Friday, 2 July 2021

ඉතිහාසය යනු අතීත මානව දැනුම පිළිබඳ සිදුකරන අධ්‍යනයකි.

 


                                                                                                                                                                                                                                                                                                                                                                                                     

පටුන

 

01.          හැඳින්වීම. 1

02.        ඉතිහාසයේ වර්ධනය.

03.        අතීතය හා ඉතිහාසය.

04.        ඉතිහාසය මගින් අතීත මානව දැනුම විග්‍රහ කිරීම.

                04.1.        දැනුම යනු

                04.2.        මානව දැනුම විග්‍රහ කිරීම

05.         සමාලෝචනය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.


 

01.       හැඳින්වීම.

තිහාසය අගය කරන තැනැත්තා තමන්ට නැති ඉතිහාසයක් වුවද ගොඩනගා ගැනීමට උත්සාහ කරයි. ඔහු එසේ කරන්නේ තමන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඉතිහාසය ප්‍රබල සාධකයක් වන නිසා ය.[1] එම හේතුවෙන් වර්තමානය වන විට ඉතිහාසයේ වැදගත්කම පෙර යුගයන්ට වඩා ප්‍රබල ලෙසින් ප්‍රසාරණය වී ඇත. ඒ අනුව ඉතිහාසය පිළිබඳ පුළුල් වූ විමසුමක් ලොව පුරා මතු වී ඇති අතර ඉතිහාසය යනු කුමක් ද? යන්න පිළිබඳ විවිධ අර්ථකතනයන් ද ඉදිරිපත් වී ඇත.

ඉතිහාසය යන පදයේ ඉංග්‍රීසි අර්ථය ගෙන දෙන වචනය වන History යන්න සම්භවය ඇත්තේ ග්‍රීක භාෂාවේ වචනයක් වන “historia යන වචනය මඟිනි.[2] කෙසේ වෙතත් කාලානුරූපී ව ඉපැරණි ග්‍රීක යුගයේ සිට වර්තමානය දක්වා ඉතිහාසය යන්න ක්‍රමික ව වර්ධනය වෙමින් සමාජ විද්‍යාත්මක විෂයයක් දක්වා වර්ධනය වී ඇති අතර එහි කාර්යභාරය පුළුල් වී ඇත. මහාචාර්ය රණවීර ගුණවර්ධනයන් පෙන්වා දෙන්නේ වර්තමානය වන විට ඉතිහාසයේ කාර්යභාරය වන්නේ “අතීතයේ මානව අත්දැකීම් සම්භාරය පිළිබඳ ඥානය වර්තමානයේ හා අනාගතයේ මානවයාට ගෙන දීම වන බවයි”.[3]

කෙසේ වෙතත් ඉතිහාසය යනු කුමක්ද යන්නට විවිධ අර්ථකතනයන් ඉදිරිපත් ව තිබේ. මෙම පැවරුම මඟින් සාකච්ඡාවට භාජනය වන්නා වූ අකාරයට “ඉතිහාසය යනු අතීත මානව දැනුම පිළිබඳ කරන අධ්‍යයනයකි” යන තේමාව විමසා බලනු ලැබේ. එහිදී ඉතිහාසය සම්බන්ධයෙන් අතීතයේ සිට වර්තමානය දක්වා විවිධ ඉතිහාසඥයන් විසින් ඉදිරිපත් කර ඇති අර්ථකතනයන් මෙන් ම  ඉතිහාසය යන විෂයයේ වර්ධනය, මානව දැනුම යනු කුමක්ද? එය ඉතිහාසය සමඟ සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න පිළිබඳ මෙහි දී අවධානය යොමු කරමින් කරුණු ඉදිරිපත් කර ඇත.


 


02.    ඉතිහාසයේ වර්ධනය.

තිහාසය යන විෂය ක්ෂේත්‍රයට ඇත්තේ ද ඉතා දීර්ඝ ඉතිහාසයකි. මානව ඉතිහාසයේ මූලාරම්භය වානර මිනිසා දෙපයින් ඇවිදින්නට පටන් ගත් අවධියේ සිදු වූවකි.[4] එය මනුෂ්‍ය වර්ගයාගේ අතීතය පිළිබඳ පරීක්ෂණ මඟින් අධ්‍යනය කිරීම හෙවත් මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ඉගෙනීම හෙරොඩෝටස් හා තුසිඩිඩීස් යන ග්‍රීක ඉතිහාසඥයින් විසින් පසු කාලයේ දී එක්තරා ශික්ෂණයක් වශයෙන් වැඩි දියුණු කරන ලදි.[5] කෙසේ වෙතත් ඉතිහාසය විද්‍යාත්මක ලෙස අධ්‍යයනය කිරීම හෙවත් ශික්ෂණයක් යටතේ අධ්‍යයනය කිරීම ආරම්භ වූවේ අපරදිග පමණක් ම නොවන බව පෙරදිග ශිෂ්ටාචාර කීපයක ම ඉතිහාසකරණය පිළිබ තොරතුරු විමසීමේ දී පෙනී යයි. එය පෙරදිග ප්‍රධාන සභ්‍යත්වයන් වන ඉන්දීය හා අරාබි ශිෂ්ටාචාරවල මෙන් ම විශේෂයෙන්ම චීනයේ හා ශ්‍රී ලංකාවේ ද ඉතිහාසකරණ සම්ප්‍රදායන් දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති බව එම යුගයේ ඉතිහාස කෘති තුළින් අණාවරණය වේ. ඒ අතර

·         ඉන්දියාවේ කල්හණ.

·         ග්‍රීසියේ හෙරොඩෝටස් හා තුසිඩිඩීස්.

·         රෝමයේ සීසර්, සැලස්ට්, ලිවී හා ටැසිටන්.[6]

·         චීනයේ ස-මා චියන්.

·         අරාබියේ ඉබ්න් ඛල්දුන් හා අල් බිරූනි.

ආදීන් ලොව ප්‍රකට අතීත ඉතිහාසඥයන් ලෙසින් සැලකේ. මොවුන් විසින් ඉතිහාසයේ වර්ධනය සහා ඉටු කරන ලද සේවාවේ ප්‍රතිඵලය වූයේ ඉතිහාසය ක්‍රමික ව වර්ධනය වීමයි. නූතන ය වන විට ඉතිහාසය විෂය පුළුල් වී එයට මිනිසුන්ගේ අතීත ක්‍රියාකාරකම් සියල්ල ම ඇතුළත් වී ඇති ආකාරයක් දැකිය හැකි ය. ඒ අනුව ඉතිහාසය යනු අතීත මානව දැනුම පිළිබ කරන අධ්‍යයනයක් ද යන්න විමසා බැලීමේ දී ඉහත සහන් අතීත ඉතිහාසඥයන් මෙන් ම ඊ. එච්. කා, තෝමස් කාලයිල්, විල්හෙල්ම් හෙගල්, කාර්ල් මාක්ස, වීල් ඩුරන්ට් ආදී විද්වතුන් රාශියකගේ පර්යේෂණ හා අදහස් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු වේ.


 


03.   අතීතය හා ඉතිහාසය.

තිහාසය යනු කුමක්ද යනු කුමක් ද සඳහා ඉදිරිපත් කළ හැකි සරල ම අර්ථකතනය වන්නේ “ඉතිහාසය යනු අතීත මානව ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යයනය කිරීම” යන්නයි. නමුත් සරල අර්ථයෙන් ඉතිහාසය යනු එය වුවත් නිශ්චිත ලෙස ම ඉතිහාසය යන්න සඳහා පොදු නිර්වචනයක් ඉදිරිපත් කිරීම අපහසු වේ. ලංකාවේ ඉතා ප්‍රකට ඉතිහාසඥයෙක් වූ ජී. සී. මෙන්ඩිස් මහතා ලංකා ඉතිහාසයේ ගැටලු යන කෘතිය මඟින් පෙන්වා දෙන්නේ ඉතිහාසයකට විෂය වන්නේ කිසියම් දේශ සීමාවක් ඇතුළත වෙසෙන ජනතාවකගේ නැතහොත් දේශපාලන, ආර්ථික හා සමාජ ජීවිතයේ විපර්‍ය්‍යාසයන් හා ඒ හා ඒ විපර්‍ය්‍යාසයනට තුඩු දෙන හේතු ප්‍රත්‍යයන් බවයි”.[7]

මුල් යුගයේ විසූ මුස්ලිම් ඉතිහාසඥයෙකු වූ ඉබන් ඛල්දුන් නම් අරාබි ඉතිහාසඥයාට අනුව ඉතිහාසයේ උපයෝගීතාව වන්නේ විවිධ ජාතීන්ගේ අතීත තත්ත්වයන් වටහා ගැනීමට හැකි වීම බව” පෙන්වා දේ.[8] ඊ. එච්. කාර් මහතා ඉතිහාසය විග්‍රහ කොට ඇත්තේ “අතීතය හා වර්තමානය අතර නිමක් නැති දෙබසක්” ලෙස ය.[9]

තවදුරටත් අදහස් දක්වන ඊ. එච්. කාර් පෙන්වා දෙන්නේ;

ඉතිහාසය යනු කුමක්ද? යන ප්‍රශ්නයට අප පිළිතුරු දෙන්නට තැත් කෙරෙන විට අපේ පිළිතුරින්, සවිඥානව හෝ නිර්විඥානව, පිළිබිඹු වන්නේ කාලය තුළ අපේ ම තැන වන අතර ඒ පිළිතුර අප වෙසෙන සමාජය ගැන අප දරන මතය කුමක්ද යන වඩාත් පළල් ප්‍රශ්නයට අප පිළිතුරින් කොටසක් ද වේ. ළං වී පිරික්සන විට මගේ විෂය නොවැදගත් ලෙස පෙනෙනු ඇතැ යි මා තුළ බියක් නැත. මා බිය වන එකම දේ නම් මෙතරම් වැදගත් වූ ද මෙතරම්  විශාල වූ ද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට තරම් මා තරමට වඩා හිතා ගන්නකු ලෙස පෙනෙනු ඇත් ද යන්නයි”[10]

ඉතිහාසයේ සමාජ කාර්ය අවධාරණය කළ මහාචාර්ය ඊනියාර්ගේ විග්‍රහයට අනුව ඉතිහාසය යනු “සමාජ ක්‍රමවල මතක සටහනකි”. “ශිෂ්ට සම්පන්න මිනිසුන් අතීතයේ කළ කී දෑ සහ සිතූ පැතූ දෑ පිළිබඳ වෘතාන්තය” ඉතිහාසය වන බව ලෝක ප්‍රකට ඉතිහාසඥයෙකු වූ විල් ඩුරන්ට් මහතාගේ නිගමනයයි.[11]  

ඉහතින් දක්වන ලද අර්ථකතනයන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ඉතිහාසය සරල ව මෙන්ම පොදු නිර්වචනයක් යටතේ අර්ථ දැක්විය නොහැකි වන බවයි. ඒ අනුව පෙනී යන කරුණක් වන්නේ ඉතිහාසය යන්න සඳහා පොදු නිර්වචන කීපයක් ම තිබෙන බවත් ඒම නිර්වචන හා අදහස් අධ්‍යයනය කිරීම මඟින් ඉතිහාසය යනු අතීත මානව දැනුම පිළිබඳ කරන අධ්‍යයනයක් ද? නොඑසේ නම් වෙනින් යමක් ද? යන්න අවබෝධ කර ගත හැකි වන බවයි.

පොදුවේ සලකා බලන විට ඉතිහාසය යනු කුමක්ද යන්න සහා කරුණු කීපයක් ගොනු කර ගත හැක. ඒවා නම්;

1.     අතීතය හා වර්තමානය අතර නොනවතින සංවාදයකි.[12]

2.     අතීතයේ කල කී දෑ.[13]

3.     මානව සමාජ විකාශනයේ කතන්දරයකි.[14]

ඉහතින් දක්වන ලද ඉතිහාසයට පොදු වූ කරුණු තුළින් පෙනී යන්නේ ඉතිහාසයේ හරය අතීතය පිළිබව අධ්‍යයනය කිරීම හා සම්බන්ධව පවතින බවයි. එහෙත් ඉතිහාසය යනු සමස්ත අතීතය පිළිබ ව ම හෝ සමස්ත යටගියාව ම පිළිබ සොයා බැලීම නොවේ. ඓතිහාසික කරුණු අතීත සෙසු කරුණුවලින් විශේෂ කොට දැක්වෙන මිනුම කුමක්ද? යන්න පිළිබ වැඩි අවධානයක් යොමු කල ඉතිහාසඥයෙකු වූවේ ඊ. එච්. කාර් ය.[15] ඔහු විසින් 1961 ජනවාරි- මාර්තු අතර කාලයේ පැවති කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජෝර්ජ් මැකෝලි ට්‍රෙව්ලියන් දෙසුමේ දී මේ පිළිබව වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කොට ඇත. එය පහත ආකාරයට ඉතා සරල ලෙස දැක්විය හැක.



H නම් වූ සමස්ත යටගියාව නම් අතීතයෙන් අධ්‍යයන ධාරාවක් වූ “h” නම් ඉතිහාසය ඉතිහාසඥයාගේ මැදිහත් වීමෙන් සකස් වී ඇත. ඒ අනුව පෙනී යන කරුණක් වන්නේ ඉතිහාසය නිර්මාණය වී ඇත්තේ ඉතිහාසඥයා විසින් සිය මැදිහත් වීමෙන් සකස් කරනු ලබන සමස්ත මානව අතීතයේ කොටසක් වන බවයි. එම්. ඕක්ෂොට් නම් ඉතිහාසඥයාට අනුව ඉතිහාසය වූ කලි ඉතිහාසඥයාගේ අත්දැකීම යි. එය ‘සාදන්නේ’ ඉතිහාසඥයා මිස අන් අයෙක් නොවේ: එය කරන එක ම ක්‍රමය ඉතිහාසය ලිවීමයි”.[16] ඉතිහාසය පිළිබඳ ව විමසීමට නම් ඉතිහාසය කෙරෙහි ඉතිහාසඥයාගේ මැදිහත් වීම ද අනිවාර්යයෙන් ම විමසිය යුතු බව එමගින් අවබෝධ කර ගත හැක.

ඉතිහාසඥයා සමස්ත අතීතයෙන්, සිය ඉතිහාසය ගොඩ නැගීමේදී සෑම විටම ප්‍රධාන ගැටලු දෙකක් වෙත තම අවධානය යොමු කළ යුතු වේ. ඔහු විසින් වැදගත් කරුණු සොයා ගැනීමේ සහ ඒවා ඉතිහාසයේ කරුණු බවට හැරවීමේ කාරිය ද, නොයෙකුත් නොවැදගත් කරුණු නිර්-ඓතිහාසික ලෙස බැහැරලීමේ කාරියද යනුවෙන් දෙවැදෑරුම් කාරියක් කළ යුතු ව තිබේ.[17] එනම්;

1.     සිදු වූවේ කුමක්ද??

2.     සිදු වූවේ ඇයි??

මේ පිළිබව අදහස් දක්වන ග්‍රීක ඉතිහාසඥයෙක් වූ තුසිඩිඩීස් විසින් රචනා කරන ලද ‘පෙලෝපොනීසියානු යුද්ධය’ නම් කෘතිය මගින් පෙන්වා දෙන්නේ “ඉතිහාසයේ පරමාර්ථය වූයේ අතීත සිද්ධීන් ගැන උදම් ඇනීම නොව ඊට වඩා භාරදූර කටයුත්තක් වූ අනාගතය අවබෝධ කර ගැනීමවන බවයි.[18] මෙහි දී ඉහතින් දක්වන ලද ආකාරයට සිදු වූවේ කුමක්ද? යන පැනයට පිළිතුරු සෙවීමේ දී යොදා ගැනෙන පළමු ක්‍රමවේදය වන්නේ ශිල්පීය මෙවලම් වේ. අතීතයේ, දත්ත ඉතිහාසයේ සාධක බවට පත් කිරීම සහා උපයෝගී වන්නේ මෙම ශිල්පීය ක්‍රමවේදයයි. නමුත් නිවැරදි ඉතිහාසයක් ඉතා තර්කානුකූල ලෙස ගොඩ නැගීමේදී මෙම ශිල්පීය ක්‍රමවේදයට අමතරව සංකල්පීය මෙවලම් ද යොදා ගැනීමට ද ඉතිහාසඥයාට සිදු වන අතර එමගින් සිදු වූවේ ඇයි යන පැනයට පිළිතුරු ද සපයා ගැනීමට හැකි වේ. ඉහතින් දක්වන ලද ශිල්පීය මෙවලම් ‘ඉතිහාසයේ ක්‍රියාවලිය’ ලෙස ද සංකල්පීය මෙවලම් ‘ඉතිහාසයේ දර්ශනය හා සම්බන්ධ ක්‍රියාවලිය’ ලෙස ද හැදින්වෙයි. ආර්. ජී. කොලින්වුඩ් ඉතිහාසඥයාට අනුව ඓතිහාසික දර්ශනයට විෂය වන්නේ ‘අතීතය තනිවම’ හෝ ඒ ගැන ඉතිහාසඥයාගේ චින්තනය තනිවම නොව ‘අන්‍යෝන්‍ය සබැඳියාවෙන් යුත් ඒ දෙක’ ම ය.[19] මෙම සංකල්පයන් දෙක ම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැදුණු ක්‍රියාදාමයක් වන බව අවබෝධ කර ගත යුතුය.

ඉතිහාසය අධ්‍යනයේ දී ඉතිහාසඥයාට තොරතුරු අවශ්‍ය වන අතර ඔහු එම තොරතුරු ලබා ගන්නේ ඓතිහාසික මූලාශ්‍ර මගිනි. ලෝකයේ කුමන හෝ රටක ඉතිහාසය ගොඩ නැගීමේදී ප්‍රමාණවත් ලිඛිත ඉතිහාස කරුණු නොමැති අවස්ථාවල දී ඒ සහා පාදක කර ගනු ලබනුයේ ඓතිහාසික මූලාශ්‍රයෝය. දේශීය-විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර, නාණක මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි දී වැදගත් අගයක් ලබා දේ.[20] ඉහතින් දක්වන ලද ආකාරයට මෙම ඓතිහාසික මූලාශ්‍ර ශිල්‍ර්පීය ක්‍රමවේදයට අයත් වේ. මෙම මූලාශ්‍ර මඟින් බහුවිධ සංඥා නිකුත් කරන අතර ඉතිහාසඥයා එම සංඥා ග්‍රහණය කර ගන්නා ආකාරය අනුව නැතහොත් ඒවා අර්ථ නිරූපනය කරන ක්‍රියාවලියේදී ඉතිහාසඥයා සංකල්පීය ක්‍රමවේදය උපයෝගී කර ගනු ලැබේ. මේ අනුව ඉතිහාසය යන්න තේරුම් ගැනීමේදී ශිල්පීය මෙවලම් හා සංකල්පීය මෙවලම් අතර සම්බන්ධය ඉතාමත් ම ප්‍රයෝජනවත් වේ. මෙහි දී ඉතිහාසයේ දර්ශනය එහි ක්‍රමවේදයට බලපාන ආකාරයත්, ක්‍රමවේදය දර්ශනයට බලපාන ආකාරයත් අවබෝධ කර ගත යුතුය.

ඉතිහාසය යනු කුමක්ද? යන ගැටලුවට පිළිතුරු දීම ඓතිහාසික ව ගොඩනඟා ගත් ඉතිහාසඥයෙක් ලෙස ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දර්ශනවාදියෙකු හා ඉතිහාසඥයෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ආර්. ජී. කොලින්වුඩ් හැඳින්විය හැක. ඔහු ඉතිහාසය වර්ධනය වූ කඩ ඉම් 03ක් පෙන්වා දෙන අතර ඒ ඒ අවධින්හි ‘ඉතිහාසය’ යන්න අර්ථ දැක්වූ ආකාරයේ විවිධත්වය හඳුනා ගත හැක.

1.                 ක්‍රි. පූ. 4-5 සියවස්       - මෙම යුගයේ දී ප්‍රධාන වශයෙන් ග්‍රීසිය කේන්ද්‍ර කොට ඉතිහාසය ගොඩ නැගුණු අතර ප්‍රතිමාන වශයෙන් සංවිධානය වූ ශික්‍ෂණ ධාරාවක් ලෙස ඉතිහාසය සකස් වීම ආරම්භ වී ඇත.

2.             මධ්‍යයතන යුගය         - ක්‍රිස්තියානි දේවධර්ම රචනාවන් සම ඉතිහාසය ගොඩ නැගෙන ලදි.

3.             ක්‍රි. ව. 15-16 සියවස්      -   සමාජ, දේශපාලන, ආර්ථික ලෙස විවිධ කාලයන් හී ඇති වන පරිකෘත වෙනස සම ඉතිහාසය පිළිබ චින්තනයේ නව දැක්මක් ඇති වීම පෙන්වා දිය හැක.

ක්‍රි. ව. 15-16 වන සියවසෙන් පසුව ඇරඹෙන නූතන යුගය ලෝකය තේරුම් ගැනීමේ හා දැනුම බෙදාහැරීමේ, තර්කයේ ද වඩාත් ප්‍රගතිශීලී අවධියක් ලෙස හඳුනා ගත හැක. ඒත් සමග පැරණි විද්‍යාත්මක සිද්ධාන්තයන් පිළිබව පැවති විශ්වාසයන් බි වැටිණ. ඒ හේතු කොට ගෙන මතවල පෞරාණික බව නොව ඒවාට පදනම් වූ සාක්‍ෂි සලකා බලා ඒවා පිළිගත යුතු ද නැති ද යන්න තීරණය කිරීම ශාස්ත්‍රීය සම්ප්‍රදායේ වැදගත් අංගයක් බවට පත් විය. මේ අතර මිනිසා දැනුම ලබන මාර්ග කවරේද?, ඥානයේ පදනම කුමක්ද?, එහි සීමා කවරේද?, යන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ ඥාන මූල විද්‍යා සම්ප්‍රදායක් යුරෝපීය දාර්ශනිකයන් හා ශාස්ත්‍රඥයන් අතර දියුණු වීම ඓතිහාසික ශාස්ත්‍ර විවිධයක ම දියුණුවට ද ඉමහත් සෙයින් උපකාරී විය.[21] ඒ හේතුවෙන් ම ඉතිහාසය අර්ථ නිරූපනය කිරීමේ හා විග්‍රහ කිරීමේ නව පදනම් සකස් විය. විද්‍යාත්මක චින්තනය මතු විය. එමගින් ඉතිහාසය, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව වැනි විෂයන් විද්‍යාත්මක පදනමක් මත අධ්‍යනය කිරීමට ඉඩ‍ කඩ විවෘත විය. මේ කරුණ නිසා “විද්‍යාවක් යනුවෙන් අප අදහස් කරන්නේ කුමක්ද?”, නැතහොත් “විද්‍යාවක් වෙනත් ශාස්ත්‍රයකින් වෙන් කර ගන්නේ කෙසේද?” යන්න මෙම යුගයේ දී බොහෝ විට නැගුණ ගැටලුව විය. එහිදී කාල් පොපර් නම් විධික්‍රමවාදියා විසින් ඉහත කී ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා නිර්වචනයක් ඉදිරිපත් කරනු ලැබීය. එය නම් “ විද්‍යාවක් යනු (ආනුභූතික) පරීක්‍ෂණ මගින් අසත්‍ය කර ගැනීමට ඉඩ ඇති මතවලින් යුතු අධ්‍යයනයකි” යන්නයි. එය පොපර් විසින් හැඳින්වූවේ විද්‍යාවක් අනෙකුත් ශාස්ත්‍රයන්ගෙන් වෙන් කර ගන්නා රීතිය (Demarcation Principle) ලෙස ය.[22] ඒ අනුව ඉතිහාසය, මිනිස් සමාජයේ නොයෙක් කරුණු මත ගොඩනැගී සමාජ විද්‍යාත්මක විෂයයක් ලෙස අර්ථකතනය කරනු ලැබීය.[23] 15වන සියවසේ  දී බිහි වූ රේනේ දෙකාට්ට අනුව ඉතිහාසයේ කිසිම දෙයක් සැකයකින් තොර ව හරියටම දැන ගත නොහැකිය, යන මතය උද්දීපනය විය. ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ සත්‍යයයි පැහැදිලි ලෙස මට ‍හඳුනා ගත නොහැකි කිසිවක් සත්‍ය වශයෙන් නොපිළිගැන්මය. සැකයක් ඇති වීමට කිසිදු ප්‍රස්ථාවක් නොමැති වන පරිදි පැහැදිලි ලෙස මගේ මනසට ඉදිරිපත් කෙරුණු දෙයට වඩා කිසිවක් පිළි නොගැන්මය.[24] මෙම ඓතිහාසික තත්ත්වයන් යටතේ ඉතිහාසය විද්‍යාත්මක පර්යේෂණ ක්‍රම සම හැදෑරිය යුතුය යන අදහස ඉදිරිපත් විය. විද්‍යාව යනු සෙවීමයි. ඒ අර්ථයෙන් ගත් කල ඉතිහාසය ද විද්‍යාවකි, යනුවෙන් ආර්. ජී. කොලින්වුඩ් විසින් ඉතිහාසයේ හා විද්‍යාවේ කාර්යභාරය එක සමාන බව පෙන්වා දෙන ලදි.[25]

කෙසේ වෙතත් ඉතිහාසය අතීත මානවයාගේ දැනුම පිළිබ කරන අධ්‍යනයක් ද යන්න පිළිබඳ විමසීමේ දී ඒ කෙරෙහි නැගුණු චෝදනා මෙන් ම ඒවා නිරාකරණය කිරීම සහා ඉතිහාසඥයන් විසින් හඳුන්වා දෙනු ලැබූ අර්ථකතනයන් හා  නව ක්‍රමවේදයන් කෙරෙහි ද අප මෙහි දී අවධානය යොමු කළ යුතු වේ. මන්ද යත් එමගින් මානවයාගේ අතීත දැනුම පුළුල් කිරීමට ඉතිහාසය ඉටු කළ මෙහෙය ඇගයීමට හැකි වන බැවිනි.

මෙම යුගයේ දියුණු වූ විචාරාත්මක ඓතිහාසික සම්ප්‍රදායෙහි ප්‍රධාන අංශයක් වූයේ මූලාශ්‍ර පරීක්ෂණයයි.[26] ඉතිහාස ක්‍රමවේදයේ හා දර්ශනයේ ප්‍රධාන තේමාවක් ලෙස ඓතිහාසික මූලාශ්‍ර බැදී පවතී. මෙම මූලාශ්‍ර ඉතිහාසය ගොඩ නැගීමේ ක්‍රියාවලියේදී ඉතිහාසඥයාට අත්‍යාවශ්‍ය ම මෙවලම් සම්ප්‍රදායක් වන අතර එමගින් අතීත මානවයාගේ ඓතිහාසික ක්‍රියාකාරකම් මැනවින් අධ්‍යනය කිරීමට වර්තමාන මානවයාට හැකි වනු ඇත. අතීත මානව දැනුම ගවේෂණය කළ හැකි අකාර කීපයකි. එනම්;

1.     අතීතය දෙස බැලීමට ඓතිහාසික මූලාශ්‍ර උපයෝගී කර ගත හැක.

2.     අතීත කරුණු නිවැරදි දැයි විමසා බැලීමට හැකි වීම.

‍මෙලෙසින් ඓතිහාසික මූලාශ්‍රවලට හිමි වූ වැදගත් කම ඒකාකාරී ව පැවතුණ දෙයක් නොවීය. 20වන සියවසේ දී පමණ මූලාශ්‍රවලට පෙර තිබූ වැදගත්කම අඩු වී ඒවා විචාරයට බඳුන් කිරීමේ වැදත්කම මතු විය. ඒ මතු වූ වැදගත් ඉතිහාස රචනා සම්ප්‍රදායක් නියෝජනය කළ පිරිසක් වූ ඉන්ද්‍රියානුවාදීන් දැක්වූවේ ‘ස්වභාව විද්‍යාවන්හි ප්‍රගුණ කරන ලද ඇතැම් පර්යේෂණ ක්‍රම ඉතිහාස ක්‍රම තුළට ආදේශ කර ගත යුතු බවයි.[27] ඉතිහාසය යනු ඉතිහාසඥයා නිම වූ දෙයකි. ඉතිහාසය ලිවීම සහා නියම ලෙසින් ම සිදු වී යැයි එක්රැස් කර ගන්නා ඓතිහාසික සිද්ධි යනු ඉතිහාසඥයා මූලාශ්‍රවලින් ලබාගත් දේ ම නොව ඔහුගේ විචාරාත්මක චින්තනයේ ප්‍රතිඵලයයි යනුවෙන් කොලින්වුඩ් ප්‍රකාශ කරන ලදි. නමුත් නැවතත් 1980 දශකයේ සිට ඉතිහාස ශික්ෂණය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස නව විද්‍යාත්මක ක්‍රමවේද ඉතිහාසයට එක් වූ අතර එමගින් අතීත මානව දැනුම පිළිබ ව කරනු ලබන අධ්‍යයනයන් විද්‍යාත්මක ලෙස ගොඩ නගමින් වඩා විශ්වසනීය නිගමනවලට එළඹීමේ ඉඩ ප්‍රස්ථා විවෘත විය. ඒ අනුව ඉතිහාසඥයා විසින් ඉතිහාසය ගොඩ නැගීමේ ක්‍රියාවලියේදී සිදු වන්නේ අතීත මානව දැනුම පිළිබඳ ව නව මත ඉදිරිපත් කිරීම බව අවබෝධ කර ගත හැක.

 


 


04.    ඉතිහාසය මගින් අතීත මානව දැනුම විග්‍රහ කිරීම.

 

04.1.දැනුම යනු.

ලො

ව ඇති සෑම ශාස්ත්‍රයක් ම පාහේ නිර්මාණය වී ඇත්තේ මානවයාගේ දැනුම ගොඩ නැගීමේ පරමාර්ථය මූලික කොට ගෙන ය. මානවයාගේ දැනුමේ එක් කොටසක් එක් ශාස්ත්‍රයක් ගොඩ නන අතර තවත් කොටසකින් වෙනත් ශාස්ත්‍රයක් ගොඩ නයි. දැනුම ලෝකය පිළිබඳවයි. ලෝකයේ නොයෙක් කොටස් පිළිබවයි.‍ වෙනත් වචන වලින් නම් දැනුම ලොව පිළිබවයි.[28] දැනුම පිළිබ අනුභූතිවාදී මතය අනුව පුද්ගලයාත් විෂයත් (subject and object) අතර සහමුලින්ම වෙන් කිරීමක් කල් තියා ම නියම වේ.[29]

 

04.2.      මානව දැනුම විග්‍රහ කිරීම.

ශා

ස්ත්‍රයකට විෂය වන ලොව වස්තූන් වියුක්ත ඒවා විය හැක. මෙසේ ගණිතයට විෂය වන්නේ අංකයන් ය. තවත් විවිධ වස්තූන් ශාස්ත්‍රයකට විෂය විය හැක. මිනිස් මනස හා සමාජයේ ඈඳුණු, එයින් සැකසුණු වස්තූන් භාෂාවට හා මනෝවිද්‍යාවට මෙන් ම ඉතිහාසය, අර්ථශාස්ත්‍රයට ද ගෝචර වේ. ඉතිහාසයට වස්තු වන්නේ යට ගිය දා සිටි පුද්ගලයන් හා යටගිය සිද්ධීන්ය. එදා වූ සංස්ථාය. ඒ වස්තූන්ගේ ලක්‍ෂණ හා සම්බන්ධතා ය.[30] ඉතිහාසඥයා විසින් අතීත කරුණු අධ්‍යයනය කරමින් සිදු විය යුතු කුමක්ද?, සිදු විය හැකි කුමක්ද? හෝ ඒ ගැන ක්‍රියාකර තේරුම් ගන්නා තෙක් එම කිසිම තොරතුරක අරුතක් නැතැයි ඊ. එච්. කාර් ප්‍රකාශ කරන ලදි.[31] මෙය සනාථ වන තවත් ප්‍රකාශයක් ලෙස බී. ක්‍රෝසේගේ පැහැදිලි කිරීම දැක්විය හැක. ඔහුට අනුව “ඉතිහාසය වනාහි අවශ්‍යයෙන් ම වර්තමාන ඇසින් එහි ගැටලුවල එළියෙන් අතීතය දෙස බැලීම ද ඉතිහාසඥයාගේ ප්‍රධාන කාර්යය වන්නේ ලියා තැබීම නොව ඇගයීම ද වේ: ඔහු විසින් අගයන්නේ නැත්නම් ලියා තබන්නට තරම් අගයක් ඇත්තේ කිමෙද?” යනුවෙනි.[32] 18වන සියවසේ ඉතාලියේ විසූ සුප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වූ ජියොවාන්නි බැටිස්ටා විකෝ ඉතිහාසයේ වැදගත් කම දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවේ භෞතික ලෝකය අවබෝධ කොට ගැනීම සහා කෙතරම් සූක්ෂම ශිල්ප විධි ප්‍රගුණ කළ ද භෞතික ලෝකය ‘මිනිසාට පරිබාහිර’ වූ ක්ෂේත්‍රයන් වන හෙයින් ඒ ගැන පූර්ණ දැනුමක් හෝ යථා අවබෝධයක් ලබනු උගහටය. එහෙයින් ශික්ෂණයක් මගින් ලබන දැනුම සත්‍යමය ඥානයක් නොවේ. එහෙත් ඉතිහාසය ශික්ෂණයෙහි ප්‍රයත්න දැරෙනුයේ මානව ලෝකය අධ්‍යයනය කිරීමටත් අවබෝධ කර ගැනීමටත්ය”යනුවෙනි.[33] ඉතිහාසයේ මානව ක්‍රියාකාරකම් පිළිබ ඉතා ප්‍රබල මෙන්ම වැදගත් මතවාදයන් ඉදිරිපත් කළ චින්තකයන් දෙදෙනෙක් ලෙස විල්හෙල්ම් හෙගල් හා කාල් මාක්ස් හැදින්විය හැකිය.[34] ඔවුන්ගේ මත මගින් අතීත මානව දැනුම අධ්‍යනයේලා ඉතිහාසයේ කාර්යය තේරුම් ගත හැක. එහිදී හෙගල් ප්‍රකාශ කලේ ඓතිහාසික අභිවර්ධනය සිදුවන්නේ සමාජයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා අතර ඇති වන අරගල හා ප්‍රතිඝට්ටන අවලියක් ලෙසින් බවයි.[35] ඉතිහාසයේ ධාවක බලවේගයක් වශයෙන් පන්ති අරගලය සැකසීම මාක්සවාදී ඓතිහාසික චින්තනයේ වැදගත් ලක්‍ෂණයක් වන බව මාක්ස්ගේ මත විමසීමෙන් පෙනී යයි.[36] ඉතිහාස අධ්‍යනය ජනතාවකට සිය ස්වභාවය පිළිබව අවබෝධයක් ලබා දෙන ශික්ෂණයක් ලබාදෙන්නක් බව ඉහත කරුණු මාර්ගයෙන් අවබෝධ කර ගත හැක.[37] ඒ අනුව පෙනී යන ප්‍රධාන ම කරුණක් වන්නේ ඉතිහාසය යනු මිනිසාට දැනුම ලබා දීම සහා නිර්මාණය වූ සියලු ම විෂයයන් අතරින් ඉතා ම පැරණි මෙන් ම අග්‍රගණ්‍ය ම විෂය වන බවයි.



 

05.    සමාලෝචනය.

ග්‍රී

සියේ හෙරොඩෝටස් හා තුසිඩිඩීස්, ඉන්දියාවේ කල්හණ, රෝමයේ සීසර්, සැලස්ට්, ලිවී හා ටැසිටන්, චීනයේ ස-මා චියන්, අරාබියේ ඉබ්න් ඛල්දුන් හා අල් බිරූනි වැනි ඉතිහාසඥයන් විසින් ඉතිහාසය රචනා කිරීමේ මූලික අරමුණ වූයේ අනාගත මානවයා සඳහා ඉතිහාස ගත තොරතුරු අනාවරණය කිරීම ය. “විවිධ කාල පරිච්ඡේදවල සිටි රජවරුන්ගේ සහ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ වැඩ කටයුතු ඉතිහාසය තුළින් ගෙන හැර දැක්වෙන අතර එමගින් මිනිසා පිළිබඳ ව මිනිසාගේ දැනුම වර්ධනය කෙරෙන බව” සුප්‍රකට ඉන්දියානු ඉතිහාසඥයෙකු වූ බී. වී. රාවෝ ප්‍රකාශ කරන ලදි.[38] වර්තමානය තුල සිටින මානවයාට අතීත ක්‍රියාකාරකම් තුළින් ඉගෙන ගන්නා පාඩම් මගින් තම අනාගතය නිර්මාණය කර ගත හැකි වීම ඉතිහාසය මඟින් මානව දැනුම වර්ධනය කරන ප්‍රබලතම අවස්ථාවක් ලෙස දැක්විය හැක. ඊ. එච්. කාර් වරක ප්‍රකාශ කලේ ඉතිහාසඥයාගේ කාරිය අතීතයට පෙම් කිරීමවත්, තමා අතීතයෙන් මිදීමවත් නොව වර්තමානය තේරුම් ගන්නට යතුර වශයෙන් අතීතය ජයගෙන තේරුම් ගැනීම වන බවයි.”[39] තවදුරටත් අදහස් දක්වන ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ;

        “ඉතිහාසය ඇරඹෙන්නේ මිනිසුන් විසින් කාලයේ ගෙවී යෑම ගැන ස්වාභාවික ක්‍රියාවලි එනම්, ඍතු චක්‍රය, මිනිස් ජීවිත කාලය- හැටියට නොව මිනිසුන් සවිඥානව සම්බන්ධ වූ ද ඔවුන්ට සවිඥානව බලපෑ හැකි වූ ද නිශ්චිත සිද්ධි මාලාවක් හැටිය‍ට සිතන්නට පටන් ගැනෙන විට ය.”[40]

ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී එය අධ්‍යයනය කරන්නාට පෙනී යන වැදගත් කරුණක් වන්නේ ඒ තුල අපගේ පුද්ගලික අත්දැකීම්වලට සමාන සිදුවීම් තිබෙන බවයි. තවදුරටත් අදහස් දක්වන ඊ. එච්. කාර් විසින් බරක් හාඩ්ට්ගේ ප්‍රකාශයක් ගෙන හැර දක්වමින් ප්‍රකාශ කලේ ඉතිහාසය වනාහී “විඥානය පිබිඳීම කරණ කොට ගෙන සොබා දහමින් කැඩීමය” යනුවෙන් හඳුන්වන ලදි.[41]

සමාජ විද්‍යාවක් ලෙස ඉතිහාසය වර්ධනය වීම තුළ ඊට අදාල අනෙකුත් විෂයන් ගණනාවකට ඉතිහාසය පදනම් වන ආකාරයක් දැකිය හැක. විශේෂයෙන් ම සමාජ විද්‍යාත්මක හා ආර්ථිකමය වාතාවරණය පිළිබඳ දත්ත සපයා ගත හැකි වීම ඉතාමත් ම වැදගත් වේ. දැනට පවතින “දේවදාසී ක්‍රමය” පිළිබඳව පර්යේෂණයක් කරන සමාජ විද්‍යාඥයෙකුට ද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරන අධ්‍යයනය කරන දේශපාලන විද්‍යාඥයෙකුට ද, මහජන කැරලි කෝලාහල පිළිබඳ පර්යේෂණ කරන මනෝ විද්‍යාඥයෙකුට ද බලශක්ති අර්බුදය ගැන අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාඥයෙකුට ද යන සියලු දෙනාට ම ඔවුන්ගේ පර්යේෂණ අධ්‍යයනවලට අවශ්‍ය මූලාශ්‍ර තොරතුරු විශාල වශයෙන් ලබා ගන්නට සිදු වන්නේ ඉතිහාසය නැමති නිධානයෙනි. එම නිසා සියලු සමාජීය විද්‍යාවන්ගේ පර්යේෂණාගාරය ලෙස ඉතිහාසය හඳුන්වා තිබීම පුදුමයට කරුණක් නොවේ” යනුවෙන් බී. වී. රාවෝ ප්‍රකාශ කරයි.[42]

ඉතිහාස ගත පාඩම් ඉගෙනීම තුළින් අපට අනාගතය හැඩ ගැස්සවීමට හැකිවීම එමඟින් ලබා ගත හැකි වැදගත් ම ප්‍රයෝජනයයි. උදාහරණයක් ලෙස මැසිඩෝනියාවේ ඇලෙක්සැන්ඩර්, නැපෝලියන් බොනපාට් වැනි අයට ඉතා විශාල ජයග්‍රහණයන් ලබා ගත හැකි වූවේ ඔවුන් තුළ ඉතිහාසය කෙරෙහි තිබූ අවබෝධය හේතුවෙනි. තවද රුසියානු අක්‍රමණය හමුවේ නැපෝලියන් මෙන්ම ඇඩොල්ෆ් හිට්ලර් ද පරාජයට පත් වූයේ ඉතිහාසගත පාඩම් අධ්‍යයනය නොකිරීම හේතුවෙනි. මෙසේ විවිධ පැතිකඩ ගණනාවකින් යුතු මානව හැසිරීම් රටාව පැහැදිලි කිරීමේ දී ඉතිහාස විෂයයට පැවරෙන කාර්යය ඉතාමත් වැදගත් වේ. විශේෂයෙන් ම වර්තමාන දියුණු රටවල පාලක පන්තිය විසින් මේ රාජ්‍ය තන්ත්‍රය පිළිබඳ දැනුම ලබා ගන්නේ හා අනාගත වැඩ සැලසුම් කර ගන්නේ ද ඉතිහාසය තුළිනි. ඉහත ක්‍රියාකාරකම් සනාථ කරන ප්‍රකාශයක් කාර්ල් මාක්ස්ගෙන් ගෙනහැර දැක්විය හැක. ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ මානව ඉතිහාසය නිම වෙන්නේ මිනිසුන් විසින්මය බවයි.[43] එය තවදුරටත් අර්ථකතනය කළ ඔහු පැවසූවේ මානව ඉතිහාසය මිනිසුන් විසින් නිමවන නමුත් ‘ඔවුන් එය නිමවන්නේ තමන්ට අභිමත ආකාරයට නොවන බවයි.[44] කෙසේ වෙතත් ඉහිත අදහස් විමසීමේදී ගම්‍ය වන පොදු කාරණයක් වටහා ගත හැකි වේ. එනම් ඉතිහාසය මගින් අතීත මානව දැනුම පිළිබ අධ්‍යයනය කර එමගින් යහපත් අනාගතයක් නිර්මාණය කර ගැනීමට අඩිතාලම සපයා දෙනු ලබන බවයි.

 


 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

කරුණාරත්න ඒ. එම්, වංශකථාවල නොකියවෙන ශිලා ලිපිවලින් හෙළිවන ලංකා ඉතිහාසය, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ, 2012.

කරුණාදාස ඩබ්ලිව් එම්., තුන්වන ලෝකයේ දේශපාලනය හා ආර්ථිකය., දෙහිවල: ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ, 2003.

කා ඊ. එච්, ඉතිහාසය යනු කුමක්ද? , ජාත්‍යන්තර ප්‍රකාශකයෝ, කොළඹ, 1973 අගෝස්තු.

 

ගුණරත්න ආර්. ඩී. විද්‍යාත්මක ක්‍රමය, කතෘ ප්‍රකාශන, මහනුවර, 2007.

 

ගුණවර්ධන ආර්. එල්, ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2005.

 

මෙන්ඩිස් ජී. සී, ලංකා ඉතිහාසයේ ගැටලු, කොළඹ ඇපෝතිකරි සමාගම, කොළඹ, 1966.

 

රත්නපාල නන්දසේන, සමාජ විද්‍යාවේ මූලධර්ම, සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්ගලික) සමාගම, පන්නිපිටිය, 2012.

රාවෝ බී. වී. ලෝක ඉතිහාසය, පරි. මාලනී ඇඳගම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003.

 

ලැස්කි හැරල්ඩ් ජේ, රාජ්‍ය පිළිබඳ සිද්ධාන්ත හා ව්‍යවහාරය. පරිවර්තනය කළේ ඩී බී. අයි. එස්. සිරිවර්ධන. බත්තරමුල්ල: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2005.

විජේනායක අමරසිරි. එදා සිට අද දක්වා මෙදෙස් විදෙස් දේශපාලන වෙනස් වීම්, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002.

වෙත්තමුනි විජයසිරි, සරල සිංහල මහාවංසය, කොළඔ: කතෘ ප්‍රකාශක, 2010.

ස්තෙපානොවා යෙව්ගේනියා, කාල් මාක්ස් ජීවන චරිතය, කුරුලු පොත් ප්‍රකාශකයෝ, රාජගිරිය, 2012.

 

සිරිවීර ඉන්ද්‍රකීර්ති, ඉතිහාස තරංග, ආරිය ප්‍රකාශකයෝ, වරකාපොල, 2013.

 

සොයිසා එම්. ඕ. ඒ, දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්ත, කර්තෘ ප්‍රකාශන, දේශපාලන විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය, 2003 සැප්තැම්බර්.

 

හඳාරගම සමන් සංස්. දේශපාලන සමාජ විද්‍යව - 02. සමීර ප්‍රකාශන, බත්තරමුල්ල, 2014.

 

ශ්‍රී ලාංකේය ඉතිහාසය, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012.

 

 

 

 



[1] විජයසිරි වෙත්තමුණි, සරල සිංහල මහා වංශය, කතෘ ප්‍රකාශන, කළුතර උතුර, පිටු 07.

[2] බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003, පිටු 01.

[3] රණවීර ලෙස්ලි ගුණවර්ධන, ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2005, පිටු 01

[4] ඉන්ද්‍රකීර්ති සිරිවීර, ඉතිහාස තරංග, ආරිය ප්‍රකාශකයෝ, වරකපොල, 2013 මාර්තු, පිටු 09.

[5] බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003, පිටු 01.

[6] කත්බර්ට් අමරසිංහ, “ලිවී: රෝම ඉතිහාසඥයෙක්”, සංස්; රණවීර ලෙස්ලි ගුණවර්ධන, ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2005, 47.

[7] ජේ. සී. මෙන්ඩිස්, ලංකා ඉතිහාසයේ ගැටලු, කොළඹ ඇපොතිකරිස් පොත් සමාගම, කොළඹ, 1966, පිටු  02.

[8] බන්දුල කරුණාතිලක, “ඉස්ලාමීය ඓතිහාසික සම්ප්‍රදායය හා ඉබ්න් ඛල්දුන්ගේ ඉතිහාස කෘති”, සංස්- රණවීර ගුණවර්ධන, ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2005, පිටු 189.

[9] බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003, පිටු 01.

[10] ඊ. එච්. කාර්, ඉතිහාසය යනු කුමක්ද?, ජාත්‍යන්තර ප්‍රකාශකයෝ, කොළඹ, 1973, පිටු 02-03.

[11] බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003, පිටු 01.

[12] බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003, පිටු 01.

[13] එම...පිටු 01.

[14] එම...පිටු 01.

[15] ඊ. එච්. කාර්, ඉතිහාසය යනු කුමක්ද?, ජාත්‍යන්තර ප්‍රකාශකයෝ, කොළඹ, 1973, පිටු 19.

[16] එම...පිටු 32.

[17] ඊ. එච්. කාර්, ඉතිහාසය යනු කුමක්ද?, ජාත්‍යන්තර ප්‍රකාශකයෝ, කොළඹ, 1973, පිටු 24.

[18] මර්ලින් පීරිස්, “තුසිඩිඩීස් හා ග්‍රීක ඓතිහාසික සම්ප්‍රදායය”, සංස්- රණවීර ගුණවර්ධන, ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2005, පිටු 25.

[19] ඊ. එච්. කාර්, ඉතිහාසය යනු කුමක්ද?, ජාත්‍යන්තර ප්‍රකාශකයෝ, කොළඹ, 1973, පිටු 32.

[20] ඒ. එම්. කරුණාරත්න, වංසකතාවලින් නොකියවෙන ශිලාලිපිවලින් හෙළිවන ලංකා ඉතිහාසය, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ, 2012. පිටු 13.

[21] රණවීර ගුණවර්ධන, ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2005, පිටු 217.

[22] ආර්. ඩී. ගුණරත්න, විද්‍යාත්මක ක්‍රමය, කර්තෘ ප්‍රකාශන, මහනුවර, 2007 ජුනි, පිටු 09.

[23] එම...පිටු 10.

[24] රණවීර ගුණවර්ධන, ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2005, පිටු 218.

[25] බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003, පිටු 02.

[26] රණවීර ගුණවර්ධන, ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2005, පිටු 219.

[27] එම...පිටු 230.

[28] ආර්. ඩී. ගුණරත්න, විද්‍යාත්මක ක්‍රමය, කර්තෘ ප්‍රකාශන, මහනුවර, 2007 ජුනි, පිටු 01.

[29] ඊ. එච්. කාර්, ඉතිහාසය යනු කුමක්ද?, ජාත්‍යන්තර ප්‍රකාශකයෝ, කොළඹ, 1973, පිටු 17.

[30] ආර්. ඩී. ගුණරත්න, විද්‍යාත්මක ක්‍රමය, කර්තෘ ප්‍රකාශන, මහනුවර, 2007 ජුනි, පිටු 02.

[31] ඊ. එච්. කාර්, ඉතිහාසය යනු කුමක්ද?, ජාත්‍යන්තර ප්‍රකාශකයෝ, කොළඹ, 1973, පිටු 26.

[32] එම...පිටු 31.

[33] රණවීර ගුණවර්ධන, ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2005, පිටු 223.

[34] යෙව්ගේනියා ස්තෙපානොවා, කාල් මාක්ස් ජීවන චරිතය, පරි. දැදිගම වී. රුද්‍රිගූ, කුරුලු පොත් ප්‍රකාශකයෝ, රාජගිරිය, 2012, පිටු 333.

[35] එම...පිටු 234.

[36] එම...පිටු243.

[37] රණවීර ගුණවර්ධන, ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2005, පිටු 234.

[38] බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003, පිටු 02.

[39] ඊ. එච්. කාර්, ඉතිහාසය යනු කුමක්ද?, ජාත්‍යන්තර ප්‍රකාශකයෝ, කොළඹ, 1973, පිටු 37.

[40] එම...පිටු 159.

[41] එම...පිටු 159.

[42] බී. වී. රාවෝ, ලෝක ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003, පිටු 03.

[43] රණවීර ගුණවර්ධන, ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සමාගම, කොළඹ, 2005, පිටු 243.

[44] එම...පිටු 248.


No comments:

Post a Comment