පෘතුගීසීන් පෙරදිගට පැමිණීමට ප්‍රධාන වශයෙන් ම සාධක කීපයක් හේතු වූ බව පෙනී යයි. ඉන් ප්‍රධානතම සාධකය වූවේ වෙළඳාමයි. 15වන හා 16වන සියවස්වල දී යුරෝපය හා ආසියාව අතර සැලකිය යුතු වෙළඳාමක් පැවති අතර දකුණු හා අග්නිදිග ආසියානු රටවලින් එකතු කර ගන්නා ලද කුරුඳු, වසාවාසි, සාදික්කා හා ගම්මිරිස් වැනි කුළු බඩු හා ඇත් දත්, ඉටි වර්‍ග, මුතු මැණික්, වන සතුන්, සතුන්ගේ හම් වර්‍ග සහ තෙල් ආදිය මෙම වෙළදාමේ දී ප්‍රධාන විය. මෙම වෙළදාම අත් පත් කර ගැනීමේ අරමුණින් ආසියාවට අවතීර්ණ වූ පෘතුගීසීන් ඉන්දියාවටද, අනතුරුව ශ්‍රී ලංකාවටද අවතීර්ණ වූ බව පොදු පිළිගැනීමයි. පෘතුගීසීන් මෙහි පැමිණෙන විට ලංකාවේ පාලන තන්ත්‍රය රජු වටා කේන්ද්‍රගතව පැවතිණ. රජු වෙනුවෙන් ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ කටයුතු මෙහෙය වීම සඳහා රජු විසින්ම පත් කරන ලද නිලධාරි මණ්ඩලයක් කෝට්ටේ යුගයේ දී ක්‍රියාත්මක විය. එම ක්‍රමය බැලූ බැල්මට ඒකාධිපති ස්වරූපයක් ඉසිලුවද, තමන්ට අවැසි දෑ රජුගෙන් ඉටුවන බවට විශ්වාසයක් රටවැසියන් තුළ තිබුණි.
ආරම්භයේ දී පෘතුගීසීන් ලංකාවේ රජු සමඟ වෙළඳ ගිවිසුම් ඇති කර ගන්නා ආකාරයක් දැකිය හැකිය. රජු එම ගිවිසුම්වලට එකඟ වූයේ පෘතුගීසීන් සතු ව තිබූ නාවික හා යුධ බලයට බියෙනි. ඒ හේතුවෙන් ම එම ගිවිසුම් වලින් කොට්ටේ රාජ්‍යයට කිසිදු වාසියක් අත් නොවීය. පෘතුගීසීන් ලංකාවට පැමිණි මුල් අවධියේ ඔවුන් ව ඉතා සුහද ශීලීව පිළිගැනීමට ලාංකිකයන් ඉදිරිපත් වුවත් පෘතුගීසීන් සතු වූ විජිගීශක අභිප්‍රායන් හේතුවෙන් පෘතුගීසීන්ට එරෙහිව කොට්ටේ රාජ්‍ය තුළ විරුද්ධත්වයන් වර්ධනය විය. වරෙක 9වන පරාක්‍රමබාහු රජු පෘතුගීසීන්ට පක්‍ෂව කටයුතු කළ බව කීවත් සැබෑ ලෙස ම ඔහු පෘතුගීසීන්ට විරුද්ධව කටයුතු කර ඇත. පෘතුගීසීන් ලංකාවට පැමිණියේ යුධ නැවි වලින් වන අතර ඔවුන් සතුව වඩා දියුණු හා භයානක අවි ආයුධ තිබිණ. ලංකාවට පැමිණීමට පෙර සිටම පෘතුගීසීන් ඉන්දියාවේ කැලිකට් රාජ්‍යයට විරුද්ධව ඉතා ද්වේශ සහගත ලෙස කටයුතු කර තිබූ අතර කොචින් හී වෙළඳ මධ්‍යස්ථානයක්ද පිහිටුවාගෙන තිබිණ. රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමත් සමඟ ලංකාව වැඩිපුර ම වෙළඳ සම්බන්ධතා පවත්වනු ලැබූයේ දකුණු ඉන්දියාවේ ඉහත කී ප්‍රදේශ සමඟය. නමුත් පෘතුගීසීන්ගේ මෙම විරුද්ධවාදී කම් හේතුවෙන් ලංකාවේ විදේශ වෙළඳාමට බදා ඇති වූ අතර යම් යම් අවස්ථාවලදී පෘතුගීසීන්ගේ අණ පරිදි දකුණු ඉන්දීය සබඳතා අත්හිටු වීමට ද කෝට්ටේ රාජ්‍යයට සිදු විය.
විශේෂයෙන්ම ලංකාවට හිතවත් ව සිටි කැලිකට් රාජ්‍යයට විරුද්ධව පෘතුගීසීන් ගෙන ගිය දාමරික කම් පිළිබඳව ලංකාවේ රජු ව දැනුවත් කිරීමට මුස්ලිම් වෙළඳුන් කටයුතු කරන ලද බව එවකට රචනා වූ ලාංකේය මෙන් ම පෘතුගීසි මූලාශ්‍රවලින් ද අනාවරණය වේ. තවද කොළඹ වැනි ප්‍රදේශවලින් කෙරුණු කෝට්ටේ වෙළඳාම කඩාකප්පල් කිරීමට පෘතුගීසීන් උත්සහ දැරීම හේතුවෙන් පෘතුගීසීන් කෙරේ ලාංකිකයන් තුළ තිබූ අප්‍රසාදය තවදුරටත් වර්ධනය විය. පෘතුගීසි වාර්තාවලට අනුව 1517-18 අතර කාලයේදී කොළඹ තිබූ වෙළඳ ගබඩාව පෘතුගීසීන් විසින් කෝට්ටේ රාජ්‍යයේ කිසිදු අනු දැනුමක් නොමැතිව ම බලකොටුවක් බවට පරිවර්තනය කරන ලදි. ඒ හේතුවෙන් කෝට්ටේ රාජ්‍යයේ 6වන විජයබාහු රජු පෘතුගීසීන්ට විරුද්ධව කටයුතු කරනු ලැබීය. මේ කාලයේදී ලංකාවේ වෙළදාම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූයේ මුස්ලිම් වෙළඳුන්ය. එම තත්ත්වය මුස්ලිම්වරුන්ට හිමි වූයේ වෙළඳාම සම්බන්ධව ලංකාවෙන් පිටත තිබූ සම්බන්ධතා, ඔවුන් සතු වූ ප්‍රාග්ධනය හා දක්ෂතා හේතුවෙනි. පෘතුගීසීන්ගේ කටයුතු හේතුවෙන් වැඩිපුර ම අසහනයට පත් වූයේ මුස්ලිම්වරුන්ය. එමෙන්ම පෘතුගීසීන් සිතුවේ කෝට්ටේ රජු පෘතුගීසීන්ට විරුද්ධව පොළඹවාලන්නේ මුස්ලිම්වරුන් බවයි. ඒ හේතුවෙන් ලංකාව තුළ මුස්ලිම් ජාතිකයන් මර්දනය කිරීමේ ව්‍යාපාරයක් පෘතුගීසීන් විසින් දියක් කරන ලදි. පෘතුගීසීන්ගේ මෙම දාමරික කම්වලට විරුද්ධව කටයුතු කිරීම සඳහා ලාංකේය රජවරුන් කැලිකට් හී සැමොරින්ගේ ආධාර ලබා ගැනීමට උත්සහ දරන ලදි. සැමොරින් (Zamorin) යනු කැලිකට් හී පාලකය හැදින්වීමට යොදා ගත් අභිධානයකි. “සමුද්‍රී” හෙවත් “සමුද්‍රයට අධිපති බලයක් ඇත” යන්න එහි අර්ථය වේ. නමුත් බොහෝමයක් සටන්වල දී පළපුරුදු හා දරුණු අන්දමින් ක්‍රියා කිරීමේ හැකියාවකින් යුත් නාවික හමුදාවකින් පෘතුගීසීන් සමන්විත වීම හේතුවෙන් නිතරම ඔවුන් සමුද්‍ර සටන්වල දී ජයග්‍රහණය කලහ. නමුත් රට අභ්‍යන්තර සංග්‍රාමවල දී පෘතුගීසීන්ට විශාල පරජයන්ට මුහුණ දීමට සිදු විය. මන්ද යත් ඔවුන්ගේ නැවි වල තිබූ කාලතුවක්කු වලින් පිටවෙන උණ්ඩ ගමන් කරන දුරට වඩා වැඩි දුරක් සටන් කිරීමට පෘතුගීසීන්ට තිබූ නොහැකියාවයි. ලාංකේය හමුදාවන්ගේ ගරිල්ලා (Guerrilla) ප්‍රහාර හෙවත් සැඟව සිට එල්ල කරන ලද ප්‍රහාරවලට මුහුණ දීමට පෘතුගීසීන් අසමත් විය. පෘතුගීසි ජාතික කතෝලික පූජකයෙකු වූ ක්වේරස් ප්‍රකාශ කරන ආකාරයට “එක් අවස්ථාවකදී සිංහල රජුගේ ප්‍රහාර හමුවේ පෘතුගීසි හමුදා බේරුණේ ඉර වෙනදාටත් කලින් බැස යාම හේතුවෙනි.” මෙය බොහෝ විට සූර්යග්‍රහණයක් ඇති වූ අවස්ථාවක් විය හැක. පෘතුගීසීන්ට පරාජයන් අත් වූ සෑම අවස්ථාවකදීම ඔවුන් නිදහසට ඉදිරිපත් කළ තර්කය වූයේ එය මුස්ලිම්වරුන්ගේ කටයුතු හේතුවෙන් සිදු වූ බවයි.
පෘතුගීසීන්ට ඉමහත් වාසි ගෙන දුන් සිදුවීමක් වන විජයබා කොල්ලය 1521 දී, සිදු වූවේ මෙවැනි වකවානුවකය. රාජාවලිය හා පෘතුගීසි ලේඛන ආදියට අනුව විජයබා රජුගේ පුතුන් තිදෙනා වූ බුවනෙකබාහු, රයිගම් බංඩාර හා මායාදුන්නේ යන කුමාරවරු විසින් තමන්ට හිමි රාජ්‍ය උරුමය ලබා ගැනීම සඳහා ඇති කරන ලද කැරැල්ල මෙනමින් හැදින්වේ. කැරැල්ල අවසානයේ විජයබා රජු ඝාතනයට ලක් වූ අතර කෝට්ටේ රාජ්‍ය කුමාරවරු තිදෙනා අතරේ බෙදී යන ලදි. මුලදී කුමාරවරු තිදෙනා අතර පැවති හිතවත් සබඳතාව කෙටි කාලයක් තුළ විරසකයක් බවට බත් වන ආකාරයක් දැකිය හැක. මෙයට ප්‍රධානතම හේතූන් වන්නට ඇත්තේ මායාදුන්නේ යටතේ සීතාවක රාජ්‍ය ක්‍රමයෙන් ශක්තිමත් වීමත්, බුවනෙකබාහු රජු විසින් තමාගෙන් පසු රාජ්‍ය උරුමය තම දියණියගේ පුත්‍රයා වූ ධර්මපාල කුමාරයාට පැවරීමට අදහස් කිරීමත් විය හැක. කොට්ටේ මෙන් ම අනෙක් ප්‍රදේශවල ද පැවති සම්ප්‍රදාය වූයේ රජ වූ අයගෙන් පසු උරුමය බාල සොහොයුරාටත්, සොහොයුරෙක් නොමැති විට දී පමණක් පුතෙකුට රාජ්‍ය උරුම වීමයි. ඒ අනුව බුවනෙකබාහු රජුගෙන් පසුව රාජ්‍ය උරුමය මායාදුන්නේට හිමි විය යුතු විය. නමුත් ඔහු පෘතුගීසි විරෝධියෙක් වූ බැවින් ධර්මපාල කුමරු රජකමට පත් කිරීමට කුමන්ත්‍රණයක් 1541 දී පමණ ආරම්භ වූ බව එකල දේශීය හා විදේශීය තොරතුරු අධ්‍යනයේ දී අවබෝධ වේ. ධර්මපාලට සිහසුන උරුම කර දීමට නම් පෘතුගීසීන්ගේ ආරක්ෂාව අනිවාර්ය වන බව ද බුවනෙකබාහු රජුට අවබෝධ විය. මේ හේතුවෙන් සීතාවක මායාදුන්නේ රජු කෝට්ටේ සමඟ විරුද්ධවාදී කම් ඇතිකරගත් අතර ශක්තිමත් වන සීතාවක බලය හමුවේ කෝට්ටේ බුවනෙකබාහු රජු පෘතුගීසීන්ගේ ආධාර අපේක්ෂා කරන්නට විය. මේ හේතුවෙන් කොට්ටේ රජ්‍ය තුළ පෘතුගීසි බලය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය විය. මෙය අවස්ථාවක් කර ගත් පෘතුගීසීන් කොට්ටේ රජු ලවා මුස්ලිම්වරුන් පලවා හැරීමට කටයුතු කරන ලදි. මුස්ලිම්වරුන් කෝට්ටෙන් පලවා හැරි විට පෘතුගීසීන්ට තිබූ ප්‍රධානතම අභියෝගය සමනය විය. එවිට තම වෙළඳ කටයුතු ඉතා පහසුවෙන් කර ගැනීමට පෘතුගීසීන්ට හැකි වනු ඇත. බුවනෙකබාහු රජුගේ මෙම මුස්ලිම් විරෝධී හා පෘතුගීසි ගැති පිළිවෙත් හේතුවෙන් මායාදුන්නේ රජු කෝට්ටේ රජ්‍යයට විරුද්ධව කටයුතු කරන්නට විය. මෙහි දී කොට්ටේ බුවනෙකබාහු පෘතුගීසීන්ගේ සහයද, සීතාවක මායාදුන්නේ කැලිකට් රාජ්‍යයේ සහයද ලබා ගන්නා ලදි. මෙම බොහෝමයක් සටන්වල දී පෘතුගීසි සහය ලද කෝට්ටේ රාජ්‍ය ජයග්‍රහණය හිමි කර ගත්හ.
කෙසේ වෙතත් පෘතුගීසි බලය හමුවේ කොට්ටේ රාජ්‍ය තුළ බුවනෙකබාහු රජුගේ බලය දුර්වල වූ අතර ධර්මපාල කුමාරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ද පෘතුගීසීන්ට පැවරීමට රජුට සිදු විය. මේ හේතුවෙන් ම ධර්මපාල රජු පෘතුගීසි ගැත්තෙකුගේ තත්ත්වයට පත් විය. කෙසේ වෙතත් බුවනෙකබාහු රජු යම් යම් ඍජු ක්‍රියාමාර්ග පෘතුගීසීන්ගේ අමනාපයට හේතු විය. විශේෂයෙන්ම මුලදී බුවනෙකබාහු රජුට සීතාවක විනාශ කර දැමීමට පෘතුගීසීන්ගේ බලය යොදා හැකි වුවද ඔහු එසේ නොකළේය. මේ හේතුවෙන් 1550-51 අතර කාලයේදී පෘතුගීසි භටයෙකුගේ වෙඩි ප්‍රහාරයක් හමුවේ බුවනෙකබාහු රජු කැලණිය මාලිගේ සඳළුතලයෙදී ඝාතනයට ලක් විය. මෙම ක්‍රියාව හේතුවෙන් කෝට්ටේ වැසියන් විශාල ප්‍රමාණයක් මායාදුන්නේ රජු හා එක් වූ අතර අපොන්සෝ ද නොරඤ්ඤෝ නම් පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයාගේ නියෝගය අනුව පෘතුගීසි භටයන් කෝට්ටේ රජ මාලිගාව කොල්ල කන ලදි. පෘතුගීසීන් විසින් ධර්මපාල කුමාරයා කොට්ටේ රජු ලෙස පත් කරන ලද අතර 1555දී දොන් ජුවාන් ධර්මපාල ලෙස බෞතීෂ්ම කරවනු ලැබීය.
ධර්මපාල රජුගේ තත්ත්වය ආරක්ෂා කරමින් කටයුතු කරනු ලැබූවේ ඔහුගේ පියා වූ වීදිය බණ්ඩාර විසිනි. ඔහු එහි දී සීතාවක ආක්‍රමණවලට මුහුණ දෙමින් පෘතුගීසීන්ගේ දාමරික කම්වලට විරුද්ධව ක්‍රියා කරන ලදි. කෝට්ටේ රජ්‍යයට සුළු හෝ රටවැසියන් ප්‍රමාණයක් පක්ෂපාතී ව කටයුතු කරනු ලැබූවේ නම් ඒ වීදිය බණ්ඩාරගේ නායකත්වය හේතුවෙනි. විදීය බණ්ඩාර තමන්ට තර්ජනයක් බව අවබෝධ කර ගත් පෘතුගීසීන් කෝට්ටේ මාලිගේ සිටි රජුගේ මුර කරුවන් ලවා ඔහුව අත්අඩංගුවට ගන්නා ලද මුත් ඔහුගේ දෙවැනි බිරිඳ වූ කුඩා ටිකිරි කුමරිය විසින් චරපුරුෂයින් හා පල්ලොරුන් යොදවා උමඟක් තනවා වීදිය බණ්ඩාරව බේරා ගන්නා ලදි. ඉන් පසු පස් යොදුන් කෝරලේ පැලෑඳ නම් ප්‍රදේශයට පලා ගිය ඔහු පෘතුගීසීන්ගෙන් පළි ගැනීම සඳහා කතෝලික දේවස්ථාන විනාශ කර දමමින් හා පෘතුගීසි භටයන්ට ප්‍රහාර එල්ල කරන ලදි. පෘතුගීසීන්ගේ පීඩාවට ලක් වූ සිංහල ජනතාව විශාල ලෙස වීදිය බණ්ඩාරගේ සහයට ඉදිරිපත් වූ අතර ඔහුගේ බලය මුළු පස් යොදුන් කොරළය පුරාම ව්‍යාප්ත විය. නමුත් කුඩා ටිකිරි කුමරියට හිර හැර කිරීමත් හා වීදිය බණ්ඩාර විසින් තමාට උදව් කල පස්යොදුන් කෝරලයේ නායකයා ඝාතනය කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අප්‍රසාදය විදීය බණ්ඩාරට එල්ල විය. තවද තම දියණියට හිරි හැර කිරීම සම්බන්ධයෙන් වීදිය බණ්ඩාර වගකිව යුතු යැයි විශ්වාස කළ මායාදුන්නේ රජු ද වීදිය බණ්ඩාරට විරුද්ධව ප්‍රබල ලෙස සටන් කරන්නට විය. පෘතුගීසීන්ගේ හා සීතාවක තර්ජනය හේතුවෙන් යාපනයට පැන ගිය විදිය බණ්ඩාර එහි දී ඝාතනයට ලක් වූ බව රාජාවලියේ දැක්වේ. ඉන් පසු ධර්මපාල කුමාරයාගේ භාර කරුවන් ලෙස ක්‍රියා කරනු ලැබූවේ පෘතුගීසීන්ය. මෙය අවස්ථාවක් කර ගත් පෘතුගීසීන් කෝට්ටේ මාළිගය හා බෞද්ධ විහාර ආදිය විනාශ කරමින් හා කොල්ල කමින් මහත් විනාශයක් නගරය තුළ සිදු කරන ලදි. මේ හේතුවෙන් නගර වැසියන් බොහෝමයක්, කොට්ටේ අතහැර සීතාවක හා අනෙකුත් ප්‍රදේශවලට පාලා යන්නට විය. පොදු ජන සහභාගීත්වයක් නොළත් කොට්ටේ රාජ්‍යයේ ආරක්ෂාව දුර්වල වූ එය අවස්ථාවක් කරගත් සීතාවක මායාදුන්නේ හා රාජසිංහ කොට්ටේ රාජ්‍ය ආක්‍රමණය කරන ලදි.
මායාදුන්නේ රජුගේ හා ඔහු පුත් 1වන රාජසිංහ කුමරුගේ මෙහෙය වීම යටතේ 1562 දී සිදු වූ මුල්ලේරියා සටනින් පසුව ටිකිරි බණ්ඩාර කුමරුගේ මෙහෙය වීම යටතේ සීතාවක සේනා කොට්ටේ රාජධානිය තුළ වූ පෘතුගීසීන්ගේ බලකොටුවට පහර දුනි. මෙම මෙහෙය වීම ඇත්ත වශයෙන් ම බලකොටුව වැටලීමක් විය. කොටුව තුලට කෑම සැපයීම නතර කර එහි සිටි පෘතුගීසීන් දුර්වල කර පසුව සටන් කර වීම එහි අරමුණ විය. මාස ගණනක් ම වැටලීම තිබුණු බවත් අවසානයේ පෘතුගීසීන්ට කොටුව තුළ සිටි බල්ලන් හා බළලුන් පවා මරා කෑමට සිදු වූ බව කියවේ. නමුත් උඩරට රාජ්‍ය විසින් සීතාවක ආක්‍රමණය කිරීම හේතුවෙන් සීතාවක සේනා වහාම සීතාවක ප්‍රදේශයට රැගෙන ගිය අතර එය අවස්ථාවක් කර ගත් පෘතුගීසීන් කෝට්ටේ අත හැර කොළඹට පසු බසින ලදි. එතැන් සිට 1594 පමණ දක්වා කොළඹ කොටුව හා අවට ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල පෘතුගීසි බලයක් ක්‍රියාත්මක නොවීය. මෙම කාලයේදී කොළඹ කොටුවේ සිට ක්‍රියාත්මක වෙමින් දිවයිනේ බටහිර වෙරළ තීරයට කඩා වැදී මංකොල්ලකමින්, හානි සිදු කිරීමට පෘතුගීසීන්ට හැකි වුවත් එය සීතාවක බලය කෙරෙහි ජනතාවගේ සහය වර්ධනය කිරීමට විනා දුර්වල කිරීමට සමත් නොවීය. පෘතුගීසීන් කොළඹ කොටුවට පසු බැස ගිය පසු කොළඹටද පහරදීම සීතාවක රජුගේ අදහස විය. ඒ සඳහා බලකොටු කීපයක් කොළඹට තදාසන්න ප්‍රදේශයේ ගොඩ නගන ලදි. මාපනේ, නාගලගම, දෙමටගොඩ අලුතින් බලකොටු ගොඩනගා ශක්තිමත් කරන ලදි. නමුත් නිරතුරුව ම පෘතුගීසීන්ට ගෝවෙන් නාවික ආධාර හිමි වීම හේතුවෙන් කොළඹ කොටුව අත්පත් කර ගැනීමට නාවික බලයක් රහිත සීතාවක රජුට නොහැකි විය. පෘතුගීසි වාර්තාවලට අනුව කොළඹ කොටුවේ පෘතුගීසීන් යටතේ සිටි ධර්මපාල රජු විසින් 1580 දී ඔහුගෙන් පසු කොට්ටේ උරුමය පෘතුගීසි රජුට හිමි වන ලෙස ලේඛනයක් සකස් කරන ලදි.
1593 පමණ වන තෙක් පෘතුගීසීන්ට විශාලතම අභියෝගය වූවේ සීතාවක රාජධානියයි. 1582 දී උඩරට ඈඳා ගැනීමට සීතාවක රාජසිංහ සමත් වූ අතර 1584 දී මායාදුන්නේ රජු මිය යාමත් සමඟ 1වන රාජසිංහ සීතාවක රජු විය. මෙය සීතාවක රාජ්‍ය බලයේ උච්චතම අවස්ථාව ලෙස සැලකේ. රාජසිංහ රජු විසින් තම උපරිම බලය යොදවමින් කොළඹෙන් පෘතුගීසීන් පලවා හැරීමට උත්සහ කරනු ලැබුවත් නාවික බලයක් නොමැති වීම හේතුවෙන් එම සියලු ප්‍රයත්නයන් අසාර්ථක විය. නමුත් මෙම වකවානුව වන විට සීතාවක ජනප්‍රියතාවයද ක්‍රමයෙන් හීන වෙමින් පැවතිණ. විශේෂයෙන් ම සීතාවක රාජසිංහ රජු විසින් බුදු දහමට විරුද්ධව කටයුතු කිරීම හා උඩරට රාජ්‍යයට හිමිකම් කී පාලකයන් ඝාතනය කිරීම මීට ප්‍රධානතම සාධකය විය. මේ හේතුවෙන් උඩරට ප්‍රදේශවල කැරැල්ලක් ඇති වූ අතර පෘතුගීසීන්ගේ සහයද ඊට හිමි විය. කැරැල්ලට සහයක් වශයෙන් උඩරටට කොනප්පු බණ්ඩාරගේ හමුදා නායකත්වය යටතේ පෘතුගීසි සේනාවක් ද උඩරටට යවන ලද අතර එහි දී සීතාවක රාජසිංහ පරාජයට පත් විය. ඒ අනුව 1වන රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේ එහි පාලකය වූ කරලියද්දේ බණ්ඩාරගේ පුත්‍රයා වූ දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර උඩරට රජු ලෙස පෘතුගීසීන් විසින් පත් කරනු ලැබීය. නමුත් පෘතුගීසීන්ගේ නොපනත්කම් හේතුවෙන් ඉතා කෙටි කාලයක් තුළ යමසිංහ බණ්ඩාර උඩරට වැසියන්ගේ අප්‍රසාදයට ලක් වූ අතර එය අවස්ථාවක් කර ගත් කොනප්පු බණ්ඩාර, යමසිංහ බණ්ඩාර රජු ඝාතනය කරමින් හා උඩරටින් පෘතුගීසීන් පලවා හරිමින් 1වන විමලධර්මසූරිය ලෙස 1594දී උඩරට රජු බවට පත් විය. මෙයින් කෝපයට පත් පෘතුගීසීන් විසින් පෙරෝ ලෝපෙස් ද සූසාගේ නායකත්වය යටතේ කරලියද්දෙ බණ්ඩාරගේ දියණිය වූ දෝන කතරිනාද කැටුව උඩරට ආක්‍රමණය කරමින් ඇයව, උඩරට හිමිකාරිය ලෙස අභිෂේක කරවීය. නමුත් පසු බැස ගිය විමලධර්මසූරිය රජු නැවත සංවිධානය වී පෘතුගීසීන්ට විරුද්ධව ඉතා දරුණු ගරිල්ලා සටනක් (Guerrilla) දියත් කරන ලද අතර දන්තුරේ ප්‍රදේශයේ දී ඇති වූ ප්‍රබලතම සටනින් පසුව පෘතුගීසීන් අන්ත පරාජයකට ලක් වූ අතර සූසාද මරණයට පත් වූ බව සඳහන් වේ. විමලධර්මසූරිය රජු, කන්ද උඩරටින් පෘතුගීසීන් පලවා හැරි අතර දෝන කැතරිනා, කුසුමාසන දේවිය ලෙස තම බිසව බවට සරණපාවා ගනිමින් රජ්‍ය උරුමයද ස්ථාවර කර ගන්නා ලදි. ඔහුගේ නායකත්වයේ තිබූ සුවිශේෂී ලක්ෂණය වූවේ ඔහු පෘතුගීසි උපායන් ගැන හොඳින් දැනුමක් ලැබූ අයෙකු වීමයි. ඉන් පසු ලංකාවේ පෘතුගීසි විරෝධී සටන් මෙහෙයවීමේ නායකත්වය සීතාවක රාජ්‍යයේ සිට උඩරට රාජ්‍යයට මාරුවන ආකාරයක් දැකිය හැක. මෙය සමස්ත දිවයින ම යටත් කර ගැනීමට පෘතුගීසීන්ට තිබූ සිහිනය තව දුරටත් සිහිනයක් බවට පත් කරවන්නක් වූ අතර සීතාවකට සාපේක්ෂව උඩරට සමග යුද්ධ කිරීම ඉතා වෙහෙසකර කාර්යයක් විය. තවද විමලධර්මසූරිය රජු පෘතුගීසීන් එළවා දැමීම සඳහා ලන්දේසීන් සමඟ ද සම්බන්ධතා පවත්වන ලදි. ඒ අනුව 1602දී ජොරිස් ෆන් ස්පිල්බර්ජන් නැමෙති ලන්දේසි ජාතික අද්මිරාල්වරයා ලංකාවට පැමිණි මුල් ම ලන්දේසි නියෝජිතයා වන අතර ඔහු එකල උඩරට පාලකයා වූ I වන විමලධර්මසූරිය රජු සමඟ සාකච්ඡා කරන ලදි. පෘතුගීසීන් පන්නා දැමීම සඳහා ලන්දේසීන්ගෙන් ආධාර ලබා ගැනීමට රජතුමා උනන්දු වූ නමුත් ලන්දේසීන් මෙරට වෙළඳ කටයුතුවල නියැලීම ගැන රජු කැමැත්තක් නොදැක් වූ බව පෙනේ. මේ බව තේරුම් ගත් ස්පිල්බර්ජන් තමා පැමිණියේ පෘතුගීසීන්ට විරුද්ධව යුද ආධාර දීම සඳහා බව උපායශීලී ව රජුට ඒත්තු ගන්වන ලදි. ඒ අනුව රජුගෙන් වෙළඳ ද්‍රව්‍ය හා තෑගි බෝග ලබා ගත් ඔහු යුද්ධාධාර රැගෙන එන බවට පොරොන්දු වී පිටත් ව ගියේ ය. එසේ යන අතර මඟ දී හෙතෙම තම ක්‍රියා මාර්ගයේ සත්‍යතාවය තහවුරු කිරීමට මෙන් පෘතුගීසි නැව් කීපයක් අල්ලා රජුට භාර දෙන ලදි. ඉන් අනතුරුව 1602දී විශාල ලන්දේසි නාවික හමුදාවක් සමඟ පැමිණි සී බෝලට් ද වාර්ට් ඇතුළු පිරිස උඩරට රජු හමු වී පෘතුගීසීන්ගේ ගාලු කොටුවට පහර දී එය රජුට අල්ලා දීමට පොරොන්දු වූ නමුත් එලෙස අල්ලා ගත් නැව් රජුට භාර නොදීම හා නෙමනා හැසිරීම නිසා ඔවුන් රජුගේ උදහසට ලක් විය.
1593දී පමණ සිදු වූ රාජසිංහගේ ඇවෑමෙන් පසු සීතාවක බලය දුර්වල වූ අතර එය අවස්ථාවක් කර ගත් පෘතුගීසීන් සීතාවක බල ප්‍රදේශ ඇතුළු රටේ සමස්ත වෙරළබඩ කාලපයන්ගේම පාලන බලය ලබා ගැණීමට සමත් විය. විශේෂයෙන්ම රාජසිංහ රජුගේ ප්‍රධාන ඇමතියෙක් වූ අරිට්ටකීවෙංඩු පෙරුමාල්ගේ සහය ද පෘතුගීසීන්ට හිමි විය. මෙයට හේතු වන්නට ඇත්තේ සීතාවක හමුදා ප්‍රධානීන්ගේ සහය අරිට්ටකීවෙන්ඩු පෙරුමාල්ට හිමි නොවීම විය හැක. ක්වේරස්ද එම මතය සනාථ කරයි. 1597 දී කෝට්ටේ නාමමාත්‍රික සිංහල පාලකයා වූ දොන් ජුවන් ධර්මපාල මරණයට පත් වීමෙන් පසු එහි අයිතියද පෘතුගීසීන්ට හිමි විය. කෙසේ වෙතත් රටේ පෘතුගීසි පාලන ප්‍රදේශවල සිටි බහුතරයක් වූ සිංහල ජනතාව අතරද පෘතුගීසීන් කෙරෙහි වූ අප්‍රසාදය වර්ධනය විය. පෘතුගීසීන්ට එළිපිට නැතත් විරුද්ධ කම් පෙන් වූ සිංහල නිලධරයන් සිටි බව එම ප්‍රදේශවල ඇති වූ කැරලි පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පෙනී යයි. එම කැරලි වලට යම් යම් අවස්ථාවලදී උඩරට රජුගේ සහයද හිමි විය. මේ හේතුවෙන් උඩරට ආක්‍රමණය කිරීමට පෘතුගීසීන් උත්සහ කරන ලද අවස්ථාවලදී එහි සිටි සිංහල හේවායන් හා සිංහල ජන ප්‍රධානීන් සටන අතරතුර පෘතුගීසීන්ට විරුද්ධව හා උඩරට රජුට පක්ෂව කටයුතු කරන ලදි. මේ හේතුවෙන් පෘතුගීසීන්ට පෙනී ගියේ තමන් මුලින් සිතා සිටි ආකාරයට සිංහලයන් පාලනය කිරීම පහසු නොවන බවයි. පසුව ඔවුන් ප්‍රකාශ කර සිටියේ සිංහලයන් ඉතා රණකාමී, ද්‍රෝහී, උපක්‍රමශීලී කොටසක් වන බවයි. තවදුරටත් ඔවුන් ප්‍රකාශ කර සිටියේ දිවයින ඔවුන්ගේ හා අපේ ලේ වලින් තෙත් කළ බවයි. පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයෙකු වූ ජෙරනිමෝ ද අසවේදුගේ ක්‍රියා කලාපය හේතුවෙන් විශාල සිංහල ජනතාවක් පීඩාවට පත් වූ අතර අසවේදුගේ කාලයේදී ඉතා දැඩි භීෂණයක් පහතරට හා උඩරට ප්‍රදේශවල පැවතිණ. ඔවුන් බෞද්ධ විහාර විනාශ කර දමමින් භික්ෂූන්ට හිරි හැර කරන්නට විය. ඒ හේතුවෙන් ම විමලධර්මසූරිය රජු පෘතුගීසීන් කෙරේ දැඩිව කටයුතු කරන ලදි. අල්ලා ගත් පෘතුගීසි සොල්දාදුවන්ට දැඩිව වධහිංසා කරමින් භීෂණයට භීෂණයක් ඇති කරන ලදි. එමගින් පෘතුගීසීන් තරමක් දුරට මෙල්ල කිරීමට උඩරට පාලකයාට හැකි විය. තවද පසු කාලීන ව පෘතුගීසීන්ටත් වඩා හොඳින් ගිණිඅවි නිෂ්පාදනය කිරීමට සිංහලයන්ට හැකි වීම පෘතුගීසි අසාර්ථකත්වයට හේතු විය. 16වන සියවස මැද භාගයේ දී පමණ කාලතුවක්කු හා බයිනෙත්තු සීතාවක හමුදාවට හඳුන්වා දෙන ලදි. නමුත් මේ දැනුම වැඩි වශයෙන් යොදා ගන්නා ලද්දේ විමලධර්මසූරිය රජුගේ කාලයේදී උඩරට සේනාවන් විසිනි. වරෙක පෘතුගීසීන් ප්‍රකාශ කර සිටියේ ආසියාවේ හොඳම තුවක්කු ලංකාවේ නිෂ්පාදනය කරන බවයි.
ආර්ථික වශයෙන් පෘතුගීසීන්ට වැදගත් වූවේ රටේ නිරිත දිග ප්‍රදේශයන් ය. මන්ද යත් එකල වැදගත් ම අපනයන භෝග සියල්ලක් ම එම ප්‍රදේශවලින් නිෂ්පාදනය වීමත් හා ඉන්දියන් සාගරයේ වෙළඳාමට වැදගත් වන වරායන් එම ප්‍රදේශවල පිහිටා තිබීමත් ය. මුලදී පෘතුගීසීන්ගේ අවධානය යාපනය රාජධානිය වෙත එල්ල නොවීය. නමුත් ආගමික වශයෙන් යාපනය හා මන්නාරම යන ප්‍රදේශවලට ද පෘතුගීසීන්ගේ අවධානය යොමු විය. දකුණු ඉන්දියාවේ සිටි පෘතුගීසි පූජකවරු මෙම ප්‍රදේශවල සිටි හින්දු ආගමික ජනතාව, කතෝලික ආගමට හරවා ගන්නා ලදි. නමුත් 1543 වන විට සංකිලි රජු විසින් යාපනය රාජධානිය අවට මුහුදු තීරයේ දී විනාශ වන නාවික යාත්‍රාවල භාණ්ඩ රාජසන්තක කිරීම පෘතුගීසීන්ට විශාල පාඩුවක් විය. මන්ද යත් එසේ විනාශ වන යාත්‍රාවලින් වැඩි ප්‍රමාණයක් පෘතුගීසීන්ට අයත් ඒවා වීමයි. තවද සංකිලි රජු විසින් මන්නාරමේ කතෝලිකයන් විශාල පිරිසක් ඝාතනය කරමින් ඔවුන් ව පීඩනයට ලක් කරන ලදි. මෙයට ප්‍රධානතම හේතුව වන්නට ඇත්තේ කතෝලිකයන් යාපනයේ රජුට අවනත නොවීම විය හැක. මේ හේතුවෙන් යාපනය ප්‍රදේශ කෙරෙහි ද පෘතුගීසි අවධානය ක්‍රමයෙන් යොමු වූ අතර සංකිලි රජුගේ ක්‍රියා කලාපය හේතුවෙන් පෘතුගීසීන් ඉමහත් ලෙස කෝපයට පත් විය. ඒ අනුව 1560 දී පමණ දි බ්‍රැගන්සා යටතේ පෘතුගීසි හමුදාව යාපනය ආක්‍රමණය කරමින් යටත් කර ගත් නමුත් ඔවුන් විසින් එම ප්‍රදේශවල දේවාල, කෝවිල් විනාශ කරමින් වැසියන්ට හිරි හැර කිරීම නිසා පෘතුගීසි විරෝධි ජනමතයක් ඇතිවය. මේ හේතුවෙන් එම ප්‍රදේශවලින් ඉවත් වීමට පෘතුගීසීන්ට සිදු වුවත් මුලදී සංකිලි රජුව තම අණසකට යටත් කර ගැනීමට පෘතුගීසීන්ට හැකි විය. තවද මන්නාරමේ පෘතුගීසි බලකොටුවක් ඉදි කල අතර එහි සිටි පෘතුගීසි කපිතාන්ගේ මාර්ගයෙන් යාපනයේ කටයුතුවලට අත පෙවීමට පෘතුගීසීන්ට හැකි විය. නමුත් පෘතුගීසීන්ගේ මෙම ක්‍රියා කලාපයන් නොරිස්සූ සංකිලි රජු නැවත පෘතුගීසි විරෝධි ව්‍යාපාරයක් ගෙන ගිය අතර 1591දී නැවත වතාවක් පෘතුගීසි සේනාවක් යාපනයට යැවූ අතර 2වන සංකිලි නම් රජුව බලයෙන් පහ කොට සමස්ත යාපනය අර්ධද්වීපයම තම අණසකට යටත් කර ගැනීමට පෘතුගීසීන්ට හැකි විය. එතැන් සිට යාපනය ප්‍රදේශය පෘතුගීසි ප්‍රදේශයක් බවට ස්ථාවර වූ අතර කතෝලික ආගම එකම පිළිගත් ආගම බවට පත් කිරීමට යාපනයේ පෘතුගීසි පාලකයා වූ පිලිප් ද ඔලිවේරා කටයුතු කරන ලදි. එහි දී යාපනයේ වැසියන්ගෙන් ප්‍රබල විරෝධතා එල්ල වූ අතර පෘතුගීසීන් විසින් දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් ගෙන යමින් යාපනයේ වැසියන් අවනත කර ගැනීමට සමත් විය.
සමස්තයක් ලෙස බැලීමේ දී පෙනී යන්නේ පෘතුගීසීන් යටතේ ලංකාවේ බලය උච්චතම අවස්ථාවට හා පරිහානියේ ලක්ෂණ හී ආරම්භය ද 16වන සියවස තුළ සිදු වූ බවයි. විශේෂයෙන්ම 1505 දී ලොරෙන්සෝ ද අල්මේදාගේ ලංකා ගමනේ සිට 1595 පමණ කාලයේදී ලංකාවේ මුහුදු බඩ කලාප පෘතුගීසි ආධිපත්‍යට යටත් වීම දක්වා වූ සියවස පමණ කාලය පෘතුගීසීන්ට ඉතාමත් ම වෙහෙසකර කාලයක් විය. කෙසේ වෙතත් 1580 දී පෘතුගාලයේ සිහසුන ස්පාඤ්ඤයේ දෙවන පිලිප් රජුට අයත් වීමත් සමඟ පෘතුගීසි නාවික ආධිපත්‍ය ක්‍රමයෙන් දුර්වල වෙමින් පැවතිණ. ආරම්බයේදී කොට්ටේ ප්‍රතිවිරෝධිතාත් පසුව සීතාවක හා උඩරට විමලධර්මසූරිය රජුගේ ප්‍රතිවිරෝධිතාත් හේතුවෙන් සමස්ත දිවයිනම තම යටතට ගැනීමට පෘතුගීසීන් සතු වූ අභිප්‍රාය 16වන සියවස තුල දී බොඳ වී යන ලද අතර එය සිහිනයක් ම බවට පත් කිරීමට ඉන් පසුව ජාතියේ නායකත්වයට උර දුන් උඩරට පාලකයන්ට හැකි විය.
No comments:
Post a Comment