Monday 5 April 2021

“රාජකාරි ක්‍රමය වහාම හා සහමුලින්ම අහෝසි කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමේදී කෝල්බෲක් මෙහෙයවූ සාධක පිළිබඳ කෙටි විමසීමක්.”

                                                                                                                                                                                                                                                                                                                                                


                         
                                                                                                                                     

පටුන

 

01.          හැඳින්වීම.. 1

 2.        කෝල්බෲක් හඳුනාගත් ලංකාවේ රාජකාරි ක්‍රමයේ ස්වභාවය.

02.1.       රාජකාරි ක්‍රමය අහෝසි කිරීමට කෝල්බෲක් දිරිගන්වන ලද චින්තනය. 7

03.        සමාලෝචනය.

 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය. 10


01.       හැඳින්වීම.

රා

ජකාරි ක්‍රමය හෙවත් අනිවාර්යය සේවා ක්‍රමයේ පදනම ලංකාව තුළ ඇති වන්නේ මෙරට ජනාවාස වීමේ සිට බව අවබෝධ කර ගත හැක. එම ක්‍රමය ලංකාවට ලැබෙන්නේ ද ඉන්දියාවෙනි. එය පශ්චාත් වෛදික යුගයේ දී ඉන්දියාවේ පැවති වර්ණ ක්‍රමය හා සමාන වන්නට ඇතැයි උපකල්පනය කල හැකිමුත් ලංකාව තුළ දී එය ක්‍රියාත්මක වූවේ ඒ ආකාරයට නොවන බව ද ඉතා පැහැදිලි වේ.[1] කෙසේ වෙතත් මෙම පැවරුමට පාදක වන්නා වූ කාලයේ දී පැවති ලංකාවේ රාජකාරි ක්‍රමය අතීතයේ පැවති රාජකාරි ක්‍රමය නොවන නමුත් විවිධ ආභාෂයන් ලබමින් කාලීන අවශ්‍යතා අනුව සංශෝධනය වූ පැවති ක්‍රමයේ ම පරිණාමයක් විය. මෙහි දැකිය හැකි විශේෂත්වයක් වන්නේ මෙකල පැවති රාජකාරි ක්‍රමයේ යම් යම් අංශ අතීතයේ පැවති තත්ත්වයන්ට වඩා යහපත් හෙවත් ප්‍රගතිශීලී වූ අතරම යම් අංශයන් පෙර පැවති තත්ත්වයන්ටත් වඩා ඉතා ග්‍රාම්‍ය වූ වැඩවසම්, අගතිගාමී ස්වරූපයක් ද ගත් බවයි. රජතුමාගේ කාර්‍ය්‍යය යන අර්ථය ඇති “රාජකාරිය” යන වචනයෙන් අදහස් වන්නේ යම් කිසි පුද්ගලයෙකු විසින් හෝ ඉඩමක් උදෙසා හෝ ඉටු කළ යුතු පෞද්ගලික සේවය හෝ මුදලින් හෝ ද්‍රව්‍යයකින් හෝ ගෙවිය යුතු නිස්සය.[2] මුළු රට ම රජතුමාට අයත් වූ බැවින් මහජනයා රජුගෙන් ලැබූ ඉඩම් වෙනුවෙන් කුලිය වෙනුවට නොයෙක් අයුරින් සේවය කළ යුතු විය. එලෙස සේවය කළ ආකාර කීපයකි. එනම් යුද්ධවල දී රජුට සේවය කිරීම, වෘත්තියෙන් ම සේවය කිරීම, කම්කරුවන් වශයෙන් සේවය කිරීම, මාලිගාවට භවභෝග සපයන ගොවීන් වශයෙන් සේවය කිරීම ආදී වශයෙනි.

රාජ්‍ය පාලන තන්ත්‍රය බොහෝ දුරට රඳා පැවතියේ මෙම රාජකාරිය මතය. සෑම සේවයක් ම වියදමක් නොමැතිව කරන ලද අතර සෑම කෙනෙකුට ම ඔහුගේ මහන්සියට සරිලන පරිදි ගෙවනු ලැබීය. එනම් ඔවුහු ඒ වෙනුවෙන් ඉඩම් භුක්ති විඳින ලදි.[3] මෙලෙස ඇති වූ රාජකාරි ක්‍රමය ඉතා ඈත අතීතයේ සිට ම පවතින්නට ඇති බව උපකල්පනය කල හැක. විශේෂයෙන් ම මේ පිළිබඳ සවිස්තර අදහසක් ලැබෙන්නේ මහා වංශයෙනි. එයට අනුව සංඝමිත්තා තෙරණියගේ පැමිණීමත් සමඟ අ‍ටලොස් කුලයකට අයත් ජනතාවක් ඉන්දියාවේ සිට පැමිණි ඇති අතර ඔවුන් විසින් මෙරට එතෙක් නොමැති වූ විවිධ කර්මාන්ත ආරම්භ කර ඇත.[4] විශේෂයෙන් ම සංඝමිත්තා තෙරණියගේ පැමිණීමත් සමඟ වඩම්මවන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව හා නඩත්තුව සඳහා වෙනමම පිරිසක් නුවර කලාවිය ප්‍රදේශයේ විසු බව ද මූලාශ්‍රවල දැක්වේ. එය ඔවුන් සතු වූ ප්‍රධානතම හා පූජනීයතම රාජකාරිය වූ බව අදට ද ඔවුන්ගෙන් පැවත එන්නන්ගේ විශ්වාසයයි. තවද මහ විජයබාහු රජු ශ්‍රී පාදස්ථානයේ නඩත්තුව සඳහා ගිලීමලේ නම් ග්‍රාමය නම් කළ බව ද මහා වංශයේ  දැක්වේ.[5] ඒ අනුව පෙනී යන්නේ රාජකාරි ක්‍රමය ලංකාව ජනාවාස වූ යුගයේ සිට ම පැවත ඇති බවයි. විශේෂයෙන් ම එකල සමාජයේ අත්‍යවශ්‍ය සේවා සියල්ල මෙම රාජකාරි ක්‍රමය ආශ්‍රයෙන් උත්පාදනය වී ඇත. වැවයි දාගැබයි- ගමයි පන්සලයි යන සංකල්පය යටතේ රටේ සියලු කර්තව්‍යයන් මෙමඟින් සිදු ව ඇති අතර එලෙස රටේ ආර්ථික, දේශපාලන හා සමාජීය අත්‍යාවශ්‍යතා වන කුඹුරු වගා කිරීම, ඒ සඳහා ජලය ලබා දෙන ඇළ දොළ හා වැව් නිර්මාණය කිරීම හා නඩත්තු කිරීම, ජනතාවගේ අධ්‍යාත්මය වර්ධනය කරනු ලබන පන්සල් හා දාගැබ් ඉදිකිරීම වැනි සියල්ල ම මෙම රාජකාරි ක්‍රමය හා බැඳී පවතී. නමුත් එය පීඩාකාරී ක්‍රමයක් වී නොමැත. මන්ද යත් එලෙස රාජකාරිය යටතේ සිදු වූ සියලු ම සේවා පොදු මහජනතාවගේ අවශ්‍යතාවයන් වූ අතරම පොදු මහජනතාවගේ මැදිහත් වීම මත සිදු වී ඇත. රුවන්වැලි මහා සෑය ඉදි කිරීමේදී දුටු ගැමුණු රජු විසින් කිසිදු පුද්ගලයෙකු නොමිලේ සේවය නො කළ යුතු බවට නීතියක් පවා පැනවීම තුලින් පෙනී යන්නේ පොදු වැඩ කටයුතු සඳහා රාජකාරි ක්‍රමය යටතේ සේවයේ යෙදීමට ජනතාව තුළ තිබූ කැමැත්ත හා සෑම විටම රාජකාරි ක්‍රමය ජනතාවගෙන් පීඩාකාරී ලෙස හා නොමිලේ ලබා නොගත් බවත් ය. නමුත් කල් යත් ම දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ ලංකාවේ පැවති ආර්ථික, දේශපාලන හා සමාජීය ගුණාංග දුර්වල වූ අතර හින්දු ආගමික බලපෑම මත රාජකාරිය කුලය මත තීරණය වූ අනම්‍ය ක්‍රමයක් දක්වා වර්ධනය වන ආකාරයක් දැකිය හැක. කෙසේ වෙතත් එදා මෙදා තුර ලංකාවේ ප්‍රධාන ආගම වූ බුද්ධාගමේ බලපෑම මත රාජකාරි ක්‍රමය ඉන්දියාවේ කුල ක්‍රමය මෙන් පීඩාකාරී නොවී රැකියාව මත තීරණය වන සහනශීලී පදනමක් මත ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් අපගේ අවධානය යොමු වන කාල පරිච්ඡේදය වන 18වන සියවස වන විට ලංකාවේ පැවති තත්ත්වය ඉතා සුවිශේෂී වේ. ඉංග්‍රීසින් විසින් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවේ ආසියාවේ තම ප්‍රධානතම යටත් විජිතය වූ ඉන්දියාවේ ආරක්ෂාව තහවුරු කරනු සඳහා ය. ඒ අනුව 18වන සියවස වන විට තම ප්‍රධාන ප්‍රතිවාදියා වූ ප්‍රංශයත් සමග තර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ඈඳා ගැනීමට ඉංග්‍රීසි පෙරදිග සමාගම උත්සුක විය. නමුත් ලන්දේසීන්ගෙන් 1796දී සම්පූර්ණ වශයෙන් ම අල්ලා ගත් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ සම්බන්ධයෙන් ඉංග්‍රීසි සමාගම සතුව පැවති සමාජීය, ආර්ථික හා දේශපාලන දැනුම අල්ප වීමත් හා එතෙක් ලංකාවේ ප්‍රාදේශීය පාලනයේ මූලිකත්වය ගෙන ගිය මුලාදෑනි නම් පාරම්පරික ප්‍රාදේශීය පරිපාලකයන්ගේ සහය නොගෙන මදුරාසි නිලධාරීන් අදාළ තනතුරු සඳහා පත් කිරීමේ ප්‍රතිඵලය වූවේ 1767දී ඉංග්‍රීසි පාලන ප්‍රදේශවල ඉතා දරුණු ලෙස කැරැල්ලක් හට ගැනීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ පරිපාලනයට සම්බන්ධ වීමට ඉංග්‍රීසි කිරීටය උනන්දු වූ අතර ඉතා ඉක්මනින් ම සමස්ත පාලනය ම තම භාරයට ගැනීමට ඉංග්‍රීසි කිරීටය සමත් විය. ඒ අනුව 1802 ජනවාරි මාසයේ සිට ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වූ අතර 1802 මාර්තු මාසයේ ඒමියන්ස් නුවර පැවති සාම සම්මේලනයේ දී ගත් තීරණයක් අනුව එම අයිතිය ස්ථිර වශයෙන් ම තහවුරු විය.[6] ඉංග්‍රීසින් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ යටත් කර ගැනීමෙන් පසු ස්වාධීනව පැවති කන්ද උඩ රට ද ආක්‍රමණය කිරීමට 1803දී උත්සහ කරන ලදමුත් එය අසාර්ථක වීමෙන් පසුව මුහුදු බඩ ප්‍රදේශ පාලනය කෙරෙහි තම මූලික අවධානය යොමු කරනු ලැබීය. ඒ අනුව අසාර්ථක රාජකාරි කාලයක් නිමවා ඉල්ලා අස් වී ගිය ෆෙඩ්‍රික් නෝත්ගෙන් පසුව වැඩ බාර ගත් තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකරු ක්‍රියාත්මක කරන්නට යෙදුණු බොහෝමයක් ප්‍රතිසංස්කරණ 1815දී කන්ද උඩරට ද අල්ලා ගැනීමෙන් අනතුරුව හා 1818දී ඇති වූ ඌව වෙල්ලස්ස කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට ගිවිසුම අහෝසි කිරීමෙන් පසුව ද සුළු සුළු සංශෝධන සහිත ව 1833දී ක්‍රියාත්මක කරන්නට යෙදුණු කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දක්වා ම ක්‍රියාත්මක විය. “නවීකරණය” සඳහා වූ එම දේශපාලන - අධිකරණ රාමුව ස්ථිරව ම දිවයිනේ ඉතිහාසයේ ප්‍රධාන කඩඉමක් වූ අතර එය ධනවාදී සංවර්ධනය දිරි ගැන්වීය.[7] විශේෂයෙන් ම 1833දී සූත්‍ර ගත කරනු කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ මඟින් යුරෝපීය නූතනත්වය ලංකාවට එන්නත් කිරීමේ ඓතිහාසික කාර්යභාරය සිදු විය.[8] කෙසේ වෙතත් ‍කෝල්බෲක් විසින් මෙරට පැවති රජකාරි ක්‍රමය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව, ඔහුගේ අනික් වාර්තා තුනට ම වඩා වැදගත් වූද, මෙරට අනාගත ඉතිහාසය කෙරෙහි බලපෑවා වූද යෝජනා ගැබ් වී තිබුණ එකක් ලෙස සැලකිය හැකිය.[9]


 

02.    කෝල්බෲක් හඳුනාගත් ලංකාවේ රාජකාරි ක්‍රමයේ ස්වභාවය.

 

ඉං

ග්‍රීසින් මෙරටට පැමිණෙන විට මෙරට පැවති රාජකාරි ක්‍රමය ඉපැරණි රජ දවස සිට දකුණු ඉන්දීය ආක්‍රමණ මඟින් ඇති කරන ලද විවිධ වූ බලපෑම්වලින් මෙන් ම මෙරට ප්‍රධාන සමාජ හා දේශපාලන බලවේග නිර්මාණය කළා වූ බෞද්ධාගමික බලපෑම මත නිර්මාණය වී පැවතිණි. ‍එලෙස පරිණාමය වූ රාජකාරි ක්‍රමය මෙරටට පැමිණි අපරදිග ජාතීන් වූ පෘතුගීසි හා ලන්දේසි පාලන සමයන්හි දී වෙනස් වන්නට විය.

පෘතුගීසීන් මෙරටට පැමිණියේ මූලික වශයෙන් වාණිජ හා ආගමික අපේක්ෂා පෙරදැරි කරගෙන වුවත් නිතර නිතර දේශීය බලවේග සමඟ ගැටීමට සිදු වීම හේතුවෙන් රාජකාරි ක්‍රමය මහා පරිමාණ ලෙස සංශෝධන නොවීය. විශේෂයෙන් ම පෘතුගීසි තම වාණිජ හා යුදමය අවශ්‍යතා සපුරා ගනු ලැබුවේ මෙම රාජකාරි ක්‍රමය මාර්ගයෙනි. කෙසේ වෙතත් සිංහල රජ දවස තරම් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස රාජකාරි ක්‍රමය ප්‍රයෝජනයට ගැනීමට පෘතුගීසින්ට නොහැකි වූ අතර ඔවුන් යටතේ එය ක්‍රමානුකූල ව පීඩාකාරී තත්ත්වයකට පරිවර්තනය වන්නට ද විය.

රාජකාරි ක්‍රමය වාණිජ අවශ්‍යතා සඳහා ඉතා ප්‍රබල ලෙස යොදා ගත්තේ ලන්දේසීන් විසිනි. විශේෂයෙන් ම ලන්දේසීන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරන සමයේ ඔවුන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ග වූ කුරුඳු හා මුතු කිමිදීම වැනි අංශවලින් සම්පත් ලබා ගන්නා ලද්දේ මෙම රාජකාරි ක්‍රමය මාර්ගයෙනි. කෙසේ වෙතත් ලන්දේසීන් යටතේ මෙම රාජකාරි ක්‍රමය ඉතාමත් ම පීඩාකාරී වූ අතර කුරුඳු තළන්නන් එයින් වැඩි ම පීඩාවට පත් වූ ජනතාව විය. ඒ හේතුවෙන් ඔවුන් ලන්දේසීන්ට විරුද්ධව කැරලි ගැසීමට පවා ඉදිරිපත් විය.

ලංකාවට පැමිණි ඉංග්‍රීසි පෙරදිග වෙළඳ සමාගම විසින් ලන්දේසීන් යටතේ ක්‍රියාත්මක  කරන ලද රාජකාරි ක්‍රමය පුළුල් ලෙස සංශෝධනය කිරීමට උත්සහ කරන ලදි. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ රාජකාරි ක්‍රමය හා මුලාදෑනි ක්‍රමය වෙනුවට මදුරාසි නිලධාරීන් පත් කරන ලද අතර දේශීය සමාජ ක්‍රමවේද ගැන නොදත් එම පිරිසේ ක්‍රියාකලාපය මත මුහුදුබඩ ඉංග්‍රීසි පාලන ප්‍රදේශවල තත්ත්වය ව්‍යාකුල විය. මේ හේතුවෙන් ම ජනතාව ඉතා පීඩාවට ලක් වූ අතර එහි අවසාන ප්‍රතිඵලය වූයේ 1797දී සමාගම් පාලනයට විරුද්ධව කැරැල්ලක් ඇතිවීමයි. මියුරන් වාර්තාව අනුව නැවත පැරණි රාජකාරිය මත පදනම් වූ ක්‍රමය මුහුදුබඩ ප්‍රදේශවල ස්ථාපිත කරන ලදි.[10]

කෝල්බෲක් විසින් ලංකාවේ රාජකාරි ක්‍රමය අහෝසි කිරීමට ප්‍රථම, අවස්ථා කීපයක දී ම ඉංග්‍රීසින් විසින් එය අහෝසි කොට නැවතත් ඇති කරනු ලැබීය. එහි පළමු අවස්ථාව වූවේ 1796දී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල බලය ලබා ගත් ඉංග්‍රීසි පෙරදිග වෙළඳ සමාගමේ ක්‍රියාකලාපයයි. ඒ අනුව ආදායම් එකතු කිරීමට පත්කොට සිටි සිංහල විදානේවරුන් අස්කොට ඒ සඳහා මදුරාසි නිලධාරීන් පත් කරන ලදි. මෙම පරිපාලනය හමුවේ අපහසුතාවට පත් මුහුදු බඩ වැසියන් 1797දී ඉංග්‍රීසි පාලනයට විරුද්ධව උඩරට රජුගේන්ද, බලය අහිමි ව සිටි විදානේවරුන්ගේද හා නැවත එම ප්‍රදේශවල පාලනය බලාපොරොත්තුවෙන් සිටි ලන්දේසීන්ගෙන් ද නොමද සහයක් ලබමින් කැරැල්ලක් දියත් කල නමුත් ඉංග්‍රීසින් විසින් මෙය මැඩ පවත්වන ලදි. පසුව කැරැල්ල ඇති වීම සම්බන්ධයෙන් ද, වෙළඳ සමාගම පිළිබඳ ආදායම් තත්ත්වය හා පාලනය පිළිබඳ ව ද සොයා බැලීමට පත් කල කොමිසමේ සභාපති වූ ඩි මියුරන් ප්‍රමුඛ කොමිසමේ නිර්දේශ යටතේ මදුරාසි ආදායම් ක්‍රමය අවලංගු කොට රාජකාරි ක්‍රමය නැවත ඇති කිරීමටත් ඕමිල්දාර් නමින් හැඳින්වූ බදු එකතු කරන්නන් අස්කොට නැවත එය විදානේවරුන්ට පවරා දීමටත් යෝජනා කළ අතර ඒවා ක්‍රියාත්මක වීම නිසා මුහුදුබඩ ප්‍රදේශවල ඉංග්‍රීසි පරිපාලනය යහපත් තත්ත්වයට පත් විය.[11] නමුත් ෆෙඩ්‍රික් නෝත් විසින් ද 1798-1805 අතර කාලයේ දී ක්‍රියාත්මක කරන්නට උත්සහ කළ පරිපාලන ප්‍රතිසංස්කරණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස නැවත රාජකාරි ක්‍රමය අහෝසි කරන ලදි. 19වන සියවසේ එංගලන්තයේ පැවති පාලනය ලංකාවට ද යෝග්‍ය යැයි සිතූ ඔහු ඒවා ක්‍රියාත්මක කිරීමට යෑමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අපොහොසත් විය. නෝත් ගේ අදහස වූවේ රාජකාරි ක්‍රමය අහෝසි කිරීමෙන් ගොවියා වඩාත් සැලකිල්ලෙන් වැඩ කරන බවත් එයින් ඔහුට මෙන් ම රජයටත් සෙතක් වන බවත් ය. එහෙත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලක් වැසියන් පුරුදු ව සිටියේ බල කිරීම මත වැඩ කිරීමට ය. රාජකාරි ක්‍රමය අහෝසි කළ විට බල කිරීමට නොහැකි වූයෙන් බොහෝ දෙනා කෘෂි කාර්මික කටයුතුවල නොයෙදුණහ. සමහරු තම ඉඩම් විකුණා දැමූහ. එබැවින් ඔවුන්ගේ මෙන් ම රජයේ ආදායම ද අඩු විය.[12] කෙසේ වෙතත් පසුව බලයට පත් මෙට්ලන්ඩ් ආණ්ඩුකරු විසින් රටවැසියන්ගේ තත්ත්වය නඟා සිටුවා ඔවුන්ගේ පක්‍ෂපාතීත්වය ලබා ගැනීමේ අරමුණින් නැවත රාජකාරි ක්‍රමය ඇති කොට ගොවියන්ට ඉඩම් ලබා දෙන ලදි.[13]

කෙසේ වෙතත් කෝල්බෲක් විසින් ලංකාවට පැමිණ මෙරට පරිපාලන ක්‍රමය දැඩි ලෙස වෙනස් කිරීමට යෝජනා කරන ලදි.[14] ඒ අනුව ඔහු 1831 සිට 1832 කාලය දක්වා යටත් විජිත කාර්යාලයට වාර්තා හතරක් ඉදිරිපත් කරනු ලැබීය. ඒවා නම්;

1.     1831 දෙසැම්බර් 31දා ඉදිරිපත් කළ ලංකාවේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ වාර්තාව.

2.     1832 ජනවාරි 31දා ඉදිරිපත් කළ ලංකාවේ ආදායම් පිළිබඳ වාර්තාව.

3.     1832 මාර්තු 28දා ඉදිරිපත් කළ රාජකාරි ක්‍රමය පිළිබඳ රහස්‍ය වාර්තාව.

4.     1832 මැයි 28 ඉදිරිපත් කළ ලංකාවේ ආයතන හා වැය පිළිබඳ වාර්තාව.

ආදියයි.[15]

රාජකාරි ක්‍රමය පිළිබඳ වූ වාර්තාවේ අන්තර්ගත වූ වැදගත් කරුණු හේතු කොට ගෙන එය යටත් විජිත කාර්යාලයට ඉදිරිපත් කෙරුණේ රහස්‍ය වාර්තාවක් ලෙස ය.[16] කෙසේ වෙතත් මෙම වාර්තාවේ අන්තර්ගත කරුණු කෝල්බෲක්ගේ අනෙකුත් වාර්තා තුන සමග ඉතා සමීප සබඳතාවක් ඇති බව ද, එමගින් මෙරට සමාජ හා ආර්ථික රටාව පරිපූර්ණ වශයෙන් සංශෝධනය කිරීමට ද බලාපොරොත්තු වූ බව පෙනී යයි. කෝල්බෲක් විසින් බලහත්කාරයෙන් වැඩ ගැනීම හා එහි විෂමතා හා දෝෂ පිළිබඳ යම් යම් ලුහුඬු සටහන් ඔහු විසින් ඉදිරිපත් කළ ලංකාවේ සාමාන්‍ය රාජ්‍ය පාලනය පිළිබඳ වාර්තාවේ ද අන්තර්ගත කර ඇතිමුත් ගැඹුරු විවරණයක් හා විස්තරයක් ඉදිරිපත් කර ඇත්තේ ඒ වෙනුවෙන් ම වෙන් වූ රාජකාරි ක්‍රමය පිළිබඳ රහස්‍ය වාර්තාවේ ය.

බොහෝ විද්වතුන්ගේ හා පොත් පත් ආදියේ දක්වා ඇති ආකාරයට ‍කෝල්බෲක් විසින් රාජකාරි ක්‍රමය අහෝසි කිරීමට පෙලඹී ඇත්තේ එය පූර්ව යටත් විජිත සමයේ සිට පැවති බලයෙන් ලබා ගැනීමේ අනිවාර්ය ක්‍රමයක් වීමත් ආර්ථික, දේශපාලන හා යුක්තිධර්මයන්ට එය ප්‍රතිවිරුද්ධ වීමත් ය. තවද රාජකාරි ක්‍රමය හේතුවෙන් ශ්‍රමයේ ජංගම බවත්, ස්වේච්ඡා හෝ නිදහස් ශ්‍රම ආයෝජනයකුත් වැළැක්වෙන බවත් ආර්ථීක සංවර්ධනයට බාධාවක් වන බවත් ය. එසේ ම මෙම තනි මතයේ සූරා කෑම නිසා ගැමි ගොවියා බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව කැරලි ගැසීමට පෙලඹෙනු ඇති බව කෝල්බෲක්ගේ මතයයි. එවැනි ක්‍රමයක් මාර්ගයෙන් බලයෙන් ශ්‍රමය ලබා ගැනීම “ශිෂ්ට” රජයක් වන බ්‍රිතාන්‍යයන්ට නුසුදුසු, මානව හිතවාදී බවට පටහැණි වූ අසාධාරණ ක්‍රමයක් ය යන්න කෝල්බෲක්ගේ ප්‍රකාශිත මතය වී ඇති බව පිළිගැනීමයි.[17] තවද ඉදිරිපත් ව ඇති මතවාදයන්ට අනුව රාජකාරි ක්‍රමය අහෝසි කිරීමේ යටි අරමුණ මෙන්ම මූලික අභිප්‍රාය වී ඇත්තේ  ඉංග්‍රීසින් විසින් ආරම්භ කිරීමට උත්සහ දැරූ වෙළඳ යුගය උදාකරවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරලීමයි.[18] එනම් රාජකාරියෙන් තම කාර්යයන් සීමා කර තිබූ ශ්‍රමිකයන් නිදහස් කර ධනවාදී ආර්ථික සංවර්ධනයට අවශ්‍ය කුලී ශ්‍රම හමුදාවක් දිවයින තුළ නිර්මාණය කර ගැනීමයි.

කෙසේ වෙතත් මෙහි දී කෝල්බෲක් දුටු ලංකාවේ රාජකාරි ක්‍රමය ජනතාවට ඉතාමත් ම පීඩාකාරී ක්‍රමයක් වූ බව පිළිගත හැක. නමුත් එය ලංකාවේ ස්වදේශීය රාජාණ්ඩු සමයේ පැවති සහනදායී රාජකාරි ක්‍රමයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයක් වූ බව ද වටහා ගත යුතුය. එනම් සිංහල රජුන් දවස පැවති රාජකාරි ක්‍රමය පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසින් යන අපරදිග ජාතීන්ගේ පාලනය යටතේ විකෘති වී පැවතීමයි. පැරණි සිංහල ක්‍රමයට අනුව සියලු ම ඉඩම් රජු සතු වූ අතර, සේවය සඳහා වැටුප් ලෙස ඉඩම් දී තිබිණි. නමුත් බ්‍රිතාන්‍ය පාලනය යටතේ සේවා ඉඩම් ක්‍රමය අහෝසි කරනු ලදුව, ආණ්ඩුව නියම කරන අවස්ථාවේදී රජයට සේවය කළ යුතු බව නියම කරන ලදි.[19] තවද ඉහත පරිච්ඡේදයන්හි දැක්වූ ආකාරයට කෝල්බෲක් අනිවාර්ය රාජකාරි ක්‍රමය අහෝසි කිරීමට ප්‍රථම ඉංග්‍රීසින් විසින් ද අවස්ථා කීපයක දී තම පාලන ප්‍රදේශවල ඉතා පීඩාකාරී ලෙස එම ක්‍රමය ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව 1801 දී නෝර්ත් ආණ්ඩුකරු විසින් ලන්දේසි ක්‍රමය අනුගමනය කරමින් කුරුඳු තැළීම කුලය අනුව කෙරිය යුතු බවට තීරණය විය. එමගින් ඉංග්‍රීසි පාලන ප්‍රදේශවල සිටි ජනතාව ඉමහත් අපහසුතාවට පත් විය. අතීත රජ දවස පැවති රාජකාරි ක්‍රමය යටතේ දීර්ඝ කාලයක් සේවාව කරන්නේ නම් ඔවුන්ට ආහාර පාන සැපයීම රජුගේ වගකීම විය. එහිදී ද ජනතාවට වැඩි රාජකාරි ප්‍රමාණයක් කිරීමට සිදු වූවේ තම ගම් ප්‍රදේශ සමීපයේ ම ය. එලෙස කටයුතු කිරීමේදී ද වුවද සිංහල අළුත් අවුරුදු වැනි උත්සව කාලවල දී රාජකාරිය නවතා තම නිවෙස්වලට වී තම දරුමල්ලන් සමඟ ගත කිරීමේ පහසුකම සිංහල රජ දවස පැවති නමුත් ඉංග්‍රීසි රජය යටතේ වසර මුළුල්ලේ ම පාහේ ඉතා දුර බැහැර ප්‍රදේශවල කටයුතු කිරීමට ජනතාවට සිදු විය. විශේෂයෙන් ම බාන්ස් ආණ්ඩුකරු විසින් මහාමර්‍ග තැනීම ආරම්භ කිරීමත් සමඟ චිරාගත සම්ප්‍රදාය බිඳ දමමින් ඉතා ඈත ප්‍රදේශවලින් ජනතාව ගෙන්වාගෙන දීර්ඝ කාලයක් සේවයේ යොදා ගැනීම සිදු විය. කෝල්බෲක් දුටුවේ අතීත සිංහල රජ දවස පැවති සහනදායී රාජකාරි ක්‍රමය නොව මෙලෙස ඉංග්‍රීසින් විසින් ඉතා පීඩාකාරී ව ක්‍රියාවට නංවන ලද රාජකාරි ක්‍රමය යි.

කෝල්බෲක් දුටු “ඉංග්‍රීසි රාජකාරි ක්‍රමය” යටතේ සතර කෝරලය ඔස්සේ මහනුවරට තනන ලද මහා මාර්ගය සඳහා කඳුහෙල් එළි කරමින්, ගස්කොළන් කපා, පාලම් සෑදීම සඳහා ගස් කොටන් ඇදගෙන යෑම  අවුරුදු ගණනාවක් තිස්සේ මුදලක් නොගෙවා සිදු වී ඇති බව 1829 ආදායම් කොමසාරිස් ජෝර්ජ් ටර්නර්ගේ වාර්තාවක් උපුටා දක්වමින් හෙතෙම පෙන්වා දෙන ලදි. තවදුරටත් ටර්නර් සඳහන් කලේ තම ඉඩම්වල අස්වැන්නේ වටිනාකම පවුම් 5300ක් වූ එම ප්‍රදේශයේ ජනතාවට එම අවුරුද්දට මාස හතරක පමණ ඉතා ස්වල්ප නිවාඩුවක් යටතේ මහා මාර්ගවල අනිවාර්ය රාජකාරිය යටතේ වැඩ කිරීමෙන් පසු වුවද ලබා ගතහැක්කේ ආසන්න වශයෙන් පවුම් 2400ක් පමණක් වන බවයි. මේ යටතේ ජනතාවට තම අස්වනුවලින් ලැබෙන ආදායමටත් වඩා අඩු වටිනාකමක් ඇති, නමුත් ඉතාමත් ම පීඩාකාරී සේවාවක් යටතේ කටයුතු කිරීමට සිදු ව ඇති වීම හේතුවෙන් ලංකාවේ සංවර්ධනය ඇණ හිට ඇති බව කෝල්බෲක්ගේ තර්කය විය. මෙවැනි ම කාර්යයන් වන මංමාවත් තැනීම, බිම් සමතල කිරීම, වැව් කැණීම වැනි සමහර පොදු වැඩ සහා සිංහල රජ දවස ජනතාව සේවය කළ යුත්තේ වසරකට දින 15 සිට 30 දිනක් දක්ව වූ කාලයක් පමණි. [20] තවද සිංහල රජ දවස වූ රාජකාරිය ඉතා බරපතළ වූ විට හෝ එය ඉසිලීමට නොහැකි වූ විට හෝ බොහෝ දෙනා කරන්නාක් මෙන් ගෙයත්, ඉඩමත් අතහැර දමා රජුගෙන් මිදීමට ඉඩ කඩ තිබීම තුළින් අවබෝධ කර ගත හැක්කේ සිංහල හා ඉංග්‍රීසි පාලන යුගවල දී රාජකාරි ක්‍රමයේ පැවති ස්වභාවයි.[21] නමුත් එලෙස සිංහල රාජාණ්ඩු යුගයේ පැවති තත්ත්වය කෝල්බෲක් නොදත් අතර අපරදිග ජාතීන් අතින් විකෘති වූ රාජකාරි ක්‍රමය මෙරට සැබෑ ම ක්‍රමය වූ බව ඔහුගේ වාර්තා අධ්‍යනයෙන් අවබෝධ කර ගත හැක.

ලංකාවට පැමිණ සිදු කරන ලද විමර්ශනවල දී කෝල්බෲක් කොමිසමට පෙනී ගියේ කුරුඳු තැළීමේ කාර්යයේ යෙදී සිටි සලාගම කුලයේ සිටි ජනතාවට ඉමහත් දුක්ගැහැට විදින්නට සිදු වන බවයි.[22] විශේෂයෙන් ම ඝර්ම කලාපීය තෙත් කැලෑවල සරුවට වැඩුණු විශාල කුරුඳු ශාකවල දණ්ඩේ ඇතුළත පොත්ත එකතු කිරීමේ කාර්යය “සලාගම” යනුවෙන් හැදින්වුණු කුලයට අයත් වූවන්ගේ පරම්පරාවෙන් උරුමවූණු වගකීමක් සේ සැලකිණි.[23] තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ චාලියාවරුන් නම් පිරිසක් විසිනි.[24] (“චාලියාවරු” ලෙස හඳුන්වන්නට ඇත්තේ ‍මුස්ලිම්වරු විය හැක. මන්ද යත් 1762 වසරේ ලංකාවේ දූත මෙහෙවරේ පැමිණි පළමු ඉංග්‍රීසි ජාතිකයා වන ‍ජෝන් පයිබස් තම දිනපොතේ මුස්ලිම්වරු පිරිසක් හඳුන්වා ඇත්තේ “චෝලියාර්” ලෙස ය).[25] ඔවුන්ට සිය රාජකාරිය වෙනුවෙන් නිශ්චිත හා ප්‍රමාණවත් වැටුපක් රජය විසින් ලබා දී නොමැති අතර තම ආහාර සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගෙන ඇත්තේ රාජකාරි සේවයෙන් පසු දිනපතා අසල ගම්වලට ගොස් සිය නඩත්තුව සඳහා කිසියම් සේවයක් කිරීම මගිනි. ඊට අමතරව ඔවුන් තම නිවස්වලින් ඈත ප්‍රදේශවල සේවය සහා යොදවගෙන ඇති අතර තම රාජකාරිය වූ කුරුඳු තැළීමට අමතරව කැලෑවල ගස් කැපීම හා දැව ඇදගෙන යාම වැනි කාර්යයන් මානුෂික ‍නිදහසක් නොමැති කාර්යයන් සහා ද යොදවගෙන ඇත. තවත් පෙත්සමකින් කියවුණේ බ්‍රිතාන්‍ය රජය විසින් පුත්තලම ප්‍රදේශයේ වෙසෙන ජනතාව රාජකාරි ක්‍රමය මාර්ගයෙන් ඇළ දොළ කැපීම, මංමාවත් තැනීම, ලුණු ගෙන යෑම, ගස් කැපීම යන සේවාවන්වලට අමතරව රජයට බදු ගෙවීමටත් සිදු ව  ඇති බවයි. තවද රාජකාරි ක්‍රමය හේතුවෙන් රටේ බහුතරයක් වන ගොවි ජනතාවට තම කෘෂිකාර්මික කටයුතු කර ගැනීමට නොහැකි ව ඇති අතර අනෙකුත් ක්ෂේත්‍රවල යෙදී සිටින ජනතාවට තම තමන්ගේ රැකියා වල නිරත වීමට අපහසු වී ඇති බව කෝල්බෲක් විසින් අධ්‍යයනය කරන ලදි. මෙමඟින් ජනතාවගේ ශ්‍රමය ඉතා අසාධාරණ ලෙස හා සොච්චම් මුදලකට සූරා කනු ලබන බව කෝල්බෲක්ගේ අර්ථකතනය විය.[26] විශේෂයෙන් ම රටේ මාතර, ගාල්ල හා මාතලේ වැනි ප්‍රදේශවල සිටි ජනතාව රාජකාරි ක්‍රමය හේතුවෙන් පීඩාවට ලක් ව ඇති බව හෙතෙම පෙන්වා දෙන ලදි. රාජකාරි ක්‍රමය හේතුවෙන් සිදු ව ඇති අනෙක් සමාජ අසමානතාවක් වන්නේ කුල භේදය හා මුලාදෑනීන්ගේ වරප්‍රසාද හේතුවෙන් අසරණ ජනතාව තවදුරටත් පීඩාවට පත් වීම බව කෝල්බෲක්ගේ නිගමනය විය. බොහෝ විට මෙරට රාජකාරි ක්‍රමය කුලය අනුව ක්‍රියාත්මක ව පැවති අතර රාජකාරියට අකමැති වූ අය තම ගම්වලින් පැන ගොස් රහසිගතව වෙනත් කුලවලට සම්බන්ධ වී ඇති බව ද හෙළිදරව් වන ලදි. වලපනේ ජනතාව රාජකාරිය කිරීමට අකමැති වූ අවස්ථාවේ යුද හමුදාව පවා යැවීමට සිදු වී ඇත. අනෙක් අසාධාරණය වූයේ උසස් පවුල්වල අය, ලන්දේසි හා බ්‍රිතාන්‍ය පිරිස් රාජකාරිය සහා නොකැදවීමයි. ඊට අමතරව රාජකාරියට මිනිසුන් කැවීමේ දී නිලධාරීන් අතින් දූෂණ හා අසාධාරණ ක්‍රියා ඇති විය. ගම්මුලාදෑනින්ට අල්ලස් ලබා දුන් සමහර පිරිස් රාජකාරි ක්‍රමයෙන් මිදුණු අතර සේවයේ නියුතු අනිකුත් අයට අධික වැඩකටයුතු ප්‍රමාණයක් කිරීමට සිදු විය. රාජකාරි සහා නොගිය ජනතාවට කෝරාල විසින් දඬුවම් කරන ලද අතර වැසියන් රාජකාරි සේවයට නොපැමිණි විට ගම්පතීන්ට හා වැසියන්ට දඩ ගසන ලදි. ඊට පලිගැනීමක් ලෙස ගමට ආ ගම්පතියන් විසින් වැසියන්ගේ හරකා බාන හා අන්‍ය දේපළ උදුරා ගත් බවත් ඒ හේතුවෙන් අසරණ ජනතාව තවදුරටත් අසහනයට හා පීඩනයට පත් වූ බවත් කෝල්බෲක් පෙන්වා දුන්හ. කුල භේදයත් සමාජ විෂමතාවත් පවතිනතාක් ප්‍රාග්ධනය ආයෝජනය කිරීමට විදේශිකයන් නොපැමිණෙන බැවින් එය යල්පැන ගිය රටට නොගැළපෙන බවත් ඒ හේතුවෙන් ජනතාව ඒ පිළිබ ව අප්‍රසාදයෙන් සිටින බවත් ඊට විසඳුමක් වන්නේ රාජකාරි ක්‍රමය අහෝසි කිරීම බවත් ‍ඔහුගේ යෝජනාව විය.[27]

02.1.රාජකාරි ක්‍රමය අහෝසි කිරීමට කෝල්බෲක් දිරිගන්වන ලද චින්තනය.

19වන සියවස තුළ යුරෝපයේ වර්ධනය වෙමින් පැවති ආර්ථික, සමාජ හා දේශපාලන චින්තනය කෝල්බෲක්ගේ සංශෝධන කෙරෙහි බලපාන ලද බව පෙනී යයි. විශේෂයෙන් ම එංගලන්තයේ ස්වර්ණමය යුගය වන වික්ටෝරියානු යුගය බිහි වූවේ ද මෙම සියවසේ දී වීම තුළින් එහි ඇති ප්‍රබලත්වය තේරුම් ගත හැක. මේ හේතුවෙන් එංගලන්තය තුළ ප්‍රගතිශීලී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූ අතර වහල් වෙළදාම අහෝසි කිරීම වැනි යහපත් ක්‍රියාමාර්ග ද ඒ තුළ විය. ඒ අනුව මෙතෙක් කලක් එංගලන්තයේ ක්‍රියාත්මක වූ වාණිජවාදය, රදලවාදය, ඒකාධිපතිවාදය, සමූහායත්වාදය යනාදිය වෙනුවට නිදහස් වෙළදාම, ලිබරල්වාදය, පුද්ගලවාදය, ඉවැන්ජලිකන්වාදය හා මානුෂවාදය ආදී නව අදහස් මතු වන්නට විය.[28] මෙයට හේතුව වූවේ එංගලන්තය තුළ ඇති වූ කෘෂිකාර්මික හා කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයන්ය. මෙම අදහස් ඉදිරිපත් කළ චින්තකයන් අතර ටර්ගෝ නෙකෝ, ඇඩම්ස් ස්මිත්, ජෙරමි බෙන්තම්, ජේම්ස් මිල්, විලියම් විල්බර්ෆෝස් ආදීන් මූලික වූ අතර ඔවුන්ගේ චින්තනය බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යටත්විජිතවල ව්‍යාප්ත වන්නට විය.[29] වැඩිම දෙනාගේ උපරිම යහපත හා ඕනෑම දෙනාගේ ප්‍රයෝජනය නොහොත් උපයෝගීතාවාදය පිළිබ මත පල කළ ප්‍රකට ම චින්තකයා වූ ජෙරමි බෙන්තම්ගේ චින්තනය ඔහුගේ ගෝලයෙකු ලෙස සලකන ලද කෝල්බෲක් කෙරෙහි ද බලපාන ලද බව ඔහුගේ වාර්තා අධ්‍යයනයෙන් පෙනී යයි. මෙලෙස රාජකාරි ක්‍රමය නැති කළ යුතු බවට කෝල්බෲක් යෝජනා කිරීමට හේතු වන්නට ඇති තවත් හේතුවක් ලෙස දැකිය හැක්කේ ද ඉහතින් පෙන්වන ලද වැඩි ම දෙනාගේ යහපත සැලසීම සහා වූ බෙන්තම්ගේ චින්තනය මෙන් ම බලහත්කාරයෙන් වැඩ ගැනීමට ඇති වූ විරුද්ධත්වය හා වහල් සේවය හෙලා දැක එය අහෝසි කිරීමේ අරමුණු පදනම් වූ මානුශවාදයේ බලපෑමත් ය.[30]

03.   සමාලෝචනය.

 

තීතයේ සිට ම අපරදිග ජාතීන්ට ලංකාව කෙරෙහි අවධානය යොමු වූවේ එහි පිහිටීමේ ඇති වැදගත්කම හේතුවෙනි. මන්ද යත් ලංකාව ලෝකයේ ප්‍රධාන ම කලාප දෙක වන පෙරදිගත්, අපරදිගත් මුහුදු මාර්ගයෙන් සම්බන්ධ වන්නා වූ කේන්ද්‍රස්ථානයක පිහිටා තිබීමයි. ඒ අනුව ලංකාවේ පාලනය ලබා ගැනීම උපාය මාර්ගික ව ඉතාමත් ම වැදගත් විය. අනෙක් අතට ලංකාවේ ස්වාභාවික සම්පත් විසින් ද අතිරේක හා විශාල ආදායමක් ලබා‍ දෙන ලදි. ඉංග්‍රීසින් විසින් ද ලංකාව තම බලයට යටත් කර ගැනීමේදී අවධානය ‍යොමු කළ මූලික අරමුණ වූවේ එහි පැවති උපාය මාර්ගික වැදගත් කමයි. මන්ද යත් තම ස්වර්ණමය යටත් විජිතය වූ ඉන්දියාව පහසුවෙන් පාලනය කිරීමට නම් ලංකාව පාලනය කළ යුතු වීමත් හා 18වන සියවසේ අවසාන සමයේ තම ප්‍රබලතම ප්‍රතිවාදීන් වූ ප්‍රංශයන් හා අනෙකුත් යුරෝපීයයන් සම ආසියාව තුළ තර කිරීමේදී ලංකාවේ ත්‍රිකුණාමලය වැනි ඉස්තරම් ස්වාභාවික වරායන්ගේ ඇති වැදගත්කමත් ය. ඒ අනුව ආසියාව තුළ තම ආධිපත්‍ය ව්‍යාප්ත කිරීමේදී ඉංග්‍රීසින්ට ලංකාවේ පිහිටීම ඉතාමත් ම වැදගත් වූ බව එකල බ්‍රිතාන්‍ය යුධ ප්‍රවීණයෙකු වූද, නැපෝලියන් පරාජය කිරීමේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ පුද්ගලයා වූද වෙලින්ටන් සාමිගේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වේ. ඔහු ප්‍රකාශ කලේ ලංකාවේ හා ත්‍රිකුණාමලය වරායේ බලය හිමි වන ජාතියට සමස්ත අර්ධද්වීපය ම පාලනය කළ හැකි වන බවයි. එය බ්‍රිතාන්‍යයන් ක්‍රියාවෙන් ම ඔප්පු කර පෙන්වන ලදි.

කෙසේ වෙතත් 1815 දී තම ප්‍රබල ප්‍රතිවාදියා වූ ප්‍රංශය යුදමය වශයෙන් යුරෝපය තුළ පරාජය වීමත්, අනෙකුත් යුරෝපීය ජාතීන් සතු යුදමය බලය බ්‍රිතාන්‍ය බලය හමුවේ දෙවැනි වීමත් සම 19වන සියවස තුළ බ්‍රිතාන්‍ය තනි සුපිරි බලවතෙකුගේ තත්ත්වයට පත් විය. ඒ අනුව ආසියාව තුළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැවති බාහිර තර්ජන අවම වූ අතර ලංකාවේ පැවති උපායමාර්ගික වැදගත්කම ද අවම විය. ඒ අනුව 19වන සියවස ආරම්භ වනවාත් සමඟ බ්‍රිතාන්‍යයන්ට පෙනී ගිය කාරණයක් වූවේ ලංකාව නම් තම යටත් විජිතයෙන් ලැබෙන ආදායමට වඩා එහි වියදම අධික වන බවයි. ඒ අනුව මේ පිළිබව එකල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙ දී පවා සාකච්ඡාවට භාජනය වී ඇති අතර ඒ සහා අවසාන වශයෙන් විසඳුම් දෙකට එළඹෙන ලදි. ඉන් එකක් නම් ලංකාව නැමති යටත් විජිතය අතහැරිය යුතු වූ අතර අනෙක් විසඳුම වූවේ එය කෙසේ හෝ ලාබ ලබන තත්ත්වයට පත් කර ගැනීමයි. ඒ අනුව දෙවැනි විසඳුම අනුව යමින් ලංකාවේ ආදායම පිළිබඳ විමසා බල එය ලාබ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන ලෙස බ්‍රිතාන්‍යයෙන් එවන ලද පිරිස වූවේ කෝල්බෲක් ප්‍රමුඛ කොමිසමයි. පොදු පිළිගැනීම වන්නේ ශ්‍රී ලංකාවේ යටත් විජිතවාදී නූතන කරණය 1830 වසරේ සිට ක්‍රියාත්මක වූ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ සමඟ ආරම්භ වූ බවයි.[31] ඒ අනුව ඔවුන් විසින් ඉදිරි පත් කරන ලද යෝජනා යම් යම් සංශෝධන සහිත ව 1833 සිට ලංකාව තුළ ක්‍රියාත්මක වූ අතර එහි එක් යෝජනාවක් වූවේ රාජකාරි ක්‍රමය අහෝසි කිරීමයි.

කෝල්බෲක් විසින් අනිවාර්ය රාජකාරි ක්‍රමය අහෝසි කිරීමට හේතු වූ කරුණු අතර මතු පිටින් දැකිය හැකි කරුණක් වූයේ එම ක්‍රමය ශිෂ්ට සම්පන්න නොවන ක්‍රමයක් වූ බවයි. එය කෝල්බෲක් විසින් ම තම වාර්තාවේ සඳහන් කර ඇත. නමුත් අප වර්තමානයේ දී සාකච්ඡාවට භාජනය කරනා අකාරයට කෝල්බෲක් විසින් සත්‍ය ලෙස ම රාජකාරි ක්‍රමය අහෝසි කරන ලද්දේ එය යුරෝපීය දෘෂ්ඨි කෝණය අනුව ශිෂ්ට සම්පන්න ක්‍රමයක් නොවීම මත ම නොව. එනම් එහි සැඟවී තිබූ මූලික අභිප්‍රාය වූවේ තම අනාගත වතු වැවිලි ආර්ථීකයට අවශ්‍ය ශ්‍රමිකයන් කුලී පදනම මත ලබා ගැනීමට පදනම සකසා ගැනීමයි. ඒ සඳහා රාජකාරි ක්‍රමය බාධාවක් විය. කෙසේ වෙතත් මෙකල යුරෝපයේ වර්ධනය වෙමින් පැවති මානවවාදී ආකල්ප කෝල්බෲක්ට යම් කිසි ආකාරයකින් බලපාන්නට නැතැයි පැවසිය නොහැක. එය ද යම් ආකාරයකින් රාජකාරි ක්‍රමය අහෝසි කිරීමට කෝල්බෲක් දිරි ගන්වන්ට ඇත. නමුත් සත්‍ය ලෙස ම සැබෑ මානවවාදී ආකල්පයන් කෝල්බෲක් ප්‍රමුඛ යුරෝපීයයන්ට තිබුණේ නම් අප වැනි ප්‍රබල යුධ ශක්තියකින් නොමැති ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රාජ්‍යවල සම්පත් අයථා ලෙස සූරා කෑමට කිසිදු සදාචාරාත්මක අයිතියක් තිබිය නොහැක. තවද යටත්විජිත රජයේ ප්‍රධාන සහයකයෙක් වූ ජේම්ස් ස්ටුවට්ගේ (1825-55) ප්‍රකාශයක් තුළින් මෙහි ව්‍යාජ බව තවදුරටත් අනාවරණය කර ගත හැක. ඔහු ප්‍රකාශ කලේ “මුළුමනින් ම දේශීය ජනතාවගේ යහපත සඳහා ආණ්ඩු කරන බව දේශනා කරන අපි මුල සිට ම, සම්පූර්ණයෙන් ම අපේ අවධානය යොමු කරන්නේ, එම රටවල පස යුරෝපීය ආයෝජකයන්ට ලාභ ලබා දෙන ලෙස සකස් කිරීමට ය” යනුවෙනි. එනම් ප්‍රායෝගිකව මානව හිතවාදී ත්‍යාගශීලී බව හැම විටම පාහේ ධනවාදී ඕනෑඑපාකම්වලට හා දේශපාලනික ස්ථාවරත්වයට යටත් වීමයි.[32]

එකල යුරෝපයේ වර්ධනය වෙමින් පැවති ලිබරල්වාදී සංකල්පවලට අනුව බ්‍රිතාන්‍යයන්ට පැවරුණු ප්‍රධානතම නිල කාර්යයන් දෙකක් වූවේ තම ධනවාදී අවශ්‍යතා අනුව යටත්විජිතය හැඩ ගැස්වීමත් හා යටත්විජිතයේ වෙසෙන පොදු ජනතාවගේ ශුභ සාධනය අරමුණු කොට කටයුතු කිරීමත් ය. කෝල්බෲක් ඒ අනුව යමින් සිතන්නට ඇත්තේ මෙමඟින් අන්‍යෝන්‍ය වශයෙන් යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවයි. රාජකාරි ක්‍රමය අහෝසි කිරීම මගින් එකවරම කුලී ශ්‍රම හමුදාවක් නිර්මාණය වී ගොවීන් වැඩවසම් බැදීම්වලින් නිදහස් වේ යැයි කෝල්බෲක්ගේ උපකල්පනය විය. බ්‍රිතාන්‍ය යුගයේ දී ලංකාවේ ඇති වූ ධනපති ක්‍රමය යුරෝපයේ ඇති වූ ධනපති ක්‍රමය වැනි සම්භාව්‍ය ධනපති ක්‍රමයක් නොවීය. එය ඉතා පරාධීන ක්‍රමයක් විය.[33] තවද එමගින් ලාංකිකයන් හුරු පුරුදු ව පැවති දේශීය ජීවන රටාව සම්පූර්ණයෙන්ම ම පාහේ බිඳ වැටී දේශීය ස්වයංපෝෂිත යුගයේ සිට ධනවාදී ආනයන-අපනයනවාදී වාණිජ යුගය දක්වා පරිවර්තනය වූ 19වන සියවසේ සංක්‍රාන්ති සමයේ සිටි අසරණ ජනතාව ඉතා විශාල පීඩනයකට හා සූරා කෑමකට ලක් වීමත් ය.


 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

අයිවන් විකටර්, ලංකාව ගලවා ගැනීම, රාවය ප්‍රකාශන, මහරගම, 2013.

අයිවන් වික්ටර්, අර්බුදයේ අන්දරය (1815 - යටත් විජිත යුගයේ සිට 2009 - ඊලාම් යුද්ධයේ අවසානය දක්වා), තෙවන මුද්‍රණය, රාවය ප්‍රකාශන, මහරගම, 2012.

අයිවන් විකටර්, ජාතියේ ඛේදවාචකය, රාවය ප්‍රකාශන, මහරගම, 2014.

අයිවන් වික්ටර්, දෙමළ අභියෝගය, රාවය ප්‍රකාශන, මහරගම, 2012.

අයිවන් වික්ටර්, ශ්‍රී ලංකාවේ නූතන කැරලි කරුවන්ගේ සමාජ පසුබිම, ඇස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2006.

අරසරත්නම් එස්, ලංකාවේ ලන්දේසි බලය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2009.

අල්විස් ප්‍රේමචන්ද්‍ර, කන්ද උඩ රට සටන්, (Kandyan Wars by Geoffrey Powell )සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2009.

ඔබේසේකර මිරැන්ඩෝ, ශ්‍රී ලංකාවේ පෘතුගීසි ආක්‍රමණයෙන් සිදු වූ සංස්කෘතික පෙරළිය, සමන්ති පොත් ප්‍රකාශකයෝ, ජා-ඇල, 2015.

ඒකනායක ඇකිරියගල, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය, එස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2008.

කරුණාරත්න ඒ. එම්, වංශකථාවල නොකියවෙන ශිලා ලිපිවලින් හෙළිවන ලංකා ඉතිහාසය, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ, 2012.

කරුණාදාස ඩබ්ලිව් එම්., තුන්වන ලෝකයේ දේශපාලනය හා ආර්ථිකය, ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, දෙහිවල, 2003.

කරණාරත්න ඩේවිඩ්, එදා හෙළ දිව (An Historical Relation of The  Island of Ceylon by Robert Knox), සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2010.

කේව් හෙන්රි. ඩබ්ලිව්, දහනව වැනි සියවසේ ලංකා සංචාරයක්, පරි- නිස්සංක පෙරේරා, එස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2006.

ගුණවර්ධන, කේ. ඩබ්ලියු, ලංකාවේ ලන්දේසි බලය පිහිටුවීම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2013.

ජයවර්ධන, කුමාරි., සොක්කන් ලොක්කන් වූ වගයි., කොළඹ: සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, 2014.

ජයසිංහ කරුණාරත්න, සිංහලේ රජු මතින් නතු කළ බ්‍රිතාන්‍ය සුරා පිළිවෙත හා ලංකාවේ නිදහස, ආශිර්වාද ප්‍රකාශකයෝ, මීරිගම, 2007.

ඩොයිලි ජොන්, සිංහලේ ආණ්ඩු ක්‍රමය පිළිබ ලුහුඬු සටහන්, අනුවාදනය ඇල්ලෙපොළ එච්. ඇම්. සෝමරත්න, සී/ස (පෞද්) විසදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2014.

ඩොයිලි ජෝන්, A sketch of the Constitution of the Kandyan Kingdom, පරි; උපාලි රත්නායක, ඩොයිලි දුටු උඩරට රාජ්‍ය, ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, කොළඹ, 2011 සැත්තැම්බර්.

තලවත්ත අජිත්, කන්ද උඩරට රාජධානිය සහ 1818 කැරැල්ල, ආරිය ප්‍රකාශකයෝ, වරකපොල, 2009 මැයි.

තලවත්ත අජිත්, විමුක්ති අරගල, වාසනා ප්‍රකාශකයෝ, දන්කොටුව, 2006.

තාපර් රොමිලා, ඉන්දියාවේ ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2009.

නොක්ස් රොබට්, Concerning Several Remarkable Passages of My Life that hath Happened since My Deliverance out of My Captivity, පරි- යසපාල වනසිංහ, උඩරට රාජ්‍යයෙන් පලා ගිය රොබට් නොක්ස්ගේ ලන්ඩන් ජීවිතය,  සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2012.

පයිබස් ‍ජෝන්, The Pybus Embassy to Kandy-1762, Transcribe by R. Raven-Hart, ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර, පරි- රාජේන්ද්‍ර බණ්ඩාර, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2011.

පීරිස් රැල්ෆ්, සිංහල සමාජ සංවිධානය, පරි කේ. ඒ. ඩී. පෙරේරා, සී/ස (පෞද්) විසදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2012.

පෙරේරා නිස්සංක, ඈත අතීතයේ ලංකාවේ ලන්දේසි අක්‍රමණිකයින්ගේ දින සටහන් හා වාර්තා, එස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2008.

බණ්ඩාර අසෝකා, ශ්‍රී ලංකාවේ යටත්විජිතවාදය, සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පෞද්ගලික) සමාගම. පන්නිපිටිය, 2005.

බ්‍රෝහියර් ආර්. එල්, කොළොම් පුර පුරාවෘත්තය, සී/ස (පෞද්) විසදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2011.

බස්නායක එච්. ටී, ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය-03, එස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2005.

මෙන්ඩිස් ජී. සී, ලංකා ඉතිහාසයේ ගැටලු, කොළඹ ඇපෝතිකරි සමාගම, කොළඹ, 1966.

රත්නායක කරුණා, දේශපාලන විද්‍යාවේ මූලකාංග-II, කතෘ ප්‍රකාශන, තොරයාය, 2010 ඔක්තෝම්බර්.

රුබේරු ටී. කේ, ප්‍රතිකාල් ජාතික රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය, එස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2003.

ලෙ මෙසූරියර් සී. ජේ. ආර් සහ ටී. බී. පානබොක්කේ, නීති නිඝණ්ඩුව, පරි- අභය හේවාවසම්, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2009.

විජේනායක අමරසිරි. එදා සිට අද දක්වා මෙදෙස් විදෙස් දේශපාලන වෙනස් වීම්, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2002.

විමලරත්න කේ. ඩී. ජී, ලංකාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය 1796-1948, රත්න පොත් ප්‍රකාශකයෝ, කොළඹ, 2009.

විල්යම්ස් හැරී, With Robert Knox in Ceylon, පරි- ඩග්ලස් බී. රණසිංහ, රොබට් නොක්ස් සම මහනුවර රාජධානියේ ගමනක්, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2014.

වුල්ෆ් ලෙනාඩ්, ලක්බිමේ සත් වසක්, පරි- ප්‍රේමචන්ද්‍ර අල්විස්, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2001.

වෙත්තමුනි විජයසිරි, සරල සිංහල මහාවංසය, කොළඔ: කතෘ ප්‍රකාශක, 2010.

ස්කිනර් තෝමස්, ලංකාවේ පනස් වසරක්, පරි; පරාක්‍රම ඇස්. විජේවර්ධන, ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, කොළඹ, 2010 සැත්තැම්බර්.

සිරිවීර ඉන්ද්‍රකීර්ති, ඉතිහාස තරංග, ආරිය ප්‍රකාශකයෝ, වරකාපොල, 2013.

සිල්වා ප්‍රේමකුමාර ද,සමාජ විද්‍යා විචාර රචනා, සොක්කන් ලොක්කන් වූ වගයි, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, කොළඹ, 2009.

සෝමරත්න ඇල්ලෙපොළ එච්. ඇම්, ඩේවි දුටු ලංකාව (An Account of Ceylon and of its Inhabitants" with Travel in that Island by John Devi), සී/ස (පෞද්) විසදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2008.

 

මහාවංශය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 2009.

වංසත්‍ථප්‍පකාසිනී, සිංහල අනුවාදනය අකුරටියේ අමරසිංහ නාහිමි හා හේමචන්ද්‍ර දිසානායක, එස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2001.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය- සිව් වන කොටස, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2007.

ශ්‍රී ලාංකේය ඉතිහාසය-වෙළුම IV, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012.

ශ්‍රී ලාංකේය ඉතිහාසය-වෙළුම V, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012.

 

 

 

 

 



[1] රොමිලා තාපර්, ඉන්දියාවේ ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2009, පිටු 26-27.

[2] රැල්ෆ් පීරිස්, සිංහල සමාජ සංවිධානය, පරි; කේ. ඒ. ඩී. පෙරේරා, සී/ස (පෞද්) විසිදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2012, පිටු 91-92.

[3] එම... පිටු 91.

[4] මහාවංශය - සිංහල, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 2009, පිටු 81.

[5] විජයසිරි වෙත්තමුනි, සරල සිංහල මහාවංසය, කතෘ ප්‍රකාශන, කළුතර, 2009, පිටු 211.

[6] ඇකිරියගල ඒකනායක, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2008, පිටු 71.

[7] අසෝකා බණ්ඩාරගේ, ශ්‍රී ලංකාවේ යටත්විජිතවාදය, ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන, පන්නිපිටිය, 2005, පිටු 91.

[8] ප්‍රේමකුමාර ද සිල්වා, සමාජ විද්‍යා විචාර රචනා ; සොක්කන් ලොක්කන් වූ වගයි, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, කොළඹ, 2009, පිටු 100.

[9] කේ. ඩී. ජී. විමලරත්න, ලංකාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය 1796-1948, රත්න පොත් ප්‍රකාශකයෝ, කොළඹ, 2009, පිටු 95.

[10] අජිත් තලවත්ත, විමුක්ති අරගල, වාසනා ප්‍රකාශකයෝ, දන්කොටුව, 2006, පිටු18-22

[11] ඇකිරියගල ඒකනායක, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2008, පිටු 69-71.

[12] එම...පිටු 72.

[13] එම...පිටු 75.

[14] එච්. ටී. බස්නායක, ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය-03, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 81.

[15] කේ. ඩී. ජී. විමලරත්න, ලංකාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය 1796-1948, රත්න පොත් ප්‍රකාශකයෝ, කොළඹ, 2009, පිටු 79.

[16] එම...පිටු 95-96.

[17] අසෝකා බණ්ඩාරගේ, ශ්‍රී ලංකාවේ යටත්විජිතවාදය, ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන, පන්නිපිටිය, 2005, පිටු 99.

[18] එච්. ටී. බස්නායක, ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය-03, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 83.

[19] කේ. ඩී. ජී. විමලරත්න, ලංකාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය 1796-1948, රත්න පොත් ප්‍රකාශකයෝ, කොළඹ, 2009, පිටු 96.

[20] ඇල්ලෙපොළ එච්. ඇම්. සෝමරත්න, ඩේවි දුටු ලංකාව, සී/ස (පෞද්) විසිදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2008, පිටු 114.

[21] රැල්ෆ් පීරිස්, සිංහල සමාජ සංවිධානය, පරි; කේ. ඒ. ඩී. පෙරේරා, සී/ස (පෞද්) විසිදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2012, පිටු 92.

[22] ප්‍රේමචන්ද්‍ර අල්විස්, කන්ද උඩ රට සටන්, (Kandyan Wars by Geoffrey Powell )සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2009, පිටු 63.

[23] වික්ටර් අයිවන්, ශ්‍රී ලංකාවේ නූතන කැරලි කරුවන්ගේ සමාජ පසුබිම, ඇස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2006, පිටු 31.

[24] කේ. ඩී. ජී. විමලරත්න, ලංකාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය 1796-1948, රත්න පොත් ප්‍රකාශකයෝ, කොළඹ, 2009, පිටු 97.

[25] ජෝන් පයිබස්, The Pybus Embassy to Kandy-1762, Transcribe by R. Raven-Hart, ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර, පරි- රාජේන්ද්‍ර බණ්ඩාර, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2011, පිටු 23.

[26] කේ. ඩී. ජී. විමලරත්න, ලංකාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය 1796-1948, රත්න පොත් ප්‍රකාශකයෝ, කොළඹ, 2009, පිටු 98.

[27] එම...පිටු 99.

[28] කේ. ඩී. ජී. විමලරත්න, ලංකාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය 1796-1948, රත්න පොත් ප්‍රකාශකයෝ, කොළඹ, 2009, පිටු 100.

[29] එම...පිටු 100.

[30] එම...පිටු 100.

[31] ශ්‍රී ලාංකේය ඉතිහාසය, වෙළුම V, ඇම්. ඩී .ගුණසේන සහ සමාගම, කොළඹ, පිටු 185.

[32] අසෝකා බණ්ඩාරගේ, ශ්‍රී ලංකාවේ යටත්විජිතවාදය, ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන, පන්නිපිටිය, 2005, පිටු 100-101.

[33] වික්ටර් අයිවන්, ලංකාව ගලවා ගැනීම, රාවය ප්‍රකාශන, මහරගම, 2013, පිටු 154.


No comments:

Post a Comment