සාගරය යනු පෘථිවි ගෝලයේ විශාල ම ප්‍රමාණයක් වන 2/3 ක් ආවරණය කරන්නා වූ ජල තලයයි. ඒ අනුව පෘථිවිය මත මිනිසුන් වාසය කරන්නා වූ ප්‍රධාන මහද්වීපයන් (Continents) වන අප්‍රිකා මහද්වීපය, ආසියා මහද්වීපය, ඕස්ට්‍රේලියා මහද්වීපය, යුරෝපා මහද්වීපය, උතුරු ඇමෙරිකා මහද්වීපය හා දකුණු ඇමෙරිකා මහද්වීපය යන මහද්වීප හය ම සාගරය මඟින් සම්බන්ධ කරනු ලබයි. කෙසේ වෙතත් සාගරය මඟින් සියලු ම මහද්වීප වෙන් කරන බව ද තවත් දෘෂ්ටිකෝණයකින් පෙනී යයි.
අනෙකුත් මහද්වීප සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට නම් සාගරය තරණය කිරීම අනිවාර්ය කටයුත්තක් විය. ලොව ප්‍රධානතම මහද්වීපයන්හී මානව ජනාවාස පැතිර ඇති අතර එමගින් පෙනී යන වැදගත් ම කරුණක් වන්නේ අතීතයේ සිට ම මානවයා සාගර තරණය කරමින් අනෙකුත් මහද්වීපවල වෙසෙන්නා වූ තම සහෝදර මනුෂ්‍ය කොට්ඨාශ සමඟ සම්බන්ධකම් පැවැත් වූ බවයි. එලෙස මහද්වීප අතර සම්බන්ධකම් සාගරය මාර්ගයෙන් පවත්වා ගෙන යාම සාගරික ඒකාබද්ධතාව ලෙස සැලකිය හැක.
පෘථිවියේ ප්‍රධාන සාගර (Ocean) සතරකි. ඒවා නම් ෆැසිපික් සාගරය (ව.ප්‍ර.සැ.: 64,186,300), අත්ලාන්තික් සාගරය (ව.සැ. 33,420,000), ඉන්දියන් සාගරය (ව.සැ. 28,350,500), ආක්ටික් සාගරය (ව.සැ. 5,105,700). ඒවා හැර මධ්‍යධරණි, කැරිබියන්, බීරිං, අරාබි මුහුද, කළු මුහුද, උතුරු මුහුද, රතු මුහුද හා කැස්පියන් මුහුද ආදී වූ තවත් මුහුදු කීපයක් ද ඇත.
මේ සෑම සාගරයක් ම මිනිස් ජනාවාස වටා ව්‍යාප්ත ව පවතින අතර, අතීතයේ සිට ම මිනිසාට තිබූ ප්‍රබලතම අභියෝගය වූවේ ද මෙම සාගරයයි. නමුත් මිනිසා පරිණාමය වීමත් සමඟ වර්ධනය වූ ඔහුගේ බුද්ධිය මාර්ගයෙන් තමාට අභියෝගයක් වූ එම සාගරය තමාගේ ප්‍රධානතම සම්පත බවට පත් කරගන්නා ලදි. ඒ අනුව වර්තමානය වන විට පෘථිවියේ භාණ්ඩාගාරය සාගරය ලෙස හඳුන්වනු ලැබේ. මනුෂ්‍යයා සාගරයෙන් ආහාර මෙන් ම තෙල්, ලවණ (Salt), හා ඛනිජ (Minerals), ලබාගනු ලබයි. කෙසේ වෙතත් සාගරය තරණය කිරීමට හැකි වීම මනුෂ්‍යයා ලැබූ ප්‍රබලතම ජයග්‍රහණයකි.
මිනිසා ශිෂ්ටාචාර ගත වීමත් සමඟ විවිධ මහද්වීපවල තම වාසස්ථාන ව්‍යාප්ත කරගන්නා ආකාරයක් දැකිය හැකිය. ඒ අනුව ඉන්දියාවේ සින්දු නදිය ආශ්‍රිතව මොහෙන්දජාරෝ - හරප්පා ශිෂ්ටාචාරයත්, උතුරු අප්‍රිකාවේ - ඊජිප්තුව ආශ්‍රිතව නයිල් නදිය කේන්ද්‍ර කොට ගනිමින් නයිල් නිම්න ශිෂ්ටාචාරය, ග්‍රීක ශිෂ්ටාචාරය, ක්‍රීට ශිෂ්ටාචාරය, යුප්‍රටීස් - ටයිග්‍රීස් නදිය කේන්ද්‍ර කොට නිර්මාණය වූ යුප්‍රටීස් - ටයිග්‍රීස් ශිෂ්ටාචාරය, බැබිලොනියනු ශිෂ්ටාචාරය හා සුම්රියානු ශිෂ්ටාචාරයන් බිහිවෙන ලදි.
මේවායේ දැකිය හැකි විශේෂිත ම ලක්‍ෂණයක් වන්නේ මෙම සියලු ම ශිෂ්ටාචාරයන් එකිනෙකට අනොන්‍යය වශයෙන් සම්බන්ධතා පවත්වා ඇති බවට තහවුරු වීමයි. විශේෂයෙන්ම මෙම සම්බන්ධතා ගොඩ බිම් මාර්‍ගයන්ටත් වඩා මුහුදු මාර්ගයෙන් (සාගර බඳ) ක්‍රම මඟින් පැවති බව තහවුරු වී තිබේ. විශේෂයෙන්ම බැබිලෝනියාවේ ඌර් නගරයේ වරායන් කැණීමේදී ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රා කීපයක් හමු වී තිබෙන අතර ඉන්දු නිම්නයෙන් ද බැබිලොනියානු හා අනෙකුත් ශිෂ්ටාචාරයන්ට අයත් භාණ්ඩ හා මුද්‍රාවල කොටස් හමු වී ඇත. යුප්‍රටීස් නදිය ඔස්සේ පර්සියන් බොක්කට සේන්දු වූ බැබිලෝනියන්වරුන්ගේ කුඩා නාවික යාත්‍රා අරාබියේ හා ඉන්දියාවේ නිෂ්පාදිත භාණ්ඩ හා වෙළඳ ද්‍රව්‍ය මෙසපොතේමියාවට ගෙන ඒමට සමත් වූ බව අණාවරණය වී ඇත. බාර්ලි, රට ඉඳි, ලෝම, රෙදිපිළි යන දෑ සාගරය මාර්ගයෙන් අපනයනය කළ භාණ්ඩ අතර ප්‍රධාන වී ඇත. මෙයින් පෙනී යන ඉතාමත් වැදගත් කරුණක් වන්නේ ගොඩ බිම් මාර්ගවලට වඩා සාගර බද මාර්ග සාපේක්‍ෂව පහසු මෙන් ම ආරක්ෂාකාරී වී ඇති බවයි. මන්ද යත් ගොඩ බිම් මාර්ගයෙන් ගමනා ගමන කටයුතුවල යෙදීම අතීතයේ දී ඉතාම අනාරක්ෂිත, සොර සතුරු උවදුරු සහිත, ගෝත්‍රිකයන්ගෙන් සිදු වන උපද්‍රව, මාර්ගය සොයා ගැනීමේ අපහසුව, අතරමං වීම්, පණිවිඩ හුවමාරුවක් නොමැති වීම, ගමන් මගෙහි පසු කිරීමට ඇති ප්‍රදේශවල මිනිසුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර නොදැණීම මෙන් ම ඔවුන්ගේ චර්යාවන් පිළිබඳ දැන ගැනීමට ඉඩක් නොමැතී වීම හා එය කාලය වැය වන කාර්යයක් වීම ද විය හැක.
9 වන සියවසේ දී පමණ දකුණු ඉන්දියාවේ චෝළයන් අධිරාජ්‍යයක් ගොඩනැගීමේ දී තම මව් භූමියෙන් එපිට අග්නිදිග ආසියානු දූපත් කෙරෙහි ද අවධානය යොමු කරනු ලැබීය. ඒ අනුව ඉන්දුනීසියාව, මැලේසියාව, බෝර්නියෝ හා සුමාත්‍රා වැනි දූපත් කෙරෙහි (ශ්‍රී විජය රාජ්‍ය) තම බලය ව්‍යාප්ත කරන ලදි. එමගින් දකුණු ඉන්දීය සංස්කෘතිය අදාල ප්‍රදේශවල ව්‍යාප්ත විය. කෙසේ වෙතත් සමුද්‍රාසන්න චෝළ අධිරාජ්‍යය ම පැවතියේ සාගරික ඒකාබද්ධතාව උපකාරී කර ගෙන බව පැහැදිලි වේ. මන්ද යත් සාගරික ආධිපත්‍ය පරිහානියට පත් වන විට සමස්ත චෝළ අධිරාජ්‍ය ම බිඳ පත් වීමයි.
යූරෝපීයන් 15 වන සියවසේ දී සාගර තරණය කිරීමට පෙර චීනය ලෝක සාගරික සාගරික ඒකාබද්ධතාවයේලා විශාල බලපෑමක් ඇති කළ ජාතියක් ලෙස හැදින්විය හැකිය. එවකට චීනයට. මිං අධිරාජ්‍යයාගේ බලය ඒත්තු ගැන්වීමටත්, චීන පිඟන් භාණ්ඩ, සිල්ක් රෙදි ඇතුළු වාණිජ භාණ්ඩ ලොව පුරා ව්‍යාප්ත කිරීමටත් අවශ්‍ය විය. ක්‍රි.ව. 1402 දී ඇති වූ කුමන්ත්‍රණයක් මාර්ගයෙන් බලය ලබා ගත් යොංලේ (Yougle) අධිරාජ්‍යයාගේ අභිප්‍රාය පරිදි චීනයට අද්විතීය ඇති බවට ලෝකයට පෙන් වීම සඳහා අද්මිරාල් ෂෙං හේ (Admiral Zeng he) ගේ නායකත්වය යටතේ ප්‍රථම සමුද්‍ර චාරිකාව දියත් කරන ලදි. ඒ අනුව ෂෙං හේ ආසියානු සමුද්‍රයේ බලය පතුරවමින් සමස්ත කලාපය ම ආර්ථික හා දේශපාලනමය වශයෙන් ඒකාබද්ධ කරන ලදි.
චීන ජාතිකයන්ගෙන් පසු සමස්ත ඉන්දියානු සාගරය ම ඒකාබද්ධ කිරීමට අරාබි ජාතිකයන්ට හැකි විය. ඒ අනුව අරාබියේ සිට අග්නිදිග ආසියාව දක්වා වූ සියලු ම ප්‍රදේශ එක ජන කොට්ටාශයකගේ ග්‍රහණයට ලක් විය. අරාබියේ සිට ඉන්දියාව, ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය, මැලේසියාව හා ඉන්දුනීසියාව වැනි ප්‍රදේශ කරා මුස්ලිම් ජාතිකත්වය හා ඉස්ලාම් දහම ව්‍යාප්ත කිරීමට ආරාබීන්ට හැකි වූවේ සාගරික ඒකාබද්ධතාවෙන් බව ඉතා පැහැදිල වේ.
සාගරය ඒකාබද්ධතාවේ මාර්ගයක් කර ගනිමින් සමස්ත ලෝකයට ම විශාල බලපෑමක් ඇති කල ජනකොට්ටාශයක් ලෙස යුරෝපීයයන් හැඳින්විය හැක. කුරුස යුද්ධවලින් අනතුරුව වාණිජ ආධිපත්‍ය ලබා ගැනීමේ අභිප්‍රායෙන් සාගරික කටයුතුවලට යුරෝපීයන්ගේ මැදිහත්වීම ප්‍රබල විය. විශේෂයෙන් දොළොස් වන සියවසේ සිට දාසයවැනි සියවස දක්වා කාලය තුළ දී අප්‍රිකාව, යුරෝපය හා චීනය අතර පැවති වාණිජ සබඳතා සාගරික මාර්ග හරහා වැටී තිබුණි. මධ්‍යධරණි වෙළඳ ක්‍ෂේත්‍රයන්හී අප්‍රිකාව විශේෂ ස්ථානයක් ලද අතර නිරන්තරයෙන් හුවමාරු වූ වාණිජ භාණ්ඩ වූවේ රත්තරන්, ඇත් දත් හා ගම්මිරිස් ය. විශේෂයෙන්ම මෙම කාලය වන විට සාගරික ඒකාබද්ධතාව තුළින් වර්ධනය වූ වාණිජ වාදය සමස්ත ලෝකයට ම ප්‍රබල බලපෑමක් එල්ල කරන ලදි. වාණිජ වාදය හා සම්බන්ධ වූ අනෙකුත් සාගරික ක්‍ෂේත්‍රයක් වන අත්ලාන්තික් සාගරය ඔස්සේ සිදු වූ වහල් වෙළදාම නව ලෝකයට විශාල බලපෑමක් කිරීමට සමත් වී ඇති බව යුනෙස්කෝවේ මතයයි.
යම් කිසි ජාතියක දියුණුව හා ශක්තිය සලකා බැලීමේ දී එම ජාතිය සතු සෘජු ගොඩ බිම් බලයට වඩා එම ජාතිය සතු සාගරික ශක්තිය සලකා බැලී වැදගත් වේ. මන්ද යත් ගොඩ බිම් බලයට වඩා සාගරික බලය පවත්වා ගෙන යාමට වැඩි දැනුමක් මෙන් ම වැඩි වියදමක් දැරීමට සිදුවීමත් ඒ සඳහා එම ජාතිය සතුව ප්‍රබල මූල්‍යමය ශක්තියක් තිබිය යුතු වීමත් ය. මෙය වඩාත් පැහැදිලි වන්නේ යුරෝපය තුල කුඩා භූමි ප්‍රදේශයකට හිමිකම් කියූ ජාතීන් වන ස්පාඤ්ඤය, පෘතුගාල, නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍ය යන රජ්‍යයන් තම යටත් ප්‍රදේශ තම මව් භූමියෙන් පරිබාහිර ව පිහිටා තිබීමත් ය. ඒ සඳහා ඔවුන්ට විශේෂඥ දැනුමක් මෙන්ම ඉතා හොද ආර්ථික ශක්තියක් ද තිබෙන ලදි. විශේෂයෙන්ම එම ජාතීන් සතු සාගරික ඥානය ඔවුන්ගේ අධිරාජ්‍යය වර්ධනයට හේතූ වූ ප්‍රධානතම බලවේගය වූ අතර එමගින් තම අධිරාජ්‍ය සාගරික ඒකාබද්ධතාව හරහා සම්බන්ධ කිරීමට ඔවුන්ට හැකි විය.
ඔවුන් විසින් සිදු කල දේශගවේශනයන් හා අධිරාජ්‍යය ව්‍යාප්තවාදී ප්‍රතිපත්තිය හේතුවෙන් මහද්වීප, සාගරය මාර්ගයෙන් ඒකාබද්ධ කිරීමේ ලා ප්‍රබල ලෙස ම බලපාන ලදි. මධ්‍යතන යුගයේ දී යුරෝපීය දේශාටකයන්ගේ මනස සත්‍යයේ හා මිත්‍යාවේ සංකලනයක් ලෙස පැවති බව පෙන්වා දී තිබේ. මිත්‍යා මත බොහෝ විට මිනිසාගේ වර්ධනයට ප්‍රබලතම අභියෝගය වූ සාගරය වටා ගෙතී පැවතිණි. ඒවා නම්, බෙජඩෝර් පසු කර යාත්‍රා කරන ඕනෑම ක්‍රිස්තු භක්තිකයෙකු කාල වර්ණ මිනිසෙකු වන බව නැවියන් තුල තිබූ විශ්වාසය, සාගරයේ සෑම දූපතක්ම අතිශයින් දරුණු පැතලි හිස් වලින් යුක්ත භූතයන්ගෙන් පිරී ඇති බවට මිනිසුන් විශ්වාස කිරීම, මුහුදේ ගමන් කරන යාත්‍රා සහ නාවිකයන් ගිල දැමීමට සමත් ක්‍රෙකන් නමින් හැඳින්වෙන මුහුදු රකුසෙකු සිටින බවට විශ්වාස කිරීම, වැසි වළාකුළු වලට ඉහළින් සිටින විසල් සිරුරකින් යුක්ත මුහුදු අධිපති රකුසෙකු විසින් නාවිකයන් විනාශ කරන බවට විශ්වාස කිරීම ආදියයි.
ඉහත මිත්‍යා විශ්වාස පැවතුණද දේශාටනයට යොමු වූ පුද්ගලයන්ගේ අධිෂ්ඨානය හා ධෛර්යය එම මිත්‍ථ්‍යා විශ්වාස අභිබවා ඉදිරියට යාමට හැකි වීම ඔවුන්ගේ කාර්යය සාර්ථක වීමට බලපෑ බව පෙනේ. 1477දී ටොලමිගේ ලෝක සිතියම මුද්‍රණය වීමත් සමඟම සාගරික මාර්ගයන් කෙරෙහි යුරෝපීය ජාතිකයන් තුල නිදහස් තව සිතුවිලි වර්ධනය විය. ඒ සමඟම වාගේ නාවික යාත්‍රා නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය දියුණු වීම හා නාවික ශිල්පය පිළිබඳව දැනුම වර්ධනය වීම ද පසුකාලීන සාගරික ගමනාගමනය වර්ධනය වීමට බලපාන ලදි. අප්‍රිකාව වටා ගොස් ආසියාවට පැමිණීමට හැකියාව ඇති බව කලක් තිස්සේම නාවිකයන් දැන සිටියත් ඒ සදහා සුදුසු දැනුම හා නාවික යාත්‍රා නිර්මාණය වීම සිදු වූයේ 1300ත් 1500ත් අතර කාල වකවානුව තුලදීය.
නොදන්නා මුහුදු ප්‍රදේශයකට නිවැරදි මුහුදු සිතියම් නොමැතිව මුහුදේ ගැඹුර, කුණාටු තත්වයන්, දියවැල් හෝ බාධක පිළිබඳ කිසිදු දැනීමක් හෝ අවබෝධයක් නොමැතිව සාගරය තරණය කිරීම අනාරක්ෂිත විය. ක්‍රි.ව.1519දී ස්පාඤ්ඤයෙන් පිටත්ව ගිය ෆර්ඩිනන්ඩ් මැගලන් ගේ නාවික කණ්ඩායමට නාවිකයන් 280කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ බව සඳහන් වේ. එහෙත් ගමන නිමවා ආපසු පැමිණීමට හැකියාව ලැබුණේ නාවිකයන් 31කුට පමණි. මැගලන් ද ඇතුළු ඉතිරි නාවිකයන් 249 දෙනාම චාරිකාවේදී මිය ගොස් තිබුණි. ලොව වටා ගිය දෙවන ගවේශකයා වශයෙන් ඉතිහාසයට එක් වූ ෆ්‍රැන්සිස් ඩ්‍රේක් ආපසු එංගලන්තයට පැමිණෙන විට වසර 3ක් ගත වී තිබුණි. මෙයින් පෙනී යන්නේ අතීතයේ සාගරය තරණය කිරීමට තිබූ අවදානමයි.
මෙම යුරෝපා ජාතීන් සාගරික ගමන් මාර්ග ඔස්සේ දේශ ගවේෂණයට පෙළඹවීමට යොමු කරන ලද ප්‍රධාන සාධකයක් වුයේ එතෙක් පෙරදිග හා අපරදිග ලෝකය අතර වෙළඳ ගනුදෙනු වලට විවෘතව තිබුණු වෙළඳ මාර්ග ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ ග්‍රහණයට හසු වීමයි. 10හා 11වන ශතවර්ෂ වල කුරුස යුද්ධ ආරම්භ වන විට පෙරදිග වෙළඳ ද්‍රව්‍ය වල වැඩි බලයක් අත් කර ගෙන තිබූ ඇලෙක්සැන්ඩ්‍රියාව, කොන්ස්තන්තිනෝපලය යන නගර වල වෙළඳාමේ බලය අවසාන කුරුස යුද්ධ සිදු වන විට වෙනීසිය හා ජිනෝවා වලට මාරු වී තිබිණි. එයිනුත් වැඩි බලයක් වැනීසිය සතු විය. 1453 දී ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයා වූ II වන මුහුම්මද් විසින් ජිනෝවා ජාතිකයන් පලවා හැර කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමත් සමඟ ගොඩ බිම් වෙළඳ මාර්ගය වැසී යන අතර පෙරදිග භාණ්ඩ වන ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයේ ගම්මිරිස් හා අමු ඉඟුරු, ලංකාවේ කුරුඳු, බෙංගාලයේ අබිං, චීනයේ පට හා සිල්ක් යුරෝපීයන්ට අහිමි විය. නැගෙනහිර ඉන්දියාවේ දූපත්වලින් ලැබෙන කුළුබඩු වෙළදාමෙන් අරාබීන්ට හා වෙනීසියට ඇඳී යන ධනය මැඩ්රිඩ් හා ලිස්බන්වලට හැරවීම ස්පාඤ්ඤයන්ගේ හා පෘතුගීසීන්ගේ අභිප්‍රාය විය.
මෙයින් පෙනී යන වැදගත්කම කරුණක් වන්නේ ශිෂ්ටාචාර යුගයේ සිටම සාගරික ක්‍ෂේත්‍රයේ දී ජන සංක්‍රමණ මෙන් ම වාණිජ අපේක්‍ෂා ද ඉතාමත් වැදගත් වූ බවයි. විශේෂයෙන්ම 15වන සියවසෙන් පසුව යුරෝපීයයන් සාගරය තරණය කරමින් පෙරදිගට හා ඇමෙරිකාවට ගමන් කිරීමට වාණිජ වාදය ප්‍රබල බලපෑමකි කර ඇති බව පෙනී යයි. නමුත් වාණිජ අපේක්‍ෂා සමඟ පෙර නොවූ විරූ ලෙස යුරෝපීය ජනතාව ආසියාවට හා ඇමෙරිකානු මහද්වීපවලට සංක්‍රමණය වීමත්, වහල් වෙළඳාම සඳහා නීග්‍රෝ ජාතිකයන් ඇමෙරිකානු මහද්වීපවලට ගෙන යාමත් සිදුවිය. මේ හේතුවෙන් ගොඩබිමින් වන සංක්‍රමණ වලට වඩා සාගරය හරහා වන සංක්‍රමණ වර්ධනය වූ අතර උතුරු ඇමෙරිකානු, දකුණු ඇමෙරිකානු හා ඕස්ට්‍රේලියානු මහද්වීපවල බහුතර ජනතාවක් සංක්‍රමණිකයන්ගෙන් සමන්විත විය. ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා කැනඩාව වැනි රටවල බහුතරය ස්වදේශිකයන් නොව යූරෝපීයයන් වන අතර ඔවුන් තම මව් රාජ්‍ය සමඟ සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නා ලදි. තවද යුරෝපීයයන් සතු වූ යටත් විජිත සමඟ ද සිදු කරනු ලැබූ සම්බන්ධතාවේ මාර්ගය වූවේ ද සාගරයයි.
යුරෝපයේ මුල්කාලීන ප්‍රබලතම අධිරාජ්‍යවාදීන් වූ ස්පාඤ්ඤ, පෘතුගාලය හා පසු කාලීන අධිරාජ්‍ය බලවතුන් වූ නෙදර්ලන්තය, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය වැනි රාජ්‍යන් සාගරික ඒකාබද්ධතාව මාර්ගයේ තම බල පරාක්‍රමය ව්‍යාප්ත කරන ලදි.
බ්‍රිතාන්‍යයට යුරෝපයේ ප්‍රධාන බලවතා ලෙස නැගී ඒමට හැකි වූවේද පළමුවන එලිසබත් රැජිනගේ කාලයේදී, 2වන පිලිප් රජුගේ ස්පාඤ්ඤය ආර්මඩා නාවික හමුදාව පරාජය කිරීමෙන් පසුවය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය උච්චතම අවධියේ දී ඔවුන් සෑම සාගරයක් ම පාහේ ආවරණය කරමින් තම නාවික මධ්‍යස්ථාන 35ට ආසන්න සංඛ්‍යාවක් පිහිට වූ බව සඳහන් වේ. ප්‍රංශ විප්ලවයෙන් පසු නැපෝලියන් බොනපාට්ගේ මෙන් ම දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ද ප්‍රධාන අභිප්‍රාය වූවේ බ්‍රිතාන්‍යයන් සතු වූ නාවික ශක්තිය දුර්වල කරමින් සාගරික ආධිපත්‍යය ලබා ගැනීමයි. මන්ද යත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සමස්ත ශක්තිය රඳා පැවතියේ සාගරික ඒකාබද්ධතාව මත වීමයි. දෙවන ලෝක යුද්ධය ආරම්භයේ දී ජපානය විසින් ඇමෙරිකාවට අයත් හවායි දූපතට බෝම්බ හෙලනු ලැබුවේද පැසිෆික් සාගරයේ බලය ලබා ගැනීම ජපාන ව්‍යාප්තවාදයට ඉතාමත් අත්‍යාවශ්‍ය සාධකයක් වීම හේතුවෙනි.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව යටත් විජිත හරණය සිදු වූ අතර මහා ලෝක බලවතුන් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයත්, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයත් ඉස්මතු වන ආකාරයක් දැකිය හැකිය. මෙම මහා බලවතුන් දෙදෙනා ම බලය වර්ධනය කර ගැනීමේ දී සාගරික බල කේන්ද්‍රයන් වෙත තම අවධානය යොමු කර තිබූ බව පෙනී යයි. ඒ හේතුවෙන් මෙම බලවතුන් දෙදෙනා අතර එකිනෙකාට ප්‍රතිවිරුද්ධ ව බල තරඟයක් ඇති වූ අතර එය සීතල යුද්ධය යනුවෙන් හඳුන්වනු ලැබේ. එහි දී කියුබානු මිසයිල අර්බුදය, කොරියානු අර්බුදය, වියට්නාම් අර්බුදය, සූවස් ඇළ අර්බුධය වැනි ගැටලු සහගත අවස්ථා ඇති වූවේ ද ආදාල සාගරික කලාපයන්ගේ බලය ලබා ගැනීමට ඇති වූ තරගයේදීය.
සෝවියට් සංගමය බිඳවැටීමත් සමඟ ඇමරිකාව තනි ලෝක බලවතෙකු බවට පත් විය. ඔවුන් ද තම බල පරාක්‍රමය පවත්වාගෙන යනු ලබන්නේ ලොව පුරා තමන් සතු 500කට අධික නාවික කේන්ද්‍රස්ථාන මුල් කරගෙනය. ඒ හේතුවෙන් ම ඇමෙරිකාවේ නාවික හමුදා ශක්තිය ඉතා ප්‍රබල වන අතර ඔවුන්ට ගොඩබිමේ බලයට වඩා සාගරයේ බලය ලබා ගැනීම මූලෝපායික වශයෙන් ඉතා වැදගත් වී ඇත.
වර්තමානය වන විට ද ලෝක වාණිජ වෙළදාමෙන් 75% කට වඩා සිදු වන්නේ සාගරය කේන්ද්‍ර කොටගෙනය. ඒ අනුව වාණිජ හා වරාය නගර වන චීනයේ ෂැංහයි හා හොං කොං, පිලිපීනයේ මැනිලා, සිංගප්පූරුව, ඉන්දියාවේ මදුරාසිය හා මුම්බාය, ශ්‍රී ලංකාවේ කොළඹ, හම්බන්තොට හා ගාල්ල, බංග්ලාදේශයේ ඩකා, පකිස්තානයේ කරච්චි, යේමනයේ ඒඩ්න්, ඕමානයේ මස්කට්, සොකොත්‍රා, ඊජිප්තුවේ කයිරෝ හා ඇලෙක්සැන්ඩ්‍රියා, දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබත් හා කේප් ටවුන්, ස්පාඤ්ඤයේ කාර්ඩීස්, පෘතුගාලයේ ලිස්බන්, ප්‍රංශයේ පැරිස්, එංගලන්තයේ ලන්ඩන්, තුරුකියේ ඉස්තාම්බුල්, ඉතාලියේ රෝමය, ඇමරකාවේ බොස්ටන්, නිව් යොර්ක්, වොශින්ටන්, සැන් ෆ්‍රැන්සිස්කෝ හා ලොස් ඇන්ජලීස්, කියුබාවේ හවානා, ජපානයේ ටොකියෝ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි යන නගර මඟින් ලෝක සාගරික වෙළදාම ඒකාබද්ධ කොට ඇත.
බහු ජාතික සමාගම් ලෙස ඒකාබද්ධ වී වර්තමානයේ දී වාණිජ වාදය සිදුකෙරෙන අතර සාගරය කේන්ද්‍ර කොටගත් වාණිජ ඒකාබද්ධතාවක් ඇති වී තිබෙන බව ඉහත කරුණු අධ්‍යනයේ දී පෙනී යයි. ඒ හේතුවෙන් ලොව ප්‍රබල රාජ්‍යන් වාණිජ සාගරික ඒකාබද්ධතාව කෙරෙහි තම අවධානය යොමු කරන අකාරයක් දැකිය හැකිය. විශේෂයෙන්ම නැගී එන කාර්මික මෙන් ම ලෝක බලවතෙකු ද වන චීනය, අතීත මුහුදු සේද මාවත ප්‍රකෘතිමත් කිරීම සඳහා තම අනාගත ප්‍රතිපත්ති සකස් කොට ඇත. ඒ අනුව පකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය වැනි රාජ්‍යන්හී මුහුදු නගර (Port City) හා වාරායන් සඳහා ආයෝජනය කිරීමට චීනය ඉදිරිපත් වී ඇත. එමගින් චීනය බලාපොරොත්තු වන්නේ අනාගතයේ දී එම ප්‍රදේශ ආශ්‍රිතව තම බලපෑම වර්ධනය කොට තම වාණිජ සාගරික ඒකාබද්ධතාව වර්ධනය කර ගැනීමයි.
ශ්‍රී ලංකාව පිළිබඳ විමසීමේදී ද පෙනී යන කරුණක් වන්නේ ජනාවාස වීමේ සිට වර්තමානය දක්වාම සාගරය විශාල බලපෑමක් කර ඇති බවයි. ෆාහියන් භික්‍ෂුවගේ දේශාටන වාර්තාව හා දිව්‍යාවදානය වැනි මුලාශ්‍රවලට අනුව පෙනී යන්නේ ලංකාව උතුරු ඉන්දීය වෙළදුන් මාර්ගයෙන් ජනාවාස වී ඇති බවයි. මහා වංශය දක්වා ඇති අන්දමට ලංකාව ජනාවාස වී ඇත්තේ උතුරු ඉන්දියාවේ සිට පැමිණි විජය ඇතුළු පිරිසගෙනි. පසු කාලීනව දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු අධිරාජ්‍යයක් ගොඩ නැගූ චෝළ අධිරාජ්‍යයේ ග්‍රහනයටද ලංකාව නතු විය. රාජාවලියට අනුව 15වන සියවසේදී ෂෙං හේ ගේ ආක්‍රමණයටත් 15වන සියවසෙන් පසුව 1505 දී පෘතුගීසීන්ගේ ද, 1658 දී ලන්දේසීන්ගේ ද, 1796 දී ඉංග්‍රීසීන්ගේ ග්‍රහණයටද ලංකාව නතු විය.
මේ සෑම බලපෑමක් ම ලංකාවට එල්ල වීමට බලපෑ ප්‍රධානතම හේතුව වූවේ ලංකාවේ ස්වාභාවික සම්පත් මෙන් ම ලංකාවේ පිහිටීමයි. මන්ද යත් ලංකාවේ පිහිටීම අනුව එහි බලය ලබා ගත හැකි ප්‍රබල ජාතියකට සමස්ත ඉන්දියානු සාගරය ම ආවරණය කරමින් ඒකාබද්ධ නාවික මාර්ගයක් ගොඩ නැගීමට හැකි වීමයි. වර්තමානය වන විට ලංකාවේ ස්වාභාවික සම්පත් වලට වඩා ලංකාවේ ස්වාභාවික පිහිටීම ලොව බලවත් රටවල් වන ඇමෙරිකාව, චීනය හා ඉන්දියාවේ අවධානයට යොමු වී ඇත. මන්ද යත් පෙර සඳහන් කල ආකාරයට ඉන්දියානු සාගරික කලාපයේ ඒකාබද්ධතාවය කෙරෙහි ලංකාවේ පිහිටීම බලවත් වන හෙයිනි.
මෙයින් ගම්‍ය වන වැදගත් ම කරුණ වන්නේ අතීතයෙදී මෙන් ම වර්තමානයේදී ද යම් කිසි ජාතියකට තම ආධිපත්‍ය පවත්වාගෙන යාමට හා වර්ධනය කර ගැනීමට සාගරික බලය ලබා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය සාධකයක් වන බවත් එමගින් තම ආර්ථික, දේශපාලන හා සමාජ ඒකාබද්ධතාව වර්ධනය කර ගත හැකි බවත් ය. තවද කිසිම සාගරබද ජාතියකට වර්තමානයේ දී සාගරික ඒකාබද්ධතාවයෙන් තොර ව පැවැත්මක් නොමැති බව ද පෙනී යයි.
No comments:
Post a Comment