත් ම කරුණක් වන්නේ එකල ලන්දේසීන් පෙර දිගට පැමිණීමට හේතු වූ යුරෝපීය දේශපාලන, සමාජීය හා ආර්ථික පසුබිමයි.
බටහිර යටත් විජිතකරණයේ මුල් කාලය ඉතා ආක්‍රමණකාරී යුගයක් විය. ක්‍රි.ව. 1420ත් ක්‍රි.ව. 1522ත් අතර කාලයේ දී බටහිර යටත් විජිතකරණය ආරම්භ වූ බව උපකල්පනය කළ හැකිය. කිසිවකු නොදන්නා කුණාටු සහිත ප්‍රචණ්ඩ මුහුද එම යුගයේදී දුර්වල නැව් මඟින් තරණය කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ පෘතුගීසීන්ට ය. ඔවුහු තුවක්කු හා කඩු හරඹයේ රණ ශූරයෝ වූ අතරම උග්‍ර ආගමික උන්මාදයෙන් දැවෙමින් තිබූ ආකල්ප හේතුවෙන් ඔවුන් තම යටත් ප්‍රදේශවල හිංසා, කෲරකම් සහ විපත්ති සිදු කිරීමට පෙලඹිණ. ඔවුන් ඒවා සිදුකලේ සාමයේ කුමරාගේ නාමයෙනි. මිථ්‍යා දෘෂ්ටිකයන් නැති කිරීම සහ මිථ්‍යා දෘෂ්ටිකයන්ට වද දීම යටත් විජිතකරණයත් සමඟ එකට සිදු විය.
මේ වකවානුවේ දී නැගෙනහිර රටවල නිෂ්පාදන ලිස්බන් නුවර සිට උතුරු යුරෝපය දක්වා ප්‍රවාහනය කලේ ලන්දේසීන් ය. පෙරදිග රටවල් ආශ්‍රිතව සිදු වූ ආක්‍රමණකාරී ක්‍රියා සහ වෙළඳාම සඳහා තම විශාල නැව් සියල්ල ම පාහේ යොදවා තිබීම හේතුවෙන් යුරෝපීය රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් නැව් ප්‍රමාණයක් පෘතුගීසීන් සතුව නොවූ අතර ස්පාඤ්ඤ ජාතිකයන්ට ද එය පොදු විය. තම රටේ පිහිටීම අනුව රට තුල සුදුසු වරායන් තිබීම හේතුවෙන් කලක් ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ නැව් අලුත්වැඩියා කිරීමේ හැකියාව නෙදර්ලන්තවාසීන් සතුව තිබුණි. මේ හේතුවෙන් ‍එම නැව් තුල තිබූ දුර්වල තා මැනවින් තේරුම් ගැනීමට ඔවුන්ට හැකි විය. මේ හේතුවෙන් ම ලෝක ව්‍යාප්ත බඩු ගෙන යාමේ වෙළඳ පදනමකට පිවිසීමට ලන්දේසීන්ට හැකි විය. 1580දී දෙවන පිලිප් රජු ස්පාඤ්ඤය හා පෘතුගාල රාජ්‍යයේ පාලකයා වීමත් එම හේතුවෙන් ම පෘතුගාලය හා ස්පාඤ්ඤය අතර අභ්‍යන්තර ආරවුල් ඇති වීමත් හේතුවෙන් පෙරදිග පෘතුගීසි බලය අර්බුදයකට ලක් විය. මෙය අවස්ථාවක් කර ගත් ඕලන්දවාසීන් ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගැනීම සඳහා කැරලි ගැසූ අතර එයට ප්‍රතිචාර දක්වනු වස් දෙවන පිලිප් රජු ලන්දේසීන්ට ස්පාඤ්ඤය හා පෘතුගාලයේ ලිස්බන් වැනි වරායන් වලට ඇතුළු වීමට ඉඩ නොදෙන ලදි.
ලන්දේසීන් එම වෙළඳාමෙන් ඉවත් කළ පසු නැගෙනහිර රටවල නිෂ්පාදන ඔවුන් ම ආනයනය කිරීමේ අදහස ලන්දේසීන් තුළ වර්ධනය විය. ඔවුන් ප්‍රථමයෙන් උතුරු යුරෝපය හා ආසියාව හරහා මාර්ගයක් සොයා ගැනීමට උත්සාහ කළහ. එය අසාර්ථක වීම හේතුවෙන් ඒ වන විටත් පෘතුගීසීන් අල්ලා ගෙන තිබූ සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා වු මාර්ගයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ අවශ්‍යතාවය ඕලන්දයන්ට වැටහෙන්නට විය. ඒ සඳහා ඔවුන්ට යොන් හව්හන් ලින් ෂෝටන්  නම් ඕලන්ද යාත්‍රාකරුවාගේ වාර්තා ඉමහත් ප්‍රයෝජනවත් විය. ඔහු පෘතුගාලයේ ආච් බිෂොප්වරයා යටතේ අවුරුදු 4ක්ද, ගෝවේ හි වසර 5ක්ද ගතකරමින් ආසියාවේ පෘතුගීසී බල ක්ෂේත්‍රය පිළිබඳ ව තොරතුරු එකතු කොට 1592දී නැවත ඕලන්දයට පැමිණ එම තොරතුරු අලලා 1595දී පෙරදිග මුහුදු සඳහා නාවික උපදෙස් නම් අත් පොතක්ද (Reysgeschrift) Travel Account of Portuguese Navigation in the Orient, 1596දී පෘතුගීසි පෙරදිගෙහි තමාගේ ගමන් විස්තරයක් (Itinerario) නම් වු ග්‍රන්ථ පළ කරන ලදි. එමගින් පෘතුගීසීන්ට පමණක් සීමා වී තිබූ අග්නිදිග ආසියාව සම්බන්ධ තොරතුරු ඕලන්ද ජාතිකයන්ට දැන ගැනීමට හැකි විය.
එම තොරතුරු ප්‍රයෝජනයට ගනිමින් ලන්දේසි ජාතික කොර්නේලිස් හොට්මන්ගේ නායකත්වය යටතේ විශේෂ මුහුදු ගමනක් 1595 අප්‍රේල් මාසයේදී ඇම්ස්ටර්ඩෑම් වලින් නැව් 4ක් අග්නිදිග ආසියාව බලා ගමන් ඇරඹීය. හෙන්ඩ්‍රික් හඩ්, රෙනියර් පෝට්, පීටර් හැස්ලර්, ජැන් කෙරී, ජැන්සන් ඩි ඔයුඩ්, ජැනපොපන්, හෙන්රික් බුයික්, ඩිර්ක් වෑන් ඔස්, ස්විර්ට් සෙන් සහ ඇරන්ඩ් හොට්මන් යන නාවිකයෝ එම ගමනට එක් විය. එම යාත්‍රා 1596 ජූනි මාසයේ දී ජාවාහි වයඹ දිග වෙරළේ පිහිටි ගම්මිරිස් හා සාමාන්‍ය බඩු හුවමාරු කර ගන්නා වරාය වූ බැන්තම් වෙත ලඟා විය. පෘතුගීසීන් සහ ‍අග්නිදිග ආසියානු පාලකයන් අතර තිබූ සබඳතා එකල බෙහෙවින් නොසන්සුන්ව තිබීම හේතුවෙන් දේශීය පාලකයන් ලන්දේසීන් ඉතා සාදරයෙන් පිළිගන්නා ලදි.  පසුව එම නැව් කණ්ඩායම බැන්තම් වරායෙන් පිටත්ව ජකර්තාවටත්, මදුර හා බාලි දිවයින් වලටත් පැමිණ කුළු බඩු ලබාගෙන නැවත යුරෝපයට යාත්‍රා කරන ලදි. මෙම ගමන සම්පූර්ණ සාර්ථක එකක් නොවූව ද වටිනා බඩු තොගයක් රැගෙන ඒමට හැකි වීමත් හා බැන්තම් හි සුල්තාන්වරයා සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීමට හැකි වීමත් අනාගත ආයෝජනයක් බඳු විය.
ඉන් පසු 1598දී නැව් 22ක කණ්ඩායමක් කුළු බඩු දූපත් වලට ලඟා වීමේ අරමුණින් නෙදර්ලන්තයෙන් පිටත් වූ අතර ඉන් 13ක් සුබ ප්‍රාර්ථනා තුඩුව හරහාද, 9ක් මැගලන් සමුද්‍ර සන්ධිය හරහාද ගමන් කිරිමට තීරණය කරන ලදි. කොම්පඤ්ඤ ෆන් වේරේ නම් නැව් සමාගමේ අනුග්‍රහය මත ජකොබ් වෑන් නෙක් අද්මිරාල් ලෙස යෙදුණු ගමන ඉතාමත්ම සාර්ථක වූ අතර ඔවුන් මුරුසි දිවයින් වලට හා බැන්තම් වරාය වෙත ලඟා වෙන ලදි. පෘතුගීසින්ගෙන් බාධා එල්ල වුවත් දේශීය පාලකයන්ගේ අනුග්‍රහය මත බැන්තම් ප්‍රදේශයේ වාණිජ කටයුතුවල නිරත වීමට ලන්දේසීන්ට හැකි වූ අතර ගම්මිරිස් ලබා ගෙන නැවත නෙදර්ලන්තය‍ වෙත පැමිණි ෆන් නෙක්ගේ කණ්ඩායමට 100%ක ලාභයක් ලබා ගැනීමට හැකි විය.  
මෙම වෙළඳ ග‍මන් සමඟ කුළු බඩු දූපත් වෙත ගමන් කිරීමේ අපේක්ෂාව ලන්දේසීන් තුළ වර්ධනය විය. ඒ අනුව ඕලන්ද වාණිජ සමාගම් අග්නිදිග ආසියාවේ කුළු බඩු දූපත් වූ සුමාත්‍රා, ජාවා හා මොලුක්කා දිවයින් කරා යාත්‍රා කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට ඇම්ස්ටර්ඩෑම්, රොටර්ඩෑම් හා මිඩ්ඩල්බර් යන ස්ථානයන් හි තම සමාගම්වල ශාඛා පිහිටුවන ලදි. ඒ අනුව 1595 සිට 1601 දක්වා අතර ගමන් වාර 15දී නැව් 65ක් කුළු බඩු දූපත් කරා යාත්‍රා කරවීය.
ලන්දේසීන් අග්නිදිග ආසියාවට පැමිණීමේ මූලික අභිප්‍රාය වූයේ වෙළඳාම් කිරීම වුවත් තම ප්‍රබලතම විරුද්ධවාදියා වූ පෘතුගීසීන් සමඟ යුද ඇති කර ගැනීමට ද ඔවුන්ට සිදු විය. වෙළඳ වාසි ලබා ගැනීම හා පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරමින් මුස්ලිම් ආගමට සහන සැලසීමේ පොරොන්දුව මත දේශීය රාජ්‍යයන් සමඟ සබඳතා ක්‍රමයක් ගොඩනගා ගැනීමට ලන්දේසීන්ට හැකි විය. ඒ අනුව 1600දී ඇම්බොයිනාව සමඟ ගිවිසුමකට එළඹීමට හැකි වූ අතර 1602දී බණ්ඩා දිවයින් ආරක්ෂා කර දීමේ ප්‍රතිඥාව මත එහි සාදික්කා ඒකාධිකාරය ලබා ගැනීමට ලන්දේසීන්ට හැකි විය. මෙම ගිවිසුම් හේතුවෙන් පෘතුගීසීන් සමඟ ප්‍රබල ගැටුම් ඇතිකර ගැනීමට ලන්දේසීන්ට සිදු වූ අතර 1597දී මලක්කාවට ඔබ්බෙහි ප්‍රබල යුද්ධයක් ඇති විය. 1602දී බැන්තම් අසල දී පෘතුගීසීන් පරදවා ලබා ගත් තීරණාත්මක ජයග්‍රහණය හේතුවෙන් එම ප්‍රදේශ වල හා සුණ්ඩා සමුද්‍ර සන්ධියේ තම අණසක පිහිටුවීමට ලන්දේසීන්ට හැකි වූ අතර මොලුක්කා දිවයින් වලට යාත්‍රා කිරීමේ ඉඩ ප්‍රස්ථාව ද හිමි විය.    
ලන්දේසීන් පෙරදිගට තම නාවික ගමන් ආරම්භ කළ 1595ත් 1602ත් දක්වා වූ කාලය අපරික්ෂාකාරී වෙළඳ ගමන් සමය ලෙස හඳුන්වන අතර (Wild Chart Season) පෘතුගීසීන් සමඟ වූ යුද්ධත්, පෙරදිග වෙළඳාමත් සාර්ථකව කරගෙන යාමට විවිධ සංවිධාන, සමාගම්, සීමාසහිත අධිකාරි බලයන් ප්‍රමාණවත් නොවන බව නෙදර්ලන්ත රජයට පෙනී යන ලදි. තවද ආසියාවට පැමිණි විවිධ වූ ලන්දේසි සමාගම් තම තමන් වෙනුවෙන් වාසි සහගත වෙළඳ කොන්දේසි නිර්මාණය කර ගැනීම හේතුවෙන් නෙදර්ලන්ත රජයට ලබා ගත හැකි ලාභය අවම වන බව පෙනී යන ලදි. මේ සඳහා විවිධ සමාගම් ඒකාබද්ධ කොට එක් සමාගමක් පිහිටුවීම යෝග්‍ය යැයි නෙදර්ලන්තයේ රාජකීය ජෙනරාල්තැන කල්පනා කරන ලදි (එක්සත් ප්‍රාන්තයන්හි ස්ටේට් ජෙනරල් නම් පාර්ලිමේන්තුව). ඒ අනුව ක්‍රි.ව. 1602දී ගිල්ඩර්ස් 65 ලක්ෂයක අරමුදලක් ද සමඟ “ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගම” (VOC)-(වෙරිනීෂ්ට් ඌස්ට් ඉන්දීෂ් කොම්පඤ්ඤි) ස්ථාපනය කරන ලදි. ආණ්ඩුවක කටයුතු තහනම් කිරීමේ බලය, මුහුදේ හා ගොඩබිම යුද හමුදා පවත්වා ගෙන  යාමේ බලය, යටත් විජිතවල වගා කිරීමේ සහ රටවල් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමේ බලය විසි වසරකට බල පැවැත්වෙන පරිදි අධිකාරි පත්‍රයක් මඟින් සමාගමට පවරා දෙන ලදි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය 76 දෙනෙකුගෙන් සමන්විත වූ අතර අධ්‍යක්ෂවරුන් 17 දෙනෙකු අත සමාගමේ කළමනාකාරීත්වය පැවතිණි. සමාගමේ මූලස්ථානය බතාවියාවේ පිහිටුවා තිබූ අතර චීනය හා ජපානය අතර සමාගම රාජතාන්ත්‍රිකව ගනුදෙනු කරන ලදි. බණ්ඩා, ටර්නෙට්, මැසකර්, මලක්කා, ලංකාව, ආශිර්වාද තුඩුව සහ ජාවාවල සමාගමට අයත් ආණ්ඩු පැවැතිණ. ජාවාහි විනාශ වී ගිය දේශීය නගරය වන ජකර්තාව එහි අගනගරය බවට පත් කිරීමට යොන්කූන් විසින් කටයුතු කරන ලද අතර එය බතාවියාව ලෙස නම් කරන ලදි.
සමාගම පිහිටුවීමත් සමඟ පෙරදිග ලන්දේසි පරිපාලනය, කේන්ද්‍රගත කිරීමට මෙම ප්‍රදේශවල ලන්දේසි ආණ්ඩුකාර ධුරයට පත් පීටර් බූත්ට හැකි වූ අතර 1603දී ලන්දේසීන් විසින්, පෘතුගීසින් ජාවා රටින් මලක්කාවට ගෙන්වනු ලැබූ ආහාර වලින් විශාල ප්‍රමාණයක් අවහිර කිරීමට කටයුතු කළ අතර ගෝවට ද තර්ජන එල්ල කරන ලදි. ලන්දේසීන් ජොහොර් මැලේවරුන් සමඟ එක්කාසු වී 1585-86 අතර කාලයේදී මලක්කාවටද පහර දෙන ලදි. තවද ලන්දේසි සමාගම, පෘතුගීසි පාලනයෙන් බැහැරව පැවති ජාවා දූපත්වල ගම්මිරිස් වෙළඳාමට පිවිසෙන ලදි. 1605දී ඇති වූ සටනකින් පසුව ඇම්බොයිනාවේ තිබූ පෘතුගීසි කොටුව යටත් කර ගැනීමට ලන්දේසීන්ට හැකි වූ අතර එය අග්නිදිග ආසියාවේ පළමු ලන්දේසි යටත් විජිතයද විය. එහි නායකයෝ 1605 අගෝස්තු මාසයේදී ඇති කර ගන්නා ලද ගිවිසුමෙන් ලන්දේසි ආධිපත්‍ය පිළිගන්නා ලදි.
මෙම වකවානුව වන විට පෙරදිග පෘතුගීසි බලය බිඳවැටෙමින් තිබූ අතර එය අවස්ථාවක් කරගත් ලන්දේසීන් පෘතුගීසින් සතුව පැවති ටයිඩෝරය අල්ලා ගන්නා ලදි. එහි සුල්තාන් සමඟ ඇතිකර ගත් ගිවිසුමක් මඟින් කරාබුනැටි අධිකාරිය ලබා ගැනීමට ලන්දේසීන්ට හැකි විය. මුලදී පෘතුගීසින් සමඟ ඒකාබද්ධ ස්පාඤ්ඤ හමුදාවන්හි තර්ජනයන්ට මුහුණ දීමට ලන්දේසීන්ට සිදු වුවත් යුරෝපයේදී නෙදර්ලන්ත, එංගලන්ත හා ස්පාඤ්ඤ සාම ගිවිසුම් හේතුවෙන් වැඩි කල් නොගොස්ම ටර්නේටයේ තමන්ගේ බලය තහවුරු කර ගැනීමට ලන්දේසීන්ට හැකි විය. තවද එරටට ආරක්ෂාව සලසා දීමේ කොන්දේසිය මත එහි සුල්තාන්වරයා සමඟ ඇතිකර ගත් ගිවිසුම හේතුවෙන් ටර්නේටයද ලන්දේසි ආධිපත්‍ය පිළිගන්නා ලදි. එය අවස්ථාවක් කර ගත් ලන්දේසීන් එම වර්ෂයේදීම එහි ඔරේන්ජ් නම් බලකොටුවක් පිහිටුවන ලදි.  
1607දී ජිබ්‍රෝල්ටා වරායේදී සිදු වූ සටනින් ස්පාඤ්ඤය පරදා ලන්දේසීන් ලබා ගත් ජයග්‍රහණය හේතුවෙන් ස්පාඤ්ඤය හා ලන්දේසීන් අතර වසර 12කට බල පැවැත්වෙන පරිදි තාවකාලික සාම ක්‍රියාවලියක් ඇති වූ අතර එය අවස්ථාවක් කර ගත් ලන්දේසීන් තම පෙරදිග වෙළඳ මූලස්ථානයක් වූ මොලුක්කාවේ ස්වකීය බලය වර්ධනය කර ගත් අතර 1609 මුල් කාලයේදී බණ්ඩා දිවයින් සමඟ බලෙන් ඇති කර ගත් ගිවිසුමක් මත එම දිවයින්වල බලකොටුවක් තැනීමට අවසරත්, කුළු බඩු පැටවීමේ තනි අයිතියත් ලබා ගැනීමට හැකි විය. ඒ අනුව 1623 පමණ වනවිට බණ්ඩා දිවයින් වලින් මුළු ලෝකයටම සැපයූ සාදික්කා හා වසාවාසි වල ඒකාධිකාරය ලබා ගැනීමට ලන්දේසීන්ට හැකි විය.
1630 පමණ වන විට මලක්කාව අල්ලා ගැනීමේ වැදගත්කම ලන්දේසීන්ට වැටහෙන්නට විය. ඒ අනුව 1636දී ඇන්තනී වෑන් ඩීමන් ආණ්ඩුකාර තනතුරට පත් කිරීමත් සමඟ ලන්දේසීහු මලක්කාව අල්ලා ගැනිමට අදිටන් කරගන්නා ලදි. 1636දී ලන්දේසීන් මලක්කා වරායේ පෘතුගීසි නැව් 20කින් යුත් කණ්ඩායමකට පහර දුන් අතර 1639දී ජොහොර් රාජ්‍ය හා අචීනයන්ගේ සහයද ඇතිව මලක්කා වරාය වටලන ලදි. ඒ අනුව මලක්කාවට එල්ල කළ අවසන් හා ප්‍රබලතම ප්‍රහාරය 1640 ජූනි මාසයේදී ආරම්භ වූ අතර එහි උච්චතම අවස්ථාව 1641 ජනවාරි 11දා සිදු විය. ඒ අනුව ලන්දේසීහු, බලකොටු තාප්පයට පහර දීමට තීරණය කළ අතර ගෝවෙන් උදව් නොලැබුණු පෘතුගීසින් තුන් දිනක් පැවති බලවත් විරෝධයකින් පසුව යටත් විය. ඒ අනුව යටත් වූ පෘතුගීසි භටයන්ට සිය රටට යාමට සම්පූර්ණ නිදහස ලබා දෙන ලදි.
මලක්කාව අල්ලා ගැනීමත් සමඟ ලන්දේසි සමාගම මලක්කා සමුද්‍ර සන්ධියේ හා සුණ්ඩා සමුද්‍ර සන්ධියේ තම අණසක පිහිටුවා ගන්නා ලදි. නමුත් ලන්දේසීන් තම සුපුරුදු වෙළඳ කේන්ද්‍රස්ථානය ලෙස බතාවියාව තව දුරටත් පවත්වා ගෙන යන ලදි. ලන්දේසි ආණ්ඩුකාර වෑන් ඩීමන්ගේ කාලයේදී යුරෝපීය පාලනයක් යටතේ පැවති විජිතයකට අයත් මුහුදු වරායක් ලෙස බතාවියාව වර්ධනය විය. තවද මෙකල ලන්දේසි බල පරාක්‍රමය ඉන්දු චීනය, අර්කනය, බුරුමය, තෙනසරීන්, සියම, ජපානය හා කොචින් චීනය (කැන්ටනය) යන ප්‍රදේශ වෙත ව්‍යාප්තවන ලදි. මොලුක්කා දිවයින්වලට ආසන්නව හා කොරමණ්ඩල් වෙරළෙහි ලන්දේසි වෙළඳ කඳවුරු පිහිටුවීම මඟින් ඉන්දියානු රෙදි පිළි පිටරට යැවීමේ වෙළඳාමට මැදිහත් වී ඉන්දියානු හා අරාබි වෙළඳුන්ට බාධා ඇති කිරීමට ලන්දේසීන්ට හැකි විය. බෙංගාල බොක්කේ වාණිජ කටයුතු පිළිබඳ සම්පූර්ණ පාලනය සියතට ගැනීමේ අරමුණින් ලන්දේසීන් 1634දී අරකන්හි, බුරුමයේ හා එවකට සියම අතෙහි පැවතුණු තෙනසරීන්හි  තම වෙළඳ කඳවුරු විවෘත කරන ලදි. එමඟින් අරකන් ප්‍රදේශයෙන් ලන්දේසීන් සතුව පැවති බතාවියාව වෙත සහල් නිර්යාත කිරීමට හැකි විය.
තවද 1630 දශකයේදී මාබිම් ප්‍රදේශ වලටද සිය බලය ව්‍යාප්ත කිරිමට ලන්දේසි ජාතිකයන්ට හැකි විය. ඒ අනුව සියම හා ඇසෑමය අතර වෙළඳ සබඳතා දියුණු විය. කාම්බෝජය, පතානි කැරලිකරුවන් හා පෘතුගීසින් සමඟ ගැටුම් ඇතිකර ගෙන සිටි සියමේ ප්‍රසත් ථොං රජතුමාට ආධාර පිණිස යැවූ ඕලන්ද නැව් හේතුවෙන් 1634දී ෆන් විලියට් ඕලන්ද නියෝජිතයාගේ මූලිකත්වයෙන් අයුථියාවේ ඕලන්ද මූලස්ථානයක් පිහිටුවන ලදි. තවද 1637දී අයුථියාවේ සිට කාම්බෝජය දක්වා වෙළඳ කඳවුරුද පිහිටුවන ලදි. 1641දී වියෙන් චාං (වියෙන්ටියාන්) නම් ලාඕස් රාජ්‍ය සමඟ සබඳතා ඇතිකර ගැනීම සඳහා ෆන් වයිස්තෝෆ් යටතේ මෙකොං ගංගාව දිගේ ඉහළට දූත මෙහෙවරක් පිටත්කර හරින ලදි.
ජොහාන් මැට් සූයිකර් නම් අග්‍රාණ්ඩුකාරවරයාගේ කාලයේදී පෙරදිග ලන්දේසි බලය ඉතාමත් වර්ධනය වූ යුගයක් ලෙස සැලකිය හැකිය. එම යුගයේදී ලන්දේසි ඉන්දීය කොදෙව් පිළිබඳ කවුන්සිලයේ විශේෂඥයා වශයෙන් ඔහු බතාවියේ නීති පද්ධතිය කෙටුම්පත් කළ අතර එය ලන්දේසි අධිරාජ්‍යයේ ප්‍රථම නීති පද්ධතිය විය. තවද ඔහුගේ යුගයේ දී ඉන්දියන් සාගරයේ පෘතුගිසි බලය තුරන් කරලීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලදි. ඒ අනුව ලංකාවෙන්, ඉන්දියාවේ කොරමැණ්ඩල් වෙරළෙන් සහ මලබාර් වෙරළෙන් පෘතුගීසින් පළවා හැරීමට ලන්දේසීන්ට හැකි විය. තවද 1663දී ස්පාඤ්ඤය ජාතිකයන් තිදෝරය හැර ඉවත් වූයෙන් ලන්දේසීහු මොලුක්කා දිවයින්වල සම්පූර්ණ ස්වාමිවරු වූහ.
මැට්සුයිකර් යටතේ ලන්දේසීන් සුමාත්‍රාවේ ගම්මිරිස් වරායවල් වෙත සිය ආධිපත්‍ය පතුරුවා හැරි අතර 1658දී ඕලන්ද වෙළඳ කඳවුරක් ආක්‍රමණය කොට එහි වූ වෙළදුන් හා නැව් 2ක් විනාශයට පත් කළ පලෙම්බාංහි සුල්තාන්වරයාට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ නගර සමීපයෙහි ලන්දේසි බලකොටුවක් ඉදි කිරීමේ අවසරයද, ගම්මිරිස් මිල දී ගැනීමේ සම්පූර්ණ අවසරය ද ලබා ගැනීමට ලන්දේසීන්ට හැකි විය.
1636දී ඉස්කන්දර් මූඩාගේ මරණයෙන් අනතුරුව බලයෙන් පිරිහී සිටි අචේ රාජ්‍යයට විරුද්ධව කැරලි ගැසූ මිනංකබෞ ප්‍රධානීහු 1662දී පයිනාන් ගිවිසුම මඟින් ලන්දේසි පෙරදිග වෙළඳ සමාගමේ ආරක්ෂාව යටතට පත් කරන ලද අතර ඊට වසර 4කට පසුව ඇති වූ ප්‍රතිවිරෝධතාවයට ප්‍රතිචාර දක්වනු වස් ලන්දේසීන් විසින් යවන ලද ආබ්‍රහම් වර්ස්ප්‍රීට් විසින් සමස්ත අචේ ප්‍රදේශය ම තම යටතට ගැනීමට ලන්දේසීන්ට හැකි විය.
මොලුක්කා දිවයින අත්පත් කර ගැනීමෙන් පසු ලන්දේසීන් තම අවධානය යොමුකරනු ලැබුවේ ප්‍රබල පාලකයෙකු වූ හසන් උදීන් යටතේ පැවති මැකසරයයි. ප්‍රබල රාජ්‍යයක්  වූ එය යටත්කර ගැනීමට විශාල කාලයක් හා වියදමක් දැරීමට ලන්දේසීන්ට සිදු විය. ඒ අනුව 1666දී කොර්නේලිස් ජාන්සුන් ස්පීල්මන් යටතේ ආරම්භවුණු සටන 1667 නොවැම්බර් මස 18දා අත්සන් තබන ලද බොන්ගයාහි ගිවිසුමෙන් අවසන් විය. ඒ අනුව හසන් උදීන් ඕලන්ද ආධිපත්‍ය පිළිගත් අතර තම බළකොටු ඉවත් කර ගනිමින් ලන්දේසීන්ට වෙළඳ ඒකාධිකාරය ප්‍රදානය කොට ලන්දේසි නොවන සියලු යුරෝපීයන් පළවා හැරීමට ද එකඟවන ලදි. විශාල වන්දි මුදලක් ගෙවීමටද, ලන්දේසීන්ට තම බළකොටුවෙහි පදිංචි වීමට ඉඩ දීමටද හසන් උදීන්ට සිදු විය. නමුත් හසන් උදීන් එම කොන්දේසි කඩ කිරීම හේතුවෙන් ලන්දේසීන් විසින් ඔහුගේ නගරය අත්පත් කරගෙන ඔහු බලයෙන් පහ කොට දකුණු සෙලිබීස් ප්‍රදේශය හා රොටර්ඩෑම් බළකොටුව ප්‍රදේශය මූලස්ථානය කරගත් ලන්දේසි ආණ්ඩුකාරවරයෙකුගේ යටතට පත් කරන ලදි.
1674දී මතාරම්හි අභ්‍යන්තර යුද්ධයකට මැදිහත් වීමට අවස්ථාවක් ලන්දේසීන්ට ලැබිණ. මතාරම්හි ලන්දේසීන් සමඟ මිත්‍රව සිටි පාලකයා වූ අංගුගේ අනුප්‍රාප්තිකයා වූ පළමු වන අමංකුරත් හෙවත් සුසුහුනන්ට විරුද්ධව මදුර දිවයිනේ කුමාරයෙකු කැරලි ගැසූහ. සුසුහුනන්ගේ සහයට ලන්දේසි හමුදා කැඳවනු ලැබූ අතර ඔවුන් මදුරයෙන් කොටසක් හා සුරබයා වරාය අල්ලා ගන්නා ලදි. එහෙත් යුද්ධය අවුරුදු 5ක් දක්වා දීර්ඝ වීමත් කැරැල්ල පෙරදිග හා මධ්‍යම ජාවා ප්‍රදේශ වලට පැතිර යාමත් හේතුවෙන් ලන්දේසීන්ට දැරිය යුතු වියදම වැඩි විය. ඒ හේතුවෙන් 1679වන විට දෙන ලද උදව් වලට හිලව් වශයෙන් එහි පාලනය යටතේ පැවති ප්‍රදේශ බතාවියාවේ සිට පෙරදිගට චිමනුක් ඟග තෙක් ද, දකුණු දෙසට ප්‍රියංගන් නැමැති කඳුකරය හරහා වෙරළ තෙක්ද වර්ධනය කර ගැනීමට ලන්දේසීන්ට හැකි විය. මේ හේතුවෙන් බැන්තම් හා මතාරම් යන රාජ්‍ය 2 අතර පිහිටි භූමි ප්‍රදේශය ලන්දේසීන්ට හිමි වූ අතර මතාරම්හි, කරතසූරයෙහි සෙමරන් වරායෙත් හා ඒ ආශ්‍රිත අනිකුත් වරායන්හිද තීරු බදු රහිතව වෙළඳාම් කිරීමේ අවස්ථාව ලන්දේසි සමාගම සතු විය. 1703දී සුසුහුනන්ගේ මරණින් පසු නව පාලකයා වූ තුන්වන අමංකුරත්, කර්තසූරය අල්ලා ගත් අතර ලන්දේසීන් එය අනුමත කරමින් 1705දී නව ගිවිසුමක්ද ඇති කර ගන්නා ලදි. එම ගිවිසුමට අනුව චෙරිබොන් ප්‍රදේශ ද ඇතුළුවන සේ සමාගමේ බිමි පෙදෙස් පෙරදිගට වර්ධනය කර ගැනීමට ලන්දේසි සමාගමට හැකි විය. මේ හේතුවෙන් මතාරම්හි මුහුදු වරායන් හි සමාගමේ වාණිජ ආධිපත්‍ය සම්පුර්ණ විය.
මෙලෙසින් ඇතිවූ අභ්‍යන්තර ආරවුල් උපයෝගී කොට ගනිමින් සිය බලය වර්ධනය කර ගැනීමට ලන්දේසීන්ට හැකි වූ අතර නිරායාසයෙන් ම අග්නිදිග ආසියානු කොදෙව්වල වූ නැගෙනහිර දූපත් රැසක ඉන්දුනීසියානු ස්වාධීනතාව නැති කරමින්, ලන්දේසි අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමට හැකි විය.
ප්‍රධාන වශයෙන් ලන්දේසි ප්‍රතිපත්තිය පිළිබදව සලකා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ මුල්කාලීන ලන්දේසි සමාගමේ අරමුණ වූවේ වෙළඳ කටයුතු සඳහා මිස දිවයින්වල අභ්‍යන්තර පාලනයට මැදිහත් නොවිය යුතු බවයි. යුද්ධ කිරීම අත්‍යාවශ්‍ය නම් පමණක් කළ යුතු බව ලන්දේසි සමාගමේ අරමුණ විය. ආර්ථික කටයුතුවල දී නිරායාසයෙන් ම දේශපාලන කටයුතුවලට මැදිහත් වීමට සිදුවුවත් දේශපාලන වගකීම් පිළිබදව ලන්දේසීන් අවදානය යොමු නොකරන ලදි.
නමුත් කල්යත්ම දේශියන් සමඟ නිතර නිතර යුද්ධ ඇතිවීමත්, වැඩි ලාබයක් ලබාගැනීමේ අභිප්‍රායනුත් හේතුවෙන් ලන්දේසි බලය අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්තවන ආකාරයක් පසුව දැකිය හැකිය. මෙලෙස ලන්දේසි අරමුණු වෙනස්වන්නට ඇත්තේ තම ආධිපත්‍ය බලය ස්ථාවර කරගැනීමටත් හා අනෙකුත් යුරෝපීය රාජ්‍යන්ගේ ආගමනය වැළැක්වීමටත් විය හැකිය. කෙසේ වුවත් පසුකාලීනව වෙනස් වූ එම ප්‍රතිපත්තිය හේතුවෙන් ‍ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පරිහානිය ද ආරම්භ වූ බව පෙනී යයි. එයට ප්‍රධානතම හේතුව වූයේ දීර්ඝකාලීන මෙන්ම අධික ධනයක් වැය කිරීමට සිදු වූ යුද්ධත්, යටත් ප්‍රදේශ වැඩි වීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් අධික වීමත්ය. කෙසේ වුවත් අවසාන වශයෙන් පෙනී යන කරුණක් වන්නේ අග්නිදිග ආසියානු ප්‍රදේශ වල සාර්ථකවම බලය ව්‍යාප්ත කළ ජාතියක් වීමට ලන්දේසීන්ට හැකි වූ බවයි.


1 comment: