Sunday, 8 August 2021

මහා භාරතයෙන් හෙළිවන දේශපාලන දර්ශනය.

 

මහාභාරතයෙන් හෙළිවන දේශපාලන දර්ශනය.

 

හාභාරතය පිළිබඳ සාකච්ඡා කිරීමේදී බොහෝ දෙනාට මතකයට නැගෙන්නේ එම කෘතිය පැරණි ග්‍රීසියේ රචනා වූ හෝමර් නැමැති මහා කවියාගේ ඉලියඩ් හා ඔඩිසි නම් වීර කාව්‍ය ද්විත්වය හා සමාන වන බවයි. එය සැබෑ නමුත් මහාභාරතය නම් කෘතිය හුදෙක් වීර කාව්‍යයකට සීමා නොවන අතර ඒ තුළ ආර්‍ය්‍යයන් ඉන්දියාවට පැමිණීමේ සිට වර්ධනය වූ පුළුල් දේශපාලන දර්ශනයක් ද අන්තර්ගත ව ඇති බව අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. මෙහි ශාන්තිපර්වය නම් 12වන සර්ගය, රාජ්‍ය කටයුතු හා මානුෂික ගති පැවතුම් විස්තර කෙරෙන නොයෙක් ආකාරයේ ශ්ලෝක දහස් ගණනකින් යුක්ත වේ. වසර දහස් ගණනකට පෙර භාරතයේ පැවති ආචාර ධර්ම, සමාජ ධර්ම, දේශපාලන සංකල්ප, උසස් සමාජ පරමාර්ථ වැනි කරුණු ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් එමගින් ලබා ගත හැක. ඒ සඳහා පළමු ව දේශපාලන දර්ශනය මෙන් ම මහාභාරත කෘතිය සූක්ෂ්ම අධ්‍යනයකට ලක් කළ යුතු වේ. එහිදී මහාභාරතය අයත් වන්නා වූ පෙරදිග දේශපාලන දර්ශනය හා අපරදිග දේශපාලන දර්ශනය සමඟ සංසන්දනාත්මක ව කරුණු අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වේ.

දේශපාලන දර්ශනය මඟින් රාජ්‍ය පිළිබඳ හදාරනවා මෙන් ම රාජ්‍ය පාලනය කිරීමේ කලාව පිළිබඳවද පුළුල් අවධානයක් යොමු කරනු ලැබේ. ඒ හා සම්බන්ධ දේශපාලන දර්ශනය තුළ ආරම්භක යුගයේ පටන්ම විවිධ මතවාදයන් ගොඩනැගී ඇත. මෙසේ ගොඩනැගී ඇති දේශපාලන මතවාදයන් ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ විග්‍රහ කළ හැක.

  •  පෙරදිග දේශපාලන මතවාද.
  •  අපරදිග දේශපාලන මතවාද.

ඉහතින් දක්වන ලද ප්‍රධාන දේශපාලන දර්ශනයන් ද්විත්වයේ ආකෘතිය එකිනෙකට සමාන වන අවස්ථා ද ඇතිමුත් පුළුල් ආකාරයෙන් විෂම අවස්ථා ද අන්තර්ගත වේ. එහිදී එක් එක් යුගයන්ගේ දේශපාලන, ආර්ථික, සමාජීය යනාදි ක්ෂේත්‍රයන්ගේ ව්‍ය්‍රහාත්මක සැකැස්ම සහ එක් එක් දාර්ශනිකයාට හෝ ගුරුකුලයට හෝ ආවේණික දෘෂ්ටිකෝණ මඟින් රාජ්‍ය හා රාජ්‍ය පාලනය පිළිබඳ කර ඇති විග්‍රහය වැදගත් වේ.

සිය දෛනික ජීවිතයට බලපාන එහෙත් තමාට විස්තර කළ නොහැකි ගැටලු විසඳීම උදෙසා වඩාත් ශිෂ්ට සම්පන්න මිනිසා විසින් දේශපාලන දර්ශනය කරා ක්‍රමයෙන් යොමු විය. ඒ අතර තවත් පිරිසක් එබඳු ගැටලු සඳහා විසඳුම් සොයනු ලැබුවේ ආගමික පූජකවරුන් හා දෙවිදේවතාවුන් කරා යොමු වීමෙනි. ලෝක ඉතිහාසය තුළ මානව ප්‍රගමනයේ වැදගත් සන්ධිස්ථානයක් හිමිකරගත් විෂයයක් ලෙස දේශපාලනය හැදින්විය හැකි අතර ඒ සම්බන්ධයෙන් බිහි වූ විවිධ මතවාදයන්ගේ හා විග්‍රහයන්ගේ එකතුව දේශපාලන දර්ශනය ලෙස හැඳින්විය හැකිය.

අපරදිග දේශපාලන චින්තන ධාරාවට  සමාන දිගු ඉතිහාසයක් පෙරදිග දේශපාලන චින්තන ධාරාව තුළ ද අන්තර්ගත ව ඇත. අපරදිග දේශපාලන චින්තනයේ මූලාරම්භය ග්‍රීසියේ සිදු වූවා මෙන් ම පෙරදිග දේශපාලන චින්තනයේ මූලාරම්භය පැරණි භාරතයේ සිදු විය. එමගින් දාර්ශනික අංශයට වඩා රාජ්‍ය සංවිධානය පිළිබඳ හා රාජ්‍ය කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබීම විශේෂ ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය. එනම් රාජ්‍ය බලය සුරක්‍ෂිත කරමින් යටත්වැසියාගේ සුබ සිද්ධිය සැලසීම වේ.

පශචාත් ඍග්වේද කාලපරිච්ඡේදය තුළ ආර්‍ය්‍ය සහ අනාර්‍ය්‍ය සංකලනය හේතුවෙන් දේශපාලන, ආර්ථික, සමාජීය සහ ආගමික යන ක්ෂේත්‍රයන්හි බොහෝ වෙනස්කම් සිදු විය. මෙහිදී දේශපාලන වශයෙන් සිදු වූ විශේෂ වර්‍ධනය නම් ආර්යයන් ගෝත්‍රික තත්ත්වයෙන් ප්‍රාදේශීය තත්ත්වයට පත් වීමයි.  පශ්චාත් ඍග්වේද යුගයේ ගෝත්‍ර කීපයක් ඒකාබද්ධ වීමෙන් සෑදුණු ප්‍රදේශ (ගණ) පිළිබඳවත්, පසු කාලයේදී විදේහ, කෝසල වැන විශාල රාජ්‍යයන් පිළිබඳවත් සඳහන් වේ. මෙතැන් සිට පෙරදිග දේශපාලන චින්තනය තුළ රාජ්‍යත්වය පිළිබඳ අදහස ක්‍රමයෙන් ව්‍යාප්ත වීම ආරම්භවනු දැකිය හැකිය.

පුරාතන ඉන්දියාවේ රාජ්‍යත්වය මානුෂික අවශ්‍යතාවයන් හා යුද්ධයේ දී උද්ගත වන අවශ්‍යතා සපුරාලීමේ පදනම මත ඇති වූවක් වන බව විද්වතුන්ගේ මතය වී ඇත. රජුගේ ප්‍රධාන කාර්යය වනුයේ යුද්ධයක දී ස්වකීය ප්‍රජාව ජයග්‍රහණය කරා මෙහෙය වීමයි. එමඟින් රාජ්‍ය සංස්ථාව හා රජතුමා දෙවියන් විසින් ප්‍රදානය කරන ලද්දක්ය යන දේවවරම්වාදි අදහසඉස්මතු වීමක් ද සිදුව ඇත. මෙම අදහස මහාභාරතයේ මෙන් ම මනුස්මෘතියේ ද අන්තර්ගතව ඇත.

එහිදී විශ්ව සාහිත්‍යයෙහි වැදගත් තැනක් මහාභාරතයට අවිවාදයෙන් ම හිමි වේ. මෙම ග්‍රන්ථය භාරතීය දේශපාලන දර්ශන ග්‍රන්ථ අතර අග්‍රගණ්‍ය වේ. ආර්යයන් භාරතය කරා ගමන් කොට එහි පදිංචි වූවාට පසු දේශීය සතුරන් සමඟත් ඇතැම් විට ඔවු‍නොවුන් අතරත් ඇතිවූ සටන් බො‍හෝ ය. එම සටන්වලදි ඉතාමත් ‍දක්ෂ ලෙස සටන් කොට මියගියවුන් වීරයන් ලෙස සැලකීම ඒ ආර්ය සමාජයෙහි සිරිත විය. ඒ වීරයන්ගේ දක්ෂකම් පිළිබඳ සාකච්ඡා ද නිතර ඔවුන් අතර ඇතිවිය. කල්යත්ම මේ සාකච්ඡා කටින්කට පැවත ඒමෙන් අතිශයෝක්තියෙන් හා අද්භූත රසයෙන් සම්පූර්ණ වූ ජනකතා බවට පත් විය. ක්‍රි: පූ: 400 පමණ වන විට මෙබඳු විසිතුරු ජනකතා භාරතීය සමාජයෙහි බහුල වුවා මෙන් ම ජනප්‍රිය ද විය. රාමායණය හා මහාභාරතය යන වීරකාව්‍ය ද්විත්වය එකල පහළ වීමට ද හේතුව මෙයයි. මේ දෙකින් සිදුවුයේ අථර්වන් වේදය හැර සෙසු වේදයන්හි ආ වීර චරිතයනුත් යට කී පරිදි විසිර පැවති වීර චරිතයන් වටා ගෙතුණු ජනකථාවනුත් එක් රැස් කිරිම ය.

මහාභාරත කෘතියේ දැක්වෙන භීෂ්ම, යුධීෂ්ඨිරගෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් රාජ්‍ය පිළිබඳ දේවවරම්වාදී සිද්ධාන්තය මෙන් ම සමාජ සම්මුතිවාදී සිද්ධාන්තයට අදාළ අදහස් ද ඉදිරිපත් කර ඇත. එය පහත පරිදි ය;

ස්වභාව ධර්‍මයේ පැවැත්මට පමණක් අනුරූප ව ජීවත් වූ මිනිස්සු රජෙකු නොමැතිව පරාජිත භාවයෙන් පෙළුණෙන්, දෙවියන් වෙතට ගොස් තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා රජෙකු පැතූහ. ඔවුන්ගේ ඇවිටිල්ලට කන් දුන් මහාබ්‍රහ්ම ඔවුන් වෙත මනු නැමැත්තා රජකු වශයෙන් පත් කොට එවීය.  

පෙරදිග දේශපාලන චින්තනයේ ප්‍රාථමික අවධියේ රාජ්‍ය හා රාජ්‍යත්වයේ ආරම්භය දේව නිර්මාණවාදය  මත පදනම් වී පැවති අදහසක් දැකිය හැකි වුවද මෙහි දැකිය හැකි විශේෂත්වය වන්නේ සමාජ සම්මුතිවාදී අදහසක් ද මෙහි අන්තර්ගත ව පැවතීමයි. මෙම මතවාද තව දුරටත් ඉතා පුළුල් ලෙස විමසීම වැදගත් වේ.

මෙලෙසින් සකස් වී ඇති මහාභාරතය තුළ වැඩි වශයෙන් දේශපාලන දර්ශනයට ගත හැකි තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගතව ඇත්තේ ශාන්ති පර්වය නම් කාණ්ඩයේ ය. එහි ඇති තොරතුරුවලට අනුව ආදිතම මානව සමාජයේ නීතියක් හෝ නීතියක් ක්‍රියාත්මක රජෙක් වාසය කර නොමැති අතර එම මුල් කාලය තුල මානවයා සාමයෙන් හා සමාදානයෙන් තම ජීවිතය ගත කර ඇත. නමුත් කල්ගතවත්ම ජනතාව තුල ඇති වූ ආත්මාර්ථකාමී ලක්ෂණ හේතුවෙන් එකිනෙකා අතර ගැටුම් ආරම්භ වී ඇති අතර එකිනෙකා ඇනකොටා ගන්නා අභාග්‍ය සම්පන්න සමාජ ක්‍රමයක් ස්ථාපිත වී ඇත. පසුව මිනිස් සමාජයේ සිදුවන්නා වූ මෙම ව්‍යසනය දුටු දෙවිවරු තම ප්‍රධානියා වූ මහා බ්‍රහ්මයාට මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස ඉල්ලන ලදි. ඉන් අනතුරුව මෙයට පිළියමක් යෙදූ මහා බ්‍රහ්මයා තමා විසින් ම නීති සංග්‍රහයක් නිර්මාණය කොට එය විරජස් නම් පුද්ගලයෙකු ලවා මනුෂ්‍ය ලෝකයට එවා ඔහුව රජකමටද පත් කරනු ලැබීය. ඉන් අනතුරුව ඔහු එම නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මානව සමාජය යථා පරිදි සාමකාමී වූ බව මහාභාරතයේ ශාන්ති පර්වයේ දැක්වේ.

ඉහතින් දැක්වෙන ලද දේශපාලන දර්ශනයට අනුව මිනිස් සමාජයේ හා රාජ්‍යයේ ප්‍රභවය දේවියන්ගේ මැදිහත් වීමෙන් සකස් වී ඇත. එනම් එහි අර්ථ ගන්වන්නේ දේවවරම්වාදී අදහස් ය. නමුත් මහා භාරතයේ ඇති තවත් තොරතුරු අධ්‍යයනය කිරීමේදී මෙයට වඩා වෙනස් ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ අන්තර්ගත විය හැකි දේශපාලන දර්ශනයක් ද අනාවරණය වේ. එයට අනුව පෙර සඳහන් කළ ආකාරයට මනුෂ්‍ය සමාජයේ පැවති අක්‍රමිකතා හා ව්‍යසනයන්ගෙන් මිදීමට ක්‍රමයක් සෙවූ මානවයාට ඒ සඳහා සුදුසු ක්‍රමයක් ලෙස පෙනී ගියේ විශ්වයේ නිර්මාතෘවරයා හමු වී සමාජය යහපත්ව පාලනය කරමින් ඒ සඳහා අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සුදුසු නායකයෙකු පත් කරන ලෙස ඉල්ලීමයි. එලෙස කටයුතු කරන නායකයාට අවශ්‍ය පහසුකම් මානව සමාජයෙන් ම ලබා දෙන්නට පොරොන්දු වූ ජනතාව ඒ සඳහා ඔහුට බදු ගෙවමින් ඔහුගේ නායකත්වය පිළිගැනීමටත් පොරොන්දු විය.

මෙම මතවාදය කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ පාලකයා පත් කර ගැනීමේ දී මහජනතාව හා නායකයා අතර යම් කිසි එකඟතාවක් ඇති වූ බවයි. ඒ අනුව පාලකයා තම කාර්යභාරය ඉටු කරන්නේ නම් මහජනතාවද තම පොරොන්දු නිසි පරිදි ඉටු කරන්නට එකඟ වූ බවයි. මෙය පසු කාලීනව යුරෝපයේ සිටි දේශපාලන දාර්ශනිකයන් වූ තෝමස් හොබ්ස්, රූසෝ හා ජෝන් ලොක් වැනි සමාජ සම්මුතිවාදී අදහස් ඉදිරිපත් කළ චින්තකයන්ගේ අදහස් හා සමාන වේ. එම බටහිර චින්තනයන්ට  අනුව පාලකයා පත් කරන්නේ මහජනතාව විසින් වන අතර සමාජ යහපැවැත්ම සාර්ථකව පවත්වා ගනිමින් මහජනතාවගේ සුබසිද්ධිය තකා කටයුතු කිරීම පාලකයාගේ වගකීම වන බව අවධාරණය කර ඇත. කෙසේ වෙතත් මෙම බටහිර මතවාද බිහි වීමට වසර ගණනාවකට පෙර එම ප්‍රජාතාන්ත්‍රික යහපාලන ක්‍රමවේද භාරතීය සමාජය තුළ පහළ වීම විශේෂත්වයකි. ඒ තුළින් සමස්ත දකුණු ආසියානු කලාපය තුළ ම නිර්මාණය වූ රාජ්‍යත්වයට හා දේශපාලන දර්ශනයට නිසි මඟ පෙන්වීමක් ලැබුණු අතර සමකාලීන යුරෝපයේ පැවති ප්‍රජා පීඩක පාලන ක්‍රමයකට වඩා යහපත් පාලන ක්‍රමයක් ඇති කිරීමට පෙරදිග පාලකයන් (විශේෂයෙන් ම දකුණු ආසියානු කලාපය තුළ) උත්සාහ කරනු ලැබීය.

සමස්ත දකුණු ආසියානු කලාපයට ඉතා ප්‍රබල ලෙස ම බලපෑම් ඇති කරන ලද භාරතීය දේශපාලන දර්ශනයට වැදගත් මඟ පෙන්වීමක් කරනු ලැබුවේ මහාභාරතය තුළිනි. මහාභාරතය රාමායණයට වඩා පැරණියැ යි බටහිර වියතුන්ගේ මතය වුවද භාරතීය පඬුවන්ගේ අදහස නම් රාමායණය මහාභාරතයට වඩා පැරණිය වන බවයි. එම නිසා ඔවුහු ආදිම කාව්‍ය ලෙස රාමායණයත් ආදිම කවියා ලෙස වාල්මිකිත් සඳහන් කරති. කෙසේ වුවද මෙම ග්‍රන්ථ ද්විත්වය අතර කාල පරතරය සියවසකට ‍ හෝ දෙකකට වැඩි නොවේ. මේ දෙකෙහි සඳහන් සමාන අසමාන පුරාවෘත්ත ගැන සැලකීමේ දී එකකට එකක් පූර්වතම යැයි කිව නොහැක. කාව්‍ය ද්විත්වය ම දීර්ඝ කාලයක් තුළ නොයෙක් දෙනාගේ විවිධ වෘත්තාන්තයන් ඇතුළත් කිරීමෙනුත් ඇතැම් වෘත්තාන්තයන් වෙනස් කිරීමෙනුත් අද පවත්නා තත්ත්වයට පැමිණ ඇත.

මහා භාරතයෙහි ආරම්භය ක්‍රි: පූ: 400 දී පමණ සිදුවුණි යැයි සලකනු ලැබේ. එහෙත් මෙය කාව්‍යයක් වශයෙන් පිළියෙල වූයේ ක්‍රි. පූ: 2 වැනි සියවසේදී යැයි සමහර විද්වතුන් නිගමනය කරති. මෙහි කර්තෘ වශයෙන් සලකනුයේ ව්‍යාස ඍෂිවරයාය. එහෙත් අද පවතින මහාභාරතය එකම කර්තෘවරයකුගේ ‍නොව කර්තෘවරුන් බො‍හෝ දෙනකුගේ කෘතියක් බව පැහැදිලිව පෙනෙන හෙයින් ව්‍යාස ඍෂිවරයා මහාභාරතයේ ආරම්භක  කර්තෘ වශයෙන් සැලකීම වඩා උචිත ය.

දැනට දක්නට ලැබෙන මහාභාරතය ශ්ලෝක ලක්ෂයකින් පමණ යුක්ත ය. ඒ නිසා මහාභාරතය  ශ්‍රැඍථ සංහිතා යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එහෙත් ආරම්භයේදී මහාභාරතය ශ්ලෝක විසිහතර දහසකට වැඩි නො වී ය. කලින් කල විකාශයට පත්වීම නිසා එය අද පවත්නා තත්ත්වයට පැමිණ ඇතත් මහාභාරතය රචනා වීම නැවතුණේ කවරදාදැයි නිශ්චය වශයෙන් ම කිව නොහැක. එහෙත් ගුප්ත කාලීන ශිලා ලේඛනයක මහාභාරතය “ශ්‍රැඍත සංහිතා” යනුවෙන් සඳහන්ව ති‍බෙන හෙයින් ගුප්ත කාලය වන විට එහි රචනා වීම අවසන්ව අද මෙන් සම්පූර්ණව තිබිණැ යි සැලකීම යුක්ති සහගත ය.

කෙසේ වෙතත් මෙහි ඇති දේශපාලන දර්ශනය පසු කාලීනව රචනා වූ බොහෝමයක් ග්‍රන්ථවලට මූලික කොට ගෙන ඇත. ආගමික දර්ශනය තුළින් පෙන්වන්නා වූ සදාචාරයන් හා දේශපාලන දර්ශනය තුළින් පෙන්වන්නා වූ ප්‍රායෝගික තත්ත්වයත් තුළ ඇති වන්නා වූ ගැටුමේ දී බොහෝ විට සදාචාරයන් බිද වැටීමක් සිදු වේ. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් රාජ්‍ය ආරක්ෂා කර ගැනීම හෝ රාජ්‍ය ව්‍යාප්ත කර ගැනීම සඳහා කරන ලද ප්‍රයත්නයන් බොහෝ අවස්ථාවන්හීදී ආගමික දර්ශනයට අනුව සදාචාර විරෝධී වේ. නමුත් සෑම විටම සදාචාරයට මූලිකත්වය දීමට කටයුතු කළහොත් රාජ්‍ය අස්ථාවර වී මහජනතාවගේ ජීවිතයන්ට තර්ජනයක් ද ඇති විය හැකිය. ඒ හේතුවෙන් මහාභාරතයේ දැක්වෙන දේශපාලන දර්ශනයට අනුව පාලකයෙකු කටයුතු කළ යුතු අකාරය පැහැදිලි ලෙස දක්වමින් සාධාරණය කර ඇත. එහි දක්වා තිබෙන ආකාරයට පාලනය සම්බන්ධයෙන් වගකිව යුතු ක්ෂත්‍රීයා විසින් කෙතරම් අසීරුවුවත් රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් යුද්ධ කළ යුතු අතර එය මනාව ඉටු කිරීම මඟින් මෝක්ෂය ලබා ගත හැකි බවද  දක්වයි. මෙම මතය එක් ආකාරයට ස්ථාවර රාජ්‍ය පාලනයක් පවත්වා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමක් විය හැකිය.

යුද්ධය  ක්ෂත්‍රිය ධර්මය වන බැවින් ඔහු මෝක්ෂය පතන්නේ නම් යුද්ධය පිළිගැනීම අනිවාර්ය වේ. එය පාලකයා විසින් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් ඉටු කළ යුතු අනිවාර්ය වගකීමක් වන බව මහාභාරතයේ දක්වා ඇත. මෙම මතය පසු කාලීන භාරතීය දේශපාලන දර්ශනයට බලපෑම් ඇති කළ බෞද්ධ මතවාදයන්ට සම්පූර්ණයෙන් ම පටහැනි වේ. කෙසේ වෙතත් කෞටිල්‍ය අර්ථශාස්ත්‍රයේ දැක්වෙන නියමයන්ට වඩා තරමක් ප්‍රගතිශීලී සංකල්ප යුද්ධයක දී අනුගමනය කළ යුතු බව ද මහාභාරතයේ දක්වයි. ඒ අනුව යුද්ධයක් නිශ්චිත වූ ආචාර ධර්ම පද්ධතියක් මත පදනම් විය යුතු බව සඳහන් කර ඇත. ඒ අනුව ;

1.     යුද්ධයක් බලයෙන් හා ශ්‍රමයෙන් සමාන පුද්ගලයන් අතර සිදු විය යුතු වේ.

2.     දෙපාර්ශවය ම සමාන අවි ආයුධ භාවිත කළ යුතුය.

3.     යුද්ධයෙන් පරාජය වූ තැනැත්තෙකු තමාට පරම්පරාව ගෙන යෑමට පුතෙකු නොමැති බව පවසා තම පරම්පරාව ගෙන යෑමට සමාව දෙන මෙන් ඉල්ලුව හොත් සමාව දිය යුතුය.

4.     තණකොළ කටේ තබාගෙන අභයදානය ඉල්ලුවහොත් සමාව දිය යුතුය.

5.     තමා දාස භාවයට පත්වන බව පවසා සමාව ඉල්ලුවහොත් සමාව ලබා දිය යුතුය.

        මහාභාරතයට අනුව මෙය ධර්ම යුද්ධය වන අතර ඉතා සියුම් ලෙස දේශපාලන උපායශීලීත්වයට ඉඩ දීමක් ද මෙමගින් සිදු වේ. ඊට අමතරව රාජ්‍යත්ව ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පැරණි බ්‍රාහ්මණ දහමට වඩා හාත් පසින් ම වෙනස් වේ. බ්‍රාහ්මණ දහමට අනුව රාජ්‍ය පාලනය ක්ෂත්‍රීයන්ට හා උපදෙස් දීම බ්‍රාහ්මණ යන සමාජයේ උසස් ම කුලයන්ට හිමි වූ අතර අනෙක් දෙනා එම කුලවලට පහලින් සිටිය යුතු විය. නමුත් මහාභාරතයේ දක්වා ඇති අකාරයට රාජ්‍යත්වය තහවුරු කෙරෙන ප්‍රධානතම සාධකය වන දක්ෂ පාලකයා සඳහා ඕනෑම කුලයක පුද්ගලයෙකු පත් කර ගැනීමට හැකි අතර රාජ්‍යත්වය අස්ථාවර නොවීමට එය අනිවාර්ය ද වේ.

        ඉතා පුළුල් ව හා සූක්ෂ්ම ව මහාභාරතය අධ්‍යනය කිරීමේදී අවබෝධ වන්නා වූ පොදු කරුණක් වන්නේ සමස්ත පෙරදිග දේශපාලන දර්ශනය සඳහා ප්‍රබල බලපෑමක් එමගින් ඇති කරන ලද බවයි. එහිදී මහාභාරතය රචනා වීම ආරම්භ වූ යුගයේ සිට ඉන්දියාවට එල්ල වූ මුස්ලිම් ආක්‍රමණ දක්වා වූ සමයේ භාරතීය දේශපාලන සංස්ථාව පෝෂණය කිරීමට මහාභාරතය සමත් වූ අතර සමකාලීන තත්ත්වයන්ගේ ආභාෂය ලබමින් මහාභාරතයද නැවත ප්‍රතිපෝෂණය වීම ද සිදු විය. එහිදී මහාභාරතයේ දේශපාලන මතවාද ගොඩනැගීමට ප්‍රබල බලපෑමක් මෞර්ය හා ගුප්ත යුගවල දී සිදු වූ බව සමකාලීන අනෙකුත් මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේදී අවබෝධ වේ. විශේෂයෙන් ම ක්‍රමික ව විකාශනය වන්නා වූ සමාජ සම්ප්‍රදායන් හේතුවෙන් නව සමාජ, දේශපාලන හා ආර්ථික ගැටලුන්ට ප්‍රතිචාර දැක්වීමේ දී පැවති තත්ත්වයන්ට ඔබින ලෙස නව මතාවදායන් ඉදිරිපත් කිරීමේ භාරදූර කාර්යය මහාභාරතයෙන් සිදු වී ඇත.

No comments:

Post a Comment