Saturday, 1 May 2021

“ඉතිහාසඥයකුගෙන් තොරව ඉතිහාසයක් නොමැත.”



ඉතිහාසකරණය

-Historiography-

 (Historical Method and Philosophy of History) 

තිහාසය අගය කරන තැනැත්තා තමන්ට නැති ඉතිහාසයක් වුවද ගොඩනගා ගැනීමට උත්සාහ කරයි. ඔහු එසේ කරන්නේ තමන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඉතිහාසය ප්‍රබල සාධකයක් වන නිසා ය. එබැවින් මෙලොව වෙසෙන ඕනෑම මිනිසෙකු තමන්ට අදාළ වන්නා වූ කුමන හෝ ඉතිහසගත කොටසක් උද්දීපනය කිරීමට උත්සහ කරයි. එලෙස මානවයාගේ ඉතිහාසය දැන ගැනීම අනාගත මනුෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇත. කෙසේ වෙතත් එලෙස සොයා බැලෙන ඉතිහාසය ඉබේ නිර්මාණය වූවක් නොවන අතර ඉතිහාසඥයෙකුගේ මැදිහත් වීම එයට ප්‍රමාණාත්මක ව ලැබී ඇත.

බැලූ බැල්මට අප අවධානය යොමු කරන ඉතිහාසය සමස්ත ලෝකයේ ම ඉතිහාසය වන බවක් පෙනී ගියත් සැබෑ ලෙස ම ඉතිහාසය නැමති සමාජ විද්‍යාත්මක විෂයයෙන් සිදුවන්නේ මානවයාගේ ඉතිහාසය අධ්‍යයනය කිරීම පමණි. ලෝකයේ තිබෙන සෑම ප්‍රපංචයක ම ඉතිහාසය අධ්‍යයනය කිරීමක් ඉන් සිදු නොවේ. තවද මානවයාගේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී වුවද සමස්ත අතීතය ම අධ්‍යයනය කිරීමක් ඉතිහාසය විෂයයෙන් සිදු නොවේ. එනම් සමස්ත යටගියාව තුළින් ඉතිහාසය විෂයයට අවශ්‍ය වන්නා වූ ප්‍රමාණය විශේෂිත වන අතර එලෙසින් සමස්තය තුලින් පෙරාගනු ලබන විශේෂිත දෙය අප මානවයාගේ ඉතිහාසය ලෙස අධ්‍යයනය කරනු ලැබේ.

මෙලෙස අප අධ්‍යයනය කරනු ලබන ඉතිහාසය නිර්මාණය කිරීමේදී වැදගත් ම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ ඉතිහාසඥයායි. සමස්ත අතීතයෙන් තෝරා ගනු ලැබූ කරුණු කාරණාවන් පිළිබඳ වඩා සාධනීය ලෙසින් සාක්‍ෂි විමසා එම කරුණු නැවත නූතන මානවයා වෙත සම්ප්‍රේෂණය කරනු ලබන්නේ ඉතිහාසඥයා විසිනි. එහිදී නිරන්තරයෙන්  ම ඔහුගේ අවධානය එම සිද්ධිය හා සිද්ධි දාමය සිදු වූවේ කෙසේ ද?, කිනම් ආකාරයකට ද?, කවදාද?, ඇයි?, යන ප්‍රශ්නාවලිය තුළ විභාග වෙමින් නිර්වචනය වූ කරුණු සමස්තය කෙලෙසින් නූතන මානවයා වෙත ඉදිරිපත් කිරීම මෙන් ම ඊට සාධාරණ විසඳුමක් එක්තැන් කිරීම සිදු කරනු ලබන්නේ ඉතිහාසඥයා විසිනි. ඒ අනුව සමස්ත අතීතයෙන් නිරවද්‍යවූත්, තෝරාගනු ලැබූත් කරුණු ඉතිහාසය වෙත ලබා දෙනු ලබන්නේ ඉතිහාසඥයායි.

එහිදී ප්‍රධාන අංශ කීපයක් යටතේ ඉතිහාසඥයා විසින් ඉතිහාසය ගොඩනැඟීම සඳහා තම ‍සේවාව ලබා දේ. ඒවා නම්;

ü  තොරතුරු ලැබෙන මූලාශ‍්‍ර නිමර්ණය සඳහා දායකත්වය සපයනු ලබන කණ්ඩායමක් වශයෙන් ක‍ටයුතු කිරීම.

ü  මෙම මූලාශ‍්‍ර භා‍විතා කරමින් මූලාශ‍්‍රයන් වෙත අර්ථකථනයන් සප‍යමින් අධ්‍යයන අවකාශය (Space of the study)  යථාවත් කරලීමේ හා අතීත මානව ක‍්‍රියාකාරිත්වයේ යථා ස්භාවය නූතනය වෙත සම්ප්‍රේෂණය කරලීමග

                                                                                                      යනාදියයි.

 

එය පහත ආකාරයට රූප සටහනක් මඟින් දැක්විය හැක.

 

H                            h1 = h දක්වා පරිවර්තනය වීමේ ක්‍රියාදාමය.

                                H = සමස්ත අතීතය‍‍‍‍/ සමස්ත යටගියාව. (Historical Facts)

                                                                h1 = ඉතිහාසඥයා (Historian)

                                                                h = මානවයාට අවශ්‍ය වන ඉතිහාසය. (History)

H” නම් වූ සමස්ත යටගියාව නම් අතීතයෙන් අධ්‍යයන ධාරාවක් වූ “h” නම් ඉතිහාසය “h1” නම් ඉතිහාසඥයාගේ මැදිහත් වීමෙන් සකස් වී ඇත. ඒ අනුව පෙනී යන කරුණක් වන්නේ ඉතිහාසය නිර්මාණය වී ඇත්තේ ඉතිහාසඥයා විසින් සිය මැදිහත් වීමෙන් සකස් කරනු ලබන සමස්ත මානව අතීතයේ කොටසක් වන බවයි. එම්. ඕක්ෂොට් නම් ඉතිහාසඥයාට අනුව “ඉතිහාසය වූ කලි ඉතිහාසඥයාගේ අත්දැකීම යි. එය ‘සාදන්නේ’ ඉතිහාසඥයා මිස අන් අයෙක් නොවේ: එය කරන එක ම ක්‍රමය ඉතිහාසය ලිවීමයි”. ඉතිහාසය පිළිබඳ ව විමසීමට නම් ඉතිහාසය කෙරෙහි ඉතිහාසඥයාගේ මැදිහත් වීම ද අනිවාර්යයෙන් ම විමසිය යුතු බව එමගින් අවබෝධ කර ගත හැක.

ඉතිහාසඥයා සමස්ත අතීතයෙන්, සිය ඉතිහාසය ගොඩනැගීමේ දී සෑම විටම ප්‍රධාන ගැටලු දෙකක් වෙත තම අවධානය යොමු කළ යුතු වේ. ඔහු විසින් වැදගත් කරුණු සොයා ගැනීමේ සහ ඒවා ඉතිහාසයේ කරුණු බවට හැරවීමේ කාරිය ද, නොයෙකුත් නොවැදගත් කරුණු නිර්-ඓතිහාසික ලෙස බැහැරලීමේ කාරියද යනුවෙන් දෙවැදෑරුම් කාරියක් කළ යුතු ව තිබේ.

එනම්;

1.                 සිදු වූවේ කුමක්ද??

2.             සිදු වූවේ ඇයි??

ඉතිහාසඥයා විසින් අතීත කරුණු අධ්‍යයනය කරමින් සිදු විය යුතු කුමක්ද?, සිදු විය හැකි කුමක්ද? හෝ ඒ ගැන ක්‍රියාකර තේරුම් ගන්නා තෙක් එම කිසිම තොරතුරක අරුතක් නැතැයි ඊ. එච්. කාර් ප්‍රකාශ කරන ලදි. මෙය සනාථ වන තවත් ප්‍රකාශයක් ලෙස බී. ක්‍රෝසේගේ පැහැදිලි කිරීම දැක්විය හැක. ඔහුට අනුව “ඉතිහාසය වනාහි අවශ්‍යයෙන් ම වර්තමාන ඇසින් එහි ගැටලුවල එළියෙන් අතීතය දෙස බැලීම ද ඉතිහාසඥයාගේ ප්‍රධාන කාර්යය වන්නේ ලියා තැබීම නොව ඇගයීම ද වේ: ඔහු විසින් අගයන්නේ නැත්නම් ලියා තබන්නට තරම් අගයක් ඇත්තේ කිමෙද?” යනුවෙනි

මේ පිළිබඳ ව අදහස් දක්වන ග්‍රීක ඉතිහාසඥයෙක් වූ තුසිඩිඩීස් විසින් රචනා කරන ලද ‘පෙලෝපොනීසියානු යුද්ධය’ නම් කෘතිය මගින් පෙන්වා දෙන්නේ “ඉතිහාසයේ පරමාර්ථය වූයේ අතීත සිද්ධීන් ගැන උදම් ඇනීම නොව ඊට වඩා භාරදූර කටයුත්තක් වූ අනාගතය අවබෝධ කර ගැනීමවන බවයි. මෙහි දී ඉහතින් දක්වන ලද ආකාරයට සිදු වූවේ කුමක්ද? යන පැනයට පිළිතුරු සෙවීමේ දී යොදා ගැනෙන පළමු ක්‍රමවේදය වන්නේ ශිල්පීය මෙවලම් වේ. අතීතයේ, දත්ත ඉතිහාසයේ සාධක බවට පත් කිරීම සඳහා උපයෝගී වන්නේ මෙම ශිල්පීය ක්‍රමවේදයයි. නමුත් නිවැරදි ඉතිහාසයක් ඉතා තර්කානුකූල ලෙස ගොඩනැගීමේ දී මෙම ශිල්පීය ක්‍රමවේදයට අමතරව සංකල්පීය මෙවලම් ද යොදා ගැනීමට ද ඉතිහාසඥයාට සිදු වන අතර එමගින් සිදු වූවේ ඇයි යන පැනයට පිළිතුරු ද සපයා ගැනීමට හැකි වේ.

එබැවින් ඉතිහාසඥයා නිරන්තරයෙන් ප‍්‍රාථමික හා ද්විතීය මූලාශ‍්‍ර ග‍වේෂණය තුළින් එසේත් නැතහොත් ශිල්ප’ය මෙවල‍ම් සහ සංකල්පන’ය මෙවලම් යන ‍විධික්‍රම භා‍විතයෙන් එම සිද්ධිය හෝ සිද්ධිදාමය,


*  සිදුවූයේ කෙසේද?


*  සිදුවූයේ කෙදිනද?


*  කිනම් ආකාරයටද?


*  සිදු වූයේ කොහේද?


*  එසේ සිදුවූයේ ඇයි?


*  මෙම මොහොත :ැඩැබඑ* හඳුනාගැන’මේ වැදගත්කම කුමක්ද?


යන ප‍්‍රශ්න සඳහා නිරන්තරයෙන් පිළිතුරු සපයයි.


 


මෙම ප‍්‍රශ්නාවලිය තුළ විභාග වෙමින් නිරවද්‍ය වු (්ජජමර්ජහ* කරුණු සමස්තය, කෙලෙසින් නූතන මානවයා වෙත ඉදිරිපත් කළ යුතුද යන්නත්, ඊට සාධාරණ විසඳුමක් ඉදිරිපත් කිර’මත්, මෙනිසා සමස්ත අත’තයෙන් නිරවද්‍ය වූත් තෝරාගනු ලැබුවාවූත් කරුණු සමුහය ”ඉතිහාසය” මැයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ ඉතිහාසඥයාය.

 ඉහතින් දක්වන ලද ශිල්පීය මෙවලම් ‘ඉතිහාසයේ ක්‍රියාවලිය’ ලෙස ද සංකල්පීය මෙවලම් ‘ඉතිහාසයේ දර්ශනය හා සම්බන්ධ ක්‍රියාවලිය’ ලෙස ද හැදින්වෙයි. ආර්. ජී. කොලින්වුඩ් ඉතිහාසඥයාට අනුව ඓතිහාසික දර්ශනයට විෂය වන්නේ ‘අතීතය තනිවම’ හෝ ඒ ගැන ඉතිහාසඥයාගේ චින්තනය තනිවම නොව ‘අන්‍යෝන්‍ය සබැඳියාවෙන් යුත් ඒ දෙක’ ම ය. මෙම සංකල්පයන් දෙක ම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැදුණු ක්‍රියාදාමයක් වන බව අවබෝධ කර ගත යුතු ය.

ඉතිහාසය අධ්‍යනයේ දී ඉතිහාසඥයාට තොරතුරු අවශ්‍ය වන අතර ඔහු එම තොරතුරු ලබා ගන්නේ ඓතිහාසික මූලාශ්‍ර මගිනි. ලෝකයේ කුමන හෝ රටක ඉතිහාසය ගොඩනැගීමේ දී ප්‍රමාණවත් ලිඛිත ඉතිහාස කරුණු නොමැති අවස්ථාවල දී ඒ සඳහා පාදක කර ගනු ලබනුයේ ඓතිහාසික මූලාශ්‍රයෝය. දේශීය-විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර, නාණක මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි දී වැදගත් අගයක් ලබා දේ. ඉහතින් දක්වන ලද ආකාරයට මෙම ඓතිහාසික මූලාශ්‍ර ශිල්‍ර්පීය ක්‍රමවේදයට අයත් වේ. මෙම මූලාශ්‍ර මඟින් බහුවිධ සංඥා නිකුත් කරන අතර ඉතිහාසඥයා එම සංඥා ග්‍රහණය කර ගන්නා ආකාරය අනුව නැතහොත් ඒවා අර්ථ නිරූපනය කරන ක්‍රියාවලියේදී ඉතිහාසඥයා සංකල්පීය ක්‍රමවේදය උපයෝගී කර ගනු ලැබේ. මේ අනුව ඉතිහාසය යන්න තේරුම් ගැනීමේ දී ශිල්පීය මෙවලම් හා සංකල්පීය මෙවලම් අතර සම්බන්ධය ඉතාමත් ම ප්‍රයෝජනවත් වේ. මෙහි දී ඉතිහාසයේ දර්ශනය එහි ක්‍රමවේදයට බලපාන ආකාරයත්, ක්‍රමවේදය දර්ශනයට බලපාන ආකාරයත් අවබෝධ කර ගත යුතු ය.

ඉතිහාසය ගොඩ නැගීමේ ක්‍රියාවලියේදී ඉතිහාසඥයාට අත්‍යාවශ්‍ය ම මෙවලම් සම්ප්‍රදායන් කීපයක් ඇති අතර එමගින් අතීත මානවයාගේ ඓතිහාසික ක්‍රියාකාරකම් මැනවින් අධ්‍යනය කිරීමට වර්තමාන ඉතිහාසඥයාට හැකි වනු ඇත. ඉතිහාසය ගවේෂණය කළ හැකි අකාර කීපයකි.

එනම්;

1.     අතීතය දෙස බැලීමට ඓතිහාසික මූලාශ්‍ර උපයෝගී කර ගත හැක.

2.     අතීත කරුණු නිවැරදි දැයි විමසා බැලීමට හැකි වීම.

එලෙස ඉතිහාසඥයා ප්‍රායෝගිකව

    ඓතිහාසික කරුණු                 ඉතිහාසඥයා ‍විසින් ගෙනහැර දැක්වීම            ඉතිහාසය

‍මෙලෙසින් ඓතිහාසික මූලාශ්‍රවලට හිමි වූ වැදගත් කම ඒකාකාරී ව පැවතුණ දෙයක් නොවීය. 20වන සියවසේ දී පමණ මූලාශ්‍රවලට පෙර තිබූ වැදගත්කම අඩු වී ඒවා විචාරයට බඳුන් කිරීමේ වැදගත්කම මතු විය. ඒ මතු වූ වැදගත් ඉතිහාස රචනා සම්ප්‍රදායක් නියෝජනය කළ පිරිසක් වූ ඉන්ද්‍රියානුවාදීන් දැක්වූවේ ‘ස්වභාව විද්‍යාවන්හි ප්‍රගුණ කරන ලද ඇතැම් පර්යේෂණ ක්‍රම ඉතිහාස ක්‍රම තුළට ආදේශ කර ගත යුතු බවයි. ඉතිහාසය යනු ඉතිහාසඥයා නිම වූ දෙයකි. ඉතිහාසය ලිවීම සඳහා නියම ලෙසින් ම සිදු වී යැයි එක්රැස් කර ගන්නා ඓතිහාසික සිද්ධි යනු ඉතිහාසඥයා මූලාශ්‍රවලින් ලබාගත් දේ ම නොව ඔහුගේ විචාරාත්මක චින්තනයේ ප්‍රතිඵලයයි” යනුවෙන් කොලින්වුඩ් ප්‍රකාශ කරන ලදි. නමුත් නැවතත් 1980 දශකයේ සිට ඉතිහාස ශික්ෂණය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස නව විද්‍යාත්මක ක්‍රමවේද ඉතිහාසයට එක් වූ අතර එමගින් අතීත මානව දැනුම පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනයන් විද්‍යාත්මක ලෙස ගොඩ නගමින් වඩා විශ්වසනීය නිගමනවලට එළඹීමේ ඉඩ ප්‍රස්ථා විවෘත විය. ඒ අනුව ඉතිහාසඥයා විසින් ඉතිහාසය ගොඩ නැගීමේ ක්‍රියාවලියේදී සිදු වන්නේ අතීත මානව දැනුම පිළිබඳ ව නව මත ඉදිරිපත් කිරීම බව අවබෝධ කර ගත හැක.

ඉහතින් දක්වන ලද කරුණුවලට අනුව පෙනී යන්නේ ඉතිහාසය හා ඉතිහාසඥයා අතර අවියෝජනීය සබඳතාවක් තිබෙන බවයි. එම සබඳතාවයේ ඇති ප්‍රබලත්වය මත ගොඩනැගෙනු ලබන ඉතිහාසය නිරන්තරයෙන් ම සත්‍ය හා නිරවද්‍යභාවයෙන් යුක්ත වන ආකාරයක් දැකිය හැක. මේ හේතුවෙන් ම ඉතිහාසය විෂය තුළ ඉතිහාසඥයාට වැඩි කාර්යභාරයක් මෙන් ම සුවිසේශීත්වයක් හිමිවන බව අවබෝධ කර ගත හැක. ඊ. එච්. කාර් වැනි ඉතිහාසඥයන් මෙන් ම කොලින්වුඩ් වැනි විද්වතුන් ද ඉතිහාසඥයාගේ භූමිකාවේ ඇති වැදගත්කම මතුකර දැක්වීමට මෙන් ම ඉතිහාසඥයාගේ කාර්යභාරය ශක්තිමත් කරලන්නට අදාළ න්‍යායාත්මක පදනම ගැන අවධාරණය කර ඇත. එම නිසා ඔවුන්ගේ මතවාදය වන්නේ ඉතිහාසය කියවීමට පෙර ඉතිහාසඥයා කියවිය යුතු බවයි.

ඊ. එච්. කාර් වරක් ප්‍රකාශ කලේ “ඉතිහාසඥයාගේ කාරිය අතීතයට පෙම් කිරීමවත්, තමා අතීතයෙන් මිදීමවත් නොව වර්තමානය තේරුම් ගන්නට යතුර වශයෙන් අතීතය ජයගෙන තේරුම් ගැනීම වන බවයි.” ඉහත ක්‍රියාකාරකම් සනාථ කරන ප්‍රකාශයක් කාර්ල් මාක්ස්ගෙන් ගෙන හැර දැක්විය හැක. ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ “මානව ඉතිහාසය නිම වෙන්නේ මිනිසුන් විසින්මය” බවයි. එය තවදුරටත් අර්ථකතනය කළ ඔහු පැවසූවේ මානව ඉතිහාසය මිනිසුන් විසින් නිමවන නමුත් ‘ඔවුන් එය නිමවන්නේ තමන්ට අභිමත ආකාරයට නොවන බවයි. කෙසේ වෙතත් ඉහත අදහස් විමසීමේ දී ගම්‍ය වන පොදු කාරණයක් වටහා ගත හැකි වේ. එනම් ඉතිහාසඥයා විසින් අතීත මානව දැනුම පිළිබඳ අධ්‍යයනය කර එමගින් යහපත් අනාගතයක් නිර්මාණය කර ගැනීමට අඩිතාලම සපයා දෙනු ලබන බවයි.

මෙයින් ගම්‍ය වන්නේ එම ඉතිහාසය හෙවත් එම ලේඛනයෙන් මතු කරන ඓතිහාසික පදනම, නිවැරදිව තේරුම් ගැනීමට නම් එම ඉතිහාසය ලියනු ලැබූ ඉතිහාසඥයා ගැන ද තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය වන බවයි. අතීතයත් වර්තමානයත් එක්තැන් කරනු ලබන පුද්ගල සාධකය වන්නේ ඉතිහාසඥයා බව අවබෝධ කර ගත යුතු වේ. අතීත ගුණයට, නූතන ගුණය එක් කිරීමේ දැවැන්ත කාර්යය සිදු කරනු ලබන්නේ ඉතිහාසඥයා ය. අප තෝරා ගනු ලබන කාලය හා අවකාශය මඟින් නිශ්චිත අතීතය හඳුනාගත හැක. එම නිශ්චිත අර්ථය යනු සැකයකින් තොරව විමසීමට ඇති හැකියාවයි. එම අර්ථය නිරන්තරයෙන් ම නිරවද්‍යතාව සමඟ බද්ධ වී ඇත. ඒ හේතුවෙන් ඉතිහාසඥයා ඉතාමත් ස්ථාවර පදනමකින් සිය අදහස්, සිය මතවාදයන් ආදිය අතීතයෙන් ලැබෙන දත්ත මඟින් වඩා ශක්තිමත් ව ගොනු කරන්නට මෙන් ම ඉදිරිපත් කරන්නට උනන්දු වන අතර එමගින් යම් නිශ්චිත නිගමනයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබේ.

නූතනය තුළ ගොඩ නැගෙන ලෝකය නිවැරදි හඳුනාගන්නාතෙක්, නූතන මානවයාට, නූතනය පිළිබඳ ව කතිකාවක් ගොඩනැගිය නොහැක. ඒ අනුව ඉතිහාසඥයාගේ කාර්යභාරය වී ඇත්තේ ඍජු හා වක්‍ර ලෙසින් දායකත්වය ලබා දී නූතන මානවයා අතීත දැනුමෙන් පොහොසත් කිරීමයි. මන්ද යත් නූතනය හැඩ ගැසී තිබෙන්නේ අතීත මානවයාගේ දියුණුවේ ප්‍රතිඵලයන් ලෙසින් වීමයි. නූතනය සැම විට ම අතීතයට බද්ධ වී පැවතීම හේතුවෙන් අතීතයත්, වර්තමානයත් අතර සංවාදයක් ගොඩනගනු ලබන්නේ ඉතිහාසඥයායි. එම සංවාදය සෑම විටක ම නූතන මානවයාට, නූතනය තුළ සිය පැවැත්ම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සකස් කර ගැනීමට අදාළවනවා මෙන් ම අතීත උරුමය පවත්වාගෙන යමින්, දියුණු කරමින් අනාගතය වෙත සම්ප්‍රේෂණය කරලීමේ වගකීම නූතන මානවයාට ලබා දෙන්නේ ද ඉතිහාසඥයා ය. මෙහිද’ පැන නගින මූලික ගැටලූවක් නම්, ශික්ෂණයත් ලෙසත්, භාෂා ව්‍යවහාරයක් ලෙසත්, අධ්‍යයන ධාරාවක් ලෙසත් ඉතිහාසය සැකස’‍මේද’, ඉතිහාසඥයෙකුගේ මැදිහත්වීම අවශ්‍යය වන්නේ ඇයිද යන්නයි. එහිද’, සමස්ත යටගියාව හඳුනාගැනෙන්නේ මානවයා සම්බන්ධයෙනි. මානවයා සම්බන්ධයෙන් සමස්ත යටගියාවම හැදෑරිය නොහැකි බැවින් හැදෑරිය හැක්කේ ‍තෝරාගත් කොටසක් පමණි. සමස්ත යටගියාව දැකගත හැකි වුවද ඉන් ලැබෙන ප‍්‍රයෝජන නූතන මානවයාට සම්පේ‍්‍රෂණය කිර’ම සිදු වන්නේ ඉතිහාසඥයා විසින් වන බැවින්  ඉතිහාසඥයෙකුගේ කාර්යයභාරය මෙහිද’ මූලිකවේග

PK

HK

PMK

 PK = Past Knowledge. (අතීත දැනුම)

HK = History Knowledge. (ඉතිහාස දැනුම)

PMK = Present Modern Knowledge. (වර්තමාන දැනුම)

නූතන මානවයාගේ අතීතය අවභාවිතය හෝ නොදැනුවත්කම මත අනාගතයක් සාර්ථක ලෙස ගොඩනොනැගෙන අතර නිරන්තරයෙන් මානවයා අතීතයෙන් තොරවන ප්‍රමාණය අනුව ඔහුගේ අසාර්ථකත්වය ද වර්ධනය වේ. අතීත සිදු වීම් සිදු වූ අයුරු, ඊට හේතු වූ සිදු වීම් සමඟ නූතන මානවයා එක්තැන් වීම සමඟ එබඳු ප්‍රයත්නයන් අභියෝගයක් ලෙස නොගෙන එයට සාර්ථක ලෙස මුහුණ දීමටත් හා ඉදිරියට යාමටත් ඉතිහාසඥයා විසින් සිදු කර මානසික තෙරපුම ඉතා වැදගත් වේ. ඒ අනුව පෙනී යන මූලික ම කරුණ වන්නේ ඉතිහාසය ගොඩනැගීමේ කාර්යයදී ඉතිහාසඥයාගේ මැදිහත් වීම අත්‍යාවශ්‍ය වන බවයි. මන්ද යත් මානවයාට තම අනාගතය සාර්ථකව නිර්මාණය කර ගැනීමට නම් අතීතය දෙස තම අවධානය යොමු කළ යුතු වීමත් එලෙස මානවයාට අනවශ්‍ය තොරතුරු ඉවත් කරමින් අවශ්‍ය තොරතුරු ලබා දීමේ කාර්යය සිදු කරනු ලබන්නේ ඉතිහාසඥයා විසින් වීමත් ය. එබැවින් ඉතිහාසයට යම් කිසි වැදගත් කමක් ලැබෙන්නේ නම් එහි මූලික කාර්යය ඉටු කරන්නා වන ඉතිහාසඥයාට ද එවැනි ම ගෞරවයක් හිමි විය යුතු වේ. එනම් ඉතිහාසඥයෙක් නොමැතිව ඉතිහාසය ගොඩ නැගිය නොහැකි අතර එවිට ඉතිහාසයට කිසිදු වටිනාකමක් ද හිමි නොවේ. ඉන් පැහැදිලි වන්නේ ඉතිහාසඥයෙකුගෙන් තොරව ඉතිහාසයක් නොමැති බවයි.


No comments:

Post a Comment