ඉතිහාසකරණය
-Historiography-
(Historical Method and Philosophy of History)
“කාලය හා අවකාශය යන සංකල්ප කෙටියෙන් හඳුන්වා,
අතීතය ක්‍රමවත්ව හැදෑරීමට එමඟින් ලැබෙන දායකත්වය ?.”
ඉ |
තිහාසය තුල කාලය හා අවකාශය යන සංකල්පය
ඉතා ප්‍රබල භූමිකාවක් ඉටු කරනු ලබයි. එම සංකල්පයන් ඉතිහාසකරණය තුල පුළුල් ලෙස
අර්ථකථනය කරන අකාරයක් දැකිය හැක. මෙහි දී කාලය යන සංකල්පය අතීත සිදුවීම සිදු වූ
කාලයත්, අවකාශය ලෙස එම කාලය තුළ සිදු වූ සිදුවීම් සමුදායත් හඳුනාගත හැකිය. අතීත
මානවයාගේ හැසිරීම හා බද්ධ වූ ක්‍රියාකාරීත්වය පිළිබදව විධිමත් ආකාරයෙන් සිදු කරනු
ලබන අධ්‍යයනයන් තුළ කාලය හා අවකාශය යන සංකල්පයන් ගැබ් ව තිබෙන බව පුළුල් ලෙස
ඉතිහාසය ගවේෂණය කිරීමේදී හා අර්ථ ගැන්වීමේ දී පෙනී යයි. කාලය හා අවකාශය අතර
මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුවූ ගනුදෙණුවේදී මානව පරිණාමය හා බැඳි මානවයාගේ ක්‍රියාකාරකම්හි
වර්ධනීය පියවර සියුම්ව අවධානය යොමු කළ යුතු වන අතර එමඟින් අතීතය ක්‍රමවත්ව
හැදෑරීමට, කාලය හා අවකාශය යන සංකල්ප මඟින් ලබා දෙනු ලබන දායකත්වය අවබෝධ කර ගත හැක. කෙසේ නමුත් ඉතිහාසය තුළ ඉතිහාසඥයෙකුගේ මැදිහත්වීම
මත අතීත මානව දැනුම සිය දැනුමෙන් අල්ලා ගනමින් නූතන මානව දැනුමට සම්ප්‍රේෂණය කිරීම˜ ඉතිහාසය හරහා සිදුවන
බවද අමතක නොකළ යතුය. මන්ද යත් ඉතිහාසය
යනු අතීතයෙන් තෝරාගත්
කොටසක් වීමත් හා කාලය හා අවකාශය අන්‍යෝන්‍ය වශයෙන් ඊට අනුබද්ධ ව පැවතීමත් ය.
කාලය හා අවකාශය
මූලික සංකල්ප ලෙස ගැනෙන්නේ බටහිර භෞතික විද්‍යාවෙහි පමණක් නොවේ. බටහිර ගණිතය
හැරුණු විට මුළු මහත් බටහිර දැනුම් පද්ධතියෙහි ම ඒ මූලික සංකල්ප වෙයි. එක්
පැත්තකින් බටහිර දර්ශනය හැරෙන්නට අනෙක් බටහිර දැනුම්වල පසුබිමෙහි ඇත්තේ බටහිර
විද්‍යාවයි. අනෙක් පැත්තෙන් ඒ දැනුම් පද්ධති බටහිර විද්‍යාව පසුපස යයි. බටහිර
දර්ශනය හැරෙන්නට බටහිර දැනුමෙහි දියුණු ම ක්‍ෂේත්‍රය බටහිර විද්‍යාව ය. මෙහි දී
භෞතික වූ ලෝකය යන්නෙන් අදහස් කෙරෙන්නේ මුළු මහත් ලෝකය ය. එහෙත් ඒ අපෙන් ස්‌වායත්ත
ව පවතින ලෝකයක් නොවේ. ඒ කෙසේ වුවත් ද්‍රව්‍ය, විකිරණ, ජීවය, විඥානය, මිනිස්
සබඳතා ආදී මේ සියල්ල මෙහි දී මුළු මහත් ලෝකය යනුවෙන්
ගැනෙයි.
බටහිර දර්ශනයෙන්
හැදෑරෙන්නේ මේ ලෝකයේ නැති දේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. මිනිසුන් යනු අවකාශයේ
අතපය දිගහරින, දුවන පනින, අවකාශයේ අවයව
සහිත පිරිසක් මිස අවකාශයෙන් පිට ජීවත් වන්නවුන් නොවේ. ළමා කාලයේ සිට මහලු වී හෝ
නො වී හෝ මිය යන තෙක් මිනිස්සු වෙනස් වෙති. බටහිර සමාජීය විද්‍යාඥයන්ට ද අවකාශය
හා කාලය අවශ්‍ය වෙයි. භූගෝල විද්‍යාව මූලික වශයෙන් අවකාශය මත ද, ඉතිහාසය මූලික වශයෙන් කාලය මත ද පදනම් වෙයි. සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව ආදී සෑම විෂයයක ම කාලය හා අවකාශය යොදා ගැනෙයි. එහෙත්
මේ එක් විෂයයකවත් අවකාශය හා කාලය ගැන ඇතැම් විට බටහිර භෞතික විද්‍යාවේ සඳහන් වන
ආකාරයට යොදා නො ගැනෙනු ඇත. එහෙත් ඒ සැම විෂයයක ම මුල ඇත්තේ කාලය හා අවකාශය යි.
මෙයින් අදහස්
කරන්නේ බටහිර නො වන දැනුම් පද්ධතිවල කාලය හා අවකාශය යොදා ගැනෙන්නේ නැත යන්න නොවේ. අවකාශයට
සමාප්තියක් නොමැති බව බුද්ධ දේශනාව මඟින් අපට අවබෝධ වනු ඇත. කාලය මැනීම පිළිබඳ ප්‍රශ්නය
සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පමණක් නොව සමස්තයක් ලෙස ගත් කල පෙරදිග සංස්කෘතීන්හි ද ගැටලුවක්
නොවීය. සිංහලයන්ට කාලය යන්න හුදු පඤ්ඤන්තියක් පමණක් විය. මොලොව සියක් අවූරුදු එහි එක දවස
වැනි අදහස් අපට නූහූරු දැ නොවී ය. සියලු දෙනා ම එකම ආකාරයකට කාලය මැනිය යූතු ය
වැනි අදහසක් ඇති විය හැක්කේ කාලය යනූවෙන් දෙයක් ඇතැ යි ගන්නා මෙන් ම එය වාස්තවික
යැ යි ද ගන්නා සංස්කෘතීන්හි ය. එනම් අපෙන් තොරව ලෝකයක් තිබේ යැයි ගන්නා වූ ද කාලය
සිද්ධිවලින් ස්වායත්ත යැයි ද කියැවෙන චින්තනක ය. යූදෙව් චින්තනය එවැනි චින්තනයක්
වෙයි. එහෙත් චක්‍රීය
චින්තනය මත පදනම් වූ දැනුම් පද්ධතිවලට අවකාශය හා කාලය යනු ප්‍රශ්නයක් නොවේ. එයට
හේතුව ඒ පද්ධතිවල කාලයෙන් හා අවකාශයෙන් පටන් ගැනීමක් නොකෙරීම ය. අර්ථ දැක්‌වීම
යන්න ඒ පද්ධතිවල ප්‍රධාන අංගයක් නොවේ.
කාලය හා අවකාශය එක්තැන් කරමින් ආ ගමන පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම මුල්කාලීන ඉතිහාසඥයන්ගේ දැක්මක් බවට පත්විය. පහළොස්වැනි සියවසේ දී පමණ යුරෝපයේ නව
චින්තනයක්, එනම් ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය, ඇති වූයේ යූදෙව් චින්තනයෙන් ද යම් යම් කොටස් එකතු කරගනිමින් ය. අවකාශය
හා කාලය යන සංකල්ප ද ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි නිරපේක්ෂ වියුක්ත
සංකල්ප විය. අප සිටියත් නැතත් අපට නොපෙනෙන දෙවියන් වහන්සේ සිටින්නාක් මෙන් අප
සිටියත් නැතත් අපට නොපෙනී, එනම් අපේ ඉන්ද්‍රියන්ට ගෝචර
නොවී අවකාශය හා කාලය පැවතීම ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනයට එකඟ වෙයි.
නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි මේ අපෙන් තොරව එලෙස පවතින කාලයට හා අවකාශයට නිරපේක්ෂ
අවකාශය හා නිරපේක්ෂ කාලය යැ යි කියනූ ලැබෙයි. බටහිර දර්ශනයෙහි ඒ කාලය හා අවකාශය, ඉන්ද්‍රිය
ගෝචරත්වයෙන් ඔබ්බෙහි වූ ප්‍රාග් අනුභූති අවකාශය හා ප්‍රාග් අනුභූති කාලය යැ යි කාන්ට්
පඬිවරයා විසින් නම් කෙරිණි.
යුරෝපයේ උගතුන්
අතර පළමුවෙන් ඇති වූ නිරපේක්ෂ කාලය හා නිරපේක්ෂ අවකාශය පිළිබඳ අදහස් ක්‍රමයෙන්
උගතුන් නොවූ අය කරා ද විහිදී ගියේ ය. අනෙක් සියල්ල සමඟ කාලය ද දෙවියන් වහන්සේ
විසින් මවන ලද හෙයින් කාලය මැනීම ද දෙවියන් වහන්සේ ගේ සිතැඟි පරිදි සිදු විය. එවිට
කාලය මැනීම ද දෙවියන් වහන්සේගේ මැනීම අනූව ම සිදු විය යූතුව තිබූණි. එහි ප්‍රතිඵලය
වූයේ නිරීක්ෂකයන් සියලු දෙනාට ම කාලය පිළිබඳ එක ම මිනුමක් අවශ්‍ය වීම ය. කාලය හා අවකාශය, ඉතිහාසඥයන් හෝ නිරීක්ෂකයන් සම්බන්ධයෙන් ගත්කල ප්‍රාග් අනූභූතී වෙයි.
සිද්ධි සිදු වන්නේ මේ අවකාශයෙහි හා කාලයෙහි ය. සිද්ධි අවකාශ කාලයෙහි සිදුවන දේ
වෙනුවට දැන් සිද්ධිවලට ප්‍රධාන තැනක් ලැබෙයි.
බටහිර දැනුමේ
අර්ථ දැක්වීම්වල යම් සංකල්පයක් අර්ථ දැක්වීමේ දී ඒ සංකල්පය ගම්‍ය ආකාරයෙන් මිස ප්‍රතිගම්‍ය
ආකාරයෙන් යොදාගත නොහැකි ය. එසේත් නැත්නම් ඒ සංකල්පය යොදා ගනිමින් අර්ථ දැක්‌වෙන
වෙනත් සංකල්පයක් යොදාගත නොහැකි ය. උදාහරණයක් ලෙස පුටුවක් යනු ඉඳගැනීමට
යොදාගන්නා යම් යම් ආකාරවලට තනන ලද භාණ්ඩයක් යෑයි අර්ථ දක්වා පසුව ඉඳගැනීම යනු
පුටුවක් මත වාඩි වී සිටීම යනුවෙන් අර්ථ දැක්‌විය නොහැකි ය. බටහිර දැනුමේ කාලය
අවකාශය හා තවත් එවැනි අදහස් වෙනත් සංකල්පවලින් අර්ථ දැක්වීමට නොහැකි ය.
දෙවනුව අප අතීතය
යනු කුමක්ද යන්නද අවබෝධ කර ගත යුතු වේ. වර්තමානයට පෙර කාලසීමාව අතීතය නම් වේ.
අතීතය යන්න සාමාන්‍යයෙන් වර්තමානයට සහ අනාගතයට සාපේක්ෂව හඳුනාගැනේ. අතීතය යනු
හුදෙක් කාල ගණනයට පමණක් සීමා නොවේ. එය කාලය හා බැදෙමින් සිද්ධින් හා එකතු ව,
එවැනි සිද්ධින් විසින් නිමැවූ කාලයයි. ඒ අනුව අවකාශය යන සංකල්පය තුළ ද එවැනි
සිද්ධීන් ගණනාවක් දැකිය හැකිය. තවද ඉතිහාස ගවේෂණය තුළ අනේකවිධ වූ අවකාශයන්ට සාපේ‍්‍ක්‍ෂව,
අතීත කාලය, විවිධ කාලරාමූන් යටතේ සිදු වූ සිදුවීම් පිළිබඳ නිවැරදි දැක්මක් ලබා
ගැනීම මඟින් එම යටගිය අතීතයට සාධාරණයක් ඉටු කළ හැකිය. ඒ අනුව අතීතයටත්, අතීත
දැනුමටත් නිසි ගෞරවය දැක්වීම හා යටගියාවේ දැනුම එක්තැන් කරමින් පවතින දැනුම යථාවත්
කිරීම යන ක්‍රියාවලිය කාලය හා අවකාශය යන සංකල්ප තුළ ගැබ්ව තිබෙන බව පෙනී යයි. මේ
හේතුවෙන් ඉතිහාසයට අදාළ වන්නා වූ අතීත මානව ක්‍රියාකාරකම් හා එම අතීත මානවයාගෙන් ශේෂ
ව පවතින ඥානය ගවේෂණය කිරීම සඳහා කාලය හා අවකාශය යන සංකල්පයන් මැනවින් අවබෝධ කර
ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඊ.එච්.කාර් විසින් 1961 ජනවාරි- මාර්තු අතර කාලයේ පැවති කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජෝර්ජ් මැකෝලි ට්‍රෙව්ලියන් දෙසුමේ දී මේ පිළිබඳ ව වඩාත් පුළුල්
ලෙස සාකච්ඡා කොට ඇත. එය පහත ආකාරයට ඉතා සරල ලෙස දැක්විය හැක
“ඉතිහාසය යනු කුමක්ද? යන ප්‍රශ්නයට
අප පිළිතුරු දෙන්නට තැත් කෙරෙන විට අපේ පිළිතුරින්, සවිඥානව හෝ නිර්විඥානව,
පිළිබිඹු වන්නේ කාලය තුළ අපේ ම තැන වන අතර ඒ පිළිතුර අප වෙසෙන සමාජය ගැන අප
දරන මතය කුමක්ද යන වඩාත් පළල් ප්‍රශ්නයට අප පිළිතුරින් කොටසක් ද වේ.”
ඉතිහාසයේ අවසානය
නැමති ලිපිය ලියූ ෆ්‍රැන්සිස් ෆුකුයාමා තම ලිපිය තුළින් සවිඥානය අර්ථ දක්වා
ඇත්තේ පහත අයුරිනි.
එය “හේතුව
මිස ඵලය නොවන අතර, භෞතික ලෝකයෙන් ස්වයංසිද්ධව වැඩිදියුණු විය හැකි බැවින් පවත්නා
සිදුවීම්වල සුපැහැදිලිව පෙනෙන අවුල් සහගත බවට පාදක වූ සැබෑ අනුපිළිවෙළ වන්නේ
ඉතිහාසය වන” බවයි.
හෙගල්වාදීන්ට
අනුව ඉතිහාසයේ පදනම්ගත ක්‍රියාවලින් හඳුනා ගැනීම සඳහා විඥාන හෝ ආකල්ප තලයන්හි සිදු
වන වර්ධනයන් අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. අතීත මානවයා ගැන හා එම මානවයාගේ ක්‍රියාකාරකම්
සමඟ බද්ධ වූ සිද්ධීන් ගැන එලෙසින් ම තොරතුරු එකතු කරමින් ඒ සිද්ධිය කාලයකට හා
අවකාශයකට යටත් කරමින් එම ඉතිහාසගත සිදුවීම අර්ථකථනය කිරීම ඉතිහාසඥයෙකුගේ කාර්යභාරය
වේ. ඉතිහාසය අධ්‍යයනය කරන්නා වූ ඉතිහාසඥයා ලෙසත්, ඔහු අතීතයේ කුමක්වීද?˜ යන්න අධ්‍යයනයටත් උත්සුක වේ. එමගින් අතීතයට වඩා අද ඇතිව ඇති වෙනස හඳුනාගැනීමටත්, එම වෙනස ඇති වූයේ කෙසේද?, එම වෙනස ඇති වීමට බලපාන ලද කරුණු මොනවාද?, යන්න හඳුනාගැනීමටත් ඔහු උත්සුක වේ. ඉතිහාසය තුළින් පුද්ගලයෙකුගේ අතීත මතකය පිළිබඳ දැක්ම ජිවිත හැඩතලය (
Shaping of the life) සකසා ගැන්ම සඳහා හේතුවේ'
නිවැරදි ඉතිහාසඥයෙකු වීමට නම් සිද්ධි සමුදායකට බද්ධ වෙමින් එම සිද්ධීන්
අනුපිළිවෙළට ගළපමින් කාලයට හා අවකාශයට බද්ධ කිරීම සිදු කළ යුතු අතර එමගින් නූතන
මානවයාට අතීත මානවයා පිළිබඳ වූ තොරතුරුවල ඇති තාර්කික බව හා විශ්වසනීයත්වය තහවුරු
කර ගැනීමට හැකි වේ.
ඉතිහාසය විස්තර
කිරීමේදී එය කොතරම් ප්‍රබල අයුරින් සිදු වන්නේ ද යත් යම් යම් අවස්ථාවන්වලදී සියලු
නිර්ණායකයන් බිඳ දමනු ද පෙනේ. සෑම ඓතිහාසික සිද්ධියක් විස්තර කිරීමේදී ම මිනිසුන්
හැකි තරම් යථාර්ථයට ආසන්න වීමට උත්සහ දරන්නේ යැයි උපකල්පනය කළ ද ඔවුන් සියල්ලන්ගේ
ම ව්‍යායාමයන්ගේ ප්‍රතිඵලය වශයෙන් ලබන්නේ ඉතිහාසය සැබෑ ආකාරයේ ම යථාර්ථවාදී ව
ඉදිරිපත් කිරීමක් නොව අතීතය ඔවුන් විසින් ග්‍රහණය කර ගත් ආකාරයෙන් ඉදිරිපත් කිරීමක්
ද විය හැක. මෙයට ප්‍රබල ලෙස ම බලපාන සිදුවීමක් වන්නේ කාලය හා අවකාශය ඉතිහාසඥයා
විසින් තේරුම් ගත් ආකාරය බව කිව හැකිය. කාලයට හා අවකාශයට අදාළ සංකල්ප ක්‍රියාත්මක වීමේ දී
ඓතිහාසික සිද්ධීන්වල මනෝ මූලික ස්වරූපය සොයා බලා එහි වාස්තවික බව තහවුරු කිරීමේ
මූලධර්ම පවතින බව අවබෝධ කර ගැනීම ඉතිහාසඥයෙකුගේ මූලික කාර්යයක් වේ. එහිදී වාස්තවික
බව තහවුරු කිරීම යනුවෙන් හැදින්වෙන්නේ නිශ්චිත සංකේතවලින් (වචන, වාක්‍ය, පාඨ හා
චිත්‍ර ආදී) විස්තර කෙරෙන ඓතිහාසික සිද්ධීන් සැබවින්ම තිබූ බව (සිද්ධ වූ බව)
පිළිගැනීමයි.
එහිදී අනුගමනය කෙරෙන නියමයන් කීපයක් පවතී.
ඓතිහාසික සිද්ධියකින් කොටසක් ගෙන,
එයට ගැළපෙන පසුබිමක් ගවේෂණය කරමින් එහි කාල හා අවකාශය නිර්මාණය කිරීම
ඉතිහාසඥයෙකුගේ මැදිහත් වීම මත සිදු වේ. විවිධ සිද්ධීන්වල මනෝමූලික ස්වරූපයන්
සමස්තයක් වශයෙන් ගෙන එක් ස්වරූපයකට නගා ඉක්බිතිව එහි වාස්තවික බව තහවුරු කිරීම
මෙහි දී සිදුවේ. එහි දී ඒවා කාලයට හා අවකාශයට ගැළපීම අත්‍යවශ්‍ය වේ. වර්තමානයේ
ඉතිහාස විද්‍යාව තුළ මෙවැනි ක්‍රියාකාරකම් රාශියක් දැකිය හැකි වේ. ඉතිහාසකරණය තුළ
ඉතිහාසඥයාට තමා අධ්‍යයනය කරන කාලය හා අවකාශයට අදාළ තොරතුරු ලබා ගැනීමට හැකි වන්නේ
ද ඔහු සතු වන මූලාශ්‍ර පදනම් කර ගෙන බව ද පෙනී යයි. මෙලෙස එම මූලාශ්‍ර පදනම් කර
ගනිමින් අතීතය ගැන අර්ථකතන සපයමින් කාලයට හා අවකාශය යථාවත් කරලීමේ මෙන් ම අතීත
මානව ක්‍රියාකාරීත්වය යථා ස්වභාවය නූතනයට සම්ප්‍රේෂණය කරලීමේ කාර්යය
ඉතිහාසඥයෙකුගෙන් සිදුවේ.
මෙහි දී ඊ. එච්. කාර් දක්වන පරිදි, "ඉතිහාසඥයා හදාරන අතීතය මළගිය අතීතයක් නොව යම් අරුතකින් තවමත් වර්තමානය තුළ ජීවමාන අතීතයකි". එහෙත් එහිදී අතීත ක්‍රියාව නම් මිය ගොසිනි. එබැවින් සකල ඉතිහාසය වනාහි චින්තනයේ ඉතිහාසයයි. මෙහිදී
එම චින්තනය විසින් කාලය හා අවකාශය නිෂ්චය කරන අතර එමඟින් අතීතය ප්‍රතිනිර්මාණය
වීමක් ද සිදු වේ. ඒ හරහා මිනිසා පිළිබඳව මිනිසාගේ දැනුම වර්ධනය කෙරේ. එමගින්
අතීත මිනිස් ක්‍රියාකාරකම් වලට පසුබිම් වූ අරමුණු රසවත් සහ මානවවාදී ආකාරයකට
පැහැදිලි කරයි. කාලයිල් නම් ඉතිහාසඥයාගේ ප්‍රංශ විප්ලවය නම් කෘතියෙන් පැරණි
මිනිස් ක්‍රියාකාරකම් පමණක් නොව ඒවාට තුඩු දුන් හේතුකාරක ද විස්තර කර තිබීම ඉහත
කාරණයට නිදසුන් වශයෙන් දැක්විය හැක. ඒ අනුව දැකිය හැකි වන්නේ එක සමාන ඓතිහාසික
සිද්ධි බහුල බවයි. මේවා මඟින් වත්මන් මිනිසාට පාඩම් උගත හැකිය. නිදහස සඳහා හෝ සූරා
කෑමට එරෙහිව හෝ පීඩනයට විරුද්ධව හෝ සිදුකරන අරගල සඳහා පැරැණ්නන් එවැනි තත්ත්ව
හමුවේ කටයුතු කල ආකාරය නුවණින් කල්පනා කොට අනුගමනය කිරීම වත්මන් මිනිසාට කල හැකිය.
මහත්මා ගාන්ධි තුමාගේ ක්‍රියාකලාපයන් සඳහා විශාල අනුබලයක් ලැබුනේ ඊට සියවසකට ඉහත
ඉතාලියේ නිදහස් සටන්කාමින් අනුගමනය කළ ක්‍රියාමාර්ග ගැන ලියා තිබූ කෘති කියවීමෙන්
බව සඳහන් වේ.
අතීත සිදුවීම්
අධ්‍යයනය කිරීමට නම් කාලය හා අවකාශය මගින් සිදුවන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක්
තිබිය යුතු වේ. අතීතය සහ වත්මන් මිනිසා අතර ඇති සම්බන්ධතාව සිඳ බිඳ දැමිය නොහැක.
නිදසුන් ලෙස තවමත් පවතින අයහපත් සමාජ ලක්ෂණයක් වන කුලවාදය දැක්විය හැකිය. එය
අතීතයේ ආරම්භ වූවකි. ගැටළු
විනිවිද දැකීමටත්, සමාජ විද්‍යාත්මක හෝ ආර්ථිකමය වාතාවරණය
පිළිබඳ දත්ත සපයා ගැනීමටත්, මූලාශ්‍රය තොරතුරු සපයා
ගැනීමටත්, කාලය හා අවකාශය යන සංකල්ප මහඟු පිටිවහලක් සපයයි. බුද්ධිමතුන්, දේශපාලනඥයන්, පරිපාලකයන්, හමුදා නිලධාරීන්, විද්‍යාඥයන්ට මෙන්ම පාලකයන්ට
ද අතීතය අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. නැපෝලියන් බොනපාට්ට ඉතා කෙටි කාලයක්
තුළ ඉතා විශාල ජයග්‍රහණ අත් කර ගැනීමට, අතීතය අධ්‍යයනය
කිරීම කෙරෙහි ඔහු තුළ පැවති සැලකිල්ල සහ අවබෝධය ද ඉවහල් විය. ජවහර්ලාල් නේරු,
ජෝන් එෆ්. කෙනඩි වැනි සමකාලීන ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ තීක්ෂණ
බුද්ධිය, අතීතය අධ්‍යයනය කිරීම නිසා වැඩි දියුණු වූ බව
පැහැදිලි වේ. මේ සියලු ම අතීත කරුණු කාරණා එහි කාලය හා අවකාශය සමඟ ඇති සම්බන්ධතාව
මඟින් ඒ තුළ ඇති ප්‍රායෝගික වටිනාකම මෙමගින් අවබෝධ කර ගත හැක.
ගොඩාක් ස්තුතියි. කාලය හා අවකාශය කියපු ගමන් බලාපොරොත්තු උනේ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් උනත් මාතෘකාවට අනූ කූලව වටිනා තොරතුරු ප්‍රමාණයක් ඉගනෙගත්තා..
ReplyDelete