“නූතන බටහිර ඉතිහාසකරණ සම්ප්‍රදායට,
මාක්ස්වාදී චින්තනය මඟින් සිදු කරන ලද බලපෑම”
මා
|
ක්ස්වාදය යනු 19වන සියවසේ පැවති සමාජය
තුළ අන්තර්ගත වූ ඓතිහාසික බලවේගයන්ගේ උසස් ම අංගයක් ලෙස ද හැඳින්විය හැකිය. එහිදී
මේ සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙයක් ඉටු කරන ලද චින්තකයන් ලෙස කාල් මාක්ස් හා ෆෙඩ්රිච්
ඒන්ගල්ස් යන දෙදෙනා හැඳින්විය හැකිය. ඔවුන් විසින් 19වන සියවසේ මැද භාගයේ දී
ඉදිරිපත් කරන ලද දර්ශනය මාක්ස්වාදය ලෙසින් හැඳින්වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස
ඉතිහාසකරණය කෙරෙහි ද විශාල බලපෑමක් ඉන් ඇති විය. මාක්ස්වාදය තුළ අන්තර්ගතවන්නා වූ
ප්‍රධාන අංග තුනකි. එනම්;
1.
ශාස්ත්‍රීය ජර්මන් දර්ශනවාදය.
2.
ඉංග්‍රීසි දේශපාලන ආර්ථික විද්‍යාව.
3.
ප්‍රංශ විප්ලවකාරී සමාජවාදී සම්ප්‍රදාය.
ඉතිහාසය පිළිබඳ විග්‍රහයේ
දී මාක්ස්ගේ ද්විඝටනාත්මක භෞතිකවාදයට සම්බන්ධ කොට ඉදිරිපත් කරන ලද අතර එය ඓතිහාසික
භෞතිකවාදී සංකල්පය පදනම් කර ගෙන විග්‍රහ කර ඇත. මාක්ස් විසින් හෙගල්ගේ අපෝහක ක්‍රමය
හා ප්‍රංශ ජාතික පෝර්බක්ගේ භෞතිකවාද මිශ්‍ර කර වඩාත් ශාස්ත්‍රීය හා නවතම භෞතිකවාදී
දර්ශනයක් බිහි කරනු ලැබූ අතර එමගින් මානව සමාජය විග්‍රහ කිරීමේදී ඉතිහාස භෞතිකවාදය
නිර්මාණය විය. මාක්ස්වාදයට අනුව ඓතිහාසික භෞතිකවාදය යනු භෞතිකවාදී දෘෂ්ටියකින්
ඉතිහාසය විග්‍රහ කිරීමයි. මේ අනුව මාක්ස් ඉතිහාසය විග්‍රහ කළේ භෞතිකවාදී අර්ථකථනයකිනි.
මෙය විඥානවාදී ක්‍රමයට හාත්පසින් ම වෙනස් වේ. දාර්ශනික භෞතිකවාදය මඟින්
දර්ශනවාදයත්, ඉතිහාස භෞතිකවාදය මඟින් මානව සමාජයත් පිළිබඳ විග්‍රහයෙන්
මාක්ස්වාදී දර්ශන සමස්තය සකස් වී ඇත. විඥානවාදී කෝණයෙන් ඉතිහාසය දෙස බැලීම යනු
රජවරුන්ගේ, දේශපාලනඥයන් ගේ හා රණශූරයන්ගේ ප්‍රතිපත්ති හා කි‍්‍රයාවන් අනුව හෝ
ආගම්වල හා අදහස්වල බලපෑමෙන් ඇතිවූ ප්‍රතිඵල අනුව හෝ ඉතිහාසය හා ඓතිහාසික
විපර්යාසයන් තේරුම් කිරීමට වෑයම් කිරීමයි.
ඊට අමතරව
සමාජවාදය විද්‍යාවක් බවට පත් වූයේ, වෙනත් වචනවලින් කිවහොත් මනෝරාජික සමාජවාදයේ සිට
විද්‍යාත්මක සමාජවාදය කරා පරිවර්තනය සිදු වූයේ ද ඉහතින් දක්වන ලද සංකල්ප දෙක මූලික
කෙට ගනිමින් ය. ඉතිහාසයේ ධාවක බලවේගයක් වශයෙන් පන්ති අරගලය සැලකීම, මාක්ස්වාදී
ඓතිහාසික චින්තනයේ වැදගත් ලක්‍ෂණයකි. මාක්ස්වාදය ඉදිරිපත් කිරීමේ මූලිකයා කාල්
මාක්ස් වුවත් එහි සම කර්තෘවරෙකු වූ එංගලස් විසින් පැහැදිලි කර ඇති ආකාරයට
භෞතිකවාදී ඉතිහාස දර්ශනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ සමාජයේ ආර්ථික වර්ධනය, නිෂ්පාදන
හා විනිමය ක්‍රම පිළිබඳ වෙනස් වීම්, ඒ හේතු කොට ගෙන සමාජය පැහැදිලි පන්තිවලට බෙදීම
හා එකී පන්ති එකිනෙක අතර ඇති වන අරගලය ඓතිහාසික දියුණුවේ ප්‍රධානතම ධාවක
බලවේගය ලෙස සැලකීමයි. තව දුරටත් අදහස් දැක්වූ එංගලස් මෙසේ ප්‍රකාශ කරන ලදි.
“සියලු
ම සමාජ සංවිධානයන්ගේ පදනම ජීවනෝපාය උපයා ගැනීම නිෂ්පාදනයේ ප්‍රතිඵල බෙදා හුවමාරු
කර ගැනීම මත පිහිටා ඇතැයි යන මූලික න්‍යායෙන් ඉතිහාසය පිළිබඳ භෞතික විකල්පය ආරම්භ වන්නේ
ය. නිපදවූවේ කුමක්ද?, නිපදවීම සිදුවූවේ කෙසේ ද?, නිෂ්පාදනය බෙදා ගත්තේ කෙසේ ද?
යන්න මත මේ තාක් ඉතිහාසයේ පහළ වූ සමාජයන්හි පන්ති බෙදීම තීරණය වූයේ ය. භෞතිකවාදී
විකල්පය අනුව සමාජ විපර්යාසයන්ට හා දේශපාලන විප්ලවයට හේතු වූ අවසාන සාධක සෙවිය
යුත්තේ සදාකාලික පරම සත්‍ය හා යුක්තිය සොයා වෙහෙසෙන මිනිස් සිත තුළ නොව, නිෂ්පාදන
ක්‍රමයේ හා බෙදා හැරීමේ ඇති වූ විපර්යාසයන්හිය; නැතහොත් අවසාන හේතු සාධක සෙවිය
යුත්තේ පරීක්ෂා කරන කාල පරිච්ඡේදයේ දර්ශනවාදය තුළ නොව අර්ථ ශාස්ත්‍රය තුළ ය.”
සැබෑ ලෙස ම ඉතිහාසය ආශ්‍රයෙන් පන්ති සටන ක්‍රියාත්මක
කළ හැකි අන්දම දැක්වූවේ ද මාක්ස් විසින් බව අවබෝධ වේ. ඔහුට අනුව මානව ඉතිහාසයේ
පළමු පූර්වායවය වන්නේ සජීවී මිනිසුන්ගේ පැවැත්ම වේ. ඉතිහාස රචනය සෑම විට ම ආරම්භ
කළ යුත්තේ මෙම ස්වාභාවික පදනම් මත පිහිටාය. මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය මඟින්
ඉතිහාසයේ ගමන් මඟ තුළ දී සිදු වන්නේ නැවත නැවතත් ඒවායේ නවීකරණයන් සිදුවීමය. ඉතිහාසයේ
සමාජ විපර්යාස සම්බන්ධයෙන් අවධානය යොමු කළ මාක්ස් හා එංගල්ස් ඒ සම්බන්ධයෙන් උපරිව්‍යූහය
හා ව්‍යූහපාදය යන සංකල්පය ඉදිරිපත් කරමින් එම දෙක අතර ඇති වන ඝට්ටනය
ඓතිහාසික විපර්යාසයන්ගේ පසුබිමේ ඇති ප්‍රධාන සාධකය ලෙස අර්ථකථනය කරනු ලැබීය.
මාක්ස්වාදයේ
අන්තර්ගත අපෝහකවාදී අදහස් අනුව ව්‍යුහපාදය හා උපරිව්‍යුහය අතර ඇති වන ඝට්ටනයේ ප්‍රතිඵලයක්
ලෙස අලුත් සමාජ ක්‍රමයක් නිර්මාණය වන අතර එය ඓතිහාසික වෙනස් වීම්වල භෞතික පදනමට
බලපෑම් ඇති කරනු ලැබීය. මාක්ස්ගේ චින්තනය තුළ මානවකේන්ද්‍රී ලක්ෂණ අන්තර්ගත වන බව
පෙනී යයි. ඔහු ඉතිහාසගත තොරතුරුවල යම් යම් අවස්ථාවල දී උද්දීපනය වන්නා වූ
අධිමානුෂික සංකල්ප හා බලවේගයන් දැඩි ලෙස විවේචනය කරනු ලැබූ අතර මානව ඉතිහාසය නිම
වන්නේ මිනිසුන් විසින් ම ය යන්න අවධාරණය කරන ලදි. මානව සමාජයේ ස්වභාවය මිනිස්
සංහතියේ විකාශනය පිළිබඳ කරුණු සොයා ගැනීමේ කුතුහලයකින් මිනිසා අතීතයේ සිට ම පෙලෙන
ලද්දේ ය. මානව සමාජයේ හා මිනිස් සංහතියේ විකාශනය අහම්බයෙන් වූ නිර්මාණයකින්
සිදුවුණිද නැතහොත් මිනිසාට විකාශනය හැසිරවීමට හැකි වේද යන්න ආදිම යුගයේ සිට බලවත් ව
නැගී සිටියේ ය. ඉතිහාසයේ මානව සිද්ධිවල විවිධත්වය හා සංකීර්ණතාව ගැන ගැඹුරු
වැටහීමක් මාක්ස්ට තිබිණ. ඓතිහාසික විපර්යාසයන් ගැන විමසීමේ දී සමාජයේ නිෂ්පාදන
තත්ත්වයන් සම්බන්ධයෙන් ඇතිවන භෞතික විපර්යාසයන් කෙරෙන් උපරිව්‍යුහයට අයත් ආගමික,
දාර්ශනික හා නීතිමය ආදී ක්ෂේත්‍රවල විපර්යාසයන් වෙන් කොට සැලකිය යුතු බව මාක්ස්
කියා සිටියේ ය.
මාක්ස්ට අනුව
ඉතිහාසය වෙනස් වන්නේ නිෂ්පාදන මාදිලිවල ඇති වන වෙනස් වීම් මතය. ඒ අනුව ඔහු එකිනෙකට
වෙනස් ඓතිහාසික යුගවල පැවති නිෂ්පාදන මාදිලි ගණනාවක් විග්‍රහ කරනු ලැබීය.
මාක්ස්ට අනුව කිසියම් ඓතිහාසික යුගයක පවතින නිෂ්පාදන බලවේග ද, ඒ නිෂ්පාදන බලවේග නිෂ්පාදනය සඳහා යොදාගැනීමට ඒ යුගවල සිටි සමාජ පන්තීන්
විසින් ඇති කර ගන්නා ලද නිෂ්පාදන සම්බන්ධතාව ද, එක්ව ගත්
කල නිෂ්පාදන මාදිලිය නිර්මාණය වෙයි. මෙය සමාජයේ ආර්ථික ව්‍යුහය නිර්මාණය කරන
සාධකයකි.
මේ ආකාරයට
මාක්ස්වාදයට අනුව ඓතිහාසික විපර්යාසයන් සිදු කරනු ලබන්නේ සමාජයේ ඇති වන මූලික
ආර්ථික වෙනස් වීම්, එනම් නිෂ්පාදන විධියේ ඇති වන වෙනස්වීම්
මතය.
‘‘භෞතිකවාදී ඉතිහාස විග්‍රහයට අනුව, අවසාන තීරණාත්මක සාධකය වන්නේ ජීවිතයේ
තථ්‍ය ලෙස සිදුවන නිෂ්පාදනය හා ප්‍රජනනයයි..... ආර්ථික වටපිටාව පදනම කොට ඇති
දේශපාලන විධි, පන්ති සටන් හා ප්‍රතිඵලයන්, ආණ්ඩුක්‍රම, නීති පද්ධතිය ආශ්‍රයෙන් තථ්‍ය
ලෝකයේ සිදුවන ගැටීම් ආදියේ ප්‍රතික්‍රියා මොළයේ පහළ වූ විට ඒවාට දේශපාලන, නෛතික,
දාර්ශනික හා ආගමික මතයයි හැඳින් වේ. මේ සියල්ල අරගලයේ ඓතිහාසික වර්ධනයට බලපාන අතර
සමහර අවස්ථාවන්හිදි එම අරගලයයන්ගේ ස්වරූපය ද සනිටුහන් කරන්නේ ය”
ෆෙඞ්රික්
එංගල්ස්
( මනෝරාජික හා
විද්‍යාත්මක සමාජවාදය)
එසේම ඉතිහාසය
අධ්‍යයනය කිරීම සඳහා භෞතිකවාදය උපයෝගී කර ගත හැකි අන්දම මාක්ස් පෙන්වා දුන් අතර
ඔහුට අනුව මෙම අධ්‍යයනය පටන් ගත යුත්තේ දෙවියන් හා රජුන් දෙස බලමින් ඉහළ සිට නොව
ජනතාව දෙස බලමින් පහළ සිටය. ප්‍රථමයෙන් සමාජයේ ද්‍රව්‍යමය පදනම, එනම් මිනිසා ආහාර ඇඳුම් හා ආවරණය යන දිවි රැකුම සඳහා අවශ්‍ය දේ
ලබාගන්නා අන්දම විග්‍රහ කළ යුතු බව මාක්ස් විසින් ප්‍රකාශ කරනු ලදි. එංගල්ස් ප්‍රකාශ
කර ඇති ආකාරයට ‘‘දේශපාලනය, විද්‍යාව, ආගම යනාදියෙහි නිරත වීමට කලින් මිනිසා පළමුකොටම, කෑම බීම, ඇඳුම් හා නිවහනක් සොයා ගත යුතු බව
සරළ සත්‍යයකි’’.
මේ අනුව
මිනිසාගේ අතීතය හා පැවැත්ම දෙස බැලීමේ දී දෙයාකාරයක සම්බන්ධතාවක් පැහැදිලිව ම දැක
ගත හැකිය. එනම් මිනිසා හා ප්‍රකෘතිය අතර සම්බන්ධතාව සහ මිනිසුන් අතර වූ
සම්බන්ධතාවයන්ය. මේවාට යම් යම් සාධක පදනම් වෙයි. එනම් නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සම්බන්ධතාවයි.
මාක්ස් හඳුන්වා දී ඇති ආකාරයට නිෂ්පාදන බලවේග යන්නෙන් මිනිස් ශ‍්‍රමයද, නිෂ්පාදන කටයුතු සඳහා උපයෝගීකරගනු ලබන ස්වාභාවික සම්පත්, භූමිය, ජලය යනාදිය ද, මිනිසාගේ ශිල්පීය ඥාණයද, එමගින් නිපදවා ඇති
යන්ත්‍රෝපකරණ හා වාෂ්පය, විදුලි බලය වැනි බලශක්තීන් ද,
මේ සියලු දේ ප්‍රයෝජනයට ගැනීම සඳහා අවශ්‍ය වන සමාජියීය සංවිධාන ක්‍රම
ද, අදහස් වේ.
දෙවන සාධකය ලෙස නිෂ්පාදන
සම්බන්ධතා හඳුන්වා දී ඇත. මාක්ස්ට අනුව මින් අදහස් කෙරෙන්නේ නිෂ්පාදනයේ දී හෝ
ආර්ථික කි‍්‍රයාවලියේදී මිනිසුන් උනුන් සමග අවශ්‍යයෙන්ම ඇතිකර ගනු ලබන සමාජීය
සබඳතාවයන්ය. රඳළයන් හා ප්‍රවේණීදාසයන් අතර, ධනපතීන් හා කම්කරුවන්
අතර ඇති සමාජීය සම්බන්ධතා නිදසුන් ලෙස දැක්විය හැකිය. නෛතික වශයෙන් බලන විට මේවා
නිෂ්පාදන මාධ්‍යයන්ගේ අයිතිය හෝ දේපළ සම්බන්ධතා ලෙස දැකිය හැකිය. වැඩවසම් යුගයේ
ඉඩම් අයිතිය හෝ ධනවාදී ආර්ථිකයක කර්මාන්ත ශාලාවල අයිතිය යනාදී වශයෙන් දේපළ
සම්බන්ධතා පිළිබිඹු වෙයි. මේ නිෂ්පාදන සබඳතා අනුව සමාජය එකිනෙකට විරෝධී වූ අවශ්‍යතාවයන්
ඇති පංතිවලට බෙදේ.
මේ අනුව
නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සම්බන්ධතාවන් එක්ව ගත් කල ඇති වන ප්‍රතිඵලය නිෂ්පාදන
විධිය ලෙස මාක්ස් හැඳින්විය. මේ අනුව යම් කිසි යුගයක නිෂ්පාදන මාධ්‍යයන් සහ ඒ
නිෂ්පාදන මාධ්‍යයන් මිනිස් පැවැත්ම සඳහා උපයෝගී කර ගැනීමට මිනිසුන් විසින් ඇති කර
ගන්නා සම්බන්ධකමෙහි ප්‍රධාන ස්වරූපය නිෂ්පාදන විධිය නම් වේ.
නිෂ්පාදන බලවේග
හා නිෂ්පාදන සම්බන්ධතා සංවිධානය වී තිබෙන අයුරින් විවිධ නිෂ්පාදන විධි එකිනෙකින්
වෙනස් වේ. පංති පදනමක් ඇති ඒ එක් නිෂ්පාදන විධියකට ම, ඊට ම ආවේණික වූ සූරාකෑමේ ක්‍රමයක්
ද තිබේ.
මේ ආකාරයට
ඉතිහාසය පිළිබඳ මාක්ස්වාදී විග්‍රහයට අනුව ඉතිහාසය නිෂ්පාදන අර්ථ ක්‍රමයක් මත
පදනම් වූ පංති ක්‍රමයක විකාශනයකි.
‘‘මෙතෙක් පැවති සියලු සමාජවල ඉතිහාසය
පංති අරගලයන්ගේ ඉතිහාසය වන්නේය’’
මාක්ස් - එංගල්ස්
(කොමියුනිස්ට් ප්‍රකාශය)
මෙම සංකල්පය මත
පිහිටා මානව සමාජයේ ආරම්භයේ සිට සමාජ පරිණාමය වී ඇති බව ප්‍රධාන අවධි හතරක් විග්‍රහ
කරමින් මාක්ස් විසින් පෙන්වා ලදි. ඔහු දක්වන ආකාරයට ඉතිහාසය මේ ආකාරයට ප්‍රගමනය
වනුයේ තමන් එකිනෙකා සමග ප්‍රතිඝතතාවයන්ට අවතීර්ණ වන නිෂ්පාදන බලවේගයන් හා සම්බන්ධතාවයන්
මඟිනි.
‘‘තම සංවර්ධනයෙහි නිශ්චිත අදියරයකදී සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග හෝ
පවතින නිෂ්පාදන සබඳතාවන් නොහොත් එහි ම නෛතික ප්‍රකාශනය වන ඒවා මෙතෙක් කල් කි‍්‍රයාත්මක
වූ දේපොළ සබඳතාවක් සමග ඝට්ටනයට එළඹෙති. මෙම සබඳතාවයෝ නිෂ්පාදන බලවේගයන් ගේ සංවර්ධන
ප්‍රකාරයන්ගේ සිට ඒවායේ බාධකයන් බවට පත් වෙති. අනතුරුව එළඹෙන්නේ සමාජ විප්ලවයේ
යුගයකි’’
එක් නිෂ්පාදන
මාදිලියකින් තවත් නිෂ්පාදන මාදිලියට පාර කපන්නේ මෙකී යන්ත්‍රණය මඟිනි. මාක්ස්ට
අනුව ඉතිහාසය විකාශය වන ආකාර කීපයකි. එයට අනුව මිනිස් ඉතිහාසයේ මාක්ස් විග්‍රහ කළ ප්‍රධාන
අවධි හතරකි. එනම්;
1.
ආදි කාලීන කොමියුනිස්ට් හෝ ගෝති‍්‍රක
සමාජය.
ඉඩම්, සතුන්, සරල උපකරණ හා මෙවලම් යනාදිය පොදුවේ සමාජයට අයත් සියල්ලම සතුවිය.
පුද්ගලික දේපළ හිමිකමක් මෙහි නොවීය. නිපදවූ දේ සියල්ලෝ ම පොදුවේ බෙදා ගත්හ. මේ
සමාජයේ පුද්ගලික අයිතියක් නොතිබූ බැවින් පන්ති බෙදීමක් ද නොවීය. එහෙයින් සූරාකෑමක්
නොවීය.
2.
වහල් සමාජය.
කලින් සාමූහික
අයිතියට යටත් ව තිබූ දේපොළ ක්‍රමය බිඳ වැටී පුද්ගලික දේපොළ ක්‍රමයක් බිහි විය.
සමහර මිනිසුන් අන් අයට අයිති වූ වහලුන් බවට පත් විය. හුදු නිෂ්පාදන මාර්ගයක් ලෙස
සලකන ලද වහලුන් මෙන් ම අන් නිෂ්පාදන මාර්ග ද වහල් හිමියන් සතු විය. ගෝත්‍ර අතර
හටගත් යුද්ධවල ප්‍රතිඵලයක් වශයෙන් පරාජිතයන් වහලුන් බවට පත් වූ අතර ජයග්‍රාහකයන්
එම වහලුන්ගෙන් ලබා ගනු ලබන නිෂ්පාදන මාර්ගවලත් ස්වාමිවරුන් වී යැයි සාමාන්‍යයෙන්
පිළිගැනේ. මෙය පංති භේදයේ ආරම්භය ලෙසත් එම නිසාම සූරාකෑමේ පටන් ගැනීම ලෙසත්
හැඳින්විය හැකිය.
3.
වැඩවසම් සමාජය.
ප්‍රධාන
නිෂ්පාදන මාර්ගය වූ ඉඩම් රජුට හෝ රජුගෙන් ලත් ප්‍රදානයක් වශයෙන් රදලයන්ට අයත් විය.
ඉඩම් වගාකරන ලද්දේ ප්‍රවේණි දාසයන් විසිනි. අස්වැන්නෙන් කොටසක් ඉඩම් හිමි රදලයාට
ඔවුන් විසින් දිය යුතු අතර ඔහුට අන් අයුරින් නොමිලයේ සේවය කිරීමට ද ඔවුන්ට සිදු විය.
වහලා මෙන් නොව ප්‍රවේණිදාසයා ශාරීරික වශයෙන් නිදහස් විය. එහෙත් සිය දිවි පෙවෙත
සඳහා ඔහු ඉඩමට බැදී සිටියේ ය. මේ සමාජයේ ප්‍රධාන සූරාකෑමේ ක්‍රමය ප්‍රවේණිදාස
තත්වයකි.
4.
ධනවාදී සමාජය.
ඉඩම්, කම්හල් හා අනෙකුත් නිෂ්පාදන මාර්ගවල එකම අයිතිකරුවා ධනපතියා වෙයි. පෙර
පැවති නිෂ්පාදන විධිය යටතේ ඉඩමට සම්බන්ධ වී සිටි දාසයින් හා සුළු නිෂ්පාදකයින්
කිසිදු දේපළකට හිමිකමක් නැති කම්කරුවන් බවට පත් විය. ඔවුහු සිය දිවිපෙවෙත සඳහා සිය
ශ්‍රම ශක්තිය ධනපතීන්ට විකුණන වැටුප් ශ්‍රමිකයන් වෙති. ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑමේ ක්‍රම
ඉතා ම සියුම් හා දරුණු වෙයි.
මෙම ධනවාදී
සමාජයේ ප්‍රධාන පංති දෙක වූ කලී ධනේශ්වර පංතිය හා නිර්ධන පංතියයි. ධනේශ්වර පංතිය
සිය වර්ධනයේ දී අවධි ගණනාවක් පසුකරගෙන යන අතර මෙම අවධි ධනවාදී සමාජයේ ආර්ථික
සංවර්ධනයේ අවධිවලට අනුරූප වෙයි. ධනේශ්වර ක්‍රමය යටතේ විඥානය ද්‍රව්‍යකරණය
වී හෙවත් ද්‍රව්‍ය බවට පරිවර්තනය වුණු විඥානය (Reified Consciousness) පිළිබඳ අදහසක්
ලෙස අර්ථ ගැන්වේ. එනම්, ධනේශ්වර ක්‍රමය තුළ දී පුද්ගලයින් අතර
සම්බන්ධතා භාණ්ඩ අතර සම්බන්ධතා බවට පරිවර්තනය වීමෙන් මිනිසුන්ගේ විඥානය භාණ්ඩකරණය
වීම පිළිබඳ අදහස ලෙස හැඳින්විය හැකිය. මෙම මතය තව දුරටත් විග්‍රහ කරමින් ඉතිහාසය
සහ පංති විඥානය නමින් 1923 දී පළ වූ කෘතියේ ජෝර්ජ්
ලූකාශ් පෙන්වා දෙන්නේ පාරිභෝගික භාණ්ඩ සහිත ධනේශ්වර වෙළඳපළ ව්‍යුහය පාදක කර ගනිමින්
එම පදනම මත මිනිස් සබඳතා ද්‍රව්‍යමය සබඳතා ලෙස ව්‍යුහගත වී අවතාරමය වෛෂයිකත්වයක් (Phantom Objectivity) ලබා ගන්නා බව යි.
මාක්ස් මෙම
සංකල්පය විග්‍රහ කරනුයේ බටහිර යුරෝපයේ සමාජය තුළ සිදු වී ඇති ඓතිහාසික විකාශනය
පාදක කොට ගනිමින්ය. නමුත් ඔහු පසු කාලයකදී ලෝකයේ වෙනත් කොටස්වල මිනිස් ඉතිහාසය
පරීක්ෂා කිරීමෙන් පසු (පෙරදිග ඉතිහාසය හා චින්තනයන්) තම ඉතිහාසය පිළිබඳ විග්‍රහය
විශ්ව සාධාරණ නොවන බව දැනගත්තේය. ආසියාවේ මිනිස් ඉතිහාස වර්ධනය දෙස අවධානය යොමු
කිරීමෙන් එය තහවුරු කරගනු ලැබීය. ආසියාවේ බොහෝ රටවල වැඩවසම් ලක්ෂණ නොවූ බවත්, ඉඩම් සම්බන්ධයෙන් පෞද්ගලික අයිතියක් නොවූ බවත් සියලු ඉඩම් අවසානයේ රජුට
හෝ රජයට අයත් වූ අතර ජනයා ඒවා පොදුවේ පරිහරණය කරනු ලැබීය. සමාජය කුඩා ගම්මාන ලෙස
සැදී තිබූ අතර කෘෂිකර්මාන්තය හා ගෘහ කර්මාන්තයෙන් ස්වයංපෝෂිත විය. රාජතන්ත්‍රය ඒ
සඳහා මැදිහත් වී කටයුතු කළේ ය. මෙම රටවල ජනයා එක්තරා ප්‍රමාණයකට ස්වාධීනතාවෙන්
භුක්තිවිඳි අතර නිපදවූ අතිරික්තය රජුගේ හෝ රාජ්‍ය තන්ත්‍රයේ පැවැත්මට උපකාරී විය.
මාක්ස්ට අනුව මෙම ක්‍රමයේ සූරාකෑම පැවතියේ මේ අයුරිනි. මේ ආකාරයට මාක්ස් විසින් තම
දෘෂ්ඨියට අනුව සමාජ ඉතිහාසය පිළිබඳ සංකල්පය පැහැදිලි කරනු ලැබීය.
ඉහතින් දක්වන ලද
ආකාරයට මාක්ස්වාදී චින්තනය මඟින් නූතන ඉතිහාසකරණය කෙරෙහි සිදුකරන ලද බලපෑම ඉතා ප්‍රබල
වේ. මාක්ස් හා එන්ගල්ස් විසින් හඳුන්වා දෙන ලද භෞතිකවාදී ඉතිහාස ප්‍රවේශය එම
බලපෑමේ මූලය ලෙස හැඳින්විය හැකිය. වර්තමානයේ මාක්ස්වාදී ප්‍රවේශය තුළින් බොහෝ
ඉතිහාසඥයන් පන්ති විග්‍රහය, ආර්ථික ව්‍යුහයේ සැකැස්ම හා වෙනස් වීම් අනුසාරයෙන්
ඉතිහාසය අධ්‍යයනයට පෙලඹී ඇති අතර නිෂ්පාදන සම්බන්ධතා ඇතුළු ආර්ථික ඉතිහාසය හා
සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ආදී දේශපාලන ඉතිහාසය අධ්‍යයනයට ද මාක්ස්වාදී ආකල්ප උපයෝගී
කොටගනිමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස රජුන් හා ප්‍රභූන් පිළිබද තොරතුරුවලට සීමා
වී පැවති ඉතිහාසකරණය ඉන් ඔබ්බට ගොස් සාමාන්‍ය වැසියන්ගේ ජීවන තත්ත්වයන් හා සිතුම්
පැතුම් පිළිබදව කරුණු කෙරෙහි ද අවධානය යොමු කරනු ලැබීය.
No comments:
Post a Comment