Thursday 15 April 2021

“1924 ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක‍වීමේ දී පැවති දුෂ්කරතා”

 

 

 


ශ්‍රී

 ලංකාවේ සමාජ, ආර්ථීක හා දේශපාලන යන අංශවල මහා පෙරළියක් සිදු වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ය. එම තත්ත්වයට අවශ්‍ය මූලික පසුබිම ක්‍රමිකව ඇති කරන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාර්ගයෙන් ලාංකීය ජන සමාජයට එන්නත් කිරීමට යටත් විජිත පාලකයන් සමත් විය. මෙහිදී අවධානයට යොමු කෙරෙන 1924 මැනිං ඩොවොන්ෂයර් ආණ්ඩුක්‍රමය එම ගමනේ එක් සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. මෙම ආණ්ඩුක්‍රමය 1920දී ඇති කරනු ලැබූ පළමු මැනිං ආණ්ඩුක්‍රමයේ ම පරිණාමයක් වන අතර ලාංකිකයන්ගේ සෑහීමට පත් නොවන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවට ලබා දෙන ලද එක් තාවකාලික විසඳුමක් ලෙස ද සැලකිය හැක.

මෙම ආණ්ඩුක්‍රමයේ පැවති විශේෂිත අංගයක් වූවේ කාරක සභා ක්‍රමයයි. එහිදී ප්‍රබල ම කාරක සභාව වූ මුදල් කාරක සභාව මෙකල අනුශාසක මණ්ඩලයක් බවට පත් වූ අතර ප්‍රදේශීය ඡන්දයෙන් තෝරා ගන්නා ලද මන්ත්‍රීවරු මුදල් පිළිබඳ කාරක සභාවේ දී මෙන් ම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේදී ද ප්‍රබලව ක්‍රියා කළහ. කාරක සභාවල දී ආණ්ඩුවේ සියළුම ප්‍රතිපත්ති හා යෝජනාවන් සාකච්ඡාවට භාජනය විය. ඉතා ම වැදගත් වූ කටයුත්ත හැර අන් සෑම කටයුත්තක් ම නිල ලත්, නිල නොලත් මන්ත්‍රීන්ගේ එක්වීමෙන් බිහි වූ තිරණයක ප්‍රතිඵලයක් විය. දුබල ආණ්ඩුවකට මන්ත්‍රී මණ්ඩලයේදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු වූ අතර මේ සඳහා උපක්‍රමශීලී ව විධායක මාණ්ඩලිකයන් විසින් ව්‍යවස්ථාදායක සභාවට ලඟාවීමට උමං මාර්ගයක් සේ මුදල් කාරක සභාව භාවිත කළහ.

මුදල් කාරක සභාව සකස් වී තිබුණේ කොටස් වශයෙන් වුවද ආණ්ඩුවට සහයෝගය ලබා ගත හැකි අන්දමෙනි. මුදල් පිළිබඳ කාරක සභාවේදී හත් අට දෙනෙකුගේ ඡන්දය ලැබීමෙන් මන්ත්‍රණ සභාවේදී එම යෝජනාව කෙසේ හෝ අනුමත කරගත හැකි විය. ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ගය ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේදී කවර අන්දමින් පිළිගැනේ දැයි විමසා බැලීමට ද මුදල් කාරක සභාව ආණ්ඩුව විසින් ප්‍රයෝජනයට ගනු ලැබීය. මේ හේතුවෙන් මන්ත්‍රණ සභාවේ සැසි නොපවත්වන කාලයේ දී අතිරේක වැය ශීර්ෂ අනුමත කිරීමට පිහිටුවනු ලැබූ මුදල් පිළිබඳ අතිරේක වැය ශිර්ෂ අනුමත පිහිටුවනු ලැබූ මුදල් කාරක සභාව වෙත වෙනත් කාර්යයන් ද පැවරිණි. මෙලෙස මුදල් කාරක සභාවේ බලතල ක්‍රමයෙන් වැඩි වී යාම කෙරෙහි ඇතැම් අයගේ විවේචන ද එල්ල විය. යම් යෝජනාවක් මණ්ත්‍රණ සභාවට ඉදිරිපත් කිරීමට ප්‍රථම සෑම අවස්ථාවකදීම විධායක මණ්ඩලය මුදල් පිළිබඳ ව කාරක සභාවෙහි අදහස් අනුව ක්‍රියාකිරීමට වෑයම් කිරීම නිසා විධායක මණ්ඩලයේ බලය පිරිහෙන්නට වූ අතර මුදල් පිළිබඳ කාරක සභාව ක්‍රමයෙන් බලවත් වන්නට විය.

රාජ්‍ය මන්ත්‍රණ සභා නීති රීති අනුව මුදල් පිළිබඳ කාරක සභාව මගින් අනුමත කරනු ලබන වැය ශීර්ෂයක් විවාද රහිතව ව්‍යවස්ථදායක මන්ත්‍රී මණ්ඩලය විසින් පිළිගත යුතු ය. සාමාන්‍යයෙන් සිදු වූවේ මුදල් කාරක සභාවේදී සම්මත වූ වැය ශීර්ෂයක් අනිවාර්යයෙන් ම ව්‍යවස්ථාදායක සභාව තුළ අනුමත වීමයි. මැනිං ආණ්ඩුක්‍රමය ඇරඹි කාල පරිච්ඡේදයට වඩා මෙවැනි අතුරු වැය ශීර්ෂ වාර්ෂිකව වැඩි වන්නට විය. මීට හේතු වූවේ නිල නොලත් මන්ත්‍රීවරු දෙපාර්තමේන්තුවල අතුරු වැය ශීර්ෂයන් ඉදිරිපත් කිරීමයි. ඒ අනුව 1925 දී රු 13,873,771.94 වූ වැය 1928 ක් වන විට 65,1313,136.89 දක්වා වූ වැය වැඩිවීමෙන් කාරක සභාව විසින් අනුමත කළ මුදල් ප්‍රමාණයෙන් වැඩි වීම හඳුනාගත හැකිය.

මුදල් කටයුතුවල දී පමණක් නොව ඕනෑම පාලන කටයුත්තක් සඳහා ම ආණ්ඩුව උපදෙස් පතා කාරක සභාවට යෑමට පුරුදු වීම අවසාන කාලයේ දක්නට ලැබුණි. එහිදී රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අදාල කාරක සභාවේ විමර්ශන කටයුතු සඳහා ගෙන්විය හැකි වූ අතර බොහෝ විට සිදු වූවේ දේශීය මන්ත්‍රීවරුන් විසින් උසස් තනතුරු දරන යුරෝපීය නිලධාරීන් කාරක සභාව තුළදී ඉතා අනවශ්‍ය ලෙස අපහසුතාවයට පත් කරමින් හා විවේචනයට ලක් කරමින් විමර්ශනය කිරිමයි. මේ හේතුවෙන් ම මෙම ක්‍රමය කෙරෙහි රාජ්‍ය නිළධාරීන්ගේ කෝපය මෙන් ම අසහනයක් ආරම්භයේ සිට ම දක්නට ලැබුණි.

මීට අමතරව මන්ත්‍රීවරු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සැසිවාර සඳහා සහභාගීවීමට වඩා ස්ථාවර කමිටු වාර සඳහා සහභාගීවීමට උනන්දු විය. මේ හේතුවෙන් ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සැසි වාර පැවැත්වීම සඳහා අවශ්‍ය ඝන පූර්ණය ද බොහෝ අවස්ථවලදී නොමැති වූ අතර එක් එක් මන්ත්‍රීවරු ස්ථාවර කමිටු කීපයක සාමාජිකත්වය දරනු ලැබීය. මෙම ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වූ අවසාන කාලය පමණ වන විට කමිටු 55ක් වැනි විශාල ප්‍රමාණයක් තිබීම තුළින් මෙහි වර්ධනය අවබෝධ කර ගත හැක.

1924 ආණ්ඩුක්‍රමය මගින් දේශපාලන බලය එනම් ව්‍යවස්ථාදායක බලය ලාංකිකයින් සතුකර තිබුණද දේශපාලන වගකීම්, එනම් විධායක අංශය බ්‍රිතාන්‍යයින් සතුව තිබුණි. මේ ආකාරයට බලය හා වගකීම් විතැන් කර තිබීම මේ ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වීමේ දී පැවති ප්‍රධානතම දුෂ්කරතාවයක් ලෙස හැඳින්විය හැක.

තවද මෙම ආණ්ඩුක්‍රමයේ ක්‍රියාත්මක වූ සීමිත ඡන්ද ක්‍රමය මෙහි ඇති අනෙක් දුර්වලතාව ලෙස සැලකිය හැකිය. එනම් ඡන්දය සම්බන්ධයෙන් සීමාවන් පැවතුණි. එම සීමාවන්ගෙන් මිදුණු අතලොස්සකට පමණක් එදා ඡන්ද බලය හිමි විය. උගත්කම, ධනවත්කම, ස්ත්‍රී පුරුෂ භවය යනාදිය එකල ඡන්දය සම්බන්ධයෙන් පැවති සීමාවන්ය. එබැවින් සීමිත ඡන්ද ක්‍රමය යටතේ නියෝජිතයින් තෝරා ගැනීම මගින් දේශපාලනයට සම්බන්ධ වූවේ උගත්, ධනවත් පුරුෂ පක්‍ෂය පමණි. 1924 මැතිවරණය පවත්වන විට ලංකාවේ සියලු ඡන්ද කොට්ඨාස සඳහා ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව වූයේ 204957 පමණි. එය එදා මුළු ජනගහනය වූ පනස්‌ ලක්‍ෂයෙන් 4% පමණි.

අධිරාජ්‍යවාදී පාලකයින් විසින් තම පාලනයේ පහසුව සඳහා හඳුන්වා දුන් වාර්ගික නියෝජන ක්‍රමය හේතු කොට ගෙන ජනවර්ග අතර වාර්ගිකත්වය ඉස්මතු වී අසමගිකමක් ඇති වී ජාතිවාදය වර්ධනය වී තිබුණි. තවද 1924 ඔක්තෝබර් 15 වැනිදා පිහිටුවන ලද මෙම ආණ්‌ඩු ක්‍රමය තුළ නිල නොලත් මන්ත්‍රීන් සංඛ්‍යාව බහුතරයක්‌ වුවද ඔවුනට බලතල අහිමි වීමත් ආණ්‌ඩුකාරයාට අසීමිත බලයක්‌ හිමි වීමත් නිසා ආණ්ඩුක්‍රම සංශෝධන සඳහා උද්ඝෝෂණ නිතැතින්ම ඇති විය.  මැනිං ආණ්ඩුකාරයාගෙන් පසු 1925 දී ආණ්ඩුකාර ධුරයට පත් ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ් විසින් ද මැනිං ආණ්ඩු ක්‍රමය දුර්වලතා අවබෝධ කොටගෙන සිටියේ ය. ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීන් වැඩි ගණනක් සිටි බැවින් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීමට හෝ ඉඩ ඇති බැවින් තමන්ට හෝ තමන්ගේ නිලධාරීන්ට අවශ්‍ය යෝජනා සම්මත කර ගැනීමට අපහසු බව ඔහුට අවබෝධ විය. ඔහු ඒ බව යටත් විජිත ලේකම්වරයාට වාර්තා කළ අතර ඒ පිලිබඳව සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ත්‍රී පුද්ගල රාජකීය කොමිසමක් ලංකා‍වට එවනු ලැබූ අතර එහි ප්‍රධානියා වූ ඩොනමොර් සාමිගේ නමින් එය හඳුන්වනු ලැබීය. එහි නිර්දේශ මත ක්‍රියාත්මක කරන ලද ඩොනමෝර් ආණ්ඩුක්‍රම‍ය හේතුවෙන් 1924 මැනිං ඩොවොන්ෂයර් ආණ්ඩුක්‍රමය 1931 වසරේ සිට අවලංගු කෙරුණි.

No comments:

Post a Comment