Tuesday 30 March 2021

“ඉන්දු - පකිස්තාන අර්බුදය, ඉන්දියන් සාගරයේ බල තුලනය කෙරෙහි බලපෑ ආකාරය”

 

ජා

ත්‍යන්තර දේශපාලනය තුළ දී පෘථිවිය යුරෝපය, ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව ලෙස ප්‍රධාන භූ ගෝලීය කලාප 04ක් යටතේ හඳුනාගත හැක. මෙහි දී අපගේ අවධානයට ලක්වන ආසියානු කලාපය ද තවත් උප බෙදීම් 05කට වෙන් කල හැක. එනම් නැගෙනහිර ආසියාව, බටහිර ආසියාව, දකුණු ආසියාව, මධ්‍යම ආසියාව හා අග්නිදිග ආසියාවයි. එහි දී දකුණු ආසියානු කලාපය ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය,  ඇෆ්ගනිස්තානය හා මාලදිවයින යන රාජ්‍යයන් 08කින් යුක්ත වේ. දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන සීමා වන්නේ දකුණින් පිහිටි ඉන්දියන් සාගරය, උතුරින් හිමාලය කඳුවැටිය, නැගෙනහිරින් හා බටහිරින් හින්දු කූෂ් කීර්තාර් හා නාග කඳුවැටිවලින් වට වී ඇති සීමායි.

ජාත්‍යන්තර දේශපාලනයේ දී රාජ්‍යයන්වල දේශපාලන, ආර්ථික, සමාජීය හා මිලිටරි බලපෑම් කිරීමේ හැකියාව මත එක් එක් රාජ්‍යයන් සුපිරි බලවතුන්, මහ බලවතුන්, කලාපීය බලවතුන් හා කුඩා රාජ්‍යයන් ලෙස වර්ග කිරීමකට ලක් ව ඇත. අනෙකුත් භූගෝලීය කලාපවල මෙන් දකුණු ආසියානු කලාපයේ ද අනෙකුත් රාජ්‍යයන් ඉක්මවා යන දේශපාලන, ආර්ථික, සමාජීය හා මිලිටරි වශයෙන් බලපෑම් කල හැකි රාජ්‍යයක් හඳුනා ගත හැක. එම රාජ්‍ය නම් ඉන්දියාවයි. ඒ අනුව ඉන්දියාව යනු කලාපීය බලවතෙකි. විශේෂයෙන්ම වර්තමාන ඉන්දියාව දකුණු ආසියානු කලාපය තුල තීරණාත්මක ලෙස තම බලය යෙදවීමේ කාර්යයේ යෙදී සිටින බැවින්ද මෙන් ම කලාපයෙන් පිටතට බලය යෙදවීමේ කාර්යයක තවමත් නියැලී නොසිටින බැවින්ද ඉන්දියාව යනු කලාපීය බලවතෙකි.

පකිස්තානය යනු දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවට සිටින ප්‍රධානතම ප්‍රතිවාදියා වන අතර අර්ධ කලාපීය බලවතෙකු ලෙස ද සැලකිය හැක. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් 1947දී ඉන්දියාව ලැබූයේ එතෙක් බ්‍රිතාන්‍ය ඉන්දියාව වශයෙන් සැලකූ භූමි ප්‍රදේශය ඉන්දියාව හා පකිස්තානය ලෙස වෙන ම රාජ්‍යයක් ලෙස බිඳී යාමෙනි. නිදහසින් පසුව ඉන්දියාව හා පකිස්තානය අතර ප්‍රධාන යුද ගැටුම් දෙකක් 1965 හා 1971දී ඇති වූ අතර එම අවස්ථා දෙකේදීම ජයග්‍රහණය ඉන්දියාවට හිමි විය. දකුණු ආසියානු කලාපයේ සිටින දෙවන කලාපීය බලවතා වන පකිස්තානයේ ශක්තිය දුර්වල කිරීමට ඉන්දියාව නිතරම කටයුතු කිරීම පකිස්තානයේ කෝපයට හේතුවක් වී ඇත. එය උග්‍ර වූ අවස්ථාවක් වන්නේ ඉන්දියාව විසින් පකිස්තාන සමූහාණ්ඩුවෙන් නැගෙනහිර පකිස්තානය 1971 දෙසැම්බර් 16වන දා වෙන් කර බංග්ලාදේශය නමින් වෙනම ම රාජ්‍යයක් බිහි කිරීමත් සමඟයි. වර්තමානය වන විට ද දේශ සීමා ස්ථාවරත්වය සම්බන්ධයෙන් පකිස්තානය හා ඉන්දියාව අතර දීර්ඝකාලීන කාලීන ගැටුම් පවතී.  ජම්මු හා කාශ්මීරය ප්‍රදේශය පදනම් කර ගනිමින් ඇති වී තිබෙන ගැටුම් සඳහා නිශ්චිත විසඳුමක් සාමකාමී ව සලසා ගනු සලසා ගනු පිණිස ඒ ප්‍රදේශවල ජනමත විචාරයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කල ද ඉන්දියාව එයට එකඟ නොවීය. මන්ද යත් කාශ්මීරයේ බහුතරයක් වන මුස්ලිම් ජනතාව එවිට මුස්ලිම් පකිස්තානය සමඟ එක් වනු ඇතැයි ඉන්දියාවට ඇති බියයි. පකිස්ථානය තුළ බටහිර රටවල බලය වර්ධනය වනු දුටු ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු 1956දී නිල නොවන ආකාරයෙන් ප්‍රකාශ කර සිටියේ “කාශ්මීරය සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම යල්පැන ගිය අදහසක් හෙයින් කාශ්මීරය බෙදා වෙන් කිරීම පහසු වුවත් ජනමත විචාරණයක් පැවැත්වීම අපහසු බවයි.” මෙවැනි ප්‍රකාශයක් කිරීමට නේරුට හැකි වූයේ තම රජය විසින් කාශ්මීරය සඳහා පත් කරන ලද බක්ෂි ගුලාම් ඉෂාක්, 1957 පැවැත්වූ මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමයි. එම නිසා කාශ්මීර ජනයා ඉන්දියාව සමඟ එකතු වීමට කැමැත්ත දක්වන බව ඉන්දියානු රජය එය සම්බන්ධයෙන් අර්ථ කථනයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශයක් නිකුත් කරන ලදි. ඒ අනුව ඉහත ආකාරයට නේරු විසින් නිල නොවන ආකාරයෙන් කරන ලද ප්‍රකාශය නිල වශයෙන් ම ප්‍රකාශ කිරීමට 1958දී අවස්ථාව ලැබිණි. ඉන්දියාවේ ස්ථාවරත්වය වන්නේ ජනමත විචාරයකින් තොරව ම ජම්මු කාශ්මීර ප්‍රදේශ ඉන්දියාවට හිමි විය යුතු බවයි. මේ සම්බන්ධව දෙර‍ට අතර පැවති සාකච්ඡා නිරතුරුව ම බිද වැටී ඇති අතර 1972දී අර්බුදය සාමකාමී ව විසඳා ගැනීම සඳහා එළඹි සිම්ලා ගිවිසුම ද අකර්මණ්‍ය වී ඇත. ඒ හේතුවෙන් දෙරටම තම යුද ශක්තිය මත විසඳුමක් අපේක්ෂා කිරීමට පෙලඹී ඇත.

මෙම අර්බුදයේ දී ඉන්දියාව හා පකිස්තානය යන රාජ්‍යයන් දෙක ම බාහිර බලවතුන්ගේ ආධාර ලබා ගැනීමට පෙලඹීම ඉන්දියන් සාගරයෙ බල තුලනයට බෙහෙවින් බලපානු ලැබීය. ඒ අනුව කලාපයෙන් පිටත පිහිටි රාජ්‍යයන් වන ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය හා මහජන චීනය යන බලවත් රාජ්‍යයන්ට ඉන්දියානු සාගරයේ බලපෑම් කල හැකි තත්ත්වයක් උදා විය. ආරම්බයේදී ඉන්දියාවේ සහයට ඉදිරිපත් වූයේ සෝවියට් දේශයයි. විශේෂයෙන් මුලදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් යටතේ ඉන්දියාවට නායකත්වය ලබා දෙනු ලැබූ ජවහල්ලාල් නේරු විසින් සමාජවාදී දේශපාලන හා ආර්ථික දෘෂ්ඨියක් අනුගමනය කරනු ලැබූ සෝවියට් දේශය සමඟ මිත්‍ර සබඳතා ගොඩ නඟා ගනු ලැබීය. එහි දී එකල ඉන්දියාවේ අවධානය යොමු ව පැවතියේ ද්වීපාර්ශ්වික ලෝක ක්‍රමය තුල ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉන්දියාවට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීමයි. මෙලෙස ඉන්දු-සෝවියට් සබඳතා ඇමරිකාව විසින් අවබෝධ කර ගනු ලැබූයේ ඉන්දියාව යනු නැගෙනහිර යුරෝපා බල කඳවුරේ සාමාජිකයෙක් ය යන දෘෂ්ඨියෙනි. මුලදී ඉන්දියාවේ ආකල්පය වූවේ ඇමරිකාව යනු අධිරාජ්‍යවාදී ආකල්ප ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල නිරත ව සිටින රාජ්‍යයක් වන බවයි. ඒ අනුව ඇමරිකාව විසින් ආසියාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට හා බල තුලනයට තර්ජනයක් වන බව ඉන්දියාවේ නිගමනය විය. මේ හේතුවෙන් ඇමරිකාවද ඉන්දු-පකිස්තානය අර්බුදය අවස්ථාවක් කර ගනිමින් ඉන්දියාවට එරෙහිව කටයුතු කිරීම සඳහා පකිස්තානයට අවශ්‍ය යුද ආධාර ලබා දෙන ලදි. ඉන්දියාව ද, සෝවියට් දේශය සමඟ තව දුරටත් යුද හා ආර්ථික සබඳතා වර්ධනය කර ගනු ලැබූ අතර එය ඇමරිකාවේ ප්‍රතිපත්ති තවදුරටත් ඉන්දීය විරෝධී වීමට බලපානු ලැබීය.

1971දී නැගෙනහිර පකිස්තානය සම්බන්ධයෙන් ඉන්දියාව මැදිහත් වීම මත ඇමරිකාව විසින් ඉන්දියාවට ලබා දෙනු ලැබූ නාවික යුධෝපකරණ 1971 දෙසැම්බර් මාසයේ දී අත්හිටුවනු ලැබීය. එයට ප්‍රතිචාරයක් වශයෙන් ඉන්දියාව ද 1971 දෙසැම්බර් 29වන දින ඇමරිකාවෙන් තිරිඟු ආනයනය කිරීම අත්හිටු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව විසින් ඉන්දියාවට ලබා දෙනු ලැබූ සියලු ආධාර නවතා දැමූ අතර පකිස්තානයට ලබා දෙන ආධාර තවදුරටත් ඉහළ නැංවීය. ඉන්දියාවේ ආකල්පය වූවේ ඇමරිකාව විසින් දිගු කාලීන වශයෙන් පකිස්තානයට යුද ආධාර සපයන අතර න්‍යෂ්ටික හා මිසයිල තාක්ෂණය ද ඇතුළු තියුණු යුද අවි නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණය පමණක් නොව යුද ශිල්පීය ඥානය ද ලබා දී ඇති බවයි. ඇමරිකාව විසින් ලෝක සාමය ස්ථාපිත කිරීම සඳහා අනුගමනය කරනු ලැබූ සාමූහික ශක්තිය (The Collective Capability) නම් ප්‍රතිපත්තිය ඉන්දියාව විසින් විවේචනය කරනු ලැබූ අතර 1988දී ඇමරිකාව විසින් තායිවානයට මිසයිල තාක්‍ෂණය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අදහස වූයේ එය සමස්ත ආසියාවේ ම ආරක්ෂාවට තර්ජනයක් වන බවයි.

චීනය ද ඉන්දු-පකිස්තාන අර්බුදය අවස්ථාවක් කර ගනිමින් ඉන්දියන් සාගරයේ බල ව්‍යාප්තියට මැදිහත් වන ආකාරයක් දැකිය හැකිය. ආරම්භයේ සිටම ඉන්දියාව හා චීනය අතර දේශසීමා සම්බන්ධයෙන් මතභේද හට ගෙන තිබුණ ද එය උග්‍ර නොවීය. 1950 ඔක්තෝබර් 07වන දින චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කිරීමත් සමඟ ඉන්දියාව හා චීනය අතර යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති විය. විශේෂයෙන්ම ඉන්දියාව විසින් ටිබෙටයේ ආධ්‍යාත්මික නායකයා වූ දලයි ලාමාට නවාතැන් දීමත් හා ඉන්දු-සෝවියට් සබඳතාත් චීනයේ සැකයට හේතුවක් විය. මන්ද යත් දලයි ලාමා හා සෝවියට් දේශය, චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. මෙම පසුබිම මත චීනය 1962දී ඉන්දීය දේශ සීමා ආක්‍රමණය කෙරූ අතර එමගින් ඉන්දියාවේ භූමියෙන් 38,000km2 ප්‍රදේශයක් ඈඳා ගැනීමට චීනය සමත් වූ අතර පකිස්තානය ද ඊට සහයෝගය ප්‍රකාශ කරන ලදි. 1962දී ඇති වූ ඉන්දු චීන දේශසීමා අර්බුදය අවස්ථාවක් කර ගනිමින් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය නැවත වරක් ප්‍රකාශ කර සිටියේ දෙරට අතර සාම සාකච්ඡා ආරම්භ කළ යුතු බවයි. ඒ අනුව ඉන්දීය අගමැති නේරු හා පකිස්ථාන ජනාධිපති අයුබ් ඛාන් අතර සාම සාකච්ඡාවක් පවත්වන ලදි. නමුත් ඉන්දියාව විසින් කාශ්මීරය සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීමත්, පකිස්ථානයට ඉන්දු නදියේ අතු ගංගාවක් වූ චේනාබ් නදිය අවට ප්‍රදේශය ලබා නොදී සටන් විරාම රේඛාව අසල ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ලබාදීමට කැමැත්ත පළ කිරීම හේතුවෙන් සාම සාකච්ඡා අසාර්ථක විය.

පකිස්තානය විසින් ද  ඉන්දියාවට විරුද්ධව සූක්ෂ්ම ක්‍රියාමාර්ග කීපයක් අනුගමනය කරනු ලැබීය. එහි දී පකිස්තානය ඇමරිකා එක්සත් ජනපදය හා මහජන චීනය සමඟ රාජ්‍යයෝපායාත්මක සහ යුද්ධෝපායාත්මක සම්බන්ධතා පැවැත්වීම හා සියැටෝ (SEATO- අග්නිදිග ආසියාතික ගිවිසුම් සංවිධානය), සෙන්ටෝ (CENTO- මධ්‍ය ගිවිසුම් සංවිධානය) වැනි බටහිර රටවල ආධාර ලැබූ යුද සංවිධානයන්ගේ සාමාජිකත්වය ලබා ගන්නා ලදි. ඉන්දියාව පකිස්තානයේ මෙම ක්‍රියාවලිය දෙස බලන්නේ ඉන්දියානු සාගර කලාපයේ  ස්වාධීනත්වයට තර්ජනයක් වන ආකාරයෙන් බාහිර බලවතුන්ට එහි අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වීමට අවස්ථාවක් සලසා දීමක් මෙන් ම ඉන්දියානු සාගර කලාපයේ බල තුලනය බිඳ හෙළීමට ඇමරිකාව දරණ උත්සහයට සහය දීමක් ලෙසයි. තවද පකිස්තානය විසින් ඇමරිකාවේ හා චීනයෙන් අවි ආයුධ හා මිලිටරි තාක්ෂණය ලබා ගැනීමත්, දකුණු ආසියාවේ අනෙකුත් රාජ්‍යයන් වෙත යුධ හා ආර්ථික ආධාර ලබා දීමත් සිදු කරනු ලැබීය. එහි එක් අවස්ථාවක් වූයේ LTTE සංවිධානයට විරුද්ධව ශ්‍රී ලංකාව කරනු ලැබූ යුද්ධයේදී පකිස්තානය විසින් ලංකාවට යුධ හා ආර්ථික ආධාර ලබා දීම ය. තව ද 1978දී ආරම්භ වූ සෝවියට්- ඇෆ්ගනිස්තාන යුද්ධයේදී පකිස්තානය, ඇමරිකාව සමඟ එක් වී සෝවියට් විරෝධී මුජහයිඩීන් ත්‍රස්තවාදීන් වෙත යුද හා මූල්‍යමය ආධාර ලබා දෙනු ලැබීය.

මීට අමතරව පකිස්තානය අනුගමනය කල තවත් ක්‍රියාමාර්ගයක් වූවේ ඉන්දියාව හා චීනය අතර දේශ සීමා අර්බුදයක් ඇති කරලීමට කටයුතු කිරීමයි. අතීතයේ සිට ම හිමාලය කඳු වැටිය ඉන්දියාවේ ස්වාභාවික ආරක්ෂණ සීමාවක් වූ නමුත් පකිස්තානයේ උපක්‍රම හමුවේ ඉන්දියාව ඒ හේතුවෙන් ම අසල්වැසි රාජ්‍ය සමඟ ගැටුම් ද ඇති කර ගනු ලැබීය. පකිස්තානය සිය සමීපතම මහා බලවතා වන චීනය සමඟ සම්බන්ධතා පැවැත්වීම ඉන්දියාව අපේක්ෂා කරනු ලැබූ ඉන්දියානු ආරක්ෂණ ප්‍රතිපත්තියට දැඩි තර්ජනයක් විය. එක් අවස්ථාවක පකිස්තානයේ මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එවකට ඉන්දියාවේ අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනිය ප්‍රකාශ කර සිටියේ පකිස්තානයේ තර්ජනය හා ප්‍රහාර හමුවේ අපි බිය නොවෙමු. අපට එයට විරුද්ධව ක්‍රියා කල හැකිය. නමුත් පකිස්තානය එකවර ම ලෝක යුද්ධෝපායේ කොටසක් වන විට එය බොහෝ දුරට භයානක වූවක් ලෙස සිතමි.” යනුවෙනි. ඉන්දියාව විසින්  කාශ්මීරය සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීමත්, පකිස්ථානයට ඉන්දු නදියේ අතු ගංගාවක් වූ චේනාබ් නදිය අවට ප්‍රදේශය ලබා නොදී සටන් විරාම රේඛාව අසල ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ලබාදීමට අදහස් කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් වූ පකිස්ථාන ජනාධිපති අයුබ් ඛාන්, මේ වන විට ඉන්දියාව සමඟ සතුරු ව සිටි චීනය සමඟ 1963දී ගිවිසුමකට අත්සන් කරනු ලැබීය. ඒ අනුව පීකිං නගරය වෙත ගිය අයුබ් ඛාන් අසාඩ් කාශ්මීර ප්‍රදේශය ද අන්තර්ගත වන පරිදි චීන පකිස්ථාන් දේශසීමා ගිවිසුමකට අත්සන් කරන ලදි. මේ සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම චීනයේ සතුරන් වූ ඇමෙරිකාව හා සෝවියට් දේශය ද තම විරෝධය පල කරනු ලැබීය.

1963දී පකිස්තානය හා චීනය අතර ඇති වූ දේශසීමා විසඳා ගැනීමේ ගිවිසුමට අනුව පකිස්තානය සිය දේශසීමාවලින් වර්ග කිලෝමීටර් 10.000ක ප්‍රමාණයක් චීනයට ලබා දුන් අතර එයින් වර්ග කිලෝමීටර් 3378.9ක් පමණ ඉන්දියාව සමඟ දේශසීමා සම්බන්ධයෙන් පකිස්තානය අර්බුද ඇති කර ගත් ප්‍රදේශ විය. එමගින් චීනය හා ඉන්දියාව අතර තව දුරටත් දේශසීමා අර්බුද ඇති කර වීම පකිස්තානයේ අපේක්‍ෂාව විය. චීනය සමඟ පකිස්තානය අත්සන් කල දේශ සීමා ගිවිසුමෙන් අනතුරුව චීනය විසින් උපායෝජිත මාර්ගයන් ඉදිකිරීම (Building Strategic Roads) ආරම්භ කරන ලදි. මෙහි පළමු පියවර හිමාලය කඳු ප්‍රාන්තය හරහා කාශ්මීරය දක්වා 800km දිගැති කාරකෝරම් මාර්ගය (Karakoram) මාර්ගය ඉදි කරන ලදි. එමගින් පර්සියන් ගල්ෆ් සමීපයෙන් ඉන්දියන් සාගරයට පහසුවෙන් පිවිසීමේ බලයක් චීනයට හිමි වූ අතර එම මාර්ගය ආධාරයෙන් 1971 ඉන්දු-පකිස්තාන යුද්ධයේදී චීන යුද ආධාර පකිස්තානයට ප්‍රවාහණය කෙරුණි.

1963දී පකිස්තානය හා චීනය අතර ඇති වූ දේශසීමා විසඳා ගැනීමේ ගිවිසුමට එකට එක කිරීමක් ලෙස ඉන්දියාව, කාශ්මීරය තුළ තවදුරටත් ඉන්දියානු බලය වර්ධනය කිරීම සඳහා 1963 ඔක්තෝබර් මාසයේ දී ව්‍යවස්ථාමය සංශෝධනයක් කරනු ලැබීය. නමුත් මෙයින් සිදු වූයේ ස්වයංපාලන බලතල අපේක්ෂාවෙන් සිටි කාශ්මීර ජනතාව තුළ ඉන්දීය විරෝධී අදහස් මතු වීමයි. එය සමනය කරනු වස් ඉන්දියානු රජය 1964 අප්‍රේල් මාසයේ දී ෂික් අබ්දුල්ලා සිර භාරයෙන් නිදහස් කරනු ලැබීය. නමුත් 1964 දෙසැම්බර් මාසයේ දී ඉන්දියාව විසින් කාශ්මීරයේ මැතිවරණ නීති ඉන්දියානු මැතිවරණ නීති හා සමාන තත්වයකට ගෙන ඒම නිසා කාශ්මීරයේ නොසන්සුන්තා තවදුරටත් වර්ධනය විය.

 

මෙය අවස්ථාවක් කරගත් පකිස්ථානය ඉන්දු චීන අර්බුද හේතුවෙන් දුර්වල වී සිටි ඉන්දියාව සමඟ යුද්ධ කිරීම සඳහා තම හමුදා ශක්තිමත් කරන ලදි. නමුත් මේ අවස්ථාවේ දී පකිස්ථානයට අයත් ව පැවති බංග්ලාදේශය ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ විමුක්ති අරගලවලට ඉන්දියාව සහයෝගය දැක්වීම හේතුවෙන් දෙරට අතර ප්‍රකෝපකාරී අදහස් වර්ධනය වන ලදි. 1965 අප්‍රේල් මාසයේ දී බටහිර පකිස්ථානය හා ඉන්දියාව අතර මුඩුබිම් ප්‍රදේශයක් වූ කූච් ප්‍රදේශයේ දේශසීමා ගැටුමක් සිදුවීම හේතුවෙන් දෙරට අතර නැවත වරක් යුද්ධයක් ආරම්භ විය. කූච් ප්‍රදේශය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නය විසඳීමට දෙරටම කැමැත්ත පල කළත් කාශ්මීර ජනතා නායකයා වූ ෂීක් අබ්දුල්ලා ඇල්ජීරියාවේ දී චීන අගමැති චෞ එන්ලායි සමඟ සාකච්ඡා කිරීම හේතුවෙන් ඉන්දියානු රජය ඔහුව නැවත වරක් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ හේතුවෙන් ම එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඌතාන් සැප්තැම්බර් 07වන දින ඉන්දියාවට පැමිණෙන ලදි. තවද බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව ද දෙරටට යුද ආධාර ලබාදීම සැප්තැම්බර් 08වන දින ප්‍රතික්ෂේප කරන ලදි. නමුත් දෙරට අතර සටන් විරාමයක් සඳහා ඉදිරිපත් වීමක් සැප්තැම්බර් 15වනදා දක්වා ම දක්නට නොලැබින. මේ හේතුවෙන් මෙය අවස්ථාවක් කරගත් චීනය සැප්තැම්බර් 17වන දින ඉන්දියාවට අනතුරු හඟවමින් කියා සිටියේ ඉන්දු චීන දේශසීමා ආසන්නයේ පිහිටි සීකිම් ප්‍රදේශයෙන් ඉන්දියානු හමුදා දින 03ක් ඇතුළත පසු නොබසින්නේ නම් භයානක ප්‍රතිඵලවලට ඉන්දියාවට මුහුණ දීමට සිදු වන බවයි. ඉන්දියාව තවදුරටත් අර්බුදකාරී අවස්ථාවකට පත් නොවීම සඳහා කටයුතු කරනුවස් සෝවියට් දේශයේ අගමැති ඇලෙක්සි කොසිජින් මධ්‍යස්ථකරුවෙකු වශයෙන් ඉදිරිපත් වෙමින් තමන්ගේ සේවය ලබාදීමට කැමැත්ත පලකරනු ලැබීය. තවද සෝවියට් දේශය මැදිහත් කරුවෙකු වශයෙන් කටයුතු කරමින් 1966 ජනවාරි 03-10 දක්වා ටෂ්කන්හිදී ඉන්දියානු අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී හා පකිස්ථාන ජනාධිපති අතර සාකච්ඡා පවත්වනු ලැබීය. ඒ අනුව දෙරට අතර පැවති ප්‍රකෝපකාරී ස්වභාවය සමනය වූ අතර ටෂ්කනිච් සම්මුතියද ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඉන්දියාව ද ඉන්දු-පකිස්තාන අර්බුදයේ දී පකිස්තාන විරෝධී ක්‍රියාමාර්ග කීපයක් ම අනුගමනය කරනු ලැබීය. එහි දී පකිස්තානයට පක්‍ෂපාතී ව සිටි චීනයේ හා ඇමරිකාවේ ප්‍රතිවාදියා වූ සෝවියට් දේශය සමඟ සමීප සබඳතා ගොඩ නගා ගැනීමට ඉන්දියාව උනන්දු විය. 1962දී සිදු වූ ඉන්දු-චීන දේශසීමා ගැටුමෙන් පසු හා ඉන්දියානු සාගරය තුල ඇමරිකාව පකිස්තානයේ සහයෝගය ලබමින් සිදු කරනු ලැබූ ඇමරිකානු බල ව්‍යාප්තිය හේතුවෙන් සෝවියට් දේශය ද සැලකිය යුතු මට්ටමකින් ඉන්දියාවට යුද ආධාර හා ආර්ථික ආධාර ලබා දීමට කටයුතු කරනු ලැබීය. විශේෂයෙන්ම පකිස්තානය හා චීනය යන ඉන්දීය දේශසීමා ආසන්නයේ පිහිටි බලවත් රාජ්‍යයන් දෙක ඉන්දියාව සමඟ ගැටුම් ඇති කර ගැනීමත්, පකිස්තානය හා චීනය මිත්‍ර ව කටයුතු කරමින් ඉන්දියානු විරෝධී කටයුතු කිරීමත් සහ ඇමරිකාව විසින් පකිස්තානයට යුද හා ආර්ථික ආධාර ලබා දෙමින් ඉන්දියානු සාගර කලාපයේ ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයට ඇමරිකානු බලය ව්‍යාප්ත කිරීමට දරන උත්සහයටත් ඉන්දියාව සිය විරෝධය එල්ල කරන ලදි. එහි ප්‍රතිඵලයක් වූවේ ඉන්දියාව සිය ජාතික ආරක්ෂාව හා ජාතික ආශාවන් සඵල කර ගැනීමේ අරමුණින් සෝවියට් දේශය සමඟ සබඳතා තව දුරටත් තර කර ගැනීමයි. ඒ සඳහා 1971දී ඉන්දු-සෝවියට් මිත්‍රත්ව ගිවිසුමක් ද දෙර‍ට විසින් අත්සන් කරනු ලැබීය. ඒ අනුව ඉන්දියාවේ ආරක්ෂාව සඳහා නවීන අවි ආයුද පද්ධතියක් ලබා දීමට හා මෙතෙක් පකිස්තානයට ලබා දුන් අවි ආයුධ සඳහා වූ ගිවිසුම 1969-70 වර්ෂයන්වලදී අවසන් කිරීමට ද සෝවියට් දේශය ඉන්දියාව සමඟ එකඟ විය. ඊට අමතරව ඇමරිකාව විසින් පකිස්තානයට ලබා දෙන යුද හා ආර්ථික ආධාර විවේචනය කරමින් සෝවියට් දේශය ප්‍රකාශයක් කර සිටියේ ඉන්දියන් සාගර කලාපය සාම කලාපයක් විය යුතු බවයි. කෙසේ වෙතත් සෝවියට් දේශය විසින් ඉන්දු-පකිස්තාන අර්බුදය අවස්ථාවක් කර ගනිමින් ඉන්දියානු සාගරය තුල තම බලය ව්‍යාප්ත කර ගැනීමට ද උත්සහ කරනු ලැබීය. ඒ අනුව සෝවියට් දේශය ඉන්දියාවේ සුරක්ෂිතභාවය සඳහා යැයි පවසමින් රුපියල් බිලියන 1300ක මිලිටරි උපකරණ ඉන්දියාවට ලබා දීමට කටයුතු කරනු ලැබීය. එය 1980දී හා 1984දී තව දුරටත් වර්ධනය විය.

කෙසේ වෙතත් ඉන්දියාවේ මෙම සෝවියට් පක්ෂපාතී හා ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තිය 1990 දශකයෙන් පසු පූර්ණ විපරිවර්තනයකට භාජනය වන ආකාරයක් දැකිය හැක. ඊට ප්‍රධානතම හේතූන් කීපයක් හඳුනා ගත හැක. ඉන් පළමු හේතුව වන්නට ඇත්තේ සමාජවාදී දේශපාලන හා ආර්ථික ක්‍රමයේ ප්‍රතිමූර්තිය බදු වූ සෝවියට් දේශය 1991දී විසිරී යාමයි. ඒත් සමඟ ඉන්දියාවට සිටි ප්‍රධානතම විදේශය සහකරු අහිමි වූ අතර ඉන්දීය ආර්ථිකය ද එක තැන පල් විය. එයට පිළියමක් වශයෙන් ඉන්දියාව මෙතෙක් පැවති සංවෘත ආර්ථික ක්‍රමය අහෝසි කරමින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හුවමාරු විය. ඊට අමතරව මහ බලවතෙකු ලෙස තම අසල්වැසි ප්‍රතිවාදියා වූ චීනය බලවත් වීමත් සමඟ ඉන්දියානු සාගර කලාපයේ හා තම දේශසීමා ආරක්ෂාව සඳහා ඉන්දියාව, ඇමරිකාව සමඟ සමගි ව කටයුතු කිරීමට ක්‍රමික ව ඉදිරි පත් විය. ඒ අනුව වර්තමානය වන විට ඉන්දු-ඇමරිකානු සම්බන්ධතා ආර්ථික, යුදමය හා තාක්ෂණික යන අංශයන්වල දී ඉතා පුළුල් ලෙස විහිදී පවතින ආකාරයක් දැකිය හැකි අතර ඇමරිකාවද ඉන්දියානු සාගරයේ චීන බලපෑම අවම කිරීමේ අරමුණින් පකිස්තානයට වඩා ඉන්දියාවට සහයෝගය දැක්වීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් පවතී. පකිස්තානය ද ඉන්දු-ඇමරිකානු මිත්‍රත්වය සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයක් නොදක්වන අතර ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තාන-පකිස්තාන දේශ සීමාවලට එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඇමරිකානු විරෝධී හා චීන හිතෛෂී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙලඹී ඇත. වර්තමානය වන විට ඉන්දියාව ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙලඹී ඇති ආකාරයක් දැකිය හැකි අතර ඇමරිකාවද ඉන්දියානු සාගර කලාපයේ ඉන්දියාව කේන්ද්‍ර කොටගත් කලාපීය බලයකට සහයෝගය ප්‍රකාශ කර ඇත.

විශේෂයෙන්ම ඉන්දියාව හා පකිස්තානය තම මිලිටරි ශක්තිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනී යයි. ඉන්දියාව සිය මිලිටරි ශක්තිය වර්ධනය කර ගැනීමේ දී ප්‍රධාන වශයෙන් තම අවධානය යොමු කොට ඇත්තේ සිය කලාපීය හා අසල්වැසි ප්‍රතිවාදීන් වූ පකිස්තානයේ හා චීනයේ මිලිටරි ශක්තිය වෙතයි. පකිස්තානය ද එලෙස ම තම මිලිටරි ශක්තිය වර්ධනය කර ගැනීමේ දී ඉන්දියාවේ මිලිටරි ශක්තිය පිළිබඳ අවධානයෙන් පසු වන අතර දෙරටම න්‍යෂ්ටික බලවතුන් වීම දැඩි අර්බුදයක් වී ඇත. අතීතයේ සිට වර්තමානය දක්වා චීනය ද ලෝක භූ දේශපාලන සිතියමේ වැදගත් මර්මස්ථාන අත්පත් කර ගැනීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව අවබෝධ කර ගත හැක. ලෝකයේ සම්පත් පාලනය කරන්නා ලෝකය පාලනය කරයි යන අදහස අනුව ඇමරිකාව හා සෝවියට් දේශය අතීතයේ අනුගමනය කල උපායමාර්ගික හා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති චීනය විසින් වර්තමානයේ දී අනුගමනය කරමින් පවතී. ඒ අනුව චීනයේ මූලික ඉලක්කය වී ඇත්තේ ඛනිජ සම්පත් බහුල අප්‍රිකානු මහද්වීපය, තෙල් හා ස්වාභාවික වායූන්ගෙන් පොහොසත් ඉන්දියානු සාගරයේ පිහිටි මැලේසියානු හා ඉන්දුනීසියානු රටවල් සහ චීනය අතර උපායමාර්ගික වැදගත්කමක් ඇති ස්ථාන අත්පත් කර ගැනීමයි. ඒ සඳහා චීනය විසින් සැලසුම් කොට ඇති නව මුහුදු සේද මාවත ව්‍යාපෘතිය හරහා චීනය හා අප්‍රිකාව අතර නිදහස් මුහුදු මාර්ගයක් විවෘත කර ගැනීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය වී ඇත. ඒ සඳහා ඉන්දු-පකිස්තාන අර්බුදය චීනය විශාල උපකාරයක් වී ඇත. මන්ද යත් එම නව මුහුදු සේද මාවතේ ප්‍රධාන උපාය මාර්ගික මර්මස්ථාන තුනෙන් එකක් වන්නේ  පකිස්තානයේ ගවඩාර් (Gwadar Port) වරාය වීමයි. එහි අනෙක් ස්ථාන වන්නේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය හා මියන්මාරයේ සිට්වේ වරාය (Sittwe Port) යන ස්ථානයි.    

ඉන්දියාව විසින් අනුගමනය කරන රාජ්‍යයෝපායාත්මක හා යුද්ධෝපායාත්මක ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ ඉන්දියාවේ ආරක්‍ෂක අපේක්‍ෂා ඉන්දියාවේ දේශ සීමාවලට පමණක් සීමා නොවන බවත් එය සමස්ත ඉන්දියානු සාගර කලාපය කෙරෙහි ම අවධානය යොමු වී පවතින බවයි. ඒ අනුව ඉන්දියාවේ වර්තමාන අපේක්ෂාව වී ඇත්තේ සමස්ත ඉන්දියන් සාගරය ම තමා වටා කේන්ද්‍ර ගත වූ ආරක්‍ෂක ප්‍රතිපත්තියක් (The Indo- Centric Security System) යටතේ සකස් විය යුතු බවයි. ඒ අනුව ඉන්දියාව කලාපීය බලවතා‍ ලෙස කලාපය තුල තම ප්‍රධාන ප්‍රතිවාදියා වූ පකිස්තානයේ බලවත් වීම නොඉවසන අතර ඉන්දියානු සාගර කලාපයට බාහිර බලවතුන්ට ප්‍රවිෂ්ට වීමට හා ඉන්දියානු සාගර කලාපයේ අනෙකුත් රාජ්‍යයන් බාහිර බලවතුන් සමඟ සමීප සබඳතා පැවැත්වීම ද නොඉවසයි. එම අදහස ඉන්දියාව නිදහස ලබා ගත් අවධියේ සිටම පැවති බව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අදහස් විමසීමේ දී අවබෝධ කර ගත හැක. ඉන්දියාවේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී ඉන්දියානු සාගරයේ පිහිටි ලංකාව හා බුරුමය ඇතුළත් ව ආරක්‍ෂක සංගතියක් ඇති කල යුතු බව පනික්කාර් වැනි විද්වතුන් විසින් ද කරුණු දක්වා ද ඇත. කෙසේ වෙතත් වර්තමානයේ දී ඉන්දියාවේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ඉන්දියන් සාගරයේ ඇමරිකානු ව්‍යාප්තවාදය මර්දනය කිරීම කෙරෙහි නොව චීන ව්‍යාප්තවාදය මර්දනය කිරීම කෙරෙහි ය.

ඉන්දු-පකිස්තාන අර්බුදය දෙස අධ්‍යනය කිරීමේ දී පෙනී යන්නේ එය ඉන්දියානු සාගර කලාපයේ බල තුලනයට විවිධාකාරයෙන් බලපා ඇති බවයි. මන්ද යත් ඉන්දීය සාගර කලාපය ඕනෑම බලවත් රාජ්‍යයකට ම උපායමාර්ගික වශයෙන් ඉතාමත් වැදගත් වීමයි. මෙම අර්බුදයේ ආරම්භක අවස්ථාවේ දී දක්නට ලැබුණේ ඉන්දියානු හා පකිස්තානු අර්බුදයක් ලෙස පමණක් ම නොවෙ යි. එම අර්බුදයට යටින් සැබෑ ලෙස ම පැවතියේ එවකට ප්‍රධානතම ප්‍රතිවාදී බල කඳවුරු දෙක වූ ඇමරිකාවේ හා සෝවියට් දේශයේ ඉන්දියානු සාගර බල තරගයයි. ඒ අනුව ඉන්දියාවට පක්ෂපාතී ව සෝවියට් දේශය කටයුතු කරමින් ඉන්දියන් සාගරයේ ඇමරිකානු බල ව්‍යාප්තිය මර්දනය කිරීමට කටයුතු කරනු ලැබූ අතර පකිස්තානයට පක්ෂපාතී වෙමින් ඇමරිකාවද ඉන්දියන් සාගරයේ සෝවියට් බලව්‍යාප්තිය මර්දනයට කටයුතු කරනු ලැබීය. නමුත් වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇත. ඒ අනුව ඉන්දියන් සාගර කලාපයේ ප්‍රධානතම තරග කරුවන් වී ඇත්තේ ඉන්දියාව හා චීනයයි. ලෝක දේශපාලනයේ ආර්ථික හා දේශපාලන ප්‍රතිවාදීන් වී ඇත්තේ ඇමරිකාව හා චීනයයි. ඒ අනුව තම සතුරාගේ සතුරා, තමාගේ මිතුරා යන කියමන සනාථ කරමින් ඇමරිකාව හා ඉන්දියාව ඉන්දියන් සාගරයේ චීන බලව්‍යාප්තිය මර්දනය කිරීමට එක්සත් වී ඇති අතර පකිස්තානය ද එම කියමන අනුව යමින් චීනය සමඟ එක්සත් ව ඉන්දියානු බලය මර්දනය සඳහා කටයුතු කරනු ලැබේ. එනම් සැබෑ ලෙස ම පෙනී යන්නේ ඉන්දු-පකිස්තාන අර්බුදය යනු ඉන්දියන් සාගර කලාපයේ බල තුලනයට බෙහෙවින් ම බලපාන ලද සිදුවීමක් වූ බවයි. මන්ද යත් ඉන්දු-පකිස්තාන අර්බුදය එම දෙරට අතර ඇති අර්බුදයක් හා තරගයක් පමණක් ‍නොව එම කලාපයෙන් පිටත ප්‍රතිවාදීන් වූ ඇමරිකාවේ හා චීනයේ බල තරගයක් ද වී ඇති බවයි.  

No comments:

Post a Comment