“බ්‍රිතාන්‍ය යුගය හැදෑරීමේදී පරිපාලන වාර්තාවල වැදගත්කම”
ශ්‍රී |
ලංකාවේ සමාජ, ආර්ථීක හා දේශපාලන යන අංශවල මහා
පෙරළියක් සිදු වන්නේ බ්‍රිතාන්‍ය
යටත් විජිත යුගයේ දී ය. ඔවුන්ගේ යටත් විජිත පාලන ක්‍රමය තුළ යුරෝපා රාජ්‍ය
තුළ වූ මූලස්ථානවල මෙන් ම ඔවුන්ගේ ලංකා
පරිපාලන මධ්‍යස්ථානවල ද අඛණ්ඩව ලේඛන ගොඩ නැගුණහ. මේවා තුළ මව් රට හා විජිතය අතර
හුවමාරු වූ නිල ලේඛනවලට අමතරව ලංකාවේ විවිධ පළාත් හා පරිපාලන මධ්‍යස්ථාන අතර
හුවමාරු ලිපි ලේඛන ද වේ. ඒ අනුව බ්‍රිතාන්‍ය යුගය හැදෑරීමේදී ලිඛිත මූලාශ්‍ර ප්‍රධාන තැනක්
ගනී. එහිලා රාජ්‍යෝපායාත්මක නිගමනයන් ඇතුළත් ලිපි ලේඛන, ස්වයං චරිතාපදාන, චරිත කතා
ආදි බහු විධ මූලාශ්‍රයන් ආධාර වේ. මෙහි දී අවධානය යොමු කරනු ලබන පරිපාලන වාර්තා
අධ්‍යයනය තුළින් බ්‍රිතාන්‍ය
සමය සම්බන්ධයෙන් අනෙකුත් වාර්තාවලට සාපේක්ෂව විශ්වාසදායී යථාර්ථයක් තේරුම් ගැනීමට
හැකියාවක් ලැබේ.
මෙහි දී බ්‍රිතාන්‍ය යුගය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන පරිපාලන
වාර්තා ඉතා විශ්වාසදායී මූලාශ්‍ර විශේෂයක් ලෙස හැඳින්විය හැක. මන්ද යත් මෙම
බොහෝමයක් වාර්තා සකස් කිරීමේදී ඒවායේ රචකයන් තම පාලන කටයුතු අරමුණු කර ගනිමින් පෞද්ගලික
ම දැන හඳුනාගත් තොරතුරු අන්තර්ගත කිරීමට ඉදිරිපත් වීමයි. මෙම බ්‍රිතාන්‍ය පරිපාලන වාර්තා සකස් කිරීමේ ඉතිහාසය හා එහි
අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කිරීම මගින් එහි ඇති වැදගත්කම හා විශ්වසනීයත්වය
තහවුරු කර ගත හැක. මෙම පරිපාලන වාර්තා පළමුවෙන් ම සකස් කිරීමේ නිල නියෝගය ලබා දෙනු
ලැබුවේ එවකට ඉංග්‍රීසින් යටතේ ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල ආණ්ඩුකාරවරයා වූ තෝමස්
මෙට්ලන්ඩ්ගේ නියෝගයත් සමගය. ඊට පෙරද ඉංග්‍රීසින් විසින් පරිපාලන වාර්තා යම් ප්‍රමාණයෙන්
සකස් කරමින් පැවතුණ ද එය අනිවාර්ය කිරීමත් සමඟ 1804න් පසු විධිමත් ආකාරයෙන් සකස්
වන්නට විය. මෙලෙස පරිපාලන වාර්තා සකස් කිරීමට නියෝග කිරීම තුළින් මෙට්ලන්ඩ්
ආණ්ඩුකාරවරයා බලාපොරොත්තු වන්නට ඇත්තේ ලංකාවේ ඉංග්‍රීසි පරිපාලනය ක්‍රමවත් කර
ගැනීම විය හැක. විශේෂයෙන් ම 1803දී කන්ද උඩරට ආක්‍රමණයේ දී සිදු වූ අන්ත පරාජය හා
විනාශය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත්, නැවත එවැනි ව්‍යසනයක් ඉංග්‍රීසින්ට අත්
විදීමට ඇති ඉඩ කඩ ඇහිරීමටත් මෙන් ම ලංකාව පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් මවා ගැනීමටත්
මෙමගින් බලාපොරොත්තු වන්නට ඇත. කෙසේ වෙතත් එම පරිපාලන වාර්තා මගින් වර්තමානයේ වුවද
එකල ලංකාව පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැකි අතර එමගින් ලංකාවේ සමාජ,
ආර්ථික හා දේශපාලන යන අංශයන් සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.
මෙලෙස පරිපාලන
වාර්තා සකස් කිරීම බ්‍රිතාන්‍ය
අධිරාජ්‍යවාදීන්ගේ විශේෂ ලක්‍ෂණයක් වූ අතර ඔවුන් යටතේ පාලනය වූ බොහෝමයක් ප්‍රදේශවල
එලෙස පරිපාලන වාර්තා සකස් කරනු ලැබීය. එමගින් තම පරිපාලනය කාර්යක්ෂම කර ගැනීමට
ඔවුන් බලාපොරොත්තු වූ අතර ලොව අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ට සාපේක්ෂව බ්‍රිතාන්‍යයන්ගේ සාර්ථකත්වය රහස වූයේ ද එය ම බව අවබෝධ කර
ගත හැක. මෙම
පරිපාලන වාර්තා මගින් බ්‍රිතාන්‍ය පාලනය ලංකාව
තුළ ස්ථාපිත වීමට පෙර හා පසු තත්ත්වයන් ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් පැවතීම
මෙහි ඇති එක් වැදගත්කමකි. විශේෂයෙන් ම එකල ලාංකේය සමාජයේ සිරිත්-විරිත්, කුල ධූරාවලිය
හා විවාහ ආදි සම්ප්‍රදායන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් පවතී.
නිදසුනක් ලෙස එක්
පරිපාලන වාර්තාවක ලංකාවේ කුල ධුරාවලිය තුළ යටත් විජිත සමයේ වර්ධනය වෙමින් පැවති
කරාව කුලය ගැන සඳහන් වීම දැක්විය හැක. එයට අනුව
“මොරටුවේ
කරාව කුලයේ අයගෙන් අසාමාන්‍ය සංඛ්‍යාවක් ඉහළ පංතියට අයත් වේ.... ඒ නිසා දහනව වන
සියවසේ ආරම්භයේ හා ඉන් පසුවත්, ඔවුන්ගේ කාර්මික පසුබිම නිසාත් විවිධ කුසලතා
නිසාත්, ඇති වූ ආර්ථික අවස්ථාවන් වහා ම සිය වාසියට හරවා ගැනීමට ඔවුන්ට විශේෂ
පෙලඹීමක් තිබිණි...”
එමෙන්ම මෙකල
පැවති බහු පුරුෂ විවාහයට ඉංග්‍රීසින් තුළ වූ විරුද්ධත්වය එවකට දිස්ත්‍රික්
විනිශ්චයකාවරයාගේ වාර්තාවෙන් හෙළි වේ.
“යම්
පුද්ගලයෙකු උඩරට පළාතේ පදිංචිව සිටියදී තම විවාහක ස්වාමියා හෝ බිරිඳ ජීවත්ව
සිටියදී තවත් කෙනෙක් සමඟ විවාහ වේද...සෑම කෙනෙක් ම වරදකරුවෝ වෙත්...”
ඉහතින් දක්වන ලද
පරිපාලන වාර්තාවේ ඇති තොරතුර මඟින් එකල ලංකාවේ සමාජ පරිවර්තන ක්‍රියාදාමය ගැන
අවබෝධයක් ලබා ගත හැක.
තවද එකල පැවති
හා ඉංග්‍රීසින් යටතේ පරිවර්තනය වූ ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන ද මෙම පරිපාලන
වාර්තා මඟින් තොරතුරු අනාවරණය කර ගත හැක. විශේෂයෙන් ම 1815 ගිවිසුම මීට කදිම
නිදසුනකි.
“කන්ද
උඩරට විජිතය බ්‍රිතාන්‍ය
මහ රජුට පවරනු ලැබේ. අදිකාරම්, දිසාව, මොහොට්ටාල, කෝරලේ හා විදානේ මෙන් ම සියලු ම
ප්‍රධාන හා උපප්‍රධාන ස්වදේශීය ප්‍රධානීන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාදත්
පුද්ගල හා දේපළ සම්බන්ධ බලතලත් සිවිල් අයිතීන් හා ප්‍රතිශක්තිතාත් චිරාගත චාරිත්‍ර
අනුව ක්‍රියාවේ යෙදෙනු හැර, එම ආධිපත්‍ය ක්‍රියාත්මක කරනුයේ ආණ්ඩුකාරයා හෝ ලුතිනන්
ආණ්ඩුකාරයන් විසින් හා ඔවුන් විසින් නිල වශයෙන් බලය පවරනු ලැබූ නියෝජිතයන්
විසිනි.”
මෙලෙස පරිපාලන
වාර්තා යටතට ගැනෙන ඒජන්ත, ආණ්ඩුකාර වාර්තා මෙන් ම සැසි වාර්තා, හා
මෙරට සිටි ඉංග්‍රීසි නිලධාරීන් තම ධුර කාලය තුළ වාර්තා කර තැබූ පරිපාලන
වාර්තා මගින් එකල සමාජීය, ආර්ථික හා දේශපාලන තත්ත්වයන් පිළිබඳ මෙන් ම අධිකරණය ද
පැවති අකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. පළාත් පාලනය, විවාහය, ඉඩම් අයිතිය හා
භුක්තිය, කුල ක්‍රමය යනාදිය මෙන් ම දක්වා ඇති තොරතුරු සංඛ්‍යාත්මකව ගෙන හැර තිබීම
මෙහි ඇති ගුණාත්මක භාවය වර්ධනයට හේතු වී ඇත. තවද 1833 සිට 1948 දක්වා ලංකාවේ ව්‍යවස්ථා
සම්පාදන ක්‍රියාවලිය පිළිබඳවද අවබෝධයක් පරිපාලන වාර්තා මගින් හෙළි කරයි.
ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය පිළිබඳ ව හැදෑරීමේ දී පරිපාලන වාර්තා
කිරීම අතිශයින් ම වැදගත් වන බව ඉහත තොරතුරු අධ්‍යයනයේ දී පෙනී යයි. නමුත් මෙහි ඇති
එක් අයහපත් ලක්ෂණයක් වන්නේ බ්‍රිතාන්‍ය
පරිපාලන වාර්තා ඔවුන්ට පක්‍ෂපාතී හා වාසිදායක වන ආකාරයට සංගෘහිත ව පැවතීම හා එම
වාර්තාවල තොරතුරු පුද්ගලයාගෙන් පුද්ගලයාට එකිනෙකට වෙනස් ව වාර්තා කර තැබීමයි. මෙම
වාර්තා සකස් කළ රජයේ නිලධාරීන් තම ඉහළ නිලධාරීන් සතුටු කිරීමේ අදහසින් නිවැරදි
නොවන තොරතුරු ඉදිරිපත් කළ අවස්ථාද ඇත. තවද ඒ අනුව බටහිර චින්තනය අනුව ඉංග්‍රීසි
සභ්‍යත්වය ඉතා උසස් ලෙසත් ලාංකේය සභ්‍යත්වය පහත් තත්ත්වයකටත් ඇද දමා ඇති ආකාරයක්
ඉන් ගම්‍ය වේ. කෙසේ වෙතත් සමකාලීන ව සේවයේ නියුතු වූ නිලධාරීන් ලැබූ අත්දැකීම්,
සාක්‍ෂි ලෙස වාර්තා කර තැබීම හේතුවෙන් මෙම පරිපාලන වාර්තා ප්‍රායෝගික මූලාශ්‍රයක්
ලෙස දැක්විය හැකි ය.
No comments:
Post a Comment