Thursday 10 December 2020

දෙවන ලෝක යුද්ධය අවස්ථාවේදී අග්නිදිග ආසියාවට එල්ල වූ ජපන් ආක්‍රමණ පිළිබඳ කෙටි විමසීමක්

 



 19වන සියවසේ අඟ බාගය පමණ වන තෙක් ම ජපානය බටහිර ජාතීන්ට විවෘත නොවීය. මෙය බටහිර රටවලට නුරුස්සනා කාරණයක් වූ අතර අවසානයේ පැසිෆික් සාගරයේ ප්‍රබලයන් ‍ලෙස වර්ධනය වූ ඇමෙරිකාවේ බල පෑම යටතේ තම හුදකලා භාවය අත හැර දැමීමට ජපානයට සිදුවිය. ඒ අනුව 1853 ජූලි මස 8 දා ඇමරිකානු ජනාධිපති වූ ෆිල්මොර්ගේ ලිපියක් රැගෙන, කොමදෝරු පෙරී ජපානයේ උරගා අසල යොකොහමා වරායට පැමිණ, එම ලිපියට සතුටුදායක පිළිතුරක් ලබා ගැනීමට නැවත පැමිණෙන බව දන්වන ලදි. එමගින් ජපාන ජනතාව හා රජය බිය ගැන්වීමට ඇමරිකානුවන්ට හැකි විය. එම ලිපියට අනුව ජපානය සහ ඇමරිකාව අතර වෙළඳ ගිවිසුමක් අති කර ගැනීමට බලපෑම් සහිත යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එයට කැමති වීමට ජපානයට සිදු විය. පෙරීගේ පැමිණි ම ජපානය තුළ දිගු කාලීන ප්‍රතිඵල ඇති කිරීමට සමත් වූ බව ජපාන ඉතිහාසය අධ්‍යනයේ දී පෙනී යයි.

මෙම ගිවිසුම් හේතුවෙන් විදේශිකයන්ට රට තුළ පදිංචි වීමට ද, නිදහසේ රට තුළ සංචාරය කිරීමට ද, නිදහස් වෙළඳ කටයුතු කිරීමට ද ඉඩප්‍රස්ථාව ඇති විය. රට අනවශ්‍ය ලෙස බටහිර ග්‍රහණයට ලක් වෙන බව දුටු ජපාන ජනතාව රටේ පාලන බලය ඉසිලූ ෂෝගුන්වරුට විරුද්ධව පෙළ ගැසුණු අතර ඒ හමුවේ ෂෝගුන්වරුගේ බලය බිඳ වැටී මෙයිජිවරුන්ට බලය ලැබෙන ලදි. මෙය මෙයිජි විප්ලවය නැතහොත් මෙයිජි පුනරුත්තාපනය ලෙස හඳුන්වනු ලැබේ. 

මෙයිජිවරු සාම්ප්‍රදායික ජපාන සමාජයේ තිබූ දුර්වලතා අවබෝධ කර ගත් අතර බටහිර රටවල තිබෙන්නා වූ දියුණුව ලබා ගැනීමේ අදහසින් රට තුළ දේශපාලන, ආර්ථික හා සමාජීය ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරන ලදි. තම අධිරාජ්‍යයාගේ පූර්ණ අධිකාරි බලය පවරා ගත් මෙයිජිවරු ජපානය නවීකරණය කරන ලදි. සුළු වෙනස්කම් කීපයකින් පසුව පූර්ණ අධිකාරි බලය අධිරාජ්‍යයා වෙත පැවරුණු බටහිර දේශපාලන ක්‍රමයට සමාන (එංගලන්තයේ ආණ්ඩුක්‍රමයට) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1889දී සම්මත කරන ලදි.

    බටහිර යුරෝපා රටවල දියුණුව රඳා ඇත්තේ එම රටවල් සතු විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව මත බව තේරුම් ගත් මෙයිජිවරු ජපාන සිසුන්ට බටහිර රටවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දී එම රටවල දැනුම ජපානය තුළට ගෙන ඒම කටයුතු කළ අතර විදේශීය කාර්මිකයන් හා විද්‍යාඥයන් ද ජපානයට ගෙන්වමින් දැනුම ලබා ගන්නා ලදි. තවද බටහිර රටවල ආදර්ශයන් හා තාක්ෂණය ලබාගෙන ජපාන හමුදාව ද නවීන යුධ උපකරණවලින් සමන්විත හමුදාවක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදි. මේ හේතුවෙන් 20 වන සියවස ආරම්භ වන විට ලෝක බලවතෙකු ලෙස ජපානය පිළිගැනීමට බ්‍රිතාන්‍ය හා ඇමරිකාව ඉදිරිපත් වූ අතර 1902දී ඇති කරගත් ආංගල-ජපන් ගිවිසුම මගින් එය ස්ථීර විය. තම රට කෙතරම් බටහිර කරණයට ලක් කරමින් නවීනත්වයට පත් කළ ද තම දේශීය අනන්‍ය තා තව දුරටත් ආරක්‍ෂා කර ගැනීමට ද මෙයිජවරු උනන්දු විය. 

    ජපානය නවීකරණය කිරීමෙන් අනතුරුව සෙසු බටහිර බලවතුන් මෙන් අධිරාජ්‍යයක් ඇති කිරීමේ අශාවක් ද ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1938දී කොරියාව අක්‍රමණය කරමින් චීනයට ද, මැන්චූරියාව හා සයිබීරියානු දේශසීමා ආක්‍රමණය කරමින් රුසියාවට ද තම ප්‍රබලත්වය පෙන්නුම් කිරීමට ජපානයට හැකි විය. මේ අතර අග්නිදිග ආසියානු ප්‍රදේශවල පැවති යුරෝපීය යටත් විජිතවල තත්වය ක්‍රමයෙන් අයහපත් අතට හැරෙමින් පැවතිණ. ඒ අනුව ප්‍රංශයන් සතු වූ ඉන්දු චීන ප්‍රදේශයේ, බ්‍රිතාන්‍යයන් සතු වූ ඉන්දියාවේ, බුරුමයේ හා මලයානු ප්‍රදේශවල, ලන්දේසීන් සතු වූ කුළුබඩු දූපත්වල, ස්පාඤ්ඤය සතු ව තිබී පසුව ඇමරිකාවට අයත් වූ පිලිපීන දූපත්වල හා චීනයේ ඉතා ප්‍රබල ස්වදේශීය අරගල හට ගෙන තිබූ අතර ඒ හේතුවෙන් ම යුරෝපීය යටත් විජිතවල බලය අභියෝගයකට ලක් වී තිබුණි. මේ හේතුවෙන් 1938 සැප්තැම්බර් මාසයේ මියුනික්හි දී ඇති කර ගත් සම්මුතියත් සමග බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ දුර්වලතාව ජපානයට හොඳින් අවබෝධ විය. ඒත් සමඟ අග්නිදිග ආසියාවේ, ජපාන ප්‍රතික්‍රියා ප්‍රබලව ආරම්භ කිරීමට කාලය එළඹ ඇති බව ඔවුන්ට අවබෝධ විය. 

    ඒ අනුව මියුනික් සම්මුතිය ඇති වී මාසයකට පමණ පසුව චීනයේ කැන්ටන් නගර ජපානය විසින් අල්ලාගත් අතර බ්‍රිතාන්‍ය සතු වූ හොංකොං අල්ලා ගැනීම සඳහා එම ප්‍රදේශ ගොඩබිමින් වට කරන ලදි. එමගින් චීනයේ දකුණු දිග ප්‍රදේශ හා දකුණු චීන මුහුදේ වූ යුද්ධෝපායික මර්මස්ථාන ආක්‍රමණය කිරීමේ ජපාන කටයුතු ද ආරම්භ විය. අග්නිදිග ආසියාවේ මර්මස්ථානයක පිහිටා තිබූ සිංගප්පූරුවට ආසන්න ම ජපාන නාවික මධ්‍යස්ථානය වූවේ ‍ෆෝමෝසාවයි. නමුත් එය ඉතා දුරින් පිහිටා තිබීම හේතුවෙන් ඊට වඩා සිංගප්පූරුවට ආසන්න තවත් නාවික මධ්‍යස්ථානයක අවශ්‍යතාව ජපානයට ඇති විය. ඒ අනුව ප්‍රංශ ඉන්දු - චීන වෙරළට ආසන්නව පිහිටි හයිනාන් දූපත 1939 පෙබරවාරි මස 10 වනදා අල්ලා ගත් අතර එමගින් සිංගප්පූරුවට 2092km දක්වා ආසන්න වීමට ජපානයට හැකි විය. ස්ප්‍රැට්ලි ඇතුළු සිනන් දූපත් එම වසරේ ම මාර්තු 30 වනදා අල්ලා ගැනීමත් සමග සිංගප්පූරුවට ඇති දුර තවත් 1127km අඩු විය. 

    අනතුරුව ජපානයේ මූලීක අවධානය යොමු වූවේ ඉන්දු-චීනය දෙසට ය. ඒ අනුව චීනයත්, ප්‍රංශ ඉන්දු-චීනයත් අතර ගමනාගමන සම්බන්ධතා තිබූ ක්වාංසි ප්‍රාන්තයට ජපානය විසින් ඉතා තදබල ප්‍රහාර එල්ල කරන ලදි. තවද චීනයට මුහුදට ප්‍රවිෂ්ට වීමට තිබූ එක ම මාර්ගයන් වූ බුරුම මාර්ගය හා හැනොයි-කුන්මිං දුම්රිය මාර්ගයටත් ජපාන ගුවන් ප්‍රහාර එල්ල විය. 1940 අප්‍රේල් 09 වනදා හිට්ලර් විසින් බ්ලිට්ස්ක්‍රීග් ආක්‍රමණය ආරම්භ කිරීමත් සමඟ ජපාන විදේශ ඇමතිවරයා වූ අරීටා විසින් ජර්මනිය ජයග්‍රහණය කළ හොත් ප්‍රංශ-ඉන්දු චීනයට හා ලන්දේසි ‍යටතේ තිබූ කුළුබඩු දිවයින් කෙරෙහි ජපානය දැක්වූ ආක්‍රමණකාරී අරමුණු ප්‍රකාශ කරන ලදි. ඇමරිකාවේ රාජ්‍ය ලේකම් වූ කොඩෙල් හල් මීට තද බල ලෙස විරෝධය පල කරමින් ජපානයට අනතුරු හැගවූවත්, ප්‍රංශයට හා නෙදර්ලන්තයට, ජපානයට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් යුද ශක්තියක් අග්නිදිග ආසියාව තුළ නොවීය. 

    ජපානය විසින් 1940 අගෝස්තු මාසයේ දී ප්‍රංශ ඉන්දු-චීන ප්‍රදේශය සම්බන්ධයෙන් විශේෂ වරදානයක් ඉල්ලා සිටි අතර ජර්මනියේ බලපෑම මත විචී රජය විසින් යුද්ධ හමුදා ප්‍රවාහණයට ඉන්දු-චීන වරායන් හා ගුවන් තොටුපලවල් ජපානය වෙනුවෙන් විවෘත කිරීමට එකඟ විය. තවද 1940 සැප්තැම්බර් මාසයේ දී එම ප්‍රදේශවල සිට දකුණට වූ හැනෝයි දක්වා වූ ඉන්දු චීනයේ උතුරු කොටස ද 1893දී ඇති වූ පක්නම් සිද්ධිය හේතුවෙන් සියමට අහිමි වූ ප්‍රදේශ වන බැටම්බෑං හා සියම්රීයප් යන කාම්බෝජ ප්‍රදේශ ද මීකොන් නදියෙන් බටහිර ඉවුරෙහි වූ ලාඕස් ප්‍රදේශ ද ජපානයට පවරා දීමට ද විචී රජයට සිදු විය. එම මාසයේ දී ම ඇමරිකාවට අනතුරු ඇඟවීමේ අරමුණින් යුරෝපා සංග්‍රාමයේ අක්ෂ බලවතුන් සමඟ ගිවිසුමකට ද ජපානය අත්සන් කරන ලදි. මේත් සමඟ ඇමරිකාව ද අනාගත යුද්ධයක් සඳහා සුදානම් වන්නට විය. ජර්මනිය විසින් 1941 දී තම ප්‍රබලතම ප්‍රහාරය වූ බාර්බරෝසා ප්‍රහාරය රුසියාවට එරෙහිව දියත් කල අතර ජර්මනියේ ක්‍ෂණික ජයග්‍රහණ හමුවේ උද්දාමයට පත් ජපානය ද 1941 ජූලි මාසයේ දී සමස්ත ඉන්දු-චීනය ම ආක්‍රමණය කරමින් යටත් කර ගන්නා ලදි.   

    ජපාන ව්‍යාප්තවාදයට ඇති වූ ප්‍රබලතම අභියෝගය වූවේ ඇමරිකාවේ බලපෑමයි. අග්නිදිග ආසියාවේ බලවතා වීමේ අපේක්‍ෂාවෙන් සිටි ජපානයට, එම ප්‍රදේශවල තිබූ පෘතුගීසි, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා නෙදර්ලන්ත ආධිපත්‍ය අභියෝගයට ලක් වීමත් සමග තම බලය පැතිර වීම සඳහා විශාල අවකාශයක් නිර්මාණය වී තිබුණි.  නමුත් ඒ වන විට පිලිපීනය හා නැගෙනහිර ඉන්දීය දූපත්වල ඇමරිකානු බලය වර්ධනය වී තිබීම හේතුවෙන් ජපාන ව්‍යාප්තිය සීමා වී පැවතිණ. ඇමරිකාව ඒ වන විටත් ජපානයට විරුද්ධව තෙල් සම්බාධක පනවා තිබුණි. තවද ජපානයේ ප්‍රවේගකාරී ව්‍යාප්තවාදයට එරෙහිව ඇමරිකාව විසින් චීන-ජපන් යුද්ධයේ දී චීනයට ආධාර ලබා දෙන ලදි. අර්බුදයට රාජතාන්ත්‍රික විසඳුමක් ලබා දීමට දැරූ උත්සහයට ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට්ගේ දරදඬු ස්ථාවරය බාධාවක් විය. කෙසේ වෙතත් අත්ලාන්තික් සාගරයේ මෙන් නොව පැසිෆික් සාගරයේ දී ඇමරිකාවේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය තමාට එරෙහි නොවනු ඇති බවට ජපානය මුලදී උපකල්පනය කරන ලදි. 1941 නොවැම්බර් වන විට ජපානයේ තෙල් සැපයුම භයානක ලෙස අඩු වෙමින් පැවතිණ. ඒ අනුව ලන්දේසි නැගෙනහිර ඉන්දීය දූපත්වල තිබූ තෙල් බිම් යටත් කර ගැනීම ජපානයට තිබූ එක ම විකල්පය විය. එහෙත් ඇමරිකාව තමන්ට එරෙහිව යුද ප්‍රකාශ කරනු ඇති බවට පැවති බියත්, යුද්ධයක් ඇති වීම කිසි සේත් වළක්වාගත නොහැකි බවට පසක් වීමත් හේතුවෙන් ජපානය ඇමරිකාවට විරුද්ධව යුද්ධ කිරීමට තීරණය කරන ලදි.

    ඒ අනුව තම ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙන ගිය ජපානය II වන ලෝක යුද්ධයට ද සම්බන්ධ වන ලදි. ඒ හේතුවෙන් 1941 දෙසැම්බර් 07 වන දා වන විට හිට්ලර් විසින් ආරම්භ කරන ලද යුරෝපා සංග්‍රාමය ලෝක යුද්ධයක් බවට පත් විය. එදින පෙරවරු 08 ට පමණ ජපාන ප්‍රහාරක ගුවන් යානා 200ක් පමණ හවායිහි ඇමරිකානු නාවික හමුදා කඳවුර පිහිටි පර්ල් වරායට පහර දෙන ලදි. එම ප්‍රහාරයත් සමඟ ලොව කාර්මික බලවතා වූ ඇමරිකාව ජපානයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් දෙවන ලෝක මහා සංග්‍රාමයට අවතීර්ණ වූ අතර වොෂිංටනය අනුව යමින් බ්‍රිතාන්‍යය ද ජපානයට විරුද්ධව යුධ ප්‍රකාශ කරන ලදි. දින තුනකට පසුව ජර්මනිය හා ඉතාලිය ද 1936දී ඇති කරන්නා ලද කොමින්ටන් වි‍රෝධී සම්මුතිය අනුව තම මිතුරා වූ ජපානයේ සහයට ඉදිරිපත් වෙමින් ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කරන ලදි. 

    පර්ල් වරාය ආක්‍රමණය කිරීමෙන් පසු ජපාන හමුදා විසින් තායිලන්තය ආක්‍රමණය කළ අතර සුළු විරෝධතාවකින් පසු ප්යිබන්ගේ රජය අසරණ ව යටත් විය. 1941 දෙසැම්බර වන විට ඇමරිකානු යුධ කඳවුරු වූ ගුවාමි හ වේක් ද නත්තල් දිනයේ දී හොංකොංහි බ්‍රිතාන්‍ය ජනාවාසය ද ජපානයට යටත් විය. අනතුරුව ජපානය විසින් ඇමරිකාව සතු වූ පිලිපීන දූපත් ද ආක්‍රමණය කරන ලදි. පිලිපීනයේ ඇමරිකානු හමුදා හා පිලිපීන හමුදා බැටන් අර්ධද්වීපයට පසුබස්වන ලද අතර සෙසු හමුදා සේනාංක මැනිලා බොක්කේ කොරෙගිඩෝවේ සටන් කරමින් රැදී සිටියහ. 1942 අප්‍රේල් 09 දා වන විට බැටාං ප්‍රදේශවල ද ජපාන ආධිපත්‍ය ස්ථාවර විය.

    1941 දෙසැම්බර් 10 වන දින උතුරු මලයාවට එල්ල විය හැකි ජපන් ආක්‍රමණ වළක්වනු වස් සිංගප්පූරුවේ සිට මලයාව බලා යාත්‍රා කළ බ්‍රිතාන්‍යයට අයත් විශාලතම යුධ නෞකා දෙකක් වන රීපල්ස් හා ප්‍රින්ස් ඔ‍ෆ් වේල්ස් යන යුධ නෞකා ජපාන ප්‍රහාරක යානා විසින් විනාශ කර දමන ලදි. පර්ල් වරායට පහර දීමෙන් අනතුරුව මලයාව, හොංකොං, තායිලන්තය හා පිලිපීනය ආශ්‍රිත යුද ජයග්‍රහණවලින් ජපානය අග්නිදිග ආසියාවේ තම බලය තහවුරු කර ගැනීමට සමත් විය. ජපාන බලය හමුවේ අග්නිදිග ආසියාතික ප්‍රදේශවල විශාල ව්‍යසනයන්ද සිදු විය. තම යටතට පත් වූ මලයානු ප්‍රදේශවල ජපාන හමුදා විසින් ස්ත්‍රී දූෂණ විශාල වශයෙන් කරගෙන ගිය බව වික්ටර් පර්සල්ස් පවසයි. මලයාවේ හා සිංගප්පූරුවේ පැවති සෞඛ්‍යාරක්ෂණ කටයුතු ජපානය විසින් නෙසලකා හැරීම හේතුවෙන් මැලේරියාව හා වෙනත් රෝග ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී මරණයට පත් වන ජනතාවගේ ප්‍රමාණය ඉහල යන්නට ද විය. 

    මීළඟට ජපානයේ අවධානය යොමු වූවේ පැසිෆික් ප්‍රදේශ කෙරෙහි ය. 1942 ජනවාරි වන විට මැනිලා, ලන්දේසි නැගෙනහිර ඉන්දීය දූපත්, ක්වාලාලම්පූර් හා බ්‍රිතාන්‍ය බුරුමය ද ජපානය යටතට පත් විය. ඒ අනුව මාර්තු 07 වදා රැන්ගූන් අතහැර පසුබැසීමට බ්‍රිතාන්‍යයට සිදු විය. පසු බසින බ්‍රිතාන්‍ය හමුදාවට ආරක්ෂාව සැලසීම සඳහා චීන හා බ්‍රිතාන්‍ය හමුදා ඉරවඩි නදී තීරය ඔස්සේ ඉහලට සටන් කරන ලදි. බුරුමයෙහි දී බ්‍රිතාන්‍ය හා ඇමරිකානු සෙනවියෙකු වූ ස්ටිල්වෙල් විසින් මෙහෙය වූ චීන හමුදා ඒකාබද්ධ වී ජපානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උත්සහ කරන ලද මුත් ෂාන් කඳුකරය හරහා පැමිණි ජපාන හමුදා විසින් ලොයිලෙම්හිදී චීන හා බ්‍රිතාන්‍ය හමුදා පරාජයට පත් කරන ලදි. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය හමුදා වින්ඩ්වින් නදී තීරයේ ඉහළ මනිපූර් ප්‍රදේශයට පසු බසින ලද අතර ස්ටිල්වෙල්ගේ හමුදා සීසී කඩව විසිර යන ලදි. 1942 අප්‍රේල් මාසය අවසාන වන විට ඉරවඩි ගංගාව ආශ්‍රිත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජපානය යටතට පත් විය. බුරුමයේ ප්‍රධාන ගොඩ බිමින් ඉවත් වූ බ්‍රිතාන්‍ය හමුදා ඉන්දියන් දේශ සීමාව දක්වා ම පසු බසින ලදි. 

    කෙසේ වෙතත් ජපානයේ පුහුණුව ලැබූ ථාකින් පක්‍ෂයට අයත් ශිෂ්‍ය ජාතිවාදී පිරිසක් හැර අනෙකුත් බුරුම ජනයා ජපාන ආක්‍රමණිකයන්ට සහයෝගය ලබා නොදෙන ලදි. බුරුම නගර විශාල ප්‍රමාණයක් ජපාන ගුවන් ප්‍රහාර හේතුවෙන් විනාශ විය. බ්‍රිතාන්‍යය හමුදා පසු බසින විට ද සතුරාට ප්‍රයෝජන ගත නොහැකි ලෙස බුරුමයේ ඛනිජ තෙල් ආකර, ආකර උපකරණ හා ගංගාවල ප්‍රවාහන ක්‍රමවේදයන් විනාශ කර දමන ලදි. මේ හේතුවෙන් බුරුමයට සිදු වූ විනාශය අතිශයින් ම ප්‍රබල විය. බ්‍රිතාන්‍යය යටතේ බුරුමය පැවති කාලයේදී එරට සහල් අපනයනය ප්‍රධාන ආර්ථික ආදායම් මාර්ග වූ නමුත් ජපානය යටතේ එය විනාශ වී යන්නට විය. ඒ හේතුවෙන් යැපීමට පමණක් ගොවිතැන් කටයුතු සිදු වූ අතර දකුණු ප්‍රදේශවල සහල් නිෂ්පාදනයේ අතිරික්තයක් ඇති වන විට උතුරේ සාගත තත්වයන් ද ඇති විය. 

    බුරුමයේ සිටි බ්‍රිතාන්‍ය නිලධාරීන් ඉන්දියාවට පැන ගිය නමුත් දේශීය නිලධාරීන් තම තමන්ගේ නිලතලවල රඳවමින් පැවති පාලනය ම තමන්ට අවශ්‍ය පරිදි සුළු වෙනස්කම් කීපයක් පමණක් සිදු කොට ක්‍රියාත්මක කිරීමට ජපනුන් විසින් කටයුතු කරන ලදි. තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම හා සිවිල් පාලන සේවකයන් සමඟ කටයුතු කිරීමට දේශපාලන කොමිසාර්වරු පත් කරන ලදි. මලයාවේ හා ඉන්දුනීසියාවේ ජපන් යටත් ප්‍රදේශවල ද ක්‍රියාත්මක කරන ලද්දේ ද මෙම පිළිවෙතයි. නමුත් යුරෝපීය නිලධාරියන්ගේ පැන යාමත් සමඟ යටත් ප්‍රදේශවල ඇති වූ පරිපාලනයේ ඉහළ තනතුරු සඳහා වූ රික්තකය පිරවීම සඳහා පත් කරනු ලැබූවේ ප්‍රමාණවත් පුහුණුවක් නොමැති එදිරිවාදී බුරුමවරුන්, මැලේවරුන් හා ඉන්දුනීසියානුවන්ය. පරිපාලනය පිළිබඳව මෙන් ම ආර්ථිකය කළමනාකරණය පිළිබඳ කිසිදු දැනුමක් නොතිබූ මෙම පිරිස් හේතුවෙන් ජපාන යටත් විජිතවල පරිපාලනය ඉතා අවුල් සහගත තත්ත්වයක් ඉසිලූ අතර ආර්ථික තත්ත්වය ද පිරිහෙන්නට විය. යටත් ප්‍රදේශවල පොලිස් සේවාව කෙම්පිටායි සංවිධානයේ යටතට පත් කරන ලදි.  

    ජපානයේ ප්‍රවේගකාරී හැසිරීම හමුවේ මිත්‍ර හමුදා දැඩි පීඩනයකට ලක් විය. මලයාවේ රඳවනු ලැබ සිටි බ්‍රිතාන්‍ය හමුදා සිංගප්පූරුවට රැගෙන එනු ලැබීය. නමුත් ප්‍රබල ප්‍රහාර හමුවේ සිංගප්පූරුව, ජපානයට යටත් වූ අතර 80,000ක පමණ බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු වැසියෝ පිරිසක් අත්අඩංගුවට පත් වූහ. සිංගප්පූරුවේ දී යටත් වූ චීන පුරවැසියන් චීන අරමුදලට කිසියම් ආකාරයෙන් හෝ සම්බන්ධ වී සිටියේ නම් ඝාතනය කරනු ලැබූහ. 

    අග්නිදිග ආසියානු ප්‍රදේශ අතරින් ජපානයේ ප්‍රධානතම අවධානයක් යොමු වූවේ ඉන්දුනීසියාවේ පැවති ස්වාභාවික සම්පත් කෙරෙහිය. ඒ අනුව ජර්මනියේ විසින් නෙදර්ලන්තය යටත් කර ගැනීමෙන් පසු ජපානයට අවශ්‍ය පරිදි පෙරදිග ලන්දේසි කටයුතු පාලනය කිරීමේ අරමුණ ජපානය සතු විය. ඒ සඳහා ජපන් වෙළඳ හා කර්මාන්ත භාර ඇමති ඉචිසො කොබයාෂි 1940 සැප්තැම්බර් මාසයේ දී බතාවියට යන ලදි. ජපානයේ බලාපොරොත්තුව වූයේ ජර්මනියේ ප්‍රහාර හමුවේ බ්‍රිතාන්‍යය යටත්වීමෙන් පසු ලන්දේසින් සතු වූ ඉන්දුනීසියානු දූපත් ජපාන ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කර ගැනීමයි. නමුත් බලා පොරොත්තු වූ පරිදි බ්‍රිතාන්‍ය යටත් නොවූ අතර ජපානයේ අරමුණු ද ඉටු නොවීය. 1941 වන විට ද ලන්දේසීන්ගේ සහයෝගය ජපානයට හිමි නොවීය. ඒ හේතුවෙන් ඉන්දුනීසියාවේ ඛනිජ තෙල් කර්මාන්තය වෙනත් ජාතියකට අත් කර ගැනීම වැළැක්වීමටත්, තමාට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමටත් අනිවාර්යයෙන් ම නෙදර්ලන්තය සමඟ යුද කළ යුතු බවට ජපානයට පෙනී යන්නට විය. නෙදර්ලන්තය ද තම අධිරාජ්‍ය ජපානයට පැවරීමට සූදානම් නොවීය. කෙසේ වෙතත් ජපාන ආක්‍රමණවලට මුහුණ දීමට ලන්දේසීන් අපොහොසත් විය. 1942 පෙබරවාරි මස 26 වන දින ජාවා මුහුදේ සටනින් බ්‍රිතාන්‍ය හා ලන්දේසි හමුදා පරාජයට පත් විය. ඒ වන විට ජපානය කිසි සේත් පරාජය කළ නොහැකි සතුරෙකු බව මිත්‍ර හමුදා අවබෝධ කර ගන්නා ලදි.  ඉන්දුනීසියාව ජපානයේ යටතට පත් වීමත් සමග එම ප්‍රදේශ කොටස් 03 කට බෙදා පාලනය කරන ලදි. ඒ අනුව ජාවා හා සුමාත්‍රා ප්‍රදේශ හමුදා නායකයන් යටතේ ද, සෙසු ප්‍රදේශ ජපාන නාවික හමුදාව යටතේ ද පාලනය විය. රජය විසින් ප්‍රමාණය ඉක්මවා යමින් රට තුළ මුදල් අච්චු ගැසූ අතර ඒ හේතුවෙන් උද්ධමනය ද අධික විය. ආහාර හිඟය ඉතා ප්‍රබල වූ අතර සාමාන්‍ය ජනතාව ඉතා ප්‍රබල ලෙස ඉන් බැටකන්නට විය. 

    ආසියාව ආසියාතිකයන්ට යන ආදර්ශ පාඨය යටතේ ජපානය විසින් අග්නිදිග ආසියාවේ යුරෝපීය යටත් විජිත අත්පත් කර ගත් අතර එම ප්‍රදේශවල ව්‍යාප්ත ව පැවති යුරෝපීය සංස්කෘතියට දැඩි ලෙස පහර ගසන්නට ද විය. ඉන්දුනීසියාවේ දී ජපානය විසින් ගෙන ගිය ලද ත්‍රිත්ව ව්‍යාපාරය වූ ජපානය ආසියාවේ නායකයා, ජපානය ආසියාවේ ආරක්‍ෂකයා, ජපානය ආසියාවේ ආලෝකය යන සටන් පාඨ එතරම් සාර්ථක නොවීය. ජපානය විසින් යටත් කර ගත් ප්‍රදේශවල ගෙන ගිය ඉතා දරුණු පිළිවෙත් නිසා වැඩිකල් යන්නට පෙර අභ්‍යන්තර වශයෙන් ප්‍රබල විරෝධතා මතු විය. බුරුමයේ ඇති වූ නිලධාරීන්ගේ කැරැල්ල ඉතා දරුණු ලෙස මර්දනය කරන ලදි. මේ හේතුවෙන් කලකිරුණු බුරුම ථාකින් පක්ෂයේ විශාල පිරිසක් 1943න් පසු ජපාන විරෝධී රහස් සංවිධානවලට සම්බන්ධ විය. කොමියුනිස්ට්වරු ඉන් ප්‍රමුඛ වූ අතර ඉන්දු-චීනයේ හෝ චිං මිංගේ නායකත්වය යටතේ ව්‍යාප්ත වූ වියට් මිං ගරිල්ලා සංවිධානය ඒ අතරින් ප්‍රබල විය. මෙම අරගලයේ අවසාන කාලයේදී වියට් මිං සංවිධානයට ඇමරිකානු ආධාර ද හිමිවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු ටොංකින් ප්‍රදේශයෙන් ජපනුන් පලවා හැරීමට ද හැකි විය.

    ඉන්දුනීසියාවේ සිටි ජාතිකවාදී නායකයෝ කොටස් දෙකකට බෙදී එක් කොටසක් සුකර්තෝ හා හට්ටා යටතේ ව්‍යාජ සහයෝගයක් ජපනුන් වෙත දැක්වූ අතර ජපන් විරෝධී ස්වරූපයක් ඉසිලූ ස්ජාරීර් හා ස්ජාරිෆුද්දීන් යටතේ වූ අනෙක් කොටස සංවිධානය වී ජපාන සහයෝගී පිරිස් සමග රහසින් සම්බන්ධතා පවත්වන ලදි. 

    ජපානය ලැබූ වේගවත් ජයග්‍රහණ හමුවේ මුලින් බලාපොරොත්තු වූ ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රදේශයකට හිමිකම් කීමට ඔවුන්ට හැකි විය. ඒ අනුව ඉන්දියාව ආක්‍රමණය කිරීමට ද ජපානය උනන්දු වූ අතර ඒ සඳහා කටයුතු සංවිධානය කිරීම බුරුමය තුළ දී සිදු විය. ඉන්දීය ආක්‍රමණය සඳහා මලයාවේ දී බඳවා ගන්නා ලද ඉන්දීය ජාතිකයන්ගෙන් සැදුම් ලත් හමුදාවේ ඉල්ලීම වූ අනාගතයේ දී ඉන්දියාවට ස්වාධීනතාව ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ ගැට‍ළුවක් හේතුවෙන් මුහුදින් ගොස් බ්‍රිතාන්‍ය ඉන්දියාව ආක්‍රමණය කිරීමේ පළමු උත්සහය අසාර්ථක විය. ඉන්දියාව ආක්‍රමණය කිරීමේ දෙවන උත්සහය ජපනුන් විසින් ආරම්භ කරන ලද්දේ 1944 දී ය. එම වසරේ මාර්තු මාසයේ දී මනිපූර් හා ඇසෑම් යටත් කර ගැනීමට ජපානය උත්සහ කරන ලදි. නමුත් මාස කීපයක් තිස්සේ පැවති දරුණු සටන්වලින් අනතුරුව පරාජිත ව පසු බැසීමට ජපාන හමුදාවලට සිදු විය.

    තමාට අයත් වන පරාජයන් හමුවේ බිය වූ  ජපානය, තමා යටත් කර ගත් යුරෝපීය යටත් විජිතවලට ව්‍යාජ නිදහසක් ලබා දීමට කටයුතු කරන ලදි. එමඟින් එම ප්‍රදේශවල ස්වදේශික ජනයාගේ සහයෝගය ලබා ගැනීමට ජපානයේ අපේක්ෂාව විය. ඒ අනුව ටෝකියෝවේ ඇමතිවරයෙකු වූ ආචාර්ය ගොතාරා ඔගවාගේ අධීක්ෂණය යටතේ 1943 අගෝස්තු 01 වනදා බා මෝ නම් ජනාධිපතිවරයෙක් පත් කොට බුරුමයට ව්‍යාජ ස්වාධීනතාවක් ජපානය විසින් ලබා දෙන ලදි.

    සුකර්තෝගේ නායකත්වයෙන් හා මොහොමඩ් හට්ටා උප නායකයා ලෙසිනුත් යුත් උපදේශක මණ්ඩලයක් ජාවාහී පිහිටුවනු ලැබීය. එම මණ්ඩලයේ අරමුණ වූයේ ජපානය වෙනුවෙන් ඉන්දුනීසියානු ජනතාවට ජපාන ප්‍රතිපත්ති අර්ථ දැක්වීම පමණි. සිංගප්පූරුවේ ද මලයානු උපදේශක මණ්ඩලයක් පිහිටුවනු ලැබීය.

    පෙර සඳහන් කළ ආකාරයට ජපානය විසින් තමන් අපේක්‍ෂා කළ ප්‍රමාණයටත් වඩා ප්‍රදේශ අල්ලා ගැනීම තම අධිරාජ්‍යයේ ශක්තිය දුර්වල කිරීමට ද ඉඩ විවර කරන ලද්දක් විය. 1942 මැයි මස 4-7 දක්වා පැවති කොරල් මුහුදේ සටනින් ඇමරිකාව හමුවේ ජපානය පරාජයට පත් විය. සටනේ දී දෙපාර්ශවයට ම ඉතා ප්‍රබල අලාබ හානිවලට මුහුණ දීමට සිදු වුවද ජපානයට ආපසු යාමට සිදු වූවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ද අහිමිවය. ඉන් මාසයකට පසුව මිඩ්වේහී දී ඇති වූ සටනින් ජපානයට තවත් ගුවන් යානා ප්‍රවාහණ නෞකා 04ක් අහිමි විය. ජපානයේ සංග්‍රාම ශක්තිය බෙහෙවින් දුර්වල වීමට එය හේතුවක් විය. 1943 පෙබරවාරි මාසයේ දී ගොඩාල්කැනෑල් දූපත ද ඇමරිකානු හමුදා අතට පත් විය. අග්නිදිග ආසියාවේ සහ පැසිෆික් සාගරයේ ජපානයේ ඉදිරි ගමන වළකාලීමට මේ පරාජයන් හේතු විය.    

    යුරෝපයෙන් ආරම්භ වූ දෙවන ලෝක සංග්‍රාමය 1945 මැයි මස 09 වන දා ජර්මනියේ යටත් වීමත් සමඟ යුරෝපය තුළ අවසන් වුවත් එය ආසියාවේ දී තවදුරටත් කෙරීගෙන යන්නට විය. මිත්‍ර හමුදා 1945 වසරේ මුල සිට ම ජපානය ආක්‍රමණය කිරීමේ සූදානමක පසු විය. එවැනි මෙහෙයුමක දී සිදු විය හැකි ජීවිත හානි සම්බන්ධයෙන් ඔවුනට බියක් ද පැවතුණි. රූස්වෙල්ට් අප්‍රේල් මාසයේ 04 වනදා අභාවප්‍රාප්ත වීමෙන් පසු බලයට පත් හැරී ටෲමන් ඈත පෙරදිග යුද්ධය ජයගැනීමට සැලසුම් සකස් කරමින් සිටින්නට විය. 1945 ජූලි මාසය පමණ වන විට ඇමරිකාව විසින් තම ප්‍රථම න්‍යෂ්ටික බෝම්බය සාර්ථකව අත්හදා බලා තිබුණි. එම විනාශකාරී බෝම්බය පැසිෆික් සංග්‍රාම භූමියේ දී යොදා ගැනීමේ අරමුණ ද ඇමරිකාව සතු විය. ජපානයේ ප්‍රධාන ගොඩබිම් ආක්‍රමණය කිරීමට යාමෙන් ඇමරිකාවට විශාල වන්දියක් ගෙවීමට සිදු විය හැකි බව ඔවුන්ගේ උපකල්පනය විය. ඒ වන විට යුරෝපයේ ජනයා යුද ජයග්‍රහණයේ සතුට සමරමින් සිටි අතර මිත්‍ර හමුදා ඒ වන විටත් දැඩි වෙහෙසකට පත් වී සිටියහ. ඊට අමතරව සෝවියට් සංගමය ද ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කරමින් ඇය සතු වූ භූමි ප්‍රමාණය ක්‍රමයෙන් අල්ලා ගන්නට විය. ස්ටාලින්ගේ බලපෑමෙන් කලාපය බේරා ගැනීමේ අරමුණ ටෲමන්ට තිබූ අතර ඒ සඳහා ක්ෂණික පියවරක් වන්නේ ජපානයට පරමාණු බෝම්බ හෙළීම බව ඔහුට අවබෝධ විය. ඒ අනුව 1945 අගෝස්තු 06වන දින හිරෝෂිමාවටත් අගෝස්තු 9වන දින නාගසාකියටත් ඇමරිකාව විසින් පරමාණු බෝම්බ හෙළන ලද අතර සිදු වූ ව්‍යසනය හේතුවෙන් අගෝස්තු මස 15වන දින හිරෝහිතෝ අධිරාජ්‍යයා ජපානය කොන්දේසි විරහිතව යටත් වන බව නිවේදනය කලේ ය. ඒත් සමඟ ජපානය සතු වූ  අග්නිදිග ආසියාවේ යටත්විජිත අතහැර දැමීමට ජපානයට සිදු වූ අතර නැවත එම ප්‍රදේශ බටහිර බලවතුන්ගේ යටතට පත් විය. 



No comments:

Post a Comment