Friday, 14 February 2020

ආර්යාගමනය


                                                                                                                                                                                                                                                                                 

                                                                                                                   
පටුන









  1. හැඳින්වීම.

ආර්ය යන වචනය වර්තමානයේ භාවිතා කිරීමට බොහෝ ඉතිහාසඥයන් මෙන් ම උගතුන් පැකිළෙන ආකාරයක් දැකිය හැකි. නැත්නම් බොහෝමයක් දෙනා ආර්ය යන වචනය ඇසූ සැණින් ම කෝපාවිෂ්ට වේ. එයට හේතූන් කීපයක් හඳුනා ගත හැක. ඉන් ප්‍රධාන ම හේතුව වන්නට ඇත්තේ දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ නාසි ජර්මනියේ බලයට පත් ඇඩොල්ෆ් හිට්ලර් විසින් පිරිසිදු ආර්යයන් සම්බන්ධයෙන් ගෙන ගිය මතවාදයයි. මේ හේතුවෙන් ආර්යයන් නොවන බොහෝ යුරෝපීය ජනතාව අපහසුතාවකට හෝ සමූහ ඝාතනයකට ලක් විය. විශේෂයෙන් ම මෙසේ ඝාතනයට ලක් වූවේ යුදෙව් ජනතාව වූ අතර එය ප්‍රමාණාත්මක ව දළ වශයෙන් 5,962,129ක් පමණ විය. මෙය සමස්ත ලෝකයේ ම අප්‍රසාදයට ලක් වූ කාරණයක් වූ අතර එතැන් පටන් ආර්ය සංකල්පය ප්‍රබල ලෙසින් ම ඉතිහාසය තුළ ප්‍රතික්‍ෂේප කරන්නට විය.
තවද බොහෝ අවස්ථාවන්වල දී ඉතිහාසය තුළ ආර්යයන් ලෙසින් හඳුන්වන්නා වූ ජන කණ්ඩායම් තම ව්‍යාප්තිය සිදු කරනු ලැබුවේ කඩුවේ බලයෙනි. එහිදී අදාළ ප්‍රදේශවල සිටි බොහෝමයක් අහිංසක ජනතාව ඝාතනයට ලක් වූ බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී හඳුනා ගත හැක. මෙයට හොම උදාහරණ ලෙස ඉන්දියාවේ ආර්යාගමනය හා ලංකාවේ විජයාගමනය හැඳින්විය හැක. සමහර විද්වතුන්ගේ මතයට අනුව ඉන්දියාවේ පැවති ක්‍රි.පූ. 2150-1750ත් අතර කාලයේ පැවතිණි යැයි පැවසෙන ඉතා දියුණු ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විනාශ කොට ඇත්තේ ද ආර්යයන් ය. එම මතය නිවැරදි නම් එය සිදු වී ඇත්තේ ද ඉතා අමානුෂික ආකාරයෙනි. තවද විජය ඇතුළු පිරිස (එම පිරිස ඉන්දියාවට පැමිණි ආර්යයන්ගෙන් ජනාවාස වූ ජනතාවගෙන් පැවතෙන පිරිසක් ලෙස විශ්වාස කෙරේ) ලංකාවට පැමිණ ලංකාවේ බලය අල්ලාගෙන ඇත්තේ ස්වදේශික යක්‍ෂ ගෝත්‍රිකයන් ඝාතනය කිරීමෙන් බව ලංකා ඉතිහාස ගත මූලාශ්‍රවලින් කියවේ. මේ අනුව පෙනී යන එක් කාරණයක් වන්නේ ආර්යයන් යන පිරිස ඉතාමත් ම ප්‍රචණ්ඩ ජනතාවක් වූ බවයි. කෙසේ වෙතත් එලෙස ආර්යයන් ප්‍රචණ්ඩ වීමට ද හේතුවූ කාරණා කීපයක් හඳුනාගත හැක. ඉන් ප්‍රධානතම හේතුව වන්නට ඇත්තේ ආර්යයන් එඩේරුන් වීමයි. මන්ද යත් එඩේර ජනතාවට තම සත්වයන් ආරක්ෂා කර ගැනීමේදී විවිධ වූ ස්වාභාවික මෙන්ම ස්වාභාවික නොවන ආපදාවලට මුහුණ දීමට සිදුවීමත් එලෙස කටයුතු කිරීමේදී රෞද්‍ර වීම ස්වාභාවික වීමත් ය. මන්ද යත් ඔවුන් නිතරම තම සත්ව රංචුව ආරක්ෂා කර ගැනීමේදී විලෝපියන්, සොර සතුරන් මෙන්ම ස්වාභාවික ව ඇතිවන්නා වූ ගංවතුර හා නියඟයන් ආදී ඉතාමත් කර්කෂ පරිසරයන්ට මුහුණ දීමට සිදුවීමයි. තවද නිතර නිතර තම සතුන් දක්කාගෙන විවිධ ප්‍රදේශවලට සංචාරය කිරීම හේතුවෙන් ඔවුන්ට ඕනෑම පරිසරයකට ඉතා ඉක්මනින් ම අනුගත වීමේ හැකියාවක් ද පවතී.
වර්තමානය වන විට ආර්ය වචනය හා ආර්ය සංකල්පය ප්‍රතික්ෂේප වීමට බලපා ඇති තවත් ප්‍රබල මතයක් වන්නේ ආර්යයන් ලෙස හැදින්විය හැකි නිශ්චිත ජනකොට්ටාශයක් නොවීමයි. එනම් අපි අතීතයේ දී හැඳින්වූ ආර්යයන් විවිධ වූ ජනවර්ගවලින් සමන්විත ව පැවති බව පසුකාලීන ව සිදු කරන ලද පරීක්ෂණ මගින් තහවුරු වීමයි. මෙය සනාථ කරමින් පෙන්කා නැමති විද්වතා ප්‍රකාශ කර ඇත්තේ ආර්ය භාෂාවන් කතා කරන පිරිස් ආර්ය වර්ගයට අයත් වූ බවයි. එනම් ආර්යයන් යනු එක් භාෂාවක් කතා කළ විවිධ ජනවර්ගවලින් සැදුම් ලත් ජනතාවක් වූ බවයි. කෙසේ වෙතත් ආර්ය වචනය සම්බන්ධයෙන් කෙතරම් විවේචන පැවතුනත් වර්තමානයේ දී ද එය ඉතිහාසය තුළ භාවිතා වන ආකාරයක් දැකිය හැක. එයට හේතුව වන්නට ඇත්තේ ආර්ය වචනයෙන් අර්ථ ගන්වන්නා වූ අදහසට සමාන තේරුම් දෙන වෙනත් වචනයක් සොයා ගැනීමට ඇති අපහසුතාව විය හැක. කෙසේ වෙතත් පසු කාලීන ව තම දෘඪ අපේක්ෂා සාක්‍ෂාත් කර ගැනීමේ අරමුණින් ආර්ය යන වචනයට විවිධ අර්ථකථන සැපයීමට ලොව විවිධ රටවල දේශපාලනඥයන් මෙන්ම විද්වතුන් යැයි කියා ගන්නා අවස්ථාවාදී පිරිස් සිටිය ද නිවැරදි අර්ථයෙන් සලකන්නේ නම් එහි ඇති වරදක් දැකිය නොහැක. මන්ද යත් ආර්ය වචනයට සමාන වෙනත් වචනයක් නොමැති වීමත් එය භාවිතා නොකොට ඉතිහාසය ගොඩ නැගීමට ඉතිහාසඥයන් තවමත් අසමත් වීමයි.
විශේෂයෙන්ම ම ඉන්දීය ඉතිහාසය ගොඩ නැගීමේදී ආර්යාගමනය යන්ට දිය හැකි වෙනත් වචනයක් සොයා ගත නොහැක. ඒ අනුව වර්තමාන ඉන්දීය සභ්‍යත්වයේ වර්ධනය ආර්යාගමනයත් සමඟ සිදු වූ බව බොහෝ ඉතිහාසඥයන්ට පිළිගැනීමට සිදු ව තිබෙන ඉතා අමිහිරි මතයක් වී තිබේ. ඒ හේතුවෙන් ම ‍රොමිලා තාපර්, ඒ. එල්. බාෂාම් ආදී ඉන්දීය ඉතිහාසඥයන් ආර්යාගමනය යන වචනය යොදා ගනිමින් එහි සංකල්පය හා අර්ථය ගැන විවිධ අදහස් කර ඇත. මෙම පැවරුම මඟින් අවධානය යොමු කොට අත්තේ ද එලෙසින් ආර්යාගමනය පිළිබඳ ප්‍රකට ඉතිහාසඥයන් පළ කර ඇති මත සංසන්දනාත්මක හා විචාරාත්මක ව විමසීමයි.
  1. ආර්යයන්ගේ සම්භවය.

ආර්ය යන වචනයේ අර්ථය උතුම් හෝ ශ්‍රේෂ්ඨ යන්නයි. මෙහි දී මෙම ආර්ය යන්නෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දු යුරෝපීය භාෂාවන් කතා කරන යුරෝපීය හා ආසියාතික ජනතාවන් ය. මෙම ජනතාවට ආර්යයන් යැයි හැඳින්වීම සම්බන්ධයෙන් ද විවිධ මතවාද උගතුන් අතර ඇත. ග්‍රීස්වෝල්ඩ් නම් විද්වතාගේ මතය වී ඇත්තේ  ඓතිහාසික සාධකවලට අනුව ආර්ය යන නම තමන් හඳුන්වා ගැනීමට මුලින් ම භාවිතා කොට ඇත්තේ ක්‍රි.පූ. දෙවන සහස්‍රකයේ දී පමණ ඉන්දියාවට පැමිණි ජන කොටස් ය. එබැවින් ඔවුන්ට පමණක් ආර්ය යන නම ව්‍යවහාර කිරීම සුදුසු බවයි. වෛදික සාහිත්‍යයට අනුව ආර්ය ජන කොටස් වශයෙන් හඳුන්වා ඇත්තේ වේදය ශුද්ධ වූ ග්‍රන්ථය ලෙසින් පිළිගන්නාවූත්, ඉන්ද්‍ර ප්‍රමුඛ දෙවියන් අදහන්නාවූත් පිරිසට වන බවයි. තවද ඔවුන් සංස්කෘත භාෂාව කතා කරන පිරිසක් වශයෙන් ද හඳුන්වා ඇත. කෙසේ වෙතත් ආර්යයන් පිළිබ ඉදිරිපත් ව ඇති විද්වත් මත කීපයක් පහත ආකාරයෙන් දැක්විය හැක.
  • ආර්ය යන පදය ඉන්දු-අයිරේනියානු ජන වර්ගයට පමණක් සීමා විය යුතු බව ‍ජේම්ස් ග්‍රිස්වෝල්ඩ්ගේ මතයයි.
  • ආර්ය යන නාමය මනුෂ්‍ය වර්ගයක් නොව භාෂාවක් හැඳින්වීමට භාවිතා කරන ලද පදයක් පමණක් වන බව මැක්ස් මුලර් මහතාගේ මතය වේ.
  • රෝයි පෙන්නාර් මහතා පෙන්වා දෙන්නේ “කිසියම් භාෂාවක් කතා කරන අය අතරේ සමීප සබැඳියාවක් දක්නට ලැබෙන නිසා ප්‍රධාන වශයෙන් ආර්ය භාෂාවන් කතා කරන සියලු මනුෂ්‍යයන් ආර්යයන් සේ හැඳින්විය යුතු බවයි.
  • ඉන්දු-යුරෝපීය භාෂාවන්ගේ මූල භාෂාවල, මාතෘ භාෂාව කතා කළ ආදිතම ජනතාව ආර්යයන් ලෙස හැඳින්විය යුතු බව ගෝඩ්න් චයිල්ඩ් මහතාගේ විශ්වාසයයි.
කෙසේ වෙතත් වර්තමානය වන විට පොදුවේ පිළිගන්නා මතය වන්නේ ආර්ය යන නමින් පොදුවේ හැඳින්වුණ භාෂාවක් කතා කළ ආදි ජනතාව විවිධ ගෝත්‍රවලට අයත් වූ බවයි. එහෙත් ඒ හැම යම් යම් ස්ථානීය වෙනස් කම් ඇති ව භාවිත කලේ එක ම පොදු මූල භාෂාවකි. එවැන්නක්  කතා කිරීම නිසාත්, එක ම පොදු ශිෂ්ටාචාරයක් ඇති ව සිටි නිසාත් ඔවුන් එක්සත් වී ආර්ය යන නාමයෙන් එක ම ජාතියක් සේ සංවිධානය වන්නට ඇති බවයි.
කෙසේ වෙතත් අතීතයේ දී පැවති විශ්වාසය වූවේ ආර්යයන්ගේ මුල් නිජභූමිය ඉන්දියාව වන බවයි. මෙම මතය සනාථ කිරීමට ඩී. ඇස්. ත්‍රිවෙද මහතා වැනි ඉන්දීය සංස්කෘතික පඬිවරුන් විශාල උත්සහයක් දරන ලදමුත් 1920 දශකයේ දී මොහෙන්දජාරෝ හා හරප්පා ප්‍රදේශවල කරන ලද කැණීම්වලින් පෙනී ගියේ ආර්යයන් ලෙස හඳුන්වන ජනතාව ඉන්දියාවට පැමිණීමට ප්‍රථම ඊට වඩා දියුණු සභ්‍යයත්වයකට හිමිකම් කී ජන කොට්ඨාශයක් ඉන්දියාවේ විසූ බවයි. ඒ අනුව ආර්යයන්ගේ මුල් නිජභූමිය ඉන්දියාව නොවන බව තහවුරු විය. එසේ නම් ආර්යයන් ඉන්දියාවට පැමිණියේ කුමන ප්‍රදේශයේ සිට ද යන්න ඉතිහාසඥයන්ට නැගුණු අනෙක් ගැටලුව විය.
මේ සම්බන්ධයෙන් පළමු වරට මතයක් ඉදිරිපත් කළ පුද්ගලයෙකු ලෙස මැක්ස් මුලර් මහතා දැක්විය හැක. ඔහු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අදාළ කැණීම් කටයුතු කළ ප්‍රමුඛ පුරාවිද්‍යාඥයෙකු හා ඉතිහාසඥයෙකු ද විය. එම අත්දැකීම් ආශ්‍රයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ “පාමීර් උස්තැන්න හා ඒ අවට ප්‍රදේශය ආර්යයන්ගේ නිජබිම් විය හැකි බවයි.” කෙසේ වෙතත් බොහෝමයක් බටහිර ඉතිහාසඥයන්ගේ මතය මීට හාත්පසින් ම වෙනස් වන අතර සමස්තයක් ලෙස ඔවුන්ගේ අදහස වන්නේ ආර්යයන් යුරෝපයේ කිසියම් තැනක සිට සංක්‍රමණය ආරම්භ කරන ලද බවයි. නමුත් ඒ කුමන ස්ථානයක සිට දැයි පොදු මතයක් ඉදිරිපත් කිරීමට ඉතිහාසඥයන් අපොහොසත් වී ඇත.
ඒ අනුව ආර්යයන්ගේ මුල් භූමිය දකුණු රුසියාවේ කළු මුහුදේ උතුරු වෙරළබඩ ආශ්‍රිත ප්‍රදේශයක් විය හැකි බව මහාචාර්ය ෂ්‍රාඩර් (Schrader) මහතාගේ මතය විය. තවත් ප්‍රකට ඉතිහාසඥයෙකු වූ එඩ්වඩ් ජයිල්ස් නම් විද්වතා කැප්පඩෝසියාවේ සෙල්ලිපියක් උපයෝගී කර ගිනිමින් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රො-හංගේරියාවේ ආර්යයන්ගේ නිජභූමිය පිහිටා තිබූ බවයි. එතැන් සිට සුළු ආසියාව හරහා ඉරානයට ළඟා වූ ආර්යයන් පසුව ඇෆ්ගනිස්ථානයේ ඛයිබර් දුර්ගය හරහා ඉන්දියාවට ළඟා වූ බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි. දෙවන ලෝක යුද්ධ සමයේ දී නාසිවාදීන් විසින් ඉස්මතු කළ ආර්ය සංකල්පයත් සමඟ ලුඩ්විග් කොසෑන් ආදී ජර්මන් විද්වතුන්ගේ තර්කය වූවේ ජර්මනිය ආශ්‍රිත ප්‍රදේශ ආර්යයන්ගේ මුල් භූමි වූ බවයි. එම මතයට ම සමාන අදහසක් ඉදිරිපත් කරන ජර්මන් ජාතික මහාචාර්ය ගෛගර් මහතා‍ ප්‍රකාශ කරන්නේ ආර්යයන්ගේ මුල් බිම් මධ්‍යම හා බටහිර ජර්මනියේ පිහිටා තිබූ බවයි. ඉන්දු-යුරෝපීය භාෂාවේ උපත ස්කැන්ඩිනේවියාවේ සිදු වී ඇති බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යලයේ කථිකාචාර්යවරයෙකු වූ ස්කැන්ඩිනේවියන් ජාතික ආචාර්ය ලැතම් (Dr. Latham) මහතාගේ මතය වී ඇත. ඉතා මෑත කාලීන ව යුප්‍රටීස් හා ටයිග්‍රීස් දෙගම්මැදියේ සිදු කරන ලද පුරාවිද්‍යා ගවේෂණවලින් පෙනී ගිය ආකාරයට හිටයිට් ලේඛනවල ඇති නම් ඇතැම් වෛදික දෙවිවරුන්ගේ නම්වලට සමාන වේ. ඒ හේතුවෙන් තවත් පිරිසකගේ මතය වී ඇත්තේ මෙසපොතේමියාව ආර්යයන්ගේ මුල් බිම් වූ බවයි.
කෙසේ වෙතත් වැඩි දෙනෙකුගේ විශ්වාසය වී ඇත්තේ යූරල්/ඌරල් (Ural) කඳුවැටියට දකුණින් පිහිටා ඇති කිර්ඝීස් තණබිම් (Kirgiz) ආශ්‍රිත ප්‍රදේශය ආර්යයන්ගේ නිජභූමිය වන්නට ඇති බවයි. මෙම මතය සනාථ කරමින් 1947 බොම්බායේ පැවති ඉන්දියානු ඓතිහාසික සංගමයේ රැස්වීමක දී ආර්. එන්. දණ්ඩෙක්කාර් නම් ඉන්දීය ඉතිහාසඥයා ප්‍රකාශ කර සිටියේ “ආර්යයන්ගේ මුල් භූමිය යූරල් කඳුවැටියත් කැස්පියන් මුහුදට වයඹ දෙසින් පැවති අල්තායි (Altai) අතර ප්‍රදේශයේ පිහිටා තිබෙන්නට ඇති බවයි.” ආර්යයන්ගේ ප්‍රභවය හා ඉන්දියාවට පැමිණි ගමන් මඟ සම්බන්ධයෙන් ඇති තවත් ප්‍රචලිත මතයක් වන්නේ මධ්‍යම ආසියාවේ නැතහොත් දකුණු රුසියාවේ ස්ටෙප්ස් තණ බිම් ආශ්‍රිතව ගොඩ නැගුණු එඩේර ගෝත්‍රයක් ජනගහනයෙන් විශාලවත් ම එහි ප්‍රතිඵලයක් ලෙස ඉන් කොටසක් පර්සියාව හරහා යුරෝපයටත් තවත් කොටසක් ඉරානය පසු කරමින් ඇෆ්ගනිස්ථානයේ දුර්ග මාර්ග පසු කරමින් ඉන්දියාවටත් පැමිණි බවයි. මෙහි දී අප වැඩි අවධානයක් යොමු කරනු ලබන්නා වූ මතය වන්නේ දිල්ලි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් වන ප්‍රකට ඉන්දීය ඉතිහාසඥවරියක් ද වන රොමිලා තාපර් මහත්මියගේ මතය වෙත ය. ඇය තම History of India නම් කෘතියෙන් පෙන්වා දෙන්නේ ඉන්දු යුරෝපීය සම්භවයක් ඇති ආර්ය ජනයා කැස්පියන් මුහුද අවට ප්‍රදේශයෙන් හා රුසියානු ස්ටෙප්ස් තැනිතලා යන ප්‍රදේශවලින් පැමිණෙන්නට ඇති බවයි.
  1. ආර්යයන් සංක්‍රමණය වීමට හේතුව.

ආර්යයන්ගේ සම්භවය සම්බන්ධයෙන් පවතින එකිනෙකට පරස්පර විරෝධී මත කෙසේ වෙතත් ඔවුන් තම මුල් භූමිවල සිට සංක්‍රමණය වූවේ ඇයි ද ? යන්න පිළිබඳ ව පිළිගත හැකි මෙන් ම ඉතා තර්කානුකූල පොදු මතවාදයන් කීපයක් ඉදිරිපත් ව ඇත. ඒ අනුව ආර්ය සංක්‍රමණයේ ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ජනගහණ වර්ධනය විය හැකි බව බොහෝ ඉතිහාසඥයන්ගේ මතයයි. ඒ අනුව උපකල්පනය කරන්නේ ජනගහණය වර්ධනය වීම මත ජනතා අවශ්‍යතා ද වර්ධනය වී ඇති අතර ඒවා සපුරා ගැනීමට උත්සහ කිරීමේ දී ආර්ය ජනතාව අතර නොයෙක් අසමඟිකම් ඇති වී ජන කණ්ඩායම් අතර ගැටුම් වර්ධනය වන්නට ඇති බවයි. ආර්ථික විද්‍යාවට අනුව නම් මෙය අසීමිත මනුෂ්‍ය අවශ්‍යතා සීමිත සම්පත් මාර්ගයෙන් සපුරා ගැනීමට උත්සහ කිරීමයි. ලෝක ඉතිහාසයේ එදා මෙදා තුර ඇති බොහෝමයක් ගැටීම් ඇති වී ඇත්තේ මෙම කරුණ මුල් කොට ගෙන වීම හේතුවෙන් එය ආර්යයන්ට ද පොදු වූ අර්බුදයක් වන්නට ඇති බව විශ්වාස කළ හැක.
කෙසේ වෙතත් ග්‍රීස් වෝල්ට් නම් ඉතිහාසඥයාගේ මතය වී ඇත්තේ ආර්යයන්ගේ මුල් බිම් වූ කිර්ඝීස් තෘණ බිම්වල ආදිතම ආර්ය ජනයා පදිංචිව සිටින්නට ඇත්තේ ක්‍රි.පූ. 3000දී පමණ බවයි. තව ද මෙලෙස ඇති වූ අර්බුද හමුවේ මෙම ජනතාව විවිධ කණ්ඩායම් ලෙස වෙන් වී ගෝත්‍රික නායකයකුගේ හෝ කිහිපදෙනෙකුගේ මෙහෙය වීම යටතේ විවිධ දිශාවලට‍ සංක්‍රමණය වන්නට ඇති බවයි. බොහෝ විට මේ සඳහා හේතු වන්නට ඇතැයි උපකල්පනය කළ හැකි කරුණු කීපයක් පහතින් දැක්වේ. එනම්;
  1. එම ප්‍රදේශවලින් තම අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ආහාරපාන උත්පාදනය කර ගැනීමට නොහැකි වීම.
  2. දරුණු නියඟ වැනි ස්වාභාවික උපද්‍රව ඇති වීම.
  3. ඒ හේතුවෙන් ම ගොවිතැන් පාළු වීම.
  4. යුද්ධවලින් පරාජය වීම.
වැනි කරුණු කාරණා ආර්ය සංක්‍රමණයට හේතු වන්නට ඇතැයි උපකල්පනය කෙරේ. ඉතිහාසයේ ඉතා ප්‍රකට පිරිසක් වන ක්‍රි.පූ. 2800-2600ත් අතර කාලයේ වෙන් වී ගිය හිටයිට්වරු හා ප්‍රකට නොවන නමුත් ලුවියන්වරු ලෙස හඳුන්වන පිරිස ද මුල් ආර්ය පිරිසෙන් වෙන් වී ගිය තවත් එවැනි ම ජනතාවක් වන බව විද්වතුන්ගේ මතය යි. ඒ අනුව කණ්ඩායම් දෙක නිරිත දිශාවට සංක්‍රමණය වී ඇත. එතැනින් කැස්පියන් මුහුදේ උතුරු වෙරළ දිගේ සහ කොකේසස් කඳුවැටිය හරහා සංක්‍රමණය වෙමින් සුළු ආසියාවේ ජනාවාස පිහිටුවා ගන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ උපකල්පනය වේ. දැනට හමු වී ඇති සාධක මත විශ්වාස කරනු ලබන්නේ ක්‍රි.පූ. 2000දී පමණ මුල් ආර්ය පවුලෙන් කැඩී වෙන් වූ ප්‍රධාන කණ්ඩායම ගිනිකොන දෙසට සංක්‍රමණය වී බාල්ක් (Balk) හෙවත් (Bactria) ප්‍රදේශය වන හින්දුකූෂ් කඳු පාමුල  සිට කැස්පියන් මුහුද ඇති භූමි ප්‍රදේශයේ සැලකිය යුතු කාලයක් පදිංචි ව සිටින්නට ඇති බවයි. පසුව එම කණ්ඩායමෙන් ද වෙන් වූ පිරිස් නැවතත් කණ්ඩායම් ලෙස තව තවත් නිරිත දිසාවට සංක්‍රමණය වෙන්ට ඇති අතර නිරිත දිග ආසියාවේ පදිංචි ව සිටි කැසයට්වරු ක්‍රි.පූ. 18 වන සියවසටත් ප්‍රථම වෙන් වී ගියා යැයි සැලකෙන ආර්ය ජන කණ්ඩායමක් වූ බව විශ්වාස කෙරේ. මෙලෙස සංක්‍රමණය වන ආර්ය ජනයා ස්වදේශිකයන් සමඟ මිශ්‍ර වූ බව ද පසුකාලීන ව කරන ලද පරීක්ෂණ මඟින් අනාවරණය කර ගෙන ඇත. තවද යුරෝපා මහද්වීපයේ ඓතිහාසික යුගයට පෙර සිට ම ආර්ය කණ්ඩායම් එම ප්‍රදේශවලට සංක්‍රමණය වූ බවට සාධක ඇත. යුරෝපයේ සම්භාව්‍ය ශිෂ්ටාචාරය වන ග්‍රීක ශිෂ්ටාචාරයේ ආදිතමයන් එලෙස ක්‍රි.පූ. 2200දී පමණ සංක්‍රමණය වූ ආර්යයන් බව විශ්වාස කෙරේ. ඊට පසු එම ප්‍රදේශවල ව්‍යාප්ත වූ රෝම ජනයා ද මුල් ආර්ය කණ්ඩායමෙන් වෙන් වී පසු කාලීන ව යුරෝපයට සංක්‍රමණය ආර්ය කණ්ඩායමක් බවට මතයක් ඇත.
කෙසේ වෙතත් ඉහත කරුණු අධ්‍යනයේ දී ඉතිහාසඥයන්ට පෙනී ගිය කාරණයක් වූවේ මෙලෙස සංක්‍රමණය වූ ආර්ය ජන කණ්ඩායම් අතර ද පසුකාලීන ව විවිධ භේද වර්ධනය වී ඇති බවයි. විශේෂයෙන් ම ආගම් භේදය මේ අතර ප්‍රමුඛ වී ඇති බව පෙනී යයි. විශේෂයෙන්ම වරුණ හා ඉන්ද්‍ර යන දෙවිවරුන් අදහන දෙපක්ෂය අතර ක්‍රමයෙන් අර්බුද වර්ධනය වන්නට ඇති බව උපකල්පනය කළ හැක. පසු ව වරුණ දෙවියා ඇදහූ ආර්ය ගෝත්‍රිකයන්, ඉන්ද්‍ර දෙවියා ඇදහූ ආර්යයන්ගෙන් වෙන් වී බාල්ක් ප්‍රදේශයෙන් දකුණට සංක්‍රමණය වී ඇති බව විශ්වාස කෙරේ. මෙසේ සංක්‍රමණය වූ වරුණ දෙවියා ඇදහූ ආර්යයන් ඉරානයට උතුරින් වූ ප්‍රදේශයේ ද පසුව තවත් දකුණට සංක්‍රමණය වෙමින් සමස්ත ඉරානයේ ද ව්‍යාප්ත ව ඇත. අයිරේනියානු ජාතිකයන් ලෙස පසුකාලීන ව හඳුන්වන ලද මෙම පිරිස ජනගහනයේ වර්ධනයත් සමඟ මෙසපොතේමියානු ප්‍රදේශ හෙවත් වර්තමාන ඉරාකය දක්වා ම ව්‍යාප්ත වී ඇති බව අධ්‍යයනය කළ හැක.
මෙසේ වරුණ දෙවියා ඇදහූ ආර්ය ගෝත්‍රය බාල්ක් ප්‍රදේශයෙන් දකුණට ගමන් කළ අතර ඉන්ද්‍ර දෙවියා ඇදහූ පිරිස් ක්‍රමයෙන් බාල්ක් ප්‍රදේශයෙන් නැගෙනහිර දෙසට සංක්‍රමණය විය. මෙලෙස ඔවුන් ක්‍රමයෙන් ඉන්දියාව ආශ්‍රිත ප්‍රදේශ කරා ක්‍රමයෙන් සංක්‍රමණය වූ නමුත් එම සංක්‍රමණය ඉතාමත් ම මන්දගාමී ස්වරූපයක් ගත් බව පෙනේ. මෙම ප්‍රදේශවල පරිසරය ද තමන් පෙර සිටි බාල්ක් ප්‍රදේශයේ පරිසරයට සමාන වීම හේතුවෙන් ඉතා ඉක්මනින් ම නව ප්‍රදේශවලට අනුගත වීමට ආර්යයන්ට හැකි වීම මත ඉතා දීර්ඝ කාලයක් එක ම ප්‍රදේශවල පදිංචි වී සිටීම හේතුවෙනුත් මෙලෙස ඉන්ද්‍ර දෙවිඳු ඇදහූ කණ්ඩායමේ සංක්‍රමණික වේගය අඩු වන්නට ඇතැයි උපකල්පනය කළ හැක. කෙසේ වෙතත් ආර්යයන්ගේ භාරතීය සංක්‍රමණය ගැන නව මතයක් ඉදිරිපත් කළ පුද්ගලයෙකු වූවේ විලියම් ජෝන් ය. පසුව මැක්ස් මුලර් එය ප්‍රවාදයක් බවට පත් කරන ලදි. ඒ අනුව ක්‍රි.පූ. 1500 දී පමණ ආර්යයෝ උතුරු ඉරාන සානුව පසු කරමින් හින්දුකූෂ් දුර්ග මාර්ගය ඔස්සේ වත්මන් වයඹ, උතුරු ඉන්දීය ප්‍රදේශවලට සංක්‍රමණය වූහ යන්නයි. “ආර්ය පිවිසුම්වාදය” (Aryan Invasion Theory) යනුවෙන් හැඳින්වෙන මෙම ප්‍රවාදය නිර්මාණය වීමට බලපා ඇත්තේ සංස්කෘත, ග්‍රීක හා ලතින් භාෂා අතර දක්නට ලැබෙන සමානකම් ය. මේ භාෂා ද අයත් පොදු භාෂා කුලකය ඉන්දු යුරෝපීය භාෂා යනුවෙන් හැඳින්වේ.
  1. ආර්යයන්ගේ ඉන්දීය සම්ප්‍රාප්තිය

මුල් ම ආර්ය මනුෂ්‍යයන් හඳුන්වන ලද්දේ. “වී‍රෝස්” (Wiros) යන නමිනි. සංස්කෘත, සිංහල ආදී ඉන්දු-ආර්ය භාෂාවල “වීර” යන වචනයත්, ලතින් භාෂාවේ “උඊර්” (Uir) යන වචනයත්, ජර්මන් භාෂාවේ “වෙර්” (Wer), පැරණි අයර්ලන්ත භාෂාවේ “ෆෙර්” (Fer) යන වචනත් සම්භවය වී ඇත්තේ ඉහතින් දක්වන ලද “වීරොස්” යන වචනයෙන් බව වාග්විද්‍යාඥයන්ගේ මතයයි. ඉහත පරිච්ඡේදවල දී දැක්වූ ආකාරයට පළමුවෙන්ම ආර්යයන් ඉන්දියාවට පැමිණ ඇත්තේ ක්‍රි.පූ.1500දී පමණ වන බව ඉතිහාසඥයන්ගේ හා සමාජ විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. නමුත් එම ක්‍රියාවලිය ක්‍ෂණිකව සිදු වූවක් නොව ඉතා සෙමින් නමුත් ක්‍රමානුකූල ව සිදු ව ඇත. ආර්යයන් ඉන්දියාවට ඇතුළු වී ඇත්තේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හා ඒ අවට ප්‍රදේශවල ස්ථිර ලෙස ම ජනපද පිහිටුවා ගැනීමෙන් අනතුරුව ය. එම ප්‍රදේශවල දී ද සිදු වූ ජනගහණ වර්ධනය ආදී ස්වාභාවික හේතූන් මත පරම්පරාවෙන් පරම්පරාවට ජනපද විශාල කිරීමේ මුහුණුවරින් ඉන්දියාව මධ්‍යයට ආර්යයන් සංක්‍රමණය වූ බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇත. කෙසේ වෙතත් එම ප්‍රදේශවල සිට නැගෙනහිරට  සංක්‍රමණය වූ ඉන්ද්‍ර‍ දෙවියන් ඇදහූ කණ්ඩායම නැගෙනහිර දෙසට සංක්‍රමණය වී ක්‍රි.පූ. 1900 දී පමණ ඉන්දියාවට ඇතුළු වී ඇත.
මෙලෙස ඉන්දියාවට ඇතුළු වූ ආර්යයන් ඉන්ඩ්වරුන් (Inidids) සේ ඉතිහාසඥ ග්‍රෙහර් වොන් අයික්ස්ටඩ් විසින් හඳුන්වා දී ඇත. ආර්ය ජනයා මුලින් ම පදිංචි වූ වයඹ දිග ඉන්දියාවේ කොටස් දෙස බලා ඔවුන් ආක්‍රමණිකයන් හා සංක්‍රමණිකයන් වශයෙන් වයඹ දිග කපොලු ඔස්සේ ඉන්දියාව තුළට පිවිසෙන්නට ඇති බව විශ්වාස කෙරේ. ඉන්දියාව පැමිණි ආර්යයන් පිළිබ අධ්‍යයනය සහාත් ඔවුන් පිළිබ තොරතුරු සොයා ගැනීම පිණිසත් මූලාශ්‍ර වශයෙන් පවතින්නේ එම අවිධියට අයත් වේද ග්‍රන්ථයි. මුල් ඉන්දු-ආර්යයන් අතර සිටි බ්‍රාහ්මණ පූජකවරු ක්‍රි.පූ. 1000 දී පමණ වන තුරු ආගමික කටයුතු සඳහා භාවිතා කරන ලද සාහිත්‍ය භාෂාව හඳුන්වනු ලබන්නේ “වෛදික” හෙවත් “ඡාන්දස” නමිනි. වෛදික සාහිත්‍යයට අනුව ආර්යයන් මුලින් පදිංචි වී ඇති ප්‍රදේශ ලෙස ඉන්දු නදි ප්‍රදේශය දැක්විය හැක.  ඍග්වේද ග්‍රන්ථවල හා “නදිස්තුති” යනුවෙන් හැදින්වෙන ස්ත්‍රෝත්‍ර ගීතිකාවල ගංගා 25ක් පමණ ගැන සඳහන් ව ඇති අතර ඒවා ආර්යයන් ඉන්දියාවට පැමිණ පදිංචි වූ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ගංගා වන කුහා (කාබුල්), සුවස්තු (ස්වත්- එනම් කාබුල් නදියේම ශාකාවක්), කෘමු (කුරම්), ගෝමතී (ගෝමත්) හා පංජාබ් ප්‍රදේශයේ වූ ගංගා ලෙස සඳහන් ව ඇති සුතුද්‍රී (සත්ලේජ්), විපස් (බියස්), පුරුෂ්නි (රවි), අසික්නි (චේනාබ්), විතස්තා (ජේලම්) පිළිබඳ සඳහන් ව ඇති  බැවිනුත් ඔවුන් මුලින් ම පදිංචි වූ ප්‍රදේශ ඒවා විය හැකි බව විශ්වාස කළ හැක. විශේෂයෙන් ම මෙම මතය අනුමත කරන පුද්ගලයෙකු ලෙස මැක්ස් මුලර් හැඳින්විය හැක. නමුත් හොප්කින්ස් හා කීත් වැනි විද්වතුන්ගේ මතය වී ඇත්තේ අම්බාලා දිස්ත්‍රික්කයට දකුණින් ඇති සරස්වතී නදී ප්‍රදේශයේ ආර්යයන් පදිංචි වූ බවයි.
ක්‍රි.පූ. 2000ට ආසන්න සමයේ දී ප්‍රථම වරට ආර්යයන් ඉන්දියාවට ඇතුළු වීමේ දී එම ප්‍රදේශවල සිටි දේශීය ජනතාව ඊට විරුද්ධ වන්නට ඇතැයි උපකල්පනය කළ හැක. එහි ප්‍රතිඵලය වූවේ සංග්‍රාම රාශියක් ඇති වීමයි. මුල් ම ආර්ය කණ්ඩායම් සහ දස්‍යු නැමති දේශීය ජනතාව අතර ඇති වූ යුද්ධ රාශියක් පිළිබඳ ව ඍග්වේදයේ සඳහන් වේ. සප්ත-සින්දු ප්‍රදේශයේ සිය ජනාවාස පිහිටුවා ගැනීමට පෙර ආර්යයන් විසින් දස්‍යුන්ට අයිති ව පැවති නගර සහ බළකොටු විශාල සංඛ්‍යාවක් විනාශ කළ බව ද මෙහි දැක්වේ. දේශීය ජනතාව සමඟ සිදු වූ අඛණ්ඩ යුද මාලාව හේතුවෙන් සප්ත-සින්දු ප්‍රදේශයේ ආර්ය ජනාවාස ව්‍යාප්තිය ඉතාමත් ම සෙමින් සිදු වී ඇත. නමුත් පරාජයට පත් වූ දේශීය ජනතාව ආර්ය ජනතාව සමඟ මිශ්‍ර වී ඇති අතර ඉන් පසු උතුරු ඉන්දීය ප්‍රදේශවල ආර්ය ව්‍යාප්තිය ඉතා වේගවත් විය. මුල් ම ආර්යයන්ගේ තොරතුරු අන්තර්ගත වන ඍග්වේදය රචනා වී ඇත්තේ ඔවුන් පසු කලක පදිංචි වූ පන්ජාබයේ දී නොව අම්බාලා දිස්ත්‍රික්කයේ “බ්‍රහ්මාවර්තය” යනුවෙන් හඳුන්වන ලද සරස්වතී නම් ප්‍රදේශයේ දී ය. කෙසේ වෙතත් ඇතැම් විද්වතුන්ගේ මතය අනුව ආර්යයන් විසින් මෙලෙස දස්‍යුන් ලෙස හඳුන්වමින් සටන් කර ඇත්තේ හරප්පා ශිෂ්ටාචාරයේ ජනතාව සමඟ වන බවයි. එම මතයට අනුව ආර්ය ජනයා එහි විසූ ජනතාවගෙන් කොටසක් මරා දමා කොටසක් යටත් කර ගෙන ඇති බව විශ්වාස කෙරේ. ආර්යයන්ගේ වේද ගීතවල මෙම ස්වදේශික ඉන්දියානු ජනතාව ඉතා අවඥා සහගත ව හඳුන්වා ඇත්තේ මිටි, කළු පැහැති, මොට නාසා ඇති විරූපී දස්‍යුන් (වහලුන්) ලෙසිනි.
ඒ අනුව මෙහි දී විමසා බැලිය යුතු කාරණයක් වන්නේ ආර්යයන් විසින් හරප්පා ශිෂ්ටාචාරය විනාශ කරන්නට ඇතැයි ද යන්නයි. හරප්පා ශිෂ්ටාචාරය ආක්‍රමණය කර විනාශ කළේ කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් නිවැරදිව නිශ්චය කොට ගෙන නොමැත. හරප්පා ශිෂ්ටාචාරයට විශාල ලෙස සංක්‍රමණය වූ ජුකාර් හා ජන්ඝාර් නම් ආර්ය ජනතාව මේ විනාශයේ පුරෝගාමීන් යයි ස්ටුවර්ට් පිගොට් හා මෝටිමර් වීලර් යන විද්වතුන්ගේ මතයයි. නමුත් එම මතය ප්‍රතික්ෂේප කරන එච්. ඩී. සන්ඛාලියා ප්‍රධාන ඉන්දීය විද්වතුන්ගේ මතය වී ඇත්තේ ජුකාර් හා ජන්ඝාර් යනු ආක්‍රමණික ආර්ය ජනතාවක් නොව, ආර්ය ආක්‍රමණවලට බියෙන් ඉන්දු නිම්නයට පලා ආ බලුකිස්ථානු ගැමි ජනතාවක් වන බවයි.
කෙසේ වෙතත් බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත්තේ හරප්පා ශිෂ්ටාචාරය විනාශ කරනු ලැබුවේ ක්‍රි.පූ. 1500 දී පමණ වයඹ දිග කපොලු ඔස්සේ ඉන්දියාවට ඇතුළු වූ ආර්යයන් වන බවයි. ඉහතින් දක්වන ලද ආකාරයට ඍග්වේදයේ දස්‍යුන්ගේ හා හරප්පා ශිෂ්ටාචාරය ගැන මෙතෙක් අණාවරණය වී ඇති කරුණු බොහෝ දුරට ගැළපෙන බව එම විද්වතුන්ගේ මතයයි. ස්වදේශික ජනතාවගේ සමේ පැහැය, මුහුණේ හැඩ රුව, “පූර්” යන නමින් හැඳින්වෙන ඔවුන්ගේ විශාල නගර, දියුණු තත්ත්වයේ පැවති වෙළඳාම හා ලිංග පූජාව එසේ විස්තර වන කරුණුවලින් සමහරක් වේ. මෙම පූජා විදි ආර්ය භාෂා කතා කළ පිරිස් විසින් පිළිකුල් කරන ලද ක්‍රමවේද විය. දස්‍යුන් සිය ප්‍රතිපාක්ෂිකයන්ට වඩා මිටිවූත්, රණකාමි නොවූත් පිරිසක් වුවද බෙහෙවින් ශිෂ්ටතර වූ බවට සාක්ෂි ඇත. හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුව පෙනී යන්නේ ශ්‍රී විභූතියකින් යුක්ත වූ ඔවුන් ශක්තිමත් නගර ප්‍රාසාදයන්හී වාසය කර ඇති බවයි. වේද ග්‍රන්ථවල ඇති විස්තරවලට අනුව එය මෙකල ඇති සමහර වෙඩ්ඩිඩ් මනුෂ්‍ය වර්ගයන් පිළිබ තරමකට නිදොස් වූ මානවශ්‍රාස්ත්‍රීය විවරණයක් විය හැකි බව හැඩන් මහතාගේ විශ්වාසයයි. මෝටිමර් වීලර්ගේ අදහස වන්නේ ඍග්වේදයේ සඳහන් හරියුපියා (Hariupia) යනු හරප්පාව වන බවයි. ඍග්වේදයේ ඇති ගීතිකාවලින් පෙනී යන්නේ ආර්ය වර්ණය ඇති මනුෂ්‍යයන් තම සතුරන් වූ දස්‍යුන් එළවා දැමීම ගැන ය. භාරත ගෝත්‍රයේ පාලකයා වූ දිවොදාසත්, දස්‍යු කුමාරයෙකු වූ සම්බරන් අතරත් වූ යුද්ධයක් ගැන වේද ගීතිකාවල නිතර සඳහන් වේ.
පූර්ණ වශයෙන් පිළි නොගත්තත් මොහෙන්දජාරෝ - හරප්පා ශිෂ්ටාචාරයේ හිමිකරුවන් ද්‍රවිඩයන් වූ බව සමහර ඉතිහාසඥයන්ගේ මතයයි. එම මතය තව දුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාවට පැමිණි ආර්යයන් එම ශිෂ්ටාචාර ගත මිනිසුන් සමඟ සටන් කළ අතර එම සටන්වලදී පරාජයට පත් එම ජනතාව ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට පසු බැස ගිය බවයි. ද්‍රවිඩයන් ඉන්දියාවේ දකුණට සීමා වීම මෙම මතය තව දුරටත් තහවුරු කරවන බව එම මතය දරණ පිරිස් පෙන්වා දීමට උත්සහ කරයි.
ආර්. ජී. භණ්ඩර්කාර් නම් ඉන්දියානු ඉතිහාසඥයා “ඩෙකානයේ ආදි ඉතිහාසය” යන නමින් රචිත තම ග්‍රන්ථයේ දක්වා ඇත්තේ පන්ජාබ් ප්‍රදේශ හෙවත් හරප්පා පිහිටා තිබූ අඩවියේ පදිංචි ව උන් ආර්යයෝ සරස්වතී සහ දෘෂ‍ද්වතී යන ගංගා අතර තිබූ ඔවුන්ගේ ශුද්ධ භූමිය වූත්, වේද ගිතීකා රචනා කිරීම සිදු වුනා වූත්, බ්‍රහ්මාවර්තය (වර්තමාන ථානේෂ්වර ප්‍රදේශය) වාස භූමිය කරගත් බව යි. මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වන ඔහු ප්‍රකාශ කරන්නේ එම ආර්ය පිරිස් පසු කාලයේ එම ප්‍රදේශයේ සිට නැගෙනහිරට හා දකුණට සංක්‍රමණය ව්‍යාප්ත වූ බවත්, හිමාලය හා වින්ධ්‍යා කඳු අතර ප්‍රදේශයේ පදිංචි වී තමන් අත් පත් කර ගත් ප්‍රදේශය ආර්යාවර්තය යනුවෙන් හඳුන්වන්ට වූ බව යි. ඉන්දු නදී පද්ධතියට අමතරව ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති ගංගා සහ යමුනා නදී ගැන ද ඍග්වේදයේ සහන් වී ඇත. මේ අනුව ඉන්දියාවේ නැගෙනහිර දෙසට සිදු වූ ආර්යයන්ගේ සංක්‍රමණය ගැන අවබෝධයක් ලබා ගත හැක. ආර්යාගමනය පිළිබ විමසීමේ දී මෙම ආර්යාවර්තය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. ඒ සම්බන්ධයෙන් ද ඉදිරිපත් ව ඇති මතවාද බොහෝමයකි. ඒවා පහත ආකාරයෙන් දැක්විය හැක.
  1. ආර්යාවර්තය යනු සම්පූර්ණ මධ්‍ය ප්‍රදේශයයි
-පාතඤ්ඤලී-
  1. ආර්යාවර්තය යනු ඉන්දු-ගංගා දෙනදී මිටියාවතේ මධ්‍ය භාගයෙහි සරස්වතී ගංගාවේ සිට වර්තමාන අලහබාද් සහ බරණැස දක්වා වූ භූමි භාගයයි.
-පැරණි බ්‍රාහ්මණ ග්‍රන්ථ-
  1. “ආර්යාවර්තය යනු හිමාලය කන්ද හා වින්ධ්‍ය කඳු වැටිය අතරේ පිහිටි නැගෙනහිර බෙංගාල බොක්ක සහ බටහිරින් අරාබි මුහුද දක්වා පැතිරුණ ප්‍රදේශයයි.”
-මනුස්මෘතිය-

  1. “ආර්යාවර්තය යනු ආදර්ශ කන්දට නැගෙනහිරින් ද, කාලක වනයට බටහිරින් ද, පාරිපත්‍ර කන්දට උතුරින් ද, හිමාලය කන්දට දකුණෙන් ද පිහිටි භූමියයි.”
-වශිෂ්ඨ ධර්ම සූත්‍රය-
  1. “හිමාලය හා වින්ධ්‍යා කඳු අතර පිහිටි පුණ්‍ය භූමිය ආර්යාවර්තය යි”
-අමර කෝෂය-
වර්තමානයේ පිළිගත් මතයට අනුව ආර්යාවර්තය යනු දළ වශයෙන් හිමාලය හා වින්ධ්‍යා යන කඳු වැටි අතර පිහිටි ප්‍රදේශය වන බවයි.
නමුත් මෙම අවධියේ ආර්යයන් ගංගා නදියේ පහළ කොටසට හෝ බෙංගාල ප්‍රදේශයට විහිද ගිය බවට සාධක නැත. “සමුද්‍ර” යන වචනය භාවිතා වීම මඟින් ඔවුන් සාගරය ගැන දැනසිටින්නට ඇති බව ඇතැමෙකුගේ විශ්වාසයයි. නමුත් තවත් පිරිසකගේ අදහස වන්නේ ඉන්දු නදියේ පහළ ප්‍රදේශය හැඳින්වීමට “සමුද්‍ර” යන වචනය භාවිතා කරන්නට ඇති බවයි. ඍග්වේදයේ දැක්වෙන “බුජ්ජු” නම් වෙළෙඳ කුමරෙකුගේ කතාව ද මුහුද ගැන දැන සිටියා යැයි කීමට සාක්ෂියක් බව ඇතමෙකුගේ මතයයි. ආර්යයන් මේ යුගයේ දී බැබිලෝනියාව සමඟ මුහුදු වෙළෙඳාම පැවැත් වූ බව මැක්ස් වෙබර්ගේ මතයයි. කෙසේ වෙතත් ආර්යාගමනය සම්බන්ධයෙන් ඍග්වේදය අධ්‍යයනය කිරීමෙන් අපට අවබෝධ කර ගත හැක්කේ පූර්ව වෛදික යුගයට අයත් ආර්යයන් ඇෆ්ගනිස්ථානය, පන්ජාබය, සින්ද් ප්‍රදේශයෙන් කොටසක, රාජ්පුතානා, ඉන්දියාවේ වයඹ දිග දේශ සීමාව, කාශ්මීරය ආදී ප්‍රදේශවල ව්‍යාප්ත ව සිටින්නට ඇති බවයි.
  1. සමාලෝචනය.

පෙරදිග ලෝකයේ පැවති ඉපැරණි සභ්‍යත්වයන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගන්නා ඉන්දු-ආර්ය ශිෂ්ටාචාරය ප්‍රභවය වන්නේ ඉහතින් සාකච්ඡාවට භාජනය වූ අකාරයට ආර්යාගමනය සමඟින් බව අවබෝධ කර ගත හැක. ආර්යාගමන විමසීම හුදු ඉන්දීය ඉතිහාසය අධ්‍යයනය කිරීමට පමණක් සීමා නොවන බව තේරුම් ගත යුතු වේ. මන්ද යත් වර්තමාන ලාංකේය සභ්‍යයත්වයේ මූලිකයන් වන්නේ ද ඉහතින් දක්වන ලද ඉන්දියාවට පැමිණි ආර්යයන්ගේ පසු කාලීනයන් ය. මෙම ආර්යයෝ ඉන්දියාවට පැමිණ ඇත්තේ දළ වශයෙන් ක්‍රි.පූ. 1500 දී පමණ යැයි විශ්වාස කෙරේ. ඔවුන් ලංකාවට පැමිණ ඇත්තේ ක්‍රි.පූ. 5 වන සියවසේ යැයි විශ්වාස කෙරේ. එනම් අප සියලු දෙනා ම දන්නා ආකාරයට විජය රජු ඇතුළු පිරිස ගේ ආගමනයයි. ඉන්ද්‍ර දෙවිඳු ඇදහූ ආර්යයන්ගේ ඉන්දීය සම්ප්‍රාප්තිය මෙන් ම විජය රජු ඇතුළු ආර්ය පිරිසගේ ලංකාගමනය ද බොහෝ දුරට එක සමාන වේ. විශේෂයෙන් ම ඔවුන් පැමිණි මුල් කාලයේ දේශීය ජනතාව සමඟ ඇති කරගත් ගැටුම්වල ස්වාභාවය, ආක්‍රමණශීලීත්වය හා පසුව ආර්යයන් ස්ථීර ලෙස තම යටත් කර ගත් ප්‍රදේශවල ව්‍යාප්ත වත් ම තම කණ්ඩායම් අතර බල තරයට මුහුණ දීම සඳහා දේශීයයන් සමඟ මිශ්‍ර වෙමින් ඔවුන්ගේ සහයෝගය දිනා ගත් ආකාරයත්, පසුව සියලු ම ප්‍රදේශ එක් ප්‍රමුඛ සභ්‍යත්වයක් වන ආර්ය සංස්කෘතිය යටතේ වර්ධනය වෙමින් ඒ තුළට ස්වදේශික ජනතාව හා ඔවුන්ගේ සභ්‍යත්වය ද යම් යම් අංශවලින් ආර්ය සංස්කෘතියට අන්තර්ග්‍රහණය කර ගැනීම තුළින් නවතම සංස්කෘතියක් බිහි කර ගැනීම ආදිය ඉන්දියාවට හා ශ්‍රී ලංකාව යන දෙරටට ම පොදු වූ ලක්ෂණයන් වන බව තේරුම් ගත හැකි වේ. මෙම රටවල් දෙකේ ම ආර්යාගමනය එක සමාන වන අතර ඇති එක ම වෙනස වන්නේ ඉන්දියාවට ආර්යාගමනය සිදු වූවේ ගොඩබිමින් එනම් පාගමනින් වන අතර ලංකාවට එය සිදු වූවේ සමුද්‍ර තරණ හරහා එනම් නැව් මඟිනි.
ඉන්දියාවේ සිදු වූ ආර්යාගමනය ලෝක ඉතිහාසයේ ප්‍රබල සිදු වීමක් වන නමුත් එය ඉතා කාලාන්තරයක් තිස්සේ සිදු වූවක් වන බව ද තේරුම් ගත යුතු වේ. එලෙස පැමිණි ආර්යයන් ඉන්දියාව තුළ වර්ධනය කර ගත් සභ්‍යත්වය සමස්ත ඉන්දීය උප මහද්වීපයේ ම හැඩගැසීම තීරණය කළ සාධකයක් වූ බව අවබෝධ කළ ගත යුතු වේ. මන්ද යත් ඉන්දියාවට ආර්යයන් නොපැමිණියේ නම් අපගේ ප්‍රභවය ද මීට වෙනස් ආකාරයකින් සිදු විය හැකි බැවිනි.
කෙසේ වෙතත් ආර්යාගමනයත් සමඟ ඉන්දියාවට පැමිණි ආර්යයන් නැගෙනහිරට හා බටහිරට ව්‍යාප්ත ව ස්ථීර ජනාවාස ඇති කර ගන්නා ලදි. අනතුරුව ක්‍රමයෙන් දේශපාලන, සමාජ හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි මනා දියුණුවකට පත් ව අති විශිෂ්ට ශිෂ්ටාචාරයක් බිහි කරනු ලැබීය. මිනිසාගේ සංවර්ධනය අතර විවිධ අවස්ථා පිළිබිඹු කරන සිදු වීමක් වන ආර්යාගමනය ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකිය හැක.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

ඉලංගසිංහ මංගල, ඉන්දු නිම්න අධිරාජ්‍ය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2014.
ඒකනායක ඇකිරියගල, ඉන්දු-ආර්ය ශිෂ්ටාචාරය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2008.
ඒකනායක ඇකිරියගල, හරප්පා ශිෂ්ටාචාරය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2012.
ජයතිලක මලිත්, අලිමංකඩ පරාජයෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව, කර්තෘ ප්‍රකාශන, පානදුර, 2008.
ජයසුමන චන්න සුදත්, දෙමළ ජනතාවගේ සංක්ෂිප්ත ඉතිහාසය, සී/ස (පෞද්) විසිදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2009.
ඩේවිස් සී. කොලින්, ඉන්දියානු අර්ධද්වීපයේ ඓතිහාසික සිතියම් පොත, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2014.
තාපර් රොමිලා, ඉන්දියාවේ ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2009.
නේරු ජවහර්ලාල්, Glimpses of World History, අනු-‍ ඩේවිඩ් කරුණාරත්න, ලෝක ඉතිහාස සිහිවටන, සී/ස ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2008.
පින්තු ක්ෂාවියර් සහ ඊ. ජී. මියාල්, ඉතිහාස ධාරා-1කොටස, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2013.
බස්නායක එච්. ටී., ඉන්දීය ශිෂ්ටාචාරය - 1, ආරිය ප්‍රකාශකයෝ, 2015.
බෂාම් ඒ. එල්. අසිරිමත් ඉන්දියාව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2012.
රණවීර සරත්, සංක්‍ෂිප්ත ඉන්දියා ඉතිහාසය, වාසනා ප්‍රකාශකයෝ, දන්කොටුව,2005.
රාවෝ බී. වී. ලෝක ඉතිහාසය, පරි. මාලනී ඇඳගම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003.
රොලින්සන්, භාරතීය සංස්කෘතික ඉතිහාසය, පරි- පරවාහැර පඤ්ඤානන්ද හිමි හා ඩී. ඒ. වෙදගේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2015.
විලර් මෝටිමර්, ආදි ඉන්දියාව සහ පාකිස්ථානය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2005.
ශ්‍රාස්ත්‍රී නීලකණ්ඨ, දකුණු ඉන්දියා ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2007.
සිංහ නරේනද්‍ර සහ අනිල් චන්ද්‍ර බැනර්ජි, ඉන්‍දියා ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2007, පිටු 35.
සිල්වා ප්‍රියන්ජන් සුරේෂ් ද, අවසන් විසඳුම, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2011.
සිල්වා ඩබ්ලිව්. ඒ, වාල්මිකී රාමායණය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2008.

ඉන්දියාවේ ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2007.

1 comment: