Monday, 15 February 2021

ඩොනමෝර් ප්‍රතිසංස්කරණයන්ගේ ‍ඓතිහාසික වැදගත්කම, එහි ක්‍රියාකාරීත්වය අනුසාරයෙන් විමර්ශන කිරීමක්..

 


    ශ්‍රී ලංකාව පූර්ණ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමෙන් අනතුරුව නැවත ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් හිමිවන්නේ 1947දී ය. ශ්‍රී ලංකාවේ එම යටත් විජිත කාලය තුල 1833-කෝල්බෲක්, 1910-කෲව් මැකලම්, 1920-පළමු මැනිං  හා 1924-දෙවන මැනිං (මැනිං ඩොවන්ෂයර්) යන ආණ්ඩුක්‍රම සමඟ සන්සන්දනය කරන විට ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යනු ඉතාමත් යහපත් හා ප්‍රගතිශීලී ‍යෝජනා හඳුන්වාදුන් ආණ්ඩුක්‍රමයක් ලෙස හැදින්විය හැක. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සර්වජන ඡන්ද බලය හා වාර්ගික නියෝජනය අහෝසි කිරීම එහි අන්තර්ගත වූ වඩාත් ම යහපත් හා ප්‍රගතිශීලී යෝජනාවන් වූ අතර පළාත්බද නියෝජනය, රාජ්‍ය මන්ත්‍රණ සභාව, විධායක කාරක සභා ක්‍රමය, අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම, රාජ්‍ය නිලධාරීන් තිදෙනා හා ආණ්ඩුකරුගේ බලතල, යන සාධක එහි වූ අනෙකුත් සුවිශේෂී ලක්‍ෂණ ලෙස හැඳින්විය හැක. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බලපාන ලද ප්‍රධානතම හේතුව වූයේ 1924 සිට ක්‍රියාත්මක වූ මැනිං ඩොවන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ප්‍රමාණවත් නොවීම හා ලංකා ජාතික සංගමය ප්‍රමුඛ අනෙකුත් දේශීය නායකයන් විසින් නව ආණ්ඩුක්‍රමයක් ඉල්ලා කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයන් ය. 1924 සිට පැවති මැනිං ඩොවන්ෂයර් ආණ්ඩුක්‍රමයේ පැවති දුර්වලතා අවබෝධ කරගත් ඩොනමෝර් කොමිසම විසින් එම දුර්වලතා මඟහැරවීමේ අරමුණින් ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබීය. මෙහි ඇති විශේෂිත ම ලක්ෂණය වන්නේ යටත් විජිත ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ ආකාරයේ ආණ්ඩුක්‍රමයක් ලංකාවට යෝජනා කිරීමයි. ඒ අනුව ඩොනමෝර් වාර්තාව 20වන සියවසේ යටත් විජිත කටයුතු සම්බන්ධයෙන් රචිත විශිෂ්ටතම රාජ්‍ය ලේඛනය ලෙස සැලකේ. එම යෝජනා ලංකාව තුල ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ක්‍රමයෙන් සමාජගත වීම ආරම්භ විය.

    මැනිං ආණ්ඩුකාරයාගෙන් පසු 1925 දී ආණ්ඩුකාර ධුරයට පත් ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ් විසින් ද මැනිං ආණ්ඩු ක්‍රමය දුර්වලතා අවබෝධ කොටගෙන සිටියේ ය . එබැවින් මෙම දුර්වලතා සලකා බලන ලෙස ඔවුහු බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. මෙම ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස 1927 අගෝස්තු මාසයේ දී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සලකා බැලීම සඳහා ඩොනමෝර් සාමි ප්‍රමුඛ කොමිසම ලංකාවට එවන ලදි. කොමිසමට අයත් කාර්ය වූයේ 1924 රාජාඥාව (මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමය) සංශෝධනය කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම සහ ඉදිරිපත් ව ඇති යෝජනා සලකා බැලීමයි. 1928 දී ඔවුහු අනාවරණය කරගත් දුර්වලතා ද සහිතව කොමිෂන් සභා වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදි. පසුව එය 1931 සිට ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ලෙස ක්‍රියාත්මක විය.

    1931 සිට ක්‍රියාත්මක වූ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ ඇති වඩාත් ප්‍රගතිශීලී ම යෝජනාව වන්නේ සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමයි. එනම් වයස අවුරුදු 21ට වැඩි සියලු දෙනාට ම කිසිදු භේදයකින් තොරව තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි වීමයි. එහි ඇති විශේෂත්වය වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත අතරින් සර්වජන ඡන්ද බලය ලබා ගත් ප්‍රථම යටත් විජිතය ලංකාව වීමත් හා එංගලන්තයේ ස්ත්‍රීන්ට, පුරුෂයන්ට හා සමානව ඡන්ද බලය 1928දී හිමි වී වසර 03ක් ඇතුළත ලාංකිකයන්ට ද එම අයිතිය ලැබීමයි. ඒ අනුව පෙර පැවති ආණ්ඩුක්‍රමවල පැවති ආකාරයට උගත්, ධනවත් හා පුරුෂයන්ට පමණක් සීමා වී පැවති දේශපාලන සහභාගීත්වය අහෝසි කරමින් ලාංකිකයන් සියලු දෙනාට ම තම නියෝජිතයන් තෝරා ගැනීම හා දේශපාලන කටයුතුවලට සහභාගීවීමට අවස්ථාව ඩොනමෝර් ආණ්ඩුක්‍රමය මඟින් සලසා දෙන ලදි. 

    ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සඳහා අත්‍යාවශ්‍ය සාධකයන් වන සර්වජන ඡන්ද බලය ඓතිහාසික ලෙස අංශ කීපයක් යටතේ වැදගත් වේ. එමගින් ප්‍රධාන වශයෙන් මහජනතාවගේ දේශපාලන සහභාගීත්වය වර්ධනය කරනු ලැබීය. මීට පෙර පැවති සීමිත ඡන්ද ක්‍රමය යටතේ ඡන්ද අයිතිය හිමි වූයේ රුපියල් 1500කට වඩා වත්කමක් හිමි, රුපියල් 900ට වැඩි වාර්ෂික ආදායමක් තිබූ, මාසික ආදායම රු. 50 ඉක්මවූ ඉංග්‍රීසි කතා කල හැකි හෝ සිංහල, දෙමළ ලිවිය හැකි අවු; 21 ඉක්මවූ පිරිමීන්ට පමණි. ඒ අනුව ලංකාවේ දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ වූවේ ලක්ෂ 2ක් වැනි සුළු පිරිසකි. එය සමස්ත රටේ ජනගහනයෙන් 4%කි. නමුත් සර්වජන ඡන්ද බලය හඳුන්වාදීමෙන් අනතුරුව ලක්ෂ 15ක් පමණ පිරිසකට ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ පැවති පළමු මැතිවරණයට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි වූ අතර 1936වන විට ලක්ෂ 25කට වැඩි පිරිසකට ඡන්ද බලය හිමි විය. එය රටේ සමස්ත ජනගහණයෙන් 55%කි. තවද 1947දී 61%ක්ද, 1956දී 71%ක්, 1960 මාර්තු මාසයේ දී 77%, 1960ජූලි මාසයේ දී 75%, 1970දී 84%ක් හා 1977දී 86%ක් දක්වා ජනතාවගේ දේශපාලන සහභාගීත්වය වර්ධනය විය. එමගින් පෙනී යන්නේ සර්ව ජන ඡන්ද බලය ලැබීමත් සමග ජනතාව දේශපාලන කටයුතුවලට පුළුල් අයුරින් හා ප්‍රජාතන්ත්‍රවාදී ව දායක වූ බවයි.

    ලංකාව තුල ප්‍රථමවරට දේශපාලන පක්ෂ ක්‍රමයක් ආරම්භ වූයේ ද මෙම ආණ්ඩුක්‍රමය හේතුවෙනි. මන්ද යත් රටේ සියලු ම ජනතාවට ඡන්ද බලය හිමිවීමත් සමඟ එම ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා නිශ්චිත දේශපාලන, සමාජ හා ආර්ථික වැඩ පිළිවෙළකින් යුත් සංවිධානයක් අවශ්‍ය වූ අතර එම සංවිධාන ලෙස දේශපාලන පක්ෂ සංවිධානය විය. ඒ අනුව ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය ලෙස ලංකා සම සමාජ පක්‍ෂය බිහි වූයේ 1935 වසරේදීය. ඉන් අනතුරුව 1943දී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයද, 1946දී එක්සත් ජාතික පක්‍ෂයද, 1951දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද යනාදී ලෙස පක්ෂ බිහි වූ අතර 2002 පමණ වන විට ලංකාව තුළ දේශපාලන පක්ෂ 48ක් පමණ නිර්මාණය වී ඇත.

   අළුතෙන් පිහිටුවන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වීමට නම් බහුතර ජනතාවගේ හොඳ හිත දිනා ගැනීම අත්‍යවශ්‍ය වූ බැවින් ජනතා සුබ සාදන කටයුතු සඳහා දේශපාලකයන් උනන්දු විය. ඒ අනුව නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීම හා සහනදායී මිලට ‍මෙන්ම නොමිලේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම ආදී සුබසාධන කටයුතු රාශියක් මෙම ඩොනමෝර් ආණ්ඩුක්‍රමය හේතුවෙන් ආරම්භ විය. ජනතාවට තම නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට හැකි වීම තුළින් එම පත් වූ නියෝජිතයන් ජනතාවගේ නියෝජිතයන් වූ අතර ඔවුන්ට ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සිදු විය. ඒ හේතුවෙන් ම ක්‍රමානුකූලව ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගිය අතර රටේ බහුතර ජනතාවක් වූ ගොවීන්ට හා කම්කරුවන්ට එය මහත් අස්වැසිල්ලක් විය. විශේෂයෙන්ම දක්ෂිණාංශික නායකයන් ගොවිජනපද ව්‍යාපාර හරහා ගොවීන්ගේ තත්ත්වය ඉහළ දැමීමට වෙහෙසුණ අතර වාමාංශික නායකයන් කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කරනු ලැබීය. ඒ අනුව ඩී. එස්. සේනානායක මහතා විසින් ආරම්භ කරන ලද ගල්ඔය ව්‍යාපාරය, මිනිපේ, ඇලහැර වැනි ගොවි ජන ව්‍යාපාර මගින් ගොවීන්ගේ ජීවන තත්ත්වයද, කම්කරු නායකයන්ගේ බලපෑම මත පැය 08ක් දක්වා වැඩ කරන කාලය සීමා කිරීම, කම්කරු රක්‍ෂණ ක්‍රම ඇති වීම, පඩි සහිත නිවාඩු හිමි වීම, අර්ථ සාධක අරමුදල් හා විශ්‍රාම වැටුප් යනාදිය හේතුවෙන් කම්කරුවන්ගේ තත්ත්වයද බොහෝ දුරට වර්ධනය විය. එම සුබසාධන කටයුතු හේතුවෙන් ම ජනතාවගේ දේශපාලන දැනුවත්භාවයද සැලකිය යුතු ලෙස වර්ධනය වීමට අමතරව අනාගතයේ දී ලංකාවට හඳුන්වාදීමට බලාපොරොත්තු වූ පාර්ලිමේන්තු ක්‍රමයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනු ලැබුවේ ද මෙම ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මඟිනි. 

    ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මඟින් හඳුන්වා දුන් අනෙක් ඓතිහාසික තීන්දුව වූයේ මෙතෙක් ලංකාව තුළ ක්‍රියාත්මක වූ වාර්ගික නියෝජනය අහෝසි කිරීමයි. වාර්ගික නියෝජන ක්‍රමය හෙවත් බෙදා පාලනය කිරීම (Divide and Rule) බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබූයේ පාලනයේ පහසුවතකාය. එමගින් ජන කණ්ඩායම් නියෝජනය වන ආකාරයට නියෝජිතයන් පත් කිරීම සිදු වූ අතර ඒ හේතුවෙන් ම ජනවර්ග අතරත් අසමගිය වර්ධනය වී වාර්ගිකත්වය මාර්ගයෙන් ජාතිවාදය ද ඇති විය. ඒ හේතුවෙන් ම ව්‍යාවස්ථාදායක සභාවට‍ පත් වන නියෝජිතයන් පොදු ජාතික වැදගත් කමක් ඇති ප්‍රශ්නවල දී පවා වාර්ගික අවශ්‍යතා අනුව පමණක් කටයුතු කරනු ලැබූ අතර ජනවර්ග අතර ආත්ම ලාභය, වෛරය වර්ධනය වීම, සැකය ඇති වීම හා එක් ජනවර්ගයකට විරුද්ධව අනෙක් ජනවර්ග කණ්ඩායම් ලෙස සංවිධානය වීමද සිදු විය. මෙම තත්ත්වය රටේ ඒකීය භාවයට තර්ජනයක් වන බව අවබෝධ කර ගත් ඩොනමෝර් කොමිසම විසින් එතෙක් ක්‍රියාත්මක වූ වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කරමින් ඒ ඒ ප්‍රදේශ නියෝජනය වන ආකාරයට බෙදන ලද මැතිවරණ කොට්ඨාශවලින් නියෝජිතයන් තෝරා පත් කර ගත හැකි ක්‍රමයක් වූ ප්‍රාදේශීය නියෝජන ක්‍රමය හඳුන්වා දී ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව බහු මන්ත්‍රී කොට්ඨාශ ආරම්භ කිරීම, මැතිවරණ කොට්ඨාශ බෙදීමේ දී ජන වර්ග ජීවත්වන ප්‍රදේශ නොව වර්ග ප්‍රමාණය සැලකිල්ලට ගැනීම යන සාධකවලට අවධානය යොමු කරනු ලැබීය. 
   
    එලෙස ක්‍රියාත්මක කරනු ලැබූ වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කිරීම මඟින් සුළු ජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීම, මූලික අයිතිවාසිකම් මෙන් ම වාර්ගික ඛේදයකින් තොරව සියලු දෙනාට ම දේශපාලනයට සහභාගී වීමටත්, ශ්‍රී ලංකාව තුල ජාතිය ගොඩ නැගීමට හා සංවර්ධනය කිරීමටත් අවශ්‍ය පසුබිම සකස් කිරීමට අපේක්ෂා කරනු ලැබීය. කෙසේ වෙතත් මෙම වාර්ගික නියෝජනය අහෝසි කිරීම සම්බන්ධයෙන් සුළු ජන කොටස් සිය අප්‍රසාදය හා විරෝධය එල්ල කරන ලදි. ඒ හේතුවෙන් තම ජාතීන්ට අවාසිදායක තත්ත්වයක් ඇතිවේය යන්න සුළු ජාතිකයන්ගේ මතය විය. මීට පෙර පැවති 1924 මැනිං ඩොවන්ෂයර් ආණ්ඩුක්‍රමය මඟින් සුළු ජාතිකයන් විශාල ප්‍රමාණයක් කටයුතු කිරීම හේතුවෙන් එය අහෝසි කිරීමත් සමඟ තම නියෝජනය අඩුවේ යැයි යන්න සුළු ජනතාව වෙනුවෙන් පෙනී සිටි නායකයන්ගේ මතය විය. නමුත් වාර්ගික නියෝජනය සම්පූර්ණයෙන්ම අහෝසි කරමින් ප්‍රාදේශීය නියෝජන ක්‍රියාත්මක කිරීමට ඩොනමෝර් කොමිසම තීරණය කරන ලදි.
     
    ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායකය වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවයි. එහි සාමාජිකයන් ගණන 61ක් විය. එයින් 50 දෙනෙකු ප්‍රාදේශීය නියෝජනය යටතේ සර්වජන ඡන්දයෙන් තෝරා ගන්නා ලදි. සුළු ජාතිකයින් නියෝජනය කිරීම සඳහා ආණ්ඩුකාරයා විසින් 08 දෙනෙකු නාමකරණයෙන් පත් කරන ලදි. තවද ප්‍රධාන විධායක නිලධාරීන් ලෙසට ආණ්ඩුකාරයා විසින් රාජ්‍ය නිලධාරීන් 03ක් පත් කරන ලදි. මහලේකම්(රාජ්‍ය ලේකම්) , මුදල් ලේකම්, නීති ලේකම් ලෙස ඔවුන් හඳුන්වනු ලැබීය. මෙම රාජ්‍ය මන්ත්‍රණ සභාව යනු රටේ පාලනය මහජන නියෝජිතයන් අතට පත් කිරීමට යොදා ගත් ක්‍රියාමාර්ගයකි. ඩොනමෝර් ආණ්ඩුක්‍රමයට පෙර පැවති ප්‍රතිසංස්කරණ මඟින් විධායක හා ව්‍යවස්ථාදයක කටයුතු එකිනෙකට දුරස්ථ ව ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා තිබිණ. එම දුර්වලතාව මඟ හරවා ගැනීම සඳහා විධායක හා ව්‍යවස්ථාදායක කටයුතු ඒකරාශී කොට රාජ්‍ය මන්ත්‍රණ සභාව නිර්මාණය කරනු ලැබීය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට සර්වජන ඡන්ද බලයෙන් පත් වන මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථාදායක හා විධායක කටයුතු පිළිබඳ වගකීමක් පවරා රටේ පාලනය බාර ගැනීමට නව නායකයන් පුහුණු කිරීම එමගින් අපේක්‍ෂා කරන ලදි. එම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලය වසර 05කි. 
    
    මෙම ආණ්ඩු ක්‍රමය යටතේ විධායක කාරක සභා ක්‍රමයක් හඳුන්වා දුන් අතර කාරක සභා 07ක් විය. ඒම කාරක සභා නම්,            1-ස්වදේශ කටයුතු කාරක සභාව, 
        2-කෘශිකර්ම හා ඉඩම් කාරක සභාව, 
        3-පළාත් පාලන කාරක සභාව, 
        4-සෞඛ්‍ය කාරක සභාව, 
        5-කම්කරු කර්මාන්ත හා වාණිජ කාරක සභාව,     
        6-අධ්‍යාපනය පිළිබඳ කාරක සභාව හා 
        7-තැපැල් හා ප්‍රසිද්ධ කටයුතු කාරක සභාව යනුවෙනි.

    සෑම විධායක කාරක සභාවකට ම සමාන සාමාජිකයින් පිරිසක් සිටි අතර සභාපතිවරයෙකු බැගින් ද තෝරාගන්නා ලදි. ඔහු කාරක සභාවේ සභාපතිවරයා මෙන්ම ඇමතිවරයා ද විය. ආණ්ඩුවේ විධායක කටයුතු කොටස් 10 කට බෙදා එයින් 7ක් ලාංකිකයන්ට පවරා දුන් අතර ඉතිරි අංශ තුන රාජ්‍ය නිලධාරීන් තිදෙනාට පවරන ලදි. මෙම විධායක කාරක සභා මඟින් කරුණු කීපයක් ම සපුරා ගැනීමට අරමුණු කර ගනු ලැබීය. එනම් මෙතෙක් ලංකාවේ වෙන් ව පැවති ව්‍යවස්ථාදායකය හා විධායකය එකට වැඩ කල හැකි ලෙස සම්බන්ධ කරමින් රාජ්‍යය මන්ත්‍රණ සභාව තුළ සාමූහිකත්වය වර්ධනය කිරීම, මෙතෙක් ලංකාව තුළ දේශපාලන පක්ෂ ක්‍රියාත්මක ව නොතිබීම හේතුවෙන් අනාගතයේ දී හඳුන්වාදීමට නියමිත කැබිනට් ආණ්ඩුක්‍රමයක් සඳහා දේශපාලන පක්ෂ ඇති වීම සඳහා අවශ්‍ය පරිසරය ලංකාව තුළ ඇති කිරීම, විධායක කාරක සභා තුළ දී සුළු ජාතීන්ට ද රටේ පාලන කටයුතු සඳහා සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම හා අනාගත දේශපාලකයන් නිර්මාණය කිරීම යනාදියයි. විශේෂයෙන්ම විධායක කාරක සභා තුලින් බිහි වූ සභාපතිවරු කීප දෙනෙක් ම ලංකාවේ විශේෂඥ දැනුම ලද පුද්ගලයන් විය. කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ භාරව සිටි ඇමතිවරයා වූ ඩී. එස්. සේනානායක මහතා ගල්ඔය, මිනිපේ, ඇලහැර වැනි මහා පරිමාණ ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කළ අතර අධ්‍යාපන විශේෂඥයෙකු වූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා විසින් ලංකාවේ අධ්‍යාපනයට විශාල‍ සේවාවක් ඉටු කරන ලදි. එසේම ලංකාවේ පසුකාලීනව බලයට පත් අගමැතිවරුන් කීප දෙනෙකු ම විධායක කාරක සභාවලින් අමාත්‍ය පදවි ලැබූවන් විය. ඩී. එස්. සේනානායක මහතා(1948), සර් ජෝන් කොතලාවල මහතා(1954),  එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා(1956) යන අය එලෙස විධායක කාරක සභාවලින් පුහුණුව ලද අයි විය. ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන දුර්වලතාවය වුයේද බ්‍රිතාන්‍යයේ පළාත් පාලනය සඳහා යොදා ගත් විධායක කාරක සභා ක්‍රමය කුඩා රාජ්‍යයකට කෙසේ ගැළපේදැයි යන්න පිළිබඳ අත්හදා බැලීමක් ලෙස ලංකාව තුල භාවිතයට ගැනීමයි.

    ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ අධිරාජ්‍ය නිලධාරීන් ලෙස කටයුතු කිරීම සඳහා රාජ්‍ය ලේකම්, මුදල් ලේකම් හා නීති ලේකම් ලෙස රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු සිටියහ. මොවුන් ඍජුව ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට වගකීමට බැදී සිටියහ. මෙම තිදෙනා අතරින් ප්‍රධානියා වූයේ රාජ්‍ය ලේකම් ය. විදේශ කටයුතු, රාජ්‍ය ආරක්‍ෂක කටයුතු, රාජ්‍ය සේවය පාලනය, ස්වේච්ඡා බළඇණි වැනි විවිධ කටයුතු රාශියක් ඔහුට පැවරී තිබිණ. ඔහු ආණ්ඩුකාරතුමා නොමැති විට වැඩ බැලීම මෙන්ම ඇමති මණ්ඩලයේ සභාපතිවරයා ද විය. මුදල් ලේකම්වරයා යටතේ මහා භාණ්ඩාගාරය, රජයේ ගබඩාව, මුද්‍රණ දෙපාර්තමේන්තුව, අය වැය ලේඛනය සැකසීම හා ණය මුදල් පිළිබඳ රජයට උපදෙස් දීම ආදිය සම්බන්ධයෙන් කටයුතු කිරීම ඔහුගේ කාර්යභාරය විය. රාජ්‍ය මන්ත්‍රණ සභාව තුල දී ඇමතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා ඔහුගේ අනුමැතිය අත්‍යවශ්‍ය විය. නීති ලේකම්වරයාගේ කාර්යය වූවේ මැතිවරණ පැවැත්වීම, අණ පනත් සකස් කිරීම, අධිකරණ කටයුතු පාලනය, සහ නීති ප්‍රශ්නවලදී රජයට උපදෙස් දීම යනාදියයි. මෙම නිලධාරීන් තිදෙනා පත් කරනු ලැබුවේ ලාංකික ඇමතිවරුන්ට අනුශාසන කිරීම සඳහා මිස ප්‍රධාන විධායක නිලධාරීන් ලෙස නොවේ. නමුත් ඔවුන් ප්‍රායෝගික ව කටයුතු කිරීමේ දී උපදේශක තත්ත්වය ඉක්මවා යමින් කටයුතු කරන ලදි. මෙම බාධාකාරී තත්ත්වය නිසා රාජ්‍ය නිලධාරීන් දැඩි විවේචනයට ද ලක් විය. මේ හේතුවෙන් ම රාජ්‍ය නිලධාරීන් ව්‍යවස්ථාදායකයේ ආරක්ෂක මුර බල්ලන් තිදෙනෙකු ලෙස හඳුන්වනු ලැබූ අතර තවත් ඊ. ඩබ්. පෙරේරා මහතා පැවසුවේ ඔවුන් “සිවිල් ඇදුමින් සැරසුණ පොලිස් කාරයන් තිදෙනෙකු” ලෙසයි. 

    අමාත්‍යදූර 10න් 7ක්ම ලාංකිකයන් සතු වුවත් සැබෑ බලය තිබුණේ රාජ්‍ය නිලධාරීන් සතු වූ දෙපාර්තමේන්තු සතුව ය. ඔවුන් යටතේ පුළුල් ක්‍ෂේත්‍රයන් දක්වා විහිදෙන දෙපාර්තමේන්තු ගණනාවක් පැවතිණ. තමන්ගේ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් මන්ත්‍රණ සභාවට කිසිදු ලෙසකින් වග නොකියන බව 1936-37 අය වැය විවාදයේ දී මහ ලේකම්වරයා ප්‍රකාශ කර තිබීමෙන් මෙය පැහැදිලි වේ. මොවුන් රටේ ප්‍රගතියට අදාළ වූ නිදහස් අධ්‍යාපන පනත කෘෂිකර්ම අමාත්‍යංශයේ සියලු යෝජනාවලටද දැඩි ලෙස විරුද්ධ වී ඇත. අමාත්‍යංශ කටයුතු සඳහා යම් අවස්ථාවලදී ලාංකික ඇමතිවරුන් මුදල් ඉල්ලා සිටි විට භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව පවසමින් එම ඇමතිවරුන්ගේ වැය ශීර්ෂයන් කපා හැරි අවස්ථා ද තිබී ඇත. මෙම රාජ්‍ය නිලධාරීන් පත් කිරීමේ දී මූලික අභිප්‍රාය වූයේ ලාංකික ඇමතිවරුන්ගේ මෙන්ම ආණ්ඩුකාරයාගේ ද අත්තනෝමතික ක්‍රියා ඇත්නම් ඒවා සංවරණය කිරීමයි. නමුත් සැබෑ ලෙස ම සිදුවූයේ ආණ්ඩුකරු හා රජ්‍ය නිලධාරීන් එක් පාර්ශවයක් ලෙසත්, ලාංකික ඇමතිවරුන් අනෙක් පාර්ශවයකත් ලෙසත් කටයුතු කරමින් ගැටුම් ඇති කර ගැනීමයි. එන් අවස්ථාවකදී ග්‍රැම්තොම්සන් නම් ආණ්ඩුකාරවරයා ලාංකික ඇමතිවරුන්ගෙන් නොව රාජ්‍ය නිලධාරීන්ගෙන් අදහස් විමසා කටයුතු කිරීමට ද පෙලඹී ඇත. සර් අයිවර් ජෙනින්ග්ස් ප්‍රකාශ කර සිටියේ “ආණ්ඩුකාරයා හා රාජ්‍ය නිලධාරීන් තිදෙනා ලාංකික මතයට වඩා යුරෝපීයයන්ගේ මතයට සමීප වන බවයි.”. සැබෑ ලෙස ම මෙම රාජ්‍ය නිලධාරීන් තිදෙනා අධිරාජ්‍ය ආණ්ඩුවේ ආරක්‍ෂකයන් ලෙස කටයුතු කරනු ලැබීය.

    නමුත් පසු කාලීන ව පත් වූ ආණ්ඩුකාරයා වූ කොල්ඩිකොට්ගේ යහපත් ක්‍රියාකලාපය හේතුවෙන් මෙම ගැටුම් ස්වභාවය බොහෝ දුරට සමනය විය. කොල්ඩිකොට් ආණ්ඩුකරු ලාංකිකයන් සමඟ සමීපව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ අසීමිත බලතල අවම වූ අතර දෙවන ලෝක යුද්ධය අතර තුල කාලයේදී යටත් විජිත රටවලට අවශ්‍ය ආහාර බ්‍රිතාන්‍යයෙන් ගෙන්වීම අපහසු වීම හේතුවෙන් යටත් රටවලට අවශ්‍ය ආහාර එම රට තුල ම නිෂ්පාදනය කල යුත් බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව දන්වා සිටින ලදි. ඒ අනුව රාජ්‍ය නිලධාරීන් ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දුවෙන් ආධාර ලබා දෙන්නට විය. ඊට අමතරව ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ අවසාන කාලයේදී ලාංකිකයෙකු වූ සර් ඔලිවර් ගුණතිලක මුදල් ලේකම් ලෙස පත් කිරීමත් සමඟ මෙතෙක් ඉහල රාජ්‍ය තනතුරු යුරෝපීයයන්ට පමණක් සීමා වීම අහෝසි විය.

    ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ ප්‍රථම වතාවට ලාංකිකයන්ට පාලනය පිළිබඳ වගකීම් පැවරුණු බැවින් මෙතෙක් පැවති ආණ්ඩුකරුගේ අණසක අවසන් විය. නමුත් ව්‍යවස්ථාදයකය තුළ අමාත්‍ය පදවි 7/10ක් ලාංකිකයන්ට හිමි වීමත් සමඟ එම නිදහස අයුතු ලෙස භුක්තිවිඳීමේ අවදානමක් ඇති බවට බ්‍රිතාන්‍යයන්ට අවබෝධ විය. මීට පෙර පූර්ණ බලයක් හෝ වගකීමක් පිළිබඳ අත්දැකීමක් නොතිබූ ලාංකිකයන් එම බලතල මාර්ගයෙන් අනිසි ප්‍රයෝජන නොගන්නා බවට තහවුරු කිරීම ආණ්ඩුකාරවරයා සතු යුතුකමක් විය. ඒ අනුව ලාංකිකයන්ට ලබා දුන් බලය සංවරණය කිරීමට අවශ්‍ය බලතල ද ආණ්ඩුකරුට හිමි විය. ඒ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ඉදිරිපත් වන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී 06 ආකාරයකට කටයුතු කිරීමට අවශ්‍ය බලතල ආණ්ඩුකරුට හිමි විය. ඒ අනුව අනුමැතිය සඳහා ඉදිරිපත් වන පනත් කෙටුමත් සඳහා 01). අනුමැතිය දීමට, 02). අනුමැතිය නොදීමට, 03). කිරීටයේ කැමැත්ත ලැබෙන තෙක් අනුමැතිය දීම කල් තැබීමට, 04). පනතට අනුමැතිය දී ක්‍රියාත්මක වීමට හය මාසයකට නොවැඩි කාලයකට කල් තැබීම, 05). පනතට සංශෝධන ඉදිරිපත් කොට නැවත සලකා බලන මෙන් ඉල්ලා රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ආපසු යැවීමට, 06). පනත ඉතා වැදගත් නම් එයට මන්ත්‍රණ සභාවේ සභිකයන්ගෙන් 2/3ක අනුමැතියක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කොට ආපසු හරවා යැවීමට යන විධිවිධාන හා බලතල ආණ්ඩුකරුට හිමි විය. කෙසේ වෙතත් ක්‍රියාත්මක වීමේ දී ආණ්ඩුකරු විසින් මෙම බලතල අනවශ්‍ය ලෙස නොයෙදූ බව පෙනී යයි. මන්ද යත් ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වූයේ ආණ්ඩුකරු මේ සියලු බලතල අනවශ්‍ය ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා ය.   

    ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සියලු දෙනාට ම ඡන්ද බලය හිමි වීම, අයිතිවාසිකම්, දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇති වීම, සර්ව ජන ඡන්ද බලය හා එක් අයකුට එක් ඡන්දයක් යන සිද්ධාන්තය (One Person – One Vote) මත නිරතුරුව ම මැතිවරණ පැවැත්වීම, දේශපාලන බහුත්වවාදය හා පක්ෂ තරඟය, වෙළඳ පොල මත පදනම් ව ක්‍රියාත්මක වන පෞද්ගලික ව්‍යවසායක ආර්ථික ක්‍රමයක් ඇති වීම, සෞඛ්‍ය සම්පන්න සිවිල් සමාජයක් ඇති වීම, පුද්ගල නිදහස ආරක්ෂා කිරීම හා සහතික කිරීම යන ක්ෂේත්‍ර වර්ධනය වීම එහි ඇති ඓතිහාසික වැදගත් කම පෙන්නුම් කරන ප්‍රබල සාධකයක් ලෙස හැදින්විය හැක. එය මනාව පැහැදිලි වන්නේ මෙම ඩොනමෝර් ප්‍රතිසංස්කරණයන්ගේ  ප්‍රතිඵලයක් ලෙස පසුව  බිහි වූ 1972 හා 1978 ව්‍යවස්ථා සඳහා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට ද දේශපාලකයන් උනන්දු වීමයි. වාර්ගික නියෝජනය අහෝසි කිරීම, ඩොනමෝර් ව්‍යවස්ථාව තුල දක්වන්නේ “ජාතිවාදය යන පිළිකාව වැලදී ශ්‍රී ලංකාව නැමති දේශපාලන ශරීරය මිය යාමට මත්තෙන් සිදුක‍ල යුතු කාර්යයක් වන බවයි.”  කෙසේ වෙතත් 1931දී වාර්ගික නියෝජනය අහෝසි කිරීම මීට පෙර සිදු කල යුතු, නමුත් ප්‍රමාද වී ගත් තීන්දුවක් බව පෙනී යයි. මන්ද යත් එමගින් වර්ධනය වී තිබූ ජාතිවාදය ඒ වන විට ද නැවත යතා තත්ත්වයට පත් කල නොහැකි ලෙස උඩු දුවා තිබූ රෝගයක් බවට පත් ව තිබීමයි.

2 comments: