Friday 2 July 2021

“පරිපාලන වාර්තා, යුගයේ හදගැස්ම තත්ත්වාකාරයෙන් නිරූපණය කරන්නකි”

 



ශ්‍රී

 ලංකාව තුළ පරිපාලන වාර්තා සකස් වීම ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය සමයේ සිටය. සමාජ, ආර්ථීක හා දේශපාලන යන අංශවල මහා පෙරළියක් සිදු වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී ය. ඔවුන්ගේ යටත් විජිත පාලන ක්‍රමය තුළ යුරෝපා රාජ්‍ය තුළ වූ මූලස්ථානවල මෙන්  ම ඔවුන්ගේ ලංකා පරිපාලන මධ්‍යස්ථානවල ද අඛණ්ඩව ලේඛන ගොඩ නැගුණහ. මේවා තුළ මව් රට හා විජිතය අතර හුවමාරු වූ නිල ලේඛනවලට අමතරව ලංකාවේ විවිධ පළාත් හා පරිපාලන මධ්‍යස්ථාන අතර හුවමාරු ලිපි ලේඛන ද වේ. මෙහි දී අවධානය යොමු කරනු ලබන පරිපාලන වාර්තා අධ්‍යයනය තුළින් බ්‍රිතාන්‍ය සමය සම්බන්ධයෙන් මෙන් ම ඉන් පසු කාලය සම්බන්ධයෙන් ද අනෙකුත් වාර්තාවලට සාපේක්ෂව ඉතා වැදගත් තොරතුරු රාශියක් තේරුම් ගැනීමට හැකියාවක් ලැබේ.

මෙහි දී පරිපාලන වාර්තා (Administration Reports) ලෙස හැඳින්වෙන්නේ දිස්ත්‍රික් හෝ මහ ආණ්ඩුවේ පාලනය පිළිබඳ ඒ ඒ නිලධාරීන් විසින් සකස් කොට කොළඹ මධ්‍යම කාර්යාලයට ඉදිරිපත් කරන ලද වාර්තා විශේෂයකි. ඒවා 1868 වර්ෂයේ සිට පළ කොට ඇත.

ඇතැම් පරිපාලන වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී සමාජ, දේශපාලන, ආර්ථික හා ආගමික ආදී විවිධ පරාසයන්ට අදාළ ව ඒම යුගයන්වල සේවයේ නිරත වූ පරිපාලන නිලධාරීන් සවිස්තරාත්මක ස්වකීය වාර්තා ඉදිරිපත් කිරීම මේ යුගයේ දැකිය හැකිය. එමෙන් ම ඒ ඒ විෂයානුබද්ධව (කෘෂිකාර්මාන්තය, වාරි කර්මාන්තය, සෞඛ්‍යය, අධ්‍යාපනය, ආගම හා ජන සංයුතිය) කරුණු රැසක් ඒ තුල අඩංගු වනු දැකිය හැකිය. ඇතැම් පනත් පැනවීමේ දී ඒ සඳහා ඉවහල් වූ හේතු සහ එම පනත් තුළින් අපේක්‍ෂිත පරමාර්ථ කවරේදැයි ඕනෑම පර්යේෂකයෙකුට මෙකී පරිපාලන වාර්තා තුළින් අනාවරණය කර ගත හැක.

උදා-:

1871 ග්‍රාමීය ප්‍රජාව සම්බන්ධ ව ඉදිරිපත් කළ පනත පිළිබඳ ව ස්වකීය පරමාර්ථය මෙම යුගයේ විසූ පරිපාලකයා යටත් විජිත භාර ලේකම්ට පැහැදිලි කලේ මෙසේ ය.

සුළු සිවිල් නඩු හා අපරාධ නඩු විමසීමේ බලය ද ඇතුළු ගමේ පාරවල්, ඒ දඬු, පාලම්, මංමාවත් හා අම්බලම් ආදී දේ ඉදි කිරීම හා නඩත්තු කටයුතු ආදී පොදු දේ සැලසීමට අවශ්‍ය දේ ප්‍රාදේශීය ව තම ප්‍රදේශයට අවශ්‍ය පරිදි පාලනය කිරීමේ බලය සෑම ප්‍රදේශයක ම පදිංචි කරුවන්ට ලබා දෙන ප්‍රජා ස්වයංපාලන මඟින් අපේක්‍ෂා විය.[1]

        පරිපාලන වාර්තාවේ සඳහන් එම පාඨයෙන් ගම්‍ය වන්නේ මෙම යුගයේ දේශීය ග්‍රාමීය සමාජය තුළ ඔවුන්ට ආවේණික, ඔවුන්ගේ ම යැයි කියාගත් ස්වයං පරිපාලන ක්‍රමයක් පැවති බවයි. පරිපාලන වාර්තා වැදගත් වීමට තවත් හේතුවක් වන්නේ එම යුගයේ විවිධ විෂයානුබද්ධ වාර්තා ද ඒ තුළ අන්තර්ගත වීමයි.

        උදා: පොලිස් වාර්තා[2], සමාජ පෙළීම්වලට ලක් වූවන් පිළිබඳ වාර්තා.[3]

        ලාංකේය ඉතිහාසය ආශ්‍රිතව ඉඩම් පිළිබඳ පර්යේෂණ කරන්නෙකුට 1882 Report of the Sabaragamuwa  නැමති වාර්තාව සුවිශේෂී වේ. එකී වාර්තා තුළ අන්තර්ගත වන්නේ මේ යුගය වන විට දේශීය ඉඩම් හිමි පිරිස්වල නිශ්චිත සංඛ්‍යාවක්, ඒවා කුමන වගාවන් සඳහා භාවිතයට ගත්තා ද යන්නත්, කුමන අවශ්‍යතාවයන් සඳහා භාවිතයට ගත්තා ද?, බෞද්ධ ආරාම විහාරවලට කෙතරම් භූමි ප්‍රමාණයක් අයිතිව තිබුණාද යන්න පිළිබඳ ව දැන ගැනීමට මේවා වැදගත් වේ.[4] 

            ඊට අමතරව බ්‍රිතාන්‍යයින් පැමිණීමට පෙර හා පසු තත්ත්වයන් මෙන් ම ඒ අතර කාලවකවානුවලදී සමාජය පැරණි සිංහල වැඩවසම් ආර්ථික හා සමාජයේ සිට බටහිර වාණිජ ධනවාදී ආර්ථිකයකට පරිවර්තනය වූ ආකාරය ගැනත්, පැවති සාම්ප්‍රදායික සිරිත් විරිත්, විවාහ ක්‍රම හා කුල ධූරාවලිය පිළිබඳවත් මනා අවබෝධයක් ලබා ගැනීමට පරිපාලන වාර්තා උපයෝගී කර ගත හැකිය.

        උදා: තේවලට පරිවර්තනය වීම හා සිංහල වතු ශ්‍රමයේ වර්ධනය පිළිබඳ ඌව පළාතේ රජයේ ඒජන්තවරයා විසින් දැක්වූ අදහස්;

“දැන් තේ ව්‍යවසාය, සිංහලයන් විශාල සංඛ්‍යාවකට කුලී ගෙවයි; පෙර මෙන් නොව දැන් අවුරුද්දක් පාසා, එසේ වතුවල වැඩ කිරීමට ඔවුන් තුළ ඇති කැමැත්ත වැඩි වේ. මෙය බලාපොරොත්තු තැබිය හැකි හොඳ තත්ත්වයකි. මේවා අර්ධ වශයෙන්, දුප්පත්කමේ ප්‍රතිඵලය සේ ම නව මාර්ග නියෝගයේ ප්‍රතිඵල ද වේ. මාර්ගවල වැඩ කිරීම නිසා වී ගොවිතැනට අමතර කර්මාන්තයක් කිරීමට ඔවුන් පුරුදු වී ඇතිවා මෙන් ම ඒවා පහත් ස්වභාවයක වැඩ යයි යන අදහස ඉවත් වී ඇත”[5]

        ඉහතින් දක්වන ලද පරිපාලන වාර්තාවෙන් ඉතා වැදගත් තොරතුරු රාශියක් ගම්‍ය වේ. එනම් මුල දී උඩරට ප්‍රදේශ ආශ්‍රිතව පැවති වතුවල වැඩ කිරීමට සිංහල ජනතාව අකමැති වුවත් විවිධ ආර්ථික ගැටලු මෙන් ම අධිරාජ්‍ය ප්‍රතිපත්තියේ ම නියෝග හේතුවෙන් අසරණ වූ දේශීය ජනතාවට කෘෂිකර්මාන්තයට අමතරව ඇති එක ම යැපුම් මාර්ගය ද එය වීම හේතුවෙන් පහතරට ප්‍රදේශවලින් ජනතාවට උඩරට ප්‍රදේශවලට සංක්‍රමණ වීමේ ප්‍රවණතාව ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.

මෙම බොහෝමයක් වාර්තාවන්හි ඇති වැදගත්කම වන්නේ ඒවා සකස් කිරීමේදී ඒවායේ රචකයන් තම පාලන කටයුතු අරමුණු කර ගනිමින් පෞද්ගලික ම දැන හඳුනාගත් තොරතුරු අන්තර්ගත කිරීමට ඉදිරිපත් වීමයි. ල මසූරියර් නම් ඉංග්‍රීසි පරිපාලන නිලධාරියා බදුලු දිස්ත්‍රික්කය ආශ්‍රිතව තම රැකියා කටයුතු සිදු කිරීමේදී බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව පත් වී සිටි අසරණභාවය පිළිබඳ තම පෞද්ගලික අත්දැකීම් අනුසාරයෙන් සඳහන් කොට ඇත්තේ මෙසේ ය.

 

උදා - ල මසූරියර් හා එම ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු අතර ඇති වූ සංවාදයකි.

ප්‍ර : ඔහේලා කවුද?

උ : අපි වලපනේ මිනිස්සු.

ප්‍ර : ඇයි ගමෙන් පිටවෙලා ආවේ?

උ : අපේ දේපළ උන් හිටි තැන් නැති වූ නිසා.

ප්‍ර : කොහොමද එහෙම උනේ?

උ : අපේ වී බද්ද ඔහේ එකතු වෙන්න ඉඩහැරියා, අවුරුදු දෙක තුනක්ම. ඊට පස්සේ එකපාරටම ගෙවන්න අණ කළා. කිසිම අනුකම්පාවක් පෙන්නුවේ නැහැ. අපේ මුළු සේසතම විකුණුනා.

ප්‍ර : දැන් මොකද කරන්නෙ?

උ : අපි වැඩක් හොයාගෙන යනවා පණ ගැට ගහ ගන්න ක්‍රමයක්.

ප්‍ර : කොහෙටද යන්නේ?

උ : හරියට යන තැනක් කියන්න බැහැ.

ප්‍ර : තේ වත්තක හරි කෝපි වත්තක හරි වැඩට නොයන්නෙ ඇයි?

උ : අපි එහෙම කරන්න උත්සාහ කළා. වැඩ කළාට කීයක්වත් ලැබුනෙ නැහැ. කංකානම අපේ ගතමනාව ගත්තා. උන්දැ කීවේ ණයට හිලව් කර ගත්තා කියලා. ණය, අපි ගිය ගිය තැන ණය.[6]

 මෙම බ්‍රිතාන්‍ය පරිපාලන වාර්තා සකස් කිරීමේ ඉතිහාසය හා එහි අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කිරීම මගින් එහි ඇති වැදගත්කම හා විශ්වසනීයත්වය තහවුරු කර ගත හැක.

ඊට පෙරද ඉංග්‍රීසින් විසින් පරිපාලන වාර්තා යම් ප්‍රමාණයෙන් සකස් කරමින් පැවතුණ ද එය අනිවාර්ය කිරීමත් සමඟ 1860න් පසු විධිමත් ආකාරයෙන් සකස් වන්නට විය. මෙලෙස පරිපාලන වාර්තා සකස් කිරීමට නියෝග කිරීම තුළින් බලාපොරොත්තු වන්නට ඇත්තේ ලංකාවේ ඉංග්‍රීසි පරිපාලනය ක්‍රමවත් කර ගැනීම විය හැක. විශේෂයෙන් ලංකාව පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් මවා ගැනීමටත් මෙමඟින් බලාපොරොත්තු වන්නට ඇත. කෙසේ වෙතත් එම පරිපාලන වාර්තා මගින් වර්තමානයේ වුවද එකල ලංකාව පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැකි අතර එමඟින් ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන යන අංශයන් සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.

පරිපාලන වාර්තාවන් පරිශීලනයේ දී ඇති වන එක් අවාසිදායක තත්ත්වයක් වන්නේ ඉංග්‍රීසි නිලධාරීන් තම ඉහළ නිලධාරීන්ගේ අවධානය තමා වෙත යොමු කර ගැනීමට මෙන් ම තම ප්‍රදේශයේ ඇති ගැටලු වසන් කරලීමේ අපේක්‍ෂාවෙන් ද පරිපාලන වාර්තාවන්ට සැබෑ තත්ත්වය අන්තර්ගත නොකිරීමයි. පරිපාලනයේ දී සාමාන්‍ය ජනතාව සමඟ ගැටලු ඇති කර ගත් විට දේශීය ජනතාව පාලනය කිරීමට අපහසු ම්ලේච්ඡ හා මුරණ්ඩු ජනකොට්ඨාශයක් ලෙස හැඳින්වීමට පවා සිවිල් සේවා නිලධාරීන් පෙලඹී ඇති ආකාරයක් පරිපාලන වාර්තා සූක්ෂම ව අධ්‍යයනය කිරීම තුළින් අනාවරණය වේ.

උදාහරණයක් ලෙස සඳහන් කරතොත් ලාංකික සමාජයේ පැවති බහු පුරුෂ විවාහ ක්‍රමය බ්‍රිතාන්‍යයින් විසින් ඉතා තදින් ම විවේචනය කරනු ලැබීය. නමුත් එය යම් යම් ප්‍රදේශවල පැවති සමාජ ගැටලූන්වලට සමාජ පරිණාමයේ දී ඇති කර ගත් විසඳුමක් වන බව අවබෝධ කර නොගනු ලැබීය.

“මෙම ප්‍රදේශීය බ්‍රිතාන්‍ය නිලධාරීන්ට වුවමනා වූවේ රජයේ දෘෂ්ඨි කෝණය ම ඇති දේශීය පාලකයන් පිරිසක් ඇති කර ඔවුන් සෙසු ගොවි ජනයාට ආදර්ශයක් වනු දැකීමය.”[7]

මීට අමතරව උඩරට හා පහතරට යන භේදය ලාංකේය සමාජය තුළ ඉතා තදින් ම පැවති අතර බ්‍රිතාන්‍යය ව්‍යවසාය උපයෝගී කොට ගනිමින් පහතරට පිරිස් තම ආර්ථික තත්ත්වය උසස් කර ගැනීමට සමත් විය.

“මොරටුව කරාවේ කුලයට අයත් වූවෝ ද කොළඹ - නුවර මහාමාර්ගය සහ ඌව සහ මධ්‍යම ප්‍රදේශ ආශ්‍රිතව පැතිර ගිය මෙම ධනෝපායන මාර්ග සහමුලින්ම අත්පත් කර ගැනීමට සමත් වූහ. ජෙරොනිස් සහ සුසෙව් සොයිසා, ඩේවිඩ් මැන්ඩිස්, ජයවර්ධන වීරහැන්නදිගේ ඇලෙක්සැන්ඩ්ර් ප්‍රනාන්දු සහ පී. ඇම්. සෙලෙස්තීනු මෙන්ඩිස් ආදීන් 1830-1950 දශකවල මෙම ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සාර්ථක ව්‍යාපාරිකයන් වීම මීට උදාහරණයකි. දකුණේ මුහුදු බඩ ප්‍රදේශවලින් පැමිණි සලාගම, කරාවේ හා දුරාවේ කුලවලට අයත් ඇතැම් පිරිසක් ද 19වන සියවසේ ඇරඹුණු මෙකී සේවාවන් සහ ව්‍යාපාර මාර්ග ඔස්සේ සබරගමුව හා දකුණු පළාත්වල සැලකිය යුතු මට්ටමේ ජයග්‍රහණ අත් කර ගත්හ.”[8]

මීට අමතරව දේශීය ජනතාවගේ ප්‍රධාන ආර්ථික නිෂ්පාදනය වූ වී වගාව පරිහානියට පත් වූ අතර නව බදු ක්‍රම හේතුවෙන් එතෙක් පැවති ජනතා ස්වාධීනත්වය හා සතුටද අහිමි විය.

        “ගොවි ජනයාට මාර්ග බද්ධ කෙතරම් අප්‍රිය වීද යත් සමහර ගොවියන් ඉන් බේරීම සඳහා වතුවල වැඩට ගියහ. (මාර්ග බද්ධ වතු කම්කරුවන්ගෙන් අය නොකරන ලදි)[9]

මෙරට සිදු වූ ජනවාර්ගික සංචලනයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ද මෙම පරිපාලන වාර්තා අධ්‍යයනයෙන් හඳුනාගත හැක. විශේෂයෙන් ම තේ වගාව වර්ධනය වීමත් සමඟ දකුණු ඉන්දීය කුලී ශ්‍රමිකයන්ගේ ආගමනය හා ඔවුන්ගේ ජන අනුපාතයේ වර්ධනය අධ්‍යයනය කිරීමට හැකියාවක් මෙම පරිපාලන වාර්තාවලින් ලැබෙන අතර එමගින් ලාංකේය සමාජයට ඇතිවූ බලපෑම ද අවබෝධ කර ගත හැක.

 

ඉන්දියානු වතු ශ්‍රමිකයන්ගේ සංක්‍රමණය 1839-1886

පැමිණිම.

ආපසු යාම.

ශුද්ධ ආගමනය.

කාල සීමාව

පිරිමි

ළමයි හා ගැහැණු.

එකතුව

පිරිමි

ළමයි හා ගැහැණු.

එකතුව

පිරිමි

ළමයි හා ගැහැණු.

එකතුව

1839-42

4800

 400

 5300

 6400

  500

6900

-1500

-100

-1600

1843-49

46600

1500

48100

23500

  800

24300

23100

800

23800

1850-59

48600

7500

56100

36300

 2700

39000

12200

4900

17100

1860-72

52400

17300

69700

54700

12400

67100

-2300

4800

2600

1873-79

82603

32813

115416

85066

19026

104092

-2463

13787

11324

1880-86

36659

9423

46152

43233

12310

55543

-6574

-2817

-9391

   [10]

පරිපාලන වාර්තා දෙස අවධානය යොමු කිරීමේදී පෙර සඳහන් කළ අකාරයට ඉතා සූක්ෂම ව හා අවබෝධයෙන් තේරුම් ගත යුතු වේ. මෙම පරිපාලන වාර්තා ඇතැම් විට ඉතා විශ්වාසදායක වූවත් ඇතැම් අවස්ථාවල දී සමාජයේ සැබෑ ස්වරූපය අධ්‍යයනය කිරීමේ දී ගැටලුකාරී තත්ත්වයන් ද ඇති වේ.

“ලංකාවේ යටත් විජිත පරිපාලනයේ මුල් කාලයේදී ලංකාවේ ද පුද්ගලිකව ප්‍රභූවරයන් කිහිප දෙනෙක් පාලනය ගෙන ගියහ. දේශපාලන, ආර්ථික, අධිකරණ හා අනෙක් විවිධ කරුණු සම්බන්ධයෙන් ටර්නර්, ලෙයාර්ඩ්, ස්කිනර්, බාන්ස්, බුලර්, වුඩ්හවුස් වැනි නම් නැවත නැවතත් මතු වන බව අපි දුටිමු.” [11]

ඉහතින් දක්වන ලද වාර්තාවට අනුව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ මුල් යුගය තුල දේශීය රදල ප්‍රධානීන් අතර සම්බන්ධතාවයක් පවත්වා ගත හැකි පුද්ගලයන් මාර්ගයෙන් එම දේශීය රදල ප්‍රධානීන් ව සෑහීමට පත්වන අයුරින් කටයුතු කිරීමට සිදු වූ බවයි.

ඉංග්‍රීසින් මෙරටට පැමිණෙන විට පැවති අධිකරණ ක්‍රමය ගම් සභා ක්‍රමය මත පදනම් වී පැවතිනි. නමුත් 1833 දී ක්‍රියාත්මක වූ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් බ්‍රිතාන්‍ය ආකෘතියට අනුව නව අධිකරණ ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීය. පරිපාලන වාර්තා සකස් වීම පටන් ගත් යුගයේ සිට ලංකාවේ පැවති අධිකරණ ක්‍රියාදාමය ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. පැවති අධිකරණ ක්‍රමය ගැන ඉංග්‍රීසි නිලධාරීන්ගේ මතය වූයේ දේශීය රදල ප්‍රධානීන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ දී ලිඛිත ප්‍රතිපත්තියක් නොවූ බවය. දඬුවම් කිරීමේදී අංගඡේදනය, අමානුෂික වද හිංසා පැමිණ වීම, අමානුෂික ක්‍රම මාර්ගයෙන් මරණයට පත් කිරීම් ආදී ක්‍රම පිළිබඳ පරිපාලන වාර්තා තුලින් අනාවරණය වේ.

උඩරට ප්‍රදේශ වල පරිපාලනය හා අධිකරණ කටයුතු මෙහෙයවනු ලැබුවේ ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිත අවසරයක් ලත් ගම් මුලාදෑනියෙකු විසිනි. ගම් සභා ක්‍රමය අහෝසි කර ඇතිකරනු ලැබූ නව උසාවි ක්‍රමය හේතුවෙන් ඇති වූ සමාජ පරිවර්තනය පහත පරිපාලන වාර්තාවේ සඳහන් තොරතුරු ආශ්‍රයෙන් අනාවරණය කර ගත හැකිය.

“එක් පුද්ගලයෙකු සුළු ආරවුලක් සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කර එය විසඳන තෙක් නඩු වාර කීපයකදීම ඔවුන්ගේ රැකියාවල්ද පාළු කරගෙන ගම් වැසියන්ගෙන් භාගයක් පමණ සාක්ෂි කරුවන් වශයෙන් ගමෙන් බැහැර උසාවි කරා කැඳවාගෙන ගොස් දින ගණන් කාලය නාස්ති කරන ලද බව”

අධිකරණයේ පවතින මෙම ස්වභාවය අතීතයේ සිටම පවතින අතර වර්තමාන තත්ත්වයද මීට නොදෙවෙනි වන බව අවබෝධ කර ගත හැක. 

මෙලෙස අධ්‍යයනය කරන ලද පරිපාලන වාර්තා වූ ඒජන්ත, ආණ්ඩුකාර වාර්තා මෙන් ම අනෙකුත් ඉංග්‍රීසි නිලධාරීන් තම ධූර කාල තුළ දී වාර්තා කර තැබූ පරිපාලන වාර්තා මඟින් එකල සමාජීය, දේශපාලන හා ආර්ථික පසුබිම පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක.

රජය මහා පරිමාණ ඉදිකිරීම් හා ව්‍යාපෘති වලට අවශ්‍ය ශ්‍රමය හා මුදල් ලබා ගත් ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ද මෙම පරිපාලන වාර්තා මගින් හැකියාවක් ලැබෙන අතර එම ක්‍රියාවලිය ජනතාවට කෙතරම් පීඩාකාරී වූවාද යන්න පිළිබඳවත් එමඟින් තේරුම් ගැනීමට හැකි වේ.

දුර්භික්ෂ හා අවපාත කාල වල දී මාර්ග බද්දෙන් කිසිම සහනයක් ගැමියන්ට නොලැබිණි. 1880 ගණන් වල වඩාත් කාර්යක්ෂම ලෙස ධාන්‍ය බද්ධ රැස් කිරීමේ ව්‍යාපාරයට පුරෝගාමී වූ ජේ. එෆ්. ඩික්සන් මධ්‍යම පලාතේ මහ ඒජන්ත එම ව්‍යාපාරය මාර්ග බද්ද ද වඩා හොඳින් කාර්යක්ෂමව එකතු කර ගැනීම දක්වා දීර්ඝ කළේ ය. පහත දැක්වෙන සංඛ්‍යා වලින් පෙනී යන්නේ පෙරට වඩා වැඩි සංඛ්‍යාවක් පරිවර්තිත මාර්ග බද්ද ගෙවනවා වෙනුවට දිළිඳු බව නිසාම මාර්ග සේවයේ යෙදුණු බවයි. මේ කරුණු විශේෂයෙන්ම වැදගත් වන්නේ කෝපි වගාවේ බිඳ වැටීමත් ගැමියන්ට මුදල් ආදායම් නොමැති වීම් සමඟ බද්ද ශ්‍රමය මඟින් ගෙවීමට සිදු වූ හෙයිනි.[12]

උදා - මාර්ග ආඥා පනත අනුව එකතු වූ ශ්‍රමය හා මුදල් 1882-1884 ; මධ්‍යම පළාත

 

1882

1883

1884

මුදලින් ලබා ගත් ප්‍රමාණය

-

85948

79257

මුදලින් ණය

-

11023

7509

සැපයූ ශ්‍රමයේ අගය

-

19658

30987

එකතුව

100008

116630

117753

                                                         [13]

මෙම පරිපාලන වාර්තා මගින් බ්‍රිතාන්‍ය පාලනය ලංකාව තුළ ස්ථාපිත වීමට පෙර හා පසු තත්ත්වයන් ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් පැවතීම මෙහි ඇති එක් වැදගත්කමකි. විශේෂයෙන් ම එකල ලාංකේය සමාජයේ සිරිත්-විරිත්, කුල ධූරාවලිය හා විවාහ ආදි සම්ප්‍රදායන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් පවතී.

නිදසුනක් ලෙස එක් පරිපාලන වාර්තාවක ලංකාවේ කුල ධුරාවලිය තුළ යටත් විජිත සමයේ වර්ධනය වෙමින් පැවති කරාව කුලය ගැන සඳහන් වීම දැක්විය හැක. එයට අනුව

“මොරටුවේ කරාව කුලයේ අයගෙන් අසාමාන්‍ය සංඛ්‍යාවක් ඉහළ පංතියට අයත් වේ.... ඒ නිසා දහනව වන සියවසේ ආරම්භයේ හා ඉන් පසුවත්, ඔවුන්ගේ කාර්මික පසුබිම නිසාත් විවිධ කුසලතා නිසාත්, ඇති වූ ආර්ථික අවස්ථාවන් වහා ම සිය වාසියට හරවා ගැනීමට ඔවුන්ට විශේෂ පෙලඹීමක් තිබිණි...”

එමෙන්ම මෙකල පැවති බහු පුරුෂ විවාහයට ඉංග්‍රීසින් තුළ වූ විරුද්ධත්වය එවකට දිස්ත්‍රික් විනිශ්චයකාවරයාගේ වාර්තාවෙන් හෙළි වේ.

“යම් පුද්ගලයෙකු උඩරට පළාතේ පදිංචිව සිටිය දී තම විවාහක ස්වාමියා හෝ බිරිඳ ජීවත්ව සිටියදී තවත් කෙනෙක් සමඟ විවාහ වේද...සෑම කෙනෙක් ම වරදකරුවෝ වෙත්...”

ඉහතින් දක්වන ලද පරිපාලන වාර්තාවේ ඇති තොරතුර මඟින් එකල ලංකාවේ සමාජ පරිවර්තන ක්‍රියාදාමය ගැන අවබෝධයක් ලබා ගත හැක.

තවද එකල පැවති හා ඉංග්‍රීසින් යටතේ පරිවර්තනය වූ ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන ද මෙම පරිපාලන වාර්තා මඟින් තොරතුරු අනාවරණය කර ගත හැක.

“කන්ද උඩරට විජිතය බ්‍රිතාන්‍ය මහ රජුට පවරනු ලැබේ. අදිකාරම්, දිසාව, මොහොට්ටාල, කෝරලේ හා විදානේ මෙන් ම සියලු ම ප්‍රධාන හා උපප්‍රධාන ස්වදේශීය ප්‍රධානීන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාදත් පුද්ගල හා දේපළ සම්බන්ධ බලතලත් සිවිල් අයිතීන් හා ප්‍රතිශක්තිතාත් චිරාගත චාරිත්‍ර අනුව ක්‍රියාවේ යෙදෙනු හැර, එම ආධිපත්‍ය ක්‍රියාත්මක කරනුයේ ආණ්ඩුකාරයා හෝ ලුතිනන් ආණ්ඩුකාරයන් විසින් හා ඔවුන් විසින් නිල වශයෙන් බලය පවරනු ලැබූ නියෝජිතයන් විසිනි.”

මෙලෙස පරිපාලන වාර්තා සකස් කිරීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ විශේෂ ලක්‍ෂණයක් වූ අතර ඔවුන් යටතේ පාලනය වූ බොහෝමයක් ප්‍රදේශවල එලෙස පරිපාලන වාර්තා සකස් කරනු ලැබීය. එමගින් තම පරිපාලනය කාර්යක්ෂම කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වූ අතර ලොව අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ට සාපේක්ෂව බ්‍රිතාන්‍යයන්ගේ සාර්ථකත්වය රහස වූයේ ද එය ම බව අවබෝධ කර ගත හැක.

 

 

 

රිපාලන වාර්තා යටතට ගැනෙන ඒජන්ත, ආණ්ඩුකාර වාර්තා මෙන් ම සැසි වාර්තා, හා මෙරට සිටි ඉංග්‍රීසි නිලධාරීන් තම ධුර කාලය තුළ වාර්තා කර තැබූ පරිපාලන වාර්තා මඟින් එකල සමාජීය, ආර්ථික හා දේශපාලන තත්ත්වයන් පිළිබඳ මෙන් ම අධිකරණය ද පැවති අකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. පළාත් පාලනය, විවාහය, ඉඩම් අයිතිය හා භුක්තිය, කුල ක්‍රමය යනාදිය මෙන් ම දක්වා ඇති තොරතුරු සංඛ්‍යාත්මකව ගෙන හැර තිබීම මෙහි ඇති ගුණාත්මක භාවය වර්ධනයට හේතු වී ඇත. තවද 1833 සිට 1948 දක්වා ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳවද අවබෝධයක් පරිපාලන වාර්තා මගින් හෙළි කරයි.

ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය පිළිබඳ ව මෙන් ම වර්තමාන තත්ත්වයන් හැදෑරීමේ දී පරිපාලන වාර්තා කිරීම අතිශයින් ම වැදගත් වන බව ඉහත තොරතුරු අධ්‍යයනයේ දී පෙනී යයි. නමුත් මෙහි ඇති එක් අයහපත් ලක්ෂණයක් වන්නේ බ්‍රිතාන්‍ය පරිපාලන වාර්තා ඔවුන්ට පක්‍ෂපාතී හා වාසිදායක වන ආකාරයට සංගෘහිත ව පැවතීම හා එම වාර්තාවල තොරතුරු පුද්ගලයාගෙන් පුද්ගලයාට ‍එකිනෙකට වෙනස් ව වාර්තා කර තැබීමයි. මෙම වාර්තා සකස් කළ රජයේ නිලධාරීන් තම ඉහළ නිලධාරීන් සතුටු කිරීමේ අදහසින් නිවැරදි නොවන තොරතුරු ඉදිරිපත් කළ අවස්ථා ද ඇත. තවද ඒ අනුව බටහිර චින්තනය අනුව ඉංග්‍රීසි සභ්‍යත්වය ඉතා උසස් ලෙසත් ලාංකේය සභ්‍යත්වය පහත් තත්ත්වයකටත් ඇද දමා ඇති ආකාරයක් ඉන් ගම්‍ය වේ. කෙසේ වෙතත් සමකාලීන ව ‍සේවයේ නියුතු වූ නිලධාරීන් ලැබූ අත්දැකීම්, සාක්‍ෂි ලෙස වාර්තා කර තැබීම හේතුවෙන් මෙම පරිපාලන වාර්තා ප්‍රායෝගික මූලාශ්‍රයක් ලෙස දැක්විය හැකි ය.


 

මූලිශ්‍ර නාමාවලිය.

බණ්ඩාරගේ, අසෝකා., ශ්‍රී ලංකාවේ යටත් විජිතවාදය, ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන, පන්නිපිටිය, 2005.

රොබට්ස්, මයිකල්., ප්‍රභූ සමාජ සංස්ථාපනය හා ප්‍රභූවරු 1832-1931, රාවය ප්‍රකාශකයෝ, මහරගම,2016.

Ceylon Sessional Papers.

1876, No.18, ‘Report on the Buddhist Temporalities Commission’ – Appendix-.  

Ceylon Administration Reports

1871, Administration Report of Western Province.

1886, “Report of the Southern Province – Matara District”.

1863, Report of O’Grady, G. A. for the Northern Western Province.

1884, Administration Report of the Government Agent for the Central Province, J. F. Dickson,

1887, Report of the GA for the Uva Province; see also Asoka Bandarage “Sri Lankawe Yatathvijithavadaya”

1887, Report of the Assistant Government Agent for Nuwara Eliya, quoted by Ameer Ali in “Changing Conditions”.

 

 

 



[1] CAR, 1871, Administration Report, p. 456.

[2] CAR, 1871, Administration Report of Western Province, p. 22.

[3] CAR, 1886, “Report of the Southern Province – Matara District,” p. 91A.

[4] CSP 1876, No.18, ‘Report on the Buddhist Temporalities Commission’ – Appendix-.   

[5] CAR 1887, Report of the GA for the Uva Province; see also Asoka Bandarage “Sri Lankawe Yatathvijithavadaya” p 303.

[6] CAR, 1887, Report of the Assistant Government Agent for Nuwara Eliya, quoted by Ameer Ali in “Changing Conditions”, p.13.

[7] CAR, 1863, Report of O’Grady, G. A. for the Northern Western Province, p. 16.

[8] මයිකල් රොබට්ස්, ප්‍රභූ සමාජ සංස්ථාපනය හා ප්‍රභූවරු 1832-1931, රාවය ප්‍රකාශකයෝ, මහරගම,2016. පිටු 13-14.

[9] අසෝකා බණ්ඩාරගේ, ශ්‍රී ලංකාවේ යටත් විජිතවාදය, ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන, 2005. පිටු 398.

[10] අසෝකා බණ්ඩාරගේ, ශ්‍රී ලංකාවේ යටත් විජිතවාදය, ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන, 2005. පිටු 324.

[11] එම. ....පිටු 373.

[12] අසෝකා බණ්ඩාරගේ, ශ්‍රී ලංකාවේ යටත් විජිතවාදය, ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන, පන්නිපිටිය, 2005. පිටු 404.

[13] CAR, 1884, Administration Report of the Government Agent for the Central Province, J. F. Dickson, p.34A.

No comments:

Post a Comment