Showing posts with label අග්නිදිග ආසියාවේ ඉතිහාසය (1939 සිට වර්තමානය දක්වා). Show all posts
Showing posts with label අග්නිදිග ආසියාවේ ඉතිහාසය (1939 සිට වර්තමානය දක්වා). Show all posts

Tuesday, 31 August 2021

ආසියාන් සංවිධානය


1. හැඳින්වීම.

2. ආසියාන් සංවිධානයේ ආරම්භය.

3. ආසියාන් සංවිධානයේ පරමාර්ථ.

4. ආසියාන් සංවිධානයේ මූලධර්ම, තීරණ ගැනීම හා සාමාජිකත්වය.

4.1. මූලධර්ම.

4.2. තීරණ ගැනීම

4.3. ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය.

4.4. ආසියාන් සංවිධානයේ සාමාජිකයන්.

4.5. ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් විසින් ඉටු කල යුතු වගකීම් හා යුතුකම්.

5. ආසියාන් සංවිධානයේ ව්‍යුහය.

6. සමාලෝචනය.

මූලාශ්‍ර 


1. හැඳින්වීම.

    දෙවන ලෝක යුද්ධයෙන් පසුව වර්ධනය වූ කලාපීය සංවිධාන, වර්තමානය වන විට ඉතා වැදගත් කාර්යභාරයක් ලෝකයට හා එම කලාපයට ඉටු කරනු ලැබේ. තවද එම සංවිධානයන්, ජාත්‍යන්තර සංවිධාන ඝනයට අයත් වීම මඟින් ඒවායේ ඇති බලපෑම් සහගත භාවය හා වැදගත්කම රාජ්‍යයන් තරමට ම වර්ධනය වී ඇත. කලාපීය සංවිධානයක මූලික ම අරමුණක් වී ඇත්තේ යම් කිසි රටකට ස්වයං ව කල නොහැකි දෙයක් තවත් රාජ්‍යයන් කීපයක් සමඟ එකතු වී, සංවිධානයක් ලෙස ඉටු කිරීමයි. 

    විශේෂයෙන් ම දෙවන ලෝක යුද්ධයෙන් පසු නිදහස දිනා ගත් තුන්වන ලෝකයේ රාජ්‍යයන් තම ආර්ථික, දේශපාලන හා සමාජීය අවශ්‍යතා ලෝක මට්ටමෙන් ඉටු කරගැනීමේ දී අත්විඳින අපහසුතාවලට විසඳුමක් ලෙස ද කලාපීය සංවිධාන බිහි වීම හැඳින්විය හැකිය. මන්ද යත් බොහෝමයක් කලාපීය රාජ්‍යයන්හි දේශපාලන, ආර්ථික හා සමාජීය පසුබිම් සමාන වීමයි. ඒ හේතුවෙන් ම කලාපීය සංවිධානයන් බහුතරයක සාමාජිකත්වය එම සංවිධානය අයත් කලාපයේ රාජ්‍යයන්ගෙන් ම යුක්ත වේ.

    ඒ අනුව බැලීමේ දී පෙනී යන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව කලාපීය රාජ්‍ය සංවිධානයන්හි බිහි වීම ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බවයි. මෙයට සංදිග්ධ වූ හේතු කාරණා රාශියක් දැකිය හැක. ඒවා පහත ආකාරයෙන් දැක්විය හැකිය. 

01. තාක්‍ෂණයේ හා ගෝලීයකරණයේ, වර්ධනයත් සමඟ රාජ්‍යයන් අතර වූ දුරස්ථභාවය අවම වීම හේතුවෙන් මෙවැනි කලාපීය වශයෙන් වැදගත් වූ ජාත්‍යන්තර සංවිධාන බිහි වීම.

02. තවද ගෝලීයකරණයේ ම තවත් එක් ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට කිසිදු රාජ්‍යයකට තනි ව පැවතීමට අපහසු වීම.

03. වර්තමානය වන විට මානව අවශ්‍යතා රාජ්‍යයන්හි දේශසීමා අබිබවා ගොස් ඇති අතර ඒ හේතුවෙන් ම රටක ආරක්‍ෂාවට මෙන් ම යහපත් පැවැත්මට හා තම අනන්‍යතා ආරක්‍ෂා කර ගනිමින් ලෝකය සමඟ ගනු දෙනු කිරීම සඳහා කලාපීය සංවිධාන අත්‍යාවශ්‍ය වී ඇත.

04. “විද්‍යාවේ හා තාක්ෂණවේදයේ දියුණුවත් එහි ප්‍රතිඵලයක් ලෙස සන්නිවේදනයේ හා ගමනාගමනයේ ක්‍රමයෙහි, අන්තර්ජාතික වෙළදාමේ හා ඇතැම් විට දේශපාලන දෘෂ්ඨීන්හි ද සිදු වූ දියුණුව ‍නිසා, ලෝකයේ විවිධ ජාතීන් අතර පැවති පරතරය, මින් පෙර නොවූ විරූ ලෙස අඩු වී තිබේ. මෙම තත්ත්වය යටතේ ඒ ඒ ජාතීන්ගේ දියුණුව උදෙසා පමණක් නොව, ඔවුන්ගේ හුදු පැවැත්ම සඳහා ද අන්තර්ජාතික සහයෝගිතාව අවශ්‍ය වී තිබේ.”  

    මෙහි දී අපගේ අවධානයට ලක්වන්නා වූ අග්නිදිග ආසියාතික සංවිධානය (ASEAN – Association of South East Asian Nations)   බිහි වී ඇත්තේ ඉහතින් දක්වන ලද ආකාරයට “කලාපීය සාමාජිකත්වයක් ඇති සාමාන්‍ය පරමාර්ථ සහිත සංවිධානයක්”   ලෙසින් බව අවබෝධ කර ගත හැක. වර්තමානයේ දී මෙම සංවිධානය ආසියාවේ ප්‍රබලතම ආර්ථික හවුල  ලෙස ද හඳුන්වා දිය හැක. තවද ආර්ථික, දේශපාලන හා සමාජීය යන සියලු ක්‍ෂේත්‍රයන් ආවරණය කරන්නා වූ සංවිධානයක් ලෙස එහි ශක්තිය දෙවැනි වන්නේ යුරෝපා සංගමයට පමණි. මේ හේතුවෙන් ම මෙම කලාපය තුල පොදු ආර්ථික වර්ධන වේගයක් හා සමාජීය සංවර්ධනයක් ලබා ගැනීමට ආසියාන් සංවිධානයට හැකි වී තිබෙන අතර කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වන අවස්ථාවලදී එක්සත් ව කටයුතු කිරීම මඟින් ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට සමත් වී ඇත. 

උදා;

දකුණු චීන මුහුදේ වූ දූපත් කීපයක අයිතිය සම්බන්ධයෙන් චීනය, වියට්නාමය, ජපානය හා තායිවානය අතර ඇති වූ අර්බුදයේ දී ආසියාන් සංවිධානය කලාපය වෙනුවෙන් පෙනී සිටින ලදි. කෙසේ වෙතත් එම අර්බුදය තවමත් අවසන් වී නොමැත.

   

2. ආසියාන් සංවිධානයේ ආරම්භය.

ආසියාන් සංවිධානය ආරම්භ කරන ලද්දේ 1967 අගෝස්තු මස 08වන දින තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය හා සිංගප්පූරුව යන රාජ්‍යයන් 05 විසින් ප්‍රකාශයට පත් කරණ ලද ආසියාතික ජාතීන්ගේ ප්‍රකාශනය (ASEAN Declaration) මඟිනි. එම ප්‍රකාශනයට අනුව එහි ආරම්භක අරමුණ වූයේ “කලාපය තුළ සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය ළඟා කර ගැනීමට ක්‍රියාන්විත වශයෙන් සාමාජික රටවල් විසින් සහයෝගය දැක්වීමයි.” 

ආසියාන් සංවිධානය බිහි වීම මඟින් එම කලාපය අත්පත් කර ප්‍රතිලාභ අතිමහත් ය. විශේෂයෙන්ම ආසියාන් සංවිධානය බිහි වීමට ප්‍රථම එම කලාපය තුළ අර්බුදකාරී වතාවරණයක් පැවතිණ. 

ඒවා නම්;

දේශපාලන හා දේශසීමා අර්බුද හේතුවෙන් අසල්වැසි රාජ්‍ය අතර ගැටුම් ඇති වීම.

o මැලේසියාව හා ඉන්දුනීසියාව අතර දේශසීමා අර්බුද ඇති වීම.

o පිලිපීනයට අයත් ව පැවති සභා හා සර්වාක් (Shaba & Sarwak) යන ප්‍රදේශ, මැලේසියානු සමූහාණ්ඩුවට සම්බන්ධ වීමත් සමඟ මැලේසියාව හා පිලිපීනය අතර ගැටුම්කාරී තත්ත්වයක් 1963දී වර්ධනය විය.

o 1965දී සිංගප්පූරුව, මැලේසියානු සමූහාණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ දෙර‍ට අතර  නොහොඳ නෝක්කාඩුකම් වර්ධනය වීම.

ඉන්දු චීන ප්‍රදේශ වූ වියට්නාමය, ලාඕසය හා කාම්බෝජය වැනි රාජ්‍යයන්වල අධිරාජ්‍ය විරෝධී හා කොමියුනිස්ට්වාදී ව්‍යාපාර ඇති වීම. 

අනෙකුත් කලාපීය හා ලෝක බලවතුන් විසින් මෙම කලාපයේ අර්බුදවලට මැදිහත් වී තත්ත්වය තවදුරටත් අවුල් කිරීම.

o මැලේසියාව හා ඉන්දුනීසියාව අතර දේශසීමා අර්බුද සඳහා බ්‍රිතාන්‍ය හමුදා මැදිහත් වීම.

o මාඕ සේතුන් යටතේ චීනයේ ඇතිවූ සංස්කෘතික විප්ලවයෙන් පසුව චීනය විසින් ඉන්දු චීනයේ ක්‍රියාත්මක වූ හෝචි මිංගේ කොමියුනිස්ට් ව්‍යාපාරයට මෙන් ම අග්නිදිග ආසියාවේ අනෙකුත් කොමියුනිස්ට් ව්‍යාපාර සඳහා ද මූල්‍යමය හා යුධ ආධාර ලබා දීම.

o වියට්නාම් අර්බුදයේ දී ප්‍රංශ හා ඇමරිකානු මැදිහත් වීම් හේතුවෙන් විශාල ව්‍යසනයක් කලාපයට සිදුවීම.

ආසියාන් සංවිධානය බිහි වීමට පෙර සිටම එහි වූ අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා කලාපීය රටවල් කීපයක් උත්සහ දරා තිබුණි. එහි ආරම්භක ක්‍රියාමාර්ගයක් ලෙස මැලේසියාව, පිලිපීනය හා තායිලන්තය යන රාජ්‍යයන් 03 විසින් එම රටවල් අතර ආර්ථික හා සංස්කෘතික සහයෝගිතාවන් වර්ධනය කර ගැනීමේ අරමුණින් 1961 ජූලි මස ප්‍රකාශයට පත් කරන ලද බැන්කොක් ප්‍රකාශනය (Bangkok Declaration) මඟින් “Association of South East Asia”(ASA) නම් සංවිධානයක් පිහිටුවා ගනු ලැබීය.  

නමුත් මැලේසියාව හා පිලිපීනය අතර ඇති වූ දේශසීමා අර්බුද, සිංගප්පූරුව හා මැලේසියාව අතර ඇති වූ අර්බුදය හා 1966 වර්ෂයේ දී ඉන්දුනීසියාවේ අති වූ දේශපාලන අර්බුද හේතුවෙන් එහි ප්‍රගතිශීලී ජනාධිපතිවරයෙකු වූ සුඛර්නෝ බලයෙන් පහ කර බටහිර ගැති පාලකයෙකු වූ ජනරාල් සුහර්තෝ බලයට පත් වීමත් සමඟ “ASA” සංගමය අසාර්ථක හා අක්‍රිය තත්ත්වයකට පත් විය. මේ පසුබිම මත කලාපයේ සියලු ම රාජ්‍යයන්ට අවශ්‍ය වූයේ කලාපය තුළ දේශපාලනික, ආර්ථික හා සමාජීය වශයෙන් සහජීවනය ගොඩනැගිය හැකි ශක්තිමත් සංවිධානයක් බිහි කර ගැනීමයි. ඒ අනුව එවැනි ශක්තිමත් සංවිධානයක් ඇති කිරීමේ වගකීම මූලික ව ම ඉදිරිපත් කරන ලද්දේ එවකට ඉන්දුනීසියාවේ නව නායකයා වූ සුහර්තෝ විසිනි. ඔහු ඒ පිළිබඳව තායිලන්තය සමඟ අදහස් හුවමාරු කර ගත් අතර 1967 අගෝස්තු මාසයේ දී පැවැත්වීමට තිබූ “ASA”හි සිව් වන සමුලුවට පෙර වෙනත් සමුළුවක් පැවැත්වීමේ වැදගත්කම ඉන්දුනීසියානු විදේශ ඇමති වූ ආදම් මලික් විසින් අවධාරණය කරන ලදි.

ඒ අනුව ඉන්දුනීසියාවේ හා තායිලන්තයේ මූලිකත්වයෙන් සමුළුවක් 1967 දී බැන්කොක් නගරයේ දී සංවිධානය කරන ලද අතර ඒ සඳහා තායිලන්තය වෙනුවෙන් එහි විදේශ ඇමති වූ තාන්ට් කෝමන්ට් හා ඉන්දුනීසියාව වෙනුවෙන් එහි විදේශ ඇමති වූ ඇඩම් මලික්ට අමතරව එම රාජ්‍යයන්හි ආරාධනාවෙන් සිංගප්පූරුව වෙනුවෙන් එස්. රාජරත්නම්, මැලේසියාව වෙනුවෙන් තුන් අබ්දුල් රාසාක් හා පිලිපීනය වෙනුවෙන් නාසියෝ රමෝස් යන විදේශ ඇමතිවරුන් ද ඊට සහභාගී විය. එහි දී එහි සංවිධායකවරුන් වූ ඉන්දුනීසියාවේ හා තායිලන්තයේ මූලිකත්වයෙන් පිහිටුවීමට අදාළ නව සංවිධානයේ කෙටුම්පත සාකච්ඡාවට භාජනය කරනු ලැබීය. එයට සහභාගී වූ සියලු ම සාමාජිකයන්ගේ එකඟතාව මත 1967 අගෝස්තු 08 වන දින “ආසියාන් ප්‍රකාශනය” (ASEAN Declaration)  මඟින් ආසියාන් සංවිධානය නිල වශයෙන් පිහිටුවනු ලැබීය. ඊට අමතර ව අක්‍රිය තත්ත්වයක පැවති “ASA” නම් සංවිධානය එහි 04වන සමුළුවේ දී ම අත්හිටු වූ අතර එහි පැරණි ක්‍රියාකාරකම් නව සංවිධානය යටතට ගනු ලැබීය.

3. ආසියාන් සංවිධානයේ පරමාර්ථ.

ආසියාන් සංවිධානයේ ආදර්ශ පාඨය වූ (The motto of ASEAN is  “One Vision, One Identity, One Community”)  හෙවත් “එක දැක්මක්, එක අනන්‍යතාවක්, එක සමාජයක්” යන තේමාව යටතේ එහි පරමාර්ථ 1967දී එලි දක්වන ලද ආසියාන් ප්‍රකාශනයේ සඳහන් වේ.  

ඒවා නම්;

1. අග්නිදිග ආසියානු ජනතාවගේ සහභාගීත්වය හා එකමුතුව පදනම් කර ගනිමින් කලාපය තුළ ආර්ථික වර්ධනය, සමාජ ප්‍රගතිය හා සංස්කෘතික වර්‍ධනය වේගවත් කිරීම.

2. පොදු උනන්දුවක් ඇති ආර්ථික, සමාජ, සංස්කෘතික, තාක්ෂණික, විද්‍යාත්මක හා පරිපාලන ක්‍ෂෙත්‍රයන්හි දී සක්‍රීය සහයෝගිතාව හා අන්‍යෝන්‍ය උපකාරය ප්‍රවර්ධනය කිරීම. 

3. අධ්‍යාපනික, වෘත්තිමය, තාක්ෂණික හා පරිපාලන අංශයන්හී පුහුණුව හා පර්යේෂණ කටයුතුවල දී   සක්‍රීය ලෙසින් සහයෝගය දීම.

4. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට, ජාත්‍යන්තර නීතියට, කලාපයේ අනෙකුත් රාජ්‍යයන්හි නීතියට හා ස්වාධීනත්වයට ගරු කරමින් කලාපය තුළ සහයෝගය හා සාමය වර්‍ධනයට කිරීමටත් එය පවත්වාගෙන යාමටත් කටයුතු කිරීම.

5. කලාපය තුළ කාර්මික හා කෘෂිකාර්මික අංශයන්හී වර්ධනය සඳහා දායක වෙමින් එහි ඵලදායීතාව ඉහල නැංවීමට දායක වීම.

6. කලාපයක් ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර වෙළඳ කටයුතු වර්ධනය කිරීම, සන්නිවේදන හා ප්‍රවාහණ පහසුකම් වර්ධනය කිරීම මඟින් කලාපීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කිරීම.   

4. ආසියාන් සංවිධානයේ මූලධර්ම, තීරණ ගැනීම හා සාමාජිකත්වය.

4.1. මූලධර්ම.

  • සියලු ම ජාතීන්ගේ හා රාජ්‍යයන්ගේ  නිදහස, ස්වාධිපත්‍ය, සමානාත්මතාව, භෞමික අඛණ්ඩතාව හා ජාතික අනන්‍යතාවයට අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම.
  • ආසියාන් සමළුවලදී ද්විපාර්ශ්වික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා නොකිරීම.  
  • සාමාජික රටවල් අතර හටගන්නා අරගලවලට සාමාජික රටවල් මැදිහත් නොවිය යුතු ය. 
  • කලාපීය රාජ්‍යයන් අතර ඇති ආරවුල් හා විෂමතා සාමකාමී අයුරින් විසඳා ගැනීම.
  • විවිධ අවස්ථාවලදී රැස් වී ආසියාන් සංවිධානයට අදාලව  ඒකමතිකව ගනු ලබන තීරණවල දී සමුළුවට සහභාගී නොවූවද අදාළ සාමාජික රාජ්‍යයන් එම තීරණ පිළිගැනීමට බැදී පැවතීම.

4.2. තීරණ ගැනීම

මෙහි දී ආසියාන් සංවිධානයේ තීරණ ගන්නා ප්‍රධාන ක්‍රමවේද දෙකක් පවතී. ඒවා නම්

1. සෑම සාමාජිකයෙකුගේ ම එකඟතාව මත වැදගත් තීරණ ගැනීම.

2. බහුතරයේ තීරණය මත. එනම් සාමාජිකයන් 10ගෙන් බහුතරයක් වූ 06ගේ කැමැත්ත මත.

4.3. ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය.

ආරම්භයේ දී දක්වන ලද ආසියාන් ප්‍රකාශනයේ සඳහන් වන්නා වූ අරමුණු හා මූලධර්මවලට එකඟවන්නා වූ ඕනෑම ආසියානු රාජ්‍යයකට ඊට සහභාගී විය හැක. නමුත් පසුකාලීනව එහි සාර්ථකත්වය මත එහි ආරම්භක සාමාජිකයන් වූ ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව හා පිලිපීනය යන රාජ්‍යයන් පසුව සම්මත කර ගන්නා ලද තීන්දු තීරණවලට එකඟ වීම ද, ආසියානු සංවිධානයේ සාමාජිකත්වය ලැබීමට අනිවාර්ය විය. 

ඒවා නම්;

1. 1971 දී සම්මත කරන ලද අග්නිදිග ආසියාව නිදහස්, මධ්‍යස්ථ හා සාමකාමී කලාපයක් බවට පිළිගත් ආසියාන් ප්‍රකාශනය.

2. 1976 දී සම්මත කරන ලද මිත්‍රත්වය හා සහයෝගිතාව පිළිබඳ ප්‍රකාශනය.

3. 1976 දී සම්මත කරන ලද අග්නිදිග ආසියානු කලාපයේ එකමුතුකම පිළිබඳ ප්‍රකාශනය. 

4. 1976 දී ඇති වූ ආසියාන් මහ ලේකම් කාර්යාලය පිහිටුවීම පිළිබඳ එකඟතාව. 


4.4. ආසියාන් සංවිධානයේ සාමාජිකයන්.

1. තායිලන්තය.

2. ඉන්දුනීසියාව.

3. පිලිපීනය. ආරම්භක රාජ්‍යයන් වේ.

4. සිංගප්පූරුව.

5. මැලේසියාව.

6. බෲනෙයි - බ්‍රිතාන්‍යය ආධිපත්‍යයෙන් නිදහස ලබා දින 07කින් ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය 1984 දී ලබාගත්හ.

7. වියට්නාමය - 1995දී වියට්නාමය ආසියාන් සංවිධානයට සම්බන්ධ කර ගැනීමත් සමඟ කොමියුනිස්ට් නොවූ ප්‍රථම කලාපීය සංවිධානය ලෙස ප්‍රකට විය.

8. ලාඕසය - 1992 වසරේ සිටම නිරීක්ෂණ තත්ත්වයේ සිටි ලාඕසය 1997 වසරේ දී ආසියාන් සංවිධානයට සම්බන්ධ කර ගනු ලැබීය.

9. මියන්මාරය - 1996 සිට අධීක්ෂණ තත්ත්වයේ සිටි අතර 1997 දී ආසියාන් සංවිධානයට සම්බන්ධ කර ලන්නා ලදි.

10. කාම්බෝජය -  ලාඕසයට, මියන්මාරය හා කාම්බෝජය යන රාජ්‍යයන් තුනට ම එකම අවස්ථාවේ දී සාමාජිකත්වය ලබා දීමට බලාපොරොත්තු වුවත් ඉතා දීර්ඝ කාලයක් කාම්බෝජය තුළ වූ දේශපාලන අර්බුද හේතුවෙන් එයට සාමාජිකත්වය ලබා ගැනීමට හැකි වූයේ 1998 දී.


4.5. ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් විසින් ඉටු කල යුතු වගකීම් හා යුතුකම්.

වගකීම්;

  • සාමාජිකත්වය ලබන සැම රාජ්‍යයක් විසින් ම අනෙකුත් සාමාජික රාජ්‍යයන්ට වෙළඳ කටයුතුවල දී අනුග්‍රහය දැක්විය යුතු අතර ද්විපාර්ශ්වීය වෙළඳාමේ දී දෙපාර්ශවයට ම සහන සැලසෙන ආකාරයෙන් කටයුතු කළ යුතු ය.
  • සියලු ම සාමාජික රාජ්‍යයන් තම වෙළඳ පාලන තන්ත්‍රයේ ඇති විනිවිද භාවය තහවුරු කල යුතු අතර වෙළඳාම සම්බන්ධයෙන් රට අභ්‍යන්තරයේ සිදු කරනු ලබන අභ්‍යන්තර නීති රීතීන්හී සංශෝධන සම්බන්ධයෙන්  ආසියාන් සංවිධානයේ සාමාජිකයන් දැනුවත් කළ යුතු වේ.
යුතුකම්;
  • ආසියාන් අරමුදලට ඇමරිකානු ඩොලර් 1,000,000 ක් එක වර පමණක් ගෙවිය යුතු ය.
  • ආසියාන් විද්‍යා අරමුදලට ඇමරිකානු ඩොලර් 50,000 ක් ලබා දීම.
  • ආසියාන් ආහාර සංචිතයට සහල්වලින් දායකත්වය සැපයීම.
  • ආසියාන්හි ඛනිජ තෙල් බෙදාහැරීමේ ක්‍රමයට සම්බන්ධ වීම.
  • ආසියාන් මහ ලේකම් කාර්යාලයට වාර්ෂිකව දායකත්වය සැපයීම.
  • ආසියාන් සියලු සමුළුවලට සහභාගී වෙමින් ඉංග්‍රීසි හෝඩියේ (A-Z) පිළිවෙළ අනුව සමුළු වාර ඒ ඒ සාමාජික රටවල පවත්වමින් එහි සභාපතිත්වය දැරීම.


5. ආසියාන් සංවිධානයේ ව්‍යුහය.

ආසියාන් සංවිධානය ආරම්භයේ දී වූ සරල ආයතනික ව්‍යුහය වර්තමානය වන විට එහි සාර්ථකත්වය හා ප්‍රසාරණය වීම මත තව දුරටත් සංකීර්ණ වී ඇති බව අවබෝධ කර ගත හැක.

1. විදේශ අමාත්‍ය මණ්ඩලය;

ආසියාන් සංවිධානය තුළ සක්‍රිය ම මෙන් ම ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ආයතනය වන්නේ මෙම විදේශ අමාත්‍ය මණ්ඩලයයි. සාමාජික රාජ්‍යයන්හි විදේශ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ආයතනය වසරකට වරක් රැස් වන අතර එහි දී ගනු ලබන තීන්දු තීරණ, තම රටේ රාජ්‍යය නායකයාට වාර්තා කරනු ලබන්නේ අදාළ රටේ විදේශ ඇමතිවරයා විසිනි. මෙම සැසි වාර පවත්වනු ලබන්නේ ඉංග්‍රීසි හෝඩියේ (A-Z) පිළිවෙළට වන අතර සෑම රාජ්‍යයක් ම තම රටේ දී විදේශ අමාත්‍ය සමුළු වාර පැවැත්විය යුතු අතර හදිසි අවස්ථාවන්හි විශේෂ සභා වාර හෝ නිල නොවන මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට ද විදේශ අමාත්‍යවරුන්ට හැකියාව පවතී. 

2. ආසියාන් ස්ථාවර කමිටුව;

විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම පවත්වනු ලබන්නේ වසරකට වරක් වන අතර ඒ අතර තුල කාලයේදී සක්‍රීය වෙමින් තීන්දු තීරණ ගනු ලබන්නේ මෙම ස්ථාවර කමිටුව විසිනි. ඊළඟට විදේශ අමාත්‍ය මණ්ඩලය පැවැත්වීමට නියමිත රාජ්‍යයේ විදේශ ඇමතිවරයා එහි සභාපති වේ. 1992 වසරේ සිට ආසියාන් ස්ථාවර කමිටුව නියෝජනය කරනු ලබන්නේ එක් එක් රාජ්‍යයන් විසින් ජාතික මට්ටමෙන් පවත්වා ගන්නා ලද ආසියාන් මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙකු විසිනි.

3. ආසියාන් මහ ලේකම් කාර්යාලය;

1976 සිට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පිහිටුවා ඇති මහ ලේකම් කාර්යාලය විසින් ආසියාන් සංවිධානයේ සියලු ම කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි. 1992 වසරේ සිට වසර 05කට වරක් ආසියාන් සංවිධානයේ සාමාජික රාජ්‍යයන්හි විදේශ ඇමතිවරුන්ගේ තෝරා ගැනීම මත, රාජ්‍ය නායකයන් විසින් මහ ලේකම්වරයෙකු පත් කරනු ලැබේ. මහ ලේකම්වරයාගේ සහයට නියෝජ්‍ය ලේකම්වරු දෙදෙනෙක් වසර තුනකට වරක් පත් කරනු ලැබේ. තවද මෙම මහ ලේකම් කාර්යාලයට අනුබද්ධිත ව කාර්යාංශ 04ක්ද පිහිටුවා ඇත. 

ඒවා නම්;

  • ආර්ථික සහයෝගිතා කාර්යාංශය.
  • ආසියාන් නිදහස් වෙළදාම සඳහා වූ කාර්යාංශය.
  • ආසියාන් සහයෝගිතාව හා විදේශ සබඳතා කාර්යාංශය.
  • කාර්යබද්ධ සහයෝගිතා කාර්යාංශය.‍

මෙම කාර්යාංශ බාර ව නිලධාරීන් 32ක් මහ ලේකම් කාර්යාලයට අනුබද්ධිත ව සේවය කරනු ලබයි.

4. ආසියාන් ජාතික මහ ලේකම් කාර්යාලය;

ආසියාන් මහ ලේකම් කාර්යාලය හා ජාතික මට්ටමෙන්, ආසියාන් සාමාජික රාජ්‍යයන් අතර පවත්වාගෙන යනු ලබන ආයතනයන් සමඟ සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමේ අරමුණින්, ආසියාන් සංවිධානයේ සෑම සාමාජික රාජ්‍යයක ම ආසියාන් ජාතික මහ ලේකම් කාර්යාලයක් එහි විදේශ අමාත්‍යංශයට අනුබද්ධිත ව පිහිටුවා ඇත. 

5. විශේෂ විෂයන් සඳහා කමිටු;

මෙම විශේෂිත විෂයන් සඳහා වූ කමිටු මඟින් සිදුවන්නේ ආසියාන් ප්‍රකාශනය මඟින් යම් යම් විශේෂිත විෂයන් සඳහා කටයුතු කිරීමට තත්කාර්‍ය කමිටු හා ස්ථාවර කමිටු පත් කිරීම හා ඒ සඳහා ප්‍රතිපාදන සැපයීම යි. 

එම කමිටු කීපයක් මෙසේ දැක්විය හැක.

  • මූල්‍ය හා බැංකු කටයුතු පිළිබඳ කමිටුව.
  • ආහාර , කෘෂිකාර්මික හා වන සම්පත් පිළිබඳ කමිටුව.
  • කර්‍මාන්ත, ඛනිජ හා බලශක්ති කමිටුව.
  • විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ කමිටුව.
  • වෙළඳාම හා සංචාරක කටයුතු පිළිබඳ කමිටුව.
  • සමාජ සංවර්‍ධනය පිළිබඳ කමිටුව.
  • පරිසරය පිළිබඳ ආසියාන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව.

6. ආසියාන් නිදහස් වෙළඳ කලාප මණ්ඩලය.

7. වසර 03ට වතාවක් පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුව;

ආරම්භයේ දී  ආසියාන් රාජ්‍යය නායක සමුළුවේ විධිමත් බවක් නොවූ නමුත් 1992 සිංගප්පූරුවේ දී පවත්වන සමුළු වාරයේ දී කරන ලද සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස වසර 03 ට වරක් රජ්‍යය නායක සමුළුවක් පැවැත්වීමට තීරණය කරනු ලැබීය. ඊට අමතරව නිල නොවන මට්ටමේ රැස්වීම් වාර ද පවත් වනු ලැබීය.

උදා;

  • ඉන්දුනීසියාවේ බාලි සමුළුව - 1976
  • මැලේසියාවේ ක්වාලාලම්පූර් සමුළුව - 1977 
  • පිලිපීනයේ මැනිලා සමුළුව - 1987
  • සිංගප්පූරු සමුළුව - 1992
  • තායිලන්තයේ බැන්කොක් සමුළුව - 1995
  • වියට්නාමයේ හැනෝයි සමුළුව - 1998  
  • 1999 Philippines
  • 2000 Singapore
  • 2001 Brunei Darussalam
  • 2002 Cambodia
  • 2003 Indonesia
  • 2004 Lao PDR
  • 2005 Malaysia
  • 2006 Philippines
  • 2007 Singapore
  • 2008 Thailand
  • 2009 Thailand
  • 2010 Viet Nam
  • 2011 Indonesia
  • 2012 Cambodia
  • 2013 Brunei
  • 2014 Myanmar 

මෙම සමුළු වාර අතරින් 1976දී පවත්වනු ලැබූ බාලි සමුළුව ඉතා වැදගත් වේ. එහි දී ආසියාන් සංවිධානයට අදාලව වැදගත් තීරණ හා ගිවිසුම් රාශියකට අත්සන් තබන ලදි. 

ඒවා කීපයක් නම්;

  • ආසියාන් එකඟතාව පිළිබඳ ප්‍රකාශනය. (Declaration of ASEAN Concord)

ආර්ථික, සමාජ හා සංස්කෘතික අංශවලින් ආසියාන් කලාපයේ රාජ්‍යයන් අතර සහයෝගය වර්ධනය කිරීම මෙහි අරමුණ විය.

  • මිත්‍රත්වය හා සහයෝගිත්වය පිළිබඳ අග්නිදිග ආසියාතික ගිවිසුම. (Treaty of Amity and Co-Operation in South East Asia)

කලාපීය සහයෝගය සඳහා කලාපීය රාජ්‍යයන්ගේ ක්‍රියාශීලී සහයෝගය ලබා ගැනීම.

6. සමාලෝචනය.

    අග්නිදිග ආසියානු රාජ්‍යයන් 05 ක් විසින් 1967 වර්ෂයේ දී පිහිටුවා ගන්නා ලද ආසියාන් සංවිධානය වර්තමානය වන විට ආසියාවේ ප්‍රබලතම කලාපීය සංවිධානය ලෙස හඳුනා ගත හැක. එය විශේෂයෙන්ම ආර්ථික හවුලක් ලෙස ප්‍රබල භූමිකාවක් කලාපය තුල ඉටු කරනු ලබයි. 1975-1995ත් අතර කාලයේ දී ආසියාන් සංවිධානයේ ආර්ථික වර්ධන වේගය 6.6% පමණ වූ අතර 1995දී එය 7.4% දක්වා වර්ධනය විය.  2012 පමණ වන විට එහි සමස්ත දළ දේශීය නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 2.3ක් පමණ වේ. එය ලෝකයේ හයවෙනියට විශාලතම ආර්ථිකය ලෙස ද හඳුනාගත හැක. එම ආර්ථික ශක්‍යතාව හමුවේ ආසියාන් ආර්ථික හවුල ඇමරිකාව, චීනය, ජපානය හා යුරෝපා සංගමය සමඟ ආර්ථික සහයෝගිතාවන් ද ඇති කරගෙන ඇත. ආරම්භයේ දී චීනයේ කොමියුනිස්ට් ව්‍යාප්තියට එරෙහිව පිහිටුවා ගන්නා ලද මුත් වර්තමානය වන විට චීනයේ ආධාර ද මේ සංවිධානයට ලැබේ.  

    ආසියාන් සංවිධානය කලාපයක් ලෙස විශාල අභියෝගයන්ට ද මුහුණ දුන් සංවිධානයක් බව අවබෝධ කර ගත හැක. එහි දී ඔවුන් අත් දුටු ප්‍රබලතම අර්බුදය වූයේ 1996 දී ආසියාන් රාජ්‍යයන්වල නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා විදේශ වෙළඳපොළේ තිබූ ඉල්ලුම පහත වැටීම හේතුවෙන් ඇති වූ ආර්ථික අර්බුදය යි. එහි දී එම වසරේ ආසියාන් කලාපයේ ආර්ථික වර්ධන වේගය 7.4% සිට 7.1% දක්වා පහත වැටෙන්නට විය. නමුත් කලාපයක් ලෙස සිටීමේ වැදගත්කම ලෝකයට ම පැහැදිලි කරමින් ආසියාන් සංවිධානය එම අර්බුදයට සාර්ථකව මුහුණ දෙමින් ඊට ගත යුතු ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ම ක්‍රියාත්මක කරන ලදි.

    ආරම්භයේ සිට වර්තමානය දක්වා ආසියාන් සංවිධානය පැමිණි ගමනේ දී එම සංවිධානය ලැබූ සාර්ථකත්වයට හේතු වූ තීන්දු තීරණ කීපයක් අධ්‍යනය කල හැකිය. 

ඒවා කීපයක් නම්;

  • ආසියාන් කලාපයේ ආර්ථීක හා කලාපීය සහයෝගිතාව වර්ධනය කරනු සඳහා ඇති කරන ලද, 1967- ආසියාන් ප්‍රකාශනය.
  • කලාපය තුල ආර්ථික සහයෝගිතාවට පමණක් සීමා නොවී අනෙකුත් වැදගත් ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ද සහයෝගිතාව වර්ධනය කරනු සඳහා වූ 1976 - ආසියාන් එකඟතාව පිළිබඳ ප්‍රකාශනය. (Declaration of ASEAN Concord)
  • 1992 වර්ෂයේ සිට ඉදිරියට වසර 15ක් ක්‍රියාත්මක වන පරිදි නිදහස් වෙළඳ කලාපයක් ඇති කිරීම සඳහා වූ අභියෝගාත්මක තීරණය. (AFTA - ASEAN Free Trade Area)
  • 2020 සඳහා වූ අනාගත දැක්ම හා ඉලක්ක 1997දී පවත්වන ලද ක්වාලාලම්පූර් නිල නොවන රාජ්‍ය නායක සමුළුවේ දී ප්‍රකාශයට පත් කිරීම.

    ආසියාන් සංවිධානයේ රටවල ජනගහණය මිලියන 600ක්ද ඉක්මවා සිටී. එය සමස්ත ලෝක ජනගහණයෙන් 8.8%කි. මෙම රටවල ස්වාභාවික සම්පත් රැසක් ද පවතී. ඒ අතර ඛනිජ තෙල්, රබර් හා ටින් ප්‍රධාන වේ. ආසියාන් කලාපයේ භූමි ප්‍රමාණය සමස්ත ලෝක භූමි ප්‍රමාණයෙන් 3%ක් පමණ වේ. ආසියාන් සංවිධානයේ රටවල් වේගයෙන් දියුණු වීමට තවත් හේතුවක් වූවේ ඇමරිකාව හා ජපානය වැනි දියුණු ආර්ථික බලවතුන් සමඟ ඉතා සහයෝගයෙන් ක්‍රියා කිරීමයි. පසුගිය කාලය තුළ පමණක් ජපානය සිය විදේශ ආධාරවලින් 38% ක් ම ආසියානු සංවිධානයේ රාජ්‍යයන් වලට ලබා දී ඇත.  

    මීට අමතරව ව්‍යාඝ්‍ර පෝතකයන් (Tiger Cubs) ලෙස හඳුන්වනු ලබන නැගෙනහිර හා අග්නිදිග ආසියානු කලාපයේ ආර්ථික වර්ධන වේගය 7%කටත් වඩා වැඩි අගයකින් සංවර්ධනය වන රාජ්‍යයන් අතරින් රාජ්‍යයන් 05ක්ම (තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය, සිංගප්පූරුව, මැලේසියාව) මෙම කලාපයට අයත් වීම මත ආසියාන් කලාපය ම ලෝකයේ ප්‍රමුඛ ආර්ථික බලවතෙකු බවට පත් වී ඇත. බොහෝ අවස්ථාවන්හි දී මෙම කලාපයේ රාජ්‍යයන් අනෙකුත් දියුණු රාජ්‍යයන් සමඟ ආර්ථික සහයෝගිතා ගිවිසුම්වලට එකඟ වන්නේ, තනි තනි ව නොව කලාපයක් ලෙස එක්සත්වය. එමගින් ලැබෙන ප්‍රතිලාභ කලාපයට ම‍ පොදු වීම මත එම සංවිධානයේ සාර්ථකත්වය ද වර්ධනය වී ඇත.

    වර්තමානය වන විට ආසියාන් සංවිධානය තම ආරම්භක අරමුණුවලින් බහුතරයක් සපුරාගෙන ඇති බව අවබෝධ කර ගත හැක. විශේෂයෙන්ම කලාපීය සාමය පවත්වා ගැනීම සහ කලාපීය ආර්ථික, සමාජීය හා පොදු පහසුකම් වර්ධනය කර ගැනීම මඟින් එහි ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට ද සමත් වී ඇත. එහි සාර්ථකත්වය කෙතරම් ද යත් එය දුර්වලව ආරම්භ වූ මුල් අවදියේ දී ඊට සම්බන්ධවන ලෙස ආරාධනාවක් ශ්‍රී ලංකාවටද ලැබුණු අතර ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හමුවේ එය ප්‍රතික්ෂේප කර දමන ලදි. පසුව ආසියාන් සංවිධානයේ සාර්ථකත්වය හමුවේ ලංකාව නැවතත් 1980 දශකයේ දී එහි සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කිරීමට ඉදිරිපත් විය. නමුත් ඒ වන විට සංකීර්ණ වී පැවති ආසියාන් සංවිධාන සැකැස්ම හමුවේ එම කලාපයට අයත් නොවූ ලංකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. මෙලෙසින් තවත් රාජ්‍යයන් ගණනාවක් ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලුම් කර තිබෙන අතර රාජ්‍යයන් කීපයක් තවමත් නිරීක්‍ෂණ මට්ටමින් පසු වේ. මේ ‍හේතුවෙන් ම ආසියාන් සංවිධානය ආදර්ශයට ගනිමින් දකුණු ආසියානු රාජ්‍ය නායකයන් ද සාර්ක් (SAARC) නමින් එවැනි ම කලාපීය සංවිධානයක් බිහි කර ගත් නමුත් එව තවමත් ආසියාන් සංවිධානය මෙන් සාර්ථකත්වයට පත් වී නැත.

    මේ ආකාරයෙන් ආසියාන් සංවිධානය කලාපය තුළ මෙන් ම ලෝකය තුළ ද ප්‍රමුඛ ආර්ථික බලවතෙකු බවට පත් වී තිබෙන අතර එම කලාපීය රාජ්‍යයන් එක්සත් ව ආසියාන් සංවිධානය සමඟ බැදී සිටීම හේතුවෙන් පොදු ගැට‍ළුවල දී ලෝක මට්ටමෙන් බලපෑම් ඇති කිරීමේ හා කේවල් කිරීමේ හැකියාව ද ලබාගෙන ඇත. නමුත් එම කලාපීය රාජ්‍යයන් තනි තනි ව කටයුතු කලේ නම් එලෙස සංවර්ධනය වීමට හෝ ලෝක බලවතුන් ඉදිරියේ ශක්තිමත් ව නැගී සිටීමට නොහැකි වනු ඇත. එක්සත් බව හා දූරදර්ශී බව ආසියාන් සංවිධානයේ සාර්ථකත්වය බව ඉහත කරුණු අධ්‍යනයේ දී නිගමනය කල හැක.

 මෙම පැවරුම මගින් ආසියාන් සංවිධානය ආරම්භ වීමට ප්‍රථම මෙම කලාපයේ තත්ත්වය, ආසියාන් සංවිධානයට පෙර තිබූ කලාපීය සහයෝගිතා සංවිධාන හා ඒවායේ අසාර්ථකත්වය, ආසියාන් සංවිධානය ආරම්භ වීමේ පසුබිම හා අවස්ථා, ආසියාන් සංවිධානයේ අරමුණු, පැවැත්ම හා ක්‍රියාවලිය පිළිබඳව මෙන් ම සමාලෝචනය මගින් ආසියාන් සංවිධානය මුහුණ දුන් අභියෝග සහ එහි සාර්ථකත්වය පිළිබඳ තොරතුරු දක්වා ඇති අතර එවැනි සංවිධානයන්ගේ වැදගත්කම ද අවධාරණය කිරීමට උත්සහ කෙරුවෙමි.


මූලාශ්‍ර

  • කරුණාදාස, ඩබ්ලිව් එම්. ගොලීයකරණය හා කලාපීයකරණය, දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 1999.
  • කරුණාදාස, ජාත්‍යන්තර සංවිධාන, දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 2000.
  • කරුණාදාස, තුන්වන ලෝකයේ දේශපාලනය හා ආර්ථිකය, දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 2003.
  • විජේනායක, අමරසිරි., එදා සිට අද දක්වා මෙදෙස් විදේස් දේශලාන වෙනස් වීම්, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002.
  • විජේසිංහ, නාමල්., දේශපාලන විද්‍යාව 2, දන්කොටුව: වාසනා ප්‍රකාශකයෝ, 2002.
  • දේශපාලන විද්‍යාවේ මූලිකාංග 1, බත්තරමුල්ල: අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2007.
  • Google.lk/
  • Microsoft ® Encarta ® 2008. © 1993-2007 Microsoft Corporation.
  • http://www.asean.org/asean/asean

Wednesday, 10 March 2021

වියට්නාම් යුද්ධයේ ප්‍රධාන අදියරයන් සැකෙවින්.

වියට්නාම් යුද්ධය යනු ශතවර්ෂ ගණනාවක් පුරා සිදු වූ අධිරාජ්‍යවාදයේ හා යටත් විජිතවාදයේ එක් පැතිකඩයකි. අතීතයේ දී එය චීන අධිරාජ්‍යයට යටත්ව තිබූ අතර චීන අධිරාජ්‍ය දුර්වල වීමත් සමඟ එම ප්‍රදේශ ප්‍රංශ ග්‍රහණයට නතු විය. 1800න් පමණ පසු එම ප්‍රදේශ ප්‍රංශ ඉන්දු-චීනය ලෙස හඳුන්වනු ලැබීය. වියට්නාමය ද ඇතුළුව කාම්බෝජය හා ලාඕසය ද ඉන්දු-චීනයේ කොටස් ලෙස පැවතිණ. 20වන සියවස අරම්භ වන විට ප්‍රංශ අධිරාජ්‍යයට විරුද්ධව ඉන්දු චීනය ආශ්‍රිත ප්‍රදේශවල ජාතික ව්‍යාපාර ආරම්භ වූ අතර එහි මූලිකත්වය ගනු ලැබූ‍වේ හෝචි මිංගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ වියට්නාම් නිදහස් ලීගය හෙවත් වියට් මිං සංවිධානයයි.      

දෙවන ලෝක සංග්‍රාමයේ දී යුරෝපය තුළ දී ප්‍රංශය, ජර්මනිය හමුවේ පරාජය වූ අතර අග්නිදිග ආසියාවේ දී ජපානය හමුවේද පරාජය විය. ඒ අනුව ජපානය විසින් ප්‍රංශය සතු වූ ඉන්දු-චීන ප්‍රදේශ 1940 දී පමණ අක්‍රමණය කර යටත් කර ගන්නා ලදි. ඉන් පසු ජපාන බලයට විරුද්ධව ප්‍රබල ප්‍රතිවිරොධතාවයක් දැක්වීමට හෝචි මිංගේ, වියට් මිං සංවිධානය සමත් විය. ජපානය දෙවන ලෝක සංග්‍රාමය පරාජය වීමත් සමඟ වියට් මිං සංවිධානය, හැනෝයි නගරය අල්ලා ගනිමින් 1945 සැප්තැම්බර් 2 වන දින ප්‍රජාතන්ත්‍රවාදී වියට්නාම් ජනරජය ලෙස නිදහස ප්‍රකාශය කරනු ලැබීය. නමුත් ප්‍රංශය ඊට විරෝධය දැක්වූ අතර වියට්නාම් නිදහස් ව්‍යාපාරයේ තවත් නායකයෙකු වූ ඩීන් ඩියම්ද (Ngo Din Diem) හැනෝයි කේන්ද්‍රකොටගත්,‍ කොමියුනිස්ට්වාදී උතුරු වියට්නාම් ප්‍රදේශවල නිදහස ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව එම ප්‍රදේශ නැවත අල්ලා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ප්‍රංශය උතුරේ වූ හෝචි මිංගේ, වියට් මිං හමුදාවත් සමඟ යුද්ධයකට අවතීර්ණ විය. මෙහි දී කොමියුනිස්ට්වාදී උතුර වියට්නාමයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රංශයට ආධාර දීමට ඇමරිකාවද ඉදිරිපත් විය. ඒ අනුව ප්‍රංශ හමුදා වියට්නාමයෙන් ඉවත් වන තෙක් ඇමරිකාව විසින් ප්‍රංශයට යුද්ධ ආධාර ටොන් 19,000,000 පමණ සපයා දී තිබිණි.

හෝචි මිං විසින් 1946 වසරේ සිට 1954 දක්වා දකුණු වියට්නාමයේ  සයිගෝන් නගරය කේන්ද්‍රකොටගෙන බාඕ දායි අධිරාජ්‍යයා ප්‍රමුඛ, ප්‍රංශ බලයට විරුද්ධව ගරිල්ලා යුද්ධයක් දියත් කරන ලදි. මෙලෙස හෝචි මිංගේ උතුරු වියට්නාමයට මුලදී සෝවියට් දේශයේ ද, 1949න් පසුව කොමියුනිස්ට් චීනයෙන් ද ආධාර හිමි වූ අතර දකුණු වියට්නාමයට ප්‍රංශයෙන් හා ඇමරිකාවෙන් යුද ආධාර හිමි විය. ඉතා දීර්ඝ හා විනාශකාරී යුද්ධයකින් අනතුරුව වියට්මිං හමුදාවේ සෙන්පති ගියප්ගේ මෙහෙය වීම යටතේ 1954 මැයි 07වන දින සිදු වූ සුප්‍රකට ඩියන් බියන් පූ සටනින් (Battle of Dien Bien Phu) උතුරු වියට්නාම් හමුදා ජයග්‍රහණය කිරීමත් සමඟ ප්‍රථම ඉන්දු යුද්ධය අවසන් විය. 

ඉන් පසු 1954 ජූලි 20 වන දින ජිනීවාහිදී අත්සන් කරන ලද ගිවිසුමකට අනුව (Geneva Accords), 17 වන අක්ෂාංශ සමාන්තර රේඛාව ඔස්සේ කොමියුනිස්ට්වාදීන්ගේ බලය සහිත උතුරු වියට්නාමය සහ ප්‍රංශ සහය ලත් දකුණු වියට්නාමය ලෙස රට තාවකාලිකව කොටස් දෙකකට බෙදා වෙන් කෙරිණි. තවද 1956 ජූලි 20 වන දා ට ප්‍රථම උතුරු හා දකුණු වියට්නාම ප්‍රදේශ ඒකාබද්ධ කිරීමේ අරමුණින් සමස්ත ප්‍රදේශයේ ම මහ මැතිවරණයක් පැවැත් විය යුතු විය. 

මේ වන විට ප්‍රංශයට විශාල ජීවිත හා මූල්‍ය අලාබ හානියක් ඉන්දු චීනය තුළ දී දැරීමට සිදු වී තිබූ අතර දෙවන ලෝක යුද්ධය හේතුවෙන් යුරෝපය තුළ දී ආර්ථික අවපාතයකට ද මුහුණ දීමට සිදු වී තිබිණි. ඒ හේතුවෙන් ම ප්‍රංශය, ඉන්දු චීනය තුළ තම යුද ව්‍යාපාර තව දුරටත් පවත්වාගෙන යාමට මැලි කමක් දැක්වීය. නමුත් සීතල යුද සමයේ දී ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය කොමියුනිස්ට් විරෝධී වීමේ ප්‍රතිඵලයක් ලෙස අග්නිදිග ආසියාවේ කොමියුනිස්ට් ව්‍යාප්තිය, ඇමරිකාව විසින් තමන්ට තර්ජනයක් ලෙස සලකන්නට විය. ඒ අනුව ඇමරිකාවේ සහය ලත් ඩීන් ඩියම් විසින් 1954දී දකුණු වියට්නාමය තුළ වියට්නාම් ජනරජය පිහිටුවනු ලැබූ අතර 1955දී දකුණු වියට්නාමයේ පවත්වනු ලැබූ ජනමතවිචාරණයක් මගින් බාඕ දායි පරාජයට පත් කර එහි අසහාය නායකයා වීමට ද ඩියම්ට හැකි විය. තවද 1956 දී පැවැත්වීමට යෝජනා වී තිබූ මහ මැතිවරණය හෝචි මිං විසින් ජයග්‍රහණය කරනු ලැබුවොත් දකුණු ප්‍රදේශවල ද කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත වේ යැයි බිය වූ දකුණු වියට්නාමය විසින් එම මහ මැතිවරණය අවලංගු කරණු ලැබීය. දකුණු වියට්නාමයට සහයදුන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධනවාදී බලවතුන් විසින් කොමියුනිස්ට් විරෝධී ව්‍යාපාරයක් ලෙස බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛත්වයෙන් ප්‍රංශය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, පකිස්ථානය, පිලිපීනය හා තායිලන්තය යන රටවලින් යුත් අග්නිදිග ආසියාතික ගිවිසුම් සංවිධානය (SEATO - South East Asian Treaty Organization ) පිහිටුවනු ලැබූ අතර දකුණු වියට්නාමයට යුධ හා ආර්ථික ආධාර ලබා දීමට ඇමරිකාවේ ජනාධිපති අයිසන්හවර් ඉදිරිපත් විය. ඒ අනුව ඇමරිකාව විසින් ඩොලර් 74,000,000ක යුධ අවි හා  ආර්ථික ආධාර ලෙස ඩොලර් කෝටි 160ක් ලබා දී ඇත.

කෙසේ වෙතත් දකුණු වියට්නාමයේ පරිපාලනය ගෙන ගිය ඩීන් ඩියම්ගේ පාලනය සුබ දායක නොවීය. ඩියම්ගේ පාලන ප්‍රතිපත්ති ඉතාමත් පීඩාකාරී මෙන් ම අර්ථ ශුන්‍ය විය. ඔහු රට තුළ කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තියක් ගෙන ගිය අතර කොමියුනිස්ට්වාදීන් හා බෞද්ධයන් මර්දනය කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් ජනතා අප්‍රසාදයට ද පත් විය. මෙය අවස්ථාවක් කර ගත් හෝචි මිං විසින් දකුණේ වූ ඩීන් ඩියම්ගේ පාලනය හේතුවෙන් පීඩාවට පත් ග්‍රාමීය ගොවි ජනතාවගේ සහයෝගය දිනා ගැනීමට සමත් විය. දකුණු වියට්නාම් පාලනයට විරුද්ධව සටන් කිරීම සඳහා 1960 දෙසැම්බර් 20 වන දින වියට්නාම් විමුක්ති ව්‍යාපාරය (National Liberation Front) නොහොත් වියට්කොං සංවිධානය පිහිටුවා ගැනීමට හැකි විය. 

විශේෂයෙන් ම මහ මැතිවරණයක් පැවැත්වීම, දකුණු වියට්නාමය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ උතුරු වියට්නාමයේ අරමුණ වූයේ යුද්ධ කොට හෝ වියට්නාමය ඒකාබද්ධ කළ යුතු බවයි. මේ සඳහා උතුරු වියට්නාමය ආර්ථික හා යුදමය වශයෙන් ශක්තිමත් කිරීමට කටයුතු කරනු සඳහා හෝචි මිං විසින් සිය කොමියුනිස්ට්වාදී කම්කරු පක්‍ෂය (DAN  LAO  DENG) මඟින් උතුරු වියට්නාමය තුළ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නට විය. ඒ අනුව ඉඩම් හා පතල් ජනසතු කරමින් සාමූහික ගොවිපළ ඇති කරන ලදි. නමුත් මෙයට විරුද්ධව උතුරේ ඉඩම් හිමියන් විසින් 1956 දී විශාල කැරැල්ලක් ඇති කරනු ලැබුවත් එය ඉතා දරුණු ලෙස මර්දනය කරමින් උතුරේ වූ සමාජවාදය රැක ගැනීමට හෝචි මිං සමත් විය. තවද කොමියුනිස්ට්වාදය සම්බන්ධයෙන් සෝවියට් දේශය හා චීනය අතර ඇති වූ මතවාදීමය අරගලය හමුවේ වුවද දෙරටේ ම හොඳ හිත දිනා ගනිමින් යුද හා ආර්ථික ආධාර තම රටට ලබා ගැනීමට සමත් වීම මඟින් තම රට ස්ථාවර ව හා ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට හෝචි මිංට හැකි විය. 

නමුත් දකුණේ වූ ඩීන් ඩියම්ගේ පාලනය ඉතාමත් ම දූෂිත වූ අතර 1960 හා 1962 යන වර්ෂවල දී ඩියම් පාලනයට විරුද්ධව අසාර්ථක කුමන්ත්‍රණ දෙකක් ද ඇති විය. මේ හේතුවෙන් ඇමරිකානු ජනාධිපති වූ ජෝන් එෆ්. කෙනඩි විසින් 1962 දී යුද විශේෂඥයින් හා 11000ක පමණ ඇමරිකානු හමුදාවක් දකුණු වියට්නාමයට යවනු ලැබූ අතර ඕනෑම මොහොතක සටන් කිරීම සඳහා අවශ්‍ය නියෝග ද ලබා දෙන ලදි. නමුත් තම අරමුණු ඩීන් ඩියම් මඟින් ඉටු කර ගැනීමට අපහසු බව ‍තේරුම් ගත් ඇමරිකාව විසින් තම අනු දැනුමද ඇති ව 1963 නොවැම්බර් 01 දින ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයට සහය දෙන ලදි. එහි දී ඩීන් ඩියම් ඝාතනය වූ අතර හමුදා පාලනයක් දකුණු වියට්නාමය තුල ඇති විය. මේ සමඟ ම වියට්නාමය කෙරෙහි ඇමරිකාවේ ඍජු මැදිහත් වීම වර්ධනය වූ අතර කෙනඩිගේ ඝාතනයෙන් පසු ජනාධිපති වූ ලින්ඩන් බී ‍ජොන්සන් විසින් ඇමරිකානු හමුදා ඍජුව ම වියට්නාම් යුද්ධය සඳහා සහභාගී කරවනු ලැබීය. 

විශේෂයෙන් ම උතුරු වියට්නාම් හමුදා විසින් 1964දී ටොන්කින් බොක්කේ (Gulf of Tonkin) නවතා තිබූ ඇමරිකානු නාවික හමුදාවට අයත් නැව් කීපයකට ප්‍රහාරයක් එල්ල ‍කලේ යැයි යන චෝදනාව මත ටොන්කින් බොක්කේ යෝජනාව (Gulf of Tonkin Resolution) ඇමරිකානු කොංග්‍රසය තුළ දී සම්මත කර ගනිමින් ඍජුව ම උතුරු වියට්නාමයට විරුද්ධව යුද්ධ කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් විය. (කෙසේ වෙතත් මෙම ටොන්කින් ප්‍රහාරය, උතුරු වියට්නාමය සඳහා ඍජු හමුදා මැදිහත් වීමක් සඳහා ඇමරිකාව විසින්ම තම නාවික හමුදාව වෙත රහසේ එල්ල කරන ලද ප්‍රහාරයක් බව ඇතමකුගේ මතයයි.) මෙම යුද මැදිහත් වීමේ ප්‍රධාන අරමුණ ලෙස ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ‍වේ උතුරු වියට්නාමය විසින් දකුණු වියට්නාමයට හා ලාඕසය කෙරෙහි කරනු ලැබූ මැදිහත් වීම වැළැක්වීම බවයි. නමුත් එහි සැබෑ අරමුණ වූයේ උතුරේ වූ කොමියුනිස්ට්වාදී පාලනය පරාජය කිරීමයි. ඒ අනුව ඇමරිකානු හමුදා දකුණු වියට්නාම් සමූහාණ්ඩු හමුදා (ARVN- Army of the Republic of Vietnam) සමඟ එක් ව 1965දී දියත් කරන්නට යෙදුණු “Operation Rolling Thunder” නම් මෙහෙයුම යටතේ වියට්නාම් ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කරන්නට විය. නමුත් 35000ක් පමණ වූ වියට්කොන් ගරිල්ලන් මර්දනය කිරීම දකුණු වියට්නාම් හමුදාවට අපහසු වීමත් සමඟ ඇමරිකානු ජනාධිපති වූ ලින්ඩන් ජොන්සන් විසින් සිය දෙවන දූර කාලයත් සමඟ වියට්නාමය තුළ ඇමරිකානු යුද ප්‍රහාර තවත් වර්ධනය කරන්නට විය. ඒ අනුව 1966 වන විට 400,000ක් දක්වා ද 1968 පමණ වන විට 550,000ක් දක්වා ද වූ ඇමරිකානු හමුදාවක් වියට්නාම් යුද්ධය සඳහා සහභාගී විය. 

1965-1968 අතර කාලයේදී වියට්නාම් යුද්ධය ඉතා දරනු ලෙස වර්ධනය වූ අතර වියට්කොන් ගරිල්ලන් විසින් ගරිල්ලා ප්‍රහාර මෙන් ම රහසිගතව නිර්මාණය කරන ලද භූගත උමං මාර්ග යොදා ගනිමින් ඇමරිකානු හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන විය. ඇමරිකානු හමුදාවේ ජෙනරාල්වරයෙකු වූ විලියම් වේස්ටර් මෝලන්ඩ්ගේ අණ දීම යටතේ සොය සොයා පහරදීමේ (Search and Destroy Operation) උපක්‍රමයක් ඇමරිකානුවන් විසින් ද ක්‍රියාත්මක කරන්නට විය. නමුත් මෙම ප්‍රහාර මගින් වියට්නාමය තුළ කොමියුනිස්ට්වාදය හෝ වියට්කොන් ගරිල්ලන්ගේ ප්‍රහාර අඩපණ කිරීමට ඇමරිකාවට නොහැකි වූ අතර 1965 පෙබරවාරි 07 වන දින ඇමරිකානු හමුදා මූලස්ථානයක් වූ “Pleiku” නම් ස්ථානයට ද පෙබරවාරි 10 වන දින ඇමරිකානු යුධ අවි අටවා තිබූ Qui-Nhon නම් ස්ථානයට ද දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට වියට්කොන් ගරිල්ලන් සමත් විය. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව මෙවැනි ගොඩබිම් යුද්ධ සඳහා සහභාගී නොවී සිටි ඇමරිකන් සෙබළුන්ට තමන්ට නුපුරුදු අග්නිදිග ආසියානු පරිසරයක් තුළ ගරිල්ලා ප්‍රහාරවලට මුහුණ දීම ඉතාමත් ම අසීරු විය. ගොඩබිම් ප්‍රහාරවල දී සාර්ථකව මුහුණ දීමට අසමත් වූ ඇමරිකානු හමුදා වියට්කොන් ගරිල්ලන්ගේ ප්‍රහාර හා උගුල්වලට හසු වී විශාල වශයෙන් මියයන්නට හා ඉතා දරුණු තුවාලවලට ගොදුරුවන්න විය. මේ ‍හේතුවෙන් උතුරු වියට්නාමයේ අගනුවර වූ හැනෝයි නගරයට හා දකුණු වියට්නාමයේ වියට්කොන් ගරිල්ලන්ගේ තර්ජනයට ලක් ව ඇති ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු ගුවන් හමුදාව කටයුතු කරන්නට විය. 

ඒ අනුව 1972 දක්වා ඇමරිකානු හමුදා විසින් ඉතිහාසයේ දරුණුතම රසායනික අවි ප්‍රහාරය වියට්නාමයට එරෙහිව එල්ල කලේ ය. “Operation Trail Dust” යනුවෙන් නම් එම මෙහෙයුම මඟින් “Agent Orange” නමින් ප්‍රසිද්ධ, ඩයෙක්සින් සහ අනෙකුත් විෂ වායු ටොන් දසලක්‍ෂ ගණනින් වියට්නාමයේ වනාන්තර ප්‍රදේශවලට එල්ල කෙරිණි. තවද ඇමරිකානුවන් විසින් වියට්නාමයට එල්ල කරන ලද නපාල්ම් බෝම්බ (Napalm) ඉතාමත් ම බිය ජනක සුළු ප්‍රහාර විය. පෙට්‍රල් හා ඇලුමිනියම් යන මූලික ද්‍රව්‍ය යොදා නිර්මාණය කරන ලද එම බෝම්බය මඟින් එය වැටුණු ප්‍රදේශයේ මීටර් 20ක් පමණ ගිනි ගනු ලබන අතර වතුර දැමුණ විට තව තවත් ගින්න ව්‍යාප්ත වේ. මෙවැනි ඇමරිකානු රසායනික ප්‍රහාර හමුවේ ලක්‍ෂ සංඛ්‍යාත වියට්නාම් වැසියෝ පිරිසක් මරණයට පත් වූහ. 

මෙවැනි ප්‍රහාර හමුවේ ඇමරිකානු සහය ලැබූ Nguyen Cao Kyගේ දකුණු වියට්නාම් රජය තව තවත් ජන අප්‍රසාදයට ලක් වූ අතර ජනතා සහය වියට්කොන් ගරිල්ලන්ට හා උතුරේ වූ වියට්මිං හමුදාවන්ට ලැබිණි. මේ හේතුවෙන් උතුරු වියට්නාමයේ කෙසේ වෙතත් දකුණු වියට්නාමයේ කොමියුනිස්ට්වාදී හමුදාවන්ගේ ක්‍රියාකාරකම්වත් මර්දනය කිරීමට ඇමරිකානු හමුදා අපොහොසත් විය. එය මනාව පැහැදිලි වූවේ දකුණු වියට්නාමයේ ජාතික ආරක්ෂාව ප්‍රබලව ම අභියෝගයට ලක් කරමින් 1968 ජනවාරි 31 වන දින වියට්කොන් ගරිල්ලන් හා වියට්මිං හමුදා විසින් ඒකාබද්ධ ව දකුණු වියට්නාමයේ ජාතික නව වසර සමරන උත්සවයට එල්ල කරන ලද (Tet Offensive) ප්‍රහාරයයි. එමගින් ඇමරිකානු හා ARVN කඳවුරු පිහිටා තිබූ දකුණු වියට්නාමයේ ප්‍රාදේශීය නගර 36ට හා ප්‍රධාන නගර 05ට එකවර ප්‍රහාර එල්ල කෙරිණි. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ දී ජාතික විමුක්ති හමුදාවේ(NLF) සාමාජිකයන් 33, 000ට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීමට ඇමරිකානු හමුදාවන්ට හැකි වූ නමුත් එය තම ජයග්‍රහණය සඳහා සාධකයක් නොවීය. 

කෙසේ වෙතත් මේ වන විට ඇමරිකානුවන් විසින් වියට්නාමයේ ගෙන ගිය යුද ව්‍යාපාරය ජාත්‍යන්තර වශයෙන් මෙන් ම ඇමරිකානු ජනතාව තුළ ද අප්‍රසාදය ඇති කරවන්නක් විය. මන්ද යත් ඇමරිකානු හමුදා විසින් වියට්නාමයේ ක්‍රියාවට නඟන ලද යුධ ව්‍යාපාර ඉතා තිරශ්චීන වූ අතර විශාල වශයෙන් යුධ අපරාධ චෝදනා ඇමරිකානු හමුදාවන් වෙත එල්ල වීමයි. එය ප්‍රබල වූ අවස්ථාවක් වූයේ 1968 ජනවාරි මාසයේ දී සිදු වූ වියට්කොන් ප්‍රහාරය මර්දනය කිරීමේ අරමුණින් ඇමරිකානු හමුදා විසින් කොමියුනිස්ට්වාදීන් මෙන් ම අහිංසක සිවිල් ජනතාව විශාල වශයෙන් ඝාතනය කරන ලද “My Lai Massacre” සිදුවීමයි. මේ හේතුවෙන් වියට්නාම් යුද්ධයට ඇමරිකානු මැදිහත් වීම නතර කළ යුත් බවට මහජන මතයක් ඇමරිකාව තුළ ගොඩ නැගෙන්නට වූ අතර දහස් ගණනින් විරෝධතාකරුවන් යුධ විරෝධි පාගමන් හා සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාර හරහා වියට්නාම් යුද්ධයට, ඇමරිකානු මැදිහත් වීම හෙළා දකින්නට විය. ඔවුන් නඟන ලද ප්‍රධානතම තර්කය වූවේ වියට්නාමයේ අභ්‍යන්තර අර්බුදයක් වූ එහි සිවිල් යුද්ධයට මැදිහත් වීමට ඇමරිකාවට ඇති සදාචාරාත්මක අයිතිවාසිකම කුමක් ද යන්නයි. 

ඇමරිකානු ජනතාවගේ අප්‍රසාදය වියට්නාම් යුද්ධය හෙවත් දෙවන ඉන්දු-චීන යුද්ධය (Vietnam War, also known as the Second Indochina War, military struggle fought in Vietnam from 1959 to 1975, involving the North Vietnamese and the National Liberation Front (NLF) in conflict with United States forces and the South Vietnamese army.), කෙරෙහි ප්‍රබලව ම එල්ල වීමට බලපාන ලද සාධකයක් වූවේ ඇමරිකානු සෙබළුන් දහස් ගණනින් වියට්නාමය තුළ දී ඝාතනයට ලක්වීමයි. තමන්ට අයිති නැති යුද්ධයකට, මැදිහත් වීම හේතුවෙන් තම ඥාතීන්ගේ, හිත මිත්‍රයන්ගේ මළසිරුරු සිය ගණනින් දිනකට තම රටට නැවත ගෙන ඒම ඇමරිකානුවන්ට ඉවසුම් නොදෙන්නක් විය. තවද දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව මහා පරිමාණ ගොඩ බිම් සංග්‍රාමයකට මුහුණ දී නොතිබුණු ඇමරිකානු සෙබළුන්ට තමන් නොදන්නා රටක් තුළ හා කිසිසේතම නුහුරු පරිසරයක සටන් කිරීම විශාල අපහසුතා ඇති කරවන්නක් විය. ඒ හේතුවෙන් යුද භූමිය තුළ දී මිය යන ඇමරිකානු සොල්දාදුවන්ගේ ප්‍රමාණය ඉහල ගිය අතර තම සගයන් ඉතා බියජනක ලෙස වියට්කොන් ප්‍රහාරවලට ගොදුරු වෙමින් මිය යාම හා යුද්ධය නිම වන දිනයක් අපේක්ෂා කල නොහැකි තත්ත්වයක් යටතේ ඇමරිකානු සොල්දාදුවන්ගේ මානසිකත්වයද බිද වැටෙන්නට විය. මේ හේතුවෙන් හමුදාව අතහැර පළා යන ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් ඉහල ගිය අතර මානසික පීඩනය හේතුවෙන් ඇමරිකානු සොල්දාදුවන් අතින් වියට්නාමය තුළ සිදු වන යුද අපරාධ ප්‍රමාණයද වැඩි විය. ඒ හේතුවෙන් ම ජාත්‍යන්තර අප්‍රසාදය හා බලපෑම ඇමරිකාව කෙරෙහි එල්ල වූ අතර 1968 මාර්තු 31 වන දින ප්‍රකාශයක් මඟින් අංශක 20 සමාන්තරයෙන් උතුරට බෝම්බ හෙළීම නතර කරන බවට පොරොන්දු වෙමින් ඇමරිකානු ඉතිහාසයේ වැඩි ම ජනතා අප්‍රසාදයට පත් ජනාධිපතිවරයා ලෙස තවත් දූර කාලයක් සඳහා තරඟ කිරීමේ හැකියාව තිබිය දී ම තම තනතුර අතහැර යාමට ලින්ඩන් ජොන්සන්ට සිදු විය. 

1969 වසර වන විට ඇමරිකාව හා උතුරු වියට්නාමය අතර සාම සාකච්ඡා අරම්භ වූ අතර ඒ හේතුවෙන් සිදු වූ සංග්‍රාමය යම් තාක් දුරකට අවම විය. පසුව ඇමරිකාවේ ජනාධිපති වූ රිචඩ් එම්. නික්සන් (Richard M. Nixon) තම ඡන්ද පොරොන්දු අනුව වියට්නාමයේ සිටි ඇමරිකානු සොල්දාදුවන් 540.000 පමණ වූ පිරිස ක්‍රමානුකූල ව නැවත ගෙන්වා ගන්නා ලදි. ඒ අනුව පළමු ව සෙබළුන් 25000ක් නැවත ගෙන්වා ගත් අතර ඉදිරි වසර කීපය තුළ දී තව දුරටත් එය වර්ධනය කරමින් දකුණු වියට්නාම් රජයට ඇමරිකාව ගෙන ගිය යුද්ධය පවරනු ලැබීය, (Americanization to Vietnamization). නමුත් දිගින් දිගටම දකුණු වියට්නාමයේ වූ ජනපති න්ගුයෙන් වැන් තියූ (Nguyen Van Thieu) ගේ පාලනයට නික්සන් පාලනය විසින් තවදුරටත් යුධ හා ආර්ථික ආධාර ලබා දීමට ඉදිරිපත් විය. මේ හේතුවෙන් 1970 - 1973 අතර කාලයේ සාම සාකච්ඡා ක්‍රියාත්මක වුවත් දෙපාර්ශවය අතර වරින් වර දරුණු ගැටුම් ද ඇති විය. එවැනි එක් අවස්ථාවක් වූවේ උතුරු වියට්නාම් හමුදාවන්ට ක්ෂේම භූමියක් බදු වූ හොචි මිං පියමග විනාශ කිරීමට හා ඇමරිකාවට පක්ෂපාතී ලාඕසයට විරුද්ධව පැතට් ලාඕ (Pathat Lao) කොමියුනිස්ට්වාදීන් විනාශ කිරීමේ අරමුණින් ඇමරිකානු හා දකුණු වියට්නාම් හමුදා විසින් කාම්බෝජ දේශ සීමා ආක්‍රමණය කිරීමයි. මේ හේතුවෙන් 1970 සිට 1973 දක්වා පැවති සාම සාකච්ඡා අතරම ඇමරිකානු හා දකුණු වියට්නාම් ඒකාබද්ධ හමුදාවන්ට විරුද්ධව වියට්කොන් හා වියට්මිං ඒකාබද්ධ හමුදා සටන් කරන්නට විය. 

1973 ජනවාරි මාසයේ පැරීසියේ දී පැවති සම සාකච්ඡා සඳහා ඇමරිකාව ප්‍රමුඛ දකුණු වියට්නාමයත්, උතුරු වියට්නාමය ප්‍රමුඛ වියට්කොන් හමුදාත් සම්බන්ධ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම වසරේ ම ජනවාරි 27 වන දින සටන් විරාමයක් වියට්නාමය තුළ ප්‍රකාශයට පත් කෙරිණි. ජනවාරි 28 දින සිට ක්‍රියාත්මක කරන ලද එම ගිවිසුමට එකඟතා කීපයක් ම විය. ඒ අනුව උතුරු හා දකුණු වියට්නාමයේ සිටින සියලු ම ඇමරිකානු හමුදා නැවත කැඳවීම හා සියලු ම ඇමරිකානු හමුදා කඳවුරු වියට්නාම් භූමියෙන් ඉවත් කිරීම, සියලු ම යුද සිරකරුවන් නිදහස් කිරීම, සාමය පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර හමුදාවක් පත් කිරීම, දකුණු වියට්නාමයේ ඉරණම ඇය විසින්ම තීරණය කිරීම, දකුණේ සිටින උතුරු වියට්නාම් හමුදාවන්ගේ සංඛ්‍යාව එලෙස ම පවත්වා ගැනීම හා 17 සමාන්තර ය උතුර හා දකුණ වෙන් කරණ සීමාව ලෙස තවදුරටත් සලකමින් අවසානයේ රට ඒකාබද්ධ කිරීමට සැලසුම් කිරීම යන කරුණු ඒ අතර ප්‍රධාන වූ අතර 1973 ජුලි මාසයේ අත්සන් කරන ලද කරුණු 14කින් යුත් ගිවිසුමක් මඟින් තව දුරටත් තහවුරු කරනු ලැබීය. 

1973 අගෝස්තු මාසයේ දී ඇමරිකානු කොංග්‍රසය විසින් යෝජනාවක් සම්මත කරමින්, තවදුරටත් වියට්නාමයේ යුද කටයුතු සඳහා මැදිහත් වීමට, ඇමරිකානු රජයට හා හමුදාවට තහනම් කිරීමත් සමඟ දකුණු වියට්නාමය තුළ ඉතිරි වූයේ ඇමරිකානු සෙබළුන් ඉතා සුළු ප්‍රමාණයක් පමණකි. මේ හේතුවෙන් 1974-1975 අතර කාලයේදී දකුණු වියට්නාමයේ ඇති වූ කොමියුනිස්ට් ප්‍රහාර හමුවේ අසරණ වූ එම පිරිසද පළා යන්නට විය. තවද “Watergate scandal” නම් සිදුවීමත් සමඟ රිචඩ් නික්සන් ජනාධිපතිවරයා ද 1974 අගෝස්තු මාසයේ දී සිය තනතුරින් ඉල්ලා අස් විය.  ඒත් සමඟ දකුණු වියට්නාමයේ ආරක්ෂාව දුර්වල වූ අතර 1975 අප්‍රේල් 21 වන දින ජනපති තියූ තනතුරින් ඉල්ලා අස් විය. අප්‍රේල් 30 වන දින දකුණු වියට්නාම් රජය කොන්දේසි විරහිතව යටත් විය. ඒත් සමගම උතුරු වියට්නාම් හමුදා විසින් දකුණේ අගනුවර වූ සයිගෝන් නගරය අල්ලා ගනිමින් එය හෝචි මිං නගරය (Ho Chi Minh City) ලෙස නම් කෙරුණු අතර වියට්නාම් සමාජවාදී සමූහාණ්ඩුව (Socialist Republic of Vietnam) ප්‍රකාශයට පත් කරමින් රටේ අගනුවර ලෙස හැනෝයි නම් කරන ලදි. ඒ අනුව 1976 ජූලි 02දා වියට්නාමය එක්සත් රටක් බවට පත් විය.

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු ව සිදු වූ විශාලතම යුද්ධය ලෙස වියට්නාම් යුද්ධය හැඳින්විය හැකිය. එහි දී සිදු වූ ජීවිත හා දේපළ හානිය ඉතා විශාල වේ. 1945 සිට 1975 දක්වා වසර 30ක් පමණ අඛණ්ඩව සිදු කෙරුණු එම යුද්ධය වියට්නාමයට අමතරව පිටතින් පිහිටා තිබූ ප්‍රංශයේ හා ඇමරිකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන කැලඹිලි රාශියකට හේතු විය. විශේෂයෙන්ම ප්‍රංශ හා ඇමරිකාවේ ආර්ථිකයට මෙම යුද්ධය ප්‍රබල ලෙස ම බලපෑම් අති කරවන්නක් වූ අතර විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් දෙරටට ම අහිමි විය. මෙම යුද්ධය හේතුවෙන් ඇමරිකානුවන් 47,000ක් පමණ මිය ගිය අතර 325,000ක් පමණ තුවාල ලැබූහ. මේ සඳහා ඇමරිකාවට දැරීමට සිදු වූ වියදම පමණක් ඩොලර් බිලියන 20,000 පමණ වේ. මෙම යුද්ධය හේතුවෙන් වියට්නාම් ජනතාව ද ඉතා විශාල ප්‍රමාණයක් මිය ගියහ. එහි දී දකුණු වියට්නාම් සොල්දාදුවන් 250,000 පමණ මිය ගොස් ඇති අතර 320,000ක් පමණ තුවාල ලබා ඇත. මෙහි දී වැඩි ම ජීවිත හානියකට මුහුණ දීමට සිදුවූයේ උතුරු වියට්නාමයට හා වියට්කොන් ගරිල්ලන්ට ය. ඔවුන්ගේ මිය ගිය සංඛ්‍යාව 900,000 පමණ වූ අතර 2,000,000 පමණ පිරිසක් තුවාල ලබා ඇත. මීට අමතරව ඇමරිකාව විසින් යුද නීති උල්ලංඝනය කරමින් රසායනික අවි යොදා වියට්නාමය තුළ විශාල සංහාරයක් සිදු කරනු ලැබීය. විශේෂයෙන් ම එම ප්‍රහාර හේතුවෙන් මියගිය හා අතුරු ආබාධවලට ලක් වූ අහිංසක වියට්නාම් වැසියන්ගේ සංඛ්‍යාව ඉතා විශාල වේ. ස්වාභාවික පරිසරයට සිදු වූ හානිය ගණන් බැලිය නොහැකි තරම් අධික ය. 

කෙසේ වෙතත් තමන්ගේ නිදහස වෙනුවෙන් කුරිරු පාලනයකට විරුද්ධව වියට්නාම් වැසියන් විසින් ගෙන ගිය විමුක්ති ව්‍යාපාරය සදා අමරණීය වන අතර ලෝක බලවතා වූ ඇමරිකාවට එදා මෙදා තුළ අත්විඳින්නට වූ අපකීර්තිමත් ම යුධ පරාජය ලබා දීමට එම ග්‍රාමීය වියට්නාම් වැසියන් සමත් විය. එම වියට්නාම් පොදු ජනතාවගේ ජයග්‍රහණයේ නියමුවෝ දෙදෙනෙක් සිටිති. ඉන් එක් අයෙක් වන්නේ යුධ සමයේ වියට්නාම් ජාතිකයන්ට දේශපාලන දර්ශනය සැපයූ හෝචි මිං ය. අනෙක් තැනැත්තා වන්නේ ඔවුන්ට යුද්ධ ජය මාවත සකසා දුන් වෝ න්ගුයෙන් ගියප් ය (Vo Nguyen Giap). අධිරාජ්‍යවාදයෙන් රට මුදා ගැනීමට ටික දිනකට පෙර හෝචි මිං මිය ගියේ ය. නගුයෙන් ගියප් තවමත් ජීවත් ව සිටී. ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්ට පසුව ලොව බිහි වූ දක්‍ෂතම රණ ශූරයා වන්නේ සෙන්පති ගියප් බව යුධ විශේෂඥයන්ගේ මතය යි. එවැනි ජන නායකයන්ගේ මෙහෙයවීම යටතේ යුද්ධයෙන් විනාශව ගිය වියට්නාමය වර්තමානය වන විට අග්නිදිග ආසියානු කලාපයේ අති ප්‍රබල යුධ ශක්තියකින් හෙබි, ඉතා වේගයෙන් දියුණු වන ආර්ථිකයකින් යුත් එක්සත් සමාජවාදී රාජ්‍යයකි. 

Sunday, 28 February 2021

යටත් විජිත හරණ ක්‍රියාවලියේදී බුරුමය හා මලයාව මුහුණදුන් අභියෝගයන්..

බුරුමය, ඉංග්‍රීසීන් විසින් සම්පූර්ණයෙන්ම පාහේ යටත් කර ගන්නා ලද්දේ 1866 ජනවාරි මාසයේදීය. එතැන් සිට 1937 දක්වා බුරුමය බ්‍රිතාන්‍යය ඉන්දියාවේ ම කොටසක් ලෙස පාලනය කරනු ලැබීය. ආරම්භයේ සිටම බුරුමයේ පාලනය සම්බන්ධයෙන් ප්‍රධාන කොමසාරිස්වරයෙකු පත් කරන ලදි. බුරුමය බ්‍රිතාන්‍යයන් යටතේ තබා ගැනීමේ දී ඔවුන් අරමුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කරවන ලදි. එනම් අග්නිදිග ආසියාවේ ප්‍රංශ බල ප්‍රදේශ අතර පිහිටි ඉංග්‍රීසි ආරක්ෂිත ‍දේශසීමා රාජ්‍යයක් ලෙස බුරුමය තබා ගැනීමත් හා අනෙකුත් බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි ප්‍රධාන ආහාරයන් වන සහල් සැපයීමත් එම ප්‍රධාන අරමුණු විය. බුරුමයේ සිටි ඉංග්‍රීසීන්ගේ ප්‍රධාන කාර්ය වූවේ බ්‍රිතාන්‍ය විරෝධී ව්‍යාපාරයන් හැකි තරම් දුරට මර්දනය කිරීමයි. බුරුමයේ, ඉංග්‍රීසි විරෝධී ගරිල්ලා ව්‍යාපාර සම්පුර්ණයෙන් ම මර්දනය කර ගැනීමට හැකි වූවේ එය යටත් කර ගැනීමෙන් පස් වසරක් පමණ කාලයක් ගත වීමෙන් පසු ය. ඒ හේතුවෙන් ඉංග්‍රීසීන් ලංකාවේදී මෙන් බුරුම විමුක්ති ව්‍යාපාර දුර්වල කරනු සඳහා බුරුම වැසියන්ගේ වාර්ගික විශේෂී බවට අනුබල ලබා දෙන ලදි. 1897 දී ඉංග්‍රීසීන් විසින් බුරුමය, යුධ ආණ්ඩුකාරවරයෙකුගේ යටතට පත් කරනු ලැබීය. ඔහුගේ සහය සඳහා ව්‍යවස්ථාදායක සභාවක් පත් කරන ලදි. මෙම ක්‍රියාවලිය යටතේ බුරුමයට එයට ම ආවේණික වූ පාලන ක්‍රමයක් බ්‍රිතාන්‍ය ඉන්දියාව තුළ ඇති කර ගැනීමට හැකි විය. කෙසේ වෙතත් තව දුරටත් බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ම කොටසක් ලෙස පාලනය වූ බුරුමයට, 1909දී ඉන්දියාවේ ක්‍රියාත්මක කරන්නට යෙදුණු මෝර්ලි - මින්ටෝ ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන් නමුත් බුරුමයේ දේශපාලන ප්‍රතිසංස්කරණ පසුවට සලකා බැලීමේ අරමුණින් 1917 දී ඉන්දියාවට හඳුන්වා දුන් මොන්ටේගු - චෙම්ස්පර්ඩ් ආණ්ඩුක්‍රමය, බුරුමයට හඳුන්වා නොදෙන ලදි. මේ නිසා ඉතා ප්‍රබල බ්‍රිතාන්‍ය විරෝධි ව්‍යාපාර නැවතත් බුරුමය තුළ ආරම්භ වූ අතර එම ව්‍යාපාර ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාෂයද ලබමින් පසුව බුරුම ජාතික ව්‍යාපාරයන් සඳහා පදනම දමනු ලැබීය.

ශ්‍රී ලංකාවේ මෙන් ම බුරුමයේ ජාතික ව්‍යාපාරයන් සඳහා ද ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ බලපෑම ප්‍රබලව එල්ල වූ අතර චීනයේ සන් යුත් සෙන්ගේ විදේශික විරෝධී ක්‍රියාමර්ගයන්හි ආදර්ශය ද ලැබීය. නමුත් තවත් කරුණු කීපයක් යටතේ බුරුමයේ දේශානුරාගී ව්‍යාපාරය එයට ම අනන්‍ය වූ ස්වභාවයක් ඉසිලීය. එනම් ඉන්දියානු ව්‍යාපාරිකයන්ගේ හා ඉන්දියානු කම්කරුවන් විශාල පිරිසක් බුරුමයට සංක්‍රමණය වීම හේතුවෙන් ඉන්දියානු විරෝධීවූත්, බ්‍රිතාන්‍ය විරෝධීවූත් වශයෙන් බුරුම ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක විමයි. ඉංග්‍රීසි පාලනය යටතේ බුරුමය තුල සුබසාධන වැඩ පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවත් බ්‍රිතාන්‍ය විරෝධී ආකල්පයන් වර්ධනය වීම අඩු නොවීය. බුරුම වැසියන් බ්‍රිතාන්‍ය පාලනය කෙරෙහි පැහැදීමකින් කටයුතු නොකළ අතර පැරණි දේශීය පාලනය සෑම විටම අගය කරනු ලැබීය. 1930 පමණ වන තෙක් ම බුරුමයේ පැවති බ්‍රිතාන්‍ය සිවිල් සේවාව සම්පූර්ණයෙන්ම පාහේ යුරෝපීයන්ගෙන් සමන්විත විය. තවද 1858 සිපොයි කැරැල්ලෙන් පසු ඉන්දියාවේ මෙන් බුරුමයේ ද පොලිසියට හා හමුදාවට ස්වදේශීන් බඳවා ගැනීමේ දී අනුගමනය කරනු ලැබූ‍වේ එක් කොටසකට විරුද්ධව අනෙක් කොටස ප්‍රකෝප කරවීමයි. බුරුමයේ ප්‍රධාන ජනතාව නොසලකා හරිමින් කරෙන්ස් හා කැචින් යන ගෝත්‍රිකයන්ගෙන් ස්වදේශික තනතුරු සඳහා පුද්ගලයන් බඳවා ගන්නා ලදි. මෙම ප්‍රතිපත්ති හේතුවෙන් බුරුමය තුල වාසය කල ගෝත්‍ර අතර වෛරය හා ක්‍රෝධය වර්ධනය විය.

බුරුමයේ වූ වාණිජ ව්‍යාපාරයන්හී හිමිකාරිත්වය, නිළධාරීත්වය හා සේවකයින් බහුතරය යුරෝපීයයන්ගෙන්, ඉන්දියානුවන්ගෙන් හා චීන ජාතිකයන්ගෙන් සමන්විත විය. බුරුමයේ බහුතරයක් වූ ජනතාව වී ගොවිතැන ආශ්‍රිත වගාවන්හී නිරත වූ අතර බුරුමය තුළ වී වගාවට ඉතාමත් ම සුදුසු මෙන් ම සශ්‍රීක ම ප්‍රදේශය වූ ඉරවඩි ගංගා මිටියාවතේ ඉඩම්වලින් අඩකටත් වඩා ප්‍රමාණයක් මුදල් පොලී කරන්නන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ අයිතියට පවරා තිබිණ. බුරුමයේ සහල් වෙළඳාම සම්පූර්ණයෙන්ම යුරෝපීය මෝල් හිමියන් සතු වූ අතර ඔවුන් 1920 දී පමණ බූලීන් නම් ව්‍යාපාරයක් ඇති කොට බුරුම සහල් ගොවීන්ගේ සහල් ඉතා අඩු මිලට මිලදී ගැනීමට කටයුතු කරමින් බුරුම ගොවීන් අධික ලෙස පීඩාවට පත් කරන ලදි. තවද ඉන්දියානු හා චීන කම්කරුවන් බුරුමයට සංක්‍රමණය වීමත් සමඟ බුරුමය තුළ රැකියා වියුක්ත බුරුම වැසියන්ගේ ප්‍රමාණය ඉහිල ගිය අතර බුරුම වැසියන්ගේ අප්‍රසාදය මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය කෙරෙහි එල්ල විය. 

ලංකාවේ හා ඉන්දියාවේ මෙන් බ්‍රිතාන්‍ය පාලනය යටතේ බුරුමය තුල ඉංග්‍රීසි අධ්‍යාපනය වර්ධනය වූ අතර එමගින් යුරෝපීය ඉතිහාසය මෙන් ම ලිබරල් හා රැඩිකල් මතවාද පිළිබඳ දැනුම බුරුමය තුලට කාන්දු විය. විශේෂයෙන්ම 1930 වන තෙක් ඉන්දියාව තුල ක්‍රියාත්මක වූ අධ්‍යාපන ක්‍රමය, බුරුමය තුල ද ක්‍රියාත්මක විය. ඒ හේතුවෙන් ම බුරුම ජාතික ව්‍යාපාරයට බටහිර ආභාසය ද එල්ල විය. කෙසේ වෙතත් කලාපයේ අනෙකුත් රාජ්‍යයන්හි මෙන් බුරුමය තුල කොමියුනිස්ට්වාදය ප්‍රබලව වර්ධනය නොවීය. මන්ද යත් බුරුමයේ හීනයාන බුද්ධාගම ප්‍රබලව ක්‍රියාත්මක වීමයි. තවද රටේ ජනගහනයෙන් 90% පමණ බෞද්ධයන් වීම හේතුවෙන් එරට ජාතික ඒකාබද්ධතාවට මෙන් ම ජාතික ව්‍යාපාරයට ද බුදු දහමේ බලපෑම ලංකාවට සාපේක්‍ෂව ප්‍රබල විය. බුරුම ජාතික ව්‍යාපාරය කෙරෙහි බලපෑම් එල්ල කරන ලද තවත් අවස්ථාවක් වූවේ පළමු ලෝක යුද්ධය අවස්ථාවේ දී ජපානය විසින් ප්‍රබල යුරෝපීය රාජ්‍යයක් වූ රුසියාව පරාජයට පත් කිරීමයි.

මියන්මාර ජාතික ව්‍යාපාරයේ වර්ධනයට තුඩු දුන් ඉතා වැදගත් සිදුවීමක් වූයේ ඉන්දියාවෙන් බුරුමය වෙන් කරලීමයි. බුරුම ජනයා ආරම්භයේ සිට විශ්වාස කරනු ලැබූයේ තම අවශ්‍යතා ඉන්දියානුවන්ගේ බලපෑම හමුවේ යටපත් වනු ඇති බවයි. 1929 දී සයිමන් කොමිසම බුරුමයට පැමිණි අවස්ථාවේ දී ඔවුන් ඉල්ලා සිටියේ සම්පූර්ණ ස්වයං පාලනයක් මෙන් ම ඉන්දියාවෙන් වෙන් වූ වෙනම රාජ්‍යයක් බවට පත් කරන ලෙසයි. ඒ අනුව 1935 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල බුරුම පනත සම්මත කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1937 ඉන්දියාවෙන් බුරුමය වෙන් කරන ලදි. මාක්ස්වාදී ආභාෂය ලත් බා මොව් යටතේ ක්‍රියාත්මක වූ සින්යාත් පක්‍ෂය හා පැසිස්ට්වාදී ආභාෂය ලත් යූ සෝ යටතේ ක්‍රියාත්මක වූ මොයින් පක්‍ෂය 1935 ආණ්ඩු පනත ක්‍රියාත්මක කිරීමේ දී බුරුමය තුළ ක්‍රියාත්මක වූ ප්‍රබලතම දේශපාලන පක්‍ෂ දෙක විය. 1938 වන තෙක් සින්යාතා පක්‍ෂයද, 1941 වන තෙක් මෝයින් පක්‍ෂයද බුරුමය තුල පාලන බලය හසුරුවන ලදි. කෙසේ වෙතත් මෙම පක්‍ෂ දෙකේ ම ක්‍රියාකාරීත්වය හමුවේ බුරුමයේ අල්ලස් ගැනීම, අකාර්යක්‍ෂම පාලනය හා අක්‍රමිකතා නොඅඩුව සිදු වූ අතර එය බුරුමයට මහත් ව්‍යසනයක් අත් කර දීමට සමත් විය. යූසෝ විසින් බුරුමයට නිදහස ලබා ගැනීම සඳහා ලන්ඩන් නුවරට ගොස් බ්‍රිතාන්‍යයන් සමඟ සාකච්ඡා පැවැත් වූ නමුත් එය ප්‍රතිඵල රහිත විය. තවද ඔහු නැවත බුරුමයට පැමිණි පසු සිරගත කරනු ලදුව නිදහස ලබා දෙන ලද්දේ 1946දී ය. 

බුරුමයට නිදහස ලබා ගැනීම සඳහා මේ යුගයේ ක්‍රියාත්මක වූ ඉතා වැදගත් ම හා ක්‍රියාකාරී ම සංවිධානයක් වූයේ බුරුම ජාතික හමුදාවේ අණ දෙන නිලධාරියා වූ ඖන් සාන් යටතේ ක්‍රියාත්මක වූ දොබාමායියොනා තාකීන් (Dobamaiyona Thakin) හෙවත් අපි බුරුමයෝ නම් පැසිස්ට් විරෝධී සංවිධානයයි. මෙය වාමාංශික ශිෂ්‍ය සංවිධානයක් ලෙස ආරම්භ වී වර්ධනය විය. විශේෂයෙන් ම සින්යාතා හා මෝයින් පක්‍ෂ පාලනය යටතේ බුරුමය තුල ඇති වූ අක්‍රමිකතා හේතුවෙන් අපි බුරුමයෝ නම් සංවිධානය බුරුමය තුල වඩාත් ජනප්‍රිය විය. ඖන් සාන්ගේ නායකත්වය 1936 දී ප්‍රබල වැඩවර්ජනයක් බුරුමය තුල දියත් කරන ලද අතර දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ පාලන විරෝධී ව්‍යාපාරයක් ද දියත් කරන ලදි. ඒ හේතුවෙන් මෙහි නායකයෝ බොහෝ දෙනෙක් සිරගත කරන ලද අතර තවත් නායකයන් පිරිසක් රටින් පලා ගියහ. මේ හේතුවෙන් දෙවන ලෝක යුද්ධ සමයේ මොවුන් ජපන් ආධාර බලාපොරොත්තු වූ නමුත් එය ව්‍යයසනකාරී තත්ත්වයකට පත් වීමෙන් පසු ජපන් බලයට විරුද්ධව ක්‍රියාත්මක විය. ඔවුන් නැවතත් බ්‍රිතාන්‍යයන්ට හිතවත් ව කටයුතු කරමින් බුරුමයේ, ජපන් බලය පරාජය කිරීමට විශාල මෙහෙවරක් සිදු කල අතර ඒ හේතුවෙන් ම බුරුම ජනතාව ප්‍රසාදයට ලක් වෙමින් යුද්ධය අවසානයේ බුරුමයේ ප්‍රධානතම දේශපාලන පක්‍ෂය බවටද පත් විය.

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් ජපානය පරාජය වීමත් සමග බුරුමය නැවත වතාවක් බ්‍රිතාන්‍යන්ගේ ග්‍රහණයට නතු විය. ඔවුන් නැවත වතාවක් බුරුමය තුල යටත් විජිත පාලනයක් ඇති කිරීමට උත්සහ කරන ලදි. ජපන් ආක්‍රමණයෙන් පසුව, තිබූ අවි ආයුධ තම භාරයට ගත් බ්‍රිතාන්‍යයන් යුද්ධ පාලනයක් බුරුමය තුල ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන ලද අතර බුරුම වැසියන් එයට විරුද්ධව ප්‍රබල ප්‍රතිවිරෝධිතාවක් එල්ල කරන ලදි. මෙලෙස බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව මහජන මතය සකස් වීමට බලපාන ලද ප්‍රබල සිදුවීමක් වූයේ එකල බුරුමයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ ඩෝර්මන් විසින් බුරුම නිදහස් ව්‍යාපාරය මර්දනය කිරීමේ ක්‍රියා කලාපයයි. ඒ අනුව 1946 ඔක්තෝබර් මාසයේ දී ඖන් සාන් ගේ මෙහෙය වීම යටතේ පොලිසිය හා රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කරමින් සමස්ත පරිපාලනයම අඩාල කරන ලද අතර අවසානයේ ඖන් සාන් ගේ ඉල්ලීම්වලට එකඟ වීමට බ්‍රිතාන්‍යයන්ට සිදු විය. තවද මේ වන විට ක්ලෙමන් ඇට්ලිගේ නායකත්වය යටතේ බ්‍රිතාන්‍ය තුළ කම්කරු පක්‍ෂ රජයක් බලයට පත්ව තිබූ අතර ඔවුන් තම යටත් විජිතවලට බලය යොදා තත්ත්වය ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තිය වෙනුවට සුහද ශීලීව හා මිත්‍රත්වයෙන් ඉවත් වීම සුදුසු යැයි කල්පනා කරන ලදි. ඒ අනුව 1947 බ්‍රිතාන්‍යයන් හා ‍ඖන් සාන් අතර සම්මුතියක් ඇති කර ගන්නා ලදි. එයට අනුව බුරුමයේ මහ මැතිවරණයක් පවත්වා එමගින් ජනතාව බලය ලබා දෙන පක්‍ෂයට රට බාර කිරීමට බ්‍රිතාන්‍යයන් එකඟ විය. ඒ අනුව 1947 දී පවත්වන්නට යෙදුණු මහ මැතිවරණයෙන් ඖන් සාන්ගේ නායකත්වයෙන් යුත් ස්වදේශීය ව්‍යාපාරයට විශිෂ්ට ජයක් හිමි විය. නමුත් ඖන් සාන් ඇතුළු ඉහල නායකයන් රැසක් එම වසරේ ම ජූලි මාසයේ දී ඝාතනයට ලක් වූ අතර එය බුරුම ඉතිහාස කැලඹූ සිදුවීමක් විය. ඉන් පසු පක්‍ෂයේ නායකත්වය වඩාත් මධ්‍යස්ථ මතධාරියෙකු වූ ඌනු වෙත පැරණි. ඒ අනුව 1947 ඔක්තෝබර් මාසයේ දී බුරුමය නීත්‍යනුකූල ව නිදහස ප්‍රකාශ කල අතර 1948 ජූලි මස බුරුම සමූහාණ්ඩුව පිහිටුවා ගන්නා ලදි.


මලයාවේ දේශපාලන පසුබිම වෙනස් වීම සඳහා ප්‍රබලව බලපාන ලද සිදුවීමක් ලෙස දෙවන ලෝක සංග්‍රාමය හඳුන්වා දිය හැක. මන්ද යත් බ්‍රිතාන්‍යයන් විසින් මලයානු රාජ්‍යයන් තුල ඇති කරනු ලැබූ පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් එහි ජනතාවට ප්‍රබල ප්‍රතිවිරෝධිතාවක් නොවීමයි. නමුත් ජපානය විසින් මලයාව ආක්‍රමණය කිරීමත් සමඟ ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය යටතේ මලයානු ජාතිකයන් තුල ජාතික හැඟීම් ප්‍රබලව වර්ධනය විය. ජපාන බලය හමුවේ අග්නිදිග ආසියාතික ප්‍රදේශවල විශාල ව්‍යසනයන්ද සිදු විය. තම යටතට පත් වූ මලයානු ප්‍රදේශවල ජපාන හමුදා විසින් ස්ත්‍රී දූෂණ විශාල වශයෙන් කරගෙන ගිය බව වික්ටර් පර්සල්ස් පවසයි. මලයාවේ හා සිංගප්පූරුවේ පැවති සෞඛ්‍යාරක්ෂණ කටයුතු ජපානය විසින් නෙසලකා හැරීම හේතුවෙන් මැලේරියාව හා වෙනත් රෝග ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී මරණයට පත් වන ජනතාවගේ ප්‍රමාණය ඉහල යන්නට ද විය. කෙසේ වෙතත් 1945 අගෝස්තු 06වන දින හිරෝෂිමාවටත් අගෝස්තු 9වන දින නාගසාකියටත් ඇමරිකාව විසින් පරමාණු බෝම්බ හෙළන ලද අතර සිදු වූ ව්‍යසනය හේතුවෙන් අගෝස්තු මස 15වන දින හිරෝහිතෝ අධිරාජ්‍යයා ජපානය කොන්දේසි විරහිතව යටත් වන බව නිවේදනය කලේ ය. ඒත් සමඟ ජපානය සතු වූ  අග්නි දිග ආසියාවේ යටත්විජිත අතහැර දැමීමට ජපානයට සිදු වූ අතර නැවත එම ප්‍රදේශ බටහිර බලවතුන්ගේ යටතට පත් විය.

ඒ අනුව 1945 දී බ්‍රිතාන්‍යයන් ආපසු මලයාවට පැමිණි පසු ඔවුන් ව ඉතා ප්‍රීතියෙන් පිළිගන්නා ලදි. බ්‍රිතාන්‍යයන් විසින් මලයාවේ ඇති කරන ලද සමෘද්ධිය ජපාන බලය හමුවේ විනාශ වී තිබිණ. මලයාවේ ජපාන බලය තුරන් වීමත් හා නැවත බ්‍රිතාන්‍ය බලය පිහිටුවීමත් අතර තුල කාලයේ ඇති වූ රික්තකයෙන් ප්‍රයෝජන ගත් සුල්තාන්වරු නාමික ව මෙන් ම සමහර රාජ්‍යවල නියම පාලකයන් ලෙස ද කටයුතු කරන ලදි. සුල්තාන්වරුන් විසින් පාලනය කරනු ලැබූ හා බ්‍රිතාන්‍යයන් විසින් ආරක්‍ෂාව ලබා දෙන ක්‍රමවේදයකට මලයානු ජනතාව පුරුදු ව සිටියහ. නමුත් එම කාර්යය සම්බන්ධයෙන් 1942 දී බ්‍රිතාන්‍යයන් අසමත් වීම හේතු කෙට ගෙන යම් අප්‍රසාදයක් මලයානුවන් තුල හට ගෙන තිබිණ. මලයානු ජාතිකයන් මහ ජාතිය වුවද ඔවුන් මලයානු සංයුක්ත රාජ්‍ය තුල දී තවත් එක් ජන කොට්ඨාශයක් පමණක් වීමද මැලේවරුන් අතර අසහනය වර්ධනය වීමට තවත් හේතු විය. විශේෂයෙන්ම චීන හා ඉන්දීය ද්‍රවිඩ ජනතාවගෙන් සමන්විත වූ ව්‍යාපාරිකයන්ගේ හා කම්කරුවන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් මැලේවරු අධික ලෙස ප්‍රකෝප විය. යුද්ධය අවසන් වීමෙන් පසු බ්‍රිතාන්‍යයන් විසින් පැරණි පරිපාලන ක්‍රමය ඇති කිරීමට අදහස් නොකරන ලද අතර පුළුල් ලෙස මලයානුවන්ට රාජ්‍ය පාලනය සඳහා සම්බන්ධ විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් ඇති කිරීමට අදහස් කරන ලදි. ඒ අනුව බ්‍රිතාන්‍යයන් යටතේ ක්‍රියාත්මක වූ මලයානු සංගමය තම නියෝජිතයන් පිටත් කර හරිමින් සුල්තාන්වරයන්ගෙන් ඉල්ලා සිටියේ සිය බලතල ස්වකැමැත්තෙන් ම අත්හරින ලෙසයි. තවද බ්‍රිතාන්‍යයන් විසින් රටේ සියලු ම පදිංචි කරුවන්ට පුරවැසි කම ලබා දීමට කටයුතු කිරීම මැලේ ජනතාවගේ කෝපයට හේතු විය. මන්ද යත් එසේ පුරවැසි කම ලබා ගන්නා චීන හා ඉන්දියානු ජාතිකයන්ගේ ඡන්ද බලය හේතුවෙන් තම රටේ පාලන බලය තමන්ට අහිමි වේ යැයි යන භීතිකාවක් මැලේවරුන් අතර හට ගැනීමයි. තවද සංයුක්ත මලයානු සංගමයට අයත් නොවූ ජොහොර් රාජ්‍යයද තම ප්‍රධාන ඇමතිවරයාගේ නායකත්වය යටතේ පිහිටුවගන්නා ලද එක්සත් මැලේ ජාතික සංවිධානය නම් පක්‍ෂයේ මෙහෙය වීම යටතේ ඉහත බ්‍රිතාන්‍යන්ගේ යෝජනාවලට තද බල ලෙස විරෝධය එල්ල කරන ලදි. තම බලය අහිමි වූ සුල්තාන්වරුන්ගේ සහය ලද එම පක්ෂය ප්‍රකාශ කර සිටියේ චීන හා ඉන්දියානුවන්ට ඡන්ද බලය ලබා දීම අසාධාරණ බවයි. අතිශයින් ම ප්‍රචණ්ඩකාරී වූ මෙම ව්‍යාපාරය චීන විරෝධී ස්වභාවයක් ඉසිලූ අතර මලයාව මලයානුවන්ට යන උද්යෝග පාඨය හමුවේ චීන ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරින ලදි. මෙය මර්දනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදු විය. සියලු ම මැලේවරුන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ බ්‍රිතාන්‍යයන් තම යෝජනා අස්කොට තමන්ගේ සුපුරුදු යටත් විජිත ක්‍රියාවලිය මලයාව තුල ඇති කරන ලදි. 

චීන කොමියුනිස්ට්වරුන්ගේ මෙහෙය වීම යටතේ 1948 ජුනි මාසයේ දී ඇති වූ කොමියුනිස්ට් කැරැල්ල මලයානු රාජ්‍යයන් තුල මහත් විනාශයක් ඇති කිරීමට සමත් විය. මලයාවේ බලයෙන් පැහැර ගෙන එහි ඇති රබර් හා ටින් පිළිබඳ වූ සැලකිය යුතු ධන සම්පත් පාලනය කිරීමට කාලය පැමිණ ඇතැයි ඔවුහු විශ්වාස කරන ලදි. මලයාව තුල කොමියුනිස්ට්වරුන්ගේ සංඛ්‍යාව 10000 නොවැඩි වුවද එය මර්දනය කිරීම බ්‍රිතාන්‍යයන්ට පහසු නොවීය. හදිසි තත්ත්වයක් ප්‍රකාශය කිරීමෙන් පසුව ප්‍රකෝපකාරී ක්‍රියා සමනය කිරීමට හැකි වුවද, මැලේවරුන් හා චීන ජනතාව අතර සංහිඳියාවක් ඇති කිරීමේ අභියෝගයට මුහුණ දීමට බ්‍රිතාන්‍යයන්ට සිදු විය. විශේෂයෙන්ම මලයානු රාජ්‍යයන් අතරින් වැඩි ම ආදායමක් ලබා දුන් සිංගප්පූරුව මලයානු සංයුක්තයට ඇතුළත් කර නොගැනීමට මලයානු නායකයන් අකමැත්තෙන් වුවද කටයුතු කරන ලදි. මන්ද යත් සිංගප්පූරුවේ අති බහුතරය චීන ජාතිකයන්ගෙන් සමන්විත වීමයි.

කෙසේ වෙතත් මලයානු සංයුක්තයේ බොහෝමයක් නායකයන් විශ්වාස කරනු ලැබූ‍වේ තම දේශයේ සිටින මැලේ නොවන අනෙකුත් ජාතීන්ගේ සහයෝගය නොමැතිව සැබෑ නිදහසක් දිනාගත නොහැකි බවයි. එක්සත් මැලේ ජාතික සංවිධානය දිගින් දිගටම චීන ජාතිකයන්ට සම අයිතිවාසිකම් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය වූයේ එම පක්‍ෂය දෙකඩ වීමයි. එහි නව නායකයා වූ තුන්කු අබ්දුල් රහමන් චීන දේශපාලන හා සංස්කෘතික සංවිධානයක් වූ මලයානු චීන සංගමය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සහ දරන ලදි. එම සහයෝගයේ ප්‍රතිඵලය වූවේ සියලු ම චීන හා ඉන්දීය ප්‍රජාවන්ට මලයානු සංයුක්තය තුල පුරවැසිකම හා ඡන්ද බලය දිනා ගැනීමට හැකි වීමයි. එලෙස මලයානු ජනතාව අතර ඇති කරගත් සංහිඳියාවෙන් පසු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සහ සංයුක්ත රාජ්‍ය පාර්ලිමේන්තුවේ වැඩි දෙනා ඡන්දයෙන් තෝරා ගැනීමට ද ඉන් පසු අවුරුදු තුනක් ඇතුළත නිදහස සඳහා බ්‍රිතාන්‍යයන්ට බල කිරීමට ද නායකයෝ තීරණය කරන ලදි. නිදහස ලබා දීමට බ්‍රිතාන්‍යයන් කැමති නොවූ නමුත් වැඩි දෙනා ඡන්දයෙන් තෝරා ගැනීමටත්, පුරවැසිකම සඳහා ලිහිල් නීති යටතේ සියලු පුරවැසියන්ට සර්වජන ඡන්ද බලය ලබා දීමටත් බ්‍රිතාන්‍යයන් එකඟ විය.

කෙසේ වෙතත් පවත්වන ලද මැතිවරණයෙන් අබ්දුල් රහමන්ගේ නායකත්වයෙන් සැදුම් ලත් මැලේ, චීන හා ඉන්දියානු ජාතීන්ගෙන් සැදුම්ලත් පක්ෂයන්ගේ එකමුතුවට (සියලු ජාතිවාදී පක්‍ෂ අබ්දුල් රහමන් යටතේ සංධාන ගත විය.) මැතිවරණය සඳහා වූ ආසන 52න් ආසන 51ක් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව අබ්දුල් රහමන් සංයුක්ත රාජ්‍යයේ ප්‍රථම අගමැති ලෙස දිවුරුම් දෙන ලදි. අබ්දුල් රහමන්ගේ නායකත්වය යටතේ පිහිටුවනු ලැබූ සංයුක්ත රාජ්‍ය පෙරටත් වඩා ශක්තිමත් ව හා ප්‍රබලව බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස අපේක්ෂා කරන්නට විය. තවද ඉදිරියේ දී මතු විය හැකි වූ ප්‍රබලතම ගැටලුන් වූ පුරවැසිකම සඳහා සුදුසුකම් ද ඇතුළු වැදගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ජාතීන් තුනේ නියෝජිතයන් හැටියට එකමුතු පක්ෂය කටයුතු කරන්නට වූ අතර එම විසඳුම් හා යෝජනා ඔවුන් විසින්ම බ්‍රිතාන්‍යයන්ට ඉදිරිපත් කරන ලදි. එකමුතුව විසින් එලෙස ඉදිරිපත් කරන්නට යෙදුණු හදිසි අරමුණු ඉටු කරගත් පසු තව දුරටත් එකමුතුව කටයුතු කරනු ඇති දැයි සලකා බැලීමට බ්‍රිතාන්‍යයන්ට සිදු විය. තවද නිදහස් සංයුක්ත රාජ්‍යයට මලයානු වනාන්තරවල තවමත් අරගල කරන කොමියුනිස්ට්වරුන්ට විරුද්ධව තනිවම සටන් කිරීමට සිදුවනු ඇති බවට බියක් බ්‍රිතාන්‍යයන් තුල පැවතිණ. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යන්ගේ මතයට අනුව අබ්දුල් රහමන් නිදහස් මලයානු සංයුක්ත රාජ්‍යයේ නායකත්වයට සුදුසු විය. ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවොත් අනෙකුත් ජාතීන්ගෙන් ඔහුට හිමි වූ සහයෝගය වෙනුවට වඩා අන්තවාදී තත්ත්වයක් මලයාව තුල ඇති විය හැකි බව බ්‍රිතාන්‍යයන්ට අවබෝධ විය. ඒ අනුව මාරුවන පදනමක් මත රාජ්‍ය නායකයා හැටියට සුල්තාන්වරුන්ගෙන් එක් කෙනෙකු තබා ගැනීමේ වැඩ පිළිවෙළ ද ඇතුළු එකමුතුවේ සියලු යෝජනාවලට එකඟ වීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කරන ලදි. බ්‍රිතාන්‍යය රැජින එහි රාජ්‍ය නායිකාව නොවන නමුත් මලයානු සංයුක්තය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමට කැමති විය.

ඒ අනුව 1950 දශකයේ නිදහස දිනා ගත් දෙවැනි බ්‍රිතාන්‍යය යටත් විජිතය ලෙස 1957 අගෝස්තු 31 වන දින නිදහස දිනා ගැනීමට මලයානු සංයුක්තය සමත් විය. නිදහස දිනා ගැනීමෙන් පසු තව දුරටත් මලයානු ජාතීන් එක්සත් ව සිටිනු ඇත් දැයි සැකයක් බ්‍රිතාන්‍යයන් තුල පැවති නමුත් එම මතය අසත්‍ය කරමින් ඊළඟ මැතිවරණයෙන් ද විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට තුන්කූගේ නායකත්වය යටතේ වූ මලයානු එකමුතුව සමත් විය.

බුරුම හා මලයානු අනාගතය තීරණය කිරීමේ තීරණාත්මක ම සාධකය වූවේ බ්‍රිතාන්‍යයන් බව ඉහත ‍තොරතුරු අධ්‍යනයේ දී පෙනී යයි. ඔවුන්ගේ පාලන සමයේ වාර්ගිකත්වය වර්ධනය කරමින් එක් එක් ජනවර්ග අතර ක්‍රෝධයන් වර්ධනය කරමින් බුරුමයේ දී ද, විවිධත්වය තුළින් ඒකීයත්වය කරා යාමට අවශ්‍ය අඩිතාලම මලයානු ප්‍රදේශවල ද ඇති කරන ලදි. විශේෂයෙන් ම බ්‍රිතාන්‍ය යුගයේ දී මලයාව වාණිජ වශයෙන් ක්‍රමයෙන් වර්ධනය විය. වර්තමානයේ දී මැලේසියාව ලෙස මැලේ රාජ්‍යය අග්නිදිග ආසියාවේ ප්‍රබලතම රාජ්‍යයක් ලෙස වැජඹෙමින් පවතී. මෙම සියලු ම මැලේ ප්‍රදේශ මුලදී බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශ වූ නමුත් එහි සමෘද්ධියට හේතු වූ කරුණ ද එය ම විය. මන්ද යත් ඉතා නොදියුණු ධීවර ගම්මාන මෙන් තිබූ එම ප්‍රදේශ සංවර්ධනයට හේතු වූ කරුණ වූවේ බ්‍රිතාන්‍යයන් විසින් එම රාජ්‍යයන් නවීන ලෝකයට ගැළපෙන ආකාරයට ප්‍රතිසංවිධානය කිරීම බව පෙනී යයි. තවද එකිනෙකට ප්‍රතිවිරුද්ධ ජාතීන් තුනකගෙන් සමන්විත වුවද එම ජාතීන්ගේ නායකයන් නිවැරදි තීන්දු තීරණ ගනිමින් එක්සත් ව කටයුතු කිරීම හේතුවෙන් යටත් විජිත හරණ ක්‍රියාවලියේ දී මලයානු සංයුක්ත රාජ්‍ය සාර්ථක වූ බව හඳුනාගත හැක. නමුත් යටත් විජිත හරණ ක්‍රියාවලියේ දී බුරුමය තුල සිදු වූ දේශපාලන අරගල හා නායකයන්ගේ අසමගියත්, පසුව ඇති හමුදා පාලනයනුත් හේතුවෙන් එය කලාපය තුළ අසාර්ථක රාජ්‍යයක තත්ත්වයකට ඇද වැටෙන්නට විය. වර්තමානයේ දී ද එහි වාර්ගික හා ආගමික ගැටුම් උත්සන්න ව පවතින අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් පවතී.