Sunday 15 August 2021

"චරිතාපදාන, ඓතිහාසික පර්යේෂණ සඳහා කෙතරම්දුරට වැදගත් වන්නේද?"





ටක ඉතිහාසය හැදෑරීමේදී පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙන් ම සාහිත්‍ය මූලාශ්‍රද එක සේ වැදගත් වේ. විශේෂයෙන් ම නූතන ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පර්යේෂකයෙකුට ඉවහල් වන්නා වූ ප්‍රමුඛතම මූලාශ්‍ර විශේෂයක් ලෙස මෙම සාහිත්‍ය මූලාශ්‍ර හඳුනාගත හැකි වේ. චරිතාපදාන මඟින් සිදුවන්නේ පර්යේෂණයේ දැනුමේ ප්‍රමාණය වැඩි දියුණු කිරීමයි. ඊට අමතරව ක්‍රමානුකූල ව සිදු කරනු ලබන නිර්මාණාත්මක කාර්යයක් ලෙස එය අර්ථ දැක්විය හැකිය. මිනිසාගේ දැනුම, සංස්කෘතිය, සමාජය, සහ නව භාවිතයන් සොයා ගැනීමට මෙම දැනුම යොදා ගන්නා අයුරු මේ තුලින් විදහා දැක්වේ. එය තොරතුරු පිහිටුවන්න සහ තහවුරු කරන්නට, පෙර කාර්යයන්හි ප්‍රතිඵල යළි ගොඩනගන්නට, නව හෝ පවතින ගැටලු නිරාකරණය කිරීමට, සිද්ධාන්තවලට සහය දැක්වීම හෝ නව න්‍යායයන් ගොඩනැගීමටද යොදා ගනියි.  පර්යේෂණයක ප්‍රධාන අරමුණු වනුයේ (ව්‍යවහාරික පර්යේෂණයට ප්‍රතිවාදී ව) ලේඛණගත කිරීම, අනාවරණය කර ගැනීම, අර්ථකථනය හෝ මිනිස් දැනුම වැඩි දියුණු කිරීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන ආදී ක්‍රම යොදා ගැනීමයි. පර්යේෂණයට අදාළ ප්‍රවේශයන්, මනුෂ්‍යත්වය සහ විද්‍යාව යන දෙකම සහ දෙක අතර සැලකිය යුතු ලෙස දෝලනය වන ඥාන විභාගයන් මත පදනම් වේ.

ඉතිහාසඥයෝ සෑම විටම ප්‍රශ්නයකට අදාළ ප්‍රශස්ත ම පිළිතුර සොයන්නට උත්සහ කරනු ලබයි. එහිදී එය වටා ඇති ගැටලු සහ තොරතුරු සොයා බලයි. අන්තර්ගතය හැම විටම බොහෝ වැදගත් වන අතර එයට සමාජයීය, ඓතිහාසික, දේශපාලනික, සංස්කෘතික හෝ ජනවාර්ගික අංශයන් ඇතුලත් වේ. එම පර්යේෂණයකට උදාහරණයක් වනුයේ, පෞරාණික ක්‍රම අන්තර්ගත ඓතිහාසික පර්යේෂණයයි. ඉතිහාසඥයන් ප්‍රාථමික මූලාශ්‍රයන් සහ අනෙකුත් සාධක යොදා ගනිමින්, ක්‍රමානුකූල ව මාතෘකාව විමර්ශනය කොට පසුව පැරණි ආකාරයට පුරාවෘත්තයන් ලියයි. එලෙස පුරාවෘත්ත ලෙසින් ම නම් නොවූවත් ඊට වඩා යම්තාක් දුරකට ගුණාත්මකභාවයෙන් ඉහළ හා යථාර්ථවාදී ලක්ෂණවලින් හෙබි අංශයක් ලෙස චරිතාපදාන හැඳින්විය හැකිය.

මෙලෙසින් සකස් වන්නා වූ ඓතිහාසික පර්යේෂණ ක්‍රමවේදය තුළ චරිතාපදානවලට ඉතා සුවිශේෂී ස්ථානයක් හිමි වේ. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසය අධ්‍යයනයේදී චරිතාපදාන සුවිශේෂී වේ. උදාහරණයක් ලෙස අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමීන් ප්‍රමුඛ ලංකා ජාතික සංගමයේ ක්‍රියාකාරී දේශපාලන නායකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාර ඔස්සේ ජාතික නිදහස් සටන ක්‍රියාත්මක කළ ආකාරය හා එහිදී ඔවුන්ට මුහුණ දීමට සිදු වූ විවිධ දේශපාලන බලවේගත් ඒවාට විසදුම් සොයා ක්‍රියාත්මකවන ආකාරයත් ඔවුන්ගේ චරිත ඇසුරින් හඳුනා ගත හැකිය. එහිදී චරිතාපදාන ඉතා වැදගත් වේ. චරිතාපදානයක් යනු, යමෙකුගේ ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් හෝ විස්තරයක් හෝ වෙයි. ප්‍රධාන තොරතුරු වන අධ්‍යාපනය, කර්මාන්ත, සබැඳියාවන් සහ, මරණය ආදී දත්තයන්ට වඩා වැඩිමනත් තොරතුරු සපයන්නේ චරිතාපදානයක් විසිනි. මෙම සිද්ධීන් තුල අවධානයට ලක්වන්නා වූ ප්‍රධාන චරිතයේ පළපුරුද්ද විදහා දක්වන අතර තවත් ආකාරයකින් ජීවිතයේ එක් පැතිකඩක් හෝ ජීව දත්ත තොරතුරු (සංක්ෂේපය) මෙන් නොව, චරිතාපදානයක් විසින් ප්‍රධාන චරිතයේ ජීවිත කතාව ගෙනහැර පායි. ඒ තුළ පළපුරුද්දේ සූක්ෂ්ම විස්තර අඩංගුව, ඔහුගේ හෝ ඇයගේ දිවියේ විවිධ පාර්ශව ඉස්මතු වන අතර, ප්‍රධාන චරිතයේ පෞරුෂත්වය පිළිබඳ විශ්ලේෂණයක් ද මෙහි අඩංගු විය හැක.

චරිතාපදාන කෘති සාමාන්‍යයෙන් මවාපාන ලද්දක් නොවන නමුත්, පුද්ගලයෙකුගේ දිවිය රසවත් ලෙස ගොඩනැංවීමට එවැනි කරුණු කාරණා වුවද යොදා ගනු ලැබේ. චරිත කතාවක් ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ එහි සඳහන් වන පුද්ගලයා වැදගත් වීම නිසාම නොවේ. යම් යම් අවස්ථාවල දී කැපී පෙනෙන කිසිම දක්ෂතාවක් නැති වුවද සමහර පුද්ගලයින්ගෙන් ඔහු වෙසෙන ජන සමාජයට කෙරෙන දායකත්වය සුළු පටු නොවිය හැකිය. වෙනස ඇත්තේ එවැනි පුද්ගලයින් හා ඔවුන්ගේ භූමිකාව කිරා මැන බැලීමට අප යොදන මිනුම් දඬු අනුවය. කිසියම් පුද්ගලයෙකු දේශපාලන හෝ ධන බලය රැස් කරගෙන ඇත්නම් ඔහු නිතැතින් ම වීරයෙක් ලෙස සැලකීම අප සමාජයේ පුරුද්දකි. අප අගයන්නේ එවැනි චරිතය. ඔවුන්ගෙන් ඉගෙන ගන්නේ ද බලය ලබා ගන්නේ ද කෙසේද යන්නයි.

අවසරලත් චරිතාපදානයක් ලියනු ලබන්නේ, ප්‍රධාන චරිතයේ හෝ ඔහුගේ උරුමකරුවෙකුගේ හෝ අවසරය, සහයෝගය සහ විටෙක සහභාගිත්වය ද සහිතවය. මෙවැනි නිබන්ධනවලට හිමිවන ප්‍රධාන වැදගත්කම නම් සමකාලීන පුද්ගලයන් හා සමාජ සිද්ධීන් දෙස කතුවරයන්ගේ දෑසින් අපට බලන්නට පුළුවන් වීමයි. මෙකී පුද්ගලයන් හා සිද්ධි වැදගත් ලෙස සලකනු ලැබේ නම් තවත් වැදගත් පුද්ගලයෙකු විසින් ඒවා ගැන කරනු ලබන විග්‍රහයද ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලයි. උදාහරණයක් ලෙස සලකන්නේ නම් කුමාරි ජයවර්ධන විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ සටන්කාමී සමාජ ප්‍රජාතන්ත්‍රවාදියා හා බෞද්ධ ප්‍රතිශෝධකයා ලෙස හඳුන්වනු ලැබූ ඒ. පී. ද සොයිසා මහතාගේ චරිතාපදානය රචනා කිරීමේදී, ඒ. පී. ද සොයිසා ඇයගේ පියා වීම මත එම කර්තව්‍යය පහසු වූ බව උපකල්පන කළ හැක.

ස්වයං චරිතාපදානයක් යනු, එම ප්‍රධාන චරිතය විසින් හෝ විටෙක සහකාරයෙක් සමග හෝ ලියනු ලබන, ප්‍රධාන චරිතයේ ජීවිතය පිළිබඳ විස්තරයකි. පාපෝච්චාරණ ඇතුළත් ස්වයං චරිතාපදාන ඓතිහාසික වශයෙන් වටිනාකමක් ඇති සාහිත්‍යාංගයක් ලෙස ද හැඳින්විය හැකිය. ස්වයං ලිඛිත චරිතාපදාන (Autobiography) බොහෝ අවස්ථාවල දී ප්‍රාථමික මූලාශ්‍ර යටතට ගත හැකි අතර අනෙකුත් චරිතාපදාන ද බොහෝ අවස්ථාවල දී සහභාගී නිරීක්ෂණ ක්‍රමවේදය අන්තර්ගත වී තිබීම හේතුවෙන් එහි ගුණාත්මකභාවය ඉතා ඉහළ තත්ත්වයක පවතී. කෙනෙකු තම ජීවිත කතාව ලියන්නට පෙලඹෙන්නා වූ හේතූන් කීපයක් පවතින බව හඳුනාගත හැකිය. මෙම හේතූන් විවිධ ඒවා වන බව ද අධ්‍යයනය කළ හැකිය. ඇතැම් පුද්ගලයින් තම ජීවිත කථාව ලියන්නේ තමාගේ ජීවිතය සාර්ථක වීම මත එය අනුන්ට ආදර්ශයක් විය යුතුය යන විශ්වාසය අනුවය. එවැනි ජීවිත කථා ජයසක් නාදයක් බඳුය. ඒ තුළ තමාගේ අනන්‍ය සාධාරණය, තොරතුරු වල පරිපූර්ණත්වය හා ඒ හේතුවෙන් ම රසවත් වෘත්තාන්තයක් සේ එළිදරව් කළ හැකි බව විශ්වාසයයි. තමාගේ ජීවිතය තම රටේ ඉතිහාසය හා සම්බන්ධ වී ඇති බැවින් එහි ඓතිහාසික වටිනාකමක් ඇතැයි සිතා එය විස්තර කරති. මෙවැනි පුද්ගලයෝ බොහෝ විට දේශපාලකයෝ වන බවට අවබෝධ කර ගත හැකිය. 

ඉතිහාසය යළි යළිත් ප්‍රතිනිර්මාණය වෙමින් තිබේ. එහි ස්වභාවය කිරා මැන බලා නිවැරදි තක්සේරුවකට එළඹෙන්නට අතීත අත්දැකීම් ඉතා වැදගත් වේ. ස්තෝත්‍ර ගායනයක් නොවන චරිත කතාවකින් ඉගෙන ගත හැකි දේ බොහෝ ය. ජීවිතයේ කුමන අවධියක දී වුවත් මනාව සැකසුණු චරිත කතාවක් කියවීම ඇතැම් විට අපේ ම ජීවිතය දෙස විවේකීව බැලීමට අවස්ථාවක් හිමිකර දේ. සදොස් තැන් නිදොස් කර ගැනීමට මෙන් ම අප ජීවත් වන සමාජයේ ඓතිහාසික පරිණාමයන් හඳුනා ගැනීමට හා ඒ දෙස නව දෘෂ්ඨිකෝණයකින් බැලීමටත් අවස්ථාවක් උදා කර ගත හැකිය. සැබෑ ලෙස ම මෙම පරිඥානය උසස් සාහිත්‍ය කෘතියකින් ද ලැබිය හැකි වුවත් චරිත කතාවකින් ලැබෙන ඓතිහාසික වටිනාකම ඉතාමත් ම ප්‍රබල වේ.

ශ්‍රී ලංකාවේ වැදගත් චරිතාපදාන අතරින් මෙතෙක් ලියැවී ඇති සුවිශේෂිත කෘතියක් ලෙස මහාචාර්ය කේ. එම්. ද. සිල්වා හා හවර්ඩ් රිගින්ස් විසින් සංස්කරණය කරමින් රචනා කරන ලද ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය හැදින්විය හැකිය. ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයෙකු වන අතර ඔහුගේ නාමය ඉතිහාසයේ නොමැකෙන ලෙස සනිටුහන් වී ඇත්තේ ඔහු ලංකා ඉතිහාසය වෙනස් කිරීමට දායකත්වය ලබා දීම හේතුවෙනි. සැබෑ ලෙසම ඔහුගේ පරපුරේ ආදිතමයන් ද ලංකා ඉතිහාසය වෙනස් කිරීමට දායකත්වයක් සැපයූ පුද්ගලයන් වේ. එම කෘතිය තුළින් හුදෙක් එක් චරිතයකට පමණක් සීමා නොවන අතර සමස්ත ලාංකේය ඉතිහාසය කෙරෙහි ද අවධානය යොමු වීමක් සිදුව ඇත. ඒ හේතුවෙන් ම එහි අන්තර්ගත වන්නා වූ තොරතුරු ප්‍රමාණය ඉතා පුළුල් පරාසයක් ගනු ලබයි. නමුත් මෙම නිබන්ධනයේ පෙර සඳහන් කළ අකාරයට චරිතාපදානයක් අනෙකුත් කෘතිවලට වඩා තරමක් යථාර්ථවාදී වුවත් යම් යම් අවස්ථාවල දී ප්‍රබන්ධාත්මක තොරතුරු අන්තර්ගත වීමක් ද දැකිය හැකිය. එය මෙම ජයවර්ධන චරිතාපදානයට ද පොදු වූවකි. ඒ හේතුවෙන් ම මෙම කෘතිය ඉතා සූක්ෂ්ම අන්දමින් පර්යේෂණයට ලක් කළ යුතු වන අතර එම කෘතිය රචනා කිරීමට හේතු වූ අරමුණ ද පැහැදිලි කර ගත යුතුය. සැබෑ ලෙස ම මෙම චරිතාපදානය ලියැවෙන්නේ ජයවර්ධන ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය මත වන අතර ඔහුගේ පෞද්ගලික අනුදැනුම ද මතය. මන්ද යත් ජයවර්ධන පරපුර ගැන ලංකා ඉතිහාසයේ ලියවී ඇති තොරතුරු එතරම් ප්‍රියමනාප නොවන බැවිණි. ඒ අනුව ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා තම පරපුර පිළිබඳ ඉතිහාසය සුදු ඉතිහාසයක් බවට පත් කිරීමට විධායක බලතල අයථා ලෙස යොදා ගනිමින් ජනාධිපති අරමුදලෙන් ලක්ෂ ගණනක මුදලක් වියදම් කරන ලද බව විවේචකයන්ගේ මතය වී ඇත.  

කෙසේ වෙතත් එම කෘතිය සකස් කිරීමේදී ජයවර්ධන ජනාධිපතිවරයාගේ සහභාගීත්වය ඍජුව ම ලැබී ඇති අතර ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝමයක් රස මුසු තැන් මෙන් ම රහසිගත තොරතුරු ද එමගින් අවධාරණය කර තිබේ. විශේෂයෙන් ම මෙම චරිතාපදානයන්ගේ අන්තර්ගත තොරතුරු මඟින් අදාළ චරිතයේ පමණක් නොව ඔහුට සම්බන්ධ අනෙකුත් චරිත මෙන් ම අවස්ථා සම්බන්ධයෙන් ද ඉතා දුර්ලභ තොරතුරු අනාවරණය වේ. ලංකා ඉතිහාසය තුළ ඉතා සුවිශේෂී අවස්ථාවක් වූ 1912 මැකලම් ප්‍රතිසංස්කරණයේ දී සීමිත ඡන්ද බලයෙන් උගත් ලාංකිකයෙකු තෝරා පත් කර ගැනීමේ අවස්ථාව හිමි වූ අතර එහිදී සිංහල අපේක්ෂකයා වූ දොස්තර මාක්ස් ප්‍රනාන්දු මහතා පරාජයට පත් කරමින් ජයග්‍රහණය හිමි කර ගනු ලැබුවේ පොන්නම්බලම් රාමනාදන් මහතා ය. සැබෑ ලෙස ම මෙම තරඟය සඳහා මුලින් ම ඉදිරිපත් වූවේ මාක්ස් ප්‍රනාන්දු වූ නමුත් බහුතරයක් ගොවිගම කුලයේ වංශවතුන් කාරවේ කුලයට අයත් ප්‍රනාන්දු මහතාට ප්‍රියමනාප නොවීය. ඒ හේතුවෙන් ම ජේ. ආර්. ජයවර්ධන මහතාගේ බාප්පා කෙනෙකු වූ හෙක්ටර් ජයවර්ධන මහතා විසින් පොන්නම්බලම් මහතාව යොදා ගත් බවත් ඔහුගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයද පෞද්ගලිකව මෙහෙයවන ලද්දේ හෙක්ටර් ජයවර්ධන විසින් බවත් ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වේ. කේ. එම්. සිල්වා මහතාට අනුව හෙක්ටර් ජයවර්ධනගේ කටහැකර කතාත්, වාචික ගැරහිලි හා ගෙරවිලි එපිට කුලභේදය ඇවිස්සීමටත් එම ඡන්ද සටනේ අමතක නොවන ලක්ෂණය විය. මෙම කතා පුවත ජයවර්ධන පරපුරේ දක්ෂතාව පිළිබිඹු කිරීමේ අදහසින් කේ. එම්. සිල්වා මහතා විසින් මෙම කෘතියට ඇතුළත් කරන්නට ඇති නමුත් ඉන් යම්තාක් දුරකට එම පරපුරට අපකීර්තියක් ද ගෙන දෙනු නොඅනු මානය. සැබෑ ලෙස ම මෙය මෙම කෘතියේ එක් ප්‍රමාද දෝෂයක් වන අතර ප්‍රධාන චරිතයේ වීරකම් කියා පෑමට ගොස් එම චරිතයට ම පාඩුවක් සිදු වීමකි. මෙවැනි දුර්වලතා කීපයක් මහාවංශයේ ද ඇති අතර දුටු ගැමුණු හා පරාක්‍රමබාහු යන චරිත පිළිබඳව ඇති තොරතුරුවල ඒවා උද්දීපනය වී ඇත.

ඓතිහාසික පර්යේෂණ සඳහා චරිතාපදානයන්ගෙන් ලැබෙන දායකත්වය පිළිබඳ විමසීමේ දී බ්‍රෙස්ගර්ඩල් චරිතාපදානයද සුවිශේෂී වන බව හැදින්විය හැකිය. එමගින් 20වන සියවසේ ලාංකේය නිදහස් සටන් ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වන අතර වාමාංශික ව්‍යාපාරවල පැවති රැඩිකල් ස්වභාවය ඉතා මැනවින් නිරූපණය වීමක් ද සිදු වේ. බ්‍රෙස්ගර්ඩල් ලංකාවට පැමිණියේ එකල යුරෝපීයන්ගේ වතු සමාගම්වලට අයත් ව පැවති වතුකරයේ තනතුරක් සඳහා ය. එහෙත් කම්කරුවන්ට සුදු වතු පාලකයන් විසින් සැලකූ ආකාරය හේතුකොටගෙන මෙම පාලකයින්ට විරුද්ධ වන තත්ත්වයට පිවිසුණේ ය. ළමයින් හා මැලේරියාව වැළඳී සිටින කාන්තාවන් ද මොවුන් විසින් වතු වැඩට යොදා ගත්තේ කෲර ලෙසට ය. දෛනික වැඩ කාලය පැය 12 දක්වා දීර්ඝ ව තිබුණි. මෙම තත්ත්වයට විරුද්ධව බ්‍රෙස්ගර්ඩල් 1936 දී ලංකා සමසමාජ පක්ෂයට බැඳී එහි ක්‍රියාශීලියෙකු විය. ජනතාවට එරෙහි පොලිස් ප්‍රධානියා ධුරයෙන් ඉවත් කිරීමට ගෙන ගිය ක්‍රියාදාමයේ ඔහු මූලික තැනක් ගනු ලැබීය. ඔහුගේ ක්‍රියාකලාපය සුදු පාලකයන්ට ම කොතෙක් නොරිස්සුවේදයත් ඔහුව බලයෙන් පිටුවහල් කිරීමට එකල ආණ්ඩුකාරවරයා නියෝගයක් පවා නිකුත් කරනු ලැබීය. මෙයට විරුද්ධව දියත් වූ සටන ලංකාවේ පළමු කම්කරු පන්ති දේශපාලන සටන වශයෙන් හැඳින්විය හැකි අතර එය බ්‍රෙස්ගර්ඩල් නම් චරිතය සමඟ සමීපව බැඳී පවතී. නිදහසට පෙර ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ උද්වේගකර අවස්ථා පිළිබඳ විමසීමේ දී මෙම අවස්ථාව සුවිශේෂී වන අතර බ්‍රෙස්ගර්ඩල් පිළිබඳ විමසීමේ දී ද ලංකාවේ කම්කරු ව්‍යාපාරය බැඳී පවතී. ඒ හේතුවෙන් ඔහුගේ චරිතාපදානය එක් අතකින් ලංකාවේ වාමාංශික කම්කරු ව්‍යාපාරය හා කම්කරු සටන් පිළිබඳ මනා හරස්කඩක් ලෙස ද හැඳින්විය හැකිය.

තවද යම් යම් චරිතාපදාන අධ්‍යයනය තුළින් එකල පැවති සමාජ, ආර්ථික හා දේශපාලන පැතිකඩයන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකි වේ. ඩී. බී. ජයතිලක මහතාගේ චරිතාප්‍රදානය තුළින් එකල පැවති දේශීය අධ්‍යාපනයේ ස්වභාවය හඳුනාගත හැකි අතර ඒ තුළ අන්තර්ගත ඔහුගේ ප්‍රකාශන තුළින් එය මනාව තහවුරු වේ.

මාගේ අභිවෘද්ධියට හේතු වුණේ මෙම පිරිවෙනේ (විද්‍යාලංකාර) පාලි, සංස්කෘත හා සිංහල භාෂා ඉගෙනීමයි. මම ශාස්ත්‍රය පමණක් නොව ජීවිතයට ශාන්තිය ළඟා කර ගැනීමට වුවමනා බණ දහම් හා සිරිත් විරිත් ද පිරිවෙන් අධ්‍යාපනයෙන් ලබා ගතිමි. එංගලන්තයේ සිටින උසස් ශාස්ත්‍රඥයන් මට බුහුමන් කළේ මා ඉගෙන ගත් ඉංග්‍රීසි භාෂාව නිසා නොවේ. පෙරදිග භාෂා ඥානය නිසායි. අමද්‍යප සේවය සඳහා ඉංග්‍රීසි මහත්වරුන්ගෙන් මට උපකාර ලබාගත හැකි වූයේත්, ජගත් දෘෂ්ටි සම්මේලනයේ දී ලංකාවට ගෞරවයක් ලැබෙන පරිදි කතා කිරීමට හැකි වූවේත් පිරිවෙනේදී උගත් බුද්ධ ධර්මය නිසාමයි”

ලංකා ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී තවත් වැදගත් චරිතාපදානයක් ලෙස හිටපු අගමැති ජෝන් කොතලාවල මහතාගේ චරිතාප්‍රදානය හැදින්විය හැකිය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ දිනා ගැනීමේ දී ලංකා ජාතික සංගම් නායකයන් හා ලඟින් සිටි නායකයෙක් වන ජෝන් කොතලාවල මහතා පසුව ලෝකප්‍රකට අගමැතිවරයෙක් ද විය. ඔහුගේ චරිතාපදානය තුළින් ද ලංකාවේ දේශපාලන හා සමාජ තත්ත්වය මෙන් ම ලෝක දේශපාලන තත්ත්වයන් ද අනාවරණය වේ. එහිදී ඉතා වැදගත් සිදු වීම් ලෙස ඩී. එස්. සේනානායක මහතා මිය යෑමෙන් පසු ඩඩ්ලි. සේනානායක මහතා හා ජෝන් කොතලාවල මහතා අතර පැවති අගමැති පොරය මෙන් ම ජාත්‍යන්තර සමුළුවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගමැති ජෝන් කොතලාවල මහතා කරන ලද ප්‍රකාශ ද ඉතා උද්වේගකර මෙන් ම විවාදයට තුඩු දෙන ලද ඒවා විය. විශේෂයෙන් ම ඔහු විසින් 1955දී බැංඩුං සම්මේලනයේදී කරන ලද දේශනය ධනවාදී රාජ්‍යයන්ගේ ප්‍රසාදයටත් සමාජවාදී රාජ්‍යයන්ගේ අප්‍රසාදයටත් හේතු විය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ආරම්භය කොතලාවල මහතා සමඟ ද බැඳී පවතී. ලංකා ඉතිහාසය තුළ දී එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය වැදගත් වන්නා සේම එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුළ ජෝන් කොතලාවල මහතාද බැඳී පවතී. මන්ද යත් එක්සත් ජාතික පක්ෂය පිහිටුවීම සඳහා ප්‍රථමයෙන් (1946 සැප්තැම්බර් 06) කොළඹ කුරුඳුවත්තේ කෞතුකාගාරය ඉදිරිපිට ඇති ගිල්ෆ්‍රිඩ් ක්‍රසන්ට් හි පාම්කෝට් මන්දිරයට පැමිණෙන ලෙසට දන්වා පිරිසට ආරාධනා පත්‍ර යැව්වේත්, එහි කැඳවුම්කරු වූයේත් කොතලාවල මහතා වීමයි.

තවද ඔහු වැඩි වශයෙන් යුද උපකරණ නිපදවීමෙන් හා වැඩි වැඩියෙන් යුද හමුදා පුහුණු කිරීමෙන් සාමය ඇති කිරීමට වෙහෙසෙන ලෝකයක ඒ අතින් ඉදිරියට යාම වැරදි බවත් යුද බලය වෙනුවට ආධ්‍යාත්මික බලය ප්‍රයෝජනවත් බවත් ප්‍රකාශ කරනු ලැබීය.

යුද භීතිය නැති කිරීමට නම් අපේ අදහස් වෙනස් කළ යුතුය. අප ලෝක සාමය වෙනස් කිරීමට යොදන උපක්‍රම වෙනස් කළ යුතුය. භෞතික ශක්තිය මෙහෙයවීමට වඩා අප උත්සහ කළ යුත්තේ ආධ්‍යාත්මික ශක්තිය මෙහෙය වීමටයි. මෙතෙක් ජාත්‍යන්තර සාමය ගොඩනැගීම සඳහා යොදා ගෙන තිබෙන්නේ උනුන් සතු යුද ශක්තියයි..... මේ නිසා අසල්වැසි රාජ්‍යවලට විරුද්ධව යුදායුධ අමෝරාගෙන සිටීම අද සාමාන්‍ය සිරිතය. යුද ලෑස්තිය නිසා සුළු භේදයකින් පවා මුළු ලෝකය ම අළු කිරීමට සමත් ගින්නක් හට ගැනීමට පුළුවන. එහෙයින් සාමය ළඟා කර ගැනීමට පහසු කරුණක් නොවේ. තමන් සතු යුද ශක්තිය රක්ෂාවරණයක් වශයෙන් නොසිතිය යුතුය. තමන් සතු යුද්ධායුධ සාමයේ දූතයා නොවේ.

යනුවෙන් ජෝන් කොතලාවල මහතා විසින් එම සමුළුවේ දී තවදුරටත් ප්‍රකාශ කරන ලද අතර එය ලෝක ප්‍රජාවේ දැඩි අවධානය යොමු වූ කතාවක් ද විය.

මෙයට අමතරව ලංකාවේ වාමාංශික දේශපාලනය ගැන අවධානය යොමු කිරීමේදී නිතැතින් ම සඳහන් වන්නා වූ චරිතයක් වන්නේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතායි. විශේෂයෙන් ම ලංකා සමසමාජ පක්ෂයේ ඉතිහාසය හා ඇන්. ඇම්. පෙරේරා මහතාගේ ජීවිතය එකට බැඳී තිබෙන්නකි. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා යනු පුද්ගල නමක් හෝ පුද්ගල චරිතයක් හෝ නොව 20වන සියවසේ ශ්‍රී ලාංකික දේශපාලනයේ එක් පරිච්ඡේදයක් බව දේශපාලනඥයන් මෙන් ම ඉතිහාසඥයන්ගේ ද පිළිගැනීම වේ. එහෙයින් ඇන්. ඇම්. පෙරේරා මහතාගේ දේශපාලන ජීවිතය අධ්‍යයනය කිරීම අනිවාර්යයෙන් ම 20වන සියවසේ ශ්‍රී ලාංකික සමාජ දේශපාලන ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයක් ද වන්නේ ය.

ඇන්. ඇම්. පෙරේරා මහතා හා බැඳුණු අනෙක් නාමය වන්නේ ලංකා සමසමාජ පක්ෂයයි. ලංකා සමසමාජ පක්ෂයේ ඉතිහාසය හැදෑරීමකින් තොරව ඇන්. ඇම්. පෙරේරා මහතාගේ දේශපාලනය වටහා ගත නොහැකි වන්නා සේම සමසමාජ පක්ෂයේ ඉතිහාසය හැදෑරීමට නම් අනිවාර්යයෙන් ම ඇන්. ඇම්. පෙරේරා මහතාගේ ජීවිත චරිතය හැදෑරිය යුතුය. ඊට අමතරව සූරියමල් ව්‍යාපාරය හා මැලේරියා මර්දන ව්‍යාපාරය පිළිබඳ විමසීමේ දී ද ඇන්. ඇම්. පෙරේරා මහතාගේ ජීවිතය බැඳී පවතී.

නූතන ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී චරිතාපදාන ඓතිහාසික පර්යේෂණ සඳහා ඉතා සුවිශේෂී දායකත්වයක් සපයන මූලාශ්‍රයන් වන බව මෙහි දී අවබෝධ කර ගත හැක. විශේෂයෙන් ම යම් යම් චරිත සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් සිදු කර තිබෙන බලපෑම මත ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ සිදු වන සුළු සිදුවීමක් පවා සමස්ත රටකටම ඉතා ප්‍රබල ලෙසින් බලපාන බව ප්‍රායෝගික ලෙසින් ම විද්‍යාමාන වීම එයට හේතුවයි. එහිදී එම පුද්ගලයාගේ ප්‍රකාශයන්, සිතුම් පැතුම්, හැඟීම් හා පෞද්ගලික චර්යාවන් කෙරෙහි ද අවධානය නිතැතින් ම යොමු වේ. කෙසේ වෙතත් චරිතාපදාන පරිශීලනය ඓතිහාසික පර්යේෂණ සඳහා වැදගත් වුවත් එය අධ්‍යයනය කළ යුත්තේ ඉතා ප්‍රවේසම් සහගතවය. මන්ද යත් බොහෝමයක් චරිතාපදාන මූලික අවධානය යොමු කර ඇත්තේ එහි අවධාරණය වන්නා වූ පුද්ගල චරිතයේ වැදගත්කම ප්‍රදර්ශනය කිරීමට උත්සහ කර තිබීම හේතුවෙනි. ඒ හේතුවෙන් ම චරිතාපදාන අධ්‍යයනයේදී බහුවිධ මූලාශ්‍ර පරිශීලනය කිරීමට මෙන් ම ඒවා සූක්ෂ්ම අධ්‍යයනයට යොමු වීම තුළින් ඓතිහාසික පර්යේෂනයන් සාර්ථක කර ගත හැකි බව මතක තබා ගත යුතු වේ.

 

No comments:

Post a Comment