Tuesday, 31 August 2021

ආසියාන් සංවිධානය


1. හැඳින්වීම.

2. ආසියාන් සංවිධානයේ ආරම්භය.

3. ආසියාන් සංවිධානයේ පරමාර්ථ.

4. ආසියාන් සංවිධානයේ මූලධර්ම, තීරණ ගැනීම හා සාමාජිකත්වය.

4.1. මූලධර්ම.

4.2. තීරණ ගැනීම

4.3. ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය.

4.4. ආසියාන් සංවිධානයේ සාමාජිකයන්.

4.5. ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් විසින් ඉටු කල යුතු වගකීම් හා යුතුකම්.

5. ආසියාන් සංවිධානයේ ව්‍යුහය.

6. සමාලෝචනය.

මූලාශ්‍ර 


1. හැඳින්වීම.

    දෙවන ලෝක යුද්ධයෙන් පසුව වර්ධනය වූ කලාපීය සංවිධාන, වර්තමානය වන විට ඉතා වැදගත් කාර්යභාරයක් ලෝකයට හා එම කලාපයට ඉටු කරනු ලැබේ. තවද එම සංවිධානයන්, ජාත්‍යන්තර සංවිධාන ඝනයට අයත් වීම මඟින් ඒවායේ ඇති බලපෑම් සහගත භාවය හා වැදගත්කම රාජ්‍යයන් තරමට ම වර්ධනය වී ඇත. කලාපීය සංවිධානයක මූලික ම අරමුණක් වී ඇත්තේ යම් කිසි රටකට ස්වයං ව කල නොහැකි දෙයක් තවත් රාජ්‍යයන් කීපයක් සමඟ එකතු වී, සංවිධානයක් ලෙස ඉටු කිරීමයි. 

    විශේෂයෙන් ම දෙවන ලෝක යුද්ධයෙන් පසු නිදහස දිනා ගත් තුන්වන ලෝකයේ රාජ්‍යයන් තම ආර්ථික, දේශපාලන හා සමාජීය අවශ්‍යතා ලෝක මට්ටමෙන් ඉටු කරගැනීමේ දී අත්විඳින අපහසුතාවලට විසඳුමක් ලෙස ද කලාපීය සංවිධාන බිහි වීම හැඳින්විය හැකිය. මන්ද යත් බොහෝමයක් කලාපීය රාජ්‍යයන්හි දේශපාලන, ආර්ථික හා සමාජීය පසුබිම් සමාන වීමයි. ඒ හේතුවෙන් ම කලාපීය සංවිධානයන් බහුතරයක සාමාජිකත්වය එම සංවිධානය අයත් කලාපයේ රාජ්‍යයන්ගෙන් ම යුක්ත වේ.

    ඒ අනුව බැලීමේ දී පෙනී යන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව කලාපීය රාජ්‍ය සංවිධානයන්හි බිහි වීම ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බවයි. මෙයට සංදිග්ධ වූ හේතු කාරණා රාශියක් දැකිය හැක. ඒවා පහත ආකාරයෙන් දැක්විය හැකිය. 

01. තාක්‍ෂණයේ හා ගෝලීයකරණයේ, වර්ධනයත් සමඟ රාජ්‍යයන් අතර වූ දුරස්ථභාවය අවම වීම හේතුවෙන් මෙවැනි කලාපීය වශයෙන් වැදගත් වූ ජාත්‍යන්තර සංවිධාන බිහි වීම.

02. තවද ගෝලීයකරණයේ ම තවත් එක් ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට කිසිදු රාජ්‍යයකට තනි ව පැවතීමට අපහසු වීම.

03. වර්තමානය වන විට මානව අවශ්‍යතා රාජ්‍යයන්හි දේශසීමා අබිබවා ගොස් ඇති අතර ඒ හේතුවෙන් ම රටක ආරක්‍ෂාවට මෙන් ම යහපත් පැවැත්මට හා තම අනන්‍යතා ආරක්‍ෂා කර ගනිමින් ලෝකය සමඟ ගනු දෙනු කිරීම සඳහා කලාපීය සංවිධාන අත්‍යාවශ්‍ය වී ඇත.

04. “විද්‍යාවේ හා තාක්ෂණවේදයේ දියුණුවත් එහි ප්‍රතිඵලයක් ලෙස සන්නිවේදනයේ හා ගමනාගමනයේ ක්‍රමයෙහි, අන්තර්ජාතික වෙළදාමේ හා ඇතැම් විට දේශපාලන දෘෂ්ඨීන්හි ද සිදු වූ දියුණුව ‍නිසා, ලෝකයේ විවිධ ජාතීන් අතර පැවති පරතරය, මින් පෙර නොවූ විරූ ලෙස අඩු වී තිබේ. මෙම තත්ත්වය යටතේ ඒ ඒ ජාතීන්ගේ දියුණුව උදෙසා පමණක් නොව, ඔවුන්ගේ හුදු පැවැත්ම සඳහා ද අන්තර්ජාතික සහයෝගිතාව අවශ්‍ය වී තිබේ.”  

    මෙහි දී අපගේ අවධානයට ලක්වන්නා වූ අග්නිදිග ආසියාතික සංවිධානය (ASEAN – Association of South East Asian Nations)   බිහි වී ඇත්තේ ඉහතින් දක්වන ලද ආකාරයට “කලාපීය සාමාජිකත්වයක් ඇති සාමාන්‍ය පරමාර්ථ සහිත සංවිධානයක්”   ලෙසින් බව අවබෝධ කර ගත හැක. වර්තමානයේ දී මෙම සංවිධානය ආසියාවේ ප්‍රබලතම ආර්ථික හවුල  ලෙස ද හඳුන්වා දිය හැක. තවද ආර්ථික, දේශපාලන හා සමාජීය යන සියලු ක්‍ෂේත්‍රයන් ආවරණය කරන්නා වූ සංවිධානයක් ලෙස එහි ශක්තිය දෙවැනි වන්නේ යුරෝපා සංගමයට පමණි. මේ හේතුවෙන් ම මෙම කලාපය තුල පොදු ආර්ථික වර්ධන වේගයක් හා සමාජීය සංවර්ධනයක් ලබා ගැනීමට ආසියාන් සංවිධානයට හැකි වී තිබෙන අතර කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වන අවස්ථාවලදී එක්සත් ව කටයුතු කිරීම මඟින් ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට සමත් වී ඇත. 

උදා;

දකුණු චීන මුහුදේ වූ දූපත් කීපයක අයිතිය සම්බන්ධයෙන් චීනය, වියට්නාමය, ජපානය හා තායිවානය අතර ඇති වූ අර්බුදයේ දී ආසියාන් සංවිධානය කලාපය වෙනුවෙන් පෙනී සිටින ලදි. කෙසේ වෙතත් එම අර්බුදය තවමත් අවසන් වී නොමැත.

   

2. ආසියාන් සංවිධානයේ ආරම්භය.

ආසියාන් සංවිධානය ආරම්භ කරන ලද්දේ 1967 අගෝස්තු මස 08වන දින තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය හා සිංගප්පූරුව යන රාජ්‍යයන් 05 විසින් ප්‍රකාශයට පත් කරණ ලද ආසියාතික ජාතීන්ගේ ප්‍රකාශනය (ASEAN Declaration) මඟිනි. එම ප්‍රකාශනයට අනුව එහි ආරම්භක අරමුණ වූයේ “කලාපය තුළ සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය ළඟා කර ගැනීමට ක්‍රියාන්විත වශයෙන් සාමාජික රටවල් විසින් සහයෝගය දැක්වීමයි.” 

ආසියාන් සංවිධානය බිහි වීම මඟින් එම කලාපය අත්පත් කර ප්‍රතිලාභ අතිමහත් ය. විශේෂයෙන්ම ආසියාන් සංවිධානය බිහි වීමට ප්‍රථම එම කලාපය තුළ අර්බුදකාරී වතාවරණයක් පැවතිණ. 

ඒවා නම්;

දේශපාලන හා දේශසීමා අර්බුද හේතුවෙන් අසල්වැසි රාජ්‍ය අතර ගැටුම් ඇති වීම.

o මැලේසියාව හා ඉන්දුනීසියාව අතර දේශසීමා අර්බුද ඇති වීම.

o පිලිපීනයට අයත් ව පැවති සභා හා සර්වාක් (Shaba & Sarwak) යන ප්‍රදේශ, මැලේසියානු සමූහාණ්ඩුවට සම්බන්ධ වීමත් සමඟ මැලේසියාව හා පිලිපීනය අතර ගැටුම්කාරී තත්ත්වයක් 1963දී වර්ධනය විය.

o 1965දී සිංගප්පූරුව, මැලේසියානු සමූහාණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ දෙර‍ට අතර  නොහොඳ නෝක්කාඩුකම් වර්ධනය වීම.

ඉන්දු චීන ප්‍රදේශ වූ වියට්නාමය, ලාඕසය හා කාම්බෝජය වැනි රාජ්‍යයන්වල අධිරාජ්‍ය විරෝධී හා කොමියුනිස්ට්වාදී ව්‍යාපාර ඇති වීම. 

අනෙකුත් කලාපීය හා ලෝක බලවතුන් විසින් මෙම කලාපයේ අර්බුදවලට මැදිහත් වී තත්ත්වය තවදුරටත් අවුල් කිරීම.

o මැලේසියාව හා ඉන්දුනීසියාව අතර දේශසීමා අර්බුද සඳහා බ්‍රිතාන්‍ය හමුදා මැදිහත් වීම.

o මාඕ සේතුන් යටතේ චීනයේ ඇතිවූ සංස්කෘතික විප්ලවයෙන් පසුව චීනය විසින් ඉන්දු චීනයේ ක්‍රියාත්මක වූ හෝචි මිංගේ කොමියුනිස්ට් ව්‍යාපාරයට මෙන් ම අග්නිදිග ආසියාවේ අනෙකුත් කොමියුනිස්ට් ව්‍යාපාර සඳහා ද මූල්‍යමය හා යුධ ආධාර ලබා දීම.

o වියට්නාම් අර්බුදයේ දී ප්‍රංශ හා ඇමරිකානු මැදිහත් වීම් හේතුවෙන් විශාල ව්‍යසනයක් කලාපයට සිදුවීම.

ආසියාන් සංවිධානය බිහි වීමට පෙර සිටම එහි වූ අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා කලාපීය රටවල් කීපයක් උත්සහ දරා තිබුණි. එහි ආරම්භක ක්‍රියාමාර්ගයක් ලෙස මැලේසියාව, පිලිපීනය හා තායිලන්තය යන රාජ්‍යයන් 03 විසින් එම රටවල් අතර ආර්ථික හා සංස්කෘතික සහයෝගිතාවන් වර්ධනය කර ගැනීමේ අරමුණින් 1961 ජූලි මස ප්‍රකාශයට පත් කරන ලද බැන්කොක් ප්‍රකාශනය (Bangkok Declaration) මඟින් “Association of South East Asia”(ASA) නම් සංවිධානයක් පිහිටුවා ගනු ලැබීය.  

නමුත් මැලේසියාව හා පිලිපීනය අතර ඇති වූ දේශසීමා අර්බුද, සිංගප්පූරුව හා මැලේසියාව අතර ඇති වූ අර්බුදය හා 1966 වර්ෂයේ දී ඉන්දුනීසියාවේ අති වූ දේශපාලන අර්බුද හේතුවෙන් එහි ප්‍රගතිශීලී ජනාධිපතිවරයෙකු වූ සුඛර්නෝ බලයෙන් පහ කර බටහිර ගැති පාලකයෙකු වූ ජනරාල් සුහර්තෝ බලයට පත් වීමත් සමඟ “ASA” සංගමය අසාර්ථක හා අක්‍රිය තත්ත්වයකට පත් විය. මේ පසුබිම මත කලාපයේ සියලු ම රාජ්‍යයන්ට අවශ්‍ය වූයේ කලාපය තුළ දේශපාලනික, ආර්ථික හා සමාජීය වශයෙන් සහජීවනය ගොඩනැගිය හැකි ශක්තිමත් සංවිධානයක් බිහි කර ගැනීමයි. ඒ අනුව එවැනි ශක්තිමත් සංවිධානයක් ඇති කිරීමේ වගකීම මූලික ව ම ඉදිරිපත් කරන ලද්දේ එවකට ඉන්දුනීසියාවේ නව නායකයා වූ සුහර්තෝ විසිනි. ඔහු ඒ පිළිබඳව තායිලන්තය සමඟ අදහස් හුවමාරු කර ගත් අතර 1967 අගෝස්තු මාසයේ දී පැවැත්වීමට තිබූ “ASA”හි සිව් වන සමුලුවට පෙර වෙනත් සමුළුවක් පැවැත්වීමේ වැදගත්කම ඉන්දුනීසියානු විදේශ ඇමති වූ ආදම් මලික් විසින් අවධාරණය කරන ලදි.

ඒ අනුව ඉන්දුනීසියාවේ හා තායිලන්තයේ මූලිකත්වයෙන් සමුළුවක් 1967 දී බැන්කොක් නගරයේ දී සංවිධානය කරන ලද අතර ඒ සඳහා තායිලන්තය වෙනුවෙන් එහි විදේශ ඇමති වූ තාන්ට් කෝමන්ට් හා ඉන්දුනීසියාව වෙනුවෙන් එහි විදේශ ඇමති වූ ඇඩම් මලික්ට අමතරව එම රාජ්‍යයන්හි ආරාධනාවෙන් සිංගප්පූරුව වෙනුවෙන් එස්. රාජරත්නම්, මැලේසියාව වෙනුවෙන් තුන් අබ්දුල් රාසාක් හා පිලිපීනය වෙනුවෙන් නාසියෝ රමෝස් යන විදේශ ඇමතිවරුන් ද ඊට සහභාගී විය. එහි දී එහි සංවිධායකවරුන් වූ ඉන්දුනීසියාවේ හා තායිලන්තයේ මූලිකත්වයෙන් පිහිටුවීමට අදාළ නව සංවිධානයේ කෙටුම්පත සාකච්ඡාවට භාජනය කරනු ලැබීය. එයට සහභාගී වූ සියලු ම සාමාජිකයන්ගේ එකඟතාව මත 1967 අගෝස්තු 08 වන දින “ආසියාන් ප්‍රකාශනය” (ASEAN Declaration)  මඟින් ආසියාන් සංවිධානය නිල වශයෙන් පිහිටුවනු ලැබීය. ඊට අමතර ව අක්‍රිය තත්ත්වයක පැවති “ASA” නම් සංවිධානය එහි 04වන සමුළුවේ දී ම අත්හිටු වූ අතර එහි පැරණි ක්‍රියාකාරකම් නව සංවිධානය යටතට ගනු ලැබීය.

3. ආසියාන් සංවිධානයේ පරමාර්ථ.

ආසියාන් සංවිධානයේ ආදර්ශ පාඨය වූ (The motto of ASEAN is  “One Vision, One Identity, One Community”)  හෙවත් “එක දැක්මක්, එක අනන්‍යතාවක්, එක සමාජයක්” යන තේමාව යටතේ එහි පරමාර්ථ 1967දී එලි දක්වන ලද ආසියාන් ප්‍රකාශනයේ සඳහන් වේ.  

ඒවා නම්;

1. අග්නිදිග ආසියානු ජනතාවගේ සහභාගීත්වය හා එකමුතුව පදනම් කර ගනිමින් කලාපය තුළ ආර්ථික වර්ධනය, සමාජ ප්‍රගතිය හා සංස්කෘතික වර්‍ධනය වේගවත් කිරීම.

2. පොදු උනන්දුවක් ඇති ආර්ථික, සමාජ, සංස්කෘතික, තාක්ෂණික, විද්‍යාත්මක හා පරිපාලන ක්‍ෂෙත්‍රයන්හි දී සක්‍රීය සහයෝගිතාව හා අන්‍යෝන්‍ය උපකාරය ප්‍රවර්ධනය කිරීම. 

3. අධ්‍යාපනික, වෘත්තිමය, තාක්ෂණික හා පරිපාලන අංශයන්හී පුහුණුව හා පර්යේෂණ කටයුතුවල දී   සක්‍රීය ලෙසින් සහයෝගය දීම.

4. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට, ජාත්‍යන්තර නීතියට, කලාපයේ අනෙකුත් රාජ්‍යයන්හි නීතියට හා ස්වාධීනත්වයට ගරු කරමින් කලාපය තුළ සහයෝගය හා සාමය වර්‍ධනයට කිරීමටත් එය පවත්වාගෙන යාමටත් කටයුතු කිරීම.

5. කලාපය තුළ කාර්මික හා කෘෂිකාර්මික අංශයන්හී වර්ධනය සඳහා දායක වෙමින් එහි ඵලදායීතාව ඉහල නැංවීමට දායක වීම.

6. කලාපයක් ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර වෙළඳ කටයුතු වර්ධනය කිරීම, සන්නිවේදන හා ප්‍රවාහණ පහසුකම් වර්ධනය කිරීම මඟින් කලාපීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කිරීම.   

4. ආසියාන් සංවිධානයේ මූලධර්ම, තීරණ ගැනීම හා සාමාජිකත්වය.

4.1. මූලධර්ම.

  • සියලු ම ජාතීන්ගේ හා රාජ්‍යයන්ගේ  නිදහස, ස්වාධිපත්‍ය, සමානාත්මතාව, භෞමික අඛණ්ඩතාව හා ජාතික අනන්‍යතාවයට අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම.
  • ආසියාන් සමළුවලදී ද්විපාර්ශ්වික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා නොකිරීම.  
  • සාමාජික රටවල් අතර හටගන්නා අරගලවලට සාමාජික රටවල් මැදිහත් නොවිය යුතු ය. 
  • කලාපීය රාජ්‍යයන් අතර ඇති ආරවුල් හා විෂමතා සාමකාමී අයුරින් විසඳා ගැනීම.
  • විවිධ අවස්ථාවලදී රැස් වී ආසියාන් සංවිධානයට අදාලව  ඒකමතිකව ගනු ලබන තීරණවල දී සමුළුවට සහභාගී නොවූවද අදාළ සාමාජික රාජ්‍යයන් එම තීරණ පිළිගැනීමට බැදී පැවතීම.

4.2. තීරණ ගැනීම

මෙහි දී ආසියාන් සංවිධානයේ තීරණ ගන්නා ප්‍රධාන ක්‍රමවේද දෙකක් පවතී. ඒවා නම්

1. සෑම සාමාජිකයෙකුගේ ම එකඟතාව මත වැදගත් තීරණ ගැනීම.

2. බහුතරයේ තීරණය මත. එනම් සාමාජිකයන් 10ගෙන් බහුතරයක් වූ 06ගේ කැමැත්ත මත.

4.3. ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය.

ආරම්භයේ දී දක්වන ලද ආසියාන් ප්‍රකාශනයේ සඳහන් වන්නා වූ අරමුණු හා මූලධර්මවලට එකඟවන්නා වූ ඕනෑම ආසියානු රාජ්‍යයකට ඊට සහභාගී විය හැක. නමුත් පසුකාලීනව එහි සාර්ථකත්වය මත එහි ආරම්භක සාමාජිකයන් වූ ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව හා පිලිපීනය යන රාජ්‍යයන් පසුව සම්මත කර ගන්නා ලද තීන්දු තීරණවලට එකඟ වීම ද, ආසියානු සංවිධානයේ සාමාජිකත්වය ලැබීමට අනිවාර්ය විය. 

ඒවා නම්;

1. 1971 දී සම්මත කරන ලද අග්නිදිග ආසියාව නිදහස්, මධ්‍යස්ථ හා සාමකාමී කලාපයක් බවට පිළිගත් ආසියාන් ප්‍රකාශනය.

2. 1976 දී සම්මත කරන ලද මිත්‍රත්වය හා සහයෝගිතාව පිළිබඳ ප්‍රකාශනය.

3. 1976 දී සම්මත කරන ලද අග්නිදිග ආසියානු කලාපයේ එකමුතුකම පිළිබඳ ප්‍රකාශනය. 

4. 1976 දී ඇති වූ ආසියාන් මහ ලේකම් කාර්යාලය පිහිටුවීම පිළිබඳ එකඟතාව. 


4.4. ආසියාන් සංවිධානයේ සාමාජිකයන්.

1. තායිලන්තය.

2. ඉන්දුනීසියාව.

3. පිලිපීනය. ආරම්භක රාජ්‍යයන් වේ.

4. සිංගප්පූරුව.

5. මැලේසියාව.

6. බෲනෙයි - බ්‍රිතාන්‍යය ආධිපත්‍යයෙන් නිදහස ලබා දින 07කින් ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය 1984 දී ලබාගත්හ.

7. වියට්නාමය - 1995දී වියට්නාමය ආසියාන් සංවිධානයට සම්බන්ධ කර ගැනීමත් සමඟ කොමියුනිස්ට් නොවූ ප්‍රථම කලාපීය සංවිධානය ලෙස ප්‍රකට විය.

8. ලාඕසය - 1992 වසරේ සිටම නිරීක්ෂණ තත්ත්වයේ සිටි ලාඕසය 1997 වසරේ දී ආසියාන් සංවිධානයට සම්බන්ධ කර ගනු ලැබීය.

9. මියන්මාරය - 1996 සිට අධීක්ෂණ තත්ත්වයේ සිටි අතර 1997 දී ආසියාන් සංවිධානයට සම්බන්ධ කර ලන්නා ලදි.

10. කාම්බෝජය -  ලාඕසයට, මියන්මාරය හා කාම්බෝජය යන රාජ්‍යයන් තුනට ම එකම අවස්ථාවේ දී සාමාජිකත්වය ලබා දීමට බලාපොරොත්තු වුවත් ඉතා දීර්ඝ කාලයක් කාම්බෝජය තුළ වූ දේශපාලන අර්බුද හේතුවෙන් එයට සාමාජිකත්වය ලබා ගැනීමට හැකි වූයේ 1998 දී.


4.5. ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් විසින් ඉටු කල යුතු වගකීම් හා යුතුකම්.

වගකීම්;

  • සාමාජිකත්වය ලබන සැම රාජ්‍යයක් විසින් ම අනෙකුත් සාමාජික රාජ්‍යයන්ට වෙළඳ කටයුතුවල දී අනුග්‍රහය දැක්විය යුතු අතර ද්විපාර්ශ්වීය වෙළඳාමේ දී දෙපාර්ශවයට ම සහන සැලසෙන ආකාරයෙන් කටයුතු කළ යුතු ය.
  • සියලු ම සාමාජික රාජ්‍යයන් තම වෙළඳ පාලන තන්ත්‍රයේ ඇති විනිවිද භාවය තහවුරු කල යුතු අතර වෙළඳාම සම්බන්ධයෙන් රට අභ්‍යන්තරයේ සිදු කරනු ලබන අභ්‍යන්තර නීති රීතීන්හී සංශෝධන සම්බන්ධයෙන්  ආසියාන් සංවිධානයේ සාමාජිකයන් දැනුවත් කළ යුතු වේ.
යුතුකම්;
  • ආසියාන් අරමුදලට ඇමරිකානු ඩොලර් 1,000,000 ක් එක වර පමණක් ගෙවිය යුතු ය.
  • ආසියාන් විද්‍යා අරමුදලට ඇමරිකානු ඩොලර් 50,000 ක් ලබා දීම.
  • ආසියාන් ආහාර සංචිතයට සහල්වලින් දායකත්වය සැපයීම.
  • ආසියාන්හි ඛනිජ තෙල් බෙදාහැරීමේ ක්‍රමයට සම්බන්ධ වීම.
  • ආසියාන් මහ ලේකම් කාර්යාලයට වාර්ෂිකව දායකත්වය සැපයීම.
  • ආසියාන් සියලු සමුළුවලට සහභාගී වෙමින් ඉංග්‍රීසි හෝඩියේ (A-Z) පිළිවෙළ අනුව සමුළු වාර ඒ ඒ සාමාජික රටවල පවත්වමින් එහි සභාපතිත්වය දැරීම.


5. ආසියාන් සංවිධානයේ ව්‍යුහය.

ආසියාන් සංවිධානය ආරම්භයේ දී වූ සරල ආයතනික ව්‍යුහය වර්තමානය වන විට එහි සාර්ථකත්වය හා ප්‍රසාරණය වීම මත තව දුරටත් සංකීර්ණ වී ඇති බව අවබෝධ කර ගත හැක.

1. විදේශ අමාත්‍ය මණ්ඩලය;

ආසියාන් සංවිධානය තුළ සක්‍රිය ම මෙන් ම ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ආයතනය වන්නේ මෙම විදේශ අමාත්‍ය මණ්ඩලයයි. සාමාජික රාජ්‍යයන්හි විදේශ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ආයතනය වසරකට වරක් රැස් වන අතර එහි දී ගනු ලබන තීන්දු තීරණ, තම රටේ රාජ්‍යය නායකයාට වාර්තා කරනු ලබන්නේ අදාළ රටේ විදේශ ඇමතිවරයා විසිනි. මෙම සැසි වාර පවත්වනු ලබන්නේ ඉංග්‍රීසි හෝඩියේ (A-Z) පිළිවෙළට වන අතර සෑම රාජ්‍යයක් ම තම රටේ දී විදේශ අමාත්‍ය සමුළු වාර පැවැත්විය යුතු අතර හදිසි අවස්ථාවන්හි විශේෂ සභා වාර හෝ නිල නොවන මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට ද විදේශ අමාත්‍යවරුන්ට හැකියාව පවතී. 

2. ආසියාන් ස්ථාවර කමිටුව;

විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම පවත්වනු ලබන්නේ වසරකට වරක් වන අතර ඒ අතර තුල කාලයේදී සක්‍රීය වෙමින් තීන්දු තීරණ ගනු ලබන්නේ මෙම ස්ථාවර කමිටුව විසිනි. ඊළඟට විදේශ අමාත්‍ය මණ්ඩලය පැවැත්වීමට නියමිත රාජ්‍යයේ විදේශ ඇමතිවරයා එහි සභාපති වේ. 1992 වසරේ සිට ආසියාන් ස්ථාවර කමිටුව නියෝජනය කරනු ලබන්නේ එක් එක් රාජ්‍යයන් විසින් ජාතික මට්ටමෙන් පවත්වා ගන්නා ලද ආසියාන් මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙකු විසිනි.

3. ආසියාන් මහ ලේකම් කාර්යාලය;

1976 සිට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පිහිටුවා ඇති මහ ලේකම් කාර්යාලය විසින් ආසියාන් සංවිධානයේ සියලු ම කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි. 1992 වසරේ සිට වසර 05කට වරක් ආසියාන් සංවිධානයේ සාමාජික රාජ්‍යයන්හි විදේශ ඇමතිවරුන්ගේ තෝරා ගැනීම මත, රාජ්‍ය නායකයන් විසින් මහ ලේකම්වරයෙකු පත් කරනු ලැබේ. මහ ලේකම්වරයාගේ සහයට නියෝජ්‍ය ලේකම්වරු දෙදෙනෙක් වසර තුනකට වරක් පත් කරනු ලැබේ. තවද මෙම මහ ලේකම් කාර්යාලයට අනුබද්ධිත ව කාර්යාංශ 04ක්ද පිහිටුවා ඇත. 

ඒවා නම්;

  • ආර්ථික සහයෝගිතා කාර්යාංශය.
  • ආසියාන් නිදහස් වෙළදාම සඳහා වූ කාර්යාංශය.
  • ආසියාන් සහයෝගිතාව හා විදේශ සබඳතා කාර්යාංශය.
  • කාර්යබද්ධ සහයෝගිතා කාර්යාංශය.‍

මෙම කාර්යාංශ බාර ව නිලධාරීන් 32ක් මහ ලේකම් කාර්යාලයට අනුබද්ධිත ව සේවය කරනු ලබයි.

4. ආසියාන් ජාතික මහ ලේකම් කාර්යාලය;

ආසියාන් මහ ලේකම් කාර්යාලය හා ජාතික මට්ටමෙන්, ආසියාන් සාමාජික රාජ්‍යයන් අතර පවත්වාගෙන යනු ලබන ආයතනයන් සමඟ සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමේ අරමුණින්, ආසියාන් සංවිධානයේ සෑම සාමාජික රාජ්‍යයක ම ආසියාන් ජාතික මහ ලේකම් කාර්යාලයක් එහි විදේශ අමාත්‍යංශයට අනුබද්ධිත ව පිහිටුවා ඇත. 

5. විශේෂ විෂයන් සඳහා කමිටු;

මෙම විශේෂිත විෂයන් සඳහා වූ කමිටු මඟින් සිදුවන්නේ ආසියාන් ප්‍රකාශනය මඟින් යම් යම් විශේෂිත විෂයන් සඳහා කටයුතු කිරීමට තත්කාර්‍ය කමිටු හා ස්ථාවර කමිටු පත් කිරීම හා ඒ සඳහා ප්‍රතිපාදන සැපයීම යි. 

එම කමිටු කීපයක් මෙසේ දැක්විය හැක.

  • මූල්‍ය හා බැංකු කටයුතු පිළිබඳ කමිටුව.
  • ආහාර , කෘෂිකාර්මික හා වන සම්පත් පිළිබඳ කමිටුව.
  • කර්‍මාන්ත, ඛනිජ හා බලශක්ති කමිටුව.
  • විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ කමිටුව.
  • වෙළඳාම හා සංචාරක කටයුතු පිළිබඳ කමිටුව.
  • සමාජ සංවර්‍ධනය පිළිබඳ කමිටුව.
  • පරිසරය පිළිබඳ ආසියාන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව.

6. ආසියාන් නිදහස් වෙළඳ කලාප මණ්ඩලය.

7. වසර 03ට වතාවක් පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුව;

ආරම්භයේ දී  ආසියාන් රාජ්‍යය නායක සමුළුවේ විධිමත් බවක් නොවූ නමුත් 1992 සිංගප්පූරුවේ දී පවත්වන සමුළු වාරයේ දී කරන ලද සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස වසර 03 ට වරක් රජ්‍යය නායක සමුළුවක් පැවැත්වීමට තීරණය කරනු ලැබීය. ඊට අමතරව නිල නොවන මට්ටමේ රැස්වීම් වාර ද පවත් වනු ලැබීය.

උදා;

  • ඉන්දුනීසියාවේ බාලි සමුළුව - 1976
  • මැලේසියාවේ ක්වාලාලම්පූර් සමුළුව - 1977 
  • පිලිපීනයේ මැනිලා සමුළුව - 1987
  • සිංගප්පූරු සමුළුව - 1992
  • තායිලන්තයේ බැන්කොක් සමුළුව - 1995
  • වියට්නාමයේ හැනෝයි සමුළුව - 1998  
  • 1999 Philippines
  • 2000 Singapore
  • 2001 Brunei Darussalam
  • 2002 Cambodia
  • 2003 Indonesia
  • 2004 Lao PDR
  • 2005 Malaysia
  • 2006 Philippines
  • 2007 Singapore
  • 2008 Thailand
  • 2009 Thailand
  • 2010 Viet Nam
  • 2011 Indonesia
  • 2012 Cambodia
  • 2013 Brunei
  • 2014 Myanmar 

මෙම සමුළු වාර අතරින් 1976දී පවත්වනු ලැබූ බාලි සමුළුව ඉතා වැදගත් වේ. එහි දී ආසියාන් සංවිධානයට අදාලව වැදගත් තීරණ හා ගිවිසුම් රාශියකට අත්සන් තබන ලදි. 

ඒවා කීපයක් නම්;

  • ආසියාන් එකඟතාව පිළිබඳ ප්‍රකාශනය. (Declaration of ASEAN Concord)

ආර්ථික, සමාජ හා සංස්කෘතික අංශවලින් ආසියාන් කලාපයේ රාජ්‍යයන් අතර සහයෝගය වර්ධනය කිරීම මෙහි අරමුණ විය.

  • මිත්‍රත්වය හා සහයෝගිත්වය පිළිබඳ අග්නිදිග ආසියාතික ගිවිසුම. (Treaty of Amity and Co-Operation in South East Asia)

කලාපීය සහයෝගය සඳහා කලාපීය රාජ්‍යයන්ගේ ක්‍රියාශීලී සහයෝගය ලබා ගැනීම.

6. සමාලෝචනය.

    අග්නිදිග ආසියානු රාජ්‍යයන් 05 ක් විසින් 1967 වර්ෂයේ දී පිහිටුවා ගන්නා ලද ආසියාන් සංවිධානය වර්තමානය වන විට ආසියාවේ ප්‍රබලතම කලාපීය සංවිධානය ලෙස හඳුනා ගත හැක. එය විශේෂයෙන්ම ආර්ථික හවුලක් ලෙස ප්‍රබල භූමිකාවක් කලාපය තුල ඉටු කරනු ලබයි. 1975-1995ත් අතර කාලයේ දී ආසියාන් සංවිධානයේ ආර්ථික වර්ධන වේගය 6.6% පමණ වූ අතර 1995දී එය 7.4% දක්වා වර්ධනය විය.  2012 පමණ වන විට එහි සමස්ත දළ දේශීය නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 2.3ක් පමණ වේ. එය ලෝකයේ හයවෙනියට විශාලතම ආර්ථිකය ලෙස ද හඳුනාගත හැක. එම ආර්ථික ශක්‍යතාව හමුවේ ආසියාන් ආර්ථික හවුල ඇමරිකාව, චීනය, ජපානය හා යුරෝපා සංගමය සමඟ ආර්ථික සහයෝගිතාවන් ද ඇති කරගෙන ඇත. ආරම්භයේ දී චීනයේ කොමියුනිස්ට් ව්‍යාප්තියට එරෙහිව පිහිටුවා ගන්නා ලද මුත් වර්තමානය වන විට චීනයේ ආධාර ද මේ සංවිධානයට ලැබේ.  

    ආසියාන් සංවිධානය කලාපයක් ලෙස විශාල අභියෝගයන්ට ද මුහුණ දුන් සංවිධානයක් බව අවබෝධ කර ගත හැක. එහි දී ඔවුන් අත් දුටු ප්‍රබලතම අර්බුදය වූයේ 1996 දී ආසියාන් රාජ්‍යයන්වල නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා විදේශ වෙළඳපොළේ තිබූ ඉල්ලුම පහත වැටීම හේතුවෙන් ඇති වූ ආර්ථික අර්බුදය යි. එහි දී එම වසරේ ආසියාන් කලාපයේ ආර්ථික වර්ධන වේගය 7.4% සිට 7.1% දක්වා පහත වැටෙන්නට විය. නමුත් කලාපයක් ලෙස සිටීමේ වැදගත්කම ලෝකයට ම පැහැදිලි කරමින් ආසියාන් සංවිධානය එම අර්බුදයට සාර්ථකව මුහුණ දෙමින් ඊට ගත යුතු ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ම ක්‍රියාත්මක කරන ලදි.

    ආරම්භයේ සිට වර්තමානය දක්වා ආසියාන් සංවිධානය පැමිණි ගමනේ දී එම සංවිධානය ලැබූ සාර්ථකත්වයට හේතු වූ තීන්දු තීරණ කීපයක් අධ්‍යනය කල හැකිය. 

ඒවා කීපයක් නම්;

  • ආසියාන් කලාපයේ ආර්ථීක හා කලාපීය සහයෝගිතාව වර්ධනය කරනු සඳහා ඇති කරන ලද, 1967- ආසියාන් ප්‍රකාශනය.
  • කලාපය තුල ආර්ථික සහයෝගිතාවට පමණක් සීමා නොවී අනෙකුත් වැදගත් ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ද සහයෝගිතාව වර්ධනය කරනු සඳහා වූ 1976 - ආසියාන් එකඟතාව පිළිබඳ ප්‍රකාශනය. (Declaration of ASEAN Concord)
  • 1992 වර්ෂයේ සිට ඉදිරියට වසර 15ක් ක්‍රියාත්මක වන පරිදි නිදහස් වෙළඳ කලාපයක් ඇති කිරීම සඳහා වූ අභියෝගාත්මක තීරණය. (AFTA - ASEAN Free Trade Area)
  • 2020 සඳහා වූ අනාගත දැක්ම හා ඉලක්ක 1997දී පවත්වන ලද ක්වාලාලම්පූර් නිල නොවන රාජ්‍ය නායක සමුළුවේ දී ප්‍රකාශයට පත් කිරීම.

    ආසියාන් සංවිධානයේ රටවල ජනගහණය මිලියන 600ක්ද ඉක්මවා සිටී. එය සමස්ත ලෝක ජනගහණයෙන් 8.8%කි. මෙම රටවල ස්වාභාවික සම්පත් රැසක් ද පවතී. ඒ අතර ඛනිජ තෙල්, රබර් හා ටින් ප්‍රධාන වේ. ආසියාන් කලාපයේ භූමි ප්‍රමාණය සමස්ත ලෝක භූමි ප්‍රමාණයෙන් 3%ක් පමණ වේ. ආසියාන් සංවිධානයේ රටවල් වේගයෙන් දියුණු වීමට තවත් හේතුවක් වූවේ ඇමරිකාව හා ජපානය වැනි දියුණු ආර්ථික බලවතුන් සමඟ ඉතා සහයෝගයෙන් ක්‍රියා කිරීමයි. පසුගිය කාලය තුළ පමණක් ජපානය සිය විදේශ ආධාරවලින් 38% ක් ම ආසියානු සංවිධානයේ රාජ්‍යයන් වලට ලබා දී ඇත.  

    මීට අමතරව ව්‍යාඝ්‍ර පෝතකයන් (Tiger Cubs) ලෙස හඳුන්වනු ලබන නැගෙනහිර හා අග්නිදිග ආසියානු කලාපයේ ආර්ථික වර්ධන වේගය 7%කටත් වඩා වැඩි අගයකින් සංවර්ධනය වන රාජ්‍යයන් අතරින් රාජ්‍යයන් 05ක්ම (තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය, සිංගප්පූරුව, මැලේසියාව) මෙම කලාපයට අයත් වීම මත ආසියාන් කලාපය ම ලෝකයේ ප්‍රමුඛ ආර්ථික බලවතෙකු බවට පත් වී ඇත. බොහෝ අවස්ථාවන්හි දී මෙම කලාපයේ රාජ්‍යයන් අනෙකුත් දියුණු රාජ්‍යයන් සමඟ ආර්ථික සහයෝගිතා ගිවිසුම්වලට එකඟ වන්නේ, තනි තනි ව නොව කලාපයක් ලෙස එක්සත්වය. එමගින් ලැබෙන ප්‍රතිලාභ කලාපයට ම‍ පොදු වීම මත එම සංවිධානයේ සාර්ථකත්වය ද වර්ධනය වී ඇත.

    වර්තමානය වන විට ආසියාන් සංවිධානය තම ආරම්භක අරමුණුවලින් බහුතරයක් සපුරාගෙන ඇති බව අවබෝධ කර ගත හැක. විශේෂයෙන්ම කලාපීය සාමය පවත්වා ගැනීම සහ කලාපීය ආර්ථික, සමාජීය හා පොදු පහසුකම් වර්ධනය කර ගැනීම මඟින් එහි ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට ද සමත් වී ඇත. එහි සාර්ථකත්වය කෙතරම් ද යත් එය දුර්වලව ආරම්භ වූ මුල් අවදියේ දී ඊට සම්බන්ධවන ලෙස ආරාධනාවක් ශ්‍රී ලංකාවටද ලැබුණු අතර ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හමුවේ එය ප්‍රතික්ෂේප කර දමන ලදි. පසුව ආසියාන් සංවිධානයේ සාර්ථකත්වය හමුවේ ලංකාව නැවතත් 1980 දශකයේ දී එහි සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කිරීමට ඉදිරිපත් විය. නමුත් ඒ වන විට සංකීර්ණ වී පැවති ආසියාන් සංවිධාන සැකැස්ම හමුවේ එම කලාපයට අයත් නොවූ ලංකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. මෙලෙසින් තවත් රාජ්‍යයන් ගණනාවක් ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලුම් කර තිබෙන අතර රාජ්‍යයන් කීපයක් තවමත් නිරීක්‍ෂණ මට්ටමින් පසු වේ. මේ ‍හේතුවෙන් ම ආසියාන් සංවිධානය ආදර්ශයට ගනිමින් දකුණු ආසියානු රාජ්‍ය නායකයන් ද සාර්ක් (SAARC) නමින් එවැනි ම කලාපීය සංවිධානයක් බිහි කර ගත් නමුත් එව තවමත් ආසියාන් සංවිධානය මෙන් සාර්ථකත්වයට පත් වී නැත.

    මේ ආකාරයෙන් ආසියාන් සංවිධානය කලාපය තුළ මෙන් ම ලෝකය තුළ ද ප්‍රමුඛ ආර්ථික බලවතෙකු බවට පත් වී තිබෙන අතර එම කලාපීය රාජ්‍යයන් එක්සත් ව ආසියාන් සංවිධානය සමඟ බැදී සිටීම හේතුවෙන් පොදු ගැට‍ළුවල දී ලෝක මට්ටමෙන් බලපෑම් ඇති කිරීමේ හා කේවල් කිරීමේ හැකියාව ද ලබාගෙන ඇත. නමුත් එම කලාපීය රාජ්‍යයන් තනි තනි ව කටයුතු කලේ නම් එලෙස සංවර්ධනය වීමට හෝ ලෝක බලවතුන් ඉදිරියේ ශක්තිමත් ව නැගී සිටීමට නොහැකි වනු ඇත. එක්සත් බව හා දූරදර්ශී බව ආසියාන් සංවිධානයේ සාර්ථකත්වය බව ඉහත කරුණු අධ්‍යනයේ දී නිගමනය කල හැක.

 මෙම පැවරුම මගින් ආසියාන් සංවිධානය ආරම්භ වීමට ප්‍රථම මෙම කලාපයේ තත්ත්වය, ආසියාන් සංවිධානයට පෙර තිබූ කලාපීය සහයෝගිතා සංවිධාන හා ඒවායේ අසාර්ථකත්වය, ආසියාන් සංවිධානය ආරම්භ වීමේ පසුබිම හා අවස්ථා, ආසියාන් සංවිධානයේ අරමුණු, පැවැත්ම හා ක්‍රියාවලිය පිළිබඳව මෙන් ම සමාලෝචනය මගින් ආසියාන් සංවිධානය මුහුණ දුන් අභියෝග සහ එහි සාර්ථකත්වය පිළිබඳ තොරතුරු දක්වා ඇති අතර එවැනි සංවිධානයන්ගේ වැදගත්කම ද අවධාරණය කිරීමට උත්සහ කෙරුවෙමි.


මූලාශ්‍ර

  • කරුණාදාස, ඩබ්ලිව් එම්. ගොලීයකරණය හා කලාපීයකරණය, දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 1999.
  • කරුණාදාස, ජාත්‍යන්තර සංවිධාන, දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 2000.
  • කරුණාදාස, තුන්වන ලෝකයේ දේශපාලනය හා ආර්ථිකය, දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 2003.
  • විජේනායක, අමරසිරි., එදා සිට අද දක්වා මෙදෙස් විදේස් දේශලාන වෙනස් වීම්, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002.
  • විජේසිංහ, නාමල්., දේශපාලන විද්‍යාව 2, දන්කොටුව: වාසනා ප්‍රකාශකයෝ, 2002.
  • දේශපාලන විද්‍යාවේ මූලිකාංග 1, බත්තරමුල්ල: අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2007.
  • Google.lk/
  • Microsoft ® Encarta ® 2008. © 1993-2007 Microsoft Corporation.
  • http://www.asean.org/asean/asean

No comments:

Post a Comment