Tuesday 20 April 2021

“ලංකා ඉතිහාසය හැදෑරීමේදී ජෝන් ඩේවිගෙ කෘතියේ ඇති මූලාශ්‍රමය වැදගත්කම” - Identification of Source for the Study of Socio Political Development in Sri Lanka, 1796-1937.

 



Identification of Source for the Study of Socio Political Development in Sri Lanka, 1796-1937.

පටුන

 

01.         හැඳින්වීම.

02.       ඩේවිගෙ කෘතියේ ඇති මූලාශ්‍රමය වැදගත්කම.

03.       සමාලෝචනය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය. 5


01.       හැඳින්වීම.

 

පගේ ඉතිහාසය දෙස බලන විට අප පුරා සියවස් හතරක් පමණ පිළිවෙළින් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන බටහිර ජාතීන්ට යටත් වී සිටියෙමු. එහිදී අපේ රට එක්වරම යටත් විජිතයක් බවට පත් නොවූ බව මතක තබා ගත යුතු වේ. පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට ග්‍රහණය කර ගත හැකි වූවේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පමණි. කෙසේ වෙතත් 1815දී ඉංග්‍රීසීන්ට උඩරට යටත් වීමෙන් පසු මුළු රට ම විදේශීය ග්‍රහණයට ලක් විය. ඒ අනුව 1815 සිට 1948 දක්වා ඔවුන්ගේ පාලන කාලය තුළ අප රටේ ආර්ථික, සමාජීය හා සංස්කෘතිමය වශයෙන් බොහෝ වෙනස්කම්වලට ගොදුරු විය.[1] බටහිර යුරෝපයේ ආක්‍රමණ හා සංස්කෘතික මිශ්‍රණය හේතුවෙන් බෞද්ධ සංස්කෘතික හැඩගැස්ම මත බිහිවුණු කෘෂිකාර්මික ස්වයංපෝෂිත ජීවන තත්ත්වය, ආනයන-අපනයනය මත තීරණය වෙන වාණිජ ආර්ථික තත්ත්වයක් කරා පරිවර්තනය විය.

සමස්ත ශ්‍රී ලංකාව ම බ්‍රිතාන්‍ය ආධිපත්‍යට නතු වූ ආරම්භක යුගයේ දී, එනම් 1816-1820 දක්වා යුද වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් මෙරට සේවය කළ ජෝන් ඩේවි සුප්‍රකට විද්‍යාඥ ශ්‍රීමත් හම්ප්‍රි ඩේවිගේ සෙහොයුරා ය. ජෝන් ඩේවි මෙහි සේවයට පැමිණියේ එවකට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කිරීම සඳහා ය. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මහනුවර යුගය ගැන ලියැවුණු කෘති අතරින් රොබට් නොක්ස්ගේ (An Historical Relation of Ceylon-1681) නම් කෘතිය හා ජෝන් ඩොයිලිගේ (A Sketch of the Constitution of the Kandyan Kingdom) කෘතිය අතර සම තැනෙහි තැබිය හැකි විශිෂ්ට කෘතියක් ලෙස වෛද්‍ය ජෝන් ඩේවි විසින් රචනා කරන ලද “ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය, එහි රටවැසියා සහ එම දිවයිනේ චාරිකා(An Account of  Ceylon and of its Inhabitants, with Travels in that Island.-1821) නැමති ග්‍රන්ථය ලංකාව සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබා ගත හැකි කෘතියක් ලෙස සැලකිය හැක. තවද විශේෂයෙන් ම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ විදේශීය බලපෑම හමුවේ සමාජීය පරිවර්තනයකට ලක්වුවත් සිංහලේ අනන්‍යතාව රැඳී පැවති අවසාන රාජධානිය වූ උඩරට ප්‍රදේශය ඉංග්‍රීසි ආධිපත්‍ය යටතේ පරිවර්තනය වන්නට ආරම්භ වූ යුගය පිළිබඳ ව වඩා විශ්වසනීය තොරතුරු මෙමගින් අනාවරණය වේ. එහිදී වෛද්‍යවරයෙකු ලෙස ලංකාවේ භූගෝලීය පරිසරය, මානව හා ජෛව පද්ධතියේ විවිධත්වය මෙන් ම  සාම්ප්‍රදායික උඩරට ජනතාවගේ ආගමික, සමාජීය හා දේශපාලනමය තොරතුරු විශාල ප්‍රමාණයක් මෙහි අන්තර ගත කිරීමට වෛද්‍ය ඩේවි උනන්දු වී ඇත.


 

02.    ඩේවිගෙ කෘතියේ ඇති මූලාශ්‍රමය වැදගත්කම.

වි

ජාතිකන් විසින් අතීත සිංහල ජන ජීවිතය ආශ්‍රය කර ගනිමින් රචනා කරන ලද කෘති අතුරින් රොබට් නොක්ස්ගේ කෘතියට පසු වඩාත් සාර්ථක ම කෘතියක් ලෙස ජෝන් ඩේවිගේ කෘතිය සඳහන් කළ හැක. මෙහි දී අප සමාජයේ ජනප්‍රිය ම කෘතිය වන නොක්ස්ගේ කෘතිය මුල් තැන ගනු ලැබූවත් බොහෝ අංශයන්ගෙන් එම කෘතියට වඩා ජෝන් ඩේවිගේ කෘතිය ඉදිරියෙන් සිටින බව අවිවාදිත ය. මන්ද යත් නොක්ස් ලංකාවේ කාලය ගත කරනු ලැබුවේ සිරකරුවෙකු ලෙස සිය කැමැත්තට පටහැනිවය.  එබැවින් ඔහුගේ කෘතියට පාදක වී ඇත්තේ එසේ සිරකරුවෙකු ලෙස සිටින අතරතුර පලායාමට අවස්ථාවක් ලැබෙන තෙක් ගෙවූ කාලයේ දී ඔහු ලැබූ අත්දැකීම් හා ඔහුට අසන්නට ලැබුණු දේවල් ය. නමුත් ‍ජෝන් ඩේවි ඊට වෙනස් ව උඩරට රාජ්‍ය බ්‍රිතාන්‍ය කිරීටයට ඈඳා ගෙන නොබෝ දිනකින් වෘත්තිය වෛද්‍යවරයෙකු ලෙස ලංකාවට පැමිණි අයෙකි. සිංහලේ පළාත් පාලනය පිළිබඳ ඔහුගේ විස්තරය ඔහු විසින් 1818 මහ කැරැල්ලට ඉතා ආසන්න පෙර හා පසු කාලයේ රැස් කරන ලද කරුණු පදනම් කර ගෙන රචිත ග්‍රන්ථයකි.[2] විශේෂයෙන් ම වෛද්‍ය ජෝන් ඩේවි පරිණත බුද්ධියකින්, ශික්ෂිත මනසකින් හා අප්‍රතිහත ධෛර්යකින් හෙබි පුද්ගලයෙකු ලෙස ලංකාව පිළිබඳ ඔහුගේ අවධානයට ලක් වූ විෂය පථය ඉතාමත් පුළුල් විය. තවද ඔහු එකල ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිගේ වෛද්‍යවරයා වීම හේතුවෙන් ලක්දිව පුරා නිදහසේ සැරිසැරීමේ ද, ප්‍රධාන භික්ෂූන් වහන්සේලා, උඩරට රාජ සභාවේ හා මහවාසලේ වැදගත් නිල තල දැරූ නිලමෙවරුන්, විවිධ කර්මාන්තයන්හි නියුතු ශිල්පීන් ආදී ලෙස විවිධ පුද්ගලයන් හමුවීමේ නිදහසද ඔහු සතුවිය. එම නිදහසින් උපරිම ප්‍රයෝජන ගෙන ප්‍රාථමික මූලාශ්‍රයන්ගෙන් ගත් කරුණුවලින් ම සිය කෘතිය පොහොසත් කිරීමට ඩේවි උත්සහ කර තිබීම තුළින් එය උඩරට රාජ්‍යය පිළිබඳ වඩාත් විශ්වසනීය මූලාශ්‍රයක් බවට පත් වී ඇත. තවද මෙම අවධියෙන් පසු ලංකාව ගැන ග්‍රන්ථ රචනා කළ බොහෝමයක් විද්වතුන් මෙම කෘතියෙන් කරුණු ගෙනහැර පා ඇති හෙයින් මෙය ශාස්ත්‍රීය කෘතියක තත්ත්වයක් උසුලන බව ද පෙනී යයි. නිදසුනක් ලෙස ලංකාවේ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රීමත් ජේම්ස් එමර්සන් ටෙනන්ට් විසින් 1859 දී රචිත Ceylon : An Account of the Island Physical, Historical and Topographical නම් කෘතියට තොරතුරු ලබා ගැනීමේ දී ‍වෛද්‍ය ඩේවිගෙ කෘතිය ආධාර කොට ගෙන ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් තම කෘතියේ හැඳින්වීම තුළ සටහන් කර ඇත්තේ මෙසේය;

“අවුරුදු හතළිහකට ඉහත දක්නට තිබුණු ආකාරයට ම දිවයිනෙහි අභ්‍යන්තරය පිළිබඳ විස්තරයක් වෛද්‍ය ඩේවි විසින් සපයනු ලැබීය. වෛද්‍ය ඩේවි 1816 සිට 1820 දක්වා ලංකාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයෙහි නියුතු ව සිටි විශිෂ්ට දාර්ශනිකයෙකුගේ සොහොයුරා ය.”[3]

මෙහි දී ඩේවි තම කෘතියේ පළමු පරිච්ඡේද තුන යටතේ සංගෘහිත කරනු ලැබූ ලංකාවේ උෂ්ණත්වය, දේශගුණය, සර්පයන්, කූඩැල්ලන්, වෛද්‍යකර්මය, යකඩ උණු කිරීම ආදී විෂයයන් පිළිබඳ ව නියම විද්‍යානුකූල ලෙස පර්යේෂණ පවත්වා, සටහන් තබා සංසන්දනය කොට, ක්‍රමානුකූල ලෙස කරුණු පිළියෙළ කිරීමට ඉදිරිපත් වූ පළමු ග්‍රන්ථය මෙය විය හැකි බව මහාචාර්‍ය්‍ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ මතයයි. තවද රාජ සභාවේ චාරිත්‍ර විධි, සිංහලයන්ගේ ගති සිරිත්, ඔවුන්ගේ ආවේණික ගුණාංග, අවිචාරක හැඟීම් හා මත යන විෂයයන් සම්බන්ධයෙන් ඔහු තොරතුරු ලබාගන්නට ඇත්තේ රොබට් නොක්ස්ගේ කෘතියෙන් හා එකල දෙවැනි මහ මුදලි ද සරම් නම් පුද්ගලයාගෙන් විය හැක. මේ පිළිබඳ ඔහුගේ කෘතියේ සඳහන් කිරීමට තරම් ඔහු අවංක වී ඇත.

“පුහුණු කළ ශික්ෂිත මනසක ආශීර්වාදය ලත්, ඉංග්‍රීසි, සිංහල යන භාෂා ද්වයය ම පිළිබඳ එක‍සේ බුහුටි, කවර විෂයයක් පිළිබඳ විචාරණය ගැන වුවද භාෂා පරිවර්තකයෙකු වශයෙන් ක්‍රියා කිරීමට සර්ව ප්‍රකාරයෙන් ම සුදුසු ස්වදේශිකයෙකු වූ මා මිත්‍ර (දෙවැනි මහ මුදලි) ද සරම් මහතාගෙන් මා ලත් ආධාරෝපකාර එළිදරව් නොකිරීම අකෘතඥකමකි...

(මෙහි දී වෛද්‍ය ඩේවිට තම පරිවර්තන කාර්යයේ දී උදව් කළ සරම් නමැති දෙවන මහ මුදලි, එමර්සන් ටෙනන්ට්ගේ සමයේ දී මහ මුදලි ලෙස පත් වී සිට ඇති අතර ඔහු ආණ්ඩුකරුගේ ප්‍රථම භාෂා පරිවර්තකයා ලෙස ද කටයුතු කර ඇත. ඔහු වෛද්‍ය ඩේවිට මෙන් ම එමර්සන් ටෙනන්ටද භාෂා පරිවර්තනයේ දී සහය වී ඇති අතර ටෙනන්ට් විසින් ඔහු ව හඳුන්වා ඇත්තේ අර්නස්ට් ද සේරම් විජේසේකර කරුණාරත්න ලෙසය.) [4]

“මේ විෂය ගැන පෞද්ගලික දැනුම අනුව මෙයට පෙර ලියන ලද එක ම ග්‍රන්ථය, මෙයට අවුරුදු 140ට පෙර ප්‍රසිද්ධ කෙරුණු, කපිතාන් රොබට් නොක්ස් විසින් විරචිත, ‘ලංකා වෘත්තාන්තය’ යැ යි පැවසීමට කැමැත්තෙමි. මා එය සතුටින් කියවූ නමුත් එයින් ණයට ගත් බවක් නොදනිමි.....”[5]

යනුවෙන් ඩේවි තම කෘතියේ සඳහන් කර ඇත. එමගින් මූලාශ්‍රයක් ලෙස එහි ඇති විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු කර ගත හැකි වේ. වර්තමානයේ දී වුවද අපගේ සිරිත් විරිත්, පාලන ක්‍රම, ගෙදර දොර කටයුතු, මංගල්‍ය, යුද්ධ ක්‍රම, ආයුධ ආදිය සම්බන්ධයෙන් අවධානය‍ යොමු කිරීමේදී ඩේවිගේ හා නොක්ස්ගේ කෘතීන්හි ඇති යම් යම් තොරතුරුවල සමානත්වයක් හා ඒ හා සම්බන්ධව සාක්‍ෂි සොයා ගැනීම අපහසු නොවේ.

තවද ලංකාවේ පැරණි වැව් පිළිබඳ පළමුවෙන් ම පුළුල් ලෙස ගවේෂණය කරමින් තොරතුරු ඉදිරිපත් කර ඇති ඉංග්‍රීසි ජාතිකයා ලෙස ඩේවි හැඳින්විය හැක. එහිදී ඔහු ඒ සඳහා කටු සටහන් ආධාරයෙන් චිත්‍ර කීපයක් ඉදිරිපත් කරනු ලබයි. එහිදී කන්තලේ වැව සම්බන්ධයෙන් ඇඳ ඇති චිත්‍රය ඉතාමත් වටිනා සාක්‍ෂියකි. 1820 දශකයේ දී පවා එහි බිසෝ කොටුව නිසි සේ පැවති බව එම රූපය අධ්‍යනයේ දී පෙනී යයි. තවද විශේෂයෙන් ම සිංහල වෛද්‍ය ක්‍රමය ගැන ක්‍රමානුකූල ව හා ඉතා විචක්ෂණශීලී ලෙස විජාතිකයෙකු අතින් රචිත පළමු ග්‍රන්ථය ලෙස ද වෛද්‍ය ඩේවිගේ කෘතිය සැලකිය හැකිය. ලංකාවේ ඉපැරණි වෛද්‍ය කර්මය පිළිබඳ ඉතිහාසය විදහාපාන එය නූතන වෛද්‍යවරුන්ට පවා ප්‍රයෝජනවත් විය හැක. එහි තුන්වන පරිච්ඡේදය තුළින් ඔහු මෙතෙක් ලංකාවේ අවධානය යොමු නොවූ උරග වර්ග ගැන විස්තරයක් ඉදිරිපත් කරයි.

මෙම කෘතියේ ඇති ඉතා වැදගත් ම කොටසක් ලෙස හැදින්විය හැක්කේ 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරන තොරතුරු ආදියයි. විශේෂයෙන් ම ඩේවි ලංකාවේ සංචාරය කරන සමයේ මෙම කැරැල්ල ඇති වූ අතර ඔහු හා ආණ්ඩුකාර බ්‍රවුන්රිග් එම අවස්තාවේදී කැරලි කරුවන්ගේ ග්‍රහණයට නතු වීමට ද ඉඩ පැවති බව ඩේවි විසින් ම සඳහන් කරයි. එහිදී ඔහු සඳහන් කරන අකාරයට කැරැල්ල ආරම්භයේ දී ඉංග්‍රීසින් පවා විශ්වාස කර ඇත්තේ ලංකාවේ බ්‍රිතාන්‍ය බලය මෙමගින් අහෝසි වී යනු ඇති බවයි. කෙසේ වෙතත් අවසානයේ කැරැල්ල ජයග්‍රණය කළ ඉංග්‍රීසින් එසේ කිරීමට අනුගමනය කළ ක්‍රෑර ක්‍රියාමාර්ග නොසඟවා සඳහන් කරයි. එමගින් එම කෘතියේ ඇති විශ්වසනීයත්වය තහවුරු වුවත් එම ක්‍රියා අවසානයේ දී ඩේවි විසින් සාධාරණීකරණය කිරීම හේතුවෙන් ඔහුගේ අධිරාජ්‍යවාදී දෘෂ්ටිකෝණයේ ඇති ප්‍රතිගාමීත්යද යම් අකාරයකට විදහාපාන බව අවබෝධ කර ලත හැකි වේ.


03.   සමාලෝචනය.

ජෝ

න් ඩේවි නම් වෛද්‍යවරයා විසින් රචිත An Account of  Ceylon and of its Inhabitants, with Travels in that Island නම් කෘතිය තුළින් උඩරට රාජධානියේ සිංහල ගැමි සමාජය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැක. විශේෂයෙන් අප බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වූ ආරම්භක යුගයේ දී බටහිර ඉංග්‍රීසි සංස්කෘතිය විසින් ක්‍රමානුකූල ව සිංහල සම්ප්‍රදාය ආක්‍රමණය කළ ආකාරය පිළිබඳ තේරුම් ගැනීමට මෙමගින් හැකි වේ. ජෝන් ඩේවිගේ කෘතියේ ඇති විශේෂිත වූ ගුණාංගයන් වන්නේ ඔහු උඩරට සිංහලයන් පිළිබඳ තොරතුරු දැක්වීමේ දී ඕපාදූප කතාවලට ඇහුන්කන් දීමට හෝ අනුන් කියන දේ ඒ අයුරින් ම විශ්වාස කිරීමට හෝ නොපෙළඹීමයි. ඒම යුගයේ යම් යම් විශේෂිත සිදුවීම් ඉතිහාසය පොත්වල සඳහන් වී තිබුණ ද තත්කාලීන විෂයානුබද්ධ විවරණයක් ඩේවිගේ කෘතිය මගින් පිළිබිඹු වේ.[6] පර්යේෂණ ක්ෂේත්‍රයේ නිරත වීමෙන් ලද ශික්ෂණය හේතුවෙන් ඔහු තමන් ඇසූ දුටු කරුණු මධ්‍යස්ථ ව ඉදිරිපත් කර තිබෙන අතර අනුමාන මත පිහිටා කරුණු ඉදිරිපත් කිරීමට ද උත්සහ නොකරයි. තම අත්දැකීම් පිළිබඳ ව කිසියම් ඌනතාවක් ඇත්නම් එය නොපැකිළ ව ප්‍රකාශ කිරීමට තරම් ඔහු අවංක වී ඇත. මේ හේතුවෙන් ජෝන් ඩේවිගේ කෘතියේ ඇති තොරතුරු අන් බොහෝ විදේශීය වාර්තාකරුවන්ගේ තොරතුරුවලට වඩා විශ්වසනීය වේ. ඉංග්‍රීසි ආධිපත්‍යට උඩරට නතු වූ ආරම්භක අවදියේ එම ප්‍රදේශවල ජනතාවගේ ජීවන පැවැත් ම පිළිබඳ බොහෝ දුරට නිවැරදි චිත්‍රයක් ඩේවිගෙ කෘතියෙන් අනාවරණය කර ගත හැක.

මෙහි දී ඔහු අනවශ්‍ය ළෙන්ගතුකමක් හෝ නුරුස්සනා බවක් දක්වන්නට ඉදිරිපත් නොවේ. උඩරට සිංහලයාගේ යහපත් පැවතුම් මෙන් ම මිථ්‍යාවෙන් වෙළුණු පැවතුම් ද විශ්ලේෂණාත්මකව දැක්වීමට ද ඩේවි උත්සහ කොට ඇත. ඒ හේතුවෙන් ම අනෙකුත් විදේශීය මූලාශ්‍ර සමඟ සන්සන්දය කිරීමේදී ඩේවිගේ කෘතිය යම්තාක් දුරකට මූලාශ්‍රමය වශයෙන් වැදගත්කමක් උසුලන බව අවබෝධ කර ගත යුතු ය. ඉතිහාසඥයන් දකින ලෙසට, රටක සමස්ත සංස්කෘතික දියුණුව හෝ පරිහානිය එහි ඉතිහාසය සමඟ නිරතුරුව ම බැදී පවතී. රටක් ආර්ථික සහ සංස්කෘතිමය වශයෙන් දියුණු කළ හැකි ආකාරය සොයා ගැනීමට හැකිවන්නේ ඉතිහාසය සියුම් ලෙසට හැදෑරීම හා විශ්ලේෂණය කිරීම තුළිනි. ඒ අනුව ජෝන් ඩේවිගේ මෙම කෘතිය තුළින් ද අපගේ ඉතිහාසයේ ඉංග්‍රීසි පාලන සමයේ එක්තරා පැතිකඩක් පිළිබිඹු වන බව පෙනී යයි. 


 

 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

අයිවන් විකටර්, ලංකාව ගලවා ගැනීම, රාවය ප්‍රකාශන, මහරගම, 2013.

අයිවන් වික්ටර්, අර්බුදයේ අන්දරය (1815 - යටත් විජිත යුගයේ සිට 2009 - ඊලාම් යුද්ධයේ අවසානය දක්වා), තෙවන මුද්‍රණය, රාවය ප්‍රකාශන, මහරගම, 2012.

අයිවන් විකටර්, ජාතියේ ඛේදවාචකය, රාවය ප්‍රකාශන, මහරගම, 2014.

අයිවන් වික්ටර්, දෙමළ අභියෝගය, රාවය ප්‍රකාශන, මහරගම, 2012.

අයිවන් වික්ටර්, ශ්‍රී ලංකාවේ නූතන කැරලි කරුවන්ගේ සමාජ පසුබිම, ඇස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2006.

අල්විස් ප්‍රේමචන්ද්‍ර, කන්ද උඩ රට සටන්, (Kandyan Wars by Geoffrey Powell )සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2009.

ඒකනායක ඇකිරියගල, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය, එස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2008.

කරණාරත්න ඩේවිඩ්, එදා හෙළ දිව (An Historical Relation of The  Island of Ceylon by Robert Knox), සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2010.

කේව් හෙන්රි. ඩබ්ලිව්, දහනව වැනි සියවසේ ලංකා සංචාරයක්, පරි- නිස්සංක පෙරේරා, එස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2006.

ජයවර්ධන, කුමාරි., සොක්කන් ලොක්කන් වූ වගයි., කොළඹ: සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, 2014.

ජයසිංහ කරුණාරත්න, සිංහලේ රජු මතින් නතු කළ බ්‍රිතාන්‍ය සුරා පිළිවෙත හා ලංකාවේ නිදහස, ආශිර්වාද ප්‍රකාශකයෝ, මීරිගම, 2007.

ටෙනන්ට් එමර්සන්, Ceylon- An Accounts of the Island Physical, Historical and Topographical, පරිවර්තනය සේපාල විජේසේකර, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, ‍කොළඹ, 2005.

ඩොයිලි ජොන්, සිංහලේ ආණ්ඩු ක්‍රමය පිළිබ ලුහුඬු සටහන්, අනුවාදනය ඇල්ලෙපොළ එච්. ඇම්. සෝමරත්න, සී/ස (පෞද්) විසදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2014.

ඩොයිලි ජෝන්, A sketch of the Constitution of the Kandyan Kingdom, පරි; උපාලි රත්නායක, ඩොයිලි දුටු උඩරට රාජ්‍ය, ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, කොළඹ, 2011 සැත්තැම්බර්.

තලවත්ත අජිත්, කන්ද උඩරට රාජධානිය සහ 1818 කැරැල්ල, ආරිය ප්‍රකාශකයෝ, වරකපොල, 2009 මැයි.

තලවත්ත අජිත්, විමුක්ති අරගල, වාසනා ප්‍රකාශකයෝ, දන්කොටුව, 2006.

නොක්ස් රොබට්, Concerning Several Remarkable Passages of My Life that hath Happened since My Deliverance out of My Captivity, පරි- යසපාල වනසිංහ, උඩරට රාජ්‍යයෙන් පලා ගිය රොබට් නොක්ස්ගේ ලන්ඩන් ජීවිතය,  සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2012.

පයිබස් ‍ජෝන්, The Pybus Embassy to Kandy-1762, Transcribe by R. Raven-Hart, ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර, පරි- රාජේන්ද්‍ර බණ්ඩාර, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2011.

පීරිස් රැල්ෆ්, සිංහල සමාජ සංවිධානය, පරි කේ. ඒ. ඩී. පෙරේරා, සී/ස (පෞද්) විසදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2012.

බණ්ඩාර අසෝකා, ශ්‍රී ලංකාවේ යටත්විජිතවාදය, සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පෞද්ගලික) සමාගම. පන්නිපිටිය, 2005.

බ්‍රෝහියර් ආර්. එල්, කොළොම් පුර පුරාවෘත්තය, සී/ස (පෞද්) විසදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2011.

බස්නායක එච්. ටී, ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය-03, එස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2005.

මෙන්ඩිස් ජී. සී, ලංකා ඉතිහාසයේ ගැටලු, කොළඹ ඇපෝතිකරි සමාගම, කොළඹ, 1966.

ලෙ මෙසූරියර් සී. ජේ. ආර් සහ ටී. බී. පානබොක්කේ, නීති නිඝණ්ඩුව, පරි- අභය හේවාවසම්, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2009.

විමලරත්න කේ. ඩී. ජී, ලංකාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය 1796-1948, රත්න පොත් ප්‍රකාශකයෝ, කොළඹ, 2009.

විල්යම්ස් හැරී, With Robert Knox in Ceylon, පරි- ඩග්ලස් බී. රණසිංහ, රොබට් නොක්ස් සම මහනුවර රාජධානියේ ගමනක්, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2014.

වුල්ෆ් ලෙනාඩ්, ලක්බිමේ සත් වසක්, පරි- ප්‍රේමචන්ද්‍ර අල්විස්, සූරිය ප්‍රකාශකයෝ, කොළඹ, 2001.

ස්කිනර් තෝමස්, ලංකාවේ පනස් වසරක්, පරි; පරාක්‍රම ඇස්. විජේවර්ධන, ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, කොළඹ, 2010 සැත්තැම්බර්.

සෝමරත්න ඇල්ලෙපොළ එච්. ඇම්, ඩේවි දුටු ලංකාව (An Account of Ceylon and of its Inhabitants" with Travel in that Island by John Devi), සී/ස (පෞද්) විසදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2008.

 

ශ්‍රී ලංකාවේ ඉතිහාසය- සිව් වන කොටස, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2007.

ශ්‍රී ලාංකේය ඉතිහාසය-වෙළුම IV, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012.

ශ්‍රී ලාංකේය ඉතිහාසය-වෙළුම V, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012.


[1] පරාක්‍රම ඇස්. විජේවර්ධන, ලංකාවේ පනස් වසරක් (Fifty years In Ceylon by Major Thomas Skinner), ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, කොළඹ, පිටු 5.

[2] ඇල්ලේපොළ එච්. එම්. සෝමරත්න, ඩේවි දුටු ලංකාව, විසිදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2008, පිටු VII.

[3] සේපාල විජේසේකර, ශ්‍රීමත් ජේම්ස් එමර්සන්ට් ටෙනන්ට්- ලංකාව, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2005, පිටු 02.

[4] සේපාල විජේසේකර, ශ්‍රීමත් ජේම්ස් එමර්සන්ට් ටෙනන්ට්- ලංකාව, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2005, පිටු 16.

[5] ඇල්ලේපොළ එච්. එම්. සෝමරත්න, ඩේවි දුටු ලංකාව, විසිදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2008, පිටු 23.

[6] නිස්සංක පෙරේරා, හෙන්රි ඩබ්. කේව්- දහනව වැනි සියවසේ ලංකා සංචාරයක්, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2006, පිටු 06.

No comments:

Post a Comment