Thursday, 1 April 2021

“සීතල යුද්ධය නිමා වීම හා ඉන්දියන් සාගරය”.

 

1.  හැඳින්වීම.

2.  සීතල යුද්ධය. 2

3.  සීතල යුද්ධයේ නිමාව.

4.  ඉන්දියානු සාගරය.

I.      සීතල යුද්ධයෙන් පසු ඇමරිකානු බලපෑම්. 8

II.     සීතල යුද්ධයෙන් පසු රුසියාවේ බලවත් වීම. 8

III.    සීතල යුද්ධයෙන් පසු චීනයේ බලපෑම්. 9

IV.    සීතල යුද්ධයෙන් පසු ඉන්දියාවේ බල වර්ධනය. 10

V.     සීතල යුද්ධයෙන් පසු ඉන්දියානු සාගරයේ අනෙකුත් රාජ්‍ය. 11

5.      සමාලෝචනය.

මූලාශ්‍ර



        
හැඳින්වීම.

සී

තල යුද්ධය නිමා වීම හා ඉන්දියන් සාගරය යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ එය ඉතා පුළුල් ක්ෂේත්‍රයක් යටතේ විහිදී යන බවයි. මන්ද යත් සීතල යුද්ධය නිමා වීම යනු සැබෑ ලෙස ම සෝවියට් සංගමය බිඳවැටීම හා සමාජවාදය ක්ෂය වී යාමයි. සෝවියට් සංගමයෙන් මාක්ස් ලෙනින්වාදය වියැකී යාම මඟින් අර්ථවත් කෙරෙනුයේ ලෝක ඓතිහාසික වැදගත්කමක් ඇති ජීවමාන මතවාදයක් වශයෙන් එහි වලංගුභාවයේ අවසානය වන බව ෆ්රැන්සිස් ෆුකුයාමාගේ මතයයි.[1] තවදුරටත් අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර සිටියේ අප මේ අත්දකිමින් සිටින්නේ හුදු ශීතල යුද්ධයේ අවසානය ‍නොවේ, හෝ පශ්චාත් යුද ඉතිහාසයේ සුවිශේෂී යුගයක් ද නොවේ. එහෙත්, ඉතිහාසයේ අවසානය යි. එනම්, මානව පාලනයේ අවසාන ආකෘතිය ලෙස, මානව වර්ගයාගේ දෘෂ්ටඨිවාදී පරිණාමයේ අවසන් ලක්ෂ්‍ය සහ බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වීය කරණය යි. වන බවයි.[2] කෙසේ වෙතත් සීතල යුද්ධය අවසන් වීම මඟින් ලෝක බල තුලනය වෙනස් වූ අතර ඇමරිකාව තනි සුපිරි ලෝක බලවතෙකුගේ තත්ත්වයට පත් විය.

එය ලෝක දේශපාලනය තුළ අවුරුදු 25ට වැඩි ප්‍රමාණයක් ඇමරිකාවේ හිතුවක්කාරකම්වලට ගොදුරු වූ යුගයක් වශයෙන් හැදින්විය හැක. මෙතෙක් සුපිරි බලවතුන් දෙදෙනාගේ තරඟය හේතුවෙන් ලොව තුළ යුද බියක් පැවතියත්, පරිධියේ පිහිටි රටවල්වලට එය යම් යම් අවස්ථාවලදී වාසි සහගත විය. මන්ද යත් එක් සුපිරි බලවතෙකුගේ කෙනෙහෙලිකම්වලට ලක් වන කුඩා රාජ්‍යයක් වෙතොත් එහි සහයට අනෙක් සුපිරි බලවතා ඉදිරිපත් වීමයි. නමුත් සෝවියට් සංගමය විසිරී යාමත් සමඟ එම සහය ද නැති වී ගිය අතර රටවල් බොහෝමයක් නව අධිරාජ්‍යවාදයේ සූරා කෑමට ලක් විය.

කෙසේ වෙතත් සීතල යුද්ධයෙන් අනතුරුව නව ලෝක බලවතුන් ලෙස රුසියාවේ හා චීනයේ බලවත් වීම මත මේ තාක් ඇමරිකාව රැක ගෙන ආ ඒකාධිකාරී බලය අභියෝගයට ලක්  වී ඇත. ඊට අමතරව කලාපීය බලවතුන් ලෙස ඉන්දියාවේ, ඉන්දුනීසියාවේ, තායිලන්තයේ, වියට්නාමයේ හා පිලිපීනයේ බලය හමුවේ ඉන්දියන් සාගරය තුල බටහිර බලය යම්තාක් දුරකට පාලනය වෙමින් පවතින ආකාරයක් ද වර්තමානයේ දැකිය හැකිය. මෙම පැවරුම මඟින් සීතල යුද්ධය යනු කුමක් ද?, සීතල යුද්ධය නිමා වූවේ කෙසේ ද?, සීතල යුද්ධය අවසාන වීමෙන් පසු ඉන්දියන් සාගරය තුළ ඇමරිකානු, රුසියානු, චීන හා ඉන්දියානු යන බලවත් රාජ්‍යයන්ගේ බලපෑම මෙන්ම අනෙකුත් රාජ්‍යයන් ඒ තුළ හැසිරෙන ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනු ලැබේ.


[1] ෆ්‍රැන්සිස් ෆුකුයාමා, ඉතිහාසයේ අවසානය, රාවය ප්‍රකාශන, මහරගම, 2015-මැයි, පිටු 42.

[2] මහින්ද පතිරණ, විකිලීක්ස් හෝරාව, ෆාස්ට් පබ්ලිෂින්, කොළඹ, 2011 අගෝස්තු, පිටු 20.



         සීතල යුද්ධය.

සී

තල යුද්ධය යනු ඇමරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් කඳවුරත්, සෝවියට් දේශය ප්‍රමුඛ නැගෙනහිර කඳවුරත් අතර ඇති වූ මතවාදීමය ගැටුමයි.[1] එය දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රයේ ඇති වූ කැපී පෙනෙන ම ලක්ෂණය වශයෙන් හඳුනා ගත හැක. සීතල යුද්ධය යන වචනය මුල් වරට භාවිතා කරනු ලද්දේ 1947දී[2] ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ බර්නාඩ් බරුච් විසිනි. එම වචනය ජනප්‍රිය කරන ලද්දේ මහාචාර්ය ලිප්මාන් විසින් බව[3] සඳහන් වේ. මෙහි දී ඇමරිකාව හා සෝවියට් දේශය අතර වූ සෑම අංශයක් කෙරෙහි ම මෙම සීතල යුද්ධයේ අසහනකාරී තත්ත්වයන් බලපානු ලැබීය. ඒ අනුව ආරක්ෂාව, ආර්ථික වර්ධනය, රාජ්‍ය තන්ත්‍රය හා දේශපාලන න්‍යායවාදය යන අංශවල එය ප්‍රබලව දැකිය හැකි විය. විරුද්ධවාදීන් අතර අමනාපකම් පවත්වාගෙන ගිය අතර සාමකාමී කාලයකට අවශ්‍ය තානාපති සබඳතා සම්බන්ධකම් ද එලෙස ම පැවතුණි. සරලව ම සඳහන් කරතොත් සීතල යුද්ධය න්‍යායවාදය හා මත අරගල මුල් කර ගත් යුද්ධයක් හෙවත් රාජ්‍ය තන්ත්‍ර පිළිබඳ යුද්ධයක් වූ අතර එය බොහෝ විට ප්‍රචාරණය මාර්ගයෙන් ගෙන යනු ලැබීය. එය යුද්ධ තත්ත්වයක් නොවූ අතර සාම තත්ත්වයක් ද නොවීය.[4]

මෙම මතවාදීමය අරගලය තුල දී විවිධ යුද ගිවිසුම් සංවිධාන බිහි වූ අතර එමගින් සීතල යුද්ධයේ ආතතිමය අවස්ථා තවදුරටත් වර්ධනය විය. එහි දී දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු සෝවියට් දේශය නැවත වරක් තම රට වෙත ජර්මන් ආක්‍රමණයක් ඇති වීම වළක්වා ගැනීමේ අරමුණින් හා නව න්‍යෂ්ටික බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයේ තර්ජනයන්ගෙන් ආරක්ෂා වීමට, නැගෙනහිර යුරෝපා රාජ්‍යයන් ක්‍රමයෙන් සෝවියට් රතු හමුදාවේ අධීක්ෂණය යටතේ කොමියුනිස්ට් ග්‍රහණයට යටත් කර ගැනීමට කටයුතු කරනු ලැබීය. එය වඩාත් තීව්‍ර කර අවස්ථාවක් වූවේ 1946දී මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වූ වින්සන් චර්චිල් විසින් ඇමරිකාවේ ෆුල්ටන් නගරයේ දී කරන ලද ප්‍රකාශයයි. එහි දී ඔහු ප්‍රකාශ කර සිටියේ සෝවියට් සංගමයට එරෙහිව කටයුතු කිරීම සඳහා බටහිර රටවල් ඒකරාශී විය යුතු බවයි.[5] එහි දී තවදුරටත් අදහස් දැක්වූ චර්චිල් විසින් සෝවියට් දේශයේ ක්‍රියාමර්ගයන් හෙලා දකිමින් කියා සිටියේ සෝවියට් දේශය විසින් නැගෙනහිර යුරෝපය යකඩ තිරයකින් ( Iron Curtain) [6] වසා තබා ඇති බවයි. එම නිසා ඇමරිකාව වහා ඊට ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

චර්චිල්ගේ මෙම ප්‍රකාශයත් සමඟ සෝවියට් දේශයේ කොමියුනිස්ට්කරණ ප්‍රතිපත්තිය වර්ධනය වූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ එවකට ජනාධිපති හැරී එස්. ට්‍රෑමන් විසින් 1947 මාර්තු මස 12වනදා ට්‍රෑමන් න්‍යාය ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙම ට්‍රෑමන් න්‍යායෙන් ප්‍රකාශ වූයේ බාහිර බලපෑම් හෝ සන්නද්ධ වූ ජනවර්ග තමන් යටත් කර ගැනීමට දරන උත්සාහයට විරුද්ධව ක්‍රියා කිරීමට නිදහස් ජාතීන්ට ඇමරිකාව ආධාර කරන බවයි. [7] මෙම න්‍යාය ප්‍රකාශ කිරීමට ආසන්නතම හේතුව වූවේ ඒ වන විට බ්‍රිතාන්‍ය අනුහස යටතේ පැවති ග්‍රීසිය හා තුර්කිය කොමියුනිස්ට් තර්ජනයට ලක් ව පැවතීමයි. සැබෑ ලෙස ම මෙම ට්‍රෑමන් න්‍යායේ අරමුණ වූයේ නිදහස් රාජ්‍යයන් කොමියුනිස්ට් ග්‍රහණයට ලක් වීම වැළැක්වීම හා සෝවියට් බලපෑම ලෝකයේ පැතිරීම වැළැක්වීමයි. ඒ අනුව මෙම ට්‍රෑමන් න්‍යාය පදනම් කර ගනිමින් ග්‍රීසියට හා තුර්කියට ඩොලර් දසලක්ෂ 400ක ආධාර ලබා දීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධනවාදී රාජ්‍යයන් ඉදිරිපත් වූ අතර ඒ හේතුවෙන් ම කොමියුනිස්ට් තර්ජනයන් පරාජය කිරීමට එම රටවලට හැකි විය.

ඇමරිකානු නව විදේශ ප්‍රතිපත්තිය යටතේ ඇය විසින් ඒතාක් අනුගමනය කළ හුදකලා විදේශ ප්‍රතිපත්තිය වෙනස් කර නිදහස් ලෝකය හා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම උදෙසා මැදිහත් වන බව හැඟවීය. එම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ වෙනස් වීමත් සමඟ කෝප වූ සෝවියට් දේශය නැගෙනහිර යුරෝපා රාජ්‍යයන් කොමියුනිස්ට් ග්‍රහණයට ගැනීමේ වැඩ පිළිවෙළ තව දුරටත් වේගවත් කරනු ලැබීය. ඒ අනුව නැගෙනහිර යුරෝපා රටවල් වන හංගේරියාව, බල්ගේරියාව, රුමේනියාව හා ෆින්ලන්තය සමඟ ද්වීපාර්ශ්වික ගිවිසුම් ඇති කර ගනු ලැබීය. සෝවියට් දේශයේ මෙම ක්‍රියාදාමයන්ට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපය ද බහු පාර්ශ්වික ගිවිසුම් ඇති කර ගනු ලැබීය. ඒ අනුව ධනවාදී රටවල් විසින් සෝවියට් තර්ජනයන්ට එරෙහිව ඇති කර ගත් ගිවිසුම් වන්නේ 1948 මාර්තු 18 වන දින බ්‍රිතාන්‍ය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය හා ලක්සන්බර්ග් යන රටවල් එකතු වී ඇති කර ගත් බ්‍රසල්ස් ගිවිසුම හා 1948 සැප්තැම්බර් 02 දින ඇමරිකාව ප්‍රමුඛ දකුණු ඇමරිකානු රටවල් ඇති කර ගත් රියෝ ගිවිසුම යනාදිය යි. මීට අමතරව දෙවන ලෝක යුද්ධයෙන් බිඳ වැටුණු යුරෝපා රටවල් යළි ගොඩ නැංවීම සඳහාත්,  කොමියුනිස්ට් ව්‍යාප්තිය අත්හිටු වීම සඳහාත් ඇමරිකාව විසින් 1947 ජුනි 05වන දින තම ආර්ථික හස්තය වන මාර්ෂල් සැලැස්ම ක්‍රියාත්මක කරනු ලැබීය.

යුරෝපය මුල් කොට ගෙන ඇති වූ සීතල යුද්ධයේ වඩාත් ප්‍රබලතම අවස්ථාවන් වූයේ බටහිර යුරෝපය මුල් කර ගෙන ප්‍රබල යුද සංවිධානයක් වන උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (NATO- North Atlantic Treaty Organization) බිහි වීමත් හා නැගෙනහිර කොමියුනිස්ට් රාජ්‍යයන් එකතුවෙන් වොර්සෝ (Warsaw Pact) සංවිධානය බිහි වීමත් ය. ආසියාව ද කොමියුනිස්ට් ග්‍රහණයෙන් මුදවා ගැනීමේ අරමුණින් ඇමරිකාව විසින් අග්නිදිග ආසියා ගිවිසුම් සංවිධානය (SEATO - South East Asia Treaty Organization) බිහි කරනු ලැබීය. මෙම අසහනකාරී තත්ත්වයන් යටතේ සුපිරි බලවතුන් වූ ඇමරිකාව හා සෝවියට් දේශය අතර ඍජු ගැටීම් ඇති නොවූවත් එම දෙරටේ ම සහය ලබමින් ලොව විවිධ ස්ථානවල උග්‍ර යුද ගැටුම් ඇති විය. ඒවා අතරින් ප්‍රබලතම සිදුවීම් වන්නේ බර්ලින් අර්බුදය (1948-49), කොරියන් යුද්ධය (1950-53), හංගේරියානු අර්බුදය (1956), චෙකොස්ලොවැකියාවේ සෝවියට් මැදිහත් වීම (1969), වියට්නාම් යුද්ධය (1945-75), කියුබානු මිසයිල අර්බුදය (1962), චීනය-තායිවානය අර්බුදය 1949 හා ඇෆ්ගනිස්ථානයට සෝවියට්දේශයේ මැදිහත් වීම (1979-89) යන අවස්ථායි.

එහෙත් 1990 දශකයෙන් පසු කාලයේදී වෝර්සෝ, සියටෝ, සෙන්ටෝ වැනි යුද ගිවිසුම් සංවිධානවල වැදගත්කම හීන වී ගිය අතර ඉතිරි ව ඇති එකම ප්‍රබල සංවිධානය වී ඇත්තේ නේටෝ සංවිධානය පමණි.


 



[1] රංග ප්‍රභාත් කුමාරසිංහ, පශ්චාත් තුෂ්ණි යුද සමයේ මූලධර්මවාදයට හා ජාතිකවාදයට එරෙහි මානුෂවාදී මෙහෙයුම්, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2013, පිටු 16.

[2] එච්. ටී. බස්නායක, අපරදිග ශිෂ්ටාචාරය - 03, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2013, පිටු 349.

[3] ක්ෂාවියර් පින්තු සහ ඊ. ජී. මියාල්, ඉතිහාස ධාරා - දෙවන කොටස, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2007, පිටු 154.

[4] එම... පිටු 158.

[5] ඒ. පොල්ටොරාක්, න්‍යුරෙන්බර්ග් අවසාන ජවනිකාව, පරිවර්තනය; ප්‍රේමචන්ද්‍ර අල්විස්, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2007, පිටු 142.

[6] ඩබ්. එම්. කරුණාදාස, ජාත්‍යන්තර දේශපාලනය, ඉමේජ් ලංකා පබ්ලිෂර්ස්, 1999, පිටු 21.

[7] ක්ෂාවියර් පින්තු සහ ඊ. ජී. මියාල්, ඉතිහාස ධාරා - දෙවන කොටස, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2007, පිටු 156.



1.         සීතල යුද්ධයේ නිමාව.

සී

තල යුද්ධයේ නිමාව ආරම්භ වන්නේ 1985දී සෝවියට් දේශයේ නායකත්වයට මිහායිල් ගොර්බචොෆ් පත් වීමත් සමඟය. 1975 වසරේ සිට ම සෝවියට් දේශයේ ආර්ථික හා දේශපාලන අර්බුද මතු වෙමින් පැවති අතර ගොර්බචො‍ෆ්ගේ ප්‍රතිපත්ති හේතුවෙන් ඒවා උග්‍ර විය. ඔහු විසින් සෝවියට් ආර්ථිකය නැවත නගා සිටුවීමේ අරමුණින් ග්ලාස්නොස්ට් (විවෘතභාවය) හා පෙරස්ත්‍රොයිකා (ප්‍රතිව්‍යුහගතකරණය) නම් ක්‍රියාවලින් යටතේ තවදුරටත් සෝවියට් දේශය දුර්වල වන්නට විය. සැබෑ ලෙස ම සීතල යුද්ධය නිම වීම යනු සෝවියට් දේශයේ බිඳ වැටීම විය. ඒ සඳහා පුළුල් දායකත්වයක් ලබා දෙන ලද්දේ ඉහතින් දක්වන ලද ආකාරයට ගොර්බචොෆ් හා ඔහුගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන්ය. සමහර ඉතිහාසඥයන්ගේ මතය වන්නේ සීතල යුද්ධය පවත්වාගෙන ගිය රටවල අවශ්‍යතාව මත බටහිරට හිතවත් පුද්ගලයෙකු වූ ගොර්බචොෆ් සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් තනතුරට පත් කර ගත් බවයි.[1] එය සැබෑවක් බව පෙනී යන එක් කාරණයක් වන්නේ 1982 එවකට නායකයා ව සිටි ලියොනිඩ් බ්‍රෙෂ්නව් ( Leonid Brezhnev)  1982 දී මිය යෑමෙන් අනතුරුව නායකත්වයට පත් යූරි ඇන්ඩ්‍රොපොව් (Yuri Andropov) 1984දී මියයාමත් හා ඉන් පසු බලයට පත් කොන්ස්ටන්ටින් චෙර්නෙන්කෝ (Konstantin Chernenko) 1985දීත් මියයාමයි.[2] එලෙස ඉහළින් සිටි නායකයන් ඉතා කෙටි කාලයක් තුල මිය ගිය අතර ඒ හේතුවෙන් නිරායාසයෙන් ම ගොර්බචොෆ්ට කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය හිමි විය.

සැබෑ ලෙස ම සීතල යුද්ධය අවසන් කිරීම සඳහා ලොව සුපිරි බලවතුන් දෙදෙනා වූ ඇමරිකාව හා සෝවියට් දේශය අතර ඇති වූ තරඟයෙන් එක් බලවතෙකු පරාජය විය යුතු විය. එහි දී බටහිර ධනවාදී කඳවුරේ උපක්‍රම සාර්ථක වූ අතර ඔවුන්ගේ විරුද්ධවාදියා වූ සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ සීතල යුද්ධය ද නිමා විය. සෝවියට් දේශය බිඳ වැටීම සමස්ත ලෝකයේ ම අවධානයට ලක් වූ කරුණක් වුවත් එය සිදු වූයේ නිශ්චිතව ම කෙසේ ද යන්න පිළිබඳ ඒකීය හා සාර්ථක පිළිතුරක් මෙතෙක් ඉදිරිපත් වී නැත. ඒ පිළිබඳ විවිධ මත පල වී ඇති අතර ඒ අතරින් වඩාත් පිළිගත් මතයන් කීපයක් පහත ආකාරයෙන් දැක්විය හැක.

ü  ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් හා ඔවුන්ගේ ඔත්තු සේවා විසින් සෝවියට් දේශයට විරුද්ධව ගෙන ගිය විනාශකාරී වැඩපිළිවෙළ.

ü   සෝවියට් ප්‍රධානීන්ගේ දුර්වලකම් හා සාමාජික සමූහාණ්ඩුවල පාලකයන්ගේ ආත්මාර්ථකාමී ඕනෑ එපාකම් වෙනුවෙන් මධ්‍යගත පාලනයෙන් මිදී යාමට ගත් උත්සාහයන්, ඒ සඳහා ගොර්බචොෆ් ප්‍රතිසංස්කරණ ප්‍රයෝජනයට ගැනීම, සියලු දේශපාලන හා ආර්ථීක තීරණ ඒක කේන්ද්‍රීය ව (මොස්කව්) ගැනීම ප්‍රාදේශීය පාලකයන්ගේ නොමනාපයට හේතු වීම.

ü  බහු ජාතික රාජ්‍යයක් වූ සෝවියට් දේශය තුළ බෙදුම්වාදය ඉස්මතු වීම.

ü  නිබඳ ව දැකිය හැකි වූ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය. භාණ්ඩ හිඟයට පිළියමක් ලෙස නිෂ්පාදනය වේගවත් කිරීම නිසා බාල භාණ්ඩ නිෂ්පාදනය වීම, භාණ්ඩවල ගුණාත්මක බව පිළිබඳ විශ්වාසය කඩ වීම ආර්ථීකය කෙරෙහි විශ්වාසය කඩ වීම දක්වා වර්ධනය වීම, වරින් වර ඇති වූ අත්‍යවශ්‍ය භාණ්ඩ (සනීපාරක්ෂක කඩදාසි, ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර, දත් බෙහෙත් ආදී) හිඟය හා විවිධ සීමා කිරීම් (උදා: ගෙවත්තෙහි ප්‍රමාණය සීමා කිරීම, තම නිවසේ තමන්ට භාවිතා කල හැකි කාමර ප්‍රමාණය සීමා කිරීම) නිසා මහජනතාව සෝවියට් ක්‍රමය කෙරෙහි කලකිරීම.

ü  සෝවියට් ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ගන්නා ලද අසාර්ථක උත්සහයන්.

ü  ඇමරිකා එක්සත් ජනපදයේ මෙහෙයවීම මත ලෝක ඛනිජ තෙල් මිල පහත දැමීම නිසා සෝවියට් ආර්ථීකය අර්බුදයට ලක් වීම. නිරතුරුව ම බටහිර සංවර්ධිත රටවලට වඩා පිටුපසින් සිටීම.

ü  සීතල යුද්ධය, ඇෆ්ගනිස්ථාන යුද්ධය හා සමාජවාදී කඳවුරේ අනෙකුත් රටවලවලට මූල්‍යාධාර සැපයීම සෝවියට් ආර්ථිකයට බරක් වීම. යුධ අවි කර්මාන්තයට ප්‍රමුඛත්වය දීමෙන් ආර්ථීකයේ අනෙක් අංශ පිරිහීමෙන් රාජ්‍ය ආදායම පහළ බැසීම.

ü  චර්නොබිල් ඛේදවාචකය, ගෑස් නළ පිපිරීම, ගුවන් යානා අනතුරු, සබ්මැරීන අනතුරු වැනි ඛේදවාචකයන් පිළිබඳ තොරතුරු සැඟවීමෙන් මහජනතාවගේ අප්‍රසාදය ලියලා යෑම.[3]

යන කාරණා සෝවියට් දේශයේ බිඳ වැටීමට හා සීතල යුද්ධයේ නිමාවට ඍජු හා වක්‍ර ලෙසිනුත්, අඩු හා වැඩි වශයෙනුත් බලපානු ලැබූ බව අවබෝධ කර ගත හැක. ඒ අනුව දුර්වල වූ සෝවියට් දේශය 1989වන විට ප්‍රකාශ කර සිටියේ වෙනත් රටවල අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් නොවන බවයි. ඒත් සමඟ සෝවියට් සංගමයේ පැවති පරිවාරක රාජ්‍යයන්ගේ කොමියුනිස්ට් පාලනයන් බිඳ වැටෙන්නට වූ අතර 1990 මැයි මාසයේ දී සෝවියට් දේශයේ ප්‍රධානතම සමූහාණ්ඩුව වූ රුසියාව සෝවියට් දේශයෙන් මිදී නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ අනෙකුත් සමූහාණ්ඩුවල ද ස්වාධීන වීමේ රැල්ල ආරම්භ විය. ඒ අනුව ලිතුවේනියාව 1990 අගෝස්තු මාසයේදීත්, එස්තෝනියාව 1991දීත්, ලැට්වියාව 1990දීත්, අසර්බයිජානය 1991දීත්, මොල්ඩෝව 1991දීත්, යුක්‍රේනය 1991දීත්, බෙලරුසියාව 1991දීත්, කසකස්ථානය 1991දීත් වශයෙන් සමස්ත සෝවියට් දේශය ම රටවල් 15කට නොඅඩු ගණනකට බෙදී වෙන් විය. එහි අවසාන ප්‍රතිඵලය වූවේ 1991 අවසාන කාලය වන විට ගොර්බචොෆ් මිහි මත තවදුරටත් නොමැති රටක නායකයෙකුගේ තත්ත්වයට පත් ව තිබීමයි. ඒ අනුව ඔහු 1991 දෙසැම්බර් 24වන දා සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් තනතුරින් හා 1991 දෙසැම්බර් 24වන දා සෝවියට් සංගමයේ ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ අතර සෝවියට් සංගමයේ පැවැත්ම අවසන් වූ බවට ප්‍රකාශයක් සෝවියට් සංගමයේ උත්තරීතර සෝවියට් සභාව විසින් 1991 දෙසැම්බර් 26 වන දින නිකුත් කරන ලදි.[4]

ඒත් සමඟ සෝවියට් දේශයේ ද, නැගෙනහිර යුරෝපා කොමියුනිස්ට් බල කඳවුරේ  සහ සීතල යුද්ධයේ ද නිමාව සනිටුහන් විය. මෙතෙක් බල දෙකක ආධිපත්‍යයට නතුව තිබූ ලෝකය ඇමරිකාවේ ප්‍රබල අවි බලය හේතු කොට ගෙන ඒක බල ආධිපත්‍යකට ගොදුරු විය. දෙවැනි ලෝක යුද්ධයේ සිට පැවති අන්තර්ජාතික බල තුලනය කඩා වැටීම ඇමරිකාවට හා ඒ ආශ්‍රිත වටිනාකම් පද්ධතියට ගෙන දුන්නේ ලෝක ආධිපත්‍ය සඳහා අසීමිත ඉඩකි. ඒ අනුව සීතල යුද්ධය නිමා වීමෙන් සිදු වූවේ ඇමරිකානු ඒකදේවවාදී බල කේන්ද්‍රය කිසියම් දුරකට හෝ එකම විකල්පය වූ සෝවියට් දේශයේ අහිමි වීමයි. මින් පසු ඇමරිකාව සෝවියට් රික්තකය උපයෝගී කොට ගනිමින් යුද බලයෙන් දුර්වල අනෙකුත් රාජ්‍යයන්වල ස්වාධීනත්වය එක එල්ලේ ම උල්ලංඝනය කිරීමට උනන්දු විය [5]



[1] එච්. ජයරත්න, රුසියානු ශෝකාන්තය, සමීර ප්‍රකාශන, බත්තරමුල්ල, 2015, පිටු 41.

[2] http://en.wikipedia.org/wiki/List_of_leaders_of_the_Soviet_Union -->

[3] එච්. ජයරත්න, රුසියානු ශෝකාන්තය, සමීර ප්‍රකාශන, බත්තරමුල්ල, 2015, පිටු 12.

[4] එම...පිටු 13-15.

[5] මහින්ද පතිරණ, විකිලීක්ස් හෝරාව, ෆාස්ට් පබ්ලිෂින්, කොළඹ, 2011 අගෝස්තු, පිටු 60.


  ඉන්දියානු සාගරය.

න්දියන් සාගරය අතීතයේ සිටම උපායමාර්ගික අතින් ඉතාමත් ම වැදගත් මර්මස්ථානයක් ලෙස සලකනු ලැබීය. ඒ අනුව කලාපයෙන් පිටත පිහිටි රාජ්‍යයන් වන ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය හා මහජන චීනය යන බලවත් රාජ්‍යයන් ඉන්දියානු සාගරයට බලපෑම් කල හැකි තත්ත්වයක් සකස් කර ගැනීමට උනන්දු විය . ආරම්භයේ දී ඉන්දියාවේ සහයට ඉදිරිපත් වූයේ සෝවියට් දේශයයි. විශේෂයෙන් මුලදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් යටතේ ඉන්දියාවට නායකත්වය ලබා දෙනු ලැබූ ජවහල්ලාල් නේරු විසින් සමාජවාදී දේශපාලන හා ආර්ථික දෘෂ්ඨියක් අනුගමනය කරනු ලැබූ සෝවියට් දේශය සමඟ මිත්‍ර සබඳතා ගොඩ නඟා ගනු ලැබීය. ඇමරිකාවේ හා සෝවියට් දේශයේ ඉන්දියානු සාගර බල තරඟයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවට පක්ෂපාතී ව සෝවියට් දේශය කටයුතු කරමින් ඉන්දියන් සාගරයේ ඇමරිකානු බල ව්‍යාප්තිය මර්දනය කිරීමට කටයුතු කරනු ලැබූ අතර පකිස්තානයට පක්ෂපාතී වෙමින් ඇමරිකාවද ඉන්දියන් සාගරයේ සෝවියට් බලව්‍යාප්තිය මර්දනයට කටයුතු කරනු ලැබීය. එම අර්බුදයට යටින් සැබෑ ලෙස ම පැවතියේ එවකට ප්‍රධානතම ප්‍රතිවාදී බල කඳවුරු දෙක අතර වූ බල තරඟය විය.

 නමුත් වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇත. ඉන්දියාවේ මෙම සෝවියට් පක්ෂපාතී හා ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තිය 1990 දශකයෙන් පසු පූර්ණ විපරිවර්තනයකට භාජනය වන ආකාරයක් දැකිය හැක. ඊට ප්‍රධානතම හේතූන් කීපයක් හඳුනා ගත හැක. ඉන් පළමු හේතුව වන්නට ඇත්තේ සමාජවාදී දේශපාලන හා ආර්ථික ක්‍රමයේ ප්‍රතිමූර්තිය බදු වූ සෝවියට් දේශය 1991දී විසිරී යාමයි. ඒත් සමඟ ඉන්දියාවට සිටි ප්‍රධානතම විදේශය සහකරු අහිමි වූ අතර ඉන්දීය ආර්ථිකය ද එක තැන පල් විය. එයට පිළියමක් වශයෙන් ඉන්දියාව මෙතෙක් පැවති සංවෘත ආර්ථික ක්‍රමය අහෝසි කරමින් විවෘත ආර්ථික ප්‍රතිපත්තියකට හුවමාරු විය. ඊට අමතරව මහ බලවතෙකු ලෙස තම අසල්වැසි ප්‍රතිවාදියා වූ චීනය බලවත් වීමත් සමඟ ඉන්දියානු සාගර කලාපයේ හා තම දේශසීමා ආරක්ෂාව සඳහා ඉන්දියාව, ඇමරිකාව සමඟ සමගි ව කටයුතු කිරීමට ක්‍රමික ව ඉදිරි පත් විය. ඒ අනුව වර්තමානය වන විට ඉන්දු-ඇමරිකානු සම්බන්ධතා ආර්ථික, යුදමය හා තාක්ෂණික යන අංශයන්වල දී ඉතා පුළුල් ලෙස විහිදී පවතින ආකාරයක් දැකිය හැකි අතර ඇමරිකාවද ඉන්දියානු සාගරයේ චීන බලපෑම අවම කිරීමේ අරමුණින් පකිස්තානයට වඩා ඉන්දියාවට සහයෝගය දැක්වීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් පවතී. පකිස්තානය ද ඉන්දු-ඇමරිකානු මිත්‍රත්වය සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයක් නොදක්වන අතර ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තාන-පකිස්තාන දේශ සීමාවලට එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඇමරිකානු විරෝධී හා චීන හිතෛෂී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙලඹී ඇත. වර්තමානය වන විට ඉන්දියාව ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙලඹී ඇති ආකාරයක් දැකිය හැකි අතර ඇමරිකාවද ඉන්දියානු සාගර කලාපයේ ඉන්දියාව කේන්ද්‍ර කොටගත් කලාපීය බලයකට සහයෝගය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඉන්දියන් සාගර කලාපයේ ප්‍රධානතම තරඟකරුවන් වී ඇත්තේ ඉන්දියාව හා චීනයයි. ලෝක දේශපාලනයේ ආර්ථික හා දේශපාලන ප්‍රතිවාදීන් වී ඇත්තේ ඇමරිකාව හා චීනයයි. ඒ අනුව තම සතුරාගේ සතුරා, තමාගේ මිතුරා යන කියමන සනාථ කරමින් ඇමරිකාව හා ඉන්දියාව ඉන්දියන් සාගරයේ චීන බලව්‍යාප්තිය මර්දනය කිරීමට එක්සත් වී ඇති අතර පකිස්තානය ද එම කියමන අනුව යමින් චීනය සමඟ එක්සත් ව ඉන්දියානු බලය මර්දනය සඳහා කටයුතු කරනු ලැබේ. එනම් සැබෑ ලෙස ම පෙනී යන්නේ ඉන්දු-පකිස්තාන අර්බුදය යනු ඉන්දියන් සාගර කලාපයේ බල තුලනයට බෙහෙවින් ම බලපාන ලද සිදුවීමක් වූ බවයි. මන්ද යත් ඉන්දු-පකිස්තාන අර්බුදය එම දෙරට අතර ඇති අර්බුදයක් හා තරඟයක් පමණක් ‍නොව එම කලාපයෙන් පිටත ප්‍රතිවාදීන් වූ ඇමරිකාවේ හා චීනයේ බල තරඟයක් ද වී ඇති බවයි.  විශේෂයෙන්ම ඉන්දියාව හා පකිස්තානය තම මිලිටරි ශක්තිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනී යයි. ඉන්දියාව සිය මිලිටරි ශක්තිය වර්ධනය කර ගැනීමේ දී ප්‍රධාන වශයෙන් තම අවධානය යොමු කොට ඇත්තේ සිය කලාපීය හා අසල්වැසි ප්‍රතිවාදීන් වූ පකිස්තානයේ හා චීනයේ මිලිටරි ශක්තිය වෙතයි. පකිස්තානය ද එලෙස ම තම මිලිටරි ශක්තිය වර්ධනය කර ගැනීමේ දී ඉන්දියාවේ මිලිටරි ශක්තිය පිළිබඳ අවධානයෙන් පසු වන අතර දෙරටම න්‍යෂ්ටික බලවතුන් වීම දැඩි අර්බුදයක් වී ඇත.

සැබෑ ලෙස ම වර්තමානය වන විට ලෝක දේශපාලනයේ ප්‍රධාන අර්බුදය වී ඇත්තේ බලශක්ති පිළිබඳ අරගලය වන බව හඳුනාගත හැක. එම අරගලය අනි කිසිදු කලාපයකට වඩා වර්තමානයේ දී ඉන්දියන් සාගරය තුල ක්‍රියාත්මක වන බව හඳුනාගත හැක. මන්ද යත් බලශක්ති නිෂ්පාදනය සඳහා අත්‍යාවශ්‍ය මූලද්‍රව්‍ය වන ලෝක ඛනිජ තෙල් අවශ්‍යතාවලින් 70%ටත් වඩා වැඩි ප්‍රමාණයක් සපයන මැදපෙරදිග, දකුණු හා අග්නිදිග ආසියානු ප්‍රදේශ ඉන්දියන් සාගරය කේන්ද්‍රගතව පැවතීමයි. ඒ අනුව ලොව එකම සුපිරි බලවතා වන ඇමරිකාව ඉන්දියානු සාගර කලාපයට අයත් තෙල් සම්පත අයත් කර ගැනීමේ අරමුණින් මැදපෙරදිග කලාපයේ දියත් කරන ලද මහා මනුෂ්‍ය සංහාරය විවිධ අයුරින් එම ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබේ. ඒ අනුව බැලීමේ දී පෙනී යන්නේ ඇමරිකාව තම ඒකීය සුපිරි බලවත් කම ආධාරයෙන් නූතන අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රීය බලවතා බවට පති වී තිබෙන බවයි. ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපදයට අයත් විවිධ වූ යුධ කඳවුරු ලෝකයේ විවිධ ප්‍රදේශවල පිහිටුවා තිබෙන අතර ආසියාවේ ප්‍රධානතම වාණිජ හා බලශක්තීන් ප්‍රවාහනය කරන්නා වූ ඉන්දියන් සාගරය වට කොට ආසියාවේ තායිවානය, දකුණු කොරියාව, පිලිපීනය, තායිලන්තය, ජපානයේ රියුකු දිවයින්, පකිස්ථානය හා සෞදි අරාබිය ආදී රටවල ද, ඉන්දියන් සාගරයේ දියාගෝ ගාර්ෂියාවේ ද, ගුවාම් දූපත්වලද, අප්‍රිකාවේ ලයිබීරියාවේ හා ඉතියෝපියාවේ ද යන ප්‍රදේශවල හා ඒ හා සම්බන්ධ මුහුදු හා සාගර තීරවල ඇමරිකාවේ යුද කඳවුරු හා ඇමරිකන් හමුදාවේ හයවැනි හා හත්වැනි නාවික හමුදාවලට අයත් යුද නැව් ස්ථානගත කොට ඇති ආකාරයක් දැකිය හැකිය.[1] 

එය මෙම කලාපයේ සියලු රටවල ස්වාධීනත්වයට තර්ජනයක් වී ඇත. ඒ හේතුවෙන් ම මෙම කලාපයේ රටවල් තමන් ළං කර ගන්නේ කුමන ආකාරයේ බලවතෙකු දැයි නොසිතා ඇමරිකාවට එරෙහි ඕනෑම රටක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පෙලඹී ඇත.[2] කෙසේ වෙතත් වර්තමානය වන විට 20වන සියවසේ අවම වශයෙන් අග දශක පහ තිස්සේ යෝධයෙකු ලෙස නැගී සිටි ඇමරිකාව වෙත මේ වන විට තීරණාත්මක දෙසකින් අභියෝග එල්ල වී ඇත. ඒ ආර්ථිකමය දෙසිනි.[3] එම අභියෝග ප්‍රධාන වශයෙන් ම එල්ල වී ඇත්තේ චීනයෙන් හා ඉන්දියාවෙනි. ඔවුන් ලෝකයේ වේගයෙන් ම සංවර්ධනය වන රාජ්‍යයන් දෙක වී ඇති අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලින් 50%ටත් වඩා වැඩි ප්‍රතිශතයක් සිදුවන්නේ ඉන්දියන් සාගරය කේන්ද්‍ර කොට ගෙන ය.  

ඉන්දියන් සාගර කලාපයේ බලශක්ති අර්බුදය වර්තමානයේ දී වැදගත් වීමට බලපා ඇති අනෙක් වැදගත් ම සාධකය වන්නේ අනාගතයේ දී ලොව බලවත් ම රාජ්‍යයන් වීමට සුදානමින් සිටින හා වර්තමානයේ දී ඉතා දැඩි බලශක්ති පිපාසාවෙන් පෙළෙන ලොව වේගයෙන් ම සංවර්ධනය වන්නා වූ ප්‍රධානතම රාජ්‍යයන් දෙක වන චීනය හා ඉන්දියාව එකම කලාපයේ පිහිටා තිබීමයි. ඒ අනුව කලාපය තුළ ඇති වී ඇති බලශක්ති පිපාසිත තරඟය දෙර‍ට අතර අතීතයේ දී අති වූ දේශසීමා අර්බුදත් සමග වර්තමානයේ දී එළිපිට රඟ දැක්වෙන බල අර්බුදයක් වී ඇත. ඒ අනුව බලය සඳහා වූ එම රඟ දැක්වීමේ ප්‍රධානතම වේදිකාව වී ඇත්තේ ඉන්දියන් සාගරයයි. ඒ හේතුවෙන් ම දෙරටම ඉන්දියන් සාගරයේ උපායමාර්ගික වැදගත්කමක් ඇති ස්ථානයන් තම ග්‍රහණයට ගැනීමේ තරඟයක නිරත ව සිටින අතර එය ඉන්දියන් සාගරයේ පවතින සීතල යුද්ධයක් දක්වා වර්ධනය වී ඇති ආකාරයක් දැකිය හැකිය.

 

       I.            සීතල යුද්ධයෙන් පසු ඇමරිකානු බලපෑම්.

මරිකාවේ තෙල් අවශ්‍යතාවෙන් 10%ක් පමණ සැපයෙන්නේ ගල්ෆ් කලාපයෙනි. නමුත් එහි ඇති විභව ශක්තියේ ඇති වටිනාකම හේතුවෙන් ඇමරිකාව විසින් එම කලාපයේ තෙල් ආරක්ෂා කර ගැනීමට උපරිම උත්සහ කරනු ලැබේ. යුරෝපයේ තෙල් අවශ්‍යතාවෙන් 30%ක්ද, ජපානයේ තෙල් අවශ්‍යතාවෙන් 80%ක්ද සැපයෙන්නේ ගල්ෆ් කලාපයෙන් වීම හේතුවෙන් එම කලාපයේ බලය වෙනත් බලවතෙකුගේ අතට පත් වීම ඇමරිකාවේ නොසතුටට හේතු වේ.  ඒ හේතුවෙන් ගල්ෆ් කලාපය කෙරෙහි තමන්ගේ අවධානය ඇමරිකාව විසින් යොමු කරනු ලැබීය. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ ඇමරිකාව විසින් ගල්ෆ් යුද්ධයේදී කුවේටයේ ආරක්‍ෂාව සඳහා ඉදිරිපත් වීමයි. ගල්ෆ් යුද්ධයට සම්බන්ධ වීම මඟින් කුවේටයේ, ඕමානයේ, සෞදි අරාබියේ හා බහරෙන් යන රාජ්‍යයන්වල එක්සත් ජනපද හමුදා හා නාවික මධ්‍යස්ථාන පිහිටුවා ගැනීමට ඇමරිකාවට හැකි වූ අතර විශේෂයෙන් ම ගල්ෆ් යුද්ධය අවසානයේ එම කලාපයේ රඳවනු ලැබූ ඇමරිකානු හමුදා භට කණ්ඩායම් 100%ක්ම ඉවත් කර නොගැනීම තුළින් පෙනී යන්නේ එමගින් ඉන්දියන් සාගර කලාපයේ බලශක්ති ප්‍රවාහනය පාලනය කිරීමට ද ඇමරිකාවට හැකි වී ඇති බවයි.[4]

ඉන්දියන් සාගරයේ නාවික මාර්ගයේ මර්මස්ථානයක පිහිටි සෝමාලියාව ද වර්තමානයේ ඇමරිකානු බලපෑමට යටත් වූ ප්‍රදේශයකි. 1970 සිට 1991 දක්වා සෝමාලියාවේ බලයේ සිටි හමුදා පාලක මොහොමඩ් බාරේ බලයෙන් පහ කිරීමෙන් පසු එරට අස්ථාවර වූ අතර 1993 දී ඇමරිකානු හමුදාවන්ගේ මැදිහත් වීම මත සිදු කරන ලද කුප්‍රකට කළු රාජාලි මෙහෙයුම (Operation Black Hawk)  ආසාර්ථක වීමෙන් පසු සන්නද්ධ කණ්ඩායම් විසින් සෝමාලියාවේ විවිධ ප්‍රදේශ පාලනය කරනු ලැබීය. ඒ අනුව 2006 සිට වර්තමානය වන තෙක් ඇමරිකානු යුද කඳවුරු හා යුද නැව් සෝමාලියාවේ අභ්‍යන්තරයේ හා ඒ ආසන්න මුහුදේ ස්ථාපිත කර ඇත.[5] ඇෆ්ගනිස්ථානය, සිරියාව හා ඉරාකය යන ඉන්දියන් සාගරයේ මර්මස්ථානවල පිහිටි රාජ්‍යයන් මේ වන විට ඇමරිකාව හා අනෙකුත් බටහිර රාජ්‍යයන්ගේ බල තරගයේ පොර පිටියක් වී ඇත. විශේෂයෙන් ම ඇමරිකානු මැදිහත් වීම මත එම රටවල ඇමරිකානු හමුදා කඳවුරු පිහිටුවා ගැනීමට සමත් වී ඇත.

 

    II.            සීතල යුද්ධයෙන් පසු රුසියාවේ බලවත් වීම.

ගො

ර්බචොෆ් ප්‍රමුඛ කල්ලියේ පෙරස්ත්‍රොයිකා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් 1991වන විට සියලු ම සමූහාණ්ඩු සෝවියට් සංගමයෙන් ඉවත් වී ස්වාධීන වීමට තීරණය කරන ලද අතර ඒත් සමඟ සෝවියට් සංගමයේ නිමාව ද සනිටුහන් විය. සෝවියට් දේශය බිඳ වැටුණු මුල් කාලයේ එහි නායකයා වූ බොරිස් යෙල්ට්සින් ඇමරිකාවේ හා බටහිර රටවල අවශ්‍යතා අනුව සිය ප්‍රතිපත්ති සකස් කර ගැනීමේ තත්ත්වයක් රුසියාවට තිබුණ ද ව්ලැඩිමීර් පූටීන් එරට නායකත්වයට පත් වීමෙන් පසු එම තත්ත්වය වෙනස් විය. 2000 වසරේ දී ඔහු නායකත්වයට පත් වීමෙන් පසු ඇමරිකාවේ ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන් ම ඉටු වීම වළක්වාලන සහ රුසියාවේ ජාතික ආරක්‍ෂාව හා දේශීය ඕනෑ එපා කම් ආරක්‍ෂා වන විදේශ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදි.[6] ඔහුට අවශ්‍ය වූයේ සීතල යුද්ධයෙන් පසු බිඳ වැටුණු පැරණි සෝවියට් දේශයේ අභිමානය නැවත නගා සිටුවීමටයි. මෙහි දී ස්ටාලින් යුගයේදී මෙන් නොව වර්තමානයට ගැළපෙන පරිදි සාමකාමී සහජීවනය හා අන්තර්ජාතික සුහදතාව පදනම් කර ගනිමින් සිය ප්‍රතිපත්ති මෙහෙයවන ලදි.  පූටින්ගේ නායකත්වය යටතේ රුසියාවට අවශ්‍ය වූවේ ඇමරිකාවට පමණක් අන්තර්ජාතික දේශපාලන ක්ෂේත්‍රයේ ඒකාධිකාරී ආධිපත්‍යයක් පවත්වාගෙන යාමට ඉඩ නොතැබීමයි. කෙසේ වෙතත් නැවතත් සීතල යුද්ධයක් ඇති වීමට දෙපාර්ශවය ම අකමැති වූ බව අවබෝධ කර ගත හැක.[7]

වර්තමාන රුසියාව පැරණි සෝවියට් හා නැගෙනහිර යුරෝපයේ පැරණි සමාජවාදී රාජ්‍යයන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ සුවිශේෂී ආකාරයකට ය.  එම රටවල් සෝවියට් දේශයෙන් වෙන් වීම ගැන රුසියාවේ අකමැත්තක් නොමැති නමුත් එම රටවල් බටහිර නේටෝ කඳවුර සමඟ සම්බන්ධ වීම රුසියාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වී ඇත. ඒ හේතුවෙන් බෙලරූස්, යුක්‍රේනය, ජෝර්ජියාව හා මෝල්ඩෝවා යන රාජ්‍යන් සම්බන්ධයෙන් තදින් කටයුතු කිරීමට රුසියාව පෙලඹී ඇත.

නව රුසියාව හා චීනය අතර ඇති සම්බන්ධතා පෙර නොවූ විරූ ආකාරයෙන් වර්ධනය වී ඇති අතර අන්තර්ජාතික ප්‍රශ්නවලදී රුසියාව හා චීනය වර්තමානයේ දී එකම ස්ථාවරයක සිට කටයුතු කරන ආකාරයක් දැකිය හැක. ඊට අමතරව ඉන්දියාව හා රුසියාව අතර පවතින සම්බන්ධතා වර්තමානයේ දී තවත් වර්ධනය වී ඇත. ඉන්දියාව ඇමරිකාව සමඟ න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් තබා තිබුණ ද එය රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවීම හා එය සාමකාමී අරමුණු සඳහා වීම මත රුසියාව හා ඉන්දියාව අතර දේශපාලන හා ආර්ථික සම්බන්ධතා තවදුරටත් වර්ධනය වෙමින් පවතී.[8]

 

 III.            සීතල යුද්ධයෙන් පසු චීනයේ බලපෑම්.

තීතයේ සිට වර්තමානය දක්වා චීනය ද ලෝක භූ දේශපාලන සිතියමේ වැදගත් මර්මස්ථාන අත්පත් කර ගැනීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව අවබෝධ කර ගත හැක. ලෝකයේ සම්පත් පාලනය කරන්නා ලෝකය පාලනය කරයි යන අදහස අනුව ඇමරිකාව හා සෝවියට් දේශය අතීතයේ අනුගමනය කල උපායමාර්ගික හා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති චීනය විසින් වර්තමානයේ දී අනුගමනය කරමින් පවතී. ඒ අනුව චීනයේ මූලික ඉලක්කය වී ඇත්තේ ඛනිජ සම්පත් බහුල අප්‍රිකානු මහද්වීපය, තෙල් හා ස්වාභාවික වායූන්ගෙන් පොහොසත් ඉන්දියානු සාගරයේ පිහිටි මැලේසියානු හා ඉන්දුනීසියානු රටවල් සහ චීනය අතර උපායමාර්ගික වැදගත්කමක් ඇති ස්ථාන අත්පත් කර ගැනීමයි. ඒ සඳහා චීනය විසින් සැලසුම් කොට ඇති නව මුහුදු සේද මාවත ව්‍යාපෘතිය හරහා චීනය හා අප්‍රිකාව අතර නිදහස් මුහුදු මාර්ගයක් විවෘත කර ගැනීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය වී ඇත. ඒ සඳහා ඉන්දු-පකිස්තාන අර්බුදය චීනය විශාල උපකාරයක් වී ඇත. මන්ද යත් එම නව මුහුදු සේද මාවතේ ප්‍රධාන උපාය මාර්ගික මර්මස්ථාන තුනෙන් එකක් වන්නේ  පකිස්තානයේ ග්වඩාර් වරාය (Gwadar Port)  වීමයි. එහි අනෙක් ස්ථාන වන්නේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය හා මියන්මාරයේ සිට්වේ වරාය (Sittwe Port) යන ස්ථානයි.[9]

 

  IV.            සීතල යුද්ධයෙන් පසු ඉන්දියාවේ බල වර්ධනය.

න්දියාව විසින් අනුගමනය කරන රාජ්‍යයෝපායාත්මක හා යුද්ධෝපායාත්මක ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ ඉන්දියාවේ ආරක්‍ෂක අපේක්‍ෂා ඉන්දියාවේ දේශ සීමාවලට පමණක් සීමා නොවන බවත් එය සමස්ත ඉන්දියානු සාගර කලාපය කෙරෙහි ම අවධානය යොමු වී පවතින බවයි. ඒ අනුව ඉන්දියාවේ වර්තමාන අපේක්ෂාව වී ඇත්තේ සමස්ත ඉන්දියන් සාගරය ම තමා වටා කේන්ද්‍ර ගත වූ ආරක්‍ෂක ප්‍රතිපත්තියක් (The Indo- Centric Security System) යටතේ සකස් විය යුතු බවයි. ඒ අනුව ඉන්දියාව කලාපීය බලවතා‍ ලෙස කලාපය තුල තම ප්‍රධාන ප්‍රතිවාදියා වූ පකිස්තානයේ බලවත් වීම නොඉවසන අතර ඉන්දියානු සාගර කලාපයට බාහිර බලවතුන්ට ප්‍රවිෂ්ට වීමට හා ඉන්දියානු සාගර කලාපයේ අනෙකුත් රාජ්‍යයන් බාහිර බලවතුන් සමඟ සමීප සබඳතා පැවැත්වීම ද නොඉවසයි. එම අදහස ඉන්දියාව නිදහස ලබා ගත් අවධියේ සිටම පැවති බව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අදහස් විමසීමේ දී අවබෝධ කර ගත හැක. ඉන්දියාවේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී ඉන්දියානු සාගරයේ පිහිටි ලංකාව හා බුරුමය ඇතුළත් ව ආරක්‍ෂක සංගතියක් ඇති කල යුතු බව පනික්කාර් වැනි විද්වතුන් විසින් ද කරුණු දක්වා ද ඇත. කෙසේ වෙතත් වර්තමානයේ දී ඉන්දියාවේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ඉන්දියන් සාගරයේ ඇමරිකානු ව්‍යාප්තවාදය මර්දනය කිරීම කෙරෙහි නොව චීන ව්‍යාප්තවාදය මර්දනය කිරීම කෙරෙහි ය.

සීතල යුද්ධය අවසාන වීමෙන් පසු කාලයේදී ඉන්දියාව සිය දේශපාලන, ආර්ථික, සමාජීය හා මිලිටරි යන අංශයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කරනු ලැබීය. ඉන්දියාවේ මෙම ක්‍රියාකලාපයන් ඉන්දියානු සාගරයේ සෙසු රාජ්‍යයන්ගේ ආරක්ෂාවට මෙන්ම පැවැත්මට දැඩි අභියෝගයක් එල්ල කොට ඇති අතර ඉන්දියාවේ වර්ධනය සම්බන්ධව පකිස්ථානය හා චීනය දැඩි අවධානයෙන් පසු වන අකාරයක් දැකිය හැකිය. ඉන්දියාව ඉන්දියන් සාගරයේ සිදු කරන සිය බල ව්‍යාප්තිය සම්බන්ධයෙන් පකිස්ථානයේ අදහස වන්නේ එය ඍජුව ම සිය ස්වාධිපත්‍යයට මෙන් ම සිය දේශසීමාවලට තර්ජනයක් වන බවයි. චීනය ද ප්‍රකාශ කර සිටින්නේ ඉන්දියන් සාගරය තුළ ඉන්දියාවේ බලව්‍යාප්තිය තම හමුදා ශක්තියට මෙන් ම දේශසීමා අර්බුද තවදුරටත් බැරෑරුම් කරවන බවයි. තවද චීනයේ ඉන්දියන් සාගර මිතුරා වන පකිස්ථානයට තර්ජනයක් ලෙස ද ඉන්දියාවේ බල ව්‍යාප්තිය චීනය විසින් අර්ථකතනය කරන ඇත. මෙම දෙරටේ ම මතය වන්නේ ඉන්දියාව විසින් ඉන්දියන් සාගරය තුළ සිදු කරන බලව්‍යාප්තිය එම කලාපයේ දැනට පවතිනා බල තුලනය (The Balance of Power) බල ශුන්‍ය වූවක් බවට පත් වී බල ඒකාධිකාරයක් ගොඩ නගා ගැනීම[10] මඟින් ඉන්දියානු සාගර කලාපය සිය අවශ්‍යතාවට අනුව හැසිර වීමට හැකි තත්ත්වයක් ඉන්දියාව විසින් හිමි කර ගනු ඇති බවයි. 

ඉන්දියන් සාගරයේ පරිධියේ පිහිටි රාජ්‍යයන් වන ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව, මැලේසියාව හා තායිලන්තය යන රාජ්‍යයන් විසින් ද ඉන්දියාවේ ආර්ථික හා මිලිටරි ශක්තිය කෙරෙහි අවධානය යොමු කොට ඇත. එම රාජ්‍යයන් දැඩි බියක් දක්වන්නේ විශේෂයෙන් ම ඉන්දියාව විසින් ප්‍රමාණය ඉක්මවා සිදු කරන යුද ශක්තිය වර්ධනය කිරීම කෙරෙහි ය. ඉන්දියාවේ මෙම යුද තර්ජනය සම්බන්ධයෙන් ජපානයේ මතය වන්නේ ඉන්දියාව සිය මිලිටරි ශක්තිය ප්‍රවර්ධනය කිරීමට ප්‍රථම සිය දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික සංවර්ධනය පිළිබඳ ව අවධානය යොමු කල යුතු බවයි.[11] විශේෂයෙන් ම ඉන්දියාව විසින් 1998දී ඇමරිකාවේ මධ්‍යම තොරතුරු අංශය (CIA) තුළ කැලඹීමක් ඇති කරමින් ප්‍රථම වරට න්‍යෂ්ටික අවි අත්හදා බැලීමත් සමඟ ඇමරිකාවේ මෙන්ම ඉන්දියානු සාගරයේ මධ්‍යයේ මෙන් ම පරිධියේ සිටින රාජ්‍යයන් ද ඉන්දියාව තමන්ට තර්ජනයක් ලෙස සලකනු ලැබීය.

 

     V.            සීතල යුද්ධයෙන් පසු ඉන්දියානු සාගරයේ අනෙකුත් රාජ්‍ය.

න්දියානු සාගර කලාපයේ බලශක්ති උත්පාදනයේ කේන්ද්‍රස්ථානය වන මැද පෙරදිග කලාපය සීතල යුද්ධයෙන් පසු වර්තමාන ලෝකයේ දේශපාලන කේන්ද්‍රය බවට පත් ව ඇත. වර්තමානයේ ඇති බලශක්ති අර්බුදයේ පැහැදිලි නිදසුනක් දැකිය හැක්කේ මැද පෙරදිග කලාපය තුළ සිදු වන සිදුවීම් ආශ්‍රයෙනි. මැද පෙරදිග කලාපය වර්තමානයේ දී ඇමරිකාවේ, රුසියාවේ හා චීනයේ අවධානයට දැඩි ව ලක් වූ ප්‍රදේශයකි. ඉන්දියානු සාගරයේ මැදපෙරදිග ප්‍රදේශ අත්පත් කර ගැනීමේ අරමුණින් ඇමරිකාව ඉතා දිගු කාලීන සැලැස්මකට අනුව කටයුතු කරනු ලබන අතර රුසියාව හා චීනය ද ඊට නොදෙවෙනි අකාරයෙන් එම කලාපය කෙරෙහි මැදිහත් වීමක් සිදු කරනු ලැබේ.[12]

ඉන්දියන් සාගරයේ අග්නිදිග ආසියානු ප්‍රදේශයේ පිහිටි රාජ්‍යයන් වන තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව හා පිලිපීනය යන රාජ්‍යයන් සීතල යුද සමයේ දී කොමියුනිස්ට්වාදය ව්‍යාප්තිය මර්දනය සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධනවාදී රාජ්‍යයන් විසින් ආධාර ලබා දුන් ප්‍රදේශයක් විය. ඊට අමතරව දකුණු කොරියාව, සිංගප්පූරුව හා හොංකොං ආදී රාජ්‍යයන් වාණිජවාදී උපක්‍රම භාවිතා කරමින් ආර්ථික ප්‍රගතියක් අත් පත් කර ගැනීමට සමත් වී ඇත.[13] විශේෂයෙන් ම වියට්නාමය, කාම්බෝජය, ලාඕසය යන රාජ්‍යයන් සීතල යුද සමයේ ලෝක බල කඳවුරු දෙකේ යුද පිටියක් බදු විය. නමුත් සීතල යුද සමය අවසාන වන විට බටහිර රාජ්‍යයන්ගෙන් ලද ආධාර හා අනෙකුත් සාධක මත මෙම කලාපය ඉතා ශීඝ්‍රයෙන් දියුණු වන කලාපයක් වී ඇති අතර ඒ සඳහා එම කලාපය ඒකරාශී වී පිහිටුවා ගත් ආසියාන් සංවිධානය ප්‍රබල දායකත්වයක් ලබා දී ඇත. අග්නිදිග ආසියානු රාජ්‍යයන් 05ක් විසින් 1967 වර්ෂයේ දී පිහිටුවා ගන්නා ලද ආසියාන් සංවිධානය වර්තමානය වන විට ආසියාවේ ප්‍රබලතම කලාපීය සංවිධානය ලෙස හඳුනා ගත හැක. එය විශේෂයෙන්ම ආර්ථික හවුලක් ලෙස ප්‍රබල භූමිකාවක් කලාපය තුල ඉටු කරනු ලබයි. 1975-1995ත් අතර කාලයේ දී ආසියාන් සංවිධානයේ ආර්ථික වර්ධන වේගය 6.6% පමණ වූ අතර 1995දී එය 7.4% දක්වා වර්ධනය විය.  2012 පමණ වන විට එහි සමස්ත දළ දේශීය නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 2.3ක් පමණ වේ. එය ලෝකයේ හයවෙනියට විශාලතම ආර්ථිකය ලෙස ද හඳුනාගත හැක. තවද ව්‍යාඝ්‍ර පෝතකයන් (Tiger Cubs) ලෙස හඳුන්වනු ලබන නැගෙනහිර හා අග්නිදිග ආසියානු කලාපයේ ආර්ථික වර්ධන වේගය 7%කටත් වඩා වැඩි අගයකින් සංවර්ධනය වන රාජ්‍යයන් අතරින් රාජ්‍යයන් 05ක්ම (තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය, සිංගප්පූරුව, මැලේසියාව) මෙම කලාපයට අයත් වීම මත ආසියාන් කලාපය ම ලෝකයේ ප්‍රමුඛ ආර්ථික බලවතෙකු බවට පත් වී ඇත.  එම ආර්ථික ශක්‍යතාව හමුවේ ආසියාන් ආර්ථික හවුල ඇමරිකාව, චීනය, ජපානය හා යුරෝපා සංගමය සමඟ ආර්ථික සහයෝගිතාවන් ද ඇති කරගෙන ඇත. ආරම්භයේ දී චීනයේ කොමියුනිස්ට් ව්‍යාප්තියට එරෙහිව පිහිටුවා ගන්නා ලද මුත් වර්තමානය වන විට චීනයේ ආධාර ද මේ සංවිධානයට ලැබේ.[14]


 



[1] බටහිර බලය සහ ලංකාවේ ඉරණම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, කොළඹ, 2007-ඔක්තෝබර්, පිටු 47.

[2] කුමාර රත්නතිලක, කැලුම් අමරසිංහ, චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය, පළමු පෙරමුණ, පිටකෝට්ටේ, 2014, පිටු 04.

[3] මහින්ද පතිරණ, විකිලීක්ස් හෝරාව, ෆාස්ට් පබ්ලිෂින්, කොළඹ, 2011 අගෝස්තු, පිටු 215.

[4] බටහිර බලය සහ ලංකාවේ ඉරණම, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය, කොළඹ, 2007-ඔක්නොම්බර්, පිටු 76.

[5] එම..., පිටු 84.

[6] ව. අ. සරත් ලාල් කුමාර, ව්ලැද්මීර් පූටින්, රුසියාව ප්‍රකාශකයෝ, මොරටුව, 2015, පිටු 52.

[7] එම..., පිටු 52.

[8] එම..., පිටු 55.

[9] කුමාර රත්නතිලක, කැලුම් අමරසිංහ, චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය, පළමු පෙරමුණ, පිටකෝට්ටේ, 2014, පිටු 14.

[10] හොරණ ධම්මින්ද හිමි, ඉන්දියාව හා අසල්වැසියෝ, සමන්ති පොත් ප්‍රකාශකයෝ, ජාඇල, 2003, පිටු 14.

[11] එම... පිටු.14.

[12] කුමාර රත්නතිලක, කැලුම් අමරසිංහ, චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය, පළමු පෙරමුණ, පිටකෝට්ටේ, 2014, පිටු 27.

[13] Mahfuz R. Chowdhry, මනහර - ලෝකයට කොමියුනිස්ට්වාදය එපා වූවේ ඇයි? , සතර ප්‍රකාශකයෝ, මහරගම, 2015, පිටු 39.

[14] නාමල් විජේසිංහ, දේශපාලන විද්‍යාව 02, වාසනා ප්‍රකාශකයෝ, දන්කොටුව, 2002. පිටු, 197.


   සමාලෝචනය.

සී

තල යුද්ධය අවසාන වීමත් සමඟ ඉන්දියානු සාගර කලාපය මෙන් ම සමස්ත ලෝකයම නව අභියෝග රාශියකට මුහුණ දෙන ආකාරයක් දැකිය හැකි විය. විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර නව අධිරාජ්‍යවාදීන්ගේ සුරා කෑමට ලෝකයේ දුබල රාජ්‍යයන් නතු වූ අතර එය වැළැක්වීමට එතෙක් සිටි ‍ප්‍රගතිශීලී සෝවියට් දේශය තවදුරටත් නොමැති විය. සැබෑ ලෙස ම ඇමරිකාවේ සුපිරි ශක්තිය හමුවේ අන් රටවල් අසරණ වූ අතර එයට ප්‍රධානතම හේතුව වූවේ ගෝර්බචෝෆ්ගේ පාලනය යටතේ සෝවියට් දේශය දුර්වල වී බිඳී විසිරී යාමයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එවකට මැලේසියාවේ අගමැති වූ මහතීර් ‍මොහොමඩ් මහතාගේ ප්‍රකාශය ඉතා වැදගත් වේ. ඔහු ප්‍රකාශ කර සිටියේ මා විශ්වාස කරන්න. මිනිසුන් ජීවත් වන්නේ ඇමරිකාව ගැන බියෙන්. ඔබ ඇමරිකාව හා මිත්‍ර නම්, ඇමරිකානු ගැති නම් ඔබට බියක් නැහැ. එහෙත් ඔබ ඔවුන් ව ප්‍රතික්ෂේප කරනවා නම් පැනමාවට කළ දේම ඔබටත් කරන්න ඇමරිකාව පසු බට වෙන්නේ නැහැ. සෝවියට් දේශය තවදුරටත් ඔබේ උදව්වට එන්නේ නැහැ.... යනුවෙනි.[1] ඊට අමතරව සීතල යුද්ධය අවසන් වීමත් සමඟ ලෝකය මුහුණ දුන් නවතම අභියෝගය වූවේ ත්‍රස්තවාදයයි. එය ඉන්දියන් සාගරයේ මෙන් ම සමස්ත ලෝකයේ ම ආරක්ෂාවට තර්ජනයක් වී ඇති අතර ඉන්දියානු සාගර කලාපයේ බොහෝමයක් රාජ්‍යයන්ට ත්‍රස්තවාදී තර්ජනයන්ට මුහුණ දී ඇති ආකාරයක් දැකිය හැකි අතර ඉන්දියානු සාගර කලාපයේ මුහුදු මංකොල්ලකෑම් ද වර්ධනය වී ඇත.

කෙසේ වෙතත් සෝවියට් දේශය බිඳවැටීම සමඟ අති වූ බල රික්තකය පිරවීමට වර්තමානය වන විට රාජ්‍යයන් කීපයක් ම ඉදිරිපත් වී සිටින අතර ඉන් ප්‍රමුඛයන් වන චීනයේ හා ඉන්දියාවේ ක්‍රියාකාරකම් රාශියක් සිදු වන භූමිය බවට වර්තමානයේ දී පත් ව ඇත්තේ ඉන්දියන් සාගර කලාපයයි. එය මෙම කලාපයේ යහපතට මෙන්ම අයහපතට ද බලපා ඇත. මන්ද යත් ඉන්දියානු සාගර කලාපයේ සීතල යුද්ධය හෙවත් නව සේද මාවතේ යුද්ධය නැතහොත් නව සේද මාවතේ තරඟය මෙම බලවත් රාජ්‍යයන් දෙක අතර පැවතීමයි. කෙසේ වෙතත් නව රුසියාවේ බලවත් වීමත්, චීනයේ බලපෑමත්, ඉන්දියාවේ හා අග්නිදිග ආසියාවේ වර්ධනයත් සමඟ නැවතත් 1991දී නැති වූ ලෝක දේශපාලනයේ බල තුලනය නැවතත් ස්ථාවර වන ආකාරයක් දැකිය හැකිය. එය මෙතෙක් ලෝකයේ සුපිරි බලවතා වූ ඇමරිකාවේ ආර්ථික හා යුද ශක්තිය ක්‍රමයෙන් පිරිහීමත් ඊට සාපේක්ෂව චීනයේ, රුසියාවේ, ඉන්දියාවේ, බ්‍රසීලයේ, දකුණු අප්‍රිකාවේ දකුණු කොරියාවේ ආර්ථීක හා යුධ ශක්තිය පුළුල් වීම නව ලෝක ආර්ථික හා දේශපාලන රටාවක් වන අතර එහි මහඟු ඵල නෙළා ගැනීමේ අවස්ථාවක් ඉන්දියන් සාගර කලාපයේ රාජ්‍යයන්ට උදා වී ඇති බව පෙනී යයි.



[1] නිල්මිණී අබේවර්ධන, මුතුහර - අලුත් ම පොලිසිය ළඟ ම එනවා, ලක්මිණි ප්‍රකාශකයෝ, කොළඹ, 1991 ජුනි, පිටු 06.


මූලාශ්‍ර

List_of_leaders_of_the_Soviet_Union . n.d. http://en.wikipedia.org/wiki/List_of_leaders_of_the_Soviet_Union -->.

Black Hawk Down. Directed by Ridley Scott. 2001.

Chowdhry, Mahfuz R., ලෝකයට කොමියුනිස්ට්වාදය එපා වූවේ ඇයි?, සංස්කරණය කළේ රොෂාන් වික්‍රමනායක, මනහර (සතර ප්‍රකාශකයෝ), නොවැම්බර් 2015: 33-54

අබේවර්ධන, නිල්මිණී., මුතුහර. සංස්කරණය කළේ කුමාර සිරිවර්ධන, අලුත් ම පොලිසිය ළග ම එනවා, (ලක්මිණ ප්‍රකාශණයක්) 5, අංක. 8 (ජුනි 1991): 3-8.

කරුණාදාස, ඩබ්ලිව් එම්., ගොලීයකරණය හා කලාපීයකරණය, දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 1999.

කරුණාදාස, ඩබ්ලිව් එම්., ජාත්‍යන්තර සංවිධාන, දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 2000.

කරුණාදාස, ඩබ්ලිව් එම්., තුන්වන ලෝකයේ දේශපාලනය හා ආර්ථිකය, දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 2003.

ධම්මින්ද හිමි, හොරණ, ඉන්දියාව හා අසල්වැසියෝ, ජාඇල: සමන්ති පොත් ප්‍රකාශකයෝ, 2003.

පතිරණ, මහින්ද, විකිලීක්ස් හෝරාව, කොළඹ: ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, 2011.

පර්කින්ස්, ජොන්., ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්චාරණය, පරිවර්තනය කළේ ලීලානන්ද ගමාච්චි, කොළඹ: දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය, 2012.

පර්කින්ස්, ජෝන්., ඇමරිකානු අධිරාජ්‍යයේ රහසිගත ඉතිහාසය, පරිවර්තනය කළේ ප්‍රසන්න පෙරේරා, කොළඹ: දේශහිතෛෂී ජාතික මද්‍යස්ථානය, 2009.

පින්තු, ක්ෂාවියර්, ඊ. ජී. මියාල්., ඉතිහාස ධාරා - දෙවන කොටස, බත්තරමුල්ල: අධ්‍යාපන ප්‍රකාශන දෙපරේතමේන්තුව, 2007.

පොල්‍ටරාක්, ඒ., න්‍යුරෙන්බරග් අවසාන ජවනිකාව, පරිවර්තනය කළේ ප්‍රේමචන්ද්‍ර අල්විස්, කොළඹ: සූරිය ප්‍රකාශකයෝ, 2007.

ප්‍රභාත්, රංග කුමාරසිංහ,. පශ්චාත් තුෂ්ණි යුද සමයේ මූලධර්මවාදයට හා ජාතිකවාදයට එරෙහි ජාත්‍යන්තර මානුෂවාදී මෙහෙයුම්, කොළඹ: සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම, 2013.

බස්නාක, එච් ටී., අපරදිග ශිෂ්ටාචාරය - 03, කොළඹ: සී/ස ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2013.

රන්තිලක, කුමාර, කුලුම් අමරසිංහ, චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය, නුගේගොඩ: පළමු පෙරමුණ, 2014.

සිනොවියෙව්, ඇලෙක්සාන්ඩර් ඇලෙක්සන්ඩ්‍රොවිච්., රුසියානු ශෝකාන්තය, පරිවර්තනය කළේ එච් ජයරත්න, කොළඹ: සමීර ප්‍රකාශන, 2015.

සූරියප්පෙරුම, ජේ ආර්., ලෝකයට කවුළුවක්, නුගේගොඩ: සරසවි ප්‍රකාශකයෝ, 2012.

ෆුකුයාමා, ෆ්‍රැන්සිස්., ඉතිහාසයේ අවසානය, මහරගම: රාවය ප්‍රකාශන, 2015.

 

බටහිර බලය සහ ලංකාවේ ඉරණම, කොළඹ: දේශහිතෛශී ජාතික ව්‍යාපාරය, 2007.

No comments:

Post a Comment