Wednesday 10 March 2021

වියට්නාම් යුද්ධයේ ප්‍රධාන අදියරයන් සැකෙවින්.

වියට්නාම් යුද්ධය යනු ශතවර්ෂ ගණනාවක් පුරා සිදු වූ අධිරාජ්‍යවාදයේ හා යටත් විජිතවාදයේ එක් පැතිකඩයකි. අතීතයේ දී එය චීන අධිරාජ්‍යයට යටත්ව තිබූ අතර චීන අධිරාජ්‍ය දුර්වල වීමත් සමඟ එම ප්‍රදේශ ප්‍රංශ ග්‍රහණයට නතු විය. 1800න් පමණ පසු එම ප්‍රදේශ ප්‍රංශ ඉන්දු-චීනය ලෙස හඳුන්වනු ලැබීය. වියට්නාමය ද ඇතුළුව කාම්බෝජය හා ලාඕසය ද ඉන්දු-චීනයේ කොටස් ලෙස පැවතිණ. 20වන සියවස අරම්භ වන විට ප්‍රංශ අධිරාජ්‍යයට විරුද්ධව ඉන්දු චීනය ආශ්‍රිත ප්‍රදේශවල ජාතික ව්‍යාපාර ආරම්භ වූ අතර එහි මූලිකත්වය ගනු ලැබූ‍වේ හෝචි මිංගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ වියට්නාම් නිදහස් ලීගය හෙවත් වියට් මිං සංවිධානයයි.      

දෙවන ලෝක සංග්‍රාමයේ දී යුරෝපය තුළ දී ප්‍රංශය, ජර්මනිය හමුවේ පරාජය වූ අතර අග්නිදිග ආසියාවේ දී ජපානය හමුවේද පරාජය විය. ඒ අනුව ජපානය විසින් ප්‍රංශය සතු වූ ඉන්දු-චීන ප්‍රදේශ 1940 දී පමණ අක්‍රමණය කර යටත් කර ගන්නා ලදි. ඉන් පසු ජපාන බලයට විරුද්ධව ප්‍රබල ප්‍රතිවිරොධතාවයක් දැක්වීමට හෝචි මිංගේ, වියට් මිං සංවිධානය සමත් විය. ජපානය දෙවන ලෝක සංග්‍රාමය පරාජය වීමත් සමඟ වියට් මිං සංවිධානය, හැනෝයි නගරය අල්ලා ගනිමින් 1945 සැප්තැම්බර් 2 වන දින ප්‍රජාතන්ත්‍රවාදී වියට්නාම් ජනරජය ලෙස නිදහස ප්‍රකාශය කරනු ලැබීය. නමුත් ප්‍රංශය ඊට විරෝධය දැක්වූ අතර වියට්නාම් නිදහස් ව්‍යාපාරයේ තවත් නායකයෙකු වූ ඩීන් ඩියම්ද (Ngo Din Diem) හැනෝයි කේන්ද්‍රකොටගත්,‍ කොමියුනිස්ට්වාදී උතුරු වියට්නාම් ප්‍රදේශවල නිදහස ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව එම ප්‍රදේශ නැවත අල්ලා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ප්‍රංශය උතුරේ වූ හෝචි මිංගේ, වියට් මිං හමුදාවත් සමඟ යුද්ධයකට අවතීර්ණ විය. මෙහි දී කොමියුනිස්ට්වාදී උතුර වියට්නාමයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රංශයට ආධාර දීමට ඇමරිකාවද ඉදිරිපත් විය. ඒ අනුව ප්‍රංශ හමුදා වියට්නාමයෙන් ඉවත් වන තෙක් ඇමරිකාව විසින් ප්‍රංශයට යුද්ධ ආධාර ටොන් 19,000,000 පමණ සපයා දී තිබිණි.

හෝචි මිං විසින් 1946 වසරේ සිට 1954 දක්වා දකුණු වියට්නාමයේ  සයිගෝන් නගරය කේන්ද්‍රකොටගෙන බාඕ දායි අධිරාජ්‍යයා ප්‍රමුඛ, ප්‍රංශ බලයට විරුද්ධව ගරිල්ලා යුද්ධයක් දියත් කරන ලදි. මෙලෙස හෝචි මිංගේ උතුරු වියට්නාමයට මුලදී සෝවියට් දේශයේ ද, 1949න් පසුව කොමියුනිස්ට් චීනයෙන් ද ආධාර හිමි වූ අතර දකුණු වියට්නාමයට ප්‍රංශයෙන් හා ඇමරිකාවෙන් යුද ආධාර හිමි විය. ඉතා දීර්ඝ හා විනාශකාරී යුද්ධයකින් අනතුරුව වියට්මිං හමුදාවේ සෙන්පති ගියප්ගේ මෙහෙය වීම යටතේ 1954 මැයි 07වන දින සිදු වූ සුප්‍රකට ඩියන් බියන් පූ සටනින් (Battle of Dien Bien Phu) උතුරු වියට්නාම් හමුදා ජයග්‍රහණය කිරීමත් සමඟ ප්‍රථම ඉන්දු යුද්ධය අවසන් විය. 

ඉන් පසු 1954 ජූලි 20 වන දින ජිනීවාහිදී අත්සන් කරන ලද ගිවිසුමකට අනුව (Geneva Accords), 17 වන අක්ෂාංශ සමාන්තර රේඛාව ඔස්සේ කොමියුනිස්ට්වාදීන්ගේ බලය සහිත උතුරු වියට්නාමය සහ ප්‍රංශ සහය ලත් දකුණු වියට්නාමය ලෙස රට තාවකාලිකව කොටස් දෙකකට බෙදා වෙන් කෙරිණි. තවද 1956 ජූලි 20 වන දා ට ප්‍රථම උතුරු හා දකුණු වියට්නාම ප්‍රදේශ ඒකාබද්ධ කිරීමේ අරමුණින් සමස්ත ප්‍රදේශයේ ම මහ මැතිවරණයක් පැවැත් විය යුතු විය. 

මේ වන විට ප්‍රංශයට විශාල ජීවිත හා මූල්‍ය අලාබ හානියක් ඉන්දු චීනය තුළ දී දැරීමට සිදු වී තිබූ අතර දෙවන ලෝක යුද්ධය හේතුවෙන් යුරෝපය තුළ දී ආර්ථික අවපාතයකට ද මුහුණ දීමට සිදු වී තිබිණි. ඒ හේතුවෙන් ම ප්‍රංශය, ඉන්දු චීනය තුළ තම යුද ව්‍යාපාර තව දුරටත් පවත්වාගෙන යාමට මැලි කමක් දැක්වීය. නමුත් සීතල යුද සමයේ දී ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය කොමියුනිස්ට් විරෝධී වීමේ ප්‍රතිඵලයක් ලෙස අග්නිදිග ආසියාවේ කොමියුනිස්ට් ව්‍යාප්තිය, ඇමරිකාව විසින් තමන්ට තර්ජනයක් ලෙස සලකන්නට විය. ඒ අනුව ඇමරිකාවේ සහය ලත් ඩීන් ඩියම් විසින් 1954දී දකුණු වියට්නාමය තුළ වියට්නාම් ජනරජය පිහිටුවනු ලැබූ අතර 1955දී දකුණු වියට්නාමයේ පවත්වනු ලැබූ ජනමතවිචාරණයක් මගින් බාඕ දායි පරාජයට පත් කර එහි අසහාය නායකයා වීමට ද ඩියම්ට හැකි විය. තවද 1956 දී පැවැත්වීමට යෝජනා වී තිබූ මහ මැතිවරණය හෝචි මිං විසින් ජයග්‍රහණය කරනු ලැබුවොත් දකුණු ප්‍රදේශවල ද කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත වේ යැයි බිය වූ දකුණු වියට්නාමය විසින් එම මහ මැතිවරණය අවලංගු කරණු ලැබීය. දකුණු වියට්නාමයට සහයදුන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධනවාදී බලවතුන් විසින් කොමියුනිස්ට් විරෝධී ව්‍යාපාරයක් ලෙස බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛත්වයෙන් ප්‍රංශය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, පකිස්ථානය, පිලිපීනය හා තායිලන්තය යන රටවලින් යුත් අග්නිදිග ආසියාතික ගිවිසුම් සංවිධානය (SEATO - South East Asian Treaty Organization ) පිහිටුවනු ලැබූ අතර දකුණු වියට්නාමයට යුධ හා ආර්ථික ආධාර ලබා දීමට ඇමරිකාවේ ජනාධිපති අයිසන්හවර් ඉදිරිපත් විය. ඒ අනුව ඇමරිකාව විසින් ඩොලර් 74,000,000ක යුධ අවි හා  ආර්ථික ආධාර ලෙස ඩොලර් කෝටි 160ක් ලබා දී ඇත.

කෙසේ වෙතත් දකුණු වියට්නාමයේ පරිපාලනය ගෙන ගිය ඩීන් ඩියම්ගේ පාලනය සුබ දායක නොවීය. ඩියම්ගේ පාලන ප්‍රතිපත්ති ඉතාමත් පීඩාකාරී මෙන් ම අර්ථ ශුන්‍ය විය. ඔහු රට තුළ කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තියක් ගෙන ගිය අතර කොමියුනිස්ට්වාදීන් හා බෞද්ධයන් මර්දනය කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් ජනතා අප්‍රසාදයට ද පත් විය. මෙය අවස්ථාවක් කර ගත් හෝචි මිං විසින් දකුණේ වූ ඩීන් ඩියම්ගේ පාලනය හේතුවෙන් පීඩාවට පත් ග්‍රාමීය ගොවි ජනතාවගේ සහයෝගය දිනා ගැනීමට සමත් විය. දකුණු වියට්නාම් පාලනයට විරුද්ධව සටන් කිරීම සඳහා 1960 දෙසැම්බර් 20 වන දින වියට්නාම් විමුක්ති ව්‍යාපාරය (National Liberation Front) නොහොත් වියට්කොං සංවිධානය පිහිටුවා ගැනීමට හැකි විය. 

විශේෂයෙන් ම මහ මැතිවරණයක් පැවැත්වීම, දකුණු වියට්නාමය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ උතුරු වියට්නාමයේ අරමුණ වූයේ යුද්ධ කොට හෝ වියට්නාමය ඒකාබද්ධ කළ යුතු බවයි. මේ සඳහා උතුරු වියට්නාමය ආර්ථික හා යුදමය වශයෙන් ශක්තිමත් කිරීමට කටයුතු කරනු සඳහා හෝචි මිං විසින් සිය කොමියුනිස්ට්වාදී කම්කරු පක්‍ෂය (DAN  LAO  DENG) මඟින් උතුරු වියට්නාමය තුළ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නට විය. ඒ අනුව ඉඩම් හා පතල් ජනසතු කරමින් සාමූහික ගොවිපළ ඇති කරන ලදි. නමුත් මෙයට විරුද්ධව උතුරේ ඉඩම් හිමියන් විසින් 1956 දී විශාල කැරැල්ලක් ඇති කරනු ලැබුවත් එය ඉතා දරුණු ලෙස මර්දනය කරමින් උතුරේ වූ සමාජවාදය රැක ගැනීමට හෝචි මිං සමත් විය. තවද කොමියුනිස්ට්වාදය සම්බන්ධයෙන් සෝවියට් දේශය හා චීනය අතර ඇති වූ මතවාදීමය අරගලය හමුවේ වුවද දෙරටේ ම හොඳ හිත දිනා ගනිමින් යුද හා ආර්ථික ආධාර තම රටට ලබා ගැනීමට සමත් වීම මඟින් තම රට ස්ථාවර ව හා ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට හෝචි මිංට හැකි විය. 

නමුත් දකුණේ වූ ඩීන් ඩියම්ගේ පාලනය ඉතාමත් ම දූෂිත වූ අතර 1960 හා 1962 යන වර්ෂවල දී ඩියම් පාලනයට විරුද්ධව අසාර්ථක කුමන්ත්‍රණ දෙකක් ද ඇති විය. මේ හේතුවෙන් ඇමරිකානු ජනාධිපති වූ ජෝන් එෆ්. කෙනඩි විසින් 1962 දී යුද විශේෂඥයින් හා 11000ක පමණ ඇමරිකානු හමුදාවක් දකුණු වියට්නාමයට යවනු ලැබූ අතර ඕනෑම මොහොතක සටන් කිරීම සඳහා අවශ්‍ය නියෝග ද ලබා දෙන ලදි. නමුත් තම අරමුණු ඩීන් ඩියම් මඟින් ඉටු කර ගැනීමට අපහසු බව ‍තේරුම් ගත් ඇමරිකාව විසින් තම අනු දැනුමද ඇති ව 1963 නොවැම්බර් 01 දින ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයට සහය දෙන ලදි. එහි දී ඩීන් ඩියම් ඝාතනය වූ අතර හමුදා පාලනයක් දකුණු වියට්නාමය තුල ඇති විය. මේ සමඟ ම වියට්නාමය කෙරෙහි ඇමරිකාවේ ඍජු මැදිහත් වීම වර්ධනය වූ අතර කෙනඩිගේ ඝාතනයෙන් පසු ජනාධිපති වූ ලින්ඩන් බී ‍ජොන්සන් විසින් ඇමරිකානු හමුදා ඍජුව ම වියට්නාම් යුද්ධය සඳහා සහභාගී කරවනු ලැබීය. 

විශේෂයෙන් ම උතුරු වියට්නාම් හමුදා විසින් 1964දී ටොන්කින් බොක්කේ (Gulf of Tonkin) නවතා තිබූ ඇමරිකානු නාවික හමුදාවට අයත් නැව් කීපයකට ප්‍රහාරයක් එල්ල ‍කලේ යැයි යන චෝදනාව මත ටොන්කින් බොක්කේ යෝජනාව (Gulf of Tonkin Resolution) ඇමරිකානු කොංග්‍රසය තුළ දී සම්මත කර ගනිමින් ඍජුව ම උතුරු වියට්නාමයට විරුද්ධව යුද්ධ කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් විය. (කෙසේ වෙතත් මෙම ටොන්කින් ප්‍රහාරය, උතුරු වියට්නාමය සඳහා ඍජු හමුදා මැදිහත් වීමක් සඳහා ඇමරිකාව විසින්ම තම නාවික හමුදාව වෙත රහසේ එල්ල කරන ලද ප්‍රහාරයක් බව ඇතමකුගේ මතයයි.) මෙම යුද මැදිහත් වීමේ ප්‍රධාන අරමුණ ලෙස ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ‍වේ උතුරු වියට්නාමය විසින් දකුණු වියට්නාමයට හා ලාඕසය කෙරෙහි කරනු ලැබූ මැදිහත් වීම වැළැක්වීම බවයි. නමුත් එහි සැබෑ අරමුණ වූයේ උතුරේ වූ කොමියුනිස්ට්වාදී පාලනය පරාජය කිරීමයි. ඒ අනුව ඇමරිකානු හමුදා දකුණු වියට්නාම් සමූහාණ්ඩු හමුදා (ARVN- Army of the Republic of Vietnam) සමඟ එක් ව 1965දී දියත් කරන්නට යෙදුණු “Operation Rolling Thunder” නම් මෙහෙයුම යටතේ වියට්නාම් ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කරන්නට විය. නමුත් 35000ක් පමණ වූ වියට්කොන් ගරිල්ලන් මර්දනය කිරීම දකුණු වියට්නාම් හමුදාවට අපහසු වීමත් සමඟ ඇමරිකානු ජනාධිපති වූ ලින්ඩන් ජොන්සන් විසින් සිය දෙවන දූර කාලයත් සමඟ වියට්නාමය තුළ ඇමරිකානු යුද ප්‍රහාර තවත් වර්ධනය කරන්නට විය. ඒ අනුව 1966 වන විට 400,000ක් දක්වා ද 1968 පමණ වන විට 550,000ක් දක්වා ද වූ ඇමරිකානු හමුදාවක් වියට්නාම් යුද්ධය සඳහා සහභාගී විය. 

1965-1968 අතර කාලයේදී වියට්නාම් යුද්ධය ඉතා දරනු ලෙස වර්ධනය වූ අතර වියට්කොන් ගරිල්ලන් විසින් ගරිල්ලා ප්‍රහාර මෙන් ම රහසිගතව නිර්මාණය කරන ලද භූගත උමං මාර්ග යොදා ගනිමින් ඇමරිකානු හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන විය. ඇමරිකානු හමුදාවේ ජෙනරාල්වරයෙකු වූ විලියම් වේස්ටර් මෝලන්ඩ්ගේ අණ දීම යටතේ සොය සොයා පහරදීමේ (Search and Destroy Operation) උපක්‍රමයක් ඇමරිකානුවන් විසින් ද ක්‍රියාත්මක කරන්නට විය. නමුත් මෙම ප්‍රහාර මගින් වියට්නාමය තුළ කොමියුනිස්ට්වාදය හෝ වියට්කොන් ගරිල්ලන්ගේ ප්‍රහාර අඩපණ කිරීමට ඇමරිකාවට නොහැකි වූ අතර 1965 පෙබරවාරි 07 වන දින ඇමරිකානු හමුදා මූලස්ථානයක් වූ “Pleiku” නම් ස්ථානයට ද පෙබරවාරි 10 වන දින ඇමරිකානු යුධ අවි අටවා තිබූ Qui-Nhon නම් ස්ථානයට ද දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට වියට්කොන් ගරිල්ලන් සමත් විය. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව මෙවැනි ගොඩබිම් යුද්ධ සඳහා සහභාගී නොවී සිටි ඇමරිකන් සෙබළුන්ට තමන්ට නුපුරුදු අග්නිදිග ආසියානු පරිසරයක් තුළ ගරිල්ලා ප්‍රහාරවලට මුහුණ දීම ඉතාමත් ම අසීරු විය. ගොඩබිම් ප්‍රහාරවල දී සාර්ථකව මුහුණ දීමට අසමත් වූ ඇමරිකානු හමුදා වියට්කොන් ගරිල්ලන්ගේ ප්‍රහාර හා උගුල්වලට හසු වී විශාල වශයෙන් මියයන්නට හා ඉතා දරුණු තුවාලවලට ගොදුරුවන්න විය. මේ ‍හේතුවෙන් උතුරු වියට්නාමයේ අගනුවර වූ හැනෝයි නගරයට හා දකුණු වියට්නාමයේ වියට්කොන් ගරිල්ලන්ගේ තර්ජනයට ලක් ව ඇති ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු ගුවන් හමුදාව කටයුතු කරන්නට විය. 

ඒ අනුව 1972 දක්වා ඇමරිකානු හමුදා විසින් ඉතිහාසයේ දරුණුතම රසායනික අවි ප්‍රහාරය වියට්නාමයට එරෙහිව එල්ල කලේ ය. “Operation Trail Dust” යනුවෙන් නම් එම මෙහෙයුම මඟින් “Agent Orange” නමින් ප්‍රසිද්ධ, ඩයෙක්සින් සහ අනෙකුත් විෂ වායු ටොන් දසලක්‍ෂ ගණනින් වියට්නාමයේ වනාන්තර ප්‍රදේශවලට එල්ල කෙරිණි. තවද ඇමරිකානුවන් විසින් වියට්නාමයට එල්ල කරන ලද නපාල්ම් බෝම්බ (Napalm) ඉතාමත් ම බිය ජනක සුළු ප්‍රහාර විය. පෙට්‍රල් හා ඇලුමිනියම් යන මූලික ද්‍රව්‍ය යොදා නිර්මාණය කරන ලද එම බෝම්බය මඟින් එය වැටුණු ප්‍රදේශයේ මීටර් 20ක් පමණ ගිනි ගනු ලබන අතර වතුර දැමුණ විට තව තවත් ගින්න ව්‍යාප්ත වේ. මෙවැනි ඇමරිකානු රසායනික ප්‍රහාර හමුවේ ලක්‍ෂ සංඛ්‍යාත වියට්නාම් වැසියෝ පිරිසක් මරණයට පත් වූහ. 

මෙවැනි ප්‍රහාර හමුවේ ඇමරිකානු සහය ලැබූ Nguyen Cao Kyගේ දකුණු වියට්නාම් රජය තව තවත් ජන අප්‍රසාදයට ලක් වූ අතර ජනතා සහය වියට්කොන් ගරිල්ලන්ට හා උතුරේ වූ වියට්මිං හමුදාවන්ට ලැබිණි. මේ හේතුවෙන් උතුරු වියට්නාමයේ කෙසේ වෙතත් දකුණු වියට්නාමයේ කොමියුනිස්ට්වාදී හමුදාවන්ගේ ක්‍රියාකාරකම්වත් මර්දනය කිරීමට ඇමරිකානු හමුදා අපොහොසත් විය. එය මනාව පැහැදිලි වූවේ දකුණු වියට්නාමයේ ජාතික ආරක්ෂාව ප්‍රබලව ම අභියෝගයට ලක් කරමින් 1968 ජනවාරි 31 වන දින වියට්කොන් ගරිල්ලන් හා වියට්මිං හමුදා විසින් ඒකාබද්ධ ව දකුණු වියට්නාමයේ ජාතික නව වසර සමරන උත්සවයට එල්ල කරන ලද (Tet Offensive) ප්‍රහාරයයි. එමගින් ඇමරිකානු හා ARVN කඳවුරු පිහිටා තිබූ දකුණු වියට්නාමයේ ප්‍රාදේශීය නගර 36ට හා ප්‍රධාන නගර 05ට එකවර ප්‍රහාර එල්ල කෙරිණි. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ දී ජාතික විමුක්ති හමුදාවේ(NLF) සාමාජිකයන් 33, 000ට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීමට ඇමරිකානු හමුදාවන්ට හැකි වූ නමුත් එය තම ජයග්‍රහණය සඳහා සාධකයක් නොවීය. 

කෙසේ වෙතත් මේ වන විට ඇමරිකානුවන් විසින් වියට්නාමයේ ගෙන ගිය යුද ව්‍යාපාරය ජාත්‍යන්තර වශයෙන් මෙන් ම ඇමරිකානු ජනතාව තුළ ද අප්‍රසාදය ඇති කරවන්නක් විය. මන්ද යත් ඇමරිකානු හමුදා විසින් වියට්නාමයේ ක්‍රියාවට නඟන ලද යුධ ව්‍යාපාර ඉතා තිරශ්චීන වූ අතර විශාල වශයෙන් යුධ අපරාධ චෝදනා ඇමරිකානු හමුදාවන් වෙත එල්ල වීමයි. එය ප්‍රබල වූ අවස්ථාවක් වූයේ 1968 ජනවාරි මාසයේ දී සිදු වූ වියට්කොන් ප්‍රහාරය මර්දනය කිරීමේ අරමුණින් ඇමරිකානු හමුදා විසින් කොමියුනිස්ට්වාදීන් මෙන් ම අහිංසක සිවිල් ජනතාව විශාල වශයෙන් ඝාතනය කරන ලද “My Lai Massacre” සිදුවීමයි. මේ හේතුවෙන් වියට්නාම් යුද්ධයට ඇමරිකානු මැදිහත් වීම නතර කළ යුත් බවට මහජන මතයක් ඇමරිකාව තුළ ගොඩ නැගෙන්නට වූ අතර දහස් ගණනින් විරෝධතාකරුවන් යුධ විරෝධි පාගමන් හා සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාර හරහා වියට්නාම් යුද්ධයට, ඇමරිකානු මැදිහත් වීම හෙළා දකින්නට විය. ඔවුන් නඟන ලද ප්‍රධානතම තර්කය වූවේ වියට්නාමයේ අභ්‍යන්තර අර්බුදයක් වූ එහි සිවිල් යුද්ධයට මැදිහත් වීමට ඇමරිකාවට ඇති සදාචාරාත්මක අයිතිවාසිකම කුමක් ද යන්නයි. 

ඇමරිකානු ජනතාවගේ අප්‍රසාදය වියට්නාම් යුද්ධය හෙවත් දෙවන ඉන්දු-චීන යුද්ධය (Vietnam War, also known as the Second Indochina War, military struggle fought in Vietnam from 1959 to 1975, involving the North Vietnamese and the National Liberation Front (NLF) in conflict with United States forces and the South Vietnamese army.), කෙරෙහි ප්‍රබලව ම එල්ල වීමට බලපාන ලද සාධකයක් වූවේ ඇමරිකානු සෙබළුන් දහස් ගණනින් වියට්නාමය තුළ දී ඝාතනයට ලක්වීමයි. තමන්ට අයිති නැති යුද්ධයකට, මැදිහත් වීම හේතුවෙන් තම ඥාතීන්ගේ, හිත මිත්‍රයන්ගේ මළසිරුරු සිය ගණනින් දිනකට තම රටට නැවත ගෙන ඒම ඇමරිකානුවන්ට ඉවසුම් නොදෙන්නක් විය. තවද දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව මහා පරිමාණ ගොඩ බිම් සංග්‍රාමයකට මුහුණ දී නොතිබුණු ඇමරිකානු සෙබළුන්ට තමන් නොදන්නා රටක් තුළ හා කිසිසේතම නුහුරු පරිසරයක සටන් කිරීම විශාල අපහසුතා ඇති කරවන්නක් විය. ඒ හේතුවෙන් යුද භූමිය තුළ දී මිය යන ඇමරිකානු සොල්දාදුවන්ගේ ප්‍රමාණය ඉහල ගිය අතර තම සගයන් ඉතා බියජනක ලෙස වියට්කොන් ප්‍රහාරවලට ගොදුරු වෙමින් මිය යාම හා යුද්ධය නිම වන දිනයක් අපේක්ෂා කල නොහැකි තත්ත්වයක් යටතේ ඇමරිකානු සොල්දාදුවන්ගේ මානසිකත්වයද බිද වැටෙන්නට විය. මේ හේතුවෙන් හමුදාව අතහැර පළා යන ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් ඉහල ගිය අතර මානසික පීඩනය හේතුවෙන් ඇමරිකානු සොල්දාදුවන් අතින් වියට්නාමය තුළ සිදු වන යුද අපරාධ ප්‍රමාණයද වැඩි විය. ඒ හේතුවෙන් ම ජාත්‍යන්තර අප්‍රසාදය හා බලපෑම ඇමරිකාව කෙරෙහි එල්ල වූ අතර 1968 මාර්තු 31 වන දින ප්‍රකාශයක් මඟින් අංශක 20 සමාන්තරයෙන් උතුරට බෝම්බ හෙළීම නතර කරන බවට පොරොන්දු වෙමින් ඇමරිකානු ඉතිහාසයේ වැඩි ම ජනතා අප්‍රසාදයට පත් ජනාධිපතිවරයා ලෙස තවත් දූර කාලයක් සඳහා තරඟ කිරීමේ හැකියාව තිබිය දී ම තම තනතුර අතහැර යාමට ලින්ඩන් ජොන්සන්ට සිදු විය. 

1969 වසර වන විට ඇමරිකාව හා උතුරු වියට්නාමය අතර සාම සාකච්ඡා අරම්භ වූ අතර ඒ හේතුවෙන් සිදු වූ සංග්‍රාමය යම් තාක් දුරකට අවම විය. පසුව ඇමරිකාවේ ජනාධිපති වූ රිචඩ් එම්. නික්සන් (Richard M. Nixon) තම ඡන්ද පොරොන්දු අනුව වියට්නාමයේ සිටි ඇමරිකානු සොල්දාදුවන් 540.000 පමණ වූ පිරිස ක්‍රමානුකූල ව නැවත ගෙන්වා ගන්නා ලදි. ඒ අනුව පළමු ව සෙබළුන් 25000ක් නැවත ගෙන්වා ගත් අතර ඉදිරි වසර කීපය තුළ දී තව දුරටත් එය වර්ධනය කරමින් දකුණු වියට්නාම් රජයට ඇමරිකාව ගෙන ගිය යුද්ධය පවරනු ලැබීය, (Americanization to Vietnamization). නමුත් දිගින් දිගටම දකුණු වියට්නාමයේ වූ ජනපති න්ගුයෙන් වැන් තියූ (Nguyen Van Thieu) ගේ පාලනයට නික්සන් පාලනය විසින් තවදුරටත් යුධ හා ආර්ථික ආධාර ලබා දීමට ඉදිරිපත් විය. මේ හේතුවෙන් 1970 - 1973 අතර කාලයේ සාම සාකච්ඡා ක්‍රියාත්මක වුවත් දෙපාර්ශවය අතර වරින් වර දරුණු ගැටුම් ද ඇති විය. එවැනි එක් අවස්ථාවක් වූවේ උතුරු වියට්නාම් හමුදාවන්ට ක්ෂේම භූමියක් බදු වූ හොචි මිං පියමග විනාශ කිරීමට හා ඇමරිකාවට පක්ෂපාතී ලාඕසයට විරුද්ධව පැතට් ලාඕ (Pathat Lao) කොමියුනිස්ට්වාදීන් විනාශ කිරීමේ අරමුණින් ඇමරිකානු හා දකුණු වියට්නාම් හමුදා විසින් කාම්බෝජ දේශ සීමා ආක්‍රමණය කිරීමයි. මේ හේතුවෙන් 1970 සිට 1973 දක්වා පැවති සාම සාකච්ඡා අතරම ඇමරිකානු හා දකුණු වියට්නාම් ඒකාබද්ධ හමුදාවන්ට විරුද්ධව වියට්කොන් හා වියට්මිං ඒකාබද්ධ හමුදා සටන් කරන්නට විය. 

1973 ජනවාරි මාසයේ පැරීසියේ දී පැවති සම සාකච්ඡා සඳහා ඇමරිකාව ප්‍රමුඛ දකුණු වියට්නාමයත්, උතුරු වියට්නාමය ප්‍රමුඛ වියට්කොන් හමුදාත් සම්බන්ධ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම වසරේ ම ජනවාරි 27 වන දින සටන් විරාමයක් වියට්නාමය තුළ ප්‍රකාශයට පත් කෙරිණි. ජනවාරි 28 දින සිට ක්‍රියාත්මක කරන ලද එම ගිවිසුමට එකඟතා කීපයක් ම විය. ඒ අනුව උතුරු හා දකුණු වියට්නාමයේ සිටින සියලු ම ඇමරිකානු හමුදා නැවත කැඳවීම හා සියලු ම ඇමරිකානු හමුදා කඳවුරු වියට්නාම් භූමියෙන් ඉවත් කිරීම, සියලු ම යුද සිරකරුවන් නිදහස් කිරීම, සාමය පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර හමුදාවක් පත් කිරීම, දකුණු වියට්නාමයේ ඉරණම ඇය විසින්ම තීරණය කිරීම, දකුණේ සිටින උතුරු වියට්නාම් හමුදාවන්ගේ සංඛ්‍යාව එලෙස ම පවත්වා ගැනීම හා 17 සමාන්තර ය උතුර හා දකුණ වෙන් කරණ සීමාව ලෙස තවදුරටත් සලකමින් අවසානයේ රට ඒකාබද්ධ කිරීමට සැලසුම් කිරීම යන කරුණු ඒ අතර ප්‍රධාන වූ අතර 1973 ජුලි මාසයේ අත්සන් කරන ලද කරුණු 14කින් යුත් ගිවිසුමක් මඟින් තව දුරටත් තහවුරු කරනු ලැබීය. 

1973 අගෝස්තු මාසයේ දී ඇමරිකානු කොංග්‍රසය විසින් යෝජනාවක් සම්මත කරමින්, තවදුරටත් වියට්නාමයේ යුද කටයුතු සඳහා මැදිහත් වීමට, ඇමරිකානු රජයට හා හමුදාවට තහනම් කිරීමත් සමඟ දකුණු වියට්නාමය තුළ ඉතිරි වූයේ ඇමරිකානු සෙබළුන් ඉතා සුළු ප්‍රමාණයක් පමණකි. මේ හේතුවෙන් 1974-1975 අතර කාලයේදී දකුණු වියට්නාමයේ ඇති වූ කොමියුනිස්ට් ප්‍රහාර හමුවේ අසරණ වූ එම පිරිසද පළා යන්නට විය. තවද “Watergate scandal” නම් සිදුවීමත් සමඟ රිචඩ් නික්සන් ජනාධිපතිවරයා ද 1974 අගෝස්තු මාසයේ දී සිය තනතුරින් ඉල්ලා අස් විය.  ඒත් සමඟ දකුණු වියට්නාමයේ ආරක්ෂාව දුර්වල වූ අතර 1975 අප්‍රේල් 21 වන දින ජනපති තියූ තනතුරින් ඉල්ලා අස් විය. අප්‍රේල් 30 වන දින දකුණු වියට්නාම් රජය කොන්දේසි විරහිතව යටත් විය. ඒත් සමගම උතුරු වියට්නාම් හමුදා විසින් දකුණේ අගනුවර වූ සයිගෝන් නගරය අල්ලා ගනිමින් එය හෝචි මිං නගරය (Ho Chi Minh City) ලෙස නම් කෙරුණු අතර වියට්නාම් සමාජවාදී සමූහාණ්ඩුව (Socialist Republic of Vietnam) ප්‍රකාශයට පත් කරමින් රටේ අගනුවර ලෙස හැනෝයි නම් කරන ලදි. ඒ අනුව 1976 ජූලි 02දා වියට්නාමය එක්සත් රටක් බවට පත් විය.

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු ව සිදු වූ විශාලතම යුද්ධය ලෙස වියට්නාම් යුද්ධය හැඳින්විය හැකිය. එහි දී සිදු වූ ජීවිත හා දේපළ හානිය ඉතා විශාල වේ. 1945 සිට 1975 දක්වා වසර 30ක් පමණ අඛණ්ඩව සිදු කෙරුණු එම යුද්ධය වියට්නාමයට අමතරව පිටතින් පිහිටා තිබූ ප්‍රංශයේ හා ඇමරිකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන කැලඹිලි රාශියකට හේතු විය. විශේෂයෙන්ම ප්‍රංශ හා ඇමරිකාවේ ආර්ථිකයට මෙම යුද්ධය ප්‍රබල ලෙස ම බලපෑම් අති කරවන්නක් වූ අතර විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් දෙරටට ම අහිමි විය. මෙම යුද්ධය හේතුවෙන් ඇමරිකානුවන් 47,000ක් පමණ මිය ගිය අතර 325,000ක් පමණ තුවාල ලැබූහ. මේ සඳහා ඇමරිකාවට දැරීමට සිදු වූ වියදම පමණක් ඩොලර් බිලියන 20,000 පමණ වේ. මෙම යුද්ධය හේතුවෙන් වියට්නාම් ජනතාව ද ඉතා විශාල ප්‍රමාණයක් මිය ගියහ. එහි දී දකුණු වියට්නාම් සොල්දාදුවන් 250,000 පමණ මිය ගොස් ඇති අතර 320,000ක් පමණ තුවාල ලබා ඇත. මෙහි දී වැඩි ම ජීවිත හානියකට මුහුණ දීමට සිදුවූයේ උතුරු වියට්නාමයට හා වියට්කොන් ගරිල්ලන්ට ය. ඔවුන්ගේ මිය ගිය සංඛ්‍යාව 900,000 පමණ වූ අතර 2,000,000 පමණ පිරිසක් තුවාල ලබා ඇත. මීට අමතරව ඇමරිකාව විසින් යුද නීති උල්ලංඝනය කරමින් රසායනික අවි යොදා වියට්නාමය තුළ විශාල සංහාරයක් සිදු කරනු ලැබීය. විශේෂයෙන් ම එම ප්‍රහාර හේතුවෙන් මියගිය හා අතුරු ආබාධවලට ලක් වූ අහිංසක වියට්නාම් වැසියන්ගේ සංඛ්‍යාව ඉතා විශාල වේ. ස්වාභාවික පරිසරයට සිදු වූ හානිය ගණන් බැලිය නොහැකි තරම් අධික ය. 

කෙසේ වෙතත් තමන්ගේ නිදහස වෙනුවෙන් කුරිරු පාලනයකට විරුද්ධව වියට්නාම් වැසියන් විසින් ගෙන ගිය විමුක්ති ව්‍යාපාරය සදා අමරණීය වන අතර ලෝක බලවතා වූ ඇමරිකාවට එදා මෙදා තුළ අත්විඳින්නට වූ අපකීර්තිමත් ම යුධ පරාජය ලබා දීමට එම ග්‍රාමීය වියට්නාම් වැසියන් සමත් විය. එම වියට්නාම් පොදු ජනතාවගේ ජයග්‍රහණයේ නියමුවෝ දෙදෙනෙක් සිටිති. ඉන් එක් අයෙක් වන්නේ යුධ සමයේ වියට්නාම් ජාතිකයන්ට දේශපාලන දර්ශනය සැපයූ හෝචි මිං ය. අනෙක් තැනැත්තා වන්නේ ඔවුන්ට යුද්ධ ජය මාවත සකසා දුන් වෝ න්ගුයෙන් ගියප් ය (Vo Nguyen Giap). අධිරාජ්‍යවාදයෙන් රට මුදා ගැනීමට ටික දිනකට පෙර හෝචි මිං මිය ගියේ ය. නගුයෙන් ගියප් තවමත් ජීවත් ව සිටී. ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්ට පසුව ලොව බිහි වූ දක්‍ෂතම රණ ශූරයා වන්නේ සෙන්පති ගියප් බව යුධ විශේෂඥයන්ගේ මතය යි. එවැනි ජන නායකයන්ගේ මෙහෙයවීම යටතේ යුද්ධයෙන් විනාශව ගිය වියට්නාමය වර්තමානය වන විට අග්නිදිග ආසියානු කලාපයේ අති ප්‍රබල යුධ ශක්තියකින් හෙබි, ඉතා වේගයෙන් දියුණු වන ආර්ථිකයකින් යුත් එක්සත් සමාජවාදී රාජ්‍යයකි. 

No comments:

Post a Comment