ජා
|
තක කතා තරම් ජනප්‍රියත්වයට
පත් තවත් සාහිත්‍යාංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරම්ය. බුදු සමය ලංකාවට
පැමිණීමත් සමගම ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායෙහි ඇතුළත් "ජාතක
පාලි" නම් කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණි බව විශ්වාසයයි. ජාතක පාලිය,
ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථාවන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථාවන්ට මිහිදු
හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතාවන්හි ආරම්භය මෙය ලෙස
සලකනු ලැබේ.
මෙම
සිංහලෙන් ලියන ලද ජාතක අටුවාව අද අප අතර නැතත් මහානාම රජු දවස ලංකාවට පැමිණි
බුද්ධඝෝෂ මාහිමියන්ගේ අටුවා පාලියට නැගීමේ ව්‍යාපෘතිය ඔස්සේ එය පාලියට නැගී අදත්
අප අතර "පාලි ජාතකට්ඨ කතාව" නමින් පවති. "පන්සිය පනස් ජාතක
පොත් වහන්සේ "නමින් සිංහල පාඨක ජනතාවගේ ගෞරවයට පාත්‍ර වු සිංහල ජාතක පොත එම
පාලි ජාතකට්ඨ කතාවේ පරිවර්තනයක් ලෙස අප අතරට පත්ව ඇත. සිංහල ජාතක පොත ලියවෙන්නට
පෙර සිට ම ජාතක කතා ඉගෙනීමට සිංහලයන් දැක්වු උනන්දුව පැහැදිලි වන සාධක රැසක් ම
හමුවේ. 12වන සියවසේ දී ජාතක අටුවා ගැට පදයක් ලියවුනේත් ජාතක ගාථා සන්නය, වෙසතුරු දා සන්නය,
දස ජාතක සන්නය, අටදා සන්නය ආදිය
ලියවුනේත් ධර්ම ප්‍රදීපිකාවේ සිට සියලු සිංහල සාහිත්‍ය කෘතීන්හි ජාතක කතා ඇතුළත්
වුයේත් මුවදෙවිදාවත, කුසජාතකය, කවි
සිළුමිණ, ජාතක කතා වස්තු කොට පද්‍ය කෘති බිහි වුයේත් එහි
ප්‍රතිඵල වශයෙනි. මෙම ජාතක කතා බොහෝමයක් ලංකාවේදී සංගෘහිත වුවත් එහි අන්තර්ගත
තොරතුරු ඉපැරණි භාරතීය සමාජය පදනම්කරගෙන පැවති බව පැහැදිලි වේ.
මෙහි දී පළමු ව අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන තිලමුට්‌ඨි
ජාතකය, පන්සිය පනස් ජාතක
කතා අතරින් එකකි. සමාජයට ආදර්ශයක් ලබා දෙන ජාතක කතාවක් ලෙස අනෙක්
ජාතක කතා මෙන් ම මෙය ද ඉතාමත් වැදගත් මෙන් ම ජනප්‍රිය වේ. බොහෝමයක් ජාතක කතාවල තක්ෂිලාව හා එහි විසූ දිසාපාමොක් ආචාරීන්
මෙන් ම ඔවුන්ගෙන් ඉගෙනීම පිණිස ගිය විවිධ ශිෂ්‍යයන් ගැන සඳහන් වේ. මෙයින් ඇතැම්
කතාන්තර අනුව සිතන විට මුළු තක්ෂිලා නුවර ම බරණැස මෙන් එක්තරා විශ්වවිද්‍යාල
නගරයක් ව පවතින්නට ඇති බව උපකල්පනය කළ හැක.
තිලමුට්ටි ජාතකයේ සඳහන්ව ඇති ආකාරයට බරණැස් නුවර බඹදත් රජු
රජකම් කරද්දී ඔහුගේ පුත් වූ බඹදත් කුමාරයා කැඳවා එක් පටක් ඇති වහන් සඟලක්ද, පත්
කුඩයක්ද, කහවණු දහසක්ද දී “දරුව තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙන ගනුවයි” කියා යැවීය.
අධ්‍යාපනය ලබා දීම
සම්බන්ධයෙන් එකල ප්‍රභූ පවුල්වල පැවති අදහස මෙමඟින් නිරූපනය වේ. එහිදී බොහොමයක්
දෙනා තම දරුවන්ව තම නුවර දිසාපාමොක්
ඇඳුරුතුමා සිටිද්දී ම ශිල්ප ඉගෙනීම පිණිස දුරු රටකට යවනු ලබයි. එයට හේතු ලෙස
දැක්විය හැකි කරුණු කීපයක් පවතී. ඒවා නම් පවුල් පසුබිම, මන්නාධිකම, බලපුළුවන්කාරකම
හා ජනප්‍රිය ගුරුවරුන් වීම යනාදිය විය හැක.
මෙහි දී
මෙම ජාතක කතාව තුළ දක්නට ලැබෙන අධ්‍යාපන ක්‍රමය භාරතීය අධ්‍යාපනය තුළ දක්නට ලැබෙන
විශිෂ්ටතම ලක්ෂණය වන ගුරු ගෝල සම්බන්ධතාව පිළිබඳ තොරතුරු ලබා දෙයි. මනා ගුරුගෝල
සම්බන්ධය, ශිල්ප ඉගෙනීම සඳහා ශිෂ්‍යයාට ලැබෙන ඉතා හොඳ පෙළඹවීමකි. ගුරුවරයාගෙන්
ශිෂ්‍යයාට ආදරය, කරුණාව, සම්මානය, පිළිගැනීම වැනි මානසික අවශ්‍යතා ඉටු වීම මනා
ගුරුගෝල සම්බන්ධයකට පදනම වැටීමක් ලෙස සලකනු ලැබේ. එසේ වූ විට ශිෂ්‍යයාගේ ආදරය,
භක්තිය, ගෞරවය ආදිය ද ගුරුවරයා කෙරෙහි ලැබේ.
පුතකු
පියකුට සලකන අයුරින් අලුයම පිබිදුණු වෙලාවේ පටන් රාත්‍රි නින්දට යන තුරු ශිෂ්‍යයා
විසින් ගුරුවරයා කෙරෙහි පැවැත්විය යුතු ආචාර ධර්ම මෙම ජාතක කතාව ආශ්‍රයෙන් අවබෝධ
කර හැක. මෙම ජාතක කතාව අධ්‍යයනයේදී පෙනී යන්නේ එකල භාරතීය අධ්‍යාපන ක්‍රමවේදය
දෙයාකාරයකින් පැවති බවයි. එනම්;
1.
ධර්ම
අන්තේවාසිකයෙකු වී අධ්‍යාපනය ලැබීම.
2.
ගුරු පඬුරු
දී අධ්‍යාපනය ලැබීම.
·
ධර්ම
අන්තේවාසිකයෙකු වී අධ්‍යාපනය ලැබීම.
මෙම ක්‍රමවේදය එකල පැවති ප්‍රසිද්ධ ම අධ්‍යාපනික සංකල්පයක් වන
බව පෙනී යයි. එහිදී දිවා කාලයේ ශිෂ්‍යා විසින් ගුරුතුමාගේ වැඩපළ කර දී රාත්‍රි
කාලයේදී ඉගෙනීමේ කටයුතු කරයි. කලින් අවදිවන ශිෂ්‍යයා ගුරුවරයාගේ රුචිය අනුව ආහාර
පාන පිළිගන්වා, මිදුල ඇමද පිරිසිදු කරයි. ගුරුවරයාගේ අවසර නොගෙන පිටතට නොයයි.
ගුරුවරයා රෝගාතුර වුවහොත් දිවි හිමියෙන් උවටැන් කරනු ලබයි.
·
ගුරු පඬුරු
දී අධ්‍යාපනය ලැබීම.
ගුරු පඬුරු දුන් ශිෂ්‍යයන් විසින් ගෙදර දෙටු පුත්‍රයන් මෙන්
ශිල්ප ඉගෙනීම පමණක් කරති. එම නිසා ගුරුවරයා හට සැහැල්ලු සිතින් සුභ හෝරාවක් විමසා
බලා ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ හැක.
ආචාර්යවරයා නොහොත් ජාතක කතාවලට අනුව දිසාපාමොක් ඇදුරුතුමන්ගෙන්
අධ්‍යාපනය ලැබීමට ගෙවිය යුතු ගුරු පඬුරු පිළිබඳ මෙම ජාතක කතාවේ සඳහන් වේ.
“කුමාරයා ගුරුතුමා වෙත ගොස් එළඹ වැද සිටියේ ය. දරුව
කොහි සිට ආවේදැයි ඇසූ විට බරණැස සිට යැයි කීය..... කුමක් සඳහා ආවේදැයි ඇසූ විට
ශිල්ප ඉගෙනීම යැයි පිණිස යයි කීවේය. නුඹ ගුරු පඬුරු ගෙනෙන ලදද? නැත්නම් ධර්ම
අන්තේවාසිකයෙකු වීමට කැමතිදැයි විමසීය.....හෙතෙම මවිසින් ගුරු පඬුරු ගෙනෙන ලදැයි
කියා, ගුරුතුමාගේ පාමුල දහසක් බැඳි පියල්ල තබා වැන්දේ ය.”
ගුරු ශිෂ්‍යය සම්බන්ධ සංකල්පය තහවුරු වීමට නම් ගුරුවරයා විසින්ද
ශිෂ්‍යයාට ගරු සැළකිලි දැක්විය යුතු ය. ශිෂ්‍යයාගේ බුද්ධිමය වර්ධනයට හා සදාචාර
වර්ධනයට අවශ්‍යය දෑ ගුරුවරයා විසින් ඉටු කළ යුතුය. ශිෂ්‍යයාට ධර්ම විනය පාඩම් කර
වීමෙන් ද, ඒවායේ අර්ථ අදහස් කියා දීමෙන් ද, වරද කළ කල්හි අවවාද හා දඬුවම් කිරීමෙන්
ද ගුරුවරයා සතු කාර්යභාරය වේ. එසේ ම මනාව නොපවතින ශිෂ්‍යයා පළවා හරින්නට
ආචාර්යවරයාට බලය තිබේ.
මෙහිදී අවධානයට ගැනෙන අනෙක් ජාතක කතාව වන ගුත්තිල ජාතකයද
තේමාව වී ඇත්තේ බෞද්ධ ගුරු ශිෂ්‍ය සම්බන්ධතා පෙන්වන කතා තේමාවක් බව පෙනී යයි. තම
ගුරුවරයා අභිබවා ගොස් තරඟ වැදීම කෙළෙහි ගුණ සලකන බෞද්ධ ශිෂ්‍යයෙකුගේ යුතුකම නොවන
අතර එවන් ශිෂ්‍යයෙකු සමඟ තරඟ වැදීම බෞද්ධ ගුරුවරයෙකුට තරම් නොවන බවද එම ජාතක කතාව
කියා පානු ලබයි.
එසේ ම ශිෂ්‍යයකු වශයෙන් භාරගත් විට ගුරු මුෂ්ටි නොතබා ඉගැන්වීම
බෞද්ධ ගුරුවරයෙකුගේ සිරිත බවත්, නුවණැස පාදාලූ ගුරුවරයා කෙරෙහි කිසිම තැකීමක්
නොකොට සදාචාර ධර්මවලට පටහැනිව ක්‍රියාකරන ශිෂ්‍යා පිරිහෙන බවත් මෙම ජාතක කතාවෙන්
තවදුරටත් පෙන්වයි.
මෙලෙස ජාතක කතාවන්ගෙන් පෙනෙන ලද අධ්‍යාපන ක්‍රමවේදය තුළ යම්
නිශ්චිත ප්‍රමිති ගත කිරීමක් තුළ තිබූ බව අවබෝධ කර ගත හැකිය. එහිදී ශිෂ්‍යයා
ආචාර්යවරයා යටතේ නිෂ්චිත ක්ෂේත්‍ර කීපයක් යටතේ අධ්‍යාපනය හැදෑරිය යුතු වූ අතර ඒ
යටතට සංස්කෘත භාෂාව, වාග් විද්‍යාව,
තර්ක ශාස්ත්‍රය ආදිය මෙන් ම දුනු ශිල්ප, කඩු ශිල්ප අදී සටන්
කලාවන් ද හැදෑරූ බව පෙනී යයි. ශාස්ත්‍රීය මට්ටමින් මෙබඳු ප්‍රවේශ දැනුමක් අපේක්ෂා
කල අතර, සෑම ශිෂ්‍යයකු ම සදාචාර සම්පන්න ගති පැවතුම්
වලින් හෙබි යහපත් චරිතයකින් යුක්ත වීම ද අත්‍යවශ්‍ය විය. මෙලෙස ශිල්ප උගත් පසු
ශිෂ්‍යයා තම උගත් බුද්ධිය හා දක්ෂතාවය ගුරුවරයා ඉදිරියේ දැක්වීමෙන් පසු එහි ඇති
සාර්ථකත්වය මත එම ශිෂ්‍යයාගේ අධ්‍යාපනික කාල සීමාව අවසන් වේ. කෙසේ වෙතත් එලෙස
පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනුම හා කලා ශිල්ප අවශෝෂණය කර ගැනීමේ හැකියාව මත ශිෂ්‍යයාගේ
අධ්‍යාපනික කාල සීමාව කෙටි හෝ දීර්ඝ වීමට ද ඉඩ පැවැතිණි.
තිලමුට්ඨි
ජාතකයේ සඳහන් ව ඇති ආකාරයට ශිල්ප උගත් බඹදත් කුමරු නැවත තම රටට ගොස් තම පියා වූ බඹදත්
රජු ඉදිරියේ තමා උගත් ශිල්ප ශාස්ත්‍රය විඳහාලූ පසු ඔහුට රජකම හිමි වූ බව එහි
දැක්වේ. නිසි අධ්‍යාපනයෙන් පසු පමණක් රජකම ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව විවෘතව පැවතීම
තුළින් පෙනී යන්නේ අතීතයේදී රාජ්‍ය පාලනය සඳහා ද අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම
වැදගත් වූ බවයි.
“කුමරා
ශිල්ප නිමවා කළයුත් වත් දක්වා.......නැවත බරණැසට ගොස් මව්පියන් වැඳ ශිල්ප දැක්වීය.
රජතුමා ජීවත් ව සිටියදී ම මගේ පුතා දක්නා ලදි. ජීවත් ව සිටියදීම මොහුගේ රාජ්‍යශ්‍රීය
බලන්නෙමියි, පුතා රාජ්‍යයේ පිහිටුවීය. ”
ගුත්තිල ජාතකයට
අනුව පෙනී යන තවත් වැදගත් කරුණක් වන්නේ එකල ගුරු වෘත්තිය කෙරෙහි පැවති සමාජ
පිළිගැනීමයි. එහිදී ගුරුවරයා දේවතවයේලා සැලකීම සිරිත විය.
සමස්තයක් ලෙස සැලකීමේ
දී මෙම ජාතක කතා දෙකෙහිම ඇති ලක්ෂණවලට අනුව ගුරුවරයෙකු සතුව පැවතිය යුතු ගුණාංග
කීපයක් හඳුනාගත හැක. ඒවා නම් ;
o මනාසේ ශිෂ්‍යයා හික්ම වීම.
o කරුණාවෙන් ඉගැන්වීම.
o තමා දැන උගත් සිප් සතර ශිෂ්‍යයාට නොසඟවා කියා දීම.
o ශිෂ්‍යයා උවදුරුවලින් රුක ගැනීම.
o ශිෂ්‍යයාව තම හිත මිතුරන්ට හඳුන්වා දීම.
ආදියයි.
මූසිල තම ඇදුරුතුමා සමඟ රජ ගෙදරට ගිය විට රජු ඔහු දැක “
ගුරුතුමනි මොහු කවරෙක්දැයි විචාලේය. මහ රජතුමනි ඒ මගේ අතවැසියෙකි කීහ.....”
“....ඔහු ගුරුවරයාට ඇදුරුතුමනි ! මම රජතුමාට සේවය
කරන්නෙමියි කීය. ගුරුතුමා හොඳයි දරුව රජතුමාට කියන්නෙමි කියා ගොස් අපගේ අතවැසියා
දේවයන් වහන්සේට සේවය කරන්නට කැමතිය. ඔහුට දිය යුතු දෙයක් දැන ගනු මැනවැයි රජුට
දන්වා....”
ඉහතින් දක්වන ලද ආකාරයට ගුරුවරයා විසින් ශිෂ්‍යයා හිත මිතුරන්ට
හඳුන්වා දීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔහුට සමාජයේ යම් කිසි තත්ත්වයක් ලබා දීමයි.
එසේ ම ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීම ද මේ හා සම්බන්ධ වූවකි. මෙය බොහෝ දුරට නූතන අධ්‍යාපනඥයින්
පෙන්වාදෙන “පිළිගැනීම” නැමැති මානසික අවශ්‍යතාව සපුරාලීමකි.
තිලමුට්ඨි ජාතකයේ සඳහන් ව ඇති ආකාරයට ගුරුවරයා විසින් තල මිටක්
සොරා ගැනීමේ වරද හේතුවෙන් ශිෂ්‍යයාට බට පතුරකින් පහර දී දඬුවම් කිරීම මඟින් ඔහු බලාපොරොත්තු
වූවේ අනාගතයේදී ශිෂ්‍යයා සොරෙකු වී අනතුරෙහි වැටීම වැළැක්වීමයි.
“මහ රජ තුමනි නුඹ මෙසේ දැනගන්න....මවිසින් නුඹ මෙසේ හික්මවනු
නොලැබුවේ නම් කල්යත් ම කැවුම් කොකිස් ආදියද, පලාපල ආදියද ගෙන යමින් සොරකම්වල දැඩිව
ඇලී පිළිවෙලින් ගෙවල් බිඳීම්, මං පැහැරීම්, ගම් පැහැරීම් ආදිය කොට රාජ අපරාධ
සොරෙක් යැයි කියා හොරබඩු සමඟම අල්ලා ගෙන රජතුමා ඉදිරියට පැමිණ වූ විට යව්, මොහුට
වරදට සුදුසු දඬුවම් පමුණුවව්යි කී විට රජ දඬුවම් ලැබීමේ බියට පත් වන්නට ඉඩ
තිබුණි...”
ඒ අනුව ශිෂ්‍යා උවදුරුවලින් රැක ගැනීම නිසා සිදුවන්නේ ගුරුවරයා
ලඟ ශිෂ්‍යයාගේ සුරක්‍ෂිතභාවය තහවුරු වීමය.
සමස්තයක් ලෙස මෙම ජාතක කතා අධ්‍යයනයේදී පෙනී යන කරුණක් වන්නේ එකල
භාරතීය අධ්‍යාපනය තුළින් ඉතා යහපත්, මනා බුද්ධියකින් හා දැනුමකින් යුතු දක්ෂ
පුද්ගලයන් සමාජයට දායාද කිරීමට අවශ්‍ය පසුබිම ශිෂ්‍යයන්ට ලබා දුන් බවයි. ඒ සඳහා
මූලික ලෙස සංවරශීලී ශික්‍ෂණය මූලික කර ගනු ලැබීය. තවද ආධ්‍යාත්මික හා බුද්ධිය
වර්ධනය කිරීම අරමුණු කරගත් බව ද පෙනී යයි.
No comments:
Post a Comment