Showing posts with label යටත් විජිතවාදය න්‍යාය සහ භාවිතය. Show all posts
Showing posts with label යටත් විජිතවාදය න්‍යාය සහ භාවිතය. Show all posts

Saturday, 20 March 2021

19වන සියවසේ, බටහිර අධිරාජ්‍යවාදී බලවේගයන්හි, ප්‍රාදේශීය ව්‍යාප්තිය හා උපක්‍රම.



1. හැඳින්වීම.

2. අප්‍රිකාව තුල බටහිර අධිරාජ්‍යවාදී බලවේගන්හි ප්‍රාදේශීය ව්‍යාප්තිය හා උපක්‍රම.

2.1. ස්පාඤ්ඤය හා පෘතුගීසි බලව්‍යාප්තිය.

2.2. ප්‍රංශ බලව්‍යාප්තිය.

2.3. ජර්මන් බලව්‍යාප්තිය.

2.4. ඉතාලි බලව්‍යාප්තිය.

2.5. බෙල්ජියමේ බලව්‍යාප්තිය.

2.6. බ්‍රිතාන්‍ය බලව්‍යාප්තිය.

3. ආසියාව තුල බටහිර අධිරාජ්‍යවාදී බලවේගන්හි ප්‍රාදේශීය ව්‍යාප්තිය හා උපක්‍රම.

3.1. ඉන්දුනීසියාවේ, ලන්දේසි බලව්‍යාප්තිය.

3.2. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය බලව්‍යාප්තිය.

3.3. චීනයේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ බලව්‍යාප්තිය.

3.4. ජපානය.

3.5. අග්නිදිග ආසියාව.

3.6. සියම.

4. සමාලෝචනය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.


1. හැඳින්වීම

19වන සියවස ආරම්භ වන්නේ බටහිර අධිරාජ්‍යවාදයේ නව යුගයක් උදා කරමින් බව ඉතිහාසඥයින්ගේ මතයයි. 18වන සියවස වන විට පෙර අධිරාජ්‍ය බලවතුන් වූ ස්පාඤ්ඤය හා පෘතුගාල බලය දුර්වල වී නව අධිරාජ්‍ය බලවතුන් ලෙස බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා ලන්දේසි බලයන් ඉස්මතු වෙමින් පැවති අතර 19වන සියවස අවසානවත්ම බ්‍රිතාන්‍යය හා ප්‍රංශය, ලොව ප්‍රමුඛතම  අධිරාජ්‍ය බලවතුන්ගේ තත්ත්වයට පත් විය. කෙසේ වෙතත් මෙම අධිරාජ්‍ය බලවතුන්ගේ තරගය හේතුවෙන් ඇමරිකානු මහද්වීපවල තිබූ බටහිර අධිරාජ්‍යවාදී යටත් විජිත සැලකිය යුතු ප්‍රමාණයක් නිදහස ලබා සිටි අතර තවත් බොහෝමයක් ප්‍රදේශවල යටත් විජිත විරෝධී විමුක්ති ව්‍යාපාර ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වෙමින් පැවතුණි. 

ඒ හේතුවෙන් ම ස්පාඤ්ඤයන් හා පෘතුගීසීන් සතු වූ දකුණු ඇමරිකානු ප්‍රදේශත්, බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශයන් සතු වූ ඇමරිකානු ප්‍රදේශත් අහිමි කර ගැනීමට එම අධිරාජ්‍ය බලවතුන්ට සිදු විය. ඒ හේතුවෙන්  ම 19වන සියවස ආරම්භ වීමේ දී තම ආක්‍රමණශීලී ප්‍රතිපත්ති අප්‍රිකාව හා ආසියාව දෙසට එල්ල කිරීමට බ්‍රිතාන්‍යයන්ට හා ප්‍රංශයන්ට සිදු විය. තවද 19වන සියවස ආරම්භ වන්නේ කාර්මික විප්ලවයෙන් සමස්ත යුරෝපය ම නව ආර්ථික, සමාජ හා දේශපාලන රටාවකට හැඩ ගැසීමෙන් පසුව ය.  ඒ හේතුවෙන් 19වන සියවස තුළ ප්‍රධාන බටහිර අධිරාජ්‍යවාදී බලවේග බවට පත් වූවේ මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වන අතර පසුව සුළු පරිමාණයෙන් ඊට එකතු වීමට ජර්මනිය, ඉතාලිය හා බෙල්ජියම ද උත්සහ කරනු ලැබීය. කෙසේ වෙතත් ඉහත කී බටහිර අධිරාජ්‍යවාදී බලවේගන්හි අවධානය ඇමරිකානු ප්‍රදේශවලින් ගිලිහීමත් සමඟ තම ප්‍රමුඛ අවධානය ආසියාව හා අප්‍රිකාවට එල්ල විය. 19වන සියවස ආරම්භ වන විටත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ බලය ආසියාවේ හා අප්‍රිකාවේ ස්ථාපිත ව පැවති නමුත් එම සියවස අතර කාලයේදී තම අධිරාජ්‍යවාදී ප්‍රාදේශීය ව්‍යාප්තිය නව අදියරකින් හා නව වේගයකින් ආරම්භ කිරීමට එම අධිරාජ්‍යවාදී බලවතුන් ක්‍රියා කරන්නට විය. ඒ අනුව 19වන සියවස තුළ බටහිර අධිරාජ්‍යවාදී බලවේගන්හි ප්‍රාදේශීය ව්‍යාප්තිය ‍බොහෝ දුරට ආසියාව හා අප්‍රිකාව කේන්ද්‍ර කොට ක්‍රියාත්මක විය.

මෙම පැවරුම මඟින් අප්‍රිකාවේ හා ආසියාවේ ප්‍රදේශ කෙරෙහි බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් උනන්දු වීමට බලපාන ලද සාධකත්, එම ප්‍රදේශ අදියරෙන් අදියර යටත් කර ගත් ආකාරයත් පිළිබඳව තොරතුරු දැක්වීමට උත්සහ කරන ලද අතර සමාලෝචනය මඟින් සමස්ත ලෝකය ම බටහිර අධිරාජ්‍යවාදීන් විසින් යටත් කර ගත් ආකාරයත් හා ඔවුන් එම ප්‍රදේශවල සිදු කරනු ලැබූ විනාශයත් පිළිබඳ තොරතුරු සංක්ෂිප්තව දැක්වීමට උත්සහ දරන ලදි.

2. අප්‍රිකාව තුල බටහිර අධිරාජ්‍යවාදී බලවේගන්හි ප්‍රාදේශීය ව්‍යාප්තිය හා උපක්‍රම.

අප්‍රිකා මහද්වීපය තුල, 1880 වන විටත් බටහිර බලවතුන්ගේ පාලනයට නතු වී පැවතියේ 5%ත් වඩා අඩු ප්‍රදේශයකි.  19වන සියවස ආරම්භයේ දී බොහෝ යුරෝපා ජාතීන් අප්‍රිකාවේ වෙරළ තීරයේ වෙළඳ කොලනි පිහිටුවා ගැනීමෙන් පමණක් සෑහීමට පත් වූහ. නමුත් වසර 20ක් පමණ කෙටි කාලයක් තුළ අප්‍රිකාවේ, ඉතියෝපියාව හා ලයිබීරියාව හැර අනෙකුත් සමස්ත අප්‍රිකාව ම තම යටතට ගැනීමට බටහිර බලවතුන් සමත් විය. අප්‍රිකාව සතු වූ ස්වාභාවික සම්පත් හා ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීමේ අරමුණින් බටහිර ජාතීන් අප්‍රිකාව යටත් කර ගනු ලැබීය. තම හමුදා බලය ‍මාර්ගයෙන් බටහිර යුරෝපා ජාතීන් අප්‍රිකාවේ විශාල ප්‍රදේශයක් තම යටතට ගන්නා ලදි. අප්‍රිකානු මහද්වීපය යටත් කර ගැනීමේ තරගයේ දී අනෙකුත් බටහිර බලවතුන් අතර යුධ ගැටුමක් ඇති වීමේ අවදානම වළක්වා ගැනීමේ අරමුණින් ජර්මනියේ බිස්මාර්ක්ගේ හා බෙල්ජියමේ දෙවන ලියෝෆෝල්ඩ් රජුගේ මූලිකත්වයෙන් බර්ලින් නුවර දී සමුළුවක් පවත්වනු ලැබීය. එහි දී අප්‍රිකාව තමන් අතර බෙදා ගැනීමට යුරෝපා ජාතීන් එකඟ විය. අප්‍රිකානු ජනයා, ඔවුන්ගේ සංස්කෘතිය හෝ ස්වාභාවික දේශසීමා පිළිබඳ තැකීමක් නොකොට මහද්වීපය බෙදා වෙන් කරනු ලැබීය. 

2.1. ස්පාඤ්ඤය හා පෘතුගීසි බලව්‍යාප්තිය.

ස්පාඤ්ඤය විසින් ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්දියෙන් දකුණින් වූ ප්‍රදේශයට ඉතාමත් ම ආසන්න මොරොක්කෝවේ කොටසක්ද, කැනරි දිවයින්ද, රියෝ ද ඔරෝ හා රියෝද මිනි යන ප්‍රදේශද යටත් කර පාලනය කරනු ලැබීය. 

19වන සියවස ආරම්භ වන විට අප්‍රිකාවේ සැබෑ අධිරාජ්‍යයකට හිමිකම් කී රට වූවේ පෘතුගාලයයි. ඔවුන් විසින් අප්‍රිකාවේ වහල් වෙළදාමෙන් විශාල ලාභයක් උපයා ගත් අතර බ්‍රිතාන්‍යන්ගේ පැමිණිම වන තෙක් අප්‍රිකාවේ හිමිකම ඔවුන් සතුව පැවතියහ. නමුත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ආක්‍රමණ හමුවේ විශාල ලෙස තම ප්‍රදේශ අහිමි කර ගැනීමට පෘතුගීසීන්ට සිදු විය. නමුත් අප්‍රිකාවේ නිරිත දිග ප්‍රදේශයක් වූ ඇන්ගෝලාව හා ගිනිකොන දිග ප්‍රදේශයක් වූ මොසැම්බික් යන ප්‍රදේශයත්, බටහිර අප්‍රිකාවේ පෘතුගීසි ගිනියාව නම් ප්‍රදේශයත්, තව දුරටත් තමා යටතේ නාම මාත්‍රිකව තබා ගැනීමට පෘතුගීසීන්ට හැකි විය.

2.2. ප්‍රංශ බලව්‍යාප්තිය.

ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය බිඳවැටීමෙන් පසු එයට අයත් ව පැවති අප්‍රිකානු ප්‍රදේශ අත් පත් කර ගැනීම සඳහා බටහිර යුරෝපා බලවතුන් උත්සුක විය. ඒ අනුව ප්‍රංශයේ ලුවී පිලිප් රජු විසින් ඇල්ජීරියාව තම ග්‍රහණයට ගනු ලැබීය. ඉන් පසු ඇල්ජීරියාවේ අසල්වැසි ප්‍රදේශ වූ ටියුනීසියාව, මොරොක්කෝ හා සමක අප්‍රිකාව යන ප්‍රදේශ ද යටත් කර ගැනීමට සමත් විය. ඉන් පසු ක්‍රමයෙන් සෙනගාලය, සෝමාලිලන්තය, මැඩගස්කර් දූපත හා ගිනියා වෙරළේ කොටස්වලට ද ප්‍රංශ බලය ව්‍යාප්ත කිරීමට හැකි විය. තවද බෙල්ජියම සමඟ කොන්ගෝව අයත් කර ගැනීමට අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොන්ගෝ ග‍‍ගේ උතුරු ප්‍රදේශයට හිමිකම් කීමට ද ප්‍රංශයට හැකි විය.

2.3. ජර්මන් බලව්‍යාප්තිය.

1870 පමණ වන තෙක් ම ජර්මනිය යටත් විජිත පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් උනන්දු නොවීය. මෙහි දී මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ‍වේ ඔටෝ වොන් බිස්මාක් ය. ඒ අනුව ඔහු අනෙකුත් යටත් විජිත බලවතුන් සමඟ ගැටුමක් ඇති නොවන ලෙස කටයුතු කිරීමට උත්සහ කරන ලදි. ඒ අනුව පවත්වන ලද බර්ලින් සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස බටහිර අප්‍රිකාවේ විශාල ප්‍රදේශයකට හිමිකම් කීමට ජර්මනියට හැකි විය. ඒ අනුව ජර්මානු නිරිත දිග අප්‍රිකාව, ජර්මානු කැමරූන් හා ටොංගාලන්තය යන ප්‍රදේශයන් අයත් කර ගනු ලැබීය. නැගෙනහිර අප්‍රිකාවේ ටැන්ගනිකාව ද ජර්මනියට හිමි විය.

2.4. ඉතාලි බලව්‍යාප්තිය.

ජර්මනිය හා ප්‍රංශය අතර මොරොක්කෝව හිමි කර ගැනීම සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයේ දී ඉතාලිය විසින් තම සහය ප්‍රංශයට ලබා දීමත් සමඟ ලිබියාව ඈඳා ගැනීමට ඉතාලිය සමත් විය. ඊට අමතරව රතු මුහුදට හා ඉන්දියන් සාගරයට මුහුණලා ඇති සෝමාලියාව හා  එරිත්‍රියාව අල්ලා ගැනීමට සමත් වූ අතර 1896දී ඉතියෝපියාව අල්ලා ගැනීම සඳහා කල සටනින් පරාජයට පත් විය. 

2.5. බෙල්ජියම් බලව්‍යාප්තිය.

කොංගෝ ප්‍රදේශය ගවේෂණය කල ප්‍රමුඛතම පුද්ගලයා වන්නේ ඇමරිකානු ජාතික පුවත් පත් වාර්තා කරුවෙකු වූ හෙන්රි එම්. ස්ටැන්ලිය. ඔහු විසින් අදාළ ප්‍රදේශ සම්බන්ධයෙන් ප්‍රචාරණය කරන ලද තොරතුරු හේතුවෙන් කොංගෝ ප්‍රදේශයේ බලය ලබා ගැනීමේ අපේක්ෂාවක් බෙල්ජියමේ දෙවන ලියෝපෝල්ඩ් රජුට ඇති විය. ඒ අනුව ඔහු විසින් ස්ටැන්ලි සිය නියෝජිතයා ලෙස ඉදිරිපත් කරමින් කොන්ගෝ ප්‍රදේශය යටත් කර ගැනීම සඳහා සමාගමක් ද පිහිටුවා ගනු ලැබීය. ප්‍රංශ විසින් ද කොංගෝවට අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමෙන් පසු කොංගෝ නදියෙන් දකුණේ වූ ප්‍රදේශය පමණක් ලබා ගැනීමට බෙල්ජියම සමත් විය.

2.6. බ්‍රිතාන්‍ය බලව්‍යාප්තිය.  

බෙල්ජියම විසින් කොංගෝ ප්‍රදේශය යටත් කර ගැනීම මඟින් ලබා ගත් සාර්ථකත්වය දුටු ප්‍රංශය හා බ්‍රිතාන්‍යය ද අප්‍රිකාවේ සිය වෙළඳ සමාගම් පිහිටුවමින් අප්‍රිකානු ප්‍රදේශ මහා පරිමාණයෙන් සූරා ගැනීමට උත්සහ කරනු ලැබීය. ඒ අනුව නයිජීරියාව සඳහා ප්‍රංශය අතර හා බ්‍රිතාන්‍ය අතර වූ අරගලයෙන් ජයග්‍රහණය කල බ්‍රිතාන්‍යයන් එම ප්‍රදේශ අයත් කර ගැනීමට සමත් විය. කෙසේ වෙතත් අප්‍රිකාවේ උතුරු ප්‍රදේශ යටත් කර ගැනීමට ප්‍රංශය සමත් විය. නැපෝලියන් විසින් ආරම්භ කරන ලද යුද්ධ මාලවත් සමඟ අප්‍රිකාවේ ප්‍රදේශ අල්ලා ගැනීමේ උනන්දුව වර්ධනය වූ අතර නැපෝලියන් විසින් නෙදර්ලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ එහි යටත් විජිත ප්‍රදේශ ද අයත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කරනු ලැබීය. යුද්ධය අවසානයේ ලන්දේසීන් සතු ප්‍රදේශ නැවත ලබා දීමට කටයුතු කරනු ලැබූ නමුත් මූලෝපායක වශයෙන් වැදගත් ප්‍රදේශ තමා සතුව තබා ගැනීමට කටයුතු කරන ලදි. ඒ අනුව ලන්දේසීන් සතු වූ දකුණු අප්‍රිකානු ප්‍රදේශ හා ඒ අවට වූ කේප් ප්‍රදේශ තමා සතු කර ගැනීමට ඉංග්‍රීසීන්ට හැකි විය. 

නමුත් ලන්දේසීන් විසින් කේප් ප්‍රදේශවල ඇති කරන ලද ලන්දේසි ජනපදවල සිටි ලන්දේසි සම්භවයක් සහිත ගොවීන් හෙවත් බෝවර්වරු, බ්‍රිතාන්‍යයන්ට තම විරෝධය එල්ල කරනු ලැබීය. ඉංග්‍රීසි පාලනයට අකමැති වූ බෝවර්වරු කේප් ප්‍රදේශයේ උතුරින් වූ ට්‍රාන්ස්වාල් හා ඔරේන්ජ් යන ප්‍රදේශවලට සංක්‍රමණය වී ස්වාධීන සමූහාණ්ඩු දෙකක් පිහිටුවා ගනු ලැබීය. බ්‍රිතාන්‍යයන් ඒ සම්බන්ධයෙන් මුලදී උදාසීන ස්වභාවයක් දැරුවත්, ට්‍රාන්ස්වාල් හා ඔරේන්ජ් යන ප්‍රදේශවලින් රත්‍රං හමුවීමත් සමඟ බ්‍රිතාන්‍යයන් විසින් එම ප්‍රදේශවලට වූ තම අයිතිවාසිකම් ඉදිරිපත් කරමින් නැවත් ඒවා ඈඳා ගැනීමට උත්සහ කරන ලදි. එහි දී බෝවර්වරුන්ද ඊට ප්‍රබල විරෝධතාවක් එල්ල කල අතර දෙපාර්ශවය අතර 1809 පටන් ඉතා දීර්ඝ කාලයක් තුල බිහිසුණු සටන් මාලවක් ඇති විය. දෙපාර්ශවයට ම ජයග්‍රහණය දෝලනය වෙමින් අවසානයේ බ්‍රිතාන්‍යයන්ට ජයග්‍රහණය හිමි වූ අතර ඉතා දැඩි මර්දනයකින් අනතුරුව බෝවරුවරුන්ද යටත් කර ගනිමින් දකුණු අප්‍රිකාවේ විශාල ප්‍රදේශයක් ආක්‍රමණය කර යටත් කර ගැනීමට සමත් විය.

තවද සූවස් ඇල ඉදි කිරීමත් සමඟ සූවස් ප්‍රදේශය අල්ලා ගැනීමේ වැදගත් කම බ්‍රිතාන්‍යයන්ට වැටහෙන්නට විය. ඒ අනුව ඊජිප්තුව ආශ්‍රිතව බ්‍රිතාන්‍ය බලය පිහිටුවීමේ ක්‍රියාවලිය ද සාර්ථක කර ගැනීමට එවකට බ්‍රිතාන්‍ය අගමැති වූ ඩිස්රායලී සමත් විය. ඉතා සූක්ෂ්ම ලෙස ඊජිප්තුව සංවර්ධනය කිරීමේ මුවාවෙන් එරටට ණය මුදල් ලබා දී ඊට හිලව් ලෙස ඊජිප්තු පාලකයා පීඩනයට පත් කරමින් ඊජිප්තුව සතු සූවස් ඇල සමාගමේ කොටස් කුණු කොල්ලයට මිලදී ගැනීමටත් එහි පාලනය තම යටතට ගැනීමටත් ඩිස්රායලී සමත් විය. කෙසේ වෙතත් තම රට බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වනු දුටු ඊජිප්තු වැසියන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව 1882දී කැරැල්ලක් ඇති කරනු ලද මුත් එය සාර්ථකව මර්දනය කරමින් සමස්ත ඊජිප්තුව ම තම ග්‍රහණයට ගෙන, එය බ්‍රිතාන්‍ය ආරක්ෂිත රාජ්‍යයක් බවට පත් කිරීමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය. ඊජිප්තු ප්‍රදේශ මාර්ගයෙන් ඊට දකුණින් වූ සූඩානය ද යටත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන් සමත් විය. මුලදී ප්‍රංශයන් සමඟ සූඩානයේ හිමි කම සම්බන්ධයෙන් ගැටලු ඇති වූ නමුත් ඒවා සාර්ථක ලෙස විසඳා ගනිමින් සූඩානයේ විශාල ප්‍රදේශයකට හිමිකම් කීමට බ්‍රිතාන්‍යයන් සමත් විය. ප්‍රබල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාප්තවාදියෙකු වූ සිසිල් රෝඩ්ස් විසින් අප්‍රිකාවේ දකුණු ප්‍රදේශ අල්ලා ගනිමින් තම නම අනුව එම ප්‍රදේශය රොඩේශියාව (වර්තමාන සිම්බාබ්වේ) ලෙස නම් කරන ලදි. ඔහුගේ අරමුණ වූයේ උතුරේ වූ ඊජිප්තුවේ සිට දකුණේ වූ කේප් කොලනිය දක්වා ප්‍රදේශ බ්‍රිතාන්‍ය පාලනයට ගෙන එම ප්‍රදේශ යා කර දුම්රිය මාර්ගයක් තැනීමයි. නමුත් එම අභිප්‍රාය ජර්මනියේ මැදිහත් වීම මත නිෂ්ඵල වූ නමුත්, ඒ අවට ප්‍රදේශ වූ උගන්ඩාව, නැගෙනහිර අප්‍රිකාව හෙවත් කෙන්යාව හා සෝමාලියාවේ කොටසකත් තම බලය පැතිර වීමට සමත් විය. තවද අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ වූ රන් වෙරළ (Gold Coast) හා සියාරා ලියෝන් යන ප්‍රදේශ ද යටත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන් සමත් විය. මේ අනුව 19වන සියවස අවසන් වන විට අප්‍රිකානු මහද්වීපයේ ප්‍රමුඛතම අධිරාජ්‍ය බලවතා බවට පත් වීමට බ්‍රිතාන්‍යයට හැකි විය. 

3. ආසියාව තුල බටහිර අධිරාජ්‍යවාදී බලවේගන්හි ප්‍රාදේශීය ව්‍යාප්තිය හා උපක්‍රම.

3.1. ඉන්දුනීසියාවේ, ලන්දේසි බලව්‍යාප්තිය.

අග්නිදිග ආසියාවේ අභ්‍යන්තර ආරවුල් උපයෝගී කොට ගනිමින් 19වන සියවස ආරම්භ වන විට එම ප්‍රදේශවල සිය බලය වර්ධනය කර ගැනීමට ලන්දේසීන්ට හැකි වූ අතර නිරායාසයෙන් ම අග්නිදිග ආසියානු කොදෙව් වූ නැගෙනහිර දූපත් රැසක ඉන්දුනීසියානු ස්වාධීනතාව නැති කරමින්, ලන්දේසි අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමට හැකි විය.

නමුත් කල්යත් ම දේශීයයන් සමඟ නිතර නිතර යුද්ධ ඇතිවීමත්, වැඩි ලාබයක් ලබාගැනීමේ අභිප්‍රායත්, හේතුවෙන් ලන්දේසි බලය අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්ත වන ආකාරයක් පසුව දැකිය හැකිය. මෙලෙස ලන්දේසි අරමුණු වෙනස් වන්නට ඇත්තේ තම ආධිපත්‍ය බලය ස්ථාවර කර ගැනීමටත් හා අනෙකුත් යුරෝපීය රාජ්‍යයන්ගේ ආගමනය වැළැක්වීමටත් විය හැකිය. කෙසේ වුවත් පසුකාලීනව වෙනස් වූ එම ප්‍රතිපත්තිය හේතුවෙන් ‍ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පරිහානිය ද ආරම්භ වූ බව පෙනී යයි. එයට ප්‍රධානතම හේතුව වූයේ දීර්ඝ කාලීන මෙන් ම අධික ධනයක් වැය කිරීමට සිදු වූ යුද්ධත්, යටත් ප්‍රදේශ වැඩි වීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් අධික වීමත් ය.

ප්‍රධාන වශයෙන් ලන්දේසි ප්‍රතිපත්තිය පිළිබඳ ව සලකා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ මුල්කාලීන ලන්දේසි සමාගමේ අරමුණ වූවේ වෙළඳ කටයුතු සඳහා මිස දිවයින්වල අභ්‍යන්තර පාලනයට මැදිහත් නොවිය යුතු බවයි. යුද්ධ කිරීම අත්‍යාවශ්‍ය නම් පමණක් කළ යුතු බව ලන්දේසි සමාගමේ අරමුණ විය. ආර්ථික කටයුතුවල දී නිරායාසයෙන් ම දේශපාලන කටයුතුවලට මැදිහත් වීමට සිදුවුවත් දේශපාලන වගකීම් පිළිබදව ලන්දේසීන් අවදානය යොමු නොකරන ලදි. 

3.2. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය බලව්‍යාප්තිය.

19වන සියවස තුල බ්‍රිතාන්‍යන්ගේ පෙරදිග ප්‍රතිපත්ති පිළිබඳ විමසීමේ දී පෙනී යන්නේ ඔවුන්ගේඅස්වාමිකවාදය හා ප‍්‍රදේශ ඈඳා ගැනීම මුළු ඉන්දියාව පුරාම කරන ලද බවයි' අස්වාමිකවාදය යනු උරුමක්කාරයෙකු නොමැතිව ප‍්‍රාදේශීය නායකයා මියගියේ නම් ඔහු හදාවඩා ගත් කුමාරයෙකුට සිහසුන හෝ රජයන විරුදය හිමිනොවන්නේය යන්නයි. මෙම අවස්ථාවලදී එම ප‍්‍රදේශ ඉන්දියාවේ බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යය පාලනයට හිමිවන බවයි. එවකට එහි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ඩැල්හවුසි පෙන්වා දෙන ලදි'මෙම න්‍යාය අනුව ජාන්සි මහාරාණිට දරුවෙකු හදාවඩා ගැනීමට ඉඩ නොදුන්නේය. තවද පෙෂ්වාහී දෙවන බාජී රා ඕගේ හදාවඩා ගත් පුතු වූ නා නා සහිබ් රාජ්‍ය උරුමක්කරු ලෙස නොපිළිගන්නා ලදී.


      ප‍්‍රදේශ ඈඳා ගැනීමේදී බ්‍රිතාන්‍යයන් සතාරා, ජාන්සි සහ නාග්පූර් යන ප‍්‍රදේශ තම පාලනයට ඈඳා ගත්තේ ඉතාමත් වංචාකාරී ලෙසය. මෙලෙස වෙළඳ සමාගමේ පාලකයින් එම සමාගමට අයත් භූමි ප‍්‍රමාණය පුළුල් කරගැනීමේ හා බි‍්‍රතාන්‍යය පාලනය තහවුරු කරගැනීමේ අභිප‍්‍රායෙන් ගෙනගිය ප‍්‍රදේශ ඈඳා ගැනීමේ ව්‍යාපාරය කෙරෙහි එම ප‍්‍රදේශවල පාරම්පරික පාලකයන් මෙන්ම සාමාන්‍යය ජනතාවද කිසිසේත්ම ප‍්‍රසාදයක් නොදැක්වීය. මරාත දේශය, සින්ඞ් රාජ්‍යය, නාග්පූර්, සතාරා වැනි ප‍්‍රදේශ සේම ඉතා ප‍්‍රබල ජාතියක් වූ සික්වරු පරදවා පන්ජාබයද අල්ලා ගැනීමටද බි‍්‍රතාන්‍යයන් සමත් වූහ. 


           විශේෂයෙන්ම අස්වාමිකවාදය යටතේ රාජ්‍යයකට උරුමක්කරුවෙකු තේරීමේදී බි‍්‍රතාන්‍යය පාලකයින්ගේ අවසරය ලබාගතයුතු වූ අතරම එවැනි කොන්දේසියක් පනවන ලද්දේ බි‍්‍රතාන්‍යයන්ට පක්ෂපාතී අයෙකු හෝ සිය හිතවතෙකු පත් කිරීමේ අරමුණෙනි. එසේම එමඟින් එම ප‍්‍රදේශ කෙලින්ම බි‍්‍රතාන්‍යය පාලනයට යටත් කරගත හැකිබව බ්‍රිතාන්‍යන්ගේ ආකල්පය විය. මේ අනුව මෙම අස්වාමිකවාදය යටතේ හින්දු රාජ්‍යය විශාල ප‍්‍රමාණයක් අල්ලා ගත්හ. මේ අතරම නවාබ් හා රාජා යන පදවි අහෝසි කිරීමත් කලින් සිටි අධිරාජ්‍යයාගේ විශ‍්‍රාම මුදල අහිමි කිරීමත් සිදු කරන ලදිග


       තවද 1856දී මෝගල් අධිරාජ්‍යයාවන බහදුර් ෂාගේ මරණින් අනතුරුව එතෙක් නාමිකව පැවති මෝගල් අධිරාජ්‍යය පාලනය අවසන් කිරීමට බි‍්‍රතාන්‍යයන් තීරණය කළහ. බි‍්‍රතාන්‍යයන් විසින් ඉක්මන්කාරීව ගන්නාලද තීරණයෙන් හින්දූන් මෙන් ම මුස්ලිම්වරුන් අතර මහත් අප‍්‍රසාදයක් ඇති කරවූ අතරල 1857-1858 අතර කාලයේදී බි‍්‍රතාන්‍යය විරෝධී ව්‍යාපාරයකට පදනම වැටීමෙහිලා එයද සාධකයක් විය. 

1857 ඉන්දියාවේ ඇති වූ හමුදා කැරැල්ලෙන් පසු බ්‍රිතාන්‍යයන් ඉන්දියාව තුළින් තමන්ට නැවතත් අභියෝග එල්ල නොවන ආකාරයට තම ප්‍රතිපත්ති නිර්මාණය කර ගන්නා ලදි. එහි පළමු පියවර වූයේ බ්‍රිතාන්‍ය සමාගම සතු ව තිබූ ඉන්දියානු ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය යටතට පවරා ගැනීමයි. එමගින් සාර්ථක යටත් විජිත පාලනයක් ඉන්දියාව තුළ ගෙන යාමට බ්‍රිතාන්‍යයට  හැකි වූ අතර ඉන්දියාවෙන් පිටතට ද තම අවධානය යොමු කිරීමට ද  හැකි විය.

මෙම කාලය වන විට බ්‍රිතාන්‍යයන් සතු ඉන්දියානු ප්‍රදේශවලට බාහිරින් අභියෝග හා තර්ජන එල්ල වෙමින් පැවතිණ. 1858ට පෙර සිට ම බ්‍රිතාන්‍යයන් යටතේ වූ ඉන්දියාව තම දේශසීමාබද අසල්වැසි රාජ්‍යයන් වූ ඇෆ්ගනිස්ථානය,  භූතානය, බුරුමය හා ටිබෙටය වැනි රටවල කටයුතු වලදීද සැලකිය යුතු මැදිහත් වීමක් සිදු කරන ලදි. 1857 කැරැල්ලෙන් පසු ඇති කරන ලද කාර්යක්ෂම පාලන තන්ත්‍රයත්, ගොඩනඟා ගත් විශාල හමුදාවත් හේතුවෙන් ආසියාවේ කටයුතුවල දී ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට ඔවුන්ට හැකි විය. 1858න් පසු ඉන්දියාව කේන්ද්‍ර කොටගත් බ්‍රිතාන්‍ය බලය  “යාකුබ් බෙග්ගේ” කැරැල්ල ඇති වූ කාලයේ දී “සිංකියෑං” පළාතට හා ඇෆ්ගනිස්ථානයට කෙමෙන් එල්ල වෙමින් පැවතිණ. උතුරින් එල්ල වූ රුසියානු බලපෑම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය ආරක්ෂිත ප්‍රදේශයක තත්වයට පත් කිරීමට උත්සාහ කරන ලදි. තවද නැ‍‍‍ගෙනහිරින් එල්ල වූ ප්‍රංශ ආධිපත්‍යයට විරුද්ධව බුරුමය ද ආක්‍රමණය කර ඈඳා ගන්නා ලදි. ඉරානයේ (පර්සියාව) අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට බ්‍රිතාන්‍යයන් උත්සාහ කළ අතර අරාබි වෙරළෙහි හා පර්සියානු බොක්කෙහි ද ටිබෙටයේ හා භූතානයේ ද බ්‍රිතාන්‍ය බලය ව්‍යාප්ත කර ලීය. 1875න් පසු බ්‍රිතාන්‍ය ඉන්දියාව දකුණු ආසියාවේ දේශපාලන ක්‍රමයක මධ්‍යස්ථානය බවට පත් විය.

වාණිජ අධිරාජ්‍යවාදී කටයුතු හේතු කොට ගෙන බුරුමයෙහි කටයුතු වලට මැදිහත් වීම වඩාත් සාර්ථක විය. 1826 ප්‍රථම බුරුම යුද්ධයේ ප්‍රතිඵලය වූයේ අරකන් හා තෙනසෙරිම් යටත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය. 1852 දෙවෙනි බුරුම යුද්ධය මඟින් පේගු ප්‍රදේශය යටත් කර ගැනීමට හැකි විය.

3.3. චීනයේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ බලව්‍යාප්තිය.

චීනයේ මැංචූ අධිරාජ්‍ය පිරිහීම අවස්ථාවක් කර ගත් යුරෝපීය ජාතීන් චීනයට ප්‍රබල  ලෙස මැදිහත් වීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා සමාගම ද, 1833දී සමාගමේ ඒකාධිකාරය අහෝසි කිරීමෙන් පසු යුරෝපීය වෙළෙන්දෝ ද, ඉන්දියාවෙන් අබිං ලබාගෙන චීනයට ගෙන ගොස් චීන භාණ්ඩ සමඟ හුවමාරු කරන ලදි. අබිං හේතුවෙන් චීනය තුළ සිදු වන පරිහානිය දුටු චීන අධිරාජ්‍යයා අබිං චීනය තුළට ගෙන ඒම තහනම් කරන ලදි. නමුත් එම තහනම නොතැකූ ඉංග්‍රීසි වෙළඳුන් හොර රහසේ ම රට තුළට අබිං ගෙන එන ලදි. මෙය වැළැක්වීමට චීන රජය තදින් ම කටයුතු කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා ඇමරිකාවේ ද අනුදැනුම මත 1839 දී චීන වරායන් වලට පහර දුන් අතර එය පළමු වන අබිං යුද්ධය ලෙස හඳුන්වනු ලැබේ. 

එම යුද්ධයෙන් පරාජයට පත් වූ චීනයට, බ්‍රිතාන්‍ය සමඟ නැන්කිං ගිවිසුම අත්සන් කිරීමට සිදු වූ අතර එයට අනුව හොංකොං දිවයින ඉංග්‍රීසීන්ට පවරා දීමට සිදු වූ අතර තවත් වරායන් පහක් බ්‍රිතාන්‍ය සමඟ වෙළඳ කටයුතු සඳහා විවෘත කිරීමට සිදු විය. නමුත් මෙය ද කල්යත් ම ප්‍රමාණවත් නොවූ ඉංග්‍රීසීන්ට, තමන්ට අපහාස කිරීම හා ප්‍රංශ මිෂනාරීන්ට කරදර සිදු කිරීම යන හේතු සාධක මත 1857 දී යළිත් වරක් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ඒකාබද්ධ හමුදාවල පහර දීමකට චීනය ලක් විය. එම ආක්‍රමණය හමුවේ ද අසරණ වූ චීන රජයට පරාධීන කොන්දේසි රැසකට එකඟ වීමට සිදු විය. තවත් වරායන් හයක් බ්‍රිතාන්‍ය, ප්‍රංශ, රුසියානු හා ඇමරිකානු වැනි විදේශීය ජාතීන්ට වෙළඳාම සඳහා විවෘත කිරීම, ප්‍රංශ මිෂනාරීන්ට පහසුකම් සැපයීම යන කොන්දේසි ඒ අතර විය. මෙම හේතුවෙන් චීනයේ ස්වාධිපත්‍ය උල්ලංඝනය වූ අතර චීනය බටහිර රටවල තිප්පොළක් බවට පත් විය.

19වන සියවසේ අවසාන කාලය වන විට වරින් වර බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මන්, ඇමරිකන්, රුසියන්, පෘතුගීසි, ජර්මන්, ඉතාලි යන යුරෝපා ජාතීන්ට චීනයේ වරායන්, නගර, ගංගා විවෘත කිරීමට සිදු විය. චීනය තුළ ඇමරිකා වෙළඳුන්ට, වෙළඳ කටයුතුවල නියැලීමට හා අනෙක් රටවලට මෙන් චීනයේ ප්‍රදේශවලට විශේෂිත අයිතිවාසිකම් නොදීමත්, බටහිර රටවල බලපෑම උත්සන්න වී චීනය බටහිර රටවලට අවශ්‍ය ලෙස කොටස් කිරීමට සැරසෙන බවත් දුටු ඇමරිකාවේ රාජ්‍ය ලේකම් වූ ජෝන් හේස් විසින් 1899 දී විවෘත ද්වාර ප්‍රතිපත්තිය හෙවත් විවෘත කිරීමේ ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව චීන වරායන් වල රේගුව බටහිර රටවලට පැවරුණු අතර බටහිර රටවල අභිමතය අනුව බටහිර භාණ්ඩ වලට අඩු තීරු බදු පනවා, බටහිර නිලධාරීන් විසින් ම වරායන් පාලනය කරන ලදි. නිදහස්, විවෘත වරායන් වලට චීන නීති අදාළ නොවූ අතර අදාළ ප්‍රදේශය අයිති බටහිර රටේ නීතිය පමණක් පිළිගැණුනි. එමගින් චීනය බරපතළ ලෙස සූරා කෑමකට ලක් වුවත් චීනය මුළුමනින්ම යටත් කර ගැනීම හා චීනයේ සමස්ත ස්වාධිපත්‍ය අහිමි කිරීමෙන් බොහෝ දුරට බේරා ගැනීමට හැකිවිය. 

මිෂනාරීවරු චීනය පුරා කතෝලික ආගම හා බටහිර සංස්කෘතිය ව්‍යාප්ත කරන ලදි. මෙම ක්‍රියාකාරකම් වලට ප්‍රකෝප වූ චීන ජනයා අවසානයේ ඉවසිය නොහැකි තැන බටහිර වෙළදාමට, බටහිර සිරිත් විරිත් වලට, කතෝලික මිෂනාරිවරුන්ට හා ‍කතෝලික ආගම වැළඳ ගත් චීන ජනයාට විරුද්ධව ප්‍රචණ්ඩත්වය මුදා හරින ලද අතර එය 1900 දී ඇති වූ ‍බොක්සර් කැරැල්ල ලෙස හඳුන්වනු ලැබේ. එම බොක්සර් කැරැල්ල තුළ සංස්කෘතික හා ආර්ථික විරෝධතාවක ලක්‍ෂණ තිබුණි. කැරලි කරුවෝ කතෝලික පල්ලි, විනාශ කරමින් බටහිර තානාපති කාර්යාලයන් දෙමසක් පමණ වටලා සිටින ලදි. මෙම අවස්ථාව හේතුවක් කර ගනිමින් බටහිර රටවල් චීනයට සම්බාධක පැනවූ අතර රුසියාව මැන්චූරියාව ආක්‍රමණය කල අතර ජර්මනිය ෂැංටුන් අර්ධද්වීපයත්, බ්‍රිතාන්‍යයන් වේහායිවෙයි වරාය හා යැංසි මිටියාවතටත් අයිතිවාසිකම් ඉදිරිපත් කරන ලදි. තවද බටහිර ඒකාබද්ධ හමුදා පීකිං හී චීන රජ මාලිගය ආක්‍රමණය කරමින් කොල්ල කා නින්දිත ගිවිසුමකින් චීනයේ වරායන්වල හා ප්‍රදේශවල පාලන බලය ලබා ගන්නා ලදි.

3.4. ජපානය.

19වන සියවසේ අඟ බාගය පමණ වන තෙක් ම ජපානය බටහිර ජාතීන්ට විවෘත නොවීය. මෙය බටහිර රටවලට නුරුස්සනා කාරණයක් වූ අතර අවසානයේ පැසිෆික් සාගරයේ ප්‍රබලයන් ‍ලෙස වර්ධනය වූ ඇමෙරිකාවේ බල පෑම යටතේ තම හුදකලා භාවය අත හැර දැමීමට ජපානයට සිදුවිය. ඒ අනුව 1853 ජූලි මස 8 දා ඇමරිකානු ජනාධිපති වූ ෆිල්මොර්ගේ ලිපියක් රැගෙන, කොමදෝරු පෙරී ජපානයේ උරගා අසල යොකොහමා වරායට පැමිණ, එම ලිපියට සතුටුදායක පිළිතුරක් ලබා ගැනීමට නැවත පැමිණෙන බව දන්වන ලදි. එමගින් ජපාන ජනතාව හා රජය බිය ගැන්වීමට ඇමරිකානුවන්ට හැකි විය. එම ලිපියට අනුව ජපානය සහ ඇමරිකාව අතර වෙළඳ ගිවිසුමක් අති කර ගැනීමට බලපෑම් සහිත යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එයට කැමති වීමට ජපානයට සිදු විය. පෙරීගේ පැමිණි ම ජපානය තුළ දිගු කාලීන ප්‍රතිඵල ඇති කිරීමට සමත් වූ බව ජපාන ඉතිහාසය අධ්‍යනයේ දී පෙනී යයි.

මෙම ගිවිසුම් හේතුවෙන් විදේශිකයන්ට රට තුළ පදිංචි වීමට ද, නිදහසේ රට තුළ සංචාරය කිරීමට ද, නිදහස් වෙළඳ කටයුතු කිරීමට ද ඉඩප්‍රස්ථාව ඇති විය. රට අනවශ්‍ය ලෙස බටහිර ග්‍රහණයට ලක් වෙන බව දුටු ජපාන ජනතාව රටේ පාලන බලය ඉසිලූ ෂෝගුන්වරුට විරුද්ධව පෙළ ගැසුණු අතර ඒ හමුවේ ෂෝගුන්වරුගේ බලය බිඳ වැටී මෙයිජිවරුන්ට බලය ලැබෙන ලදි. මෙය මෙයිජි විප්ලවය නැතහොත් මෙයිජි පුනරුත්තාපනය ලෙස හඳුන්වනු ලැබේ. 

3.5. අග්නිදිග ආසියාව.

අතීතයේ සිට ම අග්නිදිග ආසියානු ප්‍රදේශ වල චීන ආධිපත්‍ය එම ප්‍රදේශවල බොහෝමයක් රාජ්‍ය පිළිගන්නා ලදි. ලාඕසය, කාම්බෝජය, අනෑමය, කොචින් චීනය වැනි ප්‍රදේශ ඉන් ප්‍රමුඛ විය. නමුත් බටහිර රටවල බලපෑම හමුවේ චීනය ක්‍රමයෙන් දුර්වල වූ අතර එය ප්‍රයෝජනයට ගත් ප්‍රංශය, 3වන නැපෝලියන්ගේ කාලයේ දී කොචින් චීනය, කාම්බෝජය, ලාඕසය හා ඒ අවට ප්‍රදේශ වල තම බලය ව්‍යාප්ත කරන ලදි. 1848-1870 අතර කාලයේ දී අග්නිදිග ආසියාවේ ප්‍රංශ අධිරාජ්‍ය ව්‍යාප්තිය ඉතා ප්‍රබලව සිදු විය. ඒ අනුව ඇනෑමය හා ටොන්කිනය චීනයෙන් ලබා ගැනීමටත්, සියම් දේශයට අයත් ප්‍රදේශ ආක්‍රමණය කරමින් තම ඉන්දු චීන ප්‍රදේශ ව්‍යාප්ත කර ගැනීමටත් ප්‍රංශයට හැකි විය.

3.6. සියම.

සියම හෙවත් තායිලන්තය අතීතයේ සිට ම චීන අධිරාජ්‍ය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලදි. ඒ හේතුවෙන් ම අග්නිදිග ආසියානු ප්‍රදේශ වල බටහිර යුරෝපා රටවල බලපෑම වර්ධනය වීමේ දී පවා තම ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට හැකි විය. නමුත් චීනය දුර්වල වීමත් සමඟ අග්නිදිග ආසියාව තුළ සියම් ආධිපත්‍ය අභියෝගයට ලක් විය. විශේෂයෙන් ම අග්නිදිග ආසියාවේ ප්‍රදේශ වලට ප්‍රංශය දැක්වූ ගිජුකම මීට හේතු විය. ප්‍රංශය විසින් කාම්බෝජයට තම බලපෑම යොමු කිරීමත්, කාම්බෝජ රජු සියමෙන් ආධාර පැතීමත් සමග සියම හා ප්‍රංශය අතර අර්බුද කාර තත්වයක් ඇති විය. නමුත් සාකච්ඡා මාර්ගයෙන් ගිවිසුමකට එළඹීම මගින් තාවකාලික ගිවිසුමකට පැමිණියත් ප්‍රංශය තම ආක්‍රමණික ප්‍රතිපත්ති අත් නොහරින ලදි. 

එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශය, සියම සතු දකුණේ විශාල ප්‍රදේශයක් ආක්‍රමණය කරන ලද අතර සියමට ඉතා පරාධීන කොන්දේසි රැසකට එකඟ වීමට සිදු විය. ප්‍රංශය සමස්ත සියම ම ආක්‍රමණය කිරීමට උනන්දු වුවත් බ්‍රිතාන්‍යයන්. ප්‍රංශය සමඟ අග්නිදිග ආසියාව තුළ සෘජු දේශ සීමාවකට අකමැති වීම මත තව දුරටත් සියම, බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශය අතර ආරක්‍ෂිත රාජ්‍යයක් ලෙස පවතින ලදි. තවද එකල සියමේ රජු වූ  චූලාලන්කෝන් රජුගේ දක්ෂතාව මත සියම තුළ ජපානයේ මෙන් දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ ඇති කරමින් නවීන රාජ්‍යයක් ලෙස ගොඩ නංවන ලදි. තවද ඔහු විසින් 1895 දී සියම තුළ ව්‍යවස්ථාදායක සභාවක් හා කැබිනට් මණ්ඩලයක් ද, දණ්ඩ නීති සංග්‍රහයක් ද ඇති කරන ලදි. නවීන රාජ්‍යයකට අවශ්‍ය වන දුම්රිය මාර්ග පද්ධතියක්, විදුලි පද්ධතියක්, තැපැල් ක්‍රමයක් විදුලි හා දුරකතන පද්ධතියක් හා නවීන මුදල් ක්‍රමයක් ද රට තළ ඇති කරන ලද්දේ චූලාලන්කෝන් රජු ය. බ්‍රිතාන්‍යන්ගේ හා ප්‍රංශයන්ගේ බලලෝභී ප්‍රදේශ ව්‍යාප්තිය හමුවේ විශාල ලෙස ප්‍රදේශ අහිමි කර ගනිමින් පවා සියමේ ස්වාධීනත්වය රැක ගැනීමට ඔහුට හැකි විය.

4. සමාලෝචනය.

19වන සියවස ආරම්භ වන විට යුරෝපීය යටත් විජිතවාදයේ නව අදියරක උදාවක් දැකිය හැකි විය. සම්ප්‍රදායික අධිරාජ්‍යය බලවතුන් වූ ස්පාඤ්ඤය හා පෘතුගාලය වෙනුවට සමාගම් ආකාරයෙන් සංවිධානය වූ ඉංග්‍රීසි, ලන්දේසි හා ප්‍රංශ ජාතික බල ව්‍යාප්තියක් ආසියානු ප්‍රදේශවල මෙන් ම ලෝකය පුරාම ඇති වන ආකාරයක් දැකිය හැකිය. මාක්ස්වාදයට අනුව ඉහතින් දැක්වූ පැරණි යටත් විජිතවාදය පූර්ව ධනවාදී වන අතර නූතන යටත් විජිත වාදය බටහිර යුරෝපයේ ධනවාදයට සමාන්තරව පිහිටුවා ගන්නා ලැබූවකි. නූතන යටත් විජිතවාදය තමන් විසින් යටපත් කර ගන්නා ලද ප්‍රදේශවලින් පඬුරු, භාණ්ඩ හා ධනය සූරාකෑමට අමතරව එය යටත් විජිතවල ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරමින් වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධතාවක් ගොඩනඟා ගන්නා ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස යටත් විජිත ස්වාමිවරු සහ යටපත් කරන ලද රටවල් අතර මානව සහ ස්වාභාවික සම්පත් ගලා යාමක් සිදුවේ. 

“ආක්‍රමණයන්ගෙන් තොරව අධිරාජ්‍යයක් ගොඩ නැගීම කිසිවිටකත් නුපුළුවන. එම අධිරාජ්‍යවාදීන් මහගු යැයි සිතන තම ශිෂ්ටාචාරය, බලයෙන් යටත් කර ගත් ප්‍රදේශ වල වූ දුබල ජාතීන්ට වදෙන් පොරෙන් දීමට තැත් කරති”  යනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේතුවේ මන්ත්‍රී කෙනෙකු වූ ද, බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශවලට නිදහස ලබදීම සම්බන්ධයෙන් ප්‍රබලව හඩ නැගූ එංගලන්ත කම්කරු පක්ෂයේ සාමාජිකයෙකු හා සුප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘ වරයෙකු ද වන ජේ. ඇෆ්. හොරබින්  මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව සැබෑ ලෙස ම පෙරදිග යුරෝපීය ජාතිකයන්ගේ ප්‍රතිපත්ති බොහෝ විට විනාශකාරී වූ බව පෙනී යයි. ඔවුන්ට අවශ්‍ය වූවේ කෙසේ හෝ පෙරදිග වස්තුව මංකොල්ල කෑම පමණි. ඒ සඳහා ඕනෑම ම්ලේච්ඡ ක්‍රියාවක් කිරීමට ඔවුන් සැදී පැහැදී සිටින්නට විය. යුරෝපීය ඉතිහාසඥයන් සඳහන් කර ඇති ආකාරයට “පෙරදිග වාසය කර අත්තේ නොදියුණු ම්ලේච්ඡයන් වන අතර ඔවුන් ශිෂ්ට කර වීම සිදු වූවේ යුරෝපා ජාතීන් අතින්ය.” නමුත් පෙරදිග වැසියන් ශිෂ්ට කර වීමේ දී යුරෝපීය ජාතිකයන් අනුගමනය කළ අශිෂ්ට හා ම්ලේච්ඡ ක්‍රියා ඔවුන් සාධාරණීකරණය හෝ අමතක කර දමා ඇත. 

කෝටිපතියෙක්, මූල්‍ය රජෙක් හා ඉංග්‍රීසි-බූවර් යුද්ධයට වගකිය යුත්තා වූ සිසිල් රෝඩ්ස් 1895දී පල කරන ලද අධිරාජ්‍යවාදී අදහස්, ඔහුගේ ම කිට්ටු මිතුරෙකු වූ පුවත් පත් කලාවේදි ස්ටෙඩ් විසින් දක්වා ඇත. එය සිසිල් රෝඩ්ස්ගේම වචනයෙන් මෙසේය:, “ඊයේ ලන්ඩන් නගරයේ ඊස්ට් එන්ඩ් පෙදෙසේ සිටි මම විරැකියා ගත වූවන්ගේ රැස්වීමක් දුටුවෙමි. මම ඒ උමතු කතා වලට සවන් දුනිමි. ඒවා හුදෙක් පාන්! පාන්! කියමින් කරන හඬ නැගීමක් විය. මා ආපසු නිවසට යන ගමන් මෙම දර්ශනය මෙනෙහි කළෙමි. අධිරාජ්‍යවාදයේ වැදගත්කම වෙන කවරදාකටත් වඩා හොඳින් මට එවිට අවබෝධ විය....මා අගේ කරන අදහස, සමාජ ප්‍රශ්නයට විසඳීමකි. එක්සත් රාජධානියේ 4,00,00,000ක් ජනතාව ලේ වගුරන සිවිල් යුද්ධයකින් මුදා ගැනීම සඳහා, යටත් විජිතවාදී රාජ්‍යය පාලකයන් වන අපි අතිරික්ත කරන ජනගහනය පදිංචි කර වීමටත්, ෆැක්ටරි හා ආකරවල නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා අළුත් වෙළඳ පොළවල් සැපයීමටත්, අළුත් රටවල් අත්පත් කර ගත යුත්තෙමු. මා නිතරම කියා තිබෙන පරිදි අධිරාජ්‍යය යනු පාන් සහ බටර් පිළිබඳ ප්‍රශ්නයකි. සිවිල් යුද්ධයක් ඇතිවීම වැළැක්වීම ඔබ අපේක්‍ෂා කෙරේනම්, ඔබ අධිරාජ්‍යවාදීන් විය යුතුය”.  මෙම ප්‍රකාශය තුළින් මනාව පැහැදිලි වන්නේ ද බටහිර යටත් විජිත බලවතුන්ගේ තිබූ අධිරාජ්‍යවාදී අපේක්‍ෂාවන්ය. 

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය බලය දීර්ඝ කරනුවස් බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය (Divide and Rule) හඳුන්වා දෙන ලද අතර පළමු ව ජාතීන් අණුව හින්දු හා මුස්ලිම් ලෙස මන්ත්‍රී කොට්ඨාශ ඇති කරන ලදි. ඒ හේතුවෙන් ම අනාගතයේ දී බ්‍රිතාන්‍ය ඉන්දියාව, ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශය ලෙස බෙදී වෙන් වීමට අවශ්‍ය අඩිතාලම ද සකස් විය. මෙම පසුබිම සෑම යටත් විජිතයක ම දැකිය හැකි විය. (ලංකාවේදී ද එය මනාව පැහැදිලි වේ) 

මුල්කාලීන ආසියාවට පැමිණි දේශගවේෂකයන්ට වඩා 19 වන සියවසෙන් පසුව පැමිණි වාර්තාකරුවන් හා ඉතිහාසඥයන් ඉතා විකෘති තොරතුරු දක්වා ඇති බව පෙනී යයි. බොහෝ විට පසු කලෙක බොහෝමයක් යුරෝපීය ග්‍රන්ථ රචකයන්  ස්වදේශිකයන් හඳුන්වා ඇත්තේ ම්ලේච්ඡයන් හා නොදියුණු ජනතාවක් ලෙසිනි. ‍ආසියාතික හා අප්‍රිකානු රටවල බලය ලබා ගැනීමේ දී එම රටවල ජනතාවගේ අසමගිය හා එකිනෙකාට එරෙහි කටයුතු කිරීම, යුරෝපීයයන්ට එම රටවල බලය ලබා ගැනීමටත් එම බලය තහවුරු කර ගැනීමටත් උදව් වූ බව පැහැදිලි වේ. දේශ ගවේෂණය හෝ සංචාරය යන කුමන අංශයක දී වුවද එම පරමාර්ථය බොහෝ විට මුදුන් පත් කර ගනු ලැබුවේ ඝාතන, පැහැර ගැනීම්, ගිනි තැබීම් මාර්ගයෙනි. බටහිර ජාතීන් ආසියාවට පැමිණියේ දේශ ගවේශනය හේතුවෙන් වන බව ද පසුව එම ව්‍යාපාරය පිළිවෙළින් පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ හා ඉංග්‍රීසීන් යන ජාතීන්ට අයත් වූ බව පිළිගැනීමයි. සැබෑ ලෙස ම දේශ ගවේෂකයන් ලෙස හැඳින්වුව ද මෙම සියලු ම ජාතීන්ගේ අරමුණ වූවේ ආසියාවේ වස්තුව කොල්ලකා තම රටවලට ගෙන යාමයි. 19වන සියවසට පෙර මෙන් ම ඊට පසුත් පෙරදිගට පැමිණි බටහිර අධිරාජ්‍යවාදී බලවේගයන් තම ප්‍රාදේශීය ව්‍යාප්තියේ දී අනුගමනය කරන ලද උපක්‍රම හේතුවෙන් අහිංසක යටත්වාසී මිනිස් ජීවිත දහස් ගණනක් බිලි ගත් බව ඉතා ප්‍රසිද්ධ කරුණකි.

 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

අබේවර්ධන, ඩී. එල්., අග්නිදිග ආසියාවේ යුරෝපීය යටත් විජිත, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2015.


ගුණවර්ධන, වී. ඩී. එස්., යුරෝපා ඉතිහාසය, සීමාසහිත ඇස්. ගොඩගේ සහ සමාගම, ‍කොළඹ, 2012.


දිසානායක, විජය., ගෝලීය ප්‍රවණතා(අතීතය-වර්ථමානය-අනාගතය), අනුරාධා ප්‍රකාශකයෝ, දෙල්ගොඩ, 2014.


නේරු, ජවහර්ලාල්., ලෝක ඉතිහාස සිහිවටන, අනුවාදය- ‍ඩේවිඩ් කරුණාරත්න, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම. කොළඹ, 2008.

පනික්කාර්, කේ. එම්., ආසියාව හා බටහිර ආධිපත්‍ය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2005.


රාවෝ, බී. වී., ලෝක ඉතිහාසය, පරිවර්තනය- මාලිනී ඇඳගම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003.


ලෙනින්. වී. අයි., පෙරදිග ලෝකයේ විමුක්ති ව්‍යාපාරය, ප්‍රගති ප්‍රකාශක මන්දිරය, මොස්කව්, සෝවියට් සංගමය. 1978.


සෙනවිරත්න, චාමින්ද., ජගත් දේශාටකයෝ, දයාවංශ ජයකොඩි සමාගම, කොළඹ. 2014.


සූරයප්පෙරුම, ජේ. අර්. පී., ලෝකයට කවුළුවක්, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2012.


‍හොරබින්, ජේ. ඇෆ්., මුහුදු කොල්ලකරුවන්ගේ ඉතිහාසය, කුරුලු පොත් ප්‍රකාශකයෝ, රාජගිරිය, 2009.

Monday, 15 March 2021

“යටත් විජිතවාදයේ බිඳ වැටීමට, දෙවන ලෝක යුද්ධයේ බලපෑම”


දෙවන ලෝක මහා සංග්‍රාමය හේතුවෙන්, බටහිර යුරෝපයේ යටත් විජිත අධිරාජ්‍යයන් විනාශයට පත් විය. සරලව ම දැක්වුවොත් දෙවන ලෝක යුද්ධය යනු යුරෝපයේ ඇති වූ සිවිල් යුධ මාලාවක් වේ. දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වූ සියලු ම රාජ්‍යයන් සෙසු ප්‍රශ්න පසක තබා ස්වකීය සකලවිධ සම්පත් යොදා ගනිමින් යුද්ධයට අවතීර්ණ විය. මෙහි ප්‍රතිඵලය වූවේ බොහෝ රටවල ආර්ථිකයන් විනාශ වීමයි. යුරෝපය සුන්බුන් වී කෑලිවලට කැඩී ගොස් විසිරිණ. නාසිවාදය හා පැසිස්ට්වාදය හේතුවෙන් යුරෝපයේ ශිෂ්ට සම්පන්න බව අභියෝගයට ලක් විය. ෆ්‍රැන්සිස් ෆුකුයාමා පවසන්නේ “ලෝක යුද්ධ දෙකෙහි දී දක්නට ලැබුණු යුරෝපියානු රාජ්‍ය පද්ධතියේ ස්වයං ඝාතක විනාශකාරී බව මඟින් බටහිර සුපිරිතා තාර්කිකත්වය පිළිබඳ අදහස බොරු කල අතර 19වන සියවසේ දී යුරෝපීයයන්ට සුවිශේෂී වූ ශිෂ්ට බව හා අශිෂ්ට බව පිළිබඳ වෙනස, නාසි ඝාතක කඳවුරුවලින් පසු නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීම අපහසු වූ බවයි”  නමුත් ඇමරිකා එක්සත් ජනපදය පමණක් ධනවාදී ලෝකයේ කිසිවකුගේ අභියෝගයකට ලක් නොවන සුපිරි බලවතා බවට පත් විය. ඒ අතරම යුද්ධය විසින් ඒ තාක් පැවති අධිරාජ්‍යවාදී යුගය තීරණය කළ යටත් විජිත ක්‍රමය බිඳ දමනු ලැබීය. නව යටත් විජිතවාදය දක්වා සිදු වූ මෙම පරිවර්තනයට සමගාමීව එතෙක් අධිරාජ්‍යවාදී රටවල් අතර පැවති එදිරිවාදිකම්, අධිරාජ්‍යවාදී බලවත් රටවල් අතර එකමුතුවක් බවට පරිවර්තනය විය. ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වය යටතේ පැරණි අධිරාජ්‍ය එක් අධිරාජ්‍ය පද්ධතියක් තුළට ගොනු විය. 

පැහැදිලිව ම ප්‍රකාශ කලතතොත්, දෙවන ලෝක යුද්ධය යනු යටත් විජිතවාදය විසරණය කිරීමට බලපානු ලැබූ ප්‍රබලතම සාදයක බවට හඳුනා ගත හැක. ඒ අනුව යටත් විජිත බලවතුන් විසින් තම යටත් ප්‍රදේශ නිර්යටත්විජිත කරණය (Decolonization) කිරීමේ කාර්යය කිරීම සිදු කරනු ලැබුවේ ඒ පිළිබඳව කිසිදු අදහසක් නොමැති අවස්ථාවක් වන දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව ඇති වූ සිදු වීම් සමග ය. දෙවන ලෝක යුද්ධය ඇති වූවේ ඉතාලිය හා ජපානය, ජර්මන් ව්‍යාප්තවාදය සමඟ ඒකාබද්ධ වීමත් සමග ය. යුරෝපයේ නැගී එන බලවතුන් වූ ජර්මනිය හා ඉතාලිය හමුවේ යුරෝපා බල තුලනය අස්ථාවර විය. ඒ හේතුවෙන් මෙතෙක් යටත් විජිත බලවතුන් ව සිටි බ්‍රිතාන්‍ය, ප්‍රංශය, පෘතුගාලය, නෙදර්ලන්තය ඇතුළු යුරෝපා රටවලට, නව යුරෝපා බලවතුන් අභියෝග කරන්නට විය. එම අභියෝගය හුදෙක් එම රටවලට පමණක් සීමා නොවූ අතර එය පැරණි අධිරාජ්‍යවාදයට හා යටත් විජිතවාදයට ද කරනු ලැබූ අභියෝගයක් විය. ඒ අනුව දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව හා සෝවියට් දේශය හැරුණු විට අනෙකුත් සියලු ම මිත්‍ර පාක්ෂික රටවල්, එතෙක් ලෝක දේශපාලනය හැසිර වූ බටහිර යුරෝපා රටවල් විය. යුද්ධය අවසාන වන විට සියලු ම අධිරාජ්‍යවාදී රාජ්‍යයන් ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ඉතා දුර්වල තත්ත්වයකට පත් විය. 

ඊට අමතරව දෙවන ලෝක යුද්ධය අවසානයේ දී පැවති අධිරාජ්‍යවාදී බලවතුන් අභිබවා යමින් ආර්ථික හා යුද ශක්තිය අතින් ප්‍රබල ඇමරිකාව හා සෝවියට් දේශය නව සුපිරි බලවතුන් දෙදෙනෙකු ලෙස වර්ධනය විය. එය ද යටත් විජිතවාදයේ බිඳ වැටීමට තවත් එක් හේතුවක් විය. මන්ද යත් ඇමරිකාව හා සෝවියට් දේශය යටත් විජිතවාදය ප්‍රතික්ෂේප කල රාජ්‍යයන් වීමයි. ඇමරිකාවේ මතය වූවේ යටත් විජිතවාදයට උදව් කිරීමට තමන් අකමැති බවයි. විශේෂයෙන් ම දෙවන ලෝක යුද්ධ අවසාන කාලයේ එවකට බ්‍රිතාන්‍යයේ අගමැති ව සිටි වින්සන් චර්චිල්ගේ අදහස වූවේ බ්‍රිතාන්‍ය යටත් විජිත තව දුරටත් පවත්වා ගත යුතු බවයි. නමුත් එම මතයට විරුද්ධ වූ එවකට ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් ප්‍රකාශ කරනු ලැබුවේ සියලු ම යටත් විජිතවලට නිදහස ලබා දිය යුත් බවයි. එය වක්‍රව බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා ලන්දේසි යටත් විජිත බලයන්ට මහත් පාඩුවක් ද වූ බව ප්‍රංශ ජනාධිපති ජනරාල් ඩිගෝල් 1964 දී කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පැහැදිලි වේ. ඔහු එම අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ “අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් හෝ දැඩි කොන්දේසි යටතේ, යටත් විජිතවාදී රටවල් සිය යටත් විජිතවල ජනතාවට බලය පවරා දුන් හෑම තැනක ම වොෂින්ටනයේ බලපෑම නියම ලෙස හෝ අනියම් ලෙස දැනෙන්නට වූ බවයි” මෙයින් පෙනී යන තවත් වැදගත් කරුණක් වන්නේ දෙවන ලෝක යුද්ධය හමුවේ අසරණ වූ බටහිර යුරෝපා බලවතුන්, ඇමරිකානු බලපෑම හමුවේ තම යටත් විජිත අත් හැරි බවත්, ඒත් සමඟ ඇති වූ රික්තකය අවස්ථාවක් කර ගනිමින් අදාළ කලාපවල තම බලය ව්‍යාප්ත කිරීමට ඇමරිකාව කටයුතු කරන ලද බවත් ය.

තවද අනෙක් සුපිරි බලවතා වූ සෝවියට් දේශය ඉතා ප්‍රබල ලෙස ම යටත් විජිතවාදයට විරුද්ධ වූ අතර බොහෝමයක් යටත්විජිතවල ඇති වූ ජාතික විමුක්ති අරගලවලට සහයෝගය ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව බැලීමේ දී පෙනී යන්නේ දෙවන ලෝක යුද්ධය මෙන්ම ඒ හේතුවෙන් ඇති වූ නව සිපිරි බලවතුන් දෙදෙනා විසින් එතෙක් යටත් විජිත බලවතුන් ව සිටි රාජ්‍යයන් අභිබවා යාම යටත් විජිතවාදයට එල්ල වූ ප්‍රබලතම බාධකය වූ බවයි. 

ඊට අමතරව යටත් විජිතවාදී රටවල් යුද්ධයෙන් අනතුරුව ආර්ථිකමය වශයෙන් බංකොලොත් වීම යටත් විජිතවාදය බිඳ වැටීමට බලපාන ලද ප්‍රබලතම සාදයක ලෙසින් හඳුනා ගත හැක. දෙවන ලෝක යුද්ධය‍ හේතුවෙන් කාර්මික වශයෙන් මෙන් ම යුදමය ශක්තිය අතින් ද ඉදිරියෙන් සිටි බටහිර යුරෝපීය රාජ්‍යයන්ගේ ආර්ථිකය මෙන් ම අධිෂ්ඨානය ශීඝ්‍රයෙන් පිරිහෙන්නට විය. විශේෂයෙන්ම 1945 වන විට ලොව ප්‍රමුඛතම යටත් විජිත බලවතා වූ බ්‍රිතාන්‍යය මහා බලවතෙකුගේ තත්ත්වයෙන් පහත වැටෙන්නට විය. 1914දී බ්‍රිතාන්‍ය පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූවේ ලෝකයේ ඉතාමත් ම ධනවත්, ලෝක මූල්‍ය උල්පත හා ලෝකයට ණය දෙන පොහොසතා වශයෙනි. නමුත් වෙන ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය රජය විසින් පල කරන ලද නිල වාර්තාවලට අනුව 1945වන විට බ්‍රිතාන්‍ය වත්කමෙන් 1/4ක් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ක්ෂය වී ගොස් ඇත. එවකට වටිනාකමින් පවුම් කෝටි 3000ක් වූ බ්‍රිතාන්‍ය වත්කමින් පවුම් කෝටි 724ක් යුද්ධයට වැය වී තිබුණි. පවුම් කෝටි 111ක බ්‍රිතාන්‍ය විදේශ ව්‍යාපාර විකුණා යුද්ධායුධ, අමුද්‍රව්‍ය හා ආහාර ලබා ගෙන ඇත. පවුම් කෝටි 145ක දේපළ විනාශ වී ඇත. 1939දී පවුම් කෝටි 713ක් වූ බ්‍රිතාන්‍යයේ ජාතික ණය ප්‍රමාණය 1945 වන විට පවුම් කෝටි 2136 විය. බ්‍රිතාන්‍යයේ විදේශ වෙළඳාම 2/3කින් සෝදා පාළු වී ගියේ ය. බ්‍රිතාන්‍ය ආර්ථිකය යළි ප්‍රතිසංස්කරණය කල නොහැකි අන්දමින් ව්‍යුහයෙන් ම විකෘති විය. දෙවන ලෝක යුද්ධය අවසානයේ ඉතිරි වූවේ ආර්ථිකමය වශයෙන් බංකොලොත් වූ, දේශපාලනව ගිලන් වූ, ජාත්‍යන්තරව නිවට වූ, වංශය කබල් ගාන, නටබුන් අධිරාජ්‍යයක් හා පොදු රාජ්‍ය මණ්ඩලයකි.

යටත් විජිත බලවතුන්ගේ රාජ්‍යයන් අභ්‍යන්තරයෙන් ම ඇති වූ ප්‍රතිවිරෝධතා හේතු කොට ගෙන ද ඔවුන් ක්‍රමයෙන් තම යටත් විජිත කෙරෙහි නම්‍යශීලී වන්ට විය. ඒ හේතුවෙන් ම යුරෝපයේ ප්‍රමුඛතම යටත් විජිතවාදී බලවතුන් වූ බ්‍රිතාන්‍ය හා ප්‍රංශය තම යටත් විජිත රැක ගැනීමට ඇමරිකාවේ ආධාර අපේක්ෂා කෙරූ නමුත් වැදගත් වන අවස්ථාවලදී හැර ඇමරිකානු මැදිහත් වීම් යටත් විජිත කෙරෙහි එල්ල නොවීය. ඒ අතරින් සුවිශේෂී වූයේ බ්‍රිතාන්‍යයන් ය. මන්ද යත් දෙවන ලෝක යුද්ධය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ හා අධිරාජ්‍යවාදයේ දිය වීම තීරණය කරනු ලැබීය. දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමඟ බ්‍රිතාන්‍යයන් තම යටත් විජිතවලට නිදහස ප්‍රදානය කරන්නට විය. 1945දී බලයට පත් කම්කරු පක්ෂ රජය උදා වී ඇති තත්ත්වය හොඳින් තේරුම් ගනිමින් යථාර්ථයට යෝග්‍ය පරිදි තම යටත් විජිතවලින් නිදහස් වීමට තීරණය කරනු ලැබීය. පෙරදිග බ්‍රිතාන්‍ය යටත් විජිත නිදහස් වූයේ මේ අන්දමිනි. නිර්යටත්විජිත ක්‍රියාවලිය බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කිරීමට එක් ප්‍රධානතම හේතුවක් වූයේ තම රටේ අභ්‍යන්තරයෙන් ම එල්ල වූ ප්‍රතිවිරෝධතාවන් ය. අනෙක් හේතුව වූයේ යටත් විජිතවලින් නැගුණ ප්‍රබල ප්‍රතිවිරෝධතාවන් ය.

  මෙය අනෙකුත් යටත් විජිත බලවතුන් වූ ප්‍රංශය, නෙදර්ලන්තය වැනි බලවතුන්ට ද පොදු වූ කරුණක් විය. මන්ද යත් යටත් විජිත පාලනය කිරීමට හා ආරක්ෂා කිරීමට විශාල වියදමක් දැරීමට සිදු වූ බැවිනි. එම යටත් විජිත බලවතුන්ට තම යටත් විජිත ආරක්ෂා කර ගැනීමට තබා, තම රටේ අභ්‍යන්තර ආරක්ෂාවද තහවුරු කර ගැනීමට ද අපොහොසත් විය. විරැකියාවෙන් පෙළෙමින් සිටි එම රටවල ජනතාව හා ප්‍රගතිශීලී දේශපාලකයන් අතර යටත් විජිත විරෝධී ආකල්ප මතු වනන්ට විය. නමුත් තම යටත් විජිත කෙරෙහි නම්‍යශීලී වීමේ ආකල්පය බ්‍රිතාන්‍යයන් ඇරුණ කොට අනෙකුත් යටත් විජිත බලවතුන්ගෙන් දක්නට නොවීය. එහි දී ප්‍රංශයන් අනුගමනය කළ ප්‍රතිපත්ති ඉතාමත් ම විනාශකාරී වූ බව පෙනී යයි. මන්ද යත් ප්‍රංශයේ අදහස වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ද තම යටත් විජිත තව දුරටත් පවත්වා ගත යුතු බවයි. ඒ නිසාම ප්‍රංශ යටත් විජිතවල නිර්යටත්විජිත ක්‍රියාවලිය ඉතාමත් ම බිහිසුණු වූ අතර ලේ වැගිරීම් නොකඩවා ම සිදු විය. විශේෂයෙන්ම ප්‍රංශයන්ට අයත් ව පැවති ඉන්දු-චීනයේ හා ඇල්ජීරියාවේ ඇති වූ විමුක්ති සටන් හේතුවෙන් දෙපාර්ශවයට ම ප්‍රබල අලාභ හානි සිදු විය. එය ප්‍රංශ ආර්ථිකයට හා සමාජයට ප්‍රබල ලෙස බලපානු ලැබීය. ප්‍රංශය තම යටත් විජිත කෙරෙහි නම්‍යශීලී වන්නට පටන් ගත්තේ 1956දී හතර වන ප්‍රංශ සමූහාණ්ඩුව බිඳ වැටී චාල්ස් ඩිගෝල් නායකත්වයට පත් වීමෙන් පසුව ය. 

යුරෝපයෙන් පිටත තම යටත් පිහිටුවීමේ ආරම්භකයා වූ පෘතුගාලයේ නිර්යටත්විජිත ප්‍රතිපත්ති කෙරෙහි ද අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වේ. ඔවුන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ද තම යටත් විජිත සඳහා නිදහස ප්‍රදානය කිරීමට උනන්දු නොවීය. ඊට ප්‍රධානතම හේතුවක් වූයේ 1974වන තෙක් ම එරට පාලනය ඒකාධිපති පාලකයෙකු යටතේ පැවතීමත්, පෘතුගාල රජය විසින් ගෙන ගිය අනිවාර්ය යුධ සේවා ක්‍රමය (Conscription) යටතේ සෙසු යටත් විජිත තවදුරටත් පවත්වා ගැනීමට හැකි වීමත්, අවිබලය යොදවා යටත් විජිත පාලනය කිරීමට ඒකාධිපති පාලනයේ තිබූ කැමැත්තත් යන කරුණු ය. නමුත් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් පෘතුගීසි යටත් විජිතවල ඇති වූ ජාතික ව්‍යාපාරවල ප්‍රබෝධය මර්දනය කිරීමට, එම පෘතුගීසි ප්‍රතිපත්තිවලට නොහැකි වූ අතර සිදු වූ එකම දෙය වූවේ යටත් විජිතවල ප්‍රතිවිරෝධය තවදුරටත් උග්‍ර වීමයි. ඒ අනුව පෘතුගීසීන්ට අයත් ව පැවති ඇන්ගෝලාවේ, ගිනිබිසව් රාජ්‍යයේ හා මොසැම්බික් යන රටවල ප්‍රබල නිදහස් අරගල ඇති විය. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව වුවද බටහිර යුරෝපා රටවල් විසින් තම යටත් විජිත තවදුරටත් පවත්වාගෙන යාමට තිබූ කැමැත්තට එල්ල වූ ප්‍රබලතම අභියෝගය වූවේ දෙවන ලෝක යුද්ධයේ බලපෑමත් සමඟ යටත් විජිතවල ඇති වූ ජාතික ව්‍යාපාරවල වර්ධනය හා නිදහස් අරගලවල ප්‍රබෝධයයි. එය යටත් විජිත බලවතුන්ට විදින්නට සිදු වූ ප්‍රබලතම අභියෝගය ද විය. යටත් විජිත රටවල ඇති වූ ජාතික ව්‍යාපාර දෙවන ලෝක යුද්ධයට පෙර සිටම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතියත්, ඒවා එතරම් ප්‍රබල නොවීය. ඊට හොඳම උදාහරණය වූවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාවයි. මන්ද යත් එම රටවල් දෙවන ලෝක යුද්ධයට පෙර ඉල්ලා සිටියේ පූර්ණ නිදහස නොව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් අර්ධ ස්වයං පාලනයයි. නමුත් දෙවන ලෝක යුද්ධයට පසුව බොහෝමයක් රටවල ජාතික ව්‍යාපාර ඉතාමත් ම රැඩිකල් ස්වභාවයක් ඉසිලීය. සමහරක් අවස්ථාවල දී ජාතික ව්‍යාපාර අවි බලය යොදා ගත් විමුක්ති ව්‍යාපාර දක්වා ද වර්ධනය විය. 

යම් යම් යටත් විජිතවල දී හැරුණු කොට බොහෝමයක් යටත් රටවල් දෙවන ලෝක යුද්ධය ඇති වීමට පෙර කාලයේදී, තම යටත් විජිත ස්වාමියාට විරුද්ධව ක්‍රියාත්මක වීමට එතරම් උනන්දු නොවීය. එයට එක් හේතුවක් වූවේ යටත් විජිතවාසීන් තුල වූ දීන ආකල්පයන් හා තම යටත් විජිත ස්වාමිවරුන් උත්කෘෂ්ට ජාතියක් බවට වූ ආකල්පයන් ය. ඒ හේතුවෙන් ම ප්‍රබල ජාතීන් වූ යටත් විජිත බලවතුන්ට එරෙහිව සටන් කිරීමට තරම් හැකියාවක් තමන්ට නොමැති බව යටත් විජිතවාසීන්ගේ ආකල්පය විය. මීට හොඳම උදාහරණය වන්නේ ප්‍රබල යටත් විජිත විරෝධී ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ ඉන්දියාවේ පවා එහි නායකත්වය ඉසිලූ මහත්මා ගාන්ධි තුමාගේ ඉල්ලීම ද වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී රාමුව තුල වූ ස්වයං පාලනයකි. නමුත් බටහිර යටත් විජිත බලවත් ජාතීන් කෙරෙහි වූ එම දීන ආකල්ප දෙවන ලෝක යුද්ධයත් සමඟ යටත් විජිතවාසීන්ගේ මනස් තුලින් ක්ෂය වන්නට විය. ඊට එක් හේතුවක් වූවේ ආසියාතික ජාතියක් වූ ජපානය විසින් තනිවම 1941-42 අතර කාලයේදී ආසියාව තුළ දී ම ප්‍රබල යුරෝපා ජාතීන් වූ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය හා ඇමරිකාවද පරාජයට පත් කිරීමයි. ඒ අනුව සියලු ම යුරෝපා යටත් විජිත ජාතීන් ජපානය හමුවේ පරාජය විය. අග්නිදිග ආසියාවේ බටහිර ජාතීන් සතු වූ සියලු ම යටත් විජිත තම ග්‍රහණයට ගැනීමට ජපානය සමත් වූ අතර කොළඹ දක්වා ම තම ප්‍රහාර දීර්ඝ කිරීමට ද ජපානයට හැකි විය. යුරෝපා ජාතීන් ලැබූ එම යුද පරාජයන් සමඟ එතෙක් යුරෝපීයයන් සතු වූ උත්තරීතර බව පිළිබඳ වූ ආකල්ප ක්ෂය වන්නට විය. ජපන් ජයග්‍රහණ ආසියාතික යටත් විජිතයන්හි ජාතික ව්‍යාපාරවලට ප්‍රබල උත්තේජනයක් විය. තම යටත් විජිත පවා දී පළා ගිය අධිරාජ්‍ය පාලකයන්ට ආපසු ඒමට ඉඩ නොදෙන ව්‍යාපාර මෙම යටත් විජිතවල ඇති විය. එසේ ම සුදු පාලකයන් නොමැතිව ජීවත් විය හැකි බව එම අත්දැකීම් මඟින් ඔප්පු විය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ ආසියාවේ බොහෝමයක් ජාතික ව්‍යාපාරවලට මාර්ගෝපදේශය ලබා දුන් ඉන්දියානු ජාතික ව්‍යාපාරය තව දුරටත් තීව්‍ර වීම යි.

ඊට අමතරව දෙවන ලෝක යුද්ධයේදී යුරෝපා ජාතීන්ගේ හමුදාවල සේවය සඳහා ඉදිරිපත් වූ යටත් විජිත රටවල යුධ සෙබළුන් යුද්ධය අවසාන වීමෙන් අනතුරුව නැවත තම මව් රට වෙත යාමෙන් අනතුරුව තම තමන්ගේ අත්දැකීම් එම රටවල ජාතික ව්‍යාපාර සඳහා ද යොදවන ලදි. තවද බටහිර රටවල අධ්‍යාපනය ලැබූ උගතුන් විසින් යටත් විජිත රටවල ක්‍රියාත්මක වූ ජාතික ව්‍යාපාර සඳහා නායකත්වය දීම  ප්‍රබලව සිදු වූවේ ද දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ය. උදාහරණයක් ලෙස ඉන්දියාවේ පළමු අගමැතිවරයා වූ ජවහල්ලාල් නේරු එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු වූ අතර ලංකාවේ ප්‍රකට අගමැතිවරයෙකු වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගනුම ලැබූවෙකු විය. එකල ලොව සිටි කීර්තිමත් ම ආර්ථික විශේෂඥයන් දස දෙනාගෙන් එක් අයෙකු හා ලංකාවේ නිදහස් අරගලයේ ප්‍රමුඛයෙකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා එංගලන්තයේ London School of Economy නම් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු වූ අතර එහි දී ඔහුගේ ගුරුවරයා වූයේ ලොව ප්‍රකට දේශපාලන හා ආර්ථික විද්‍යාඥයෙක් වූ හැරල්ඩ් ලැස්කිය. ඊට අමතරව ලංකාවේ ජේ. ආර්. ජයවර්ධන, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, මැලේසියාවේ මහතීර් මෙහොමඩ්, පකිස්තානයේ මොහොමඩ් අලී ජින්නා, කොංගෝවේ පැට්‍රික් ලුමුම්බා ආදීන් බටහිර රටවල අධ්‍යාපනය ලැබූවන් විය. මීට පෙර යටත් විජිතවාසී රටවල සිටි බුද්ධිමතුන් සිතා සිටියේ යටත් විජිතවාදය යනු ප්‍රගතිශීලී බලවේගයක් වන බවත් ඒ හේතුවෙන් එයට විරුද්ධ නොවිය යුතු බවත් ය. නමුත් දෙවන ලෝක යුද්ධයත් සමඟ බටහිර යුරෝපා ජාතීන්ගේ ම්ලේච්ඡත්වය ඉස්මතු වීමත් සමඟ යටත් විජිතවාසීන් විසින් යටත් විජිත ස්වාමිවරුන් කෙරෙහි දැක්වූ යටහත් පහත් භාවය හා යටත් විජිත භාවය සාධාරණය කිරීම යන ආකල්ප සංශෝධනය කර ගනිමින් එයට අභියෝග කරන්නට ද ඉදිරිපත් විය. 

මේ ආකාරයට දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ආසියා, අප්‍රිකා හා ලතින් ඇමරිකාවේ උත්සන්න වූ යටත් විජිත විරෝධී විමුක්ති ව්‍යාපාර මර්දනය කිරීමට තරම් ශක්තියක් යටත් විජිත බලවතුන්ට නොවීය. මන්ද යත් ඒ වන විටත් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් එම යුරෝපා යටත් විජිත බලවතුන් දැඩි ලෙස හෙම්බත් වී සිටීමයි. බ්‍රිතාන්‍යයන් එම තත්ත්වය පළමු ලෝක යුද්ධය අවසානයේ සිටම හඳුනා ගත් අතර දෙවන ලෝක යුද්ධය එය ඉක්මන් කරවනු ලැබීය. බ්‍රිතාන්‍යයන්ගෙන් පසුව අනෙකුත් යුරෝපා යටත් විජිත බලවතුන් ද තම යටත් විජිතවලට ක්‍රමයෙන් නිදහස ලබා දෙන්නට විය. එලෙස නිදහස ලබා දීම සඳහා දෙවන ලෝක යුද්ධය ඍජුව මෙන්ම වක්‍රව ද ප්‍රබල බලපෑමක් අති කරනු ලැබූ බව ඉහතින් දක්වන ලද කරුණු අධ්‍යනයේ දී අවබෝධ කර ගත හැක. 

එලෙසින් ආරම්භ වූ යටත් විජිතවාදයේ බිඳ වැටීමේ ප්‍රතිඵලයක් වූයේ යටත් විජිතවාදීන්ගේ සූරා කෑමට ලක් වූ බොහෝමයක් රටවල් 1970වන විට ක්‍රමයෙන් නිදහස ලබා ගැනීමයි. මෙලෙස බටහිර යුරෝපා යටත් විජිතවාදී බලවත් රටවල් විසින් තම යටත් විජිතවලට නිදහස ලබා දුන්නේ කැමැත්තෙන් නොව, වෙන කිසිදු විසඳුමක් නොතිබූ බැවිනි. ඒ හේතුවෙන් ම මෙම යටත් විජිත බලවතුන් තම යටත් විජිත ප්‍රදේශවලින් ඉවත් වීමේ දී එම බොහෝමයක් රාජ්‍යයන්වල අභ්‍යන්තර ආරවුල් ඇති කොට ඉවත් විය. 1947දී ඉන්දියාව, 1948දී බුරුමය, පලස්තීනය හා ලංකාව බෙදා පිටවීමේ න්‍යාය උඩ, බෙදුම්වාදී යුද පිටි බවට පත් කොට බ්‍රිතාන්‍යයන් පිට විය. 1947 සිට කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව හා පකිස්ථානය අතර නොනවතින යුද අරගලයකි. 1948 සිට පලස්තීනය යුද පිටියකි. 1948 සිට බුරුමයේ නොකඩවා ම කැරලි වැලකි. ලංකාවේ ද බෙදුම්වාදී ගැටුම් උත්සන්න වී ජාතීන් අතර අන්‍යෝන්‍ය අනවබෝධය වර්තමානය දක්වා ම පවතී. ප්‍රංශ අධිරාජ්‍යයේ වියට්නාමය, ලාඕසය හා කාම්බෝජය යන රාජ්‍යයන් 1954 සිට බෙදුම්වාදී කුමන්ත්‍රණ හේතුවෙන් ලේ ගලා යන බෞද්ධ රටවල් සමූහයක් බවට පත් විය. 1950 සිට කොරියාව යුද පිටියක් හා පරමාණු අවි අත්හදා බැලීමේ පිටියක් වී ඇත. වියට්නාමය තිස් වසරක යුද්ධයෙන් හාන ලද මඩ වගුරක් බදු විය. නෙදර්ලන්තය සතුව පැවති ඉන්දුනීසියාව අධිරාජ්‍යවාදයේ කැලෑ කොන්ත්‍රාත්තුවක් විය. මේ ආකාරයෙන් බැලීමේ දී පෙනී යන්නේ දෙවන ලෝක යුද්ධය හේතුවෙන් යටත් විජිතවාදය බිඳ වැටී සූරා කෑමට ලක් වූ බොහෝමයක් රාජ්‍යයන්වලට නිදහස හිමි වුවත් යටත් විජිත බලවතුන් විසින් ඇති කල අහිතකර ප්‍රතිඵල හේතුවෙන් එම රාජ්‍යයන් තවමත් පීඩා විදිමින් සිටින බවයි. 

Friday, 5 March 2021

යටත් විජිත සමාජයන් අවනත කර පවත්වාගැනීමට යටත් විජිත ක්‍රියාවලිය විසින් ගෙනගිය ක්‍රියාමාර්ගයන්

යටත් විජිතවාදය යනු කිසියම් රටක ජීවත්වන ජනතාව හා එම ප්‍රදේශය, බාහිර රටක් විසින් අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තීන් අනුව පාලන කිරීම වේ. එනම් දේශපාලන, සංග්‍රාමික හා ආර්ථික අරමුණු මුල් කර ගනිමින් බලවත් රටවල් විසින් දුර්වල රටවල් යටත් කර ගැනීම යටත් විජිතවාදය වන බව ඉතා සරලව ම පැවසිය හැක.  යුරෝපා ඉතිහාසයේ නූතන යුගයේ යටත් විජිත පිහිටුවීමේ පුරෝගාමීන් වූයේ පෘතුගීසීන් හා ස්පාඤ්ඤ ජාතිකයන් ය. නමුත් පසුව ඕලන්ද, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ජාතිකයන් ද ඊට උනන්දු විය. මේ අනුව අධිරාජ්‍ය පිහිටුවා ගනු ලැබූ යුරෝපීය ජාතීන් තම යටත් විජිත පවත්වා ගනු ලැබූයේ බොහෝ විට යුරෝපයෙන් පිටත ය. එනම් අප්‍රිකාව, ආසියාව හා ඇමරිකානු යන මහද්වීපයන්හීය. මෙලෙස තම මව් භූමියෙන් පිටත ඉතා ඈත ප්‍රදේශයන්හී යටත් විජිත පිහිටුවීම හා ඒවා පවත්වා ගැනීම අධිරාජ්‍යවාදී බලවතුන්ට ඉමහත් අභියෝගයක් විය. බොහෝ විට යටත් රටවල සමාජවලින් එල්ල වූ ප්‍රතිවිරෝධය ඉතාමත් ප්‍රබල විය. ඒ හේතුවෙන් ම එම යටත් විජිත බලවතුන් තමා යටත් කර ගත් ප්‍රදේශවල සමාජයන් අවනත කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබීය. කෙසේ වෙතත් එම අවනත කර ගැනීමේ ක්‍රියාමාර්ග කාලයෙන් කාලයට වෙනස් වූ අතර එයට හේතු වූවේ යුරෝපා සමාජයේ ඇති වූ වෙනස් වීම් බව අවබෝධ කර ගත හැක. තවද යුරෝපයෙන් පිටත යටත් විජිත පිහිට වූ යුරෝපා බලවත් ජාතීන් තම යටත් විජිත සමාජයන් අවනත කර ගැනීමේ දී අනුගමනය කල ක්‍රියාවලියද එකිනෙක වෙනස් වේ. එම සෑම යටත් විජිත බලවතෙකුට ම ඒ සඳහා තමන්ට ම අනන්‍ය වූ ක්‍රියාවලියක් පැවති නමුත් එම සෑම බලවතෙකුගේ ම අරමුණ වූයේ හැකි සෑම ආකාරයෙන් ම යටත් විජිතවලින් උපරිම ලාභ ලැබීමයි. එහි දී යටත් රටවල සමාජයන්ට මුහුණ දීමට සිදු වන හිරිහැර හා විනාශයන් පිළිබඳ තැකීමක් සිදු නොකර ලදි.

යටත් විජිතවාදී රාජ්‍යයන් විසින් ආසියාවේ, අප්‍රිකාවේ හා ඇමරිකාවේ පිහිටි රාජ්‍යයන් ඍජු ආකාරයේ පාලනයකට නතු කර ගනු ලැබීය. එහි දී විශේෂ වශයෙන් ම වෙළඳපොළ අමුද්‍රව්‍ය, රත්තරන් වැනි දෑ ලබා ගැනීම සඳහා වූ ආර්ථික අවශ්‍යතාද, යුද්ධෝපායානුකූලව වැදගත් කමක් ඇති ස්ථාන, භෞතික ද්‍රව්‍ය හා මිනිස් ශ්‍රමය ලබා ගැනීම ආදී වූ ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද, ඉතා ඉහළ කීර්තියක් ලබා ගැනීම සඳහා ද, මනුෂ්‍යයන් ශිෂ්ට සම්පන්න කිරීමේ කටයුත්ත සඳහා බව ප්‍රකාශ කරමින් මිෂනාරි කටයුතු ප්‍රචාරණය සඳහා ද වැඩි අවධානයක් බටහිර යුරෝපා බලවතුන් විසින් එල්ල කරනු ලැබීය. එම පරමාර්ථ බොහෝ විට අධිරාජ්‍යවාදී අරමුණු සමඟ බැදී පවතින බව ද අවබෝධ කර ගත හැක. 

 ඉහතින් දැක්වූ අරමුණුවලට අමතරව යටත් විජිත බලවතුන් විශ්වාස කරනු ලැබූයේ යටත් විජිත පවත්වා ගැනීමට තමන්ට අයිතියක් ඇති බවත්, තමන් උත්කෘෂ්ට වන හෙයින් යටත් විජිත ශිෂ්ට සම්පන්න කිරීමේ මිෂනාරි කටයුත්ත ද තමන් වෙන පැවරී ඇති බවයි. ඒ අනුව යටත් විජිත සමාජ අවනත කර ගැනීම සඳහා යටත් විජිත බලවතුන් විසින් ප්‍රධාන ක්‍රමවේද කීපයක් අනුගමනය කරනු ලැබීය. ඉන් එක් ක්‍රමයක් වන්නේ තමන් යටත් කර ගත් ප්‍රදේශවල තම ජනපද ඇති කිරීමයි (Colonization). එහි දී ප්‍රදාන වශයෙන් බටහිර ජාතිකයන් විසින් යටත් කර ගත් ඇමරිකානු ප්‍රදේශවල, අප්‍රිකා හා පැසිෆික් සාගර අවට ප්‍රදේශවල තම රාජ්‍යයේ පුරවැසියන් වූ සුදු ජාතිකයන් පදිංචි කරවනු ලැබීය. එහි දී තමන් යටත් කර ගත් ප්‍රදේශවල සිටි ගෝත්‍රික හා ස්වදේශික ජනතාව එම ප්‍රදේශවලින් පලවා හැරීම හෝ විනාශ කිරීම සිදු කරනු ලැබීය. මෙලෙස සුදු ජාතිකයන් විසින් ජනාවාස කරන ලද ප්‍රදේශ අතර ඉතා වැදගත් වන්නේ ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා දකුණු අප්‍රිකාවයි. එහි දී ඇමරිකානු හා කැනේඩියානු ප්‍රදේශවල සිටි රතු ඉන්දියානු ජනතාවට ද, ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සිටි ඇබෝර්ජිනියන්ස්වරුන්ට හා මාඕරිවරුන්ට ද, දකුණු අප්‍රිකාවේ සිටි කළු ජාතික ගෝත්‍රිකයන්ට ද විශාල වශයෙන් අසාධාරණකම් සිදු විය. එම ජනතාවට සිදු වූවේ එක්කෝ එම ප්‍රදේශ අතහැර දැමීම හෝ තම සංස්කෘතික හෝ සමාජ අනන්‍යතා අතහැර දමමින් සුදු ජාතික සමාජයන්වලට අනුගත වෙමින් එම සමාජයේ ම දෙවන පන්තියේ සැලකිලි ලැබීමටයි. එමගින් එම යටත් විජිත සමාජයන් පාලනය කිරීමේ පහසුව ද යටත් විජිත බලවතුන්ට හිමි විය. 

ආර්ථික, දේශපාලන හා යුදමය වශයෙන් යුරෝපීයයන්ට සාපේක්ෂව පසුගාමී තත්ත්වයක සිටි ආසියානු හා අප්‍රිකානු රාජ්‍යයන් ගණනාවක් යටත් විජිතවාදී රාජ්‍යයන් විසින් ඍජුව ම තම පාලනයට ගත් අතර ඒවා සියල්ලක් ම වාගේ සුදු ජාතික නොවන කළු ජාතික හමක් සහිත ජනතාවන් සිටි රාජ්‍යයන් විය. එහි දී යටත් විජිතවාදී බලවතුන් වූ සුදු ජාතිකයන් වාර්ගික පදනම මත හෙවත් සමේ පැහැය මත සුදු හම ඇති තමන් ‍අනෙක් ජාතීන්ට වඩා උසස් යැයි සලකමින් කටයුතු කරන්නට විය. එය ඔවුන් ම හැඳින් වූවේ සුදු මිනිසාගේ වගකීම ලෙසයි. එහි දී වැඩි යටත් විජිත ප්‍රමාණයක් හිමි කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට හැකි වූ අතර ප්‍රංශය දෙවැනි යටත් විජිත බලවතා විය. ඊට අමතරව ස්පාඤ්ඤය, ඕලන්දය, බෙල්ජියම හා පෘතුගාලය යන රාජ්‍යයන් පසුව ජර්මනිය හා ඉතාලිය යන රාජ්‍යයන් ද සුළු වශයෙන් හෝ යටත් විජිත පවත්වා ගැනීමට සමත් විය. මෙලෙස එම යටත් විජිතවාදී රාජ්‍යයන් විසින් ගෙන ගිය එම පාලන අසමානුපාතික විය. එය බොහෝ විට තම චින්තනය යටත් රටවල ප්‍රචාරය කිරීම මාර්ගයෙන් සිදු විය. ඒ අනුව යුරෝපා ජාතීන්ගේ මතය වූවේ තමන් ශ්‍රේෂ්ඨ හා ශිෂ්ට සම්පන්න වන බවත් එසේ නොවන අය ශිෂ්ට කිරීම තම වගකීම වන බවත් ය. එම මතය හමුවේ යටත් විජිතවාසීන්ගේ ආකල්පය වූවේ ද තමන් යුරෝපා ජාතීන්ට වඩා පහත් වන බවත් ඔවුන් යටතේ සිටීම සාධාරණ වන බවත් ය. එම චින්තනයේ ප්‍රබල බව නිසාම බොහෝමයක් යටත් රාජ්‍යයන්වල ජනතාව කොතෙකුත් අසාධාරණ කම් මධ්‍යයේ ද යුරෝපා යටත් විජිත බලවතුන්ට අවනතව කටයුතු කරමින්, පක්‍ෂපාතී වෙමින්, ඔවුන්ගේ ආගම වැළඳ ගනිමින්, ඔවුන්ගේ සංස්කෘතියට අනුගත වෙමින්, රාජ්‍ය කටයුතුවලට සම්බන්ධ විය. 

එම යටත් විජිත සමාජයන් අවනත කර ගැනීමේ දී බ්‍රිතාන්‍ය යටත් විජිත ක්‍රියාවලියේ ඉතාමත් සුවිශේෂී වේ. ඔවුන්ගේ මතය වූවේ තම යටත් විජිත දේශපාලනික හා ආර්ථික අතින් පරිණත භාවයකට පත් වන තෙක් ඒවා තමා යටතේ ම තබා ගනිමින් ස්වයං පාලනයකට හුරු කල යුතු බවයි. ඒ අනුව බ්‍රිතාන්‍යයන් විසින් තමන්ට ලාබ ගෙන දෙන අකාරයේ ආර්ථික ක්‍රමයක් තම යටත් විජිතවලට හඳුන්වාදෙනු ලැබීය. ඒ අනුව තම යටත් විජිතවලට වතු වගාව, පතල් කර්මාන්තය ආදී ආර්ථික අංශ හඳුන්වාදුන් අතර එම ක්ෂේත්‍රවල වර්ධනය සඳහා වැදගත් වන අනෙකුත් ක්‍ෂේත්‍රයන් වූ යටිතල පහසුකම්වලට අදාළ වූ මාර්ග පද්ධති හා වරාය පහසුකම් වර්ධනය කරනු ලැබීය. සෞඛ්‍ය පහසුකම් ද වර්ධනය කරනු ලැබීය. ඊට අමතරව පරිපාලනයේදී වැය වන අධික වියදම අවම කර ගැනීම සඳහා තම යටත් විජිත රටවල පහළ අංශයේ තනතුරු සඳහා අඩු වැටුපට ස්වදේශිකයන් බඳවා ගැනීමේ අරමුණින් එම යටත් විජිතවලට අධ්‍යාපන ක්‍රමයක් ද හඳුන්වාදෙනු ලැබීය. ඊට අමතරව ව්‍යවස්ථාදායක හා විධායක සභා වැනි ආයතන ඇති කරමින් හා ඒ සඳහා ක්‍රමික ප්‍රතිසංස්කරණ ඇති කරමින් හැකි තාක් දුරට දේශීයයන් යොදව ගනු ලැබීය. තවද යම් යම් අවස්ථාවලදී තමන්ට දේශීයයන්ගෙන් ඇති විය හැකි අභියෝග වළක්වා ගැනීමට බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්ති ද (Divide and Rule) හඳුන්වා දෙනු ලැබීය. ඒ හේතුවෙන් බොහෝ විට බ්‍රිතාන්‍ය යටතේ පැවති ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය හා පලස්තීනය යන ප්‍රදේශවල සිටි ජනතාවගේ ජාතිවාදී හැඟීම් උත්සන්න වී වර්තමානය දක්වා උග්‍ර ගැටුම් වර්ධනය වී ඇත. විශේෂයෙන් ම ඉන්දියාවේදී මෙහි ප්‍රතිවිපාක උග්‍ර විය. බ්‍රිතාන්‍යයන් විසින් පළමු ව ජාතීන් අණුව හින්දු හා මුස්ලිම් ලෙස මන්ත්‍රී කොට්ඨාශ ඇති කරන ලදි. ඒ හේතුවෙන් ම අනාගතයේ දී බ්‍රිතාන්‍ය ඉන්දියාව, ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශය ලෙස බෙදී වෙන් වීමට අවශ්‍ය අඩිතාලම ද සකස් විය. ඊට අමතරව බ්‍රිතාන්‍යන්ගේ පෙරදිග ප්‍රතිපත්ති පිළිබඳ විමසීමේ දී පෙනී යන්නේ ඔවුන්ගේ අස්වාමිකවාදයද ප‍්‍රදේශ ඈඳා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කල සුවිශේෂී ක්‍රියාවලියක් වන බවයි. අස්වාමිකවාදය යනු උරුමක්කාරයෙකු නොමැතිව ප‍්‍රාදේශීය නායකයා මියගියේ නම් ඔහු හදාවඩා ගත් කුමාරයෙකුට සිහසුන හෝ “රජ” යන විරුදය හිමි නොවන්නේය යන්නයි' මෙම අවස්ථාවලදී එම ප‍්‍රදේශ ඉන්දියාවේ බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යය පාලනයට හිමිවන බව එවකට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ප්‍රතිරාජයා වූ ඩැල්හවුසි පෙන්වා දුන්නේය. මෙම න්‍යාය අනුව ඉන්දියාව පුරාම දැඩි නොසන්සුන්තාවයක් හා සැකයක් ඇති  වූ නමුත් එමගින් ඉන්දියාවේ විශාල ප්‍රදේශයක බලය හිමි කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය.

ප්‍රංශය විසින් තමා යටත් කර ගත් ප්‍රදේශවල ගෙන ගියේ බ්‍රිතාන්‍යයන්ට වඩා වෙනස් වූ ප්‍රතිපත්තියකි. ඔවුන් විසින් තමා යටත් කර ගත් ප්‍රදේශවල වූ සමාජය ප්‍රංශ ජාතිකත්වයට උකහා ගැනීමක් (Policy of Assimilation) සිදු කරනු ලැබීය. ඒ අනුව ප්‍රංශය විසින් තමා යටත් කර ගත් සෑම ප්‍රදේශයක ම සිටි ජනතාවකට ම ප්‍රංශ පුරවැසි භාවය ලබා දෙනු ලැබීය. නමුත් සැබෑ ලෙස ම ප්‍රංශ පුරවැසි භාවය ලබා ගැනීම පහසු නොවීය. ඒ සඳහා ශිෂ්ට සම්පන්න විය යුතු බවට ප්‍රංශයන් ප්‍රකාශ කර සිටියත් සැබෑ ලෙස ම එහි යටි අරමුණ වූයේ ප්‍රංශ අධිරාජ්‍යවාදයට ගැති පිරිසක් බිහි කර ගැනීමයි. තවද ප්‍රංශ පුරවැසි කම ලැබුණ ද ඔවුන්ට හිමි වූයේ අඩු සැලකිලි ය. ප්‍රංශයන් තමා යටත් කර ගත් ප්‍රදේශවල පැවති දේශීය ආයතන හා දේශීය නිලධාරීන් යොදවා තම පාලනය ගෙනයනවා වෙනුවට හැකි සෑම විට ම ප්‍රංශ පාලනය හා ප්‍රංශ ජාතික නිලධාරීන් යොදවා පරිපාලනය ගෙන යනු ලැබීය. එමගින් ප්‍රංශය අපේක්‍ෂා කරනු ලැබුවේ තම යටත් විජිත සමාජ ඍජුව ම ප්‍රංශ සංස්කෘතියේ යටතට ගැනීමයි. එමගින් ප්‍රංශ ආධිපත්‍ය තම යටත් සමාජවල ස්ථාවර කර ගැනීමට එමගින් අපේක්‍ෂා කරනු ලැබුවත් සත්‍ය ලෙස ම සිදුවූයේ ප්‍රංශ විරෝධී වාතාවරණය එමගින් උත්සන්න වීමයි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත හා සංසන්දනය කරන විට ප්‍රංශ යටත් විජිතවල යටත් විජිත විරෝධී ස්වභාවය උග්‍ර වීමට එක් හේතුවක් වූයේ මෙම ප්‍රංශ ක්‍රියාවලියයි.

ප්‍රංශ ජාතිකයන් ද තම යටත් විජිත ව්‍යාප්ත කලේ ආර්ථික හා දේශපාලන අරමුණු පෙර දැර කරගෙනය. ඒ හේතුවෙන් තමන්ට ආර්ථික වාසි ගෙන දෙන ක්ෂේත්‍ර වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ප්‍රංශයන් ද උනන්දු විය. නමුත් අධ්‍යාපනය දියුණු කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයන් මෙන්, එතරම් උනන්දුවක් ප්‍රංශය තුල නොවීය. තමන් සතු සියලු යටත් විජිත ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වූ මධ්‍යගත පාලනයක් යටතේ හෝ එම මධ්‍යගත පාලනයට ඍජුව ම වගකියන ආණ්ඩුකාරවරයෙකු යටතේ පාලනය විය. එසේ කටයුතු කිරීමට හේතු වූ ප්‍රදාන කාරණාව වූයේ තම යටත් විජිත ප්‍රදේශවල ප්‍රංශ ආධිපත්‍ය පවත්වා ගැනීමට එම ඒකාධිපති පරිපාලන රටාව උපකාරී වනු ඇති බවට ප්‍රංශය තුල වූ විශ්වාසයයි. ඒ හේතුවෙන් ම ප්‍රංශ යටත් විජිත ක්‍රියාවලිය බ්‍රිතාන්‍ය යටත් විජිත ක්‍රියාවලියට සාපේක්‍ෂව ඉතාමත් පීඩා කාරී විය.

ලන්දේසීන් විසින් තම ප්‍රධාන ම යටත් විජිතය වූ ඉන්දුනීසියානු දූපත් සමූහයේ ගෙන ගිය යටත් විජිත ක්‍රියාවලිය ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යටත් විජිත ක්‍රියාවලියට සාපේක්ෂව ඉතාමත් ම වෙනස් වේ. විශේෂයෙන් ම ඉන්දුනීසියානු කොදෙව් සමූහයේ පිහිටි රාජ්‍යයන් අතර ඇතිවූ අභ්‍යන්තර ආරවුල් උපයෝගී කොට ගනිමින් සිය බලය වර්ධනය කර ගැනීමට ලන්දේසීන්ට හැකි විය. ඒත් සමඟ නිරායාසයෙන් ම අග්නිදිග ආසියානු කොදෙව්වල වූ නැගෙනහිර දූපත් රැසක ඉන්දුනීසියානු ස්වාධීනතාව නැති කරමින්, ලන්දේසි අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමට හැකි විය.

ප්‍රධාන වශයෙන් ලන්දේසි ප්‍රතිපත්තිය පිළිබඳව සලකා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ මුල්කාලීන ලන්දේසි සමාගමේ අරමුණ වූවේ වෙළඳ කටයුතු සඳහා මිස දිවයින්වල අභ්‍යන්තර පාලනයට මැදිහත් නොවිය යුතු බවයි. යුද්ධ කිරීම අත්‍යාවශ්‍ය නම් පමණක් කළ යුතු බව ලන්දේසි සමාගමේ අරමුණ විය. ආර්ථික කටයුතුවල දී නිරායාසයෙන් ම දේශපාලන කටයුතුවලට මැදිහත් වීමට සිදුවුවත් දේශපාලන වගකීම් පිළිබඳව ලන්දේසීන් අවධානය යොමු නොවීය. 

නමුත් කල්යත්ම දේශීයයන් සමඟ නිතර නිතර යුද්ධ ඇතිවීමත්, වැඩි ලාබයක් ලබාගැනීමේ අභිප්‍රායෙනුත් ලන්දේසි බලය අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්ත වන ආකාරයක් පසුව දැකිය හැකිය. මෙලෙස ලන්දේසි අරමුණු වෙනස් වන්නට ඇත්තේ තම ආධිපත්‍ය බලය ස්ථාවර කර ගැනීමටත් හා අනෙකුත් යුරෝපීය රාජ්‍යයන්ගේ ආගමනය වැළැක්වීමටත් විය හැකිය. කෙසේ වුවත් පසුකාලීනව වෙනස් වූ එම ප්‍රතිපත්තිය හේතුවෙන් ‍ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පරිහානිය ද ආරම්භ වූ බව පෙනී යයි. එයට ප්‍රධානතම හේතුව වූයේ දීර්ඝ කාලීන මෙන්ම අධික ධනයක් වැය කිරීමට සිදු වූ යුද්ධත්, යටත් ප්‍රදේශ වැඩි වීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් අධික වීමත් ය. කෙසේ වුවත් අවසාන වශයෙන් පෙනී යන කරුණක් වන්නේ අග්නිදිග ආසියානු ප්‍රදේශ වල සාර්ථකව ම බලය ව්‍යාප්ත කළ ජාතියක් වීමට ලන්දේසීන්ට හැකි වූ බවයි.

මීට අමතරව මුල් කාලීන යටත් විජිත බලවතුන් වූ පෘතුගාලය හා ස්පාඤ්ඤය තම යටත් ප්‍රදේශවල පරිපාලනය ගෙන යනු ලැබුවේ කඩුවේ හා තුවක්කුවේ බලයෙනි. එය ඉතාමත් ම ප්‍රචණ්ඩකාරී විය. ඔවුන් කිසිදු විටක යටත් විජිතවාසීන්ගේ යහපත ගැන නොසිතූ අතර ඉතාමත් ක්‍රෑර පාලනයක් ගෙන යනු ලැබීය. ඊට අමතරව ඔවුන් ගෙන ගිය මිෂනාරි ව්‍යාපාරය මගින් අපේක්ෂා කරනු ලැබූවේ තමන්ට යටහත්, යටත් විජිතවාසීන් පිරිසක් බිහි කර ගැනීම වුවත් සැබෑ ලෙස ම සිදු වූවේ යටත් විජිත විරෝධය තවදුරටත් උග්‍ර වීමයි. ඒ හේතුවෙන් ම ඔවුන් සතු ප්‍රදේශවලින් ඇති වූ ප්‍රතිවිරෝධය ඉතාමත් ම උග්‍ර වූ අතර ඒවා මැඩ පැවැත්වීමට ගත් ක්‍රියාමාර්ග ද බිහිසුණු විය. ඒ හේතුවෙන් ම ඔවුන්ට තම යටත් විජිත පාලනය කිරීම බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශයන්ට සාපේක්ෂව අපහසු වූ අතර 19වන සියවස වන විට තම යටත් විජිත බොහෝමයක් අහිමි කර ගැනීමට ද සිදු විය.   

මීට පසුව යටත් විජිත තරගයට අවතීර්ණ වූ බෙල්ජියමද, කොන්ගෝවේ ඉතාමත් ම පීඩාකාරී පරිපාලනයක් ගෙන ගෙ යන ලදි. තවද ජර්මනිය හා ඉතාලිය ද අනෙක් යටත් විජිත බලවතුන්ට සාපේක්ෂව වෙනස් ම ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබීය. මෙම සෑම යටත් විජිත බලවතෙකුගේ ම අදහස වූයේ තමන්ගේ සංස්කෘතිය උසස් යන්නයි. මහා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ කාලයේදී ලෝකයේ මුදුන් මල් කඩක් බදු සංස්කෘතියක් ඇත්තේ තමන්ට බව ඉංග්‍රීසි ජාතිකයන් විශ්වාස කරනු ලැබීය. කළු මිනිසුන් වෙසෙන අප්‍රිකා මහද්වීපය අඳුරු මහද්වීපයක් ලෙස හඳුන්වන ලද්දේ එම නිසා ය. ඒ අනුව බටහිර යටත් විජිත බලවතුන් විසින් යුරෝපා නොවන අනෙක් රටවල් යටත් කොට දිගු කලක් පවත්වාගෙන යාම සඳහා යටත් කර ගන්නා රට සංස්කෘතික වශයෙන් ද යටත් කර ගැනීමට කටයුතු කරනු ලැබීය. එමගින් එම යටත් රටවල සංස්කෘතික පරිහානියක් ඇති වී බටහිරට ගැතිකම් කරන පිරිසක් බිහිකර ගැනීමට බටහිර බලවතුන් සමත් විය. එම කුමන ප්‍රතිපත්තිය යටතේ වුවද සමස්තයක් ලෙස යටත් විජිත බලවතුන්ගේ ප්‍රධාන අරමුණ වූවේ හැකි තරම් ආර්ථික ලාබ ලබා ගත හැකි ආකාරයට යටත් විජිත සුරා කෑමයි. ඒ සඳහා තමන්ට අයිතියක් ඇති බවට යුරෝපා යටත් විජිත ජාතිකයන් විශ්වාස කල අතර යටත් විජිත ප්‍රදේශවල සිටි ජනතාවගේ අසමගිය හා දීන බව විසින් තම ප්‍රතිපත්ති පහසුවෙන් ක්‍රියාවේ යෙදවීමට යටත් විජිත බලවතුන්ට හැකි විය.


Saturday, 20 February 2021

19වන සියවස තුල බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ ආර්ථික හා සමාජ වෙනස්කම්.

 

01. හැඳින්වීම.

02. ආර්ථීක වෙනස්කම්.

02.1. වාණිජ භෝග ව්‍යාප්තිය.

කෝපි වගාවේ වර්ධනය.

තේ වගාවේ වර්ධනය.

02.2. ග්‍රාමීය ආර්ථිකයේ ඇති වූ වෙනස්කම්.

02.3. ගමනාගමනයේ හා පණිවිඩ හුවමාරුවේ වර්ධනය.

03. සමාජීය වෙනස්කම්.

03.1. පන්ති සමාජයක් ඇති වීම.

කම්කරු පන්තියක් ඇති වීම.

ව්‍යාපාරික පන්තියක් ඇති වීම.

04. සමාලෝචනය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

01. හැඳින්වීම.

යටත් විජිතවාදී ආර්ථික හා සමාජ විපරිවර්තනයන් ලංකාව තුල සිදුවීම ආරම්භ වූයේ 16වන සියවසේ ආරම්භයේ සිට ය. පෘතුගීසි හා ලන්දේසි යුගයන්හි දී ලංකාවේ මුහුදු බඩ කලාප කෙරෙහි බටහිර යුරෝපා රටවල සමාජීය හා ආර්ථික රටාවන් ක්‍රමයෙන් කාන්දු විය. නමුත් එම කිසිදු බලයකටවත් ලංකාවේ සියලු ම ප්‍රදේශ යටත් කර ගැනීම හැකියාවක් නොලැබීම හේතුවෙන් ආරම්භයේ දී ලාංකේය සමාජය තුල සිදු වූ ආර්ථික හා සමාජ වෙනස් සීමා සහිත විය. මන්ද යත් දේශීය සංස්කෘතියේ නියෝජනය ඒ වන විටත් ලංකාවේ මධ්‍ය ප්‍රදේශයේ ආරක්ෂිත ව පැවතීමයි. 1815දී බ්‍රිතාන්‍යයන් විසින් කන්ද උඩරට ප්‍රදේශ අල්ලා ගන්නා තෙක් ම අනෙකුත් කිසිදු ආක්‍රමණිකයෙකුට එම ප්‍රදේශ යටත් කර ගැනීමට නොහැකි විය. බ්‍රිතාන්‍යයන් පවා 1803දී පළමු වතාවට ඉතා ප්‍රබල හමුදා ව්‍යාපාරයක් මෙහෙයවමින් උඩරට ආක්‍රමණය කිරීමට දරන ලද උත්සහයේ ප්‍රතිඵලය වූවේ ඔවුන්ට ඉතා බියජනක පරාජයකට මුහුණ දීමට සිදු වීමයි. නමුත් 1815දී බ්‍රිතාන්‍යයන් අනුගමනය කල කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගය හේතුවෙන් කිසිදු බාධාවකින් තොරවම උඩරට තම ග්‍රහණයට ගැනීමට ඉංග්‍රීසීන් සමත් විය. බ්‍රිතාන්‍ය කාලය තුල ලංකාව තුල දේශීය නියෝජනය යටපත් වී ගොස් ඒ වෙනුවට ඉංග්‍රීසි සම්ප්‍රදායට ප්‍රමුඛත්වය ක්‍රමානුකූලව ලැබෙන්නට විය.

 බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන් සතු ව පැවති පහත රට ප්‍රදේශ අල්ලා ගන්නා ලද්දේ 1796  වර්ෂයේදීය. එම ආරම්භක කාලයේදී බ්‍රිතාන්‍යය ප්‍රතිපත්තිය වාණිජවාදී අවශ්‍යතා මත සකස් විය. පසුව 1815දී උඩරට රාජ්‍ය යටත්වීමත් සමඟ සමස්ත ලංකාව ම බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය. එලෙස ලංකාව යටත් කර ගැනීමෙන් අනතුරුව බටහිර යුරෝපා ආර්ථික හා සමාජ ලක්ෂණ විශාල වශයෙන් ලංකාව තුල ස්ථාපනය වන්නට විය. ඒ අනුව ලංකාව, යුරෝපයේ පිහිටා තිබූ බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාමත පුළුල් වූ පරිවර්තනයකට ලක්වන්නේ 19වන සියවස තුලදීය. ඒ අනුව තේ, පොල්, රබර් හා කෝපි යන වාණිජ භෝග ආශ්‍රිත වතු වගාවන් ආරම්භ වූ අතර එම භෝග රට තුල ප්‍රවාහණය කිරීම මූලික අභිප්‍රාය කර ගනිමින් රට පුරා පැතිරුණු මහා මාර්ග පද්ධතියක් ද ඇති විය. ක්‍රමයෙන් වෙළදාම පදනම් කර ගනිමින් නගර ගොඩ නැගීමට අවශ්‍ය පසුබිම සකස් වූයේ ද මෙම වාණිජ භෝග ව්‍යාප්ත වීමේ අතුරු ප්‍රතිඵලයක් වශයෙනි. ඊට අමතරව සමස්ත ලංකාවට ම අදාළ වන පරිදි පොදු පරිපාලන ක්‍රමයක්, නීති ක්‍රමයක් හා ඒකාබද්ධ ආණ්ඩු ක්‍රමයක් ඇති වන්නේ ද බ්‍රිතාන්‍යයන් රට පාලනය කල යුගයේදී ය. 

19වන සියවස තුල බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ලංකාවේ වස්තුව කොල්ලකා ගත්තා සේම යටත් විජිත ක්‍රමය සම්බන්ධයෙන් ඓතිහාසික ලෙස වැදගත් සිදුවීම් කීපයක් ද ඇති කරනු ලැබීය. ඒ අනුව ලංකාවේ තිබූ යල් පැන ගිය නිෂ්පාදන ක්‍රම, සමාජ සම්බන්ධතා හා දේශපාලන ක්‍රම අහෝසි කරමින් නවීන ආර්ථික හා ‍සමාජීය පරිසරයක් ඇති කරනු ලැබීය. බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරනු ලැබූ ප්‍රධානතම වෙනස වන්නේ ලාංකේය සමාජය හා ආර්ථිකය ධනේශ්වර ක්‍රමයකට පරිවර්තනය කිරීමයි. නමුත් බ්‍රිතාන්‍ය යුගයේ දී ලංකාවේ ඇති වූ ධනපති ක්‍රමය යුරෝපයේ ඇති වූ ධනපති ක්‍රමය වැනි සම්භාව්‍ය ධනපති ක්‍රමයක් නොවීය. එය ඉතා පරාධීන ක්‍රමයක් විය.  

19වන සියවස යනු බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය ඉතා ප්‍රබලව ලංකාවට බලපෑම් කල යුගයක් විය. ඒ අනුව එහි ආර්ථික හා සමාජී යන අංශයන්හී සැකැස්ම හා එම යුගයේදී ඇති ප්‍රධානතම වෙනස්කම් මෙම පැවරුම මඟින් ඉදිරිපත් කිරීමට උත්සහ දරන ලදි. ඒ අනුව පළමු කොටසේ දී 19වන සියවස තුල ලංකාවේ ඇතිවූ ආර්ථික වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කොට ඇති එහි දී වතු වගාවේ වර්ධනය හා දේශීය ගැමි කෘෂිකර්මාන්තයට අත් වූ ඉරණම පිළිබඳව තොරතුරු දක්වා ඇත. දෙවන කොටස මඟින් 19වන සියවස තුල ලංකාවේ ඇති වූ සමාජීය වෙනස්කම් පිළිබඳ තොරතුරු දක්වා ඇති අතර එහි දී ලංකාවේ ඇති වූ ධනේශ්වර ක්‍රමයේ පරිණාමය හා පන්ති සහිත සමාජයක් ඇති වීම කෙරෙහි අවධානය යොමු කොට ඇත.

 

02. ආර්ථීක වෙනස්කම්.

බ්‍රිතාන්‍යයන් විසින් පහත රට ප්‍රදේශ අල්ලා ගන්නා ගැනීමෙන් පසු එම ප්‍රදේශවල අනුගමනය කරන ලද්දේ වාණිජවාදී ආර්ථික ප්‍රතිපත්තියකි. ඒ අනුව මෙතෙක් පෘතුගීසීන් හා ලන්දේසීන් යටතේ පැවති රජයේ කුරුඳු ඒකාධිකාරය තව දුරටත් බ්‍රිතාන්‍යයන් යටතේ තබා ගත් අතර ‍එතෙක් ලංකාවේ නිෂ්පාදිත වෙළඳ ද්‍රව්‍ය බ්‍රිතාන්‍යය වෙළඳ පොලේ දී අලෙවි කර ඉතා විශාල වශයෙන් ලාබ ලබා ගනු ලැබීය. මෙම වාණිජ ප්‍රතිපත්තිය ප්‍රමාණවත් නොවූ බ්‍රිතාන්‍යයන්ට ලංකාවෙන් තවදුරටත් ලාබ ලබා ගැනීමේ අරමුණින් වාණිජ භෝග හඳුන්වාදෙනු ලැබීය. ඒ සඳහා මූලික පදනම ලංකාව තුල සකස් කරනු ලැබූයේ 1833 සිට ක්‍රියාත්මක වූ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මඟිනි. 1833 වසරේ සිට ක්‍රියාත්මක වූ කෝල්බෲක් ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් ලංකාව තුල නව ආර්ථික රටාවකට පදනම වැටීය. පොදු පිළිගැනීම වන්නේ ශ්‍රී ලංකාවේ යටත් විජිතවාදී නූතන කරණය 1830 වසරේ සිට ක්‍රියාත්මක වූ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ සමඟ ආරම්භ වූ බවයි.  


02.1. වාණිජ භෝග ව්‍යාප්තිය.

එතෙක් පැවති ආර්ථික රටාව වෙනස් කරමින් කෝල්බෲක්ගේ යෝජනා මත රජයේ ඒකාධිකාරය අහෝසි කිරීම, රාජකාරි ක්‍රමය අහෝසි කිරීම, ඉඩම් විකිණීම සම්බන්ධයෙන් පැවති නීති ලිහිල් කිරීම, පෞද්ගලික ආයෝජන සඳහා දිරි දීම යනාදිය සිදු කරනු ලැබීය.

කෝපි වගාවේ වර්ධනය. 

එම යෝජනා ලංකාව තුල ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය පසුබිම ඒ වන විටත් ලංකාව තුල සකස් වී ඇති බව අවධානය යොමු කිරීමේ දී පෙනී යයි. මන්ද යත් එකල ආණ්ඩුකාරවරයා වූ බාන්ස්ගේ කාලයේදී කරන ලද අත්හදා බැලීම්වල දී පෙනී ගොස් තිබුණේ උඩරට ප්‍රදේශයේ සාර්ථකව කෝපි වගා කිරීමේ හැකියාවක් පවතින බවයි. තවද බාන්ස් ආණ්ඩුකරුගේ කාලයේදී ඉදි කරනු ලැබූ මහා මාර්ග පද්ධතිය, බිහි වෙමින් පැවති නව ආර්ථික රටාවට මහඟු රුකුලක් විය. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන කාලයේදී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳ ද්‍රව්‍ය වූයේ කුරුඳු ය. නමුත් යුරෝපා වෙළඳ පොලේ කුරුඳු සඳහා තිබූ ඉල්ලුම පහත් බැසීමත් සමඟ ලංකාවේ ආයෝජනයට ඉදිරිපත් වූ බොහෝමයක් යුරෝපීය වැවිලි කරුවන් ඉදිරිපත් වූයේ කෝපි වගාව සඳහා ය. 

එම ආර්ථික ප්‍රතිපත්ති යටතේ එතෙක් පැවති දේශීය අර්ථ ක්‍රමය පරිහානියට පත් වූ අතර ලංකිකයන්ට යුරෝපීය ව්‍යාපාරිකයන් සමඟ තරඟ කිරීමට හා වාණිජ කටයුතුවල නියැලීමට අපහසු විය. පෞද්ගලික ආයෝජන සඳහා දිරි ගැන්වීමේ ප්‍රතිපත්තිය මත 1833දී ආරම්භ වූ වතු වගාව සඳහා ප්‍රථමයෙන් ම ආයෝජනය සඳහා ඉදිරිපත් වූයේ ඒ වන විට ලංකාවේ බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවයේ නිරත ව සිටි සිවිල් නිලධාරීන් හා විශ්‍රාමික යුරෝපීය නිලධාරීන් ය. එහි දී රජයේ වියදම් අවම කිරීමේ අදහසින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ක්‍රමානුකූලව අවම කල අතර ඒ වෙනුවට ඔවුන්ට පෞද්ගලික ව්‍යවසායවල නිරත වීමට අවසර ලබා දෙනු ලැබීය.

 1823දී පමණ ජෝර්ජ් බර්ඩ් නම් ඉංග්‍රීසි ජාතිකයෙක් මහනුවර අවට කෝපි වගාව සඳහා ඉඩම් සකස් කරනු ලැබූ අතර එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකරුගේ කාලයේදී ඔහු විසින් පෞද්ගලිකව ම ගන්නෝරුව ප්‍රදේශයේ කෝපි වගා කරනු ලැබීය.  ඉතා සුළු වශයෙන් ආරම්භ වූ කෝපි වගාව කෝල්බෲක් ප්‍රතිසංස්කරණ සමඟ විශාල වශයෙන් ව්‍යාප්ත වන්නට වූයේ 1840න් පසුව ය. කෝපි වගාව යනු මහා පරිමාණ වෙළඳ බෝග වගාවකට රට හුරු කල පළමු අවස්ථාව වේ.  මෙලෙස කෝපි වගාව සඳහා තිබූ අවධානය වර්ධනය වූයේ එංගලන්ත වෙළඳ පොළේ ලංකා කෝපිවලට තිබූ ඉල්ලුම ඉහල යාමයි. ඒ සඳහා බලපෑ කාරණා කීපයක් වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තුළ වහල් ශ්‍රමය අවලංගු කිරීම නිසා බටහිර ඉන්දීය කොදෙව්වල කෝපි වගාව පරිහානියට පත් වීම, බටහිර ඉන්දීය කොදෙව්වලින් හා ආසියානු ප්‍රදේශවලින් බ්‍රිතාන්‍යයට අපනයනය කරන තීරු බදු සමාන කිරීම  මඟින් ලංකා කෝපිවලට බදු අඩු කිරීම, යුරෝපීය රටවල කෝපි පානය ජනප්‍රිය වීම, උඩරට ප්‍රධාන නගර සම්බන්ධ කරමින් මහා මාර්ග තැනීම නිසා ප්‍රවාහන ගාස්තු ක්‍රමයෙන් අවම වීම, කෝපි වගාව පිළිබඳ සාර්ථක ක්‍රමවේද අත්හදා බැලීම යනාදියයි.

ආරම්භයේ දී කෝපි වගාව සඳහා විකුණන ලද්දේ ආණ්ඩුව සතු ඉඩම් ය. කෝපි වගාව ව්‍යාප්ත වීමත් සමඟ ඒ සඳහා ඉඩම් තව තවත් අත්‍යාවශ්‍ය විය. එලෙස ඉඩම් ලබා ගැනීමේ දී ඉඩම්වල අයිතිය පිළිබඳ අර්බුද ද ඇති විය. රජය විසින් මීට විසඳුමක් ලෙස යොදා ගනු ලැබූයේ 1840දී සම්මත කරනු ලැබූ මුඩු බිම් පනතයි. එමගින් පෞද්ගලික අයිතිය නීත්‍යනුකූල ඔප්පු කළ නොහැකි වගා නොකළ සියලු ම ඉඩම් රජය සතු වන බව තීරණය කරනු ලැබීය. එලෙස පවරා ගත් ඉඩම් යුරෝපීය වැවිලි කරුවන්ට විකුණන ලද්දේ ඉතා සොච්චම් මිලකට ය. නමුත් උඩරට ප්‍රදේශයේ සිටි ජනයා එම ඉඩම් සැලකුවේ තමන්ට චාරිත්‍රානුකූල ව හිමි වූ ඉඩම් ලෙසය. ඔවුන් විසින් හේන් ගොවිතැන් හා ගවයන්ට තණකොළ කැවීම සඳහා යොදා ගන්නා ලද්දේ එම ඉඩම් ය.  

රාජකාරි ක්‍රමය අහෝසි කිරීම මඟින් කෝල්බෲක් කොමිසම විසින් අපේක්ෂා කරනු ලැබුවේ වතු වගාවට අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීමයි. නමුත් ස්වයංපෝෂිත ජීවන තත්ත්වයකට පුරුදු ව සිටි ශ්‍රී ලාංකිකයන්ට කුලියට වතුවල වැඩ කිරීම මදි කමක් විය. ඊට අමතරව අඩු වැටුපට ශ්‍රමය සපයා ගත හැකි ශ්‍රමිකයන් දකුණු ඉන්දියාවෙන් ලබා ගත හැකි වීම හේතුවෙන් ලංකාව තුල සැලකිය යුතු ලෙස දකුණු ඉන්දීය ජාතිකයන්ගේ සංඛ්‍යාව වර්ධනය විය. නමුත් කෝපි වතුවල අස්වැන්න නෙළීම සඳහා ස්ථීර කම්කරුවන් අවශ්‍ය නොවීම හේතුවෙන් ඉන්දියානු කුලී ශ්‍රමිකයන් ලංකාවට පැමිණියේ කෝපි අස්වනු නෙළන සමයේ දී පමණි. 

නමුත් 1844දී එංගලන්තයේ ඇති වූ ආර්ථික අවපාතය  හේතුවෙන් ලංකාවේ කෝපි කර්මාන්තය මහත් සේ පාඩු ලබන තත්ත්වයකට පත් විය. ඒ හේතුවෙන් රජයේ ආදායම ශීඝ්‍ර ලෙස අඩු විය. ඊට පිළියමක් වශයෙන් එවකට ආණ්‍රඩුකාරයා වූ ටොරින්ටන් සාමිවරයා සුනඛ බද්ද, මාර්ග බද්ද, ඔරු බද්ද, තුවක්කු බද්ද ආදී බදු වර්ග රාශියක් පනවනු ලැබීය. මෙම වැඩ පිලිවෙලට දේශීයයන් මහත් සේ විරෝධය දැක්වූ අතර එම විරෝධය උග්‍ර වී 1848දී ඉංග්‍රීසි විරෝධී සටනක් ද ආරම්භ විය. කෙසේ වෙතත් එම කැරලි කෝලාහල තත්ත්වයන් මර්දනය කොට තම වැඩ පිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට රජය සමත් විය. 1852 සිට 1860 දක්වා කාලය තුල ආණ්ඩුව වැවිලිකරුවන්ට විකුණන ලද ඉඩම් ප්‍රමාණය අක්කර 121036ක් විය. 1852දී කෝපි වගාව යටතේ පැවති ඉඩම් ප්‍රමාණය අක්කර 57885ක් වූ අතර 1866 වන විට එය අක්කර 160,000ක් විය.  1853 වන විට යහපත් තත්ත්වයට පත් කෝපි වගාව එහි උච්ඡස්ථානයට පත් වූවේ 1867 පමණ වන විට ය. 1852දී අපනයනය කල කෝපි ප්‍රමාණය හොණ්ඩර 372,370ක් වූ අතර එම වසරේ කෝපි වගාවෙන් ලබා ගත් ආදායම පවුම් 692,893ක් විය. 1865දී එය හොණ්ඩර 9,277,440ක් පමණ වූ අතර එහි ආදායම 2,345,532ක් දක්වා වර්ධනය විය.  

නමුත් 1871දී කෝපි වගාවට වැළඳුණ හැමිලියා වැස්ටාට්‍රික්ස් (Hemileia Vastatrix) නම් දිලීර රෝගයක් නිසා කෝපි වගාව ශීඝ්‍රයෙන් පරිහානියට පත් වන්නට විය. 1833 සිට ම වතු වගා අර්ථ ක්‍රමය යටතේ විවිධ බෝග ලංකාව තුල අත්හදා පැවතියත් කෝපි වගාවෙන් අධික ලාබ ලැබීම හේතුවෙන් අනෙකුත් බෝග කෙරෙහි දැක්වූ අවධානය අවම විය. නමුත් කෝපි වගාව පරිහානියට පත් වීමත් සමඟ වෙනත් වාණිජ බෝග කෙරෙහි අවධානය ක්‍රමයෙන් යොමු විය. එහි දී කෝපිවලට ආදේශකයක් ලෙස අවධානය යොමු කරන ලද්දේ සිංකෝනා කෙරෙහි ය. සිංකෝනා පැළෑටිය වැදගත් වූවේ මැලේරියා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ගනු ලැබූ ක්වීනින් නමැති ‍‍ඖෂධය නිෂ්පාදනය සඳහා පමණි. 1870 වන විට සිංකෝනා සඳහා යෙදවූ භූමි ප්‍රමාණය අක්කර 500ක් පමණ වූ අතර 1880 වන විට එය අක්කර 45,000ක් දක්වා වර්ධනය විය.  බෙහෙත් නිෂ්පාදනය සඳහා පමණක් යොදා ගත් බැවින් සිංකෝනා පැළෑටියේ ඉල්ලුම ලන්ඩන් වෙළඳපළේ සැලකිය යුතු ලෙස වර්ධනය නොවූ අතර සැපයුම අධික වීමත් සමඟ 1878දී සිලිම් 12 පැන්ස 6ක් වූ සිංකෝනා අවුන්සයක මිල 1890වන විට අවුන්සයක මිල සිලිම් 1 දක්වා පහළ බසින්නට විය.  සිංකෝනා හා කොකෝවා වගාව පුළුල් වාණිජ වතු ව්‍යාපාරයක් වශයෙන් යොදවා ගැනීම සාර්ථක නොවීම මත රජය හා වැවිලිකරුවන් තේ වගාව කෙරෙහි තම අවධානය යොමු කරන්නට විය.    


තේ වගාවේ වර්ධනය.

1875දී තේ වගාව සඳහා යොදා ගත් මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 500ක් පමණ විය. 1886වන විට එය අක්කර 1,64,728 දක්වා වර්ධනය විය. මෙතරම් කෙටි කාලයක් තුල තේ වගාව වර්ධනය වීමට බලපාන ලද එක් හේතුවක් වූයේ කෝපි වගා කල නොහැකි උස් බිම් ප්‍රදේශවල පවා තේ වගා කිරීමට හැකි වීම, කෝපි වගාවට හානි සිදු වන නිවර්තන වර්ෂාපතනය තේ සඳහා යෝග්‍ය වීම, මේ වන විට එංගලන්ත වෙළඳපොළේ තේ සඳහා තිබූ ඉල්ලුම ඉහල යෑම යන සාධකයි. 1890වන විට ලංකාවට වැඩි ම ආදායමක් ලබා දුන් අපනයන බෝගය වූවේ තේ ශාකයයි. කෝපි මෙන් නොව තේ වගාව සඳහා ස්ථාවර කම්කරුවන් අවශ්‍ය වූ අතර දකුණු ඉන්දීය ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් ලංකාවේ පදිංචි වීම මේ හේතුවෙන් සිදු විය. 19වන සියවසේ අවසානය වන විට එංගලන්තයේ තේ ඉල්ලුම පහළ ගිය අතර ලෝක තේ මිල පහළ බසින්නට විය. එය ප්‍රබල බලපෑමක් ලාංකේය තේ නිෂ්පාදනය සඳහා ඇති කරනු ලැබූ අතර ඒ හේතුවෙන් ම නිෂ්පාදන වියදම් අඩු කිරීම, උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනය කිරීම, කාර්යක්ෂම කළමනාකරණයත් මූලික වශයෙන් අරමුණු කර ගෙන එතෙක් පැවති කුඩා තේ වතු ද ඒකාබද්ධ කොට සමාගම් පාලනයට තේ වතු පත් කරනු ලැබීය. 

19වන සියවසේ සිදු වූ තේ මිල පහත වැටීමත් සමඟ වැවිලි කරුවන්ගේ අවධානය රබර් වගාව සඳහා ද යොමු විය. ප්‍රථම වරට ලංකාවට රබර් ශාකය හඳුන්වාදෙනු ලද්දේ 1877 වසරේ දී ය. 1890 පමණ වන විට ලාංකිකයන් මෙන්ම බ්‍රිතාන්‍ය වැවිලි කරුවන් ද රබර් වැවීම කෙරෙහි උනන්දු වූහ. ආරම්භයේ දී බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට පමණක් සීමා වූ රබර් වගාව පසුව එම පළාතේ ම අනෙක් ප්‍රදේශවලට ද ඉන් අනතුරුව මධ්‍යම, සබරගමු හා දකුණු පළාත්වලට ද ව්‍යාප්ත විය. යුරෝපයේ මෝටර් රථ කර්මාන්තය වර්ධනය වීමත් සමඟ රබර් ඉල්ලුම ද ශීඝ්‍රයෙන් වර්ධනය විය. 

වාණිජ භෝග වගාව හේතුවෙන් මෙතෙක් අපනයන ආර්ථික ක්‍රමයකට සම්බන්ධ නොවී සිටි ප්‍රදේශ ද ක්‍රමයෙන් එම වාණිජ භෝග ආර්ථිකයකට අනුගත වන්නට විය. එමඟින් ලංකාව තුළ වතු වගාව පදනම් කර ගත් ආනයන අපනයන ආර්ථික රටාවකට පසුබිම සකස් වන්නට විය. එහි ප්‍රතිඵලය වූවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අන්තර් ජාතික වෙළඳපොළේ විචල්‍යතා මත රඳා පවතින තත්ත්වයක් ඇති වීමයි. 


02.2. ග්‍රාමීය ආර්ථිකයේ ඇති වූ වෙනස්කම්.

ඈත අතීතයේ සිටම ලංකාවේ ප්‍රධාන ආර්ථිකය සකස් වී පැවතියේ ගැමි කෘෂි කර්මාන්තය පදනම් කර ගනිමින් ය. නමුත් රජරට ශිෂ්ටාචාරයේ පරිහානියත් සමඟ ග්‍රාමීය ආර්ථිකය අඩපණ වූ අතර 19වන සියවස වන තෙක් ම එහි කිසිදු වෙනසක් සිදු නොවීය. 19වන සියවස තුළ දී බ්‍රිතාන්‍යයන් ග්‍රාමීය කෘෂිකර්මාන්තය කෙරෙහි දැක්වූ අවධානය ඉතාමත් ම අල්ප විය. ආරම්භයේ දී ෆෙඩ්‍රික් නෝත් හා රොබට් බ්‍රවුන්රිග් වැනි ආණ්ඩුකාරවරු මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව වී වගාව සංවර්ධනය කිරීමට උත්සහ කරන ලද මුත් උඩරට ඈඳා ගැනීමත් සමඟ බ්‍රිතාන්‍යන්ගේ අවධානය වාණිජ භෝග කෙරෙහි යොමු වීමත් සමඟ වී වගාව නැවතත් ක්‍රමයෙන් පිරිහෙන්නට විය. 

19වන සියවස අග භාගය වන විට යම් තරමකින් තම අවධානය වාරිමාර්ග ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යොමු කිරීමට බ්‍රිතාන්‍යයන් උනන්දු විය. එහි දී ලංකාවේ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සඳහා මූලිකත්වය ගනු ලැබූවේ හෙන්රි වෝර්ඩ් (1855-60) ආණ්ඩුකරු ය.  වොර්ඩ් ආණ්ඩුකරුගේ මෙම ප්‍රතිපත්ති කෙරෙහි එකල බ්‍රිතාන්‍යයේ පැතිරී පැවති මානව හිතවාදී අදහස් ද බලපානු ලැබීය. ඒ අනුව ඔහු විසින් නැගෙනහිර පළාතේ ඉරක්කාමම් වැව ද, අම්පාර ප්‍රදේශය ආශ්‍රිතව ද දකුණු පළාතේ කිරම හා ඌරුබොක්ක නැමති වැව් ද ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. ඊට අමතරව ඌව පළාතේ හා මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා වැව් හා ඇළවල් කීපයක් ද ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. හරිකියුලිස් රොබින්සන් ආණ්ඩුකරු විසින් ලංකාවේ කුඩා වැව් ගණනාවක් ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. ඒ සඳහා ඔහු විසින් 1867 අංක 21 දරණ ආඥා පනත් මඟින් ඉඩම් පංගු කාරයන් කැමති නම්, දැරීමට සිදු වන වියදම අවුරුදු 10ක දී ජල බද්ද මඟින් ලබා ගැනීමේ පදනම යටතේ වැව් ප්‍රතිසංස්කරණය  සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගනු ලැබීය. 19වන සියවස තුල දී වාරිමාර්ග සංවර්ධනය සඳහා දැඩි උනන්දුවක් දැක්වූ ආණ්ඩුකාරවරයෙකු වූවේ විලියම් ග්‍රෙගරි (1872-1877)   ආණ්ඩුකාරවරයායි. ඔහුගේ විශේෂ අවධානය යොමු වූවේ පැරණි රජරට ප්‍රදේශ කෙරෙහි ය. ඔහු විසින් උතුරු මැද පලාත නමින් නව පරිපාලන ඒකකයක් පිහිටුවා එම ප්‍රදේශ තුල ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට පියවර ගනු ලැබීය. ඔහුගේ කාලයේදී රජරට ප්‍රමුඛ වැව් වූ බසවක්කුලම, කන්තලේ වැව, ගල්ගමුව යන වැව් ප්‍රතිසංස්කරණය කරවන ලද අතර රොබින්සන් ආණ්ඩුකරුගේ කාලයේදී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද තිස්සමහාරාම වැවේ කටයුතු අවසන් වූවේ ද ග්‍රෙගරි ආණ්ඩුකරුගේ කාලයේදී ය.


02.3. ගමනාගමනයේ හා පණිවිඩ හුවමාරුවේ වර්ධනය.

බ්‍රිතාන්‍යයන් යටතේ ඇති වූ ආර්ථික අංශයේ තවත් වැදගත් අංශයක් වූවේ ප්‍රවාහන හා පණිවිඩ ක්ෂේත්‍රයේ ඇති වූ වර්ධනයයි. බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කර ගන්නා අවධියේ දී පැවති මහාමාර්ග කීපය ද මුහුදුබඩ පලාත්වලට පමණක් සීමා විය. කන්ද උඩරට ප්‍රදේශයේ හුදකලා භාවය තුරන් කිරීමේ අරමුණින් මෙන්ම කොළඹ, නුවර හා ත්‍රිකුණාමලය යන නගර ඒකාබද්ධ කිරීමේ අරමුණිනුත් ලංකාව තුල මහාමාර්ග පද්ධතියක් ඇති කිරීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කරනු ලැබීය. මෙහි දී ලංකාවේ ප්‍රධානතම මහා මාර්ගය වූ කොළඹ නුවර මහා මාර්ගය ඉදිකිරීම කරවනු ලැබූවේ එඩ්වඩ් බාන්ස් (1820-1822) ආණ්ඩුකාරවරයාගේ කාලයේදී ය. ඊට අමතරව කුරුණෑගල සිට මහනුවර දක්වා ගලගෙදර දුර්ගය ඔස්සේ ද, දඹුල්ලේ සිට මහනුවර දක්වා නාලන්දා දුර්ගය ඔස්සේ ද, අඹේපුස්සේ සිට දඹුල්ල දක්වා අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල හරහා ද මහා මාර්ග ඉදි කෙරිණි. මේ මාර්ග ඉදි කිරීමේ කාර්යයේ දී මේජර් ස්කිනර් හා කැප්ටන් ඩෝසන් පුරෝගාමී ව කටයුතු කල පුද්ගලයන් විය. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පෙර මහා මාර්ග තැනීම සඳහා ශ්‍රමය සපයා ගන්නා ලද්දේ මෙරට පැවති රාජකාරි සේවා ක්‍රමය මාර්ගයෙන් ය. 

1850න් පසු මහා මාර්ග වල තත්ත්වය දියුණු කිරීම සඳහා නවීන ක්‍රම යොදා ගන්නා ලදි. ඒ අනුව ගල් සහ තාර යොදා මාර්ග තැනීමේ ක්‍රමය මේ අවදියේ දී ආරම්භ වූ අතර ජල මාර්ග හරහා ලී පාලම් වෙනුවට යකඩ පාලම් තැනීම ද මේ කාලයේ දී ආරම්භ විය. 19වන සියවස අවසාන වන විට ලංකාවේ මහා මාර්ග කිලෝමීටර් 3200ක් පමණ ගල් දමා ශක්තිමත් ව සාදා තිබුණි.  මෙසේ මාර්ග පද්ධතියක් ඉදි වීම හේතුවෙන් ඒ ආශ්‍රිතව ජනාවාස ව්‍යාප්තියක් ඇති වූ අතර වැදගත් සන්ධිස්ථාන මුල් කරගෙන කුඩා නගර වර්ධනය වන්නට විය.

ලංකාවේ ප්‍රවාහන අංශයේ සිදු වූ වැදගත් ම වර්ධනය වූයේ දුම්රිය මාර්ග පද්ධතිය බිහි වීමයි. ලංකාවේ දුම්රිය මාර්ග තැනීමේ ආරම්භක පියවර ගන්නා ලද්දේ හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා විසිනි. දුම්රිය මාර්ග ව්‍යාප්තිය බොහෝ සෙයින් ම වතු වගාවේ ව්‍යාප්තිය සමඟ බැඳී පැවතුණි. කොළඹ මහනුවර දුම්රිය මාර්ගය ඉදි කිරීමේ කටයුතු 1858දී ආරම්භ කර 1863දී නිම කරන ලද අතර එය 1871දී පේරාදෙණියේ සිට නාවලපිටිය දක්වා ද 1899දී බණ්ඩාරවෙල දක්වා ද දීර්ඝ කෙරිණි. 1877දී කොළඹ සිට පානදුර දක්වා තනන ලද දුම්රිය මාර්ගය වරින්වර දීර්ඝ කරවන ලද අතර 1895 වන විට එය මාතර දක්වා ද ඉදි කර අවසන් විය. මීට පසු දිවයිනේ සෙසු ප්‍රදේශ ප්‍රධාන වශයෙන් අගනුවර හා සම්බන්ධ කිරීමේ අරමුණ ඇති ව දුම්රිය මාර්ග පද්ධතිය තව දුරටත් ව්‍යාප්ත කෙරිණි. 

ලංකාව තුල බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ වන අවදියේ දී පැවති නිල පණිවිඩ හුවමාරු ක්‍රමය වූයේ පුද්ගලයෙකුට කුලියක් දී ඔහු අත ලිපි ලේඛන යැවීමයි. 1815 අවසාන කාලයේ දී පමණ කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල, මහනුවර, යාපනය ආදී නගර සම්බන්ධ කරමින් රාජකාරි තැපැල් සේවයක් ආරම්භ කර තිබුණි. මෙම පණිවිඩ හුවමාරු ක්‍රමයේ වැදගත් වර්ධනයක් ලෙස අශ්ව කෝච්චි මඟින් තැපැල් යැවීම දැක්විය හැකිය. ඒ අනුව ආසියාවේ ප්‍රථම වරට අශ්ව කෝච්චි ධාවනය වූයේ ලංකාවේ වූ අතර එය 1832 වසරේ සිට කොළඹ හා මහනුවර තෙක් සිදු විය. මුල දී තැපැල් ගාස්තු තීරණය වූයේ දුර හා බර අනුව වුවත් 1858 සිට එංගලන්තයේ මෙන් මෙරටෙහි ද පැන්ස තැපැල් ගාස්තු ක්‍රමය ආරම්භ විය. ලංකාවේ තැපැල් මුද්දරය පළමුවෙන්ම ආරම්භ වූයේ 1857දීය. පණිවුඩ සේවාවන් සම්බන්ධයෙන් සිදු වූ අනිකුත් වැදගත් වර්ධනය නම් 1858දී විදුලි පණිවුඩ සේවාව ආරම්භ වීමයි.  

    

 

03. සමාජීය වෙනස්කම්.

බ්‍රිතාන්‍ය යුගයේ දී ලංකාවේ ඇති වූ සමාජ ක්‍රමය ධනපති ක්‍රමයේ ආරම්භය විය. එය බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට හඳුන්වාදෙන ලද මුත් එය යුරෝපයේ පැවති ධනපති ක්‍රමය හා සමාන නොවීය.  දේශීයත්වය අහෝසි කරමින් ලාංකේය සමාජය පරාධීනත්වයක් කරා යොමු කරනු ලැබූ එම ක්‍රමය මඟින් යම්තාක් දුරකට සාම්ප්‍රදායික සමාජයේ දියුණුවක් ද ඇති විය. ඒ අනුව බ්‍රිතාන්‍ය ධනේශ්වර ක්‍රමය හේතුවෙන් සිදු වූ වැදගත් ම සිදුවීම වන්නේ පෙර තිබූ වැඩවසම් ක්‍රමය බිඳ වැටීමයි. ඒ අනුව නවීන සමාජයකට අවශ්‍යය මහාමාර්ග, වාණිජ වතු වගාව, වෙළදාම හා පාසල් අධ්‍යාපනය යන අංශයන්ගේ වර්ධනයක් සිදු විය.


03.1. පන්ති සමාජයක් ඇති වීම.


කම්කරු පන්තියක් ඇති වීම.

බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ තිබූ පැරණි සමාජ ක්‍රමය වෙනස් කිරීමට පෙර පැවති වැඩවසම් ක්‍රමය යටතේ මිනිසුන් තමන් වගා කල ඉඩම වෙනුවෙන් කුලය විසින් තීරණය කරන ලද සේවාවක් කිරීමට බැදී සිටින ලදි. නමුත් බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වාදෙනු ලද නව ක්‍රමය මඟින් ශ්‍රමය මුදලට විකුණන සමාජ ක්‍රමයකට පදනම වැටෙන්නට විය. නමුත් උඩ රට ප්‍රදේශවල ව්‍යාප්ත වූ වාණිජ වතුවල කම්කරුවන් ලෙස සේවය කිරීමට උඩරට ගොවි ජනතාව තුල කැමැත්තක් නොවීය. ඒ හේතුවෙන් ම එම වතුවල වැඩ කිරීමට දකුණු ඉන්දියාවෙන් දමිළ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ඉංග්‍රීසීන්ට සිදු විය. ආරම්භයේ දී පැමිණි දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ගේ අරමුණ වූවේ යම් කිසි කාලයක් ලංකාවේ වතුවල සේවය කොට කිසියම් මුදලක් උපයා ගැනීමෙන් අනතුරුව නැවත තම මව් රට වෙත යාමයි. නමුත් එම අය අතරින් කිසියම් විශාල පිරිසක් නැවත තම මව් රට වෙත නොගොස් ලංකාවේ පදිංචි විය. ඔවුන්ගේ සංඛ්‍යාව ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රමාණයට ද වඩා අධික විය.

උඩ රට ප්‍රදේශයේ ජනතාව වතු වගාව ආශ්‍රිතව සේවය කරන කම්කරුවන් ලෙස කටයුතු කිරීමට කැමති නොවූවද ලංකාවේ පහත රට ප්‍රදේශයේ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙනත් ක්ෂේත්‍රයන් ආශ්‍රිතව කම්කරුවන් බවට පත් වී තිබුණි. 19වන සියවස අවසාන වන විට කොළඹ නගරයේ පමණක් සිටි සාමාන්‍ය කම්කරුවන්ගේ ප්‍රමාණය 19,000ක් පමණ විය. එම කාලය වන විට දුම්රිය මාර්ග ඉදි කිරීම ද ආරම්භ වී තිබුණු අතර සැතපුම් 700ක් පමණ ඉදි කර තිබූ දුම්රිය මාර්ග නඩත්තුව සඳහා පුහුණු කම්කරුවන්ගේ සංඛ්‍යාව 9500ක් පමණ විය. දුම්රිය එන්ජින් වැඩපළවල් නමයෙහි සේවයේ නියුතු යාන්ත්‍රික ශිල්පීන්, යකඩ කම්හල්කරුවන්, වඩුවන්, වෑද්දුම්කරුවන්, බොයිලේරු තනන්නන් ආදීන්ගේ ප්‍රමාණය 2800ක් පමණ විය. දුම්රිය මාර්ග, පාලම් හා ගොඩනැගිලි නඩත්තුව ඇතුළු සිවිල් ඉන්ජිනේරු කටයුතු භාරව සිටි දුම්රිය මාර්ග හා වැඩ දෙපාර්තමේන්තුවේ කම්කරුවන් 4300ක් ද, දුම්රිය ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කම්කරුවන් 200ක් ද සේවයේ නියුක්ත ව සිටින ලදි.

19වන සියවස ආරම්භ වන විට ලංකාවේ මහා මාර්ග සුළු වශයෙන් හෝ ඉදි වී තිබුණේ ඉංග්‍රීසීන් සතු වූ මුහුදුබඩ ප්‍රදේශවල පමණි. බ්‍රිතාන්‍යයන් කන්ද උඩ රට අල්ලා ගැනීමෙන් අනතුරුව ඉදි කල මහා පරිමාණ මාර්ගය ලෙස සැලකිය හැක්කේ 1821දී ආරම්භ කර 1831දී අවසන් කළ කොළඹ-නුවර මාර්ගයයි. ඉන් පසුව ආරම්භ වූ තේ වගාවත් සමග මහා මාර්ග ඉදි කිරීම ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර 1890 අවසාන වන විට ඉදි කරනු ලැබූ මහා මාර්ගවල දිග ප්‍රමාණය සැතපුම් 3145ක්  පමණ විය. ඉන් පසු සැතපුම් 1635ක් කළු ගල් දමා සකස් කරන ලද පාරවල් වූ අතර සැතපුම් 965ක් බොරලු අතුරා සකස් කරන ලද පාරවල් විය.  

මාර්ග තැනීම හා නඩත්තු කිරීම භාරව තිබූ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සිටි පුහුණු හා නුපුහුණු කම්කරුවන්ගේ ප්‍රමාණය 21,000ක් පමණ විය. කොළඹ වරායෙහි පිහිටි වැඩපොළෙහි සේවයේ නියුතු කම්කරුවන්ගේ සංඛ්‍යාව 1000ක් පමණ විය. ඊට අමතරව කොළඹ නගරයේ වඩුවන් 2800ක්, යකඩ පට්ටල් කරුවන් 2300ක්, මේසන්වරු 1800ක්, වෙළඳ සේවකයෝ 1600ක්, අකුරු අමුණන්නන් හා පොත් බඳින්නන් 950ක්, රන් කරුවෝ 648ක්, ට්‍රෑම් රථ කරුවෝ 180ක්, රික්ෂෝ අදින්නෝ 3600ක්, කරත්තකරුවෝ 2300ක්, ගෘහ සේවකයෝ 17,000ක්, ඇදුම් මසන්නෝ 1450ක්, ලොන්ඩ්‍රි සේවකයෝ 1320ක්, කරණවෑමියෝ 492ක් හා පාවහන් සාදන්නෝ 262ක් සේවයේ නියුක්ත විය. 

ලංකාවේ කම්කරුවන්ගෙන් විශාලතම පිරිසක් සේවයේ නිරත ව සිටියේ උඩරට වතු ක්ෂේත්‍රයේ  සිටි දකුණු ඉන්දීය දමිළ ශ්‍රමිකයන්ගෙනි. ඔවුන්ගේ සංඛ්‍යාව 19වන සියවස අවසාන වන විට 5,13,467ක් පමණ විය. වැඩි ම නූගත්කමක් තිබුණේ ද වතු කම්කරුවන් අතර ය. ඔවුන් අතර සාක්ෂරතාව පිරිමින් සඳහා 20%ක්ද, කාන්තාවන් සඳහා 1.5%ක්ද විය. ඒ අනුව බැලීමේ දී පෙනී යන මූලික ම කරුණ වන්නේ බ්‍රිතාන්‍යයන් හඳුන්වාදුන් සමාජීය ක්‍රමය තුළ ලංකාවේ කම්කරු ගහනයෙන් බහුතරයක් විදේශිකයන් වූ බවයි. 


ව්‍යාපාරික පන්තියක් ඇති වීම.

   කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මඟින් දිරි ගන්වන ලද වතු වගාවේ වර්ධනයත් සමඟ ඒ සඳහා යොදා ගැනෙන ඉඩම් ප්‍රමාණය හා කම්කරුවන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වර්ධනය විය. ඒත් සමඟ දේශීය ව්‍යාපාරිකයන්ට එම ක්‍ෂේත්‍රයන්ට අදාළ කටයුතුවලට සම්බන්ධ වීමේ ඉඩ ප්‍රස්ථාව 19වන සියවස අවසාන වන විට වර්ධනය වන්නට විය. වතු වගාව සඳහා කැලෑ එළිපෙහෙළි කිරීමට හා භූමිය සකස් කිරීමට අවශ්‍ය විය. ඉදිකිරීම් සඳහා අවශ්‍ය සැපයුම් ගෙන්වා ගත යුතු ව තිබුණේ කරත්තවලිනි. ඒ සඳහා අවශ්‍ය කම්කරුවන් මුදල් ගෙවා ලබා ගැනීමට උනන්දු වීමත් සමඟ කම්කරුවන් සපයන කොන්ත්‍රාත්කරුවන්ට ද, ප්‍රවාහන සඳහා කරත්ත සපයන කොන්ත්‍රාත්කරුවන්ට ද විශාල ඉල්ලුමක් ඇති විය. ඊට අමතරව වතු ආශ්‍රිත ප්‍රදේශවල සිල්ලර වෙළඳාම සඳහා ද විශාල අවකාශයක් නිර්මාණය වී තිබුණි. 

වී ගොවිතැන, ධීවර කර්මාන්තය, පාරවල්, ඇළ මාර්ග හා අරක්කු වෙළඳාම වැනි අංශවල දී රජය විසින් තමන්ට ලැබිය යුතු බදු ප්‍රමාණය එකතු කරන ලද්දේ එය බදු එකතු කරන්නන් හට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීම මඟිනි. ඒ අනුව එය රේන්ද ක්‍රමය නමින් හැඳින්වූ අතර රේන්දය මිල දී ගත් තැනැත්තා ඒ මිල ආණ්ඩුවට ගෙවා ඒ සඳහා ආණ්ඩුවට ලැබිය යුතු බදු ආදායම ජනතාවගෙන් අය කර ගනු ලැබීය. එය ස්වදේශිකයන්ට ධනය උපයා ගැනීමට විවර වී තිබූ වැදගත් ම ක්ෂේත්‍රය වූ අතර අරක්කු රේන්දය ඒ අතරින් වඩාත් ලාබ දායක ම අංශය විය. ඒ අනුව මෙම අවස්ථා ප්‍රයෝජනයට ගත් ස්වදේශීය පිරිස ලංකාවේ ධනපති පන්තිය බවට පත් විය. ඔවුන් හා රටේ අනෙකුත් සාමාන්‍ය ජනතාව අතර පරතරය ක්‍රමයෙන් වර්ධනය වූ අතර එම දේශීය ධනපතීන්ගේ ජීවන තත්ත්වය බොහෝ විට ඉංග්‍රීසීන්ගේ ජීවන ක්‍රමයට සමාන විය. මුලදී පහතරට මුදලිවරු මෙම පන්තියේ ප්‍රමුඛයන් විය. ඔවුන් ලන්දේසි යුගයේදී ලන්දේසීන්ට පක්ෂපාතී ව කටයුතු කරමින් රජයේ විවිධ තනතුරු හා නම්බු නාම හිමි කරගත්තවුන් වූ අතර ඉංග්‍රීසි යුගයේදී ඉංග්‍රීසීන්ට පක්ෂව කටයුතු කිරීම හරහා ඉංග්‍රීසීන්ගෙන් ද විවිධ වරප්‍රසාද හිමි කර ගනු ලැබීය. බොහෝ විට එම පිරිස් එංගලන්ත ක්‍රිස්තියානි ආගම අදහන්නන් වූ අතර ඉංග්‍රීසි භාෂාව කතා කරන, ඉංග්‍රීසි සිරිත් විරිත් අනුගමනය කරන්නන් විය. 

මෙලෙස ධනවත් වූ ස්වදේශ පවුල් වූයේ ඔබේසේකර, ඩයස් බණ්ඩාරනායක, ඉලංගකෝන්, ද අල්විස්, ලිවේරා, පීරිස් හා සිරිවර්ධන යන පවුල් ය.  ඔවුන්ගේ එම පවුල් අතර අන්තර් විවාහ සිදු කර ගැනීම හරහා ව්‍යාපාරික වශයෙන් ද අන්‍යෝන්‍ය ලෙස එකට සම්බන්ධ වී සිටින්නට විය. 1818දී ඇති වූ ඌව වෙල්ලස්ස කැරැල්ලේ දී මෙම ස්වදේශික ධනපති පන්තියේ සහය හිමි වූවේ ඉංග්‍රීසීන්ට ය. ඒ හේතුවෙන් ම කැරැල්ල අවසානයේ උඩරට ජන ප්‍රධානීන්ගෙන් අහිමි කරනු ලැබූ සෑම වරප්‍රසාදයක් ම පාහේ හිමි වූවේ මෙම පිරිසට ය. නමුත් මෙම ස්වදේශීය ධනපතීන් උඩරට ප්‍රදේශවල තිබූ වාණිජ භෝග වගාව සඳහා ඍජුව සම්බන්ධ වීමට උත්සහ නොකළ නමුත් වැවිලි භෝගයක් ලෙස තම උනන්දුව දැක්වූවේ පහතරට පොල් වගාව කෙරෙහි ය. තමන්ට තිබූ නිල බලය උපයෝගී කොට ගෙන පොල් වගාව සඳහා අවශ්‍ය ශ්‍රම ශක්තිය නොමිලයේ ම පහතරට ගම්මුන්ගෙන් ලබා ගැනීමට සමත් වූ අතර රජයේ ඉඩම් විකුණන අවස්ථාවලදී මෙන්ම තමාගේ නිල බලයෙන් ද ඉඩම් අත්පත් කර ගැනීමට මෙම පිරිසට හැකි විය. 

මෙම දේශීය ධනපති පන්තිය විසින් තමන්ගේ නිල බලය හා අනෙකුත් වරප්‍රසාද මත සමස්ත ලංකාවේ ම විශාල ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කීමට සමත් විය. එම පවුල් සතු වූ ඉඩම් ප්‍රමාණයන් පහත ආකාරයෙන් දැක්විය හැක.

පවුල සතු වූ ඉඩම් ප්‍රමාණය (අක්කර)

ජේ. පී. ඔබේසේකර. 1,334

ඩී. එස්. එච්. බණ්ඩාරනායක. 2,100

එස්. ක්‍රිස්ටෝපල් ඔබේසේකර. 1,400

හෙන්රි ඩයස්. 2,178

ජෝන් ඒබ්‍රහම් පෙරේරා. 1,928

ජේම්ස් ද අල්විස්. 1,202

එකතුව 10,142

  

යාපනයේ දෙමළ සමාජයේ සිටි ප්‍රභූන් වූ පොන්නම්බලම් හා කුමාරස්වාමි යන පවුල් ද ඉහතින් දක්වන ලද ආකාරයට සිංහල මුදලි පවුල් හා සමාන විය. බ්‍රිතාන්‍ය පාලනයට පක්ෂපාතී ව සිටීමේ ප්‍රතිඵලයක් ලෙස  නාම කරණයෙන් ව්‍යවස්ථාදායකයට පත් වීමේ ඒකාධිකාරී අවසරය තිබුණේ ද මෙම පවුල්වලට පමණි. මෙලෙසින් සකස් වූ දේශීය ධනවතුන්ගෙන් බහුතරය සිංහල ප්‍රජාවෙන් සමන්විත වූ අතර දෙමළ ප්‍රජාව හා මුස්ලිම් ප්‍රජාව සාපේක්‍ෂව බොහෝ සෙයින් අල්ප විය. සිංහල ධනේශ්වර පන්තියේ බහුතරය සමන්විත වූවේ ද පහතරට සිංහලයන්ගෙන් වීම විශේෂිත වේ. සිංහල ප්‍රභූ පැලැන්තිය හා සැසඳීමේ දී දෙමළ ප්‍රභූ පැලැන්තිය ප්‍රමාණයෙන් කුඩා වීමට බලපාන ලද එක් සාධකයක් වූවේ වාණිජ භෝග වගාව සතු ධනේශ්වර සංවර්ධනයේ බලපෑම ප්‍රබලව බලපානු ලැබූවේ සිංහල ජනතාව ජීවත් වූ පහතරට ප්‍රදේශවලට වීමයි. ඒ අනුව පහතරට සිංහලයන්ට විවර වූ ඉඩ ප්‍රස්තා උතුරේ වූ දමිළ ප්‍රජාවට හිමි වූවේ ඉතාමත් ම අල්ප ලෙසය. එලෙස දකුණේ සිංහල ප්‍රජාව විවර වූ ව්‍යාපාරික අවස්ථා ප්‍රයෝජනයට ගෙන ධනවත් වන විට උතුරේ දෙමළ ප්‍රජාව ඒ සඳහා යොදා ගනු ලැබූවේ අධ්‍යාපනයයි. ඔවුන්ට ඒ සඳහා විශාල පිටිවහල් විය හැකි ආකාරයට ගුණාත්මක පාසල් පද්ධතියක් මිෂනාරි ව්‍යාපාර හේතුවෙන් ලැබී තිබුණි. සමස්තයක් ලෙස බැලීමේ දී පෙනී ගිය කාරණයක් වූවේ දකුණේ සිංහල ප්‍රජාවට සාපේක්ෂව උතුරේ දෙමළ ප්‍රජාව ඉංග්‍රීසි අධ්‍යාපනයේ දී ඉදිරියෙන් සිටින්නට විය. එම යුගයේ බැංකු සමඟ ගනුදෙනු කරන ව්‍යාපාරිකයන්, අතරමැදියන් හෝ බ්‍රෝකර්වරුන් ලෙස ක්‍රියාකරනු ලැබුවන්ගෙන් බහුතරය යාපනයේ දමිළ ජනතාව විය. ඊට අමතරව යාපනයේ උගත් ජනතාව ලංකාවේ රාජ්‍ය සේවයට පමණක් නොව මැලේසියාවේ, බුරුමයේ හා ඉන්දියාවේ රාජ්‍ය සේවයට ද බඳවා ගැනීමට තරම් උගත් ප්‍රජාවක් විය.  ලංකා දෙමළ ජනතාවගේ අනුපාතිකය 11.54ක් පමණ වූ අතර වෘත්තීයවේදීන් අතර ඔවුන්ගේ අනුපාතිකය 24.6%ක් පමණ විය.

මුස්ලිම් ප්‍රජාව 19වන සියවස තුළ දී තම වැඩි අවධානයක් දැක්වූවේ කෘෂිකර්මයටත්, අධ්‍යාපනයටවත් නොව වෙළදාම කෙරෙහි ය. මුස්ලිම් ජනවර්ගය වෙළදාමට ලැදි කමක් දැක්වූ ජන වර්ගයක් වුවද ආගමික නීති රීතීන් මත අරක්කු වෙළදාමට සම්බන්ධ නොවීය. එකල ලංකාවේ මැණික් ක්ෂේත්‍රය අදාලව ඒකාධිකාරය රඳා පැවතියේ මෙම මුස්ලිම් ප්‍රජාව මතය. එම කාලයේ මුස්ලිම් ධනවතුන් අතරින් ප්‍රමුඛතම පුද්ගලයන් කීප දෙනා වූවේ මොහොමඩ් මාකන් මාකර්, අබ්දුල් ගෆූර් හා ඒ. එම්. චප්පේ මරික්කාර් යන පුද්ගලයන් ය.  ප්‍රමාණයෙන් කුඩා වුවද ඔවුන්ට ලාංකේය ධනේශ්වර ක්‍රමය තුල සැලකිය යුතු ඉඩ ප්‍රස්ථාවක් විවර ව පැවතිණ. 

අධ්‍යාපනයේ දී ඉදිරියෙන් ම සිටි ජනවර්ගය වූවේ බර්ගර් ජනතාවයි. ඉංග්‍රීසි භාෂාව කතා කළ ක්‍රිස්තියානි ආගම ඇදහූ අපරදිග මිශ්‍ර ජාතියක් වන බර්ගර් ජනතාව රාජ්‍ය සේවය හා විද්වත් වෘත්තීන් කෙරෙහි පමණක් උනන්දුවක් දක්වන ලද පිරිසක් විය. බර්ගර්වරුන්ගේ ජන අනුපාතිකය 1%ක් පමණ වුවද වෘත්තීයවේදීන් අතර ඔවුන්ගේ අනුපාතිකය 31.8ක් පමණ විය.

 

‍ විද්වත් වෘත්තිකයන් ජන වර්ගය අනුව. (19වන සියවස අවසාන වන විට)

ජන වර්ගය සංඛ්‍යාව ප්‍රතිශතය ජනගහනයේ ජනවර්ග අනුපාතිකය

පහතරට සිංහල 349 30.40 43.11 %

උඩරට සිංහල 349 30.41 43.11 %

සිංහල 364 41.0 67.54 %

ලංකා දෙමළ 214 24.1 11.54

බර්ගර් 282 31.8 0.67

මුස්ලිම් 16 1.0 6.57

වෙනත් 9 1.0

885 100.0

 

ඉහතින් දක්වන ලද දර්ශකය අනුව විද්වත් වෘත්තිකයන් ගණයට අයත් වූවේ වෛද්‍ය, නීතිඥ, මිනින්දෝරු, වෙන්දේසිකාර, තක්සේරුකාර හා ඉංජිනේරු යන වෘත්තීන්ය.

ලාංකේය ධනපති පන්තිය තුල බෙදීම් ගණනාවක් තිබූ බව ද දැකිය හැක. එම පිල් බෙදීම සඳහා පදනම් වූයේ වර්ගය, කුලය හා ආගමයි. එම ප්‍රජාව පන්තියක් ලෙස පොදුවේ එක්සත් ව කටයුතු කල අවස්ථා මෙන්ම වර්ගය හෝ කුලය මුල් කොට ගෙන බෙදුණු අවස්ථා ද බොහෝමයක් ඇත.  ඔවුන් අතර සිංහල හා සිංහල නොවන ලෙස බෙදීමක් තිබුණු අතර සිංහල ප්‍රජාව අතරද ගොවිගම හා ගොවිගම නොවන ආකාරයෙන් බෙදීම් ද තිබුණි. දෙමළ ප්‍රජාව අතර ද වෙල්ලාල හා හීන කුල ලෙස පැහැදිලි බෙදීමක් තිබුණි.

කෙසේ වෙතත් බටහිර සමාජවල පැවති අකාරයට 19වන සියවස තුළ දී වර්ධනය වූ ධනේශ්වර ක්‍රමය තුලින් නිෂ්පාදන මාර්ගවලට හිමිකම් කියන ධනපති පන්තියක් හා මුදලට ශ්‍රමය විකුණන කම්කරු පන්තියක් බිහි වුවද පැරණි වැඩවසම් ක්‍රමය ද, ඉඩම් හිමි පන්තිය හා ඔවුන්ට කුලය විසින් නියම කරන ලද වැඩවසම් සේවාවක් කරන ගැමි ජනතාවක් ද රටේ තවදුරටත් සිටින්නට විය. ඒ ජන සංඛ්‍යාව ධනපති ක්‍රමයට මාරු වී සිටි ජන සංඛ්‍යාව තරම් ම විශාල විය.  

 


04. සමාලෝචනය.


19වන සියවස යනු බ්‍රිතාන්‍ය අධිකාරිය ක්‍රමානුකූලව ලංකාව තුළ මුල් බැස ගත් අතර වතු ආර්ථිකය ස්ථීර පදනමක් මත ස්ථාපිත විය. මූල ද්‍රව්‍ය නිෂ්පාදකයෙකු ලෙස ලංකාව ධනවාදී ලෝක ආර්ථිකයට ඇතුලත් වූවේ මෙම වකවානුවේ දී ය. විශේෂයෙන් ම 1833දී සූත්‍ර ගත කරනු කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ මඟින් යුරෝපීය නූතනත්වය ලංකාවට එන්නත් කිරීමේ ඓතිහාසික කාර්යභාරය සිදු විය.  ඒ අනුව මෙම අවධිය ලංකාව තුල විප්ලවීය වෙනස්කම් රාශියක් ඇති වූ යුගයක් වූ බව හඳුනා ගත හැකිය. යටත් විජිත ආර්ථීක, සමාජීය හා දේශපාලන රාමුව ස්ථීර ලෙස සකස් වූවේ ද මෙම යුගයේදී ය. 

බ්‍රිතාන්‍ය ආධිපත්‍ය හේතුවෙන් ලංකාවේ ඇති වූ ධනේශ්වර පරිවර්තනයත් සමඟ පැවති වැඩවසම් නිෂ්පාදන ක්‍රමයේ හා වැඩවසම් නිෂ්පාදන සම්බන්ධතාවල විශාල වෙනස්කම් ඇති විය. ක්‍රමයෙන් ලාංකේය ජනතාව මෙතෙක් පරිභෝජනය සඳහා පමණක් කල නිෂ්පාදනයන් පරිභෝජනයට අමතරව වෙළදාම සඳහා ද යොමු වන ප්‍රවණතාවක් ඇති වූවේ 19වන සියවසේ සිදු වූ මෙම ආර්ථීක හා සමාජීය වෙනස්කම් සමග ය. ඉඩමට බැදී සිටි ගොවීන්ට හා හස්ත කාර්මිකයන්ට අවශ්‍ය නම් එම බැදීම්වලින් ඉවත් ව මුදලට ශ්‍රමය විකුණන කම්කරුවන්ගේ තත්ත්වයට පත් වීමේ අවස්ථාව ද උදා විය. කුල ක්‍රමයට තිබුණු සමාජ පිළිගැනීම කුමක් වූවද සියලු දෙනා ම සමානයන් ලෙස සලකන තත්ත්වයක් ක්‍රමයෙන් ඇති විය. ඒ සමඟ කුලය විසින් නියම කරන ලද සේවාවෙන් ඉවත් වී වෙනත් රැකියාවක නිරත වීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථා ද මෙකල ඇති විය. පාසල් ක්‍රමයේ ව්‍යාප්තිය නිසා අකුරු උගත්කම වර්ධනය වූ අතර පුවත් පත් කියවන ජනතාවක් ඇති විය. 

වර්තමානයේ දී ලංකාව මුහුණ දී ඇති බොහෝමයක් ගැටලුවල ආරම්භය මෙන්ම බටහිර දියුණු මෙන් ම නොගැළපෙන ලක්ෂණයන්හී ආභාෂයද මෙකල ඇති විය. ලංකාව මුහුණ දී ඇති අපනයන, ආනයන ආර්ථිකයේ අස්ථිර බවත්, ගොවි ජනතාවගේ ඉඩම් සාගතයත්, දකුණු ඉන්දීය ශ්‍රම බලකායේ ප්‍රශ්නයත් යන සියල්ල ම එකල ඇති වූ ආර්ථීක හා සමාජ ව්‍යුහයේ ප්‍රතිඵලවල අහිතකර බලපෑම් ය.  ශ්‍රී ලංකාවේ ධනේශ්වර සංවර්ධනයටත් එහි පැවැත්මත් තහවුරු වූවේ මෙම යුගයේදී ය. පෞරාණිකත්වය හා නූතනත්වයේ සංකලනයෙන් යුක්ත වන අර්ධ වැඩ වසම් ආර්ථීක හා සමාජීය ලක්ෂණ ඉස්මතු වූවේ ලංකාව තුල ඉස්මතු වීම 19වන සියවස තුල ආරම්භ වූ බව ඉහතින් දක්වන ලද තොරතුරු අධ්‍යනයේ දී අවබෝධ කර ගත හැක. ලංකාවේ ආර්ථීක හා සමාජ ක්‍රමයන් පැවති වැඩවසම් ක්‍රමයේ සිට ධනේශ්වර ක්‍රමය දක්වා පරිවර්තනය වීමේ ක්‍රියාවලිය සිදු වූවේ බාහිර සාධක මත මිස අභ්‍යන්තර සාධක මත නොවීය. ඒ නිසා ඇති වූ පරිවර්තන ක්‍රියාවලිය සමාජය කෙරෙහි බලපෑවේ මුළුමනින් ම නොව අර්ධ වශයෙනි. සමාජයේ එක කොටසක් ඒකාග්‍ර වන විට තවත් කොටසක් බෙදී සිටියේ ය. සමාජයේ එක් කොටසක් ප්‍රජාතන්ත්‍රවාදී වන විට තවත් කොටසක් වැඩවසම්වාදී විය. මෙම ආකල්ප ලාංකේය සමාජයේ ඒකාබද්ධතාව ආරක්ෂා කර ගැනීම වර්තමානය දක්වා ම ගැටලුවක් බවට පත් වී ඇත. ඒ අනුව පෙනී යන්නේ ලාංකේය ධනේශ්වර ක්‍රමයේ දෙබිඩි බව හා යටත් විජිත ධනේශ්වර සංවර්ධනයත්, පශ්චාත් යටත් විජිත සංවර්ධනයේ පදනමත් මෙම යුගයේ ඇති වූ ආර්ථික හා සමාජ වෙනස්කම්වල ප්‍රතිඵලයන් වන බව මෙයින් අධ්‍යනය කර ගත හැකි බවයි. 

 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

අයිවන්, විකටර්. ලංකාව ගලවා ගැනීම, මහරගම: රාවය ප්‍රකාශන, 2013.

අයිවන්, වික්ටර්. අර්බුදයේ අන්දරය (1815 - යටත් විජිත යුගයේ සිට 2009 - ඊලාම් යුද්ධයේ අවසානය දක්වා), තෙවන මුද්‍රණය. මහරගම: රාවය ප්‍රකාශන, 2012.

අයිවන් වික්ටර්, දෙමළ අභියෝගය. මහරගම: රාවය ප්‍රකාශන, 2012.

කරුණාදාස, ඩබ්ලිව් එම්., තුන්වන ලෝකයේ දේශපාලනය හා ආර්ථිකය., දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 2003.

ක්‍රිෂ්ණා, ශන්කර්., ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුම තුළ ඉන්දියාවේ භූමිකාව., කොළඹ: මාර්ග ආයතනය, 2001.

ජයවර්ධන, කුමාරි., සොක්කන් ලොක්කන් වූ වගයි., කොළඹ: සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, 2014.

ජයසුමන, චන්න සුදත්., දෙමළ ජනතාවගේ සංක්ෂිප්ත ඉතිහාසය., බොරලැස්ගමුව: සී/ස (පෞද්) විසදුනු ප්‍රකාශකයෝ, 2009.

බණ්ඩාර , නවරත්න., රාජ්‍ය නිර්මාණය සහ ජාතික ඒකාබද්ධතාව පිළිබඳ ගැටලු. වෙළුම V වෙළුම, පරි. ශ්‍රී ලංකේය ඉතිහාසයහි පරිච්ඡේදය 2, සංස්කරණය කළේ එම්. යූ. ද සිල්වා, 53-88. කොළඹ: සී‍‍‍/ස ඇම්. ඩී. ගුණසේන සහ (පුද්ගලික) සමාගම, 2012.

බණ්ඩාරගේ, අසෝක., ශ්‍රී ලංකාවේ යටත්විජිතවාදය., කොළඹ: ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන, 2005.

විජේනායක, අමරසිරි. එදා සිට අද දක්වා මෙදෙස් විදේස් දේශලාන වෙනස් වීම්, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002.

විජේසිංහ, තිස්ස., දෙමළ සිංහල ඓතිහාසික විකාශනය පිළිබඳ නව කියවීමක්(මහාචාර්ය කේ.ඉන්ද්‍රපාල විසින් රචිත The Evolution of an Ethnic Identity කෘතිය ඇසුරෙන්)., නුගේගොඩ: සංහිද ප්‍රකාශකයෝ, 2009.

වෙත්තමුනි, විජයසිරි., සරල සිංහල මහාවංසය, කොළඔ: කතෘ ප්‍රකාශක, 2010.

සිල්වා, ප්‍රේමකුමාර ද. “සමාජ විද්‍යා විචාර රචනා.” තුළ සොක්කන් ලොක්කන් වූ වගයි., ප්‍රේම කුමාර ද සිල්වා විසින්. කොළඹ: සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, 2009.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය - සිව් වන කොටස. බත්තරමුල්ල: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2007.

“ශ්‍රී ලංකාවේ සාධනීය දේශපාලන සංස්කෘතියක් සඳහා පුරවැසි සහභාගීත්වයල හා මැතිවරණ නිරීක්‍ෂණය.” People's Action for free and Fair Elections, 2014: 01-09.

ශ්‍රී ලාංකේය ඉතිහාසය, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012.