Friday 2 July 2021

“ඓතිහාසික සාක්‍ෂි විභාගය යනු !.”

 

-Historiography-

 (Historical Method and Philosophy of History)

ඓතිහාසික සාක්‍ෂි විභාගය යනු !. 

රිසරය ජය ගැනීමටත්, සමාජ පීඩනය අහෝසි කිරීමටත් මිනිසා අනවරතයෙන් කරන සටනත් අනිවාර්යයෙන් ම ලබන ජයග්‍රහණයත් පිළිබඳ කතාන්තරයට, අප ඉතිහාසය යැයි කියනු ලැබේ. එසේ වසර දහස් ගණනක් තුළ මිනිස් වර්ගයා රැස් කර ගත් අතීත අත්දැකීම් සම්භාරයෙන් හටගත් ඥාන ධනය ද එමඟින් උදාවන ප්‍රඥාව ද ඒ සා දීර්ඝ කාලයක් හරහා දිවෙන ගමන්මග ඔස්සේ ගෙනයනු ලැබ, වර්තමාන මිනිස් පරපුර අතට පත් කරනු ලබනුයේ ද ඉතිහාසය විසිනි. එබැවින් මානවයාගේ ඉතිහාසය දැන ගැනීම අනාගත මනුෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇත. කෙසේ වෙතත් එලෙස සොයා බැලෙන ඉතිහාසය ඉබේ නිර්මාණය වූවක් නොවන අතර ඉතිහාසඥයෙකුගේ මැදිහත් වීම එයට ප්‍රමාණාත්මක ව ලැබී ඇත. මෙලෙස අප අධ්‍යයනය කරනු ලබන ඉතිහාසය නිර්මාණය කිරීමේදී වැදගත් ම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ ඉතිහාසඥයායි. සමස්ත අතීතයෙන් තෝරා ගනු ලැබූ කරුණු කාරණාවන් පිළිබඳ වඩා සාධනීය ලෙසින් සාක්‍ෂි විමසා එම කරුණු නැවත නූතන මානවයා වෙත සම්ප්‍රේෂණය කරනු ලබන්නේ ඉතිහාසඥයා විසිනි. එලෙස සාර්ථක ඉතිහාසයක් ගොඩ නැගීමේ දී ඓතිහාසික සාක්‍ෂි හා එම සාක්‍ෂි විභාගය කිරීම ඉතිහාසඥයෙකුගේ අත්‍යාවශ්‍ය කාර්ය භාරයක් ලෙස සැලකිය හැක.

ඒ හේතුවෙන් ම ඓතිහාසික සාක්‍ෂි විභාගය කිරීම කිසි විටෙකවත් ඉතිහාසඥයෙකුගෙන් තොරව ක්‍රියාත්මක විය නොහැක. ඉතිහාසගත තොරතුරු කිසිවිටකත් නිර්මල නොවන අතර එම ඉතිහාසගත තොරතුරු අපට ලබාදෙන්නේ ඉතිහාසඥයෙකු විසින් ඒ ගැන සිතාමතා සකස් කිරීමෙන් අනතුරුව ය. කවර කරුණු, කවර අයුරින් කථා කළ යුතු ද යන්න තීරණය කරන්නේ ඉතිහාසඥයා ය. ඒ අනුව තෝරා ගැනීමේ හා ඉවත් කිරීමේ තීරණාත්මක ක්‍රියාවලියකින් පසුව ඉතිහාසය නිර්මාණය වේ. එහිදී නිරන්තරයෙන්  ම ඔහුගේ අවධානය එම සිද්ධිය හා සිද්ධි දාමය සිදු වූවේ කෙසේ ද?, කිනම් ආකාරයකට ද?, කවදා ද?, ඇයි?, යන ප්‍රශ්නාවලිය තුළ විභාග වෙමින් නිර්වචනය වූ සමස්තය කෙලෙසින් නූතන මානවයා වෙත ඉදිරිපත් කිරීම මෙන් ම ඊට සාධාරණ විසඳුමක් එක්තැන් කිරීම සිදු කරනු ලබන්නේ ඉතිහාසඥයා විසිනි. නිදසුන් ලෙස දක්වන්නේ නම් ඉතිහාස රචකයෙකුට සෑම ගැහැණියකගේ ම නාසය වැදගත් නැත. එහෙත් ක්ලියෝපැට්‍රාගේ නාසය ඉතා වැදගත් ය. ජෝසෆ් ස්ටර්ලින්ගේ බිරිඳ රුසියානු ඉතිහාසයට වැදගත් නොවන නමුත් මාඕ සේතුන්ගේ අවසාන බිරිඳ චීන ඉතිහාසයට වැදගත් වේ. ලංකාවේ කලක් රජකම් කළ සීවලී, ලීලාවතී වැනි රජ බිසෝවරුන්ගේ සදාචාර පැවැත්ම ලංකා ඉතිහාසයට වැදගත් නොවනමුත් අනුලා බිසවගේ සදාචාර පැවැත්ම ලංකා ඉතිහාසයට වැදගත්ය. මෙලෙසින් ඉතිහාසඥයෙකු විසින් සාක්ෂි විභාගයකින් අනතුරුව තම කර්තව්‍යයට වැදගත් වන ඓතිහාසික සිදුවීම් පෙළගස්වනු ලබයි.

ඉහත දැක්වූ අකාරයට ඉතිහාසය ගොඩ නැගීමේ දී ඓතිහාසික සාක්‍ෂි හා සාක්‍ෂි විභාගය ඉතා ප්‍රබල භූමිකාවක් ඉටු කරනු ලබන බව අවබෝධ කරගත හැක. ඒ අනුව “ඓතිහාසික සාක්‍ෂි විභාගය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?.” යන්න පිළිබදව අධ්‍යනය කිරීමේ දී ඉතිහාසඥයාගේ කාර්යභාරය ඉතා ප්‍රබල වන අතර ඔහු විසින් එසේ කටයුතු කිරීමේ දී අවධානය යොමු කර යුතු කරුණු කීපයක් ඇත.

 

එනම්‍;

1.                 සාක්‍ෂි යනු කුමක්ද යන්න අවබෝධ කර ගැනීම.

2.             ඓතිහාසික සාක්‍ෂි අවශ්‍ය වන්නේ ඇයි ද? යන්න අවබෝධ කර ගැනීම.

3.             සාක්‍ෂි විභාග කරන්නේ කෙසේ ද? යන්න තේරුම් ගැනීම.

ඉහතින් දන්වන ලද කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම මගින් ඉතිහාසඥයෙකුට සිය අතීත ප්‍රතිනිර්මාණය කිරීම වඩාත් විශ්වසනීයත්වයෙන් කිරීමට හැකියාවක් පවතී. එහිදී ඓතිහාසික සාක්‍ෂි නිවැරදිව ගනිමින් සිය අතීත දැනුම ප්‍රතිනිර්මාණය කරමින් ඉතිහාසය ලිවීමේ දී මතු වන බාධාකාරී, සැකයට තුඩු දෙන තත්ත්වයන් මඟහැරීමත් ඉතිහාසඥයාගේ වගකීම වේ. ලෝකයේ කුමන හෝ රටක ඉතිහාසය ගොඩනැගීමේ දී ප්‍රමාණවත් ලිඛිත ඓතිහාසික සාක්‍ෂි නොමැති අවස්ථාවල දී ඒ සඳහා පාදක කර ගනු ලබනුයේ ඓතිහාසික මූලාශ්‍රයෝය. දේශීය-විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර, නාණක මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි දී වැදගත් අගයක් ලබා දේ. මෙම මූලාශ්‍ර මඟින් බහුවිධ සංඥා නිකුත් කරන අතර ඉතිහාසඥයා එම සංඥා ග්‍රහණය කර ගන්නා ආකාරය අනුව නැතහොත් ඒවා අර්ථ නිරූපනය කරන ක්‍රියාවලියේදී ඉතිහාසඥයා විසින් අතීතය ප්‍රතිනිර්මාණය කරනු ලබන අතර එම අතීත සංඥා හා දත්ත සාක්‍ෂි ලෙස සැලකිය හැක. 

ඓතිහාසික සාක්‍ෂි විභාගය මත පදනම් වෙමින් ඉතිහාසය ගොඩ නැගීමේ දී එය අතීතය හා ප්‍රතිනිර්මාණය අතර සංකීර්ණ වෙමින් සැකයත්, අවිශ්වාසයත් අතර දෝලනය වීමේ සම්භාවිතාවක් ඇත. ඒ හේතුවෙන් ම ඓතිහාසික සාක්‍ෂි විභාගයේ දී නිරතුරුව හමුවන මූලාශ්‍ර එලෙසින් ම සඳහන් නොකර එම මූලාශ්‍ර තුළින් උද්දීපනය කරනු ලබන සාක්‍ෂිය මතු කිරීම මගින් එහි ඇති විශ්වසනීයත්වය වර්ධනය වීමට ඇති ඉඩප්‍රස්ථා තවදුරටත් වර්ධනය වේ. එවිට අතීත සිදුවීම් අරබයා ඉතිහාසඥයා විසින් නිර්මාණය කර ඇති ඉතිහාසය වර්තමානයේ දී කොතෙක් දුරට මානවයාට ප්‍රයෝජනවත් ද යන්න අවබෝධ කර ගත හැක.

ඒ අනුව ඉතිහාසඥයෙකුට සාක්‍ෂි භාවිතයේ ඇති වැදගත්කම ප්‍රධාන කරුණු දෙකක් යටතේ ගොනු කර දැක්විය හැක. ඒවා නම්;

1.         1. ඉතිහාසඥයා විසින් ගොඩනගන ඉතිහාසය බොහෝ විට තමන් අත් නොදුටු සිදුවීමක් වන බැවින් එය ආනුභාවික නොවීම.

2.               2. ඒ හේතුවෙන් ම හුදෙක් මූලාශ්‍ර මත පදනම් වෙමින් ලබා ගන්නා සාක්‍ෂි ආධාරයෙන් තර්කානුකූලව අතීතය ගොඩ නැගීම අත්‍යාවශ්‍ය වීම.

තවද සාක්‍ෂි උපයෝගී කර ගැනීම මඟින් සත්‍ය වෙත ළඟා වීම පහසු කරවයි. මෙසේ සාක්‍ෂි විභාගය තුළින් යම් කිසි තර්කයක් වෙත එළඹීමේ දී එසේ විමසන සාක්‍ෂීන්වල බහුවිධ වේ නම් එම තර්කයේ ප්‍රබලත්වය වර්ධනය වනු ඇත. මන්ද යත් ඒකපාර්ශ්වික දත්ත උපයෝගී කොට ගෙන අධ්‍යයනය කටයුතු සිදු කරනවාට වඩා බහුවිධ දත්ත උපයෝගී කොට ගෙන කරනු ලබන අධ්‍යයනයන් තුළින් ලබා ගනු ලබන සංඥා බහුවිධ වේ. එම බහුවිධ මූලාශ්‍ර මඟින් ලබා ගනු ලබන සංඥාවල අඩංගු වන කරුණු සියුම් ව පරීක්‍ෂා කිරීම හරහා අදාළ සාක්‍ෂි ගොනු කර ගැනීමට හැකිවන අතර එමගින්  නිර්මාණය වන අතීතය තාර්කික ඥානය මත නිර්මාණය කිරීමට ඉතිහාසඥයා උත්සහ කළ යුතු වේ. එවිට නූතන මානවයාට, අතීත මානවයා හා ඔහුගේ ක්‍රියා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ. විශේෂයෙන් ම මෙම ක්‍රියාවලිය මඟින් සිද්ධීන් හා කාල නිර්ණය අතර ඇති පරතරය අවම කිරීමට හැකියාවක් පවතී. වරක් කාල් මාක්ස් ප්‍රකාශ කර සිටියේ ඉතිහාසය යනු ආරම්භයක්, මධ්‍යයක් හා අවසානයක් සහිත තාර්කික ක්‍රියාවලියක් වන බවයි. එම සංකල්පය ඔහු විසින් උකහා ගන්නා ලද්දේ ඔහුගේ මහා ජර්මානු පූර්වගාමියා වූ ජෝර්ජ් විල්හෙල්ම් ෆ්‍රීඩ්රච් හෙගල් ගෙනි. ක්‍රියාවලියේ ඇති සාර්ථක්‍තවය මත අතීත හා නූතන සිද්ධීන් අතර යම් සාම්‍යයක් දර්ශනය වීම මඟින් එම අතීත සිදුවීම තාර්කික බවින් හා විචාරශීලී බවින් වැඩි බව නූතන මානවයාට අවබෝධ වේ. මේ පිළිබඳ හොඳ ම උදාහරණයක් කාල් මාක්ස් හා ෆෙඩ්‍රික් ඒංගල්ස් විසින් ජර්මානු දෘෂ්ටිවාදය නම් කෘතියේ පළමු පරිච්ඡේදයේ ඇති ප්‍රකාශයකින් දැක්විය හැක ;

ඓතිහාසික සිදුවීමක්

සාක්‍ෂි විභාගය

ඓතිහාසික කරුණු.

නිර් ඓතිහාසික කරුණු



ඉතිහාසය යනු වෙන් වෙන් පරම්පරාවන්ගේ අනුක්‍රමය විනා අන් කිසිවක් නොවේ. මේ සෑම පරම්පරාවක් ම තමාට කලින් පැවති සියලු පරම්පරාවන්ගෙන් තමන්ට උරුම වූ ද්‍රව්‍යයන්, ප්‍රාග්ධන සම්භාරය සහ නිෂ්පාදන බලවේග උපයෝගී කර ගනී. ඒ අනුව, එක් අතකින් සම්පූර්ණයෙන් වෙනස් වූ වාතාවරණයන් තුළ සාම්ප්‍රදායික ක්‍රියාකාරීත්වය අඛණ්ඩව දිව යන අතර අනික් අත‍ට සම්පූර්ණයෙන් වෙනස් වූ ක්‍රියාකාරීත්වයක් මඟින් පැරණි වාතාවරණයන් නවීකරණය කෙරෙයි. කලින් පැවති ඉතිහාසයේ අරමුණු අනුව පසුව එන ඉතිහාසය සාදනු ලැබ ඇතැ යි යනුවෙන් මෙම තත්ත්වය කාල්පනික ව විකෘති කළ හැකි ය. නිදසුනක් වශයෙන්, ප්‍රංශ විප්ලවයේ පුපුරා යාම සිදු වූවේ ඇමරිකාව සො‍යා ගැනීමේ සිද්ධියට පැවරූ අරමුණ විසින් යැයි විකෘති කළ හැකිය. මෙම විකෘතිය මඟින් ඉතිහාසයට තමන්ගේ ම විශේෂ අරමුණු ලැබේ; ඒ අනුව ඉතිහාසය “අනෙක් පුද්ගලයන් සමඟ සම ස්ථානයක් ගන්නා පුද්ගලයෙකු” බවට පත් වේ. (ඒ කෙසේ ද යත්: ස්වවිඤ්ඤාණය, විචාරය, අනන්‍ය, යනාදිය සමඟ) මේ අතර ම කලින් පැවති ඉතිහාසයේ ඉරණම, අරමුණ, බීජය හෝ අදහස යන වචනවලට පවරන්නා වූ දේ පසු ඉතිහාසය වෙතින් ද, පසු ඉතිහාසය මත කලින් පැවති ඉතිහාසය බල පවත්වන්නා වූ සජීවී බලපෑම් වෙතින් ද උපුටා ගත් වියුක්තීකරණයකට වැඩිමනත් දෙයක් නොවේ.”

 

                                                                                      

මෙම ක්‍රියාවලිය තුළ ඇති සංකීර්ණ ම කාර්ය වන්නේ එම සාක්‍ෂි විභාගයේ දී ඉතිහාසඥයාට පැමිණිල්ල, විත්තිය හා විනිශ්චය යන ත්‍රිවිධ කාර්යය ම ඉටු කිරීමට සිදු ව පැවතීමයි.  එහිදී ඉතිහාසඥයා වඩාත් විචක්ෂණශීලී හා ප්‍රවේසම් සහගත විය යුතු අතර එසේ නොවන්නේ නම් එහි ඇති පක්‍ෂපාතීත්වය වර්ධනය වී අසත්‍ය නිගමනයක් වර්ධනය වීමට ඉඩකඩ පවතී. මන්ද යත් සාමාන්‍යයෙන් පැමිණිල්ල හා විත්තිය විනිශ්චය වන්නේ විනිසුරුවරයෙකු මාර්ගයෙනි. එහිදී විනිසුරුවරයා පැමිණිල්ල හා සාක්‍ෂි තුලනාත්මක ව අධ්‍යයනය කරමින් නිවැරදි තීන්දුවක් දීමට උත්සහ කරයි. ඉතිහාසඥයා ද එසේ ම කටයුතු කළ යුතු අතර තමන්ට ලැබෙන සාක්‍ෂිවල අදාළත්වය හා නොවන බව දෙපාර්ශවයට ම ඉදිරිපත් කරමින් තමා ඉදිරිපත් කරන කොටසට කෙතරම් දුරට අදාළ වේද යන්න විමසිය යුතුය. ‍

මෙසේ ඉදිරිපත් වන සාක්ෂි විවිධාකාර වන අතර ඒ සියල්ලක් ම එලෙසින් ම යොදා ගත නොහැකි වේ. බොහෝ අවස්ථාවන්වලදී එම සාක්‍ෂීන්වල පරස්පරතා ඇති විය හැකි අතර ඉතිහාසඥයෙකු විසින් එවා කණ්ඩණය කළ යුතු වේ. එහිදී එම සාක්‍ෂි, දුරස්ථ වන හා නොවන, පිළිගත හැකි හා නොවන ලෙස වෙන කර ගත හැක. කෙසේ වෙතත් ඉතිහාසඥයා මෙහි දී ද ඉතා විචක්ෂණශීලී විය යුතු වේ. මන්ද යත් පවතින තත්ත්වය  යටතේ තමාගේ කරුණුවලට අදාළ නොවූවද එය වෙනත් විටක දී එම සිදුවීමට අදාළ විය හැකි බැවිනි. ඒ අනුව සාක්‍ෂි අනුපූරක ලෙස අදාළ වේද, නොවේද යන්න තීරණය කිරීම ඉතිහාසඥයාගේ වගකීමකි. එහිදී ඔහුට ප්‍රමුඛතාවය ගැන දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ. එම ප්‍රමුඛතා ක්‍රියාවලිය ප්‍රධාන අදියර දෙකක් යටතේ හඳුනාගත හැකිය.

ඒවා නම්;

1.      සමස්තය ග්‍රහණය කළ හැකි සාක්‍ෂි.

2.      විශ්වසනීය සාක්‍ෂි.

                                      ආදී ලෙසිනි.



සාක්‍ෂි විභාගයේ දී සාක්‍ෂි හා සිද්ධි අතර ඇති කාල පරාසය ඉතා වැදගත් වේ. ඉතිහාසඥයාගේ කාර්යය වඩාත් නිවැරදි කර ගැනීම සඳහා සාක්‍ෂි පිහිටුවා ගැනීම හා යොදා ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමේ දී ඉතිහාසඥයා ඉහතින් දැක්වූ ප්‍රමුඛතාවය ගැන කරුණු දෙකෙන් කමක් අදාළ කර ගත්තත් ඊට අදාළ අවශේෂ හා අනුබද්ධිත සාක්‍ෂි ද උපයෝගී කර ගනු ලැබේ. ඒවා පහත අකාරයට වර්ග කොට දැක්විය හැක.

1.      ප්‍රධාන සාක්‍ෂි.

2.      බහුවිධ සාක්‍ෂි

3.      අනුපූරක සාක්‍ෂි.

ඉහතින් දැක්වූ අකාරයට තොරතුරු ලබා ගැනීමේ දී ඉතිහාසඥයා විත්තියේ කාර්ය නිවැරදිව කරමින් තමන්ගේ සාක්‍ෂි හරහා නිවැරදි ප්‍රශ්න කිරීමට ද යොමු විය යුතු ය. එමෙන් ම විරුද්ධව ඉදිරිපත් වන සාක්‍ෂි‍ නිෂේධනය කිරීමට ඒ පිළිබඳව ද හොඳ අවබෝධයක් තිබිය යුතු ය. විශේෂයෙන් මෙහි දී ඊ. එච්. කාර් විසින් ඓතිහාසික සාක්ෂි විභාගය මත ගොඩනැගෙන කරුණක් අර්ථ දක්වා ඇති ආකාරය අවබෝධ කර ගැනීම වැදගත් වේ.

ඔහුට අනුව

පොදු ව්‍යවහාර ඥානයට අනුව ඉතිහාසයේ නාරටිය ඉතිහාසගත කරුණු වන අතර සෑම ඉතිහාසඥයෙකුට ම පොදු වූ කරුණු වරද්දා ගත නොගත යුතු ය. එය භෞස්මාන් නම් ඉතිහාසඥයාට අනුව වගකීමක් මිස සීලයක් නොවේ. තවද තම විග්‍රහයට පදනම් වන කරුණු හා දත්ත ඉතිහාසඥයා විසින් සකස් කිරීම, ගෘහ නිර්මාණ ශිල්පියෙකු තම නිර්මාණයට හොද ලී, ගඩොල් හා වැලි තෝරා ගැනීමක් වැනිය. ඉතිහාසඥයාට සිය දත්තවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යාව, නාණක විද්‍යාව, ශිලා ලේඛන විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විද්‍යාවන්ගේ සහය ලබා ගත හැකිය. එමගින් එම තොරතුරුවල සත්‍යතාව තවදුරටත් තහවුරු කර ගත හැකිය.”

ඒ අනුව ඉතිහාසයේ කොඳු නාරටිය වන ඓතිහාසික කරුණු සාර්ථකව ඉදිරිපත් වන්නේ ද සාක්‍ෂි විභාගයේ අරමුණු හා පරමාර්ථයන් මත බව අවබෝධ කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය වේ. නිවැරදි සාක්‍ෂි විභාගය තුළින් ගොඩනඟන ඉතිහාසයේ ඇති වැදගත් කම කෙතරම්ද යත් ඇතැම් විට ඉතිහාසයේ කෙළවර වෙහෙසකාරී ශතවර්ෂයන් පිළිබඳ අපේක්‍ෂාව විසින්ම නව වටයකින් ඉතිහාසය අරම්භ කරනු ලබන බව නූතන මානවයාට අවබෝධ කර ගැනීමට හැකි වේ

No comments:

Post a Comment