චී |
න ඉතිහාසය පිළිබඳ ප්‍රථම ලිඛිත වාර්තා
හමුවන්නේ ක්‍රි. පූ. 1500 තරම් ඈත දී ෂෑං රාජවංශය යටතේ දී (ක්‍රි. පූ.1600–1046
පමණ) ය. මහා ඉතිහාසඥයාගේ සටහන් (ක්‍රි.පූ. 100 පමණ) සහ උණ අනු වාර්ෂික
වාර්තා වැනි ඓතිහාසික මූලාශ්‍රවල ෂෑං රාජවංශයට පෙර පැවති ස්ථිර ලිඛිත මාධ්‍යයක්
නොමැති වූ ශියා (ක්‍රි.පූ. 2070–1600 පමණ) නම් රාජවංශය පිළිබඳ සඳහන් වේ. සහස්‍රයකට
පෙර නියෝලිතික යුගයේ කහ ගඟ සහ යැංසි ගංගා නිම්න අවට විවිධ ස්ථාන කේන්ද්‍ර
කරගනිමින් සංස්කෘතිය ගොඩනැගුණත්, කහ ගඟ චීන ශිෂ්ටාචාරයේ තොටිල්ල
ලෙස සැලකෙයි. වසර දහස් ගණනක අඛණ්ඩ ඉතිහාසයක් සහිත චීනය ලොව පැරණිතම ශිෂ්ටාචාරවලින්
එකක් ලෙස සැලකෙයි. එසේම එය ශිෂ්ටාචාරයේ තොටිලිවලින් එකක් ලෙස ද හඳුන්වයි.
ක්‍රි.පූ. 206
සිට සියවස් 21ක කාලය තුළ චීන රාජ්‍යය තුළ එදිනෙදා පාලනය ගෙන යාමට විද්වත්
නිලධාරීන් නම් වූ විශේෂ නිලධාරීහු උපකාර වූහ. අක්ෂර කලාවට සහ දර්ශනය පිළිබඳ හසළ
දැනුමක් තිබූ තරුණ නිලධාරීන් අපහසු විභාග මාලාවක් ඔස්සේ ප්‍රවේශමෙන් මෙම තනතුර
සඳහා තෝරාගන්නා ලදී. චීන ඉතිහාසය විචාරීමේ දී පෙනී යන කරුණක් වන්නේ මාරුවෙන්
මාරුවට එළැඹි දේශපාලන ස්ථාවර සහ අස්ථාවර යුගයන්වල දී චීනය නිතර ස්ටෙප්ස් භූමියේ
ජනයාගේ ආක්‍රමණවලට ලක් වූ බවයි. අනතුරුව ඔවුන්ව හන් චීන ජනගහනය විසින් අධිශෝෂණය
කරගනු ලැබිණි.
චීන ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම
යුගයක් ලෙස හන් රාජවංශ (ක්‍රි.පූ. 202–ක්‍රි.ව. 220) යුගය හැඳින්විය හැකිය. මෙතෙක්
පැවති චීන ඉතිහාසය රචනා කීරීමේ මූලික කාර්යයන් නිළ වශයෙන් අරම්භ වන්නේ මෙම යුගයේ දී
වූ අතර එයට හන්
රාජවංශ සභාවෙන් ඉමහත් පිටිවහලක් ද ලැබී ඇත. මෙකල චීනයේ පැවති විශේෂ ලක්ෂණයක් වූවේ
ඉතිහාසය රචනය රාජකීය ඉතිහාසඥයෙකුගේ ප්‍රධානත්වයෙන් රජයේ දෙපාර්තමේන්තුවක් වශයෙන්
පවත්වාගෙන යාමයි. එමගින් ඓතිහාසික ලේඛන සුරැකි ව තබා ගැනීමට හැකි විය. එහිදී චීන ඉතිහාසකරණයට නව අත්දැකීමක් ලබා
දෙමින් වර්තමාන පිළිගැනීමට අනුව විද්‍යාත්මක ඉතිහාසකරණ සම්ප්‍රදායකට අඩිතාලම දැමූ
පුද්ගලයෙකු ලෙස සා-මා-චියන් (Sima
Qian) (ක්‍රි.පූ. 145-90) හැඳින්විය හැක.
චීන ඉතිහාසයේ පියා හෙවත් චීනයේ ශ්‍රේෂ්ඨතම ඉතිහාසඥයා ලෙස ද හඳුන්වන්නේ ඔහු ය. ඔහු
විසින් රචනා කරන ලද ෂ-චී ග්‍රන්ථය තුළ කහ අධිරාජ්‍යයේ සිට ස-මා-චියන් ජීවත්
වූ යුගය දක්වා වසර 1000ක් පමණ කාලයක් ආවරණය වන පරිදි චීන ඉතිහාසගත තොරතුරු අන්තර්
ගත කොට ඇති අතර ඉතිහාසය චරිතාපදාන මාලාවක් ලෙස ඉදිරිපත් කර තිබීම එහි ඇති
සුවිසේශීත්වයයි. ඔහු ලියූ මහා ග්‍රන්ථය මුලදී හඳුන්වනු ලැබුවේ “තයි-ෂ-කුං-ෂූ”
හෙවත් ‘ගරු රාජකීය ඉතිහාසඥයෙකුගේ ලියවිලි’ යනුවෙනි. එය ක්‍රි.ව. දෙවන
සියවසේ දී පමණ ‘ඉතිහාසඥයකුගේ වාර්තා’ හෙවත් ‘ෂ-චී’ නමින් හැදින්වීමට
පටන්ගෙන ඇත. ස්වකීය කෘතිය පරිච්ඡේද 130කින් සමන්විත වන බව සා-මා-චියන් විසින් ම
සඳහන් කරයි. තව දුරටත් ඔහු දක්වා ඇත්තේ “මවිසින් අතීත සිද්ධීන් පරීක්‍ෂා
කරමින් ඒවායේ සාර්ථක අසාර්ථකභාවයට තුඩු දුන් මූලධර්ම සොයා දක්වමින්....” තම
ඉතිහාස කෘතිය රචනා කරන ලද බවයි.
සා-මා-චියන්ගේ
පියා වූ ස-මා-තාන් (Sima
Tan) ද
හන් රාජ සභාවේ රාජකීය ඉතිහාසඥයා ලෙස සේවය කර ඇති අතර ඔහුගෙන් පසුව එම
පුරප්පාඩුව පිරවීමේ අවස්ථාව ක්‍රි.පූ. 105දී පමණ සා-මා-චියන්ට හිමි විය. එකල චීනය
තුළ ඉතිහාසඥයකුට තම කාර්යයට අමතරව තාරකා ශාස්ත්‍රඥයෙකු ලෙස කටයුතු කරමින්
ඉතිහාසකරණයේ යෙදීම අත්‍යවශ්‍ය වූ අතර ස-මා-චියන්ගේ
තොරතුරු විමසීමේ දී එම ආභාෂය ද මැනවින් නිරූපනය වන ආකාරයක් පෙනී යයි. රාජ සභාව සමඟ
තිබූ එම සම්බන්ධතාව හේතුවෙන් ම රාජකීය ලේඛණාගාර තොරතුරු, වාර්තා හා එකල පැවති
චාරිත්‍ර-වාරිත්‍ර සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ද ඔහු සතු විය. ඔහු සිය ඉතිහාසකරණයේදී
හන් රාජවංශයට පෙර පැවති ඉතිහාසගත තොරතුරු අන්තර්ගත උණ හා ලී පතුරුවල සටහන් ව තිබූ
පැරණි තොරතුරු උපයෝගී කොට ගෙන ඇත. එක් අවස්ථාවක දී ෂ-චී ග්‍රන්ථයේ දැක්වෙන ආකාරයට
සා-මා-චියන් විසින් වන් ආදිපාද තුමාගේ කාලයේදී ප්‍රථම වරට සිද්ධීන්
වාර්තාගත කිරීම සඳහා පත් කරන ලද වාර්තාකරුවන්ගේ වාර්තා ද උපයෝගී කොට ගෙන ඇත. තවද
තම කෘතිය රචනා කිරීමේදී ස-මා-චියන් විසින් කොන්ෆියුසියස් විසින් රචනා කරන ලද ලූ-ෂ-චුන්-චියු
හෙවත් වසන්ත සහ ශරත් සමයන්හි රාජ ප්‍රවෘත්ති නම් ග්‍රන්ථයත්, චූ-ෂූ-චි-නියැන්
හෙවත් උණ පතුරුවල ලියූ රාජ ප්‍රවෘත්ති නම් ග්‍රන්ථය මෙන් ම වෞ යුගයට
අයත් ජන කතා අන්තර්ගත වන ස-චුවන් නම් ජීවන කතා කෘතිය ද ආදී පෙර පැවති
කෘතීන් රාශියක ආභාෂය ලබමින් ෂ-චී ග්‍රන්ථය රචනා වී ඇත. එම ආභාෂය අනුව යමින්
ඉතිහාසය රචනයේ දී ලෞකික තොරතුරුවලට මුල් තැන දීම, කාලනිර්ණ රටාවක් මත තොරතුරු ගොනු
කිරීම හා සත්‍යයට සමීප සිද්ධීන් වාර්තා කිරීම ආදී විද්‍යාත්මක ලක්ෂණ ස-මා-චියන්ගේ
ඉතිහාසකරණය තුළින් විද්‍යාමාන වේ.
ඔහුගේ කෘතියේ
ඇති වැදගත් ම ලක්‍ෂණයක් වන්නේ කරුණු විග්‍රහ කිරීමේ දී අනුගමනය කළ ආකෘතියයි. එහිදී
ඔහු තම කෘතිය කොටස් පහකට බෙදා දක්වයි.
1.
‘පන්-චි’ හෙවත් මූලික රාජ
ප්‍රවෘත්ති.
ඔහු ජීවත් වූ යුගය දක්වා රජකම් කළ රජුන් පිළිබඳ තොරතුරු මෙහි අන්තර්ගත
වන අතර පරිච්ඡේද 12කින් යුක්ත වේ.
2.
‘පියාවෝ’ හෙවත් කාල නීර්ණ
වාර්තා
පුරාණයේ සිට සිදු වූ වැදගත් සිදුවීම් සංක්ෂිප්ත ලෙස වාර්තා කර ඇති අතර
පරිච්ඡේද 12කින් යුක්ත වේ.
3.
‘ෂූ’ හෙවත් විශේෂ මාතෘකා
මත රචිත ලිපි.
මෙම කෘතියේ ඉතාමත් ම වැදගත් ම කොටසක් වන මෙය පරිච්ඡේද 08න් යුක්ත වන
අතර රාජකීය පාලන තන්ත්‍රය හා අනෙකුත් ඉතිහාස ගත තොරතුරු මෙහි අන්තර්ගත වේ. ඒ අතර
පූජෝත්සව, සංගීතය, දින දර්ශනය, තාරකා ශාස්ත්‍රය, කහ ගඟ හා අනෙකුත් වාරි මාර්‍ග,
වෙළදාම ආදී අංශයන් ගැන තොරතුරු අන්තර්ගත වේ.
4.
‘ෂ-චියා’ හෙවත් පාරම්පරික
රදල පවුල් පිළිබඳ කතා පුවත්.
මෙහි දී විස්තර වන්නේ හන් යුගයට පෙර හා සමකාලීන දේශපාලන ඒකක හා රදල
පරම්පරා සම්බන්ධයෙනි. මෙය පරිච්ඡේද 30න් යුක්ත වේ.
5.
‘ලියේ-චුවන්’ හෙවත්
සාමාන්‍ය පුද්ගලයන් ගැන කතා පුවත්.
පරිච්ඡේද 70න්
යුක්ත වන මෙම කොටස තුළ රජවරු හා ප්‍රභූවරු හැරුණු විට අනෙකුත් අය ගැන තොරතුරු
අන්තර්ගත වේ. ඒ අනුව මෙහි දී රජයේ නිලධාරීන්, රජයේ සේවකයන්, වෙනත් රටවලින් චීනයට
පැමිණි දූත පිරිස් ගැන හා සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් ද තොරතුරු අන්තර්ගත වේ.
මෙලෙස ඉතිහාස
රචනය තුළ දී හ්වං-තී නම් පළමුවැනි චීන රජුගේ සිට කතුවරයා ජීවත් වූ යුගය
දක්වා සිටි රාජ වංශ ගණනාවක් පිළිබඳ තොරතුරු අන්තර්ගත ව ඇත. ඒ හේතුවෙන් ම මෙම ග්‍රන්ථය
තුළ චීනයේ වඩා දීර්ඝ කාල පරිච්ඡේදයක ඉතිහාසය ගවේෂණය කිරීමට හැකි වේ. ඒ තුළින්
කාලානුරූපව චීන ජන ජීවිතයේ ඇති වූ වෙනස්කම් හා ඒ අතර ඇති වූ අන්‍යෝන්‍ය සම්බන්ධය
අවබෝධ කර ගැනීමට හැකි වේ. වර්තමාන දෘෂ්ඨි කෝණයට අනුව බලන්නේ නම් හන් රාජවංශ සමයේ
සිද්ධීන් අතීතය සමඟ සම්බන්ධ කොට වඩා පුළුල් අර්ථයෙන් ගෙන හැර දැක්වීමට ෂ-චී ග්‍රන්ථය
තුළ උත්සහ කර තිබීම ඉතාමත් සාධනීය අංගයක් ලෙස දැක්විය හැකිය. මන්ද යත් දේශපාලන
ඉතිහාසය සාමාන්‍යයෙන් රාජ වංශයෙන් වංශයට බෙදා දැක්විය හැකි නමුත් යම් යුගයක
සංස්කෘතික හා සාමාජික ඉතිහාසය බොහෝ සෙයින් ඉන් පෙර පැවති තත්ත්වය සමඟ ඍජුව ම
සම්බන්ධ වන අතර එහි ප්‍රතිඵල පසු කාලීන ව විද්‍යාමාන වීම සිදු වේ. එම ක්ෂේත්‍රය
තුළ ඇති වූ වෙනස්කම් එක් යුගයකට වෙන් කර
විග්‍රහ කිරීම ඉතාමත් අසීරු වීම හෙයින් ෂ-චී ග්‍රන්ථයේ උත්සහය වඩාත් සාර්ථක වේ.
ඊට අමතරව ෂ-චී
ග්‍රන්ථය රචනා කිරීමේ දී තම අදහස් නොබියව ඉදිරිපත් කර තිබීම ඉතිහාස කෘතියක් තුළින්
දැකිය හැකි සාධනීය ලක්ෂණයකි. පෙර සඳහන් කළ ආකාරයට කොන්ෆියුසියස්වාදී ආභාෂය
සා-මා-චියන්ගේ රචනා ශෛලියේ දක්නට ලැබුනත් එයට වහල් නොවී ප්‍රායෝගික තත්ත්වයන්
පෙන්වා දීමට ඔහු උනන්දු වී තිබේ. එහිදී විශේෂයෙන් සඳහන් කරන්නේ නම් එකල චීන ජන
ජීවිතය තුළ දී කොන්ෆියුසියස් දර්ශනයට අනුව කෘෂිකාර්මික ආර්ථික හා සමාජ ක්‍රමයට
මූලිකත්වය ලබා දීම සිදු විය. නමුත් ඊට අභියෝග කරමින් සා-මා-චියන් ප්‍රකාශ කරන්නේ
වෙළදාමට හා කර්මාන්තවලට, ආර්ථික ක්ෂේත්‍රයේ මූලිකත්වය දිය යුතු බවයි. මෙය ඉතිහාස
කෘතියක විශ්වසනීයත්වය තව දුරටත් වර්ධනය වීමට බලපාන සාධකයකි. මන්ද යත් සමාජයේ මුල්
බැසගෙන ඇති විශ්වාසයකට අභියෝග කරමින් සත්‍යය තත්ත්වය පෙන්වා දීමට කරන ලද උත්සාහයක්
වීමයි.
තවද ෂ-චී ග්‍රන්ථය
සඳහා මූලාශ්‍ර පරිශීලනයේ දී ද ස-මා-චියන් වඩාත් විචක්ෂණශීලී වී ඇති බව ඔහුගේ එම
කෘතිය අධ්‍යයනයේදී අවබෝධ වේ. විශේෂයෙන් ම ඔහු විසින් කොන්ෆියුසියස් විසින් රචිත
ලූ-ෂ-චුන්-චියු හෙවත් වසන්ත සහ ශරත් සමයන්හි රාජ ප්‍රවෘත්ති නම් ග්‍රන්ථයත්,
ෂු-චීං හෙවත් ඉතිහාස පුවත් නම් ග්‍රන්ථයේත් කාල නිර්ණයන් වැරදි බව හේතු සාධක මඟින්
පෙන්වා දී තිබේ. ඊට අමතරව ස-මා-චියන් විසින්, ක්‍රි.පූ. 138 දී චාං- චියෙන් නම්
මහ රජුගේ තානාපතිවරයා බටහිර තුර්කිස්ථානය දක්වා ගමන් කොට තමන්ගේ අත්දැකීම් අලළා කළ
විස්තරය, කොන්ෆියුසියස් ෂු-චිංහි හ්වං-හ නදියේ උල්පත ලෙස සඳහන් කරන කුන්ලුන්
කඳුවැටිය පිළිබඳ විස්තරය සමඟ සසඳමින් ප්‍රකාශ කරන්නේ එම ප්‍රදේශය ගවේෂණය කළ
චාං-චියෙන් විසින් හ්වං-හ නදියේ උල්පත පිහිටි ප්‍රදේශය සොයා ගත් නමුත් එවැනි
කඳුවැටියක් ඔහුට හමු නොවීම නිසා කොන්ෆියුසියස්ගේ විස්තරය වැරදි බව යි. මෙය වර්තමාන
ඉතිහාසකරණය අනුව සලකා බලන්නේ නම් ඉතිහාසඥයන් විසින් තම මූලාශ්‍ර සංසන්දනය කරමින්
වඩා නිවැරදි මූලාශ්‍ර තම ග්‍රන්ථකරණය සඳහා යොදා ගැනීමට සමාන වේ. එහිදී සමාජයේ මෙතෙක්
පැවති සාම්ප්‍රදායික මතවාදයන්ගේ පැවති අඩුපාඩු පෙන්වා දීම හා සමකාලීන තොරතුරුවල
ඇති විශ්වසනීයත්වය පිළිබඳ අවධානය යොමු කිරීම ආදී සාධනීය ලක්ෂණ ෂ-චී ග්‍රන්ථයේ
දක්නට ඇත.
නිවැරදි ඉතිහාසකරණය තුළ වර්තමානයේ දී ඉතිහාසඥයෙකුගේ
අවධානය යොමු විය යුතු කරුණු කාරණා කීපයක් පවතී. ඒවා නම්,
·
ඉතිහසගත තොරතුරු කිසිවිටකත් නිර්මල නොවන අතර එම
ඉතිහසගත තොරතුරු අපට ලබාදෙන්නේ ඉතිහාසඥයෙකු විසින් ඒ ගැන සිතාමතා සකස් කිරීමෙන්
අනතුරුව ය.
·
කවර කරුණු, කවර අයුරින් කථා කළ යුතු ද යන්න තීරණය
කරන්නේ ඉතිහාසඥයා ය. ඒ අනුව තෝරා ගැනීමේ හා ඉවත් කිරීමේ තීරණාත්මක ක්‍රියාවලියකින්
පසුව ඉතිහාසය නිර්මාණය වේ.
·
එහිදී නිරන්තරයෙන් ම ඔහුගේ අවධානය එම සිද්ධිය හා සිද්ධි දාමය සිදු
වූවේ කෙසේ ද?, කිනම් ආකාරයකට ද?, කවදා ද?, ඇයි?, යන ප්‍රශ්නාවලිය තුළ විභාග වෙමින්
නිර්වචනය වූ සමස්තය කෙලෙසින් නූතන මානවයා වෙත ඉදිරිපත් කිරීම මෙන් ම ඊට සාධාරණ
විසඳුමක් එක්තැන් කිරීම සිදු කරනු ලබන්නේ ඉතිහාසඥයා විසිනි.
මෙයට සමාන අදහස් ෂ-චී ග්‍රන්ථය තුළ ද
අන්තර්ගත වේ. “ඉතිහාසය ලිවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන අතර සැකයට තුඩු දෙන කරුණු
තෝරා බේරා ගත යුතු, එමෙන් ම අවදානම් සහිත ස්ථාන නිරන්තරයෙන් හමුවන බවත් එයට හේතුව
මූලාශ්‍රයන් විරල වීම හා මූලාශ්‍රයන්ගේ පරස්පර විරෝධතා බවත්” සා-මා-චියන් ප්‍රකාශ
කරයි. තවද රාජවංශ හා රදල පවුල්වල ඉතිහාසගත තොරතුරු රචනා කිරීමේ දී ඇති වන පරස්පරතා
හා දෝෂයන් එම ස්ථානයේ සඳහන් නොකර පසු පරිච්ඡේදයක් වන කාලනිර්ණ වාර්තාවන්හි ඒවා
නිවැරදි කොට දක්වා ඇත. එමගින් ඔහු උත්සාහ කරන්නට ඇත්තේ පෙර පැවති ඓතිහාසික තොරතුරු
වාර්තාකරණයේ දී එය පැවති අකාරයෙන් ම සඳහන් නොකර සංශෝධන කිරීමට යාමෙන් එහි ඇති ගුණාත්මකභාවයට
වන හානි අවම කිරීම විය හැක.
ෂ-චී ග්‍රන්ථයේ ඇති තවත් වැදගත් ලක්ෂණයක්
වූවේ ග්‍රන්ථාවසානයේ තමන් ඉතිහාසය රචනා කිරීමට පෙළෙඹ වූ කරුණු හා භාවිතයට ගනු ලැබූ
ඉතිහාස ක්‍රමවේදය සඳහන් කර තිබීමයි. එය වර්තමාන පර්යේෂණ කෘතියක අන්තර්ගයකට වඩා
දියුණු ලක්ෂණයකි. විශේෂයෙන් ම ෂ-චී ග්‍රන්ථය, පන්-කුගේ හන්-ෂූ ග්‍රන්ථය මෙන් ම ඊට
පෙර චීන ඉතිහාස ග්‍රන්ථ සමඟ සංසන්දනයේ දී සා-මා-චියන් ග්‍රන්ථයේ
වඩා සාධනීය මෙන් ම දුර්වලතා ද දැකිය හැකි වේ. විශේෂයෙන් ම රාජ්‍ය මැදිහත් වීම මත
මෙන් ම එහි ඇති පැරණිභාවය මත කාලයත් සමඟ සංස්කරණය කරමින් මුල් කෘතියේ යම් යම්
කොටස් සංශෝධනය වී ඇති බව මෙයට නැගෙන ප්‍රධානතම චෝදනාව වේ. තවද සමකාලීන ඉතිහාසඥයෙකු
වූ පන්-කූ විසින් ද ස-චී ග්‍රන්ථයේ දුර්වලතා පෙන්වා දී ඇත. ඔහුට අනුව :
1.
ෂ-චී ග්‍රන්ථයේ ප්‍රමාණාත්මක ව සංක්ෂිප්ත
වන අතර අනවශ්‍ය නිදහසකින් මූලාශ්‍ර පරිශීලනය කර ඇත.
2.
විශාල මූලාශ්‍රයන් ප්‍රමාණයක් උපයෝගී කර
ගෙන ඇති නමුත් කොන්ෆියුසියස් අදහස් වලින් ඈත් වී තිබීම.
3.
හන් රාජවංශයේ රජවරුන්ට සමාන තත්ත්වයෙන්
චින් හා සියං රජවරුන් පිළිබදව තොරතුරු දැක්වීම හේතුවෙන් අගෞරව කර තිබීම.
4.
තායි-චූ යුගයට පසු වර්ෂ හතරක හිඩැසක්
පැවතීම. (ක්‍රි.පූ. 104-101)
කෙසේ වෙතත් දෙවන හා තෙවන දුර්වලතා පන්-කූ
ගේ දෘෂ්ඨිකෝණයේ පවතින දුර්වලතා බව ඉතා පැහැදිලි ය. විශේෂයෙන් ම කොන්ෆියුසියස්
අදහස්වලින් මිදීම හා රජවරුන් සියලු දෙනා සම්බන්ධයෙන් සමානව තොරතුරු ඉදිරිපත්
කිරීමට උත්සහ කිරීම ස-චී ග්‍රන්ථයේ ඇති ප්‍රබලතාවයකි. නමුත් පළමු හා අවසාන කරුණු
මෙහි ඇති දුර්වලතාවක් ලෙස සැලකීම සාධාරණ වේ. මන්ද යත් චීන ඉතිහාසයේ ඉතා විශාල
වපසරියක් ආවරණය කිරීමට උත්සහ කිරීම හේතුවෙන් ෂ-චී ග්‍රන්ථය අනවශ්‍ය ආකාරයෙන්
සංක්ෂිප්ත වී ඇත. කෙසේ වෙතත් එතෙක් පැවති සමස්ත චීන ඉතිහාසය ම ආවරණය කරමින් රචනා
කරන ලද ප්‍රථම ග්‍රන්ථය ෂ-චී වීම හේතුවෙන් මෙම දුර්වලතා නොවැළැක්විය හැකි ඒවා විය
හැකිය.
ඊට අමතරව ෂ-චී
ග්‍රන්ථයේ ඇති තවත් දුර්වලතා කීපයක් ඇත. එවා නම්
·
විටින් විට දක්වා ඇති කරුණු අතර පරස්පරතා
තිබීමයි. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් කෘතියේ එක් තැනක ඇති අන්දමට වෙයි රාජවංශය
පිරිහී ඇත්තේ දෙවියන්ගේ කෝපය හේතුවෙනි. නමුත් එම කෘතියේ ම තවත් තැනක දක්වා ඇත්තේ වෙයි
රාජවංශය පිරිහී ඇත්තේ සියං-යූ නම් රජුගේ ක්‍රියාකලාපය හේතුවෙන් වන
බවයි.
·
තවද චියාවෝ රාජවංශය පිළිබඳ ඇති
විස්තරයේ දී ආදීතම මූලාශ්‍රයන් හමු නොවන කොටස් ෂ-චී ග්‍රන්ථයේ දක්නට ලැබීම තුලින්
පෙනී යන්නේ
අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීම තුලින් එහි ඇති චිත්තාකර්ෂණය වර්ධනය කිරීමට උත්සහ කරන
ලද බවයි.
·
ග්‍රන්ථ රචනයේ දී චරිත කතා ස්වරූපය
අනුගමනය කරමින් කරුණු සැකසීම හා පරිච්ඡේද
බෙදීම හේතුවෙන් පුනරුක්ත දෝෂ බහුලව යෙදී ඇත.
·
විද්‍යාත්මක ඉතිහාසකරණයෙන් දුරස් වෙමින්
දෙබස් උපයෝගී කර ගෙන ඓතිහාසික චරිත නිර්මාණය කිරීම හේතුවෙන් ඓතිහාසික නව කතාවක
ස්වරූපයක් ගෙන තිබීම.
·
සැඟවුණු අරුත් ඇති යෙදුම් භාවිතා කිරීම
තුළින් ඉතිහාසඥයෙකු විසින් නොකළම යුතු වරදක් සිදු කර තිබීම.
ආදී කරුණු
දැක්විය හැකිය.
චීන ඉතිහාසකරණය
තුළ ලෝක සිද්ධීන්ගේ පරිණාමය තුළින් පැහැදිලි වන සත්‍ය හැටියට තෝරා බේරා ගත්තේ සෑම
දෙයක ම ‘හොද’ හා ‘නරක’ යන මූලධර්මයන් මතය, යන සිද්ධාන්තයයි. ඔවුන් ඉතිහාස සිද්ධීන්
විග්‍රහ කිරීමෙන් පෙන්වා දීමට තැත් කලේ දුෂ්ටයින් ඔවුන්ගේ ක්‍රියා නිසාම නැසෙන අතර
යහපත් පුද්ගලයෙකුගේ ගුණ සමුදාය යුගයෙන් යුගයට නොනැසී පවතින බවයි. අනෙකුත් පෙර අපර
දෙදිග රටවල ගැබ් වූ මෙන් ම පුරාණ චීනයේ ඓතිහාසික සම්ප්‍රදාය තුළ ද උපදේශාත්මක පරමාර්ථයක්
ගැබ් වූ බව මෙයින් පෙනී යයි.
තමා දැරූ අදහස්
නිර්භීතව ප්‍රකාශ කිරීමට යාම හේතුවෙන් අවසානයේ දී ස-මා-චියන්ට අත් වූ ඛේදජනක ඉරණම,
ඒ මඟ ගත් වෙනත් වියතුන්ට නොදෙවනි විය. අධිරාජ්‍යයාගේ වුවද වරද, වරද වශයෙන් දැක්වීම
ඔහුගේ සිරිත විය. එසේ කළ එක් අවස්ථාවක දී ඔහුට මරණ දඬුවම නියම වූ නමුත් ලිහිල්
කිරීමක් වශයෙන් තමා කැමති නම් ඒ වෙනුවට නපුංසක කරනු ලැබීම තෝරා ගැනීමට ස-මා-චියන්ට
ඉඩ ලැබිණ. නිග්‍රහය හා බැඳුණු එම විකල්පය ඔහු තෝරා ගන්නට ඇත්තේ ඉදිරි කාලය තුළ තමා
ලියූ ග්‍රන්ථය නිම කිරීමේ අදහසින් විය හැකිය.
ස-මා-චියන්ගේ
ඉතිහාස ග්‍රන්ථය වූ ෂ-චී ග්‍රන්ථයේ ඇති වැදගත්කමක් වන්නේ ඔහු විසින් හඳුන්වා දුන්
යම් යම් ඉතිහාසකරණ සම්ප්‍රදායන් පසු කාලීන ඉතිහාසඥයන් විසින් අගය කරමින් තම
කෘතීන්වලටද යොදා ගැනීමයි. එහිදී සා-මා-චියන්ට සමකාලීන නමුත් ඔහුට පසුව විසූ ප්‍රකට
චීන ඉතිහාසඥයෙකු වන පන්-කූ විසින් ද තම කෘතිය වන හන්-ෂූ රචනා කිරීමේ දී ෂ-චී ග්‍රන්ථය
පරිශීලනය කළ බව දක්වන අතර එහි තිබූ දුර්වලතා මඟ හරිමින් හන්-ෂූ ග්‍රන්ථය රචනා කර
ඇති බව පෙනී යයි. තවද චීන ඉතිහාසයේ විවිධ යුගයන් එකට ඈඳමින් පරිපූර්ණ කෘතියක් රචනා
කිරීමට සුං යුගයේ ජීවත් වූ වෙං-චියාවෝ (1108-1166) හැකි වූවේ ද ෂ-චී ග්‍රන්ථය
අනුව යමිනි. සුං යුගයේ ම ජීවත් වූ තවත් ප්‍රකට ඉතිහාසඥයෙකු වූ මා-කුවන්-ලින්
ද තම කෘතියේ පෙරවදනෙහි ම ෂ-චී ග්‍රන්ථයේ ඇති ඉතිහාසකරණ ශෛලිය අගය කොට දක්වා ඇත. මෙම
ක්‍රියාකලාපයන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ චීන ඓතිහාසික සම්ප්‍රදායේ වර්ධනයට ප්‍රබල බලපෑමක්
ෂ-චී ග්‍රන්ථය තුළින් ඇති කරන ලද බවයි. සා-මා-චියන්ගේ ෂ-චී ග්‍රන්ථය හන් යුගයට පෙර
චීනයේ ඉතිහාසය පිළිබදව හැදෑරීමේ දී දැනට ඉතිරි ව ඇති වැදගත් ම හා පරිපූර්ණ ම කෘතිය
වීම මෙහි ඇති විශේෂත්වයයි. ඒ හේතුවෙන් පැරණි චීන ඉතිහාසකරණයට නිසි මඟ පෙන්වීමක්
ලැබුණු අතර පෙර අපර දෙදිග ඉතිහාසකරණ සම්ප්‍රදාය තුළ චීන ඉතිහාසකරණයට ද නිසි
ස්ථානයක් ලබා දීමට සා-මා-චියන්ගේ ෂ-චී ග්‍රන්ථය සමත් විය.
No comments:
Post a Comment