Saturday 31 July 2021

“අශෝක”

 


ශෝක යනු ඉන්දීය ඉතිහාසය තුළ පමණක් නොව ලෝක ඉතිහාසය තුළ ද අද්විතීය ස්ථානයක් හිමි කර ගන්නා චරිතයකි. ඔහු එලෙස විශේෂ පුද්ගලයෙකු වන්නේ හුදෙක් ඉන්දියාව තුළ රජකම් කළ තවත් එක් රජෙකුවත් හෝ ඉන්දියාවේ විශාලතම අධිරාජ්‍ය පිහිටුවනු ලැබූ පුද්ගලයා වීම මතවත් නොව, ඔහු ඒ සඳහා අනුගමනය කරන ලද ප්‍රතිපත්තීන්හි ඇති සුවිසේශීත්වය සමස්ත ඉතිහාසය තුළ සුවිශේෂී වීමට බලපා ඇති අතර සමාජ විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයෙන් නම් ඔහු තුළ අනුහස් නායකයෙකුගේ ලක්ෂණ අන්තර්ගත ව ඇත. තමා රජකමට පත් ව දෙවන සමයේ දී ඔහුගේ පාලන තන්ත්‍රයේ ඇති වූ සුවිසේශීත්වයක් වර්ධනය විය. ඉතා දක්ෂ මෙන් ම ක්‍රෑර පුද්ගලයෙකු  වූ අශෝක රජකම ලබා ගනු ලබන්නේ බිහිසුණු විනාශයකින් පසුවය. රජකම ලබා ගැනීමට පෙර සිට තම පිය රජු යටතේ ද මෞර්ය අධිරාජ්‍යයේ ඇති වූ කැරලි මර්දනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියක් ලබා සිටි අතර එම අත්දැකීම් හේතුවෙන් තම සහෝදරයන් අබිබවා රජකම ලබා ගැනීමට ද ඔහු සමත් විය. ඔහු මෞර්ය අධිරාජ්‍යයා බවට පත් වීමෙන් පසු මෙහෙය වූ ප්‍රධානතම යුද්ධයක් ලෙස වාර්තාගත ව ඇත්තේ කාලිංග දේශය සමඟ කරනු ලැබූ මහා සංග්‍රාමයයි. යටත් වීමට කැමති නොවූ කාලිංගය සමඟ කරන ලද යුද්ධය සමස්ත ඉන්දියාව තුළ ම  සිදු වූ විශාලතම විනාශය ලෙස ද හැඳින්වේ. මෙම විනාශය හේතුවෙන් සමස්ත භාරතයේ ම පමණක් නොව මුළු විශ්වයේ ම මහාධිරාජයා වීමේ චේතනාවෙන් කටයුතු කළ අශෝක රජතුමා කාලිංග යුද්ධයෙන් පසුව බුදු සමය වැළඳ ගනිමින් මහා පරිවර්තන රාශියක් කරන ලද බව දැක්වේ.

අශෝක අධිරාජ්‍යයාගේ පාලන සමයේ දෙවන අදියර ලෙස ඉතා සුවිශේෂී ම යුගය ආරම්භ වන්නේ ඔහු විසින් මෞර්ය අධිරාජ්‍යය ඉන්දියාවේ විශාල ප්‍රදේශයක ව්‍යාප්ත කිරීමෙන් අනතුරුව ය. ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගේ අණසකට පත්වන තෙක් ම එදා මෙදා තුර එක් පාලන තන්ත්‍රයක් යටතට ගත් පළමු මෙන් ම විශාලතම ප්‍රදේශයකට විහිද ගිය කාලයක් ලෙස අශෝක යුගය හඳුනාගත හැක. මෙවැනි මහා අධිරාජ්‍යයක් පාලනය කිරීම සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ උපක්‍රම හා ඒවා ක්‍රියාත්මක කළ ආකාරය මත ඔහු ඉතා සූක්ෂ්ම බුද්ධියකින් හා ක්‍රියාශීලීත්වයකින් හෙබි පුද්ගලයෙකු වශයෙන් හැඳින්විය හැකිය.

පාලනයේ පදනම හුදෙක් ම මර්දනය මත රැඳිය නොහැකි බවත් සමස්ත රාජ්‍ය එක් කළ හැකි සදාචාර සම්පන්න පදනමක් මත පිහිටා ගොඩනැගීම තුළ පමණක් රාජ්‍යයක දියුණුව රඳා පවතින බවත් අශෝක රජු වටහා ගනු ලැබීය. මෙම කාර්ය කෙරෙහි ඉමහත් කැපවීමකින් හා උවමනාවකින් කටයුතු කිරීම හේතුවෙන් මෙම ස්ථාවරත්වය බොහෝ දුරට ලඟා කර ගැනීමට ඔහුට හැකි වූ බව පෙනී යයි. මෙයට හේතුවක් වන්නට ඇත්තේ කුඩා කළ අශෝකයන්ට ලැබූ කෞටිල්‍ය පණ්ඩිතයාගේ ආභාසය විය හැකිය. නීති විශාරද හා දේශපාලන විශාරදයෙකු වූ කෞටිල්‍යගෙන් ලද තීක්ෂණ බුද්ධිය අශෝක විසින් තත්කාලීන ස්වරූපයට අනුව ගළපා ගනු ලැබීම තුළ සදාචාරය හා පාලනය තුළ ඇති සම්බන්ධය වටහා ගැනීමට අශෝක රජුට හැකි විය. ඒ හේතුවෙන් ම ලෝක ඉතිහාසයේ සුවිශේෂී රජෙකු ලෙස කටයුතු කිරීමට ඔහුට හැකි විය. ඉන්දියාවේ නූතන යුගයේ ප්‍රමුඛතම ඉතිහාසඥවරියක් වන රොමිලා තාපර්, අශෝක රජුගේ ක්‍රියාකලාපය හඳුන්වා ඇත්තේ පහත පරිදි ය.

“අපට පෙනී යන්නේ අශෝක බුදු දහමට ආකර්ෂණය වූ බවය. එසේ වුවත් එය සමහර විට විකේන්ද්‍රණය වූ හෝ එකවරම සිදු වූ අස්වාභාවික වෙනස් කමක් නොවේ. අප විශ්වාස කරන්නේ එදා පැවති සමාජීය සුවිශේෂීය තත්ත්වයක් තුළ බුදු දහම නිකම්ම තවත් ආගමක් නොවූ බවයි. එය වෙනසක් සඳහා පළල්ව ව්‍යාප්ත වූ ව්‍යාපාරයක් වූ අතර, පුද්ගලික විශ්වාසයන්ගේ සිට සමාජමය අදහස් දක්වා බලපෑ එකක් විය. එය සමාජීය-බුද්ධිමය ව්‍යාපාරයක් වූ අතර විවිධ ප්‍රකාශනයන් මඟින් ප්‍රකාශයට පත් වූ සමකාලීන චින්තනය හා ජීවිතය තුළ ගම්‍ය වූ එකක් බව ය. සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් හෝ චිත්තෝත්පාදක ප්‍රතිපත්තියක් ඇති රජෙකුට මෙම අලුත් වර්ධනය සැලකිල්ලට ගත යුතු එකක් විය. එය අශෝක වැනි මහා අපේක්ෂා සහිත පාලකයෙකුට පරමාදර්ශී අවියක් විය. ආගම පිළිබඳ ඔහුගේ පුද්ගලික අදහස් මොනවා වුවත්, තමන්ගේ දේශපාලන හා ආර්ථික බලය තහවුරු කර ගැනීමට නැඹුරු වූ පාලකයෙකුට සුදුසු ම දෙයක් විය............

අතීතයේ දී ඉතිහාසඥයන් අශෝකගේ ධම්ම සංකල්පය විශ්ලේෂණය කර ඇත්තේ එය බුදු දහමට නොවෙනස් දෙයක් හැටියට ය. මෙයින් ඔවුන් යෝජනා කළේ අශෝක බුදු දහම රාජ්‍ය ආගම බවට පත් කිරීමට උත්සහ කළ බව ය. අප යෝජනා කරන්නේ, මෙය ඔහුගේ පුද්ගලිකව බුදු දහම පිළිබඳ විශ්වාසවන්තයෙකු ලෙස ගැලවීමේ එකම මාවත එය බව විශ්වාස කළත්, මෙය ඔහුගේ අරමුණ නොවූ බවය. ධර්මය පිළිබඳ ඔහුගේ ප්‍රතිපත්තිය ඇත්තෙන්ම සමාජ යුතුකම් පිළිබඳ ව ප්‍රතිපත්තියක් වූ අතර, එය හුදෙක්ම සකල ජනතාව ම බුද්ධාගම කෙරෙහි වැඩි කැමැත්තක් දැක්විය යුතු බවට බලකිරීමක් නොවීය. එයින් කියවූයේ සමාජය තුළ හැසිරීම පිළිබඳ මානසික ආකල්ප ගොඩනැගීමක්, එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් පැවතිය යුතු සම්බන්ධයට මහත් වැදගත්කමක් දැක්වීම ය. එය මිනිසාගේ ගරුත්වය පිළිගැනීම සම්බන්ධයෙන් කළ බලවත් ඉල්ලීමක් විය. සමාජයේ ක්‍රියාවලියේ දී මානව හිතවාදී ජීව ගුණනයක් පැවතිය යුතු බව ය.

තත්කාලීන භාරතයේ පැවති සෑම ආගමක් පිළිබඳව ම හසළ දැනුමක් ඇති ව සිටි අශෝක රජතුමා ඒ හැම ආගමකින් ම ගත හැකි උපදෙස් ගෙන අශෝක ධර්මය නැමති අභිනව ධර්මයක් බිහි කරනු ලැබීය. මෙය බොහෝ අංශවල දී බෞද්ධ දර්ශනය මත පදනම් ව ඇති ආකාරයක් දැකිය හැකි නමුත් හුදෙක් බෞද්ධ දර්ශනය අනුගමනය කරන ලද්දක් නොවී ය. එය හුදෙක් ධර්මය මත පදනම් වූවක් නොවූ අතර දේශපාලන අරමුණු ද ප්‍රබලව එම ධර්මය තුළ අන්තර්ගත ව ඇත. එය බොහෝ විටම අශෝකගේ ම නිර්මාණයක් විය හැකිය. පොදුවේ ගත් කළ එය ප්‍රායෝගිකව හා පහසු ලෙස ජීවන රටාව හැඩ ගස්වා ගැනීමේ ලා රජු විසින් ඉදිරිපත් කළ ක්‍රමවේදයක් විය හැකිය. රාජ්‍ය සංවිධානය ගොඩ නැගීම මූලික කොට ගනිමින් සකස් වී පැවති එම ධර්මයට අනුව රාජ්‍ය ප්‍රතිපත්ති ධර්මය මත සකස් විය යුතු බවට විශ්වාස කරනු ලැබීය. ඒ අනුව මිනිසාගේ උදාරත්වය හා සමාජ වගකීම යන මූලික ප්‍රතිපත්තීන්, අශෝක ධර්මයේ මූලය විය. මෙයට දාර්ශනික මතිමතාන්තර ගොඩනැගීමට නොහැකි වූ බහුතර ප්‍රජාව ගේ සන්තුෂ්ටි ජනක දිවියක් ගත කිරීම සඳහා අවශ්‍ය සම්මුතියක් ලෙස සැලකිනි.

එසේ ම එම වැදගත් ධර්‍ම කාරණා ටැම්වල ලියා තැබූහ. තවද රාජ්‍ය පාලනය භාරකාරත්වයක් වන බව අශෝකගේ ප්‍රතිපත්තිය වූ බව ඔහුගේ ප්‍රසිද්ධ ශිලා ලේඛන අධ්‍යයනය තුළින් ගම්‍ය වේ. තමන් විසින් සකස් කළ මෙම ධර්මය අධිරාජ්‍ය තුළ පතුරවා හැරීමට ධර්‍ම මහාමාත්‍යවරුන් පිටත් කර හැරි බව ද දැක්වේ. එය අශෝක රජුගේ ප්‍රථම ධර්‍මදූත ව්‍යාපාරය ලෙස ද හඳුනාගත හැකිය. අශෝක රජු විසින් සිය පාලන තන්ත්‍රය මෙහෙය වීමේ දී ඉහත කී ආකාරයට ධර්‍ම මහාමාත්‍යවරුන් නම් පිරිසක් යොදවා ගෙන ඇත. ඔවුන්ට අයත් කාර්ය ලෙස විග්‍රහ වී ඇත්තේ විහාර ආරාම ආදිය පරීක්ෂා කිරීම හා මිනිසුන් පුණ්‍ය කටයුතුවල යෙදෙනවා ද යන්න පිළිබඳ පරීක්‍ෂා කොට රජතුමාට වාර්‍තා කිරීමයි. ධර්මයේ නිලධාරීන් ලෙස හැඳින්විය හැකි මොවුන් පිළිබඳව අශෝක රජු පළමු ව සඳහන් කරන්නේ ඔහුගේ පස්වන ශිලා ලේඛනයෙන් ය. මෙම විශේෂ නිලධාරීන් අශෝක රජුගේ දාහතරවැනි රාජ්‍ය පාලන වර්ෂයේ දී පත්කරන්නට යෙදී ඇත. මුල් කාලයේදී ඔවුන්ගේ රාජකාරි ජනතාවගේ සුබසාධනය හා සම්බන්ධ විය. මෙම නිලධාරීන්ට රජයේ ඕනෑම කුලයක හෝ සමාජ පන්තියක එනම් රජ පවුලේ සාමාජිකයන්ගේ නිවෙස් වලට පවා ඇතුළු වීමට අවසර තිබුණි. පසුව ක්‍රමයෙන් සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලටත්, ඔවුන්ගේ කටයුතුවලටත් මැදිහත් වීමට එම නිලධාරීන්ට තිබූ අයිතිය වර්ධනය වූ ආකාරයක් පෙනේ. එසේම එය හුදෙක් ආගමික ප්‍රතිපත්තියක් පමණක් නොව ආර්ථික, සමාජීය හා දේශපාලන සන්දර්භයට ඇතුළත් වූ පුළුල් කේෂ්ත්‍රයක් වූ බවද සනාථ වේ. අශෝක ධර්ම මහාමාත්‍යවරු පත් කිරීමේ මූලික අරමුණ වූයේ සමාජයේ අසරණ හා පහත් කුලවල මිනිසුන්ගේ සුබ සාධනය සැලසීමයි. සෑම සමාජ පන්තියකම ඵලදායී සුබ සාධනය කේන්ද්‍රීය පාලනයකට අත්‍යාවශ්‍ය වන ප්‍රායෝගික සංකල්පයකි. ඔහු මෙම නිලධාරීන්ට ධර්ම මහාමාත්‍ය යන තනතුරු ලබා දීමෙන් ඔවුන්ට පමණට වඩා වැඩි බලතල ලබා දුන් බවට ඇති වූ චෝදනා වැළැක්වූවේ ය. අධිරාජ්‍ය ආරක්‍ෂා කර ගැනීමට මෙලෙස කටයුතු සම්පාදනය කරන්නට ඇති බවට සූක්ෂ්ම අධ්‍යයනයන් තුළින් අවබෝධ කර ගත හැක. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයට අනුව තම ප්‍රජාවගේ සතුට මත රජුගේ සතුට රඳාපවතීය යන සංකල්පය තම රාජ්‍ය පාලනයේ කටයුතු සඳහා ද යොදා ගත් බව පෙනී යයි.

මෙම අශෝක ධර්මය 18වන සියවසෙන් පසුව යුරෝපයේ වර්ධනය වූ දියුණු මානුෂික නීති රීතීන්ට ද සමාන වේ. විශේෂයෙන් ම ප්‍රංශ විප්ලවයෙන් පසුව යුරෝපය පුරාත්, ඇමරිකාවටත් පැතිර ගිය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණවලට සමාන ලක්‍ෂණ මෙම අශෝක ධර්මය තුළ ද අන්තර්ගත ව ඇත. බටහිර සංකල්පයන්ට අනුව රාජ්‍ය නිශ්චිත වටිනාකම් පද්ධතියක් මත පදනම් විය යුතුය. රාජ්‍යයට අදාළ සියලු ම නීතීන් මෙම වටිනාකම් පද්ධතිය මත පිහිටා තිබිය යුතු අතර එම වටිනාකම් පද්ධතියට පටහැණි වූ සියල්ල නිශ්ප්‍රභ කිරීමේ හැකියාව ද නීති ක්‍රමය තුළ තිබිය යුතු ය. ප්‍රංශ විප්ලවය තුළ මෙම වටිනාකම් මිනිස් සමානාත්මතාව, නිදහස හා සහෝදරත්වය යන මූලික අදහස් තුළින් ප්‍රකාශයට පත් කරන ලදි. මෙම මූලික අදහස් වර්ධනය වූවේ මිනිස් උදාරත්වය පිළිබඳ සංකල්පය, පුද්ගල කේන්ද්‍රීයතාවය, සමානාත්මතාව, සාධාරණත්වය හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය, නීතිය මත පාලනය හා අධිකරණයේ ස්වාධීනත්වය යන අදහස් ඔස්සේ ය. මේ සියල්ල කැටි කොට දක්වන්නේ නම් එය යුක්තිය හා සාධාරණත්වය ලෙස හැඳින්විය හැකිය. 

ඉහතින් දක්වන ලද බටහිර දේශපාලන සංකල්ප අශෝක රජුගේ ප්‍රතිපත්තීන් සමඟ සංසන්දනය කරමින් මෙලෙසින් දැක්විය හැකිය. ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය යන සංකල්පය, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පද්ධතිය හෝ ඊට විකල්ප වශයෙන් ධර්මය යන ධර්මාශෝකගේ ප්‍රතිපත්තිය මත යැපේ. අධිකරණ විෂයයෙහි ද අශෝකගේ නිදහස අසීමිත විය. මහලු වූ අංගවිකල වූ සිරකරුවන්ට නිදහස ලබා දුන් රජතුමා මරණීය දණ්ඩනයට ලක්වූවන්ට එයින් නිදහස් වීම සඳහා නිදහසට කරුණු කීමට ඉදිරිපත් කිරීමට තෙදිනක් කල් දුන්නේ ය. නීතිය මත පාලනය යන සංකල්පය ද ගොඩනැගී ඇත්තේ ඉහත දැක්වූ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පද්ධතිය හෝ ධර්මාශෝකගේ ධර්මය නැමති ප්‍රතිපත්තියට සමානුපාතික ව ය. නීතියේ අරමුණ ඉහත කී වටිනාකම් පද්ධතිය වටා රාජ්‍ය සංවිධානය ගොඩනඟා පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික නීති රීතීන් මාලාවක් සකස් කර ගැනීම ය. මෙහි ඇති විශේෂත්වය වන්නේ අශෝක රජු බුද්ධ දර්ශනය පිළිබඳ දැනුමෙන් සිටියත් මරණ දඬුවම අහෝසි නොකිරීමයි. සැබෑ ලෙස ම ඉතා විශාල යුද සංග්‍රාමයකින් පසුව ඒකාබද්ධ කරන ලද අධිරාජ්‍ය හුදෙක් ධර්මය මතම පිහිටා එහි සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට අපහසු බව අශෝක තේරුම් ගත් බව මෙයින් ගම්‍ය වේ. පෞද්ගලික විශ්වාසයන් කෙසේ වුවද රාජ්‍යයේ නීතිය ආරක්ෂා කිරීමට නම් වේදනාකාරී දඬුවම් හා ත්‍යාග පැවතිය යුතු බව ද ඔහු විශ්වාස කරන ලදි.

සකල රාජ්‍යය ම නීතිය මත පාලනය වීම යන්නෙන් අදහස් වන්නේ පාලකයා ද නීතියට අනුව රට පාලනය කළ යුතු බවයි. පාලකයා නීතියට අනුව රට පාලනය කරන තාක් දුරට රාජ්‍ය තන්ත්‍රය රැකේ. රාජ්‍ය තන්ත්‍රය එලෙස රැකීම තුළ සමාජයේ ස්ථාවරත්වය, සාධාරණත්වය හා සමාජ සාමය ද ආරක්ෂා වේ. ධර්මය රකින්නා ධර්මයෙන් රැක ගනු ලබන බව පිළිබඳ සංකල්පයත් නීතිය මත පාලනයෙන් රාජ්‍ය තන්ත්‍රය හා සමාජ ක්‍රමය රැකෙන බව යන සංකල්පයත් එක හා සමාන ය. ඔහු බිහි කළ ධර්මයෙහි කරුණාව. දයාව, මෛත්‍රිය, අවිහිංසාව, දානය, පවින් වැළකීම, සකල පුණ්‍ය ක්‍රියාවන්හි යෙදීම, සත්‍ය ප්‍රකාශ කිරීම, පුද්ගල පාරිශුද්ධිය යන කරුණුවලට ප්‍රමුඛතාවය හිමි විය. සෑම විටම මහජන සුබ සිද්ධිය සඳහා කටයුතු කළ අශෝක රජතුමා විසින් සියලු මිනිස්සු මාගේ දරුවෝ ය යන අදහස ප්‍රකාශයට පත් කරන ලදි. අශෝක රජු නිරන්තරයෙන් ම ඔහු හා ජනතාව අතර සබඳතාව පියා හා දරුවා අතර සබඳතාවට සම කරයි. එසේ ම ඔහු මෙහි දී පෙරමුණේ හා මායිම් නගරවල ජීවත්වන ජනතාව ද එයට එකතු කරයි. තම නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරිය වූවේ රජය පිළිබඳ ජනතාවගේ විශ්වාසය ඉහළ නැංවීමයි. අර්ථශාස්ත්‍රයේ ද රජු ජනතා සුබසාධනය කෙරෙහි තම අවධානය දැක්විය යුතු බවට දක්වා ඇති අතර රාජධානිය සෞභාග්‍ය වීමට නම් රජු තම ප්‍රජාවට දරුවන් සේ සැලකිය යුතු බවද දක්වයි. නීතිය, දණ්ඩනය, උස් පහත් භේදයක් නොසලකා හැම කෙනෙකුට ම එක සේ සාධාරණය විය යුතු බව ඔහුගේ ධර්මය තුළ අන්තර් ගත විය.

රාජ්‍ය පාලනයේ දී පාලකයාගේ බලාධිකාරිය සෑම අවස්ථාවකදීම ආරක්‍ෂා විය යුතු වේ. එහිදී අතීත ඉන්දීය දේශපාලන පද්ධතිය තුළ දී අනුගමනය කරන ලද ප්‍රධානතම උපක්‍රමයන් දෙකක් විය. එනම් අවි බලයෙන් හා අනෙකුත් ක්‍රමවේදයන් මාර්ගයෙන් සමාජය දැඩි පාලනයකට නතු කර ගැනීමයි. මෙහි පළමු වැන්න සමකාලීන චීනයේ විසූ ෂි හ්‍යුඇං ටිංගේ ආභාසයෙන් අශෝක විසින් ගොඩනඟා ඇත. දෙවැන්න නම් රජු නව ආකල්පවලට ප්‍රසාදය දැක්වීම හා විවිධ සමාජ කණ්ඩායම්වල මතිමතාන්තරවලට ඇහුම්කන් දීමයි. එසේ වුවත් මෙම කණ්ඩායම්වල බලය කිසි විටෙකත් පාලකයාගේ බලය අභිබවා යෑමට ඉඩ නො තැබීය. නිලධාරීන් යටතේ සිටි ජනතාව යටත් පිරිසෙයින් පාලකයාගේ ආකල්පවලට වාචික අනුමැතිය දිය යුතු විය. අශෝක රජු තම දෙවන සමයේ දී මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරන ලද අතර ඊට සියවස් 18කට පමණ පසුව රාජ්‍ය විචාර අක්බාර් රජු ද මෙම ක්‍රමවේදය යම් යම් සංශෝධන යටතේ ක්‍රියාත්මක කරනු ලැබීය.

අශෝක රජු රාජ්‍යත්වයට පත් වූ යුගයේ ඔහු බෞද්ධයෙකු නොවූ අතර, බුදු දහම පිළිබඳ ඔහුගේ උනන්දුව ඇති වූයේ පසුකාලීන ව ය. අරම්භයේ සිට ම ඔහු විවිධ දුෂ්කරතා මධ්‍යයේ රාජ්‍යත්වය කරා අවතීර්ණ විය. එබැවින් එම යුගයේ තම බලාධිකාරය සංස්ථාපනය කර ගන්නා තෙක් රාජ සභාවේ විශාල සහයෝගයක් ඔහුට නොලැබුණු බව විශ්වාස කළ හැක. වඩාත් සාම්ප්‍රදායික බ්‍රාහ්මණ ධර්මයෙන් ඈත් වෙමින් බුද්ධ ධර්මයට හා ආජීවක ආදී කණ්ඩායම්වලට විවෘත ව සහයෝගය දැක්වීම හරහා ඔහු අපේක්ෂා කළේ ඔහුගේ දේශපාලන ප්‍රතිපත්තීන් සාමාන්‍ය ජනයා වෙත පහසුවෙන් කාන්දු කිරීම විය හැකිය. මෙහි දී සමකාලීන ව ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවති වෙළඳ ප්‍රජාවේ සහයෝගය මෙම ආගම්වලට ලැබී තිබීම අශෝක රජුට වාසියක් වන්නට ඇත. ඊට අමතරව නව ආකල්ප මඟින් පැරණි ආකල්ප දැඩි ලෙස ප්‍රතික්ෂේප කර නොතිබීම හරහා දෙපාර්ශවය අතර යම් ගිවිසුමක් ඇති කර ගැනීමට ද හැකි වන්නට ඇත.

බලය කේන්ද්‍ර ගත කිරීම සම්බන්ධයෙන් අශෝක රජු විසින් අනුගමනය කරන ලද ක්‍රමවේදයක් වූවේ කුඩා දේශපාලන ඒකක ඒකාබද්ධ කරමින් පොදු අරමුණක් කරා ඒකරාශී වීමයි. මෙය වඩාත් වැදගත් වන්නේ පුළුල් වපසරියක වූ සංස්කෘතික හා ජාතික විවිධත්වයෙන් යුත් ජන කොට්ඨාස මෙමගින් එක් කිරීම හේතුවෙනි. එමගින් එම කණ්ඩායම්වල පක්‍ෂපාතීත්වය තනි කණ්ඩායමකට නොව කේන්ද්‍රීය බලාධිකාරියට ලැබීම සිදු විය. විශාල වෙනස්කම් නොතිබුණ ද මෞර්ය අධිරාජ්‍ය තුළ විශාල සංස්කෘතික වෙනස්කම් පැවතුණි. මේ පිළිබදව ව පැහැදිලි කිරීම සඳහා එකල පැවති ප්‍රධානතම ප්‍රාදේශික රාජ්‍ය 4ක් සැලකිල්ලට ගත හැක. එනම් තක්ෂිලා, කෝසාලි, උජ්ජයනි හා ස්වර්ණගිරි යයි. නව විශ්වාසයන් වැළඳ ගැනීම හරහා මෙම කුඩා රාජ්‍යවල බැඳීම තවදුරටත් ශක්තිමත් විය. මෙය යටත් රාජ්‍ය ඒකාබද්ධ කරමින් පාලන බලය බලහත්කාරයෙන් ප්‍රජාව මත නොපැටවීමට ඉවහල් විය. අශෝක මේ පිළිබඳ විශේෂ දැනුමකින් සිටි පුද්ගලයෙකු බව පෙනී යයි. මෙම ප්‍රතිපත්ති පිළිබඳ ව උදාහරණ ඉතිහාසය පුරා දැකිය හැකි ය. චාර්ලිමේන් අධිරාජ්‍යයා සැක්සන්වරුන් යටත් කර ගැනීමෙන් අනතුරුව ක්‍රිස්තියානි දහම ඒකාබද්ධ කිරීමේ සාධකය ලෙස භාවිත කරනු ලැබීය. නව ධර්මයක්, ප්‍රජාව තුළ නව එකමුතුකමක් ඇති කිරීමේ චින්තනයක් ලෙස හෝ සංකේතයක් ලෙස ක්‍රියා කරයි. එය ඉතා ඵලදායී ප්‍රචාරක මාධ්‍යයක් ද වෙයි. සුදුසු අවස්ථාවේ දී පරීක්ෂාකාරී ව ඉදිරිපත් කරන ලද සරල අදහසක් වුවද පිළිගත් ධර්මයක් බවට පත් වේ. අශෝකගේ අදහසක් වුවද පිළිගත් ධර්මයක් බවට පත් විය හැකිය.

අශෝකගේ රජු හා ජනතාව අතර ඇති සම්බන්ධයට අනුව එය පීතෘ මූලික සම්බන්ධයකි. බොහෝ විට එසේ වන්නට ඇත්තේ මහා සම්මත සංකල්පය ක්‍රමයෙන් හීන වී යාම නිසා විය හැකිය. මෙම පීතෘ මූලික සංකල්පය මත කේන්ද්‍රීය පාලනයකට මඟ සලසමින් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමකට යෑමට ඉඩ කඩ විවර විය. අශෝක රජුගේ ආඥාවන් දෙස ද සූක්ෂ්ම දෘෂ්ටි කෝණයෙන් බැලිය යුතුය. මුල් කාලීන අශෝකගේ ශෛලමය ආඥාවන් ක්‍රි.පූ. 256 සිට පවතී. ඉන් ප්‍රථම අවස්ථාවේ උත්සව සඳහා සත්ව බිලි පූජා පැවැත් වීම තහනම් කර තිබේ.

ඉද නා කින්චි ජීවම් ප්‍රාණජීතව්‍යම් නා කා සමාජෝ කත්ත්ව්‍යෝ.

එහි සිංහල අර්ථය නම් මෙතැන කිසිදු ජීවියෙකුගේ ප්‍රාණය තොර නොකළ යුතුය. බිලි නොදිය යුතුය. කිසිදු රැස්වීමක් නොපැවැත්විය යුතුය...”

මෙයින් සරලව අර්ථවත් වන්නේ රජු විසින් සත්ව ඝාතනය තහනම් කරන ලද බවයි. නමුත් ඒ තුළ වෙනත් අරුතක් ද ගැබ් වී ඇත. එනම් මෙවන් රැස්වීම් හා ඒකරාශී වීම් වැළැක්වීම කේන්ද්‍රීය දැඩි පාලනයක ලක්ෂණයන් වීමයි. එවන් පුද්ගල ඒකරාශීවීම්වල දී රජුගේ නව අදහස්වලට විරුද්ධව කුමන්ත්‍රණ ඇති විය හැකි බවට සැක පළ කෙරිණි. පුරාණ සාම්ප්‍රදායික උත්සවවලට දිගින් දිගටම මිනිසුන් සහභාගී වීම හරහා නව දේශනාවේ එන නව අදහස් සම්බන්ධයෙන් මිනිසුන් තුළ සැක සංකා ඇති විය හැකිය. අනෙක් අතට එවන් ආගමික ඒකරාශී වීම් තුළින් මානසික තත්ත්වයන්ට බලපෑම් කළ හැකි බැවින් එය ප්‍රචාරක මාධ්‍යයක් ලෙස ද යොදා ගත හැකිය. එය අශෝකගේ මෞර්ය අධිරාජ්‍යයේ පැවැත්මට අභියෝගයක් විය හැකි තත්ත්වයක් ඇති කරනු ලැබිය හැකිය.

අශෝකගේ දෙවන සෙල්ලිපියෙන් ඔහු අවධාරණය කර ඇත්තේ පුද්ගල සුබ සාධනය වුවත් යහපත් සන්නිවේදනයක ඇති වැදගත්කම එහි ඇති සැඟවුණ අර්ථයයි. මිනිසුන් හා සතුන් සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථාන, ළිං සහිත ව දෙපස ගස් වැවූ මාර්ග සංවර්ධනය, ඖෂධ පැළෑටි රෝපණය ආදිය මෙයට අයත් වේ. එම සැඟවුන අදහස ආර්ථිකමය හා වෙළඳ කටයුතු සඳහා පමණක් නොව ඔහුගේ නව අදහස් වඩාත් පුළුල් ව ව්‍යාප්ත කිරීම සඳහා ද ප්‍රයෝජනවත් විය. අශෝක තම රාජ්‍ය කාලයේ දී සංවිධිත නිලධාරි මණ්ඩලයක් හා පණිවුඩකරුවන් පිරිසක් භාවිතා කර ඇත. තම අධිරාජ්‍යයේ සියලු කොටස් සමඟ ඔහුගේ මනා සම්බන්ධතාවක් තිබුණි. රාජ්‍යත්වය පිළිබඳව ඔහුගේ අත්දැකීම් හා ඔහුගේ පෞරුෂය මෙතරම් පුළුල් ප්‍රදේශයක රජු වීමේ වගකීම පිළිබඳ ව ඔහුට අවබෝධය සැපයීය. ඔහු සත්‍ය වශයෙන් ම ධම්ම ප්‍රතිපදාවෙන් ද අරමුණු කරනු ලැබූවේ තමන් හා ජනතාව අතර සන්නිවේදනයයි.

ඉන්දියාවේ මෞර්ය පාලනය තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීම නව අත්දැකීමක් නොවූ නමුත් අශෝක විසින් අනුගමනය කරන්නට යෙදුණු ක්‍රියාමාර්ග පැවති පාලන තන්ත්‍රයන්ට නව සංශෝධන එක් කිරීමක් විය. පැවති තත්ත්වය බොහෝ දුරට කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය මත පදනම් වන්නට ඇති බවට විශ්වාස කෙරෙන අතර අශෝක විසින් එයට මානව කේන්ද්‍රවාදය ආරෝපණය කර ඇති ආකාරයක් දැකිය හැකිය. ධාර්මික චර්යාවන් සෑම මිනිසෙකුට ම පොදු වූවක් බවට පත් කළ හැකි වන අතර එමගින් නිකායවාදී චින්තනය බැහැර කරනු ලබයි. එමගින් ඔහු මූලික වශයෙන් බලාපොරොත්තු වූවේ තම විශාල අධිරාජ්‍ය කේන්ද්‍රීය පාලනයක් යටතට පත් කර ගැනීම වූ අතර එයින් ලැබෙන යහපත් ලක්ෂණ එහි අතුරු ප්‍රතිඵල වූ අතර එය පාලකයෙකුට වාසි සහගත ද විය.

No comments:

Post a Comment