Showing posts with label ඉන්දීය ඉතිහාසය. Show all posts
Showing posts with label ඉන්දීය ඉතිහාසය. Show all posts

Sunday, 8 August 2021

මහා භාරතයෙන් හෙළිවන දේශපාලන දර්ශනය.

 

මහාභාරතයෙන් හෙළිවන දේශපාලන දර්ශනය.

 

ම

හාභාරතය පිළිබඳ සාකච්ඡා කිරීමේදී බොහෝ දෙනාට මතකයට නැගෙන්නේ එම කෘතිය පැරණි ග්‍රීසියේ රචනා වූ හෝමර් නැමැති මහා කවියාගේ ඉලියඩ් හා ඔඩිසි නම් වීර කාව්‍ය ද්විත්වය හා සමාන වන බවයි. එය සැබෑ නමුත් මහාභාරතය නම් කෘතිය හුදෙක් වීර කාව්‍යයකට සීමා නොවන අතර ඒ තුළ ආර්‍ය්‍යයන් ඉන්දියාවට පැමිණීමේ සිට වර්ධනය වූ පුළුල් දේශපාලන දර්ශනයක් ද අන්තර්ගත ව ඇති බව අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. මෙහි ශාන්තිපර්වය නම් 12වන සර්ගය, රාජ්‍ය කටයුතු හා මානුෂික ගති පැවතුම් විස්තර කෙරෙන නොයෙක් ආකාරයේ ශ්ලෝක දහස් ගණනකින් යුක්ත වේ. වසර දහස් ගණනකට පෙර භාරතයේ පැවති ආචාර ධර්ම, සමාජ ධර්ම, දේශපාලන සංකල්ප, උසස් සමාජ පරමාර්ථ වැනි කරුණු ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් එමගින් ලබා ගත හැක. ඒ සඳහා පළමු ව දේශපාලන දර්ශනය මෙන් ම මහාභාරත කෘතිය සූක්ෂ්ම අධ්‍යනයකට ලක් කළ යුතු වේ. එහිදී මහාභාරතය අයත් වන්නා වූ පෙරදිග දේශපාලන දර්ශනය හා අපරදිග දේශපාලන දර්ශනය සමඟ සංසන්දනාත්මක ව කරුණු අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වේ.

දේශපාලන දර්ශනය මඟින් රාජ්‍ය පිළිබඳ හදාරනවා මෙන් ම රාජ්‍ය පාලනය කිරීමේ කලාව පිළිබඳවද පුළුල් අවධානයක් යොමු කරනු ලැබේ. ඒ හා සම්බන්ධ දේශපාලන දර්ශනය තුළ ආරම්භක යුගයේ පටන්ම විවිධ මතවාදයන් ගොඩනැගී ඇත. මෙසේ ගොඩනැගී ඇති දේශපාලන මතවාදයන් ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ විග්‍රහ කළ හැක.

  •  පෙරදිග දේශපාලන මතවාද.
  •  අපරදිග දේශපාලන මතවාද.

ඉහතින් දක්වන ලද ප්‍රධාන දේශපාලන දර්ශනයන් ද්විත්වයේ ආකෘතිය එකිනෙකට සමාන වන අවස්ථා ද ඇතිමුත් පුළුල් ආකාරයෙන් විෂම අවස්ථා ද අන්තර්ගත වේ. එහිදී එක් එක් යුගයන්ගේ දේශපාලන, ආර්ථික, සමාජීය යනාදි ක්ෂේත්‍රයන්ගේ ව්‍ය්‍රහාත්මක සැකැස්ම සහ එක් එක් දාර්ශනිකයාට හෝ ගුරුකුලයට හෝ ආවේණික දෘෂ්ටිකෝණ මඟින් රාජ්‍ය හා රාජ්‍ය පාලනය පිළිබඳ කර ඇති විග්‍රහය වැදගත් වේ.

සිය දෛනික ජීවිතයට බලපාන එහෙත් තමාට විස්තර කළ නොහැකි ගැටලු විසඳීම උදෙසා වඩාත් ශිෂ්ට සම්පන්න මිනිසා විසින් දේශපාලන දර්ශනය කරා ක්‍රමයෙන් යොමු විය. ඒ අතර තවත් පිරිසක් එබඳු ගැටලු සඳහා විසඳුම් සොයනු ලැබුවේ ආගමික පූජකවරුන් හා දෙවිදේවතාවුන් කරා යොමු වීමෙනි. ලෝක ඉතිහාසය තුළ මානව ප්‍රගමනයේ වැදගත් සන්ධිස්ථානයක් හිමිකරගත් විෂයයක් ලෙස දේශපාලනය හැදින්විය හැකි අතර ඒ සම්බන්ධයෙන් බිහි වූ විවිධ මතවාදයන්ගේ හා විග්‍රහයන්ගේ එකතුව දේශපාලන දර්ශනය ලෙස හැඳින්විය හැකිය.

අපරදිග දේශපාලන චින්තන ධාරාවට  සමාන දිගු ඉතිහාසයක් පෙරදිග දේශපාලන චින්තන ධාරාව තුළ ද අන්තර්ගත ව ඇත. අපරදිග දේශපාලන චින්තනයේ මූලාරම්භය ග්‍රීසියේ සිදු වූවා මෙන් ම පෙරදිග දේශපාලන චින්තනයේ මූලාරම්භය පැරණි භාරතයේ සිදු විය. එමගින් දාර්ශනික අංශයට වඩා රාජ්‍ය සංවිධානය පිළිබඳ හා රාජ්‍ය කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබීම විශේෂ ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය. එනම් රාජ්‍ය බලය සුරක්‍ෂිත කරමින් යටත්වැසියාගේ සුබ සිද්ධිය සැලසීම වේ.

පශචාත් ඍග්වේද කාලපරිච්ඡේදය තුළ ආර්‍ය්‍ය සහ අනාර්‍ය්‍ය සංකලනය හේතුවෙන් දේශපාලන, ආර්ථික, සමාජීය සහ ආගමික යන ක්ෂේත්‍රයන්හි බොහෝ වෙනස්කම් සිදු විය. මෙහිදී දේශපාලන වශයෙන් සිදු වූ විශේෂ වර්‍ධනය නම් ආර්යයන් ගෝත්‍රික තත්ත්වයෙන් ප්‍රාදේශීය තත්ත්වයට පත් වීමයි.  පශ්චාත් ඍග්වේද යුගයේ ගෝත්‍ර කීපයක් ඒකාබද්ධ වීමෙන් සෑදුණු ප්‍රදේශ (ගණ) පිළිබඳවත්, පසු කාලයේදී විදේහ, කෝසල වැන විශාල රාජ්‍යයන් පිළිබඳවත් සඳහන් වේ. මෙතැන් සිට පෙරදිග දේශපාලන චින්තනය තුළ රාජ්‍යත්වය පිළිබඳ අදහස ක්‍රමයෙන් ව්‍යාප්ත වීම ආරම්භවනු දැකිය හැකිය.

පුරාතන ඉන්දියාවේ රාජ්‍යත්වය මානුෂික අවශ්‍යතාවයන් හා යුද්ධයේ දී උද්ගත වන අවශ්‍යතා සපුරාලීමේ පදනම මත ඇති වූවක් වන බව විද්වතුන්ගේ මතය වී ඇත. රජුගේ ප්‍රධාන කාර්යය වනුයේ යුද්ධයක දී ස්වකීය ප්‍රජාව ජයග්‍රහණය කරා මෙහෙය වීමයි. එමඟින් “රාජ්‍ය සංස්ථාව හා රජතුමා දෙවියන් විසින් ප්‍රදානය කරන ලද්දක්ය යන දේවවරම්වාදි අදහස” ඉස්මතු වීමක් ද සිදුව ඇත. මෙම අදහස මහාභාරතයේ මෙන් ම මනුස්මෘතියේ ද අන්තර්ගතව ඇත.

එහිදී විශ්ව සාහිත්‍යයෙහි වැදගත් තැනක් මහාභාරතයට අවිවාදයෙන් ම හිමි වේ. මෙම ග්‍රන්ථය භාරතීය දේශපාලන දර්ශන ග්‍රන්ථ අතර අග්‍රගණ්‍ය වේ. ආර්යයන් භාරතය කරා ගමන් කොට එහි පදිංචි වූවාට පසු දේශීය සතුරන් සමඟත් ඇතැම් විට ඔවු‍නොවුන් අතරත් ඇතිවූ සටන් බො‍හෝ ය. එම සටන්වලදි ඉතාමත් ‍දක්ෂ ලෙස සටන් කොට මියගියවුන් වීරයන් ලෙස සැලකීම ඒ ආර්ය සමාජයෙහි සිරිත විය. ඒ වීරයන්ගේ දක්ෂකම් පිළිබඳ සාකච්ඡා ද නිතර ඔවුන් අතර ඇතිවිය. කල්යත්ම මේ සාකච්ඡා කටින්කට පැවත ඒමෙන් අතිශයෝක්තියෙන් හා අද්භූත රසයෙන් සම්පූර්ණ වූ ජනකතා බවට පත් විය. ක්‍රි: පූ: 400 පමණ වන විට මෙබඳු විසිතුරු ජනකතා භාරතීය සමාජයෙහි බහුල වුවා මෙන් ම ජනප්‍රිය ද විය. රාමායණය හා මහාභාරතය යන වීරකාව්‍ය ද්විත්වය එකල පහළ වීමට ද හේතුව මෙයයි. මේ දෙකින් සිදුවුයේ අථර්වන් වේදය හැර සෙසු වේදයන්හි ආ වීර චරිතයනුත් යට කී පරිදි විසිර පැවති වීර චරිතයන් වටා ගෙතුණු ජනකථාවනුත් එක් රැස් කිරිම ය.

මහාභාරත කෘතියේ දැක්වෙන භීෂ්ම, යුධීෂ්ඨිරගෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් රාජ්‍ය පිළිබඳ දේවවරම්වාදී සිද්ධාන්තය මෙන් ම සමාජ සම්මුතිවාදී සිද්ධාන්තයට අදාළ අදහස් ද ඉදිරිපත් කර ඇත. එය පහත පරිදි ය;

“ස්වභාව ධර්‍මයේ පැවැත්මට පමණක් අනුරූප ව ජීවත් වූ මිනිස්සු රජෙකු නොමැතිව පරාජිත භාවයෙන් පෙළුණෙන්, දෙවියන් වෙතට ගොස් තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා රජෙකු පැතූහ. ඔවුන්ගේ ඇවිටිල්ලට කන් දුන් මහාබ්‍රහ්ම ඔවුන් වෙත මනු නැමැත්තා රජකු වශයෙන් පත් කොට එවීය.”  

පෙරදිග දේශපාලන චින්තනයේ ප්‍රාථමික අවධියේ රාජ්‍ය හා රාජ්‍යත්වයේ ආරම්භය දේව නිර්මාණවාදය  මත පදනම් වී පැවති අදහසක් දැකිය හැකි වුවද මෙහි දැකිය හැකි විශේෂත්වය වන්නේ සමාජ සම්මුතිවාදී අදහසක් ද මෙහි අන්තර්ගත ව පැවතීමයි. මෙම මතවාද තව දුරටත් ඉතා පුළුල් ලෙස විමසීම වැදගත් වේ.

මෙලෙසින් සකස් වී ඇති මහාභාරතය තුළ වැඩි වශයෙන් දේශපාලන දර්ශනයට ගත හැකි තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගතව ඇත්තේ ශාන්ති පර්වය නම් කාණ්ඩයේ ය. එහි ඇති තොරතුරුවලට අනුව ආදිතම මානව සමාජයේ නීතියක් හෝ නීතියක් ක්‍රියාත්මක රජෙක් වාසය කර නොමැති අතර එම මුල් කාලය තුල මානවයා සාමයෙන් හා සමාදානයෙන් තම ජීවිතය ගත කර ඇත. නමුත් කල්ගතවත්ම ජනතාව තුල ඇති වූ ආත්මාර්ථකාමී ලක්ෂණ හේතුවෙන් එකිනෙකා අතර ගැටුම් ආරම්භ වී ඇති අතර එකිනෙකා ඇනකොටා ගන්නා අභාග්‍ය සම්පන්න සමාජ ක්‍රමයක් ස්ථාපිත වී ඇත. පසුව මිනිස් සමාජයේ සිදුවන්නා වූ මෙම ව්‍යසනය දුටු දෙවිවරු තම ප්‍රධානියා වූ මහා බ්‍රහ්මයාට මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස ඉල්ලන ලදි. ඉන් අනතුරුව මෙයට පිළියමක් යෙදූ මහා බ්‍රහ්මයා තමා විසින් ම නීති සංග්‍රහයක් නිර්මාණය කොට එය විරජස් නම් පුද්ගලයෙකු ලවා මනුෂ්‍ය ලෝකයට එවා ඔහුව රජකමටද පත් කරනු ලැබීය. ඉන් අනතුරුව ඔහු එම නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මානව සමාජය යථා පරිදි සාමකාමී වූ බව මහාභාරතයේ ශාන්ති පර්වයේ දැක්වේ.

ඉහතින් දැක්වෙන ලද දේශපාලන දර්ශනයට අනුව මිනිස් සමාජයේ හා රාජ්‍යයේ ප්‍රභවය දේවියන්ගේ මැදිහත් වීමෙන් සකස් වී ඇත. එනම් එහි අර්ථ ගන්වන්නේ දේවවරම්වාදී අදහස් ය. නමුත් මහා භාරතයේ ඇති තවත් තොරතුරු අධ්‍යයනය කිරීමේදී මෙයට වඩා වෙනස් ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ අන්තර්ගත විය හැකි දේශපාලන දර්ශනයක් ද අනාවරණය වේ. එයට අනුව පෙර සඳහන් කළ ආකාරයට මනුෂ්‍ය සමාජයේ පැවති අක්‍රමිකතා හා ව්‍යසනයන්ගෙන් මිදීමට ක්‍රමයක් සෙවූ මානවයාට ඒ සඳහා සුදුසු ක්‍රමයක් ලෙස පෙනී ගියේ විශ්වයේ නිර්මාතෘවරයා හමු වී සමාජය යහපත්ව පාලනය කරමින් ඒ සඳහා අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සුදුසු නායකයෙකු පත් කරන ලෙස ඉල්ලීමයි. එලෙස කටයුතු කරන නායකයාට අවශ්‍ය පහසුකම් මානව සමාජයෙන් ම ලබා දෙන්නට පොරොන්දු වූ ජනතාව ඒ සඳහා ඔහුට බදු ගෙවමින් ඔහුගේ නායකත්වය පිළිගැනීමටත් පොරොන්දු විය.

මෙම මතවාදය කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ පාලකයා පත් කර ගැනීමේ දී මහජනතාව හා නායකයා අතර යම් කිසි එකඟතාවක් ඇති වූ බවයි. ඒ අනුව පාලකයා තම කාර්යභාරය ඉටු කරන්නේ නම් මහජනතාවද තම පොරොන්දු නිසි පරිදි ඉටු කරන්නට එකඟ වූ බවයි. මෙය පසු කාලීනව යුරෝපයේ සිටි දේශපාලන දාර්ශනිකයන් වූ තෝමස් හොබ්ස්, රූසෝ හා ජෝන් ලොක් වැනි සමාජ සම්මුතිවාදී අදහස් ඉදිරිපත් කළ චින්තකයන්ගේ අදහස් හා සමාන වේ. එම බටහිර චින්තනයන්ට  අනුව පාලකයා පත් කරන්නේ මහජනතාව විසින් වන අතර සමාජ යහපැවැත්ම සාර්ථකව පවත්වා ගනිමින් මහජනතාවගේ සුබසිද්ධිය තකා කටයුතු කිරීම පාලකයාගේ වගකීම වන බව අවධාරණය කර ඇත. කෙසේ වෙතත් මෙම බටහිර මතවාද බිහි වීමට වසර ගණනාවකට පෙර එම ප්‍රජාතාන්ත්‍රික යහපාලන ක්‍රමවේද භාරතීය සමාජය තුළ පහළ වීම විශේෂත්වයකි. ඒ තුළින් සමස්ත දකුණු ආසියානු කලාපය තුළ ම නිර්මාණය වූ රාජ්‍යත්වයට හා දේශපාලන දර්ශනයට නිසි මඟ පෙන්වීමක් ලැබුණු අතර සමකාලීන යුරෝපයේ පැවති ප්‍රජා පීඩක පාලන ක්‍රමයකට වඩා යහපත් පාලන ක්‍රමයක් ඇති කිරීමට පෙරදිග පාලකයන් (විශේෂයෙන් ම දකුණු ආසියානු කලාපය තුළ) උත්සාහ කරනු ලැබීය.

සමස්ත දකුණු ආසියානු කලාපයට ඉතා ප්‍රබල ලෙස ම බලපෑම් ඇති කරන ලද භාරතීය දේශපාලන දර්ශනයට වැදගත් මඟ පෙන්වීමක් කරනු ලැබුවේ මහාභාරතය තුළිනි. මහාභාරතය රාමායණයට වඩා පැරණියැ යි බටහිර වියතුන්ගේ මතය වුවද භාරතීය පඬුවන්ගේ අදහස නම් රාමායණය මහාභාරතයට වඩා පැරණිය වන බවයි. එම නිසා ඔවුහු ආදිම කාව්‍ය ලෙස රාමායණයත් ආදිම කවියා ලෙස වාල්මිකිත් සඳහන් කරති. කෙසේ වුවද මෙම ග්‍රන්ථ ද්විත්වය අතර කාල පරතරය සියවසකට ‍ හෝ දෙකකට වැඩි නොවේ. මේ දෙකෙහි සඳහන් සමාන අසමාන පුරාවෘත්ත ගැන සැලකීමේ දී එකකට එකක් පූර්වතම යැයි කිව නොහැක. කාව්‍ය ද්විත්වය ම දීර්ඝ කාලයක් තුළ නොයෙක් දෙනාගේ විවිධ වෘත්තාන්තයන් ඇතුළත් කිරීමෙනුත් ඇතැම් වෘත්තාන්තයන් වෙනස් කිරීමෙනුත් අද පවත්නා තත්ත්වයට පැමිණ ඇත.

මහා භාරතයෙහි ආරම්භය ක්‍රි: පූ: 400 දී පමණ සිදුවුණි යැයි සලකනු ලැබේ. එහෙත් මෙය කාව්‍යයක් වශයෙන් පිළියෙල වූයේ ක්‍රි. පූ: 2 වැනි සියවසේදී යැයි සමහර විද්වතුන් නිගමනය කරති. මෙහි කර්තෘ වශයෙන් සලකනුයේ ව්‍යාස ඍෂිවරයාය. එහෙත් අද පවතින මහාභාරතය එකම කර්තෘවරයකුගේ ‍නොව කර්තෘවරුන් බො‍හෝ දෙනකුගේ කෘතියක් බව පැහැදිලිව පෙනෙන හෙයින් ව්‍යාස ඍෂිවරයා මහාභාරතයේ ආරම්භක  කර්තෘ වශයෙන් සැලකීම වඩා උචිත ය.

දැනට දක්නට ලැබෙන මහාභාරතය ශ්ලෝක ලක්ෂයකින් පමණ යුක්ත ය. ඒ නිසා මහාභාරතය  ශ්‍රැඍථ සංහිතා යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එහෙත් ආරම්භයේදී මහාභාරතය ශ්ලෝක විසිහතර දහසකට වැඩි නො වී ය. කලින් කල විකාශයට පත්වීම නිසා එය අද පවත්නා තත්ත්වයට පැමිණ ඇතත් මහාභාරතය රචනා වීම නැවතුණේ කවරදාදැයි නිශ්චය වශයෙන් ම කිව නොහැක. එහෙත් ගුප්ත කාලීන ශිලා ලේඛනයක මහාභාරතය “ශ්‍රැඍත සංහිතා” යනුවෙන් සඳහන්ව ති‍බෙන හෙයින් ගුප්ත කාලය වන විට එහි රචනා වීම අවසන්ව අද මෙන් සම්පූර්ණව තිබිණැ යි සැලකීම යුක්ති සහගත ය.

කෙසේ වෙතත් මෙහි ඇති දේශපාලන දර්ශනය පසු කාලීනව රචනා වූ බොහෝමයක් ග්‍රන්ථවලට මූලික කොට ගෙන ඇත. ආගමික දර්ශනය තුළින් පෙන්වන්නා වූ සදාචාරයන් හා දේශපාලන දර්ශනය තුළින් පෙන්වන්නා වූ ප්‍රායෝගික තත්ත්වයත් තුළ ඇති වන්නා වූ ගැටුමේ දී බොහෝ විට සදාචාරයන් බිද වැටීමක් සිදු වේ. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් රාජ්‍ය ආරක්ෂා කර ගැනීම හෝ රාජ්‍ය ව්‍යාප්ත කර ගැනීම සඳහා කරන ලද ප්‍රයත්නයන් බොහෝ අවස්ථාවන්හීදී ආගමික දර්ශනයට අනුව සදාචාර විරෝධී වේ. නමුත් සෑම විටම සදාචාරයට මූලිකත්වය දීමට කටයුතු කළහොත් රාජ්‍ය අස්ථාවර වී මහජනතාවගේ ජීවිතයන්ට තර්ජනයක් ද ඇති විය හැකිය. ඒ හේතුවෙන් මහාභාරතයේ දැක්වෙන දේශපාලන දර්ශනයට අනුව පාලකයෙකු කටයුතු කළ යුතු අකාරය පැහැදිලි ලෙස දක්වමින් සාධාරණය කර ඇත. එහි දක්වා තිබෙන ආකාරයට පාලනය සම්බන්ධයෙන් වගකිව යුතු ක්ෂත්‍රීයා විසින් කෙතරම් අසීරුවුවත් රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් යුද්ධ කළ යුතු අතර එය මනාව ඉටු කිරීම මඟින් මෝක්ෂය ලබා ගත හැකි බවද  දක්වයි. මෙම මතය එක් ආකාරයට ස්ථාවර රාජ්‍ය පාලනයක් පවත්වා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමක් විය හැකිය.

යුද්ධය  ක්ෂත්‍රිය ධර්මය වන බැවින් ඔහු මෝක්ෂය පතන්නේ නම් යුද්ධය පිළිගැනීම අනිවාර්ය වේ. එය පාලකයා විසින් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් ඉටු කළ යුතු අනිවාර්ය වගකීමක් වන බව මහාභාරතයේ දක්වා ඇත. මෙම මතය පසු කාලීන භාරතීය දේශපාලන දර්ශනයට බලපෑම් ඇති කළ බෞද්ධ මතවාදයන්ට සම්පූර්ණයෙන් ම පටහැනි වේ. කෙසේ වෙතත් කෞටිල්‍ය අර්ථශාස්ත්‍රයේ දැක්වෙන නියමයන්ට වඩා තරමක් ප්‍රගතිශීලී සංකල්ප යුද්ධයක දී අනුගමනය කළ යුතු බව ද මහාභාරතයේ දක්වයි. ඒ අනුව යුද්ධයක් නිශ්චිත වූ ආචාර ධර්ම පද්ධතියක් මත පදනම් විය යුතු බව සඳහන් කර ඇත. ඒ අනුව ;

1.     යුද්ධයක් බලයෙන් හා ශ්‍රමයෙන් සමාන පුද්ගලයන් අතර සිදු විය යුතු වේ.

2.     දෙපාර්ශවය ම සමාන අවි ආයුධ භාවිත කළ යුතුය.

3.     යුද්ධයෙන් පරාජය වූ තැනැත්තෙකු තමාට පරම්පරාව ගෙන යෑමට පුතෙකු නොමැති බව පවසා තම පරම්පරාව ගෙන යෑමට සමාව දෙන මෙන් ඉල්ලුව හොත් සමාව දිය යුතුය.

4.     තණකොළ කටේ තබාගෙන අභයදානය ඉල්ලුවහොත් සමාව දිය යුතුය.

5.     තමා දාස භාවයට පත්වන බව පවසා සමාව ඉල්ලුවහොත් සමාව ලබා දිය යුතුය.

        මහාභාරතයට අනුව මෙය ධර්ම යුද්ධය වන අතර ඉතා සියුම් ලෙස දේශපාලන උපායශීලීත්වයට ඉඩ දීමක් ද මෙමගින් සිදු වේ. ඊට අමතරව රාජ්‍යත්ව ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පැරණි බ්‍රාහ්මණ දහමට වඩා හාත් පසින් ම වෙනස් වේ. බ්‍රාහ්මණ දහමට අනුව රාජ්‍ය පාලනය ක්ෂත්‍රීයන්ට හා උපදෙස් දීම බ්‍රාහ්මණ යන සමාජයේ උසස් ම කුලයන්ට හිමි වූ අතර අනෙක් දෙනා එම කුලවලට පහලින් සිටිය යුතු විය. නමුත් මහාභාරතයේ දක්වා ඇති අකාරයට රාජ්‍යත්වය තහවුරු කෙරෙන ප්‍රධානතම සාධකය වන දක්ෂ පාලකයා සඳහා ඕනෑම කුලයක පුද්ගලයෙකු පත් කර ගැනීමට හැකි අතර රාජ්‍යත්වය අස්ථාවර නොවීමට එය අනිවාර්ය ද වේ.

        ඉතා පුළුල් ව හා සූක්ෂ්ම ව මහාභාරතය අධ්‍යනය කිරීමේදී අවබෝධ වන්නා වූ පොදු කරුණක් වන්නේ සමස්ත පෙරදිග දේශපාලන දර්ශනය සඳහා ප්‍රබල බලපෑමක් එමගින් ඇති කරන ලද බවයි. එහිදී මහාභාරතය රචනා වීම ආරම්භ වූ යුගයේ සිට ඉන්දියාවට එල්ල වූ මුස්ලිම් ආක්‍රමණ දක්වා වූ සමයේ භාරතීය දේශපාලන සංස්ථාව පෝෂණය කිරීමට මහාභාරතය සමත් වූ අතර සමකාලීන තත්ත්වයන්ගේ ආභාෂය ලබමින් මහාභාරතයද නැවත ප්‍රතිපෝෂණය වීම ද සිදු විය. එහිදී මහාභාරතයේ දේශපාලන මතවාද ගොඩනැගීමට ප්‍රබල බලපෑමක් මෞර්ය හා ගුප්ත යුගවල දී සිදු වූ බව සමකාලීන අනෙකුත් මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේදී අවබෝධ වේ. විශේෂයෙන් ම ක්‍රමික ව විකාශනය වන්නා වූ සමාජ සම්ප්‍රදායන් හේතුවෙන් නව සමාජ, දේශපාලන හා ආර්ථික ගැටලුන්ට ප්‍රතිචාර දැක්වීමේ දී පැවති තත්ත්වයන්ට ඔබින ලෙස නව මතාවදායන් ඉදිරිපත් කිරීමේ භාරදූර කාර්යය මහාභාරතයෙන් සිදු වී ඇත.

Saturday, 31 July 2021

“අශෝක”

 


අ

ශෝක යනු ඉන්දීය ඉතිහාසය තුළ පමණක් නොව ලෝක ඉතිහාසය තුළ ද අද්විතීය ස්ථානයක් හිමි කර ගන්නා චරිතයකි. ඔහු එලෙස විශේෂ පුද්ගලයෙකු වන්නේ හුදෙක් ඉන්දියාව තුළ රජකම් කළ තවත් එක් රජෙකුවත් හෝ ඉන්දියාවේ විශාලතම අධිරාජ්‍ය පිහිටුවනු ලැබූ පුද්ගලයා වීම මතවත් නොව, ඔහු ඒ සඳහා අනුගමනය කරන ලද ප්‍රතිපත්තීන්හි ඇති සුවිසේශීත්වය සමස්ත ඉතිහාසය තුළ සුවිශේෂී වීමට බලපා ඇති අතර සමාජ විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයෙන් නම් ඔහු තුළ අනුහස් නායකයෙකුගේ ලක්ෂණ අන්තර්ගත ව ඇත. තමා රජකමට පත් ව දෙවන සමයේ දී ඔහුගේ පාලන තන්ත්‍රයේ ඇති වූ සුවිසේශීත්වයක් වර්ධනය විය. ඉතා දක්ෂ මෙන් ම ක්‍රෑර පුද්ගලයෙකු  වූ අශෝක රජකම ලබා ගනු ලබන්නේ බිහිසුණු විනාශයකින් පසුවය. රජකම ලබා ගැනීමට පෙර සිට තම පිය රජු යටතේ ද මෞර්ය අධිරාජ්‍යයේ ඇති වූ කැරලි මර්දනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියක් ලබා සිටි අතර එම අත්දැකීම් හේතුවෙන් තම සහෝදරයන් අබිබවා රජකම ලබා ගැනීමට ද ඔහු සමත් විය. ඔහු මෞර්ය අධිරාජ්‍යයා බවට පත් වීමෙන් පසු මෙහෙය වූ ප්‍රධානතම යුද්ධයක් ලෙස වාර්තාගත ව ඇත්තේ කාලිංග දේශය සමඟ කරනු ලැබූ මහා සංග්‍රාමයයි. යටත් වීමට කැමති නොවූ කාලිංගය සමඟ කරන ලද යුද්ධය සමස්ත ඉන්දියාව තුළ ම  සිදු වූ විශාලතම විනාශය ලෙස ද හැඳින්වේ. මෙම විනාශය හේතුවෙන් සමස්ත භාරතයේ ම පමණක් නොව මුළු විශ්වයේ ම මහාධිරාජයා වීමේ චේතනාවෙන් කටයුතු කළ අශෝක රජතුමා කාලිංග යුද්ධයෙන් පසුව බුදු සමය වැළඳ ගනිමින් මහා පරිවර්තන රාශියක් කරන ලද බව දැක්වේ.

අශෝක අධිරාජ්‍යයාගේ පාලන සමයේ දෙවන අදියර ලෙස ඉතා සුවිශේෂී ම යුගය ආරම්භ වන්නේ ඔහු විසින් මෞර්ය අධිරාජ්‍යය ඉන්දියාවේ විශාල ප්‍රදේශයක ව්‍යාප්ත කිරීමෙන් අනතුරුව ය. ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගේ අණසකට පත්වන තෙක් ම එදා මෙදා තුර එක් පාලන තන්ත්‍රයක් යටතට ගත් පළමු මෙන් ම විශාලතම ප්‍රදේශයකට විහිද ගිය කාලයක් ලෙස අශෝක යුගය හඳුනාගත හැක. මෙවැනි මහා අධිරාජ්‍යයක් පාලනය කිරීම සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ උපක්‍රම හා ඒවා ක්‍රියාත්මක කළ ආකාරය මත ඔහු ඉතා සූක්ෂ්ම බුද්ධියකින් හා ක්‍රියාශීලීත්වයකින් හෙබි පුද්ගලයෙකු වශයෙන් හැඳින්විය හැකිය.

පාලනයේ පදනම හුදෙක් ම මර්දනය මත රැඳිය නොහැකි බවත් සමස්ත රාජ්‍ය එක් කළ හැකි සදාචාර සම්පන්න පදනමක් මත පිහිටා ගොඩනැගීම තුළ පමණක් රාජ්‍යයක දියුණුව රඳා පවතින බවත් අශෝක රජු වටහා ගනු ලැබීය. මෙම කාර්ය කෙරෙහි ඉමහත් කැපවීමකින් හා උවමනාවකින් කටයුතු කිරීම හේතුවෙන් මෙම ස්ථාවරත්වය බොහෝ දුරට ලඟා කර ගැනීමට ඔහුට හැකි වූ බව පෙනී යයි. මෙයට හේතුවක් වන්නට ඇත්තේ කුඩා කළ අශෝකයන්ට ලැබූ කෞටිල්‍ය පණ්ඩිතයාගේ ආභාසය විය හැකිය. නීති විශාරද හා දේශපාලන විශාරදයෙකු වූ කෞටිල්‍යගෙන් ලද තීක්ෂණ බුද්ධිය අශෝක විසින් තත්කාලීන ස්වරූපයට අනුව ගළපා ගනු ලැබීම තුළ සදාචාරය හා පාලනය තුළ ඇති සම්බන්ධය වටහා ගැනීමට අශෝක රජුට හැකි විය. ඒ හේතුවෙන් ම ලෝක ඉතිහාසයේ සුවිශේෂී රජෙකු ලෙස කටයුතු කිරීමට ඔහුට හැකි විය. ඉන්දියාවේ නූතන යුගයේ ප්‍රමුඛතම ඉතිහාසඥවරියක් වන රොමිලා තාපර්, අශෝක රජුගේ ක්‍රියාකලාපය හඳුන්වා ඇත්තේ පහත පරිදි ය.

“අපට පෙනී යන්නේ අශෝක බුදු දහමට ආකර්ෂණය වූ බවය. එසේ වුවත් එය සමහර විට විකේන්ද්‍රණය වූ හෝ එකවරම සිදු වූ අස්වාභාවික වෙනස් කමක් නොවේ. අප විශ්වාස කරන්නේ එදා පැවති සමාජීය සුවිශේෂීය තත්ත්වයක් තුළ බුදු දහම නිකම්ම තවත් ආගමක් නොවූ බවයි. එය වෙනසක් සඳහා පළල්ව ව්‍යාප්ත වූ ව්‍යාපාරයක් වූ අතර, පුද්ගලික විශ්වාසයන්ගේ සිට සමාජමය අදහස් දක්වා බලපෑ එකක් විය. එය සමාජීය-බුද්ධිමය ව්‍යාපාරයක් වූ අතර විවිධ ප්‍රකාශනයන් මඟින් ප්‍රකාශයට පත් වූ සමකාලීන චින්තනය හා ජීවිතය තුළ ගම්‍ය වූ එකක් බව ය. සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් හෝ චිත්තෝත්පාදක ප්‍රතිපත්තියක් ඇති රජෙකුට මෙම අලුත් වර්ධනය සැලකිල්ලට ගත යුතු එකක් විය. එය අශෝක වැනි මහා අපේක්ෂා සහිත පාලකයෙකුට පරමාදර්ශී අවියක් විය. ආගම පිළිබඳ ඔහුගේ පුද්ගලික අදහස් මොනවා වුවත්, තමන්ගේ දේශපාලන හා ආර්ථික බලය තහවුරු කර ගැනීමට නැඹුරු වූ පාලකයෙකුට සුදුසු ම දෙයක් විය............”

“අතීතයේ දී ඉතිහාසඥයන් අශෝකගේ ධම්ම සංකල්පය විශ්ලේෂණය කර ඇත්තේ එය බුදු දහමට නොවෙනස් දෙයක් හැටියට ය. මෙයින් ඔවුන් යෝජනා කළේ අශෝක බුදු දහම රාජ්‍ය ආගම බවට පත් කිරීමට උත්සහ කළ බව ය. අප යෝජනා කරන්නේ, මෙය ඔහුගේ පුද්ගලිකව බුදු දහම පිළිබඳ විශ්වාසවන්තයෙකු ලෙස ගැලවීමේ එකම මාවත එය බව විශ්වාස කළත්, මෙය ඔහුගේ අරමුණ නොවූ බවය. ධර්මය පිළිබඳ ඔහුගේ ප්‍රතිපත්තිය ඇත්තෙන්ම සමාජ යුතුකම් පිළිබඳ ව ප්‍රතිපත්තියක් වූ අතර, එය හුදෙක්ම සකල ජනතාව ම බුද්ධාගම කෙරෙහි වැඩි කැමැත්තක් දැක්විය යුතු බවට බලකිරීමක් නොවීය. එයින් කියවූයේ සමාජය තුළ හැසිරීම පිළිබඳ මානසික ආකල්ප ගොඩනැගීමක්, එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් පැවතිය යුතු සම්බන්ධයට මහත් වැදගත්කමක් දැක්වීම ය. එය මිනිසාගේ ගරුත්වය පිළිගැනීම සම්බන්ධයෙන් කළ බලවත් ඉල්ලීමක් විය. සමාජයේ ක්‍රියාවලියේ දී මානව හිතවාදී ජීව ගුණනයක් පැවතිය යුතු බව ය.”

තත්කාලීන භාරතයේ පැවති සෑම ආගමක් පිළිබඳව ම හසළ දැනුමක් ඇති ව සිටි අශෝක රජතුමා ඒ හැම ආගමකින් ම ගත හැකි උපදෙස් ගෙන අශෝක ධර්මය නැමති අභිනව ධර්මයක් බිහි කරනු ලැබීය. මෙය බොහෝ අංශවල දී බෞද්ධ දර්ශනය මත පදනම් ව ඇති ආකාරයක් දැකිය හැකි නමුත් හුදෙක් බෞද්ධ දර්ශනය අනුගමනය කරන ලද්දක් නොවී ය. එය හුදෙක් ධර්මය මත පදනම් වූවක් නොවූ අතර දේශපාලන අරමුණු ද ප්‍රබලව එම ධර්මය තුළ අන්තර්ගත ව ඇත. එය බොහෝ විටම අශෝකගේ ම නිර්මාණයක් විය හැකිය. පොදුවේ ගත් කළ එය ප්‍රායෝගිකව හා පහසු ලෙස ජීවන රටාව හැඩ ගස්වා ගැනීමේ ලා රජු විසින් ඉදිරිපත් කළ ක්‍රමවේදයක් විය හැකිය. රාජ්‍ය සංවිධානය ගොඩ නැගීම මූලික කොට ගනිමින් සකස් වී පැවති එම ධර්මයට අනුව රාජ්‍ය ප්‍රතිපත්ති ධර්මය මත සකස් විය යුතු බවට විශ්වාස කරනු ලැබීය. ඒ අනුව මිනිසාගේ උදාරත්වය හා සමාජ වගකීම යන මූලික ප්‍රතිපත්තීන්, අශෝක ධර්මයේ මූලය විය. මෙයට දාර්ශනික මතිමතාන්තර ගොඩනැගීමට නොහැකි වූ බහුතර ප්‍රජාව ගේ සන්තුෂ්ටි ජනක දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය සම්මුතියක් ලෙස සැලකිනි.

එසේ ම එම වැදගත් ධර්‍ම කාරණා ටැම්වල ලියා තැබූහ. තවද රාජ්‍ය පාලනය භාරකාරත්වයක් වන බව අශෝකගේ ප්‍රතිපත්තිය වූ බව ඔහුගේ ප්‍රසිද්ධ ශිලා ලේඛන අධ්‍යයනය තුළින් ගම්‍ය වේ. තමන් විසින් සකස් කළ මෙම ධර්මය අධිරාජ්‍ය තුළ පතුරවා හැරීමට ධර්‍ම මහාමාත්‍යවරුන් පිටත් කර හැරි බව ද දැක්වේ. එය අශෝක රජුගේ ප්‍රථම ධර්‍මදූත ව්‍යාපාරය ලෙස ද හඳුනාගත හැකිය. අශෝක රජු විසින් සිය පාලන තන්ත්‍රය මෙහෙය වීමේ දී ඉහත කී ආකාරයට ධර්‍ම මහාමාත්‍යවරුන් නම් පිරිසක් යොදවා ගෙන ඇත. ඔවුන්ට අයත් කාර්ය ලෙස විග්‍රහ වී ඇත්තේ විහාර ආරාම ආදිය පරීක්ෂා කිරීම හා මිනිසුන් පුණ්‍ය කටයුතුවල යෙදෙනවා ද යන්න පිළිබඳ පරීක්‍ෂා කොට රජතුමාට වාර්‍තා කිරීමයි. ධර්මයේ නිලධාරීන් ලෙස හැඳින්විය හැකි මොවුන් පිළිබඳව අශෝක රජු පළමු ව සඳහන් කරන්නේ ඔහුගේ පස්වන ශිලා ලේඛනයෙන් ය. මෙම විශේෂ නිලධාරීන් අශෝක රජුගේ දාහතරවැනි රාජ්‍ය පාලන වර්ෂයේ දී පත්කරන්නට යෙදී ඇත. මුල් කාලයේදී ඔවුන්ගේ රාජකාරි ජනතාවගේ සුබසාධනය හා සම්බන්ධ විය. මෙම නිලධාරීන්ට රජයේ ඕනෑම කුලයක හෝ සමාජ පන්තියක එනම් රජ පවුලේ සාමාජිකයන්ගේ නිවෙස් වලට පවා ඇතුළු වීමට අවසර තිබුණි. පසුව ක්‍රමයෙන් සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලටත්, ඔවුන්ගේ කටයුතුවලටත් මැදිහත් වීමට එම නිලධාරීන්ට තිබූ අයිතිය වර්ධනය වූ ආකාරයක් පෙනේ. එසේම එය හුදෙක් ආගමික ප්‍රතිපත්තියක් පමණක් නොව ආර්ථික, සමාජීය හා දේශපාලන සන්දර්භයට ඇතුළත් වූ පුළුල් කේෂ්ත්‍රයක් වූ බවද සනාථ වේ. අශෝක ධර්ම මහාමාත්‍යවරු පත් කිරීමේ මූලික අරමුණ වූයේ සමාජයේ අසරණ හා පහත් කුලවල මිනිසුන්ගේ සුබ සාධනය සැලසීමයි. සෑම සමාජ පන්තියකම ඵලදායී සුබ සාධනය කේන්ද්‍රීය පාලනයකට අත්‍යාවශ්‍ය වන ප්‍රායෝගික සංකල්පයකි. ඔහු මෙම නිලධාරීන්ට ධර්ම මහාමාත්‍ය යන තනතුරු ලබා දීමෙන් ඔවුන්ට පමණට වඩා වැඩි බලතල ලබා දුන් බවට ඇති වූ චෝදනා වැළැක්වූවේ ය. අධිරාජ්‍ය ආරක්‍ෂා කර ගැනීමට මෙලෙස කටයුතු සම්පාදනය කරන්නට ඇති බවට සූක්ෂ්ම අධ්‍යයනයන් තුළින් අවබෝධ කර ගත හැක. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයට අනුව තම ප්‍රජාවගේ සතුට මත රජුගේ සතුට රඳාපවතීය යන සංකල්පය තම රාජ්‍ය පාලනයේ කටයුතු සඳහා ද යොදා ගත් බව පෙනී යයි.

මෙම අශෝක ධර්මය 18වන සියවසෙන් පසුව යුරෝපයේ වර්ධනය වූ දියුණු මානුෂික නීති රීතීන්ට ද සමාන වේ. විශේෂයෙන් ම ප්‍රංශ විප්ලවයෙන් පසුව යුරෝපය පුරාත්, ඇමරිකාවටත් පැතිර ගිය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණවලට සමාන ලක්‍ෂණ මෙම අශෝක ධර්මය තුළ ද අන්තර්ගත ව ඇත. බටහිර සංකල්පයන්ට අනුව රාජ්‍ය නිශ්චිත වටිනාකම් පද්ධතියක් මත පදනම් විය යුතුය. රාජ්‍යයට අදාළ සියලු ම නීතීන් මෙම වටිනාකම් පද්ධතිය මත පිහිටා තිබිය යුතු අතර එම වටිනාකම් පද්ධතියට පටහැණි වූ සියල්ල නිශ්ප්‍රභ කිරීමේ හැකියාව ද නීති ක්‍රමය තුළ තිබිය යුතු ය. ප්‍රංශ විප්ලවය තුළ මෙම වටිනාකම් මිනිස් සමානාත්මතාව, නිදහස හා සහෝදරත්වය යන මූලික අදහස් තුළින් ප්‍රකාශයට පත් කරන ලදි. මෙම මූලික අදහස් වර්ධනය වූවේ මිනිස් උදාරත්වය පිළිබඳ සංකල්පය, පුද්ගල කේන්ද්‍රීයතාවය, සමානාත්මතාව, සාධාරණත්වය හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය, නීතිය මත පාලනය හා අධිකරණයේ ස්වාධීනත්වය යන අදහස් ඔස්සේ ය. මේ සියල්ල කැටි කොට දක්වන්නේ නම් එය යුක්තිය හා සාධාරණත්වය ලෙස හැඳින්විය හැකිය. 

ඉහතින් දක්වන ලද බටහිර දේශපාලන සංකල්ප අශෝක රජුගේ ප්‍රතිපත්තීන් සමඟ සංසන්දනය කරමින් මෙලෙසින් දැක්විය හැකිය. ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය යන සංකල්පය, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පද්ධතිය හෝ ඊට විකල්ප වශයෙන් “ධර්මය” යන ධර්මාශෝකගේ ප්‍රතිපත්තිය මත යැපේ. අධිකරණ විෂයයෙහි ද අශෝකගේ නිදහස අසීමිත විය. මහලු වූ අංගවිකල වූ සිරකරුවන්ට නිදහස ලබා දුන් රජතුමා මරණීය දණ්ඩනයට ලක්වූවන්ට එයින් නිදහස් වීම සඳහා නිදහසට කරුණු කීමට ඉදිරිපත් කිරීමට තෙදිනක් කල් දුන්නේ ය. නීතිය මත පාලනය යන සංකල්පය ද ගොඩනැගී ඇත්තේ ඉහත දැක්වූ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පද්ධතිය හෝ ධර්මාශෝකගේ ධර්මය නැමති ප්‍රතිපත්තියට සමානුපාතික ව ය. නීතියේ අරමුණ ඉහත කී වටිනාකම් පද්ධතිය වටා රාජ්‍ය සංවිධානය ගොඩනඟා පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික නීති රීතීන් මාලාවක් සකස් කර ගැනීම ය. මෙහි ඇති විශේෂත්වය වන්නේ අශෝක රජු බුද්ධ දර්ශනය පිළිබඳ දැනුමෙන් සිටියත් මරණ දඬුවම අහෝසි නොකිරීමයි. සැබෑ ලෙස ම ඉතා විශාල යුද සංග්‍රාමයකින් පසුව ඒකාබද්ධ කරන ලද අධිරාජ්‍ය හුදෙක් ධර්මය මතම පිහිටා එහි සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට අපහසු බව අශෝක තේරුම් ගත් බව මෙයින් ගම්‍ය වේ. පෞද්ගලික විශ්වාසයන් කෙසේ වුවද රාජ්‍යයේ නීතිය ආරක්ෂා කිරීමට නම් වේදනාකාරී දඬුවම් හා ත්‍යාග පැවතිය යුතු බව ද ඔහු විශ්වාස කරන ලදි.

සකල රාජ්‍යය ම නීතිය මත පාලනය වීම යන්නෙන් අදහස් වන්නේ පාලකයා ද නීතියට අනුව රට පාලනය කළ යුතු බවයි. පාලකයා නීතියට අනුව රට පාලනය කරන තාක් දුරට රාජ්‍ය තන්ත්‍රය රැකේ. රාජ්‍ය තන්ත්‍රය එලෙස රැකීම තුළ සමාජයේ ස්ථාවරත්වය, සාධාරණත්වය හා සමාජ සාමය ද ආරක්ෂා වේ. ධර්මය රකින්නා ධර්මයෙන් රැක ගනු ලබන බව පිළිබඳ සංකල්පයත් නීතිය මත පාලනයෙන් රාජ්‍ය තන්ත්‍රය හා සමාජ ක්‍රමය රැකෙන බව යන සංකල්පයත් එක හා සමාන ය. ඔහු බිහි කළ ධර්මයෙහි කරුණාව. දයාව, මෛත්‍රිය, අවිහිංසාව, දානය, පවින් වැළකීම, සකල පුණ්‍ය ක්‍රියාවන්හි යෙදීම, සත්‍ය ප්‍රකාශ කිරීම, පුද්ගල පාරිශුද්ධිය යන කරුණුවලට ප්‍රමුඛතාවය හිමි විය. සෑම විටම මහජන සුබ සිද්ධිය සඳහා කටයුතු කළ අශෝක රජතුමා විසින් “සියලු මිනිස්සු මාගේ දරුවෝ ය” යන අදහස ප්‍රකාශයට පත් කරන ලදි. අශෝක රජු නිරන්තරයෙන් ම ඔහු හා ජනතාව අතර සබඳතාව පියා හා දරුවා අතර සබඳතාවට සම කරයි. එසේ ම ඔහු මෙහි දී පෙරමුණේ හා මායිම් නගරවල ජීවත්වන ජනතාව ද එයට එකතු කරයි. තම නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරිය වූවේ රජය පිළිබඳ ජනතාවගේ විශ්වාසය ඉහළ නැංවීමයි. අර්ථශාස්ත්‍රයේ ද රජු ජනතා සුබසාධනය කෙරෙහි තම අවධානය දැක්විය යුතු බවට දක්වා ඇති අතර රාජධානිය සෞභාග්‍ය වීමට නම් රජු තම ප්‍රජාවට දරුවන් සේ සැලකිය යුතු බවද දක්වයි. නීතිය, දණ්ඩනය, උස් පහත් භේදයක් නොසලකා හැම කෙනෙකුට ම එක සේ සාධාරණය විය යුතු බව ඔහුගේ ධර්මය තුළ අන්තර් ගත විය.

රාජ්‍ය පාලනයේ දී පාලකයාගේ බලාධිකාරිය සෑම අවස්ථාවකදීම ආරක්‍ෂා විය යුතු වේ. එහිදී අතීත ඉන්දීය දේශපාලන පද්ධතිය තුළ දී අනුගමනය කරන ලද ප්‍රධානතම උපක්‍රමයන් දෙකක් විය. එනම් අවි බලයෙන් හා අනෙකුත් ක්‍රමවේදයන් මාර්ගයෙන් සමාජය දැඩි පාලනයකට නතු කර ගැනීමයි. මෙහි පළමු වැන්න සමකාලීන චීනයේ විසූ ෂි හ්‍යුඇං ටිංගේ ආභාසයෙන් අශෝක විසින් ගොඩනඟා ඇත. දෙවැන්න නම් රජු නව ආකල්පවලට ප්‍රසාදය දැක්වීම හා විවිධ සමාජ කණ්ඩායම්වල මතිමතාන්තරවලට ඇහුම්කන් දීමයි. එසේ වුවත් මෙම කණ්ඩායම්වල බලය කිසි විටෙකත් පාලකයාගේ බලය අභිබවා යෑමට ඉඩ නො තැබීය. නිලධාරීන් යටතේ සිටි ජනතාව යටත් පිරිසෙයින් පාලකයාගේ ආකල්පවලට වාචික අනුමැතිය දිය යුතු විය. අශෝක රජු තම දෙවන සමයේ දී මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරන ලද අතර ඊට සියවස් 18කට පමණ පසුව රාජ්‍ය විචාර අක්බාර් රජු ද මෙම ක්‍රමවේදය යම් යම් සංශෝධන යටතේ ක්‍රියාත්මක කරනු ලැබීය.

අශෝක රජු රාජ්‍යත්වයට පත් වූ යුගයේ ඔහු බෞද්ධයෙකු නොවූ අතර, බුදු දහම පිළිබඳ ඔහුගේ උනන්දුව ඇති වූයේ පසුකාලීන ව ය. අරම්භයේ සිට ම ඔහු විවිධ දුෂ්කරතා මධ්‍යයේ රාජ්‍යත්වය කරා අවතීර්ණ විය. එබැවින් එම යුගයේ තම බලාධිකාරය සංස්ථාපනය කර ගන්නා තෙක් රාජ සභාවේ විශාල සහයෝගයක් ඔහුට නොලැබුණු බව විශ්වාස කළ හැක. වඩාත් සාම්ප්‍රදායික බ්‍රාහ්මණ ධර්මයෙන් ඈත් වෙමින් බුද්ධ ධර්මයට හා ආජීවක ආදී කණ්ඩායම්වලට විවෘත ව සහයෝගය දැක්වීම හරහා ඔහු අපේක්ෂා කළේ ඔහුගේ දේශපාලන ප්‍රතිපත්තීන් සාමාන්‍ය ජනයා වෙත පහසුවෙන් කාන්දු කිරීම විය හැකිය. මෙහි දී සමකාලීන ව ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවති වෙළඳ ප්‍රජාවේ සහයෝගය මෙම ආගම්වලට ලැබී තිබීම අශෝක රජුට වාසියක් වන්නට ඇත. ඊට අමතරව නව ආකල්ප මඟින් පැරණි ආකල්ප දැඩි ලෙස ප්‍රතික්ෂේප කර නොතිබීම හරහා දෙපාර්ශවය අතර යම් ගිවිසුමක් ඇති කර ගැනීමට ද හැකි වන්නට ඇත.

බලය කේන්ද්‍ර ගත කිරීම සම්බන්ධයෙන් අශෝක රජු විසින් අනුගමනය කරන ලද ක්‍රමවේදයක් වූවේ කුඩා දේශපාලන ඒකක ඒකාබද්ධ කරමින් පොදු අරමුණක් කරා ඒකරාශී වීමයි. මෙය වඩාත් වැදගත් වන්නේ පුළුල් වපසරියක වූ සංස්කෘතික හා ජාතික විවිධත්වයෙන් යුත් ජන කොට්ඨාස මෙමගින් එක් කිරීම හේතුවෙනි. එමගින් එම කණ්ඩායම්වල පක්‍ෂපාතීත්වය තනි කණ්ඩායමකට නොව කේන්ද්‍රීය බලාධිකාරියට ලැබීම සිදු විය. විශාල වෙනස්කම් නොතිබුණ ද මෞර්ය අධිරාජ්‍ය තුළ විශාල සංස්කෘතික වෙනස්කම් පැවතුණි. මේ පිළිබදව ව පැහැදිලි කිරීම සඳහා එකල පැවති ප්‍රධානතම ප්‍රාදේශික රාජ්‍ය 4ක් සැලකිල්ලට ගත හැක. එනම් තක්ෂිලා, කෝසාලි, උජ්ජයනි හා ස්වර්ණගිරි යයි. නව විශ්වාසයන් වැළඳ ගැනීම හරහා මෙම කුඩා රාජ්‍යවල බැඳීම තවදුරටත් ශක්තිමත් විය. මෙය යටත් රාජ්‍ය ඒකාබද්ධ කරමින් පාලන බලය බලහත්කාරයෙන් ප්‍රජාව මත නොපැටවීමට ඉවහල් විය. අශෝක මේ පිළිබඳ විශේෂ දැනුමකින් සිටි පුද්ගලයෙකු බව පෙනී යයි. මෙම ප්‍රතිපත්ති පිළිබඳ ව උදාහරණ ඉතිහාසය පුරා දැකිය හැකි ය. චාර්ලිමේන් අධිරාජ්‍යයා සැක්සන්වරුන් යටත් කර ගැනීමෙන් අනතුරුව ක්‍රිස්තියානි දහම ඒකාබද්ධ කිරීමේ සාධකය ලෙස භාවිත කරනු ලැබීය. නව ධර්මයක්, ප්‍රජාව තුළ නව එකමුතුකමක් ඇති කිරීමේ චින්තනයක් ලෙස හෝ සංකේතයක් ලෙස ක්‍රියා කරයි. එය ඉතා ඵලදායී ප්‍රචාරක මාධ්‍යයක් ද වෙයි. සුදුසු අවස්ථාවේ දී පරීක්ෂාකාරී ව ඉදිරිපත් කරන ලද සරල අදහසක් වුවද පිළිගත් ධර්මයක් බවට පත් වේ. අශෝකගේ අදහසක් වුවද පිළිගත් ධර්මයක් බවට පත් විය හැකිය.

අශෝකගේ රජු හා ජනතාව අතර ඇති සම්බන්ධයට අනුව එය පීතෘ මූලික සම්බන්ධයකි. බොහෝ විට එසේ වන්නට ඇත්තේ මහා සම්මත සංකල්පය ක්‍රමයෙන් හීන වී යාම නිසා විය හැකිය. මෙම පීතෘ මූලික සංකල්පය මත කේන්ද්‍රීය පාලනයකට මඟ සලසමින් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමකට යෑමට ඉඩ කඩ විවර විය. අශෝක රජුගේ ආඥාවන් දෙස ද සූක්ෂ්ම දෘෂ්ටි කෝණයෙන් බැලිය යුතුය. මුල් කාලීන අශෝකගේ ශෛලමය ආඥාවන් ක්‍රි.පූ. 256 සිට පවතී. ඉන් ප්‍රථම අවස්ථාවේ උත්සව සඳහා සත්ව බිලි පූජා පැවැත් වීම තහනම් කර තිබේ.

“ඉද නා කින්චි ජීවම් ප්‍රාණජීතව්‍යම් නා කා සමාජෝ කත්ත්ව්‍යෝ.”

එහි සිංහල අර්ථය නම් “මෙතැන කිසිදු ජීවියෙකුගේ ප්‍රාණය තොර නොකළ යුතුය. බිලි නොදිය යුතුය. කිසිදු රැස්වීමක් නොපැවැත්විය යුතුය...”

මෙයින් සරලව අර්ථවත් වන්නේ රජු විසින් සත්ව ඝාතනය තහනම් කරන ලද බවයි. නමුත් ඒ තුළ වෙනත් අරුතක් ද ගැබ් වී ඇත. එනම් මෙවන් රැස්වීම් හා ඒකරාශී වීම් වැළැක්වීම කේන්ද්‍රීය දැඩි පාලනයක ලක්ෂණයන් වීමයි. එවන් පුද්ගල ඒකරාශීවීම්වල දී රජුගේ නව අදහස්වලට විරුද්ධව කුමන්ත්‍රණ ඇති විය හැකි බවට සැක පළ කෙරිණි. පුරාණ සාම්ප්‍රදායික උත්සවවලට දිගින් දිගටම මිනිසුන් සහභාගී වීම හරහා නව දේශනාවේ එන නව අදහස් සම්බන්ධයෙන් මිනිසුන් තුළ සැක සංකා ඇති විය හැකිය. අනෙක් අතට එවන් ආගමික ඒකරාශී වීම් තුළින් මානසික තත්ත්වයන්ට බලපෑම් කළ හැකි බැවින් එය ප්‍රචාරක මාධ්‍යයක් ලෙස ද යොදා ගත හැකිය. එය අශෝකගේ මෞර්ය අධිරාජ්‍යයේ පැවැත්මට අභියෝගයක් විය හැකි තත්ත්වයක් ඇති කරනු ලැබිය හැකිය.

අශෝකගේ දෙවන සෙල්ලිපියෙන් ඔහු අවධාරණය කර ඇත්තේ පුද්ගල සුබ සාධනය වුවත් යහපත් සන්නිවේදනයක ඇති වැදගත්කම එහි ඇති සැඟවුණ අර්ථයයි. මිනිසුන් හා සතුන් සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථාන, ළිං සහිත ව දෙපස ගස් වැවූ මාර්ග සංවර්ධනය, ඖෂධ පැළෑටි රෝපණය ආදිය මෙයට අයත් වේ. එම සැඟවුන අදහස ආර්ථිකමය හා වෙළඳ කටයුතු සඳහා පමණක් නොව ඔහුගේ නව අදහස් වඩාත් පුළුල් ව ව්‍යාප්ත කිරීම සඳහා ද ප්‍රයෝජනවත් විය. අශෝක තම රාජ්‍ය කාලයේ දී සංවිධිත නිලධාරි මණ්ඩලයක් හා පණිවුඩකරුවන් පිරිසක් භාවිතා කර ඇත. තම අධිරාජ්‍යයේ සියලු කොටස් සමඟ ඔහුගේ මනා සම්බන්ධතාවක් තිබුණි. රාජ්‍යත්වය පිළිබඳව ඔහුගේ අත්දැකීම් හා ඔහුගේ පෞරුෂය මෙතරම් පුළුල් ප්‍රදේශයක රජු වීමේ වගකීම පිළිබඳ ව ඔහුට අවබෝධය සැපයීය. ඔහු සත්‍ය වශයෙන් ම ධම්ම ප්‍රතිපදාවෙන් ද අරමුණු කරනු ලැබූවේ තමන් හා ජනතාව අතර සන්නිවේදනයයි.

ඉන්දියාවේ මෞර්ය පාලනය තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීම නව අත්දැකීමක් නොවූ නමුත් අශෝක විසින් අනුගමනය කරන්නට යෙදුණු ක්‍රියාමාර්ග පැවති පාලන තන්ත්‍රයන්ට නව සංශෝධන එක් කිරීමක් විය. පැවති තත්ත්වය බොහෝ දුරට කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය මත පදනම් වන්නට ඇති බවට විශ්වාස කෙරෙන අතර අශෝක විසින් එයට මානව කේන්ද්‍රවාදය ආරෝපණය කර ඇති ආකාරයක් දැකිය හැකිය. ධාර්මික චර්යාවන් සෑම මිනිසෙකුට ම පොදු වූවක් බවට පත් කළ හැකි වන අතර එමගින් නිකායවාදී චින්තනය බැහැර කරනු ලබයි. එමගින් ඔහු මූලික වශයෙන් බලාපොරොත්තු වූවේ තම විශාල අධිරාජ්‍ය කේන්ද්‍රීය පාලනයක් යටතට පත් කර ගැනීම වූ අතර එයින් ලැබෙන යහපත් ලක්ෂණ එහි අතුරු ප්‍රතිඵල වූ අතර එය පාලකයෙකුට වාසි සහගත ද විය.

Tuesday, 30 March 2021

“ඉන්දු - පකිස්තාන අර්බුදය, ඉන්දියන් සාගරයේ බල තුලනය කෙරෙහි බලපෑ ආකාරය”

 

ජා

ත්‍යන්තර දේශපාලනය තුළ දී පෘථිවිය යුරෝපය, ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව ලෙස ප්‍රධාන භූ ගෝලීය කලාප 04ක් යටතේ හඳුනාගත හැක. මෙහි දී අපගේ අවධානයට ලක්වන ආසියානු කලාපය ද තවත් උප බෙදීම් 05කට වෙන් කල හැක. එනම් නැගෙනහිර ආසියාව, බටහිර ආසියාව, දකුණු ආසියාව, මධ්‍යම ආසියාව හා අග්නිදිග ආසියාවයි. එහි දී දකුණු ආසියානු කලාපය ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය,  ඇෆ්ගනිස්තානය හා මාලදිවයින යන රාජ්‍යයන් 08කින් යුක්ත වේ. දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන සීමා වන්නේ දකුණින් පිහිටි ඉන්දියන් සාගරය, උතුරින් හිමාලය කඳුවැටිය, නැගෙනහිරින් හා බටහිරින් හින්දු කූෂ් කීර්තාර් හා නාග කඳුවැටිවලින් වට වී ඇති සීමායි.

ජාත්‍යන්තර දේශපාලනයේ දී රාජ්‍යයන්වල දේශපාලන, ආර්ථික, සමාජීය හා මිලිටරි බලපෑම් කිරීමේ හැකියාව මත එක් එක් රාජ්‍යයන් සුපිරි බලවතුන්, මහ බලවතුන්, කලාපීය බලවතුන් හා කුඩා රාජ්‍යයන් ලෙස වර්ග කිරීමකට ලක් ව ඇත. අනෙකුත් භූගෝලීය කලාපවල මෙන් දකුණු ආසියානු කලාපයේ ද අනෙකුත් රාජ්‍යයන් ඉක්මවා යන දේශපාලන, ආර්ථික, සමාජීය හා මිලිටරි වශයෙන් බලපෑම් කල හැකි රාජ්‍යයක් හඳුනා ගත හැක. එම රාජ්‍ය නම් ඉන්දියාවයි. ඒ අනුව ඉන්දියාව යනු කලාපීය බලවතෙකි. විශේෂයෙන්ම වර්තමාන ඉන්දියාව දකුණු ආසියානු කලාපය තුල තීරණාත්මක ලෙස තම බලය යෙදවීමේ කාර්යයේ යෙදී සිටින බැවින්ද මෙන් ම කලාපයෙන් පිටතට බලය යෙදවීමේ කාර්යයක තවමත් නියැලී නොසිටින බැවින්ද ඉන්දියාව යනු කලාපීය බලවතෙකි.

පකිස්තානය යනු දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවට සිටින ප්‍රධානතම ප්‍රතිවාදියා වන අතර අර්ධ කලාපීය බලවතෙකු ලෙස ද සැලකිය හැක. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් 1947දී ඉන්දියාව ලැබූයේ එතෙක් බ්‍රිතාන්‍ය ඉන්දියාව වශයෙන් සැලකූ භූමි ප්‍රදේශය ඉන්දියාව හා පකිස්තානය ලෙස වෙන ම රාජ්‍යයක් ලෙස බිඳී යාමෙනි. නිදහසින් පසුව ඉන්දියාව හා පකිස්තානය අතර ප්‍රධාන යුද ගැටුම් දෙකක් 1965 හා 1971දී ඇති වූ අතර එම අවස්ථා දෙකේදීම ජයග්‍රහණය ඉන්දියාවට හිමි විය. දකුණු ආසියානු කලාපයේ සිටින දෙවන කලාපීය බලවතා වන පකිස්තානයේ ශක්තිය දුර්වල කිරීමට ඉන්දියාව නිතරම කටයුතු කිරීම පකිස්තානයේ කෝපයට හේතුවක් වී ඇත. එය උග්‍ර වූ අවස්ථාවක් වන්නේ ඉන්දියාව විසින් පකිස්තාන සමූහාණ්ඩුවෙන් නැගෙනහිර පකිස්තානය 1971 දෙසැම්බර් 16වන දා වෙන් කර බංග්ලාදේශය නමින් වෙනම ම රාජ්‍යයක් බිහි කිරීමත් සමඟයි. වර්තමානය වන විට ද දේශ සීමා ස්ථාවරත්වය සම්බන්ධයෙන් පකිස්තානය හා ඉන්දියාව අතර දීර්ඝකාලීන කාලීන ගැටුම් පවතී.  ජම්මු හා කාශ්මීරය ප්‍රදේශය පදනම් කර ගනිමින් ඇති වී තිබෙන ගැටුම් සඳහා නිශ්චිත විසඳුමක් සාමකාමී ව සලසා ගනු සලසා ගනු පිණිස ඒ ප්‍රදේශවල ජනමත විචාරයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කල ද ඉන්දියාව එයට එකඟ නොවීය. මන්ද යත් කාශ්මීරයේ බහුතරයක් වන මුස්ලිම් ජනතාව එවිට මුස්ලිම් පකිස්තානය සමඟ එක් වනු ඇතැයි ඉන්දියාවට ඇති බියයි. පකිස්ථානය තුළ බටහිර රටවල බලය වර්ධනය වනු දුටු ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු 1956දී නිල නොවන ආකාරයෙන් ප්‍රකාශ කර සිටියේ “කාශ්මීරය සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම යල්පැන ගිය අදහසක් හෙයින් කාශ්මීරය බෙදා වෙන් කිරීම පහසු වුවත් ජනමත විචාරණයක් පැවැත්වීම අපහසු බවයි.” මෙවැනි ප්‍රකාශයක් කිරීමට නේරුට හැකි වූයේ තම රජය විසින් කාශ්මීරය සඳහා පත් කරන ලද බක්ෂි ගුලාම් ඉෂාක්, 1957 පැවැත්වූ මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමයි. එම නිසා කාශ්මීර ජනයා ඉන්දියාව සමඟ එකතු වීමට කැමැත්ත දක්වන බව ඉන්දියානු රජය එය සම්බන්ධයෙන් අර්ථ කථනයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශයක් නිකුත් කරන ලදි. ඒ අනුව ඉහත ආකාරයට නේරු විසින් නිල නොවන ආකාරයෙන් කරන ලද ප්‍රකාශය නිල වශයෙන් ම ප්‍රකාශ කිරීමට 1958දී අවස්ථාව ලැබිණි. ඉන්දියාවේ ස්ථාවරත්වය වන්නේ ජනමත විචාරයකින් තොරව ම ජම්මු කාශ්මීර ප්‍රදේශ ඉන්දියාවට හිමි විය යුතු බවයි. මේ සම්බන්ධව දෙර‍ට අතර පැවති සාකච්ඡා නිරතුරුව ම බිද වැටී ඇති අතර 1972දී අර්බුදය සාමකාමී ව විසඳා ගැනීම සඳහා එළඹි සිම්ලා ගිවිසුම ද අකර්මණ්‍ය වී ඇත. ඒ හේතුවෙන් දෙරටම තම යුද ශක්තිය මත විසඳුමක් අපේක්ෂා කිරීමට පෙලඹී ඇත.

මෙම අර්බුදයේ දී ඉන්දියාව හා පකිස්තානය යන රාජ්‍යයන් දෙක ම බාහිර බලවතුන්ගේ ආධාර ලබා ගැනීමට පෙලඹීම ඉන්දියන් සාගරයෙ බල තුලනයට බෙහෙවින් බලපානු ලැබීය. ඒ අනුව කලාපයෙන් පිටත පිහිටි රාජ්‍යයන් වන ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය හා මහජන චීනය යන බලවත් රාජ්‍යයන්ට ඉන්දියානු සාගරයේ බලපෑම් කල හැකි තත්ත්වයක් උදා විය. ආරම්බයේදී ඉන්දියාවේ සහයට ඉදිරිපත් වූයේ සෝවියට් දේශයයි. විශේෂයෙන් මුලදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් යටතේ ඉන්දියාවට නායකත්වය ලබා දෙනු ලැබූ ජවහල්ලාල් නේරු විසින් සමාජවාදී දේශපාලන හා ආර්ථික දෘෂ්ඨියක් අනුගමනය කරනු ලැබූ සෝවියට් දේශය සමඟ මිත්‍ර සබඳතා ගොඩ නඟා ගනු ලැබීය. එහි දී එකල ඉන්දියාවේ අවධානය යොමු ව පැවතියේ ද්වීපාර්ශ්වික ලෝක ක්‍රමය තුල ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉන්දියාවට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීමයි. මෙලෙස ඉන්දු-සෝවියට් සබඳතා ඇමරිකාව විසින් අවබෝධ කර ගනු ලැබූයේ ඉන්දියාව යනු නැගෙනහිර යුරෝපා බල කඳවුරේ සාමාජිකයෙක් ය යන දෘෂ්ඨියෙනි. මුලදී ඉන්දියාවේ ආකල්පය වූවේ ඇමරිකාව යනු අධිරාජ්‍යවාදී ආකල්ප ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල නිරත ව සිටින රාජ්‍යයක් වන බවයි. ඒ අනුව ඇමරිකාව විසින් ආසියාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට හා බල තුලනයට තර්ජනයක් වන බව ඉන්දියාවේ නිගමනය විය. මේ හේතුවෙන් ඇමරිකාවද ඉන්දු-පකිස්තානය අර්බුදය අවස්ථාවක් කර ගනිමින් ඉන්දියාවට එරෙහිව කටයුතු කිරීම සඳහා පකිස්තානයට අවශ්‍ය යුද ආධාර ලබා දෙන ලදි. ඉන්දියාව ද, සෝවියට් දේශය සමඟ තව දුරටත් යුද හා ආර්ථික සබඳතා වර්ධනය කර ගනු ලැබූ අතර එය ඇමරිකාවේ ප්‍රතිපත්ති තවදුරටත් ඉන්දීය විරෝධී වීමට බලපානු ලැබීය.

1971දී නැගෙනහිර පකිස්තානය සම්බන්ධයෙන් ඉන්දියාව මැදිහත් වීම මත ඇමරිකාව විසින් ඉන්දියාවට ලබා දෙනු ලැබූ නාවික යුධෝපකරණ 1971 දෙසැම්බර් මාසයේ දී අත්හිටුවනු ලැබීය. එයට ප්‍රතිචාරයක් වශයෙන් ඉන්දියාව ද 1971 දෙසැම්බර් 29වන දින ඇමරිකාවෙන් තිරිඟු ආනයනය කිරීම අත්හිටු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව විසින් ඉන්දියාවට ලබා දෙනු ලැබූ සියලු ආධාර නවතා දැමූ අතර පකිස්තානයට ලබා දෙන ආධාර තවදුරටත් ඉහළ නැංවීය. ඉන්දියාවේ ආකල්පය වූවේ ඇමරිකාව විසින් දිගු කාලීන වශයෙන් පකිස්තානයට යුද ආධාර සපයන අතර න්‍යෂ්ටික හා මිසයිල තාක්ෂණය ද ඇතුළු තියුණු යුද අවි නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණය පමණක් නොව යුද ශිල්පීය ඥානය ද ලබා දී ඇති බවයි. ඇමරිකාව විසින් ලෝක සාමය ස්ථාපිත කිරීම සඳහා අනුගමනය කරනු ලැබූ සාමූහික ශක්තිය (The Collective Capability) නම් ප්‍රතිපත්තිය ඉන්දියාව විසින් විවේචනය කරනු ලැබූ අතර 1988දී ඇමරිකාව විසින් තායිවානයට මිසයිල තාක්‍ෂණය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අදහස වූයේ එය සමස්ත ආසියාවේ ම ආරක්ෂාවට තර්ජනයක් වන බවයි.

චීනය ද ඉන්දු-පකිස්තාන අර්බුදය අවස්ථාවක් කර ගනිමින් ඉන්දියන් සාගරයේ බල ව්‍යාප්තියට මැදිහත් වන ආකාරයක් දැකිය හැකිය. ආරම්භයේ සිටම ඉන්දියාව හා චීනය අතර දේශසීමා සම්බන්ධයෙන් මතභේද හට ගෙන තිබුණ ද එය උග්‍ර නොවීය. 1950 ඔක්තෝබර් 07වන දින චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කිරීමත් සමඟ ඉන්දියාව හා චීනය අතර යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති විය. විශේෂයෙන්ම ඉන්දියාව විසින් ටිබෙටයේ ආධ්‍යාත්මික නායකයා වූ දලයි ලාමාට නවාතැන් දීමත් හා ඉන්දු-සෝවියට් සබඳතාත් චීනයේ සැකයට හේතුවක් විය. මන්ද යත් දලයි ලාමා හා සෝවියට් දේශය, චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. මෙම පසුබිම මත චීනය 1962දී ඉන්දීය දේශ සීමා ආක්‍රමණය කෙරූ අතර එමගින් ඉන්දියාවේ භූමියෙන් 38,000km2 ප්‍රදේශයක් ඈඳා ගැනීමට චීනය සමත් වූ අතර පකිස්තානය ද ඊට සහයෝගය ප්‍රකාශ කරන ලදි. 1962දී ඇති වූ ඉන්දු චීන දේශසීමා අර්බුදය අවස්ථාවක් කර ගනිමින් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය නැවත වරක් ප්‍රකාශ කර සිටියේ දෙරට අතර සාම සාකච්ඡා ආරම්භ කළ යුතු බවයි. ඒ අනුව ඉන්දීය අගමැති නේරු හා පකිස්ථාන ජනාධිපති අයුබ් ඛාන් අතර සාම සාකච්ඡාවක් පවත්වන ලදි. නමුත් ඉන්දියාව විසින් කාශ්මීරය සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීමත්, පකිස්ථානයට ඉන්දු නදියේ අතු ගංගාවක් වූ චේනාබ් නදිය අවට ප්‍රදේශය ලබා නොදී සටන් විරාම රේඛාව අසල ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ලබාදීමට කැමැත්ත පළ කිරීම හේතුවෙන් සාම සාකච්ඡා අසාර්ථක විය.

පකිස්තානය විසින් ද  ඉන්දියාවට විරුද්ධව සූක්ෂ්ම ක්‍රියාමාර්ග කීපයක් අනුගමනය කරනු ලැබීය. එහි දී පකිස්තානය ඇමරිකා එක්සත් ජනපදය හා මහජන චීනය සමඟ රාජ්‍යයෝපායාත්මක සහ යුද්ධෝපායාත්මක සම්බන්ධතා පැවැත්වීම හා සියැටෝ (SEATO- අග්නිදිග ආසියාතික ගිවිසුම් සංවිධානය), සෙන්ටෝ (CENTO- මධ්‍ය ගිවිසුම් සංවිධානය) වැනි බටහිර රටවල ආධාර ලැබූ යුද සංවිධානයන්ගේ සාමාජිකත්වය ලබා ගන්නා ලදි. ඉන්දියාව පකිස්තානයේ මෙම ක්‍රියාවලිය දෙස බලන්නේ ඉන්දියානු සාගර කලාපයේ  ස්වාධීනත්වයට තර්ජනයක් වන ආකාරයෙන් බාහිර බලවතුන්ට එහි අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වීමට අවස්ථාවක් සලසා දීමක් මෙන් ම ඉන්දියානු සාගර කලාපයේ බල තුලනය බිඳ හෙළීමට ඇමරිකාව දරණ උත්සහයට සහය දීමක් ලෙසයි. තවද පකිස්තානය විසින් ඇමරිකාවේ හා චීනයෙන් අවි ආයුධ හා මිලිටරි තාක්ෂණය ලබා ගැනීමත්, දකුණු ආසියාවේ අනෙකුත් රාජ්‍යයන් වෙත යුධ හා ආර්ථික ආධාර ලබා දීමත් සිදු කරනු ලැබීය. එහි එක් අවස්ථාවක් වූයේ LTTE සංවිධානයට විරුද්ධව ශ්‍රී ලංකාව කරනු ලැබූ යුද්ධයේදී පකිස්තානය විසින් ලංකාවට යුධ හා ආර්ථික ආධාර ලබා දීම ය. තව ද 1978දී ආරම්භ වූ සෝවියට්- ඇෆ්ගනිස්තාන යුද්ධයේදී පකිස්තානය, ඇමරිකාව සමඟ එක් වී සෝවියට් විරෝධී මුජහයිඩීන් ත්‍රස්තවාදීන් වෙත යුද හා මූල්‍යමය ආධාර ලබා දෙනු ලැබීය.

මීට අමතරව පකිස්තානය අනුගමනය කල තවත් ක්‍රියාමාර්ගයක් වූවේ ඉන්දියාව හා චීනය අතර දේශ සීමා අර්බුදයක් ඇති කරලීමට කටයුතු කිරීමයි. අතීතයේ සිට ම හිමාලය කඳු වැටිය ඉන්දියාවේ ස්වාභාවික ආරක්ෂණ සීමාවක් වූ නමුත් පකිස්තානයේ උපක්‍රම හමුවේ ඉන්දියාව ඒ හේතුවෙන් ම අසල්වැසි රාජ්‍ය සමඟ ගැටුම් ද ඇති කර ගනු ලැබීය. පකිස්තානය සිය සමීපතම මහා බලවතා වන චීනය සමඟ සම්බන්ධතා පැවැත්වීම ඉන්දියාව අපේක්ෂා කරනු ලැබූ ඉන්දියානු ආරක්ෂණ ප්‍රතිපත්තියට දැඩි තර්ජනයක් විය. එක් අවස්ථාවක පකිස්තානයේ මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එවකට ඉන්දියාවේ අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනිය ප්‍රකාශ කර සිටියේ “පකිස්තානයේ තර්ජනය හා ප්‍රහාර හමුවේ අපි බිය නොවෙමු. අපට එයට විරුද්ධව ක්‍රියා කල හැකිය. නමුත් පකිස්තානය එකවර ම ලෝක යුද්ධෝපායේ කොටසක් වන විට එය බොහෝ දුරට භයානක වූවක් ලෙස සිතමි.” යනුවෙනි. ඉන්දියාව විසින්  කාශ්මීරය සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීමත්, පකිස්ථානයට ඉන්දු නදියේ අතු ගංගාවක් වූ චේනාබ් නදිය අවට ප්‍රදේශය ලබා නොදී සටන් විරාම රේඛාව අසල ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ලබාදීමට අදහස් කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් වූ පකිස්ථාන ජනාධිපති අයුබ් ඛාන්, මේ වන විට ඉන්දියාව සමඟ සතුරු ව සිටි චීනය සමඟ 1963දී ගිවිසුමකට අත්සන් කරනු ලැබීය. ඒ අනුව පීකිං නගරය වෙත ගිය අයුබ් ඛාන් අසාඩ් කාශ්මීර ප්‍රදේශය ද අන්තර්ගත වන පරිදි චීන පකිස්ථාන් දේශසීමා ගිවිසුමකට අත්සන් කරන ලදි. මේ සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම චීනයේ සතුරන් වූ ඇමෙරිකාව හා සෝවියට් දේශය ද තම විරෝධය පල කරනු ලැබීය.

1963දී පකිස්තානය හා චීනය අතර ඇති වූ දේශසීමා විසඳා ගැනීමේ ගිවිසුමට අනුව පකිස්තානය සිය දේශසීමාවලින් වර්ග කිලෝමීටර් 10.000ක ප්‍රමාණයක් චීනයට ලබා දුන් අතර එයින් වර්ග කිලෝමීටර් 3378.9ක් පමණ ඉන්දියාව සමඟ දේශසීමා සම්බන්ධයෙන් පකිස්තානය අර්බුද ඇති කර ගත් ප්‍රදේශ විය. එමගින් චීනය හා ඉන්දියාව අතර තව දුරටත් දේශසීමා අර්බුද ඇති කර වීම පකිස්තානයේ අපේක්‍ෂාව විය. චීනය සමඟ පකිස්තානය අත්සන් කල දේශ සීමා ගිවිසුමෙන් අනතුරුව චීනය විසින් උපායෝජිත මාර්ගයන් ඉදිකිරීම (Building Strategic Roads) ආරම්භ කරන ලදි. මෙහි පළමු පියවර හිමාලය කඳු ප්‍රාන්තය හරහා කාශ්මීරය දක්වා 800km දිගැති කාරකෝරම් මාර්ගය (Karakoram) මාර්ගය ඉදි කරන ලදි. එමගින් පර්සියන් ගල්ෆ් සමීපයෙන් ඉන්දියන් සාගරයට පහසුවෙන් පිවිසීමේ බලයක් චීනයට හිමි වූ අතර එම මාර්ගය ආධාරයෙන් 1971 ඉන්දු-පකිස්තාන යුද්ධයේදී චීන යුද ආධාර පකිස්තානයට ප්‍රවාහණය කෙරුණි.

1963දී පකිස්තානය හා චීනය අතර ඇති වූ දේශසීමා විසඳා ගැනීමේ ගිවිසුමට එකට එක කිරීමක් ලෙස ඉන්දියාව, කාශ්මීරය තුළ තවදුරටත් ඉන්දියානු බලය වර්ධනය කිරීම සඳහා 1963 ඔක්තෝබර් මාසයේ දී ව්‍යවස්ථාමය සංශෝධනයක් කරනු ලැබීය. නමුත් මෙයින් සිදු වූයේ ස්වයංපාලන බලතල අපේක්ෂාවෙන් සිටි කාශ්මීර ජනතාව තුළ ඉන්දීය විරෝධී අදහස් මතු වීමයි. එය සමනය කරනු වස් ඉන්දියානු රජය 1964 අප්‍රේල් මාසයේ දී ෂික් අබ්දුල්ලා සිර භාරයෙන් නිදහස් කරනු ලැබීය. නමුත් 1964 දෙසැම්බර් මාසයේ දී ඉන්දියාව විසින් කාශ්මීරයේ මැතිවරණ නීති ඉන්දියානු මැතිවරණ නීති හා සමාන තත්වයකට ගෙන ඒම නිසා කාශ්මීරයේ නොසන්සුන්තා තවදුරටත් වර්ධනය විය.

 

මෙය අවස්ථාවක් කරගත් පකිස්ථානය ඉන්දු චීන අර්බුද හේතුවෙන් දුර්වල වී සිටි ඉන්දියාව සමඟ යුද්ධ කිරීම සඳහා තම හමුදා ශක්තිමත් කරන ලදි. නමුත් මේ අවස්ථාවේ දී පකිස්ථානයට අයත් ව පැවති බංග්ලාදේශය ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ විමුක්ති අරගලවලට ඉන්දියාව සහයෝගය දැක්වීම හේතුවෙන් දෙරට අතර ප්‍රකෝපකාරී අදහස් වර්ධනය වන ලදි. 1965 අප්‍රේල් මාසයේ දී බටහිර පකිස්ථානය හා ඉන්දියාව අතර මුඩුබිම් ප්‍රදේශයක් වූ කූච් ප්‍රදේශයේ දේශසීමා ගැටුමක් සිදුවීම හේතුවෙන් දෙරට අතර නැවත වරක් යුද්ධයක් ආරම්භ විය. කූච් ප්‍රදේශය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නය විසඳීමට දෙරටම කැමැත්ත පල කළත් කාශ්මීර ජනතා නායකයා වූ ෂීක් අබ්දුල්ලා ඇල්ජීරියාවේ දී චීන අගමැති චෞ එන්ලායි සමඟ සාකච්ඡා කිරීම හේතුවෙන් ඉන්දියානු රජය ඔහුව නැවත වරක් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ හේතුවෙන් ම එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඌතාන් සැප්තැම්බර් 07වන දින ඉන්දියාවට පැමිණෙන ලදි. තවද බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව ද දෙරටට යුද ආධාර ලබාදීම සැප්තැම්බර් 08වන දින ප්‍රතික්ෂේප කරන ලදි. නමුත් දෙරට අතර සටන් විරාමයක් සඳහා ඉදිරිපත් වීමක් සැප්තැම්බර් 15වනදා දක්වා ම දක්නට නොලැබින. මේ හේතුවෙන් මෙය අවස්ථාවක් කරගත් චීනය සැප්තැම්බර් 17වන දින ඉන්දියාවට අනතුරු හඟවමින් කියා සිටියේ ඉන්දු චීන දේශසීමා ආසන්නයේ පිහිටි සීකිම් ප්‍රදේශයෙන් ඉන්දියානු හමුදා දින 03ක් ඇතුළත පසු නොබසින්නේ නම් භයානක ප්‍රතිඵලවලට ඉන්දියාවට මුහුණ දීමට සිදු වන බවයි. ඉන්දියාව තවදුරටත් අර්බුදකාරී අවස්ථාවකට පත් නොවීම සඳහා කටයුතු කරනුවස් සෝවියට් දේශයේ අගමැති ඇලෙක්සි කොසිජින් මධ්‍යස්ථකරුවෙකු වශයෙන් ඉදිරිපත් වෙමින් තමන්ගේ සේවය ලබාදීමට කැමැත්ත පලකරනු ලැබීය. තවද සෝවියට් දේශය මැදිහත් කරුවෙකු වශයෙන් කටයුතු කරමින් 1966 ජනවාරි 03-10 දක්වා ටෂ්කන්හිදී ඉන්දියානු අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී හා පකිස්ථාන ජනාධිපති අතර සාකච්ඡා පවත්වනු ලැබීය. ඒ අනුව දෙරට අතර පැවති ප්‍රකෝපකාරී ස්වභාවය සමනය වූ අතර ටෂ්කනිච් සම්මුතියද ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඉන්දියාව ද ඉන්දු-පකිස්තාන අර්බුදයේ දී පකිස්තාන විරෝධී ක්‍රියාමාර්ග කීපයක් ම අනුගමනය කරනු ලැබීය. එහි දී පකිස්තානයට පක්‍ෂපාතී ව සිටි චීනයේ හා ඇමරිකාවේ ප්‍රතිවාදියා වූ සෝවියට් දේශය සමඟ සමීප සබඳතා ගොඩ නගා ගැනීමට ඉන්දියාව උනන්දු විය. 1962දී සිදු වූ ඉන්දු-චීන දේශසීමා ගැටුමෙන් පසු හා ඉන්දියානු සාගරය තුල ඇමරිකාව පකිස්තානයේ සහයෝගය ලබමින් සිදු කරනු ලැබූ ඇමරිකානු බල ව්‍යාප්තිය හේතුවෙන් සෝවියට් දේශය ද සැලකිය යුතු මට්ටමකින් ඉන්දියාවට යුද ආධාර හා ආර්ථික ආධාර ලබා දීමට කටයුතු කරනු ලැබීය. විශේෂයෙන්ම පකිස්තානය හා චීනය යන ඉන්දීය දේශසීමා ආසන්නයේ පිහිටි බලවත් රාජ්‍යයන් දෙක ඉන්දියාව සමඟ ගැටුම් ඇති කර ගැනීමත්, පකිස්තානය හා චීනය මිත්‍ර ව කටයුතු කරමින් ඉන්දියානු විරෝධී කටයුතු කිරීමත් සහ ඇමරිකාව විසින් පකිස්තානයට යුද හා ආර්ථික ආධාර ලබා දෙමින් ඉන්දියානු සාගර කලාපයේ ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයට ඇමරිකානු බලය ව්‍යාප්ත කිරීමට දරන උත්සහයටත් ඉන්දියාව සිය විරෝධය එල්ල කරන ලදි. එහි ප්‍රතිඵලයක් වූවේ ඉන්දියාව සිය ජාතික ආරක්ෂාව හා ජාතික ආශාවන් සඵල කර ගැනීමේ අරමුණින් සෝවියට් දේශය සමඟ සබඳතා තව දුරටත් තර කර ගැනීමයි. ඒ සඳහා 1971දී ඉන්දු-සෝවියට් මිත්‍රත්ව ගිවිසුමක් ද දෙර‍ට විසින් අත්සන් කරනු ලැබීය. ඒ අනුව ඉන්දියාවේ ආරක්ෂාව සඳහා නවීන අවි ආයුද පද්ධතියක් ලබා දීමට හා මෙතෙක් පකිස්තානයට ලබා දුන් අවි ආයුධ සඳහා වූ ගිවිසුම 1969-70 වර්ෂයන්වලදී අවසන් කිරීමට ද සෝවියට් දේශය ඉන්දියාව සමඟ එකඟ විය. ඊට අමතරව ඇමරිකාව විසින් පකිස්තානයට ලබා දෙන යුද හා ආර්ථික ආධාර විවේචනය කරමින් සෝවියට් දේශය ප්‍රකාශයක් කර සිටියේ ඉන්දියන් සාගර කලාපය සාම කලාපයක් විය යුතු බවයි. කෙසේ වෙතත් සෝවියට් දේශය විසින් ඉන්දු-පකිස්තාන අර්බුදය අවස්ථාවක් කර ගනිමින් ඉන්දියානු සාගරය තුල තම බලය ව්‍යාප්ත කර ගැනීමට ද උත්සහ කරනු ලැබීය. ඒ අනුව සෝවියට් දේශය ඉන්දියාවේ සුරක්ෂිතභාවය සඳහා යැයි පවසමින් රුපියල් බිලියන 1300ක මිලිටරි උපකරණ ඉන්දියාවට ලබා දීමට කටයුතු කරනු ලැබීය. එය 1980දී හා 1984දී තව දුරටත් වර්ධනය විය.

කෙසේ වෙතත් ඉන්දියාවේ මෙම සෝවියට් පක්ෂපාතී හා ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තිය 1990 දශකයෙන් පසු පූර්ණ විපරිවර්තනයකට භාජනය වන ආකාරයක් දැකිය හැක. ඊට ප්‍රධානතම හේතූන් කීපයක් හඳුනා ගත හැක. ඉන් පළමු හේතුව වන්නට ඇත්තේ සමාජවාදී දේශපාලන හා ආර්ථික ක්‍රමයේ ප්‍රතිමූර්තිය බදු වූ සෝවියට් දේශය 1991දී විසිරී යාමයි. ඒත් සමඟ ඉන්දියාවට සිටි ප්‍රධානතම විදේශය සහකරු අහිමි වූ අතර ඉන්දීය ආර්ථිකය ද එක තැන පල් විය. එයට පිළියමක් වශයෙන් ඉන්දියාව මෙතෙක් පැවති සංවෘත ආර්ථික ක්‍රමය අහෝසි කරමින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හුවමාරු විය. ඊට අමතරව මහ බලවතෙකු ලෙස තම අසල්වැසි ප්‍රතිවාදියා වූ චීනය බලවත් වීමත් සමඟ ඉන්දියානු සාගර කලාපයේ හා තම දේශසීමා ආරක්ෂාව සඳහා ඉන්දියාව, ඇමරිකාව සමඟ සමගි ව කටයුතු කිරීමට ක්‍රමික ව ඉදිරි පත් විය. ඒ අනුව වර්තමානය වන විට ඉන්දු-ඇමරිකානු සම්බන්ධතා ආර්ථික, යුදමය හා තාක්ෂණික යන අංශයන්වල දී ඉතා පුළුල් ලෙස විහිදී පවතින ආකාරයක් දැකිය හැකි අතර ඇමරිකාවද ඉන්දියානු සාගරයේ චීන බලපෑම අවම කිරීමේ අරමුණින් පකිස්තානයට වඩා ඉන්දියාවට සහයෝගය දැක්වීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් පවතී. පකිස්තානය ද ඉන්දු-ඇමරිකානු මිත්‍රත්වය සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයක් නොදක්වන අතර ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තාන-පකිස්තාන දේශ සීමාවලට එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඇමරිකානු විරෝධී හා චීන හිතෛෂී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙලඹී ඇත. වර්තමානය වන විට ඉන්දියාව ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙලඹී ඇති ආකාරයක් දැකිය හැකි අතර ඇමරිකාවද ඉන්දියානු සාගර කලාපයේ ඉන්දියාව කේන්ද්‍ර කොටගත් කලාපීය බලයකට සහයෝගය ප්‍රකාශ කර ඇත.

විශේෂයෙන්ම ඉන්දියාව හා පකිස්තානය තම මිලිටරි ශක්තිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනී යයි. ඉන්දියාව සිය මිලිටරි ශක්තිය වර්ධනය කර ගැනීමේ දී ප්‍රධාන වශයෙන් තම අවධානය යොමු කොට ඇත්තේ සිය කලාපීය හා අසල්වැසි ප්‍රතිවාදීන් වූ පකිස්තානයේ හා චීනයේ මිලිටරි ශක්තිය වෙතයි. පකිස්තානය ද එලෙස ම තම මිලිටරි ශක්තිය වර්ධනය කර ගැනීමේ දී ඉන්දියාවේ මිලිටරි ශක්තිය පිළිබඳ අවධානයෙන් පසු වන අතර දෙරටම න්‍යෂ්ටික බලවතුන් වීම දැඩි අර්බුදයක් වී ඇත. අතීතයේ සිට වර්තමානය දක්වා චීනය ද ලෝක භූ දේශපාලන සිතියමේ වැදගත් මර්මස්ථාන අත්පත් කර ගැනීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව අවබෝධ කර ගත හැක. “ලෝකයේ සම්පත් පාලනය කරන්නා ලෝකය පාලනය කරයි” යන අදහස අනුව ඇමරිකාව හා සෝවියට් දේශය අතීතයේ අනුගමනය කල උපායමාර්ගික හා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති චීනය විසින් වර්තමානයේ දී අනුගමනය කරමින් පවතී. ඒ අනුව චීනයේ මූලික ඉලක්කය වී ඇත්තේ ඛනිජ සම්පත් බහුල අප්‍රිකානු මහද්වීපය, තෙල් හා ස්වාභාවික වායූන්ගෙන් පොහොසත් ඉන්දියානු සාගරයේ පිහිටි මැලේසියානු හා ඉන්දුනීසියානු රටවල් සහ චීනය අතර උපායමාර්ගික වැදගත්කමක් ඇති ස්ථාන අත්පත් කර ගැනීමයි. ඒ සඳහා චීනය විසින් සැලසුම් කොට ඇති නව මුහුදු සේද මාවත ව්‍යාපෘතිය හරහා චීනය හා අප්‍රිකාව අතර නිදහස් මුහුදු මාර්ගයක් විවෘත කර ගැනීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය වී ඇත. ඒ සඳහා ඉන්දු-පකිස්තාන අර්බුදය චීනය විශාල උපකාරයක් වී ඇත. මන්ද යත් එම නව මුහුදු සේද මාවතේ ප්‍රධාන උපාය මාර්ගික මර්මස්ථාන තුනෙන් එකක් වන්නේ  පකිස්තානයේ ගවඩාර් (Gwadar Port) වරාය වීමයි. එහි අනෙක් ස්ථාන වන්නේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය හා මියන්මාරයේ සිට්වේ වරාය (Sittwe Port) යන ස්ථානයි.    

ඉන්දියාව විසින් අනුගමනය කරන රාජ්‍යයෝපායාත්මක හා යුද්ධෝපායාත්මක ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ ඉන්දියාවේ ආරක්‍ෂක අපේක්‍ෂා ඉන්දියාවේ දේශ සීමාවලට පමණක් සීමා නොවන බවත් එය සමස්ත ඉන්දියානු සාගර කලාපය කෙරෙහි ම අවධානය යොමු වී පවතින බවයි. ඒ අනුව ඉන්දියාවේ වර්තමාන අපේක්ෂාව වී ඇත්තේ සමස්ත ඉන්දියන් සාගරය ම තමා වටා කේන්ද්‍ර ගත වූ ආරක්‍ෂක ප්‍රතිපත්තියක් (The Indo- Centric Security System) යටතේ සකස් විය යුතු බවයි. ඒ අනුව ඉන්දියාව කලාපීය බලවතා‍ ලෙස කලාපය තුල තම ප්‍රධාන ප්‍රතිවාදියා වූ පකිස්තානයේ බලවත් වීම නොඉවසන අතර ඉන්දියානු සාගර කලාපයට බාහිර බලවතුන්ට ප්‍රවිෂ්ට වීමට හා ඉන්දියානු සාගර කලාපයේ අනෙකුත් රාජ්‍යයන් බාහිර බලවතුන් සමඟ සමීප සබඳතා පැවැත්වීම ද නොඉවසයි. එම අදහස ඉන්දියාව නිදහස ලබා ගත් අවධියේ සිටම පැවති බව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අදහස් විමසීමේ දී අවබෝධ කර ගත හැක. ඉන්දියාවේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී ඉන්දියානු සාගරයේ පිහිටි ලංකාව හා බුරුමය ඇතුළත් ව ආරක්‍ෂක සංගතියක් ඇති කල යුතු බව පනික්කාර් වැනි විද්වතුන් විසින් ද කරුණු දක්වා ද ඇත. කෙසේ වෙතත් වර්තමානයේ දී ඉන්දියාවේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ඉන්දියන් සාගරයේ ඇමරිකානු ව්‍යාප්තවාදය මර්දනය කිරීම කෙරෙහි නොව චීන ව්‍යාප්තවාදය මර්දනය කිරීම කෙරෙහි ය.

ඉන්දු-පකිස්තාන අර්බුදය දෙස අධ්‍යනය කිරීමේ දී පෙනී යන්නේ එය ඉන්දියානු සාගර කලාපයේ බල තුලනයට විවිධාකාරයෙන් බලපා ඇති බවයි. මන්ද යත් ඉන්දීය සාගර කලාපය ඕනෑම බලවත් රාජ්‍යයකට ම උපායමාර්ගික වශයෙන් ඉතාමත් වැදගත් වීමයි. මෙම අර්බුදයේ ආරම්භක අවස්ථාවේ දී දක්නට ලැබුණේ ඉන්දියානු හා පකිස්තානු අර්බුදයක් ලෙස පමණක් ම නොවෙ යි. එම අර්බුදයට යටින් සැබෑ ලෙස ම පැවතියේ එවකට ප්‍රධානතම ප්‍රතිවාදී බල කඳවුරු දෙක වූ ඇමරිකාවේ හා සෝවියට් දේශයේ ඉන්දියානු සාගර බල තරගයයි. ඒ අනුව ඉන්දියාවට පක්ෂපාතී ව සෝවියට් දේශය කටයුතු කරමින් ඉන්දියන් සාගරයේ ඇමරිකානු බල ව්‍යාප්තිය මර්දනය කිරීමට කටයුතු කරනු ලැබූ අතර පකිස්තානයට පක්ෂපාතී වෙමින් ඇමරිකාවද ඉන්දියන් සාගරයේ සෝවියට් බලව්‍යාප්තිය මර්දනයට කටයුතු කරනු ලැබීය. නමුත් වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇත. ඒ අනුව ඉන්දියන් සාගර කලාපයේ ප්‍රධානතම තරග කරුවන් වී ඇත්තේ ඉන්දියාව හා චීනයයි. ලෝක දේශපාලනයේ ආර්ථික හා දේශපාලන ප්‍රතිවාදීන් වී ඇත්තේ ඇමරිකාව හා චීනයයි. ඒ අනුව “තම සතුරාගේ සතුරා, තමාගේ මිතුරා” යන කියමන සනාථ කරමින් ඇමරිකාව හා ඉන්දියාව ඉන්දියන් සාගරයේ චීන බලව්‍යාප්තිය මර්දනය කිරීමට එක්සත් වී ඇති අතර පකිස්තානය ද එම කියමන අනුව යමින් චීනය සමඟ එක්සත් ව ඉන්දියානු බලය මර්දනය සඳහා කටයුතු කරනු ලැබේ. එනම් සැබෑ ලෙස ම පෙනී යන්නේ ඉන්දු-පකිස්තාන අර්බුදය යනු ඉන්දියන් සාගර කලාපයේ බල තුලනයට බෙහෙවින් ම බලපාන ලද සිදුවීමක් වූ බවයි. මන්ද යත් ඉන්දු-පකිස්තාන අර්බුදය එම දෙරට අතර ඇති අර්බුදයක් හා තරගයක් පමණක් ‍නොව එම කලාපයෙන් පිටත ප්‍රතිවාදීන් වූ ඇමරිකාවේ හා චීනයේ බල තරගයක් ද වී ඇති බවයි.