1. හැඳින්වීම.
2. බ්‍රිතාන්‍යන්ගේ අවධානය මලයානු ප්‍රදේශ කෙරෙහි යොමු වීම.
3. පළමුවරට මලයානු ප්‍රදේශවල බ්‍රිතාන්‍ය ජනාවාස පිහිටුවීම.
4. මලයානු ප්‍රදේශවල සාර්ථක ම බ්‍රිතාන්‍ය ජනපදයක් ලෙස සිංගප්පූරුව වර්ධනය වීම.
5. මලයානු ප්‍රදේශවල අභ්‍යන්තරයට මැදිහත් වීමට බ්‍රිතාන්‍යයන් පෙළඹ වූ හේතු.
6. මලයානු ප්‍රදේශවල පරිපාලනය හැඩගැසීම.
7. බ්‍රිතාන්‍ය මලයාවේ ආර්ථිකය සකස් වීම.
8. සමාලෝචනය
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.
1. හැඳින්වීම.
වන සියවස අග භාගය පමණ වන විට ඉංග්‍රීසි බලය ඉන්දියාවේ බොම්බාය කේන්ද්‍ර කොට බටහිර වෙරළෙහි ශක්තිමත්ව ස්ථාපිත වී තිබූ නමුත් නැගෙනහිර වෙරළ සම්බන්ධයෙන් එසේ සතුටු විය නොහැකි තත්වයක් තිබුණි. මන්ද යත් ඒ වන විට එම ප්‍රදේශවල ප්‍රංශ බලපෑම සැලකිය යුතු මට්ටමක පැවතීමයි. මදුරාසිය කේන්ද්‍ර කොට ගනිමින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ (කොරමැණ්ඩල් වෙරළ) වූ ඉංග්‍රීසි නාවික මධ්‍යස්ථානය මේ හේතුවෙන් විශාල අභියෝගයකට ලක් විය.
කෙසේ වෙතත් මේ කාලය වන විට ඉංග්‍රීසීන්ගේ වෙළඳ සබඳතා චීනය දක්වා විහිදී තිබූ අතර එම වෙළඳ මාර්ග අග්නිදිග ආසියාවේ ප්‍රදේශ හරහා සිදු කිරීම අනිවාර්යයෙන් ම කළ යුත්තක් විය. එහි දී ගමන් කළ යුතු දුර ප්‍රමාණය අධික වූවෙන් අනිවාර්යයෙන් ම අතර මැදි ස්ථානයක ඉංග්‍රීසි මධ්‍යස්ථානයක් තිබීම අත්‍යවශ්‍ය ම විය. විශේෂයෙන් ම 1687න් පසු වර්ධනය වූ වෙළදාම හමුවේ බෙංගාල බොක්කේ නැගෙනහිර ප්‍රදේශයේ නාවික මධ්‍යස්ථානයක අවශ්‍යතාවක් ක්‍රමයෙන් ඉංග්‍රීසීන්ට දැනෙන්නට විය. ප්‍රදේශ කීපයකට ම අවධානය යොමු කිරීමෙන් පසු ව ඉතා සාර්ථක ම ස්ථානය ලෙස බුරුමයට හා සියමට පහළිනුත්, සුමාත්‍රාවට ඉහළිනුත් පිහිටි මලයානු ප්‍රදේශවල තම මධ්‍යස්ථානය පිහිටුවීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කරන ලදි. දකුණු ආසියාවේ පිහිටි ඉංග්‍රීසි වෙළඳ මධ්‍යස්ථානවල සිට චීනය දක්වා යාත්‍රා කිරීමේ දී මලයාවට දකුණින් පිහිටි මලක්කා සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම අනිවාර්ය වීම හේතුවෙන් මලයා අර්ධද්වීපය අල්ලා ගැනීම බ්‍රිතාන්‍යයන්ට ඉතාමත් වාසි සහගත විය. මන්ද යත් 18 වන සියවස ආරම්භ වන විට මලක්කාව වැදගත් කමින් දෙවනි වූයේ බතාවියාවට පමණක් වීමයි.
මෙම පැවරුම මගින් මලයාවේ පසුබිම, මලයාවේ පිහිටීමේ වැදගත්කම, මලයාවට බ්‍රිතාන්‍යන්ගේ අවධානය යොමු වීමට හේතු, මලයාව බ්‍රිතාන්‍යන් යටතේ දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් සකස් වූ ආකාරය හා අවසාන වශයෙන් යටත් විජිත ග්‍රහණයට ලක් ව තිබී පසුව නිදහස ලබා ගන්නා විට එම ප්‍රදේශ සංවර්ධනය වූ රාජ්‍යයන් බවට පත් වීමත්, ඒ ආකාරයේ පසුබිමක් යටතේ ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් වී ඇති ආකාරයත් හා එයට හේතු වී ඇති කරුණුත් පිළිබඳව කෙටියෙන් ද අවධානය යොමු කර ඇත.
2. බ්‍රිතාන්‍යන්ගේ අවධානය මලයානු ප්‍රදේශ කෙරෙහි යොමු වීම.
18 වන සියවසේ දී බෙන්කුලන්හි හැරුණු විට අග්නිදිග ආසියාවේ වෙනත් ස්ථානයක ද ස්ථිර වාසස්ථානයක් පිහිටු වීමේ උත්සහයක ඉංග්‍රීසි සමාගම නිරත වෙන ලදි. පසුව මෙකොං නදියට බටහිරින් වූ පුලෝ කොන්ඩෝර් නම් දිවයින 1702දී අල්ලා ගැනීමට ඉංග්‍රීසීන් උත්සහ කරනු ලැබූවත් එය අසාර්ථක විය. ඉංග්‍රීසීන් විසින් සුලුහි බුගිස් සුල්තාන්වරයා සමග සම්බන්ධතා ඇති කර ගැනීම හා ඔහුගේ විජිතයේ වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීම සඳහා ඇලෙක්සැන්ඩර් ඩැල්රිම්පල් නැමැත්තා කඩ්ඩලෝර් නෞකාවෙන් පිටත් කර හරින ලදි. 1761 දී ඔහු සුල්තාන්වරයා හා එහි වෙළඳ ව්‍යාපාරිකයන් සමඟ ගිවිසුම් කීපයකට එළඹ ගත් අතර ඒ සඳහා ඔහු නැවත වතාවක් එම ප්‍රදේශවලට සංචාරය කළ යුතු විය. ඒ අනුව ඔහු විසින් 1762 දී කරන ලද දෙවන සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මලයා කොදෙව් රැසේ පිහිටි බලම්බන්ගන් නම් දිවයින, වෙළඳාම සඳහා සමාගමේ මූලස්ථානය පිහිටුවීමට යෝග්‍ය බව නිර්දේශ කරන ලදි. ඒ අනුව 1782 දී සුලුහි සුල්තාන්වරයා සමග ගිවිසුමකට එළඹීමෙන් පසු එම දිවයින ඉංග්‍රීසි සමාගමේ යටතට පවරා ගන්නා ලදි. නමුත් සුලු ජාතික මුහුදු මංකොල්ල කරුවන්ගේ පහර දීම හමුවේ එම දිවයින අතහැර දැමීමට ඉංග්‍රීසීන්ට සිදු විය. 1786 දී ඉංග්‍රීසීන් මලයා අර්ධද්වීපයට අයත් පිනැංගුව අල්ලා ගනු ලැබූවත් එය ද සුළු නාවික උපාය මාර්ගවලට පමණක් සීමා විය.
මුල් කාලයේදී මලයාවේ බලය ව්‍යාප්ත කිරීමට ඉංග්‍රීසි සමාගම උනන්දු නොවීය. එයට ප්‍රධානතම හේතුව වූයේ එකල බ්‍රිතාන්‍ය අගමැති වූ විලියම් පීට් විසින් 1784 දී සම්මත කරන ලැබූ ඉන්දියා පනත මගින් මැදිහත් නො වීමේ මූලධර්මය දැඩි ව අවධාරණය කර තිබීමයි. නමුත් ඇමරිකන් විප්ලවයෙන් පසු ඉංග්‍රීසීන්ට ඇමරිකාවේ ජනපද අහිමි වීම හේතුවෙන් තම සම්පූර්ණ ශක්තිය හා අවධානය ඉන්දියන් සාගරය වෙත යොමු කිරීමට හැකි විය. ඒ වන විට ඉන්දියාව හා චීනය අතර වෙළඳාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබූ අතර මලයාවේ හා ඉන්දුනීසියාවේ වූ ලන්දේසි බලය ද සැලකිය යුතු ලෙස දුර්වල වෙමින් පැවතුණි.
නමුත් මේ වන විට ඉන්දියාවේ බලය සම්බන්ධයෙන් ප්‍රංශය හා ඉංග්‍රීසීන් අතර ගැටුම් ආරම්භ වී පැවති අතර ඉංග්‍රීසීන්ට තම මව් රටෙන් රන් හා රිදී මුදල් වශයෙන් හුවමාරු කිරීම සම්බන්ධයෙන් ගැටලු ද මතු වී තිබුණි. ඉන්දියාවේ ඉංග්‍රීසි සමාගම සතු වූ ප්‍රදේශවලින් ලබා ගන්නා අමු පුළුන් බොම්බායේ සිට චීනයට අපනයනය කිරීමෙන් ද, ඉන්දියාවේ කොරමැණ්ඩල් වෙරළේ සිට කච්චි රෙදි හා අබිං මලයාව හරහා කැන්ටන් හා මැකාවෝ යන නගරවලට ගෙන ගොස් ඩොලර්වලට හුවමාරු කිරීම ද මීට සාර්ථක ම විසඳුම වූයේය. පසුව ඉංග්‍රීසි සමාගමේ ඒකාධිකාරී බලය අහෝසි කිරීමෙන් පසුව ඉංග්‍රීසි පෞද්ගලික වෙළඳුන් විසින් මෙම ක්‍රියා මාර්ගය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව ඉංග්‍රීසීන්ට 18වන සියවස පමණ වන විට තම නැව් අළුත් වැඩියා කිරීමට මෙන් ම මලයා කොදෙව් සඳහා වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් ද භාවිතා කළ හැකි හා චීනයට ගමන් කළ හැකි ප්‍රධාන වෙළඳ මාර්ගයේ පිහිටි වරායක් ලෙස මලයාව ලබා ගැනීමේ වැදගත් කම වැටහෙන්නට විය.
3. පළමුවරට මලයානු ප්‍රදේශවල බ්‍රිතාන්‍ය ජනාවාස පිහිටුවීම.
මැලේ අර්ධද්වීපයේ ජනපදයක් පිහිටුවීමේ හැකියාව ගැන සාර්ථක අදහසක් ඉදිරිපත් කරන ලද්දේ මලක්කා සමුද්‍ර සන්ධියේ නැව්තොට අතර වෙළඳාමේ යෙදුණු මදුරාසි ජුර්දයින්, සලිවාර් සහ ද සූසා සමාගමේ වෙළඳ කපිතාන්වරයෙකු වූ ෆ්‍රැන්සිස් ලයිට් විසිනි. ඒ අනුව ජනාවාසයක් පිහිටු වීමට ඉතා යෝග්‍ය ම ප්‍රදේශය වන්නේ සිංගප්පූරුවට දකුණින් පිහිටි බින්තාං දිවයින බව ඔහුගේ නිර්දේශය විය. ඒ අනුව 1786 අගෝස්තු 11 වදා ලයිට් විසින් එම දිවයින භාර ගෙන එය වේල්ස් කුමාර දිවයින ලෙස නම් කරන ලදි. ප්‍රංශය විසින් නෙදර්ලන්තය ආක්‍රමණය කිරීමත් සමග 1795 දී එංගලන්තයට පැන ගිය නෙදර්ලන්තයේ රජු කිව් ලිපිය නිකුත් කළේ ය. ඒත් සමග ලන්දේසීන් සතු වූ මලක්කා, ඇම්බොයිනා. බන්ඩා හා සුමාත්‍රා ආදී වෙළඳ මධ්‍යස්ථාන රාශියක බලය ඉංග්‍රීසීන්ගේ යටතට පත් විය. එම කඳවුරු යටත් කර ගැනීමේ දී ඉංග්‍රීසීන් විසින් තම යුද කටයුතු සංවිධානය කරන ලද්දේ පිනැංග් හා බෙන්කුලන්ය.
ප්‍රංශයන් පරාජය වීමෙන් පසුව අග්නිදිග ආසියාවේ ලන්දේසින් සතු වූ ප්‍රදේශ නැවත බාර දීමට කටයුතු සිදු වූවත් මලයාව ආශ්‍රිතව ඉංග්‍රීසීන් සතු වූ ප්‍රදේශ නැවත බාර නොදෙන ලදි. පසුව ඉන්දියාවේ ඉංග්‍රීසි සමාගමේ නියෝජිතයෙකු ලෙස ජොහොර් රාජ්‍ය වෙත යාත්‍රා කරන ලද රැල්ෆ් නැමැත්තා 1819 ජනවාරි 28 වන දින සිංගප්පූරුවට ගොඩබට අතර එහි වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ඉතාමත් ම යෝග්‍ය බව ඔහුට අවබෝධ විය. ඒ අනුව එහි සිටි මලයා ජාතික ප්‍රධානියා වූ ජෝහෝරයේ දතෝ තෙමෙංගොං සමඟ 1819 ජනවාරි 30 වන දා ආරම්භක ගිවිසුමකට අත්සන් කොට, එහි ඉංග්‍රීසි ජනාවාසයක් පිහිටුවන ලදි. පසුව ජොහෝරයේ සුල්තාන්වරයා ලෙස 1819 පෙබරවාරි 6 වදා සිංගප්පූරුවේ දී ඉංග්‍රීසීන් විසින් පත් කරන ලද හුසේන් නැමැත්තා විසින් ද ජනවාරි 30 වන දා අත්සන් කළ ආරම්භක ගිවිසුම තහවුරු කරමින් නව ගිවිසුමක් ද අත්සන් කළ අතර ස්වකීය විජිතයේ වාණිජාගාර පිහිටුවීමට ඉංග්‍රීසි සමාගමට නිදහස දීම සම්බන්ධයෙන් ඔහුට ඩොලර් 5000ක දීමනාවක් ද ලබා දෙන ලදි. එමගින් එම ප්‍රදේශවලට ලන්දේසීන් ඉදිරිපත් කළ අයිතිවාසිකම් නො සලකා හැරීමටත්, එම ප්‍රදේශයේ අයිතිය නීත්‍යනුකූල කර ගැනීමටත් රැල්ෆ්ට හැකි විය. මෙසේ රැල්ෆ් විසින් සිංගප්පූරුවේ අයිතිය ඉංග්‍රීසි යටතට පවරා ගන්නා ලද අතර ඔහුගේ උපකල්පනය වූවේ අනාගතයේ දී බටහිර දිශාවන්හි සිදු වන වෙළඳාමේ දී මොල්ටාවට හිමි වී ඇති වටිනාකමට සමාන වටිනාකමක් නැගෙනහිර වෙළදාමේ දී සිංගප්පූරුවට ද හිමි වනු ඇති බවයි.මේ සම්බන්ධයෙන් ලන්දේසීන්ගේ ප්‍රතික්‍රියාව ඉතා ප්‍රබල වූ නමුත් එම ප්‍රදේශ ආශ්‍රිතව ලන්දේසි බලය දුර්වල වීමට රැල්ෆ්ගේ එම ක්‍රියාවෙන් මග පෑදිණ.
4. මලයානු ප්‍රදේශවල සාර්ථක ම බ්‍රිතාන්‍ය ජනපදයක් ලෙස සිංගප්පූරුව වර්ධනය වීම.
1819 වන විට සිංගප්පූරුවේ ජනගහණය 5000ක් පමණ වූ නමුත් 1820 වන විට එහි ජනගහණය 10.000ට අධික විය. ආරම්භයේ සිට ම එම ප්‍රදේශයේ බහුතරය චීන ජාතිකයන්ගෙන් සමන්විත විය. 1820 වන විට එහි ආදායම එහි වියදම පියවීමට තරම් ප්‍රමාණවත් විය. 1823 වන විට එහි අපනයන හා ආනයන ද්‍රව්‍යවල වටිනාකම ඩොලර් එක් කෝටි තිස් ලක්ෂයකට වඩා අධික විය. ලන්දේසීන් සමග එම ප්‍රදේශ සම්බන්ධයෙන් අති වූ අරගලය අවසානයේ 1824 දී ඇති කර ගත් සම්මුතියට අනුව දෙපාර්ශවය ම තම තමන්ගේ සීමා නිරාකරණය කර ගනු ලැබීය.
බෙන්කුලන්හී ලයිතන් ආණ්ඩුකාරවරයා වූ රැෆ්ලස්ගේ අධීක්ෂණය යටතේ සිංගප්පූරුවේ ප්‍රථම නේවාසික නිලධාරියා වූ කර්නල් පාකර් විසින් එහි පරිපාලනය ගෙන යන ලදි. සිංගප්පූරුව මලයා අර්ධද්වීපයට පිවිසීමට තිබූ දොරටුවක් බදු වූ අතර එහි බලය තමාට ලබා ගැනීමෙන් පසු අනෙකුත් මලයානු ප්‍රදේශවලට ද ඉංග්‍රීසීන්ගේ අවධානය යොමු විය.
එහි සිටි පරිපාලන, පොලිස් හා හමුදා නිලධාරීන් අවම වූ අතර නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීය. සිංගප්පූරුවේ පරිපාලනය සකස් කරනු වස් රැෆ්ලස් විසින් ප්‍රධාන බ්‍රිතාන්‍ය වෙළඳුන් අතරින් මහේස්ත්‍රාත්වරයන් 12ක් පත් කරන ලද අතර ඉංග්‍රීසි නීතිය පදනම් කොට ගත් තාවකාලික නීති පද්ධතියක් ද සකස් කරන ලදි. ආගම, විවාහය හා පාරම්පරික අයිතිය පිළිබඳ ස්වදේශික සිරිත් විරිත්වලට විශේෂ ඉඩ ප්‍රස්ථා ලබා දෙන ලදි. ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක් පිහිටුවීම, වරායේ පරිපාලනය සංවිධානය කිරීම, වහල් වෙළඳාම වැළැක්වීම, නීතිය හා සාමය ආරක්ෂාවට පොලිස් හා හමුදා වර්ධනය කිරීම, සූදු ක්‍රීඩා කරන ස්ථාන හා කුකුළු පොර කොටවන ස්ථාන යටපත් කිරීමටත්, චීනයේ, සියමේ හා මලයාවේ භාෂා ඉගැන්වීමට හා එම රටවල ජනතාවගේ ආචාර ධර්මයන්ගේ හා බුද්ධියේ තත්ත්වය නඟා සිටුවීමේ අරමුණින් ආයතනයන් ද පිහිටුවන ලදි.
1823 වන විට සිංගප්පූරුව, බ්‍රිතාන්‍යන්ගේ යටතට පත් වූ අතර 1824 අගෝස්තු මාසයේ දී ක්‍රෝෆර්ඩ් විසින් ඇති කර ගත් ගිවිසුම යටතේ සිංගප්පූරු දිවයින සදහට ම පෙරදිග ඉංග්‍රීසි සමාගමට පවරා දීමට හුසේන් සුල්තාන්වරයා හා තෙමෙංගෙංවරයා එකඟ වූහ. එයට හිලව් වශයෙන් සුල්තාන්වරයාට එකවර ඩොලර් 33,200 ක මුදලක් ද ජීවිතාන්තය දක්වා මසකට ඩොලර් 1300 ක විශ්‍රාම වැටුපක් ද ලැබුණු අතර තෙමෙංගොංවරයාට එකවර ඩොලර් 26,800 ක මුදලක් ද ලැබුණු අතර මසකට ඩොලර් 700ක විශ්‍රාම වැටුපක් ද හිමි විය. තවද ඉංග්‍රීසි නැගෙනහිර ඉන්දියා සමාගමේ අනුමැතිය නොමැතිව කිසිදු විදේශික බලවතෙකු සමඟ සමගි සන්ධානයකට නොඑළඹීමටත්, බ්‍රිතාන්‍යයන් වැඩි කොට ම වරප්‍රසාද ලද ජාතියක් බවට පත් කෙරෙන කොන්දේසි යටතේ ඉංගීසි වාණිජ කටයුතුවලට ජොහෝරයේ සියලු වරායවලට නිදහසේ පිවිස ගැනීමට ඉඩ දිමටත් ඔවුහු පොරොන්දු වූහ.
රුල්‍ෆ්ගේ තීක්ෂණ බුද්ධිය හමුවේ නිර්මාණය වූ සිංගප්පූරුව එහි වූ නිදහස් වෙළදාම තුලින් තව දුරටත් සමෘද්ධිමත් විය. ඒ හේතුවෙන් ම මුල් කාලයේදී ලන්දේසි ඉන්දියා දූපත්වල වූ වාණිජ කටයුතුවලින් බොහෝමයක් සිංගප්පූරුවට ඇදී එන්නට විය. සියම, චීනය, ඉන්දු චීනය හා පිලිපීන දූපත් සමග තිබූ වෙළඳ සම්බන්ධතා එමඟින් තව දුරටත් වර්ධනය විය. 1824 ගිවිසුමෙන් පසු ජොහොර් අධිරාජ්‍යයේ බලය සම්පූර්ණයෙන්ම පාහේ අහෝසි වී ගිය අතර එයට අයත් ව තිබූ මලයානු ප්‍රදේශ ලබා ගැනීමට ඉංග්‍රීසීන් උනන්දු විය.
5. මලයානු ප්‍රදේශවල අභ්‍යන්තරයට මැදිහත් වීමට බ්‍රිතාන්‍යයන් පෙළඹ වූ හේතු.
1824 වර්ෂයේ දී ඇති කර ගනු ලැබූ ඉංග්‍රීසි-ලන්දේසි ගිවිසුමේ සිට මලයාවේ නේවාසික නිලධාරි ක්‍රමය ආරම්භ කිරීම දක්වා වූ වසර 100ක් පමණ කාලය ක්‍රියාශීලී නොවන කාලයක් ලෙස හඳුන්වන නමුත් එම යුගය තුළ සිදු වූ සුළු සිදුවීම් පවා මලයානු අනාගතය කෙරෙහි තදින් ම බලපානු ලැබීය. මන්ද යත් මෙහි දී ක්‍රියාශීලී නොවීම යනුවෙන් හැදින්විය හැක්කේ බ්‍රිතාන්‍යයන් විසින් මලයාවේ ස්වදේශික කටයුතු සඳහා මැදිහත් නො වීමේ ප්‍රතිපත්තිය සඳහා පමණි. මෙම කාලය තුළ දී මලයානු ප්‍රදේශවල සංවර්ධනය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ සිංගප්පූරුව ඉතා ශීඝ්‍ර ලෙස ද, පිනැංගුව ඊට වඩා අඩුවෙන් ද සංවර්ධනය වූ අතර මලක්කාවේ සංවර්ධනය ඉතාමත් දුර්වල වූ බවයි. මෙම කාලයේදී ඉංග්‍රීසි සමාගමට, සියම් ජාතික මුහුදු මංකොල්ල කරුවන්ගේ තර්ජනවලට මුහුණ දීම එකල ඇති වූ ප්‍රබලතම අභියෝගය විය.
ඒ හේතුවෙන් ම ඉංග්‍රීසි සමාගම මලයාවේ අභ්‍යන්තරයට වඩා බාහිර කටයුතු කෙරෙහි තම අවධානය යොමු කරන ලදි. ඒ අනුව මලයා රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීම මෙම යුගයේ දී සමාගම විසින් තම සේවකයන්ට තහනම් කරන ලද අතර අලුතින් ප්‍රදේශ යටත් කර ගැනීම ද සුල්තාන්වරුන් සමඟ දේශපාලන සම්මුතීන් වලට එළඹීම ද තහනම් කරන ලදි. නමුත් සත්‍ය වශයෙන් ම සමාගම විසින් පනවන්නට යෙදුණු මෙම කොන්දේසි ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ නොහැකි වූ අතර බොහෝ අවස්ථා වලදී මැදිහත් වීමේ කටයුතුවලට යෙදෙන්නට ද සිදු විය.
ඊට එක් හේතුවක් වූවේ සියමය විසින් කලාපයේ තම ආධිපත්‍ය පැතිර වීමට උත්සහ කිරීමයි. චක්‍රී රාජවංශය යටතේ පෙර නොවූ විරූ ලෙස වර්ධනය වූ අතර පිනැංගුවද එයට යටත් වේ යැයි එහි ආණ්ඩුකාරවරු බිය වූහ. මෙම යුගයේ දී ම බුරුමය ද ශක්තිමත් ව වර්ධනය වෙමින් තම බලපෑම අසල් වැසි ප්‍රදේශ කෙරෙහි ව්‍යාප්ත කිරීමට උත්සාහ කරනු ලැබූවත්, සියම් රාජ්‍යයේ බලය හමුවේ එහි බලය දෙවැනි විය. ඒ හේතුවෙන් ම බුරුමය, මලයා පාලකයන් සමඟ සියමට විරුද්ධව කටයුතු කිරීමට කුමන්ත්‍රණය කරන ලදි. සියම් පාලකයන් ද මලයාවට විරුද්ධව තම කටයුතු සංවිධානය කරන්නට විය. සියම විසින් අසල්වැසි කේඩාහ් රාජ්‍යයේ සුල්තාන්වරයාට නියෝග කර සිටියේ, සියම් රාජ්‍යයට විරුද්ධව බුරුමය සමග කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් බැංකොක් නුවරට පැමිණ පිළිතුරු ලබා දෙන ලෙසයි. නමුත් සුල්තාන්වරයා එය ප්‍රතික්ෂේප කල අතර එයින් කෝපයට පත් සියම් හමුදාව කේඩහ්ය ආක්‍රමණය කරන ලදි. අසරණ වූ සුල්තාන්වරයා පිනැංගුවට පලා ගිය අතර සරණාගතයින් ඉතා විශාල ලෙස බ්‍රිතාන්‍යයන්ට අයිති ව පැවති වෙස්ලි ප්‍රදේශයට ඇදී එන්නට විය. පසුව ඉංග්‍රීසි සමාගමේ හමුදා අදාළ ප්‍රදේශවලට පිටත් කර හැරි අතර ඒ වන විට සියම් හමුදාව එම ප්‍රදේශ අතහැර ගොස් තිබුණි. කෙසේ වෙතත් සියම් හමුදාව, පිනැංගු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ කේඩහ්යේ සුල්තාන්වරයා තමන්ට බාර දෙන ලෙසයි. නමුත් පිනැංගුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි. කේඩහ්යේ සුල්තාන්වරයා ද තම සිහසුන නැවත ලබා ගැනීම සඳහා ඉංග්‍රීසි සමාගමෙන් උදව් ඉල්ලුමුත් එය සාර්ථක නොවීය. ඒ හේතුවෙන් ඔහු බුරුමය, සෙලන්ගොරය හා වෙනත් මලයානු රාජ්‍යයන් සමඟ එකතු වී සියමට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු සූදානම් කරන ලදි. නමුත් මෙයින් කැලඹීමට පත් පිනැංගුවේ බ්‍රිතාන්‍ය පාලකයන් සිතුවේ මේ හේතුවෙන් තම ප්‍රදේශයන් ද සියම් ආක්‍රමණයකට නතු විය හැකි බවයි. බ්‍රිතාන්‍යයන් සුල්තාන්වරයාගේ මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වූ තොරතුරු සියම් හමුදාවේ නායකයා වූ ලිගෝරයේ රජාට දැන් වූ අතර ඒ හේතුවෙන් කුමන්ත්‍රණය ද අසාර්ථක විය.
කේඩහ්ය, සියමට යටත් වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයන් සතු වූ පිනැංගුවට අර්බුද රැසකට මුහුණ දීමට සිදු විය. මන්ද යත් ඉංග්‍රීසීන් විසින් ඒ වන විට පිනැංගුව ස්වයංපෝෂිත කිරීමට දරන ලද සියලු උත්සහයන් ව්‍යර්ථ වී තිබීමත් හා එයට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් බහුතරයක් ආනයනය කරනු ලැබුවේ කේඩහ්යෙන් වීමයි. තවද සියමට යටත් ව පැවති පතානි හා ජනක් සිලොන් සමඟ පිනැංගුවේ බෙලෙක් වෙළඳාම ද කෙරීගෙන යන ලදි. ඒ හේතුවෙන් පිනැංගුවට සියම සමඟ වඩා සතුටු දායක කොන්දේසිවලට එළඹීමට අවශ්‍යතාවක් තිබුණි. ඒ අනුව මතු වී තිබූ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස 1822දී ජෝන් ක්‍රෝෆට් ගේ නායකත්වයෙන් යුතු දූත පිරිසක් ඉංග්‍රීසි සමාගම විසින් බැංකොක් වෙත යවන ලදි. ක්‍රෝෆට්ගේ මූලික අරමුණ වූයේ සාකච්ඡා පැවැත්වීමට අමතරව සියම ගැන තොරතුරු එක්රැස් කිරීමයි. කේඩාහ් හි සුල්තාන්වරයා රාජ්‍යයෙහි නැවත පිහිටුවීමටත්, බ්‍රිතාන්‍ය වාණිජ කටයුතු සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඉවත් කර ගැනීමටත් ඔහු දැරූ උත්සාහය නිෂ්ඵල විය. නමුත් පිනැංගුව බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අයිතිය යන්න පිළිබඳ පිළිගැනීම අනියම් වශයෙන් ලබා ගැනීමට ඔහු සමත් විය.
1824දී බ්‍රිතාන්‍යයන් හා බුරුම රාජ්‍ය අතර යුද්ධයක් ආරම්භ වූ අතර ඉංග්‍රීසීන් විසින් පිනැංගුව මාර්ගයෙන් බුරුමයට විරුද්ධව හමුදාවක් යැවීමට සියමයේ හමුදා නායකයා වූ ලිගෝර්හි රාජා පොලඹවා ගැනීමට උත්සාහ කරන ලදි. නමුත් එය අසාර්ථක විය. ලිගෝර්හි රාජා වෙත ගිය දූත ගමන පිළිබඳව වාර්තාවක් සැකසූ ලුතිනන් ලෝ පවසා සිටියේ සියමයේ අරමුණ වී ඇත්තේ පෙරැකයේ පමණක් නොව සෙලන්ගෝරයේ බලය ද අල්ලා ගැනීම බවයි. එම වාර්තාව මඟින් පෙනී ගියේ බ්‍රිතාන්‍ය පිනැංගුවටද සියම් තර්ජන එල්ල වී ඇති බවයි. ඒ අනුව පිනැංගුවේ ආණ්ඩුකාරවරයා වූ රොබට් ෆුල්ටන් කේඩාහ්හි සුල්තාන්වරයා නැවත ධුරයේ පිහිටුවීමටත් මලයා රාජ්‍යයන් සියල්ලට ම සියමට විරුද්ධව බ්‍රිතාන්‍ය ආරක්ෂාව සැලසීමටත් කටයුතු සංවිධානය කරන ලදි. මේ හේතුවෙන් පිනැංගුවේ ඉංග්‍රීසි සමාගම හා සියම අතර රාජ තාන්ත්‍රික අර්බුද රැසක් මතු වූ නමුත් අවසානයේ සාකච්ඡා මාර්ගයෙන් ගැටලු නිරාකරණය කර ගැනීමට එකඟ විය. ඒ අනුව දෙපාර්ශවය ම පෙරැක් ආක්‍රමණය නොකරන බවට පොරොන්දු වී, තමාගේ රට තමන් කැමති පරිදි පාලනය කිරීමට කේඩාහ් හි සුල්තාන්වරයා සතු අයිතිය පිළිගෙන ඔහුට රිසි වෙතොත් ඔහු බැංකොක් වෙත කප්පම් යැවීම වැළැක්විය යුතු නොවන බවත් ගිවිස ගත්හ. මෙම සිද්ධියෙන් අනතුරුව සියම් ජාතිකයෝ නැගෙනහිර වෙරළෙහි පිහිටි මලයා රාජ්‍යයන්හි පාලන බලය අත්පත් කර ගැනීමේ ප්‍රයත්නය අතහැර ස්වකීය අවධානය නැගෙනහිර වෙරළෙහි පිහිටි කෙලන්තන් හා ත්‍රේංග්ගනු වෙත යොමු කළහ.
මලයා අර්ධද්වීපයේ අභ්‍යන්තර ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යන්ගේ අවධානය ක්‍රමයෙන් යොමු වන්නට විය. මැලේ ප්‍රධානීන් අතර ඇති වූ අරගල වලට අමතරව මෙම යුගයේ දී බෙලෙක් නිපදවන ප්‍රදේශ කරා චීන ජාතිකයන්ගේ ඇදී ඒම අර්බුද ඇති කරවන්නක් විය. තවද මේ යුගයේ පෙරැක් වෙරළාශ්‍රිත මුහුදේ කොල්ලකෑම් ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර පිනැංගුවේ මාර්ග වල පවා ගෝත්‍ර සටන් ඇතිවිය.
1873 පමණ වන විට ඇති වූ අර්බුද රැසක ප්‍රතිඵලය වූයේ කිම්බර්ලි සාමිවරයා මලයා කටයුතු සම්බන්ධයෙන් මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය ප්‍රසිද්ධියේ ම අතහැර දැමීමයි. ඒ අනුව ස්වදේශික කුමාරවරුන් කෙරෙහි ඉංග්‍රීසි සමාගම සතු බලපෑම ප්‍රයෝජනයට ගෙන වර්තමාන අර්බුදයන්ට හේතු වී පවතිනා ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සුදුසු ලෙස බලය යෙදවීමට ඉංග්‍රීසි සමාගම කටයුතු කරන ලදි. ඒ අනුව සෙලන්ගෝරය සම්බන්ධයෙන් ද මලක්කාවට පිටුපසින් පිහිටි මීනාංකධෞ නෙග්රි සෙම්බිලන් රාජ්‍ය සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍ය අවධානය යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස නීති විරෝධී බදු අය කරන්නන් විසින් ලිංග්යී නදියේ චීන ජාතික පතල් කරුවන්ට පැමිණ වූ දුක්ගැහැට සම්බන්ධයෙන් 1874 අප්‍රේල් මාසයේදී මැදිහත් විය. ඉංග්‍රීසි සමාගම පතල් කරුවන්ට ආරක්ෂාව සැපයීමටත් ඊට හිලව් වශයෙන් එහි සාමය රකිනා බවට ප්‍රතිඥා කරන සම්මුතියකට අත්සන් තැබීමටත් සුංගෙයි උජොං හා ලිංග්යීහි නායකයන් පොලඹවා ගන්නා ලදි. නමුත් චීන පතල් කරුවන්ට පීඩා කිරීමෙන් තම රාජ්‍ය ආදායම වර්ධනය කර ගත් දාතෝබන්ඩාර් මෙම වැඩපිළිවෙළට විරුද්ධ වී සිවිල් යුද්ධයක් ඇති කරන ලදි. එබැවින් එම අරගලය මැඩපවත්වනු පිණිස බ්‍රිතාන්‍ය බලකායක් යැවූ අතර ගරිල්ලා ගැටුම් කීපයකින් අනතුරුව එම ප්‍රදේශ යටත් කර ගන්නා ලදි.
පෙරැක්හි සිටි ප්‍රථම බ්‍රිතාන්‍ය නේවාසික නිලධාරියා වූ ජේ. ඩබ්. ඩබ්. බර්ච් මරා දැමීමත් සමඟ එම ප්‍රදේශ වල ගැටුම්කාරී තත්ත්වයක් මතු විය. එයට ප්‍රතිචාර දක්වනු වස් ප්‍රබල බ්‍රිතාන්‍ය හමුදාවක් යොදවා එම ප්‍රදේශ වල කැළඹිලි සංසිඳවනු ලැබීය. මිනී මරුවන් හා ඔවුන්ගේ ආධාර කරුවන් අල්ලා ගන්නා ලද අතර ඊට සම්බන්ධ ප්‍රධාන වරදකරුවන් තිදෙනා එල්ලා මරා දමන ලදි. සුල්තාන් අබ්දුල්ලා ඇතුළු තවත් තිදෙනෙක් පිටුවහල් කරනු ලැබූහ. කලක් ගතවන තෙක් ම පොදු මැලේ කැරැල්ලක භීතිය එම ප්‍රදේශ වල පැවතුණු අතර වසර කීපයක් ගත වීමෙන් පසු නීතිය හා සාමය යළිත් ස්ථාපනය කරමින් එම දේශය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඈඳා ගන්නා ලදි. පෙරැක් යුද්ධයෙන් අනතුරුව එම ප්‍රදේශ වල කිසිදු කලබලයක් ඇති නොවූ අතර මැලේ ජාතිකයෝ ද අවනත වූහ. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය නේවාසික නිලධාරීන්ට පෙරට වඩා සතුටු දායක තත්ත්වයක් යටතේ පෙරැක්හි පුනරුත්තාපන කාර්යය සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි විය. ඒ අනුව පෙරැක්හි නේවාසික නිලධාරියා ලෙස සේවය කළ හ්‍යුලො (1877-1889) විසින් සෑම විටම ආඥා පැනවීමකින් තොරව ප්‍රභූන් සමඟ සුහදතාවය වර්ධනය කර ගැනීමෙන් ඔවුන්ගේ සහයෝගය ලබා ගැනිමේ ප්‍රතිපත්තිය මත පෙරැක් දේශය සාමකාමී වූත් සමෘද්ධිමත් වූත් රාජ්‍යයක් බවට පත්කරන ලදි.
සෙලන්ගෝරයේහි ද එම බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තිය කිසිදු දුෂ්කරතාවක් නොමැතිව ක්‍රියාවට නැංවිය හැකි විය. මනා ගණන් තැබීමේ ක්‍රමවේදයක් ඇතිව රජයේ භාණ්ඩාගාරයක් පිහිටුවන ලද අතර පොලිසිය හා හමුදාව ක්‍රමවත් ව සංවිධානය කරන ලදි. ක්වාලාලාම්පූර් ප්‍රදේශයේ චීන පතල් කරුවන් බ්‍රිතාන්‍ය බලයට අවනතව සාමය ආරක්ෂා කරන ලදි. එම ප්‍රදේශ වල බ්‍රිතාන්‍ය පරිපාලන ක්‍රමය ආරම්භ කිරීම නිසා පෙර නොතිබූ ආකාරයෙන් සමෘද්ධියක් ඇති විය. වහල් මෙහෙය අහෝසි කර දැමීමත්, මනාව සංවිධානය කරන ලද පොලිසියකින් හා හමුදාවකින් සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමත්, සුල්තාන්වරුන් හා වෙනත් ප්‍රභූවරයන් සඳහා නිශ්චිත දීමනාවක් පැනවීමත්, අධ්‍යාපනයේ හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් ජනතාවගේ තත්ත්වය බෙහෙවින් දියුණු විය.
6. මලයානු ප්‍රදේශවල පරිපාලනය හැඩගැසීම.
මුලදී ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීමට ප්‍රධානතම හේතුව වූයේ ප්‍රභූන්ට කිසිම වන්දියක් නොමැතිව ඔවුන්ගේ වැඩ වසම් අය බදු අහිමි කිරීමයි. හ්‍යු ලෝ විසින් මීට ප්‍රතිකර්මයක් ලෙසින් සිදු කරනු ලැබුවේ එම ප්‍රභූන්ට අදාළ ප්‍රදේශ වල පරිපාලන තනතුරු ප්‍රදානය කර ඔවුන්ගේ ප්‍රදේශ වලින් අය වන රාජ්‍ය ආදායමෙන් සියයට ප්‍රමාණයක් ලබා දීමයි. 1861දී ඉදිරිපත් කරන ලද ආඥා පනතින් ඉන්දියානු මන්ත්‍රණ සභාවේ ආකෘතිය අනුගමනය කරමින් මලයානු රාජ්‍ය වල ද රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවීම එම ප්‍රදේශ වල අභ්‍යන්තරයේ සබඳතා යහපත් වීමට බොහෝ දුරට හේතු විය. සුල්තාන්වරයා එම රාජ්‍ය සභාවේ සභාපතිවරයා වූ අතර බ්‍රිතාන්‍ය නේවාසික නිලධාරියා ද ප්‍රධාන මැලේ ප්‍රභූවරුද, ප්‍රධාන චීන ජාතික වෙළදුන්ගෙන් කිහිප දෙනෙකු ද එහි සාමාජිකයෝ වූහ. එහි කටයුතු මැලේ බසින් සිදු වූ අතර සියලු වැදගත් කරුණු එම මන්ත්‍රණ සභාවේ දී සාකච්ඡාවට භාජනය වන ලදි. එහි කාර්යය ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථාදායක කටයුතු සම්බන්ධයෙන් වූ අතර රාජ්‍යයේ සියලු ම ව්‍යවස්ථා එමගින් පැනවිය. රාජ්‍ය අයවැය පිළිබඳ වාර්ෂික ගණන් සටහන් ද එම මන්ත්‍රණ සභාවේ දී සාකච්ඡාවට ලක් විය. සියලු ම මරණීය දණ්ඩන අනුමත කිරීම හෝ ලිහිලි කිරීම තීරණය කරන ලද්දේ එම රාජ්‍ය සභාවයි. තවද සියලු ම මැලේ ප්‍රභූන් සහ ග්‍රාම නායකයන්ගේ පත්වීම් මෙන් ම වේතන එම සභාවේ තීරණයට යටත් ව සිදු විය. එය කෙතරම් සාර්ථක වී ද යත් බ්‍රිතාන්‍යයන් යටතේ පාලනය වූ සියලු ම මලයා ප්‍රදේශ වල ක්‍රියාත්මක වූයේ මෙවැනි ක්‍රමවේදයන්ය.
නව ක්‍රමවේදය යටතේ ඇති කරනු ලැබූ වැදගත් ම ක්‍රියාවලිය වූයේ මැලේ ජාතික මහේස්ත්‍රාත්වරයන්ගේ ද සහය ඇතිව යුරෝපීය මහේස්ත්‍රාත්වරයන්ගේ සහභාගීත්වය යටතේ ක්‍රියා කරන අධිකරණ ශාලා පිහිටුවීමයි. ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය ආශ්‍රයෙන් නිර්මාණය කර ගන්නා ලද සමුද්‍රීය බද දණ්ඩ නීති සංග්‍රහය ද ඉන්දියානු හා යටත් විජිත සැලැස්මවල් අනුව කෙටුම්පත් කරන ලද අපරාධ හා සිවිල් අධිකරණ ක්‍රම සංග්‍රහයන්ද ඒවා මඟින් ක්‍රියාත්මක කරවන ලදි. සෑම රාජ්‍යයක් ම යුරෝපීය හා මැලේ මහේස්ත්‍රාත්වරයන් යටතේ වූ ප්‍රදේශ වලට බෙදන ලදි. අනතුරුව මැලේ මුලාදෑනීන් යටතේ වූ එම ප්‍රදේශ ග්‍රාම හා මුකිම් වශයෙන් නැවත කොටස් වලට බෙදන ලදි. පොලිස් කටයුතු මුලාදෑනීන්ට පැවරීමෙන් පසු රාජ්‍ය වියදම අවම කර ගැනීමට බලාපොරොත්තු විය. එමඟින් පොලිස් බලකාය අඩු කර ගැනීමට හැකි වූ අතර බොහෝ ප්‍රාදේශීය පොලිස් ස්ථාන වසා දැමීමට ද හැකි විය. එමඟින් පෙනී ගියේ බල කිරීමේ හා බිය වැද්දීමේ ප්‍රතිපත්ති වෙනුවට සහයෝගයෙන් ක්‍රියා කිරීමේ ප්‍රතිපත්තියක් ඇති කෙරුණු බවයි.
ලාරුට්හි කපිතාන් ස්පීඩ්ටද ප්‍රායෝගික වශයෙන් ක්‍රියා කල හැකි විය. ඒ අවට ප්‍රදේශයේ මැලේ ජාතිකයන් ඉතා අල්ප විය. ඒ හේතුවෙන් සියලු වැදගත් කටයුතු වලදි ප්‍රාදේශීය ප්‍රධානියා වූ මන්ත්‍රීගේ අදහස් විමසා බැලුව ද ඔහු තමාගේ ම තීරණ වලට එළඹ ඒ අනුව ක්‍රියා කරන ලදි. ඔහු ගත් තීරණ අතර වඩා වැදගත් වන්නේ පොලිස් බලකායක් ඇති කිරීම, මහේස්ත්‍රාත් උසාවියක්, භාණ්ඩාගාරයක්, රේගු බදු සේවයක් හා ඉඩම් මිනින්දෝරු කාර්යාලයක් පිහිටුවීමයි. ස්පීඩ් ගේ එම ප්‍රතිපත්ති හේතුවෙන් ලාරුට් ප්‍රදේශය සමෘද්ධිමත් විය. එම ප්‍රදේශ වල සිටි චීන ජාතිකයෝ ද සාමකාමී ව බ්‍රිතාන්‍ය පාලනයට සහයෝගය දුන්හ. 1884දී මලයාවේ තනන ලද ප්‍රථම දුම්රිය මාර්ගය මඟින් පතල් මධ්‍යස්ථාන වූ තායිපෙං හා ලාරුට් නදිය අසබඩ සාපෙතා සම්බන්ධ කෙරුණු අතර එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 13ක් පමණ විය. සෙලන්ගෝරයද එම ක්‍රමවේදය අනුගමනය කරමින් තම ප්‍රධානතම පතල් මධ්‍යස්ථානය වූ ක්වාලාලාම්පූර් නගරයේ සිට ක්ලාං නගරය දක්වා කිලෝමීටර් 35ක් පමණ දුරකින් යුතු දුම්රිය මාර්ගයක් නිර්මාණය කරන ලදි. බ්‍රිතාන්‍යයන් සතු වූ සියලු ම මැලේ රාජ්‍යයන්ගේ ප්‍රධානතම රාජ්‍ය ආදායම වූයේ බෙලෙක් පතල් වලින් ලබා ගන්නා වූ ආදායමයි. ඒ හේතුවෙන් එම පතල් ආශ්‍රිත සියලුම ප්‍රවාහන මාර්ග සංවර්ධනය කිරීමට බ්‍රිතාන්‍යන්ගේ අවධානය යොමු විය. එම මලයානු ප්‍රදේශ වල සිදු වූ ආර්ථික ක්‍රියාවලියේ දී බහුතර ප්‍රමාණයක් මෙහෙයවනු ලැබුවේ චීන ජාතිකයන් විසිනි. එම ප්‍රදේශ වල බෙලෙක් පතල් කටයුතු සඳහා ඔවුන් භාවිතා කරන ලද පුරාණ චීන ශිල්ප ක්‍රම බෙහෙවින් සාර්ථක විය.
මේ ප්‍රදේශ වලට පත් වූ බ්‍රිතාන්‍ය නේවාසික නිලධාරීන් ආරම්භයේ දී සිදු කරනු ලැබුවේ රටෙහි සංචාරය කරමින් සමුද්‍රීය බඩ ජනාවාසයන් ගැන වාර්තා ආණ්ඩුකාරවරයාට සැපයීමයි. ඔවුන් තම ඉහල නිලධාරීන්ගේ බාධා කිරීම් වලින් තොරව තමන්ගේ රාජ්‍ය වල පරිපාලන කටයුතු ගොඩනංවන ලදි. මුලදී මෙම නේවාසික නිලධාරීන් කටයුතු කලේ තනිවමය. පසුව ඔවුන්ගේ සහය පිණිස ලිපිකරුවන් දෙදෙනෙකු ද, පොලිසිය භාරව ක්‍රියා කිරීමට නිළ නොලත් නිලධාරියෙක්ද, අලුතින් පිහිටුවන ලද ආරෝග්‍ය ශාලා සඳහා යුරේසියානු ඇපෝතිකරිවරයෙකු ද, සිරකරුවන් බලා ගැනීම සඳහා මැලේ බන්ධනාගාර පාලකවරයෙකු ද බඳවා ගන්නා ලදි.
1888දී පහාං රාජ්‍ය ද බ්‍රිතාන්‍ය මලයානු ප්‍රදේශ වලට එකතු කර ගැනීමත් සමඟ ආරක්ෂිත රාජ්‍යයන් ගේ සංඛ්‍යාව වර්ධනය විය. එය භූමි ප්‍රමාණයෙන් විශාල වූ නමුත් සංවර්ධනය අතින් දුර්වල විය. එහි ජනගහනය අතුරින් පනස් දහසක් පමණ වූ මැලේ ජාතිකයෝ බහුතරය විය. චීන ජාතිකයන් සුළුතර ප්‍රමාණයක් ද විය. බ්‍රිතාන්‍ය පාලනයට යටත් වීමට පෙර එම ප්‍රදේශ වල පරිපාලනය ඉතාමත් ම දූෂිත විය. 1887දී වෙල්ඩ් විසින් සුල්තාන්වරයාට කරනු ලැබූ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය තානාපතියෙකු පිළිගැනීමට ඔහු කැමති විය. නමුත් 1888දී චීන සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියෙකු මරා දැමීමත් සමඟ ඇති වූ පීඩනය හමුවේ සුල්තාන්වරයා අකමැත්තෙන් වුවද නේවාසික නිලධාරියෙකු පත් කරන ලෙසට බ්‍රිතාන්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව පිහිටුවන ලැබූ අලුත් පරිපාලන ක්‍රමය සම්බන්ධයෙන් පහාං රාජ්‍යයේ ප්‍රභූවරු විරෝධය පල කරමින් කැරලි ගසන්නට වූහ. එම කැරලි මැඩ පැවැත්වීමට දීර්ඝකාලීන වූත්, අධිකතර වියදම් සහිත වූත් යුද මාලාවක නිරත වීමට බ්‍රිතාන්‍යයන්ට සිදු විය. අවසානයේ කැරලිකරුවන් ව කෙලන්තාන් ත්‍රෙංග්ගානු නම් සියම් රාජ්‍යයන් දක්වා ම පන්නා ගෙන ගොස් එම රාජ්‍යයන් වෙත පිටුවහල් කිරීමට සිදු විය.
මිනංකබෞ රාජ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද්දේ ද ඉහත ආකාරයේ ක්‍රියා පිළිවෙතකි. ඒ අනුව 1895දී ඇති කර ගන්නා ලද ගිවිසුමක් අනුව එම රාජ්‍යයන් නවයක බ්‍රිතාන්‍ය ආරක්ෂාව යටතේ වූ නෙග්රි සෙම්බිලන් නම් රාජ්‍ය සංයුතියක් ඇති කරන ලදි. 1880දී සර් ෆෙඩ්රික් වෙල්ඩ් විසින් නේවාසික නිලධාරි ක්‍රමය පරීක්ෂාකාරී ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් හැර අනෙකුත් සියලු ම පරිපාලන කටයුතු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නේවාසික නිලධාරියාගේ අවවාද පිළිගැනීමට මිනංකබෞ රාජ්‍ය එකඟ විය.
වෙල්ඩ් තව දුරටත් පෙන්වා දුන්නේ මලයානු ප්‍රදේශ අධිරාජ්‍යයට ඈඳා ගැනීම එහි ඇති ගැටලු වලට සුදුසු විසඳුමක් නොවන බවයි. නමුත් ස්වේටනම් පෙන්වා දුන්නේ නිසි සමායෝජනයකින් තොරව මෙම නේවාසික නිලධාරි ක්‍රමය සීමා රහිත ව සංවර්ධනය වීමට ද ඉඩ දිය නොහැකි බවයි. ඒ අනුව 1893දී ඔහු රාජ්‍ය සංයුක්ත කිරීම පිළිබඳව යෝජනා ක්‍රමයක් ආණ්ඩුකාර සර් සිසිල් ක්ලෙම්න්ටි ස්මිත් වෙත ඉදිරිපත් කරන ලදි. මෙය යටත් විජිත කාර්යාලය වෙත ද ඉදිරිපත් කරන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් යෝජනා ගැන වාර්තාවක් සපයන ලෙස ස්මිත්ගේ අනුප්‍රාප්තිකයා වූ සර් චාල්ස් මිචෙල්ට නියෝග කරන ලදි. ඒ අනුව මිචෙල් විසින් 1895දී ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවට අනුව නිර්දේශ කර තිබුණේ එම යෝජනා ක්‍රියාත්මක කර වීමේ දී මලයා පාලකයන්ගේ අනුමැතියට යටත් ව සිදු විය යුතු බවයි.
ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ අධිකරණ, අයබදු අය කිරීම හා ඉඩම් නිරවුල් කිරීම යන කරුණු වල දී ආරක්ෂිත රාජ්‍ය සතර බරපතළ ලෙස ඔවුනොවුන්ගෙන් බිඳී වෙන් වී යන බවත්, කිසියම් කේන්ද්‍ර කාරක බලවේගයකින් තොර ව පරිපාලන සමරූපතාවක් ඇති කර ගැනීමට නොහැකි වන බවයි. වෙන් වෙන් වශයෙන් නේවාසික නිලධාරීන් සතර දෙනෙකු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ආණ්ඩුකාරවරයෙකුට කටයුතු කිරීමට සිදු වීමේ දී එක්කෝ එම නේවාසික නිලධාරීන්ට නිදහසේ තම කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතු වන අතර නැතහොත් අවධානය යොමු කිරීමට සිදු වන ක්ෂේත්‍රය ඉතා අධික වන බවත් ඔහු පෙන්වා දෙන ලදි. ඒ හේතුවෙන් ඔහු යෝජනා කර සිටියේ රාජ්‍යයන්හි පරිපාලනය සමීක්ෂණය කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් අග්‍ර නේවාසික නිලධාරියෙකු පත් කර ඔහුව, එක් එක් නේවාසික නිලධාරියාගේ මාර්ගයෙන් පමණක් හැසිරවිය යුතු බවයි. තවද ව්‍යවස්ථා පැනවීමේ කාර්යය රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැවරිය යුතු අතර සම්පූර්ණ උපදෙස් දීමේ බලතල පමණක් දරන්නා වූද ප්‍රධානීන්ගෙන් හා නේවාසික නිලධාරීන්ගෙන් සමන්විත වූ සමුළුවක් වරින් වර රැස් විය යුතු බවයි. එසේම වෙන් වෙන් රාජ්‍ය වලට නිලධාරීන් පත් කරනු වෙනුවට සංයුක්ත රාජ්‍යයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් යටතේ ක්‍රියා කරන පොදු සිවිල් සේවයක් තිබිය යුතු නමුත් එක් එක් රාජ්‍ය මුදල් කටයුතු අතින් ස්වාධීනව සිටිය යුතු විය.
ඒ අනුව මෙම යෝජනාවලිය සම්මත කරවා ගන්නා ලද්දේ එවකට පෙරැක්හි නේවාසික නිලධාරියා ව සිටි ෆ්‍රෑන්ක් ස්වේටනම් විසිනි. එහි ප්‍රතිඵලයක් ලෙස පෙරැක්, සෙලන්ගෝර්, පහං හා නෙග්රි සෙම්බිලන් යන රාජ්‍ය සතර එකතු කර සංයුක්ත මැලේ රාජ්‍ය ගොඩනැගීම සඳහා සංයුක්ත කාරක ගිවිසුමකට එළඹ ගන්නා ලදි. නමුත් සාමාන්‍ය සන්ධිය රාජ්‍යයක ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පරිද්දෙන්, රාජ්‍යයන් සතු බලතල හා සංයුක්ත රාජ්‍ය සතු බලතල පිළිවෙලින් වෙන් කර දැක්වීමක් මෙයින් සිදු වූයේ නැත. පාලකයාගේ බලතල සීමා කිරීමකට පටහැනි කොන්දේසි මෙහි ඇතුළත් ව තිබූ නමුත් ඉස්ලාම් ආගම හා සම්බන්ධ කටයුතු හැර අනෙක් කටයුතු පරිපාලනය සඳහා නේවාසික නිලධාරියෙකු පත් කරන ලදි. මෙම රාජ්‍යයන් හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අතර තිබුණු සම්බන්ධතා නව වැඩ පිළිවෙල යටතේ කිසිදු වෙනසකට ලක් නොවන බව විශේෂයෙන් සඳහන් කරන ලදි. නමුත් ප්‍රායෝගික ව ඒවා පරිපාලනමය වශයෙන් ඒකාබද්ධ කර තිබුණි.
න්‍යායාත්මක වශයෙන් හා ප්‍රායෝගික තත්ත්වයන් අතින් යම් යම් ගැටලු තිබුණ ද මැලේ රාජ්‍යයන්හි සුල්තාන්වරු එම ක්‍රම වේදයට කැමති වූහ. බ්‍රිතාන්‍යයන් නවීන ක්‍රමවලට අනුව කාර්යක්ෂම වූත් කේන්ද්‍රීය පරිපාලන ක්‍රමයක් ක්වාලාලාම්පූර් කේන්ද්‍ර කොට ගෙන පිහිටුවන ලදි. සර් ෆ්‍රෑන්ක් ස්වේටනම්, 1896 ජූලි 01වනදා පිහිටුවන්නට යෙදුණු සංයුක්ත මැලේ රාජ්‍යයේ පළමු අග්‍ර නේවාසික නිලධාරියා විය. ක්‍රමයෙන් ඔහුගේ පරිපාලනය නීති උපදේශනය, චීන කටයුතු පිළිබඳ ලේකම්වරයා, මුදල් පිළිබඳ කොමසාරිස්වරයා, අධිකරණ කොමසාරිස්වරයා, පොලිස් කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා හා පොදු වැඩ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයෙකු යන ක්ෂේත්‍ර දක්වා වර්ධනය විය. ඉස්ලාම් ආගම පිළිබඳ කටයුතු වල දී හැර අනෙකුත් සියලු ම කටයුතු සම්බන්ධයෙන් ඔහු සතු වූ අධිකාරි බලය පිළිබඳව සීමාවක් ගිවිසුමේ සඳහන් නොවීම තුලින් ව්‍යවස්ථාදායක බලතලයන් හි සැබෑ අධිකාරිත්වය පැවතියේ ඔහු සතුවය.
සංයුක්ත මලයා රාජ්‍යයන්හි පළමු සම්මේලනය පෙරැක්හි, කුවාලා කංසාර් නගරයේ 1897දී පවත්වන ලදි. එහි කටයුතු මැලේ බසින් සිදු වීම හේතුවෙන් මැලේ ජාතික සාමාජිකයන්ට එම විවාද සම්පූර්ණයෙන්ම විවෘත විය. පළමු දිනයේ දීම ව්‍යවස්ථා පැනවීම පිළිබඳව වැදගත් විෂයන් කීපයක් සාකච්ඡාවට භාජනය කරන ලද අතර අවසානයේ ඒකමතිකව සම්මත කර ගත් ඒවා ව්‍යවස්ථාදායක අණපනත් වලට නැගීම සඳහා රජ්‍යය මන්ත්‍රණ සභාව වෙත පවරන ලදි. මේ ආකාරයෙන් මැලේ සංයුක්ත රාජ්‍ය තුල ව්‍යවස්ථාදායක මෙන් ම පරිපාලන කේන්ද්‍රස්ථානය බවට ක්වාලාලාම්පූර් නගරය පත් විය.
7. බ්‍රිතාන්‍ය මලයාවේ ආර්ථිකය සකස් වීම.
මෙසේ මැලේ සංයුක්ත රාජ්‍ය තුල රාජ්‍ය පරිපාලනය ක්‍රමානුකූල ව කාර්යක්ෂම තත්ත්වයට පත් වූ අතර ආර්ථික වර්ධන වේගය ශීඝ්‍රයෙන් ඉහල ගියේය. 1891දී මැලේ රාජ්‍යයන් හතරේ සමස්ත ජනගහනය 4,24,218ක් වූ අතර 1901 වන විට එය 6,78,595ක් දක්වා වර්ධනය විය. රාජ්‍ය ආදායම 1895දී ඩොලර් 85 ලක්ෂයකට ආසන්නව පැවති අතර එය 1905 වන විට දෙකෝටි හතළිස් ලක්ෂයක් දක්වා වර්ධනය වීමත් සමඟ රජයේ ආදායම, වියදම ද අබිබවා යමින් සැලකිය යුතු අතිරික්තයක් ද ලැබීය. 1874දී රාජ්‍ය තුල කිසිදු තැපැල් කාර්යාලයක් වත් නො තිබූ නමුත් 1904වන විට රාජ්‍ය තැපැල් සේවාවන් එක් කෝටි දස ලක්ෂයක ලියුම් හුවමාරු කොට තිබුණු අතර ඩොලර් දොළොස් ලක්ෂ පනස් දහසකට අධික මුදල් ඇණවුම් පත් නිකුත් කර තිබුණි. මැලේ සංයුක්ත රාජ්‍යයන්හි පැවති ඉතිරි කිරීමේ බැංකු වල ඩොලර් 2,75,000ක තැන්පතු මුදලක් තිබුණු අතර ඒවා මඟින් කිලෝමීටර් 3000කට අධික විදුලි පණිවිඩ කම්බි පවත්වා ගන්නා ලදි. අලුතින් ආරෝග්‍යශාලා හා ළමයින් 13000ට සුදුසු වන පරිදි පාඨශාලා ආරම්භ කරන ලදි. රාජ්‍ය ආදායම යොදා ගනිමින් කිලෝමීටර් 4000කට ආසන්න නවීන මං මාවත් ද කිලෝමීටර් 550කට ආසන්න දුම්රිය මාර්ග ඉදි කරන ලදි.
බලය කේන්ද්‍ර ගත කිරීමේ ප්‍රතිපත්තිය මත සුල්තාන්වරයන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කටයුතු කරනු ඇතයි සහ වාණිජ, පතල් හා වැවිලිකාර ජනතාවගේ වර්ධනයත් සමඟ රජයේ නියෝජනයක් ලබා ගැනීමට ඔවුන් තුල ද බලාපොරොත්තුවක් ඇති වේ යැයි උපකල්පනය මත බ්‍රිතාන්‍යයන් විසින් 1909දී සංයුක්ත රාජ්‍ය මන්ත්‍රණ සභාවක් ඇති කරන ලදි. මහ කොමසාරිස්වරයාගේ සභාපතිත්වය යටතේ පැවති එහි සාමාජිකයන් වූයේ අග්‍ර නේවාසික නිලධාරියා, නේවාසික නිලධාරීන් සතර දෙනා, සුල්තාන්වරු සතර දෙනා හා රජතුමාගේ අනුමැතිය ඇති ව මහ කොමසාරිස්වරයා විසින් නම් කරන ලද සාමාජිකයන් සතර දෙනාගෙන් ද සමන්විත පිරිස විය. එක් එක් රාජ්‍යයේ රාජ්‍ය ආදායම හා වියදම පිළිබඳ ඇස්තමේන්තු කෙටුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ කාර්යය මෙම සභාවට පවරන ලදි. එය ව්‍යවස්ථාදායක මණ්ඩලයක් වුවත් එය සම්බන්ධයෙන් වූ බලතල ව්‍යාකුල විය. රාජ්‍ය මන්ත්‍රණ සභාව සම්බන්ධයෙන් විමසීමේ දී පෙනී යන්නේ රාජ්‍ය සතරෙන් ලැබෙන රාජ්‍ය ආදායම එකතුව සුදුසු යැයි සිතන පරිදි කොටස් වලට බෙදූ සංයුක්ත රාජ්‍ය මන්ත්‍රණ සභාව, පසුව එහි තීරණ රාජ්‍ය මන්ත්‍රණ සභාවලට දන්වන ලද බවයි. එමඟින් මින් ඉදිරියට වැදගත්කමක් ඇති සියලු නීති සම්මත කරනු ලැබුවේ සංයුක්ත රාජ්‍ය මන්ත්‍රණ සභාව විසිනි. ඒ හේතුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභා සතු ව්‍යවස්ථා පැනවීමේ කාර්යය ද අවසන් විය. එමඟින් පෙනී යන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභා යනු හුදෙක් ස්වදේශිකයන්ගෙන් ඇති විය හැකි විරෝධතා වළක්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් යොදන ලද උපක්‍රමයක් බවයි.
විසි වන සියවස වන විට මැලේ රාජ්‍යයන්හි සමෘද්ධිය කෙතරම් වීද යත් මැලේරියාව පාලනය කිරීම, කෘෂිකාර්මික රසායන විද්‍යාව, නූතන අධ්‍යාපන ප්‍රතිපත්තිය, ලෝක වෙළඳ පොලේ බෙලෙක් හා රබර් මිල යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩි අවධානයක් හා වර්ධනයක් ඇති විය. 19වන සියවසේ අග වන විට නවීන යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන බෙලෙක් හෑරීමේ ක්‍රම වේද වලට යොමු වීමත් සමඟ මලයාවේ බෙලෙක් ආදායම ඉතා ශීඝ්‍රයෙන් ඉහල ගිය අතර 1889දී ටොන් 26000ක් පමණ තිබූ මලයාවේ නිර්යාත 1904දී ටොන් 51733ක් දක්වා ද 1929දී එය ටොන් 70000කට ආසන්න ප්‍රමාණයක් දක්වා ද වර්ධනය විය. විසි වන සියවස පමණ වන විට ලෝක බෙලෙක් නිෂ්පාදනයෙන් 50%කට අධික ප්‍රමාණයක් සපයන ලද්දේ මලයාව තුලිනි.
විසි වන සියවසේ ලෝකයේ ඇති වූ කාර්මික වර්ධනයත් සමඟ මෝටර් රථ හා බයිසිකල් නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහල ගියේ ය. ඒත් සමඟ මලයානු රබර් නිෂ්පාදනය ද රට අභ්‍යන්තරයට ආදායම සපයන උල්පතක් බඳු විය. 1877දී ආරම්භ කරන ලද මලයානු රබර් වගාව 1897 වන විට අක්කර 345ක් දක්වා ද 1905 වන විට අක්කර 50,000ක් දක්වා ද වර්ධනය විය. 1914 වන විට දකුණු ඇමෙරිකාවේ කැලෑ බද ප්‍රදේශ වලින් ලැබෙන රබර් වල මිලට වඩා අඩු මිලකට රබර් සැපයීමට මලයාවේ රබර් වතු වලට හැකි විය. 1900 වන විට මලයාව විසින් රබර් ටොන් 196,000ක් අපනයනය කරන ලදි. මෙය ලෝක රබර් නිෂ්පාදනයෙන් 53%ක් පමණ විය.
බෙලෙක් පතල් වලින් හා රබර් වතු වලින් වැඩි කොටසක් පිහිටා තිබුණේ සංයුක්ත රාජ්‍ය හතර තුල ය. 1913 වන විට මලයාවේ සම්පූර්ණ අපනයනය ද්‍රව්‍යයන් හි වටිනාකම ඩොලර් 154,974,195 දක්වා ඒවායේ රාජ්‍ය ආදායම 44,332,711ක් දක්වා වර්ධනය විය. මලයාවේ ඇති වූ මෙම සමෘද්ධියත් සමඟ අභ්‍යන්තර දේශපාලන අර්බුද පළමු වන ලෝක යුද්ධ අවසානය දක්වා ම යටපත් වී ගියේ ය. මුලදී ජොහොර් රාජ්‍ය සංයුක්ත රාජ්‍යයට සම්බන්ධ වීමට අකමැති විය. 1819දී සිංගප්පූරුව පිහිට වූ අවස්ථාවේ සිට ජොහොර් රාජ්‍ය බ්‍රිතාන්‍යයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගෙන යන ලදි. 1914 වන තෙක් ම ඒ සඳහා පොදු අනුශාසකයෙකු පත් කරනු ලැබුවේ නැත. නමුත් 1895දී බ්‍රිතාන්‍ය නීතිඥයන් විසින් කෙටුම්පත් කරන ලද ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1895 සිට ජොහොර් රාජ්‍ය තුල ක්‍රියාත්මක විය. 1914දී එක් සංශෝධනයකින් පසුව ආරක්ෂිත මැලේ රාජ්‍යයන්හි ව්‍යවස්ථා මාලාව ලෙස පිළිගැනුණේ ඉහත කී ව්‍යවස්ථාවයි. ඒ අනුව 1915 වන විට ජොහොර් රාජ්‍ය ද සංයුක්ත මැලේ රාජ්‍යයන් වලට එක් විය.
මෙසේ දෙවන ලෝක සංග්‍රාමය වන තෙක් ම මලයානු සංයුක්තය තුල තුන් ආකාරයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතිණ. ඒ අනුව සමුද්‍ර සන්ධි බද ජනාවාස වූයේ සිංගප්පූරුව, පිනැංගුව, වෙස්ලි ප්‍රදේශය, නානිංද අයත් මලක්කා ප්‍රදේශය යන ඒවා යි. පෙරැක්, සෙලන්ගෝර්, සෙම්බිලන් හා පහාං යන සංයුක්ත මලයා රාජ්‍යයන් ද කේඩාහ්, පර්ලිස්, කෙලන්ටාන්, ත්‍රෙංග්ගනුහා ජොහොර් යන අසංයුක්ත මැලේ රාජ්‍යයන්ගෙන් ද යුක්ත විය. එම සියලු ම අසංයුක්ත රාජ්‍ය වලට උපදේශකවරු සිටිය අතර ඔවුන් සතු කාර්යය නේවාසික නිලධාරීන්ගේ කාර්යයන්ගෙන් වෙනස් විය. සෑම ප්‍රශ්නයකදීම සුල්තාන්වරයාට උපදෙස් දීම උපදේශකවරයාගේ කාර්යයක් වුවත් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට තරම් බලයක් ඔහුට නොවීය. නමුත් සාමාන්‍යයෙන් තමාගේ බලය හැකි තාක් අඩුවෙන් භාවිතා කළ ඔහු සුල්තාන්වරයාව තම මතය කෙරෙහි පොලඹවා ගැනීමට උත්සාහ කළහ.
8. සමාලෝචනය
මලයාව යනු අතීතයේ ජන විවිධත්වයෙන්, භාෂාවෙන්, ආගමෙන් හා සංස්කෘතියෙන් යුත් රාජ්‍යයන් ගණනාවකි. නමුත් එම ප්‍රදේශ කෙරෙහි බටහිර යටත් විජිත රාජ්‍යයන්ගේ අවධානය යොමු වීමත් සමග අර්බුද ගණනාවක් ඇති විය. මන්ද යත් මලයාව, ශ්‍රී ලංකාව මෙන් පිහිටීම අතින් ඉතා වැදගත් ස්ථානයක පිහිටා තිබීමයි. කෙසේ වෙතත් පෘතුගීසි, ලන්දේසි හා අවසානයේ දී ඉංග්‍රීසි ජාතිකයන්ගේ ග්‍රහණයට නතු වූ එම ප්‍රදේශ විවිධාකාරයේ පරිවර්තනයන්ට ලක් වන්නට විය.
මලයානු අනාගතය තීරණය කිරීමේ තීරණාත්මක ම සාධකය වූවේ බ්‍රිතාන්‍යයන් බව ඉහත තොරතුරු අධ්‍යනයේ දී පෙනී යයි. ඔවුන්ගේ පාලන සමයේ දී විවිධත්වය තුළින් ඒකීයත්වය කරා යාමට අවශ්‍ය අඩිතාලම මලයානු ප්‍රදේශවල අති කරන ලදි. විශේෂයෙන් ම බ්‍රිතාන්‍ය යුගයේ දී මලයාව වාණිජ වශයෙන් ක්‍රමයෙන් වර්ධනය වූ අතර නාවික මර්මස්ථාන ලෙස මලක්කාව හා සිංගප්පූරුව වර්ධනය කරන ලදි.
පසුව බ්‍රිතාන්‍ය මලයාවට වැඩි ම ආදායමක් ලබාදුන් නගර වූයේ මලක්කාව හා සිංගප්පූරුවයි. කෙසේ වෙතත් වර්තමානයේ දී මැලේසියාව ලෙස මැලේ රාජ්‍යයත්, සිංගප්පූරුව වෙනම රාජ්‍යයක් ලෙසත් අග්නිදිග ආසියාවේ ප්‍රබලතම රාජ්‍යයන් ලෙස වැජඹෙමින් පවතී. මෙම සියලු ප්‍රදේශ මුලදී බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශ වූ නමුත් එහි සමෘද්ධියට හේතු වූ කරුණ ද එය ම විය. මන්ද යත් ඉතා නොදියුණු ධීවර ගම්මාන මෙන් තිබූ එම ප්‍රදේශ සංවර්ධනයට හේතු වූ කරුණ වූවේ බ්‍රිතානයන් විසින් එම රාජ්‍යයන් නවීන ලෝකයට ගැලපෙන ආකාරයට ප්‍රතිසංවිධානය කිරීම බව පෙනී යයි. ඒ අනුව ලංකාව දෙස බැලීමේදී පෙනී යන්නේ යටත් විජිත යුගයේ දී ලංකාව ලබාගත් දේට වඩා අහිමි කර ගත් දේ වැඩි වූ බවයි. වර්තමානයේ දී ලාංකිකයන් බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් ලබා ගත් යහපත් ගුණාංග කිසිවක් නොදකින අතර තම අසාර්ථකත්වය වසා ගනු පිණිස එයට දොස් පවරමින් පමණක් කාලය ගත කරයි. නමුත් මලයානු ප්‍රදේශ බ්‍රිතාන්‍ය පාලනයෙන් ලබා ගත් දායාද ප්‍රමාණය කෙතරම්දැයි කියා ඉහත කරුණු විමසීමේදී පෙනී යයි.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය.
අබේවර්ධන, ඩී. එල්., අග්නිදිග ආසියාවේ යුරෝපීය යටත් විජිත, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, 2015
දිසානායක, විජය., ගෝලීය ප්‍රවණතා(අතීතය-වර්ථමානය-අනාගතය), අනුරාධා ප්‍රකාශකයෝ, දෙල්ගොඩ, 2014.
නේරු, ජවහර්ලාල්., ලෝක ඉතිහාස සිහිවටන, අනුවාදය- ඩේවිඩ් කරුණාරත්න, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම. කොළඹ, 2008.
රාවෝ, බී. වී., ලෝක ඉතිහාසය, පරිවර්තනය- මාලිනී ඇඳගම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2003.
සෙනවිරත්න, චාමින්ද., ජගත් දේශාටකයෝ, දයාවංශ ජයකොඩි සමාගම, කොළඹ. 2014..
හොරබින්, ජේ. ඇෆ්., මුහුදු කොල්ලකරුවන්ගේ ඉතිහාසය, කුරුලු පොත් ප්‍රකාශකයෝ, රාජගිරිය, 2009.
හෝල්, ජී. ඩී., අග්නිදිග ආසියාවේ ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ, 1974.
No comments:
Post a Comment