Saturday 15 February 2020

පුරාතන ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල කාර්යභාරය, ක්‍රි.ව.1200 දක්වා



තිහාසික මූලාශ්‍ර වලට අනුව භාරතීය බෞද්ධයන් සතුව ඉතා විශිෂ්ට ගණයේ බෞද්ධ විශ්වවිද්‍යාල තිබූ බවට සාධක පවතී. දීපවංශය හා මහාවංශය යන ලාංකේය වංශ කතා වල එවකට භාරතයේ බෞද්ධ භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපන  තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. එම බෞද්ධ විශ්වවිද්‍යාල ඉතා විශිෂ්ට ගණයේ ඒවා වූ බව වියතුන්ගේ මතය වේ.
ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යනයේ දී පෙනී යන පැරණි ම ඉන්දීය විශ්වවිද්‍යලයක් ලෙස තක්ෂිලා විද්‍යායතනය සැලකිය හැකිය. මෙය ක්‍රි.පූ. 6වන සියවසේ දී පමණ පාර්ශීන් විසින් ආරම්භ කරන ලද්දක් යැයි විශ්වාස කෙරෙන බව සර් ජෝන් මාර්ෂල්ගේ මතයයි. ඒ සඳහා ඔහු විසින් පාර්ශීන්ට අයත් කාසි හා නටඹුන් ඉදිරිපත් කරනු ලබයි. නමුත් මේ අතර නිශ්චිත වශයෙන් ම විශ්වවිද්‍යාලයේ නටඹුන්යැයි ඔප්පු කළ හැකි සාක්ෂි දුර්ලභ වේ. නමුත් මෙම විශ්වවිද්‍යාලය බුද්ධ කාලයටත් සියවස් කීපයකට පෙර සිට පැවතෙන බව පැරණි මූලාශ්‍ර අධ්‍යනයේ දී පෙනී යයි. විනය පිටකයට අයත් මහා වග්ග පාළියෙහි තක්ෂිලා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශාස්ත්‍රය උගත් ජීවක නම් රාජ වෛද්‍යවරයා ගැන සඳහන් වේ. තවද බොහෝමයක් ජාතක කතාවල එහි විසූ දිසා පාමොක් ආචාරීන් හා ඔවුන්ගෙන් ඉගෙනීම පිණිස ගිය විවිධ ශිෂ්‍යයන් ගැන සඳහන් වේ. මෙයින් ඇතැම් කතාන්තර අනුව සිතන විට මුළු තක්ෂිලා නුවර ම බරණැස මෙන් එක්තරා විශ්වවිද්‍යාල නගරයක් ව පවතින්නට ඇති බව උපකල්පනය කළ හැක.
මෙම තක්ෂිලා විශ්වවිද්‍යාලය පිහිටා තිබුණේ උත්තර භාරතයේ ප්‍රසිද්ධ සොළොස් මහා ජනපදවලින් එකක් වූ ගාන්ධාර දේශයේ ය. එකල මෙය උතුරු ඉන්දීය දේශසීමා බද ප්‍රදේශයක් ලෙස සැළකිණ. වර්තමානයේ මෙහි පිහිටීම සලකන්නේ නම් මෙහි වයඹ දෙසින් ඇෆ්ගනිස්තානයේ ඛයිබර් කපොල්ල පිහිටා ඇති අතර අනෙක් දිශාවෙන් සැතපුම් 20ක් පමණ දුරකින් පිහිටා ඇත්තේ රාවල්පිණ්ඩි නගරයයි. මෙසේ එක් අතකින් ඛයිබර් කපොලු අසල පිහිටා තිබීම‍ හේතුවෙන් බොහෝ අවස්ථාවල එම දිශාවෙන් ඉන්දියාවට අවතීර්ණ වූ සතුරන්ගේ ග්‍රහණයට ලක් විය.
මෙහි බෞද්ධ බලය නැතහොත් බෞද්ධ ඉගැන්වීම් වැඩිපුර දියුණුවන්නට ඇත්තේ අශෝක රජුගේ කාලයේ පටන් යැයි සිතිය හැකිය. අශෝක, යුව රජ කෙනෙකු හැටියට තක්ෂිලා පෙදෙසේ වසද්දී අර්මෙයික අකුරින් ලියවා තැබූ සෙල් ලිපියක් ද දක්නට තිබීම එයට සාක්කියකි. ඔහු අධිරාජයා වූ පසු සර්වඥ ධාතු නිදන් කොට ගාන්ධාර පෙදෙසේ කර වූ ස්තූප අතුරින් ප්‍රධාන ස්තූපය තනවන ලද්දේ ද තක්ෂිලාවේය. කලක් මුළුල්ලේ ම තක්ෂිලාවේ උසස් බෞද්ධ බලයක් පැවති බව වර්තමානයේ එහි දක්නට ලැබෙන සිය ගණනක් වූ නටබුන් වෙහෙර, විහාර, ක්‍රමානුකූල සංඝාරාම, මලු, මණ්ඩප, ප්‍රතිමා ආදියෙන් ඔප්පු වේ. ඇතැම් චීන, පර්සියන්, ග්‍රීක හා ආර්මයික ග්‍රන්ථවල මෙම තක්ෂිලා විශ්වවිද්‍යාලය ගැන සඳහන් වීම තුළින් පෙනී යන්නේ මෙය එකල ජාත්‍යන්තර විද්‍යාලයක් වූ බව විශ්වාස කළ හැක. එසේ ම ඉන්දියාවේ සෑම පළාතකින් ම මෙන් ම ටිබෙටය, චීනය, බුරුමය, ලංකාව, සියම, පර්සියාව, අරාබිය, මිසරය හා ග්‍රීසිය ආදී රටවල්වලින් විවිධ ශිෂ්‍යයන් තක්ෂිලාවේ ශාස්ත්‍රය උගත් බව පෙනේ.
චන්ද්‍ර ගුප්ත රජුගේ කාලයේ දී (ක්‍රි.පූ. 326-302) තක්ෂිලාව ඉතා දියුණු තත්ත්වයකට පත් වූ බව පෙනේ. ඔහුගේ ගුරුවරයා, උපදේශකවරයා මෙන් ම එම යුගයේ මෞර්ය අධිරාජ්‍යයේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ චානක්‍ය(කෞටිල්‍ය) නම් විද්වතා මෙම විශ්වවිද්‍යලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ඇත. ඔහු වැනි දේශපාලනයේ මෙන් ම අර්ථ ශාස්ත්‍රයේ විශාරදයන් එහි සේවය කිරීම තුලින් පෙනී යන්නේ තක්ෂිලාවේ ගුණාත්මක බාවයයි. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ගන්ධාරය යටත් කර ගත් අවස්ථාවේ මෙම විද්‍යායතනය ගැන අසා එහි ආචාර්යවරුන්ට තමන් මුණ ගැසෙන ලෙස නියෝග කරන ලදි. නමුත් එම නියෝගය පිළිගැනීමට ආචාර්යවරු සූදානම් නොවූ අතර එයින් කෝපයට පත් අධිරාජ්‍යයා දෙවන වරටත් එම නියෝගය ම නිකුත් කළ අතර එසේ නොයෙන්නේ නම් ඔවුන්ට මරණ දඬුවම ලබා දෙන බවද දන්වන ලදි. නමුත් මෙයට ද එම ආචාර්යවරු සිනා සෙනු දුටු රාජපුර්ශයෝ එය අධිරාජ්‍යයාට දැන්වීමෙන් අනතුරුව මදක් කල්පනා කර පසුව ඔහුම ගොස් ආචාර්යවරුන් ව බහැදකින ලදි. මෙබඳු ශ්‍රේෂ්ඨ ආචාර්ය, ශිෂ්‍ය ආදීන්ගෙන් සැදුම් ලත් හා ජගත් ප්‍රසිද්ධියට ලත් මෙම තක්ෂිලා විශ්වවිද්‍යාලයට පර්සියාවේ මහා සයිරස්, මැසිඩෝනියාවේ මහා ඇලෙක්සැන්ඩර් ආදීන්ගේ අනුග්‍රහයද ලැබී ඇත. නමුත් ක්‍රි.ව. 460දී පමණ මධ්‍ය ආසියාවේ තුර්කියට අයත් ප්‍රදේශවල සිට පැමිණි හූන නම් ප්‍රචණ්ඩ ජාතිකයන් විසින් මෙම විද්‍යායතනය ගිනි තබා විනාශ කොට ඇත. මෙම දරුණු සංහාරයේ දී දහස් ගණන් භික්ෂූන් වහන්සේලා ද හූනයන් අතින් ඝාතනය වූ බව ජොන් මාර්ෂල් වැනි පුරාවිද්‍යාඥයන්ගේ මතය වී ඇත.
භාරතයේ බෞද්ධ විශ්වවිද්‍යාල පිළිබඳ සටහන් කිරීමේදී නාලන්දා විශ්වවිද්‍යාලය විශේෂ තැනක් ගනී. උසස්   අධ්‍යාපන ආයතන සඳහා බෞද්ධයන් භාවිත කල යෙදුම වූයේ "මහා විහාර " යන්නයි. ඓතිහාසික තොරතුරු වලට අනුව නාලන්දා මහා විහාරය ඉදි කරන ලද්දේ පළමුවැනි කුමාර ගුප්ත රජු (ක්‍රි.ව.415-455) විසිනි. නාලන්දා මහා විහාරය ද ආගමික වත් පිළිවෙත් සඳහා ඉදි කරන ලද පන්සලක් හෝ සංඝාවාසයක් නොවේ. භික්ෂූන් වහන්සේලා ට උසස්   අධ්‍යාපනයක් ලබා දීම සඳහා අරඹන ලද   අධ්‍යාපන ආයතනයකි. නාලන්දාව බිහාර් ප්‍රාන්තයේ පැට්නාවලට සැතපුම් 55 ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා ඇති අතර පාල අධිරාජ්‍යය යටතේ ක්‍රි.පූ. 427 සිට ක්‍රි.පූ. 1197 දක්වා බෞද්ධාගමිකයන්ගේ ඉගෙනුම් මධ්‍යස්ථානයයි. එය වාර්තාගත ඉතිහාසයේ පළමුවන මහා විශ්වවිද්‍යාලය ලෙස සැලකේ. නාලන්දා යන සංස්කෘත වචනයේ අර්ථය දැනුම බෙදා දෙන්නා (නාලම් හෙවත් නෙළුම යනු දැනුමේ සංකේතයකි, ධා යනු දානයයි) යන්නයි. චීන දේශාටන භික්ෂුවක් වන හියුන්සියෑං නාලන්දා යන නාමයට අර්ථකතන කිහිපයක් ලබා දේ. ඉන් එකක් නම් එහි අඹ වනයක් මධ්‍යයේ පිහිටි වැවක ජීවත් වු නාගයෙක් හේතුවෙන් බවත්, අනෙක නම් බුදුරජාණන් වහන්සේගේ සමයේ දී මෙහි අත්හිටුවීමකින් තොරව දානය ලබා දීමත් ය. නාලන්දාව ලෝකයේ මුල්ම නේවාසික විශ්වවිද්‍යාල අතරින් එකකි. එය ලෝකයේ ඉතා ප්‍රසිද්ධ ව පැවති අතර එහි සමෘද්ධිමත් සමයේ දී ශිෂ්‍යයන් 10,000 ක් හා ගුරුවරුන් 2,000 කට නවාතැන් පහසුකම් සැලසිය හැකි විය.
දේශ සංචාරක හියුන්සියෑන් තෙරණුවන් සිය දේශාටන වෘත්තාන්ත සටහන් වල නාලන්දා විශ්ව විද්‍යාලය පිළිබඳ බොහෝ තොරතුරු සඳහන් කර ඇත. හියුන්සියෑන් භ්‍රමණ  වෘත්තාන්ත සටහන් වල සඳහන් වන පරිදි මෙම සංඝාවාසය දුටුවන් විස්මයට පත් කරවන්නකි. මෙහි නේවාසික සංඛ්‍යාව දස දහසකට අඩු නොවේ. සියලු දෙනාම මහායානික ග්‍රන්ථ උගත්තෝය. මෙහි නේවාසිකව වාසය කල ආචාර්ය, ශිෂ්‍ය, සේවක, පිරිස අතරින් 1510 ක් ආචාර්යවරුය. එම ආචාර්ය මණ්ඩලයට ඇප උපස්ථාන කිරීමට මානව නමින් හැඳින්වුණු එක්දහස් පන්සියයක පමණ පිරිසක් සිටින්නට ඇත. මෙම මානවකයෝ ආචාර්යවරුන්ට ඇප උපස්ථාන කරන අතරම අධ්‍යයන කටයුතු වලද නිරත වී ඇත. ඉගනීමෙහි නිරත වූ සිසු පිරිස දළ වශයෙන් 7000 ක් පමණ වන්නට ඇතැයි නිගමනය කල හැකිය. එයින් බහුතරය භික්ෂූන් වහන්සේලා වූහ. දේශීය විදේශීය මෙන් ම බෞද්ධ අබෞද්ධ ශිෂ්‍යයෝ ද සිප්සතර හදාළහ. ගිහි ශිෂ්‍යයෝ ද වූහ. එහෙත් ඔවුන් ඉතා අල්ප පිරිසක් වන්නට ඇත.
නාලන්දා විශ්වවිද්‍යාලයෙහි ඉගෙනීම සිදු කල පිරිස ප්‍රධාන ලෙස කොටස් 03 කි.
1.     මූලික අධ්‍යාපනය ලබා අවු:15 සපිරුණ ප්‍රදේශවාසී ශිෂ්‍යයෝ. මොවුන් පුරා 08 වසරක් අධ්‍යාපනය ලැබිය යුතුය.
2.     මූලික හා ද්විතීයික අධ්‍යාපනය නිම කර වයස අවු:20 සපිරුණ උපාධි අපේක්ෂකයන් ලෙස. මොවුන් වසර 03ක් අධ්‍යාපනය ලැබිය යුතුය.
3.     උසස් අධ්‍යාපනය හදාරා අවසන් වූ පසු තම දැනුම ඔප මට්ටම් කර ගැනීමට හෝ විශ්ව විද්‍යාලයෙහි කීර්තිය නිසා ඇතුළත් වන මොවුන් වර්තමානයට අනුව නම් පශ්චාද්  උපාධි අපේක්ෂකයන් ලෙස හඳුනා ගත හැක. පශ්චාද් උපාධි ලබා ගැනීම සඳහා ටිබෙටය, චීනය, ජපානය, කොරියාව, සුමාත්‍රා, ජාවා, මොංගෝලියාව වැනි මැද පෙරදිග රටවලින් ද තුර්කිය වැනි අපරදිග රටවලින් ද සිසුහු ආහ.
නාලන්දා විශ්වවිද්‍යාලයේ ප්‍රවේශ පරීක්ෂණය අතිශයින් තියුණු වූයේ ය. විද්‍යාලයට ඇදී ආ ශිෂ්‍ය පිරිස අධික වීම මීට හේතු වූවා විය හැකි ය. ප්‍රවේශයෙන් 20% පමණ පිරිසක් පමණක් සමත් වී ඇත. ප්‍රවේශ පරීක්ෂණය සඳහා ජාති, කුල, ගෝත්‍ර කිසිත් නොසැලකිණි. සැම ශිෂ්‍යයෙක් ම සාධාරණ සමාන තත්ත්වයක් ඉසුලූයේ ය. මෙහි නේවාසික සිසුන් මිස අනේවාසික ශිෂ්‍යයෝ නොවූහ. නේවාසිකාගාර පාලකවරුන් ආදී කොට සියළුම අංශ විධිමත් ව පවත්වාගෙන යාම සඳහා ඒ ඒ අංශය පිළිබඳ එකල සිටි ඉතාමත් ප්‍රවීණ දක්ෂ පුද්ගලයන් නිලධාරීන් ලෙස පත් කරන ලදි. නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම නිදහස් ය.
මෙහි ඉගෙන ගැනීමේ භාෂා මාධ්‍යය සංස්කෘත විය. ව්‍යාකරණාවබෝධය ද ඉතා වැදගත් විය. සංස්කෘත භාෂාව, වාග් විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, අභිධර්මකෝෂය, ජාතක මාලා ආදිය පිළිබඳ මනා ප්‍රමුඛත්වයක් අවශ්‍ය විය. චතුර්වේදය, උපනීෂද් දර්ශනය, ෂට් දර්ශනය ආදිය පිළිබඳ සාමාන්‍ය ඥානය අපේක්ෂා කරන ලදි. ශාස්ත්‍රීය මට්ටමින් මෙබඳු ප්‍රවේශ දැනුමක් අපේක්ෂා කල අතර, සෑම ශිෂ්‍යයකු ම සදාචාර සම්පන්න ගති පැවතුම් වලින් හෙබි යහපත් චරිතයකින් යුක්ත වීම ද අත්‍යවශ්‍ය විය. නාලන්දා විශ්වවිද්‍යාලයේ විෂය ධාරා පහක් යටතේ අධ්‍යාපනය ලබා දී ඇත. ඒ අධ්‍යයන විෂය ධාරා පහ මෙසේ යි:
                             I.                භාෂා අධ්‍යයන විෂය ධාරාව.
                           II.                බුද්ධ ධර්මය අධ්‍යයන ධාරාව.
                         III.                දර්ශන අධ්‍යයන ධාරාව.
                           IV.                ලෞකික විෂය අධ්‍යයන ධාරාව.
                             V.                ලලිත කලා අධ්‍යයන ධාරාව.
ඒ ඒ විෂය ධාරාවන්ට අයත් උපාංග පුළුල් ලෙස මෙහි උගන්වා ඇත. භාෂා මාධ්‍යය වූවේ සංස්කෘත භාෂාවයි. හියුංසියෑං හිමිපාණන් විසින් නාලන්දා මහා විහාරය පිළිබඳ කරනු ලබන විස්තරය අනුව ගුරු පිරිසෙන් 1,000 කට සූත්‍ර හා ශාස්ත්‍ර ග්‍රන්ථ කාණ්ඩ විස්සක් විස්තර විවරණ සහිත ව පැහැදිලි කළ හැකි විය. පන්සියයකට සූත්‍ර හා ශාස්ත්‍ර තිහක් ද, දහ දෙනෙකුට කාණ්ඩ පනහක් ද පැහැදිලි කල හැකි විය. නාලන්දා විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේට සූත්‍ර හා ශාස්ත්‍ර ග්‍රන්ථ සියල්ල ම පැහැදිලි කල හැකි වූයේ ය. නාලන්දා විශ්වවිද්‍යාලයාදපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඥානවෘද්ධ වූහ, තපෝවෘද්ධ වූහ, ගුණවෘද්ධ වූහ. එතුමෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය, ශිෂ්‍ය, සේවක යන තෙපිරිසගේ ම නොමද ගෞරවාදරයට පාත්‍ර වූහ, සියලු දෙනා විසින් පූජිත වූහ” යනුවෙන් හියුන්සියෑංගේ වාර්තාවේ සඳහන් වේ.
විශ්වවිද්‍යාලයේ සිසුන්ට දැනුම ලබා දීම සඳහා අධ්‍යාපන ක්‍රම කිහිපයක් අනුගමනය කොට ඇත. දේශන ක්‍රමය, විවාද ක්‍රමය හා පෞද්ගලික සාකච්ඡා ක්‍රමය යන අංශ තුන ම ක්‍රියාත්මක  වූයේ ය. දැනට විශ්වවිද්‍යාලවල දක්නට ලැබෙන්නා සේ ඒ ඒ විෂයයන් සඳහා දේශන පැවැත්විණි. සාමාන්‍යයෙන් දිනකට දේශන 100කට අධික ප්‍රමාණයක් පැවති බව සඳහන් වෙයි. මෙහි දී ගුරුවරයා අදාළ මාතෘකාව යටතේ දේශන පැවැත් වූ අතර ශිෂ්‍යයෝ සවන් දී සටහන් තබා ගත්හ.  විවාදාපන්න විෂය කරුණු පිළිබඳ  විවෘත විවාද පැවැත්විණි. මේ විවාද සියලු සිසුන් සදහා විවෘත වූයේ ය. ඕනෑම විද්‍යාර්ථයකුට ප්‍රශ්න මතු කරමින් තර්ක විතර්ක කිරීමට ඉඩකඩ සැලසිණි. මේ කාලයේ දාර්ශනික, ආගමික, න්‍යායික යන විවිධ මත පිළිබඳ තියුණු වාද විවාද පැවති බව ඉතිහාසයෙන් ප්‍රකට වෙයි. මේ විවාද ක්‍රමය ඉතා විචක්ෂණ ව සිදු වූ බව සිතිය හැකි ය. දේශන ක්‍රමය හා විවාද ක්‍රමය යන අංශ දෙකට ම වඩා වැඩි අවධානයක් යොමුකොට ඇත්තේ පෞද්ගලික සාකච්ඡා ක්‍රමය කෙරෙහි ය. ඉතා ම ජනප්‍රිය ක්‍රමය ද එය විය. සැම ශිෂ්‍යයකුට ම පෞද්ගලික ආචාර්යවරයෙක් සිටියේ ය. ශිෂ්‍යයාගේ ඉගෙනීමේ කටයුතු පිළිබඳ සොයා බැලීම මේ ගුරුවරයාට භාර විය. ශිෂ්‍යයාගේ අවශ්‍යතා, ඉගෙනීමේ දුර්වලතා, ඒ සඳහා යෙදිය යුතු පිළියම් ආදිය පිළිබඳ මූලික කරුණු මොහු විසින් සොයා බලා අවශ්‍ය ප්‍රතිකර්ම යොදවනු ලැබිණි. ශිෂ්‍යයාට දුෂ්කර පොතපත හැදෑරීමට, ඒවායෙහි ගැට‍ළු නිරාකරණය කර ගැනීමට මේ ආචාර්යවරයා සහාය වූයේ ය. ශිෂ්‍යයාගේ හැසිරීම හා විනය පිළිබඳ සම්පූර්ණ වගකීම පෞද්ගලික ආචාර්යවරයා වෙත පැවැරිණි. ශිෂ්‍යයා පිළිබඳ කවර ආකාරයක ගැට‍ළුවක් වුව ද මොහු වෙත යොමු කල යුතු ය. හියුංසියෑං තෙරණුවන් සිය පෞද්ගලික ආචාර්යවරයා ගැන සදහන් කොට ඇත. ඒ සඳහනට අනුව පෞද්ගලික ආචාර්යවරයා සතු වගකීම ඉතා බැරෑරුම් වූ බවත්, වගකීමෙන් යුතුව ඔවුන් ක්‍රියාකල බවත්, එය හුදෙක් නාමමාත්‍රික පත් වීමක් නොවන බවත් දැක්වෙයි.
අධ්‍යයන කටයුතු වලට මෙන් ම ආහාර ගැනීමට, ජල ස්නානයට, බුද්ධ වන්දනාවට, චෛත්‍ය වන්දනාවට ඇතුළු සියලු කටයුතු සඳහා නියමිත කාල සටහන් තිබී ඇත. විනාඩි 45 කට වරක් බෙරයක් හැඬවී ඇත. විශ්වවිද්‍යාලය අසල දිය නෑම සඳහා වෙන් වූ පොකුණු දහයක් පමණ තිබිණි. විනය නීතිරීති වලට අනුව නේවාසිකයන්ගේ දින චර්යාව සිදු විය. ජල ස්නානය සඳහා සංඝාවාස වලින් යා නොහැකි අයට සංඝාරාමය තුළ ම ස්නාන පහසුකම් සලසන ලදි. නාලන්දා විශ්ව විද්‍යාලයෙහි මන්දිර තුනකින් සැදුම් ලත් සුවිසල් පුස්තකාලයක් ද විය. එහි මහායාන බුදුදහමට අදාළ ග්‍රන්ථ පමණක් තැන්පත් කොට තිබී ඇත. ආහාර පාන නේවාසික පහසුකම් නොමිලයේ සැපයින. පෙරවීමට එක හා සමාන සිවුරු පවා සැපයින. රජවරු විසින් නාලන්දා මහා විහාරයට පුද කරන ලද ගම් වර දෙසියයක් පැවතීම නිසා සිවුපසයෙන් කිසිදු අඩුවක් නොවේ. සියලු කාලය ඉගෙනුමට කැප කිරීමට ශිෂ්‍යයින්ට  හැකි විය. සංඝාවාසයේ කාමර භික්ෂූන්ගේ තත්ත්වය අනුව වෙන් කර තිබිණ. උගත්, සිල්වත් වයෝවෘද්ධ භික්ෂූන්ට විශාල කාමරද ශිෂ්‍ය භික්ෂූන්ට කුඩා කාමර ලෙස ද වෙන් කර තිබී ඇත.
නාලන්දා විශ්වවිද්‍යාලයේ පඬිවරු ටිබෙටය, චීනය ආදී රටවල් රැසක ධර්ම ප්‍රචාරණ කටයුතු වල නිරත විය. මෙය සෑම අතින්ම විශිෂ්ට ගණයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් බව පිළිගැනින. සියලු අංග වලින් පරිපූර්ණ මෙම නාලන්දා බෞද්ධ විශ්ව විද්‍යාලය පුරා වසර දහසක් පමණ මහඟු සේවයක් සලසා ඇත. දහතුන්වැනි සියවසේ මුස්ලිම් ආක්‍රමණික භාක්තියාර් ඛිල්ජි විසින් නාලන්දය විනාශ කළේ ය. සංඝාරාමය ගිනිබත් විය, අවසානයේ ගින්නෙන් නොදැවුණු පොත් කියවා ගැනීමට වත් භික්ෂුවක් ඉතිරි වී නැත. මම කෲර ඝාතනය සිදු වූයේ ක්‍රි.ව. 1200 දී ය. විනාශ වූ විශ්ව විද්‍යාලය නැවත ඉදි කිරීමට මුද්‍රිතභද්‍ර තෙරණුවෝ කටයුතු කල නමුත් එය නැවත පිළිසකර කිරීම දුෂ්කර විය.
වික්‍රම ශීලා විශ්වවිද්‍යාලය උතුරු මගධයෙහි ගංගා නදිය අසබඩ රමණිය පරිසරයක පිහිටා තිබී ඇත. මෙම විශ්වවිද්‍යාලයේ ආදි කර්තෘ වූ පාල රජ පරපුරට අයත් ධර්මපාල රජතුමා (ක්‍රි.ව.770 – 810) වික්‍රම ශීලා‍‍‍‍වේ ප්‍රථම සංඝාරාමය ඉදි කළ බව සුම්පා හා තාරානාත් යන ඉතිහාසඥයන් දෙදෙනා සඳහන් කරති. පසුව රජ පැමිණි නයාපල රජතුමා විශ්වවිද්‍යාලයේ අභිවෘද්ධිය සඳහා ‍බෙහෙවින් ආධාර උපකාර කර ඇත. නාලන්දා විශ්වවිද්‍යාලයේ ම සහෝදර ආයතනයක් වූ මෙය ආරම්භ කිරීමට මුල් ම අදහස ඉදිරිපත් කොට ඇත්තේ නාලන්දා විශ්වවිද්‍යාලයේ තන්ත්‍රයානය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ කම්පාල හිමියන්ය. නාලන්දාව මෙන් ම මෙම විශ්වවිද්‍යාලයේ ද ක්‍රමානුකූල ව ගොඩනගන ලද ගොඩනැගිලි සමූහයක් තිබුණි. විශ්වවිද්‍යාල මාධ්‍යයෙහි ප්‍රධාන දේශන ශාලාව ඉදි කොට තිබිණි. එය ‘විද්‍යාගෘහ’ යන නමින් හැදින්විය. ද්වාරපණ්ඩිත නමින් හැදින්වුණු ප්‍රවීණ ආචාර්යවරුන් සිටි දොරටු හයක් පිළිබඳව සඳහන් වේ. මෙහි විද්‍යා මණ්ඩප හයක් පැවති බව සිතිය හැකි ය. ඒ ඒ විද්‍යා මණ්ඩපය ඒ ඒ ද්වාර පණ්ඩිතයාට භාර වුයේ ය. ක්‍රි.ව. 983 – 995 අතර කාලය ඇතුළත පහත සඳහන් ආචාර්යවරු ඒ පදවි දරමින් ක්‍රියා කළහ.
                                             I.                රත්නාකර ශාන්ති       - නැගෙනහිර දොරටුව.
                                           II.                වාගීශ්වර කීර්ති         - බටහිර දොරටුව.
                                         III.                නරෝපා                - උතුරු දොරටුව.
                                           IV.                ප්‍රඥාකරමති             - දකුණු දොරටුව.
                                             V.                රත්නවජ්‍ර               - පළමු මධ්‍යම දොරටුව.
                                           VI.                ඥාන ශ්‍රීමතී              - දෙවැනි මධ්‍යම දොරටුව.
නාලන්දාවේ සිටියේ එක් ද්වාර පණ්ඩිත කෙනෙකි. නමුත් වික්‍රම ශීලාවේ ද්වාර පණ්ඩිතවරු හයදෙනෙක් සිටීමෙන් එම විශ්වවිද්‍යාලයේ විශාලත්වය පැහැදිලි වේ. වික්‍රම ශීලා විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය 108කින් සමන්විත වුයේ ය. වෙනත් පරිපාලන විධායක කටයුතු සඳහා ද ආචාර්යවරුන් හා සම පුද්ගලයන් හය දෙනෙක් වුහ. මේ  එකසිය දාහතර දෙනා (114) අධ්‍යාපන කටයුතු හා පරිපාලනයට සම්බන්ධ විධායක කටයුතු ද භාර ව සිටිය හ. ආයතනයේ ප්‍රධානියා හඳුන්වනු ලැබුවේ අධ්‍යක්‍ෂ නමිනි. ද්වාර පාලක තනතුර මෙන් ම මෙම අධ්‍යක්‍ෂ තනතුරට ද කෙනෙකු තෝරා ගන්නා‍ ලද්දේ රජතුමාගේ කොමිසමක් මඟිනි. ධර්මපාල රජුගේ කාලයේ (ක්‍රි.ව. 8) මෙම ආයතනයේ ප්‍රථම අධ්‍යක්‍ෂවරයා ලෙස පත් වී ඇත්තේ බුද්ධඥානපාද නම් තෙරුන්ය. ප්‍රථම ද්වාර පාලක ලෙස ජෙතරි නම් තැනැත්තෙක් පත් විය. රාමපාල රජතුමා ද මෙම ආයතනයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කළ කෙනෙකි. එතුමාගේ කාලයේ එහි අධිපති වූවේ අභයාකර ගුප්ත තෙරුන්ය. මෙහි ඉතාම ප්‍රසිද්ධ, කීර්තිමත් අධිපතීන් වහන්සේ වූවේ (ක්‍රි.ව. 980-1053) දීපංකර ශ්‍රී ඥාන තෙරුන්ය. අතීශ යන නමින්ද උන්වහන්සේ හඳුන්වන ලදි.
ඉගැන්වීමේ ක්‍රම නාලන්දා විශ්වවිද්‍යලයට සමාන වූ අතර පාඨමාලාව අවසානයේ දී පණ්ඩිත හෙවත් මහා පණ්ඩිත නම් උපාධියක් පිරිනමා ඇත. මෙම උපාධිය පිරිනමන ලද්දේ රජතුමා විසිනි. මෙම ආයතනයේ නාමික කුලපතිවරයා වූවේ ද මගධ රජතුමාය. එතුමන් සම්මාන පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබූ කෙනෙකි. වික්‍රමශීලාවෙහි විෂය මාලාව මහායාන බුද්ධ ධර්මය, ත්‍රිවේදය, ව්‍යාකරණය, තර්ක ශාස්ත්‍රය, ජ්‍යෝතිෂය, සංඛ්‍යා දර්ශනය, යෝග න්‍යාය ආදී දර්ශන ශිල්ප කලාවන් 19කින් යුක්ත වී ඇත. විශේෂ තැනක් තන්ත්‍රයාන බුදුසමයට හිමි වී ඇත. එබැවින් ආචාර්යවරයන්ගේත් ශිෂ්‍යයන්ගේත් විශේෂ අවධානය හා සැලකිල්ල ඒ කෙරෙහි යොමු වුයේ ය. ‍මේ හේතුවෙන් බුදුසමය පිළිබඳ විශේෂඥ ගුරුවරු මෙහි වුහ. ඔවුහු සිය මතවාද සනාථ කරලීම සඳහා තාන්ත්‍රික ග්‍රන්ථ කරණයෙහි නියැලුණහ. මෙහි භික්ෂූන් වහන්සේලා තම වෛශාරද්‍ය බුද්ධිය ප්‍රකාශ කිරීමට දාර්ශනික හා සාමයික ග්‍රන්ථ රචනා කළහ. එම කෘතිවලින් විශාල සංඛ්‍යාවක් ටිබෙට් භාෂාවට පරිවර්තනය කොට ඇත. මහායාන බෞද්ධයන්ගේ මුල් සංස්කෘත පොත පත නැති කාලයේ මෙම කෘතීන්ගෙන් මහත් පිටිවහලක් ලැබුණු බව තාරානාත කියයි. බෙංගාලයේ පාල රජවරුන්ගේ කාලයේ ස්වර්ණමය යුගයක් ව තිබූ මෙම ආයතනය ක්‍රි.ව 13වන සියවසේ‍දී මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් විනාශ විය.
පාල රාජවංශය අවසාන වශයෙන් ගොඩනැගූ ආයතනය ජගද්දලා විශ්වවිද්‍යාලයයි. ක්‍රි.ව. 1077 – 1129 කාලයෙහි රට පාලනය කළ රාමපාල රජතුමා විසින් මෙය ගොඩ නංවන ලදි. එම රජුගේ රාජසභා කවියෙකු වූ සන්ධ්‍යාකර නන්දි විසින් රචිත රාඝව පණ්ඩාවිය නම් කෘතියේ ජගද්දලාව ගැන කරුණු සඳහන් වේ. ඒ අනුව එකල බුදු සමය පැතිර තිබූ එම රාජ්‍යයේ බෞද්ධ කේන්ද්‍රස්ථානය ජගද්දලාව වූ බව පෙනේ. මෙම ආයතනය තාන්ත්‍රික බුදු දහමේ මධ්‍යස්ථානයක් විය. තන්ත්‍ර බුදු සමයේ විශාරද බුද්ධිමතුන් නිතර ගැවසුණු බවත්, ටිබෙට් ර‍ට හා සමීප සම්බන්ධතා පැවැත් වූ බවත් සඳහන් වේ. බොහෝ බෞද්ධ පොත් පත් ටිබෙට් භාෂාවට පරිවර්තනය කරන ලද්දේ මෙම ජගද්දලාවේ සිටය. දීපංකර ශ්‍රි ඥාන ස්වාමින් වහන්සේට පසු ටිබෙට් ර‍ටේ බුදුසමය ව්‍යාප්ත කළ ශාක්‍ය ශ්‍රී භද්‍ර ස්වාමින් වහන්සේ නාලන්දා, වික්‍රමශීලා, ඕදන්තපුර ආදි විශ්වවිද්‍යාල සංචාරය කොට අවසානයේ ජගද්දලාවට පැමිණ ධර්ම ශාස්ත්‍ර හදාරා ඇත. උන්වහන්සේගේ ශිෂ්‍යයවරයෙකු වූ දානශීල තෙර පොත් හැටක් (60) පමණ ටිබෙට් බසට පෙරලු බව වාර්තාවල සඳහන්වේ‍. ටිබෙට් රටෙහි තාන්ත්‍රික බුදුසමය ප්‍රබල ලෙස ව්‍යාප්ත කළෝ ශාක්‍ය ශ්‍රී භද්‍ර තෙරණුවෝ යි. ශාක්‍ය ශ්‍රී භද්‍ර තෙරණුවෝත් උන්වහන්සේගේ ශිෂ්‍යයෝත් අවුරුදු තුනක් ජගද්දලා විශ්වවිද්‍යාලයෙහි වාසය කළහ. මෙහි භික්ෂූන් සියල්ලෝම තන්ත්‍රවාදී වූ බැවින් උන්වහන්සේලා රචනා කළ ග්‍රන්ථ තන්ත්‍රවාදයට අයත් විය. එම කෘතීන් අතර ආචාර්ය ශාන්තිදේවයන්ගේ බෝධිචර්යාවතාරයට කරන ලද ටීකා ග්‍රන්ථයක් ද වේ.
මෙම ආයතනයේ ආචාර්ය මණ්ඩලය පණ්ඩිත, මහා පණ්ඩිත, මහාචාර්ය, ආචාර්ය යන අභිධානයන්ගෙන් හඳුන්වා ඇත. මෙයින් පැහැදිලි වන්නේ ජගද්දලාව උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ප්‍රකට ව පැවති බවයි. නමුත් ක්‍රි.ව.1207 දී පමණ මුස්ලිම් ආක්‍රමණිකයෝ ජගද්දලා විශ්වවිද්‍යාලය ද විනාශ කළහ. එහි සිටි භික්ෂූන් වහන්සේලා ද මරා දැමූ බව ටිබෙට් ඉතිහාසය කියයි.
වලභි විශ්වවිද්‍යාලය ක්‍රි.ව.475- 775 අතර විසු මෛත්‍රික රජවරු ඉන්දියාවෙහි  බටහිර ප්‍රාන්ත පාලනය කරමින් එහි අගනුවර වු වලභියෙහි මහා විහාරයක් ඉදි කළහ. පසුව එය මහා භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන ආයතනයක් බවට විකාශනය විය. ශ්‍රාවකයන්ට බුදුසමය පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් ලබා දුන් ‍වලභි විශ්වවිද්‍යාලය බුදුසමයේ කේන්ද්‍රස්ථානය බවට පත්වුයේ ය. ක්‍රිස්තු වර්ෂ 7වන සියවසේ දී මෙම ආයතනය නාලන්දාව හා සම තත්ත්වයක‍ පැවත ඇත. හියුංසියෑං තෙරණුවෝ සිය වාර්තාවෙහි සඳහන් කර ඇති ආකාරයට අනුව මෙහි අධික ජනගහණයක් වාසය කර ඇති අතර ධනවත් පවුල් සිය ගණනක් ජීවත් ව සිට ඇත. විදේශීය රටවලින් ගෙනා දුර්ලභ අගනා ද්‍රව්‍ය මෙම නගරයේ තිබී ඇත. . හියුංසියෑං තෙරුන් කරන විස්තරයට අනුව වලභි විශ්වවිද්‍යාලය සතුව සංඝාරාම සියයක් (100) පමණ තිබී ඇත. මෙහි භික්ෂුන් වහන්සේලා 6000ක් වැඩ විසු බව සඳහන් වෙයි. ඒ අනුව ඒ භික්ෂූන් වහන්සේලාට වැඩ විසීමට තනවන ලද භික්ෂු ආවාස සියයක් වු බව සිතා ගත හැකි ය. නේවාසික ව අධ්‍යාපනය ලත් භික්ෂු පිරිස ශ්‍රාවතයාන බෞද්ධ ශාඛාවක් වු සම්මිතීය නිකායට අයත් විය.  ඉත් සිං වාර්තා‍‍වේ සඳහන් වන පරිදි වලභි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා දේශීය මෙන් ම විදේශීය ශිෂ්‍යයෝ ද පැමිණ ඇත.  සම්මිතීය බෞද්ධ නිකායේ ඉගැන්වීමි සඳහා පුළුල් වශයෙන් කීර්තියක් ඉසිලූ විද්‍යාස්ථානයක් ලෙස වලභි විශ්වවිද්‍යාලය පිළිගැනීමකට ලක් වී ඇත. මෙම ආයතනයේ පුළුල් විෂය මාලාවක් තිබී ඇත. සම්මිතීය නිකායට අයත් ථේරවාදී බෞද්ධ ඉගැන්වීම් ප්‍රධාන විෂය වී ඇත. අනෙකුත් බෞද්ධ ඉගැන්වීම් ද තුලනාත්මක ව උගන්වා ඇත.  ආගමික විෂයන්ට අතිරේක ව ලෞකික විෂයන් ඉගැන්වීම සඳහා කාලච්ඡේද වෙන් කරන ලදි. චතුර්වේදය, බ්‍රාහ්මණ, ආරණ්‍යයක, උපනිෂද් ආදී කොට ඇති හින්දු දර්ශනය පුළුල් ව ඉගැන්වූ අතර හින්දු ධර්ම ශාස්ත්‍ර, දේශපාලන විද්‍යාව, වාණිජ විද්‍යාව සහ කෘෂිකර්මය, ආර්ථික විද්‍යාව, චිකිත්සා විද්‍යාව ආදී ලෞකික විෂයයන් ද උගන්වා ඇත.
වලභි විශ්වවිද්‍යාලයේ උපාධිධරයන් ඉගෙනීමේ කටයුතුවලින් පසු ව ස්වකීය නිපුණත්වය රාජ්‍ය සභා ඉදිරියෙහි දී ප්‍රදර්ශනය කළ බව ඉත්සිං වාර්තාවෙහි සඳහන් වෙයි. වාද විවාද හා උත්සව අවස්ථාවන්හි දී මොවුහු සිය කුසලතා දක්වා විශ්වවිද්‍යාලයට කීර්තිය ලබා දුන්හ. මහායානික බෞද්ධ උගතුන් අතර සුප්‍රකට ගුණමති හා ස්ථිරමති යන පඬිවරු දෙපළ නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා එහි ආචාර්යවරුන් වශයෙන් සේවය කළහ. පසුව ඒ දෙපොළ වලභි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුහ. ඒ වියතුන් දෙපළගෙන් වලභි විශ්වවිද්‍යාලය ආරම්භ වු බව සඳහන් වෙයි. ගුණමති හා ස්ථිරමති යන ස්වාමින් වහන්සේලා දෙනම නාලන්දා විශ්වවිද්‍යාලයේ ඇසුරෙන් හැදුණු වැඩුණු නිසාත්, එහි ආචාර්යවරුන් වු නිසාත්  වලභි විශ්වවිද්‍යාලය නාලන්දාවට අනුරූප ව සැකසුණාට කිසිදු සැකයක් නැත. අධ්‍යාපන, පරිපාලනය, පරීක්ෂණ, පුස්තකාල යනාදි සියලු කටයුතු නාලන්දාවට අනුරූප වන පරිදි ම මෙහි ද ක්‍රියාත්මක වන්නට ඇත. වලභි විශ්වවිද්‍යාලය ක්‍රි.ස්.475 සිට ක්‍රි.ව. 1200 දක්වා පැවතුණු අතර ‍‍මුස්ලිම් ආක්‍රමණයේ දී මේ ආයතනය සම්පුර්ණයෙන් ම විනාශ කෙරිණි.
සෝමපුර විශ්වවිද්‍යාලය වර්තමාන බංගලාදේශයට අයත් ප්‍රදේශයක පිහිටා තිබී ඇත. පාල රජ පෙළපතට අයත් දේවපාල රජතුමා (ක්‍රි.ව. 810 – 850) සෝමපුරයෙහි ධර්මපාල මහා විහාරය නමින් අභිනවයෙන් බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි කරනු ලැබීය. ධර්මපාල මහා විහාරයේ ගොඩනැගිලිවල ගෘහ නිර්මාණ ශිල්පී කටයුතු අමුතු ස්වරූපයක් උසුලයි. වර්ග සැතපුමක් පමණ වු භූමි ප්‍රදේශයක් පුරා මෙහි ගොඩනැගිලි ඉදි විය. විශ්වවිද්‍යාලය වට කරමින් විශාල ප්‍රාකාරයක් ඉදි වී තිබූ අතර විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට විශාල දොරටුවක් සවි කොට තිබී ඇත. සාමාන්‍ය විහාරස්ථානයක ඉදි කරනු ලබන විහාරාංගවලට අතිරේක ව භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා සැකසුණ කුටි 177ක් ද අන්තර්ගත වී ඇත. සෝමපුර විශ්වවිද්‍යාලයීය කැණීම්වලින් ප්‍රකට වන පරිදි පොදු දාන ශාලාවක් ද මුළුතැන්ගෙයක් ද වූයේ ය. කැණීම්වල දී සුවිශාල ආයතනයක විවිධ අංශ නියෝජනය වන ගොඩනැගිලි වූ බවට සාධක හමු වී ඇත. තෙමහල් මන්දිරයක් වූ බවට සාධක නටබුන් අතුරින් එළිදරව් වී තිබේ. මුස්ලිම් ආක්‍රමණයෙන් විනාශ වනතුරු ශතවර්ෂ හතර හමාරක් පමණ ‍මෙම ආයතනය බැබළුණු බව පෙනේ.
සෝමපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පටිපාටිය හා පරිපාලන පටිපාටිය නාලන්දා විශ්වවිද්‍යාල සම්ප්‍රදාය ම අනුගමනය කොට ඇත. මුස්ලිමි ආක්‍රමණයේ දී ‍මෙම බෞද්ධ ආයතනය පොළොවට සමතලා කොට නොදමන ලද නමුත් ආක්‍රමණය නිසා භික්ෂූන් වහන්සේලා  විශ්වවිද්‍යාලය අතහැර දමා ගොස් ඇත. ඉන් පසු ආයතනය ක්‍රමයෙන් පරිහානියට පත් වී ඇත.
ඕදන්තපුර විශ්වවිද්‍යාලය පිහිටුවන ලද්දේ ගෝපාල රජු (ක්‍රි.ව. 660-705) විසිනි. මෙය නාලන්දා විශ්වවිද්‍යාලයට පසුව ආරම්භ කරන ලද පැරණි ම  විශ්වවිද්‍යාලය ලෙස සැලකේ. නාලන්දා විශ්වවිද්‍යාලයට සැතපුම් හයක් පමණ නුදුරින් මෙය ඉදිකර තිබී ඇත. වික්‍රමශිලා විශ්වවිද්‍යාලයාධිපති වූ දීපංකර ශ්‍රී ඥාන ස්වාමීන්වහන්සේ මහායාන බුද්ධධර්මය හදාරා ඇත්තේ මෙම විශ්වවිද්‍යාලයෙනි. උන්වහන්සේ වික්‍රමශීලා විශ්විද්‍යාලයේ සේවය කොට ඇත්තේ ඉන් පසුව ය. දොළොස් දහසක් (12,000) පමණ පිරිසක් මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යයනය කටයුතුවල නිරත වූ බව ටිබෙට් වාර්තාවල සඳහන් වේ. ඕදන්තපුර විශ්වවිද්‍යාලය පිළිබදව  විස්තර අල්ප වී ඇති අතර මුස්ලිම් ආක්‍රමණයේ දී ඕදන්තපුර අධ්‍යාපන ආයතනය ද විනාශ විය.
යථෝක්ත විශ්වවිද්‍යාල පද්ධතිය ඉතා විශිෂ්ට අධ්‍යාපන පටිපාටියකින් යුක්ත වී ඇත. මනා ව සංවිධානය කරන ලද පරිපාලනයකින් හා පුළුල් විෂය මාලාවකින් ද යුක්ත වී ඇත. මෙහි අධ්‍යයනයන් හා අධ්‍යාපනය අතිශයින් ශාස්ත්‍රීය මෙන් ම ගැඹුරු වූ බව මෙයින් අවබෝධ කර ගත හැකිය. මේ ආයතන සියල්ල දේශීය හා විදේශීය ශිෂ්‍යයන් සඳහා විවෘත ව පැවති අතර ඉහළ ම මට්ටමේ  විශ්වවිද්‍යාල වූ බවට විශ්වාස කළ හැක. ඉතා ප්‍රකට ආචාර්යවරුන් වන නාගර්ජුන, ආර්යදේව, ශාන්තරක්ෂිත, කමලශීල, චන්ද්‍රකීර්ති, ධර්මකීර්ති, දින්නාග, අසංග, වසුබන්ධු, ආදීන් විසින් රචිත ධර්මශාස්ත්‍රීය ග්‍රන්ථ සමුහය මීට අගනා නිදර්ශනයෝ යි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මුලික කාර්යය ඉගැන්වීම් වන අතර ද්විතීය හා විශිෂ්ට කාර්යය වන්නේ ශාස්ත්‍රීය වූත් විචාරාත්මක වූත් පර්යේෂණ ග්‍රන්ථ සම්පාදනය කිරිම ය. අද වුව ද මෙය පිළිගත් සත්‍යයකි. ඒ අනුව සලකා බලන කල ඉහත සඳහන් විශ්වවිද්‍යාලවල ඉගැන්වූ ආචාර්යවරුන් විසින් ලියූ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ සිය ගණනක් නොව දහස් ගණනකි. විවිධ භාෂාවන්ට  පරිවර්තනය කිරීම මගින් ද මේවා බෙදා හැර ඇත. කවර මිණුම් දණ්ඩකින් සලකා බැලුව ද භාරතයේ පැවති උසස් අධ්‍යාපන ආයතන වර්තමාන අර්ථයෙන් වුවද  විශ්වවිද්‍යාල ලෙස පිළිගත හැකි ය.

No comments:

Post a Comment