Saturday, 20 March 2021

19වන සියවසේ, බටහිර අධිරාජ්‍යවාදී බලවේගයන්හි, ප්‍රාදේශීය ව්‍යාප්තිය හා උපක්‍රම.



1. හැඳින්වීම.

2. අප්‍රිකාව තුල බටහිර අධිරාජ්‍යවාදී බලවේගන්හි ප්‍රාදේශීය ව්‍යාප්තිය හා උපක්‍රම.

2.1. ස්පාඤ්ඤය හා පෘතුගීසි බලව්‍යාප්තිය.

2.2. ප්‍රංශ බලව්‍යාප්තිය.

2.3. ජර්මන් බලව්‍යාප්තිය.

2.4. ඉතාලි බලව්‍යාප්තිය.

2.5. බෙල්ජියමේ බලව්‍යාප්තිය.

2.6. බ්‍රිතාන්‍ය බලව්‍යාප්තිය.

3. ආසියාව තුල බටහිර අධිරාජ්‍යවාදී බලවේගන්හි ප්‍රාදේශීය ව්‍යාප්තිය හා උපක්‍රම.

3.1. ඉන්දුනීසියාවේ, ලන්දේසි බලව්‍යාප්තිය.

3.2. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය බලව්‍යාප්තිය.

3.3. චීනයේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ බලව්‍යාප්තිය.

3.4. ජපානය.

3.5. අග්නිදිග ආසියාව.

3.6. සියම.

4. සමාලෝචනය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.


1. හැඳින්වීම

19වන සියවස ආරම්භ වන්නේ බටහිර අධිරාජ්‍යවාදයේ නව යුගයක් උදා කරමින් බව ඉතිහාසඥයින්ගේ මතයයි. 18වන සියවස වන විට පෙර අධිරාජ්‍ය බලවතුන් වූ ස්පාඤ්ඤය හා පෘතුගාල බලය දුර්වල වී නව අධිරාජ්‍ය බලවතුන් ලෙස බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා ලන්දේසි බලයන් ඉස්මතු වෙමින් පැවති අතර 19වන සියවස අවසානවත්ම බ්‍රිතාන්‍යය හා ප්‍රංශය, ලොව ප්‍රමුඛතම  අධිරාජ්‍ය බලවතුන්ගේ තත්ත්වයට පත් විය. කෙසේ වෙතත් මෙම අධිරාජ්‍ය බලවතුන්ගේ තරගය හේතුවෙන් ඇමරිකානු මහද්වීපවල තිබූ බටහිර අධිරාජ්‍යවාදී යටත් විජිත සැලකිය යුතු ප්‍රමාණයක් නිදහස ලබා සිටි අතර තවත් බොහෝමයක් ප්‍රදේශවල යටත් විජිත විරෝධී විමුක්ති ව්‍යාපාර ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වෙමින් පැවතුණි. 

ඒ හේතුවෙන් ම ස්පාඤ්ඤයන් හා පෘතුගීසීන් සතු වූ දකුණු ඇමරිකානු ප්‍රදේශත්, බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශයන් සතු වූ ඇමරිකානු ප්‍රදේශත් අහිමි කර ගැනීමට එම අධිරාජ්‍ය බලවතුන්ට සිදු විය. ඒ හේතුවෙන්  ම 19වන සියවස ආරම්භ වීමේ දී තම ආක්‍රමණශීලී ප්‍රතිපත්ති අප්‍රිකාව හා ආසියාව දෙසට එල්ල කිරීමට බ්‍රිතාන්‍යයන්ට හා ප්‍රංශයන්ට සිදු විය. තවද 19වන සියවස ආරම්භ වන්නේ කාර්මික විප්ලවයෙන් සමස්ත යුරෝපය ම නව ආර්ථික, සමාජ හා දේශපාලන රටාවකට හැඩ ගැසීමෙන් පසුව ය.  ඒ හේතුවෙන් 19වන සියවස තුළ ප්‍රධාන බටහිර අධිරාජ්‍යවාදී බලවේග බවට පත් වූවේ මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වන අතර පසුව සුළු පරිමාණයෙන් ඊට එකතු වීමට ජර්මනිය, ඉතාලිය හා බෙල්ජියම ද උත්සහ කරනු ලැබීය. කෙසේ වෙතත් ඉහත කී බටහිර අධිරාජ්‍යවාදී බලවේගන්හි අවධානය ඇමරිකානු ප්‍රදේශවලින් ගිලිහීමත් සමඟ තම ප්‍රමුඛ අවධානය ආසියාව හා අප්‍රිකාවට එල්ල විය. 19වන සියවස ආරම්භ වන විටත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ බලය ආසියාවේ හා අප්‍රිකාවේ ස්ථාපිත ව පැවති නමුත් එම සියවස අතර කාලයේදී තම අධිරාජ්‍යවාදී ප්‍රාදේශීය ව්‍යාප්තිය නව අදියරකින් හා නව වේගයකින් ආරම්භ කිරීමට එම අධිරාජ්‍යවාදී බලවතුන් ක්‍රියා කරන්නට විය. ඒ අනුව 19වන සියවස තුළ බටහිර අධිරාජ්‍යවාදී බලවේගන්හි ප්‍රාදේශීය ව්‍යාප්තිය ‍බොහෝ දුරට ආසියාව හා අප්‍රිකාව කේන්ද්‍ර කොට ක්‍රියාත්මක විය.

මෙම පැවරුම මඟින් අප්‍රිකාවේ හා ආසියාවේ ප්‍රදේශ කෙරෙහි බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් උනන්දු වීමට බලපාන ලද සාධකත්, එම ප්‍රදේශ අදියරෙන් අදියර යටත් කර ගත් ආකාරයත් පිළිබඳව තොරතුරු දැක්වීමට උත්සහ කරන ලද අතර සමාලෝචනය මඟින් සමස්ත ලෝකය ම බටහිර අධිරාජ්‍යවාදීන් විසින් යටත් කර ගත් ආකාරයත් හා ඔවුන් එම ප්‍රදේශවල සිදු කරනු ලැබූ විනාශයත් පිළිබඳ තොරතුරු සංක්ෂිප්තව දැක්වීමට උත්සහ දරන ලදි.

2. අප්‍රිකාව තුල බටහිර අධිරාජ්‍යවාදී බලවේගන්හි ප්‍රාදේශීය ව්‍යාප්තිය හා උපක්‍රම.

අප්‍රිකා මහද්වීපය තුල, 1880 වන විටත් බටහිර බලවතුන්ගේ පාලනයට නතු වී පැවතියේ 5%ත් වඩා අඩු ප්‍රදේශයකි.  19වන සියවස ආරම්භයේ දී බොහෝ යුරෝපා ජාතීන් අප්‍රිකාවේ වෙරළ තීරයේ වෙළඳ කොලනි පිහිටුවා ගැනීමෙන් පමණක් සෑහීමට පත් වූහ. නමුත් වසර 20ක් පමණ කෙටි කාලයක් තුළ අප්‍රිකාවේ, ඉතියෝපියාව හා ලයිබීරියාව හැර අනෙකුත් සමස්ත අප්‍රිකාව ම තම යටතට ගැනීමට බටහිර බලවතුන් සමත් විය. අප්‍රිකාව සතු වූ ස්වාභාවික සම්පත් හා ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීමේ අරමුණින් බටහිර ජාතීන් අප්‍රිකාව යටත් කර ගනු ලැබීය. තම හමුදා බලය ‍මාර්ගයෙන් බටහිර යුරෝපා ජාතීන් අප්‍රිකාවේ විශාල ප්‍රදේශයක් තම යටතට ගන්නා ලදි. අප්‍රිකානු මහද්වීපය යටත් කර ගැනීමේ තරගයේ දී අනෙකුත් බටහිර බලවතුන් අතර යුධ ගැටුමක් ඇති වීමේ අවදානම වළක්වා ගැනීමේ අරමුණින් ජර්මනියේ බිස්මාර්ක්ගේ හා බෙල්ජියමේ දෙවන ලියෝෆෝල්ඩ් රජුගේ මූලිකත්වයෙන් බර්ලින් නුවර දී සමුළුවක් පවත්වනු ලැබීය. එහි දී අප්‍රිකාව තමන් අතර බෙදා ගැනීමට යුරෝපා ජාතීන් එකඟ විය. අප්‍රිකානු ජනයා, ඔවුන්ගේ සංස්කෘතිය හෝ ස්වාභාවික දේශසීමා පිළිබඳ තැකීමක් නොකොට මහද්වීපය බෙදා වෙන් කරනු ලැබීය. 

2.1. ස්පාඤ්ඤය හා පෘතුගීසි බලව්‍යාප්තිය.

ස්පාඤ්ඤය විසින් ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්දියෙන් දකුණින් වූ ප්‍රදේශයට ඉතාමත් ම ආසන්න මොරොක්කෝවේ කොටසක්ද, කැනරි දිවයින්ද, රියෝ ද ඔරෝ හා රියෝද මිනි යන ප්‍රදේශද යටත් කර පාලනය කරනු ලැබීය. 

19වන සියවස ආරම්භ වන විට අප්‍රිකාවේ සැබෑ අධිරාජ්‍යයකට හිමිකම් කී රට වූවේ පෘතුගාලයයි. ඔවුන් විසින් අප්‍රිකාවේ වහල් වෙළදාමෙන් විශාල ලාභයක් උපයා ගත් අතර බ්‍රිතාන්‍යන්ගේ පැමිණිම වන තෙක් අප්‍රිකාවේ හිමිකම ඔවුන් සතුව පැවතියහ. නමුත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ආක්‍රමණ හමුවේ විශාල ලෙස තම ප්‍රදේශ අහිමි කර ගැනීමට පෘතුගීසීන්ට සිදු විය. නමුත් අප්‍රිකාවේ නිරිත දිග ප්‍රදේශයක් වූ ඇන්ගෝලාව හා ගිනිකොන දිග ප්‍රදේශයක් වූ මොසැම්බික් යන ප්‍රදේශයත්, බටහිර අප්‍රිකාවේ පෘතුගීසි ගිනියාව නම් ප්‍රදේශයත්, තව දුරටත් තමා යටතේ නාම මාත්‍රිකව තබා ගැනීමට පෘතුගීසීන්ට හැකි විය.

2.2. ප්‍රංශ බලව්‍යාප්තිය.

ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය බිඳවැටීමෙන් පසු එයට අයත් ව පැවති අප්‍රිකානු ප්‍රදේශ අත් පත් කර ගැනීම සඳහා බටහිර යුරෝපා බලවතුන් උත්සුක විය. ඒ අනුව ප්‍රංශයේ ලුවී පිලිප් රජු විසින් ඇල්ජීරියාව තම ග්‍රහණයට ගනු ලැබීය. ඉන් පසු ඇල්ජීරියාවේ අසල්වැසි ප්‍රදේශ වූ ටියුනීසියාව, මොරොක්කෝ හා සමක අප්‍රිකාව යන ප්‍රදේශ ද යටත් කර ගැනීමට සමත් විය. ඉන් පසු ක්‍රමයෙන් සෙනගාලය, සෝමාලිලන්තය, මැඩගස්කර් දූපත හා ගිනියා වෙරළේ කොටස්වලට ද ප්‍රංශ බලය ව්‍යාප්ත කිරීමට හැකි විය. තවද බෙල්ජියම සමඟ කොන්ගෝව අයත් කර ගැනීමට අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොන්ගෝ ග‍‍ගේ උතුරු ප්‍රදේශයට හිමිකම් කීමට ද ප්‍රංශයට හැකි විය.

2.3. ජර්මන් බලව්‍යාප්තිය.

1870 පමණ වන තෙක් ම ජර්මනිය යටත් විජිත පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් උනන්දු නොවීය. මෙහි දී මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ‍වේ ඔටෝ වොන් බිස්මාක් ය. ඒ අනුව ඔහු අනෙකුත් යටත් විජිත බලවතුන් සමඟ ගැටුමක් ඇති නොවන ලෙස කටයුතු කිරීමට උත්සහ කරන ලදි. ඒ අනුව පවත්වන ලද බර්ලින් සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස බටහිර අප්‍රිකාවේ විශාල ප්‍රදේශයකට හිමිකම් කීමට ජර්මනියට හැකි විය. ඒ අනුව ජර්මානු නිරිත දිග අප්‍රිකාව, ජර්මානු කැමරූන් හා ටොංගාලන්තය යන ප්‍රදේශයන් අයත් කර ගනු ලැබීය. නැගෙනහිර අප්‍රිකාවේ ටැන්ගනිකාව ද ජර්මනියට හිමි විය.

2.4. ඉතාලි බලව්‍යාප්තිය.

ජර්මනිය හා ප්‍රංශය අතර මොරොක්කෝව හිමි කර ගැනීම සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයේ දී ඉතාලිය විසින් තම සහය ප්‍රංශයට ලබා දීමත් සමඟ ලිබියාව ඈඳා ගැනීමට ඉතාලිය සමත් විය. ඊට අමතරව රතු මුහුදට හා ඉන්දියන් සාගරයට මුහුණලා ඇති සෝමාලියාව හා  එරිත්‍රියාව අල්ලා ගැනීමට සමත් වූ අතර 1896දී ඉතියෝපියාව අල්ලා ගැනීම සඳහා කල සටනින් පරාජයට පත් විය. 

2.5. බෙල්ජියම් බලව්‍යාප්තිය.

කොංගෝ ප්‍රදේශය ගවේෂණය කල ප්‍රමුඛතම පුද්ගලයා වන්නේ ඇමරිකානු ජාතික පුවත් පත් වාර්තා කරුවෙකු වූ හෙන්රි එම්. ස්ටැන්ලිය. ඔහු විසින් අදාළ ප්‍රදේශ සම්බන්ධයෙන් ප්‍රචාරණය කරන ලද තොරතුරු හේතුවෙන් කොංගෝ ප්‍රදේශයේ බලය ලබා ගැනීමේ අපේක්ෂාවක් බෙල්ජියමේ දෙවන ලියෝපෝල්ඩ් රජුට ඇති විය. ඒ අනුව ඔහු විසින් ස්ටැන්ලි සිය නියෝජිතයා ලෙස ඉදිරිපත් කරමින් කොන්ගෝ ප්‍රදේශය යටත් කර ගැනීම සඳහා සමාගමක් ද පිහිටුවා ගනු ලැබීය. ප්‍රංශ විසින් ද කොංගෝවට අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමෙන් පසු කොංගෝ නදියෙන් දකුණේ වූ ප්‍රදේශය පමණක් ලබා ගැනීමට බෙල්ජියම සමත් විය.

2.6. බ්‍රිතාන්‍ය බලව්‍යාප්තිය.  

බෙල්ජියම විසින් කොංගෝ ප්‍රදේශය යටත් කර ගැනීම මඟින් ලබා ගත් සාර්ථකත්වය දුටු ප්‍රංශය හා බ්‍රිතාන්‍යය ද අප්‍රිකාවේ සිය වෙළඳ සමාගම් පිහිටුවමින් අප්‍රිකානු ප්‍රදේශ මහා පරිමාණයෙන් සූරා ගැනීමට උත්සහ කරනු ලැබීය. ඒ අනුව නයිජීරියාව සඳහා ප්‍රංශය අතර හා බ්‍රිතාන්‍ය අතර වූ අරගලයෙන් ජයග්‍රහණය කල බ්‍රිතාන්‍යයන් එම ප්‍රදේශ අයත් කර ගැනීමට සමත් විය. කෙසේ වෙතත් අප්‍රිකාවේ උතුරු ප්‍රදේශ යටත් කර ගැනීමට ප්‍රංශය සමත් විය. නැපෝලියන් විසින් ආරම්භ කරන ලද යුද්ධ මාලවත් සමඟ අප්‍රිකාවේ ප්‍රදේශ අල්ලා ගැනීමේ උනන්දුව වර්ධනය වූ අතර නැපෝලියන් විසින් නෙදර්ලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ එහි යටත් විජිත ප්‍රදේශ ද අයත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කරනු ලැබීය. යුද්ධය අවසානයේ ලන්දේසීන් සතු ප්‍රදේශ නැවත ලබා දීමට කටයුතු කරනු ලැබූ නමුත් මූලෝපායක වශයෙන් වැදගත් ප්‍රදේශ තමා සතුව තබා ගැනීමට කටයුතු කරන ලදි. ඒ අනුව ලන්දේසීන් සතු වූ දකුණු අප්‍රිකානු ප්‍රදේශ හා ඒ අවට වූ කේප් ප්‍රදේශ තමා සතු කර ගැනීමට ඉංග්‍රීසීන්ට හැකි විය. 

නමුත් ලන්දේසීන් විසින් කේප් ප්‍රදේශවල ඇති කරන ලද ලන්දේසි ජනපදවල සිටි ලන්දේසි සම්භවයක් සහිත ගොවීන් හෙවත් බෝවර්වරු, බ්‍රිතාන්‍යයන්ට තම විරෝධය එල්ල කරනු ලැබීය. ඉංග්‍රීසි පාලනයට අකමැති වූ බෝවර්වරු කේප් ප්‍රදේශයේ උතුරින් වූ ට්‍රාන්ස්වාල් හා ඔරේන්ජ් යන ප්‍රදේශවලට සංක්‍රමණය වී ස්වාධීන සමූහාණ්ඩු දෙකක් පිහිටුවා ගනු ලැබීය. බ්‍රිතාන්‍යයන් ඒ සම්බන්ධයෙන් මුලදී උදාසීන ස්වභාවයක් දැරුවත්, ට්‍රාන්ස්වාල් හා ඔරේන්ජ් යන ප්‍රදේශවලින් රත්‍රං හමුවීමත් සමඟ බ්‍රිතාන්‍යයන් විසින් එම ප්‍රදේශවලට වූ තම අයිතිවාසිකම් ඉදිරිපත් කරමින් නැවත් ඒවා ඈඳා ගැනීමට උත්සහ කරන ලදි. එහි දී බෝවර්වරුන්ද ඊට ප්‍රබල විරෝධතාවක් එල්ල කල අතර දෙපාර්ශවය අතර 1809 පටන් ඉතා දීර්ඝ කාලයක් තුල බිහිසුණු සටන් මාලවක් ඇති විය. දෙපාර්ශවයට ම ජයග්‍රහණය දෝලනය වෙමින් අවසානයේ බ්‍රිතාන්‍යයන්ට ජයග්‍රහණය හිමි වූ අතර ඉතා දැඩි මර්දනයකින් අනතුරුව බෝවරුවරුන්ද යටත් කර ගනිමින් දකුණු අප්‍රිකාවේ විශාල ප්‍රදේශයක් ආක්‍රමණය කර යටත් කර ගැනීමට සමත් විය.

තවද සූවස් ඇල ඉදි කිරීමත් සමඟ සූවස් ප්‍රදේශය අල්ලා ගැනීමේ වැදගත් කම බ්‍රිතාන්‍යයන්ට වැටහෙන්නට විය. ඒ අනුව ඊජිප්තුව ආශ්‍රිතව බ්‍රිතාන්‍ය බලය පිහිටුවීමේ ක්‍රියාවලිය ද සාර්ථක කර ගැනීමට එවකට බ්‍රිතාන්‍ය අගමැති වූ ඩිස්රායලී සමත් විය. ඉතා සූක්ෂ්ම ලෙස ඊජිප්තුව සංවර්ධනය කිරීමේ මුවාවෙන් එරටට ණය මුදල් ලබා දී ඊට හිලව් ලෙස ඊජිප්තු පාලකයා පීඩනයට පත් කරමින් ඊජිප්තුව සතු සූවස් ඇල සමාගමේ කොටස් කුණු කොල්ලයට මිලදී ගැනීමටත් එහි පාලනය තම යටතට ගැනීමටත් ඩිස්රායලී සමත් විය. කෙසේ වෙතත් තම රට බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වනු දුටු ඊජිප්තු වැසියන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව 1882දී කැරැල්ලක් ඇති කරනු ලද මුත් එය සාර්ථකව මර්දනය කරමින් සමස්ත ඊජිප්තුව ම තම ග්‍රහණයට ගෙන, එය බ්‍රිතාන්‍ය ආරක්ෂිත රාජ්‍යයක් බවට පත් කිරීමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය. ඊජිප්තු ප්‍රදේශ මාර්ගයෙන් ඊට දකුණින් වූ සූඩානය ද යටත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන් සමත් විය. මුලදී ප්‍රංශයන් සමඟ සූඩානයේ හිමි කම සම්බන්ධයෙන් ගැටලු ඇති වූ නමුත් ඒවා සාර්ථක ලෙස විසඳා ගනිමින් සූඩානයේ විශාල ප්‍රදේශයකට හිමිකම් කීමට බ්‍රිතාන්‍යයන් සමත් විය. ප්‍රබල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාප්තවාදියෙකු වූ සිසිල් රෝඩ්ස් විසින් අප්‍රිකාවේ දකුණු ප්‍රදේශ අල්ලා ගනිමින් තම නම අනුව එම ප්‍රදේශය රොඩේශියාව (වර්තමාන සිම්බාබ්වේ) ලෙස නම් කරන ලදි. ඔහුගේ අරමුණ වූයේ උතුරේ වූ ඊජිප්තුවේ සිට දකුණේ වූ කේප් කොලනිය දක්වා ප්‍රදේශ බ්‍රිතාන්‍ය පාලනයට ගෙන එම ප්‍රදේශ යා කර දුම්රිය මාර්ගයක් තැනීමයි. නමුත් එම අභිප්‍රාය ජර්මනියේ මැදිහත් වීම මත නිෂ්ඵල වූ නමුත්, ඒ අවට ප්‍රදේශ වූ උගන්ඩාව, නැගෙනහිර අප්‍රිකාව හෙවත් කෙන්යාව හා සෝමාලියාවේ කොටසකත් තම බලය පැතිර වීමට සමත් විය. තවද අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ වූ රන් වෙරළ (Gold Coast) හා සියාරා ලියෝන් යන ප්‍රදේශ ද යටත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන් සමත් විය. මේ අනුව 19වන සියවස අවසන් වන විට අප්‍රිකානු මහද්වීපයේ ප්‍රමුඛතම අධිරාජ්‍ය බලවතා බවට පත් වීමට බ්‍රිතාන්‍යයට හැකි විය. 

3. ආසියාව තුල බටහිර අධිරාජ්‍යවාදී බලවේගන්හි ප්‍රාදේශීය ව්‍යාප්තිය හා උපක්‍රම.

3.1. ඉන්දුනීසියාවේ, ලන්දේසි බලව්‍යාප්තිය.

අග්නිදිග ආසියාවේ අභ්‍යන්තර ආරවුල් උපයෝගී කොට ගනිමින් 19වන සියවස ආරම්භ වන විට එම ප්‍රදේශවල සිය බලය වර්ධනය කර ගැනීමට ලන්දේසීන්ට හැකි වූ අතර නිරායාසයෙන් ම අග්නිදිග ආසියානු කොදෙව් වූ නැගෙනහිර දූපත් රැසක ඉන්දුනීසියානු ස්වාධීනතාව නැති කරමින්, ලන්දේසි අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමට හැකි විය.

නමුත් කල්යත් ම දේශීයයන් සමඟ නිතර නිතර යුද්ධ ඇතිවීමත්, වැඩි ලාබයක් ලබාගැනීමේ අභිප්‍රායත්, හේතුවෙන් ලන්දේසි බලය අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්ත වන ආකාරයක් පසුව දැකිය හැකිය. මෙලෙස ලන්දේසි අරමුණු වෙනස් වන්නට ඇත්තේ තම ආධිපත්‍ය බලය ස්ථාවර කර ගැනීමටත් හා අනෙකුත් යුරෝපීය රාජ්‍යයන්ගේ ආගමනය වැළැක්වීමටත් විය හැකිය. කෙසේ වුවත් පසුකාලීනව වෙනස් වූ එම ප්‍රතිපත්තිය හේතුවෙන් ‍ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පරිහානිය ද ආරම්භ වූ බව පෙනී යයි. එයට ප්‍රධානතම හේතුව වූයේ දීර්ඝ කාලීන මෙන් ම අධික ධනයක් වැය කිරීමට සිදු වූ යුද්ධත්, යටත් ප්‍රදේශ වැඩි වීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් අධික වීමත් ය.

ප්‍රධාන වශයෙන් ලන්දේසි ප්‍රතිපත්තිය පිළිබඳ ව සලකා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ මුල්කාලීන ලන්දේසි සමාගමේ අරමුණ වූවේ වෙළඳ කටයුතු සඳහා මිස දිවයින්වල අභ්‍යන්තර පාලනයට මැදිහත් නොවිය යුතු බවයි. යුද්ධ කිරීම අත්‍යාවශ්‍ය නම් පමණක් කළ යුතු බව ලන්දේසි සමාගමේ අරමුණ විය. ආර්ථික කටයුතුවල දී නිරායාසයෙන් ම දේශපාලන කටයුතුවලට මැදිහත් වීමට සිදුවුවත් දේශපාලන වගකීම් පිළිබදව ලන්දේසීන් අවදානය යොමු නොකරන ලදි. 

3.2. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය බලව්‍යාප්තිය.

19වන සියවස තුල බ්‍රිතාන්‍යන්ගේ පෙරදිග ප්‍රතිපත්ති පිළිබඳ විමසීමේ දී පෙනී යන්නේ ඔවුන්ගේඅස්වාමිකවාදය හා ප‍්‍රදේශ ඈඳා ගැනීම මුළු ඉන්දියාව පුරාම කරන ලද බවයි' අස්වාමිකවාදය යනු උරුමක්කාරයෙකු නොමැතිව ප‍්‍රාදේශීය නායකයා මියගියේ නම් ඔහු හදාවඩා ගත් කුමාරයෙකුට සිහසුන හෝ රජයන විරුදය හිමිනොවන්නේය යන්නයි. මෙම අවස්ථාවලදී එම ප‍්‍රදේශ ඉන්දියාවේ බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යය පාලනයට හිමිවන බවයි. එවකට එහි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ඩැල්හවුසි පෙන්වා දෙන ලදි'මෙම න්‍යාය අනුව ජාන්සි මහාරාණිට දරුවෙකු හදාවඩා ගැනීමට ඉඩ නොදුන්නේය. තවද පෙෂ්වාහී දෙවන බාජී රා ඕගේ හදාවඩා ගත් පුතු වූ නා නා සහිබ් රාජ්‍ය උරුමක්කරු ලෙස නොපිළිගන්නා ලදී.


      ප‍්‍රදේශ ඈඳා ගැනීමේදී බ්‍රිතාන්‍යයන් සතාරා, ජාන්සි සහ නාග්පූර් යන ප‍්‍රදේශ තම පාලනයට ඈඳා ගත්තේ ඉතාමත් වංචාකාරී ලෙසය. මෙලෙස වෙළඳ සමාගමේ පාලකයින් එම සමාගමට අයත් භූමි ප‍්‍රමාණය පුළුල් කරගැනීමේ හා බි‍්‍රතාන්‍යය පාලනය තහවුරු කරගැනීමේ අභිප‍්‍රායෙන් ගෙනගිය ප‍්‍රදේශ ඈඳා ගැනීමේ ව්‍යාපාරය කෙරෙහි එම ප‍්‍රදේශවල පාරම්පරික පාලකයන් මෙන්ම සාමාන්‍යය ජනතාවද කිසිසේත්ම ප‍්‍රසාදයක් නොදැක්වීය. මරාත දේශය, සින්ඞ් රාජ්‍යය, නාග්පූර්, සතාරා වැනි ප‍්‍රදේශ සේම ඉතා ප‍්‍රබල ජාතියක් වූ සික්වරු පරදවා පන්ජාබයද අල්ලා ගැනීමටද බි‍්‍රතාන්‍යයන් සමත් වූහ. 


           විශේෂයෙන්ම අස්වාමිකවාදය යටතේ රාජ්‍යයකට උරුමක්කරුවෙකු තේරීමේදී බි‍්‍රතාන්‍යය පාලකයින්ගේ අවසරය ලබාගතයුතු වූ අතරම එවැනි කොන්දේසියක් පනවන ලද්දේ බි‍්‍රතාන්‍යයන්ට පක්ෂපාතී අයෙකු හෝ සිය හිතවතෙකු පත් කිරීමේ අරමුණෙනි. එසේම එමඟින් එම ප‍්‍රදේශ කෙලින්ම බි‍්‍රතාන්‍යය පාලනයට යටත් කරගත හැකිබව බ්‍රිතාන්‍යන්ගේ ආකල්පය විය. මේ අනුව මෙම අස්වාමිකවාදය යටතේ හින්දු රාජ්‍යය විශාල ප‍්‍රමාණයක් අල්ලා ගත්හ. මේ අතරම නවාබ් හා රාජා යන පදවි අහෝසි කිරීමත් කලින් සිටි අධිරාජ්‍යයාගේ විශ‍්‍රාම මුදල අහිමි කිරීමත් සිදු කරන ලදිග


       තවද 1856දී මෝගල් අධිරාජ්‍යයාවන බහදුර් ෂාගේ මරණින් අනතුරුව එතෙක් නාමිකව පැවති මෝගල් අධිරාජ්‍යය පාලනය අවසන් කිරීමට බි‍්‍රතාන්‍යයන් තීරණය කළහ. බි‍්‍රතාන්‍යයන් විසින් ඉක්මන්කාරීව ගන්නාලද තීරණයෙන් හින්දූන් මෙන් ම මුස්ලිම්වරුන් අතර මහත් අප‍්‍රසාදයක් ඇති කරවූ අතරල 1857-1858 අතර කාලයේදී බි‍්‍රතාන්‍යය විරෝධී ව්‍යාපාරයකට පදනම වැටීමෙහිලා එයද සාධකයක් විය. 

1857 ඉන්දියාවේ ඇති වූ හමුදා කැරැල්ලෙන් පසු බ්‍රිතාන්‍යයන් ඉන්දියාව තුළින් තමන්ට නැවතත් අභියෝග එල්ල නොවන ආකාරයට තම ප්‍රතිපත්ති නිර්මාණය කර ගන්නා ලදි. එහි පළමු පියවර වූයේ බ්‍රිතාන්‍ය සමාගම සතු ව තිබූ ඉන්දියානු ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය යටතට පවරා ගැනීමයි. එමගින් සාර්ථක යටත් විජිත පාලනයක් ඉන්දියාව තුළ ගෙන යාමට බ්‍රිතාන්‍යයට  හැකි වූ අතර ඉන්දියාවෙන් පිටතට ද තම අවධානය යොමු කිරීමට ද  හැකි විය.

මෙම කාලය වන විට බ්‍රිතාන්‍යයන් සතු ඉන්දියානු ප්‍රදේශවලට බාහිරින් අභියෝග හා තර්ජන එල්ල වෙමින් පැවතිණ. 1858ට පෙර සිට ම බ්‍රිතාන්‍යයන් යටතේ වූ ඉන්දියාව තම දේශසීමාබද අසල්වැසි රාජ්‍යයන් වූ ඇෆ්ගනිස්ථානය,  භූතානය, බුරුමය හා ටිබෙටය වැනි රටවල කටයුතු වලදීද සැලකිය යුතු මැදිහත් වීමක් සිදු කරන ලදි. 1857 කැරැල්ලෙන් පසු ඇති කරන ලද කාර්යක්ෂම පාලන තන්ත්‍රයත්, ගොඩනඟා ගත් විශාල හමුදාවත් හේතුවෙන් ආසියාවේ කටයුතුවල දී ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට ඔවුන්ට හැකි විය. 1858න් පසු ඉන්දියාව කේන්ද්‍ර කොටගත් බ්‍රිතාන්‍ය බලය  “යාකුබ් බෙග්ගේ” කැරැල්ල ඇති වූ කාලයේ දී “සිංකියෑං” පළාතට හා ඇෆ්ගනිස්ථානයට කෙමෙන් එල්ල වෙමින් පැවතිණ. උතුරින් එල්ල වූ රුසියානු බලපෑම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය ආරක්ෂිත ප්‍රදේශයක තත්වයට පත් කිරීමට උත්සාහ කරන ලදි. තවද නැ‍‍‍ගෙනහිරින් එල්ල වූ ප්‍රංශ ආධිපත්‍යයට විරුද්ධව බුරුමය ද ආක්‍රමණය කර ඈඳා ගන්නා ලදි. ඉරානයේ (පර්සියාව) අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට බ්‍රිතාන්‍යයන් උත්සාහ කළ අතර අරාබි වෙරළෙහි හා පර්සියානු බොක්කෙහි ද ටිබෙටයේ හා භූතානයේ ද බ්‍රිතාන්‍ය බලය ව්‍යාප්ත කර ලීය. 1875න් පසු බ්‍රිතාන්‍ය ඉන්දියාව දකුණු ආසියාවේ දේශපාලන ක්‍රමයක මධ්‍යස්ථානය බවට පත් විය.

වාණිජ අධිරාජ්‍යවාදී කටයුතු හේතු කොට ගෙන බුරුමයෙහි කටයුතු වලට මැදිහත් වීම වඩාත් සාර්ථක විය. 1826 ප්‍රථම බුරුම යුද්ධයේ ප්‍රතිඵලය වූයේ අරකන් හා තෙනසෙරිම් යටත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය. 1852 දෙවෙනි බුරුම යුද්ධය මඟින් පේගු ප්‍රදේශය යටත් කර ගැනීමට හැකි විය.

3.3. චීනයේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ බලව්‍යාප්තිය.

චීනයේ මැංචූ අධිරාජ්‍ය පිරිහීම අවස්ථාවක් කර ගත් යුරෝපීය ජාතීන් චීනයට ප්‍රබල  ලෙස මැදිහත් වීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා සමාගම ද, 1833දී සමාගමේ ඒකාධිකාරය අහෝසි කිරීමෙන් පසු යුරෝපීය වෙළෙන්දෝ ද, ඉන්දියාවෙන් අබිං ලබාගෙන චීනයට ගෙන ගොස් චීන භාණ්ඩ සමඟ හුවමාරු කරන ලදි. අබිං හේතුවෙන් චීනය තුළ සිදු වන පරිහානිය දුටු චීන අධිරාජ්‍යයා අබිං චීනය තුළට ගෙන ඒම තහනම් කරන ලදි. නමුත් එම තහනම නොතැකූ ඉංග්‍රීසි වෙළඳුන් හොර රහසේ ම රට තුළට අබිං ගෙන එන ලදි. මෙය වැළැක්වීමට චීන රජය තදින් ම කටයුතු කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා ඇමරිකාවේ ද අනුදැනුම මත 1839 දී චීන වරායන් වලට පහර දුන් අතර එය පළමු වන අබිං යුද්ධය ලෙස හඳුන්වනු ලැබේ. 

එම යුද්ධයෙන් පරාජයට පත් වූ චීනයට, බ්‍රිතාන්‍ය සමඟ නැන්කිං ගිවිසුම අත්සන් කිරීමට සිදු වූ අතර එයට අනුව හොංකොං දිවයින ඉංග්‍රීසීන්ට පවරා දීමට සිදු වූ අතර තවත් වරායන් පහක් බ්‍රිතාන්‍ය සමඟ වෙළඳ කටයුතු සඳහා විවෘත කිරීමට සිදු විය. නමුත් මෙය ද කල්යත් ම ප්‍රමාණවත් නොවූ ඉංග්‍රීසීන්ට, තමන්ට අපහාස කිරීම හා ප්‍රංශ මිෂනාරීන්ට කරදර සිදු කිරීම යන හේතු සාධක මත 1857 දී යළිත් වරක් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ඒකාබද්ධ හමුදාවල පහර දීමකට චීනය ලක් විය. එම ආක්‍රමණය හමුවේ ද අසරණ වූ චීන රජයට පරාධීන කොන්දේසි රැසකට එකඟ වීමට සිදු විය. තවත් වරායන් හයක් බ්‍රිතාන්‍ය, ප්‍රංශ, රුසියානු හා ඇමරිකානු වැනි විදේශීය ජාතීන්ට වෙළඳාම සඳහා විවෘත කිරීම, ප්‍රංශ මිෂනාරීන්ට පහසුකම් සැපයීම යන කොන්දේසි ඒ අතර විය. මෙම හේතුවෙන් චීනයේ ස්වාධිපත්‍ය උල්ලංඝනය වූ අතර චීනය බටහිර රටවල තිප්පොළක් බවට පත් විය.

19වන සියවසේ අවසාන කාලය වන විට වරින් වර බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මන්, ඇමරිකන්, රුසියන්, පෘතුගීසි, ජර්මන්, ඉතාලි යන යුරෝපා ජාතීන්ට චීනයේ වරායන්, නගර, ගංගා විවෘත කිරීමට සිදු විය. චීනය තුළ ඇමරිකා වෙළඳුන්ට, වෙළඳ කටයුතුවල නියැලීමට හා අනෙක් රටවලට මෙන් චීනයේ ප්‍රදේශවලට විශේෂිත අයිතිවාසිකම් නොදීමත්, බටහිර රටවල බලපෑම උත්සන්න වී චීනය බටහිර රටවලට අවශ්‍ය ලෙස කොටස් කිරීමට සැරසෙන බවත් දුටු ඇමරිකාවේ රාජ්‍ය ලේකම් වූ ජෝන් හේස් විසින් 1899 දී විවෘත ද්වාර ප්‍රතිපත්තිය හෙවත් විවෘත කිරීමේ ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව චීන වරායන් වල රේගුව බටහිර රටවලට පැවරුණු අතර බටහිර රටවල අභිමතය අනුව බටහිර භාණ්ඩ වලට අඩු තීරු බදු පනවා, බටහිර නිලධාරීන් විසින් ම වරායන් පාලනය කරන ලදි. නිදහස්, විවෘත වරායන් වලට චීන නීති අදාළ නොවූ අතර අදාළ ප්‍රදේශය අයිති බටහිර රටේ නීතිය පමණක් පිළිගැණුනි. එමගින් චීනය බරපතළ ලෙස සූරා කෑමකට ලක් වුවත් චීනය මුළුමනින්ම යටත් කර ගැනීම හා චීනයේ සමස්ත ස්වාධිපත්‍ය අහිමි කිරීමෙන් බොහෝ දුරට බේරා ගැනීමට හැකිවිය. 

මිෂනාරීවරු චීනය පුරා කතෝලික ආගම හා බටහිර සංස්කෘතිය ව්‍යාප්ත කරන ලදි. මෙම ක්‍රියාකාරකම් වලට ප්‍රකෝප වූ චීන ජනයා අවසානයේ ඉවසිය නොහැකි තැන බටහිර වෙළදාමට, බටහිර සිරිත් විරිත් වලට, කතෝලික මිෂනාරිවරුන්ට හා ‍කතෝලික ආගම වැළඳ ගත් චීන ජනයාට විරුද්ධව ප්‍රචණ්ඩත්වය මුදා හරින ලද අතර එය 1900 දී ඇති වූ ‍බොක්සර් කැරැල්ල ලෙස හඳුන්වනු ලැබේ. එම බොක්සර් කැරැල්ල තුළ සංස්කෘතික හා ආර්ථික විරෝධතාවක ලක්‍ෂණ තිබුණි. කැරලි කරුවෝ කතෝලික පල්ලි, විනාශ කරමින් බටහිර තානාපති කාර්යාලයන් දෙමසක් පමණ වටලා සිටින ලදි. මෙම අවස්ථාව හේතුවක් කර ගනිමින් බටහිර රටවල් චීනයට සම්බාධක පැනවූ අතර රුසියාව මැන්චූරියාව ආක්‍රමණය කල අතර ජර්මනිය ෂැංටුන් අර්ධද්වීපයත්, බ්‍රිතාන්‍යයන් වේහායිවෙයි වරාය හා යැංසි මිටියාවතටත් අයිතිවාසිකම් ඉදිරිපත් කරන ලදි. තවද බටහිර ඒකාබද්ධ හමුදා පීකිං හී චීන රජ මාලිගය ආක්‍රමණය කරමින් කොල්ල කා නින්දිත ගිවිසුමකින් චීනයේ වරායන්වල හා ප්‍රදේශවල පාලන බලය ලබා ගන්නා ලදි.

3.4. ජපානය.

19වන සියවසේ අඟ බාගය පමණ වන තෙක් ම ජපානය බටහිර ජාතීන්ට විවෘත නොවීය. මෙය බටහිර රටවලට නුරුස්සනා කාරණයක් වූ අතර අවසානයේ පැසිෆික් සාගරයේ ප්‍රබලයන් ‍ලෙස වර්ධනය වූ ඇමෙරිකාවේ බල පෑම යටතේ තම හුදකලා භාවය අත හැර දැමීමට ජපානයට සිදුවිය. ඒ අනුව 1853 ජූලි මස 8 දා ඇමරිකානු ජනාධිපති වූ ෆිල්මොර්ගේ ලිපියක් රැගෙන, කොමදෝරු පෙරී ජපානයේ උරගා අසල යොකොහමා වරායට පැමිණ, එම ලිපියට සතුටුදායක පිළිතුරක් ලබා ගැනීමට නැවත පැමිණෙන බව දන්වන ලදි. එමගින් ජපාන ජනතාව හා රජය බිය ගැන්වීමට ඇමරිකානුවන්ට හැකි විය. එම ලිපියට අනුව ජපානය සහ ඇමරිකාව අතර වෙළඳ ගිවිසුමක් අති කර ගැනීමට බලපෑම් සහිත යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එයට කැමති වීමට ජපානයට සිදු විය. පෙරීගේ පැමිණි ම ජපානය තුළ දිගු කාලීන ප්‍රතිඵල ඇති කිරීමට සමත් වූ බව ජපාන ඉතිහාසය අධ්‍යනයේ දී පෙනී යයි.

මෙම ගිවිසුම් හේතුවෙන් විදේශිකයන්ට රට තුළ පදිංචි වීමට ද, නිදහසේ රට තුළ සංචාරය කිරීමට ද, නිදහස් වෙළඳ කටයුතු කිරීමට ද ඉඩප්‍රස්ථාව ඇති විය. රට අනවශ්‍ය ලෙස බටහිර ග්‍රහණයට ලක් වෙන බව දුටු ජපාන ජනතාව රටේ පාලන බලය ඉසිලූ ෂෝගුන්වරුට විරුද්ධව පෙළ ගැසුණු අතර ඒ හමුවේ ෂෝගුන්වරුගේ බලය බිඳ වැටී මෙයිජිවරුන්ට බලය ලැබෙන ලදි. මෙය මෙයිජි විප්ලවය නැතහොත් මෙයිජි පුනරුත්තාපනය ලෙස හඳුන්වනු ලැබේ. 

3.5. අග්නිදිග ආසියාව.

අතීතයේ සිට ම අග්නිදිග ආසියානු ප්‍රදේශ වල චීන ආධිපත්‍ය එම ප්‍රදේශවල බොහෝමයක් රාජ්‍ය පිළිගන්නා ලදි. ලාඕසය, කාම්බෝජය, අනෑමය, කොචින් චීනය වැනි ප්‍රදේශ ඉන් ප්‍රමුඛ විය. නමුත් බටහිර රටවල බලපෑම හමුවේ චීනය ක්‍රමයෙන් දුර්වල වූ අතර එය ප්‍රයෝජනයට ගත් ප්‍රංශය, 3වන නැපෝලියන්ගේ කාලයේ දී කොචින් චීනය, කාම්බෝජය, ලාඕසය හා ඒ අවට ප්‍රදේශ වල තම බලය ව්‍යාප්ත කරන ලදි. 1848-1870 අතර කාලයේ දී අග්නිදිග ආසියාවේ ප්‍රංශ අධිරාජ්‍ය ව්‍යාප්තිය ඉතා ප්‍රබලව සිදු විය. ඒ අනුව ඇනෑමය හා ටොන්කිනය චීනයෙන් ලබා ගැනීමටත්, සියම් දේශයට අයත් ප්‍රදේශ ආක්‍රමණය කරමින් තම ඉන්දු චීන ප්‍රදේශ ව්‍යාප්ත කර ගැනීමටත් ප්‍රංශයට හැකි විය.

3.6. සියම.

සියම හෙවත් තායිලන්තය අතීතයේ සිට ම චීන අධිරාජ්‍ය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලදි. ඒ හේතුවෙන් ම අග්නිදිග ආසියානු ප්‍රදේශ වල බටහිර යුරෝපා රටවල බලපෑම වර්ධනය වීමේ දී පවා තම ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට හැකි විය. නමුත් චීනය දුර්වල වීමත් සමඟ අග්නිදිග ආසියාව තුළ සියම් ආධිපත්‍ය අභියෝගයට ලක් විය. විශේෂයෙන් ම අග්නිදිග ආසියාවේ ප්‍රදේශ වලට ප්‍රංශය දැක්වූ ගිජුකම මීට හේතු විය. ප්‍රංශය විසින් කාම්බෝජයට තම බලපෑම යොමු කිරීමත්, කාම්බෝජ රජු සියමෙන් ආධාර පැතීමත් සමග සියම හා ප්‍රංශය අතර අර්බුද කාර තත්වයක් ඇති විය. නමුත් සාකච්ඡා මාර්ගයෙන් ගිවිසුමකට එළඹීම මගින් තාවකාලික ගිවිසුමකට පැමිණියත් ප්‍රංශය තම ආක්‍රමණික ප්‍රතිපත්ති අත් නොහරින ලදි. 

එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශය, සියම සතු දකුණේ විශාල ප්‍රදේශයක් ආක්‍රමණය කරන ලද අතර සියමට ඉතා පරාධීන කොන්දේසි රැසකට එකඟ වීමට සිදු විය. ප්‍රංශය සමස්ත සියම ම ආක්‍රමණය කිරීමට උනන්දු වුවත් බ්‍රිතාන්‍යයන්. ප්‍රංශය සමඟ අග්නිදිග ආසියාව තුළ සෘජු දේශ සීමාවකට අකමැති වීම මත තව දුරටත් සියම, බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශය අතර ආරක්‍ෂිත රාජ්‍යයක් ලෙස පවතින ලදි. තවද එකල සියමේ රජු වූ  චූලාලන්කෝන් රජුගේ දක්ෂතාව මත සියම තුළ ජපානයේ මෙන් දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ ඇති කරමින් නවීන රාජ්‍යයක් ලෙස ගොඩ නංවන ලදි. තවද ඔහු විසින් 1895 දී සියම තුළ ව්‍යවස්ථාදායක සභාවක් හා කැබිනට් මණ්ඩලයක් ද, දණ්ඩ නීති සංග්‍රහයක් ද ඇති කරන ලදි. නවීන රාජ්‍යයකට අවශ්‍ය වන දුම්රිය මාර්ග පද්ධතියක්, විදුලි පද්ධතියක්, තැපැල් ක්‍රමයක් විදුලි හා දුරකතන පද්ධතියක් හා නවීන මුදල් ක්‍රමයක් ද රට තළ ඇති කරන ලද්දේ චූලාලන්කෝන් රජු ය. බ්‍රිතාන්‍යන්ගේ හා ප්‍රංශයන්ගේ බලලෝභී ප්‍රදේශ ව්‍යාප්තිය හමුවේ විශාල ලෙස ප්‍රදේශ අහිමි කර ගනිමින් පවා සියමේ ස්වාධීනත්වය රැක ගැනීමට ඔහුට හැකි විය.

4. සමාලෝචනය.

19වන සියවස ආරම්භ වන විට යුරෝපීය යටත් විජිතවාදයේ නව අදියරක උදාවක් දැකිය හැකි විය. සම්ප්‍රදායික අධිරාජ්‍යය බලවතුන් වූ ස්පාඤ්ඤය හා පෘතුගාලය වෙනුවට සමාගම් ආකාරයෙන් සංවිධානය වූ ඉංග්‍රීසි, ලන්දේසි හා ප්‍රංශ ජාතික බල ව්‍යාප්තියක් ආසියානු ප්‍රදේශවල මෙන් ම ලෝකය පුරාම ඇති වන ආකාරයක් දැකිය හැකිය. මාක්ස්වාදයට අනුව ඉහතින් දැක්වූ පැරණි යටත් විජිතවාදය පූර්ව ධනවාදී වන අතර නූතන යටත් විජිත වාදය බටහිර යුරෝපයේ ධනවාදයට සමාන්තරව පිහිටුවා ගන්නා ලැබූවකි. නූතන යටත් විජිතවාදය තමන් විසින් යටපත් කර ගන්නා ලද ප්‍රදේශවලින් පඬුරු, භාණ්ඩ හා ධනය සූරාකෑමට අමතරව එය යටත් විජිතවල ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරමින් වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධතාවක් ගොඩනඟා ගන්නා ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස යටත් විජිත ස්වාමිවරු සහ යටපත් කරන ලද රටවල් අතර මානව සහ ස්වාභාවික සම්පත් ගලා යාමක් සිදුවේ. 

“ආක්‍රමණයන්ගෙන් තොරව අධිරාජ්‍යයක් ගොඩ නැගීම කිසිවිටකත් නුපුළුවන. එම අධිරාජ්‍යවාදීන් මහගු යැයි සිතන තම ශිෂ්ටාචාරය, බලයෙන් යටත් කර ගත් ප්‍රදේශ වල වූ දුබල ජාතීන්ට වදෙන් පොරෙන් දීමට තැත් කරති”  යනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේතුවේ මන්ත්‍රී කෙනෙකු වූ ද, බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශවලට නිදහස ලබදීම සම්බන්ධයෙන් ප්‍රබලව හඩ නැගූ එංගලන්ත කම්කරු පක්ෂයේ සාමාජිකයෙකු හා සුප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘ වරයෙකු ද වන ජේ. ඇෆ්. හොරබින්  මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව සැබෑ ලෙස ම පෙරදිග යුරෝපීය ජාතිකයන්ගේ ප්‍රතිපත්ති බොහෝ විට විනාශකාරී වූ බව පෙනී යයි. ඔවුන්ට අවශ්‍ය වූවේ කෙසේ හෝ පෙරදිග වස්තුව මංකොල්ල කෑම පමණි. ඒ සඳහා ඕනෑම ම්ලේච්ඡ ක්‍රියාවක් කිරීමට ඔවුන් සැදී පැහැදී සිටින්නට විය. යුරෝපීය ඉතිහාසඥයන් සඳහන් කර ඇති ආකාරයට “පෙරදිග වාසය කර අත්තේ නොදියුණු ම්ලේච්ඡයන් වන අතර ඔවුන් ශිෂ්ට කර වීම සිදු වූවේ යුරෝපා ජාතීන් අතින්ය.” නමුත් පෙරදිග වැසියන් ශිෂ්ට කර වීමේ දී යුරෝපීය ජාතිකයන් අනුගමනය කළ අශිෂ්ට හා ම්ලේච්ඡ ක්‍රියා ඔවුන් සාධාරණීකරණය හෝ අමතක කර දමා ඇත. 

කෝටිපතියෙක්, මූල්‍ය රජෙක් හා ඉංග්‍රීසි-බූවර් යුද්ධයට වගකිය යුත්තා වූ සිසිල් රෝඩ්ස් 1895දී පල කරන ලද අධිරාජ්‍යවාදී අදහස්, ඔහුගේ ම කිට්ටු මිතුරෙකු වූ පුවත් පත් කලාවේදි ස්ටෙඩ් විසින් දක්වා ඇත. එය සිසිල් රෝඩ්ස්ගේම වචනයෙන් මෙසේය:, “ඊයේ ලන්ඩන් නගරයේ ඊස්ට් එන්ඩ් පෙදෙසේ සිටි මම විරැකියා ගත වූවන්ගේ රැස්වීමක් දුටුවෙමි. මම ඒ උමතු කතා වලට සවන් දුනිමි. ඒවා හුදෙක් පාන්! පාන්! කියමින් කරන හඬ නැගීමක් විය. මා ආපසු නිවසට යන ගමන් මෙම දර්ශනය මෙනෙහි කළෙමි. අධිරාජ්‍යවාදයේ වැදගත්කම වෙන කවරදාකටත් වඩා හොඳින් මට එවිට අවබෝධ විය....මා අගේ කරන අදහස, සමාජ ප්‍රශ්නයට විසඳීමකි. එක්සත් රාජධානියේ 4,00,00,000ක් ජනතාව ලේ වගුරන සිවිල් යුද්ධයකින් මුදා ගැනීම සඳහා, යටත් විජිතවාදී රාජ්‍යය පාලකයන් වන අපි අතිරික්ත කරන ජනගහනය පදිංචි කර වීමටත්, ෆැක්ටරි හා ආකරවල නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා අළුත් වෙළඳ පොළවල් සැපයීමටත්, අළුත් රටවල් අත්පත් කර ගත යුත්තෙමු. මා නිතරම කියා තිබෙන පරිදි අධිරාජ්‍යය යනු පාන් සහ බටර් පිළිබඳ ප්‍රශ්නයකි. සිවිල් යුද්ධයක් ඇතිවීම වැළැක්වීම ඔබ අපේක්‍ෂා කෙරේනම්, ඔබ අධිරාජ්‍යවාදීන් විය යුතුය”.  මෙම ප්‍රකාශය තුළින් මනාව පැහැදිලි වන්නේ ද බටහිර යටත් විජිත බලවතුන්ගේ තිබූ අධිරාජ්‍යවාදී අපේක්‍ෂාවන්ය. 

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය බලය දීර්ඝ කරනුවස් බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය (Divide and Rule) හඳුන්වා දෙන ලද අතර පළමු ව ජාතීන් අණුව හින්දු හා මුස්ලිම් ලෙස මන්ත්‍රී කොට්ඨාශ ඇති කරන ලදි. ඒ හේතුවෙන් ම අනාගතයේ දී බ්‍රිතාන්‍ය ඉන්දියාව, ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශය ලෙස බෙදී වෙන් වීමට අවශ්‍ය අඩිතාලම ද සකස් විය. මෙම පසුබිම සෑම යටත් විජිතයක ම දැකිය හැකි විය. (ලංකාවේදී ද එය මනාව පැහැදිලි වේ) 

මුල්කාලීන ආසියාවට පැමිණි දේශගවේෂකයන්ට වඩා 19 වන සියවසෙන් පසුව පැමිණි වාර්තාකරුවන් හා ඉතිහාසඥයන් ඉතා විකෘති තොරතුරු දක්වා ඇති බව පෙනී යයි. බොහෝ විට පසු කලෙක බොහෝමයක් යුරෝපීය ග්‍රන්ථ රචකයන්  ස්වදේශිකයන් හඳුන්වා ඇත්තේ ම්ලේච්ඡයන් හා නොදියුණු ජනතාවක් ලෙසිනි. ‍ආසියාතික හා අප්‍රිකානු රටවල බලය ලබා ගැනීමේ දී එම රටවල ජනතාවගේ අසමගිය හා එකිනෙකාට එරෙහි කටයුතු කිරීම, යුරෝපීයයන්ට එම රටවල බලය ලබා ගැනීමටත් එම බලය තහවුරු කර ගැනීමටත් උදව් වූ බව පැහැදිලි වේ. දේශ ගවේෂණය හෝ සංචාරය යන කුමන අංශයක දී වුවද එම පරමාර්ථය බොහෝ විට මුදුන් පත් කර ගනු ලැබුවේ ඝාතන, පැහැර ගැනීම්, ගිනි තැබීම් මාර්ගයෙනි. බටහිර ජාතීන් ආසියාවට පැමිණියේ දේශ ගවේශනය හේතුවෙන් වන බව ද පසුව එම ව්‍යාපාරය පිළිවෙළින් පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ හා ඉංග්‍රීසීන් යන ජාතීන්ට අයත් වූ බව පිළිගැනීමයි. සැබෑ ලෙස ම දේශ ගවේෂකයන් ලෙස හැඳින්වුව ද මෙම සියලු ම ජාතීන්ගේ අරමුණ වූවේ ආසියාවේ වස්තුව කොල්ලකා තම රටවලට ගෙන යාමයි. 19වන සියවසට පෙර මෙන් ම ඊට පසුත් පෙරදිගට පැමිණි බටහිර අධිරාජ්‍යවාදී බලවේගයන් තම ප්‍රාදේශීය ව්‍යාප්තියේ දී අනුගමනය කරන ලද උපක්‍රම හේතුවෙන් අහිංසක යටත්වාසී මිනිස් ජීවිත දහස් ගණනක් බිලි ගත් බව ඉතා ප්‍රසිද්ධ කරුණකි.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

අබේවර්ධන, ඩී. එල්., අග්නිදිග ආසියාවේ යුරෝපීය යටත් විජිත, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2015.


ගුණවර්ධන, වී. ඩී. එස්., යුරෝපා ඉතිහාසය, සීමාසහිත ඇස්. ගොඩගේ සහ සමාගම, ‍කොළඹ, 2012.


දිසානායක, විජය., ගෝලීය ප්‍රවණතා(අතීතය-වර්ථමානය-අනාගතය), අනුරාධා ප්‍රකාශකයෝ, දෙල්ගොඩ, 2014.


නේරු, ජවහර්ලාල්., ලෝක ඉතිහාස සිහිවටන, අනුවාදය- ‍ඩේවිඩ් කරුණාරත්න, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම. කොළඹ, 2008.

පනික්කාර්, කේ. එම්., ආසියාව හා බටහිර ආධිපත්‍ය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2005.


රාවෝ, බී. වී., ලෝක ඉතිහාසය, පරිවර්තනය- මාලිනී ඇඳගම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003.


ලෙනින්. වී. අයි., පෙරදිග ලෝකයේ විමුක්ති ව්‍යාපාරය, ප්‍රගති ප්‍රකාශක මන්දිරය, මොස්කව්, සෝවියට් සංගමය. 1978.


සෙනවිරත්න, චාමින්ද., ජගත් දේශාටකයෝ, දයාවංශ ජයකොඩි සමාගම, කොළඹ. 2014.


සූරයප්පෙරුම, ජේ. අර්. පී., ලෝකයට කවුළුවක්, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2012.


‍හොරබින්, ජේ. ඇෆ්., මුහුදු කොල්ලකරුවන්ගේ ඉතිහාසය, කුරුලු පොත් ප්‍රකාශකයෝ, රාජගිරිය, 2009.

1 comment:

  1. ඉතා වැදගත් ලිපියක් ඉතිහාසය විෂය හදාරණ අයට දැනුම සොයා ගැනීම සදහා නව මාවත් බොහෝමයක් මෙම ලිපිය මගින් විවර වෙනවා

    ReplyDelete