Sunday 25 July 2021

ශ්‍රී ලංකාවේ දේශපාලන නියෝජන ක්‍රමය වර්ධනය හා සුළු ජාතික ගැටලුව.

 

Analysis of Source for the Study of Socio Political Development in Sri Lanka.



                                                                                                                                                                                                                                                                                                                                                                                                     

පටුන

 

01.     හැඳින්වීම. 1

02.     1833 සිට 1931 දක්වා වූ පරිවර්තනයන්. 2

03.     1931 ඩොනමොර් ප්‍රතිසංස්කරණ.. 5

04.     1947 සෝල්බරි ප්‍රතිසංස්කරණ. 7

05.     1956 බණ්ඩාරණායක යුගය. 10

සමාලෝචනය. 12

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය. 13


 

01.          හැඳින්වීම.

 

  ශ්‍රී ලංකාව වර්තමානයේ දී මුහුණ දෙනු ලබන සමාජ-දේශපාලන අර්බුදයන් විමසීමේ දී පෙනී යන කේන්ද්‍රීය සාධකයක් වන්නේ සුළු ජාතික ගැටලුව හා සම්බන්ධ වූ ජනවාර්ගික අර්බුදයයි. ඉන්දියාව මෙන් ම ශ්‍රී ලංකාව ද නිදහස ලබා ගැනීමෙන් අනතුරුව මුහුණ දුන් පොදු වූ ප්‍රශ්න රාශියක් හඳුනාගත හැකිය. නමුත් ඉන්දීය නායකත්වය හා ලාංකේය නායකත්වය බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයෙන් ලැබුණ යහපත් දායාදයන් ලෙස සැලකිය හැකි ජාතික රාජ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ඉදිරියට පවත්වා ගැනීමේ දී විවිධාකාර ලෙස කටයුතු කරනු ලැබීය. බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ලංකාව බාහිර පෙනුමෙන් නවීන රටක් හා සමාජයක් බවට පත්වුවද එසේ වූයේ සමාජ-දේශපාලන චින්තනය ප්‍රමාණවත් තරමින් නවීන වීමකට ලක්වීමෙන් තොරවය.

ඉන්දීය නායකයන් තුළ පැවති පරිණතභාවය ශ්‍රී ලාංකේය නායකයන් තුළ දැකිය නොහැකි වූ අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් ඇති කර ගැනීමෙන් තොරව පවත්වාගෙන ගිය ආණ්ඩුක්‍රමය විකාශය වූවේ විකෘති ආකාරයට ය.[1] දේශපාලන සමාජ ක්‍රමයේ ඇති ව තිබූ මෙම පරිසරය ගැටුම් ඇති කරන සාධකයක් වූ සුළු ජාතික ප්‍රශ්නය උග්‍ර කළ අතර එම ගැටුම් තවදුරටත් ප්‍රචණ්ඩකාරී වීමට හා විනාශකාරී වීමට අවශ්‍ය පොහොර ද නොඅඩුව ශ්‍රී ලංකාව තුළින් ම ලැබිණ.


 

02.    1833 සිට 1931 දක්වා වූ පරිවර්තනයන්.

ශ්‍රී

 ලංකාවේ ජාතික ව්‍යාපාරය තුළ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දිනාගැනීමේ උත්සහයේදී “ලාංකික ජාතිය” යන හැඟීම මත ඉඳිමින් සාමකාමී මාර්‍ග තුළින් ඉදිරියට යාමට අපේක්ෂා කරනු ලැබීය. එහිදී ආරම්භයේ සිට ම සිංහල හා දෙමළ යන ප්‍රධාන ජනවර්ග දෙක අතර අසමගිය වර්ධනය වන අකාරයක් දැකිය හැකි වූ අතර ජී. සී. මෙන්ඩිස් මහතාට අනුව එය මධ්‍යම පාන්තික සංසිද්ධියකි. මන්ද යත් සිංහල ජාතියේ “ගොවිගම” කුලයත්, ද්‍රවිඩ ජාතියේ “වෙල්ලාල” කුලයත් මෙම ව්‍යාපාරයේ පෙරමුණ ගැනීමයි.

මෙලෙස ලංකාවේ ප්‍රධානතම ජාතීන් දෙක අතර දේශපාලන නියෝජනය සඳහා තරගකාරීත්වයක් ඇති වීමට පදනම දමනු ලැබුවේ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මඟින් බව පෙනී යයි. බ්‍රිතාන්‍ය යුගයේ ඇතිවුන මහා විපර්යාසයන් රැසක් ම මෙම 1833 දී ක්‍රියාත්මක වූ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මඟින් ආරම්භ විය. මේ යටතේ පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගත් ආකාරය දෙස විමසීමේ දී අනාගතයේ ඇති වන්නට නියමිත තිබූ ජාතික ප්‍රශ්නයේ මූලය සොයා ගත හැක. එහි නිල ලත් සාමාජිකයන් 09ක් හා නිල නොලත් සාමාජිකයන් 06න් යුක්ත විය. එම ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සාමාජිකයන් තෝරා ගනු ලැබුවේ ජාතිවාදී පදනමකිනි. ඒ අනුව සිංහල, ද්‍රවිඩ හා බර්ගර් ජාතීන් නියෝජනය කිරීමට නියෝජිතයන් තිදෙනෙකුත්, යුරෝපීයන් වෙනුවෙන් නියෝජිතයන් තිදෙනෙකුත්, නිල නොලත් සාමාජිකයන් වශයෙන් මෙම සභාවට ඇතුළත් වූහ. 1889 දී උඩරට සිංහල නියෝජනය කිරීම සඳහා තවත් සිංහලයෙක් ද, මුස්ලිම්වරුන් නියෝජනය කිරීම සඳහා මුස්ලිම් නියෝජිතයෙක් ද මීට ඇතුළත් කරනු ලැබූහ.

19වන ශත වර්ෂයේ මුල් දශකවල දී දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධ උද්ඝෝෂණවලට බොහෝ සෙයින් සම්බන්ධ වූවේ යුරෝපීයන් වුවත්, එම දශකයේ අවසාන කාලය වන විට ක්‍රමයෙන් දේශීයයන්ගේ සහභාගීත්වය වර්ධනය වන්නට විය. 20වන ශතවර්ෂය වන විට ඉන්දියාවේ මෙන් ලංකාව තුළ ද නිදහස් අරගලය සංවිධානාත්මක ව පවත්වා ගැනීමේ අවශ්‍යතා ය දේශීය ප්‍රධානීන්ට තදින් ම දැනෙන්ට විය. ඒ අනුව 1917 වන විට ක්‍රියාත්මක ව පැවති ලංකා ප්‍රතිසංස්කරණ සංගමය හා තවත් සංවිධාන කීපයක් ඒකාබද්ධ කරමින් 1919 දී ආරම්භ කරන ලද “ලංකා ජාතික සංගමය” එහි ප්‍රතිඵලයකි.

දේශපාලන නිදහස වෙනුවෙන් උද්ඝෝෂණය කළ මුල් අවධියේ දී සිංහල, දෙමළ හා මුස්ලිම් යන ජනවර්ග අතර ඒකාබද්ධතාවක් දැකිය හැකි විය. මෙම සම්බන්ධතාවට ගොනු වී සිටි බහුතරයක් දෙනා ඉංග්‍රීසි අධ්‍යාපනය ලද මධ්‍යම පාන්තිකයන් වීම හේතුවෙන් ඉංග්‍රීසි භාෂාව මෙම කොටස් අතර බැඳීමක් ඇති කිරීමට සමත් විය. එම බැඳීම කියා පාන ලද හොඳම අවස්ථාව වන්නේ 1912 දී ඇති කරන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ දී ලාංකිකයන්ගේ ක්‍රියාකලාපයයි. එමගින් ලංකාවේ පළමු වරට “තෝරා ගැනීමේ මූලධර්මය” මත දේපළ හා අධ්‍යාපන මට්ටම් සුදුසු කමක් කර ගනිමින් සීමිත පිරිසකට ඡන්ද බලය ලබා දෙනු ලැබීය. එම මැතිවරණයේ දී උගත් ලාංකිකයා වශයෙන් ද්‍රවිඩ අපේක්ෂක සර් පොන්නම්බලම් රාමනාදන් මහතා සිංහල අපේක්ෂකයා පරාජයට පත් කරමින් පත් විය. ඔහුගේ සහෝදරයා වූ පොන්නම්බලම් අරුණාචලම් මහතා ලංකා ප්‍රතිසංස්කරණ සංගමයේ මෙන් ම ලංකා ජාතික සංගමයේ ද පළමු සභාපතිවරයා ද විය. පසුව ලංකා ජාතික සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතා කරන ලද ප්‍රකාශයකින් මෙම ජාතික සමගියේ වැදගත්කම මැනවින් නිරූපනය වේ.

“ගත වූ ශතවර්ෂ කීපය තුළ සිංහල- දෙමළ මිනිසුන් එක් ජන කොටසක් ලෙස සැලකූ අතර. පැවති මේ ඒකාබද්ධතාවය අපේ අරගලය වඩාත් ශක්තිමත් කළේ ය.”[2]

කෙසේ වෙතත් මෙම දෙපිරිස අතර සමගිය වැඩිකල් නො පැවති අතර ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනය සම්බන්ධයෙන් ඇති වූ මතවාදයක් හේතුවෙන් 1921 දී එහි සභාපති පොන්නම්බලම් අරුණාචලම් ඇතුළු දෙමළ නායකයන් විශාල පිරිසක් ජාතික සංගමයෙන් ඉවත් විය. එයට හේතු වී තිබුණේ බටහිර පලාතේ ආසනයක් ද්‍රවිඩ සුළු පිරිසට වෙන් කරන ලෙස කරන ලද ඉල්ලීමට පසුව ජාතික සංගමයේ බහුතරයක් වූ සිංහල ජනතාව දක්වන ලද විරෝධයයි. මෙසේ නියෝජනය සම්බන්ධයෙන් ඇති වූ මතභේදය හේතුවෙන් ලංකා ජාතික සංගමයෙන් ඉවත් වූ පොන්ම්බලම් අරුණාචලම් හා පොන්නම්බලම් රාමනාදන් “ද්‍රවිඩ මහජන සභාව” පිහිටුවමින් ද්‍රවිඩයන් සඳහා වෙනම ම ඉල්ලීම් ඉදිරිපත් කළ අතර ජාතික සංගමය ප්‍රධාන වශයෙන් පහතරට සිංහලයන්ගේ සංවිධානයක් බවට පත් විය.

මෙලෙසින් නිදහස් සටන මෙහෙය වූ ප්‍රධානතම සංවිධානය වූ ලංකා ජාතික සංගමය තුළ ජාතිවාදී හැඟීම් ඉස්මතු වීම හේතුවෙන් සිංහල හා ද්‍රවිඩ ජන කොටස් අතර අන්‍යෝන්‍ය අනවබෝධය වර්ධනය වූ අතර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දෙපිරිස අතර ඒකමතිකත්වයක් නොමැති වීම යටත්විජිත ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ පමා කිරීමේ උපායට කදිම පිටිවහලක් විය.

නිදහස් ව්‍යාපාරයේ මුල් යුගයේ සිංහල, ද්‍රවිඩ ඒකාබද්ධතාව යටතේ යටත්විජිත ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරය සිදු වෙමින් පැවතියත් 1920, 1924, 1931 හා 1947 යන වර්ෂවල දී ඉදිරිපත් කරන ලද මෙම බෙදීම දැඩිව දක්නට ලැබිණි. 1920 හා 1924 ව්‍යවස්ථාවල ප්‍රදේශීය නියෝජනය මෙන් ම ජාතිවාදී නියෝජනය ද අන්තර්ගත විය. 1920 ප්‍රතිසංස්කරණය මගින් පළාත් බද ආසන 11ක් ඇති කරන ලද අතර සිංහල, ද්‍රවිඩ හා බර්ගර් ජන කොටස් නියෝජනය වන පරිදි තිදෙනෙක් ජාතිවාදී පදනම මතද පත් කරනු ලැබීය. තවත් හතර දෙනෙකු උඩරට සිංහල, මුස්ලිම් හා ඉන්දීය ජන කොටස් නියෝජනය වන පරිදි නියෝජිතයන් පත් වූ අතර සමස්තයක් ලෙස එමගින් සිංහලයන්ට ආසන 13ක් ද, ද්‍රවිඩයන්ට ආසන 03ක් ද හිමි විය.

මෙම ප්‍රතිසංස්කරණ තුලින් සිංහල බලය වර්ධනය වී ඇතැයි ද්‍රවිඩ නායකයන් කල්පනා කරනු ලැබීය. පෙරටත් වඩා අඩු නියෝජනයක් ලැබීම හේතුවෙන් ම ද්‍රවිඩ නායකයන් ජාතික සංගමයෙන් ඉවත් විය. පෙර සඳහන් කළ ආකාරයට එයට හේතුව වූවේ බස්නාහිර පලාතේ අසුනක් ද්‍රවිඩයන්ට දෙන බවට වූ පොරොන්දුව කඩ කිරීම මෙම අර්බුදයට හේතු වූ බව සමහර විද්වතුන්ගේ මතය වී ඇත. සිංහල නායකයන්ගේ විවේචනය වූවේ මෙම ප්‍රතිසංස්කරණ මගින් බටහිර ක්‍රමයේ නියෝජනයක් වෙනුවට ජාතීන් අනුව නියෝජනය වීමේ ක්‍රමයක් ඇති කරන ලද බවයි. 1920 ප්‍රතිසංස්කරණයන්ගේ සිට ද්‍රවිඩ සුළුතරයට සාපේක්ෂව සිංහල බහුතරයේ දේශපාලන ශක්තිය දුර්වල විය. ව්‍යවස්ථාදායකය තුළ සිංහල බහුතරයක් ඇති වීම එවකට ජාතික සංගමයේ සභාපති සාධාරණීකරණය කරන ලදි.

“ප්‍රාදේශීය නියෝජන ක්‍රමය යටතේ කොළඹ හෝ වෙනත් පළාත්වල තෝරාගනු ලබන පුද්ගලයින් අවශ්‍යයෙන් ම සිංහලයන් විය යුතුය. ඔහු සිංහලයෙකු වූ නිසා ඔහු තෝරා නොගත යුතු ද?, බහුතරය තෝරා නොගත යුතු යැයි සිතන්නේ මන්ද?, සිංහල මිනිසුන් බහුතරය වීමේ වරදක් තිබේ ද?....එය තෝරා ගනු ලබන පුද්ගලයින්ගේ කැමැත්තයි. ඔහුට තෝරා ගැනීමේ නිදහස තිබේ. තෝරා ගනු ලැබූ බහුතරය විසින් පාලනය කරනු ලැබීම වරදක් ද?”[3]

බර්ගර්, මුස්ලිම් හා යුරෝපීය ජනතාවට ද විශාල වාසියක් ජාතිවාදී නියෝජනය ක්‍රමය හේතුවෙන් හිමි විය. දේශපාලනයේ දී කිසියම් ප්‍රබල බලපෑමක් කිරීමේ හැකියාවක් මෙම ජාතිවාදී නියෝජනය මගින් හිමි විය. මෙලෙස නියෝජනය සම්බන්ධයෙන් සිංහල හා ද්‍රවිඩ ජන කොටස් අතර ඒකමතික භාවයක් නොපැවතීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද ඒකමතිකත්වයක් නොතිබුණි. 1921 දෙසැම්බර් මාසයේ දී ඇති කළ යුතු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් යෝජනාවක් සර් ජේම්ස් පීරිස් මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන ලදි. මන්ත්‍රීන් 45 දෙනෙකු මෙම යෝජනාවේ ව්‍යවස්ථාදායක සභාව තුළ අන්තර් ගත විය. උතුරු හා නැගෙනහිර පළාත් වෙනුවෙන් ආසන 09ක් ඇති වන පරිදි ප්‍රාදේශීය ඡන්ද කොට්ඨාශ 28ක් ඇති කළ යුතු බව එහි සඳහන් විය. ව්‍යවස්ථා මණ්ඩලයේ නිලලත් සාමාජිකයන් සංඛ්‍යාව 06ට සීමා කළ යුතු බවත්, සුළු ජාතීන් වෙනුවෙන් ආසන 11ක් ඇති කළ යුතු බවත් එහි යෝජනා අතර විය. සිංහල බහුතරයේ අපේක්ෂා මත සකස් වී පැවති මෙම යෝජනාවලට මැනිං ආණ්ඩුකරු තදබල ලෙස විරුද්ධ විය. ජාතික සංගමය ඉදිරිපත් කළාට වඩා මෘදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට සුළු ජාතීන් කැමති කරවා ගැනීමට මැනිං ආණ්ඩුකරු සමත් විය.

මේ අනුව 1922දී යුරෝපීය, බර්ගර්, මුස්ලිම් හා ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු එකතු වී ඉදිරියේ දී ඇති කළ යුතු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වෙනත් සංශෝධනයක් ඉදිරිපත් කරන ලදි. එයට අනුව ව්‍යවස්ථාදායක සභාව තුළ සාමාජිකයන් 45 දෙනෙකු අන්තර්ගත විය. ප්‍රදේශීය කොට්ඨාශ ක්‍රමය අනුව මන්ත්‍රීන් 19ක්ද, ජාතීන් අනුව 11ක්ද, නිලලත් මන්ත්‍රීවරු 12ක්, නාමකරණයෙන් මන්ත්‍රීන් 03ක් ආදී ලෙස මන්ත්‍රීන් පත් කරන ලෙස මෙම යෝජනාවෙන් ඉල්ලා තිබුණි. මෙලෙස ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලාංකිකයන් අතර ඒකමතිකත්වයක් නොපැවතීම මත ප්‍රතිසංස්කරණ ඇති කිරීම මඟ හැරීමට මැනිං ආණ්ඩුකරු සමත් විය.


 

03.    1931 ඩොනමොර් ප්‍රතිසංස්කරණ

ශ්‍රී

 ලංකාවේ දේශපාලන නියෝජන ක්‍රමය වර්ධනය හා සුළු ජාතික ගැටලුවේ වැදගත් අවදියක් ලෙස ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රමය හැඳින්විය හැකිය. සුළු ජාතික ගැටලුව යහපත් තත්ත්වයකට පත් කිරීමේ අරමුණින් යම් යම් නිර්දේශ ඩොනමෝර් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද මුත් සුළු ජාතීහු ඒවාට විරුද්ධ වූහ. 1927 ලංකාවට පැමිණි එම කොමිසම පුළුල් ප්‍රතිසංස්කරණ රාශියක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අතර

1.     සර්වජන ඡන්ද බලය ප්‍රධානය කිරීම.

2.     වාර්ගික නියෝජනය අහෝසි කොට ප්‍රාදේශීය නියෝජනයක් යටතේ සාමාජිකයන් තෝරා ගැනීම

3.     රාජ්‍ය මන්ත්‍රණ සභාවක් ඇති කිරීම.

 ඉහතින් දක්වන ලද ආකාරයට ඩොනමෝර් කොමිසමේ යම් යම් නිර්දේශ සුළු ජාතීන්ගේ නොසතුටට හේතු විය. සිංහල ද්‍රවිඩ නියෝජනය සම්බන්ධයෙන් මේ වන විට පැවති 2:1 අනුපාතය තවදුරටත් පවත්වා ගත යුතු බව ද්‍රවිඩ නියෝජිතයන්ගේ අදහස විය. [4] සර්වජන ඡන්ද බලය තුලින් දේශපාලනය තුල සිංහල බහුතරයේ ආධිපත්‍ය තහවුරු කෙරෙන බව ඩොනමෝර් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ මතය විය. සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් ජන කොටස් අතර පැවති අන්‍යෝන්‍ය සැකය ඉස්මතු කෙරෙන අවස්ථාවක් හැටියට ද සුළු ජාතීන්ගේ මෙම විරෝධතා දැක්විය හැකිය. නමුත් ජාතිවාදය ලංකාවේ දේශපාලන ශරීරයේ පිළිකාවක් බවට පත්ව ඇති බවත් එය අහෝසි කර දැමිය යුතු බවත් කොමිසමේ ඒකායන අරමුණ විය. මුස්ලිම්වරුන් වෙනුවෙන් ටී. බී. ජයා මහතා සංදේශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සම්පූර්ණයෙන්ම ඔවුන්ට පිළිගත නොහැකි ව්‍යාපාරයක් සඳහා ඔවුන්ට බල කරන ලද බවයි. කෙසේ වුවද ඩොනමෝර් යෝජනා වලට පක්ෂව ඡන්ද 19ත් විපක්ෂ ව ඡන්ද 17ත් ලෙස අඩු ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වීමෙන් මෙයට පැවති තදබල විරෝධය අවබෝධ කර ගත හැකිය.

 ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ පවත්වන්නට යෙදුණු පළමුවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය ද්‍රවිඩ කොටස් විසින් වර්ජනය කරන ලදි. මෙලෙස සිංහල හා ද්‍රවිඩ සබඳතා ක්‍රමයෙන් අයහපත් තත්ත්වයට පත් වීම තුල පුළුල් ප්‍රතිසංස්කරණ ලබා ගැනීමට තිබුණු අවස්ථා දීර්ඝ විය. 1933 ජූලි මාසයේ අමාත්‍ය මණ්ඩලය විසින් ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කරනු ලැබූහ. එම යෝජනා අතර රාජ්‍ය නිලධාරීන් තිදෙනාගේ තනතුරු අහෝසි කිරීම, ඔවුන්ගේ කටයුතු ලාංකික ඇමතිවරුන්ට පැවරීම, ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම ආදිය ප්‍රධාන විය. බොහෝ ඇමතිවරු විධායක කමිටු ක්‍රමය අහෝසි කර කැබිනට් ආණ්ඩුක්‍රමයකට කැමති වූ නමුත් සුළු ජාතික නියෝජිතයන් මෙයට අකමැති වූහ. ලාංකේය ද්‍රවිඩ, ඉන්දීය ද්‍රවිඩ හා මුස්ලිම්වරුන් ඔවුන්ගේ දේශපාලන බලයට තර්ජනයක් එල්ල වී ඇති බව ඒකාබද්ධ ප්‍රකාශයක් මඟින් 1935 ජුනි මස 08වන දින යටත්විජිත ලේකම් වෙත ඉදිරිපත් කරන ලදි.  කාරක සභා ක්‍රමය වෙනුවට කැබිනට් ක්‍රමයක් සකස් කරන්නේ නම් සුළු ජාතීන්ද ඊට ඇතුළත් වන ලෙස එය සකස් විය යුතු බව එම සංදේශයෙන් ඉල්ලා සිටින ලදි.

ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වලට පසුව ජාතිවාදී බලාපොරොත්තු වැඩි වූ බව පෙන්නුම් කිරීම සඳහා 1931ට පෙර හා පසුව ව්‍යවස්ථාදායක මණ්ඩලය තුල ඡන්දය දෙන ආකාරය සැසඳීමට ද සමහරු උත්සාහ කරනු ලැබීය. 1935 නොවැම්බර් මස 08වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇති වූ ඡන්ද විමසීමේ දී ජාතීන් අතර එකමුතු බවක් නොමැති බව ශ්‍රීමත් ඒ. මහාදේව මහතා විසින් පෙන්වා දෙන ලදි.[5] 1931 පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාව තුල සම්මත කරන ලද බොහෝමයක් පනත් හා නීතීන් සුළු ජාතීන්ට අහිතකර බව විද්වතුන්ගේ මතයයි. ඒ අතර 1931 බෞද්ධ විහාර දේවාල ගම් ආඥා පනත, 1942 අනුරාධපුර සංරක්ෂණ රාජ ආඥාව, 1940 අංක 24 දරණ ධීවර ආඥා පනත හා 1942 අංක 47 දරණ බස් සේවා බලපත්‍ර ආඥා පනත මේ අතර වැදගත් වේ. පළමු රාජ ආඥාව සිංහලයන්ට පක්ෂපාතී එකක් ලෙසත් දෙවන පනත ඓතිහාසික අනුරාධපුර නගරයේ පදිංචි ද්‍රවිඩ හා මුස්ලිම් සුළු ජාතිකයන්ට කරදරයක් බවත් අවසාන ආඥා පනත් දෙක යුරෝපීය හා ඉන්දියානු ද්‍රවිඩයන්ට එරෙහි වූ පනත් ලෙසටත් සැලකේ. 1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයෙන් පසුව සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලයක් සකස් කිරීම මෙම ජනවාර්ගික අර්බුදයේ උච්චතම අවස්ථාවක් ලෙස සුළු ජාතිකයෝ පෙන්වා දුන්හ.


 

04.    1947 සෝල්බරි ප්‍රතිසංස්කරණ.

සෝ

ල්බරි කොමිසම ලංකාවට පැමිණ දේශීයයන්ගෙන් කරුණු විමසූ අවස්ථාවේ ද්‍රවිඩයන්ගේ ක්‍රියාකලාපය සිංහල ද්‍රවිඩ සබඳතාවන්ගේ පැවති ගැටලුකාරී ස්වභාවය පැහැදිලි කරනු ලැබුහ. ජී. ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් පැවති ද්‍රවිඩ සංගමය සෝල්බරි කොමිසම ඉදිරියේ සමතුලිත නියෝජන ක්‍රමය හෙවත් පනහට පනහ නියෝජනය ඉල්ලා සිටියේ ය. තවදුරටත් අදහස් දැක් වු ද්‍රවිඩ සංගමය කියා සිටියේ ව්‍යවස්ථාදායක මණ්ඩලය ආසන 100කින් යුක්ත විය යුතු බවත් ඉන් භාගයක් සිංහලයන්ට ද ඉතිරි භාගය සුළු ජාතීන්ට ද වෙන් කළ යුතු බවයි.[6]

නමුත් ද්‍රවිඩ සංගමයේ මෙම ඉල්ලීම් තුල වාර්ගික විෂ බීජයන් ඇතුළත් වී ඇතැයි සෝල්බරි කොමිසමේ අදහස විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය ඉවත් වීමත් සමඟ ලංකා දේශපාලනය තුළ ජාතිවාදී ප්‍රතිඵල ඇති වන බවට කොමිසමට අවබෝධ විය. ලංකාවට බටහිර ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හඳුන්වාදීමට විශාල බාධාවක් මෙම ජාතිවාදී ලක්ෂණ මඟින් ඇතිකරනු ලැබීය. “බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තුල දේශපාලන උද්ඝෝෂණ ඇති වන විට ජනතාව තමා අයත් සමාජ හා ආර්ථික පන්තීන්ට බෙදේ. නමුත් ලංකාවේ ජනතාව ජනවර්ග පදනම් කර ගෙන බෙදේ.”[7]

සෝල්බරි කොමිසම විසින් අවසානයේ තීරණය කරනු ලැබුවේ ජනගහනයට සමානුපාතිකව ආසන වෙන් කිරීමටයි. ඊට අමතරව වාර්ගික හා සුළු කණ්ඩායම් නියෝජනය කිරීම සඳහා බහු මන්ත්‍රී ආසන කීපයකුත් ඇති කිරීමට නිර්දේශ කරන ලදි. මෙමඟින් හඳුන්වා දෙන ලද නියෝජන ක්‍රමයේ ප්‍රධාන අරමුණක් වූයේ ජාතිවාදී මූලිකාංග හඳුන්වා නොදී සුළු ජාතීන්ට ප්‍රමාණවත් නියෝජනයක් ලබා දීමයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ලංකා ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව පදිංචි වී සිටි අතර ඌව හා සබරගමු ප්‍රදේශවල ඉන්දියානු ද්‍රවිඩයෝ පදිංචි වී සිටියහ. ඒ අනුව එම පලාත් 4 මූලික කර ගනිමින් හතරැස් වර්ග සැතපුමකට ආසනයක් වෙන් කල යුතු බවට යන පදනම යටතේ අමතර ආසන 25න් 13ක්ම එයට ලබා දෙන ලදි.

 

1947-1956 මැතිවරණ ආසන බෙදා වෙන් කළ පදනම

පළාත

ජනගහනය අනුව

ප්‍රදේශ අනුව

මුළු ගණන

බටහිර

19

01

20

මධ්‍යම

13

02

15

දකුණ

10

02

12

උතුර

05

04

09

නැගෙනහිර

03

04

07

වයඹ

07

03

10

උතුරු මැද

01

04

05

ඌව

04

03

07

එකතුව

70

25

95

Report of the First Delimitation Commission, Sessional paper xiii (Colombo 1946).

සුළු ජාතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ වඩාත් ප්‍රකට විධිවිධානය වූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29(2) වගන්තියයි. එයට අනුව (අ) යම් ආගමක් නිදහසේ ඇදහීම තහනම් කරන හෝ බාධා කරන හෝ (ආ) වෙනත් ජන සමූහයක් හෝ ආගම්වලට අයත් තැනැත්තන් හට බල නොපාන සීමා හෝ නොහැකියාවන් යම් ජන සමූහයකට හෝ ආගම්වලට අයත් තැනැත්තන් හට නොලැබෙන වරප්‍රසාද හෝ වාසි යම් ජන සමූහයකට හෝ ආගමකට අයත් තැනැත්තන් හට පවරා දෙන හෝ යම් ආගමික ආයතනයකට අයත් තැනැත්තන් හට පවරා දෙන හෝ යම් ආගමික ආයතනයක පාලක මණ්ඩලයේ කැමැත්ත නොමැතිව, එම ආයතනයේ සංයුතිය වෙනස් කරන හෝ නීතියක් පැනවීමේ බලය ලංකා පාර්ලිමේන්තුව සතු නොවීය.[8]

මෙම වගන්තිය හේතුකොටගෙන එක් පැත්තකින් ලංකා පාර්ලිමේන්තුවේ පරමාධිපති ව්‍යවස්ථාදායක බලය සීමා වූ අතර සෑබෑවටම එය සුළු ජාතීන්ගේ රැකවරණය සඳහා ම ක්‍රියාත්මක වූවේ නැත. ඊට හොඳම නිදසුන 1947 මහ මැතිවරණයෙන් පසු ඉන්දියානු සම්භවයක් ඇති පුරවැසියන්ගේ ඡන්ද බලය අහෝසි කිරීම පිළිබඳ කරුණයි. සුළු ජාතීන්ට මෙහිදී රැකවරණය ලබා ගත හැකි එකම නීතිමය ප්‍රතිපාදනය වූවේ 29(2) වගන්තියයි. එහෙත් 1947 ඡන්ද බලය අහෝසි කිරීමට එරෙහි ව ඉදිරිපත් වූ කොඩක්කන්පිල්ලේ එදිරිව මුදන්නායක නඩුවේදී ද, මුදන්නායකට එදිරිව ශිවඥාණසුන්දරම් නඩුවේදී ද සුළු ජාතීන්ට සාධාරණයක් ඉටු කිරීමට 29(2) වගන්තිය සමත් වූ බවක් දක්නට නොවීය.

කෙසේ වෙතත් සෝල්බරි ව්‍යවස්ථාව තුලින් ද සුළු ජාතික අයිතිවාසිකම් ආරක්ෂා නොවන බව සමහරුන්ගේ මතය  විය. මෙතුලින් සිංහල බහුතරයේ අවශ්‍යතාව අනුව නියෝජන ක්‍රමය සකස් වී ඇති බවට චෝදනා එල්ල විය. සෝල්බරි ව්‍යවස්ථාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරමින් එවකට ලංකා ජාතික සංගමයේ සභාපති වූ ඩී. එස්. සේනානායක මහතා විශේෂ ප්‍රකාශයක් ද කරනු ලැබීය.

“කොංග්‍රසය වෙනුවෙන් හා මම වෙනුවෙන් සුළු ජාතිකයන්ට හිතවත් සහතිකයක් දෙමි. නිදහස ලංකාවට ලැබුනත් සුළු ජාතීන්ට බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවක් නැත. අප නිදහස් ලංකාවක් පමණක් නොව නිදහසත් අවශ්‍යයි. එසේම එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් අවශ්‍යයි”[9]

ඉන්දියානු ද්‍රවිඩයන් දෙදෙනෙකු හා සිංහලයෙකු පමණක් මෙයට විරුද්ධ වූ අතර රාජ්‍ය මන්ත්‍රණ සභාව තුල දී මෙය අධික බහුතරයකින් සම්මත විය. නිදහස ලැබීමට ප්‍රථම සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පවත්වන්නට යෙදුණු පළමු මැතිවරණය 1947දී පැවැත් වූ අතර එහිදී වැදගත් ක්‍රියාකලාපයක් දේශපාලන පක්ෂ විසින් රඟ දක්වන ලදි. බහුතරය හා සුළුතරය සබඳතාවන් පෙන්නුම් කරමින් යාපනය නගරය සඳහා වූ මැතිවරණය කැපී පෙනුණි. පුවත් පත් මඟින් මෙය හඳුන්වනු ලැබුවේ යාපනය සටන හැටියට ය. ද්‍රවිඩ සංගමයේ නායකයා වූ ජී. ජී. පොන්නම්බලම් මහතාත්, එක්සත් ජාතික පක්ෂයේ අරුණාචලම් මහාදේව මහතාත් එහිදී එකිනෙකට ප්‍රතිවාදීන් විය. අරුණාචලම් මහාදේව මහතා අවධාරණය කලේ සිංහල බහුතරය මගින් සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි. නමුත් මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් ¾ ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පොන්නම්බලම් මහතා ජයග්‍රහණය කරනු ලැබීය. එක් අතකින් ද්‍රවිඩයන්ගේ මනාපය ද්‍රවිඩ දේශපාලන පක්ෂවලට ය යන්න පිළිබිඹු කරන මුල් අවස්ථාවක් හැටියට මෙය පෙන්නුම් කළ හැකිය.

05.     1956 බණ්ඩාරනායක යුගය.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් බණ්ඩාරනායක යුගය වැදගත් තැනත් උසුලයි. 1956 ජනවාරි මාසය වන විට භාෂා ප්‍රශ්නය හේතු කොට ගෙන දෙමළ ජනතාව සහ ඔවුන්ගේ නියෝජිතයන් තුළ ද බලවත් කැලඹීමක් වර්ධනය වී තිබුණි. 1956 ජනවාරි 20 වැනි දින කොළඹ දී රැස් වූ පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකාවේ සමස්ත දෙමළ භාෂාව කතා කරන ජනතාව මුහුණ දෙමින් සිටින ඉතා බරපතළ තත්ත්වය හමුවේ තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඔවුන් වහාම එකමුතුව එක්සත් ව පෙරමුණක් පිහිටුවා ගත යුතු ව තිබිණි. මෙම පෙරමුණ පිහිටුවා ගැනීමේ ප්‍රධාන අරමුණු වන්නේ,

1.     ස්වකීය භාෂාව හා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම.

2.     දෙමළ කතා කරන ජනතාවගේ අනන්‍යතාවය සහ නිදහස පවත්වා ගැනීම.

3.     ස්වකීය සාම්ප්‍රදායික නිජ භූමිය අනුලංගනීයව තබා ගැනීම.

මේ අතර ජනවාරි 29 වැනිදා යාපනයේ දී රැස් වූ ෆෙඩරල් පක්ෂය ස්වතන්ත්‍ර දෙමළ රාජ්‍යයක් සඳහා දිගටම සටන් කිරීමට තීරණය කළේය. මේ අනුව ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික ව්‍යාපාරය වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කිරීම ආරම්භ වුණේ 1956 පෙරළියට සමාන්තරව බව පෙනේ. සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ව්‍යවස්ථා කෙටුම්පත ට විරුද්ධව ෆෙඩරල් පක්ෂයේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන් විසින් ගෙන ගිය සත්‍යග්‍රහ ව්‍යාපාරයට මැරයන් ලබා පහර දෙනු ලැබූ අතර සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවට ද පහර දෙනු ලැබිණි. ජුනි මස 14 වැනිදා කෙටුම්පතේ දෙවැනි කියවීම් විවාදය අවසන් කරමින් බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ භාෂා දෙකටම සම තැන් දීමෙන් රටේ අවුල් වියවුල් උග්‍ර විය හැකි බවයි. මෙම විවාදයේ දී කතා කළ වාමාංශික හා ද්‍රවිඩ පක්ෂ වල මන්ත්‍රීවරු සිංහල පමණක් රාජ්‍ය භාෂාව නොකරන ලෙස ආණ්ඩුවෙන් දිගින් දිගටම ඉල්ලා සිටියහ. 1956 අගෝස්තු මාසයේ දී පැවැත් වුණු ෆෙඩරල් පක්ෂයේ සිවුවන වාර්ෂික සමුළුවේ දී ප්‍රකාශ වුණේ ඉතිහාසය තුළ ද්‍රවිඩ ජනතාවට සිදු වූ බරපතලම අසාධාරණය සිංහල පමණක් පනත බවයි. සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව වර්ධනය වීම සඳහා හොඳ පසුබිමක් වර්ධනය වූ බව කිව හැකිය. රටේ වර්ධනය වෙමින් පැවති දෙමළ ආවේගයන් පාලනය කිරීම සඳහා බණ්ඩාරනායක ඇමතිවරයා ෆෙඩරල් නායකයන් සමඟ සාකච්ඡා කොට 1957 ජුනි අවසානයේ දී දෙපාර්ශවය අතර ලිඛිත ගිවිසුමක් ඇති කර ගත්තේය. දෙමල භාෂාවට නිසි තත්ත්වය ලබා දෙන නීති සම්පාදනය කිරීමටත් රට සභා ක්‍රමයක් ඇති කර ගැනීමටත් ගිවිසුමෙන් එකඟ වන ලදි.

එය බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමයි. මෙම ගිවිසුම රට පාවා දීමක් ලෙස විග්‍රහ කළ ජේ.ආර් ජයවර්ධන ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහා කොළඹ සිට මහනුවර දක්වා පා ගමනක් සංවිධානය කළේය. මේ අතර වාහන අංක තහඩුවල ශ්‍රී අකුර සඳහන් කිරීම සම්බන්ධයෙන් ද ගැටලු ඇති විය. භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ සිංහල ජාතිවාදී පිරිස් විසින් බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධව ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාර ද හේතුවෙන් රටේ අවුල් වියවුල් තත්ත්වය වර්ධනය විය. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අවලංගු වීමෙන් පසුව දිවයිනේ බොහෝ තැන් වල ජාතිවාදී කෝලාහල ඇති වීම ශ්‍රී ලංකාවේ පශ්චාත් නිදහස් ඉතිහාසයේ ප්‍රථම ජාතිවාදී කෝලාහලය සනිටුහන් කළේ ය. මේ සියල්ලට ම මුල් වූයේ භාෂා පනතයි. මුලින් ම සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට එරෙහිව දෙමළ ජන කොටස් වලින් විරෝධය ඵල වූ අතර පසුව දෙමල ජනතාවට කිසියම් හෝ සාධාරණයක් ඉටු කිරීමට සූදානම් වූ විට සිංහල අන්තවාදීන්ගෙන් ප්‍රබල විරෝධතා ඇති විය. ද්‍රවිඩ භාෂා විශේෂ විධි විධාන කෙටුම් පත 1958 ජූලි මස දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර සංශෝධන වලින් තොරවම සම්මත විය. මේ වන විට ආණ්ඩුව වාමාංශික හා දක්ෂිණාංශික වශයෙන් දෙපිලකට බෙදී තිබුණ අතර බණ්ඩාරනායක ඝාතනය දක්වා මෙම ගැටුම්කාරී තත්ත්වයේ කිසිදු වෙනසක් නොවීය.


 

සමාලෝචනය.

  ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට මුල පිරුණේ බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් පාලන සහ පරිපාලන ක්‍රමයන් හරහාය. ජාතීන් අනුව මන්ත්‍රීවරුන් පත් කිරීම සහ භූගෝලීය හෝ සමාජ සංස්කෘතික වෙනස්කම් හෝ සැලකිල්ලට නොගෙන උඩරට සහ පහතරට ඒකාබද්ධ කොට සමස්ත දිවයිනම පළාත් පහකට බෙදීම අද අප මුහුණ දී සිටින ජනවාර්ගික අර්බුදයේ මූල බීජ වැපිරීමක් ලෙස ඇතැම් විචාරකයෝ පෙන්වා දී ඇත. බ්‍රිතාන්‍යයන්ගේ පරිපාලන ප්‍රතිපත්ති හරහා වෙන් වෙන්ව පාලනය වූ සිංහල සහ දෙමළ රාජධානි බලහත්කාරයෙන් එක්සත් කළ බව දමිළ විශ්ලේෂකයින්ගේ අදහසයි.

බ්‍රිතාන්‍යයන්ගේ බෙදා පාලනය කිරීමේ උපක්‍රමයේ ප්‍රථම අවස්ථාව ලෙස බොහෝ දෙනා පෙන්වා දෙන්නේ උඩරට සිංහල ජනතාව වෙසෙන ප්‍රදේශ වල දෙමළ වතු කම්කරුවන් විශාල වශයෙන් රැඳවීමයි. සිංහල සහ දෙමළ නායකත්වය අතර අසමගිය වර්ධනය වූ ආකාරය නිදහස ලබා ගැනීමට පෙර සිටම දැක ගත හැකි විය. පනහට පනහ සමාන අයිතිවාසිකම් ප්‍රශ්නය මත ජාතික සංගමයෙන් දෙමළ නායකයින් ඉවත් වීම සහ උඩරට සංගමය වැනි ප්‍රාදේශීය පදනම මත සංගම් බිහි වීම වැනි සාධක විසින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික බෙදීම වර්ධනය කරනු ලැබීය.

මේ අනුව ශ්‍රී ලංකාවේ බහුතර ජාතිය වන සිංහල සහ සුළුතර ජාතීන් වන දෙමළ සහ මුස්ලිම් ජාතීන් අතර බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් මතවාදීමය අරගලය ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය යුගයේ ගෙන ආ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා බව පෙන්වා දිය හැකිය. බ්‍රිතාන්‍යයන්ගේ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය නිසා ජාතීන් වශයෙන් වෙන වෙනම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ නායකයින් ප්‍රයත්න දැරීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම කාල වකවානුව තුළ ආරම්භ වූ ජනවාර්ගික මත ගැටුම නිදහසින් පසු කිසිදු බාධාවකින් තොරවම සන්නද්ධ අරගලයක් වශයෙන් වර්ධනය වන ආකාරය දැකිය හැකිය.


 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

 

අතුකෝරල, පී, ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටලුව, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2006.

අයිවන්, වික්ටර්. අර්බුදයේ අන්දරය (1815 - යටත් විජිත යුගයේ සිට 2009 - ඊලාම් යුද්ධයේ අවසානය දක්වා). තෙවන මුද්‍රණය. රාවය ප්‍රකාශන, මහරගම, 2012.

අයිවන්, විකටර්. ලංකාව ගලවා ගැනීම. රාවය ප්‍රකාශන, මහරගම, 2013.

අයිවන්, වික්ටර්. දෙමළ අභියෝගය. රාවය ප්‍රකාශන, මහරගම, 2012.

උයන්ගොඩ, ජයදේව. ජාතිය, ජාතිකවාදය සහ ජාතික-රාජ්‍ය. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, කොළඹ, 2007.

උයන්ගොඩ, ජයදේව. ලංකාවේ ජනවාර්ගික ගැටුම, සාමය හා ඒවායේ වෙනස්වන ගතිකත්වය. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, කොළඹ, 2011.

කරුණාදාස, ඩබ්ලිව් එම්. තුන්වන ලෝකයේ දේශපාලනය හා ආර්ථිකය. ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, දෙහිවල, 2003.

ජයවර්ධන, කුමාරි. සොක්කන් ලොක්කන් වූ වගයි. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, කොළඹ, 2014.

පල්ලියගුරු, රවීන්ද්‍ර චන්ද්‍රසිරි. දේශපාලන සහභාගීත්වය. දේශපාලන සමාජ විද්‍යාව, සංස්: සමන් හඳරාගම, සමීර ප්‍රකාශන, බත්තරමුල්ල, 2013.

බණ්ඩාර, නවරත්න. රාජ්‍ය නිර්මාණය සහ ජාතික ඒකාබද්ධතාව පිළිබඳ ගැටලු. වෙළුම V, ශ්‍රී ලංකේය ඉතිහාසයහි පරිච්ඡේදය 2, සංස්: එම්. යූ. ද සිල්වා, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012.

රත්නායක, කරුණා., දේශපාලන විද්‍යාවේ මූලකංග - II, කර්තෘ ප්‍රකාශන, තොරයාය, 2010.

ලැස්කි, හැරල්ඩ් ජේ. රාජ්‍ය පිළිබඳ සිද්ධාන්ත හා ව්‍යවහාරය. පරි: ඩී බී. අයි. එස්. සිරිවර්ධන, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2005.

විජේනායක, අමරසිරි. එදා සිට අද දක්වා මෙදෙස් විදේස් දේශලපාලන වෙනස් වීම්. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2002.

වෙත්තමුණි, විජයසිරි., සරල සිංහල මහා වංශය, කතෘ ප්‍රකාශන, කළුතර උතුර, 2009.

 

 

ශ්‍රී ලාංකේය ඉතිහාසය- වෙළුම V, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012.

Ceylon Report of the Commission on Constitution, Ceylon Government Press, (Donoughmore report).

Ceylon Report of the Commission on Constitution Reform London: Her majesty’s Stationary Office, 1961, pp. 66-67. (Soulbury Report)

Presidential Address in Bandaranayke Hand book of Ceylon National Congress, 1928.

State Council Debates, 1935, Vol.111.



[1] වික්ටර් අයිවන්, ලංකාව ගලවා ගැනීම, රාවය ප්‍රකාශන, මහරගම, 2013, පිටු vii.

[2] Sir James Peiris, Presidential Address in Bandaranayke Hand book of Ceylon National Congress, 1928, p.237.

[3] H. J. C. Perera, Presidential Address in Bandaranayke Hand book of Ceylon National Congress, 1928, p.356.

[4] Ceylon Report of the Commission on Constitution, Ceylon Government Press, (Donoughmore report), pp, 101-102.

[5] State Council Debates, 1935, Vol.111, pp. 4255.

[6] Ceylon Report of the Commission on Constitution Reform London: Her majesty’s Stationary Office, 1961, pp. 66-67. (Soulbury Report)

[7] Soulbury Report, pp. 40.

[8] කරුණා රත්නායක, දේශපාලන විද්‍යාවේ මූලකංග - II, කර්තෘ ප්‍රකාශන, තොරයාය, 2010, පිටු 70.

[9] State Council Debates, 1944, Vol. 2, pp. 6938-6939.





No comments:

Post a Comment