Monday 15 March 2021

“යටත් විජිතවාදයේ බිඳ වැටීමට, දෙවන ලෝක යුද්ධයේ බලපෑම”


දෙවන ලෝක මහා සංග්‍රාමය හේතුවෙන්, බටහිර යුරෝපයේ යටත් විජිත අධිරාජ්‍යයන් විනාශයට පත් විය. සරලව ම දැක්වුවොත් දෙවන ලෝක යුද්ධය යනු යුරෝපයේ ඇති වූ සිවිල් යුධ මාලාවක් වේ. දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වූ සියලු ම රාජ්‍යයන් සෙසු ප්‍රශ්න පසක තබා ස්වකීය සකලවිධ සම්පත් යොදා ගනිමින් යුද්ධයට අවතීර්ණ විය. මෙහි ප්‍රතිඵලය වූවේ බොහෝ රටවල ආර්ථිකයන් විනාශ වීමයි. යුරෝපය සුන්බුන් වී කෑලිවලට කැඩී ගොස් විසිරිණ. නාසිවාදය හා පැසිස්ට්වාදය හේතුවෙන් යුරෝපයේ ශිෂ්ට සම්පන්න බව අභියෝගයට ලක් විය. ෆ්‍රැන්සිස් ෆුකුයාමා පවසන්නේ “ලෝක යුද්ධ දෙකෙහි දී දක්නට ලැබුණු යුරෝපියානු රාජ්‍ය පද්ධතියේ ස්වයං ඝාතක විනාශකාරී බව මඟින් බටහිර සුපිරිතා තාර්කිකත්වය පිළිබඳ අදහස බොරු කල අතර 19වන සියවසේ දී යුරෝපීයයන්ට සුවිශේෂී වූ ශිෂ්ට බව හා අශිෂ්ට බව පිළිබඳ වෙනස, නාසි ඝාතක කඳවුරුවලින් පසු නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීම අපහසු වූ බවයි”  නමුත් ඇමරිකා එක්සත් ජනපදය පමණක් ධනවාදී ලෝකයේ කිසිවකුගේ අභියෝගයකට ලක් නොවන සුපිරි බලවතා බවට පත් විය. ඒ අතරම යුද්ධය විසින් ඒ තාක් පැවති අධිරාජ්‍යවාදී යුගය තීරණය කළ යටත් විජිත ක්‍රමය බිඳ දමනු ලැබීය. නව යටත් විජිතවාදය දක්වා සිදු වූ මෙම පරිවර්තනයට සමගාමීව එතෙක් අධිරාජ්‍යවාදී රටවල් අතර පැවති එදිරිවාදිකම්, අධිරාජ්‍යවාදී බලවත් රටවල් අතර එකමුතුවක් බවට පරිවර්තනය විය. ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වය යටතේ පැරණි අධිරාජ්‍ය එක් අධිරාජ්‍ය පද්ධතියක් තුළට ගොනු විය. 

පැහැදිලිව ම ප්‍රකාශ කලතතොත්, දෙවන ලෝක යුද්ධය යනු යටත් විජිතවාදය විසරණය කිරීමට බලපානු ලැබූ ප්‍රබලතම සාදයක බවට හඳුනා ගත හැක. ඒ අනුව යටත් විජිත බලවතුන් විසින් තම යටත් ප්‍රදේශ නිර්යටත්විජිත කරණය (Decolonization) කිරීමේ කාර්යය කිරීම සිදු කරනු ලැබුවේ ඒ පිළිබඳව කිසිදු අදහසක් නොමැති අවස්ථාවක් වන දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව ඇති වූ සිදු වීම් සමග ය. දෙවන ලෝක යුද්ධය ඇති වූවේ ඉතාලිය හා ජපානය, ජර්මන් ව්‍යාප්තවාදය සමඟ ඒකාබද්ධ වීමත් සමග ය. යුරෝපයේ නැගී එන බලවතුන් වූ ජර්මනිය හා ඉතාලිය හමුවේ යුරෝපා බල තුලනය අස්ථාවර විය. ඒ හේතුවෙන් මෙතෙක් යටත් විජිත බලවතුන් ව සිටි බ්‍රිතාන්‍ය, ප්‍රංශය, පෘතුගාලය, නෙදර්ලන්තය ඇතුළු යුරෝපා රටවලට, නව යුරෝපා බලවතුන් අභියෝග කරන්නට විය. එම අභියෝගය හුදෙක් එම රටවලට පමණක් සීමා නොවූ අතර එය පැරණි අධිරාජ්‍යවාදයට හා යටත් විජිතවාදයට ද කරනු ලැබූ අභියෝගයක් විය. ඒ අනුව දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව හා සෝවියට් දේශය හැරුණු විට අනෙකුත් සියලු ම මිත්‍ර පාක්ෂික රටවල්, එතෙක් ලෝක දේශපාලනය හැසිර වූ බටහිර යුරෝපා රටවල් විය. යුද්ධය අවසාන වන විට සියලු ම අධිරාජ්‍යවාදී රාජ්‍යයන් ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ඉතා දුර්වල තත්ත්වයකට පත් විය. 

ඊට අමතරව දෙවන ලෝක යුද්ධය අවසානයේ දී පැවති අධිරාජ්‍යවාදී බලවතුන් අභිබවා යමින් ආර්ථික හා යුද ශක්තිය අතින් ප්‍රබල ඇමරිකාව හා සෝවියට් දේශය නව සුපිරි බලවතුන් දෙදෙනෙකු ලෙස වර්ධනය විය. එය ද යටත් විජිතවාදයේ බිඳ වැටීමට තවත් එක් හේතුවක් විය. මන්ද යත් ඇමරිකාව හා සෝවියට් දේශය යටත් විජිතවාදය ප්‍රතික්ෂේප කල රාජ්‍යයන් වීමයි. ඇමරිකාවේ මතය වූවේ යටත් විජිතවාදයට උදව් කිරීමට තමන් අකමැති බවයි. විශේෂයෙන් ම දෙවන ලෝක යුද්ධ අවසාන කාලයේ එවකට බ්‍රිතාන්‍යයේ අගමැති ව සිටි වින්සන් චර්චිල්ගේ අදහස වූවේ බ්‍රිතාන්‍ය යටත් විජිත තව දුරටත් පවත්වා ගත යුතු බවයි. නමුත් එම මතයට විරුද්ධ වූ එවකට ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් ප්‍රකාශ කරනු ලැබුවේ සියලු ම යටත් විජිතවලට නිදහස ලබා දිය යුත් බවයි. එය වක්‍රව බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා ලන්දේසි යටත් විජිත බලයන්ට මහත් පාඩුවක් ද වූ බව ප්‍රංශ ජනාධිපති ජනරාල් ඩිගෝල් 1964 දී කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පැහැදිලි වේ. ඔහු එම අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ “අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් හෝ දැඩි කොන්දේසි යටතේ, යටත් විජිතවාදී රටවල් සිය යටත් විජිතවල ජනතාවට බලය පවරා දුන් හෑම තැනක ම වොෂින්ටනයේ බලපෑම නියම ලෙස හෝ අනියම් ලෙස දැනෙන්නට වූ බවයි” මෙයින් පෙනී යන තවත් වැදගත් කරුණක් වන්නේ දෙවන ලෝක යුද්ධය හමුවේ අසරණ වූ බටහිර යුරෝපා බලවතුන්, ඇමරිකානු බලපෑම හමුවේ තම යටත් විජිත අත් හැරි බවත්, ඒත් සමඟ ඇති වූ රික්තකය අවස්ථාවක් කර ගනිමින් අදාළ කලාපවල තම බලය ව්‍යාප්ත කිරීමට ඇමරිකාව කටයුතු කරන ලද බවත් ය.

තවද අනෙක් සුපිරි බලවතා වූ සෝවියට් දේශය ඉතා ප්‍රබල ලෙස ම යටත් විජිතවාදයට විරුද්ධ වූ අතර බොහෝමයක් යටත්විජිතවල ඇති වූ ජාතික විමුක්ති අරගලවලට සහයෝගය ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව බැලීමේ දී පෙනී යන්නේ දෙවන ලෝක යුද්ධය මෙන්ම ඒ හේතුවෙන් ඇති වූ නව සිපිරි බලවතුන් දෙදෙනා විසින් එතෙක් යටත් විජිත බලවතුන් ව සිටි රාජ්‍යයන් අභිබවා යාම යටත් විජිතවාදයට එල්ල වූ ප්‍රබලතම බාධකය වූ බවයි. 

ඊට අමතරව යටත් විජිතවාදී රටවල් යුද්ධයෙන් අනතුරුව ආර්ථිකමය වශයෙන් බංකොලොත් වීම යටත් විජිතවාදය බිඳ වැටීමට බලපාන ලද ප්‍රබලතම සාදයක ලෙසින් හඳුනා ගත හැක. දෙවන ලෝක යුද්ධය‍ හේතුවෙන් කාර්මික වශයෙන් මෙන් ම යුදමය ශක්තිය අතින් ද ඉදිරියෙන් සිටි බටහිර යුරෝපීය රාජ්‍යයන්ගේ ආර්ථිකය මෙන් ම අධිෂ්ඨානය ශීඝ්‍රයෙන් පිරිහෙන්නට විය. විශේෂයෙන්ම 1945 වන විට ලොව ප්‍රමුඛතම යටත් විජිත බලවතා වූ බ්‍රිතාන්‍යය මහා බලවතෙකුගේ තත්ත්වයෙන් පහත වැටෙන්නට විය. 1914දී බ්‍රිතාන්‍ය පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූවේ ලෝකයේ ඉතාමත් ම ධනවත්, ලෝක මූල්‍ය උල්පත හා ලෝකයට ණය දෙන පොහොසතා වශයෙනි. නමුත් වෙන ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය රජය විසින් පල කරන ලද නිල වාර්තාවලට අනුව 1945වන විට බ්‍රිතාන්‍ය වත්කමෙන් 1/4ක් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ක්ෂය වී ගොස් ඇත. එවකට වටිනාකමින් පවුම් කෝටි 3000ක් වූ බ්‍රිතාන්‍ය වත්කමින් පවුම් කෝටි 724ක් යුද්ධයට වැය වී තිබුණි. පවුම් කෝටි 111ක බ්‍රිතාන්‍ය විදේශ ව්‍යාපාර විකුණා යුද්ධායුධ, අමුද්‍රව්‍ය හා ආහාර ලබා ගෙන ඇත. පවුම් කෝටි 145ක දේපළ විනාශ වී ඇත. 1939දී පවුම් කෝටි 713ක් වූ බ්‍රිතාන්‍යයේ ජාතික ණය ප්‍රමාණය 1945 වන විට පවුම් කෝටි 2136 විය. බ්‍රිතාන්‍යයේ විදේශ වෙළඳාම 2/3කින් සෝදා පාළු වී ගියේ ය. බ්‍රිතාන්‍ය ආර්ථිකය යළි ප්‍රතිසංස්කරණය කල නොහැකි අන්දමින් ව්‍යුහයෙන් ම විකෘති විය. දෙවන ලෝක යුද්ධය අවසානයේ ඉතිරි වූවේ ආර්ථිකමය වශයෙන් බංකොලොත් වූ, දේශපාලනව ගිලන් වූ, ජාත්‍යන්තරව නිවට වූ, වංශය කබල් ගාන, නටබුන් අධිරාජ්‍යයක් හා පොදු රාජ්‍ය මණ්ඩලයකි.

යටත් විජිත බලවතුන්ගේ රාජ්‍යයන් අභ්‍යන්තරයෙන් ම ඇති වූ ප්‍රතිවිරෝධතා හේතු කොට ගෙන ද ඔවුන් ක්‍රමයෙන් තම යටත් විජිත කෙරෙහි නම්‍යශීලී වන්ට විය. ඒ හේතුවෙන් ම යුරෝපයේ ප්‍රමුඛතම යටත් විජිතවාදී බලවතුන් වූ බ්‍රිතාන්‍ය හා ප්‍රංශය තම යටත් විජිත රැක ගැනීමට ඇමරිකාවේ ආධාර අපේක්ෂා කෙරූ නමුත් වැදගත් වන අවස්ථාවලදී හැර ඇමරිකානු මැදිහත් වීම් යටත් විජිත කෙරෙහි එල්ල නොවීය. ඒ අතරින් සුවිශේෂී වූයේ බ්‍රිතාන්‍යයන් ය. මන්ද යත් දෙවන ලෝක යුද්ධය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ හා අධිරාජ්‍යවාදයේ දිය වීම තීරණය කරනු ලැබීය. දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමඟ බ්‍රිතාන්‍යයන් තම යටත් විජිතවලට නිදහස ප්‍රදානය කරන්නට විය. 1945දී බලයට පත් කම්කරු පක්ෂ රජය උදා වී ඇති තත්ත්වය හොඳින් තේරුම් ගනිමින් යථාර්ථයට යෝග්‍ය පරිදි තම යටත් විජිතවලින් නිදහස් වීමට තීරණය කරනු ලැබීය. පෙරදිග බ්‍රිතාන්‍ය යටත් විජිත නිදහස් වූයේ මේ අන්දමිනි. නිර්යටත්විජිත ක්‍රියාවලිය බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කිරීමට එක් ප්‍රධානතම හේතුවක් වූයේ තම රටේ අභ්‍යන්තරයෙන් ම එල්ල වූ ප්‍රතිවිරෝධතාවන් ය. අනෙක් හේතුව වූයේ යටත් විජිතවලින් නැගුණ ප්‍රබල ප්‍රතිවිරෝධතාවන් ය.

  මෙය අනෙකුත් යටත් විජිත බලවතුන් වූ ප්‍රංශය, නෙදර්ලන්තය වැනි බලවතුන්ට ද පොදු වූ කරුණක් විය. මන්ද යත් යටත් විජිත පාලනය කිරීමට හා ආරක්ෂා කිරීමට විශාල වියදමක් දැරීමට සිදු වූ බැවිනි. එම යටත් විජිත බලවතුන්ට තම යටත් විජිත ආරක්ෂා කර ගැනීමට තබා, තම රටේ අභ්‍යන්තර ආරක්ෂාවද තහවුරු කර ගැනීමට ද අපොහොසත් විය. විරැකියාවෙන් පෙළෙමින් සිටි එම රටවල ජනතාව හා ප්‍රගතිශීලී දේශපාලකයන් අතර යටත් විජිත විරෝධී ආකල්ප මතු වනන්ට විය. නමුත් තම යටත් විජිත කෙරෙහි නම්‍යශීලී වීමේ ආකල්පය බ්‍රිතාන්‍යයන් ඇරුණ කොට අනෙකුත් යටත් විජිත බලවතුන්ගෙන් දක්නට නොවීය. එහි දී ප්‍රංශයන් අනුගමනය කළ ප්‍රතිපත්ති ඉතාමත් ම විනාශකාරී වූ බව පෙනී යයි. මන්ද යත් ප්‍රංශයේ අදහස වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ද තම යටත් විජිත තව දුරටත් පවත්වා ගත යුතු බවයි. ඒ නිසාම ප්‍රංශ යටත් විජිතවල නිර්යටත්විජිත ක්‍රියාවලිය ඉතාමත් ම බිහිසුණු වූ අතර ලේ වැගිරීම් නොකඩවා ම සිදු විය. විශේෂයෙන්ම ප්‍රංශයන්ට අයත් ව පැවති ඉන්දු-චීනයේ හා ඇල්ජීරියාවේ ඇති වූ විමුක්ති සටන් හේතුවෙන් දෙපාර්ශවයට ම ප්‍රබල අලාභ හානි සිදු විය. එය ප්‍රංශ ආර්ථිකයට හා සමාජයට ප්‍රබල ලෙස බලපානු ලැබීය. ප්‍රංශය තම යටත් විජිත කෙරෙහි නම්‍යශීලී වන්නට පටන් ගත්තේ 1956දී හතර වන ප්‍රංශ සමූහාණ්ඩුව බිඳ වැටී චාල්ස් ඩිගෝල් නායකත්වයට පත් වීමෙන් පසුව ය. 

යුරෝපයෙන් පිටත තම යටත් පිහිටුවීමේ ආරම්භකයා වූ පෘතුගාලයේ නිර්යටත්විජිත ප්‍රතිපත්ති කෙරෙහි ද අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වේ. ඔවුන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ද තම යටත් විජිත සඳහා නිදහස ප්‍රදානය කිරීමට උනන්දු නොවීය. ඊට ප්‍රධානතම හේතුවක් වූයේ 1974වන තෙක් ම එරට පාලනය ඒකාධිපති පාලකයෙකු යටතේ පැවතීමත්, පෘතුගාල රජය විසින් ගෙන ගිය අනිවාර්ය යුධ සේවා ක්‍රමය (Conscription) යටතේ සෙසු යටත් විජිත තවදුරටත් පවත්වා ගැනීමට හැකි වීමත්, අවිබලය යොදවා යටත් විජිත පාලනය කිරීමට ඒකාධිපති පාලනයේ තිබූ කැමැත්තත් යන කරුණු ය. නමුත් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් පෘතුගීසි යටත් විජිතවල ඇති වූ ජාතික ව්‍යාපාරවල ප්‍රබෝධය මර්දනය කිරීමට, එම පෘතුගීසි ප්‍රතිපත්තිවලට නොහැකි වූ අතර සිදු වූ එකම දෙය වූවේ යටත් විජිතවල ප්‍රතිවිරෝධය තවදුරටත් උග්‍ර වීමයි. ඒ අනුව පෘතුගීසීන්ට අයත් ව පැවති ඇන්ගෝලාවේ, ගිනිබිසව් රාජ්‍යයේ හා මොසැම්බික් යන රටවල ප්‍රබල නිදහස් අරගල ඇති විය. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව වුවද බටහිර යුරෝපා රටවල් විසින් තම යටත් විජිත තවදුරටත් පවත්වාගෙන යාමට තිබූ කැමැත්තට එල්ල වූ ප්‍රබලතම අභියෝගය වූවේ දෙවන ලෝක යුද්ධයේ බලපෑමත් සමඟ යටත් විජිතවල ඇති වූ ජාතික ව්‍යාපාරවල වර්ධනය හා නිදහස් අරගලවල ප්‍රබෝධයයි. එය යටත් විජිත බලවතුන්ට විදින්නට සිදු වූ ප්‍රබලතම අභියෝගය ද විය. යටත් විජිත රටවල ඇති වූ ජාතික ව්‍යාපාර දෙවන ලෝක යුද්ධයට පෙර සිටම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතියත්, ඒවා එතරම් ප්‍රබල නොවීය. ඊට හොඳම උදාහරණය වූවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාවයි. මන්ද යත් එම රටවල් දෙවන ලෝක යුද්ධයට පෙර ඉල්ලා සිටියේ පූර්ණ නිදහස නොව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් අර්ධ ස්වයං පාලනයයි. නමුත් දෙවන ලෝක යුද්ධයට පසුව බොහෝමයක් රටවල ජාතික ව්‍යාපාර ඉතාමත් ම රැඩිකල් ස්වභාවයක් ඉසිලීය. සමහරක් අවස්ථාවල දී ජාතික ව්‍යාපාර අවි බලය යොදා ගත් විමුක්ති ව්‍යාපාර දක්වා ද වර්ධනය විය. 

යම් යම් යටත් විජිතවල දී හැරුණු කොට බොහෝමයක් යටත් රටවල් දෙවන ලෝක යුද්ධය ඇති වීමට පෙර කාලයේදී, තම යටත් විජිත ස්වාමියාට විරුද්ධව ක්‍රියාත්මක වීමට එතරම් උනන්දු නොවීය. එයට එක් හේතුවක් වූවේ යටත් විජිතවාසීන් තුල වූ දීන ආකල්පයන් හා තම යටත් විජිත ස්වාමිවරුන් උත්කෘෂ්ට ජාතියක් බවට වූ ආකල්පයන් ය. ඒ හේතුවෙන් ම ප්‍රබල ජාතීන් වූ යටත් විජිත බලවතුන්ට එරෙහිව සටන් කිරීමට තරම් හැකියාවක් තමන්ට නොමැති බව යටත් විජිතවාසීන්ගේ ආකල්පය විය. මීට හොඳම උදාහරණය වන්නේ ප්‍රබල යටත් විජිත විරෝධී ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ ඉන්දියාවේ පවා එහි නායකත්වය ඉසිලූ මහත්මා ගාන්ධි තුමාගේ ඉල්ලීම ද වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී රාමුව තුල වූ ස්වයං පාලනයකි. නමුත් බටහිර යටත් විජිත බලවත් ජාතීන් කෙරෙහි වූ එම දීන ආකල්ප දෙවන ලෝක යුද්ධයත් සමඟ යටත් විජිතවාසීන්ගේ මනස් තුලින් ක්ෂය වන්නට විය. ඊට එක් හේතුවක් වූවේ ආසියාතික ජාතියක් වූ ජපානය විසින් තනිවම 1941-42 අතර කාලයේදී ආසියාව තුළ දී ම ප්‍රබල යුරෝපා ජාතීන් වූ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය හා ඇමරිකාවද පරාජයට පත් කිරීමයි. ඒ අනුව සියලු ම යුරෝපා යටත් විජිත ජාතීන් ජපානය හමුවේ පරාජය විය. අග්නිදිග ආසියාවේ බටහිර ජාතීන් සතු වූ සියලු ම යටත් විජිත තම ග්‍රහණයට ගැනීමට ජපානය සමත් වූ අතර කොළඹ දක්වා ම තම ප්‍රහාර දීර්ඝ කිරීමට ද ජපානයට හැකි විය. යුරෝපා ජාතීන් ලැබූ එම යුද පරාජයන් සමඟ එතෙක් යුරෝපීයයන් සතු වූ උත්තරීතර බව පිළිබඳ වූ ආකල්ප ක්ෂය වන්නට විය. ජපන් ජයග්‍රහණ ආසියාතික යටත් විජිතයන්හි ජාතික ව්‍යාපාරවලට ප්‍රබල උත්තේජනයක් විය. තම යටත් විජිත පවා දී පළා ගිය අධිරාජ්‍ය පාලකයන්ට ආපසු ඒමට ඉඩ නොදෙන ව්‍යාපාර මෙම යටත් විජිතවල ඇති විය. එසේ ම සුදු පාලකයන් නොමැතිව ජීවත් විය හැකි බව එම අත්දැකීම් මඟින් ඔප්පු විය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ ආසියාවේ බොහෝමයක් ජාතික ව්‍යාපාරවලට මාර්ගෝපදේශය ලබා දුන් ඉන්දියානු ජාතික ව්‍යාපාරය තව දුරටත් තීව්‍ර වීම යි.

ඊට අමතරව දෙවන ලෝක යුද්ධයේදී යුරෝපා ජාතීන්ගේ හමුදාවල සේවය සඳහා ඉදිරිපත් වූ යටත් විජිත රටවල යුධ සෙබළුන් යුද්ධය අවසාන වීමෙන් අනතුරුව නැවත තම මව් රට වෙත යාමෙන් අනතුරුව තම තමන්ගේ අත්දැකීම් එම රටවල ජාතික ව්‍යාපාර සඳහා ද යොදවන ලදි. තවද බටහිර රටවල අධ්‍යාපනය ලැබූ උගතුන් විසින් යටත් විජිත රටවල ක්‍රියාත්මක වූ ජාතික ව්‍යාපාර සඳහා නායකත්වය දීම  ප්‍රබලව සිදු වූවේ ද දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ය. උදාහරණයක් ලෙස ඉන්දියාවේ පළමු අගමැතිවරයා වූ ජවහල්ලාල් නේරු එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු වූ අතර ලංකාවේ ප්‍රකට අගමැතිවරයෙකු වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගනුම ලැබූවෙකු විය. එකල ලොව සිටි කීර්තිමත් ම ආර්ථික විශේෂඥයන් දස දෙනාගෙන් එක් අයෙකු හා ලංකාවේ නිදහස් අරගලයේ ප්‍රමුඛයෙකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා එංගලන්තයේ London School of Economy නම් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු වූ අතර එහි දී ඔහුගේ ගුරුවරයා වූයේ ලොව ප්‍රකට දේශපාලන හා ආර්ථික විද්‍යාඥයෙක් වූ හැරල්ඩ් ලැස්කිය. ඊට අමතරව ලංකාවේ ජේ. ආර්. ජයවර්ධන, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, මැලේසියාවේ මහතීර් මෙහොමඩ්, පකිස්තානයේ මොහොමඩ් අලී ජින්නා, කොංගෝවේ පැට්‍රික් ලුමුම්බා ආදීන් බටහිර රටවල අධ්‍යාපනය ලැබූවන් විය. මීට පෙර යටත් විජිතවාසී රටවල සිටි බුද්ධිමතුන් සිතා සිටියේ යටත් විජිතවාදය යනු ප්‍රගතිශීලී බලවේගයක් වන බවත් ඒ හේතුවෙන් එයට විරුද්ධ නොවිය යුතු බවත් ය. නමුත් දෙවන ලෝක යුද්ධයත් සමඟ බටහිර යුරෝපා ජාතීන්ගේ ම්ලේච්ඡත්වය ඉස්මතු වීමත් සමඟ යටත් විජිතවාසීන් විසින් යටත් විජිත ස්වාමිවරුන් කෙරෙහි දැක්වූ යටහත් පහත් භාවය හා යටත් විජිත භාවය සාධාරණය කිරීම යන ආකල්ප සංශෝධනය කර ගනිමින් එයට අභියෝග කරන්නට ද ඉදිරිපත් විය. 

මේ ආකාරයට දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ආසියා, අප්‍රිකා හා ලතින් ඇමරිකාවේ උත්සන්න වූ යටත් විජිත විරෝධී විමුක්ති ව්‍යාපාර මර්දනය කිරීමට තරම් ශක්තියක් යටත් විජිත බලවතුන්ට නොවීය. මන්ද යත් ඒ වන විටත් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් එම යුරෝපා යටත් විජිත බලවතුන් දැඩි ලෙස හෙම්බත් වී සිටීමයි. බ්‍රිතාන්‍යයන් එම තත්ත්වය පළමු ලෝක යුද්ධය අවසානයේ සිටම හඳුනා ගත් අතර දෙවන ලෝක යුද්ධය එය ඉක්මන් කරවනු ලැබීය. බ්‍රිතාන්‍යයන්ගෙන් පසුව අනෙකුත් යුරෝපා යටත් විජිත බලවතුන් ද තම යටත් විජිතවලට ක්‍රමයෙන් නිදහස ලබා දෙන්නට විය. එලෙස නිදහස ලබා දීම සඳහා දෙවන ලෝක යුද්ධය ඍජුව මෙන්ම වක්‍රව ද ප්‍රබල බලපෑමක් අති කරනු ලැබූ බව ඉහතින් දක්වන ලද කරුණු අධ්‍යනයේ දී අවබෝධ කර ගත හැක. 

එලෙසින් ආරම්භ වූ යටත් විජිතවාදයේ බිඳ වැටීමේ ප්‍රතිඵලයක් වූයේ යටත් විජිතවාදීන්ගේ සූරා කෑමට ලක් වූ බොහෝමයක් රටවල් 1970වන විට ක්‍රමයෙන් නිදහස ලබා ගැනීමයි. මෙලෙස බටහිර යුරෝපා යටත් විජිතවාදී බලවත් රටවල් විසින් තම යටත් විජිතවලට නිදහස ලබා දුන්නේ කැමැත්තෙන් නොව, වෙන කිසිදු විසඳුමක් නොතිබූ බැවිනි. ඒ හේතුවෙන් ම මෙම යටත් විජිත බලවතුන් තම යටත් විජිත ප්‍රදේශවලින් ඉවත් වීමේ දී එම බොහෝමයක් රාජ්‍යයන්වල අභ්‍යන්තර ආරවුල් ඇති කොට ඉවත් විය. 1947දී ඉන්දියාව, 1948දී බුරුමය, පලස්තීනය හා ලංකාව බෙදා පිටවීමේ න්‍යාය උඩ, බෙදුම්වාදී යුද පිටි බවට පත් කොට බ්‍රිතාන්‍යයන් පිට විය. 1947 සිට කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව හා පකිස්ථානය අතර නොනවතින යුද අරගලයකි. 1948 සිට පලස්තීනය යුද පිටියකි. 1948 සිට බුරුමයේ නොකඩවා ම කැරලි වැලකි. ලංකාවේ ද බෙදුම්වාදී ගැටුම් උත්සන්න වී ජාතීන් අතර අන්‍යෝන්‍ය අනවබෝධය වර්තමානය දක්වා ම පවතී. ප්‍රංශ අධිරාජ්‍යයේ වියට්නාමය, ලාඕසය හා කාම්බෝජය යන රාජ්‍යයන් 1954 සිට බෙදුම්වාදී කුමන්ත්‍රණ හේතුවෙන් ලේ ගලා යන බෞද්ධ රටවල් සමූහයක් බවට පත් විය. 1950 සිට කොරියාව යුද පිටියක් හා පරමාණු අවි අත්හදා බැලීමේ පිටියක් වී ඇත. වියට්නාමය තිස් වසරක යුද්ධයෙන් හාන ලද මඩ වගුරක් බදු විය. නෙදර්ලන්තය සතුව පැවති ඉන්දුනීසියාව අධිරාජ්‍යවාදයේ කැලෑ කොන්ත්‍රාත්තුවක් විය. මේ ආකාරයෙන් බැලීමේ දී පෙනී යන්නේ දෙවන ලෝක යුද්ධය හේතුවෙන් යටත් විජිතවාදය බිඳ වැටී සූරා කෑමට ලක් වූ බොහෝමයක් රාජ්‍යයන්වලට නිදහස හිමි වුවත් යටත් විජිත බලවතුන් විසින් ඇති කල අහිතකර ප්‍රතිඵල හේතුවෙන් එම රාජ්‍යයන් තවමත් පීඩා විදිමින් සිටින බවයි. 

No comments:

Post a Comment