Sunday, 11 July 2021

“ඉතිහාසඥයකු වශයෙන් ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධනයන්ගේ කාර්යභාරය”

 



                                                                                                                                                                                                                                                                                                                                                                                                     

පටුන

 

01.   හැඳින්වීම.

02.   ජීවන පසුබිම. 3

03.   වෘත්තීය පසුබිම.

04.   ඉතිහාසඥයෙකු වශයෙන් සිදු කළ සේවය.

05.   ගුණවර්ධනයන්ගේ විචාරාක්‌ෂියට යොමු වූ ක්‌ෂේත්‍ර.

  සමාලෝචනය.

 ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.



 

01.       හැඳින්වීම.

තිහාසය අගය කරන තැනැත්තා තමන්ට නැති ඉතිහාසයක් වුවද ගොඩනඟා ගැනීමට උත්සාහ කරයි. ඔහු එසේ කරන්නේ තමන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඉතිහාසය ප්‍රබල සාධකයක් වන නිසා ය.[1] ඒ හේතුවෙන් වර්තමානය වන විට ඉතිහාසයේ වැදගත්කම පෙර යුගයන්ට වඩා ප්‍රබල ලෙසින් ප්‍රසාරණය වී ඇත.

නූතන සම්මතයට අනුව ඉතිහාසය යනු අතීත පරම්පරාවන්ගෙන් ශේෂ වී ඇති කරුණු කෙරෙහි ඥානය හා පරිකල්පනය යොදා ගොඩනඟා ඇති අතීතයේ ප්‍රතිබිම්බයයි. ඉතිහාසය ලිවීම පිළිබඳ නූතන ක්‍රමය ආරම්භ වුයේ 19 වන සියවසයේදීය. නූතන ඓතිහාසික ක්‍රමය විද්‍යාත්මක ඓතිහාසික ක්‍රමය යනුවෙන් හැදින්වීමට පුළුවනි. ඉතිහාසය ලිවීම කලාවක් ය යනු දිගු කලක සිට පැවතුණු සංකල්පයකි. එම අදහස දැනුදු සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් නැත. ඉතිහාසයෙන් සිදු වන්නේ අතීතය නැවත නිර්මාණය කිරීමකි. එහෙයින් එය කලාවකි. එහෙත් අතීතය නැවත නිර්මාණය කිරීමේදී ඉතිහාසඥයා කරුණු රැස් කරනුයේ විද්‍යාත්මක ක්‍රමයකට අනුවය. ඉතිහාසය ලිවීමේ දී අතීතය අලුතින් ම නිර්මාණය කිරීමක් සිදු වන්නේ නැත. අතීතය නිර්මාණය කරනු ලබන්නේ එයින් ඉතිරි වී ඇති කරුණු පදනම් කොට ගෙනය. මෙම කරුණු සත්‍ය ඒවා ද යන්න තීරණය කිරීමේදී විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කිරීමට සිදු වෙයි. වර්තමානයේ මෙරට ඉතිහාසය ලෙස හුවා දක්වනු ලබන බොහෝ කරුණුවල දී සැබවින්ම පර්යේෂකයින් හෝ ඉතිහාසඥයන් යැයි කියා ගන්නා පුද්ගලයින් අතින් සිදු වී නොමැති ප්‍රධානතම අවශ්‍යතාව වනුයේ ද මෙයයි.

මෙලෙස අප අධ්‍යයනය කරනු ලබන ඉතිහාසය නිර්මාණය කිරීමේදී වැදගත් ම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ ඉතිහාසඥයායි. සමස්ත අතීතයෙන් තෝරා ගනු ලැබූ කරුණු කාරණාවන් පිළිබඳ වඩා සාධනීය ලෙසින් සාක්‍ෂි විමසා එම කරුණු නැවත නූතන මානවයා වෙත සම්ප්‍රේෂණය කරනු ලබන්නේ ඉතිහාසඥයා විසිනි. එහිදී නිරන්තරයෙන්  ම ඔහුගේ අවධානය එම සිද්ධිය හා සිද්ධි දාමය සිදු වූවේ කෙසේ ද?, කිනම් ආකාරයකට ද?, කවදාද?, ඇයි?, යන ප්‍රශ්නාවලිය තුළ විභාග වෙමින් නිර්වචනය වූ කරුණු සමස්තය කෙලෙසින් නූතන මානවයා වෙත ඉදිරිපත් කිරීම මෙන් ම ඊට සාධාරණ විසඳුමක් එක්තැන් කිරීම සිදු කරනු ලබන්නේ ඉතිහාසඥයා විසිනි. ඒ අනුව සමස්ත අතීතයෙන් නිරවද්‍යවූත්, තෝරාගනු ලැබූත් කරුණු ඉතිහාසය වෙත ලබා දෙනු ලබන්නේ ඉතිහාසඥයායි. ඒ අනුව ඉතිහාස විෂයයේ දී ඉතිහාසඥයාට ප්‍රමුඛත්වයක් ලැබෙන බව පෙනී යයි.

ඒ අර්ථයෙන් බලන කල ශ්‍රී ලංකාවේ ඉතිහාසය වර්ධනය කෙරෙහි ඉමහත් දායකත්වයක් ලබා දුන් විද්වතෙක් ලෙසත්, ලාංකේය ඉතිහාසය නවමු දෘෂ්ඨිකෝණයක් යටතේ අධ්‍යයනය කරමින් නව තොරතුරු රැසක් ලොවට අනාවරණය කළ ඉතිහාසඥයෙකු ලෙසත් රණවීර ලෙස්ලි ගුණවර්ධන මහතා ඉමහත් ප්‍රසිද්ධියක් ලබා ඇති අතර ඔහුගේ එම සේවය දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද ඇගයීමට පත් ව ඇත. ඉතිහාසඥයෙකුට අමතරව දේශපාලනඥයෙකු ලෙස ද කටයුතු කර ඇති එතුමා ශ්‍රී ලංකාව තුළ ඉමහත් කීර්තියක් අත් තර ගත් පුද්ගලයෙකු ද වේ.

මෙම පැවරුම මඟින් අවධානයට ගැනෙන්නේ එතුමාගේ කාර්යභාරයයි. ඒ අනුව පළමු ව එතුමාගේ පවුල් පසුබිම හා අධ්‍යාපන තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කරන අතර ඉන් අනතුරුව වෘත්තීය තත්ත්වයන් හා ඉතිහාසඥයෙකු වශයෙන් මෙන් ම විද්වතෙකු වශයෙන් ඉතිහාස විෂය කෙරෙහි එතුමාගෙන් ඉටු වූ සේවය ඇගයීමට අපේක්‍ෂා කෙරේ.


 



02.    ජීවන පසුබිම.

රණවීර අප්පුහාමිගේ ලෙස්ලි හර්බට් ගුණවර්ධන මහතා (R. A. L. H. Gunawardene) 1938 අගෝස්තු මස 17 වන දින තෝලංගමුව නම් ප්‍රදේශයේ උපත ලැබීය.[2] ඔහු තරුණ වයසේ දී ඔහුගේ මව්පියන් දෙදෙනා ම මිය ගිය අතර, ඔහුගේ මාමා කෙනෙකු විසින් ඇති දැඩි කරනු ලැබීය. ඔහු තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලබා ගත් අතර උසස් අධ්‍යාපනය සඳහා 1956 වසරේ දී විශ්ව විද්‍යාල ප්‍රවේශ ලබා ගන්නා ලදි.[3] ඒ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වූ ඔහු 1960 වසරේ දී පැරණි ඉතිහාසය (Ancient History) ආශ්‍රිතව ශාස්ත්‍රවේදී පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගනිමින් ඉහළින් ම සමත් විය.

ඔහු තම පශ්චාත් උපාධි (PhD) අධ්‍යයනය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ප්‍රාචීන හා අප්‍රිකානු අධ්‍යයන ශාස්‌ත්‍රාලයේ පර්යේෂණ අධ්‍යයනයන්හි නිරත වී, Arthur Llewellyn Basam සහ Johannes Gibsbertus de Casparis යන ආචාර්යවරයන්ගේ මඟ පෙන්වීම යටතේ 'පළමු වැනි සේන සිට මාඝ ආක්‍රමණය තෙක්‌ සංඝ සමාජයේ ඉතිහාසය' මැයෙන් වූ නිබන්ධනය (ශ්‍රී ලංකාවේ මුල් මධ්‍යතන යුගයේ පැවති බෞද්ධ පැවිදි ආයතන සම්බන්ධයෙන් ඔහුගේ පර්යේෂණ නිබන්ධනය නිර්මාණය විය.)[4] සඳහා 1965 දී ආචාර්ය උපාධියෙන් පුද ලැබීය. ඔහුගේ එම උපාධි නිබන්ධනය “Robe and Plough: Monasticism and Economic Interest in Early Medieval Sri Lanka” යන නමින් ඇමරිකා එක්සත් ජනපදයෙහි පිහිටි ඇරිසෝනා විශ්ව විද්‍යාලය මඟින් ප්‍රකාශයට පත් කරන ලැබූ අතර එය ලොව පුරා ඉමහත් කීර්තියක් ලබා ගත් පර්යේෂණ නිබන්ධනයක් මෙන් ම ග්‍රන්ථයක් වශයෙන් පිළිගනු ලැබේ. සිවුර හා නගුල හෙවත් මුල් මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ විහාරාරාම සහ ආර්ථික අභිලාෂ යනුවෙන් ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් මහාචාර්ය ගුණවර්ධනයන් පළ කළ ග්‍රන්ථය දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූවකි. 




 

03.   වෘත්තීය පසුබිම.

 

ණවීර ගුණවර්ධන මහතා ඉතිහාසය දෙපාර්තමේන්තුවේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස 1960 වසරේ දී පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයට එක් විය. කථිකාචාර්යවරයෙකු ලෙස ද අනතුරුව ඔහු 1982 වසරේ දී ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙසත් 1991 වසරේ දී ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ලෙසත් කටයුතු කරනු ලැබූ අතර 1997 වසරේ සිට 2000 වසර දක්වා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙස ද කටයුතු කරනු ලැබීය.[5]

ගුණවර්ධන මහතා දේශපාලකයෙකු වශයෙන් ද ප්‍රසිද්ධියක් ලබා ඇති අතර ඔහු තම ක්‍රියාකාරී දේශපාලන දිවිය අරඹන්නේ 1960 වසරේ සිට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය හා සම්බන්ධ වීමත් සමඟ ය. අනතුරුව පොදු‍ ජන එක්සත් පෙරමුණ සමග සම්බන්ධ වූ ඔහු 2000 වසරේ පවත්වන්නට යෙදුණු මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය. එලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් පසු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.[6] නමුත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු ඔහුගේ කැබිනට් අමාත්‍යධුරය අහිමි විය.[7] කලක් රෝගාතුර ව සිටි ඒ මහතා 2010 නොවැම්බර් මස 16 වන දින අභාවප්‍රාප්ත විය.


 



04.    ඉතිහාසඥයෙකු වශයෙන් සිදු කළ සේවය.

තිහාසඥයකු වශයෙන් රණවීර ලෙස්ලි ගුණවර්ධන මහතා ශ්‍රී ලාංකේය ඉතිහාස සම්ප්‍රදාය තුළ සුවිශේෂී පුද්ගලයෙකු වශයෙන් ඉස්මතු වන්නේ ඔහුගේ අධ්‍යයනයන් සාම්ප්‍රදායික දේශීය ඉතිහාසය තුළ දේශපාලන අංශය අධ්‍යයනය කිරීමෙන් ඔබ්බට ගොස් ඉතා සූක්ෂම ලෙස රටේ සමාජීය හා ආර්ථික රටාවේ ඓතිහාසික පසුබිම අධ්‍යයනය කරන්නට ඉදිරිපත් වීමත් සමඟ ය. එහිදී ඔහුගේ අවධානය යොමු වූයේ ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය හා බැඳී පැවති ඓතිහාසික සිදුවීම ය.

එලෙස ගුණවර්ධන මහතා මෙරට ආගමික පසුබිම කෙරෙහි අධ්‍යයනය කිරීමට යොමු වන්නට ඇත්තේ ඔහුගේ උපදේශකවරයන් වශයෙන් කටයුතු කළ උගතුන්ගේ ආභාෂයෙන් විය හැක. එලෙස කටයුතු කළ ආචාර්යවරුන් අතර ජේ. ජී. කැස්පාරින් මහතා හා බැෂාම් මහතා ප්‍රමුඛ වේ. එහිදී කැස්පාරින් මහතා මෙරටින් එංගලන්තය බලා පැමිණි බෞද්ධ අධ්‍යයනය හා සම්බන්ධ ක්ෂේත්‍ර පදනම් කර ගනිමින් ඉතිහාසය හැදෑරූ බොහෝ පර්යේෂකයන්ගේ පශ්චාත් උපාධි අධීක්ෂණවල දී උපදේශකවරයා වශයෙන් කටයුතු කරනු ලැබීය.[8]

මෙතෙක් පර්යේෂකයන් අනුගමනය කළ අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙනිය හා කෝට්ටේ යන දේශපාලන රටාව තුළින් බැහැර වූ රණවීර ගුණවර්ධන මහතා බුද්ධාගම හා බෞද්ධ සංස්කෘතිය තේමා කර ගත් දේශපාලන යුග හරහා දිවෙන මාතෘකා පර්යේෂණවලට යොදා ගනු ලැබීය. 1965 දී ආචාර්ය උපාධිය ලබා ගත් ගුණවර්ධන මහතා මධ්‍යතන යුගයේ මුල් කාලය තුළ ශ්‍රී ලංකාවේ විහාරස්ථාන ජීවන සම්ප්‍රදාය හා එහි ආර්ථික ක්‍රියාකාරකම් අලළා තොරතුරු පරික්ෂාවට ලක් කරන ලදි. අභයගිරි පාර්ශවයෙන් ඇරඹි මහා විහාරයට බලපෑ මහායානික හා තාන්ත්‍රික මතවාද ගැන විමසිලිමත් වූ ඔහු අභයගිරි පාර්ශවය තුළ එකල ක්‍රියාත්මක වූ නිකායික ප්‍රභේද 14ක් හඳුනා ගනු ලැබීය.

නිකායන් සතු දේපළ හා ඒවා මුල් කොට වර්ධනය වූ පාලන රටාව තුළින් මූල නම් සංවිධානය බිහි වීම ගැන ද ඔහු සාකච්ඡා කරන ලදි. ඒ වන විට බොහෝ දෙන පිළිගත් මහ පැරකුම්බා රජු තුන් නිකාය එක් කිරීමෙන් පසුව අභයගිරි පාර්ශවයේ බලපෑම අහෝසි වී ගියා ය යන අදහස ගැන ද සැලකිලිමත් වූ හෙතෙම එම වැඩ පිළිවෙළින් පසුව ද අභයගිරි පාර්ශවයේ බලපෑම තව දුරටත් සක්‍රියව පැවති බවට ද මූලාශ්‍ර මඟින් තොරතුරු හෙළි කරනු ලැබීය.[9]

ශ්‍රී ලංකාවේ ඉතිහාස විෂය ආශ්‍රිතව සිදු වූ සංවර්ධනය දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන වැදගත් ම කරුණක් වන්නේ එහි සාර්ථකත්වයට රණවීර ගුණවර්ධන මහතාගෙන් සිදු වූ සේවය සුවිශේෂී වන බවයි. විශේෂයෙන් ම ඉතිහාසය, විෂයයක් ලෙස අධ්‍යයනය කිරීමේදී 1970 වසර පමණ වන තෙක් කිසිදු න්‍යායාත්මක පදනමක් මත පිහිටා අධ්‍යයනය කිරීමක් සිදු නොවීය. නමුත් විදේශීය විශ්ව විද්‍යාලයන්හි මෙන් ම ඉතිහාස අධ්‍යයන ක්‍රමවේදයන් තුළ ඒ සඳහා සුවිශේෂී ක්‍රමවේද රැසක් ඉතිහාසය අධ්‍යයනය කරන්නන් සඳහා උගන්වනු ලැබූ අතර එමගින් ඉතිහාසයේ විද්‍යාත්මක භාවය තව දුරටත් වර්ධනය වූ අතර එම විෂයයේ ගෞරවය ද එමගින් ආරක්‍ෂා විය. එම ක්‍රියාවලියේ ඇති වැදගත් කම පිළිබඳ අවබෝධයක් ලබා තිබූ ගුණවර්ධන මහතා එම විෂය ලාංකේය විශ්ව විද්‍යාල කෙරෙහි හඳුන්වා දීමට ද උත්සුක විය. ඒ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ශාස්ත්‍ර පීඨයේ විෂයයන් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළ යටතේ ඉතිහාස අධ්‍යයන අංශයේ, ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රවේදී පරීක්‍ෂණ සඳහා ඉංග්‍රීසියෙන් Historiography නමින් ද සිංහලෙන් ඉතිහාස රචනය නමින් ද හැඳින්වුණු ප්‍රශ්න පත්‍ර සකස් වූ අතර 1974 වසරේ සිට එය ඉතිහාසකරණය ලෙසින් හඳුන්වනු ලැබීය.[10] මෙලෙස ඉතිහාසකරණය විෂය දේශීය වශයෙන් ඉගැන්වීමට උර දුන් මූලිකයා ලෙස ගරු බුහුමන් ලබන්නේ රණවීර ලෙස්ලි ගුණවර්ධන මහතා වන අතර ඔහුගේ එම උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අමතරව කොළඹ විශ්ව විද්‍යාලය තුළ ද ඉතිහාසකරණය විෂය තම උපාධි අපේක්‍ෂකයන්ට උගන්වන අතර ඒ සඳහා අවශ්‍ය පරිපූර්ණ දැනුමක් අනෙකුත් ආචාර්යවරුන්ට ලබා දෙන ලද්දේ ද ගුණවර්ධන මහතා විසින් වීම විශේෂ වේ.

ඔහු විසින් රචිත කෘතීන් හා ලිපි අතර ජාතියේ ප්‍රභවය”, “ශ්‍රී ලංකාවේ පැරණි හා මධ්‍ය කාලීන විද්‍යාව හා තාක්ෂණය”, ‍ “දේශීය බෞද්ධ සංඝ සංස්ථා”, “ජනවාර්ගික සම්බන්ධතා” වැනි මාතෘකා අලළා මහාචාර්ය ගුණවර්ධන ඉතා ම විවාද ජනක කරුණු ද සහිත ව ශාස්ත්‍රීය අධ්‍යයනයන් කර තිබෙන අතර ඒ බොහෝමයක් මාතෘකා මාක්ස්වාදී, සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් රචනා වී තිබීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය. එම කරුණු අතිශයින් ම විවාදාත්මක වන අතර ජාතිවාදී හා ආගම්වාදී පිරිස් ගුණවර්ධන මහතාගේ එම මත ඉතා තදින් විවේචනය කළ බව බොහෝමයක් විද්වතුන්ගේ මතය වේ.

උදාහරණ ලෙස ;

·         අතීතයේ අපේ රටේ ඒකීය රාජ්‍යයක් තිබුණ ද? නැද්ද?

·         සිංහල නමින් හැඳින්වූයේ රජ පවුල් විතරක් නෙමෙයි ද?

·         දළදා වහන්සේ රැකගත්තේ දකුණු ඉන්දියාවේ අගම්පඩි භටයන් ද?

යනාදී ප්‍රශ්න මෙහිලා දැක්විය හැකිය.


 



05.    ගුණවර්ධනයන්ගේ විචාරාක්‌ෂියට යොමු වූ ක්‌ෂේත්‍ර.‌

හාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධන විසින් සිංහල - බෞද්ධ අනන්‍යතාව සම්බන්ධයෙන් කළ ඇතැම් අධ්‍යයන විවාදාත්මක විය. "බුදුන්ගේ නෑදැයෝ (ලංකාවේ පුරාතන හා මුල් මධ්‍යතන යුගයන්හි දේශපාලන වරම හා මිත්‍යාකථා" යන්න මීට නිදසුනකි. මහාචාර්ය ගුණවර්ධන ලියන ලද “සිංහ ජනතාව: ඉතිහාසයෙහි හා ඉතිහාසකරණයෙහි දැක්වෙන සිංහල ස්‌වවිඥනය” නමැති පර්යේෂණ නිබන්ධය ප්‍රබල බුද්ධිමය සංවාදයකටත් තුඩු දුන්නක් ලෙස දැකිය හැකිය. එය ප්‍රකට සමාජ වාග් විද්‍යාඥයකු වන මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස ඊට බුද්ධිමය අභියෝගයක් එල්ල කිරීමත් සමග උද්ගත වූවක් ලෙස සැලකිය හැක. මේ ශාස්ත්‍රීය ගැටුම ජාත්‍යන්තර මට්ටමින් ද ප්‍රකට විය. ධර්මදාස - ගුණවර්ධන මත ගැටුමේ දී ඔබ ඉන්නේ කුමන ස්ථාවරයේ ද යන්න පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා විදෙස් ගතවන ලාංකිකයන්ගෙන් ඇසීම සාමාන්‍ය දෙයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සඳගෝමි කෝපරහේවා ලියූ ලිපියකින් දක්වා තිබීම මෙම මත ගැටුමේ ඇති වැදගත්කම දක්වන්නක් ලෙස පෙනී යයි.

ශ්‍රී ලංකාවේ විසූ අග්‍ර ගණයේ විද්වතුන් දෙපළකගේ මෙම සංවාදය ලංකාවෙන් එපිටට පවා ඇදී ගියේය. ඉංග්‍රීසියෙන් ඇවිලී ගිය එම විවාදය ඇතැම් බටහිර විශ්වවිද්‍යාල වියතුන්ගේ ද අවධානයට ලක් විය. 

ප්‍රවීණ ඉතිහාසඥයකු සේ ම නූතන සමාජීය විද්‍යා අධ්‍යයන ප්‍රවණතාවන් පිළිබඳ ව ප්‍රාමාණික විද්වතකු ද වන ලෙස්ලි ගුණවර්ධනගේ මූලික ඉදිරිපත් කිරීම සඳගෝමී කෝපරහේවා, සන්න හෙවත් paraphrase කරන්නේ මෙසේ ය.

·         සිංහල යනුවෙන් ජනතාවක ගේ අනන්‍යතාව දැක්වෙන නම අද භාවිත වෙතත් ඒ නාමය මුලින් භාවිත වූයේ රජ පවුල සඳහා පමණි.

·         මේ රටේ රජ කළ රාජවංශය එම නාමයෙන් හඳුන්වන ලද හෙයින් සිංහල අනන්‍යතාව යනු රජ පවුලේ උදවිය ගේ අනන්‍යතාව විය. මේ තත්ත්වය සිංහල රාජ්‍යය පිහිටුවන ලද කි‍්‍ර.පූ. 6 වන සියවසේ පමණ සිට කි‍්‍ර.ව. 12 වන සියවස පමණ කාලය පුරා ම පැවතුණි.

·         ඒ අනුව, රට වැසි අන්‍යයෝ එම අනන්‍යතාවෙන් බැහැර පිරිසක් වූහ.

මහාවංසය, එහි ටීකාව වන වංසත්ථප්පකාසිනිය මෙන් ම විවිධ ශිලා ලේඛන ද ගුණවර්ධනයෝ තම තර්කය ඔප්පු කරනු පිණිස උපුටා දක්වති.

ඔහු 12 වන සියවසේ රචිත ධර්ම ප්‍රදීපිකාව කෘතියෙහි එන ඡේදයක් උපුටා දක්වමින් ඒ වන විට නම් විවිධ සේවක කුල ආදියෙන් සමන්විත පොදු මහත් දීපවාසීන් “සිංහල” නාමයෙන් හඳුන්වන්නට පටන්ගෙන තිබුණු බව දක්වා තිබේ.

කෙසේ වෙතත් මෙම විවාදය හේතුවෙන් බොහෝ අවලාද හා නිග්‍රහයන්ට ලක් වීමට රණවීර ගුණවර්ධන මහතාට සිදු වූ අතර එවැනි විවේචනයක් කියවන යමෙකු තුළ ශ්‍රී ලංකාවේ විසූ අග්‍ර ගණයේ විද්වතකු ලෙස හඳුන්වන මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන පිළිබඳ ඇති කරන චිත්‍රය මෙබඳු එකක් විය හැක. 

ඔහු අග්‍ර ගණයේ විද්වතකු වුවද, මුදලට හා බටහිර රටවල වියතුන් අතර කීර්තියට ලොබ බැඳ සිංහල ජාතියට අනර්ථකාරී ශාස්ත්‍රීය මැදිහත්වීමක් කළේ ය. පසුව හේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස අතින් පරාජයට පත් විය. ඔහු මහාචාර්ය ‍කේ. එන්. ඕ. ධර්මදාසයන් වැනි උත්තම ගතිගුණ ඇත්තෙක් නො වේ.

කෙසේ වෙතත් එම ඇතැම් අදහස්‌ පිළිගැනීමට තරම් ඔහු නිහතමානී විය.

මහාචාර්ය ගුණවර්ධන සංස්කරණය කරන ලද “ඉතිහාසයේ අතීතය - ශික්ෂණයක වර්ධනය පිළිබඳ විමර්ශනයක්” නම් වූ කෘතිය ලෝක ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත් හදාරන්නන්ට අතිශය ප්‍රයෝජනවත් පොතක් ලෙස පිළිගැනේ. මෙම පොත ගැන විචාරයක් ලියූ මහාචාර්ය අමරදාස ලියනගමගේ මහතා ප්‍රකාශ කරන ලද අදහස මෙහි දී ගෙනහැර දැක්වීම ඉතාමත් වැදගත් වේ. ඔහුට අනුව

“මෙය කියවන්ට ලැබීම (ඉතිහාසයේ අතීතය) මහත් භාග්‍යයක් කොට සලකන බවත්, උසස් ශාස්ත්‍රීය මනසක ප්‍රතිබිම්බය මේ ග්‍රන්ථය පුරාම විහිදී තිබෙන බවත් කියා සිටිනවා.

සඳහන් කර තිබීම තුලින් ම පෙනී යන්නේ ගුණවර්ධන මහතා ශ්‍රී ලාංකේය ඉතිහාසයට සිදු කළ සේවයයි.

ඊට අමතරව මහාචාර්ය රණවීර ලෙස්‌ලි ගුණවර්ධන ශ්‍රී ලංකා ඉතිහාසයේ යුග නිර්ණය පිළිබදව රාජ්‍යය ගොඩ නැගීම කෙරෙහි විශේෂ අවධාරණයක් සහිතව නිරීක්ෂණය කරමින් ලියූ Periodization in Sri Lankan history : some reflections with special emphasis on the development of the state. කෘතිය ද ඔහුගේ පර්යේෂණ අතර සුවිශේෂී තැනක් හිමි කර ගනී.

ගුණවර්ධනයන්ගේ අධ්‍යයන අසහාය වන්නේ මින් පෙර කිසිදු ශ්‍රී ලාංකේය ඉතිහාසඥයෙකු විසින් නො කළ අයුරින් නූතන සමාජීය විද්‍යා න්‍යායන් අනුව අප ඉතිහාසය දෙස බැලීමට දැරූ ප්‍රයත්නය හේතුවෙනි. එබඳු පුරෝගාමී ප්‍රයත්න ගණනාවක්‌ ඔහු ඉංග්‍රීසියෙන් කර ඇති අයුරු මෙහි ලා සඳහන් කළ හැකිය. ලාංකේය වාරි ශිෂ්ටාචාරය අරබයා ඇතැම් යුරෝපීය පඬිවරුන් තුළ තිබුණු "ප්‍රාචීන ඒකාධිපතිවාදය" නමැති ප්‍රපංචය බිඳලමින් අධ්‍යයන කීපයක්‌ ඔහු විසින් පළකොට ඇත. එම නිරීක්ෂණ ඔස්සේ තවත් ඉසව්වක්‌ කෙරේ අවධානය යොමු කළ ගුණවර්ධනයෝ "පැරණි ශ්‍රී ලංකාවේ දේශපාලන ආයතනයන්හි පරිණාමයේ මුල් අවදිය හෙවත් රාජ්‍යයට පූර්විකාව" යන (1982) ලිපිය හා තවත් අධ්‍යයන කීපයක්‌ මගින් සාමාන්‍යයෙන් පවතින අදහසක්‌ වන සිංහල රාජ්‍යය විජය රජ දවස සිට මුළු දිවයින පුරා විහිදී ගිය අණසක පැවති පරිපාලන සංවිධානයක්‌ වූයේ නොව ඉතා කුඩා ප්‍රදේශ පාලනයකින් ඇරඹී කෙමෙන් කෙමෙන් ප්‍රසාරණය වූ බල අධිකාරියක්‌ පිළිබිඹු කරන්නක්‌ බව පෙන්වා දුන්හ.

මෙම අධ්‍යයන්හිදී ඔහු විසින් පෙන්වා දෙන ලද විශේෂ කරුණක්‌ වූයේ රාජ්‍ය බලයේ ව්‍යාප්තිය හා ආර්ථික කටයුතු, විශේෂයෙන් වාරි ශිෂ්ටාචාරයේ වර්ධනය එකල සිදු වූ ආකාරයයි. අපේ පැරණි නගර නිර්මාණය කෙරෙහි ද අවධානය යොමු කළ හේ මුල්ම සිංහල අග නගරය වූ අනුරාධපුරය අරබයා "යටත්විජිත අවදියට පෙර දකුණු ආසියාතික නගරයක්‌ වර්ධනය වීමේදී පූජාවිධිය, බලය හා ප්‍රතිරෝධය ක්‍රියාත්මක වූ ආකාරය" විමර්ශනය කරමින් තවත් අපූර්ව අධ්‍යයනයක්‌ ඉදිරිපත් කරනු ලැබීය.

ගුණවර්ධනයන්ගේ විචාරාක්‌ෂිය යොමු වූ තවත් ක්ෂේත්‍රයක්‌ වූයේ අප ශිෂ්ටාචාරයේ ප්‍රබලතම කාර්ය සාධනයක්‌ වූ වාරි කර්මාන්ත තාක්ෂණය යි. "මාදුරු ඔය පැරණි සොරොව්ව" පිළිබඳවත් "සිස්‌ටර්න් සොරොව් සහ පිස්‌ටන් සොරොව්" පිළිබඳවත් ඔහු කළ අධ්‍යයන පුරාණ තාක්ෂණය සියුම් විස්තර සහිත ව පිරික්සා බැලීමේ දී ඔහු කෙතරම් සුපරීක්ෂාකාරී වීද යන්නට නිදසුන් වේ. පුරාණ සිංහල වාරි ශිෂ්ටාචාරය සිංහල රාජ්‍යයේ වර්ධනය හා එකට බැඳුණු අයුරු පිරික්සමින් "වාරි කර්මාන්තය රාජ්‍යය සහ එහි පරිවර්තනය" නමිනුත්, "පූර්ව විද්‍යාත්මක තාක්ෂණය හා යටත් විජිත අවධියට පෙර දකුණු ආසියාවේ තිබූ අයුරු" යන අධ්‍යයනයන්ට අමතරව "වාරි කර්මාන්තය තාක්ෂණය සමාජ අතර හුවමාරුව" යනුවෙන් අපේ වාරි තාක්ෂණය හා ජාත්‍යන්තර සබඳතා ගැනත් ඔහු අධ්‍යයනය කර තිබේ.

පැරණි සිංහල සමාජයේ තවත් පැතිකඩ දෙකක්‌ පිළිබඳව ඔහු කළ තවත් අගනා අධ්‍යයන දෙකක්‌ ද මෙහි දී දැක්විය හැකිය. එනම් අනුරාධපුර අවධියෙහි ප්‍රබලව පැවති භික්ෂුණී ශාසනය ගැන "පෞරාණික හා පූර්ව මධ්‍යකාලීන යුගයේ බෞද්ධ භික්‌ෂුණීහු" යනුවෙන් කළ අධ්‍යයනයත්,‌ අපේ පැරණි වෛද්‍ය ශාස්ත්‍රය අරභයා කළ "ශ්‍රී ලංකාවේ පැරණි හා පූර්ව මධ්‍යයතන අවධීන්හි භෞතවේදය හා වර්ගෝත්පාදනය පිළිබඳ න්‍යායයෝ" යන අධ්‍යයනයත් විශේෂ වේ. ස්වකීය ආචාර්යවරයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් සිය ජීවිතයේ අවසන් අවධියෙහි ඉදිරිපත් කළ ඇතැම් ඓතිහාසික අධ්‍යයනයන්හි ඇති ශාස්‌ත්‍රීය අඩුපාඩු මුල් වරට පෙන්වා දුන් වියතෙකි මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධන. ඔහු විසින් පළ කරන ලද "ලංකාව හා මලයාසියාව (මේ ප්‍රදේශ දෙක අරබයා මහාචාර්ය පරණවිතාන කළ පර්යේෂණ පිළිබඳ අධ්‍යයනයක්‌" නම් ලිපිය[11] මේ සඳහා නිදසුන් වේ.

මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධන තම පර්යේෂණ රචනා කරනු ලැබූවේ බොහෝ විට ඉංග්‍රීසියෙනි. ඔහු ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ස්වල්ප දෙනා අතරට ඇතුළත් වන්නේ එම අධ්‍යයනයන්හි සාරවත් භාවය නිසා ය. එහෙත් ඒ අතරම ඉතිහාස විෂයය සිංහලෙන් ඉදිරිපත් කිරීමට උත්සුක වූවෙකු ලෙස ද ඔහු අපේ ගෞරවයට භාජනය වෙයි. මහාචාර්ය අමරදාස ලියනගමගේ සූරීන් හා එක්‌ව සම්පාදනය කළ "අනුරාධපුර යුගය" නම් කෘතිය මෙන්ම අප ඉහත සඳහන් කළ "ඉතිහාසයේ අතීතය" වැනි කෘති සිංහලයෙන් ඉතිහාස විෂයය අරබයා ලියවී ඇති උසස්‌ ප්‍රමිතියෙන් යුත් අධ්‍යයන බව පැවසිය හැකිය.


 

සමාලෝචනය.

 


තිහාසඥයෙකු වශයෙන් තම ගමන් මඟ ආරම්භ කළ රණවීර ලෙස්ලි ගුණවර්ධන මහතා අනතුරුව පරිපාලන අංශයේ ද, දේශපාලනය තුල අමාත්‍යවරයෙකු ලෙස ද තම ශ්‍රමය හා බුද්ධිය වැය කරමින් රටට හා ජාතියට විශාල මෙහෙයක් ඉටු කරනු ලැබීය. ඉතිහාසඥයෙකු ලෙස සාම්ප්‍රදායික ඉතිහාස අධ්‍යයන රටාව වෙනස් කරමින් එයට නවතාවයක් ලබා දීමට ඔහු සමත් විය. ඊට අමතරව මෙතෙක් පැවති සාම්ප්‍රදායික විශ්වාසයන් හා මතවාදයන් ඛණ්ඩනය කරමින් නව අදහස් ඉදිරිපත් කිරීම මඟින් එම ක්ෂේත්‍ර තුල විද්වත් කතිකාවන් හා වාද විවාද ඇති කිරීමට ඔහු සමත් වූ අතර එමඟින් අදාළ ක්ෂේත්‍රයන්හි ගුණාත්මක වර්ධනයක් ඇති කිරීමට ද අවකාශය උදා විය.

ඔහුගේ ම මතවාදයන් යම් යම් අවස්ථාවල දී ඉතාමත් ම ආන්දෝලනාත්මක වූ නමුත් අධ්‍යයන ක්ෂේත්‍රය තුල දී ඔහුට අභියෝග කිරීමට තරම් පුද්ගලයන් සිටියේ ඉතා ම අතලොස්සකි. ඔවුන් ද ගුණවර්ධනයන්ගේ ඥානය හා නිහතමානීකම පිළිබදව නිතරම ප්‍රශංසා කරනු ලැබීය.

දේශපාලනඥයෙකු ලෙස ඔහු තම දැක්ම හා අරමුණුගත ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ නමුත් ඒ සියලු කර්තව්‍යයන් ඉතා කෙටි කාලයක් තුල අසාර්ථක විය. අවසානයේ ඇති වූ කලකිරීම මත දේශපාලනයෙන් සමුගනු ලැබීය. එවැනි බුද්ධිමත් හා පරිණත පුද්ගලයෙකුගේ දැනුම හා ආකල්ප ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා දායක කර ගැනීමට නොහැකි වීම ජාතියේ ඛේදවාචකයකි. 

ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාලය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් මුලදී ගොඩනගන ලද විශිෂ්ට ශාස්‌ත්‍රීය සම්ප්‍රදාය නියෝජනය කරන දෙවන පරපුරේ අයකු ලෙස මහාචාර්ය ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධනගේ නාමය අමරණීයව පවතිනු ඇත.


 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.

 

 

ගුණවර්ධන, රණවීර ලෙස්ලි., ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2005.

ගුණවර්ධන, රණවීර ලෙස්ලි., සිවුර සහ නඟුල, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, කොළඹ, 1993.

වෙත්තමුණි, විජයසිරි., සරල සිංහල මහා වංශය, කතෘ ප්‍රකාශන, කළුතර උතුර,

 

 

ශ්‍රී ලාංකේය ඉතිහාසය- වෙළුම V, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012.

 

Fernando, Rex (6 February 2011). "He was every inch a great scholar"The Sunday Times (Sri Lanka), October 2000. Archived from the original on 3 March 2016.

Kuruluwansa, Asela, (18 November 2010). "Prof Leslie Gunawardena bids adieu"Daily News (Sri Lanka).

Weerawarne, Sumadhu (15 September 2001). "18 member Cabinet sworn in yesterday"The Island.

 

"New cabinet sworn in today". Current Affairs. Policy Research and Information Unit, Presidential Secretariat. 19

 

.

 

 

 



[1] විජයසිරි වෙත්තමුණි, සරල සිංහල මහා වංශය, කතෘ ප්‍රකාශන, කළුතර උතුර, 2009, පිටු 07.

[3]  Asela Kuruluwansa, (18 November 2010). "Prof Leslie Gunawardena bids adieu"Daily News (Sri Lanka).

[6]  "New cabinet sworn in today". Current Affairs. Policy Research and Information Unit, Presidential Secretariat. 19 October 2000. Archived from the original on 3 March 2016.

[7]  Sumadhu Weerawarne, (15 September 2001). "18 member Cabinet sworn in yesterday"The Island.

[8] ශ්‍රී ලාංකේය ඉතිහාසය- වෙළුම V, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 2012, පිටු 21.

[9] එම...පිටු 22.

[10] රණවීර ලෙස්ලි ගුණවර්ධන, ඉතිහාසයේ අතීතය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2005, පිටු 2.

[11] http://www.lakehouse.lk/budusarana/2010/09/01/main_editorial.asp



No comments:

Post a Comment