Friday, 5 March 2021

යටත් විජිත සමාජයන් අවනත කර පවත්වාගැනීමට යටත් විජිත ක්‍රියාවලිය විසින් ගෙනගිය ක්‍රියාමාර්ගයන්

යටත් විජිතවාදය යනු කිසියම් රටක ජීවත්වන ජනතාව හා එම ප්‍රදේශය, බාහිර රටක් විසින් අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තීන් අනුව පාලන කිරීම වේ. එනම් දේශපාලන, සංග්‍රාමික හා ආර්ථික අරමුණු මුල් කර ගනිමින් බලවත් රටවල් විසින් දුර්වල රටවල් යටත් කර ගැනීම යටත් විජිතවාදය වන බව ඉතා සරලව ම පැවසිය හැක.  යුරෝපා ඉතිහාසයේ නූතන යුගයේ යටත් විජිත පිහිටුවීමේ පුරෝගාමීන් වූයේ පෘතුගීසීන් හා ස්පාඤ්ඤ ජාතිකයන් ය. නමුත් පසුව ඕලන්ද, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ජාතිකයන් ද ඊට උනන්දු විය. මේ අනුව අධිරාජ්‍ය පිහිටුවා ගනු ලැබූ යුරෝපීය ජාතීන් තම යටත් විජිත පවත්වා ගනු ලැබූයේ බොහෝ විට යුරෝපයෙන් පිටත ය. එනම් අප්‍රිකාව, ආසියාව හා ඇමරිකානු යන මහද්වීපයන්හීය. මෙලෙස තම මව් භූමියෙන් පිටත ඉතා ඈත ප්‍රදේශයන්හී යටත් විජිත පිහිටුවීම හා ඒවා පවත්වා ගැනීම අධිරාජ්‍යවාදී බලවතුන්ට ඉමහත් අභියෝගයක් විය. බොහෝ විට යටත් රටවල සමාජවලින් එල්ල වූ ප්‍රතිවිරෝධය ඉතාමත් ප්‍රබල විය. ඒ හේතුවෙන් ම එම යටත් විජිත බලවතුන් තමා යටත් කර ගත් ප්‍රදේශවල සමාජයන් අවනත කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබීය. කෙසේ වෙතත් එම අවනත කර ගැනීමේ ක්‍රියාමාර්ග කාලයෙන් කාලයට වෙනස් වූ අතර එයට හේතු වූවේ යුරෝපා සමාජයේ ඇති වූ වෙනස් වීම් බව අවබෝධ කර ගත හැක. තවද යුරෝපයෙන් පිටත යටත් විජිත පිහිට වූ යුරෝපා බලවත් ජාතීන් තම යටත් විජිත සමාජයන් අවනත කර ගැනීමේ දී අනුගමනය කල ක්‍රියාවලියද එකිනෙක වෙනස් වේ. එම සෑම යටත් විජිත බලවතෙකුට ම ඒ සඳහා තමන්ට ම අනන්‍ය වූ ක්‍රියාවලියක් පැවති නමුත් එම සෑම බලවතෙකුගේ ම අරමුණ වූයේ හැකි සෑම ආකාරයෙන් ම යටත් විජිතවලින් උපරිම ලාභ ලැබීමයි. එහි දී යටත් රටවල සමාජයන්ට මුහුණ දීමට සිදු වන හිරිහැර හා විනාශයන් පිළිබඳ තැකීමක් සිදු නොකර ලදි.

යටත් විජිතවාදී රාජ්‍යයන් විසින් ආසියාවේ, අප්‍රිකාවේ හා ඇමරිකාවේ පිහිටි රාජ්‍යයන් ඍජු ආකාරයේ පාලනයකට නතු කර ගනු ලැබීය. එහි දී විශේෂ වශයෙන් ම වෙළඳපොළ අමුද්‍රව්‍ය, රත්තරන් වැනි දෑ ලබා ගැනීම සඳහා වූ ආර්ථික අවශ්‍යතාද, යුද්ධෝපායානුකූලව වැදගත් කමක් ඇති ස්ථාන, භෞතික ද්‍රව්‍ය හා මිනිස් ශ්‍රමය ලබා ගැනීම ආදී වූ ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද, ඉතා ඉහළ කීර්තියක් ලබා ගැනීම සඳහා ද, මනුෂ්‍යයන් ශිෂ්ට සම්පන්න කිරීමේ කටයුත්ත සඳහා බව ප්‍රකාශ කරමින් මිෂනාරි කටයුතු ප්‍රචාරණය සඳහා ද වැඩි අවධානයක් බටහිර යුරෝපා බලවතුන් විසින් එල්ල කරනු ලැබීය. එම පරමාර්ථ බොහෝ විට අධිරාජ්‍යවාදී අරමුණු සමඟ බැදී පවතින බව ද අවබෝධ කර ගත හැක. 

 ඉහතින් දැක්වූ අරමුණුවලට අමතරව යටත් විජිත බලවතුන් විශ්වාස කරනු ලැබූයේ යටත් විජිත පවත්වා ගැනීමට තමන්ට අයිතියක් ඇති බවත්, තමන් උත්කෘෂ්ට වන හෙයින් යටත් විජිත ශිෂ්ට සම්පන්න කිරීමේ මිෂනාරි කටයුත්ත ද තමන් වෙන පැවරී ඇති බවයි. ඒ අනුව යටත් විජිත සමාජ අවනත කර ගැනීම සඳහා යටත් විජිත බලවතුන් විසින් ප්‍රධාන ක්‍රමවේද කීපයක් අනුගමනය කරනු ලැබීය. ඉන් එක් ක්‍රමයක් වන්නේ තමන් යටත් කර ගත් ප්‍රදේශවල තම ජනපද ඇති කිරීමයි (Colonization). එහි දී ප්‍රදාන වශයෙන් බටහිර ජාතිකයන් විසින් යටත් කර ගත් ඇමරිකානු ප්‍රදේශවල, අප්‍රිකා හා පැසිෆික් සාගර අවට ප්‍රදේශවල තම රාජ්‍යයේ පුරවැසියන් වූ සුදු ජාතිකයන් පදිංචි කරවනු ලැබීය. එහි දී තමන් යටත් කර ගත් ප්‍රදේශවල සිටි ගෝත්‍රික හා ස්වදේශික ජනතාව එම ප්‍රදේශවලින් පලවා හැරීම හෝ විනාශ කිරීම සිදු කරනු ලැබීය. මෙලෙස සුදු ජාතිකයන් විසින් ජනාවාස කරන ලද ප්‍රදේශ අතර ඉතා වැදගත් වන්නේ ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා දකුණු අප්‍රිකාවයි. එහි දී ඇමරිකානු හා කැනේඩියානු ප්‍රදේශවල සිටි රතු ඉන්දියානු ජනතාවට ද, ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සිටි ඇබෝර්ජිනියන්ස්වරුන්ට හා මාඕරිවරුන්ට ද, දකුණු අප්‍රිකාවේ සිටි කළු ජාතික ගෝත්‍රිකයන්ට ද විශාල වශයෙන් අසාධාරණකම් සිදු විය. එම ජනතාවට සිදු වූවේ එක්කෝ එම ප්‍රදේශ අතහැර දැමීම හෝ තම සංස්කෘතික හෝ සමාජ අනන්‍යතා අතහැර දමමින් සුදු ජාතික සමාජයන්වලට අනුගත වෙමින් එම සමාජයේ ම දෙවන පන්තියේ සැලකිලි ලැබීමටයි. එමගින් එම යටත් විජිත සමාජයන් පාලනය කිරීමේ පහසුව ද යටත් විජිත බලවතුන්ට හිමි විය. 

ආර්ථික, දේශපාලන හා යුදමය වශයෙන් යුරෝපීයයන්ට සාපේක්ෂව පසුගාමී තත්ත්වයක සිටි ආසියානු හා අප්‍රිකානු රාජ්‍යයන් ගණනාවක් යටත් විජිතවාදී රාජ්‍යයන් විසින් ඍජුව ම තම පාලනයට ගත් අතර ඒවා සියල්ලක් ම වාගේ සුදු ජාතික නොවන කළු ජාතික හමක් සහිත ජනතාවන් සිටි රාජ්‍යයන් විය. එහි දී යටත් විජිතවාදී බලවතුන් වූ සුදු ජාතිකයන් වාර්ගික පදනම මත හෙවත් සමේ පැහැය මත සුදු හම ඇති තමන් ‍අනෙක් ජාතීන්ට වඩා උසස් යැයි සලකමින් කටයුතු කරන්නට විය. එය ඔවුන් ම හැඳින් වූවේ සුදු මිනිසාගේ වගකීම ලෙසයි. එහි දී වැඩි යටත් විජිත ප්‍රමාණයක් හිමි කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට හැකි වූ අතර ප්‍රංශය දෙවැනි යටත් විජිත බලවතා විය. ඊට අමතරව ස්පාඤ්ඤය, ඕලන්දය, බෙල්ජියම හා පෘතුගාලය යන රාජ්‍යයන් පසුව ජර්මනිය හා ඉතාලිය යන රාජ්‍යයන් ද සුළු වශයෙන් හෝ යටත් විජිත පවත්වා ගැනීමට සමත් විය. මෙලෙස එම යටත් විජිතවාදී රාජ්‍යයන් විසින් ගෙන ගිය එම පාලන අසමානුපාතික විය. එය බොහෝ විට තම චින්තනය යටත් රටවල ප්‍රචාරය කිරීම මාර්ගයෙන් සිදු විය. ඒ අනුව යුරෝපා ජාතීන්ගේ මතය වූවේ තමන් ශ්‍රේෂ්ඨ හා ශිෂ්ට සම්පන්න වන බවත් එසේ නොවන අය ශිෂ්ට කිරීම තම වගකීම වන බවත් ය. එම මතය හමුවේ යටත් විජිතවාසීන්ගේ ආකල්පය වූවේ ද තමන් යුරෝපා ජාතීන්ට වඩා පහත් වන බවත් ඔවුන් යටතේ සිටීම සාධාරණ වන බවත් ය. එම චින්තනයේ ප්‍රබල බව නිසාම බොහෝමයක් යටත් රාජ්‍යයන්වල ජනතාව කොතෙකුත් අසාධාරණ කම් මධ්‍යයේ ද යුරෝපා යටත් විජිත බලවතුන්ට අවනතව කටයුතු කරමින්, පක්‍ෂපාතී වෙමින්, ඔවුන්ගේ ආගම වැළඳ ගනිමින්, ඔවුන්ගේ සංස්කෘතියට අනුගත වෙමින්, රාජ්‍ය කටයුතුවලට සම්බන්ධ විය. 

එම යටත් විජිත සමාජයන් අවනත කර ගැනීමේ දී බ්‍රිතාන්‍ය යටත් විජිත ක්‍රියාවලියේ ඉතාමත් සුවිශේෂී වේ. ඔවුන්ගේ මතය වූවේ තම යටත් විජිත දේශපාලනික හා ආර්ථික අතින් පරිණත භාවයකට පත් වන තෙක් ඒවා තමා යටතේ ම තබා ගනිමින් ස්වයං පාලනයකට හුරු කල යුතු බවයි. ඒ අනුව බ්‍රිතාන්‍යයන් විසින් තමන්ට ලාබ ගෙන දෙන අකාරයේ ආර්ථික ක්‍රමයක් තම යටත් විජිතවලට හඳුන්වාදෙනු ලැබීය. ඒ අනුව තම යටත් විජිතවලට වතු වගාව, පතල් කර්මාන්තය ආදී ආර්ථික අංශ හඳුන්වාදුන් අතර එම ක්ෂේත්‍රවල වර්ධනය සඳහා වැදගත් වන අනෙකුත් ක්‍ෂේත්‍රයන් වූ යටිතල පහසුකම්වලට අදාළ වූ මාර්ග පද්ධති හා වරාය පහසුකම් වර්ධනය කරනු ලැබීය. සෞඛ්‍ය පහසුකම් ද වර්ධනය කරනු ලැබීය. ඊට අමතරව පරිපාලනයේදී වැය වන අධික වියදම අවම කර ගැනීම සඳහා තම යටත් විජිත රටවල පහළ අංශයේ තනතුරු සඳහා අඩු වැටුපට ස්වදේශිකයන් බඳවා ගැනීමේ අරමුණින් එම යටත් විජිතවලට අධ්‍යාපන ක්‍රමයක් ද හඳුන්වාදෙනු ලැබීය. ඊට අමතරව ව්‍යවස්ථාදායක හා විධායක සභා වැනි ආයතන ඇති කරමින් හා ඒ සඳහා ක්‍රමික ප්‍රතිසංස්කරණ ඇති කරමින් හැකි තාක් දුරට දේශීයයන් යොදව ගනු ලැබීය. තවද යම් යම් අවස්ථාවලදී තමන්ට දේශීයයන්ගෙන් ඇති විය හැකි අභියෝග වළක්වා ගැනීමට බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්ති ද (Divide and Rule) හඳුන්වා දෙනු ලැබීය. ඒ හේතුවෙන් බොහෝ විට බ්‍රිතාන්‍ය යටතේ පැවති ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය හා පලස්තීනය යන ප්‍රදේශවල සිටි ජනතාවගේ ජාතිවාදී හැඟීම් උත්සන්න වී වර්තමානය දක්වා උග්‍ර ගැටුම් වර්ධනය වී ඇත. විශේෂයෙන් ම ඉන්දියාවේදී මෙහි ප්‍රතිවිපාක උග්‍ර විය. බ්‍රිතාන්‍යයන් විසින් පළමු ව ජාතීන් අණුව හින්දු හා මුස්ලිම් ලෙස මන්ත්‍රී කොට්ඨාශ ඇති කරන ලදි. ඒ හේතුවෙන් ම අනාගතයේ දී බ්‍රිතාන්‍ය ඉන්දියාව, ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශය ලෙස බෙදී වෙන් වීමට අවශ්‍ය අඩිතාලම ද සකස් විය. ඊට අමතරව බ්‍රිතාන්‍යන්ගේ පෙරදිග ප්‍රතිපත්ති පිළිබඳ විමසීමේ දී පෙනී යන්නේ ඔවුන්ගේ අස්වාමිකවාදයද ප‍්‍රදේශ ඈඳා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කල සුවිශේෂී ක්‍රියාවලියක් වන බවයි. අස්වාමිකවාදය යනු උරුමක්කාරයෙකු නොමැතිව ප‍්‍රාදේශීය නායකයා මියගියේ නම් ඔහු හදාවඩා ගත් කුමාරයෙකුට සිහසුන හෝ “රජ” යන විරුදය හිමි නොවන්නේය යන්නයි' මෙම අවස්ථාවලදී එම ප‍්‍රදේශ ඉන්දියාවේ බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යය පාලනයට හිමිවන බව එවකට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ප්‍රතිරාජයා වූ ඩැල්හවුසි පෙන්වා දුන්නේය. මෙම න්‍යාය අනුව ඉන්දියාව පුරාම දැඩි නොසන්සුන්තාවයක් හා සැකයක් ඇති  වූ නමුත් එමගින් ඉන්දියාවේ විශාල ප්‍රදේශයක බලය හිමි කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය.

ප්‍රංශය විසින් තමා යටත් කර ගත් ප්‍රදේශවල ගෙන ගියේ බ්‍රිතාන්‍යයන්ට වඩා වෙනස් වූ ප්‍රතිපත්තියකි. ඔවුන් විසින් තමා යටත් කර ගත් ප්‍රදේශවල වූ සමාජය ප්‍රංශ ජාතිකත්වයට උකහා ගැනීමක් (Policy of Assimilation) සිදු කරනු ලැබීය. ඒ අනුව ප්‍රංශය විසින් තමා යටත් කර ගත් සෑම ප්‍රදේශයක ම සිටි ජනතාවකට ම ප්‍රංශ පුරවැසි භාවය ලබා දෙනු ලැබීය. නමුත් සැබෑ ලෙස ම ප්‍රංශ පුරවැසි භාවය ලබා ගැනීම පහසු නොවීය. ඒ සඳහා ශිෂ්ට සම්පන්න විය යුතු බවට ප්‍රංශයන් ප්‍රකාශ කර සිටියත් සැබෑ ලෙස ම එහි යටි අරමුණ වූයේ ප්‍රංශ අධිරාජ්‍යවාදයට ගැති පිරිසක් බිහි කර ගැනීමයි. තවද ප්‍රංශ පුරවැසි කම ලැබුණ ද ඔවුන්ට හිමි වූයේ අඩු සැලකිලි ය. ප්‍රංශයන් තමා යටත් කර ගත් ප්‍රදේශවල පැවති දේශීය ආයතන හා දේශීය නිලධාරීන් යොදවා තම පාලනය ගෙනයනවා වෙනුවට හැකි සෑම විට ම ප්‍රංශ පාලනය හා ප්‍රංශ ජාතික නිලධාරීන් යොදවා පරිපාලනය ගෙන යනු ලැබීය. එමගින් ප්‍රංශය අපේක්‍ෂා කරනු ලැබුවේ තම යටත් විජිත සමාජ ඍජුව ම ප්‍රංශ සංස්කෘතියේ යටතට ගැනීමයි. එමගින් ප්‍රංශ ආධිපත්‍ය තම යටත් සමාජවල ස්ථාවර කර ගැනීමට එමගින් අපේක්‍ෂා කරනු ලැබුවත් සත්‍ය ලෙස ම සිදුවූයේ ප්‍රංශ විරෝධී වාතාවරණය එමගින් උත්සන්න වීමයි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත හා සංසන්දනය කරන විට ප්‍රංශ යටත් විජිතවල යටත් විජිත විරෝධී ස්වභාවය උග්‍ර වීමට එක් හේතුවක් වූයේ මෙම ප්‍රංශ ක්‍රියාවලියයි.

ප්‍රංශ ජාතිකයන් ද තම යටත් විජිත ව්‍යාප්ත කලේ ආර්ථික හා දේශපාලන අරමුණු පෙර දැර කරගෙනය. ඒ හේතුවෙන් තමන්ට ආර්ථික වාසි ගෙන දෙන ක්ෂේත්‍ර වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ප්‍රංශයන් ද උනන්දු විය. නමුත් අධ්‍යාපනය දියුණු කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයන් මෙන්, එතරම් උනන්දුවක් ප්‍රංශය තුල නොවීය. තමන් සතු සියලු යටත් විජිත ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වූ මධ්‍යගත පාලනයක් යටතේ හෝ එම මධ්‍යගත පාලනයට ඍජුව ම වගකියන ආණ්ඩුකාරවරයෙකු යටතේ පාලනය විය. එසේ කටයුතු කිරීමට හේතු වූ ප්‍රදාන කාරණාව වූයේ තම යටත් විජිත ප්‍රදේශවල ප්‍රංශ ආධිපත්‍ය පවත්වා ගැනීමට එම ඒකාධිපති පරිපාලන රටාව උපකාරී වනු ඇති බවට ප්‍රංශය තුල වූ විශ්වාසයයි. ඒ හේතුවෙන් ම ප්‍රංශ යටත් විජිත ක්‍රියාවලිය බ්‍රිතාන්‍ය යටත් විජිත ක්‍රියාවලියට සාපේක්‍ෂව ඉතාමත් පීඩා කාරී විය.

ලන්දේසීන් විසින් තම ප්‍රධාන ම යටත් විජිතය වූ ඉන්දුනීසියානු දූපත් සමූහයේ ගෙන ගිය යටත් විජිත ක්‍රියාවලිය ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යටත් විජිත ක්‍රියාවලියට සාපේක්ෂව ඉතාමත් ම වෙනස් වේ. විශේෂයෙන් ම ඉන්දුනීසියානු කොදෙව් සමූහයේ පිහිටි රාජ්‍යයන් අතර ඇතිවූ අභ්‍යන්තර ආරවුල් උපයෝගී කොට ගනිමින් සිය බලය වර්ධනය කර ගැනීමට ලන්දේසීන්ට හැකි විය. ඒත් සමඟ නිරායාසයෙන් ම අග්නිදිග ආසියානු කොදෙව්වල වූ නැගෙනහිර දූපත් රැසක ඉන්දුනීසියානු ස්වාධීනතාව නැති කරමින්, ලන්දේසි අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමට හැකි විය.

ප්‍රධාන වශයෙන් ලන්දේසි ප්‍රතිපත්තිය පිළිබඳව සලකා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ මුල්කාලීන ලන්දේසි සමාගමේ අරමුණ වූවේ වෙළඳ කටයුතු සඳහා මිස දිවයින්වල අභ්‍යන්තර පාලනයට මැදිහත් නොවිය යුතු බවයි. යුද්ධ කිරීම අත්‍යාවශ්‍ය නම් පමණක් කළ යුතු බව ලන්දේසි සමාගමේ අරමුණ විය. ආර්ථික කටයුතුවල දී නිරායාසයෙන් ම දේශපාලන කටයුතුවලට මැදිහත් වීමට සිදුවුවත් දේශපාලන වගකීම් පිළිබඳව ලන්දේසීන් අවධානය යොමු නොවීය. 

නමුත් කල්යත්ම දේශීයයන් සමඟ නිතර නිතර යුද්ධ ඇතිවීමත්, වැඩි ලාබයක් ලබාගැනීමේ අභිප්‍රායෙනුත් ලන්දේසි බලය අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්ත වන ආකාරයක් පසුව දැකිය හැකිය. මෙලෙස ලන්දේසි අරමුණු වෙනස් වන්නට ඇත්තේ තම ආධිපත්‍ය බලය ස්ථාවර කර ගැනීමටත් හා අනෙකුත් යුරෝපීය රාජ්‍යයන්ගේ ආගමනය වැළැක්වීමටත් විය හැකිය. කෙසේ වුවත් පසුකාලීනව වෙනස් වූ එම ප්‍රතිපත්තිය හේතුවෙන් ‍ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පරිහානිය ද ආරම්භ වූ බව පෙනී යයි. එයට ප්‍රධානතම හේතුව වූයේ දීර්ඝ කාලීන මෙන්ම අධික ධනයක් වැය කිරීමට සිදු වූ යුද්ධත්, යටත් ප්‍රදේශ වැඩි වීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් අධික වීමත් ය. කෙසේ වුවත් අවසාන වශයෙන් පෙනී යන කරුණක් වන්නේ අග්නිදිග ආසියානු ප්‍රදේශ වල සාර්ථකව ම බලය ව්‍යාප්ත කළ ජාතියක් වීමට ලන්දේසීන්ට හැකි වූ බවයි.

මීට අමතරව මුල් කාලීන යටත් විජිත බලවතුන් වූ පෘතුගාලය හා ස්පාඤ්ඤය තම යටත් ප්‍රදේශවල පරිපාලනය ගෙන යනු ලැබුවේ කඩුවේ හා තුවක්කුවේ බලයෙනි. එය ඉතාමත් ම ප්‍රචණ්ඩකාරී විය. ඔවුන් කිසිදු විටක යටත් විජිතවාසීන්ගේ යහපත ගැන නොසිතූ අතර ඉතාමත් ක්‍රෑර පාලනයක් ගෙන යනු ලැබීය. ඊට අමතරව ඔවුන් ගෙන ගිය මිෂනාරි ව්‍යාපාරය මගින් අපේක්ෂා කරනු ලැබූවේ තමන්ට යටහත්, යටත් විජිතවාසීන් පිරිසක් බිහි කර ගැනීම වුවත් සැබෑ ලෙස ම සිදු වූවේ යටත් විජිත විරෝධය තවදුරටත් උග්‍ර වීමයි. ඒ හේතුවෙන් ම ඔවුන් සතු ප්‍රදේශවලින් ඇති වූ ප්‍රතිවිරෝධය ඉතාමත් ම උග්‍ර වූ අතර ඒවා මැඩ පැවැත්වීමට ගත් ක්‍රියාමාර්ග ද බිහිසුණු විය. ඒ හේතුවෙන් ම ඔවුන්ට තම යටත් විජිත පාලනය කිරීම බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශයන්ට සාපේක්ෂව අපහසු වූ අතර 19වන සියවස වන විට තම යටත් විජිත බොහෝමයක් අහිමි කර ගැනීමට ද සිදු විය.   

මීට පසුව යටත් විජිත තරගයට අවතීර්ණ වූ බෙල්ජියමද, කොන්ගෝවේ ඉතාමත් ම පීඩාකාරී පරිපාලනයක් ගෙන ගෙ යන ලදි. තවද ජර්මනිය හා ඉතාලිය ද අනෙක් යටත් විජිත බලවතුන්ට සාපේක්ෂව වෙනස් ම ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබීය. මෙම සෑම යටත් විජිත බලවතෙකුගේ ම අදහස වූයේ තමන්ගේ සංස්කෘතිය උසස් යන්නයි. මහා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ කාලයේදී ලෝකයේ මුදුන් මල් කඩක් බදු සංස්කෘතියක් ඇත්තේ තමන්ට බව ඉංග්‍රීසි ජාතිකයන් විශ්වාස කරනු ලැබීය. කළු මිනිසුන් වෙසෙන අප්‍රිකා මහද්වීපය අඳුරු මහද්වීපයක් ලෙස හඳුන්වන ලද්දේ එම නිසා ය. ඒ අනුව බටහිර යටත් විජිත බලවතුන් විසින් යුරෝපා නොවන අනෙක් රටවල් යටත් කොට දිගු කලක් පවත්වාගෙන යාම සඳහා යටත් කර ගන්නා රට සංස්කෘතික වශයෙන් ද යටත් කර ගැනීමට කටයුතු කරනු ලැබීය. එමගින් එම යටත් රටවල සංස්කෘතික පරිහානියක් ඇති වී බටහිරට ගැතිකම් කරන පිරිසක් බිහිකර ගැනීමට බටහිර බලවතුන් සමත් විය. එම කුමන ප්‍රතිපත්තිය යටතේ වුවද සමස්තයක් ලෙස යටත් විජිත බලවතුන්ගේ ප්‍රධාන අරමුණ වූවේ හැකි තරම් ආර්ථික ලාබ ලබා ගත හැකි ආකාරයට යටත් විජිත සුරා කෑමයි. ඒ සඳහා තමන්ට අයිතියක් ඇති බවට යුරෝපා යටත් විජිත ජාතිකයන් විශ්වාස කල අතර යටත් විජිත ප්‍රදේශවල සිටි ජනතාවගේ අසමගිය හා දීන බව විසින් තම ප්‍රතිපත්ති පහසුවෙන් ක්‍රියාවේ යෙදවීමට යටත් විජිත බලවතුන්ට හැකි විය.


No comments:

Post a Comment