බුරුමය, ඉංග්‍රීසීන් විසින් සම්පූර්ණයෙන්ම පාහේ යටත් කර ගන්නා ලද්දේ 1866 ජනවාරි මාසයේදීය. එතැන් සිට 1937 දක්වා බුරුමය බ්‍රිතාන්‍යය ඉන්දියාවේ ම කොටසක් ලෙස පාලනය කරනු ලැබීය. ආරම්භයේ සිටම බුරුමයේ පාලනය සම්බන්ධයෙන් ප්‍රධාන කොමසාරිස්වරයෙකු පත් කරන ලදි. බුරුමය බ්‍රිතාන්‍යයන් යටතේ තබා ගැනීමේ දී ඔවුන් අරමුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කරවන ලදි. එනම් අග්නිදිග ආසියාවේ ප්‍රංශ බල ප්‍රදේශ අතර පිහිටි ඉංග්‍රීසි ආරක්ෂිත දේශසීමා රාජ්‍යයක් ලෙස බුරුමය තබා ගැනීමත් හා අනෙකුත් බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි ප්‍රධාන ආහාරයන් වන සහල් සැපයීමත් එම ප්‍රධාන අරමුණු විය. බුරුමයේ සිටි ඉංග්‍රීසීන්ගේ ප්‍රධාන කාර්ය වූවේ බ්‍රිතාන්‍ය විරෝධී ව්‍යාපාරයන් හැකි තරම් දුරට මර්දනය කිරීමයි. බුරුමයේ, ඉංග්‍රීසි විරෝධී ගරිල්ලා ව්‍යාපාර සම්පුර්ණයෙන් ම මර්දනය කර ගැනීමට හැකි වූවේ එය යටත් කර ගැනීමෙන් පස් වසරක් පමණ කාලයක් ගත වීමෙන් පසු ය. ඒ හේතුවෙන් ඉංග්‍රීසීන් ලංකාවේදී මෙන් බුරුම විමුක්ති ව්‍යාපාර දුර්වල කරනු සඳහා බුරුම වැසියන්ගේ වාර්ගික විශේෂී බවට අනුබල ලබා දෙන ලදි. 1897 දී ඉංග්‍රීසීන් විසින් බුරුමය, යුධ ආණ්ඩුකාරවරයෙකුගේ යටතට පත් කරනු ලැබීය. ඔහුගේ සහය සඳහා ව්‍යවස්ථාදායක සභාවක් පත් කරන ලදි. මෙම ක්‍රියාවලිය යටතේ බුරුමයට එයට ම ආවේණික වූ පාලන ක්‍රමයක් බ්‍රිතාන්‍ය ඉන්දියාව තුළ ඇති කර ගැනීමට හැකි විය. කෙසේ වෙතත් තව දුරටත් බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ම කොටසක් ලෙස පාලනය වූ බුරුමයට, 1909දී ඉන්දියාවේ ක්‍රියාත්මක කරන්නට යෙදුණු මෝර්ලි - මින්ටෝ ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන් නමුත් බුරුමයේ දේශපාලන ප්‍රතිසංස්කරණ පසුවට සලකා බැලීමේ අරමුණින් 1917 දී ඉන්දියාවට හඳුන්වා දුන් මොන්ටේගු - චෙම්ස්පර්ඩ් ආණ්ඩුක්‍රමය, බුරුමයට හඳුන්වා නොදෙන ලදි. මේ නිසා ඉතා ප්‍රබල බ්‍රිතාන්‍ය විරෝධි ව්‍යාපාර නැවතත් බුරුමය තුළ ආරම්භ වූ අතර එම ව්‍යාපාර ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාෂයද ලබමින් පසුව බුරුම ජාතික ව්‍යාපාරයන් සඳහා පදනම දමනු ලැබීය.
ශ්‍රී ලංකාවේ මෙන් ම බුරුමයේ ජාතික ව්‍යාපාරයන් සඳහා ද ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ බලපෑම ප්‍රබලව එල්ල වූ අතර චීනයේ සන් යුත් සෙන්ගේ විදේශික විරෝධී ක්‍රියාමර්ගයන්හි ආදර්ශය ද ලැබීය. නමුත් තවත් කරුණු කීපයක් යටතේ බුරුමයේ දේශානුරාගී ව්‍යාපාරය එයට ම අනන්‍ය වූ ස්වභාවයක් ඉසිලීය. එනම් ඉන්දියානු ව්‍යාපාරිකයන්ගේ හා ඉන්දියානු කම්කරුවන් විශාල පිරිසක් බුරුමයට සංක්‍රමණය වීම හේතුවෙන් ඉන්දියානු විරෝධීවූත්, බ්‍රිතාන්‍ය විරෝධීවූත් වශයෙන් බුරුම ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක විමයි. ඉංග්‍රීසි පාලනය යටතේ බුරුමය තුල සුබසාධන වැඩ පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවත් බ්‍රිතාන්‍ය විරෝධී ආකල්පයන් වර්ධනය වීම අඩු නොවීය. බුරුම වැසියන් බ්‍රිතාන්‍ය පාලනය කෙරෙහි පැහැදීමකින් කටයුතු නොකළ අතර පැරණි දේශීය පාලනය සෑම විටම අගය කරනු ලැබීය. 1930 පමණ වන තෙක් ම බුරුමයේ පැවති බ්‍රිතාන්‍ය සිවිල් සේවාව සම්පූර්ණයෙන්ම පාහේ යුරෝපීයන්ගෙන් සමන්විත විය. තවද 1858 සිපොයි කැරැල්ලෙන් පසු ඉන්දියාවේ මෙන් බුරුමයේ ද පොලිසියට හා හමුදාවට ස්වදේශීන් බඳවා ගැනීමේ දී අනුගමනය කරනු ලැබූවේ එක් කොටසකට විරුද්ධව අනෙක් කොටස ප්‍රකෝප කරවීමයි. බුරුමයේ ප්‍රධාන ජනතාව නොසලකා හරිමින් කරෙන්ස් හා කැචින් යන ගෝත්‍රිකයන්ගෙන් ස්වදේශික තනතුරු සඳහා පුද්ගලයන් බඳවා ගන්නා ලදි. මෙම ප්‍රතිපත්ති හේතුවෙන් බුරුමය තුල වාසය කල ගෝත්‍ර අතර වෛරය හා ක්‍රෝධය වර්ධනය විය.
බුරුමයේ වූ වාණිජ ව්‍යාපාරයන්හී හිමිකාරිත්වය, නිළධාරීත්වය හා සේවකයින් බහුතරය යුරෝපීයයන්ගෙන්, ඉන්දියානුවන්ගෙන් හා චීන ජාතිකයන්ගෙන් සමන්විත විය. බුරුමයේ බහුතරයක් වූ ජනතාව වී ගොවිතැන ආශ්‍රිත වගාවන්හී නිරත වූ අතර බුරුමය තුළ වී වගාවට ඉතාමත් ම සුදුසු මෙන් ම සශ්‍රීක ම ප්‍රදේශය වූ ඉරවඩි ගංගා මිටියාවතේ ඉඩම්වලින් අඩකටත් වඩා ප්‍රමාණයක් මුදල් පොලී කරන්නන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ අයිතියට පවරා තිබිණ. බුරුමයේ සහල් වෙළඳාම සම්පූර්ණයෙන්ම යුරෝපීය මෝල් හිමියන් සතු වූ අතර ඔවුන් 1920 දී පමණ බූලීන් නම් ව්‍යාපාරයක් ඇති කොට බුරුම සහල් ගොවීන්ගේ සහල් ඉතා අඩු මිලට මිලදී ගැනීමට කටයුතු කරමින් බුරුම ගොවීන් අධික ලෙස පීඩාවට පත් කරන ලදි. තවද ඉන්දියානු හා චීන කම්කරුවන් බුරුමයට සංක්‍රමණය වීමත් සමඟ බුරුමය තුළ රැකියා වියුක්ත බුරුම වැසියන්ගේ ප්‍රමාණය ඉහිල ගිය අතර බුරුම වැසියන්ගේ අප්‍රසාදය මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය කෙරෙහි එල්ල විය.
ලංකාවේ හා ඉන්දියාවේ මෙන් බ්‍රිතාන්‍ය පාලනය යටතේ බුරුමය තුල ඉංග්‍රීසි අධ්‍යාපනය වර්ධනය වූ අතර එමගින් යුරෝපීය ඉතිහාසය මෙන් ම ලිබරල් හා රැඩිකල් මතවාද පිළිබඳ දැනුම බුරුමය තුලට කාන්දු විය. විශේෂයෙන්ම 1930 වන තෙක් ඉන්දියාව තුල ක්‍රියාත්මක වූ අධ්‍යාපන ක්‍රමය, බුරුමය තුල ද ක්‍රියාත්මක විය. ඒ හේතුවෙන් ම බුරුම ජාතික ව්‍යාපාරයට බටහිර ආභාසය ද එල්ල විය. කෙසේ වෙතත් කලාපයේ අනෙකුත් රාජ්‍යයන්හි මෙන් බුරුමය තුල කොමියුනිස්ට්වාදය ප්‍රබලව වර්ධනය නොවීය. මන්ද යත් බුරුමයේ හීනයාන බුද්ධාගම ප්‍රබලව ක්‍රියාත්මක වීමයි. තවද රටේ ජනගහනයෙන් 90% පමණ බෞද්ධයන් වීම හේතුවෙන් එරට ජාතික ඒකාබද්ධතාවට මෙන් ම ජාතික ව්‍යාපාරයට ද බුදු දහමේ බලපෑම ලංකාවට සාපේක්‍ෂව ප්‍රබල විය. බුරුම ජාතික ව්‍යාපාරය කෙරෙහි බලපෑම් එල්ල කරන ලද තවත් අවස්ථාවක් වූවේ පළමු ලෝක යුද්ධය අවස්ථාවේ දී ජපානය විසින් ප්‍රබල යුරෝපීය රාජ්‍යයක් වූ රුසියාව පරාජයට පත් කිරීමයි.
මියන්මාර ජාතික ව්‍යාපාරයේ වර්ධනයට තුඩු දුන් ඉතා වැදගත් සිදුවීමක් වූයේ ඉන්දියාවෙන් බුරුමය වෙන් කරලීමයි. බුරුම ජනයා ආරම්භයේ සිට විශ්වාස කරනු ලැබූයේ තම අවශ්‍යතා ඉන්දියානුවන්ගේ බලපෑම හමුවේ යටපත් වනු ඇති බවයි. 1929 දී සයිමන් කොමිසම බුරුමයට පැමිණි අවස්ථාවේ දී ඔවුන් ඉල්ලා සිටියේ සම්පූර්ණ ස්වයං පාලනයක් මෙන් ම ඉන්දියාවෙන් වෙන් වූ වෙනම රාජ්‍යයක් බවට පත් කරන ලෙසයි. ඒ අනුව 1935 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල බුරුම පනත සම්මත කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1937 ඉන්දියාවෙන් බුරුමය වෙන් කරන ලදි. මාක්ස්වාදී ආභාෂය ලත් බා මොව් යටතේ ක්‍රියාත්මක වූ සින්යාත් පක්‍ෂය හා පැසිස්ට්වාදී ආභාෂය ලත් යූ සෝ යටතේ ක්‍රියාත්මක වූ මොයින් පක්‍ෂය 1935 ආණ්ඩු පනත ක්‍රියාත්මක කිරීමේ දී බුරුමය තුළ ක්‍රියාත්මක වූ ප්‍රබලතම දේශපාලන පක්‍ෂ දෙක විය. 1938 වන තෙක් සින්යාතා පක්‍ෂයද, 1941 වන තෙක් මෝයින් පක්‍ෂයද බුරුමය තුල පාලන බලය හසුරුවන ලදි. කෙසේ වෙතත් මෙම පක්‍ෂ දෙකේ ම ක්‍රියාකාරීත්වය හමුවේ බුරුමයේ අල්ලස් ගැනීම, අකාර්යක්‍ෂම පාලනය හා අක්‍රමිකතා නොඅඩුව සිදු වූ අතර එය බුරුමයට මහත් ව්‍යසනයක් අත් කර දීමට සමත් විය. යූසෝ විසින් බුරුමයට නිදහස ලබා ගැනීම සඳහා ලන්ඩන් නුවරට ගොස් බ්‍රිතාන්‍යයන් සමඟ සාකච්ඡා පැවැත් වූ නමුත් එය ප්‍රතිඵල රහිත විය. තවද ඔහු නැවත බුරුමයට පැමිණි පසු සිරගත කරනු ලදුව නිදහස ලබා දෙන ලද්දේ 1946දී ය.
බුරුමයට නිදහස ලබා ගැනීම සඳහා මේ යුගයේ ක්‍රියාත්මක වූ ඉතා වැදගත් ම හා ක්‍රියාකාරී ම සංවිධානයක් වූයේ බුරුම ජාතික හමුදාවේ අණ දෙන නිලධාරියා වූ ඖන් සාන් යටතේ ක්‍රියාත්මක වූ දොබාමායියොනා තාකීන් (Dobamaiyona Thakin) හෙවත් අපි බුරුමයෝ නම් පැසිස්ට් විරෝධී සංවිධානයයි. මෙය වාමාංශික ශිෂ්‍ය සංවිධානයක් ලෙස ආරම්භ වී වර්ධනය විය. විශේෂයෙන් ම සින්යාතා හා මෝයින් පක්‍ෂ පාලනය යටතේ බුරුමය තුල ඇති වූ අක්‍රමිකතා හේතුවෙන් අපි බුරුමයෝ නම් සංවිධානය බුරුමය තුල වඩාත් ජනප්‍රිය විය. ඖන් සාන්ගේ නායකත්වය 1936 දී ප්‍රබල වැඩවර්ජනයක් බුරුමය තුල දියත් කරන ලද අතර දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ පාලන විරෝධී ව්‍යාපාරයක් ද දියත් කරන ලදි. ඒ හේතුවෙන් මෙහි නායකයෝ බොහෝ දෙනෙක් සිරගත කරන ලද අතර තවත් නායකයන් පිරිසක් රටින් පලා ගියහ. මේ හේතුවෙන් දෙවන ලෝක යුද්ධ සමයේ මොවුන් ජපන් ආධාර බලාපොරොත්තු වූ නමුත් එය ව්‍යයසනකාරී තත්ත්වයකට පත් වීමෙන් පසු ජපන් බලයට විරුද්ධව ක්‍රියාත්මක විය. ඔවුන් නැවතත් බ්‍රිතාන්‍යයන්ට හිතවත් ව කටයුතු කරමින් බුරුමයේ, ජපන් බලය පරාජය කිරීමට විශාල මෙහෙවරක් සිදු කල අතර ඒ හේතුවෙන් ම බුරුම ජනතාව ප්‍රසාදයට ලක් වෙමින් යුද්ධය අවසානයේ බුරුමයේ ප්‍රධානතම දේශපාලන පක්‍ෂය බවටද පත් විය.
දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් ජපානය පරාජය වීමත් සමග බුරුමය නැවත වතාවක් බ්‍රිතාන්‍යන්ගේ ග්‍රහණයට නතු විය. ඔවුන් නැවත වතාවක් බුරුමය තුල යටත් විජිත පාලනයක් ඇති කිරීමට උත්සහ කරන ලදි. ජපන් ආක්‍රමණයෙන් පසුව, තිබූ අවි ආයුධ තම භාරයට ගත් බ්‍රිතාන්‍යයන් යුද්ධ පාලනයක් බුරුමය තුල ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන ලද අතර බුරුම වැසියන් එයට විරුද්ධව ප්‍රබල ප්‍රතිවිරෝධිතාවක් එල්ල කරන ලදි. මෙලෙස බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව මහජන මතය සකස් වීමට බලපාන ලද ප්‍රබල සිදුවීමක් වූයේ එකල බුරුමයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ ඩෝර්මන් විසින් බුරුම නිදහස් ව්‍යාපාරය මර්දනය කිරීමේ ක්‍රියා කලාපයයි. ඒ අනුව 1946 ඔක්තෝබර් මාසයේ දී ඖන් සාන් ගේ මෙහෙය වීම යටතේ පොලිසිය හා රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කරමින් සමස්ත පරිපාලනයම අඩාල කරන ලද අතර අවසානයේ ඖන් සාන් ගේ ඉල්ලීම්වලට එකඟ වීමට බ්‍රිතාන්‍යයන්ට සිදු විය. තවද මේ වන විට ක්ලෙමන් ඇට්ලිගේ නායකත්වය යටතේ බ්‍රිතාන්‍ය තුළ කම්කරු පක්‍ෂ රජයක් බලයට පත්ව තිබූ අතර ඔවුන් තම යටත් විජිතවලට බලය යොදා තත්ත්වය ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තිය වෙනුවට සුහද ශීලීව හා මිත්‍රත්වයෙන් ඉවත් වීම සුදුසු යැයි කල්පනා කරන ලදි. ඒ අනුව 1947 බ්‍රිතාන්‍යයන් හා ඖන් සාන් අතර සම්මුතියක් ඇති කර ගන්නා ලදි. එයට අනුව බුරුමයේ මහ මැතිවරණයක් පවත්වා එමගින් ජනතාව බලය ලබා දෙන පක්‍ෂයට රට බාර කිරීමට බ්‍රිතාන්‍යයන් එකඟ විය. ඒ අනුව 1947 දී පවත්වන්නට යෙදුණු මහ මැතිවරණයෙන් ඖන් සාන්ගේ නායකත්වයෙන් යුත් ස්වදේශීය ව්‍යාපාරයට විශිෂ්ට ජයක් හිමි විය. නමුත් ඖන් සාන් ඇතුළු ඉහල නායකයන් රැසක් එම වසරේ ම ජූලි මාසයේ දී ඝාතනයට ලක් වූ අතර එය බුරුම ඉතිහාස කැලඹූ සිදුවීමක් විය. ඉන් පසු පක්‍ෂයේ නායකත්වය වඩාත් මධ්‍යස්ථ මතධාරියෙකු වූ ඌනු වෙත පැරණි. ඒ අනුව 1947 ඔක්තෝබර් මාසයේ දී බුරුමය නීත්‍යනුකූල ව නිදහස ප්‍රකාශ කල අතර 1948 ජූලි මස බුරුම සමූහාණ්ඩුව පිහිටුවා ගන්නා ලදි.
මලයාවේ දේශපාලන පසුබිම වෙනස් වීම සඳහා ප්‍රබලව බලපාන ලද සිදුවීමක් ලෙස දෙවන ලෝක සංග්‍රාමය හඳුන්වා දිය හැක. මන්ද යත් බ්‍රිතාන්‍යයන් විසින් මලයානු රාජ්‍යයන් තුල ඇති කරනු ලැබූ පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් එහි ජනතාවට ප්‍රබල ප්‍රතිවිරෝධිතාවක් නොවීමයි. නමුත් ජපානය විසින් මලයාව ආක්‍රමණය කිරීමත් සමඟ ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය යටතේ මලයානු ජාතිකයන් තුල ජාතික හැඟීම් ප්‍රබලව වර්ධනය විය. ජපාන බලය හමුවේ අග්නිදිග ආසියාතික ප්‍රදේශවල විශාල ව්‍යසනයන්ද සිදු විය. තම යටතට පත් වූ මලයානු ප්‍රදේශවල ජපාන හමුදා විසින් ස්ත්‍රී දූෂණ විශාල වශයෙන් කරගෙන ගිය බව වික්ටර් පර්සල්ස් පවසයි. මලයාවේ හා සිංගප්පූරුවේ පැවති සෞඛ්‍යාරක්ෂණ කටයුතු ජපානය විසින් නෙසලකා හැරීම හේතුවෙන් මැලේරියාව හා වෙනත් රෝග ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී මරණයට පත් වන ජනතාවගේ ප්‍රමාණය ඉහල යන්නට ද විය. කෙසේ වෙතත් 1945 අගෝස්තු 06වන දින හිරෝෂිමාවටත් අගෝස්තු 9වන දින නාගසාකියටත් ඇමරිකාව විසින් පරමාණු බෝම්බ හෙළන ලද අතර සිදු වූ ව්‍යසනය හේතුවෙන් අගෝස්තු මස 15වන දින හිරෝහිතෝ අධිරාජ්‍යයා ජපානය කොන්දේසි විරහිතව යටත් වන බව නිවේදනය කලේ ය. ඒත් සමඟ ජපානය සතු වූ අග්නි දිග ආසියාවේ යටත්විජිත අතහැර දැමීමට ජපානයට සිදු වූ අතර නැවත එම ප්‍රදේශ බටහිර බලවතුන්ගේ යටතට පත් විය.
ඒ අනුව 1945 දී බ්‍රිතාන්‍යයන් ආපසු මලයාවට පැමිණි පසු ඔවුන් ව ඉතා ප්‍රීතියෙන් පිළිගන්නා ලදි. බ්‍රිතාන්‍යයන් විසින් මලයාවේ ඇති කරන ලද සමෘද්ධිය ජපාන බලය හමුවේ විනාශ වී තිබිණ. මලයාවේ ජපාන බලය තුරන් වීමත් හා නැවත බ්‍රිතාන්‍ය බලය පිහිටුවීමත් අතර තුල කාලයේ ඇති වූ රික්තකයෙන් ප්‍රයෝජන ගත් සුල්තාන්වරු නාමික ව මෙන් ම සමහර රාජ්‍යවල නියම පාලකයන් ලෙස ද කටයුතු කරන ලදි. සුල්තාන්වරුන් විසින් පාලනය කරනු ලැබූ හා බ්‍රිතාන්‍යයන් විසින් ආරක්‍ෂාව ලබා දෙන ක්‍රමවේදයකට මලයානු ජනතාව පුරුදු ව සිටියහ. නමුත් එම කාර්යය සම්බන්ධයෙන් 1942 දී බ්‍රිතාන්‍යයන් අසමත් වීම හේතු කෙට ගෙන යම් අප්‍රසාදයක් මලයානුවන් තුල හට ගෙන තිබිණ. මලයානු ජාතිකයන් මහ ජාතිය වුවද ඔවුන් මලයානු සංයුක්ත රාජ්‍ය තුල දී තවත් එක් ජන කොට්ඨාශයක් පමණක් වීමද මැලේවරුන් අතර අසහනය වර්ධනය වීමට තවත් හේතු විය. විශේෂයෙන්ම චීන හා ඉන්දීය ද්‍රවිඩ ජනතාවගෙන් සමන්විත වූ ව්‍යාපාරිකයන්ගේ හා කම්කරුවන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් මැලේවරු අධික ලෙස ප්‍රකෝප විය. යුද්ධය අවසන් වීමෙන් පසු බ්‍රිතාන්‍යයන් විසින් පැරණි පරිපාලන ක්‍රමය ඇති කිරීමට අදහස් නොකරන ලද අතර පුළුල් ලෙස මලයානුවන්ට රාජ්‍ය පාලනය සඳහා සම්බන්ධ විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් ඇති කිරීමට අදහස් කරන ලදි. ඒ අනුව බ්‍රිතාන්‍යයන් යටතේ ක්‍රියාත්මක වූ මලයානු සංගමය තම නියෝජිතයන් පිටත් කර හරිමින් සුල්තාන්වරයන්ගෙන් ඉල්ලා සිටියේ සිය බලතල ස්වකැමැත්තෙන් ම අත්හරින ලෙසයි. තවද බ්‍රිතාන්‍යයන් විසින් රටේ සියලු ම පදිංචි කරුවන්ට පුරවැසි කම ලබා දීමට කටයුතු කිරීම මැලේ ජනතාවගේ කෝපයට හේතු විය. මන්ද යත් එසේ පුරවැසි කම ලබා ගන්නා චීන හා ඉන්දියානු ජාතිකයන්ගේ ඡන්ද බලය හේතුවෙන් තම රටේ පාලන බලය තමන්ට අහිමි වේ යැයි යන භීතිකාවක් මැලේවරුන් අතර හට ගැනීමයි. තවද සංයුක්ත මලයානු සංගමයට අයත් නොවූ ජොහොර් රාජ්‍යයද තම ප්‍රධාන ඇමතිවරයාගේ නායකත්වය යටතේ පිහිටුවගන්නා ලද එක්සත් මැලේ ජාතික සංවිධානය නම් පක්‍ෂයේ මෙහෙය වීම යටතේ ඉහත බ්‍රිතාන්‍යන්ගේ යෝජනාවලට තද බල ලෙස විරෝධය එල්ල කරන ලදි. තම බලය අහිමි වූ සුල්තාන්වරුන්ගේ සහය ලද එම පක්ෂය ප්‍රකාශ කර සිටියේ චීන හා ඉන්දියානුවන්ට ඡන්ද බලය ලබා දීම අසාධාරණ බවයි. අතිශයින් ම ප්‍රචණ්ඩකාරී වූ මෙම ව්‍යාපාරය චීන විරෝධී ස්වභාවයක් ඉසිලූ අතර මලයාව මලයානුවන්ට යන උද්යෝග පාඨය හමුවේ චීන ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරින ලදි. මෙය මර්දනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදු විය. සියලු ම මැලේවරුන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ බ්‍රිතාන්‍යයන් තම යෝජනා අස්කොට තමන්ගේ සුපුරුදු යටත් විජිත ක්‍රියාවලිය මලයාව තුල ඇති කරන ලදි.
චීන කොමියුනිස්ට්වරුන්ගේ මෙහෙය වීම යටතේ 1948 ජුනි මාසයේ දී ඇති වූ කොමියුනිස්ට් කැරැල්ල මලයානු රාජ්‍යයන් තුල මහත් විනාශයක් ඇති කිරීමට සමත් විය. මලයාවේ බලයෙන් පැහැර ගෙන එහි ඇති රබර් හා ටින් පිළිබඳ වූ සැලකිය යුතු ධන සම්පත් පාලනය කිරීමට කාලය පැමිණ ඇතැයි ඔවුහු විශ්වාස කරන ලදි. මලයාව තුල කොමියුනිස්ට්වරුන්ගේ සංඛ්‍යාව 10000 නොවැඩි වුවද එය මර්දනය කිරීම බ්‍රිතාන්‍යයන්ට පහසු නොවීය. හදිසි තත්ත්වයක් ප්‍රකාශය කිරීමෙන් පසුව ප්‍රකෝපකාරී ක්‍රියා සමනය කිරීමට හැකි වුවද, මැලේවරුන් හා චීන ජනතාව අතර සංහිඳියාවක් ඇති කිරීමේ අභියෝගයට මුහුණ දීමට බ්‍රිතාන්‍යයන්ට සිදු විය. විශේෂයෙන්ම මලයානු රාජ්‍යයන් අතරින් වැඩි ම ආදායමක් ලබා දුන් සිංගප්පූරුව මලයානු සංයුක්තයට ඇතුළත් කර නොගැනීමට මලයානු නායකයන් අකමැත්තෙන් වුවද කටයුතු කරන ලදි. මන්ද යත් සිංගප්පූරුවේ අති බහුතරය චීන ජාතිකයන්ගෙන් සමන්විත වීමයි.
කෙසේ වෙතත් මලයානු සංයුක්තයේ බොහෝමයක් නායකයන් විශ්වාස කරනු ලැබූවේ තම දේශයේ සිටින මැලේ නොවන අනෙකුත් ජාතීන්ගේ සහයෝගය නොමැතිව සැබෑ නිදහසක් දිනාගත නොහැකි බවයි. එක්සත් මැලේ ජාතික සංවිධානය දිගින් දිගටම චීන ජාතිකයන්ට සම අයිතිවාසිකම් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය වූයේ එම පක්‍ෂය දෙකඩ වීමයි. එහි නව නායකයා වූ තුන්කු අබ්දුල් රහමන් චීන දේශපාලන හා සංස්කෘතික සංවිධානයක් වූ මලයානු චීන සංගමය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සහ දරන ලදි. එම සහයෝගයේ ප්‍රතිඵලය වූවේ සියලු ම චීන හා ඉන්දීය ප්‍රජාවන්ට මලයානු සංයුක්තය තුල පුරවැසිකම හා ඡන්ද බලය දිනා ගැනීමට හැකි වීමයි. එලෙස මලයානු ජනතාව අතර ඇති කරගත් සංහිඳියාවෙන් පසු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සහ සංයුක්ත රාජ්‍ය පාර්ලිමේන්තුවේ වැඩි දෙනා ඡන්දයෙන් තෝරා ගැනීමට ද ඉන් පසු අවුරුදු තුනක් ඇතුළත නිදහස සඳහා බ්‍රිතාන්‍යයන්ට බල කිරීමට ද නායකයෝ තීරණය කරන ලදි. නිදහස ලබා දීමට බ්‍රිතාන්‍යයන් කැමති නොවූ නමුත් වැඩි දෙනා ඡන්දයෙන් තෝරා ගැනීමටත්, පුරවැසිකම සඳහා ලිහිල් නීති යටතේ සියලු පුරවැසියන්ට සර්වජන ඡන්ද බලය ලබා දීමටත් බ්‍රිතාන්‍යයන් එකඟ විය.
කෙසේ වෙතත් පවත්වන ලද මැතිවරණයෙන් අබ්දුල් රහමන්ගේ නායකත්වයෙන් සැදුම් ලත් මැලේ, චීන හා ඉන්දියානු ජාතීන්ගෙන් සැදුම්ලත් පක්ෂයන්ගේ එකමුතුවට (සියලු ජාතිවාදී පක්‍ෂ අබ්දුල් රහමන් යටතේ සංධාන ගත විය.) මැතිවරණය සඳහා වූ ආසන 52න් ආසන 51ක් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව අබ්දුල් රහමන් සංයුක්ත රාජ්‍යයේ ප්‍රථම අගමැති ලෙස දිවුරුම් දෙන ලදි. අබ්දුල් රහමන්ගේ නායකත්වය යටතේ පිහිටුවනු ලැබූ සංයුක්ත රාජ්‍ය පෙරටත් වඩා ශක්තිමත් ව හා ප්‍රබලව බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස අපේක්ෂා කරන්නට විය. තවද ඉදිරියේ දී මතු විය හැකි වූ ප්‍රබලතම ගැටලුන් වූ පුරවැසිකම සඳහා සුදුසුකම් ද ඇතුළු වැදගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ජාතීන් තුනේ නියෝජිතයන් හැටියට එකමුතු පක්ෂය කටයුතු කරන්නට වූ අතර එම විසඳුම් හා යෝජනා ඔවුන් විසින්ම බ්‍රිතාන්‍යයන්ට ඉදිරිපත් කරන ලදි. එකමුතුව විසින් එලෙස ඉදිරිපත් කරන්නට යෙදුණු හදිසි අරමුණු ඉටු කරගත් පසු තව දුරටත් එකමුතුව කටයුතු කරනු ඇති දැයි සලකා බැලීමට බ්‍රිතාන්‍යයන්ට සිදු විය. තවද නිදහස් සංයුක්ත රාජ්‍යයට මලයානු වනාන්තරවල තවමත් අරගල කරන කොමියුනිස්ට්වරුන්ට විරුද්ධව තනිවම සටන් කිරීමට සිදුවනු ඇති බවට බියක් බ්‍රිතාන්‍යයන් තුල පැවතිණ. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යන්ගේ මතයට අනුව අබ්දුල් රහමන් නිදහස් මලයානු සංයුක්ත රාජ්‍යයේ නායකත්වයට සුදුසු විය. ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවොත් අනෙකුත් ජාතීන්ගෙන් ඔහුට හිමි වූ සහයෝගය වෙනුවට වඩා අන්තවාදී තත්ත්වයක් මලයාව තුල ඇති විය හැකි බව බ්‍රිතාන්‍යයන්ට අවබෝධ විය. ඒ අනුව මාරුවන පදනමක් මත රාජ්‍ය නායකයා හැටියට සුල්තාන්වරුන්ගෙන් එක් කෙනෙකු තබා ගැනීමේ වැඩ පිළිවෙළ ද ඇතුළු එකමුතුවේ සියලු යෝජනාවලට එකඟ වීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කරන ලදි. බ්‍රිතාන්‍යය රැජින එහි රාජ්‍ය නායිකාව නොවන නමුත් මලයානු සංයුක්තය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමට කැමති විය.
ඒ අනුව 1950 දශකයේ නිදහස දිනා ගත් දෙවැනි බ්‍රිතාන්‍යය යටත් විජිතය ලෙස 1957 අගෝස්තු 31 වන දින නිදහස දිනා ගැනීමට මලයානු සංයුක්තය සමත් විය. නිදහස දිනා ගැනීමෙන් පසු තව දුරටත් මලයානු ජාතීන් එක්සත් ව සිටිනු ඇත් දැයි සැකයක් බ්‍රිතාන්‍යයන් තුල පැවති නමුත් එම මතය අසත්‍ය කරමින් ඊළඟ මැතිවරණයෙන් ද විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට තුන්කූගේ නායකත්වය යටතේ වූ මලයානු එකමුතුව සමත් විය.
බුරුම හා මලයානු අනාගතය තීරණය කිරීමේ තීරණාත්මක ම සාධකය වූවේ බ්‍රිතාන්‍යයන් බව ඉහත තොරතුරු අධ්‍යනයේ දී පෙනී යයි. ඔවුන්ගේ පාලන සමයේ වාර්ගිකත්වය වර්ධනය කරමින් එක් එක් ජනවර්ග අතර ක්‍රෝධයන් වර්ධනය කරමින් බුරුමයේ දී ද, විවිධත්වය තුළින් ඒකීයත්වය කරා යාමට අවශ්‍ය අඩිතාලම මලයානු ප්‍රදේශවල ද ඇති කරන ලදි. විශේෂයෙන් ම බ්‍රිතාන්‍ය යුගයේ දී මලයාව වාණිජ වශයෙන් ක්‍රමයෙන් වර්ධනය විය. වර්තමානයේ දී මැලේසියාව ලෙස මැලේ රාජ්‍යය අග්නිදිග ආසියාවේ ප්‍රබලතම රාජ්‍යයක් ලෙස වැජඹෙමින් පවතී. මෙම සියලු ම මැලේ ප්‍රදේශ මුලදී බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශ වූ නමුත් එහි සමෘද්ධියට හේතු වූ කරුණ ද එය ම විය. මන්ද යත් ඉතා නොදියුණු ධීවර ගම්මාන මෙන් තිබූ එම ප්‍රදේශ සංවර්ධනයට හේතු වූ කරුණ වූවේ බ්‍රිතාන්‍යයන් විසින් එම රාජ්‍යයන් නවීන ලෝකයට ගැළපෙන ආකාරයට ප්‍රතිසංවිධානය කිරීම බව පෙනී යයි. තවද එකිනෙකට ප්‍රතිවිරුද්ධ ජාතීන් තුනකගෙන් සමන්විත වුවද එම ජාතීන්ගේ නායකයන් නිවැරදි තීන්දු තීරණ ගනිමින් එක්සත් ව කටයුතු කිරීම හේතුවෙන් යටත් විජිත හරණ ක්‍රියාවලියේ දී මලයානු සංයුක්ත රාජ්‍ය සාර්ථක වූ බව හඳුනාගත හැක. නමුත් යටත් විජිත හරණ ක්‍රියාවලියේ දී බුරුමය තුල සිදු වූ දේශපාලන අරගල හා නායකයන්ගේ අසමගියත්, පසුව ඇති හමුදා පාලනයනුත් හේතුවෙන් එය කලාපය තුළ අසාර්ථක රාජ්‍යයක තත්ත්වයකට ඇද වැටෙන්නට විය. වර්තමානයේ දී ද එහි වාර්ගික හා ආගමික ගැටුම් උත්සන්න ව පවතින අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් පවතී.
No comments:
Post a Comment