Thursday 25 February 2021

“ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමේ, යාන්ත්‍රණයේ ඵලදායීතාව.”




1. හැදින්වීම

2. අයිතිවාසිකම් හැදින්වීම.

3. මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම්

4. මානව අයිතිවාසිකම් සන්දර්භය තුල ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්

4.1. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව හා මූලික අයිතිවාසිකම්

4.2. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්

5. සමාලෝචනය

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය


1. හැදින්වීම


නූතන ලෝකය තුළ අයිතිවාසිකම් යනු ඉතා වැදගත් සංකල්පයකි. හුදෙක් එය සංකල්පීය වශයෙන් පමණක් ම නොව, මානව පැවැත්ම ක්‍රියාකාරී වීමට අත්‍යවශ්‍ය ම කොන්දේසීන් වන බැවිනි. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී සෑම රාජ්‍යයක් තුල ම එම කොන්දේසිවල වැදගත්කම තේරුම් ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් කොට තිබේ.

අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය, ප්‍රධාන වශයෙන් මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් යනුවෙන් හඳුන්වයි. එමෙන්ම අයිතිවාසිකම් දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික වශයෙන් ද වර්ගීකරණයක් කරනු ලබයි. මෙහි දී අයිතිවාසිකම් යනු කුමක් ද? මූලික අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් යනු කුමක් ද? යන්න පිළිබඳව සරල ව අදහස් දැක්වීමක් සිදු කෙරේ. මෙම නිබන්ධනය මගින් සිදු කිරීමට අපේක්ෂා කරනු ලබන මුඛ්‍ය පරමාර්ථය වන්නේ මානව අයිතිවාසිකම් සන්දර්භය තුල ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් හා එහි ස්වභාවය පිළිබඳ විශ්ලේෂණාත්මකව හැදෑරීමකි. 


2. අයිතිවාසිකම් හැදින්වීම.


නිදහස් රාජ්‍යයක් වශයෙන් ජන සමාජය සංවිධානය වූ පසු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වීමටත් රාජ්‍යයන් තුල සාමය සහ නීති ගරුකත්වය ආරක්ෂා කිරීමටත් අවශ්‍ය විය. පෞද්ගලිකව ගත් විට පුද්ගලයාත් පොදුවේ ගත් විට සමස්ත සමාජයෙත් යහපත ආරක්ෂා කිරීම අවශ්‍ය විය. අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය ආරම්භ වනුයේ මෙවැනි පසුබිමක් තුළ ය. අයිතිවාසිකම් පිළිබඳ විවිධ චින්තකයින්, දාර්ශනිකයින් විවිධ අර්ථකථනයන් ඉදිරිපත් කොට තිබේ. පහතින් දක්වා ඇත්තේ එවැනි නිර්වචන කිහිපයකි.


“අයිතිවාසිකම් යනු මිනිසාට තම සමාජ ජීවිතය යහපත් අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය කොන්දේසිය”

- හැරල්ඩ් ජේ ලැස්කි-



“සමාජ ජීවිතයක් ගත කිරීමේ දී ඉටු කළයුතු සමාජ කාර්යයන් සපුරාලීම සඳහා   පුරවැසියන් තුළින් ඉදිරිපත් වන සාධාරණ ඉල්ලීම් අයිතිවාසිකම් වේ”

-ජේ සී වයිල්ඩ්-



“යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන අනුන් අපෙනුත්, අප අනුන්ගෙනුත් අපේක්ෂා කරන සමාජ ඉඩ ප්‍රස්ථාවන් අයිතිවාසිකම් ලෙස හැදින්විය හැක”

-හොබ්හවුස්-



ඒ අනුව අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ අයිතිවාසිකම් වූ කලී හුදෙක් පුද්ගල මමත්වය වර්ධනය කර ගැනීම සඳහා පමණක් පවත්නා දෙයක් නොවන බවයි. අයිතිවාසිකම් කෙනෙකු භුක්ති විදිය යුත්තේ තමන්ගේ මෙන් ම සමස්ත සමාජයේ ද යහපත හා අභිවෘද්ධිය ඇති වන අයුරිනි.


අයිතිවාසිකම් යන සංකල්පය බටහිර ශිෂ්ටාචාරය තුල මුල් බැස ගෙන තිබූ අයුරු දැකිය හැකිය. ඒ අනූව 1215 “මැග්නාකාටාර් මහාධිකරණ පත්‍රය” මානව අයිතීන් පිළිබඳ පළමු වැදගත් ප්‍රකාශනය විය. “මානව අයිතිවාසිකම් නීතියෙහි පිබිදීම උදෙසා 17වන 18වන සියවසයන් හී තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ජින් ජැක් වින් රූසෝ වැනි සමාජ සම්මුතිවාදී දාර්ශනිකයන්ගේ මත පදනම් විය” (පෙරේරා,2001:237). 


“නමුත් මානව අයිතීන් පිළිබඳ ප්‍රචලිත ම ප්‍රකාශනය වූයේ වර්ජීනියා ප්‍රකාශනයයි”(නානායක්කාර,2014:71). එය පුද්ගලයන්ගේ ආවේණික අයිතීන් ප්‍රකාශ කිරීමට 1776දී (1776 ඇමරිකානු නිදහස් සටන) කෙටුම්පත් කරන ලද ලියවිල්ලකි. 1688දී බ්‍රිතාන්‍ය අයිතිවාසිකම් පණත, 1789ද ප්‍රංශ විප්ලවයේ මිනිසා හා පුරවැසියන්ගේ අයිතීන් පිළිබඳ ප්‍රකාශනය ආදීන් වර්තමාන අයිතිවාසිකම් වල පදනම බවට පත් විය.

නූතන මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින් ප්‍රකාශයට පත් කිරීම වැදගත් ම සන්ධිස්ථානය විය. ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය(ICESCR), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය(ICCPR) සහ පසුව කී සම්මුති දෙකට අදාළ වෛකල්පිත සම්මුතීන් දෙකක් අන්තර්ගත කරමින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පණත එළිදැක්වීමත් සමග බලවත් ලෙස ස්ථාවර විය.



3. මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම්


අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් යනුවෙන් ප්‍රභේද දෙකකි. මානව අයිතිවාසිකම් යනු මානවයකු වීම නිසාම මිනිසාට නිසඟයෙන් ම හිමිවන්නාවු අයිතිවාසිකම් ය. වෙනත් ආකාරයකට දක්වන්නේ නම් යම් කිසි පුද්ගලයෙකු මෙලොව එළිය දුටු පසු ඔහුට ආත්මාභීමානයෙන් යුතුව ජීවත් වීම සඳහා අවශ්‍ය සියලු ම සමාජ කොන්දේසි මානව අයිතිවාසිකම් වේ. මේ සම්බන්ධයෙන් දිය හැකි හොඳම නිදසුන වන්නේ 1948 දෙසැම්බර් මස 10වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද මානව හිමිකම් ප්‍රඥප්තියයි. මේ යටතේ වගන්ති තිහක් හා උප වගන්ති රාශියක් දැකිය හැකිය. ජීවත් වීමේ අයිතියේ සිට විද්‍යාත්මක පර්යේෂණ කිරීමේ අයිතිය දක්වා ඉතා පුළුල් පරාසයක විහිදුණ විශාල අයිතිවාසිකම් ප්‍රමාණයක් මේ යටතේ හිමි වේ.(බලන්න: එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය 1948).

ඉහත සඳහන් නිර්වචනය මගින් පැහැදිලි වන්නේ මානව අයිතිවාසිකම් යනු විශ්වීය සදාචාරය මත ගොඩ නගා ඇති අයිතිවාසිකම් පද්ධතියක් වන අතර සෑම මනුෂ්‍යයකුට ම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හිමි වන බවයි. එමෙන්ම සෑම දෙනාට ම සමානත්වයෙන් හිමි විය යුතු අතර එය කිසිවිටකත් කඩකල නොහැකි අතර එසේ කඩකලහොත් එතැන බරපතළ අසාධාරණයක් වන බැවිනි. 

මූලික අයිතිවාසිකම් යනු ඉහතින් පැහැදිලි කරගත් මානව අයිතිවාසිකම් අතුරින් ඒ ඒ රාජ්‍යයන් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කොට තම පුරවැසියන්ට ආරක්ෂා කර දීමට සහතික වී ඇති අයිතිවාසිකම් ය. මෙම අයිතිවාසිකම් ව්‍යවස්ථාමය අයිතිවාසිකම්, නීතිමය අයිතිවාසිකම් යනුවෙන් ද හඳුන්වයි. මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම්වල මෙන් පුළුල් සන්දර්භයක් දැකිය නොහැකිය. මානව අයිතිවාසිකම් විශ්වීය ව්‍යාප්තියක් වන අතර මූලික අයිතිවාසිකම් රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් වෙයි. උදාහරණයක් ලෙස ඇමරිකානූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සියලු ම පුරවැසියන්ට තම ආරක්ෂාව සඳහා ගිනි අවියක් ලඟ තබා  ගැනීමේ අයිතිවාසිකම හිමි කර දුන්නද, වෙනත් කසිදු රාජ්‍යයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පුරවැසියාට මෙම අයිතිවාසිකම හිමිකර දී නොමැත. 



4. මානව අයිතිවාසිකම් සන්දර්භය තුල ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්


මානව අයිතිවාසිකම් අතරින් යම් යම් අයිතිවාසිකම් එක් එක් රාජ්‍යයන් විසින් තම රටේ සාමාජික, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හා වෙනයම් ආවේණික තත්‍වයන්ට උචිත වන ආකාරයට පමණක් ලබාගෙන හෝ එසේත් නැතිනම් අත්‍යවශ්‍යයෙන්ම රැකිය යුතුයයි තමන් පිළිගන්නා අයිතිවාසිකම් ඒ ඒ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර නෛතික ව බලාත්මක කිරීම දැකිය හැකිය. ඒ අනුව මානව අයිතිවාසිකම් සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් හා එහි ස්වාභාවය පිළිබඳ පැහැදිලි කිරීමක් මෙතැනි සිට සිදු කෙරේ.

නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුල මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයක් දැකිය හැකිය. ඇමරිකානූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධන දහය තුලත්, ප්‍රංශය ආණ්ඩුක්‍රමයේ පූර්විකාව ලෙස මූලික අයිතිවාසිකම් ප්‍රකාශනයක් හඳුන්වා දීමත්, ජපාන ව්‍යවස්ථාවේ 3වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුලත් කොට තිබීමත් එවැනි උදාහරණ කිහිපයකි.(බලන්න: ලෝක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1997). 

එමෙන්ම ශ්‍රී ලංකාවේ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවේ 6වන පරිච්ඡේදයේ 18වන වගන්තියේ උප වගන්තිවල මූලික අයිතිවාසිකම් දක්වා තිබෙන අතර 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ 3වන පරිච්ඡේදයේ ද මූලික අයිතිවාසිකම් අන්තර්ගත කොට තිබේ.(බලන්න: ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 1972,1978). මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ වැදගත් කාර්යයක් වශයෙන් පිළිගැනීමත් සමඟ මෙයාකාරයට ලෝකයේ විවිධ රාජ්‍යයන් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් අන්තර්ගත කරන ලදි.


4.1. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව හා මූලික අයිතිවාසිකම්

ශ්‍රී ලංකාව තුල මූලික අයිතිවාසිකම් පිළිබඳ මාතෘකාව පෙරට එන්නේ නිදහසින් පසු කාලයේදීය. “නමුත් නිදහසින් පසුව ලංකාවේ ක්‍රියාත්මක වූ සොල්බරි ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් සඳහා ලැබුණු ව්‍යවස්ථාමය විධිවිධාන සාකච්ඡා කිරීමේ දී සොල්බරි ව්‍යවස්ථාව තුළ කිසිදු විධිවිධානයක් මේ සම්බන්ධව ඇතුලත් නොවීය”(ආරියසිංහ,2002:159). ඒ වෙනුවට සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට විධිවිධාන සලසා දී තිබිණ. සොල්බරි ව්‍යවස්ථාවෙ 29 (2) වගන්තිය මගින් එම විධිවිධානය සලසා තිබිණ.(බලන්න: සොල්බරි ආණ්ඩුක්‍රමය 1946). 

එමෙන්ම සොල්බරි ව්‍යවස්ථාව මඟින් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට විධිවිධාන ද අන්තර්ගත කොට තිබිණ. ඒ අනුව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මෙන් ම ආණ්ඩුවේ බලය අයුතු ලෙස යොදා ගැනීම වළක්වා ගැනීම සඳහා ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමට මෙන් ම විධිවිධාන ආරක්ෂා කිරීමේ බලය සහිත ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කොට තිබිණ. මෙයට අමතරව විධිවිධාන රාශියක් අන්තර් ගත කොට තිබුණ අතර(බලන්න : සොල්බරි ආණ්ඩුක්‍රමය) පැවති දේශපාලන ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදී බැවින් මානව අයිතීන් වඩාත් හොඳින් ආරක්ෂා වූ බව බොහෝ අයගේ පිළිගැනීමයි.

ශ්‍රී ලංකාව තුළ “මූලික අයිතිවාසිකම්වලට නිල පිළි ගැනීම ලබා දුන්නේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව මඟිනි”(විතානවසම්,2007:369). ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 (1) වගන්තිය තුළ මූලික අයිතිවාසිකම් අන්තර්ගත කොට තිබේ. නමුත් මෙම අයිතිවාසිකම් ප්‍රකාශනය වඩාත් පරිපූර්ණ එකක් ලෙස සැලකිය නොහැකිය. එසේ වුවද ඊට ප්‍රථම පැවති සොල්බරි ව්‍යවස්ථාවට වඩා වැදගත් පියවරක් තැබූ බව කිවයුතුය. එයට හේතු වූයේ සොල්බරි ව්‍යවස්ථාව තුල මූලික අයිතිවාසිකම් පිළිබඳ කිසිදු විධිවිධානයක් සලසා දී නොතිබීමයි. 

ව්‍යවස්ථාවේ 6වන පරිච්ඡේදයේ 18 (1) වගන්තිය මගින් පුරවැසියන්ට හිමි වන මූලික අයිතිවාසිකම් පහත පරිදි වේ.

18. (1) ශ්‍රී ලංකා ජනරජයෙහි,

අ)   නීතිය ඉටු කිරීම, නීතියේ රැකවරණය සර්ව සාධාරණ වීම

ආ) නීතියට අනුකූලව මිස කිසිදු පුද්ගලයකුගේ හෝ ප්‍රාණයට හෝ නිදහසට     හානියක් නොකිරීම

ඇ) නීතියට අනුකූලව මිස කිසිදු තැනැත්තකු අත් අඩංගුවට ගැනීම රඳවා තබා ගැනීම, බන්ධනාගාර ගත කිරීම නොකිරීම

ඈ) සෑම පුරවැසියකුට සිතීමේ විමසීමේ නිදහස, ආගමික නිදහස අදහස් ප්‍රකාශකිරිමේ නිදහස, කැමති ආගමක් ඇදහීම, වැළඳ ගැනීම, ප්‍රගුණ කිරීමට ඇති නිදහස

ඉ) සෑම පුරවැසියකුට ම තමා කැමති සංස්කෘතියක් භුක්ති විදීමට දියුණු කිරීමට තිබෙන අයිතිය

ඊ) පුරවැසියන්ට සාමකාමී රැස්වීමේ සහ සමාගමේ නිදහසට අයිතිය ඇත්තේය.

උ) භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස

ඌ)පත්වීම් ලිපි ලබා දීමේ දී වර්ණය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය යන කිසිදු කරුණක් නිසා වෙනසකට හෝ විශේෂයකට හෝ භාජනය නොකිරීම

එ) සෑම පුරවැසියකුට ම ලංකාව තුල යාමේ ඒමේ ඉදීමේ , අභිමත තැනක පදිංචි වීමේ නිදහස යනාදියයි..

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල අන්තර්ගත මූලික අයිතිවාසිකම් ඉතාමත් ම පටු විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය හා සැසැදීමේදී එය මනාව පැහැදිලි වේ. අනෙක් අතට සුළු ජාතීන් පිළිබඳ අයිතිවාසිකම් 29 (2) වගන්තිය බල රහිත කිරීම මඟින් ඔවුන්ගේ අයිතීන් පිළිබඳ අනාරක්ෂිත තත්වයක් උද්ගත වී ඇති බව ඇතැම් අය පෙන්වා දෙන ලදි.

“1972 ව්‍යවස්ථාව මඟින් අයිතිවාසිකම් ප්‍රකාශනය තුළින් හිමි කර දී තිබෙන අයිතීන් ජාති, ආගම් හෝ වර්ග භේදයකින් තොරව සියලු ම පුරවැසියන්ට හිමිකරු දී තිබෙන හෙයින් සුළු ජන කොටස්වල අයිතීන් ද එකී ප්‍රකාශනය තුලින් ම තහවුරු වී තිබෙන බව කල්පනා කිරීමෙන් සුළු ජාතීන්ට අසාධාරණයක් සිදු වී නොමැති බව නිගමනය කළ හැකිය”(ආරියසිංහ,165). කෙසේ නමුත් “මේ අයිතිවාසිකම් හා නිදහස භාවිතය සම්බන්ධයෙන් ව්‍යවස්ථාව මඟින් ඇති කර තිබුණේ කොන්දේසි සහගත රාමුවකි”(විතානවසම්,369). 

18 (2) වගන්තිය මඟින් එසේ අයිතිවාසිකම්වලට සීමාව පනවන ලදි. ඒ අනුව,

“ජාතියේ එක්සත් බව හා පූර්ණත්වයද, රජයේ ආරක්ෂාව හා මහජන ආරක්ෂාවද, ජාතික ආර්ථිකයද, මහජන සෞඛ්‍යයද, සදාචාරය ද අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහසද 16වන වගන්තියෙහි විදහා දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මූලධර්ම ක්‍රියාත්මක කිරීම සඳහාත් නීතියෙන් නියම කරන්නා වූ නියමයන්ට යටත්වය”(1972 ව්‍යවස්ථාව, 18(2) වගන්තිය).


මේ අනුව ව්‍යවස්ථාවේ සඳහන් සියලු මූලික අයිතිවාසිකම් අවසර දිය හැකි සීමා කිරීම්වලට (permissible restriction) යටත් කෙරිණි (විතානවසම්,369). අනෙක් අතට මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යන්ත්‍රණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත කර නොතිබීම දුර්වලතාවක් විය. ඒ අනුව මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල හුදු ලියවිල්ලක් මෙන් ම ව්‍යවස්ථා සැරසිල්ලක් ද විය. එමෙන්ම ජාතික රාජ්‍ය සභාව සතු නීති සම්පාදනය කිරීමේ උත්තරීතර බව හා අධිකරණ විවරණ බලය නොවීම නිසා මූලික අයිතිවාසිකම් අනාරක්ෂිත තත්වයක පැවතිණ. 1972 ව්‍යවස්ථාව යටතේ ජාතික රාජ්‍ය සභාවේ බලය උත්තරීතර විය(බලන්න:44 වගන්තිය 1972 ව්‍යවස්ථාව).

යම් හෙයකින් මූලික අයිතිවාසිකම්වලට හානියක් ගෙන දෙන අන්දමේ කෙටුම්පතක් ව්‍යවස්ථාදායක ඉදිරිපත් කරන අවස්ථාවක එය 18 (1) වගන්තිය හා ගැටෙයි නම් 53 වගන්තියට අනුව එම  කෙටුම්පත  ව්‍යවස්ථා විරෝධි බව ව්‍යවස්ථා අධිකරණයට තීරණය කල හැකිය. නමුත් එවැනි පණත් නියත බහුතරයකින් ව්‍යවස්ථාදායකයට සම්මත කළ හැකිය. මේ අනුව බලන විට මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයම වුවද අවශ්‍ය නියත බහුතරය ජාතික රාජ්‍ය සභාවට තිබේ නම් අවලංගු කිරීමේ හැකියාව තිබිණි.

එපමණක් නොව සොල්බරි ව්‍යවස්ථාව මගින් ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා අධිකරණ සේවා කොමිෂන් සභාව බල රහිත කිරීම හරහා එම ආයතනයත් දැඩි ලෙස දේශපාලනීකරණය විය. 1972 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ සමස්ත කාලය පුරාම ‘මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ’ යන චෝදනාව මත ශ්‍රී ලංකාවේ අධිකරණයක් වෙත පැමිණිල්ලක් යොමු වූයේ එක් අවස්ථාවකදී පමණි. මේ නිසා මූලික අයිතිවාසිකම් යනු හුදෙක් ලේඛනයකට පමණක් සීමාවූ දෙයක් බවට පත් විය. ව්‍යවස්ථාව තුළින් එක් අතකින් පුරවැසියාට අයිතිවාසිකම් ලබා දී අනෙක් අතින් පුරවැසියන්ගෙන් යළිත් අයිතිවාසිකම් උදුරා ගැනීමක් සිදු කොට ඇති බව පැහැදිලි ය.


4.2. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්

1972 පළමු ජනරජ ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දුන් මූලික අයිතිවාසිකම් ලේඛනයකට පමණක් සීමා වී ඇති අයුරු ඉහතින් පැහැදිලි විය. නමුත් එම තත්වය වෙනස් කරමින් ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් ඉතා පැහැදිලි අයිතිවාසිකම් පද්ධතියක් හඳුන්වා දෙන ලදි. එබැවින් 1972 ව්‍යවස්ථාවට වඩා 1978 ව්‍යවස්ථාව අයිතිවාසිකම් විෂයයෙහි යහපත් වර්ධනයක් පෙන්නුම් කරන ලදි(විතානවසම්,615). එයට හේතුත් ලෙස,

අයිතිවාසිකම් හා නිදහස පුළුල් අකාරයට වර්ධනය කර තිබීම

අයිතිවාසිකම් පිළිබඳව පැහැදිලි ලෙස දක්වා තිබීම

අයිතිවාසිකම් පිළිබඳ සීමාවන් පටු ලෙස දැක්වීම

අයිතිවාසිකම් වලට නීතිමය රැකවරණය ලැබීම

අයිතිවාසිකම් ක්‍රියාවට නැංවීම සඳහා ආයතනයන් ඇති කිරීම, යනාදීත් වැදගත් ය.


දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන පරිච්ඡේදයේ 10වන වගන්තියේ සිට 16වන වගන්තිය දක්වා අයිතිවාසිකම් පිළිබඳව දක්වා තිබේ. 3වන පරිච්ඡේදය මගින් දක්වා ඇති අයිතිවාසිකම් සියලු මිනිසුන්ට භුක්ති විදිය හැකි අයිතිවාසිකම් හා පුරවැසියන්ට භුක්ති විදිය හැකි අයිතිවාසිකම් යනුවෙන් ප්‍රභේද දෙකකි.


ව්‍යවස්ථාවේ 10,11,12-(1),12-(3),13වන වගන්ති එසේ සියලු පුරවැසියන්ට හිමි අයිතිවාසිකම් වේ(බලන්න: 2වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3පරිච්ඡේදය). පුරවැසියන්ට භුක්ති විදිය හැකි අයිතිවාසිකම් වන්නේ 12-(2),14-(2) ව්‍යවස්ථාවේ 4වැනි පරිච්ඡේදයේ සඳහන් අයිතීන් පුරවැසි අයිතීන් එසේ භුක්ති විදිය හැකි වේ. භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස 14වන වගන්තියේ දක්වා ඇති අතර ඒ යටතේ හිමි වන තවත් වැදගත් අයිතීන් පහත වේ.


අ)භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට

ආ) සාමකාමී ව රැස්වීමේ නිදහසට

ඇ) සමාගමයේ නිදහසට

ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැදීමේ නිදහසට

ඉ) එකලාව හෝ අන් අය හා සමඟ ,ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව ,තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට

ඊ) එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩිදියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට

උ)එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යනුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට

ඌ) ශ්‍රී ලංකාව තුල යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට ,සහ

එ) ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේ ය.


ඉහත දක්වා ඇති මූලික අයිතිවාසිකම් මගින් පුරවැසියාට පෙරට වඩා පුළුල් අයිතිවාසිකම් පද්ධතියක් හිමිවර ඇති අයුරු පැහැදිලි වේ. මානව හිමිකම් සන්දර්භය තුළ පුරවැසියාට හිමි කර දී තිබෙන මූලික අයිතිවාසිකම් මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස දැකිය හැකිය. මෙලෙස පුරවැසියාට අයිතිවාසිකම් හිමි වුවද ඇතැම් අයිතිවාසිකම් සීමා කිරීම් වලට ලක් කොට ඇති අතර සීමා කිරීම් වලට ලක් නොකල යුතු අයිතිවාසිකම් ද හඳුන්වා දී තිබේ. ඒ අනුව,



කිසිම නීතියක් මගින් හෝ කිසිම රජයේ නිලධාරියකුගේ ක්‍රියාවකින් හෝ සීමා කළ නොහැකි අයිතිවාසිකම් වේ. එම අයිතීන් පරම අයිතීන් හෙවත් අනුලංඝනීය අයිතිවාසිකම් ලෙස හැදින්වේ.  ව්‍යවස්ථාවේ 10,11,13(3), සහ 13(4) වගන්ති එවැනි පරම අයිතීන් වේ.

සීමා කළ අයිතිවාසිකම් ලෙස ව්‍යවස්ථාවේ 12,13(3) හා 13(4) හැර සෙසු අයිතීන් හා 14යන වගන්තිවලට යම් යම් සීමාවත් 15වන ව්‍යවස්ථාව මඟින් දක්වා තිබේ.


මේ අනුව “මූලික අයිතිවාසිකම් සෑම එකක් ම පරම අයිතිවාසිකම් ලෙස හැදින්විය නොහැකි අතර මූලික අයිතිවාසිකම් ක්‍රියාවට නැංවීමේ දී සාධාරණීය සීමාවන්ට යටත් වීමේ වරදක් ඇතැයි ද කිව නොහැකිය”(විතානවසම්,621). මේ පිළිබඳ පසුවට අදහස් දක්වා තිබේ.


මූලික අයිතිවාසිකම් පිළිබඳව දැකිය හැකි විශේෂ ලක්ෂණය වූයේ අයිතිවාසිකම් අධිකරණය මගින් ක්‍රියාවට නැංවීමට හැකි වීමයි. ඒ අනුව අයිතිවාසිකම් ක්‍රියාවට නැංවීමේ පොදු යන්ත්‍රණය ප්‍රථම අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකිය. ඒ අනුව පහත දැක්වෙන්නේ එවැනි ප්‍රධාන යන්ත්‍රණයෙන්.


දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17වන හා 126වන වගන්තිය මඟින් අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සොයා බලා තීන්දු දීමේ තනි හා අනන්‍ය වූ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156වන වගන්තිය යටතේ ඇති කරන ලද ඔම්බූඩ්ස්මන්වරයා

1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පණත යටතේ පිහිටුවා ඇති මානව හිමිකම් කොමිෂන් සභාව යනාදිය හා,

ශ්‍රී ලංකා පොලිසිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, රාජ්‍ය නොවන සංවිධාන යනාදීත් වැදගත් වේ.


ඉහතින් දක්වා ඇති අකාරයට අයිතිවාසිකම් සම්බන්ධ පුරවැසියාට වැදගත් හිමිකම් රාශියක් හිමි වුවද ඒවා ප්‍රායෝගික තලයේ දී කෙතරම් දුරට සාර්ථක යන්න පැහැදිලි කර ගත යුතුයි.

ප්‍රථමයෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් වලට ඇති කරන ලද සීමාවත් සලකා බැලීමේ දී 15(7) වගන්තිය මගින් එකී සීමාව දක්වා තිබේ.


“12වන ව්‍යවස්ථාවෙන්, 13වන ව්‍යවස්ථාවේ (1) වගන්තිය හා(2) වන අනු ව්‍යවස්ථාවලින් සහ 14වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති සියලු ම මූලික අයිතිවාසිකම් භුක්ති විදිය හැක්කේ ද ක්‍රියාත්මක විය හැක්කේද රාජ්‍ය ආරක්ෂාවද රටේ යථා පැවැත්මද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා  බවට, ... නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් වලට යටත්වය ”


මෙම සීමා කිරීම් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව සාධාරණ විය යුතු අතර සීමා කිරීම් අධික නොවිය යුතු ය. එමෙන්ම හදිසි අවස්ථාවක් යටතේ ඇතැම් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සීමා විය හැකි අතර එය ජාත්‍යන්තර වශයෙන් ද පිළිගෙන තිබේ. අයිතීන් සීමා වීම ත්‍රස්තවාදය, රට අභ්‍යන්තරය තුළ ඇති වන දේශපාලන, ජනවාර්ගික ගැටුම් පවතින විටකදීය. ශ්‍රී ලංකාවේ වසර 30ක් පැවති ත්‍රස්තවාදය තුල මෙවැනි සීමා කිරීම් ඇති වූ අයුරු දැකිය හැකිය. ත්‍රස්තවාදය නිම වීමෙන් පසුත් හදිසි නීතිය ක්‍රියාවට නැංවූ අතර ඒවාට මුවාවී අයිතිවාසිකම් නිර්දය ලෙස කඩවීම් දැකිය හැකිය.  හදිසි නීතිය මූලික නිදහසට හානි කරන බවත් ඒ පිළිබඳව හිටපු එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා වන කොෆී අනන් දැක්වූ අදහසත් ඉතා වැදගත් ය. ඔහු දක්වන්නේ, 

“අනතුර වන්නේ ආරක්ෂාව හඹා ගොස් අප තීරණාත්මක නිදහස කැප කිරීම නිසා ය. එමගින් අපගේ පොදු ආරක්ෂාව දුර්වල කරනවා මිස ශක්තිමත් නොකෙරේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම නෞකාව මෙමඟින් අභ්‍යන්තර වශයෙන් ඛාදනය කරනු ලැබේ” යනුවෙනි(බීතම් හා කෙවින්,2011:55).


මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි කර දීම වැදගත් පියවරකි. ව්‍යවස්ථාවේ 17වන වගන්තියෙන් රජයේ හෝ රජයේ නිලධාරීන් ගෙ ක්‍රියාවක් මගින් කිසියම් පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී තිබෙන විට හෝ උල්ලංඝණය වීමට ආසන්න ව පවතින විටක ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අයිතිය ලබා දී තිබේ(බලන්න:17 වගන්තිය). මේ අනුව මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීම විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මඟින් ම සිදු විය යුතු ය. නමුත් අයිතිවාසිකම් කඩ වීම යනු පරිපාලන කේෂ්ත්‍රය මඟින් ම සිදු නොවන්නකි. සාමාන්‍ය පුරවැසියකු මගින් කඩවන අයිතිවාසිකම් කඩ කළ විට ඊට මූලික අයිතිවාසිකම් කඩවීමකට රැකවරණය පැතිය නොහැකිය. එබැවින් මූලික අයිතිවාසිකම් කඩවීමේ සීමාවක් පනවා ඇති අයුරු දැකිය හැකිය. 

එමෙන්ම මූලික අයිතිවාසිකම් කඩවීම හෝ කඩවීමට ආසන්න වූ විට සිදු වූ දින සිට මසක් ඇතුළත පැමිණිල්ලක් ඉදිරිපත් කල යුතු වේ. ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ගය පවා සීමා කිරීමකට ලක් කොට ඇති අතර මසක් යනු ශ්‍රී ලංකාව වැනි රටකට කිසිසේතම ප්‍රමාණවත් නොවන්නකි. 

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පමණක් පැමිණිල්ල ඉදිරිපත් කල යුතු බැවින් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බොහෝ අවස්ථා යටපත් කරගෙන සිටීමට ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව පෙලඹීම දැකිය හැකිය. මෙයට තවත් හේතුත් වූයේ නොදැනුවත් භාවය හා මූල්‍යමය ගැට‍ළු පැවතීමයි. විධායකය, පරිපාලනය යනු රාජ්‍ය පාර්ශවයයි. එබැවින් රාජ්‍ය පාර්ශවයට එරෙහිව නඩු දැමීමට පුරවැසියා තුල බියක් මෙන් ම මැලි කමක් ද දක්වයි. විධායකය යනු දේශපාලන ආයතනයකි. අධිකරණ සේවය මෙන් ම රාජ්‍ය සේවයද දේශපාලන හස්තය මගින් ක්‍රියාවට නැංවීම නිසා අයිතිවාසිකම් කඩවීම තවදුරටත් සිදු වීම දැකිය හැකිය.  


ශ්‍රේෂ්ඨාධිකරණයේ සහනයක් පැතීමට අමතරව අයිතිවාසිකම් කඩ වූ විට සහන පැතීමට පැමිණිලි ඉදිරිපත් කල හැකි ආයතන දෙක වන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව හා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් තනතුරය. නමුත් මෙම ආයතන දෙක පවතින්නේ ද විධායකයට යටත්ව බැවින් මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතාව තුළ ඇත්තේ සෘණාත්මක ආකල්පයකි. මේ අනුව ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කර ඇති ආකාරයේ සුරක්ෂිතභාවයක් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රායෝගික තත්වයන් තුළ පවතී ද යන්න විවාදාත්මක කරුණකි.  


මේ සෑම දේයකටම වඩා අද වන විට ජනාධිපතිවරයා සතු අසීමිත බලතල හේතුවෙන් අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය ඉතා දරුණු ලෙස උල්ලංඝනය වී ඇති බව දැකිය හැකිය. ජනාධිපතිවරයා යනු විධායකයේ නායකයා වන බැවින් එය තවදුරටත් අනාරක්ෂිත වී තිබේ. ආණ්ඩුක්‍රම පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පෙන්වා දෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථානූකූල ඒකාධිපතිත්වයක් නිර්මාණය කර ඇති බවයි. මෙවැනි තත්වයන් මත මෑතකාලීන ව ශ්‍රී ලංකාවේ මානව අයිතීන් ජාත්‍යන්තර දේශපාලනය තුලද විවාදාත්මක තත්වයකට මුහුණ දීමට සිදුවීම දැකිය හැකිය. මෙහි වඩාත් අහිතකර ම තත්වය වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මගින් ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත කර ගැනීමයි. මානව හිමිකම් සන්දර්භය තුල ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් කෙතරම් දුරට සාර්ථක ද යන්න මහමගින් පැහැදිලි වේ.


අවසාන වශයෙන් මෙරට මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මඟින් මානවයාට උපරිම ගෞරවයක් නිදහසක් අත්කම දීමට නම් ගත යුතු පියවර රාශියක් තිබේ. එහි ප්‍රථම පියවර යුත්තේ සෑම පුරවැසියකු මනුෂ්‍යයකු බව පිළිගැනීමයි. එමෙන්ම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර අයුරින් සංශෝධනයකට ලක් කල යුතු වේ. මෙහි දී නීතියේ ආධිපත්‍යය, බලතල බෙදීමේ න්‍යාය මෙන් ම අධිකරණයේ ස්වාධීනත්වයද ඇති කළ යුතු ය. රාජ්‍ය සේවය තුලද ස්වාධීනත්වය මෙන් ම කාර්යක්ෂමතාව විනිවිදභාවය ඇති කළ යුතු ය. අනෙක් අතට මානව අයිතිවාසිකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, මෙන් ම නොමිලයේ නීති අධාර ලබා දීම වැනි කාර්යයන් සිදු කළ යුතු වේ. මේ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, ළමා ආරක්ෂක අධිකාරිය, මෙන් ම රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ක්‍රියාකාරීත්වය හා මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය ද වැදගත් වේ.  


මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම හුදෙක් රාජ්‍යයට පමණක් පැවරිය නොහැකිය. ඒ සඳහා සමස්ත සමාජයේ ම සහයෝගය අවශ්‍ය වේ. ඒ අනුව මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් හුදෙක් න්‍යායික වශයෙන් නොව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වීම වැදගත් වේ. එවිට සාර්ථක ප්‍රතිලාභ සැමට අත් කර ගත හැකිය.


5. සමාලෝචනය


නූතන මානව අයිතිවාසිකම් පදනම වූයේ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයයි. ප්‍රජාතන්ත්‍රවාදී බොහෝ රාජ්‍යයන් එම ප්‍රකාශනයේ දක්වා ඇති අයිතිවාසිකම් අතරින් අත්‍යවශ්‍යයෙන් ම රැකිය යුතුයයි තමන් පිළිගන්නා අයිතිවාසිකම් ඒ ඒ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර නෛතික ව බලාත්මක කිරීම දැකිය හැකිය. එය මානව අයිතිවාසිකම් හා පුරවැසියා අතර සම්බන්ධය සමීප කරන්නක් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුල ද මානව අයිතිවාසිකම් පිළිබඳ උනන්දුවක් ඇති වීම දැකිය හැකිය.


අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය ශ්‍රී ලංකාවේ මූලික වශයෙන් ඇතිවෙන්නේ නිදහසින් පසු අවධියේ ය. නමුත් ආරම්භයේ දී සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට විධිවිධාන යොදා තිබුණා මිසක් මූලික අයිතිවාසිකම් පිළිබඳ විධිවිධාන සලස්වා දී නොතිබුණි. 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රථම වතාවට මූලික අයිතිවාසිකම් සඳහා නීතිමය පිළිගැනීමක් ලබා දුන් බව පැහැදිළිය. නමුත් මූලික අයිතිවාසිකම් පටු වූ අතර ඒ සමඟම අයිතිවාසිකම් සඳහා සීමා කම් පැනවීම සිදු කර තිබිණි. අයිතිවාසිකම් ක්‍රියාවට නැංවීමේ යන්ත්‍රණයක් හෝ ආරක්ෂා කිරීමේ විධිවිධාන හෝ සඳහන් නොකිරීම බරපතළ ගැට‍ළුවකි. අනෙක් අතට පැවති දේශපාලන ක්‍රමය මඟින් ද අයිතිවාසිකම් කඩවීම දැකිය හැකිය. මේ නිසා මූලික අයිතිවාසිකම් ලියවිල්ලකට පමණක් සීමා වීම මෙම අවධියේ දැකිය හැකිය.


පැවති තත්වය වෙනස් කරමින් 1978දෙවන ජනරජ ව්‍යවස්ථාව මඟින් පුළුල් අයිතිවාසිකම් පද්ධතියක් හඳුන්වා දුන් අතර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යන්ත්‍රණයෙන් ද දක්වා තිබීම සුවිශේෂිත විය. නමුත් ඒවා ක්‍රියාවට නැංවීමේ දී පුරවැසියා යම් සීමා කම්වලට ලක් වී තිබෙන අතර ඒ සඳහා විවිධ වූ හේතුත් ද බලපා ඇති බව පැහැදිලි විය.  වර්තමානය වන විට එම තත්වය වඩාත් උග්‍ර වී ඇති බවත් දැකිය හැකිය. 


මේ ආකාරයට මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ යාන්ත්‍රණයේ ඵලදායීතාව සම්බන්‍ධයෙන් විමසීමේ දී පෙනී යන්නේ වර්තමානයේ දී එය බරපතළ ගැට‍ළුවක් බවට පත් වී තිබෙන බවයි. මේ සියලු තත්වයන් මගින් පැහැදිලි වන්නේ මානව අයිතිවාසිකම් සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් මඟින් පුරවැසියාට සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට නොහැකි බවයි. එබැවින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව ආකාරයක ක්‍රමවේදයක් සකස් කිරීමක් හා ක්‍රියාවට නැංවීමක් සිදු විය යුතු ය.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය


ආරියසිංහ, කමල් (2002). ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම විකාශනය හා වර්ධනය. කර්තෘ ප්‍රකාශනයකි.

කටුගම්පල, රාජා (2007). එක්සත් ජාතීන්ගේ සංවිධානය. කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

කුරේ, ඇන්ටන් (1982). ශ්‍රී ලංකාවේ ජනාධිපති පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය. කර්තෘ ප්‍රකාශනයකි.

කුරේ, ක්‍රිෂාන්ත (2007). මානව හිමිකම් ඉතිහාසය, ව්‍යාප්තිය, සංවිධානය. මීරිගම: ආශීර්වාද ප්‍රකාශකයෝ.

ජයකුමාර්, ටී. (2013). ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා. කොළඹ: ජේ. කේ. ලෝ බුක්ස්.

ද සිල්වා, තුෂාර (2007). මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම්. කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

නානායක්කාර, වී. කේ. (2014). ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවරණය. කර්තෘ ප්‍රකාශනයකි.

විතානවසම්, අතුල (2007). ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමය හා දේශපාලනය. කර්තෘ ප්‍රකාශනයකි.

පෙරේරා, ඇන්. ඇම්. (2001). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවේචනාත්මක විශ්ලේෂණයක්. පරි: ටී. ජී. පියදාස, කෝට්ටේ: පිනිදිය ප්‍රකාශකයෝ.

පෙරේරා, වැන්සස් (2001). දේශපාලන විද්‍යාව සහ ආණ්ඩුක්‍රමය. කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

බීතම්, ඩේවිඩ් සහ කෙවින් (2011).ප්‍රජාතන්ත්‍රවාදයට හැදින්වීමක්. පරි: ලක්සිරි ප්‍රනාන්දු ඇතුල්කෝට්ටේ: මාර්ග ආයතනය.


No comments:

Post a Comment