Thursday 25 March 2021

“ඉන්දියන් සාගරයේ ඇමරිකානු උපායමාර්ගික දූපත් සංකල්පය හා, දියාගෝ ගාර්ෂියා (Diego Garcia) දූපත ඇමරිකානු උපායමාර්ගික දූපතක් ලෙස සංවර්ධනය කිරීමේ අදියරයන් පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්.”

 

    වර්තමාන භූ ‍දේශපාලනයේ එක් ප්‍රධාන අධ්‍යයන අංශයක් වන්නේ භූ උපාය මාර්ගික ක්‍රියාවලියයි. විවිධ ක්‍ෂේත්‍රයන්ට අයත් විද්වතුන් විසින් භූ දේශපාලනයට සාපේක්ෂව එනම් ලෝකයේ විවිධ රාජ්‍යයන් අවකාශීය වශයෙන් ව්‍යාප්ත වී ඇති ආකාරය අනුව රාජ්‍යයන්හි පවතින භූගෝලීය සහ අනෙකුත් සාධක මත රාජ්‍යයන්හි උපාය මාර්ගයන්හී අවශ්‍යතාව හා එම උපාය මාර්ග කෙසේ සකස් විය යුතු ද?, යන්න පිළිබඳ විවිධ අධ්‍යයනයන් ආශ්‍රයෙන් විවිධ මත පල කර තිබේ. ලොව බලවත් රාජ්‍යයන් වර්තමානය වන විට සිය අවධානයන් ද ඒ සම්බන්ධයෙන් යොමු කර ඇත.

භූ උපාය මාර්ගික අධ්‍යනයේ ආරම්භකයා ලෙස සැලකෙන ඇමරිකානු නාවික හමුදාවේ අද්මිරාල්වරයෙකු වූ ඇල්ෆ්‍රඩ් තේයර් මේහෑන් (Alfred Thayer Mahan) විසින් රචිත ඉතිහාසය කෙරෙහි සාගරික බලයේ බලපෑම (The Influence of Sea Power Upon History) නම් කෘතියෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ භූ උපාය මාර්ගික ක්‍රියාවලියේදී ප්‍රබලතම සාධකය වන්නේ සාගරික බලය බවයි. ඒ අනුව යම් රටක් ආර්ථීක හා වාණිජ කටයුතු ආරක්ෂා කර ගැනීම සඳහා සාගරික ප්‍රවාහණ මාර්ග පාලනය කිරීම අත්‍යාවශ්‍ය බව මේහෑන් විසින් පෙන්වා දී ඇත. 

මෙහි දී අපගේ අවධානයට ලක්වන්නා වූ දකුණු ආසියාව ප්‍රමුඛ ඉන්දියානු සාගරය ලොව බලගතු ම භූ උපාය මාර්ගික කලාප කීපයෙන් එකකි. ලෝක භූ දේශපාලනික හා භූ උපායමාර්ගික අධ්‍යනය සම්බන්ධයෙන් වැදගත් වූ තවත් විද්වතෙකු වන සෝල් බී කොහේන් (Saul B. Cohen) විසින් රචිත ලෝකයක භූගෝලය සහ දේශපාලනය (Geography and politics in a World Divided) යන කෘතිය මඟින් ඔහු පෘථිවි ගෝලය භූ උපාය මාර්ගික කලාප කීපයකට බෙදී ඇති බව දක්වයි. එම කලාප ප්‍රධාන රාජ්‍යයක බලපෑම් ගෝලය තුළ පිහිටා තිබෙන බව දක්වන ඔහු ඇමරිකාව, යුරෝපය, සෝවියට් දේශය හා චීනය එවැනි බලපෑම් සහගත කලාපයන් බව පෙන්වා දී ඇත. කොහේන් විසින් වෙළදාම මත පදනම් වූ සාගරික ලෝකය (Trade Depend Maritime World) සහ යුරේසියානු මහද්වීපික බලයන් (Eurasian Continental Powers) වශයෙන් ද ලෝකය කොටස් දෙකකට බෙදනු ලැබීය. එහි දී ඉන්දියානු සාගරයේ ප්‍රමුඛතම කලාපය වන දකුණු ආසියානු කලාපය ස්වාධීන කලාපයක් ලෙස ද මැද පෙරදිග සහ ගිණිකොනදිග ආසියාව පිපිරුම් කලාප (Shatter Belt) ලෙස හඳුන්වන ලදි.

ඉහත අර්ථකථනයන් අනුව පෙනී යන්නේ ඉන්දියානු සාගරික කලාපය වාණිජ හා යුදමය අංශයන්හීදී ද, භූ දේශපාලනික හා භූ උපායමාර්ගික අංශයන්හීදී ද ඉතාමත් වැදගත් වන බවයි. ඉන්දියානු සාගරය තුළ සිදු වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් එහි වැදගත්කම තව දුරටත් අවබෝධ කර ගත හැක. ඉන්දියානු සාගරය යනු ලොව තෙවැනියට විශාලතම සාගරය ලෙස හඳුනාගත හැක. එම ඉන්දියානු සාගරය තුල රාජ්‍යයන් 47ක් පිහිටා තිබෙන අතර තවත් දූපත් සමූහයක් ම ඉන්දියානු සාගරයේ සීමාවන්හි පිහිටා ඇති බව අධ්‍යනය කල හැක. ඉන්දියානු සාගරයට ප්‍රවේශ විය හැකි මාර්ගයන් 09ක් හඳුනා ගත හැකි අතර ඉන් 05ක් ලොව ප්‍රධානතම සන්නිවේදන හා බලශක්ති ප්‍රවාහනය කරන්නා වූ නාවික මාර්ගයන් වේ. වාර්තාවන්ට අනුව ලෝක බලශක්ති නිෂ්පාදන ක්‍රියාවලියෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය හා ප්‍රවාහනය කෙරෙන්නේ පර්සියන් ගල්ෆ් කලාපය පිහිටා ඇති ඉන්දියානු සාගර කලාපය තුලිනි. එම බලශක්ති ප්‍රමාණය යුරෝපයේ හා ආසියාවේ ප්‍රධාන ම  බලශක්ති අශ්‍යතාවයේ උල්පත ලෙස ද හැදින්විය හැකිය. මීට අමතරව යුරෝපීය නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස සැලකිය හැකි මැද පෙරදිග තෙල් හා නැගෙනහිර අප්‍රිකාවේ ඛනිජ ද්‍රව්‍ය මෙම කලාපය හරහා ප්‍රවාහණය වේ. ලොව දෙවන ලෝක බලවතා වන චීනයේ බලශක්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඛනිජ තෙල්වලින් 75%කට ආසන්න ප්‍රමාණයක්ද, ඉන්දියාවේ බලශක්ති අවශ්‍යතාවලින් 90%කටත් වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන්නේ ද මෙම ඉන්දියන් සාගර කලාපය හරහා වීම මත පෙනී යන්නේ ඉන්දියන් සාගරය යනු ලෝක ආර්ථික හා බලශක්ති මර්මස්ථානයක කේන්ද්‍රයක් වන බවයි.



ඒ අනුව ඉන්දියානු සාගරික කලාපයේ බලය වර්ධනය කර ගනිමින් තම වාණිජ මෙන්ම ඛනිජ සම්පත් හා බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාදාමයක ඇමරිකාව දෙවන ලෝක යුද්ධ අවසාන කාලයේ සිට වර්තමානය දක්වා ම නිරත ව සිටී. අනෙකුත් ලෝක බලවතුන් ද මෙම ක්‍රියාවලියේ යෙදී සිටියත් ඇමරිකාව විසින් මෙම කලාපය සඳහා සිදු කරනු ලැබූ සූක්ෂ්ම මෙන් ම ප්‍රබල බලපෑම හේතුවෙන් එම තරගයේ දී අන් කිසිදු ජාතියකට වඩා ඉදිරියෙන් සිටීමේ හැකියාව, ඇමරිකාව සතු ව පවතී. එය මනාව පෙනී යන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු ලෝකයේ සෑම මහද්වීපයක ම ඇති රාජ්‍යයන්හි ඇමරිකානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අඩු හෝ වැඩි වශයෙන් ක්‍රියාත්මක වී තිබීම යි. කෙසේ වෙතත් ඇමරිකානු අධිරාජ්‍යවාදය, පෙර පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් පැහැදිලි ලෙස ම වෙනස් වේ. එනම් ඇමරිකාව විසින් රටවල් තම අණසකට ගෙන ඍජු යටත්විජිතයන් ලෙස තබා ගැනීමට උත්සහ නොකිරීමයි. ඇමරිකාව විසින් ඊට පිළිතුරු වශයෙන් කරනු ලැබූයේ පරිවාරක රාජ්‍යයන් හෝ තමාට ගැති රාජ්‍යයන් අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමයි. එම ක්‍රමවේදය අනුව යමින් ඇමරිකාව සාම්ප්‍රදායික යටත්විජිත බලවතුන් අබිබවා යමින් අධිරාජ්‍යවාදී ආධිපත්‍යය ලොව පුරා පතුරවා ඇති අතර, තම ආර්ථික ආධිපත්‍ය වූ නව ලිබරල් ක්‍රමය මඟින් සකලවිධ ලෝකයම අවනත කර ගැනීමේ  යටත් විජිත ක්‍රියාවලියද අනුගමනය කරමින් පවතී.


    ඇමරිකාව වර්තමානය වන විට නූතන අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛතම බලවතා බවට පත් වී තිබේ. ඔවුන් අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ට වඩා වැඩි වේගයකින් තුන් වන ලෝකය තම ග්‍රහණයට ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන අතර නව යටත් විජිත ක්‍රියාවලිය තුල ඇමරිකාවේ ආර්ථික, දේශපාලන හා දෘෂ්ඨිමය බලපෑම් ප්‍රබලව දැකිය හැකි ය. ඇමරිකාව විසින් මෙම ක්‍රියාවලිය මුලින් ම ආරම්භ කරන ලද්දේ ඇමරිකාව අවට ඇති දකුණු ඇමරිකානු රාජ්‍යයන් සම්බන්ධයෙනි. ඒ අනුව තම රට අවට කලාපයේ ඇති රාජ්‍යයන්වල බලපෑම් කිරීමේ ඇති හැකියාව තමාට හැර අන් කිසිදු රාජ්‍යයකට නොමැති බව එවකට  ඇමරිකානු ජනාධිපති වූ ජේම්ස් මොන්රෝ (James Monroe) විසින් අවධාරණය කරනු ලැබූ අතර එය මොන්රේ ධර්මය (Monroe Doctrine in 1823. -“US had the right to exclude foreign powers from colonizing in the western hemisphere”) ලෙස ද ප්‍රකට වේ. මහා බලවතෙකු ලෙස ආර්ථිකමය වශයෙන් ස්ථාවර වීමෙන් පසු ලෝකයේ අනෙකුත් කලාපවලට ද තම බලය ව්‍යාප්ත කිරීමේ කාර්යය අරඹන්නේ ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් (Theodore Roosevelt) විසිනි. ඔහුගේ කාලයේදී ඇමරිකානු නාවික යාත්‍රා කීපයක් සාමය සඳහා වන ඇමරිකානු ම්‍ත්‍රත්වයේ ගමනක් ලෙස ලොව උපාය මාර්ගික අතින් වැදගත් ප්‍රදේශවල සංචාරය කරමින් (Great White Fleet. - Roosevelt thought it wise to implement diplomacy with displays of U.S. power. In 1907 he ordered a world tour by the U.S. fleet), අනාගතයේ දී වැදගත් විය හැකි උපායමාර්ගික තොරතුරු රාශියක් ඒකරාශී කර ගනු ලැබීය. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව බටහිර යටත් විජිත බලවතුන් ආර්ථිකමය හා යුදමය වශයෙන් බංකොලොත් වීමත් සමඟ ඇමරිකානු අධිරාජ්‍යවාදී යාන්ත්‍රණය විසින් පැරණි යටත්විජිත හා අර්ධ යටත්විජිත  ක්‍රමයන් තම ග්‍රහණයේ තබා ගැනීම සඳහා මෙන් ම අසමාන අයිතියේ හා පරාධීනත්වයේ ආකල්ප මත තුන් වන ලෝකය ධනවාදී ක්‍රමය තුල බලහත්කාරයෙන් පවත්වා ගැනීමට තම මැදිහත් වීම් ලොව විවිධ කලාප කෙරෙහි එල්ල කරනු ලබයි.

ඒ සඳහා පිහිටුවනු ලැබූ ඇමරිකා එක්සත් ජනපදය සතු විවිධ වූ යුධ කඳවුරු ලොව විවිධ කලාපවල පවතින අතර එමගින් එම කලාපයේ තම බලය පැතිර වීමට හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ අනුව ආසියාවේ තායිවානය, දකුණු කොරියාව, පිලිපීනය, තායිලන්තය, ජපානය, රියුකු දිවයින්, පකිස්තාන, බහරෙන් හා සෞදි අරාබිය ආදී රටවල ද ඉන්දියන් සාගරයේ දියාගෝ ගාර්ෂියා, ඕෂනියාවේ හවායි, මාෂල්, කැරොලිනා හා ගුවාම් දූපත්වල ද, අප්‍රිකාවේ ලයිබීරියාවේ හා ඉතියෝපියාවේ ද, ලතින් ඇමරිකාවේ පැනමා ඇල පෙදෙසේ, කියුබාවේ ගුවන්තනමෝ, පුවර්ටෝ රීකෝ, බර්මියුඩා, බාර්බඩෝස් හා ජැමෙයිකා ආදී කැරිබියන් දූපත්වලද ඇමරිකානු යුධ කඳවුරු ස්ථාපිත කර ඇත. විශේෂයෙන් ම පැරණි යටත් විජිත හා යටත් විජිත බලවතුන්ට අයත් මුහුදු කලාපයන්හි ඇමරිකන් යුධ කඳවුරු හා නාවික හමුදා කඳවුරුවලට අයත් හයවැනි හා හත් වැනි නාවික හමුදා කණ්ඩවල යුධ නැව් ස්ථානගත කර ඇත.

මෙම යුධ ශක්තිය මාර්ගයෙන් එම කලාපයන් තුල ඇමරිකානු බලයේ ඒකාධිකාරය ආරක්ෂා කර ගනිමින් අනෙකුත් රාජ්‍යයන් වෙත යුදමය බලපෑමක් ඇති කිරීම, එහි මූලික අරමුණ ලෙස වන බව පැහැදිලි කර ගත හැක. ඒ අනුව වර්තමානයේ දී ලෝකයේ සියලු ම උපායමාර්ගික කලාපවලට තම යුද බලය පෙන්වීමේ හැකියාවක් ඇමරිකාව තමන් සතු කරගෙන ඇති බව අවබෝධ කර ගත හැක.

  බොහෝ විට ඉන්දීය සාගර කලාපය තුළ ඇති රාජ්‍යයන් අති බහුතරයක් යටත් විජිත ග්‍රහණයට නතු වී පැවති ඒවා වේ. දෙවන ලෝක යුද්ධය හා  එම ප්‍රදේශවල ඇති වූ නිදහස් විමුක්ති අරගල හේතුවෙන් දුර්වල වූ බටහිර යටත් විජිත බලවතුන් තම යටත් විජිතවලට නිදහස ලබා දීමට කටයුතු කරනු ලැබීය. නමුත් සෝවියට් දේශයේ නායකයා වූ ජෝසෆ් ස්ටාර්ලින්ගෙන් පසුව නව නායකයා වූ නිකීතා කෲෂව් විසින් තම විදේශ ප්‍රතිපත්තිය යටතේ යුරෝපයෙන් පිටත ඇති අනෙකුත් කලාපයන් වෙත ද කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත කිරීම මහා පරිමාණයෙන් ආරම්භ කරනු ලැබීය. ඒත් සමග ඉන්දියානු සාගර කලාපයත් කොමියුනිස්ට් තර්ජනයට ලක් විය. ඒ වන විටත් එම ප්‍රදේශවල රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික වශයෙන් තම හමුදා ස්ථානගත කර සිටි බ්‍රිතාන්‍යයන්ට එම කොමියුනිස්ට් තර්ජනයන්ට මුහුණ දීමට කෙසේ වෙතත්, අධික වියදම් දරමින් තම හමුදා නඩත්තු කිරීම සම්බන්ධයෙන් ද ගැටලු පැන නැගී තිබිණ.

එය ද අවස්ථාවක් කර ගත් ඇමරිකාව සෝවියට් බලය මර්දනය කිරීමේ අරමුණින් 1814 පටන් බ්‍රිතාන්‍යයන් සතු වූ ඉන්දියානු සාගරික බලය 1960 දශකයේ ආරම්භයේ සිට ක්‍රමික ව තමා බාරයට ගැනීම සඳහා කටයුතු කරනු ලැබීය. එමගින් ඉන්දියානු සාගර කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදී ව්‍යාප්තිය උත්සන්න කරමින් නැගෙනහිර අප්‍රිකානු ප්‍රදේශවලට, මැද පෙරදිගට, ඉන්දියාවට, පකිස්ථානයට හා අග්නිදිග ආසියානු ප්‍රදේශවලට බලපෑම් සහගත ව කටයුතු කිරීමේ ඒකාධිකාරී බලය තමන් සතු කර ගැනීමට එක්සත් ජනපදය සමත් විය. ඒත් සමඟ ඉන්දියානු සාගර කලාප කෙරෙහි පැවති පැරණි යටත් විජිත බලවතුන් සතු වූ බලපෑම් සහගත හැකියාව අහෝසි වී යන්නට විය. එය වක්‍රව බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා ලන්දේසි බලයන්ට මහත් පාඩුවක් ද වූ බව ප්‍රංශ ජනාධිපති ජනරාල් ඩිගෝල් 1964 දී කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පැහැදිලි වේ. ඔහු එම අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් හෝ දැඩි කොන්දේසි යටතේ යටත් විජිතවාදී රටවල් සිය යටත් විජිතවල ජනතාවට බලය පවරා දුන් හෑම තැනක ම වොෂින්ටනයේ බලපෑම නියම ලෙස හෝ අනියම් ලෙස දැනෙන්නට වූ බවයි මෙයින් පෙනී යන තවත් වැදගත් කරුණක් වන්නේ දෙවන ලෝක යුද්ධය හමුවේ අසරණ වූ බටහිර යුරෝපා බලවතුන්, ඇමරිකානු බලපෑම හමුවේ තම යටත් විජිත අත් හැරි බවත්, ඒත් සමඟ ඇති වූ රික්තකය අවස්ථාවක් කර ගනිමින් අදාළ කලාපවල තම බලය ව්‍යාප්ත කිරීමට ඇමරිකාව කටයුතු කරන ලද බවත් ය.

ඉන්දියානු සාගරය තුල පිහිටා ඇති දියාගෝ ගාෂියා දිවයින (Diego Garcia) සම්බන්ධයෙන් බොහෝමයක් රටවල ජනතාව ඉතා අඩු අවධානයක් යොමු කර ඇති අතර ඉන්දීය සාගරයේ වෙසෙන ජනතාව අතරින් ද ඒ පිළිබඳව දැනුවත් බවක් ඇති පිරිස ඉතාමත් ම අල්ප වේ. එම ඇමරිකානු හමුදා කඳවුර ශ්‍රී ලංකාවට 2500km පමණ දකුණින් පිහිටා ඇති බව ලාංකිකයෝ පවා නොදන්නා කරුණකි. එහි වර්තමානය වන විට ඇමරිකාවට අයත් නවීනතම ප්‍රහාරක නාවික හා ගුවන් යානා තිබෙන අතර 4000ක පමණ ඇමරිකානු හමුදාවක් ද නතර කර ඇත. නමුත් දියාගෝ ගාෂියාවේ ඇමරිකානු යුද කඳවුරක් ඇති බවට බොහෝමයක් ජනතාව දැන ගත්තේද 2014 වර්ෂයේ මුලදී සිදු වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370නම් ගුවන් යානය අතුරුදහන් වීමත් හා එම යානය දියාගෝ ගාෂියාව වෙත පැහැර ගෙන ගිය බවට මතු වූ කට කතාවත් සමගින් ය. කෙසේ වෙතත් දියාගෝ ගාෂියා දිවයින සම්බන්ධයෙන් ඇති ඉතිහාසය ඊටත් වඩා පැරණි වේ.

1500දී පමණ පෘතුගීසි නාවිකයෙකු වූ දියාගෝ ගාෂියා (Diego Garcia) විසින් ගවේශනය කරන ලද දිවයින තමාගේ ම නම අනුව දියාගෝ ගාෂියා ලෙස නම් කරනු ලැබීය. පසුව ඉන්දියානු සාගරික කලාපය තුල බ්‍රිතාන්‍ය බලය වර්ධනය වීමත් සමඟ එම දිවයිනේ බලය 1814 පමණ වන විට බ්‍රිතාන්‍යයන් සතු වූ නමුත් ඒ වන විටත් ඉන්දියාවේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශයන් බ්‍රිතාන්‍ය යටතේ වූ බැවින් දියාගෝ ගාෂියාව එතරම් වැදගත් කමක් බ්‍රිතාන්‍යයන්ට නොවීය. නමුත් ඇමරිකාවට එම ප්‍රදේශයේ වටිනාකම ක්‍රමික ව වැටහෙන්නට විය. ඒ සඳහා බලපෑ ඓතිහාසික වූ හේතු කරණා කීපයක් ඉහත පරිච්ඡේදවලින් දක්වන ලද අතර ආසන්න වශයෙන් ම බලපාන ලද හේතු සාධක කීපයක් ද පසුව හඳුනා ගත හැකි වේ.

1959න් පසු මැදපෙරදිග කලාපයේ ඇති වූ දේශපාලනමය උණුසුමත්, ඔපෙක් සංවිධාන‍ විසින් ඇති කරන ලද තෙල් සම්බාධක හා  අග්නිදිග ආසියාව තුල අත් විදින්නට වූ යුධ පරාජයන් හේතුවෙන් අප්‍රිකාවේ හා ආසියාවේ තෙල් සම්පත් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇමරිකානු උපායමාර්ගික විශේෂඥයන්ට ඇති වන්නට විය. එහි දී ඇමරිකානු යුද විශේෂඥයින්ගේ යෝජනාවක් වූයේ අප්‍රිකාවේ නැගෙනහිර, මැදපෙරදිග, ඉන්දියාව ආශ්‍රිත දකුණ ආසියාව හා අග්නිදිග ආසියාව යන කලාපයන් ආවරණය කරමින් බලගතු ඇමරිකානු යුධ කඳවුරක් ඒ ආශ්‍රිතව ස්ථාපනය කල යුතු බවයි. එහි දී සූවස් ඇල වසා දැමීම හා සුපිරි තෙල් නැව් හඳුන්වා දීම විසින් මැද පෙරදිග වරායන්වල සිට රතු මුහුද, පර්සියන් බොක්ක සහ අරාබි මුහුදටත්, ඉන්දියානු සාගරය ඔස්සේ අප්‍රිකාවේ දකුණු කෙළවර දක්වාත් සුබ පැතුම් තුඩුව වටා අත්ලාන්තික් සාගරයට විහිද යන්නා වූ නැව් මාර්ග ආරක්ෂා කිරීම සඳහා බලකොටුවක් එම කලාපයේ පිහිටුවීම මගින් ඇමරිකානු ආධිපත්‍ය ආරක්ෂා කිරීමට හැකි වනු ඇති බවට ද විශ්වාසය කරනු ලැබීය. මෙම අදහස ක්‍රියාවට නැංවීම සඳහා බලපාන ලද තවත් සාධකයක් වූයේ සෝවියට්වරු හා චීනය අප්‍රිකාව හා අග්නිදිග ආසියාව තුල සාර්ථකව තම ව්‍යාප්තිය සිදු කරමින් පැවතීමයි. වියට්නාම් යුද්ධයේ අසාර්ථකත්වය  මත තවත් විශාල යුදමය ක්‍රියාමාර්ග සඳහා මුදල් වියදම් කිරීම ඇමරිකානු ජනතාව මෙන් ම කොන්ග්‍රස් මණ්ඩලය ද අසතුටට පත් විය හැකි බැවින් ඇමරිකානු රහස් අංශ විසින් (CIA හා NSA) ජනමාධ්‍ය යොදාගිනිමින් ඒ සඳහා අවශ්‍ය සමාජ පරිසරය නිර්මාණය කරනු ලැබීය. ඒ අනුව ඉන්දියානු සාගරික කලාපයේ රාජ්‍යයන්වල කොමියුනිස්ට් ආක්‍රමණයන්හී සාහසික බව, ඇමරිකාවට විරුද්ධව රහසිගත හමුදා සංවිධානය කිරීම සම්බන්ධයෙන් සෝවියට් හා චීන සැලසුම් පිළබඳවත් ලිපි ප්‍රචාරය කරනු ලැබූ අතර කියුබානු ගරිල්ලන් අප්‍රිකාවේ ත්‍රස්තවාදීන් පුහුණු කරමින් සිටින බවට දැක්වෙන පින්තූර හා රූප රාමුවලට අමතරව අප්‍රිකාවේ ඇති ඇමරිකාව විසින් සිදු කරනු ලබන පතල් කැණීම්වලට විශාල ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ විසින් චේ ගුවේරා පිටත් කල හැරි බවට වූ කට කතා ද ප්‍රචාරය කරනු ලැබීය.

ඒ අනුව ආරම්බයේදී මේ සඳහා යෝජනා වූ භූමි කලාපය වූවේ අප්‍රිකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් හා මැඩගස්කරයට උතුරෙන් වූ අල්ඩබ්‍රා දිවයිනයි. එය න්‍යෂ්ටික යුධ ශීර්ෂවලින් සන්නද්ධ ඇමරිකානු නාවික හා ගුවන් කඳවුරක් බවට පත් කිරීම මගින් මේ වන විටත් ඉතාමත් ම රහසිගතව ක්‍රියාත්මක වූ ඇමරිකානු න්‍යෂ්ටික සබ්මැරීන දකුණු අත්ලාන්තික් හා ඉන්දියානු සාගර කලාපවල සිදු කරනු ලැබූ හුදකලා මුර සංචාර අතරතුර අලුත් වැඩියා කටයුතු සඳහා යොදා ගත් සුබ පැතුම් තුඩුව අසල ඇති සිමොන් ටවුන්හි දකුණු අප්‍රිකා නාවික හමුදා මධ්‍යස්ථානයට අමතර ශක්තියක් ලබා දීමට ද බලාපොරොත්තු විය.

නමුත් ව්‍යාපෘතිය ආරම්භ කර ටික කාලයක් ගත වීමේ දී අණාවරණය වූවේ අල්බඩ්‍රා දිවයින දුලබ හා විශාල කැස්බෑවන් වර්ගයකට අභිජනන භූමියක් ව පැවති බවයි. වැඩෙමින් පැවති පාරිසරික ව්‍යාපාරයන්ගෙන් හානි කර බලපෑමක් එල්ල වනු ඇතැයි වූ බිය නිසා ඇමරිකාව එම ව්‍යාපෘතිය අසල වූ දියාගෝ ගාෂියා දූපත වෙත ගෙන යනු ලැබීය. දියාගෝ ගාෂියා දිවයින එකල මුරුසි රාජ්‍යයට (Mauritius) අයත් ව පැවති චාගෝස් (Chagos) දිවයින් පෙළෙහි විශාලතම හිරිගල් දිවයින විය. මේ යුගයේ දී මුරුසිය, බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව පැවති අතර එයට නිදහස ලබා දීමට ආසන්න ව පැවතුණි. ඒ අනුව ඇමරිකාවේ යෝජනාවකට අනුව බ්‍රිතාන්‍යයන් විසින් 1965දී චාගෝස් දූපත් පෙළ මුරුසියෙන් වෙන් කොට බ්‍රිතාන්‍ය ඉන්දියානු දූපත් රාජ්‍යයක් බිහි කරමින් (British Indian Ocean Territory), 1968දී මුරුසියට නිදහස ලබා දෙනු ලැබීය.

දියාගෝ ගාෂියා දිවයින ඇමරිකානු හමුදාවට බාර දීමට පෙර එහි සිට අප්‍රිකානු වහල් ජනතාවගෙන් පැවත එන 1800ක පිරිසක් පිටුවහල් කිරීමේ කටයුතු ද බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරනු ලදි. ඒ අනුව දූපත්වාසීන් බහුතරයක් බොට්ටු මාර්ගයෙන් අසල්වැසි සීෂෙල්ස් රාජ්‍යය වෙත පිටත් කර හැරි අතර එක් පුද්ගලයෙකුට ඩොලර් 600ක් වන පරිදි එහි පදිංචිකරුවන් ව සිටි ජනතාවගේ ජීවිත හා ගෙවල් දොරවල් තක්සේරු කරමින් ජනශුන්‍ය තත්ත්වයට දිවයින පත් කරනු ලැබීය. ඉන් පසු දියාගෝ ගාෂියා දිවයින, එක්සත් ජනපද ආණ්ඩුවට බදු දුන් අතර ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන් ඇමරිකානු ධ්‍රැවීය සබ්මැරීන තාක්ෂණය, ඩොලර් මිලියන 11ක සහනදායී මිලකට ලබා ගැනීමට බ්‍රිතාන්‍යයන් සමත් විය.

දියාගෝ ගාෂියා ව තම යටතට ගැනීමෙන් පසු එය හමුදා කඳවුරක් බවට පත් කිරීමෙහිලා ඉක්මන් කාරී ක්‍රියාමාර්ගයක් ඇමරිකාව විසින් අනුගමනය කරනු ලැබීය. ඒ අනුව පළමු විශාල ගුවන් ප්‍රහාරක යානා ගෙන යන න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන නාවික යුධ යාත්‍රා හා න්‍යෂ්ටික සබ්මැරීන  නැංගුරම් ලෑ හැකි විශාල වරායක් ඉදි කල අතර පසුව E-52S වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා හා E2 වර්ගයේ මහා පරිමාණයේ බෝම්බ ප්‍රහාරක යානා රැඳවිය හැකි ලෙස ගුවන් පතයක් ද නිර්මාණය කරමින් වැඩි දියුණු කරනු ලැබීය.

දියාගෝ ගාෂියා ව ඇමරිකානු න්‍යෂ්ටික යුධ කඳවුරක් ලෙස ඉදිකිරීමෙන් පසු සෝවියට් තර්ජනයන්ට තම අවධානය යොමු කර ගෙන සිටීමටත්, මැද පෙරදිගට, ඉන්දියාවට හා ඇෆ්ගනිස්තානයට මෙන් ම අප්‍රිකාවට සිදු කෙරෙන ආක්‍රමණයක දී වේදිකාවක් ලෙස සේවය කිරීමටත් සඳහා වූ අරමුණු එම දිවයිනෙන් අපේක්ෂා කෙරිණි. ඒ අනුව 1991දී සිදු වූ පර්සියානු ගල්ෆ් (Persian Gulf War) යුද්ධයේ දී ඇමරිකාව විසින් Operation Desert Fox නම් මෙහෙයුම යටතේ ඉරාකයට විරුද්ධව යොදා ගත් B-52 වර්ගයේ බෝම්බ ගබඩා කර තිබුණේ දියාගෝ ගාෂියා දිවයිනේ ය. ඊට අමතරව 1998 පටන් ඇමරිකාව විසින් එහි 100kmක පමණ භූමි ප්‍රමාණයක් විනාශ කල හැකි Cruise Missiles ස්ථාපිත කර ඇති අතර 2001දී දියත් කල ඇෆ්ගනිස්තාන් යුද්ධයේ දී භාවිතා කල B-2 සහ B-52 බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබූවේද දියාගෝ ගාෂියාවේ සිටයි. ඉන් පසු 2003දී ඇමරිකාව විසින් ආරම්භ ඉරාක යුද්ධයේ දී ද දියාගෝ ගාෂියාව ඇමරිකානු හමුදාවන්ට විශාල උපාය මාර්ගික සේවාවක් සපයනු ලැබීය. ඒ අනුව අවබෝධ කර ගත හැකි වන්නේ උපාය මාර්ගික යුද කඳවුරක් ලෙස එය සංවර්ධනය කිරීම ඇමරිකාවට ඉතාමත් ම ප්‍රයෝජනවත් ආයෝජනයක් වූ බවයි. 2006 වසරේ වාර්තාවලට අනුව දියාගෝ ගාෂියා දිවයිනේ 40ක බ්‍රිතාන්‍ය සොල්දාදුවන් පිරිසක් ද, 1000ක ඇමරිකානු සොල්දාදුවන් පිරිසක් ද නැවතී සිටින අතර එහි යුදමය නොවන අනෙකුත් සිවිල් කටයුතු සඳහා 2400ක පිලිපීන, ශ්‍රී ලාංකිකයන් ප්‍රමුඛ තවත් ජාතීන් කීපයකට අයත් ශ්‍රමිකයන් පිරිසක් (Support Workers) නවාතැන් ගෙන සිටින බව දක්වා ඇත. ඊට අමතරව එහි සිටි ජනතාවගෙන් 1500ක් පමණ පිරිසක් ප්‍රධාන දිවයින වූ මුරුසියට හා සීෂෙල්ස් වෙත යවනු ලැබුවත් 850ක පමණ සුලු පිරිසක් විවිධ දුෂ්කරතා මධ්‍යයේ වර්තමානයේ ද එහි වාසය කරනු ලැබේ.

උපාය මාර්ගික යුද කඳවුරක් ලෙස දියාගෝ ගාෂියාව සාර්ථක නිර්මාණයක් වූ නමුත් වර්තමානය වන විට තම රටේ විශාල ණය බර හමුවේ එවැනි වියදම් අධික යුධ කඳවුරු නඩත්තු කිරීමට ඇමරිකාවට සිදු වී ඇත. කෙසේ වෙතත් අවසාන වශයෙන් බැලීමේ දී පෙනී යන්නේ ඇමරිකානු අධිරාජ්‍ය ගොඩනැගීමේ, පවත්වා ගැනීමේ හා ආරක්ෂා කර ගැනීමේ කාර්ය භාරය දියාගෝ ගාෂියා ව විසින් ඉටු කරනු ලැබූ අතර වර්තමානයේ දී ඉටු කරමින් ද පවතින බවයි.


2 comments: