Thursday 6 February 2020

උම්මග්ග ජාතකයෙන් හෙළිවන දේශපාලන න්‍යාය

                                


හැදින්වීම.

        ජාතක කතා තරම් ජනප්‍රියත්වයට පත් තවත් සාහිත්‍යාංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරම් ය. බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායෙහි ඇතුළත් "ජාතක පාලි" නම් කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණි බව විශ්වාසයයි. ජාතක පාලිය, ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථාවන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථාවන්ට මිහිඳු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතාවන්හි ආරම්භය මෙය ලෙස සලකනු ලැබේ.
මෙම සිංහලෙන් ලියන ලද ජාතක අටුවාව අද අප අතර නැතත් මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මාහිමියන්ගේ අටුවා පාලියට නැගීමේ ව්‍යාපෘතිය ඔස්සේ එය පාලියට නැගී අදත් අප අතර "පාලි ජාතකට්ඨ කතාව" නමින් පවති. "පන්සිය පනස් ජාතක පොත් වහන්සේ "නමින් සිංහල පාඨක ජනතාවගේ ගෞරවයට පාත්‍ර වු සිංහල ජාතක පොත එම පාලි ජාතකට්ඨ කතාවේ පරිවර්තනයක් ලෙස අප අතරට පත්ව ඇත. සිංහල ජාතක පොත ලියවෙන්නට පෙර සිට ම ජාතක කතා ඉගෙනීමට සිංහලයන් දැක්වු උනන්දුව පැහැදිලි වන සාධක රැසක් ම හමුවේ. 12වන සියවසේ දී ජාතක අටුවා ගැට පදයක් ලියවුනේත් ජාතක ගාථා සන්නය, වෙසතුරු දා සන්නය, දස ජාතක සන්නය, අටදා සන්නය ආදිය ලියවුනේත් ධර්ම ප්‍රදීපිකාවේ සිට සියලු සිංහල සාහිත්‍ය කෘතීන්හි ජාතක කතා ඇතුළත් වුයේත් මුවදෙවිදාවත, කුසජාතකය, කවි සිළුමිණ, ජාතක කතා වස්තු කොට පද්‍ය කෘති බිහි වුයේත් එහි ප්‍රතිඵල වශයෙනි. මෙම ජාතක කතා බොහෝමයක් ලංකාවේ දී සංගෘහිත වුවත් එහි අන්තර්ගත තොරතුරු ඉපැරණි භාරතීය සමාජය පදනම් කර ගෙන පැවති බව පැහැදිලි වේ.
දීර්ඝ හා කෙටි වශයෙන් ජාතක කථා, ජාතක පොත පරිශීලනය කිරීමෙන් අපට පෙනෙන අතර එහි එන කුස ජාතකය, වෙස්‌සන්තර ජාතකය, විධුර ජාතකය, භූරි දත්ත ජාතකය, උම්මග්ග ජාතකය, දීර්ඝ කථා වස්තු ලෙස දැක්විය හැකි අතර අනෙක්‌ ඒවා කෙටි ඒවා බව පැවසිය හැකිය. සෑම ජාතක කථාවකම දක්‌නට ඇත්තේ, එකම ආකාරයේ සන්දර්භයක්‌ වුවත් උම්මග්ග ජාතකය වැනි කථා වස්තු පරික්ෂා කිරීමේදී අමතර වශයෙන් අතුරු කථා ඇතුළත් කිරීමෙන් ඒවායෙහි සන්දර්භය වෙනත් ආකාරයක් ගන්නා බව පැහැදිලි වේ.
අටුවාවෙහි ඇතුළත් ගැඹුරු ධර්ම ඉවත් කර සදාචාර සම්පන්න සමාජයක්‌ උදෙසා උපදෙස්‌ හා මඟ පෙන්වීම් දක්වමින් පොදු ජනතාව වෙත ඉදිරිපත් කරන උම්මග්ග ජාතකය යහපත් සමාජයක පැවැත්ම අපේක්ෂා කරන්නකි. මෙහි දී බෝධිසත්ව චරිතය උසස්‌ ගුණ දහමින් පරිපූර්ණ පරමාදර්ශී චරිතයක්‌ ලෙස සමාජ ගතකර ඇත. අනෙක්‌ චරිත සාමාන්‍ය පරිදි හොඳ හා නරක මෙන්ම මධ්‍යම ආදී වශයෙන් නිර්මාණය කර ඇත. සතුන් ගේ චරිත පංච තන්ත්‍රය හිතෝපදේශය වැනි සංස්කෘත උපදේශ ග්‍රන්ථවල මෙන් මානව චරිතයන්ට සමාන වන අයුරින් නිර්මාණ කර ඇත.
ජාතක කථාවන්හි එන ඇතැම් චරිත කලාත්මක අයුරින් ඉදිරිපත් කිරීමෙන් නවකතාවක චරිත නිරූපණය මෙන් සිදු කර ඇත. ඉතා සුළු චරිතයකට උදාහරණ වශයෙන් උම්මග්ග ජාතකයෙහි එන අමිත්ත තාපා සහ පූජක වැනි චරිත අපට සමීප කරන්නේ මානව හදවත් විනිවිද ගන්වන ආකාරයෙනි. ජාතක පොතෙහි දේශපාලන සන්දර්භය පිළිබඳව මනාව විවරණය කරනු ලබන්නේ ද උම්මග්ග ජාතකය තුළිනි. ජාතක කථාවෙහි අන්තර්ගත දේශපාලන ධාරාව වන්නේ බ්‍රහ්මදත්ත නම් වංශයයි. රජ පරපුර එකල පැවති දේශපාලන භූමියේ කැපී පෙනෙන චරිතය වේ. එමෙන්ම පුරෝහිත ද, අමාත්‍ය මණ්ඩලයද සිටිති. පුරෝහිත බමුණු පඬිවරයෙකි. සෑම ජාතක කථාවක්ම ආරම්භ වන්නේ බ්‍රහ්මදත්ත නම් රජු ගැන සඳහන් කිරීමෙනි. ඔහු තක්ෂිලාවේ සිසුවෙකු වෙයි. රාජ්‍ය පාලනයට අවශ්‍ය සියලු ම දැනුමෙන් හා හැකියාවෙන් පිරිපුන් අයකු වීම, එකල සිරිතයි. මේ නිසා රජු උගත් ගුණවත් රණශූර අයකු වීම, රටේ අභිවෘද්ධිය පිණිස හේතු වන්නකි.
  1. අන්තර්ගතයේ ඇති සුවිශේෂිතා.

ජාතක පොතෙහි ඇතුලත්වන ඉතා දිගු ජාතක කථාව වශයෙන් උම්මග්ග ජාතකය සැලකේ. එය උපහාස රසයෙන්ද වික්‍රමාන්විත ක්‍රියාවන්ගෙන්ද යුතු අතුරු කතා රාශියකින් සමන්විතය. උම්මග්ග ජාතක යනු උමඟේ කථාව ඇතුළත් ජාතකය යන අදහස ඇතුළත් වුවත් සමස්ත කතාන්දරය තුළින් ම අර්ථ ගන්වන්නේ හුදෙක් ධාර්මික සමාජයක වටිනාකම ම පමණක් නොවේ. උම්මග්ග ජාතකය" හෙවත් උමඟ ඇතුළෙහි කථාව හුදු ජාතක කථාවක් ම නොවේ. මෙම ජාතක කථාව මනාව පරිශීලනය කිරීමේ දී වැදගත් කාරණයක් සාධනය වේ. තියුණු නුවණක් ඇති ශ්‍රේෂ්ඨ රාජ්‍ය උපදේශකයකුගේ ජීවිත කථාව පිළිබිඹු වන බව පෙනේ. උම්මග්ග ජාතකය සූක්ෂ්ම අධ්‍යයනය කරන්නේ නම් ඒ තුළ අන්තර්ගත වන්නා වූ ඉතා වැදගත් දේශපාලන න්‍යායයන් රැසක් අනාවරණය කර ගත හැකි වේ. ඊට හොඳම නිදසුන වන්නේ මහෞෂධ කුමාරයාගේ කථාවයි. ජාතක කථාවේ නායකයා ද මහෞෂධ කුමරු ය. ඒ වූ කලී බලවත් සතුරු ආපදාවකට ගොදුරු වූ තම රජුත්, රටත් තමාගේ බුද්ධියේ උපකාරයෙන් බේරා ගන්නා ආකාරයයි. එහි අන්තර්ගත විස්තරයට අනුව මහෞෂධ කුමාරයා විසින් අටළොස් අක්ෂෞභිණියෙක මහා සේනාවක් පරාජය කර ඇත්තේ කිසිදු ලේ බිඳක් නොසෙල්වා ය.  
මේ පිළිබඳ ව අදහස් දක්වන මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මතය වී අත්තේ උම්මග්ග ජාතකයේ ඇතුළත් තොරතුරු චන්ද්‍ර ගුප්ත මෞර්ය රජුගේ සමයේ හෝ ඊට ආසන්න සමයේ සිදු වූවක් ලෙස උපකල්පනය කළ හැකි තොරතුරු අන්තර්ගතවන බවයි. ඒ අනුව කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය වස්තු කොටගෙන සකස් වී ඇති මෙහි චූලනී රජුගේ පුරෝහිතයා වන කේවට්ටයා කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය නිර්මාණය කළ චාණක්‍ය බමුණා විය හැකි බව වික්‍රමසිංහ මහතාගේ අනුමානය වී ඇත. මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් උම්මග්ග ජාතකය කෞටිල්‍ය අර්ථශාස්ත්‍රයේ ආභාෂය ලබා ඇති බවට ඇති මතය තුළින් ගම්‍ය වන්නේ එහි ඇති දේශපාලන මූලෝපායික වැදගත් කමයි. මන්ද යත් කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය යනු රජෙකුට දේශපාලනික අත්පොතකට සමාන වූවක් වීමයි.
උම්මග්ග ජාතකයෙන් හෙළිවන දේශපාලන හා සමාජ පසුබිම පිළිබදව විමසීමේ දී පෙනී යන්නේ රාජ්‍ය තන්ත්‍රය අභියෝගයකට ලක් වූ යුගයක් මෙයින් අවධාරණය වන බවයි. ක්ෂත්‍රියන්ට හා බ්‍රාහ්මණයන්ට අන්‍යෝන්‍ය සහයෝගයෙන් රාජ්‍ය ආරක්‍ෂා කර ගැනීමට පැවති ශක්තිය මේ වන විට නොපැවති බව පෙනී යයි. තමන්ට වඩා පහත් යැයි සලකනු ලැබූ කුලයකට අයත් මහෞෂධ කුමරු රාජ සේවයට කැඳවන්නට වේදේහ රජුට සිදු වන්නේ ඒ හේතුවෙනි.
  1. අන්තර්ගතයෙන් හෙළිවන දේශපාලනය.

        කථාවේ සඳහන් වන ආකාරයට මහෞෂධ කුමරු බුද්ධිමත් බව උපතින් ම රැගෙන ආ පුද්ගලයෙකි. ඔහු උපත ලැබූ රාජ්‍යය පිහිටියේ දඹදිවයි. එම රාජ්‍යය කුඩා එකකි. පුරාණ දඹදිව සොළොස් මහා ජනපද ගැන විසීමේදී "වේදේහ" තරම් ප්‍රබල රාජ්‍යයක් නොවන බව පැහැදිලි ය. වේදේහ රටේ අගනුවර "මියුලු නුවරයි". මියුලු නුවර වාසය කළ වේදේහ රජු දක්ෂ බුද්ධිමත් රාජ්‍යෝපාය සහිත පාලකයකු නොවූ බව පෙනේ. රජුට උපදෙස් දීමට බුද්ධිමතුන් සතර දෙනෙකු සිටි නමුත් සාම්ප්‍රදායික ව ඔවුන් හට නැකැත් ආදී ශාස්ත්‍ර පිළිබඳව වූ දැනුම පමණක් තිබුණි. මහෞෂධ කුමරාගේ ඉපදීම ඔවුන් කල් ඇතිව දැන සිටියෝ ය. එහෙත් උපදේශකයන් සතර දෙනාම සාමාන්‍ය මිනිසුන්ට පොදු වූ දුර්වලතාවලින් පෙළුණෝ ය. ළාබාල මහෞෂධ කුමරු රාජ්‍ය සේවයට එන විට ඔවුහු මුල සිටම ඊර්ෂ්‍යා කළහ. මහෞෂධ කුමරාගේ ආගමනය සිදු වන්නේ මෙවැනි පරිසරයකය. ඔහුට රාජ මාලිගය තුළ දීම කුමන්ත්‍රණවලට මුහුණ දෙන්නට සිදු වේ. මෙම කුමන්ත්‍රණ පරාජය කිරීමට ඔහු සමත් වන්නේ තම සියුම් බුද්ධිය ඉවහල් කොට ගැනීමෙනි. සේනකයා ප්‍රමුඛ උපදේශකවරු අටවන උගුලේ ඔහුට වැටෙන්නට සැලැස්වීමෙන් මේ බව වටහා ගත හැකිය. එදත් අදත් ඕනෑම රටක රාජ්‍ය සේවය තුළ මේ ආකාර කුමන්ත්‍රණ අඩුවක් නැතිව සිදු වේ.
මහෞෂධ කුමරු රාජ සේවයට එන විට දඹදිව ලොකු, කුඩා රාජ්‍යයන් සියයකට ආසන්න ගණනක් තිබුණ බව පෙනේ. භූගෝලීය හා සමාජ සාධක මත රාජ්‍යයන් ප්‍රබලව තිබුණි. භූගෝලීය වශයෙන් විශාල රටක ජන සංඛ්‍යාවද විශාලය. එබඳු රටක යුධ හමුදාවද විශාලය. එහි අනෙක් පැත්ත දක්නට ලැබුණේ කුඩා රාජ්‍යවලය. කේවට්ට නම් උපදේශකවරයා සිය සැලැස්ම සම්පාදනය කරන්නේ එකී පසුබිම මතය. කේවට්ට වනාහී මහෞෂධ පණ්ඩිතයාට පමණක් දෙවැනි වන ප්‍රඥාවෙන් අගතැන්පත් අයෙකි. ඔහුගේ සැලැස්ම ව්‍යර්ථ වී ගියේ නූලෙනි. එසේ නොවුනේ නම් ඉතිහාසයේ විශාල ම අධිරාජ්‍යය ගොඩ නගන්නේ චූලනී බ්‍රහ්මදත්ත රජු ය. රජ මාලිගයේ කුමන්ත්‍රණය පරදවා මහෞෂධ රාජ්‍ය පාලනය අතට ගන්නේ ළාබාල වියේදීම ය. ඔහුගේ වයසට සාපේක්‍ෂව සේනක, දේවින්ද, කාවින්ද හා පුක්කුස ජ්‍යෙෂ්ඨයෝ වෙති. නමුත් බුද්ධියට වයසෙන් ඇති වන බලපෑමක් නැති තරම් ය. මහෞෂධ නම් ලාබාල රාජෝපදේශකවරයා කි‍්‍රයාකරන අයුරු ඉතා සිත් ඇදගන්නා සුළු වේ. මෙහි දී ඔහු වැදගත් පියවර දෙකක් ගනී. ප්‍රථමයෙන් ඔහු කරන්නේ ඔත්තු සේවාව විධිමත් ව සංවිධානය කිරීමයි. ඕනෑම දක්‍ෂ ප්‍රබල නායකයකු සිය රට මෙහෙයවීමේ දී ඔත්තු හා බුද්ධි අංශ ඉහළ තැනකට ගෙන එනු ලබයි. මහෞෂධගේ ඔත්තු සේවාව වේදේහ රට තුළ ද ඉන් පරිබාහිරද සමස්ත දඹදිව පුරාව ද කි‍්‍රයාත්මක විය. ඔත්තු සේවාව සඳහා ඔහු යොදා ගත් ක්‍රම ඉතාමත් විශිෂ්ට විය. මිනිසුන්, සතුන් හා වෙනත් ක්‍රම ද එහිදී උපයෝගී කොටගනු ලැබීය.
එහිදී දඹදිව සෙසු රාජ්‍යවල සේවය සඳහා ද චරපුරුෂයෝ යොදවනු ලැබූ අතර මෙම චරපුරුෂයන් එම රාජ්‍යවල නොයෙක් අංශවලට ඇතුළු වීමට ද සමත් විය. එය යුධ හමුදාව හෝ රාජමාළිගයේ අභ්‍යන්තර සේවාවන් විය හැකිය. එහෙත් මේ චරපුරුෂයන්ට යා හැකි සීමාවක් ඇත. ඉන් ඔබ්බට ගොස් රහස් සොයන්නේ කෙසේ ද? යන්න ගැටලු සහගත විය. උදාහරණයක් ලෙස බ්‍රහ්මදත්ත රජු හා කේවට්ටයා අතර ඇති වන සාකච්ඡාව චරපුරුෂ සේවයට අසු නොවේ. එය ඌණතාවකි. මහෞෂධ කුමාරයාගේ සියුම් ඥානය ප්‍රකට වන්නේ මෙහිදීය. ඔහු සාමාන්‍ය මිනිසුන්ට යා නොහැකි තැන්වලට පක්ෂීන් යොදවයි. සාමාන්‍යයෙන් ගිරවුන්, මයිනුන්, සැලයන් ඔත්තු සෙවීමේ කාර්යයට යොදා ගනු ලබයි. ප්‍රධාන දෙය ඔවුන්ට මනුෂ්‍ය භාෂාව කථා කිරීමට අසා තේරුම් ගැනීමට හැකියාව තිබීමයි. මහෞෂධගේ මේ ඔත්තු සොයන පක්‍ෂීහු චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ රහස් සාකච්ඡා දෙකක් ම ශ‍්‍රවණය කරති.
වර්තමාන ලෝකයේ ඔත්තු සේවාවල කාර්යභාරය ඉතා ඉහලින් පිළිගැනේ. බුද්ධි අංශ තොරතුරු නොමැතිව සටනට යෑම සිය දිවි නසා ගැනීමක් හා සමාන වේ. මෑත කාලයේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලදී සියයට සියයක් උදව් වූයේ බුද්ධි තොරතුරුයි. අද ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව වැනි රටවල ඔත්තු සේවා ක්‍රමානුකූල ගොඩනගා ඇත. ඇ. එ. ජනපදයේ  සී. අයි. ඒ ඔත්තු සේවාවට හොරෙන් පෘථිවිය මත කිසිම දෙයක් කළ නොහැක. පෘථිවි කක්ෂයට ඇතුළුව න සියලු බාහිර වස්තූන් පවා ඔවුන් නිරීක්‍ෂණය කරයි. අදට වසර දහස් ගණනකට පෙර මේ සම්බන්ධව කි‍්‍රයාකළ විශිෂ්ට පුද්ගලයා මහෞෂධ කුමරු ය.
තම රාජ්‍යය ඇතුළත ආරක්‍ෂාව තර කිරීම ඔහුගේ අනෙක් අභිප්‍රාය විය. නුවර ආරක්‍ෂාව තර කිරීම සඳහා ප්‍රථමයෙන් නුවර වටා උසැති තාප්පයක් බඳවයි. තාප්පය මත මුර ගෙවල් අට්ටාල ඇත. ඒවායේ විවිධ මුර භටයෝ සිටිති. දුනුවායෝ, ඈත නිරීක්‍ෂණය කරන්නන්ඒ මත සිටිති. මහෞෂධ මෙපමණකින් සෑහීමකට පත් නොවේ. තාප්පය ඉදිරියේ සුවිශාල දිය අගලක් තනවයි. එය ගැඹුරුය. එමෙන්ම බිහිසුණුය. දියට බට ඇසිල්ලෙන් කඩා පනින කිඹුලන්, මෝරුන් ආදී චණ්ඩ ජලචරයෝ එහි වාසය කරති. ඊට අමතරව මියුලු නුවර ද ධන ධාන්‍ය පුරවයි. සියලු දේ මාස ගණනකට සෑහෙන සේ රැස් කරයි. මේ සූදානමේ ප්‍රතිඵලය ලබන්නේ බ්‍රහ්මදත්ත රජු මියුලු නුවර වැටලීමෙන් පසුව ය. නුවරවාසීන් බඩගින්නේ තබා ජලය කපා හැර යටත් කිරීමට කේවට්ටයා දරන උපාය පරාජයට පත්වන්නේ යටකී උපාය නිසා ය.

උදා;
චූලනී බ්‍රහ්මදත්ත රජතුමා ප්‍රමුඛ සේනාව විසින් මියුලු නුවර යටත් කර ගැනීමට උපායක් ලෙසින්, එම රාජධානිය වට කොට නුවරට පැන් ගෙන ඒම නවතන ලදී. මේ අවස්ථාවේ දී මහෞෂධ පඬිතුමා ඔහුගේ විපුල ඥානය මුවහත් කරමින් සැට රියන් උණ දණ්ඩක ඇඹුල බිජු දමා මැටි උඩ තබා පැන් පුරාලූයේ ය. එවිට, එක් රැයකින් සැට රියන් උසට දික් වූ දඬු ඇති නෙළුම් මල් හට ගත්තේ ය. එම නෙළුම් මල් පිටත සතුරන්ට පෙනෙන්නට ද සැලැස්වී ය. නෙළුම් මල් දඬු සමග කඩා සතුරන් දෙසට විසි කරන්නට විය. ඒවා දුටු සතුරු සේනාව නුවර ඇතුළතත් එපමණ දික් වූ නෙළුම් මල් පිපීමට නම් මහා විල් ඇතැයි සිතා යටකී උපාය අත්හැර දමන ලදී. නෙළුම් මල් සිට වූ එම පුවත මෙසේ කථාවේ දිග හැරෙයි.
"සැට රියන් උස උණ දණ්ඩක් ගෙන්වා... හිමාලයෙන් ගෙන් වූ මැටි හා ඇඹුල බිජු ගෙන පොකුණු අසැ දියෙහි බිජුවට රෝපණය කරවා මැටි පිට උණ දණ්ඩ සිටුවා ඇතුළේ පැන් පුරවා ලූ සේක."
තවත් වරෙක, මියුලු නුවරට දර ගෙන ඒම නැවැත්වීමට සතුරු සේනාව විසින් කටයුතු කරන ලදි. දර නොමැතිව අහර පිසීමට හැකියාවක් නොලැබීමෙන් නුවර වැසියන් යටත් වනු ඇතැයි සතුරෝ සිතූ හ. එවිට, මහෞෂධ පණ්ඩිතයින් විසින් මෙබඳු උපායක් දියත් කරවන ලදි. එනම්, පිටතට පෙනෙන සේ පවුර ඇතුළතින් දර රැස් කර තවත් දරවලින් පිටත සිටි සේනාවට රැගෙන යාම සඳහා දර විසී කිරීමට කටයුතු කිරීමයි. ඒ බව මෙසේ ජාතක කථාවේ සඳහන් වෙයි.
"කොල, දර නැතිව පිස කෑ නොහී සයින් පීඩිතව නොහිඳ නැති කෙනෙක් උළුකැන් බත් ආදිය පිස කව. ..තෙල ඇරගන්වයි මහත් දර කඳන් ඇඟට දමා ලන්නා හ."
මේ දුටු සතුරු සේනාව සිතන්නේ, නුවරට දර ගෙන ඒම නැවැත්වීමෙන් යටත් කර ගත නොහැකි බවයි.
චූලනී බ්‍රහ්මදත්ත රජු සමඟ එක් සියයක් රජවරු හා ලක්‍ෂ ගණනක සේනාවක් නුවර වට කොට සිටී. යුද්ධ කර මොවුන් ජය ගත නොහැකි බව වටහා ගත් මහෞෂධ පඬිවරයා මෙහිදී උපාය මාර්ගික කටයුතුවලට පෙළෙඹෙයි. ඒ අනුව ඔත්තු සේවාවක් කි‍්‍රයාත්මක කරවීය. එමඟින් බ්‍රහ්මදත්ත රජු හා අනෙක් රජවරු අතර සමඟිය බිඳ වැටී සැකය වැඩි විය. අධෛර්යයට පත් වූ රජු යුද්ධය හැර දමා තම රාජ්‍යයට පසු බසිනු ලැබීය.
සතුරු සේනාවන්ගෙන් රාජ්‍ය බේරා ගැනීමටත්  දඹදිව තුළ රාජ්‍ය පැවැත්ම ස්ථාවර කරලීමටත් මහෞෂධ කුමාරයාට හැකි වූයේ තමා සතු වූ බුද්ධි මහිමය හේතුවෙනි. එසේම උම්මග්ග ජාතකය තුළින් හෙළිවන අනාවරණයන් කීපයක් සංක්ෂිප්තව දැක්විය හැකිය.
උම්මග්ග ජාතකයෙන් හෙළිවන සමාජයේ විවිධ පැති කඩ පිළිබඳ විවරණයක් කළ හැකිය. එනම්;
  1. අධ්‍යාපන අංශය

  2. දේශපාලන අංශය

  3. ආර්ථික අංශය

  4. පවුල් සංස්ථාව

  5. ආගමික අංශය

මේ අයුරින් සමාජයේ වැදගත් අංශ ගණනාවක් එමගින් විවරණය වේ. එහිදී දේශපාලන අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමුව පැවති බව අවබෝධ කරගත හැකිය. සමස්තයක් ලෙස රාජ්‍ය උපාය මාර්ග අනුගමනය කිරීමේදී මහෞෂධ කුමාරයාගේ දේශපාලන ක්‍රියාකලාපය යම් යම් අංශවලදී තර්කානුකූලව සිතන්නට හා ගැටලුවලට නොබියව මුහුණ දෙන්නට අනුබල දෙන නිකොලායි මැකියාවලිගේ කුමාරයා නැමැති ග්‍රන්ථයේ පාලකයෙකු විසින් තම බලය ලබා ගැනීම, එම බලය ස්ථාවර කර ගැනීම හා අවසාන වශයෙන් බලය ව්‍යාප්ත කිරීම යන අංශ සමඟ සමරූපතාවක් පවතින බවද පිළිබිඹු වේ.

නිගමනය
වර්තමාන ලෝකයේ දේශපාලනය කරන අයට ඉමහත් ආදර්ශයක් උම්මග්ග ජාතකය මගින් ලබා දෙන බව අවබෝධ කර ගත හැක. ඒ තුළ, දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කර බලලෝභීත්වය මත අධිරාජ්‍යවාදී මානසිකත්වයෙන් යුතු ව පාලනය කරන චූලනී බ්‍රහ්මදත්ත රජු හා කේවට්ට ආචාරීන් වැනි චරිත වර්තමානය හා සංසන්දනය කරමින් හඳුනාගත හැකිය. තවත් පැත්තකින් පෙන්වන්නේ මහෞෂධ පඬිතුමා ඇතුළු රජ පිරිසයි. මෙහි දී එකල පැවති පාලන රටාවේ දූෂිත හා අකාර්යක්ෂමතාව අද ද ලොව පුරා රාජ්‍යවල ද දැකිය හැකිය. රාජ්‍ය නිලධාරීන් මැති ඇමතිවරුන් වංචා දූෂණ කරන ආකාරය හා ජනතා දේපළ ගසා ගෙන කෑම හා පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති අයුරු එහි සඳහන් වෙයි. සේනක, පුක්කුස , කාවින්ද, දේවින්ද ,ආදීන් රජුට වැරදි උපදෙස් දී ජනතාවගෙන් ඈත් කිරීම සිදුවිය. කේවට්ට ආචාරීන් ඉතා ම කපටි දේශපාලන උපදේශකයෙකි. අකාර්යක්ෂම රාජ්‍ය පාලනය, ජනතා හිතවාදී බවින් තොරවීම ආදී කරුණු රැසක් වර්තමානයට උම්මග්ග ජාතකය මඟින් හෙළිකරණු ලබයි. මහෞෂධ චරිතය මගින් පැහැදිලි ජනතා හිතවාදී නායකත්වය හා සංවර්ධන ඉලක්ක කරා රාජ්‍ය මෙහෙයවන ආකාරය ඉතා පැහැදිලිව ම පෙන්වා දී තිබේ. වර්තමානයේ ලෝකයේ දේශපාලන රටාවට අවශ්‍ය සම්පත් ඒකරාශී කිරීමට උම්මග්ග ජාතකය උපදෙස් ලබා දෙයි. එමෙන්ම ධාර්මික ව අපක්‍ෂපාතී ව නඩු විසඳීම ගැන අධිකරණමය කරුණක් එමගින් අවධාරණය  කොට තිබේ
මෙයට අමතරව රාජ්‍ය පාලකයා තම දිවි දෙවැනි කොට ජනතාව සුරක්‍ෂිත කළ යුතු බව අවධාරණය කර ඇත. මේ අනුව බලන විට දේශපාලනික වශයෙන් ඉතා ම වැදගත් පණිවිඩයක් වර්තමාන දේශපාලකයන්ට මෙමගින් ලබා දෙයි. රජය නිතරම තම මාතෘභූමියේ ඒකීය බව රැකීමට බැඳී සිටියි. මෙමගින් ද එම ලක්ෂණය දැකිය හැකිය. රජු තම දේශය මනා කොට සුරක්‍ෂිත කිරීම සිදු කළහ. රටත්, ජනතාවත්, ආරක්‍ෂා කළහ. මේ නිසා අපට ජාතක කතා ආදර්ශ කොටගෙන කටයුතු කළහොත් දියුණු රාජ්‍ය ලක්ෂණ ලඟා කර ගත හැකි බව පෙන්වා දිය හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.


අමරසිරි, ආනන්ද, මහෞෂධ කුමාරයාගේ කතන්දරය, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2006.
ඉලංගසිංහ, මංගල, පෙරදිග දේශපාලන චින්තනය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන, 2008.
ගම්ලත්, සුචරිත, උම්මග්ග ජාතක ප්‍රවේශය, සහස්‍ර ප්‍රකාශකයෝ, කොළඹ, 2007.
මුනිදාස, කුමාරතුංග, උම්මග්ග ජාතකය, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2015.
ලැස්කි, හැරල්ඩ් ජේ. රාජ්‍ය පිළිබඳ සිද්ධාන්ත හා ව්‍යවහාරය. පරි: ඩී බී. අයි. එස්. සිරිවර්ධන, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2005.
වෙත්තමුණි, විජයසිරි., සරල සිංහල මහා වංශය, කර්තෘ ප්‍රකාශන, කළුතර උතුර, 2009.
වික්‍රමසිංහ, මාර්ටින්, ජාතක කතා විමසුම, සරස ප්‍රකාශකයෝ, රාජගිරිය, 1968.
සිරි සීවලී, බඹරැන්දේ, උම්මග්ග ජාතකය, මැකලම් පොත් හල, කොළඹ, 1956.


උම්මග්ග ජාතකය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2015.

No comments:

Post a Comment