Friday 2 July 2021

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමික රාමුවේ වෙනස් වීම කෝල්බෲක්-කැමරන්, ඩොනමෝර් හා සෝල්බරි ආණ්ඩුක්‍රම ආශ්‍රයෙන් විමසීමක්

 

Analysis of Source for the Study of Socio Political Development in Sri Lanka.


ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමික රාමුවේ වෙනස් වීම කෝල්බෲක්-කැමරන්, ඩොනමෝර් හා සෝල්බරි ආණ්ඩුක්‍රම ආශ්‍රයෙන් විමසීමක්. 

ශ්‍රී

 ලංකාවේ සමාජ, ආර්ථීක හා දේශපාලන යන අංශවල මහා පෙරළියක් සිදු වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී ය. එම තත්ත්වයට අවශ්‍ය මූලික පසුබිම ක්‍රමික ව ඇති කරන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාර්ගයෙන් ලාංකේය ජන සමාජයට එන්නත් කිරීමට යටත් විජිත පාලකයන් සමත් විය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අද පවත්නා ආකාරයට සංවිධානය වීමට පෙර 1833- කෝල්බෲක්-කැමරන්,  1931- ඩොනමොර් හා 1947- සෝල්බරි යන ආණ්ඩුක්‍රම යටතේ ක්‍රමයෙන් දියුණු වෙමින් ඉදිරියට ගමන් කළ අතර එය එක් එක් අවස්ථාවන්හි දී ව්‍යවස්ථාදායක මණ්ඩල හා ව්‍යුහයන් කිහිපයකින් සමන්විත විය. ඉංග්‍රීසි පාලන අවධිය තුළ ක්‍රියාත්මක වූ මෙම ආණ්ඩුක්‍රම තුන එම අවධියේ දී ම ක්‍රියාත්මක වූ අනෙක් ආණ්ඩුක්‍රමයන්ට සාපේක්ෂව ඉතාමත් ම සුවිශේෂී වන අතර ශ්‍රී ලාංකේය සමාජයට ඇති කරන ලද බලපෑම ද ඉතාමත් ප්‍රබල වේ.

            ඇමරිකානු නිදහස් සටනින් පසු අඩ ශතවර්ෂයක පමණ කාලයක් තුළ යටත් විජිත ආණ්ඩුකාරවරු සතුව බලය එක්තැන් කිරීමේ හා පළමු වන අධිරාජ්‍යයේ කැලඹීම්වලට හේතු වූ, බලය හා වගකීම් බෙදීමට තුඩු දුන් යන්තමින් හෝ නියෝජ්‍ය මුහුණුවරක් ඇති සංස්ථාවන් පිහිටුවීම අධෛර්යමත් කිරීමේ බලවේගයක් පැවතුණි. 19වන සියවසේ මුල් කාලයේ යටත් විජිත භාර මහ ලේකම්වරයා වූ ඩන්ඩාස් විසින් නොර්ත් ආණ්ඩුකරුට එවූ සන්දේශයෙන් එම තොරතුරු අණාවරණය කර ගත හැක.

එනම්;

මෙම දිවයින හෝ එහි ආණ්ඩුව, අපගේ බටහිර ඉන්දීය යටත් විජිත හා ඒකාබද්ධ කිරීම අපගේ අදහස නොවේ. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශ පාලනය කිරීමේ අත්දැකීමෙහි ලා දේශපාලන යෝග්‍ය යැයි සැලකෙන සංස්ථාවන්.... අවස්ථාවට සුදුසු යැයි වැටහෙන විට ලංකාවේ ද පවත්වාගෙන යෑම හෝ මෙරටට ගැළපෙන ලෙස පිහිටුවීම  මහ රජුගේ ආණ්ඩුවේ අදහසයි”

මෙම කාලය තුළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වෙනත් ප්‍රදේශවල ද මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවත් 1830 පමණ වන විට එය ක්‍රමික ව වෙනස් කිරීම ඇරඹුණි. මෙම වෙනස් කිරීම් විශේෂයෙන් ඇති වූවේ නව පදිංචිකරුවන්ගේ යුතු යටත් විජිතවලය. එය නිදහස් පදිංචිකරුවන්ගෙන් යුතු ඕස්ට්‍රේලියාවෙන් පටන් ගෙන කැනඩාවේ ඩර්හම්ගේ යෝජිත ලිබරල් ප්‍රතිසංස්කරණවලින් අවසන් විය. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ ලංකාවේ ද මෙවැනි ප්‍රතිපත්තිමය වෙනස් කිරීමක් ඇති කළ නමුදු එය ඇති කලේ එම හේතුව නිසා ම නොවන බව පැහැදිලි වේ. මූල ධනය මෙම යටත් විජිත ව්‍යාපාරවල යෙදවීම හා නිදහස් ව්‍යාපාර ඇරඹීම උනන්දු කරවීමේ ප්‍රතිපත්තියක අංගයක් වශයෙන් සුළු ලිබරල් ප්‍රතිසංස්කරණ කීපයක් ඇති කරන ලදි. ඒ අනුව ඇති කරන ලද ප්‍රතිසංස්කරණ මෙලෙස ය. එක්‌ පාලන ව්‍යුහයක්‌ යටතට උඩරට සහ පහතරට ඒකාබද්ධ කිරීම, කලින් පැවති පළාත් 16 පළාත් පහකට බෙදා ඒවා උතුරු, නැගෙනහිර, මධ්‍යම, බස්නාහිර සහ දකුණ යනුවෙන් නම් කිරීම, ව්‍යවස්ථාදායක සහ විධායක සභා ක්‍රමයක්‌ ඇති කිරීම, කලින් පැවති රාජකාරි ක්‍රමය අහෝසි කිරීම, වෙළෙඳ ඒකාධිකාරීන් අහෝසි කිරීම, පැවති ගම්සභා බලතල අඩු කර උසාවි ක්‍රමයක්‌ හැඳින්වීම.

කෝල්බෲක්-කැමරන් කොමිසමේ නිර්දේශයන්හි ප්‍රතඵපලයන් වශයෙන් 1833දී එතෙක් පැවති ආණ්ඩුකාරවරයාගේ සහ උපදේශක මණ්ඩලයේ පාලනය වෙනුවට ආණ්ඩුකාරවරයා සහ ව්‍යවස්ථාදායක හා විධායක මන්ත්‍රණ සභා මඟින් පාලනයක් ආරම්භ කරනු ලැබීය. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව, නිල ලත් සාමාජිකයන් නවදෙනෙකුගෙන් ද, නිල නොලත් සාමාජිකයන් හය දෙනෙකුගෙන් ද සමන්විත වූ අතර නිල නොලත් සාමාජිකයන් සියලු දෙනා නම් කරන ලද්දේ ද ආණ්ඩුකාරවරයා විසිනි. නිල නොලත් සාමාජිකයන්ගෙන් අඩක් දේශීයයන් වීමට ද සලසන ලදි. දේශීය සාමාජිකයන් තේරීමේ දී පහතරට සිංහලයෙකු ද, බර්ගර් ජාතිකයෙකු ද, දෙමළ ජාතිකයෙකු ද, නම් කිරීමෙන් ආණ්ඩුකාරවරයා විසින් ජාතීන් නියෝජනය වීමේ ප්‍රශ්නය සැලකිල්ලට ගනු ලැබීය. මේ ආකාරයෙන් මුල් අවදියෙ දී වසර ගණනාවක් ම ආණ්ඩුක්‍රම ප්‍රගතිය වළකමින් ද ජාතීන් අතර දේශපාලන සබඳතාව අප්‍රසන්න කරමින් ද කණගාටුදායක ප්‍රතිඵල ගෙන දුන් ජාතීන් නියෝජනය කිරීමේ ප්‍රශ්නය ලංකා දේශපාලනයට ඇතුළු විය. මිශ්‍ර සමාජයක ජාතීන් නියෝජනය වීමට සැලසීමේ දී ජාතීන් අනුව සාමාජිකයන් තෝරා ගැනීම එම අවධියේ දී නියත වශයෙන් ම ඉතාමත් ම ඥානවන්ත හා ස්වාභාවික ක්‍රමය වූ බැවින් මුල් අවධියේ ආණ්ඩුකාරවරයන් විසින් මෙම ක්‍රමය උපයෝගී කර ගනිද්දී තමන් ජාතීන් අතර ගැටුම්වලට තුඩු දෙන කාරණයක් අරඹන බව වටහා ගනු නොලැබීය. විධායක මන්ත්‍රණ සභාව සමන්විත වූවේ රටේ සමහර ප්‍රධාන නිලධාරීන්ගෙන් වූ අතර 19වන ශතවර්ෂය මුළුල්ලේ ම ඔවුහු ඉංග්‍රීසි ජාතිකයන් පමණක් ම විය.

කෝල්බෲක්-කැමරන් කොමිසම යෝජනා කළ ව්‍යවස්ථාදායක - විධායක ආණ්ඩුක්‍රමය මූලික වශයෙන් එකල එංගලන්තයේ ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ ප්‍රාථමික අවස්ථාවේ කැටපතක් බදු විය. පළමුවරට මෙරට ඇති කරන ලද මන්ත්‍රණ සභාව වනුයේ මෙම ව්‍යවස්ථාදායක සභාවයි. මෙම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය නියෝජිත ආණ්ඩුක්‍රමයක් සඳහා ප්‍රවේශයේ ප්‍රභවය ලෙස සැලකිය හැකිය.

ඒ නිසා ඇතිවූ තවත් වැදගත් දෙයක් වූයේ මුහුදුබඩ සිංහල පළාත් මුහුදුබඩ දෙමළ පළාත් හා උඩරට පළාත් වශයෙන් වෙනස් පරිපාලන පද්ධති තුනක් වශයෙන් පැවති ආණ්ඩු පාලනය මුළු දිවයිනම සඳහා පොදු පාලන ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ ආණ්ඩුක්‍රමයක් බවට පත්කිරීමය. ඒ වන විට රටේ උසාවි ක්‍රම ගණනාවක් තිබුණි. ඒ වෙනුවට මුළු දිවයින පුරා ඒකාකාරී උසාවි ක්‍රමයක් ඇති කොට අධිකරණය විධායකයේ බලපෑමෙන් ඉවත් කොට උසාවි පාලනය ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදෙන ලදි. භේදයකින් තොරව අධිකරණය ඉදිරියේ සියලුදෙනා එක සමාන ලෙස සලකන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදි.

ආණ්ඩුවේ ඒකාධිපති ස්වරූපයද ලිහිල් කරන ලදි. එහෙත් ආණ්ඩුකාරවරයා හිමිකරගෙන සිටියේ අපේ පැරණි වැඩවසම් රජවරුන් හිමි කර ගෙන සිටි සර්වබලධාරී තත්ත්වයකට සමාන තත්ත්වයකි. යුද්ධය, විධායකය හා නීති සම්පාදනය යන හැම අංශයකම ඔහු ප්‍රධාන බලධාරියා වූයේ ය. සිවිල් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ඔහු ප්‍රධාන අධිකරණ නායකයා වූවා සේ ම උඩරට පළාත්වල සිදු වන අපරාධ සම්බන්ධයෙන් පරම අධිකරණ බලධාරියා වූයේ ද ඔහුය. නඩු නොවිමසා හෝ හේතුවක් නොදන්වා කවර පුද්ගලයෙකු වුවද සිරකර තැබීමට හා රටින් පිටුවහල් කිරීමට ඔහුට බලය තිබුණි. ඔහුට තිබුණු බලය කිසිම උසාවියක ප්‍රශ්න කළ නොහැකි විය. ඔහු උත්තර දීමට බැඳී සිටියේ එංගලන්තයේ රාජ්‍ය ලේකම්වරයාට පමණයි.

නඩු නොඅසා පුද්ගලයන් සිරභාරයට ගැනීමට හෝ පිටුවහල් කිරීමට ආණ්ඩුකාරයාට තිබූ බලය අහෝසි කරන ලද අතර සමස්ත උසාවි ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණයේ පාලනයට යටත් කිරීම නිසා ඔහුට තිබූ අධිකරණ බලයද අහෝසි විය. විධායක මන්ත්‍රණ සභාවක් හා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවක් ඇති කිරීම නිසා ආණ්ඩුවේ ආදායම් හා වියදම් පිළිබඳ තීරණය ගැනීමට තිබුණු තනි බලය සේ ම නීති සම්පාදනයට තිබූ තනි බලයද අහෝසි විය. විධායක ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා ක්‍රමයක් ඇති කිරීම අනාගත පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් සඳහා දමන ලද මුල් අඩිතාලම විය.

1833 කෝල්බෲක්-කැමරන් ආණ්ඩුක්‍රමයට පසු ලංකාවේ ක්‍රියාත්මක කරන්නට යෙදුණු ඉතා වැදගත් ම ආණ්ඩුක්‍රමය ලෙස හැඳින්විය හැක්කේ 1931දී ක්‍රියාත්මක කරන ලද ඩොනමෝර් ආණ්ඩුක්‍රමයයි. එය ද ලංකාව තුළ ඉතා වැදගත් සමාජ විපර්යාසයන් රාශියක් ඇති කිරීමට සමත් විය. කෙසේ වෙතත් ඩොනමෝර් ආණ්ඩුක්‍රමය පිළිබඳ සාකච්ඡා කිරීමේදී අනිවාර්යයෙන් ම ඊට පෙර ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රමයේ පැවති දුර්වලතා පිළිබඳ කෙටි හැඳින්වීමක් අවශ්‍ය වන බව පෙනේ.

අධිරාජ්‍යවාදී පාලකයින් විසින් තම පාලනයේ පහසුව සඳහා හඳුන්වා දුන් වාර්ගික නියෝජන ක්‍රමය හේතු කොට ගෙන ජනවර්ග අතර වාර්ගිකත්වය ඉස්මතු වී අසමගිකමක් ඇති වී ජාතිවාදය වර්ධනය වී තිබුණි. තවද 1924 ඔක්තෝබර් 15 වැනිදා පිහිටුවන ලද මෙම ආණ්ඩු ක්‍රමය තුළ නිල නොලත් මන්ත්‍රීන් සංඛ්‍යාව බහුතරයක්‌ වුවද ඔවුන්ට බලතල අහිමි වීමත් ආණ්ඩුකාරයාට අසීමිත බලයක්‌ හිමි වීමත් නිසා ආණ්ඩුක්‍රම සංශෝධන සඳහා උද්ඝෝෂණ නිතැතින් ම ඇති විය.  මැනිං ආණ්ඩුකාරයාගෙන් පසු 1925 දී ආණ්ඩුකාර ධුරයට පත් ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ් විසින් ද මැනිං ආණ්ඩු ක්‍රමය දුර්වලතා අවබෝධ කොට ගෙන සිටියේ ය. ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීන් වැඩි ගණනක් සිටි නිසා ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීමට ඉඩ ඇති බැවින් තමන්ට හෝ තමන්ගේ නිලධාරීන්ට අවශ්‍ය යෝජනා සම්මත කර ගැනීමට අපහසු බව ඔහුට අවබෝධ විය. ඔහු ඒ බව යටත් විජිත ලේකම්වරයාට වාර්තා කළ අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ත්‍රිපුද්ගල රාජකීය කොමිසමක් ලංකාවට එවනු ලැබූ අතර එහි ප්‍රධානියා වූ ඩොනමොර් සාමිගේ නමින් එය හඳුන්වනු ලැබීය.

ඒ අනුව 1924 මැනිං ඩොවොන්ෂයර් ආණ්ඩුක්‍රමය තමන් ඉල්ලා සිටි තත්ත්වයට වඩා බොහෝ සෙයින් පහත් වූවකැයි යන හේතුව උඩ එය ආරම්භ වූ අවස්ථාවේ සිට ම උගත් ලාංකිකයන් විසින් ද මෙම ආණ්ඩුක්‍රමයට පහර දෙනු ලැබීය. ලංකා ජාතික සංගමය වැනි දේශපාලන ආයතන මඟින් ප්‍රදේශ අනුව නියෝජනය කිරීම සහ විශාල විධායක වගකීම් තව දුරටත් ව්‍යාප්ත කිරීම උදෙසා ඔවුහු තම උද්ඝෝෂණය නොකඩවාම කළහ. කොමිසමක් පත් කිරීම කැමැත්තෙන් ම පිළිගෙන ඊට කරුණු ඉදිරිපත් කිරීමට ඔවුහු තීරණය කළහ.

මෙසේ දෙපාර්ශවයකින් පැන නැගුණු උද්ඝෝෂණ හේතුවෙන් ඩොනමොර්හි අර්ල් තුමා, ශ්‍රීමත් මැතිව් නේදන්, ජෙෆ්‍රි බට්ලර් සහ ආචාර්ය ශ්‍රීමත් ඩ්‍රමනඩ් ශීල්ස් යන සාමාජිකයන්ගෙන් යුත් කොමිසමක් 1927 අගෝස්තු 06 වන දින පත් කරනු ලැබීය. ඩොනමෝර් කොමිසම රාජකීය කොමිසමක් නොවීය. එය යටත් විජිත භාර ලේකම් වූ එල්. එස්. එමරි විසින් පත් කළ කොමිසමකි. 1927 නොවැම්බර් 03 වන දා සිට 1928 ජනවාරි 18 වන දින දක්වා ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගොස් කරුණු සොයා බැලූ කොමිසමේ සාමාජිකයෝ 1928 ජුනි මස තම වාර්තාව ඉදිරිපත් කළහ. එම වාර්තාවෙන් එළි බට ආණ්ඩුක්‍රමය ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉතිහාසයේ ඉතා වැදගත් පිටුවක් පෙරළීමට සමත් විය. ඔවුන්ට යටත් විජිත ලේකම්වරයා විසින් ලබා දෙන ලද උපදෙස් මාලාව පහත පරිදි වේ.

ලංකාවට පැමිණ පවතිනා සංස්ථිතිය ක්‍රියාත්මක වන ආකාරයත්, ඉන් පැන නැගුණු පරිපාලන දුෂ්කරතා ගැනත් වාර්තා කිරීම, සංස්ථිතිය ප්‍රතිශෝධනය කිරීම සඳහා ඉදිරිපත් විය හැකි යෝජනා සලකා බැලීම සහ දැනට පවතින රාජ මණ්ඩල ආඥාව සංශෝධනය කිරීම අවශ්‍ය නම් ඒ කෙසේ ද ? යන වග වාර්තා කිරීම[1]

එහි නිර්දේශ මත ක්‍රියාත්මක කරන ලද ඩොනමෝර් ආණ්ඩුක්‍රමය හේතුවෙන් 1924 මැනිං ඩොවොන්ෂයර් ආණ්ඩුක්‍රමය 1931 වසරේ සිට අවලංගු කෙරුණි. ඩොනමොර් කොමිසම ඉදිරිපත් කළ ඉතා වැදගත් යෝජනාවක් වූවේ සර්ව ජන ඡන්ද බලය ප්‍රදානය කිරීමයි. එහෙත් ලංකා ජාතික සංගමයේ නායකයෝ සර්ව ජන ඡන්ද බලය ප්‍රදානය කිරීමට විරුද්ධ විය. ද්‍රවිඩ සංගමයේ නායක පොන්නම්බලම් අරුණාචලම් ද සර්වජන ඡන්ද බලයට විරුද්ධ විය. ඔහුගේ අදහසට අනුව සර්ව ජන ඡන්ද බලය දෙමළ ජනතාවට අවාසි සහගත වන බවයි. 1929 දෙසැම්බර් පස් වන දින මෙම නිර්දේශයන් පිළිබඳ විවාදයේ දී නිල නොලත් සාමාජිකයන්ගේ නායකත්ව දැරූ පොන්නම්බලම් රාමනාදන් මහතා පහත සඳහන් අන්දමින් ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

“ උතුමාණන, මේ සියලු ම තොරතුරු රාජ්‍ය ලේකම්වරයාගේ අවධානයට යොමු කරන්නේ නම් ඔහු, අප ඉදිරිපත් කර ඇති කරුණු කෙරෙහි කන් යොමා දිවයිනට යෝග්‍ය දෙයක් ම කරනු ඇතයි මම සිතමි. දැනට ඉන්දියාවේ අනුගමනය කෙරෙන ක්‍රියා පිළිවෙළ අනුගමන කිරීමට අපට අවශ්‍ය නැත. අපි ඉතාමත් සාමකාමී වෙමු.... එහෙත් ඉන්දියාවේ තත්ත්වය එය නොවේ. ඉන්දියාවේ සිටිනා ඔවුහු බොහෝ කාලයක් දුක් විදි ජනතාවකි. බ්‍රිතාන්‍ය නිලධාරීන් පුදුමයට පත් වන ආකාරයෙන්, ඉවසිලිවන්තව රජයට විරුද්ධත්වය පළ කිරීමට ඔවුහු මෙහි දැන් පිළියෙළ වී සිටිති”[2]

ජාතිමූලික නියෝජන ක්‍රමය අහෝසි කිරීමෙන් සුළු ජාතීන්ට අත්විය හැකි යයි සිතූ බාධක ඉවත් කිරීමට නිදහස් රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් නිර්දේශ කෙරිණ.[3] තවද ආණ්ඩුකරු සුළු ජාතියේ ආරක්‍ෂාව සලසන මුර දේවතාව විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට හිමි ව්‍යවස්ථාදායක බලතල රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙස රැස් වී ක්‍රියාත්මක කළ යුතු අතර විධායක කටයුතු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් කාරක සභා හතකට බෙදී ඒ මඟින් ක්‍රියාත්මක කළ යුතු විය.[4] ඩොනමෝර් කොමිසම නව ආණ්ඩුක්‍රමය අත්හදා බැලීම ‍කළේ විධායක කාරක සභා ක්‍රමය මඟිනි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සියලු ම සාමාජිකයෝ විධායක කාරක සභා 07ට බෙදී ගියහ. කෘෂිකර්මය, ස්වදේශ කටයුතු, පළාත් පාලන, සෞඛ්‍යය, අධ්‍යාපනය, පොදු වැඩ කටයුතු, පණිවිඩ හුවමාරු[5] යන අංශ ජනතා නියෝජිතයන්ට පැවරුණු අතර මුදල්, රාජ්‍ය ආරක්ෂාව සහ විදේශ කටයුතු හා නීතිය යන අංශ රාජ්‍ය නිලධාරීන් තිදෙනාට පවරන ලදි. ආණ්ඩුක්‍රමයේ ආරක්‍ෂක මුර බල්ලන් ලෙස ක්‍රියා කළේ මේ තිදෙනායි.  පක්‍ෂ ක්‍රමයක් නොවූ රටක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් අත්හදා බැලීමට අවශ්‍ය පසුබිම කාරක සභා ක්‍රමයෙන් සලසා තිබුණි. වගකීම හා බලය ව්‍යවස්ථාදයකයට ප්‍රදානය කළ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ලංකාවේ දේශපාලන ඉදිරි ගමනට වැදගත් විය.

විධායක කාරක සභා 07 සඳහා සාමාජිකයන් තෝරා පත් කර ගැනීම සිදු වූවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයෙනි. කාරක සභා පිහිටුවා ගැනීමෙන් අනතුරුව ඒ ඒ කාරක සභාව සඳහා සභාපතිවරයෙකු එම කාරක සභාවේ සාමාජිකයන්ගේ රහස් ඡන්දයෙන් තෝරා පත් කර ගත යුතු විය. කාරක සභාවේ විෂය භාර ඇමතිවරයා ලෙස සැලකුණේ කාරක සභාවේ ඇමතිවරයා ය. ඇමති මණ්ඩලය සමන්විත වූවේ කාරක සභාපතිවරුන් හත් දෙනාගෙන් හා රාජ්‍ය නිලධාරීන් තිදෙනාගෙනි.[6] නිල බලයෙන් තේරී පත් වූ රාජ්‍ය ලේකම්වරයා ඇමති මණ්ඩලයේ සභාපති වුවද දේශපාලන අර්ථයෙන් ඇමති මණ්ඩලයේ ප්‍රධානියා වූවේ නිල නොවන ඇමතිවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා උප සභාපතිවරයා ය.

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ පත් වූ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීන් 50 දෙනෙකු වූහ. සුළු ජාතීන් වෙනුවෙන් ආණ්ඩුකරු විසින් පත් කළ 08 දෙනෙකු ද, රාජ්‍ය නිලධාරීන් තිදෙනෙක් ද විය. ව්‍යවස්ථාදායක සභාවේ සභාපති වූවේ කථානායකවරයායි. එහෙත් ආණ්ඩුක්‍රමයේ 22වැනි වගන්තියට අනුව ආණ්ඩුකරුට තවත් බලය පවරා තිබිය. දිවයිනේ සාමය, නීතිය හා යහපාලනය සඳහා නීති පැනවීමේ බලය රාජ්‍ය මන්ත්‍රණ සභාව සතු විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ හෝ තිබෙන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ හෝ බලය නොතිබුණි. තිබුණු ව්‍යවස්ථාදායක සභාවට වඩා රාජ්‍ය මන්ත්‍රණ සභාවට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් වැඩි බලතල තිබුණ ද ඒ කෙරෙහි බලය සීමා වී තිබුණි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහය ඇති ව වාර්ෂික ලේඛන හා පරිපූර්ණ ඇස්තමේන්තු සකස් කිරීමේ බලය තිබුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ය. එහෙත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප් හා පාරිතෝෂිකයන් කෙරෙහි බලපාන පනතක් හෝ යෝජනාවක් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියෙන් තොරව ඉදිරිපත් කිරීමේ බලය නොතිබුණි.

1931-1936 දක්වා කාලය තුල ක්‍රියාත්මක වූ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව දේශපාලන අත්දැකීම් රාශියක් ලාංකිකයන්ට ලබා දීමට සමත් වූ ආණ්ඩුක්‍රමයක් විය. 1936 ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගත් සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලය සුළු ජාතීන්ට බියක් ගෙන දුන්න ද, සාමූහික වගකීම දැරීමට කණ්ඩායමක් ලබා ගත හැකිය යන්න ඔප්පු කරන ලදි. සර්වජන ඡන්ද බලය ඇති කිරීම, වාර්ගික නියෝජනය අහෝසි කිරීම, විධායක බලතල හා රාජකාරි බොහෝමයක් මහජන නියෝජිතයන් වෙත පැවරීම හා විධායක කමිටු ක්‍රමයක් ඇති කිරීම ඩොනමෝර් හි ආවේණික ප්‍රධාන ලක්‍ෂණ වේ. විධායක කමිටු ක්‍රමය හැර අනෙක් සියලු ම ලක්ෂණ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය වෙනස් කිරීමෙන් පසුව ද ක්‍රියාත්මක විය.

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය පෙර පැවති ආණ්ඩුක්‍රමයන්ට සාපේක්‍ෂව ප්‍රගතිශීලි වුවත් එය ක්‍රියාත්මක වීමේ දී ගැටලු රාශියක් ඇති කිරීමට සමත් විය. විශේෂයෙන් ම පෙර ආණ්ඩුක්‍රමය මෙන් ම මෙහි ද වගකීම හා බලය විතැන් වී පැවති[7] (වගකීමෙන් බැහැර විය හැකි හා කේන්ද්‍රාපසාරී වීම)[8]  අතර ලාංකික නියෝජිතයන්ට ප්‍රමාණවත් වන ආකාරයේ ආණ්ඩුක්‍රමයක් ද නොවීය.[9] තවද 1942 දී කැලණියේ දී පැවති  ලංකා ජාතික සංගමයේ සභාවාරයේ දී ලංකාවට ඩොමිනියන් තත්ත්වයක් නොව පූර්ණ නිදහස ඉල්ලා යෝජනාව සම්මත කර ගනු ලැබීය. විශේෂයෙන් ම 1941දී ලංකාවට ද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලබා දෙන බවට බ්‍රිතාන්‍ය කළ නිවේදනය ඉතාමත් ම වැදගත් විය.  1943 මැයි මස 28 වන දා වයිට්හෝල් අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනය අනුව පූර්ණ වගකීම සහිත ව අභ්‍යන්තර පාලනයක් පිළිබඳ බලතල ලාංකිකයන්ට පැවරීමට අදහස් කරන බව ප්‍රකාශ විය. ඒ අනුව ලාංකේය ඇමති මණ්ඩලය එම ප්‍රකාශිත ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට කටයුතු ආරම්භ කරන ලදි. ඒ වන විට ඇමති මණ්ඩලයේ නොනිල නායකයා වශයෙන් කටයුතු කළ ඩී. ඇස්. සේනානායක ඒ වගකීම තමන් අතට ගනිමින් ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් ලවා ව්‍යවස්ථා කෙටුම්පතක් ඉක්මනින් ම සකස් කර ගනු ලැබූ අතර එය වඩාත් ප්‍රකට වූවේ ඇමති මණ්ඩල කෙටුම්පත ලෙසයි.[10] ඒ වන විට අයිවර් ජෙනින්ග්ස් මහතා ලංකා විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා වූ අතර ආණ්ඩුක්‍රම විෂය පිළිබඳ හසළ අවබෝධයක් තිබූ විශාරදයෙක් විය. ඒ සියල්ලට ම වඩා බ්‍රිතාන්‍ය ආණ්ඩුව හිතන මතන ආකාරය ගැන ඔහු හොඳින් දැන සිටියේ ය. ඔහු තම කෙටුම්පත මාස තුනකට අඩු කාලයක් තුළ සකස් කර ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සමත් වූ අතර ආණ්ඩුකාරවරයා මාර්ගයෙන් 1944 දී යටත් විජිත ලේකම්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

යටත් විජිත කාර්යාලය 1944 ජූලි 6වන දා ප්‍රකාශ කර සිටියේ ඇමති මණ්ඩල කෙටුම්පතට ඇතුළත් යෝජනා පරීක්ෂා කර බැලීම සඳහාත්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට අදාළ සුළුතර කණ්ඩායම්වල අදහස් විමසීම සඳහාත් රජුගේ ආණ්ඩුව ලංකාවට කොමිෂන් සභාවක් එවන බවයි. සෝල්බරි කොමිසම ලංකාවට පැමිණියේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නොව ඇමති මණ්ඩල කෙටුම්පතට සංශෝධන අවශ්‍ය නම් ඒ මොනවා දැයි සොයා බලන්නට ය. ඒ අනුව සලකා බලා නිකුත් කරන ලද සෝල්බරි වාර්තාව 1945 ඔක්තෝබර් මස 31 වැනි දා නිකුත් කරන ලද අතර ඒ සමඟ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ බ්‍රිතාන්‍ය රජයේ තීරණයන් ඇතුළත් ධවල පත්‍රිකාවක් ද නිකුත් කරනු ලැබීය.

සෝල්බරි වාර්තාවෙන් ද අවසාන වශයෙන් යෝජනා කර තිබුණේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියට අනුව ගොඩ නඟන ලද ආණ්ඩුක්‍රමයකි. එම ව්‍යවස්ථාව ලිඛිත ලේඛනයක් වූ අතර එය ප්‍රධාන වශයෙන් පදනම් වී තිබුණේ 1947 ලංකා නිදහස් පනත, 1947 ලංකා නිදහස් රාජාඥාව හා 1946 ලංකා (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා) රාජාඥාව මතය. පාර්ලිමේන්තුව, මහජන මන්ත්‍රී මණ්ඩලය හා උත්තර මන්ත්‍රී මණ්ඩලයෙනුත්, රජුගේ නියෝජිතයා වන අග්‍රාණ්ඩුකාරවරයාගෙනුත් සමන්විත වන අතර රාජ්‍ය නායකයා වන බ්‍රිතාන්‍ය රජු වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා නාමික විධායකය මෙහෙය වනු ලැබීය.[11] ලංකාවේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි එංගලන්තයේ රජු හෝ රැජින විසින් අග්‍රාණ්ඩුකරු පත් කරන ලදි. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය සත්‍ය විධායකය ලෙස කටයුතු කරනු ලැබූ අතර ඔවුන් ව්‍යවස්ථාදායකය තුළින් තේරී පත් වේ. විධායකයට රට පාලනය කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙන තාක් පමණ ය. විධායකය, පාර්ලිමේන්තුවට වගකීමට හා උත්තර දීමට බැඳී සිටී.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මුළු සාමාජික සංඛ්‍යාව 101ක් වූ අතර එයින් 06ක් පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තෝරා ගන්නා මැතිවරණයේ දී ප්‍රමාණවත් වියෝජනයක් නොලැබෙතැයි සිතන සුළු ජාතිකයන් වෙනුවෙන් අග්‍රාණ්ඩුකරු විසින් පත් කරනු ලැබීය. ඉතිරි 95 ප්‍රාදේශීය නියෝජන ක්‍රමය යටතේ සර්වජන ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලැබීය. උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනට් සභාවේ සාමාජිකයන් 30කි. මෙයින් 15 දෙනෙකු මහජන මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඡන්දයෙන් තෝරා පත් කර ගත් අතර ඉතිරි 15 දෙනා අග්‍රාණ්ඩුකරු විසින් පත් කරනු ලැබීය.

වර්ෂ 1889 උසාවි ආඥා පනත යටතේ පැවතී ගෙන ආ උසාවි ක්‍රමයේ කිසියම් වෙනසක්‌ කිරීම සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදු නොවීය. අධිකරණය ගැන කරුණු සඳහන් වූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා තිබුණේ පහත දැක්වෙන ආකාරයට ය. බ්‍රිතාන්‍ය කිරීටයෙන් බලය ලබන සෝල්බරි ව්‍යවස්ථාවේ අධිකරණ ආයතනික රටාව ද ක්‍රියාත්මක වන්නේ රජු හෝ රැජිනගේ නාමයෙනි. වෙස්මිනිස්ටර් ආකෘතියේ ඩොමිනියන් රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවද සෙසු ඩොමිනියන් රටවල් මෙන් බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලය හෙවත් රාජාධිකරණය තම අවසාන අධිකරණ ආයතනය ලෙස පිළිගත්තේ ය. සෙසු සියලු ම අධිකරණ ආයතන ඊට පහළින් විය.

මීට අමතරව අධිකරණ ආයතන කීපයක් සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ ක්‍රියාත්මක විය. අපරාධ නඩු පිළිබඳ ඇපැල් උසාවිය ඉන් එකකි. පහළ අධිකරණයකින් වරදකරුවෙකු බවට පත් කරමින් දෙන ලද තීන්දුවකට විරුද්ධව අභියාචනයක් මෙම උසාවිය මඟින් නැවත විනිශ්චය කරවා ගත හැකිය. එම අභියාචනය නිශ්ප්‍රභ කිරීමට, පිළිගැනීමට හෝ වෙනත් තීන්දුවක් දීමට මෙම අධිකරණයට බලය තිබුණි. අග්‍රවිනිශ්චයකාරයා හා තවත් කනිෂ්ඨ විනිශ්චයකරුවන් දෙදෙනෙකු විසින් එම නඩු විනිශ්චය කරන ලදි. ශ්‍රී ලංකාවේ ඉහළ ම අධිකරණය වූවේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. අග්‍රවිනිශ්චයකාරයා ඇතුළු විනිශ්චයකරුවන් 08න් සමන්විත විය. අග්‍රාණ්ඩුකාරවරයාගෙන් පත්වීම් ලද එම විනිසුරුවන් ඉවත් කළ හැකි වූයේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් පමණි. දිස්ත්‍රික් උසාවි හා මහේස්ත්‍රාත් උසාවි වලින් ඉදිරිපත් කරන අභියාචනා නඩු විභාග කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි විය.

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තමන් ජීවත් වූ වැඩවසම් තත්ත්වයෙන් අත් මිදුණේ එම ක්‍රමය ජනතාවට එපා වී ඊට එරෙහිව සටන් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් නොව යටත් විජිත ක්‍රමය විසින් ඇති කරන ලද බලපෑමේ ප්‍රතිඵලයක් වශයෙනි. එහිදී වැඩවසම් ක්‍රමයේ සියලු අක්මුල් උගුල්ලා දැමීමක් සිදු නොවූ අතර එය පැරණි ක්‍රමය කිසියම් විශාල ප්‍රමාණයකට යටපත් කොට ගෙන ගොඩනැගුණු ධනේශ්වර ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.

මෙම ප්‍රතිසංස්කරණ විසින් ඇති කරන ලද ප්‍රතිඵල ඉතාමත් දැවැන්ත හා විස්මයජනකවීයැයි කිව හැකිය. ඊට පෙර මුළු ලංකා ඉතිහාසයේ ම සිදු වී තිබුණු මුළු විපර්යාසයන්ගේ මුළු එකතුවට වඩා ප්‍රමාණයෙන් සේ ම ගුණයෙන් ද වඩා විශාල විපර්යාසයන් රැසක් ඒ කාලය තුළ රටේ සිදු විය. එතෙක් රටේ ජනතාව පරිභෝජනය මුල් කරගත් යැපුම් ආර්ථිකයකට කොටු වී සිටි අතර ඔවුන්ගේ ජීවන වටාපිටාව ඉතා නොදියුණු හා දුප්පත් තත්ත්වයක පැවතුණි. සියලු මිනිසුන් කුලය විසින් නියම කළ වැඩවසම් සේවාවන්ට කොටු වී සිටි අතර අකුරු උගත්කම ඉතාමත් සුළු පිරිසකට සීමා වී තිබුණේ ය. මිනිස්සු තමන් ජීවත් වන ගම් ප්‍රදේශවලින් බැහැරව ගමන් බිමන් කලේ ඉතාමත් කලාතුරකින් වන්දනාවේ යන අවස්ථාවල පමණය. අඩි පාරවල් ලෙස සැලකිය හැකි මාර්ග මිස මහ පාරවල් ලෙස සැලකිය හැකි මාර්ග නොතිබුණි. අඳින ඇඳුම් පැළඳුම් කෙරෙහි පමණක් නොව ගෙවල් දොරවල් පවත්වාගෙන යායුතු ආකාරය කෙරෙහි පවා කුලභේදය බලපෑවේ ය. මෙම සාම්ප්‍රදායික චිත්‍රයෙහි බි‍්‍රතාන්‍ය යුගය තුළ ඇතිවූ වෙනස්කම් දැවැන්තය.



[1] Cmd.3131, p. 3.

[2] Deb. Leg. Co., 1929, vol. III, p. 1669.

[3] Hansard for 1936, Vol. II, p. 1521.

[4] ලංකාව-ආණ්ඩුක්‍රමය පිළිබඳ පත් කරන ලද විශේෂ කොමිෂන් සභාවේ වාර්තාව-ඩොනමෝර් වාර්තාව (රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව 1962) පිටුව 127.

[5] Cmd. 3131, p. 49-50.

[6] එම පිටු 57-68.

[7] 1938 ජුනි 13 දරණ ආණ්ඩුකරුගේ සංදේශය සහ 1938 නොවැම්බර් 10 දින දරණ රාජ්‍ය ලේකම්වරයාගේ සංදේශය.

[8] CSP, 1938, XXVIII, pp. 6-4

[9] West India Royal Commission Report. Cmd. 6607, pp. 75-77.

[10] හැන්සාඩ් වාර්තා 1945, I කාණ්ඩය , 2066.

[11] CSP, 1947, No. xxii of p.7 para. 13, The Independent of Ceylon.

No comments:

Post a Comment