01. හැඳින්වීම.
02. ආර්ථීක වෙනස්කම්.
02.1. වාණිජ භෝග ව්‍යාප්තිය.
කෝපි වගාවේ වර්ධනය.
තේ වගාවේ වර්ධනය.
02.2. ග්‍රාමීය ආර්ථිකයේ ඇති වූ වෙනස්කම්.
02.3. ගමනාගමනයේ හා පණිවිඩ හුවමාරුවේ වර්ධනය.
03. සමාජීය වෙනස්කම්.
03.1. පන්ති සමාජයක් ඇති වීම.
කම්කරු පන්තියක් ඇති වීම.
ව්‍යාපාරික පන්තියක් ඇති වීම.
04. සමාලෝචනය.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.
01. හැඳින්වීම.
යටත් විජිතවාදී ආර්ථික හා සමාජ විපරිවර්තනයන් ලංකාව තුල සිදුවීම ආරම්භ වූයේ 16වන සියවසේ ආරම්භයේ සිට ය. පෘතුගීසි හා ලන්දේසි යුගයන්හි දී ලංකාවේ මුහුදු බඩ කලාප කෙරෙහි බටහිර යුරෝපා රටවල සමාජීය හා ආර්ථික රටාවන් ක්‍රමයෙන් කාන්දු විය. නමුත් එම කිසිදු බලයකටවත් ලංකාවේ සියලු ම ප්‍රදේශ යටත් කර ගැනීම හැකියාවක් නොලැබීම හේතුවෙන් ආරම්භයේ දී ලාංකේය සමාජය තුල සිදු වූ ආර්ථික හා සමාජ වෙනස් සීමා සහිත විය. මන්ද යත් දේශීය සංස්කෘතියේ නියෝජනය ඒ වන විටත් ලංකාවේ මධ්‍ය ප්‍රදේශයේ ආරක්ෂිත ව පැවතීමයි. 1815දී බ්‍රිතාන්‍යයන් විසින් කන්ද උඩරට ප්‍රදේශ අල්ලා ගන්නා තෙක් ම අනෙකුත් කිසිදු ආක්‍රමණිකයෙකුට එම ප්‍රදේශ යටත් කර ගැනීමට නොහැකි විය. බ්‍රිතාන්‍යයන් පවා 1803දී පළමු වතාවට ඉතා ප්‍රබල හමුදා ව්‍යාපාරයක් මෙහෙයවමින් උඩරට ආක්‍රමණය කිරීමට දරන ලද උත්සහයේ ප්‍රතිඵලය වූවේ ඔවුන්ට ඉතා බියජනක පරාජයකට මුහුණ දීමට සිදු වීමයි. නමුත් 1815දී බ්‍රිතාන්‍යයන් අනුගමනය කල කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගය හේතුවෙන් කිසිදු බාධාවකින් තොරවම උඩරට තම ග්‍රහණයට ගැනීමට ඉංග්‍රීසීන් සමත් විය. බ්‍රිතාන්‍ය කාලය තුල ලංකාව තුල දේශීය නියෝජනය යටපත් වී ගොස් ඒ වෙනුවට ඉංග්‍රීසි සම්ප්‍රදායට ප්‍රමුඛත්වය ක්‍රමානුකූලව ලැබෙන්නට විය.
බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන් සතු ව පැවති පහත රට ප්‍රදේශ අල්ලා ගන්නා ලද්දේ 1796 වර්ෂයේදීය. එම ආරම්භක කාලයේදී බ්‍රිතාන්‍යය ප්‍රතිපත්තිය වාණිජවාදී අවශ්‍යතා මත සකස් විය. පසුව 1815දී උඩරට රාජ්‍ය යටත්වීමත් සමඟ සමස්ත ලංකාව ම බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය. එලෙස ලංකාව යටත් කර ගැනීමෙන් අනතුරුව බටහිර යුරෝපා ආර්ථික හා සමාජ ලක්ෂණ විශාල වශයෙන් ලංකාව තුල ස්ථාපනය වන්නට විය. ඒ අනුව ලංකාව, යුරෝපයේ පිහිටා තිබූ බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාමත පුළුල් වූ පරිවර්තනයකට ලක්වන්නේ 19වන සියවස තුලදීය. ඒ අනුව තේ, පොල්, රබර් හා කෝපි යන වාණිජ භෝග ආශ්‍රිත වතු වගාවන් ආරම්භ වූ අතර එම භෝග රට තුල ප්‍රවාහණය කිරීම මූලික අභිප්‍රාය කර ගනිමින් රට පුරා පැතිරුණු මහා මාර්ග පද්ධතියක් ද ඇති විය. ක්‍රමයෙන් වෙළදාම පදනම් කර ගනිමින් නගර ගොඩ නැගීමට අවශ්‍ය පසුබිම සකස් වූයේ ද මෙම වාණිජ භෝග ව්‍යාප්ත වීමේ අතුරු ප්‍රතිඵලයක් වශයෙනි. ඊට අමතරව සමස්ත ලංකාවට ම අදාළ වන පරිදි පොදු පරිපාලන ක්‍රමයක්, නීති ක්‍රමයක් හා ඒකාබද්ධ ආණ්ඩු ක්‍රමයක් ඇති වන්නේ ද බ්‍රිතාන්‍යයන් රට පාලනය කල යුගයේදී ය.
19වන සියවස තුල බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ලංකාවේ වස්තුව කොල්ලකා ගත්තා සේම යටත් විජිත ක්‍රමය සම්බන්ධයෙන් ඓතිහාසික ලෙස වැදගත් සිදුවීම් කීපයක් ද ඇති කරනු ලැබීය. ඒ අනුව ලංකාවේ තිබූ යල් පැන ගිය නිෂ්පාදන ක්‍රම, සමාජ සම්බන්ධතා හා දේශපාලන ක්‍රම අහෝසි කරමින් නවීන ආර්ථික හා සමාජීය පරිසරයක් ඇති කරනු ලැබීය. බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරනු ලැබූ ප්‍රධානතම වෙනස වන්නේ ලාංකේය සමාජය හා ආර්ථිකය ධනේශ්වර ක්‍රමයකට පරිවර්තනය කිරීමයි. නමුත් බ්‍රිතාන්‍ය යුගයේ දී ලංකාවේ ඇති වූ ධනපති ක්‍රමය යුරෝපයේ ඇති වූ ධනපති ක්‍රමය වැනි සම්භාව්‍ය ධනපති ක්‍රමයක් නොවීය. එය ඉතා පරාධීන ක්‍රමයක් විය.
19වන සියවස යනු බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය ඉතා ප්‍රබලව ලංකාවට බලපෑම් කල යුගයක් විය. ඒ අනුව එහි ආර්ථික හා සමාජී යන අංශයන්හී සැකැස්ම හා එම යුගයේදී ඇති ප්‍රධානතම වෙනස්කම් මෙම පැවරුම මඟින් ඉදිරිපත් කිරීමට උත්සහ දරන ලදි. ඒ අනුව පළමු කොටසේ දී 19වන සියවස තුල ලංකාවේ ඇතිවූ ආර්ථික වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කොට ඇති එහි දී වතු වගාවේ වර්ධනය හා දේශීය ගැමි කෘෂිකර්මාන්තයට අත් වූ ඉරණම පිළිබඳව තොරතුරු දක්වා ඇත. දෙවන කොටස මඟින් 19වන සියවස තුල ලංකාවේ ඇති වූ සමාජීය වෙනස්කම් පිළිබඳ තොරතුරු දක්වා ඇති අතර එහි දී ලංකාවේ ඇති වූ ධනේශ්වර ක්‍රමයේ පරිණාමය හා පන්ති සහිත සමාජයක් ඇති වීම කෙරෙහි අවධානය යොමු කොට ඇත.
02. ආර්ථීක වෙනස්කම්.
බ්‍රිතාන්‍යයන් විසින් පහත රට ප්‍රදේශ අල්ලා ගන්නා ගැනීමෙන් පසු එම ප්‍රදේශවල අනුගමනය කරන ලද්දේ වාණිජවාදී ආර්ථික ප්‍රතිපත්තියකි. ඒ අනුව මෙතෙක් පෘතුගීසීන් හා ලන්දේසීන් යටතේ පැවති රජයේ කුරුඳු ඒකාධිකාරය තව දුරටත් බ්‍රිතාන්‍යයන් යටතේ තබා ගත් අතර එතෙක් ලංකාවේ නිෂ්පාදිත වෙළඳ ද්‍රව්‍ය බ්‍රිතාන්‍යය වෙළඳ පොලේ දී අලෙවි කර ඉතා විශාල වශයෙන් ලාබ ලබා ගනු ලැබීය. මෙම වාණිජ ප්‍රතිපත්තිය ප්‍රමාණවත් නොවූ බ්‍රිතාන්‍යයන්ට ලංකාවෙන් තවදුරටත් ලාබ ලබා ගැනීමේ අරමුණින් වාණිජ භෝග හඳුන්වාදෙනු ලැබීය. ඒ සඳහා මූලික පදනම ලංකාව තුල සකස් කරනු ලැබූයේ 1833 සිට ක්‍රියාත්මක වූ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මඟිනි. 1833 වසරේ සිට ක්‍රියාත්මක වූ කෝල්බෲක් ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් ලංකාව තුල නව ආර්ථික රටාවකට පදනම වැටීය. පොදු පිළිගැනීම වන්නේ ශ්‍රී ලංකාවේ යටත් විජිතවාදී නූතන කරණය 1830 වසරේ සිට ක්‍රියාත්මක වූ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ සමඟ ආරම්භ වූ බවයි.
02.1. වාණිජ භෝග ව්‍යාප්තිය.
එතෙක් පැවති ආර්ථික රටාව වෙනස් කරමින් කෝල්බෲක්ගේ යෝජනා මත රජයේ ඒකාධිකාරය අහෝසි කිරීම, රාජකාරි ක්‍රමය අහෝසි කිරීම, ඉඩම් විකිණීම සම්බන්ධයෙන් පැවති නීති ලිහිල් කිරීම, පෞද්ගලික ආයෝජන සඳහා දිරි දීම යනාදිය සිදු කරනු ලැබීය.
කෝපි වගාවේ වර්ධනය.
එම යෝජනා ලංකාව තුල ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය පසුබිම ඒ වන විටත් ලංකාව තුල සකස් වී ඇති බව අවධානය යොමු කිරීමේ දී පෙනී යයි. මන්ද යත් එකල ආණ්ඩුකාරවරයා වූ බාන්ස්ගේ කාලයේදී කරන ලද අත්හදා බැලීම්වල දී පෙනී ගොස් තිබුණේ උඩරට ප්‍රදේශයේ සාර්ථකව කෝපි වගා කිරීමේ හැකියාවක් පවතින බවයි. තවද බාන්ස් ආණ්ඩුකරුගේ කාලයේදී ඉදි කරනු ලැබූ මහා මාර්ග පද්ධතිය, බිහි වෙමින් පැවති නව ආර්ථික රටාවට මහඟු රුකුලක් විය. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන කාලයේදී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳ ද්‍රව්‍ය වූයේ කුරුඳු ය. නමුත් යුරෝපා වෙළඳ පොලේ කුරුඳු සඳහා තිබූ ඉල්ලුම පහත් බැසීමත් සමඟ ලංකාවේ ආයෝජනයට ඉදිරිපත් වූ බොහෝමයක් යුරෝපීය වැවිලි කරුවන් ඉදිරිපත් වූයේ කෝපි වගාව සඳහා ය.
එම ආර්ථික ප්‍රතිපත්ති යටතේ එතෙක් පැවති දේශීය අර්ථ ක්‍රමය පරිහානියට පත් වූ අතර ලංකිකයන්ට යුරෝපීය ව්‍යාපාරිකයන් සමඟ තරඟ කිරීමට හා වාණිජ කටයුතුවල නියැලීමට අපහසු විය. පෞද්ගලික ආයෝජන සඳහා දිරි ගැන්වීමේ ප්‍රතිපත්තිය මත 1833දී ආරම්භ වූ වතු වගාව සඳහා ප්‍රථමයෙන් ම ආයෝජනය සඳහා ඉදිරිපත් වූයේ ඒ වන විට ලංකාවේ බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවයේ නිරත ව සිටි සිවිල් නිලධාරීන් හා විශ්‍රාමික යුරෝපීය නිලධාරීන් ය. එහි දී රජයේ වියදම් අවම කිරීමේ අදහසින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ක්‍රමානුකූලව අවම කල අතර ඒ වෙනුවට ඔවුන්ට පෞද්ගලික ව්‍යවසායවල නිරත වීමට අවසර ලබා දෙනු ලැබීය.
1823දී පමණ ජෝර්ජ් බර්ඩ් නම් ඉංග්‍රීසි ජාතිකයෙක් මහනුවර අවට කෝපි වගාව සඳහා ඉඩම් සකස් කරනු ලැබූ අතර එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකරුගේ කාලයේදී ඔහු විසින් පෞද්ගලිකව ම ගන්නෝරුව ප්‍රදේශයේ කෝපි වගා කරනු ලැබීය. ඉතා සුළු වශයෙන් ආරම්භ වූ කෝපි වගාව කෝල්බෲක් ප්‍රතිසංස්කරණ සමඟ විශාල වශයෙන් ව්‍යාප්ත වන්නට වූයේ 1840න් පසුව ය. කෝපි වගාව යනු මහා පරිමාණ වෙළඳ බෝග වගාවකට රට හුරු කල පළමු අවස්ථාව වේ. මෙලෙස කෝපි වගාව සඳහා තිබූ අවධානය වර්ධනය වූයේ එංගලන්ත වෙළඳ පොළේ ලංකා කෝපිවලට තිබූ ඉල්ලුම ඉහල යාමයි. ඒ සඳහා බලපෑ කාරණා කීපයක් වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තුළ වහල් ශ්‍රමය අවලංගු කිරීම නිසා බටහිර ඉන්දීය කොදෙව්වල කෝපි වගාව පරිහානියට පත් වීම, බටහිර ඉන්දීය කොදෙව්වලින් හා ආසියානු ප්‍රදේශවලින් බ්‍රිතාන්‍යයට අපනයනය කරන තීරු බදු සමාන කිරීම මඟින් ලංකා කෝපිවලට බදු අඩු කිරීම, යුරෝපීය රටවල කෝපි පානය ජනප්‍රිය වීම, උඩරට ප්‍රධාන නගර සම්බන්ධ කරමින් මහා මාර්ග තැනීම නිසා ප්‍රවාහන ගාස්තු ක්‍රමයෙන් අවම වීම, කෝපි වගාව පිළිබඳ සාර්ථක ක්‍රමවේද අත්හදා බැලීම යනාදියයි.
ආරම්භයේ දී කෝපි වගාව සඳහා විකුණන ලද්දේ ආණ්ඩුව සතු ඉඩම් ය. කෝපි වගාව ව්‍යාප්ත වීමත් සමඟ ඒ සඳහා ඉඩම් තව තවත් අත්‍යාවශ්‍ය විය. එලෙස ඉඩම් ලබා ගැනීමේ දී ඉඩම්වල අයිතිය පිළිබඳ අර්බුද ද ඇති විය. රජය විසින් මීට විසඳුමක් ලෙස යොදා ගනු ලැබූයේ 1840දී සම්මත කරනු ලැබූ මුඩු බිම් පනතයි. එමගින් පෞද්ගලික අයිතිය නීත්‍යනුකූල ඔප්පු කළ නොහැකි වගා නොකළ සියලු ම ඉඩම් රජය සතු වන බව තීරණය කරනු ලැබීය. එලෙස පවරා ගත් ඉඩම් යුරෝපීය වැවිලි කරුවන්ට විකුණන ලද්දේ ඉතා සොච්චම් මිලකට ය. නමුත් උඩරට ප්‍රදේශයේ සිටි ජනයා එම ඉඩම් සැලකුවේ තමන්ට චාරිත්‍රානුකූල ව හිමි වූ ඉඩම් ලෙසය. ඔවුන් විසින් හේන් ගොවිතැන් හා ගවයන්ට තණකොළ කැවීම සඳහා යොදා ගන්නා ලද්දේ එම ඉඩම් ය.
රාජකාරි ක්‍රමය අහෝසි කිරීම මඟින් කෝල්බෲක් කොමිසම විසින් අපේක්ෂා කරනු ලැබුවේ වතු වගාවට අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීමයි. නමුත් ස්වයංපෝෂිත ජීවන තත්ත්වයකට පුරුදු ව සිටි ශ්‍රී ලාංකිකයන්ට කුලියට වතුවල වැඩ කිරීම මදි කමක් විය. ඊට අමතරව අඩු වැටුපට ශ්‍රමය සපයා ගත හැකි ශ්‍රමිකයන් දකුණු ඉන්දියාවෙන් ලබා ගත හැකි වීම හේතුවෙන් ලංකාව තුල සැලකිය යුතු ලෙස දකුණු ඉන්දීය ජාතිකයන්ගේ සංඛ්‍යාව වර්ධනය විය. නමුත් කෝපි වතුවල අස්වැන්න නෙළීම සඳහා ස්ථීර කම්කරුවන් අවශ්‍ය නොවීම හේතුවෙන් ඉන්දියානු කුලී ශ්‍රමිකයන් ලංකාවට පැමිණියේ කෝපි අස්වනු නෙළන සමයේ දී පමණි.
නමුත් 1844දී එංගලන්තයේ ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් ලංකාවේ කෝපි කර්මාන්තය මහත් සේ පාඩු ලබන තත්ත්වයකට පත් විය. ඒ හේතුවෙන් රජයේ ආදායම ශීඝ්‍ර ලෙස අඩු විය. ඊට පිළියමක් වශයෙන් එවකට ආණ්‍රඩුකාරයා වූ ටොරින්ටන් සාමිවරයා සුනඛ බද්ද, මාර්ග බද්ද, ඔරු බද්ද, තුවක්කු බද්ද ආදී බදු වර්ග රාශියක් පනවනු ලැබීය. මෙම වැඩ පිලිවෙලට දේශීයයන් මහත් සේ විරෝධය දැක්වූ අතර එම විරෝධය උග්‍ර වී 1848දී ඉංග්‍රීසි විරෝධී සටනක් ද ආරම්භ විය. කෙසේ වෙතත් එම කැරලි කෝලාහල තත්ත්වයන් මර්දනය කොට තම වැඩ පිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට රජය සමත් විය. 1852 සිට 1860 දක්වා කාලය තුල ආණ්ඩුව වැවිලිකරුවන්ට විකුණන ලද ඉඩම් ප්‍රමාණය අක්කර 121036ක් විය. 1852දී කෝපි වගාව යටතේ පැවති ඉඩම් ප්‍රමාණය අක්කර 57885ක් වූ අතර 1866 වන විට එය අක්කර 160,000ක් විය. 1853 වන විට යහපත් තත්ත්වයට පත් කෝපි වගාව එහි උච්ඡස්ථානයට පත් වූවේ 1867 පමණ වන විට ය. 1852දී අපනයනය කල කෝපි ප්‍රමාණය හොණ්ඩර 372,370ක් වූ අතර එම වසරේ කෝපි වගාවෙන් ලබා ගත් ආදායම පවුම් 692,893ක් විය. 1865දී එය හොණ්ඩර 9,277,440ක් පමණ වූ අතර එහි ආදායම 2,345,532ක් දක්වා වර්ධනය විය.
නමුත් 1871දී කෝපි වගාවට වැළඳුණ හැමිලියා වැස්ටාට්‍රික්ස් (Hemileia Vastatrix) නම් දිලීර රෝගයක් නිසා කෝපි වගාව ශීඝ්‍රයෙන් පරිහානියට පත් වන්නට විය. 1833 සිට ම වතු වගා අර්ථ ක්‍රමය යටතේ විවිධ බෝග ලංකාව තුල අත්හදා පැවතියත් කෝපි වගාවෙන් අධික ලාබ ලැබීම හේතුවෙන් අනෙකුත් බෝග කෙරෙහි දැක්වූ අවධානය අවම විය. නමුත් කෝපි වගාව පරිහානියට පත් වීමත් සමඟ වෙනත් වාණිජ බෝග කෙරෙහි අවධානය ක්‍රමයෙන් යොමු විය. එහි දී කෝපිවලට ආදේශකයක් ලෙස අවධානය යොමු කරන ලද්දේ සිංකෝනා කෙරෙහි ය. සිංකෝනා පැළෑටිය වැදගත් වූවේ මැලේරියා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ගනු ලැබූ ක්වීනින් නමැති ඖෂධය නිෂ්පාදනය සඳහා පමණි. 1870 වන විට සිංකෝනා සඳහා යෙදවූ භූමි ප්‍රමාණය අක්කර 500ක් පමණ වූ අතර 1880 වන විට එය අක්කර 45,000ක් දක්වා වර්ධනය විය. බෙහෙත් නිෂ්පාදනය සඳහා පමණක් යොදා ගත් බැවින් සිංකෝනා පැළෑටියේ ඉල්ලුම ලන්ඩන් වෙළඳපළේ සැලකිය යුතු ලෙස වර්ධනය නොවූ අතර සැපයුම අධික වීමත් සමඟ 1878දී සිලිම් 12 පැන්ස 6ක් වූ සිංකෝනා අවුන්සයක මිල 1890වන විට අවුන්සයක මිල සිලිම් 1 දක්වා පහළ බසින්නට විය. සිංකෝනා හා කොකෝවා වගාව පුළුල් වාණිජ වතු ව්‍යාපාරයක් වශයෙන් යොදවා ගැනීම සාර්ථක නොවීම මත රජය හා වැවිලිකරුවන් තේ වගාව කෙරෙහි තම අවධානය යොමු කරන්නට විය.
තේ වගාවේ වර්ධනය.
1875දී තේ වගාව සඳහා යොදා ගත් මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 500ක් පමණ විය. 1886වන විට එය අක්කර 1,64,728 දක්වා වර්ධනය විය. මෙතරම් කෙටි කාලයක් තුල තේ වගාව වර්ධනය වීමට බලපාන ලද එක් හේතුවක් වූයේ කෝපි වගා කල නොහැකි උස් බිම් ප්‍රදේශවල පවා තේ වගා කිරීමට හැකි වීම, කෝපි වගාවට හානි සිදු වන නිවර්තන වර්ෂාපතනය තේ සඳහා යෝග්‍ය වීම, මේ වන විට එංගලන්ත වෙළඳපොළේ තේ සඳහා තිබූ ඉල්ලුම ඉහල යෑම යන සාධකයි. 1890වන විට ලංකාවට වැඩි ම ආදායමක් ලබා දුන් අපනයන බෝගය වූවේ තේ ශාකයයි. කෝපි මෙන් නොව තේ වගාව සඳහා ස්ථාවර කම්කරුවන් අවශ්‍ය වූ අතර දකුණු ඉන්දීය ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් ලංකාවේ පදිංචි වීම මේ හේතුවෙන් සිදු විය. 19වන සියවසේ අවසානය වන විට එංගලන්තයේ තේ ඉල්ලුම පහළ ගිය අතර ලෝක තේ මිල පහළ බසින්නට විය. එය ප්‍රබල බලපෑමක් ලාංකේය තේ නිෂ්පාදනය සඳහා ඇති කරනු ලැබූ අතර ඒ හේතුවෙන් ම නිෂ්පාදන වියදම් අඩු කිරීම, උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනය කිරීම, කාර්යක්ෂම කළමනාකරණයත් මූලික වශයෙන් අරමුණු කර ගෙන එතෙක් පැවති කුඩා තේ වතු ද ඒකාබද්ධ කොට සමාගම් පාලනයට තේ වතු පත් කරනු ලැබීය.
19වන සියවසේ සිදු වූ තේ මිල පහත වැටීමත් සමඟ වැවිලි කරුවන්ගේ අවධානය රබර් වගාව සඳහා ද යොමු විය. ප්‍රථම වරට ලංකාවට රබර් ශාකය හඳුන්වාදෙනු ලද්දේ 1877 වසරේ දී ය. 1890 පමණ වන විට ලාංකිකයන් මෙන්ම බ්‍රිතාන්‍ය වැවිලි කරුවන් ද රබර් වැවීම කෙරෙහි උනන්දු වූහ. ආරම්භයේ දී බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට පමණක් සීමා වූ රබර් වගාව පසුව එම පළාතේ ම අනෙක් ප්‍රදේශවලට ද ඉන් අනතුරුව මධ්‍යම, සබරගමු හා දකුණු පළාත්වලට ද ව්‍යාප්ත විය. යුරෝපයේ මෝටර් රථ කර්මාන්තය වර්ධනය වීමත් සමඟ රබර් ඉල්ලුම ද ශීඝ්‍රයෙන් වර්ධනය විය.
වාණිජ භෝග වගාව හේතුවෙන් මෙතෙක් අපනයන ආර්ථික ක්‍රමයකට සම්බන්ධ නොවී සිටි ප්‍රදේශ ද ක්‍රමයෙන් එම වාණිජ භෝග ආර්ථිකයකට අනුගත වන්නට විය. එමඟින් ලංකාව තුළ වතු වගාව පදනම් කර ගත් ආනයන අපනයන ආර්ථික රටාවකට පසුබිම සකස් වන්නට විය. එහි ප්‍රතිඵලය වූවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අන්තර් ජාතික වෙළඳපොළේ විචල්‍යතා මත රඳා පවතින තත්ත්වයක් ඇති වීමයි.
02.2. ග්‍රාමීය ආර්ථිකයේ ඇති වූ වෙනස්කම්.
ඈත අතීතයේ සිටම ලංකාවේ ප්‍රධාන ආර්ථිකය සකස් වී පැවතියේ ගැමි කෘෂි කර්මාන්තය පදනම් කර ගනිමින් ය. නමුත් රජරට ශිෂ්ටාචාරයේ පරිහානියත් සමඟ ග්‍රාමීය ආර්ථිකය අඩපණ වූ අතර 19වන සියවස වන තෙක් ම එහි කිසිදු වෙනසක් සිදු නොවීය. 19වන සියවස තුළ දී බ්‍රිතාන්‍යයන් ග්‍රාමීය කෘෂිකර්මාන්තය කෙරෙහි දැක්වූ අවධානය ඉතාමත් ම අල්ප විය. ආරම්භයේ දී ෆෙඩ්‍රික් නෝත් හා රොබට් බ්‍රවුන්රිග් වැනි ආණ්ඩුකාරවරු මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව වී වගාව සංවර්ධනය කිරීමට උත්සහ කරන ලද මුත් උඩරට ඈඳා ගැනීමත් සමඟ බ්‍රිතාන්‍යන්ගේ අවධානය වාණිජ භෝග කෙරෙහි යොමු වීමත් සමඟ වී වගාව නැවතත් ක්‍රමයෙන් පිරිහෙන්නට විය.
19වන සියවස අග භාගය වන විට යම් තරමකින් තම අවධානය වාරිමාර්ග ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යොමු කිරීමට බ්‍රිතාන්‍යයන් උනන්දු විය. එහි දී ලංකාවේ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සඳහා මූලිකත්වය ගනු ලැබූවේ හෙන්රි වෝර්ඩ් (1855-60) ආණ්ඩුකරු ය. වොර්ඩ් ආණ්ඩුකරුගේ මෙම ප්‍රතිපත්ති කෙරෙහි එකල බ්‍රිතාන්‍යයේ පැතිරී පැවති මානව හිතවාදී අදහස් ද බලපානු ලැබීය. ඒ අනුව ඔහු විසින් නැගෙනහිර පළාතේ ඉරක්කාමම් වැව ද, අම්පාර ප්‍රදේශය ආශ්‍රිතව ද දකුණු පළාතේ කිරම හා ඌරුබොක්ක නැමති වැව් ද ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. ඊට අමතරව ඌව පළාතේ හා මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා වැව් හා ඇළවල් කීපයක් ද ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. හරිකියුලිස් රොබින්සන් ආණ්ඩුකරු විසින් ලංකාවේ කුඩා වැව් ගණනාවක් ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. ඒ සඳහා ඔහු විසින් 1867 අංක 21 දරණ ආඥා පනත් මඟින් ඉඩම් පංගු කාරයන් කැමති නම්, දැරීමට සිදු වන වියදම අවුරුදු 10ක දී ජල බද්ද මඟින් ලබා ගැනීමේ පදනම යටතේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගනු ලැබීය. 19වන සියවස තුල දී වාරිමාර්ග සංවර්ධනය සඳහා දැඩි උනන්දුවක් දැක්වූ ආණ්ඩුකාරවරයෙකු වූවේ විලියම් ග්‍රෙගරි (1872-1877) ආණ්ඩුකාරවරයායි. ඔහුගේ විශේෂ අවධානය යොමු වූවේ පැරණි රජරට ප්‍රදේශ කෙරෙහි ය. ඔහු විසින් උතුරු මැද පලාත නමින් නව පරිපාලන ඒකකයක් පිහිටුවා එම ප්‍රදේශ තුල ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට පියවර ගනු ලැබීය. ඔහුගේ කාලයේදී රජරට ප්‍රමුඛ වැව් වූ බසවක්කුලම, කන්තලේ වැව, ගල්ගමුව යන වැව් ප්‍රතිසංස්කරණය කරවන ලද අතර රොබින්සන් ආණ්ඩුකරුගේ කාලයේදී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද තිස්සමහාරාම වැවේ කටයුතු අවසන් වූවේ ද ග්‍රෙගරි ආණ්ඩුකරුගේ කාලයේදී ය.
02.3. ගමනාගමනයේ හා පණිවිඩ හුවමාරුවේ වර්ධනය.
බ්‍රිතාන්‍යයන් යටතේ ඇති වූ ආර්ථික අංශයේ තවත් වැදගත් අංශයක් වූවේ ප්‍රවාහන හා පණිවිඩ ක්ෂේත්‍රයේ ඇති වූ වර්ධනයයි. බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කර ගන්නා අවධියේ දී පැවති මහාමාර්ග කීපය ද මුහුදුබඩ පලාත්වලට පමණක් සීමා විය. කන්ද උඩරට ප්‍රදේශයේ හුදකලා භාවය තුරන් කිරීමේ අරමුණින් මෙන්ම කොළඹ, නුවර හා ත්‍රිකුණාමලය යන නගර ඒකාබද්ධ කිරීමේ අරමුණිනුත් ලංකාව තුල මහාමාර්ග පද්ධතියක් ඇති කිරීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කරනු ලැබීය. මෙහි දී ලංකාවේ ප්‍රධානතම මහා මාර්ගය වූ කොළඹ නුවර මහා මාර්ගය ඉදිකිරීම කරවනු ලැබූවේ එඩ්වඩ් බාන්ස් (1820-1822) ආණ්ඩුකාරවරයාගේ කාලයේදී ය. ඊට අමතරව කුරුණෑගල සිට මහනුවර දක්වා ගලගෙදර දුර්ගය ඔස්සේ ද, දඹුල්ලේ සිට මහනුවර දක්වා නාලන්දා දුර්ගය ඔස්සේ ද, අඹේපුස්සේ සිට දඹුල්ල දක්වා අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල හරහා ද මහා මාර්ග ඉදි කෙරිණි. මේ මාර්ග ඉදි කිරීමේ කාර්යයේ දී මේජර් ස්කිනර් හා කැප්ටන් ඩෝසන් පුරෝගාමී ව කටයුතු කල පුද්ගලයන් විය. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පෙර මහා මාර්ග තැනීම සඳහා ශ්‍රමය සපයා ගන්නා ලද්දේ මෙරට පැවති රාජකාරි සේවා ක්‍රමය මාර්ගයෙන් ය.
1850න් පසු මහා මාර්ග වල තත්ත්වය දියුණු කිරීම සඳහා නවීන ක්‍රම යොදා ගන්නා ලදි. ඒ අනුව ගල් සහ තාර යොදා මාර්ග තැනීමේ ක්‍රමය මේ අවදියේ දී ආරම්භ වූ අතර ජල මාර්ග හරහා ලී පාලම් වෙනුවට යකඩ පාලම් තැනීම ද මේ කාලයේ දී ආරම්භ විය. 19වන සියවස අවසාන වන විට ලංකාවේ මහා මාර්ග කිලෝමීටර් 3200ක් පමණ ගල් දමා ශක්තිමත් ව සාදා තිබුණි. මෙසේ මාර්ග පද්ධතියක් ඉදි වීම හේතුවෙන් ඒ ආශ්‍රිතව ජනාවාස ව්‍යාප්තියක් ඇති වූ අතර වැදගත් සන්ධිස්ථාන මුල් කරගෙන කුඩා නගර වර්ධනය වන්නට විය.
ලංකාවේ ප්‍රවාහන අංශයේ සිදු වූ වැදගත් ම වර්ධනය වූයේ දුම්රිය මාර්ග පද්ධතිය බිහි වීමයි. ලංකාවේ දුම්රිය මාර්ග තැනීමේ ආරම්භක පියවර ගන්නා ලද්දේ හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා විසිනි. දුම්රිය මාර්ග ව්‍යාප්තිය බොහෝ සෙයින් ම වතු වගාවේ ව්‍යාප්තිය සමඟ බැඳී පැවතුණි. කොළඹ මහනුවර දුම්රිය මාර්ගය ඉදි කිරීමේ කටයුතු 1858දී ආරම්භ කර 1863දී නිම කරන ලද අතර එය 1871දී පේරාදෙණියේ සිට නාවලපිටිය දක්වා ද 1899දී බණ්ඩාරවෙල දක්වා ද දීර්ඝ කෙරිණි. 1877දී කොළඹ සිට පානදුර දක්වා තනන ලද දුම්රිය මාර්ගය වරින්වර දීර්ඝ කරවන ලද අතර 1895 වන විට එය මාතර දක්වා ද ඉදි කර අවසන් විය. මීට පසු දිවයිනේ සෙසු ප්‍රදේශ ප්‍රධාන වශයෙන් අගනුවර හා සම්බන්ධ කිරීමේ අරමුණ ඇති ව දුම්රිය මාර්ග පද්ධතිය තව දුරටත් ව්‍යාප්ත කෙරිණි.
ලංකාව තුල බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ වන අවදියේ දී පැවති නිල පණිවිඩ හුවමාරු ක්‍රමය වූයේ පුද්ගලයෙකුට කුලියක් දී ඔහු අත ලිපි ලේඛන යැවීමයි. 1815 අවසාන කාලයේ දී පමණ කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල, මහනුවර, යාපනය ආදී නගර සම්බන්ධ කරමින් රාජකාරි තැපැල් සේවයක් ආරම්භ කර තිබුණි. මෙම පණිවිඩ හුවමාරු ක්‍රමයේ වැදගත් වර්ධනයක් ලෙස අශ්ව කෝච්චි මඟින් තැපැල් යැවීම දැක්විය හැකිය. ඒ අනුව ආසියාවේ ප්‍රථම වරට අශ්ව කෝච්චි ධාවනය වූයේ ලංකාවේ වූ අතර එය 1832 වසරේ සිට කොළඹ හා මහනුවර තෙක් සිදු විය. මුල දී තැපැල් ගාස්තු තීරණය වූයේ දුර හා බර අනුව වුවත් 1858 සිට එංගලන්තයේ මෙන් මෙරටෙහි ද පැන්ස තැපැල් ගාස්තු ක්‍රමය ආරම්භ විය. ලංකාවේ තැපැල් මුද්දරය පළමුවෙන්ම ආරම්භ වූයේ 1857දීය. පණිවුඩ සේවාවන් සම්බන්ධයෙන් සිදු වූ අනිකුත් වැදගත් වර්ධනය නම් 1858දී විදුලි පණිවුඩ සේවාව ආරම්භ වීමයි.
03. සමාජීය වෙනස්කම්.
බ්‍රිතාන්‍ය යුගයේ දී ලංකාවේ ඇති වූ සමාජ ක්‍රමය ධනපති ක්‍රමයේ ආරම්භය විය. එය බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට හඳුන්වාදෙන ලද මුත් එය යුරෝපයේ පැවති ධනපති ක්‍රමය හා සමාන නොවීය. දේශීයත්වය අහෝසි කරමින් ලාංකේය සමාජය පරාධීනත්වයක් කරා යොමු කරනු ලැබූ එම ක්‍රමය මඟින් යම්තාක් දුරකට සාම්ප්‍රදායික සමාජයේ දියුණුවක් ද ඇති විය. ඒ අනුව බ්‍රිතාන්‍ය ධනේශ්වර ක්‍රමය හේතුවෙන් සිදු වූ වැදගත් ම සිදුවීම වන්නේ පෙර තිබූ වැඩවසම් ක්‍රමය බිඳ වැටීමයි. ඒ අනුව නවීන සමාජයකට අවශ්‍යය මහාමාර්ග, වාණිජ වතු වගාව, වෙළදාම හා පාසල් අධ්‍යාපනය යන අංශයන්ගේ වර්ධනයක් සිදු විය.
03.1. පන්ති සමාජයක් ඇති වීම.
කම්කරු පන්තියක් ඇති වීම.
බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ තිබූ පැරණි සමාජ ක්‍රමය වෙනස් කිරීමට පෙර පැවති වැඩවසම් ක්‍රමය යටතේ මිනිසුන් තමන් වගා කල ඉඩම වෙනුවෙන් කුලය විසින් තීරණය කරන ලද සේවාවක් කිරීමට බැදී සිටින ලදි. නමුත් බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වාදෙනු ලද නව ක්‍රමය මඟින් ශ්‍රමය මුදලට විකුණන සමාජ ක්‍රමයකට පදනම වැටෙන්නට විය. නමුත් උඩ රට ප්‍රදේශවල ව්‍යාප්ත වූ වාණිජ වතුවල කම්කරුවන් ලෙස සේවය කිරීමට උඩරට ගොවි ජනතාව තුල කැමැත්තක් නොවීය. ඒ හේතුවෙන් ම එම වතුවල වැඩ කිරීමට දකුණු ඉන්දියාවෙන් දමිළ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ඉංග්‍රීසීන්ට සිදු විය. ආරම්භයේ දී පැමිණි දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ගේ අරමුණ වූවේ යම් කිසි කාලයක් ලංකාවේ වතුවල සේවය කොට කිසියම් මුදලක් උපයා ගැනීමෙන් අනතුරුව නැවත තම මව් රට වෙත යාමයි. නමුත් එම අය අතරින් කිසියම් විශාල පිරිසක් නැවත තම මව් රට වෙත නොගොස් ලංකාවේ පදිංචි විය. ඔවුන්ගේ සංඛ්‍යාව ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රමාණයට ද වඩා අධික විය.
උඩ රට ප්‍රදේශයේ ජනතාව වතු වගාව ආශ්‍රිතව සේවය කරන කම්කරුවන් ලෙස කටයුතු කිරීමට කැමති නොවූවද ලංකාවේ පහත රට ප්‍රදේශයේ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙනත් ක්ෂේත්‍රයන් ආශ්‍රිතව කම්කරුවන් බවට පත් වී තිබුණි. 19වන සියවස අවසාන වන විට කොළඹ නගරයේ පමණක් සිටි සාමාන්‍ය කම්කරුවන්ගේ ප්‍රමාණය 19,000ක් පමණ විය. එම කාලය වන විට දුම්රිය මාර්ග ඉදි කිරීම ද ආරම්භ වී තිබුණු අතර සැතපුම් 700ක් පමණ ඉදි කර තිබූ දුම්රිය මාර්ග නඩත්තුව සඳහා පුහුණු කම්කරුවන්ගේ සංඛ්‍යාව 9500ක් පමණ විය. දුම්රිය එන්ජින් වැඩපළවල් නමයෙහි සේවයේ නියුතු යාන්ත්‍රික ශිල්පීන්, යකඩ කම්හල්කරුවන්, වඩුවන්, වෑද්දුම්කරුවන්, බොයිලේරු තනන්නන් ආදීන්ගේ ප්‍රමාණය 2800ක් පමණ විය. දුම්රිය මාර්ග, පාලම් හා ගොඩනැගිලි නඩත්තුව ඇතුළු සිවිල් ඉන්ජිනේරු කටයුතු භාරව සිටි දුම්රිය මාර්ග හා වැඩ දෙපාර්තමේන්තුවේ කම්කරුවන් 4300ක් ද, දුම්රිය ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කම්කරුවන් 200ක් ද සේවයේ නියුක්ත ව සිටින ලදි.
19වන සියවස ආරම්භ වන විට ලංකාවේ මහා මාර්ග සුළු වශයෙන් හෝ ඉදි වී තිබුණේ ඉංග්‍රීසීන් සතු වූ මුහුදුබඩ ප්‍රදේශවල පමණි. බ්‍රිතාන්‍යයන් කන්ද උඩ රට අල්ලා ගැනීමෙන් අනතුරුව ඉදි කල මහා පරිමාණ මාර්ගය ලෙස සැලකිය හැක්කේ 1821දී ආරම්භ කර 1831දී අවසන් කළ කොළඹ-නුවර මාර්ගයයි. ඉන් පසුව ආරම්භ වූ තේ වගාවත් සමග මහා මාර්ග ඉදි කිරීම ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර 1890 අවසාන වන විට ඉදි කරනු ලැබූ මහා මාර්ගවල දිග ප්‍රමාණය සැතපුම් 3145ක් පමණ විය. ඉන් පසු සැතපුම් 1635ක් කළු ගල් දමා සකස් කරන ලද පාරවල් වූ අතර සැතපුම් 965ක් බොරලු අතුරා සකස් කරන ලද පාරවල් විය.
මාර්ග තැනීම හා නඩත්තු කිරීම භාරව තිබූ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සිටි පුහුණු හා නුපුහුණු කම්කරුවන්ගේ ප්‍රමාණය 21,000ක් පමණ විය. කොළඹ වරායෙහි පිහිටි වැඩපොළෙහි සේවයේ නියුතු කම්කරුවන්ගේ සංඛ්‍යාව 1000ක් පමණ විය. ඊට අමතරව කොළඹ නගරයේ වඩුවන් 2800ක්, යකඩ පට්ටල් කරුවන් 2300ක්, මේසන්වරු 1800ක්, වෙළඳ සේවකයෝ 1600ක්, අකුරු අමුණන්නන් හා පොත් බඳින්නන් 950ක්, රන් කරුවෝ 648ක්, ට්‍රෑම් රථ කරුවෝ 180ක්, රික්ෂෝ අදින්නෝ 3600ක්, කරත්තකරුවෝ 2300ක්, ගෘහ සේවකයෝ 17,000ක්, ඇදුම් මසන්නෝ 1450ක්, ලොන්ඩ්‍රි සේවකයෝ 1320ක්, කරණවෑමියෝ 492ක් හා පාවහන් සාදන්නෝ 262ක් සේවයේ නියුක්ත විය.
ලංකාවේ කම්කරුවන්ගෙන් විශාලතම පිරිසක් සේවයේ නිරත ව සිටියේ උඩරට වතු ක්ෂේත්‍රයේ සිටි දකුණු ඉන්දීය දමිළ ශ්‍රමිකයන්ගෙනි. ඔවුන්ගේ සංඛ්‍යාව 19වන සියවස අවසාන වන විට 5,13,467ක් පමණ විය. වැඩි ම නූගත්කමක් තිබුණේ ද වතු කම්කරුවන් අතර ය. ඔවුන් අතර සාක්ෂරතාව පිරිමින් සඳහා 20%ක්ද, කාන්තාවන් සඳහා 1.5%ක්ද විය. ඒ අනුව බැලීමේ දී පෙනී යන මූලික ම කරුණ වන්නේ බ්‍රිතාන්‍යයන් හඳුන්වාදුන් සමාජීය ක්‍රමය තුළ ලංකාවේ කම්කරු ගහනයෙන් බහුතරයක් විදේශිකයන් වූ බවයි.
ව්‍යාපාරික පන්තියක් ඇති වීම.
කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මඟින් දිරි ගන්වන ලද වතු වගාවේ වර්ධනයත් සමඟ ඒ සඳහා යොදා ගැනෙන ඉඩම් ප්‍රමාණය හා කම්කරුවන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වර්ධනය විය. ඒත් සමඟ දේශීය ව්‍යාපාරිකයන්ට එම ක්‍ෂේත්‍රයන්ට අදාළ කටයුතුවලට සම්බන්ධ වීමේ ඉඩ ප්‍රස්ථාව 19වන සියවස අවසාන වන විට වර්ධනය වන්නට විය. වතු වගාව සඳහා කැලෑ එළිපෙහෙළි කිරීමට හා භූමිය සකස් කිරීමට අවශ්‍ය විය. ඉදිකිරීම් සඳහා අවශ්‍ය සැපයුම් ගෙන්වා ගත යුතු ව තිබුණේ කරත්තවලිනි. ඒ සඳහා අවශ්‍ය කම්කරුවන් මුදල් ගෙවා ලබා ගැනීමට උනන්දු වීමත් සමඟ කම්කරුවන් සපයන කොන්ත්‍රාත්කරුවන්ට ද, ප්‍රවාහන සඳහා කරත්ත සපයන කොන්ත්‍රාත්කරුවන්ට ද විශාල ඉල්ලුමක් ඇති විය. ඊට අමතරව වතු ආශ්‍රිත ප්‍රදේශවල සිල්ලර වෙළඳාම සඳහා ද විශාල අවකාශයක් නිර්මාණය වී තිබුණි.
වී ගොවිතැන, ධීවර කර්මාන්තය, පාරවල්, ඇළ මාර්ග හා අරක්කු වෙළඳාම වැනි අංශවල දී රජය විසින් තමන්ට ලැබිය යුතු බදු ප්‍රමාණය එකතු කරන ලද්දේ එය බදු එකතු කරන්නන් හට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීම මඟිනි. ඒ අනුව එය රේන්ද ක්‍රමය නමින් හැඳින්වූ අතර රේන්දය මිල දී ගත් තැනැත්තා ඒ මිල ආණ්ඩුවට ගෙවා ඒ සඳහා ආණ්ඩුවට ලැබිය යුතු බදු ආදායම ජනතාවගෙන් අය කර ගනු ලැබීය. එය ස්වදේශිකයන්ට ධනය උපයා ගැනීමට විවර වී තිබූ වැදගත් ම ක්ෂේත්‍රය වූ අතර අරක්කු රේන්දය ඒ අතරින් වඩාත් ලාබ දායක ම අංශය විය. ඒ අනුව මෙම අවස්ථා ප්‍රයෝජනයට ගත් ස්වදේශීය පිරිස ලංකාවේ ධනපති පන්තිය බවට පත් විය. ඔවුන් හා රටේ අනෙකුත් සාමාන්‍ය ජනතාව අතර පරතරය ක්‍රමයෙන් වර්ධනය වූ අතර එම දේශීය ධනපතීන්ගේ ජීවන තත්ත්වය බොහෝ විට ඉංග්‍රීසීන්ගේ ජීවන ක්‍රමයට සමාන විය. මුලදී පහතරට මුදලිවරු මෙම පන්තියේ ප්‍රමුඛයන් විය. ඔවුන් ලන්දේසි යුගයේදී ලන්දේසීන්ට පක්ෂපාතී ව කටයුතු කරමින් රජයේ විවිධ තනතුරු හා නම්බු නාම හිමි කරගත්තවුන් වූ අතර ඉංග්‍රීසි යුගයේදී ඉංග්‍රීසීන්ට පක්ෂව කටයුතු කිරීම හරහා ඉංග්‍රීසීන්ගෙන් ද විවිධ වරප්‍රසාද හිමි කර ගනු ලැබීය. බොහෝ විට එම පිරිස් එංගලන්ත ක්‍රිස්තියානි ආගම අදහන්නන් වූ අතර ඉංග්‍රීසි භාෂාව කතා කරන, ඉංග්‍රීසි සිරිත් විරිත් අනුගමනය කරන්නන් විය.
මෙලෙස ධනවත් වූ ස්වදේශ පවුල් වූයේ ඔබේසේකර, ඩයස් බණ්ඩාරනායක, ඉලංගකෝන්, ද අල්විස්, ලිවේරා, පීරිස් හා සිරිවර්ධන යන පවුල් ය. ඔවුන්ගේ එම පවුල් අතර අන්තර් විවාහ සිදු කර ගැනීම හරහා ව්‍යාපාරික වශයෙන් ද අන්‍යෝන්‍ය ලෙස එකට සම්බන්ධ වී සිටින්නට විය. 1818දී ඇති වූ ඌව වෙල්ලස්ස කැරැල්ලේ දී මෙම ස්වදේශික ධනපති පන්තියේ සහය හිමි වූවේ ඉංග්‍රීසීන්ට ය. ඒ හේතුවෙන් ම කැරැල්ල අවසානයේ උඩරට ජන ප්‍රධානීන්ගෙන් අහිමි කරනු ලැබූ සෑම වරප්‍රසාදයක් ම පාහේ හිමි වූවේ මෙම පිරිසට ය. නමුත් මෙම ස්වදේශීය ධනපතීන් උඩරට ප්‍රදේශවල තිබූ වාණිජ භෝග වගාව සඳහා ඍජුව සම්බන්ධ වීමට උත්සහ නොකළ නමුත් වැවිලි භෝගයක් ලෙස තම උනන්දුව දැක්වූවේ පහතරට පොල් වගාව කෙරෙහි ය. තමන්ට තිබූ නිල බලය උපයෝගී කොට ගෙන පොල් වගාව සඳහා අවශ්‍ය ශ්‍රම ශක්තිය නොමිලයේ ම පහතරට ගම්මුන්ගෙන් ලබා ගැනීමට සමත් වූ අතර රජයේ ඉඩම් විකුණන අවස්ථාවලදී මෙන්ම තමාගේ නිල බලයෙන් ද ඉඩම් අත්පත් කර ගැනීමට මෙම පිරිසට හැකි විය.
මෙම දේශීය ධනපති පන්තිය විසින් තමන්ගේ නිල බලය හා අනෙකුත් වරප්‍රසාද මත සමස්ත ලංකාවේ ම විශාල ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කීමට සමත් විය. එම පවුල් සතු වූ ඉඩම් ප්‍රමාණයන් පහත ආකාරයෙන් දැක්විය හැක.
පවුල සතු වූ ඉඩම් ප්‍රමාණය (අක්කර)
ජේ. පී. ඔබේසේකර. 1,334
ඩී. එස්. එච්. බණ්ඩාරනායක. 2,100
එස්. ක්‍රිස්ටෝපල් ඔබේසේකර. 1,400
හෙන්රි ඩයස්. 2,178
ජෝන් ඒබ්‍රහම් පෙරේරා. 1,928
ජේම්ස් ද අල්විස්. 1,202
එකතුව 10,142
යාපනයේ දෙමළ සමාජයේ සිටි ප්‍රභූන් වූ පොන්නම්බලම් හා කුමාරස්වාමි යන පවුල් ද ඉහතින් දක්වන ලද ආකාරයට සිංහල මුදලි පවුල් හා සමාන විය. බ්‍රිතාන්‍ය පාලනයට පක්ෂපාතී ව සිටීමේ ප්‍රතිඵලයක් ලෙස නාම කරණයෙන් ව්‍යවස්ථාදායකයට පත් වීමේ ඒකාධිකාරී අවසරය තිබුණේ ද මෙම පවුල්වලට පමණි. මෙලෙසින් සකස් වූ දේශීය ධනවතුන්ගෙන් බහුතරය සිංහල ප්‍රජාවෙන් සමන්විත වූ අතර දෙමළ ප්‍රජාව හා මුස්ලිම් ප්‍රජාව සාපේක්‍ෂව බොහෝ සෙයින් අල්ප විය. සිංහල ධනේශ්වර පන්තියේ බහුතරය සමන්විත වූවේ ද පහතරට සිංහලයන්ගෙන් වීම විශේෂිත වේ. සිංහල ප්‍රභූ පැලැන්තිය හා සැසඳීමේ දී දෙමළ ප්‍රභූ පැලැන්තිය ප්‍රමාණයෙන් කුඩා වීමට බලපාන ලද එක් සාධකයක් වූවේ වාණිජ භෝග වගාව සතු ධනේශ්වර සංවර්ධනයේ බලපෑම ප්‍රබලව බලපානු ලැබූවේ සිංහල ජනතාව ජීවත් වූ පහතරට ප්‍රදේශවලට වීමයි. ඒ අනුව පහතරට සිංහලයන්ට විවර වූ ඉඩ ප්‍රස්තා උතුරේ වූ දමිළ ප්‍රජාවට හිමි වූවේ ඉතාමත් ම අල්ප ලෙසය. එලෙස දකුණේ සිංහල ප්‍රජාව විවර වූ ව්‍යාපාරික අවස්ථා ප්‍රයෝජනයට ගෙන ධනවත් වන විට උතුරේ දෙමළ ප්‍රජාව ඒ සඳහා යොදා ගනු ලැබූවේ අධ්‍යාපනයයි. ඔවුන්ට ඒ සඳහා විශාල පිටිවහල් විය හැකි ආකාරයට ගුණාත්මක පාසල් පද්ධතියක් මිෂනාරි ව්‍යාපාර හේතුවෙන් ලැබී තිබුණි. සමස්තයක් ලෙස බැලීමේ දී පෙනී ගිය කාරණයක් වූවේ දකුණේ සිංහල ප්‍රජාවට සාපේක්ෂව උතුරේ දෙමළ ප්‍රජාව ඉංග්‍රීසි අධ්‍යාපනයේ දී ඉදිරියෙන් සිටින්නට විය. එම යුගයේ බැංකු සමඟ ගනුදෙනු කරන ව්‍යාපාරිකයන්, අතරමැදියන් හෝ බ්‍රෝකර්වරුන් ලෙස ක්‍රියාකරනු ලැබුවන්ගෙන් බහුතරය යාපනයේ දමිළ ජනතාව විය. ඊට අමතරව යාපනයේ උගත් ජනතාව ලංකාවේ රාජ්‍ය සේවයට පමණක් නොව මැලේසියාවේ, බුරුමයේ හා ඉන්දියාවේ රාජ්‍ය සේවයට ද බඳවා ගැනීමට තරම් උගත් ප්‍රජාවක් විය. ලංකා දෙමළ ජනතාවගේ අනුපාතිකය 11.54ක් පමණ වූ අතර වෘත්තීයවේදීන් අතර ඔවුන්ගේ අනුපාතිකය 24.6%ක් පමණ විය.
මුස්ලිම් ප්‍රජාව 19වන සියවස තුළ දී තම වැඩි අවධානයක් දැක්වූවේ කෘෂිකර්මයටත්, අධ්‍යාපනයටවත් නොව වෙළදාම කෙරෙහි ය. මුස්ලිම් ජනවර්ගය වෙළදාමට ලැදි කමක් දැක්වූ ජන වර්ගයක් වුවද ආගමික නීති රීතීන් මත අරක්කු වෙළදාමට සම්බන්ධ නොවීය. එකල ලංකාවේ මැණික් ක්ෂේත්‍රය අදාලව ඒකාධිකාරය රඳා පැවතියේ මෙම මුස්ලිම් ප්‍රජාව මතය. එම කාලයේ මුස්ලිම් ධනවතුන් අතරින් ප්‍රමුඛතම පුද්ගලයන් කීප දෙනා වූවේ මොහොමඩ් මාකන් මාකර්, අබ්දුල් ගෆූර් හා ඒ. එම්. චප්පේ මරික්කාර් යන පුද්ගලයන් ය. ප්‍රමාණයෙන් කුඩා වුවද ඔවුන්ට ලාංකේය ධනේශ්වර ක්‍රමය තුල සැලකිය යුතු ඉඩ ප්‍රස්ථාවක් විවර ව පැවතිණ.
අධ්‍යාපනයේ දී ඉදිරියෙන් ම සිටි ජනවර්ගය වූවේ බර්ගර් ජනතාවයි. ඉංග්‍රීසි භාෂාව කතා කළ ක්‍රිස්තියානි ආගම ඇදහූ අපරදිග මිශ්‍ර ජාතියක් වන බර්ගර් ජනතාව රාජ්‍ය සේවය හා විද්වත් වෘත්තීන් කෙරෙහි පමණක් උනන්දුවක් දක්වන ලද පිරිසක් විය. බර්ගර්වරුන්ගේ ජන අනුපාතිකය 1%ක් පමණ වුවද වෘත්තීයවේදීන් අතර ඔවුන්ගේ අනුපාතිකය 31.8ක් පමණ විය.
විද්වත් වෘත්තිකයන් ජන වර්ගය අනුව. (19වන සියවස අවසාන වන විට)
ජන වර්ගය සංඛ්‍යාව ප්‍රතිශතය ජනගහනයේ ජනවර්ග අනුපාතිකය
පහතරට සිංහල 349 30.40 43.11 %
උඩරට සිංහල 349 30.41 43.11 %
සිංහල 364 41.0 67.54 %
ලංකා දෙමළ 214 24.1 11.54
බර්ගර් 282 31.8 0.67
මුස්ලිම් 16 1.0 6.57
වෙනත් 9 1.0
885 100.0
ඉහතින් දක්වන ලද දර්ශකය අනුව විද්වත් වෘත්තිකයන් ගණයට අයත් වූවේ වෛද්‍ය, නීතිඥ, මිනින්දෝරු, වෙන්දේසිකාර, තක්සේරුකාර හා ඉංජිනේරු යන වෘත්තීන්ය.
ලාංකේය ධනපති පන්තිය තුල බෙදීම් ගණනාවක් තිබූ බව ද දැකිය හැක. එම පිල් බෙදීම සඳහා පදනම් වූයේ වර්ගය, කුලය හා ආගමයි. එම ප්‍රජාව පන්තියක් ලෙස පොදුවේ එක්සත් ව කටයුතු කල අවස්ථා මෙන්ම වර්ගය හෝ කුලය මුල් කොට ගෙන බෙදුණු අවස්ථා ද බොහෝමයක් ඇත. ඔවුන් අතර සිංහල හා සිංහල නොවන ලෙස බෙදීමක් තිබුණු අතර සිංහල ප්‍රජාව අතරද ගොවිගම හා ගොවිගම නොවන ආකාරයෙන් බෙදීම් ද තිබුණි. දෙමළ ප්‍රජාව අතර ද වෙල්ලාල හා හීන කුල ලෙස පැහැදිලි බෙදීමක් තිබුණි.
කෙසේ වෙතත් බටහිර සමාජවල පැවති අකාරයට 19වන සියවස තුළ දී වර්ධනය වූ ධනේශ්වර ක්‍රමය තුලින් නිෂ්පාදන මාර්ගවලට හිමිකම් කියන ධනපති පන්තියක් හා මුදලට ශ්‍රමය විකුණන කම්කරු පන්තියක් බිහි වුවද පැරණි වැඩවසම් ක්‍රමය ද, ඉඩම් හිමි පන්තිය හා ඔවුන්ට කුලය විසින් නියම කරන ලද වැඩවසම් සේවාවක් කරන ගැමි ජනතාවක් ද රටේ තවදුරටත් සිටින්නට විය. ඒ ජන සංඛ්‍යාව ධනපති ක්‍රමයට මාරු වී සිටි ජන සංඛ්‍යාව තරම් ම විශාල විය.
04. සමාලෝචනය.
19වන සියවස යනු බ්‍රිතාන්‍ය අධිකාරිය ක්‍රමානුකූලව ලංකාව තුළ මුල් බැස ගත් අතර වතු ආර්ථිකය ස්ථීර පදනමක් මත ස්ථාපිත විය. මූල ද්‍රව්‍ය නිෂ්පාදකයෙකු ලෙස ලංකාව ධනවාදී ලෝක ආර්ථිකයට ඇතුලත් වූවේ මෙම වකවානුවේ දී ය. විශේෂයෙන් ම 1833දී සූත්‍ර ගත කරනු කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ මඟින් යුරෝපීය නූතනත්වය ලංකාවට එන්නත් කිරීමේ ඓතිහාසික කාර්යභාරය සිදු විය. ඒ අනුව මෙම අවධිය ලංකාව තුල විප්ලවීය වෙනස්කම් රාශියක් ඇති වූ යුගයක් වූ බව හඳුනා ගත හැකිය. යටත් විජිත ආර්ථීක, සමාජීය හා දේශපාලන රාමුව ස්ථීර ලෙස සකස් වූවේ ද මෙම යුගයේදී ය.
බ්‍රිතාන්‍ය ආධිපත්‍ය හේතුවෙන් ලංකාවේ ඇති වූ ධනේශ්වර පරිවර්තනයත් සමඟ පැවති වැඩවසම් නිෂ්පාදන ක්‍රමයේ හා වැඩවසම් නිෂ්පාදන සම්බන්ධතාවල විශාල වෙනස්කම් ඇති විය. ක්‍රමයෙන් ලාංකේය ජනතාව මෙතෙක් පරිභෝජනය සඳහා පමණක් කල නිෂ්පාදනයන් පරිභෝජනයට අමතරව වෙළදාම සඳහා ද යොමු වන ප්‍රවණතාවක් ඇති වූවේ 19වන සියවසේ සිදු වූ මෙම ආර්ථීක හා සමාජීය වෙනස්කම් සමග ය. ඉඩමට බැදී සිටි ගොවීන්ට හා හස්ත කාර්මිකයන්ට අවශ්‍ය නම් එම බැදීම්වලින් ඉවත් ව මුදලට ශ්‍රමය විකුණන කම්කරුවන්ගේ තත්ත්වයට පත් වීමේ අවස්ථාව ද උදා විය. කුල ක්‍රමයට තිබුණු සමාජ පිළිගැනීම කුමක් වූවද සියලු දෙනා ම සමානයන් ලෙස සලකන තත්ත්වයක් ක්‍රමයෙන් ඇති විය. ඒ සමඟ කුලය විසින් නියම කරන ලද සේවාවෙන් ඉවත් වී වෙනත් රැකියාවක නිරත වීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථා ද මෙකල ඇති විය. පාසල් ක්‍රමයේ ව්‍යාප්තිය නිසා අකුරු උගත්කම වර්ධනය වූ අතර පුවත් පත් කියවන ජනතාවක් ඇති විය.
වර්තමානයේ දී ලංකාව මුහුණ දී ඇති බොහෝමයක් ගැටලුවල ආරම්භය මෙන්ම බටහිර දියුණු මෙන් ම නොගැළපෙන ලක්ෂණයන්හී ආභාෂයද මෙකල ඇති විය. ලංකාව මුහුණ දී ඇති අපනයන, ආනයන ආර්ථිකයේ අස්ථිර බවත්, ගොවි ජනතාවගේ ඉඩම් සාගතයත්, දකුණු ඉන්දීය ශ්‍රම බලකායේ ප්‍රශ්නයත් යන සියල්ල ම එකල ඇති වූ ආර්ථීක හා සමාජ ව්‍යුහයේ ප්‍රතිඵලවල අහිතකර බලපෑම් ය. ශ්‍රී ලංකාවේ ධනේශ්වර සංවර්ධනයටත් එහි පැවැත්මත් තහවුරු වූවේ මෙම යුගයේදී ය. පෞරාණිකත්වය හා නූතනත්වයේ සංකලනයෙන් යුක්ත වන අර්ධ වැඩ වසම් ආර්ථීක හා සමාජීය ලක්ෂණ ඉස්මතු වූවේ ලංකාව තුල ඉස්මතු වීම 19වන සියවස තුල ආරම්භ වූ බව ඉහතින් දක්වන ලද තොරතුරු අධ්‍යනයේ දී අවබෝධ කර ගත හැක. ලංකාවේ ආර්ථීක හා සමාජ ක්‍රමයන් පැවති වැඩවසම් ක්‍රමයේ සිට ධනේශ්වර ක්‍රමය දක්වා පරිවර්තනය වීමේ ක්‍රියාවලිය සිදු වූවේ බාහිර සාධක මත මිස අභ්‍යන්තර සාධක මත නොවීය. ඒ නිසා ඇති වූ පරිවර්තන ක්‍රියාවලිය සමාජය කෙරෙහි බලපෑවේ මුළුමනින් ම නොව අර්ධ වශයෙනි. සමාජයේ එක කොටසක් ඒකාග්‍ර වන විට තවත් කොටසක් බෙදී සිටියේ ය. සමාජයේ එක් කොටසක් ප්‍රජාතන්ත්‍රවාදී වන විට තවත් කොටසක් වැඩවසම්වාදී විය. මෙම ආකල්ප ලාංකේය සමාජයේ ඒකාබද්ධතාව ආරක්ෂා කර ගැනීම වර්තමානය දක්වා ම ගැටලුවක් බවට පත් වී ඇත. ඒ අනුව පෙනී යන්නේ ලාංකේය ධනේශ්වර ක්‍රමයේ දෙබිඩි බව හා යටත් විජිත ධනේශ්වර සංවර්ධනයත්, පශ්චාත් යටත් විජිත සංවර්ධනයේ පදනමත් මෙම යුගයේ ඇති වූ ආර්ථික හා සමාජ වෙනස්කම්වල ප්‍රතිඵලයන් වන බව මෙයින් අධ්‍යනය කර ගත හැකි බවයි.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.
අයිවන්, විකටර්. ලංකාව ගලවා ගැනීම, මහරගම: රාවය ප්‍රකාශන, 2013.
අයිවන්, වික්ටර්. අර්බුදයේ අන්දරය (1815 - යටත් විජිත යුගයේ සිට 2009 - ඊලාම් යුද්ධයේ අවසානය දක්වා), තෙවන මුද්‍රණය. මහරගම: රාවය ප්‍රකාශන, 2012.
අයිවන් වික්ටර්, දෙමළ අභියෝගය. මහරගම: රාවය ප්‍රකාශන, 2012.
කරුණාදාස, ඩබ්ලිව් එම්., තුන්වන ලෝකයේ දේශපාලනය හා ආර්ථිකය., දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 2003.
ක්‍රිෂ්ණා, ශන්කර්., ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුම තුළ ඉන්දියාවේ භූමිකාව., කොළඹ: මාර්ග ආයතනය, 2001.
ජයවර්ධන, කුමාරි., සොක්කන් ලොක්කන් වූ වගයි., කොළඹ: සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, 2014.
ජයසුමන, චන්න සුදත්., දෙමළ ජනතාවගේ සංක්ෂිප්ත ඉතිහාසය., බොරලැස්ගමුව: සී/ස (පෞද්) විසදුනු ප්‍රකාශකයෝ, 2009.
බණ්ඩාර , නවරත්න., රාජ්‍ය නිර්මාණය සහ ජාතික ඒකාබද්ධතාව පිළිබඳ ගැටලු. වෙළුම V වෙළුම, පරි. ශ්‍රී ලංකේය ඉතිහාසයහි පරිච්ඡේදය 2, සංස්කරණය කළේ එම්. යූ. ද සිල්වා, 53-88. කොළඹ: සී/ස ඇම්. ඩී. ගුණසේන සහ (පුද්ගලික) සමාගම, 2012.
බණ්ඩාරගේ, අසෝක., ශ්‍රී ලංකාවේ යටත්විජිතවාදය., කොළඹ: ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන, 2005.
විජේනායක, අමරසිරි. එදා සිට අද දක්වා මෙදෙස් විදේස් දේශලාන වෙනස් වීම්, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002.
විජේසිංහ, තිස්ස., දෙමළ සිංහල ඓතිහාසික විකාශනය පිළිබඳ නව කියවීමක්(මහාචාර්ය කේ.ඉන්ද්‍රපාල විසින් රචිත The Evolution of an Ethnic Identity කෘතිය ඇසුරෙන්)., නුගේගොඩ: සංහිද ප්‍රකාශකයෝ, 2009.
වෙත්තමුනි, විජයසිරි., සරල සිංහල මහාවංසය, කොළඔ: කතෘ ප්‍රකාශක, 2010.
සිල්වා, ප්‍රේමකුමාර ද. “සමාජ විද්‍යා විචාර රචනා.” තුළ සොක්කන් ලොක්කන් වූ වගයි., ප්‍රේම කුමාර ද සිල්වා විසින්. කොළඹ: සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, 2009.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - සිව් වන කොටස. බත්තරමුල්ල: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2007.
“ශ්‍රී ලංකාවේ සාධනීය දේශපාලන සංස්කෘතියක් සඳහා පුරවැසි සහභාගීත්වයල හා මැතිවරණ නිරීක්‍ෂණය.” People's Action for free and Fair Elections, 2014: 01-09.
ශ්‍රී ලාංකේය ඉතිහාසය, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012.
No comments:
Post a Comment